Showing posts with label Polonnaruwa. Show all posts
Showing posts with label Polonnaruwa. Show all posts

Saturday, April 27, 2024

මීන් විල්ලුවේ එරික් ස්වෝන් ගලේ අභිරහස්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මෙරට බෞද්ධ ජනතාව අතර වන්දනාමානයට පාත්‍ර වන ප්‍රධානතම පුදබිමක් වන සෝමාවතිය රජමහා විහාරය දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට වන්දනාකරුවන් පැමිණෙන ස්ථානයකි. පෙරිය ආරුව නැතහොත් කොටන් ගඟ ලෙසින් හැඳින්වෙන ඔයේ පාලම මතින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ පාලනය යටතේ පවතින  සෝමාවතිය ජාතික උද්‍යානය හරහා වැටී ඇති මාර්ගයට පිවිසීමෙන් පසු වනාන්තරය මැදින් සෝමාවතිය පුද බිම වෙත යාමේදී එහි පිවිසුමට කිලෝමීටරයකට පමණ මෙපිටින් මීන් විල්ලුව ලෙසින් හැඳින්වෙන විල්ලුවක පාරේ දකුණු පසින් පිහිටි එතරම් උස නොවන දික් ගල් තලාවක් හමුවේ. මේ වන විට නම් එතරම් පැහැදිලිව පාරට නොපෙනෙන තරමටම වනාන්තරයෙන් වැසී ඇති මුත් Google සිතියම් වල Stone Inscription Rock (Eric Swan Rock) ලෙසින් සලකුණු කර ඇති එම ස්ථානය සොයාගැනීම එතරම් අපහසු නොවේ.

සෝමාවතිය ජාතික උද්‍යානය, මීන් විල්ලුව, මීන් විල්ලුවේ සහ මහවැලි ගඟ ඉවුරේ සැරිසරන විල් අලි ලෙසින් හැඳින්වෙන අලින්ගේ සහ එරික් ස්වෝන් ගලේ දර්ශන සහිත කෙටි වීඩියෝව >>


මෙරට බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන්ම කොළඹ නගරයේ තවමත් සුදු ජාතිකයන්ගේ නම් වලින් ස්ථාන නාම දැකිය හැකි මුත් මෙවන් දුර බැහැර ප්‍රදේශයක එසේ ඉංග්‍රීසි ජාතිකයෙකුගේ යැයි බැලූ බැල්මට හැඟෙන එරික් ස්වෝන් වැනි නමකින් පර්වතයක් නම් කර තිබීම බොහෝදෙනෙකුට කුහුලක් දනවන දෙයක් වන බැවින්දෝ ඒ වටා විවිධ කතාන්දර ගෙතී තිබීම අරුමයක් නොවේ. මෙරට ප්‍රධානතම ඉංග්‍රීසී පුවත්පතක් වන Sunday Observer පුවත්පතතේ 2021 වර්ෂයේදී පලවී ඇති ලිපියක (>>) සඳහන් වන ලෙසට නම් එරික් ස්වෝන් නම් ඡායාරූප ශිල්පියෙකුද වන පුද්ගලයෙකු එම ගලේ නෙලා ඇති සැතපෙන බුදු පිළිමයකට වෙඩි තබා ඇති අතර එම ශබ්දය අසා කලබල වූ අලියෙකු ඔහුට පහර දී මරා දැමූ පසු එම ගල එසේ හඳුන්වා ඇත (It is so named because a person called Eric Swan, a photographer who shot at the reclining Buddha statue carved into a rock was killed on that rock by a wild elephant who was agitated by the sound of the gunshot. 
We didn’t get to see the rock, but heard the story from a caretaker at the temple.) සෝමාවතිය පුද බිමට ගිය චාරිකාවකින් පසුව එම ලිපිය ලියූ මහතා එසේ පවසා ඇති බව ලිපිය කියවීමේදී පෙනෙන මුත්, ඔහු සඳහන් කරන එම ගලේ එරික් ස්වෝන් හට වෙඩි තැබීමට එවන් බුදු පිළිමයක් තිබේද යන්නවත් විමසා බැලීමට එම ලිපිය ලිවූ පුද්ගලයාට වුවමනාවක් තිබූ බවක් නොපෙනේ. මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය වල පළවන ලිපිවල අඩංගු කරුණු වල විශ්වාසනීයත්වය ගැන වටහාගැනීමට මෙයට වඩා තවත් උදාහරන අවශ්‍ය නොවේ.  

මීන් විල්ලුවේ සැරිසරන වන අලි
සැබවින්ම සිදුවූවේ කුමක්ද?

1951 වර්ෂයේ සැප්තැම්බර් අවසාන භාගයේ වූ මේ සිදුවීම, පසුකාලීනව එම සිදුවීම සිදුවන අවස්ථාවේ එයට මුහුණදුන්  පුද්ගලයකු ලෙසට සිටි ස්ටැන්ලි ද සිල්වා මහතා විසින් එකල  Wild Life Protection Society of Ceylon ලෙසින් හැඳින්වූ මුල් යුගයේදී Ceylon Game and Fauna Protection Society වූ වර්තමාන Wild Life and Nature Protection Society of Sri Lanka සංගමයේ සඟරාව වූ Loris දහවන කලාපයට (1964-1966) Eric Swan's Last Journey  ලෙසින් ලිපියක් ලියමින් විස්තර කර ඇත. ඒ අනුව ඔහු මග පෙන්වන්නා (Game Ranger) ලෙසින් එකතු වී ඇත්තේ ප්‍රවීන සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව ඇතුළු සිනමා නිර්මාණ රැසකට කැමරා ශිල්පියා ලෙසින් දායක වූ මෙරට සිටි ප්‍රධාන පෙලේ සිනමා කැමරා ශිල්පියෙකු වන විලියම් බ්ලේක් (නැතහොත් විලී බ්ලේක් - විලී බ්ලේක්ගේ දියණියන්  ඔහුගේ අභාවයෙන් පසුව ඔහු පිළිබඳව තැබූ සටහන කියවීමට >>) ඇතුළු පිරිසක් සමග වන අලින් චිත්‍රපටයකට නැගීම සඳහාය. දෙවන දිනයේදී ඔවුන් සමග මෙම සිද්ධියට මුහුණ දුන් එවකට සිටි ප්‍රකට වනසත්ව ඡායාරූප ශිල්පියෙකු වන එරික් ස්වෝන්ද එකතු වී ඇත (එරික් ස්වෝන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවේ. ඔහු මෙරට බර්ගර් ලෙසින් හැඳින්වෙන ජන වර්ගයට අයත් පුද්ගලයෙකි.) මීන් විල්ලුව ආසන්න ස්ථානයක කඳුවුරු බැඳ සිටි එම පිරිස පසු දින නැවතත් එයට පෙර දින ඔවුන් දුටු 72 ක පමණ වූ අලි රංචුව ඡායාරූපයට නැගීම උදෙසා ප.ව. 2.30 ට පමණ මීන් විල්ලුව වෙත පැමිණ ඇත. එහෙත් සැතපුම් ගණනාවක් ඇවිද ගියමුත් ඔවුන්ට කිසිදු අලියෙකු දැකගැනීමට හැකි නොවූ හෙයින්, පෙරදින අලි රංචුව නැරඹු ගල් පර්වතය [දැන් එරික් ස්වෝන් පර්වතය ලෙසින් හැඳින්වෙන ස්ථානය] වෙතට පැමිණ ඇත්තේ විඩා නිවීම උදෙසාය. ප.ව. පහට පමණ කණ්ඩායමේ සිටි ලැනරෝල් මහතා (මේ තවත් පිරිසක් සමග මහියංගනයේ සිට මහවැලි ගඟ දිගේ ඔරුවකින් පහලට චාරිකා කරමින් පසුව ඒ පිළිබඳව වන නදිය නමින් පොතක් ලියූ සැමුවෙල් ඩියුක් දි ලැනරෝල් මහතා වේ. විලී බ්ලේක්ගේ නායකත්වයෙන් සිදු කල එම ගමනට එරික් ස්වෝන්ද සහභාගී වී ඇත. ලැනරෝල් මහතා සිය වන නදිය පොතේ පිරිනැමීම සිදු කර ඇත්තේද ඔහුට වන චාරිකා යාමට ඇල්ම ඇති කරවූ එරික් ස්වෝන් නම් මිතුරාගේ ස්මරණය උදෙසාය.) වනාන්තරය තුලින් මතුවූ තනි අලියෙකු දැක ඇති අතර, පිරිස තීරණය කර ඇත්තේ එම අලියාව සමීපව ඡායාරූපගත කිරීම උදෙසා ඒ දෙසට යා යුතු බවය. ස්ටැන්ලි මහතා සමග එරික් සහ විලී බ්ලේක් කැමරා සහ තුවක්කු රැගෙන පඳුරු වලට මුවා වෙමින්, සුලඟ හමන දිශාව නිරීක්ෂණය කරමින්  ඒ දෙසට ගමන් කර යාර 50 ක් පමණ දුරක සිට පඳුරකට මුවාවී ඔවුනට පසු පස හරවාගෙන සිටි එම ඇතින්න ඡායාරූපයට නැගීම සහ චිත්‍රපටගතකිරීම අරඹා ඇත. 

මීන් විල්ලුවේ යාර 200 ක පමණ දුරක සිටින ඇතින්නක සහ පැටවෙකුගේ ඡායාරූපයක් - එරික් ස්වෝන් සිටි යුගයේ මෙන් ජීවිත අවදානමක් නොගෙන අද එවන් ඡායාරූපයක් ගැනීම තාක්ෂණයේ දියුණුව සමග පහසුවෙන් කල හැක.

