Showing posts with label Kandy. Show all posts
Showing posts with label Kandy. Show all posts

Saturday, October 30, 2021

කෝපි කාලේ Lower Road එකේ මහනුවර සිට බදුල්ලට ගිය හැටි

බදුල්ල

පසුගිය සතියේ තොරතුරු ඉදිරිපත් කල හලාබ පාලම ලිපිය උදෙසා එය තැනූ වර්ෂය, ඒ හා සම්බන්ධ වන මාර්ගය පිළිබඳව හෝ උමා ඔයෙන් එතෙර වීම උදෙසා ඉංග්‍රීසීන් තැනූ පාලම් පිළිබඳව හෝ කිසියම් හෝ හෝඩුවාවක් සොයාගැනීම උදෙසා උත්සාහ කලමුත් එය සාර්ථක වූවේ නැත. එහෙත් එම තොරතුරු සොයා යාමේදී ඇස ගැසුන ඉංග්‍රීසි වාර්තා වල Kandy - Badulla Lower Road  through Goneganwa ලෙසින් සඳහන් වන වෙනත් මහනුවර - බදුල්ල මාර්ගයක් පිළිබඳව විස්තර හමුවූ අතර මේ ලිපිය එම තොරතුරු ආශ්‍රයෙන් එකී මාර්ගයේ පිහිටීම සොයා ගැනීමට කල උත්සාහයක ප්‍රතිඵලයයි.

Ferguson's Ceylon Directory

බ්‍රිතාන්‍ය යුගයේ සිට මෙරට කාලීන වානිජ තොරතුරු සම්පිණ්ඩනය කරමින් 1871 සිට (හෝ ඇතැම් විට එයට පෙර සිටත් (මට හමුවූ මුල්ම සංග්‍රහය 1871-72 වර්ෂ සඳහා වේ.) මෑතක් දක්වාම ( මා හට හමුවූ අවසාන කොටස 1997-99 කාලය උදෙසා පල කර ඇත.) පලවූ තොරතුරු සංග්‍රහයකි Ferguson's Ceylon Directory. එය Associated Newspapers of Ceylon Limited මගින් පලකර ඇති අතර මුල් කාලයේදී  මේ තොරතුරු සංග්‍රහයන් උදෙසා මූලිකත්වය ගත් එකල දෙසතියකට වරක් නිකුත්වූ Ceylon Observer පුවත්පතේ නියෝජ්‍ය කතෘ සහ පසුව එහි ප්‍රධාන කතෘ සහ අයිතිකරු බවට පත්වූ A.M Ferguson ගේ සහ John Ferguson ගේ  නම් වලින් ඒවා Ferguson's Ceylon Directory ලෙසින් හැඳින්වූ බව පෙනේ (එම දෙපල විසින් 1864 වර්ෂයේදීද එවන් තොරතුරු සංග්‍රහයක් පලකර ඇත.) Ferguson's Ceylon Directory හී කතෘත්වය දක්වා ඇත්තේ A.M. & J Ferguson, proprietors and editors of "Ceylon Observer" ලෙසිනි. 

ඉහත 1871-72 වර්ෂ සඳහා වූ Ferguson's Ceylon Directory හි මෙරට එවකට වූ ප්‍රධාන මාර්ග කිහිපයක් ගැන තොරතුරු සඳහන් වේ. ඒ යටතේ මහනුවර සිට බදුල්ල දක්වා වූ මාර්ග දෙකක් ගැන තොරතුරු ඉදිරිපත් කර ඇත. එක් මාර්ගයක් වන්නේ නුවරඑලිය හරහා බදුල්ල මාර්ගයයි. එය මහනුවර සිට පේරාදෙණිය, ගම්පොල, පුස්සැල්ලාව, රම්බොඩ, නුවරඑළිය, ඇටම්පිටිය හරහා බදුල්ල දක්වා යන මාර්ගය ලෙසින් හඳුනාගත හැක (මේ මාර්ගයේ තවත් ස්ථාන එහි දක්වා ඇති අතර මාර්ගයේ හමුවන ගංගාවන් හරහා එතෙර වූවේ පාලම් මතින්ද නැතහොත් පාරුවක උපකාරයෙන්ද ආදී තොරතුරුද එහි අන්තර්ගතය. එසේම එම ඇතැම් ස්ථාන වල තිබූ තානායම් ගැනද සඳහන් වේ. මේ ලිපියේ ප්‍රමුඛ අරමුණ එම මාර්ගය සම්බන්ධයෙන් නොවන බැවින් ඒ පිළිබඳව තොරතුරු මෙහි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.) කෙසේ නමුත් එම මාර්ගය ඉහත ස්ථාන නාම අනුව බැලූ කල පැහැදිලිවම මහනුවර සිට පේරාදෙණියට පැමිණ එතැන් සිට වර්තමානයේ A5 ලෙසින් හැඳින්වෙන පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ බදුල්ල දක්වා කොටස බව පැහැදිලිවේ. 

Kandy - Badulla Lower Road  through Goneganwa

අපගේ ප්‍රස්තුතයට වැදගත් වන්නේ මහනුවර සිට බදුල්ල දක්වා එවකට වූ අනෙක් මාර්ගයයි. Lower Road (From Kandy to Badulla by "Lower Road" through Goneganwa) ලෙසින් හැඳින්වෙන එම මාර්ගය සම්බන්ධයෙන් ඉහත Ferguson's Ceylon Directory වල 1940 දශකය දක්වාම කිසියම් හෝ තොරතුරක් හමුවේ. 1871-72 වාර්තා වල ඉහත සඳහන් කල මුල් මාර්ගය ගැල් පාරක් (Carriage Road) ලෙසින් හැඳින්වෙද්දී Lower Road මාර්ගය හැඳින්වෙන්නේ හාරගම ඔය දක්වා කරත්ත ගමන් කල හැකි මාර්ගයක් බවත් එතැන් සිට පටු පාරක් (Bridle Road) ලෙසින් වූ බවත්ය (From Kandy to Harrackgam Oya passable for carts. Beyond that Bridle Road).  

එම වාර්තා වල සඳහන් ස්ථාන නාම වර්තමාන නම් හා ගැලපීමෙන් මාර්ගය මේ ආකාරයෙන් හඳුනාගත හැක. මහනුවර [Kandy] සිට කුන්ඩසාලේ [Kondesally] දක්වා ගොස් (සැතපුම් 3) එහිදි තලාතු ඔයේ පාලමෙන් (පලල අඩි 5) [Tallat Oya Bridge] එතර වී (පසු වාර්තා වල දැක්වෙන පරිදි කුණ්ඩසාලේ සිට තලාතු ඔය පාලම දක්වා සැතපුම් 1.5 ක දුරක් ඇත.) එතැන් සිට තවත් සැතපුමක් ගොස් ගෝනවත්ත තොටට [Gonawatte Ferry] ලගාවී, එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගොස් හාරගම ඔය [Harrackgam Oya] දක්වා පැමිණ [හාරගම ඔය අසලදී මතුරට දක්වා යන මාර්ගය හමුවේ],  එතැන් සිට තවත් සැතපුම් 2 ක් ගොස් මහ ඔය තොටුපලින් [Maha Oya Ferry] එගොඩ වී ගෝනගමුව [Gonnegamwa] දක්වා වූ සැතපුම් 3 ගමන් කල විට දියබුබුල දුර්ගය මුදුනේ එම ගම හමුවේ [Top of Diaboobela pass, village]. එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගිය තැන බෙලිහුල් ඔයේ තොටුපල [Billahool Oya Ferry] හමුවේ. එම තොටුපලින් එතර වී කුරුඳු ඔය [Kooroade Oya] දක්වා යෑමට ගමන් කල යුතු දුර සැතපුම් 4 කි. කුරුඳු ඔයෙන් එතර වීමට නොගැඹුරු ජලයේ බැස යා යුතු බව එය Ford ලෙසින් හඳුන්වා තිබීමෙන් පැහැදිලි වේ. ගමන් මාර්ගයේ ඉන්පසු හමුවන්නේ උමා ඔයයි [Ooma Oya ferry]. කුරුඳු ඔයේ සිට උමා ඔය දක්වා යෑමට සැතපුම් 5 ක් ගමන් කල යුතුය. උමා ඔයේදි හමුවන්නේ ඔරුවකින් එගොඩ විය යුතු තොටුපලකි. එහි මුල් වරට මේ මාර්ගයේ තානායමක් [Rest house] වූ බවද සඳහන්ය. එතැන් සිට බදුල්ල දක්වා වූ මාර්ගයේදි නැවතත්  වේල්ල ඔය [Vella Oya] නම් වූ බැස එගොඩ විය යුතු ඔයක් සැතපුම් 6 ගිය තැන හමුවේ. ඉන්පසු නැවතත් තානායමක් තල්දෙන  [Taldene] නම් ස්ථානය දක්වා සැතපුම් 9 ක් ගමන් කල විට හමුවේ. මේ ස්ථානයේදී මාර්ගය දෙකට බෙදෙන අතර එක් මාර්ගයක් මඩකලපුව දක්වා විහිදේ [Road branches off to Batticaloa]. බදුල්ලට යොමු වන අනික් මාර්ගයේ එතැන් සිට බදුල්ලට ඇති දුර සැතපුම් 10 ලෙස සඳහන් වේ. මහනුවර සිට මේ මාර්ගයේ ඒ අනුව මුළු දුර සැතපුම් 54 ක් ලෙස දැක්වේ. ඉහත සඳහන් කල අනෙක් මාර්ගයේ මුළු දුර සැතපුම් 84  ලෙසින් දක්වා ඇති බැවින් මෙම මාර්ගය දුරින් අඩු බව පෙනේ.

මින් පසු කිහිප අවස්ථාවකම ඉහත දුර ප්‍රමාණයන් වල යම් යම් වෙනස්කම් සහිතව මෙම මාර්ගය ගැන විස්තර හමුවේ. පහත දැක්වෙන්නේ 1905 වර්ෂයේ එම දුර ප්‍රමාණයන් සහ විස්තර දැක්වෙන වගුවයි. 1905 වර්ෂය වන විට බෙලිහුල් ඔය හරහා අශ්වයන්ට ගමන් කල හැකි මට්ටමේ පාලමක් වූ බව ඉන් පැහැදිලි වේ. එසේම උමා ඔයෙන් එතර වීම දැක්වෙන්නේ Ferry ලෙසින් නොව Ford ලෙසිනි. මාර්ගයේ මුළු දුර සැතපුම් 58.75 ලෙසින් මෙහි දැක්වෙන අතර, සිංහල නම් ඉංග්‍රීසියෙන් ලිවීමේදි මුල් කාලයේදීට වඩා වෙනස් වඩාත් නිවැරදි ශබ්දය එන ලෙසින් ලියා ඇති අයුරුද දැක ගත හැක.

ඉන්පසු 1912 වර්ෂය සඳහා වූ වගුව පහතින් දැක්වෙන අතර එහි මීට පෙර සඳහන් කල තොරතුරු වලට අමතරව කුන්ඩසාලේදී ඉලුක්මෝදර තොටුපල හමුවන බව සඳහන් වේ. කුණ්ඩසාලේ පිහිටන්නේ මහවැලි ගඟේ වම් ඉවුරේ වන අතර තලතු ඔය එහි දකුණු ඉවුරේ වේ. එමෙන්ම මෙහිදී තලාතු ඔය පාලම Kershaw's Bridge ලෙසින් හඳුන්වා ඇත. මහ ඔයදී පැරණි බදුල්ල මාර්ගය වම් පසට විහිදෙන බවද මෙහි සඳහන් වේ (Old bridle road to Badulla on Left)

1914 වන විට කුරුඳු ඔය හරහාද Horse Bridge ලෙසින් හැඳින්වෙන පාලමක් ඇති බවට සඳහන් වේ. මේ කාලය වනවිටත් කරත්ත ගමන් කල හැක්කේ හාරගම ඔය දක්වා පමණක් වන අතර හාරගමදී දකුණු පසින් හඟුරන්කෙත සහ මතුරට දක්වා යොමුවූ මාර්ග හමුවන බව සඳහන් වේ.

මින් පසු 1942 වර්ෂය දක්වාම Ferguson's Ceylon Directory  වල මෙම මාර්ගය මෙරට ප්‍රධාන මාර්ග ලැයිස්තුවේ (Principal Roads in Ceylon) දක්වා ඇති මුත් පෙර පරිදි එහි එක් එක් ප්‍රධාන සංදිස්ථාන වලට ඇති දුර ප්‍රමාණ හෝ අනෙකුත් විස්තර අඩංගු නොවේ. මෙම තොරතුරු වලට අමතරව මහනුවර - බදුල්ල Lower Road මාර්ගය පිළිබඳව අපට හමුවන තවත් වැදගත් තොරතුරක් නම් ශ්‍රීමත් හෙන්රි වෝඩ් (Henry Ward) ආණ්ඩුකාරවරයාගේ සමයේ (1855-1860) ඔහු විසින් බදුල්ලේ කෝපි වතු වල නිෂ්පාදන පහසුවෙන් මහනුවර දක්වා ගෙන ඒම උදෙසා මෙම මාර්ගය පිළිසකර කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ බවය. එහෙත් දරන්නට සිදුවන අධික වියදම නිසා එම ව්‍යාපෘතිය අතහැර දමන ඔහු වර්ෂ 1857 දී ඒ වෙනුවට බදුල්ල - නුවරඑළිය මාර්ගය පිළිසකර කිරීම අරඹයි. 

ඉහත සඳහන් තොරතුරු වලින් පමණක් මෙම මහනුවර - බදුල්ල මාර්ගයේ පිහිටීම පිළිබඳව දල අදහසක් විනා එය සිතියමක සටහන් කිරීමට අවශ්‍ය දත්ත හමු නොවේ. එහෙත් මහනුවර සිට මුල් කොටසේදී එය මහවැලි ගඟේ දකුණු ඉවුර ඔස්සේ ගොස් ඉළුක්මෝදර තොටුපල පසුකර තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ පිහිටි  Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම හරහා ගමන් කරයි. එම ස්ථාන දෙකම අඟලේ සිතියම් වල ලකුණු කර ඇත. එම ස්ථානයේදී තලාතු ඔය සහ අම්පිටිය දක්වා යන මාර්ගය හමුවේ. ගෝනවත්ත තොටුපලද පැරණි මහනුවර අඟලේ සිතියමේ හඳුනාගත හැක. (මෙම මාර්ගය හඳුනාගැනීම උදෙසා භාවිතා කරන මහනුවර සහ හඟුරන්කෙත අඟලේ සිතියම් මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ වික්ටොරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදිවීමට පෙර අඳින ලද ඒවාය.)

සිතියම 1 - මහනුවර සිට ගෝනවත්ත තොටුපොල දක්වා මාර්ගය පැරණි අඟලේ සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත හැක. ඉලුක්මෝදර තොටුපොල, Kershaw's bridge සහ ගෝනවත්ත තොටුපොල මෙහි සලකුණු කර ඇත. එසේම තලාතු ඔය (නිල් පැහැයෙන් ) සහ එම නමින් යුතු නගරය කරා යන මාර්ගය (කොළ පැහැයෙන්) දක්වා ඇත.  

තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ ඉදිකර ඇති Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම (Google Street View ඇසුරින්. එම පාලම පිහිටි මාර්ගය පැරණි මහනුවර මාර්ගය ලෙස Google Map වල දක්වා ඇත.)

ගෝනවත්ත තොටුපලින් පසු මාර්ගයේ වැදගත් සන්දිස්ථානයක් ලෙස දැක්වෙන්නේ හාරගම ඔයයි. 1914 දක්වාම කරත්ත පාරක් ලෙස මාර්ගය තිබී ඇත්තේ මෙම ස්ථානයට වන තුරු පමණි. හාරගම ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට හඟුරන්කෙත හරහා මතුරටට මාර්ගය ඉහත විස්තර වන ආකාරයෙන්ම දකුණු පසින් දක්වා ඇත. හාරගම ඔයෙන් පසු මහ ඔය හමුවන අතර අඟලේ සිතියම් වල මාර්ගය වාහන ගමනාගමනය කල හැකි මාර්ගයක් ලෙසට මහ ඔයෙන් පසු ගෝනගමුව දක්වාම සලකුණු කර ඇත (සිතියම් වල ගෝනගමුව දැක්වෙන්නේ ගෝනගම්පිටිය ලෙසිනි.  Ferguson's Ceylon Directory වල සඳහන් වන දියබුබුල දුර්ගය අඟලේ සිතියමේ සලකුණු කර නොමැති වුවත් භූගෝලිය ලක්ෂණ අනුව ගෝනගම්පිටිය පිහිටා ඇත්තේ ඒවායේ දැක්වෙන පරිදිම දුර්ගයක මුදුනත බව හඳුනාගත හැක.) ගෝනගම්පිටියේ සිට එම මාර්ගය හඟුරන්කෙත දක්වා යොමුවන අතර අපගේ ප්‍රස්තුතයට අදාල මාර්ගය ගෝනගම්පිටියේ සිට කුඩා අඩි පාරක් ලෙස අඟලේ සිතියම් වල දක්වා ඇත. පහත සිතියම 2 බලන්න (එහි හාරගම ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට මතුරට මාර්ගය කොළ පැහැයෙන් ලකුණු කර ඇත. කහ පැහැයෙන් දැක්වෙන්නේ Lower Road මාර්ගයයි. වම් පස සිට පිළිවෙලින් නිල් පැහැයෙන් මතු කර ඇත්තේ. හාරගම ඔය , මහ ඔය සහ බෙලිහුල් ඔයයි. ලා නිල් පැහැයෙන් දැක්වෙන්නේ මහවැලි ගඟයි)

සිතියම 2
ගෝනගම්පිටියේ සිට කුඩා අඩි පාරක් ලෙසින් දැක්වෙන මාර්ගයේ ඊලග සංදිස්ථානය වන්නේ එය බෙලිහුල් ඔයෙන් එතෙර වෙන ස්ථානයයි. ඉන්පසු එය පිළිවෙලින් කුරුඳු ඔය සහ උමා ඔයෙන් එතෙර වන ස්ථාන දක්වාම අඟලේ සිතියම් වල බොහෝ දුරට අඩි පාරක් ලෙසින් සටහන් වී ඇත.එහෙත් බෙලිහුල් ඔයත් කුරුඳු ඔයත් අතර මාර්ගයේ මුළු දුරින් අඩක් පමණ දුරක් කුරුඳු ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට බෙලිහුල් ඔය දෙසට වන්නට කරත්ත පාරක් ලෙසින් සලකුණු කර ඇත. ඉන්පසු උමා ඔය තරණය කිරීමෙන් පසු සැලකිය යුතු දුරක් යනතෙක් එය කරත්ත පාරක් ලෙසින් ගොස් නැවත සුළු දුරක් අඩි පාරක් බවට පත්වී ඉන්පසු බදුලු ඔයට ආසන්නවීමත් සමග ප්‍රධාන පාරක් බවට පත්වේ. ඉන්පසු බදුලු ඔයේ අතු ගංගාවක් වන වේල්ල ඔයෙන් (?) එතෙර වන අතර මෙය ඉහත Ferguson's Ceylon Directory වල Wella Oya Ford ලෙසින් දක්වා ඇත. ඉන්පසු බොහෝදුරට බදුලු ඔයට සමාන්තරව විහිදෙන මාර්ගය තල්දෙන දක්වා ගොස් එතැන් සිටද බදුලු ඔය නිම්නය ඔස්සේම බදුල්ල දක්වා ලඟාවේ. අඟලේ සිතියම් වල මේ කොටස ප්‍රධාන මාර්ගයක් ලෙසින් පෙන්වා ඇති අතර එය වර්තමාන B36 බදුල්ල-කරමැටිය-ආඳාඋල්පත මාර්ගයයි.  පහත සිතියමේ මේ සියළු ස්ථාන සහ පැරණි මාර්ගය ( කහ පැහැයෙන් ) ලකුණු කර ඇත.