මද වේලාවකට පසුව එරික් පවසා ඇත්තේ ඇතින්නට තව දුරටත් සමීප විය යුතු බවය. ස්ටැන්ලි සහ බ්ලේක් එයට එකඟ වී නොමැති මුත් මෙයට පෙර අවස්ථා වලදී අලින්ට ඉතාමත් ලන්ව ඡායාරූප ගත කර පලපුරුදු එරික් තනිව හෝ යන බව පවසා යාමට සැරසුන විට අනෙක් දෙදෙනාද ඔහු සමග එකතු වී ඇත. ඒ අවස්ථාවේ එරික්ගේ රයිපලය පරික්ෂා කල ස්ටැන්ලි එය ලෝඩ් කර නොමැති බව දැක එය ලෝඩ් කර ඔහුට දී, ඔවුන්ද සිය රයිපල් අතැතිව එරික් සමග එකතු වී ඇත. සුලඟ ඔවුන්ට වාසිදායක දිශාවට තිබූ හෙයින් ඇතින්නට යාර 25 ක් 30 ක් පමණ දක්වා ලගාවීමට හැකිවී ඇති අතර ඇතින්න ඔවුන් පිළිබඳව කිසිදු දැනීමක් නොමැතිව තණකොල කමින් සිට ඇත. මේ අවස්ථාවේ බ්ලේක් සිය සිනමා කැමරාව ක්‍රියාත්මක කර ඇති අතර ස්ටැන්ලි මහතා සැක කරන ලෙසට එහි ශබ්දය ඇතින්නට ඇසුනා විය යුතුය. ඒ අවස්ථාවේ මදක් දකුණු පසට හැරුන ඇතින්න හොඩවැල ඉහලට ඔසවා තප්පර කිහිපයක් සුලඟ පරික්ෂා කර බලා එක්වරම ඔවුන් සිටි දිශාවට හැරී අදහාගත නොහැකි වේගයකින් හොඩවැල ඉහලට කරකවාගෙන ස්ටැන්ලි මහතා විස්තර කරන ලෙසට ශීඝ්‍රගාමී දුම්රියක වේගයෙන් ඔවුන්ට පහරදීමට පැමිණ ඇත. 

අන් අයට දුවන ලෙසට කෑගසා පවසා ස්ටැන්ලි මහතා තමා දෙසට එන ඇතින්නට වෙඩි තබා ඇති මුත් එය සාර්තක වී නැත. මේ අවස්ථාවේ කැමරාවට ඇස තබාගෙන සිටි බ්ලේක් එයින් ඇස ඉවතට ගෙන එක් වරක් ඇතින්න දෙස බලා දිවගිය බවත් එරික්ද ඔහු අනුගමනය කල බවත් හෙතෙම පවසයි. වෙඩිල්ල අසාර්ථක වූ බැවින් ඔහු හැකි උපරිම වේගයෙන් පර්වතය දෙසට දිව ගොස් ඇත. එසේ දුවන අතරේ ස්ටැන්ලි එක්වරම ඔහුට යාර 10 ක් 15 ක් පමණ දුරින් එරික් එන බව දැක ඔහුට ඉක්මන් කරන ලෙස පවසා ඇති මුත්, එරික් සිනාසී හිස වනා අලියා දෙසට හැරී බිම දිගාවී, ඇතින්න යාර කිහිපයක් දක්වා ලගාවන තෙක් සිට වෙඩි තබා ඇත. ඇතින්න දනින් වැටුන මුත් එක්වරම යලි නැගිට ඒ වන විට නැවතත් සිය රයිපලය ලෝඩ් කරගැනීමට උත්සහ කරමින් සිටි එරික් වෙත වේගයෙන් පැමිණ ඇත. මේ අවස්ථාව වනවිට තම රයිපලය නැවතත් ලෝඩ් කරගෙන සිටි ස්ටැන්ලි සිය දනහිස් වලින් එරික්ව තල්ලු කරදමා පාගමින් සිට ඇති ඇතින්න වෙතට නැවතත් වෙඩි තබා ඇත. එවිට එරික්ව අතහැර දැමූ ඇතින්න ස්ටැන්ලි වෙත දිව ආ බැවින් දුවන්නට පටන්ගත් ස්ටැන්ලි එක්වරම ගැඹුරු වලක වැටී ඇද වැටී ඇත. අනෙක් පස හැරෙන විට ඇතින්න වේගයෙන් තමන් දෙසට එන බව දකින ස්ටැන්ලි පවසන්නේ තමන් කිසිදා යාඥා නොකල ලෙසට යාඥා කිරීමට පටන් ගත් බවත්, සිය ‍යාඥාවෙන් ස්වර්ගයේ දොරටු දෙදරා ඇතින්න එක්වරම ඔහුගෙන් ඉවත් ව ඔහුට ආසන්නව වූ කිසියම් පඳුරක් දෙසට දිවගොස් එය පාගා පොඩි කර කුංච නාද නගමින් වනාන්තරයට දිවගිය බවත්ය.

මීන් විල්ලුව අසල මහවැලි ගං ඉවුරේ සැරිසරන ඇතින්නක සහ පැටවුන් දෙදෙනෙක් (ජනවහරේ බොහෝවිට තුන්පත් රැල ලෙසින් හැඳින්වෙන්නේ මෙවන් ඇතින්නක සහ ඇගේ පැටවුන් වේ.)

ඇතින්න ගිය පසු එරික් සිටි තැනට යන ස්ටැන්ලි දකින්නේ ඔහු අධික ලෙසින් නහයෙන් සහ කටින් ලේ දමමින් සිටින බවය. සිහි විසඥව සිටි මුත් ඔහුගේ ඇතින්න විසින් පාගා බෙලහීන කර දැමූ ශරීරයේ ජීවයක සලකුණක් යන්තම් තිබූ බව ස්ටැන්ලි පවසයි. එම ස්ථානයට යාර 50 ක් 60 ක් පමණ දුරින් උස පඳුරකට මුවා වී සියල්ල බලා සිටි බ්ලේක්ද ඒ වන විට එතනට පැමිණ ඇත. ස්ටැන්ලි තවත් පිරිසක් සමග මේ කාලයේ මහවැලි ගඟේ ඉවුරු දෙපස දුම්කොළ වගාවන් කල මුස්ලිම් ගොවියෙකුගෙන් ලබාගත් කරත්තයක එරික්ව මීන්විල්ලුවේ සිට මහවැලි ගඟේ ඉවුරු දෙසට රැගෙන ගොස් මැස්සක තබා ඇති අතර, එහිදි ඔහු සිය අවසන් හුස්ම හෙලා ඇත. එරික්ගේ සිරුර පසු දින පොළොන්නරුවට ගෙන ගොස් එහිදී හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වූ දොස්තර නීල් ලූස් ලවා සිදු කල පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිවී ඇත්තේ එරික්ගේ හිස් කබල, එක් හනුවක් සහ ඉල ඇට කිහිපයක් කැබලි වී ඇති බවය. කොළඹදී සිදුවූ අවසන් කටයුතු වලින් පසුව වනසතුන් දඩයම් කිරීම ක්‍රීඩාවක් ලෙස කල පිරිසක් (මේ කාලයේ එය නීතිවිරෝධී නොවේ.) සූදානම් වී ඇත්තේ එරික්ට පහර දුන් ඇතින්න සොයා ගොස් මරා දැමීමටය. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ එම ඇතින්න ඉන්පසු මිනීමරු අලියෙකු බවට පත්විය හැකි බැවින් එසේ කල යුතු බවය. එහෙත් පුවත්පත් මගින් ඇති කල විරෝධය හමුවේ වන සත්ව දේපාර්තමේන්තුවේ අධිපති C.W නිකොලස් මහතා ඔවුන්ට සිය අදහස අතහැර දමන ලෙස ඒත්තු ගන්වා ඇත. ස්ටැන්ලි මහතා අවසාන වශයෙන් පවසන්නේ ඉන්පසුවද ඔහු වරින් වර මීන් විල්ලුවට ගිය බවත්, වන අලි රංචු නොයෙක් වර දැකගැනීමට හැකිවුවද එරික්ව මරාදමූ ඇතින්න නැවත කිසි දිනක නොදුටු බවත්ය. 

ඉහත සිද්දියෙන් පසුව එරික් ස්වෝන් ගේ නමින් නම් වූ පර්වතය. ඈතින් දිස්වන්නේ සුංගාවිල සිට සෝමාවතිය රජමහාවිහාරය වෙත යන මාර්ගය වන අතර, ඡායාරූපයේ දකුණු පස මෙම පර්වතයේ ඓතිහාසික යුගයේ කිසියම් කලක මිනිස් ක්‍රියාකාරකම් මගින් මතු කල ගල්ගුහාවක්ද දැකගත හැක. 

එරික් ස්වෝන් පර්වතයේ වර්ෂ 2008 දී ගත් ඡායාරූපයක්. ඒ වන විට පර්වතය මැනවින් මාර්ගයේ සිට දැකිය හැකි ලෙසට තිබී ඇත. මේ වන විට පර්වතය බොහෝදුරට වනාන්තරය තුල සැගවී ඇත.

වර්ෂ 2008දී ගත් ඡායාරූපයක් .එම යුගයේ ඉහත ඡායාරූපයේ ගස් කොළන් වලින් වැසී ඇති ගුහාව මැනවින් දර්ශනය වන අයුරින් තිබී ඇත.

එම ගුහාවේ පොළොව මත ආසනයක් වැනි යමක් මතු කර ඇත (වර්ෂ 2008 දී ගත් ඡායාරූපයක්)

එරික් ස්වෝන් පර්වතයේ ඇති බ්‍රාහ්මී සෙල්ලිපි

මෙකල පවා නිතර වන අලින් ගැවසෙන මෙම පර්වතයේ කොටා ඇති සෙල්ලිපි පරික්ෂාකිරීම උදෙස එරික් ස්වෝන් ගේ මරණය සිදුවීමට අඩ සියවසකට පමණ පෙර වර්ෂ 1897 දී පැමිණෙන H.C.P. බෙල් මින් විල වගුරේ හුදකලාව පිහිටි දික් සහ නොඋස් ගල් කන්දක අවම වශයෙන් සෙල් ලිපි හයකට නොඅඩු ප්‍රමාණයක් ඇති බව එම වර්ෂය සඳහා වූ සිය වාර්තාවේ සඳහන් කරයි. එකම පර්වතයක සෙල් ලිපි මෙතරම් ප්‍රමාණයක් තිබීමට හේතුව තමන්කඩුවේ මෙම ප්‍රදේශයේ පවතින එවන් ගල් වල හිඟකම බවය බෙල්ගේ අදහස වන්නේ. එම සෙල්ලිපි වට්ටගාමිණී (පො.ව. පූර්ව 103 සහ පො.ව. පූර්ව 89-77), පළමුවන ගජබාහු (පො.ව. 114 - 136), මහල්ලක නාග (පො.ව. 136 - 143), ඔහුගේ පුත් භාතිය තිස්ස (පො.ව. 143 - 167) සහ කණිට්ඨ තිස්ස (පො.ව. 167 - 186) ආදී රජවරු කිහිප දෙනෙකුට අයත් බව පවසන ඔහු මෙම ස්ථානය මෙරට ශ්‍රේෂ්ඨතම වටිනා ඓතිහාසික "දැන්වීම් පුවරු" වල සංක්ෂිප්ත ගබඩාවක් බව පවසයි. 