මාර්ගයේ අද තත්වය. 

ඉහත පැරණි මාර්ගය අඟලේ සිතියම් වල දැක්වෙන අකාරය මහවැලි ව්‍යාපාරයේ වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ සහ රජ මාවත ඉදිවීමෙන් පසු සිදුවූ වෙනස්කම් නිරූපණය වන සිතියමක සටහන් කල විට දැක්වෙන ආකාරය පහත දැක්වේ. මහනුවර සිට හාරගම දක්වා පැරණි කරත්ත පාර ප්‍රධාන මාර්ගයක් ලෙස අදද දක්නට ඇත (සිතියමේ කළු පාටින්). පැරණි මාර්ගයේ හාරගමින් පසු යම් දුරක් සහ නැවතත් මහ ඔයෙන් එගොඩ වූ පරණ තොටුපල පිහිටි ස්ථානයෙන් පසු තරමක දුරක් වික්ටොරියා ජලාශයට යටවී ඇත (සිතියමේ නිල් පැහැයෙන් දක්වා ඇත). ඉන්පසු  මහ ඔයේ සිට ගෝනගමුව පසු කර බෙලිහුල් ඔය දක්වා ඇති දුරින් වැඩි ප්‍රමාණයක වර්තමාන රජ මාවත එම පැරණි මාර්ගයට අනුරූපව ඉදි කර ඇති බව පෙනේ (සිතියමේ රජ මාවත සුදු පැහැයෙන් සහ පැරණි මාවත කළු පැහැයෙන්.). බෙලිහුල් ඔය ආසන්න වෙත්ම රජ මාවත පැරණි මාර්ගයෙන් අපගමනය වන අතර ඉන්පසු උමා ඔය හමුවන තෙක්ම පැරණි මාර්ගය වර්තමාන රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වලට යටවී ඇත. උමා ඔයේ සිට නැවතත් රජ මාවත තරමක දුරක් පැරණි  මාර්ගයට අනුරූපව තනා ඇති බව පෙනේ.  

ඉන්පසු නැවතත් රන්ටැඹේ ජලාශයෙන් පටන් ගන්නා මිණිපේ දකුණු ඉවුරු ඇල හෙවත් ලොග්ගල් ඔය ඇල පටන් ගන්නා ස්ථානයේ සිට කිලෝමීටර් 1.4 පමණ ගිය පසු රජ මාවතේ දකුණු පසට විහිදෙන පැරණි මාර්ගය අදද භාවිතා වන අතර (පහල සිතියමේ කළු පැහැයෙන්) එය මද දුරක් ගිය පසු පැරණි මාර්ගයට අනුරූපව අද ඉදිවී ඇති කන්දෙකැටිය-මහ කැලේ-රජ මාවත මාර්ගය (එම කොටස සිතියමේ නිල් පැහැයෙන් දක්වා ඇත.) හා එක්වේ. ඉන්පසු කන්දේකැටිය නගරය දක්වාම එම මාර්ගය අඩු වැඩි වශයෙන් පැරණි මාර්ගයට අනුරූපව ඉදිවී ඇති බව පෙනේ. කන්දේකැටිය නගරය පසු කල පසු එම පැරණි මාර්ගයට අනුරූපව අද ඉදිවී ඇති මාර්ග වන්නේ කිලෝමීටර 2 ක් පමණ දුරට ගල්ලන්ද-කන්දේකැටිය මාර්ගය (සිතියමේ රතු පැහැයෙන්) සහ ඉන්පසු තවත් කිලෝමීටර් 2.3 කට ආසන්න දුරක් කන්දේකැටිය-සොරණාතොට මාර්ගයයි (සිතියමේ කොළ පැහැයෙන්). 

ඉන්පසු පැරණි මාර්ගය වඩාත් බදුලු ඔයට ආසන්නව ගමන් කරන අතර Google Satellite View මගින් තල්දෙන දක්වාම හඳුනාගත හැක. ඉහත කන්දේකැටිය-සොරණාතොට (පහත රූපයේ කොළ පැහැයෙන් දක්වා ඇත ) මාර්ගයෙන් වෙන් වන ස්ථානයේ සිට මාර්ගයේ එම කොටසේ මුල් කොටස පමණක් පහත රූපයේ කහ පැහැයෙන් මතු කර ඇත.  තල්දෙන සිට බදුල්ල දක්වා පැරණි මාර්ගයට අනුරූපව අද ඉහත විස්තර කර ඇති පරිදි B36 මාර්ගය ඉදිවී ඇත.



Sunday, March 18, 2018

පයිබස්ගේ ගමන් විස්තරය 1 - මුතූර් සිට පංගුරාණට

වර්ෂ 1762 දී මදුරාසියේ සිට ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය සමාගමේ (English East India Company) නිලධාරින් පිරිසක් කන්ද උඩරට  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ සභාවට දූත ගමනක යෙදුනේ රජු සමග ගිවිසුමකට එකඟවීම සඳහා සාකච්චා කිරීමටය. එම දූත පිරිසේ නායකත්වය මදුරාසි කවුන්සිලයේ සාමාජිකයෙකු වූ (A member of the Madras Council)  ජෝන් පයිබස් (John Pybus) හට හිමිවූ අතර ඔහු 1762 මැයි මස 5 වන දින ත්‍රිකුණාමලය වරායේ සිට ගමන් අරඹා, දින 13 ක දුෂ්කර ගමනකින් පසු ගන්නෝරුවට ලඟා වේ. ඒ වන විට මෙරට මුහුදු බඩ ඇතැම් ප්‍රදේශ ලන්දේසීන්ගේ පාලනය යටතේ පැවතුන අතර ලන්දේසින් මෙරටින් පලවා හැරීමට ඉංග්‍රීසින්ගේ මිත්‍රත්වය හරහා යුද ආධාර ලබාගැනීම රජුගේ අරමුණ වුවද, ලන්දේසීන් සමග යුද නොවදින තීරණයක සිටි ඉංග්‍රීසින් එම ඉල්ලීමට ඒ වන විට එකඟ විය හැකි තත්වයක සිටියේ නැත. කෙසේ නමුත් පයිබස්ගෙ දුත ගමන සඳහා ඇරැයුම ඉදිරිපත් වන්නේ මෙරට සිට මදුරාසියට ගිය රජුගේ නියෝජිතන් මගින් වන අතර පයිබස්ගේ දූත ගමන රාජ්‍යතාන්ත්‍රික මිත්‍ර ගිවිසුමකට එලඹීමට වඩා මෙරට තොරතුරු එකතු කර ගැනීම සඳහා වූ ඔත්තු සේවා ගමනක් කර ගැනීම පෙරදිග ඉන්දීය සමාගමේ අරමුණ වූ බව පෙනේ.

කෙසේ නමුත් පයිබස් මෙරටදී ඔහුගේ ක්‍රියාකාරකම්, ඔහු දුටු දේ මෙන්ම ත්‍රිකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා සිය ගමන් විස්තරය සටහන් කර තැබූ අතර එහි සඳහන් වන දෑ එම යුගයේ මෙරට සමාජ ආර්ථික තත්වයන්, රාජ සභාවේ සිරිත් විරිත් මෙන්ම ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා වූ ගමන් මාර්ගය පිළිබඳවද වූ අගනා තොරතුරු එකතුවක් ලෙස සැලකිය හැක. මෙම ලිපි පෙලින් ත්‍රිකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා වූ ඔහුගේ ගමන් විස්තරයේ අඩංගු වැදගත් කරුණු ඉදිරිපත් කිරීම සහ ඒ මගින් එම පුරාණ මාර්ගය නැවත මතු කර ගැනීමට උත්සාහ කරණු ලැබේ.

මැයි 5 දින උදෑසන 3 ට සිය නැවෙන් පිටත් වන පයිබස් පෙරවරු 5.15 ට පමණ කොට්ටියාර් ගඟේ (Cottiar River) මෝයේ සිට සැතපුමක් පමණ ඇතුලතින් වූ මුතූර් (Moodoore) ගම්මානයට පැමිණේ. ඔහු සඳහන් කරන පරිදි මෙම ගමද අයත් වන මුළු ප්‍රදේශයම කොට්ටියාර් ලෙස හැඳින්වෙන අතර එහි මුලෑදෑනින් තුන් දෙනෙකුට (Head Men) අයත් ගම් 64 ඇති අතර ඔවුන් මහනුවර (Candia) වසන සිය ප්‍රධානියා (General) වෙනුවෙන් එම ගම් පාලනය කරයි. ගම් වැසියන් චෝලියාර් සහ මලබාර් (Choliars & Malabars) වරු වූ බව පයිබස් වැඩිදුරටත් සඳහන් කරයි (චෝලියාර් සහ මලබාර්වරු ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට Link>>). ඉංග්‍රිසීන් එනවිට නැගෙනහිර පළාතේද තිබුනායැයි දෙමළ ජාතිවාදීන් පවසන ඊණියා දෙමළ රාජ්‍යය මිත්‍යාවක් බව පයිබස්ගෙ ගමන් විස්තරයෙන්ද පැහැදිලි වන්නේ General who resides at Candia ලෙස පයිබස් හඳුන්වන කොඩ්ඩියාර් පත්තුව පාලනය කල දිසාවේ වරයා මහනුවර සිටි රජු යටතේ ඔහු වෙනුවෙන් සේවය කල බව එමගින්ද පැහැදිලි වන හෙයිනි. (කඩයිම් පොත් වල කොටසර රට ලෙසත් මහාවංශයේ අවස්ථා කිහිපයකදීම කොට්ටිවාල/කොට්ටසාර ජනපදය ලෙස හැඳින්වෙන්නේත් මෙම ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත.)
සිතියම 1
පෙරවරු 6 පසුවී විනාඩි 40 ට ඔහුට මග පෙන්වීමට පැමිණ සිටි බලයලත් පුද්ගලයා (Vackeel) සමගින් ගමන් අරඹන පයිබස් කැලෑබද පාරක් හරහා ගමන් කර පෙරවරු 8.30 ට පමණ පෙරියවෙල්ලී (Perriavelly) නම් වූ කුඩා ගම්මානයට පැමිණෙන්නේ ඔහු පවසන පරිදි සැතපුම් 7 ක ගමනකින් පසුවය. මෙය දැනට මුතූර් සිට සැතපුම් 4.5 පමණ දුරින් ඇති පෙරියවේලි (Periaveli) ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. (සිතියම 1 සහ 2 බලන්න) . එතැන් සිට සැතපුම් තුන්කාලක් පමණ ගිය තැන Malledeve නම් වූ ගම්මානයක් හරහා යන පයිබස් Malledeve සිට සැතපුම් 4 ක දුරින් වූ Meangamo ගම්මානය පසු කර පෙරවරු 11 ට Clevetty නම් වූ ගම්මානයට පැමිණේ. Malledeve ලෙස හැඳින්වෙන ගම්මානය වර්තමානයේ මල්ලිකායිතිව් (Mallikaitivu) ලෙසද, Meangamo, මෙන්කාමම් (Menkamam) ලෙසද Clevetty  කිලිවෙඩ්ඩි (Kiliveddi) ලෙසද හඳුනාගත හැක. කෙසේ නමුත් පයිබස් සඳහන් කරන දුර ප්‍රමාණයන් වල යම් යම් වෙනස් කම් ඇත. මල්ලිකයිතිව් ගම්මානයට ඔහු සඳහන් කරන දුර නිවැරදි මුත් මෙන්කාමම් සහ කිලිවෙඩ්ඩි පිළිවෙලින් සැතපුම් 2 (මල්ලිකයිතිව් සිට) සහ සැතපුම් 1 (මෙන්කාමම් සිට) දුරින් පිහිටා ඇත. 
මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී ගම්වැසියන් විසින් ඔහුට බත්, කුකුලන් සහ වෙනත් දෑ සැපයූ අතර එය රජුගේ නියමයෙන් ඔහු හමුවීම සඳහා පැමිණෙන වැදගත් පුද්ගලයන්ට ඉටු කල යුතු රාජකාරියක් බවත් ඔහුගේ මුළු ගමන පුරාම එය එසේ සිදුවනු ඇති බවත් ඔහුට දැනගැනීමට හැකිවූ බවත් පයිබස් සඳහන් කරයි. සුදු තිර රෙදි වලින් සැරසූ කුඩා මලබාර් නිවසක එදින පයිබස් රැය ගත කරන අතර එසේ තිර රෙදි එලීම වැදගත් ප්‍රභූ පුද්ගලයන්ට ගෞරවයක් ලෙස මේ රටේ ඉටු කරන බවත් ඔහු පවසයි. 
සිතියම 2
පසු දින උදෑසන 5 ට පමණ ඔහුගේ පල්ලැක්කිය ඔසවාගෙන යෑමට යෙදවූ අලුත් පිරිස සමග ගමන් අරඹන පයිබස් කිලිවෙඩ්ඩි සිට සැතපුමක් පමණ ගොස් කැලෑව තුලට ඇතුළු වන අතර පෙරවරු 10.30 ට පමණ කොට්ටියාර් දිස්ත්‍රික්කයේ මායිම වන මහවැලි ගඟ (Mavalay Ganga River) අසලට පැමිණෙන තෙක්ම අතහැර දැමූ Temmungalay නම් වු එක් කුඩා ගම්මානයක් මිස වෙනත් කිසිදු ජනාවාසයක් නොදුටු බව පවසයි. (මෙම ගම්මානය අද වනවිට හඳුනාගත නොහැක.) දහවල් 12 වනතුරු ඔහුගේ ගමන් මළු ආදිය ඔසවාගෙන යෑමට ගඟෙන් එතෙර පලාතෙන් යොදවා සිටි මිනිසුන් එනතෙක් බලා සිටින පයිබස් හට එම ප්‍රදේශයේ මුලෑදෑනින්ගේ පණිවුඩකරුවෙන් පැමිණ පවසා සිටින්නේ ඔවුන්ට අවශ්‍ය කරන මිනිසුන් එකතු කරගැනීමට නොහැකි වූ බැවින් කොට්ටියාර් පලාතේ මිනිසුන්ටම ඔහුව ගඟින් එගොඩ කර ගෙන එන ලෙසය. එයට එකඟ වන ඔවුන් ඔහුව සොන්ගාවැලි (Songa Valley) දක්වා රැගෙන යයි. එය වර්තමානයේ සුංගාවිල ලෙස හැඳින්වෙන ප්‍රදේශය ලෙස පහසුවෙන් හඳුනාගත හැක. 
කන්දකාඩු අසලදී මහවැලි ගඟ
ගඟෙන් එගොඩ වූ තැන් සිට සැතපුම් 2.5 ක දුරින් එම ගම වූ බව පයිබස් පවසයි. (පයිබස් මහවැලි ගඟ තරණය කල ස්ථානය බොහෝදුරට කන්දකාඩු තොටුපොල විය හැකි බවය ඔහුගේ ගමන් විස්තරය සංස්කරණය කර පල කල රේවන් හාර්ට් (R. Raven-Hart) අනුමාණ කරන්නේ). සුංගාවිල ගමේ ගෙවල් පහ හයකට වඩා නොවූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. Tommangany (තමණ්කඩුව) ලෙස හැඳින්වූ සුංගාවිල ගමද අයත් වන මෙම ප්‍රදේශයේ සිංහල ජනයා (Chingalese) විසූ බවත් එහි ගම්මාන 60 ක් වූ බවත් ඔහුට දැනගන්නට ලැබී ඇත.
සුංගාවිල-සෝමාවතී මාර්ගය 2008
පසුදින (මැයි 7) පෙරවරු 11.45 ට සුංගාවිලෙන් ගමන් අරඹන පයිබස් පෙරදින පැමිණි මාර්ගයේම සැතපුමක් පමණ ආපසු ගමන් කර ඔහුගේ ගමනාන්තය යෙදී ඇති දිශාවට වැටී ඇති මාර්ගයට අවතීර්ණ වී, කැලෑව මැදින් සැතපුම් 3.5 ක් පමණ ගමන් කර මාර්ගයේ දකුණු පසින් වූ අඩම්බන් (Adambun) නම් වූ කුඩා ගම්මානයක් පසු කරයි. එම ගමේ ගෙවල් 4-5 කට වඩා නොවූ බවය ඔහුගේ අදහස. මෙය අඩම්පන් කුලම් (Adampan Kulam) ලෙස වර්තමානයේ හැඳින්වෙන ගම්මානය ලෙස හඳුනාගත හැක. එතැන් සිට සැතපුම් 6-7 පමණ නැවතත් කැලෑව මැදින් මාර්ගය වැටී තිබූ බවත් ඉන්පසු වගා නොකල විශාල තැනිතලා බිම් හරහා වැටි තිබූ මාර්ගයක අවසානයේ පස්වරු 5 ට පමණ Ridduvily (හඳුනාගත නොහැක.) නම් වූ සරුසාර කුඹුරු යායක් සහිත ගෙවල් 6-7 පමණ වූ  ගම්මානයක් පසු කල බවත්, එතැන් සිට මාර්ගයේ දෙපසට වෙනත් ගම්මාන වලට යන පාරවල් දැකිය හැකි වූ බවත් පයිබස් සඳහන් කරයි. හිරු බැස යන වේලාව වන විට ඔහු චෝලියාර්වරු (Choliars) වෙසෙන පන්ගරනෙයි(Pangaraney)  නම් වු ගම්මානයකට ලඟාවේ. පන්ගුරාණ(Pangurana) ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ගම්මාන දෙකක්ම මෙම ප්‍රදේශයේ හමුවන මුත් ඒ ආශ්‍රයෙන් පැරණි මාවත හඳුනාගැනීම තරමක් දුෂ්කරය. පයිබස් සඳහන් කරන Pangaraney මෙම එක් ගමක් විය හැක.
සිතියම 3
කෙසේ නමුත් පයිබස් වැඩිදුරටත් සඳහන් කරන්නේ නිවාස 10 ක් පමණ වූ මෙම Pangaraney ගම්මානය අසලින් Cowdaly ගඟේ ශාඛාවක් ගලා ගිය බවය. අප ඉහත සඳහන් කල එක් පංගුරාණ ගමක් අසලින් වර්තමානයේ කහඹිලියා ඔය ලෙසින් හැඳින්වෙන කවුඩුලු ඔයේ ශාඛාවක් ගලා යන බැවින් සහ පයිබස් සඳහන් කරන Cowdaly නිසැකවම කවුඩුලු ඔය ලෙස හඳුනාගත හැකි බැවින්, ඔහු සඳහන් කරන Pangaraney, සුංගාවිලට උතුරු දෙසින් සැතපුම් 3 පමණ දුරින් වූ පංගුරාන ලෙස හඳුනාගත හැක. එහෙත්මෙම දිනය තුල පයිබස් ගමන් කල මුළු දුර සැතපුම් 21 ලෙස සඳහන් වෙන හෙයින්. සහ අඩම්පන්කුලම් නම් ප්‍රදේශයක් පසු කල බව පවසන හෙයින් සිතියම 2 දැක්වෙන ලෙසින් ඔහු පාර වැරදී දිගු දුරක් වෙනත් දෙසකට ගිය බවක් හැඟි යයි. 
පංගුරාණ ගම සහ ඒ අසලින් ගලා යන කවුඩුලු ඔයේ අතු ගංගාව- කහඹිලියා ඔය
Pangaraney ගමෙහි එදින රැය ගත කරන පයිබස් හට දැනගන්නට ලැබෙන පරිදි එම ගමේ සිට මඩකලපුවට (Battacola) දවසේ උදෑසනම නික්මෙන පුද්ගලයෙකුට පසු දින හවස් වන විට එහි ලඟා විය හැක. සුංගාවිලෙන් පැමිණි පුද්ගලයන් ආපසු ගොස් ඇති බැවින් ඔහුගේ පල්ලැක්කිය සහ ගමන් මළු ඔසවාගෙන යෑමට යෙදවූ වෙනත් පුද්ගලයන් පැමිනෙන තෙක් පයිබස් පසු දිනද (මැයි 8) එම ගමෙහිම නැවතී සිටි. පංගුරාණ ගමෙහි සිට පයිබස් ගිය ගමන් මග අප ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.p> Deraniyagala, Reprinted 2001
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.