මෙම ස්ථානයේ දැකිය හැකි පැරණිම ගිරි ලිපිය

සෙනරත් පරණවිතාන මහතා පසු කලක බ්‍රාහ්මි අක්ෂර වලින් කොටා ඇති මෙම සෙල්ලිපි කියවා ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අතරින් පේලි දෙකකින් යුත් පැරණිම සෙල්ලිපියේ මුල් පේලිය වමේ සිට දකුණට ලියා ඇති අතර අකුරු තුනකින් යුත් එහි දෙවෙනි පෙල පලමු පේලිය අවසාන වූ ස්ථානයේ පහලින් දකුණේ සිට වමට ලියා ඇත (ඉහත ඡායාරූපය බලන්න.)

දෙවනපිය කුලහි මහචුඩිකහ පුත පුටකණ අබයස අඩි දෙගම

 ලෙසින් පෙළ සඳහන් වන එහි අදහස වන්නේ දෙවනපිය කුලයෙහි මහචුඩිගේ (පාලි- මහාචූලි) පුත් වූ පුටකණ අබයගේ දෙගම ඇල යන්නයි. ලිපියේ සඳහන් වන ඇල මාර්ගය වර්තමානයේදීද මෙම මීන් විල්ලුව හරහා මෙම ලිපිය පිහිටි පර්වතයට නුදුරින් ගලා බසින ඇල ලෙස හඳුනාගන්නා ඒ මහතා බෙල් විසින් වට්ටගාමිණී අභය ලෙසින් හඳුනාගන්නා පුටකණ අබය ලෙසින් ලිපියේ හැඳිවෙන්නේ මහාවංශයේ කුටකණ්ණතිස්ස (පො.ව. පූර්ව 44 - 22) ලෙසින් හැඳිවෙන රජු ලෙස හඳුනාගනී. ඒ අනුව එම ඇල ඉදිකර ඇත්තේ කුටකණ්ණතිස්ස රජු බව එතුමා නිගමනය කරයි. මහාවංශයේ සඳහන් වන ලෙසට කුටකණ්ණතිස්ස රජුගේ පියා මහාචූලිකරාජ (පො.ව. පූර්ව 77 - 63) වේ. එම සම්බන්ධයද ලිපියේ කරුණු සමග එකග වන බව පවසන පරණවිතාන මහතා ලිපියේ පුටකණ ගේ රාජ නාමය නොමැත්තේ එම ලිපිය ඔහු රජ වීමට පෙර කරවූවක් හෙයින් විය හැකි බව සඳහන් කරයි.  

මෙම ස්ථානයේ ඇති තවත් මේ වන විට අකුරු එතරම් පැහැදිලිව දැකගැනීමට නොහැකි ගිරි ලිපියක්

මුල් යුගයේ කරවූ එම සෙල්ලිපියට අනතුරුව කාලයේදී මෙම ස්ථානයෙන් හමුවන සෙල්ලිපියකට අනුව රජ-අඩි-පිටිය නම් ග්‍රාමය නාග මහරජු විසින් ඔහුගේ පුත් නකල විසින් කරවූ පජි(න) නකල අරබ විහාරයට [පාලි: ප්‍රාචීන නාගාරාම] දුන් බව පැවසේ. 

 සිද්ධ නක මහරජ රජ අඩි පිටිය තුමහ පුත අය නකලයහ කරිත පජි(න) නකල අරබ විහරටය දිනෙ

මෙම නක මහරජ H.C.P. බෙල් විසින් මහල්ලක නාග රජු ලෙස හඳුනාගන්නා අතර සෙනරත් පරණ්විතාන මතය වනුයේ එම රජු මහාදාඨික මහානාග රජු (පො.ව.  7 - 19) බවය. මෙම සෙල්ලිපි සහිත පර්වතයට නුදුරින් පිහිටි වර්තමානයේ සෝමාවතිය ලෙසින් හඳුනාගන්නා පුදබිමෙන් හමුවූ පුවරු ලිපියක මහනක රජ ගේ පුත් අය නකල (නකල කුමරු) විසින් කරවූ පජිනි නක අරබ විහාරයට මහනක රජු විසින් ඒ ආසන්නයේ වූ රජළි කෙතෙහි කරිස සතක් පිරිනැමූ බව කියැවේ. මේ අනුව සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ ඔහු විසින් මහාදාඨික මහානාග රජු ලෙසින් හඳුනාගන්නා මෙම ලිපි දෙකෙහි නක මහරජ/මහනක රජ ලෙසින් සඳහන් වන රජුගේ නකල නම් වූ වංශ කතා වල නම සඳහන් නොවන පුතෙකු විසින් ප්‍රාචීන නාගාරාමය [පජිනි නක අරබ] නම් වූ විහාරය කරවූ බවය. පොදු පිළිගැනීම කුමක් වුවත් ඒ අනුව වර්තමානයේ සෝමාවතිය ලෙසින් හැඳින්වෙන විහාරය ඒ අනුව එකල හදුන්වා ඇත්තේ ප්‍රාචීන නාගාරාමය [පජිනි නක අරබ] ලෙස බවත් එය මහාදාඨික මහානාග රජුගේ නකල නම් වූ පුත්‍රයා විසින් කරවූ බවත් පිළිගැනීමට සිදුවේ.  

එරික් ස්වෝන් ගේ නමින් නම් වූ පර්වතය

මීන්විල්ලුවේ පිහිටි පර්වතයේ වූ ලිපියේ රජ අඩි පිටිය ලෙසින් හැඳිවෙන ග්‍රාමය එහි වචානාර්ථය අනුව රාජකීය ඇලේ ඉහලින් පිහිටි භූමිය ලෙසින් හඳුනාගත හැකි අතර, ඒ අනුව මුල් ලිපියේ සඳහන් කුටකණ්ණතිස්ස විසින් කරවූ 'ඇලෙහි ඉහලින් පිහිටි පිටියේ වූ ග්‍රාමය' මෙලෙස විහාරයට පිරිනමා ඇති බවට අනුමාණ කල හැක.  

සෙල්ලිපි වටා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යොදා ඇති ආරක්ෂිත යකඩ වැට මෙහි පැමිණෙන්නන් විසින් හෝ වන අලින් විසින් බොහෝදුරට විනාශ කර දැමීමට පෙර (2008 වර්ෂයේදී ගත් ඡායාරූපයක්)

මෙම පර්වතයේ කොටා ඇති කොටස් විනාශ වී ගිය තවත් ලිපියක දෙව(නපි)ය පුටකණ අබ(ය මහ) රජ ගේ මුණිබුරු නක මහ රජගේ පුත් දෙව(නපිය ගමිණි) අබ මහ රජ යන කොටස පමණක් කියවිය හැක.  තවද සෙනරත් පරණවිතාන මහතා විසින් අනුමාණ වශයෙන් පළමුවන ගජබාහු (පො.ව. 114 - 136)  ලෙස හඳුනාගන්නා යුදජි (Conqueror in Battle/සංග්‍රාමයේ විජයග්‍රාහක) ගමිණි අබය ලෙසින් ලිපියේ සඳහන් වන රජු විසින් (රජ අ)ඩිය ගමේ ආදායම මණි(අගිය විහර) ට දුන් බව සඳහන් වන පළමුවන හෝ දෙවන සියවස් වල අක්ෂර සහ ලිපියේ භාෂාව අයත් කල හැකි, ඇතැම් අකුරු කියවිය නොහැකි ලිපියක්ද මෙම ස්ථානයේ තිබේ. එම ලිපියේහිද රාජකීය ඇල [රජ අඩිය] ග්‍රාමය යන සඳහන ඒ. මෙහි සඳහන් මණි (අගිය) විහාරය වර්තමාන සෝමාවතී දාගැබ පිහිටි භූමියේ වූ විහාරය ලෙස හඳුනාගන්නේ නම් මේ වන විට එහි මුල් නම [පජිනි නක අරබ] වෙනස් වී ඇති බවක් පෙනේ.

එවකට හොඳ තත්වයෙන් තිබූ තවත් සෙල්ලිපියක් ( 2008 වර්ෂය )

මෙහි ඇති පස්වන සෙල්ලිපියේ (නක) මහරජුගේ පුත් ම[ලු]තිස මහරජ ර(ජ)අ(ලි )විටියේ හවිටක සරහි (අකඩ) සග අරබ කරවා බවකිරිය නිකායට දුන් බව පැවසේ. බවකිරිය නිකාය, අභයගිරි නිකාය ලෙසින් සහ මලු රජ ලෙසින් හඳුන්වන්නේ කණිෂ්ඨතිස්ස රජු (පො.ව. 167 - 186) ලෙසින් හඳුනාගන්නා සෙනරත් පරණවිතාන මහතා ඒ අනුව මේ ලිපියේ අදහස වන්නේ නාග මහරජුගේ පුත් වූ කණිෂ්ඨතිස්ස මහ රජු විසින් රජ-අලි-විටියේ, හවිටක විල සමීපයේ නිත්‍ය ලෙස සංඝාරාමයක් කරවා එය අභයගිරි නිකායට පිරිනැමූ බව යැයි සඳහන් කරයි. මුලින් රජ-අඩි-පිටිය ලෙසින් හැඳින්වූ ගම පසුකාලීනව රජ-අඩි-ගම වී මේ වන විට රජ-අලි-විටිය ලෙසින් වෙනස්වී ඇති බව පෙනේ. 

මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට ඇරඹී මීන් විල්ලුව හරහා ගමන් කර එහි පැරණි ගමන් මාර්ගය සමග එක්වන ඇල මාර්ගය

මෙහි තිබෙන දීර්ඝතම සහ කාලය අනුව වඩාත් මෑත කාලීන ලිපිය ලෙස සැලකිය හැකි සයවන ලිපියේ අඩු වැඩි වශයෙන් පිටපතක් ලෙස සැලකිය හැකි තවත් පුවරු ලිපියක් අසල පිහිටි සෝමාවතී දාගැබ පරිශ්‍රයෙන්ද සොයාගෙන ඇත. එම ලිපි දෙකෙහිම අන්තර්ගතය අනුව කියැවෙන්නේ නක මහරජුගේ පුත් වූ බතිය තිස මහරජුගේ බාල සහෝදරයා වන මළිතිස මහරජ, රජ(අළි)විටිය හවිටක සරහි [හවිටක විල අසල], මණි අගිය රජමහ විහර සඟ අරබ කරවා එහි පැවැත්ම සහ නඩත්තු කටයුතු සඳහා සිදු කල පිරිනැමීම් ගැනය.  ඒ අතර අතරගග කෙහිගම තොට, සුමනත ගම තොට සහ තොටගම තොට යන තොටුපලවල් වල ආදායම්ද ඉහත සංඝාරාමයට අයත් උපෝසථඝරයෙහි පහන් දැල්වීම, නවකම් කිරීම ආදී කාර්යයන් උදෙසා පිරිනමා ඇත. මෙම ලිපි දෙකද ඉහත ලිපිය පිහිටවූ කණිෂ්ඨතිස්ස රජුගේ (පො.ව. 167 - 186) ලිපි ලෙසින් සෙනරත්  පරණවිතාන මහතා හඳුනා ගනී [ඒ අනුව ඔහුගේ පියා ලෙස සෙල්ලිපියේ සඳහන් වන නක මහ රජු වංශ කතා වල මහල්ලක නාග (පො.ව. 136 - 143) ලෙස හඳුන්වන රජු ලෙසත්, වැඩිමහල් සහෝදරයා ලෙස සඳහන් වන බතිය තිස මහරජු, භාතිය තිස්ස (පො.ව. 143 - 167) ලෙසත් ඒ මහතා හඳුනාගනී.]
සෝමාවතිය රජමහාවිහාර භූමියේ ඇති පුවරු ලිපියක්

සෝමාවතිය රජමහාවිහාර භූමියේ ඇති පුවරු ලිපියක්

පොළොන්නරු රාජාධානියේ පැරණි කුඹුරු විල්ලු බවට පත් වීද?

මෙරට සිටින ශ්‍රේෂ්ඨ උද්භීද විද්‍යාඥයෙකු වන අචාර්ය මැග්ඩොන් ජයසූරිය මහතා මෙරට 'විල්ලු තණබිම් පරිසර පද්ධති' ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් අනුව ඇතිවී ඇති බව හඳුනාගන්නා අතර, ඒ අතරින් මහවැලි ගඟේ එහි පහල නිම්නයේ පිටාර තැන්නේ (Mahaweli Flood Plains)  හමුවන විල්ලු 11 -14 සියවස් අතර පොළොන්නරු රාජධානිය සමයේ එහි අග්‍රස්ථානයට පත්වූ මෙරට වාරිමාර්ග ශිෂ්ඨාචාරයේ බිඳ වැටීමත් සමග අතහැරදමනු ලැබූ විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබූ  කුඹුරු යායවල් පිහිටි තැන් වල ඇතිවූ ඒවා බවට විශ්වාස කරයි. මීන් විල්ලුවට අමතරව මේ ප්‍රදේශයේ හෙක්ටයාර 10,000 ක පමණ වපසරියක පැතිරුණු එවන් විශාල විල්ලු 40 කට ආසන්න ප්‍රමාණයක් නම් වශයෙන් හඳුනාගත හැක. කෙසේ නමුත් මහවැලි යෝජනා ක්‍රමයත් සමග මහවැලි ගඟේ ඉහල ජලධාරා ප්‍රදේශ වල ඉදිකල විශාල ජලාශ වල ජලය ගබඩාකරගැනීම හේතුවෙන් එයට පෙරදී මෙන් පහළ නිම්නයේ නිතර ගංවතුර තත්වයන් ඇති නොවන හෙයින් පාරිසරික වශයෙන් ඇතැම් ලොකු කුඩා විල්ලු වලට බලපෑමක් ඇති වන්නට ඇත. 

මීන් විල්ලුව

මහවැලි ගඟේ ගමන් මාර්ගයේ සිදු වූ වෙනස්වීම්

රාජකීය ආසියාතික සමිති සඟරාවේ විශේෂ කලාපයක් ලෙස 1980 දී ප්‍රකාශයට පත් කල ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රධාන වාරිමාර්ග කටයුතු පිළිබඳව වූ A. ඩෙනිස් N. ෆර්නැන්ඩෝ මහතාගේ ලිපියේ එතුමා ඓතිහාසික යුගයේ සිදුවූ ලෙසට අනුමාණ කරන මහවැලි ගඟේ ප්‍රධාන අපගමනයක් පිළිබඳව එවකට බොහෝ දෙනෙකුට පරිශීලනය කිරීමට නොලැබුනු ගුවන් ඡායාරූප උපයෝගි කරගනිමින් කරුණු ඉදිරිපත් කරයි. මහවැලි ගඟේ ගමන් මගෙහි සිදුවූ එම වෙනස්වීම භූ කම්පනයක් හේතුවෙන් සිදුවූ බවට අනුමාන කරන ඒ මහතා එය සිදුවූ කාලය පිළිබඳව යම් මතයක් ඉදිරිපත් කිරීමටද ඓතිහාසික මූලශ්‍ර වල එන කරුණු අනුව එම ලිපියෙහි යම් උත්සාහයක් දරයි. එම කරුණු වල යම් යම් පිළිගත නොහැකි උපකල්පන ඇති මුත් ඒ පිළිබඳව දීර්ඝ ලෙස විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ නොවේ. කෙසේ නමුත් කඳු නිම්න වලින් ඔබ්බේ වූ සමතලා බිමක වන ගංගාවක ගමන සැමදා එක ලෙස නොතිබූ බව මහවැලි ගඟේ පමණක් නොව මෙරට වෙනත් ගංගා වලද ඒ ආශ්‍රිත භූ විෂමතා විමසා බැලීමේදී පැහැදිලි වේ. මල්වතු, වලවේ, කලා ඔය වැනි ගංගා වලද ගං මෝය ආසන්නයේ එවන් තත්වයන් දැක ගත හැක. කාලයත් සමග එකතු වන වැලි පර වැනි ස්වභාවික බාධක නිසාද, අධික ලෙස වර්ෂාව පවතින කාලයේ එකවර පැමිණෙන යෝධ ජලධාරාව නිසාද ගංගාවක් එවන් අලුත් මං සලකුණු කරගනිමින් සිය ගමන යාමට පෙලඹෙනු ඇත. 

මීන් විල්ලුව පසු කර කන්දකාඩුව දෙසට යාමේදී හමුවන සෝමාවතිය පාලම අසලදී මහවැලි ගඟ

සුප්‍රසිද්ධ මනම්පිටිය පාලම අසල සිට මහවැලි ගඟේ සැතපුම් තුනක් පමණ පහලට ගිය විට ගඟ දෙකට බෙදී විශාල දූපතක් තනමින් ගමන් කර නැවත එකට එකතුවේ. මෙම දූපතේ දකුණු පස වූ තැනකින් මේ වන විය වියලී ගොස් ඇති මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගය හමුවේ.  මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගයෙන් නව ගමන් මාර්ගය වෙන්වන තැන සිට සැතපුම් දෙකක් පමණ පහලට යාමේදී මහවැලි ගඟේ ජලයට අර්ධ වශයෙන් යටවූ, ඇතෙකුගේ ජීවමාන ප්‍රමාණයට සමාන පැරණි ශෛලමය ඇත් රුවක් හමුවේ (මේ වන විට මෙම ඇත් රුව නිදන් හොයන අමනයන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව පැවසේ. එහි පැරණි කළු සුදු ඡායාරූපයක් පමණක් එවන්නක් තිබූ බවට සාක්ෂ්‍යයක් ලෙසට ඉතිරිව ඇත.)  ඩෙනිස් ෆර්නැන්ඩෝ මහතා අනුමාණ කරන්නේ මෙම ඇත් රුව මහවැලි ගඟේ ගමන වෙනස්වීමත් සමග එහි ජලකඳට බිලිවූ පැරණි කිසියම් ආරාමයක තිබූවක් බවය. මෙම ස්ථානය පසු කල පසු මහවැලි ගඟ සෝමාවතී පුද බිමට ඊසාන දෙසින් වූ ස්ථානයකදී එහි පැරණි ගමන් මාර්ගය සමග එක්වන අතර එතැන් සිට නැගෙනහිර දෙසට වූ පැරණි ගමන් මගක්ද චන්ද්‍රිකා ඡායාරූප වල යන්තමින් දැකගැනීමට හැක. ඩෙනිස් ෆර්නැන්ඩෝ මහතා අනුමාණ කරන්නේ මහවැලි ගඟේ ගමන් මගේ සිදුවූ මෙම වෙනස එකල සරුසාර කෙත් බිම් වලින් පිරී තිබූ මෙම ප්‍රදේශය ජනශූන්‍ය වී වන ප්‍රවාහය විසින් යටවී යෑමට බලපාන්නට ඇති බවය. 

මනම්පිටිය පාලම අසල සිට මහවැලි ගඟේ සැතපුම් තුනක් පමණ පහලට ගිය විට ගඟ දෙකට බෙදී විශාල දූපතක් තනමින් ගමන් කර නැවත එකට එකතුවේ. මෙම දූපතේ දකුණු පස වූ තැනකින් මේ වන විට වියලී ගොස් ඇති මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගය හමුවේ. (සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න)

මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගයෙන් නව ගමන් මාර්ගය වෙන්වන තැන සිට සැතපුම් දෙකක් පමණ පහලට යාමේදී මහවැලි ගඟේ ජලයට අර්ධ වශයෙන් යටවූ, ඇතෙකුගේ ජීවමාන ප්‍රමාණයට සමාන පැරණි ශෛලමය ඇත් රුවක් හමුවේ. එම ස්ථානය සිතියමේ Ancient Life-size Stone Elephant Carving ලෙසින් සලකුණු කර ඇත.
 (සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න)

මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගය සෝමාවතී පුදබිමට ඊසාණ දෙසින් වූ ස්ථානයකදි එහි නව මාර්ගය සමග එක්වේ.
(සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න)

වර්තමානයේ මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට එහි පැරණි ගමන් මාර්ගය දක්වා මීන් විල්ලු හරහා ජලය ගලා බසින ඇල මාර්ගයක් ඇති අතර එය එරික් ස්වෝන් පර්වතය ආසන්නයෙන් වර්තමාන සුංගාවිල-සෝමාවතී රජමහා විහාරය මාර්ගය හරහා ගමන් කරයි ( මේ සමග ඇති වීඩියෝ දර්ශන, සිතියම් සහ ඡායාරූප බලන්න.) එසේම එරික් ස්වෝන් පර්වතයට නැගෙනහිර දිශාවෙන්ද එයට පහලින් ගමන් කරන ඇල මාර්ගයක සලකුණු ගූගල් මැප් චන්ද්‍රිකා ඡායාරූප වල දැකගත හැක. මේවා මීන් විල්ලු ලෙසින් වර්තමානයේ විල්ලුවක් බවට පත්වූ රජ-අඩි-පිටිය>රජ-අඩි-ගම>රජ-අලි-විටිය ගම පැරණි වෙල් යායට ජලය සැපයූ ඉහත සෙල්ලිපි වල  සඳහන් වන ශේෂ වූ  රාජකීය ඇල මාර්ගයේ (දෙගම ඇල/රජ අඩි) නශ්ඨාවශේෂ විය හැක. ගම සහ පජිනි නක අරබ/මණි අගිය විහාරය සියවස් ගණනාවක් පුරා මහවැලි ගඟේ පිටාර ජලය සමග රැගෙන එන රොන්මඩ වලට සහ වනාන්තරයට යටවී තිබෙනවා විය හැක. විහාරයේ ස්තූපය පමණක් අද දක්වා බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වෙමින් සෝමාවතී ස්තූපය ලෙසින්  මහවැලි නිම්නයේ ඉතිරිව ඇත. 
මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට එහි පැරණි ගමන් මාර්ගය දක්වා මීන් විල්ලු හරහා ජලය ගලා බසින ඇල මාර්ගය
(සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න
)

මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට එහි පැරණි ගමන් මාර්ගය දක්වා මීන් විල්ලු හරහා ජලය ගලා බසින ඇල මාර්ගය සහ එරික් ස්වෝන් පර්වතයට නැගෙනහිර දිශාවෙන්ද එයට පහලින් ගමන් කරන ඇල මාර්ගයක සලකුණු
(සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න
)

ඉහත ඇල මාර්ගය මහවැලි ගඟේ පැරණි ගමන් මග සමග එක්වන ආකාරය
(සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න)

මූලාශ්‍ර

  • Archaeological survey of Ceylon, North Central, Central And Eastern Provinces, Annual Report, 1897, Bell, H.C.P. 1904
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon, Volume 2, Part 1, Paranavitana S., 1983
  • Archaeological survey Department , Inscription of Ceylon, Volume 2, Part 2, Paranavitana S., Editor Malini Dias, 2001
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Diversity of Terrestrial Vegetation in Sri Lanka, A.H. Magdon Jayasuriya, Phd, 
  • A Directory of Asian Wetlands
  • Canoeing along the Mahaveli In Sri Lanka River In The Jungle, S.D. de Lanerolle, 2003
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
  • Saga of the elephant in Sri Lanka , Extracts from Loris Volume 1 (1936) - Volume 10 (1964) Part 1, Compiled by Ranasinghe D.B. et. al., 2010

Thursday, April 27, 2023

චීනෙන් ගෙනා බඳුන් වල ඖෂධ බහා, තඹ ශල්‍ය උපකරණ වලින් ශල්‍යකර්ම කල දොළොස්වන සියවසේ භික්ෂු රෝහල

මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද ආළාහණ පිරිවෙන පිළිබඳව වූ මහාවංශ විස්තරයේ පැවසෙන්නේ එතුමා විසින් භික්ෂූන් වහන්සේ උදෙසා සියලු අංගයන්ගෙන් යුක්ත, අතිශයින් රමණීය වූ සඳළුතල ඇති විවිධ කාමර වලින් යුත්, කුළු ගෙවලින් අලංකාර වූ, තුන් මහලින් යුත් දීඝපාසාද හතලිහක්ද, එපමණ වැසිකිලිද, චූළපාසාද අටක්ද, දොරකොටු හයක්ද, ගිනිහල් ගෙවල් තිස් හතරක්ද, විශාල වූ ප්‍රාකාර දෙකක්ද කරවූ බවය. එම පිරිවෙනේ වසන භික්ෂූන් උදෙසා රෝහලක් කරවූ බවට එහි විශේෂයෙන් සඳහන් නොවූවත් පොළොන්නරුවේ රන්කොත් වෙහෙර ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ස්තූපයට උතුරින් ආළාහණ පිරිවෙනට අයත් ඉහත මහාවංශ විස්තරයේ සඳහන් වන ආකාරයෙන්ම විශාල ප්‍රමාණයක් වූ භික්ෂු කුටි සහිත ප්‍රදේශය තුල පසුගිය සියවසේ අසූව දශකයේදී සිදු කල පුරාවිද්‍යා කැනීම් වලදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යාඥයන් හට  භික්ෂු රෝහලක නටබුන්ද සොයාගැනීමට හැකිවිය.
සංරක්ෂණය කර ඇති භික්ෂු රෝහල

ආළහණ පිරිවෙනේ භික්ෂු ආරෝග්‍යශාලාවේ වීඩියෝ දර්ශන >>



බෙහෙත් ඔරුව

1982 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම ස්ථානයේ කැනීම සිදු කරන්නට පොරොතුව එහි තිබූ පසින් වැසී ගිය හැඩ නොගන්වන ලද කණු පේලියක් සහිත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ල කුමක්ද යන්න පිළිබඳව පුරාවිද්‍යාඥයන් හට පැහැදිලි අවබෝධයක් නොවීය. එහෙත් පස් ඉවත් කිරීමත් සමග එය පැරණි භික්ෂු රෝහලක් විය හැකි බවට හඳුනාගත හැකි විය.  

භික්ෂූ රෝහල තුල ඉදි කල වැසිකිලිය ( පහත රූපය ) සහ එහි අපද්‍රව්‍ය‍ය එකතු වන්නට ගොඩනැගිල්ලට පිටින් තැනූ වල (ඉහල රූපය )

මෙම රෝහලේ එක් කුටියක් තුල වූ ශිලාමය බෙහෙත් ඔරුව වැදගත් සොයාගැනීමක් විය. එයට අමතරව බෙහෙත් සකස්කිරීම සඳහා ගත් ඇඹරුම් ගල්, මැටි භාණ්ඩ , වලං කැබලි, කෙමි, පහන් ආධාරක කැබලි, තෙල් පහන්, මැටි කොළොම්බු ආදිය මෙන්ම චීන පිඟන් භාණ්ඩද විශාල වශයෙන් මෙම ස්ථානයෙන් සොයාගැනීමට හැකි වී ඇත. එම චීන බඳුන් ඖෂධ ඉස්ම සහ තෙල් ආදිය ගබඩා කිරීම සඳහා භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවද ඇණ, පොරෝ, ගිරා, උල් කටු, හුණු පෙට්ටි, හිරමණ තල, සහ කතුරු ආදී ලෝහ භාණ්ඩද කොක්කක් සහිත විශේෂ තඹ උපකරණයක්ද සොයාගැනීමට හැකි විය. එය ගඩු ඡේදනය සඳහා යොදාගත් ශල්‍ය උපකරණයක් බවට හඳුනාගෙන ඇත.

මැද මිදුල සහ එහි  උතුරු සීමාවට ආසන්නව වූ ටැම්පිට විහාරයක ලෙස අනුමාණ කරන ඉදිකිරීමේ කණු

පොළොන්නරුවෙන් මෙම භික්ෂු රෝහල සොයාගැනීමට පෙර අනුරාධපුරය, මිහින්තලය සහ මැදිරිගිරියෙන්ද එවන් රෝහල් සොයාගෙන තිබූ අතර ආළහණ පිරිවෙනට අයත් මෙම රෝහලද මැදිරිගිරිය රෝහලට බෙහෙවින් සමානය. දිගු හතරැස් ව්‍යුහයක් වූ, ප්‍රාකාරයකින් වටවී ඇති මෙම ගොඩනැගිල්ලේ වැසිකිලි දෙකක් තිබී ඇති බවත් ඉන් එකක් ඇතුලත කුටියකට සම්බන්ධවද අනෙක උතුරු බිත්තියට පිටතින්ද තිබී ඇති බවත් සොයාගැනීමට හැකිවිය. ගොඩනැගිල්ලේ මැද මිදුලක් ඇති අතර එහි උතුරු දෙසට වන්නට පේළියට තුන බැගින් වූ කෙටි ගල් කණු පේළි 3 ක් දකින්නට ලැබේ. මෙම ගල් කණු මත දැවයෙන් කරන ලද ටැම්පිට විහාරයක් තිබෙන්නට ඇතැයි අනුමාණ කෙරේ. මිහින්තලේ රෝහලේ මැද මිදුල මධ්‍යයේද ගඩොලින් කරන ලද පිළිම ගෙයක් හඳුනාගෙන ඇත. මැද මිදුල වටා රෝගීන් සඳහා වූ කාමර පිහිටා ඇත.