Thursday, June 8, 2017

දියතිලකපුර හරහා මතුරට සිට සිරිවද්දන පුරවරට...

මග සලකුණ නම් වූ පැරණි පුස්කොල පොතක එන කවි අනුසාරයෙන් බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක් පිළිබඳව වන මෙම ලිපිය එම ලිපි පෙලේ සිව්වන සහ අවසාන ලිපියයි. පෙර ලිපි සඳහා
සැඩ නල එකත් මැඩගෙන මෙර සිඳු දෙරණ
රකින කග පලහ ගෙන ඉදිරියට පැන
නොමින විකුම් යුතු සෙබලුන් මුර කරන
ගමන යෙහෙකි සකි මතුරට කඩවතින

ඉහත කවියේ කියවෙන ලෙසට මග සලකුණ ලිවූ කාලයේ මතුරට සෙබලුන් මුර කරන කඩවතක් තිබී ඇත. පසු කාලයේ ඩේවි මතුරටින් යනවිට එහි තිබී ඇත්තේ ඉංග්‍රිසි යුද භටයන් සිටින බල කොටුවකි. ඉංග්‍රිසින් මෙම මාර්ගයේ උපාය මාර්ගික වැදගත්කමින් යුත් ස්ථාන වල බලකොටු ඉදි කිරීමට ප්‍රථමයෙන් සිංහල රජවරුද එම ස්ථාන වල ඇති වැදගත්කම වටහාගෙන සෙබලුන් රැඳවූ බව පෙනේ (සසදන්න දොඩම්වතුකපල්ල පසුකල විට හමුවන කඩවත සහ පසු කලක එහි පාමුල ඉදි කල මැක්ඩොනල්ඩ් කොටුව සමග)
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ ඇති මාර්ගය
ඩේවිගේ විස්තරයට අනුව මතුරට(Maturatta) කොටුව කුඩා කඳු ගැටයක් මත, මුහුදු මට්ටමේ සිට අඩි 2700 පමණ උසින්  සහ පහල නිම්නයේ සිට අඩි 1000 පමණ ඉහලින් පිහිටා ඇත. කොටුවේ සිට සැතපුම් 2 පමණ දුරින් කන්දක පැත්තකින් (Side of the Mountain) තිබූ වෙඩි ලුනු ගුහාවක් (Nitre Cave) පිළිබඳවද ඩේවි විස්තර කරයි.
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ  ඇති මාර්ගය
මතුරට සිට දියතිලක පුරට
මග සලකුණ විස්තරයට අනුව මතුරට කඩවතින් පසු බෙලිහුල් ඔය සිරි නරඹා පදියපැලැල්ලෙන් ළඳුන් බලා යා ගන්නා ලෙස පවසයි. ඉන්පසු හමුවන කොස්රුප්ප පසු කර ගිය පසු හමුවන මැටිවල අම්බලමේ ඉඳ, එතනින් නික්ම වලුගන්හින්න පසු කර රිකිල්ලගස්කඩින් ගොස් මාදන්වල විහාරය වැඳ මග සලකුණ මගියා පිවිසෙන්නේ දියතිලක පුරයටය.
පදියපැලැල්ලේ සිට රිකිල්ලගස්කඩට මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම මෙසේ යොමු වී තිබුණා විය හැක
මෙම ස්ථාන නාම වලින් බෙලිහුල් ඔය, පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ, මාදන්වල විහාරය (මාදන්වල  රජමහා විහාරය ලෙසින්) සහ දියතිලකපුර (වර්තමාන හඟුරන්කෙත) වැඩි අපහසුවක් නැතිව හඳුනාගත හැක. ඒ අනුව පැරණි මාර්ගය මෙම සිතියම් වල දැක්වෙන ආකාරයෙන් තිබුණා විය හැක.
ඩේවි ඒදණ්ඩක් (Singalese Bridge) මතින් බෙලිහුල් ඔයෙන් එතෙර වූ ස්ථානය විය හැකි ස්ථානයේ (පදියපැලැල්ලේ ) අද ඉදිකර ඇති පාලම - Google Street View ඇසුරින්
මතුරට සිට මහනුවරට (Kandy) සැතපුම් 26 ඇති බවද, එම කොටස එතරම් සිත්ගන්නා කොටසක් නොවන බවද, මාර්ගය අධික ලෙස කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවද, එහි සැලකිය යුතු කොටසක වගාවන් ඇති නමුදු වැඩි කොටසක් ඒ වන විටත් නොඋස් වනාන්තර වලින් යුක්තව තිබූ බවද ඩේවි පවසයි. එම මගෙහි දිය කඳුරු කිහිපයකින්ම එගොඩ විය යුතු නමුත් මතුරට නිම්නය හරහා පහලට බසින බෙලිහුල් ඔය (Bilhool Oya) සහ හඟුරන්කෙත (Hangranketty) අසලින් ගලන මහා ඔය (Maha Oya) ඒ අතරින් විශේෂයෙන් සඳහන් කල යුතු බව ඔහු පවසයි. ඒ එම ඔයවල් දෙකම සැලකිය යුතු මට්ටමේ ජල ප්‍රවාහයන්(Both are considerable torrents) වන බැවිනි.මෙයින් මුල් එක එනම් බෙලිහුල් ඔය කලාතුරකින් බැස යා හැකි මට්ටමේ (Fordable) එකක් වන බැවින් ඒ හරහා යා යුත්තේ දිය පහරට අඩි 20 ක් හෝ 30 පමණ උඩින් ඔයෙහි ඉවුරු දෙක හරහා ගසක කඳක් දමා සදා තිබූ සිංහල පාලමක් (Singalese Bridge) මතින් යන බියකරු ගමනකින් බව හෙතෙම සඳහන් කරයි. මහ ඔය ඔහු එහි යන අවස්ථාවට ආසන්න කාලයේ වට වැසි නිසා ඉදිමුණු බවක් තිබුනද එහි ගල් සහිත පත්ල හරහා ඩේවි එතරම් අපහසුවකින් තොරව ඇවිද යයි.

මාදන්වල විහාරය මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය
රිකිල්ලගස්කඩ සිට මාදන්වල විහාරය හරහා දියතිලකපුරට (හඟුරන්කෙත) මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම වූවා විය හැක.
දියතිලක පුර
මග සලකුණේ දියතිලක පුර වර්ණනාව යටතේ දකුණු දෙසින් පෙනෙන පුල්වන් දෙව් රද විමන (එනම් උපුල්වන් දේවාලය) නමැද ඉන්පසු මාර්ගයේ දකුණු දෙසින් පෙනෙන දියතලා කන්ද නරඹා උඩ වීදියට යාගන්නා ලෙසත්, දකුණේ ඇති කොත්මලේ වහල් කඩ දැක, වම් පස ඇති අන්කෙළිහින්නේ බෝ තුර බලා යාගන්නා ලෙසත් පවසයි. මෙම ස්ථාන අතරින් අද වන විට උපුල්වන් දෙව් විමන ලෙසින් හැඳින්වූ වර්තමාන විෂ්ණු දේවාලය පහසුවෙන් හඳුනාගත හැක. අප මෙම ලිපි පෙලේ මුල් ලිපියේ කතරගම දෙවියන් ලෙස වෙනස් වූ මහසෙන් දෙවියන් ගැන පැවසූ පරිද්දෙන්ම මග සලකුණ ලියවෙන කාලය වන විටද සිංහල බෞද්ධ දේව ඇදහිල්ලක් වූ උපුල්වන් දෙවියන් දකුණු ඉන්දියාවෙන් පැමිණි විෂ්ණු දෙවියන්ගෙන් අතික්‍රමනය වී නොතිබුණු බවට මග සලකුණ සාක්කි දරයි.
විෂ්ණු දේවාලය සහ පත්තිනි දේවාලය. මෙහි ඇති පොත්ගුල් විහාරය සෑදීම සඳහා පැරණි රජ මාලිගයේ නටබුන් යොදාගෙන ඇත.

දියතලා කන්ද සහ පල්ලේ මළුව වැව. පල්ලේ මළුව වැවට දකුණෙන් රජ මාළිගය පිහිටා තිබී ඇත. (සෙනරත් දිසානායක මහතා පල්ලේ මළුව වැව ලෙස ලකුණු කර ඇති ස්ථානයේ Google Maps අනුව ඇත්තේ ඉහල මළුව වැව ලෙස සඳහන් වන වැවකි )
හඟුරන්කෙත පැරණි නගරයේ නටබුන් වී තිබූ රජ මාලිගාව සහ ඒ සමග වූ විහාරය ගැන ඩේවි මෙසේ පවසයි. "1815 දී අප මෙම ප්‍රදේශ වලට ඇතුළු වනවිටද මාළිගාව සහ විහාරය හොඳ තත්වයේ තිබුණි. එහෙත් මේ වන විට නටබුන් වී ඇති  මාළිගය එය තිබූ තැන සොයාගත නොහැකි මට්ටමටම පත් වී ඇත [පල්ලේමළුව නම් වූ වැවට යාබදව පැරණි රජ මාළිගය පිහිටා තිබූ බව සෙනරත් දිසානායක මහතා සාධක සහිතව පෙන්වා දී තිබේ.] වසර දෙක තුනකින් විහාරයද පොළවටම සමතලා වනු ඇත. පත්තිනි දේවාලයද මේ වනවිට නටබුන් වී ඇති අතර මහා විෂ්ණු දේවාලය නටබුන් වෙමින් පවතී. එහි සියළුම කාමර හිස්වී තිබූ අතර, දොරවල් කඩා බිඳ දමා තිබුණි. ගොඩනැගිල්ලේ වැඩි වශයෙන් වහලය නොමැති තත්වයකි ඇත්තේ. මාළිගය විනාශ කිරිමේ වගකීම ස්වදේශිකයන් විසින්ම භාරගත යුතුය. එය කොල්ලකෑමෙන් පසු ඔවුන් එයට ගිනි තැබූහ. විහාරය නම් විනාශ කලේ අපේ හමුදාවය. කැරැල්ල කාලයේ ඔවුන් ඒ තුල විසූ අතර එක් වරකට වඩා මෙහි විශාල වශයෙන් එකතු වූ සතුරන් හට පහර දීම් සිදුවුනි." (එහෙත් අද වන විට පත්තිනි දේවාලය සහ විෂ්ණු දේවාලය නැවත පිලිසකර කර ප්‍රකට පූජනීය ස්ථාන ලෙසින් පවතී.)

දියතිලක පුර සිට බෝලාපේට
මග සලකුණට අනුව දියතිලක පුර සිට මාර්ගය යොමුවන්නේ රත්මැටිය හරහා ඩේවි ඉහත සඳහන් කරන මහ ඔයෙන් එතෙර වී (මග සලකුණේ එම ඔය සඳහන් වන්නේ මා ඔය ලෙසිනි.) මිලලේ, දෙගල්කඩ කඩවත, මීරුප්පේ, මාරස්සන වෙහෙර හරහා බෝලාපේ ට ලඟා වීමෙනි. හඟුරන්කෙත සිට මා ඔය දක්වා වර්තමානයේ මාර්ග 3ක් යොමුවී ඇත (ඉහත සිතියම බලන්න) මින් කුමන මාර්ගයක් පැරණි මාර්ගය වූවාද යන්න නිශ්චිතව පැවසිය නොහැක. පැරණි විහාරයක් වන අරත්තන විහාරය මේ මාර්ග අතුරින් B413 මාර්ගයේ යනවිට හමුවන බැවින් ඇතැම් විට පැරණි මාර්ගය එය විය හැක (එහෙත් එම විහාරය මග සලකුණේ විස්තර නොවන බැවින් ඉඳුරාම එසේ පැවසීම නිවරදි නොවිය හැක.) මා ඔයෙන් එගොඩ වූ තොටමුණ බොහෝ දුරට වර්තමාන පාළම පවතින ස්ථානය විය හැක
මා ඔය සහ වර්තමාන මාර්ගය ඔය හරහා යන පාළම - Google Street View ඇසුරින්

මා ඔයෙන් එගොඩ වූ පසු මගියාට බිම බටු සුරඟන වන් අඟනන් සිටින මිලලේ පසු කර දෙගල්කඩ කඩවත හරහා මීරුප්පේ සෙවනේ මදක් ගිමන් හැර මාරස්සන වෙහෙර තොසින් වැඳ බෝලාපේ නුදුරින් යා ගන්නා ලෙසට මග සලකුණ කවියා පවසයි. මෙයින් මාරස්සන නමින් හැඳින්වෙන මං සන්දියක් අද දක්වාම පවතින මුත් මෙට්‍රික් සිතියම් වල මී රුප්පේ ලෙසින් ලකුණු කර ඇති ස්ථානය ඇත්තේ එම මං සන්දියට මදක් උතුරිනි. එම නිසා මාරස්සන වෙහෙර එයටත් උතුරු දෙසින් තිබුණා විය හැක. ඒ අනුව පැරණි මාර්ගය මේ ආකාරයෙන් තිබූ ලෙසට පෙන්වා දිය හැක (පහත සිතියම බලන්න). මාරස්සන දක්වා වූ වෙනත් ස්ථාන හඳුනාගත නොහැකි මුත් දෙගල්කඩ කඩවත පහත සිතියමේ දක්වා ඇති කඳු දෙක මැඳින් මාර්ගය වැටී ඇති ස්ථානය විය හැක.
මග සලකුණ විස්තරයේ දැක්වෙන මීරුප්ප වර්තමාන මාරස්සන මංසන්දියට දකුණෙන් වූ ස්ථානයක තිබූ වෙනත් මීරුප්පයක් වී මාර්ගය ඉහත සිතියමේ දෙගල්කඩ කඩවත ලකුණු කර ඇති ස්ථානයේ සිට පහලට යොමු වී ඇති මාර්ගය හරහා වර්තමාන මාරස්සන මං සන්දිය හරහා තිබුණා වීමටද ඉඩ ඇත.

මාරස්සනදී ඩේවි රාත්‍රිය ගත කිරීමට නැවතේ. එම ස්ථානය මහනුවර සිට සැතපුම් 10 පමණ දුර්න් වූ බව ඔහු සඳහන් කරයි. එහි තිබූ කදිම විහාරය සුදු පැහැති බිත්තියකින් වටවී තිබූ බවත් එය විශිෂ්ට දෙයක් ලෙසත් ඩේවි සඳහන් කරයි (Its neat vihare, enclosed by a white wall, is a conspicuous object). ඒ වන විට එහි බෙන්ගාලි සිපයි ඒකකයක් (Detachment of Bengal Sepoys) නැවතී සිටි බවත් ඔවුන් එහි තිබූ බුදු පිළිමය (Figure of the Boodhoo) ඔවුන්ගේ මහා දෙවියා (Maha Deo) ලෙස සලකා එයට වැඳුම් පිඳුම් කල බවත් ඩේවි වැඩිදුරටත් සඳහන් කරයි. මේ මාරස්සන වෙහෙර අද දක්වාම පවතින්නේද යන්න ගැන නිශ්චිතව කීමට අපට  සාධක කිසිවක් හමු නොවිනි.

බෝලාපේ සිට සිරිවද්දනපුරයට
මාරස්සන වෙහෙරින් පසු බෝලාපේ නුදුරෙන් ගොස් කිවුල් ළිඳේ පාළම නැඟ තළාවතු ඔයෙන් යාගන්නා ලෙසත්, ඉන්පසු රදා ගැහූ පාණ පසු කර අන්පිටියේ බණ මඩුවේ නොරදා, සිහිල් පැන් කඳුර දැක, මී ගොන් අරඹ වෙලට ගොස් වමෙහි පෙනෙන පල්ලේවාහල අටුව දැක, අංගම් පොර අරින සෙබලුන් සිටින අංගම් මැඩිල්ලෙන් ගොස්, පරගහ මුල මළුව බලා දළදාගේ පිහිල්ලට බැස පැන් නාන ලෙසත් මග සලකුණ කවියා මගියාට පවසයි.
මාරස්සන සිට තළාතු ඔය දක්වා ගමන් මග
වර්තමාන වික්ටොරියා ජලාශය අද්දර බෝලාපේ නම් ස්ථානයක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මාරස්සන සිට එම ස්ථානය හරහා තළාතු ඔය දක්වා යන විට කිවුල්ලිඳ නම් වූ බස් නවත්වන ස්ථානයක් Google Map වල දැකිය හැක. එම ස්ථානයට පෙර වර්තමානයේ වික්ටෝරියා ජලාශයට වැටෙන (ජලාශය සෑදීමට පෙර මහවැලි ගඟට එකතු වූ) කුඩා දිය පාරක් දැකිය හැකි අතර, ඉහත කිවුල් ළිඳේ පාළම මෙම ස්ථානයේ තිබුනා විය හැක. කෙසේ නමුත් මෙට්‍රික් සිතියම් වල කිවුල් ළිඳ ලකුණු කර ඇත්තේ තවදුරටත් තළාතු ඔය දෙසට වන අතර එම ස්ථානයේද කුඩා දිය කඳුරක් හරහා වර්තමාන පාර වැටී ඇත. එබැවින් කිවුල් ළිඳේ පාළම එම දිය කඳුර හරහා තිබූවක් වූවාද විය හැක.  තළාතු ඔයෙන් එතෙර වූ පසු හමුවන අන්පිටිය අම්පිටිය ලෙසින් අද දක්වාම පැවත එන ප්‍රදේශයයි.

තළාතුඔය සිට මහනුවර දක්වා අම්පිටිය හරහා යන මාර්ගය
සෙන්කඩගලපුර තුල දළදා ගේ පිහිල්ලෙන් පැන් නාගත් පසු, ගල් පඩි පෙළින් මහ මළුවට නැගගන්නා ලෙසත්, ඉන්පසු නාත සුර විමන, වම් පසින් ඇති යකරුහල ( යකඩ කරුවන්ගේ ශාලාව හෙවත් කම්මලක්) දකුණෙන් පෙනෙන මහවාසල් දොර ආදිය දැකගන්නා ලෙසත් සිරිවද්දනපුරය පිළිබඳ නගර වර්ණනාවකින් පසු දළදා මාළිගයට පිවිසෙන ලෙසත් පවසා මග සලකුණ සිය ගමන් විස්තරය නිම කරයි. මේ අතුරින් නාථ දේවාලය (නාත සුර විමන), මහා වාසල සහ දළදා මාළිගය පිහිටි ස්ථාන පහසුවෙන් හඳුනාගත හැක.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Kandy, Anuradha Seneviratna,1983
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • දියතිලක නුවර, පැරණි ස්මාරක සහ ස්ථාන, සෙනරත් බණ්ඩාර දිසානායක, 1997