මැද මිදුල වටා වූ රෝගීන් සඳහා ඉදිකල කුටි

මූලාශ්‍ර

  • යුනෙස්කෝ - ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආළාහණ පරිවෙණ පොළොන්නරුව, තුන්වැනි පුරාවිද්‍යා කැණීම් වාර්තාව ( 1982  අප්‍රියෙල් - සැප්තැම්බර් ), පී. එල්. ප්‍රේමතිලක, 1994
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015

Saturday, April 22, 2023

ගොපල්ලන්ගේ පර්වතයේ තැනූ පොළොන්නරුවේ පැරණිතම විහාරය - හුළුගලු විහාරය

 පොළොන්නරුව පැරණි නගරයේ රන්කොත් වෙහෙර නමින් වර්තමානයේ හැඳින්වෙන ස්තූපයට ආසන්නව එයට උතුරු දෙසින් ගල් පර්වත සහ ලෙන් වලින් සමන්විත ස්ථානයක් තිබේ. ගෝපාල පබ්බත එනම් ගොපල්ලන්ගේ පර්වතය ලෙසින් හැඳින්වෙන එහි එක් ලෙනක ඇති ලෙන් ලිපිය සහ ඒ අසල පර්වතයක ඇති ගිරි ලිපිය පොළොන්නරුව පැරණි නගරය සහ ඒ අවටින් හමුවී ඇති පැරණිම සෙල් ලිපි වන අතර, ඒවා එම ප්‍රදේශයේ ඓතිහාසික යුගයේ මුල් අවදියේ පටන්ම ජනාවාස පැවති බවට වූ සාක්ෂ්‍ය ලෙස ගෙනහැර පෑ හැක. H.C.P. බෙල් මහතා මුල් වරට මෙම ලිපි දෙකම කියවා 1911-12 වර්ෂ සඳහා වූ සිය වාර්තාවේ පළ කර තිබේ. ලෙන් පිහිටි ගල් පර්වත වලින් බටහිරට වන්නට වූ ගල් පොත්තක වූ කාලගුණික හේතූන් නිසා ගෙවීගිය ගිරි ලිපියේ කියවිය හැකි අකුරු 5 වන සියවසට පෙර යුගයට අයත් බවත්, ලෙන් ලිපිය බ්‍රාහ්මි අක්ෂර වලින් රචිත බවත් හෙතෙම එහි සඳහන් කරයි. එම ලෙන් ලිපිය එතුමා කියවන්නේ සිද(ම්) මඩලයහ ලෙනෙ [Hail! cave of Madalaya] ලෙසිනි. එහි අදහස වන්නේ මඩලය ගේ ලෙන යන්නය. 
මෙහි ඇති ගිරි ලිපිය සම්පූර්ණයෙන් ආරක්ෂා වී නැති බව සහ එහි පේලි දෙකක කොටස් කිහිපයක් පමණක් කියවිය හැකි බව පවසමින් පසු කලක එය නැවත කියවා ප්‍රකාශයට පත් කරන සෙනරත් පරණවිතාන මහතා එම ලිපියේ අකුරු පළමුවන හෝ දෙවන ශතවර්ෂ වලට අයත් බව පවසයි. එම කියවිය හැකි කොටසට අනුව ගිරි ලිපිය කෙටීමේ අරමුණ චුළගල [පාළි - චූළගල්ල,  හුළුගලු ලෙසද ගත හැක.] නම් විහාරයට චුළ අහලය [චූල අසේල] නම් වූ පුද්ගලයා විසින් සිදු කල කිසියම් ප්‍රදානයක් පිළිබඳව සටහන් කර තැබීමයි. ඔහු විසින් සිදු කල ප්‍රදානය තිස් දෙක ලෙස ප්‍රමාණය දක්වා ඇති කිසියම් දෙයකින් ලද ආදායම බව පෙනේ. චුළ අහලය නැමැත්තා අය තියබුත ගේ පුත්‍රයා බවද එහි සඳහන් වේ. ඒ අනුව ගෝපාලපබ්බතය ලෙසින් පොළොන්නරු යුගයේදී හැඳින්වූ මෙම ගුහා පද්ධතිය ආශ්‍රිතව පළමුවන සියවස පමණ කාලය වන විට චුළගල විහාරය නමින් හැඳින්වූ විහාරයක් පැවති බව පැහැදිලි වේ.

සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන එම ගිරි ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය >>  Cula-Ahalaya, son of Aya Tiyabuta...of the income...thirty two. 

මහා පරාක්‍රමබාහු විසින් ඉදි කල ආළහණ පිරිවෙනේ බද්ධසීමා ප්‍රාසාද නම් වූ පොහොයගෙහි සීමාවන් බැඳීමේදි එහි දකුණු දිශාවෙහි පිහිටි සලකුණු ගල ගෝපාලපබ්බතයෙන් යෂ්ටි පණස් අටක් දුරින් වූ බව මහාවංශයේ සඳහන් වේ.  (එනම් ගෝපාලපබ්බතයේ සිට තවත් මීටර 176 දුරින් දකුණු දිශාවට.) මෙම ස්ථානය පිළිබඳව  1911 දී මුල් වරට සඳහන් කරන විටද H.C.P. බෙල් ගෝපාලපබ්බත යන නම යොදාගනී. ඒ වන විටත් එම ස්ථානය ප්‍රදේශවාසීන් අතර එම නමින් හැඳින්වූවේද නැතහොත් මහාවංශ තොරතුරු අනුසාරයෙන් බද්ධසීමා ප්‍රාසාදයට දකුණු දිගින් පිහිටි එකම ගල් පර්වත සහිත ප්‍රදේශය ගෝපාලපබ්බතය විය යුතුයැයි බෙල් හඳුනාගත්තද යන්න පැහැදිලි නැත. බොහෝවිට මින් දෙවැන්න නිවැරදි විය යුතුය. 

මෙම ස්ථානයේ ඇති ගල් පර්වත වලින් ස්වභාවිකව ඇතිවූ අවම වශයෙන් ලෙන් හතරක් කටාරම් කොටා මුල් කාලයේදී භික්ෂූන්ගේ වාසස්ථාන උදෙසා පිළියෙල කරගෙන ඇති බව පෙනේ. H.C.P. බෙල් සඳහන් කරන පරිදි මේ ලෙන් අතරින් එක් ලෙනක් පසු කලක විහාරයක් ලෙසින් භාවිතා කර ඇත. ඔහු එය නිරීක්ෂණය කල අවධියේ අර්ධ වශයෙන් සුන්බුන් අතර යටවී තිබූ අත් සහ පා නොමැති කුඩා ශෛලමය හිටි පිළිමයක්,  අඩි දෙකක් පමණ වූ තවත් හිස නොමැති ශෛලමය ඔත් පිළිමයක් සහ වන්දනා කරන ඉරියව්වෙන් නෙලා තිබූ තවත් ගල් පිළිමයක බඳ කොටස පිළිබඳව බෙල් සිය වාර්තාවේ සඳහන් කරයි. 1967 වසරේදී චාර්ල්ස් ගොඩකුඹුරේ මහතා විසින් පොළොන්නරු පැරණි නගරය ලෙසින් පළකල කුඩා පොත් පිංචක ගෝපාලපබ්බතය පිළිබඳව වූ විස්තරයේ සඳහන් වන්නේද මෙහි ඇති එක් ලෙනක බුද්ධ ප්‍රතිමා වල කොටස් පවතින බවය.

 එම ප්‍රතිමා කොටස් දැනට මේ ස්ථානයේ දක්නට නොමැති අතර ඒවා මුළුමනින්ම සුන්බුන් අතර යටවී ගොස් ඇත්ද, නැතහොත් කිසියම් කලක මෙම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත්ද යන්න පැහැදිලි නැත. එහෙත් පොළොන්නරුව සම්බන්ධයෙන් රචිත ඇතැම් ග්‍රන්ථ වල ඇතැම්විට බෙල්ගේ ඉහත සඳහන මෙම ස්ථානයේ සිට තරමක්  උතුරු දෙසට වන්නට සහ බද්ධසීමා ප්‍රාසාදයෙන් නැගෙනහිර දෙසට වන්නට පිහිටි ලෙන් විහාරයේ (මෙය කුඩා ගල් විහාරය ලෙසින්ද හැඳින්වේ) දැකිය හැකි පිහිටි ගලේ නෙලා ඇති කුඩා හිඳි පිළිම සමග පටලවාගෙන කරුණු ඉදිරිපත් කර ඇති බව පෙනේ. 
ඉහත ප්‍රධාන ගල් ලෙනේ කටාරමට යටින් වූ ගලේ තැනූ කුඩුම්බි වලවල්. ඒ අනුව වහලයක් වැනි ඉදිකිරීමක් මෙහි තිබූ බව පෙනේ. බෙල් සඳහන් කරන බුදු පිළිම බොහෝවිට මෙම ලෙනේ තිබුණා විය හැක.

ගෝපාල පබ්බතයේ සහ ඒ අශ්‍රිතව වූ ආළහණ පිරිවෙනේ ගොඩනැගිලි දැක්වෙන වීඩියෝව >> 

මූලාශ්‍ර

  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • Archaeological survey of Ceylon, North-Central, Central, And North-Western Provinces, Annual Report 1911-12, Bell, H.C.P.,  
  • polonnaruva, Issued by The Archaeological Commissioner, 1970
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පොළොන්නරු පැරණි නගරය, චාර්ල්ස් ගොඩකුඹුරේ, 1967
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Sunday, April 16, 2023

    නිශ්ශංකමල්ලට රජකම හිමිකර දී පමුණු ලැබූ විජයා යාන්තැන්නාවන්

    පොළොන්නරුව පැරණි නගරයේ උතුරු සීමාවේ එහි ප්‍රාකාරයට පිටතින් ඒ ආසන්නව සහ වර්තමානයේ මැණික් වෙහෙර ලෙසින් හැඳින්වෙන ආරාමයට දකුණින් පොළොන්නරු යුගයේ භාවිත සිංහල අක්ෂර වලින් රචිත පුවරු ලිපියක් ඇත. මෙම සෙල්ලිපිය පැරණි ඇල මාර්ගයක් අසල ඇති බවට 1917 වසරේදී ඒ පිළිබඳව ලිපියක් ලියන Z. වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. බොහෝවිට මේ ආසන්නයෙන් නගරයේ උතුරු සීමාවේ වූ දිය අගල තිබෙන්නට ඇත. නැතහොත් ලිපියේ නම සඳහන් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ගෙනගිය තුඟභද්‍රා ඇල මේ අසලින් ගලා යන්නට ඇත. මෙම ලිපිය ආරම්භ වන්නේ සිංහල අකුරින් සංස්කෘත ශ්ලෝකයක් ඉදිරිපත් කරමිනි. ලිපිය එම යුගයේ භාවිත සිංහල අක්ෂර භාවිතයෙන් ලියවී ඇති මුත් එහි අවසානයේ නැවතත් එම ශ්ලෝකය ග්‍රන්ථ අක්ෂර මගින් ඉදිරිපත් කර ඇත. 

    රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට A years work at Polonnaruwa ලෙසින් ලිපියක් සපයමින් S. M. බරෝස් (S.M. Burrows) විසින් 1887 දී පළමුවරට මෙම පුවරු ලිපියේ පළමු පැත්තේ (Side A) වූ කියැවිය හැකි කොටස් ඉදිරිපත් කර එහි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. තමා විසින් [එම වසරේ] පොළොන්නරුවෙන් සොයාගත් සියල්ල අතරින් ඉතාමත්ම වැදගත් සොයාගැනීම මෙය විය හැකි බව ඔහු එහිදී සඳහන් කරයි. ලිපිය දෙවන විජයබාහු විසින් කල එකක් ලෙස අනුමාණ කරන හෙතෙම, නමුත් දමිළයන්ගෙන් පොළොන්නරුව බේරා ගත් දඹදෙණි යුගයේ පසුකාලීනව සිටි  එකී නම සහිත  වෙනත් රජකෙනෙකුන් විසින් මෙම ලිපිය පිහිටවූවා වුවද විය හැකි බව පවසයි [එනම් තුන්වන විජයබාහු]. [1886 වර්ෂයේ] වියලි කාලයේ එය නිරීක්ෂණය කල හෙයින් පුවරු ලිපියේ අනෙක් පස ඝනව ලයිකන වැවී තිබූ හෙයින් අකුරු කියවිය නොහැකි වූ බවද, එහෙත් මෙවැනි වෙනත් එවැනි ගල් වල ඇති ලයිකන වැසි කාලය අවසානයත් සමග අර්ධ වශයෙන් හෝ වියැකී යන බව පැවසෙන හෙයින්, එහි සිටින කිසියම් පුද්ගලයෙකු එසේ වූ විට යථා කාලයේදී ඔහුට එහි නිවැරදි පිටපතක් ලබාදෙනු ඇති බවත් බරෝස් වැඩිදුරටත් සඳහන් කරයි. එවිට අවම වශයෙන් ලිපියේ එම පැත්තේ (Side B) කොටසක් හෝ කියවිය හැකි වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළකරයි.

    1909 වර්ෂයේ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව වාර්ෂික වාර්තාවේ H.C.P. බෙල් විසින් මේ පිළිබඳව කෙටි සටහනක් ඉදිරිපත් කරයි. දෙවන විජයබාහුගේ ඝාතනය පිළිබඳව සඳහන් වන එම සෙල්ලිපිය නිශ්ශංකමල්ල හෝ සහස්සමල්ල විසින් කරවූ එකක් විය හැකි බව ඔහු එහිදී සඳහන් කරයි. නැවත Z. වික්‍රමසිංහ මහතා 1917 දී කලින් බරෝස් කියවූ පැත්ත පමණක් කියවා Epigraphia Zeylanica 2 කලාපයට ලිපියක් සම්පාදනය කරයි. පැරණි ඇල මාර්ගයක් අසල ඇති ලෙස පවසන එම පුවරු ලිපිය පිළිබඳව වික්‍රමසිංහ මහතාගේ කියවීමද පෙර බරෝස් පල කල කියවීමේම යම් වැඩිදියුණු කිරීමක් පමණි. Z. වික්‍රමසිංහ මහතාද මෙය දෙවන විජයබාහු විසින් කල සෙල්ලිපියක් ලෙස පවසා මහාවංශයේ සඳහන් කරුණු සමග ලිපියේ සඳහන් ඓතිහාසික තොරතුරු සසඳා බැලීමක් සිදුකරයි.

    Z. වික්‍රමසිංහ මහතාගේ කියවීම පිළිබඳ දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින් H.C.P. බෙල් මහතා එය පලවී වසර දෙකකට පමණ පසුව Ceylon Antiquary and Literary Register පස්වන වෙලුමට ලිපියක් සපයමින් පවසන්නේ මෙම ලිපිය පිහිටුවා ඇත්තේ වික්‍රමසිංහ මහතා කියන අයුරින් දෙවන විජයබාහු නොව නිශ්ශංකමල්ල රජතුමා බවය

    නැවත සෙනරත් පරණවිතාන මහතා 1963 වසරේ පලවූ Epigraphia Zeylanica පස්වන වෙලුමේ දෙවැනි කොටසට මෙම සෙල් ලිපිය පිළිබඳව ලිපියක් සම්පාදනය කරයි. එතුමා මෙහි අනෙක් පස වූ අක්ෂර ද ලිපිය ඇති ස්ථානයට ගොස් සහ T.K. ජයසුන්දර නම් මහතෙකු විසින් එම පැත්තේ වූ ලයිකන ඉවත් කර සැකසූ පිටපතක් ආධාරයෙන් දැඩි පරිශ්‍රමයක් දරා කියවා එහි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. ලිපිය පිහිටවූ රජතුමා සහ එහි සඳහන්  අනෙකුත් චරිත හඳුනාගැනීම පිළිබඳව H.C.P. බෙල් මහතා කලින් ඉදිරිපත් කල කරුණුද උපයෝගි කරගනිමින් දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන සෙනරත් පරණවිතාන මහතාගේ කියැවීම සහ පසුව මෑතකදි සිරිමල් රණවැල්ල මහතා Inscription of Ceylon සයවන වෙලුමට ඉදිරිපත් කල කියවීම අනුසාරයෙන් පහත කරුණු ඉදිරිපත් කෙරේ. 

    ඒ අනුව මෙම ලිපිය පිහිටුවන්නේ දෙවන විජයබාහු නොව දෙවන විජයබාහු යටතේ යුව රජු ලෙස සිට පසු කලක රාජ්‍යත්වය ලබාගත් මෙරට වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස හඳුනාගත හැකි නිශ්ශංකමල්ල රජතුමාය. තවද අන්තර්ගතය අනුව බොහෝදුරට මෙම ලිපිය එතුමා විසින් පිහිටවූ පළමුවන සෙල්ලිපිය විය හැක.

    ලිපියේ සඳහන් වන පරිදි කාලිඟ (කාලිංග) චක්‍රවර්තීන් වහන්සේගේ වංශයෙහි උපන් සිංහබාහු රජපාවහන්සේට ජේය්ෂ්ඨ පුත්‍ර වූ කාලිඟයෙන් ලංකාවට බැසැ යක්ෂ ප්‍රලය කොට මනුෂ්‍ය වාස කොට ඒකත්පත්‍ර රාජ්‍ය කල විජයරාජයන් වහන්සේගේ වංශ පරම්පරායෙන් ආ ලක්දිව ඒකරාජ්ජ කළ පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ ස්ව වංශය මත්තට පවත්නා කැමැතිව පූර්ව රාජයන් කොට ආ පරිද්දෙන්ම සිංහපුරයට යවා බෑනණුවන් වහන්සේ ගෙන්වා සිය නම දී හිමියා පටි බන්දවා ශත්‍රශාස්ත්‍රයේ නිපුණ කරවා රාජ්‍ය සනාථ කොට ස්වර්ගස්ථ වූ කල්හී....ලෙසින් පැවසෙන්නේ කාලිංගයේ සිට පැමිණි විජය රජුගේ වංශයෙන් පැවතෙන මහා පරාක්‍රමබාහු රජතුමා එහි සිටි සිය බෑනණුවන් වන නිශ්ශංකමල්ල කුමාරයා මෙරටට කැඳවා ඔහුට සිය පරාක්‍රමබාහු යන නමද දී හිමියා යන විරුද නාමයද පවරා ඔහුව සිය වංශය ඉදිරියට ගෙනයෑම උදෙසා ( ආසන්න අනුප්‍රාප්තිකයා ලෙස නොව.) ආයුධ හැසිරීමෙහි සහ අනෙකුත් ශාස්ත්‍රයේ නිපුණ කල බවය.

    මෙහිදි වංශ කතාවට අනුව අප හට මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල දෙදෙනාගෙන් නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් ලෙස හැඳින්වීම උදෙසා කිසියම් හෝ සම්බන්ධයක් සොයා ගත නොහැක. එසේ හැඳින්වීමට නම් නිශ්ශංකමල්ල එක්කෝ පරාක්‍රමබාහුගේ සහෝදරියකගේ පුතෙකු විය යුතුය, නැතහොත් ඔහු පරාක්‍රමබාහුගේ දියණියක විවාහ කරගත යුතුය. මහාවංශයේ සඳහන් ඇතැම් තොරතුරු ආශ්‍රයෙන් නිශ්ශංකමල්ල පරාක්‍රමබාහුගේ දියණියක හෝ නෑකමින් එසේ වන කෙනෙකු ආවාහ කරගත් බව පෙන්වීමට සෙනරත් පරණවිතාන මහතා උත්සහ කරන මුත් නිසැකවම එය එසේ වේයැයි පිළිගැනීමට එම සාධක ප්‍රමාණවත් නොවේ. 

    ලිපියට අනුව පරාක්‍රමබාහු රජුගෙන් පසුව ජේ‍යෂ්ඨත්වය අනුව  අභිෂේක ලබන්නේ විජයබාහු වහන්සේය (එනම් මහාවංශයේ සඳහන් දෙවන විජයබාහුය.) එහෙත් දුෂ්ඨ අමාත්‍යයන් රාජ ද්‍රෝහීව, ලංකාවට ව්‍යසන ගෙනදුන් බැවින් විජයා යාන්තැන්නාවන් මැදිහත් වී ලිපිය පිහිටුවන [නිශ්ශංකමල්ල කුමාරයා] අභිෂේක කර ඔටුණු පළඳා රාජ්‍යත්වයට පත් කල හෙයින් සහ එනයින් කාලිඟ පරම්පරාවටම රාජ්‍යය සාධා දුන් හෙයින් සහ රුවන්දම්බුයෙහි පටන් [නිශ්ශංකමල්ල කුමාරයාගේ] ශරීර ආරක්ෂක ලෙසින් සිටි හෙයින් සහ විජය රජුගේ කාලයේ සිටම එම විජයා යාන්තැන්නාවන්ගේ පරපුර කාලිඟ වංශයටම සේවය කල හෙයින් ඔහුට පිරිණැමෙන ත්‍යාගයක් පිළිබඳව වූ විස්තර සඳහන් කිරීම මෙම පුවරු ලිපියේ අරමුණයි.