Sunday, April 2, 2017

රජුන් හොරුන් කිරීම සහ හොරුන් රජුන් කිරීම - ශ්‍රී වික්‍රම රාජසිංහ ආදර්ශය 1

මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - මැණික්කඩවර
ජෝන් ඩොයිලිගේ දීර්ඝ කාලීන චරපුරුෂ ව්‍යාපෘතියක පරිසමාප්තිය සනිටුහන් කරමින් තුන් සිංහලේ කිරීටය වර්ෂ 1815 මාර්තු මස දෙවෙනි දින මහා බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝජ් රජතුමාගේ දෙපාමුල තැන්පත් කරවිණි. බලලෝභී සිංහල නායකයින් නොමග යවමින්, ඇහැළේපොළ  නිලමේතුමාගේ රාජ යෝග සිහිනය කුඩුපට්ටම් කරමින් ඉංග්‍රීසීන්ගේ  විශේෂයෙන්ම ඩොයිලිගේ සහ බ්‍රවුන්රිජ්ගේ සූර සහ කපටි දේශපාලන උපාය උපක්‍රම මල්ඵල දරමින් සිංහල රාජාවලියේ අවසානය ලගාවිය. මෙම ක්‍රියාදාමය තුලදී 1815 ට පෙර සහ පසු ජනතාව කෙරෙහි සහ සිංහල නායකයන් කෙරෙහි රජතුමා සම්බන්ධ ප්‍රතිරූපය සහ විශ්වාසය හීන කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් විය. ඇහැළේපොළ කුමාරිහාමි ලවා ඇයගේ දරුවන්ගේ හිස් වන්ගෙඩියක දමා කෙටවීම වැනි අසත්‍ය කටකතා නිර්මාණය කර මේ දක්වාම පවතින ලෙසින් ජනතාව අතරට යැවිණි. (මේ සම්බන්ධව වැඩිදුර විස්තර වෙනම ලිපියකින් ඉදිරියේදි ඉදිරිපත් කරමු)
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - හිඳගල
බටහිර අධිරාජ්‍යවාදී බලමුළු වල පූර්ණ අනුග්‍රහය ඇතිව එංගලන්තයේ ජෝන් ඩොයිලි වෙනුවට ඉන්දියාවේ අජිත් ඩෙවොල්ගේ චරපුරුෂ ව්‍යාපෘතියක් සාර්ථක ලෙස නිමා කරමින් (කියවන්න - ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව) ඊට වසර 200 කට පසු ජනවාරි මස 8 වන දිනක මේ රට නැවතත් 1815 වැනිම වූ පාවාදීමකට ලක්විය. ඊට පෙර හා පසුද 1948 න් පසු මෙරට බිහිවූ විශිෂ්ඨ ජාතික නායකයකුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට සහ ජනතාව අතර ඔහුව අප්‍රසාදයට පත් කිරීමට සිදු කල ප්‍රචාරක මෙහෙයුම් නිමක් නැතිවා මෙන්ම ඒවායින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටද අල්ලපු රටේ හොටබරියන්ට හැකිවිය. ඇහැළේපොළ ලෙසම රජ පුටුවට කෙල හැලූ පාංකඩයක් මේ වන විට රටවැසියන්ගේ කුණු බැනුම් අසමින් තවමත් යහතින් වැජඹේ (අවම වශයෙන් කුරුල්ලන් එලවීමටවත් හැකි නිසා පඹයාට ඔහුව සමාන කිරීමෙන් පඹයන්ට අපහාස නොකරමු.) මෙවන් තත්වයක් යටතේ එදා ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් සිදු කල මඩ ප්‍රචාරක මෙහෙයුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එය වර්තමානයටද අඩු වැඩි වශයෙන් අදාල වන බැවිනි.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - දෙගල්දොරුව
ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කවිකාර මඩුවේ වැලිගල කවිසුන්දර නම් වූ කවියෙකු විසිය. හෙතෙම රජතුමාට ප්‍රශස්ති කීමේ සිය රාජකාරිය ඉටුකරමින් සිටි යුගයේ, වර්ෂ 1803 දී සිදුවූ ඉංග්‍රිසීන් මහනුවරදී සමූලඝාතනය වූ සටන තේමා කරගනිමින් ඉංග්‍රීසි හටන නමින් යුත් රචනයක් සිදු කරනු ලැබූහ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මහ නායක හිමියන්ගේ ගෝලයෙකු වූ ඔහු, වර්ෂ 1816 වන විට වර්තමානයේ මෙන් දිනන පැත්තට හොරණෑව ගහගෙන පිල් මාරු කරන සෝමරත්න දිසානායක වැනි කලාකාරයන් මෙන් ශ්‍රී වික්‍රමරාජසිංහයන් හෙලා දකිමින් යුවරජු ලෙසින් ඇහැළේපොළ අධිකාරම්තුමා අමතමින්, ඇහැළේපොළ වර්ණනාව නම් වූ කවි මාලාවක් රචනා කරන ලදි. මෙහි උපුටා දක්වන්නේ එම කවි අතරින් ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය ඝාතනය කිරීම සඳහා පබැඳි කවි කිහිපයකි.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - හල්පේ සුදර්ශනාරාමය
වැවක් බඳිමැයි කොටු ගොඩැල්ලේ සියක් බඹයක් විතර උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහකොළ කොටා වනසා ගෙවල් සහ හැම
නොයෙක් රටවල දිසාවල මහ සෙනඟ රැස්කරවා ගමින් ගම
යමෙක් ලෙස රැක ඉඳින බැම්මට පස් අද්දවන ලෙසට කර පෙම

මෙම පැදිය සහ ඉන් පසු එන පද්‍ය මගින් කවියා ඉස්මතු කිරීමට උත්සහ කරනුයේ ප්‍රධාන වශයෙන් නගර අලංකරණය සහ ඇතැම් විට කෘෂිකාර්මික කටයුතු සඳහා එවකට කිරි මුහුද නමින් හැඳින්වූ වර්තමාන මහනුවර වැව ඉදිකිරිම නිශ්ඵල ක්‍රියාවක් බවත් ඒ සඳහා ශ්‍රි වික්‍රමරාජසිංහ රජතුමන් බලහත්කාරයෙන් ජනයා යොදා ගත් බවත්ය. සසදන්න ඊට වසර 200 කට පසු මිහිපිට අපායක්ව තිබූ කොළඹ නගරය අලංකාර නගරයක් බවට පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කල මෙහෙවර නිශ්ඵල කටයුත්තක් ලෙසත් ඉන් බඩගින්නේ සිටින ජනතාවට කිසි පිලිසරනක් නැති බවත් කියමින් බෙරිහන් දුන් රතු සහ කොළ අලි ප්‍රචාරක මෙහෙයුම සමග.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - වේරගොඩ වළගම්බා ගල්ලෙන් විහාරය
නාථ දේවාලය අයත් දෙය්යන්නේ වෙල ලෙසින් හැඳින්වූ කුඹුරු යායක් මෙම වැව නිසා ජලයෙන් යටවූ අතර එහි පස් බැම්ම තැනීම කවියාගේ උපහාසයට ලක්වූවේ මෙසේය.

තවත් සෙන්කඩගල නුවර තනවමැයි සිතුවක් සිතීලා
මහත් රටවැසි දනන් ගෙන්නා වීදි බිඳුමට වැදීලා
වතුත් ගහකොළ ගෙවල් දොරවල් මුලින් සිඳ බිඳ දමාලා
බිමත් බිඳිනට පටන්ගෙන තැන තැනෙහි පස්කඳු ගසාලා

උතුම් සිරිමා බෝධි සමිඳුන් උසට කළ මහ පස් ගොඩේ
නරින් සුනකුන් නැඟී පහරති දිවා රෑ නොවමින් ඉඩේ
තෙදින් පරසිදු රාම සුරඳුගේ විමන ළඟ පස් කඳු හැඩේ
දනන් යන එන පහර පහරා අසුචි බිම විය හැම විඩේ. 

ශ්‍රි මහා බෝධියේ උසට ගොඩ ගැසූ පස් ගොඩේ නරින් සහ සුනඛයන් මල පහ කරන බවත් රාම සුරිඳුගේ විමන ලෙස මෙහි හැඳින්වෙන විෂ්ණු දේවාලය අභියස ගොඩ ගැසූ පස් ගොඩේ යන එන මිනිසුන් නිතරම අසූචි දමන බැවින් එහි හැම විටම අසූචි තිබූ බවත් පැවසීමෙන් කවියාගේ නොසන්සිඳෙන වෛරය වටහා ගත හැක. ඇවිදින මන්තීරු හදන්නේ කා බී තරබාරු වූවන්ගේ තෙල් බැස්සවීම සඳහා බවත් මාගම්පුර වරාය ආසියාවේ ලොකුම පූල් එක බවත් කියමින් කෑ මොර දුන් ඉරිසියාකාර මෝඩ දේශපාලුවන් සහ ඔවුන්ගේ වහලුන් සිහියට නොනැගේද?
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - පිළිකුත්තුව
මේ තවත් එවන් කවක්

පාර තනමැයි සිතා ගැටඹේ පටන් බිම බිඳිනට වැදී
ගෝර දුක් දී රටවැසින් හට වෙහෙසමින් ඉඩමක් නොඳී
තීර නැතිවූ  උයන්වතු තනවමැයි එහි සිත වී ලැදී
වාර නොහැරම කෙටෙව්වේ පුර වටම පිට්ටනි වෙර දිදී

ගැටඹේ සිට මහනුවරට පාරක් තැනීම විවේචනය කරන වැලිගල කවිසුන්දර කවියාගේ ක්‍රියාව, කොළඹ - මාතර අධිවේගය තැනුවේ මහ හොරාට බෙලිඅත්තේ සිට ඇඹුල් තියල් නරක් වෙන්නට පෙර රජගෙදරට ගෙන ඒමට යැයි බෙරිහන් දුන් අනුර දිසානායක රතු අලියාගේ ඇස් දෙක නලලේ තබන් බිනූ පට්ටපල් කෙබර මෙන් නොවේද?  සූරිය වැව ක්‍රීඩාංගනය ගැන කියූ කතා මෙහි එන පුරය වටේම කල පිට්ටනි කතාව මෙන්ම වනවා නේද?
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - වේරගොඩ වළගම්බා ගල්ලෙන් විහාරය
සංචාරක ආකර්ශනය උදෙසා මහනුවර නගරයේ මෝටර් රථ තරඟ පැවත්වූ කල එය නාමල් බේබි කොළඹ ගණිකාවන් නුවර ගෙන්වා අනඟ රැගුම් රැගීමක් ලෙස අර්ථ දැක්වූ කුහකයන් මෙන්ම අපගේ කවියාද කුහකයෙකු බව පෙනෙන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් පත්තිරිප්පුව ඉදි කිරීම විවේචනය කරන පහත පැදිය කියවීමේදීය. 

නිමල් මුනිඳුගේ දකුණු දළදා සමිඳු වැඩ සිටි හැම දිනේ 
දෙමල් පායට උසින් මහ පත්තිරිප්පුවක් තනමිනේ
සියල් ඇඳ පුටු තබා එහි ඉඳ ගෑනු සහ දවසරිමිනේ 
විපුල් කරගති එයින් වන වැඩ ඔහුට පරලොව ගිය තැනේ.

කවියා කියන ලෙසින් රජු ගැහැනුන් සමග එහි ඇඳ පුටු තබා දවස ගෙවා ඇත. ඔහුගේ විවේචනයට ලක්වූවේ එය දළදා මාලිගයට ඉහලින් පිහිටා තිබීමය. ගැහැනුන් සමග දවසැරියායැයි කීම පැහැදිලිවම කවියාගේ ප්‍රලාඵයකි. පත්තිරිප්පුව යනු රජුට පෙරහැර වැනි අවස්ථා නැරඹීම සඳහා උස් ව තනන කුඩා ගෘහයකි. මුලදී මෙය තාවකාලිකව එවන් අවස්ථා වලදි පමණක් තැනූ අතර ශ්‍රී වික්‍රමරාජසිංහ රජු එය දළදා මාළිගාව අසලින් ස්ථිර ගොඩනැගිල්ලක් ලෙස නිමවීය. පත්තිරිප්පුව පමණක් නොව රජ මාළිගයද තිබෙනුයේ දළදා මාළිගාවට ඉහලින් වන අතර ශ්‍රී වික්‍රමරාජසිංහට පෙර පළමුවන විමලධර්මසූරිය රජ කල පටන්ම දළදා මාළිගය සහ රජ මාළිගය එම ස්ථාන වලම තිබූ බවට සාධක ඇත. 
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - කහඳව පුරාණ ගල්ලෙන් විහාරය
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු හොරෙකු දුෂ්ටයකු සහ මිනීමරුවෙකු කිරීම සඳහා රචිත ඇහැළේපොළ වර්ණනාවේ තවත් පද්‍යයන් පිළිබඳව සහ ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ඉදිරි ලිපියකින් වැඩිදුරටත් විමසා බලමු.
මූලාශ්‍ර
  • ඇහැළේපොළ වර්ණනාව හෙවත් වඩුග සටන - මහාචාර්ය බන්දුසේන ගුණසේකර සංස්කරණය
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • Kandy, Anuradha Seneviratna, 1983

Monday, August 8, 2016

රට බඩු ගමට ගෙනා කොළඹ දුවපු යකඩ යකා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී මෙරට මහා මාර්ග පද්ධතියේ අති විශාල සංවර්ධනයක් වූ බව කුහක කමින් තොර ඔහුගේ විරුද්ධවාදීන් වුවද පිළිගන්නා සත්‍යයකි. එහෙත් පාරවල් කන්නදැයි අසමින් වෙනසක් පතා රටට ජාතියට මෙන්ම තමන්ටද විනාශයක් ලගාකර දුන් රැල්ලට ගසන් ගිය එදා එසේ කිවූ 'ආප්ප විප්ලවවාදීගෙන්' සමහරක්ද අද පවසන්නේ මුන්ට බෝක්කුවක් වත් හදාගන්න බැරිබවය. ඒ අතර රාජපක්ෂ මහතා අවසන් කරතිබූ ඇතැම් ව්‍යාපෘති වල මුල් ගල් ගලවා තමුන්ගේ සංකල්ප ලෙස ගල් හිටුවා ඒවා විවෘත කිරීමට නම් ජඩපාලකයන්ට කිසිදු හිරිකිතයක් නැති බව මොරගහකන්ද, සීතාවක උද්භීද උද්‍යානය, බැද්දගාන ජෛව විවිධත්ව උද්‍යානය වැනි ව්‍යාපෘති කිහිපයකින්ම පසක් විය. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් පසු මෙරට මහාමාර්ග පද්ධතියේ සිදුවූ විශාලම සංවර්ධනය එලෙස ඇනහිට ඇති මොහොතක මේ ලිපියේ අරමුණ මහාමාර්ග සහ දුම් රිය මාර්ග පද්ධතියේ ඉතිහාසයට වඩා එහි අනිටු  ඵලයක් ගැන විමසීම සඳහාය.

ඔවුන් ඒ සඳහා පෙලඹවූ අරමුණ කුමක් වුවද මෙරට මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියේ ආරම්භය සහ ඉන් වැඩි ප්‍රමාණයක් ඉදි කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ටය. වර්ෂ 1820 දී එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාරවරයාගේ සමයේදී ඉදිකිරීම් ආරම්භ වී 1821 දී පමණ වන විට ගමනාගමනය සඳහා විවෘත වූ කොළඹ - මහනුවර මාරගයෙන් ආරම්භ වී රට පුරා විශේෂයෙන් මුලදී කෝපි සහ පසුව තේ වගාව සිදුකෙරුනු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පැතිරුණු මාර්ග පද්ධතිය 19 වන සියවස අවසාන වනවිට සැතපුම් 3589 දක්වා පැතිරී තිබුණි. 1948 දී නාමික නිදහස ලබන අවධිය වන විට මෙරට මුළු මහාමාර්ග සැතපුම් 30000 පමණ ඉදිකර තිබුණි.

1863 දී කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කරන ලදුව එහි මුල් අදියර වූ කොළඹ  සිට අඹේපුස්ස දක්වා වූ කොටස මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා 1865 ඔක්තෝබර් 2  වැනිදා විවෘත කරන ලදී. සැතපුම් 74 1\2 දික් වූ මහනුවර දක්වා වූ මුළු මාර්ගය විවෘත කරන ලද්දේ 1867 අගෝස්තු 1 වෙනි දිනය. එතැන් පටන් ක්‍රමයෙන් වැඩිදියුණු වූ මෙරට දුම් රිය මාර්ග පද්ධතිය 1928 වන විට මුළු දුර සැතපුම් 951 පමණ වූ නමුත් පාඩු ලබන බැවින් උඩුපුස්සැල්ලාව මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් වසා දැමූ බැවින් 1948 වන විට මෙරට දුම් රිය සැතපුම් ප්‍රමාණය 898 දක්වා අඩු වී තිබුණි.

මෙසේ ඉදිවූ මහාමාර්ග සහ දුම් රිය මාර්ග පද්ධතිය නිසා මෙරට ජනජීවිතය ඉහල මට්ටමකට ඔසවා තැබුනද ඒ ආශ්‍රිතව සිදුවූ ඇතැම් පසුබෑම්ද නැතිවා නොවේ. මේ ලිපියේ අරමුණ එවන් එක් ප්‍රතිඵලයක් පිළිබඳව අවධානය යොමු කිරීමය. මහා බ්‍රිතාන්‍යයයේ යන්ත්‍රානුසාරයෙන් අඩු පිරිවැයකින් නිපදවන විවිධ භාණ්ඩ මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ දියුණුවත් සමග රට අභ්‍යන්තරයේ ගම් දනව් දක්වා පහසුවෙන් ලගාවීමත් සමග මෙරට දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම වාගේ ඇන හිටියේය. මේ ඒ පිළිබඳව ආතර් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා උදම් ඇනූ ආකාරයයි.

"අප විසින් පෙරදිගදි සිදු කල කටයුතු වලින් කුමක් සාර්ථක හෝ අසාර්ථක වුවද අප එක් දෙයක් අවම වශයෙන් ඉටුකරගෙන ඇත. එනම් දේශිය රුචිකත්වයන් සහ කලාවන් සම්පූර්ණයෙන්ම පාහේ සහ දේශිය කර්මාන්ත බොහෝ දුරකට නෂ්ඨ කරදැමීමය (Extinction of native taste and native art and to a great a very great extent, native manufacture). කළු සහ රතු කොටු සහිත ''Mac Gregor tartan" නම් ලොම් සළු ආනයනය දේශිය රෙදි සහ මස්ලින් නිෂ්පාදයට වඩා ලාභදායකය. දැන් සාමාන්‍ය ජනයා දේශිය කම්බායට වඩා මෙම දිග සළු වලින් සැරසීමට පටන් ගෙන ඇත.  "

දේශිය කර්මාන්ත විනාශ කර දමා පිට රට දේ අගය කරමින් දේශිය ධනය පිටරට පටවමින් එදා ඇරඹුන ඒ ගමන අද දක්වත් අප එලෙසින්ම යමින් සිටිමු. අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක්ද, මෙරට නිපදවිය හැකි මෙන්ම දැනටත් බාධක මැද නිපදවමින් පවතින දේද අප විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරමු. ඇතැම් විට ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන පවා අප වැඩි මුදලකට පිටරටින්ම ගෙන්වා යැපෙන අවස්ථාද නැත්තේ නොවේ. මේ වසර අවසාන වීමට පෙර කවුරු විරුද්ධ වුවත් අත්සන් කරනවා යැයි ජඩපාලකයන් පවසන ඉන්දු - ලංකා භාණ්ඩ හා සේව ගිවිසුමද (ETCA) බලාත්මක වූ පසු මේ තත්වය තවත් දරුණු වනු ඇත. ඉන්දියාවෙන්ම ඇහිද ගත්  හින්දි තණුවකට ලක්ෂ්මි බායි ගායිකාව දශක කිහිපයකට පෙර ගැයූ මේ ගීය එබැවින් අද මෙන්ම හෙටටත් අදාල සර්වකාලීන ගීයක්ම වනු ඇත.

  • මේ ලිපිය සඳහා අවශ්‍ය තොරතුරු මහාචාර්ය ඉන්ද්‍රාණී මුණසිංහ මහත්මියගේ 2015 වසරේදී පළවූ Socio - Economics of Colonial Contribution to Railways in Sri Lanka (1845-1905) නම් පොතින්  සහ එතුමිය විසින් ගුණසේන සමාගම මගින් වර්ෂ 2012 දී පළකල ශ්‍රි ලාංකේය ඉතිහාසය - පස්වෙනි වෙළුමට සැපයූ "වතු ආර්ථිකය සහ ඒ හා සම්බන්ධ අනිකුත් ආර්ථික වර්ධනයන්" නම් වූ ලිපියෙන් උපුටා ගැණුනි.
  • කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ ඡායාරූප http://www.imagesofceylon.com/ වෙබ් අඩවියෙනි