    විජයා යාන්-තැන්-නාවන් ලෙසින් හැඳින්වෙන පුද්ගලයා ගේ යාන්-තැන්-නාවන් යන්න වාහන-නායක යන තනතුර (The Chief of the department of vehicles)  ලෙසින් සෙනරත් පරණවිතාන මහතා හඳුන්වයි. එතුමා ඉදිරිපත් කර ඇති සංස්කෘත ශ්ලෝකයේ පෙලෙහි එය වාහන-නායක ලෙසින් සංස්කෘත භාෂාවෙන් සඳහන් වේ (එහෙත් සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන පෙලේ එය දැක්වෙන්නේ එතුමා අනුමාණ වශයෙන් කියවන (දාරානුද) නායක ලෙසිනි. රණවැල්ල මහතා ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනයේ එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය නොකර Yantanna ලෙසින් දැක්වෙයි. )

    පුවරු ලිපියේ ග්‍රන්ථ අක්ෂර වලින් ඇති කොටස

    අපගේ ප්‍රධාන ඓතිහාසික තොරතුරු ඇතුලත් මූලාශ්‍රය වන මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහුගෙන් පසුව රාජ්‍යත්වයට පත්වන්නේ රජුගේ බෑනා වූ කවීශ්වර, පණ්ඩිත විජයබාහුය. ඔහු රාජ්‍යත්වයට පත්වී වසරක් ගිය තැන කාලිංග කුලයෙහි උපන් මහින්ද නැමැත්තෙක් දීපනී නමැති ගොපලු දියණියක සහයිකාව කරගෙන, දුෂ්ට උපායකින් ඒ රජු මරා, කිපුණු සෙන්පතිවරුන්ගේ, යෝධයන්ගේ, රටවැසියන්ගේ සහ ඇමතිවරුන්ගේ අනුමැතිය නොලැබ "ඉතා දුකසේ" පස් දිනක් ලක් රජය කර ඇත. ඉක්බිති විජයබාහු රජුගේ උපරජු වූ කාලිංග වංශයෙහි උපන් කීර්ති නිශ්ශංක නමැත්තා ඔහු මරා රජ විය. මෙම සෙල්ලිපියේ සහ මහාවංශයේ ඇතුලත් කරුණු එක් කොට සලකා බැලූ විට පෙනීයන්නේ නිශ්ශංකමල්ල රජ වීමෙන් පසු මෙම පුවරු ලිපිය පිහිටුවා කෘතගුණ දක්වන්නේ එම විජයබාහු (එනම් දෙවන විජයබාහු) රජු මරා දින පහකට රජ වූ කාලිංග වංශයේම මහින්ද නමැත්තාගෙන් රාජ්‍යය නිශ්ශංකමල්ල (මහාවංශයට අනුව කීර්ති නිශ්ශංක) කුමරා හට ලබා දීමට මූලික වූ පුද්ගලයා වෙත බවය. එනම් විජයා යාන්තැන්නාවන්ටය.

    විජයා යාන්තැන්නාවන් හට මෙම සෙල්ලිපිය පිහිටුවා ලබාදුන් දෑ වන්නේ තුඟභද්‍රා ඇලෙන්* [වගා කරන කුඹුරු ඉඩම් වලින්] පමුණුවක් [පමුණුව = Freehold allotment = සින්නක්කර බිම් කොටසක්], රන්මඩවතුරෙන් පමුණුවක්, අන් මිනිසුන් සතුවූ හෙයින් නැවත මිලදීගත් යක්තුඩුකුබුර (The field [named] Yaktudu which has been purchased (back) as it had passed into the possession of other people), දියදඩ නුදුන් තුඟභද්‍රා ඇළ ආතැන් පටන් අට කිරියක් [කරීස 8 ක් එනම් අමුණු  32 ක් (4 * 8) - 8 Kiri of field beginning from the turn of Tungabhadra canal, from which water-rates are not levied] හා ඔහු හට අයත් (තමන් වලඳනා) පමුණුවක් වේ.

    * පරාක්‍රම සමුද්‍රයේ වතුර ගෙන ගිය එක් ඇල මාර්ගයක්.

    මැණික් වෙහෙර සහ ඒ අසබඩ මෙම පුවරු ලිපියේ පිහිටීම දැක්වෙන වීඩීයෝ දර්ශන >>

    මෙම පැවරීම් කඩ කලහොත් ඔවුන් රාජ ධර්මයට පිටු පෑ හෙයින් මාතාංග [චණ්ඩාල යන අදහස දේ] ආදී හීනයන් හා ද කවුඩු බල්ලන් හා ද සම නම් වේ යැයි ග්‍රන්ථ අක්ෂරයෙන් නැවතත් දක්වා ඇති සංස්කෘත ශ්ලෝකයට පෙර ලිපියේ අවසාන කොටසේ දැක්වේ. සංස්කෘත ශ්ලෝකයෙන් පැවසෙන්නේ පාන්ඩ්‍ය දේශයේ නායකන්ටත් නායක වූ* පරාක්‍රමබාහු නම් කාලිංග රජු විජයා යන්තැන්නා හට පැවරූ දේ ඉර හඳ පවතින තුරා ඔහුගෙන් පැවතෙන්නන් හට හිමි බවත්, එය මතු රජ වරුන්ද සුරැකිය යුතු බවත්ය. ලිපියේ අවසානයේ කපුටෙකුගේ [කවුඩු] බල්ලෙකුගේ සහ කිසියම් බර දෙයක් සිය වමතින් ඔසවාගත් පුද්ගලයෙකුගේ රූපයක් දක්වා ඇත. එම මනුෂ්‍ය රූපයෙන් සෙල්ලිපියේ මාතංගයන් එනම් චණ්ඩාලයන් ලෙස හැඳින්වෙන පුද්ගලයන් නිරූපණය කලා විය යුතුය. 

    * මේ අවධිය වන විට සිංහලයන් චෝලයන්ට එරෙහිව පාණ්ඩවයන් හා මිතුරු සන්ධානයකින් සිටි අතර, සාපේක්ෂව යුධමය වශයෙන් පාණ්ඩවයන් සිංහලයන්ට වඩා දුර්වල තත්වයක සිටි හෙයින් සහ මහා පරාක්‍රමබාහු පාණ්ඩවයන්ගේ ජයග්‍රාහි සටන් වලට මැදිහත් වීම ආදිය නිසාත් කාලිංග පරාක්‍රමබාහු ලෙසින් මෙම පුවරු ලිපියේ තමන්ව හඳුන්වාගන්නා නිශ්ශංකමල්ල රජු මෙවන් අතිශයෝක්තියට නැගූ බලයක් තමුන්ට ආරෝපණය කර ගන්නට ඇත. මේ අවධියේ මෙරට සහ දකුණු ඉන්දීය පාලකයන්ගේ මෙවන් සෙල් ලිපි වල එවන් දේ බහුලව හමුවේ.

    මූලාශ්‍ර

    • Journal of the Ceylon Branch of the Royal Asiatic Society, 1887, Volume X No. 34, 1888
    • Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica beign Lithic and other inscriptions of Ceylon, Vol 5, Part 2, Edited by S. paranavitana, C.E. Godakumbura, 1963
    • Archaeological Survey of Ceylon, North-central, Central and Western Provinces, Annual Report, 1909, 
    • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
    • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
    • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
    • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
    • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.

    Saturday, April 25, 2020

    පුරාවිද්‍යා බලධාරීන් කාලි දෙවඟන පදිංචි කල පොළොන්නරුවේ විෂ්ණු දෙවියන්ගේ දේවාලය

    ඉදිකල යුගය සහ පුද්ගලයන් පිළිබඳව පැහැදිලි වංශකතා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක අවශ්‍යය තරමින් ඇති මුත් මේ වන විට මෙරට ඇතැම් ඓතිහාසික ස්ථාන පිළිබඳව මනඃකල්පිත අසත්‍ය ප්‍රබන්ධ කතා "රාවණා ආගම" අදහන්නන් විසින් ගොතා මෙරට සමාජයේ ඉතිහාසය නොදත් සැලකියයුතු පිරිසක් අතරට සමාජ මාධ්‍ය පමණක් නොව ප්‍රධාන ධාරාවේ පුවත්පත් සහ රූපවාහිනි නාලිකා තුලින්ද ප්‍රචලිත කර ඇත. ඔවුන් සීගිරිය, රිටිගල, රජගල වැනි තැන් රාවණාගේ බාප්පලා, පුංචි අම්මලා, ආච්චිලා සීයලාට පමණක් නොව නැන්දම්මලා සහ මාමලාටද ලියා දී ඇත. එසේ නැතහොත් ඒවා බුදුන් කල දඹදිව තිබූ කිඹුල්වත්පුර, කුසිනාරා ආදි තැන් බවට පත් කර ඇත. කෙසේ නමුත් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ස්ථානය එසේ වෙනස් හඳුනාගැනීමක් බවට පත් කර ඇත්තේ මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ බලධාරීන් වන මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම වීම කෙසේ වූවාදැයි පැහැදිලි නැත.
    පොළොන්නරුව පැරණි නගරයේ සීමාවට මෙපිටින් හමුවන පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය එතරම් යොමු නොවේ. එවන් ස්ථාන කිහිපයක් සම්බන්ධව මෙම බ්ලොග් අඩවිය තුලින් අවස්ථා කිහිපයකදීම අවධානය යොමු කර ඇත. මින්නේරියේ සිට පොළොන්නරුව දක්වා මාර්ගය ඉදිකිරීමේදී හමුවූ එවන් ස්ථාන කිහිපයක් අතරින් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය ලෙසින් හඳුනාගත් ස්ථානය පිළිබඳව මෙයට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කර ඇත. එම ස්ථානයේම තවත් නටබුන් ගොඩනැගිලි කිහිපයක්ම හඳුනාගත හැකි අතර මින්නේරියේ සිට යනවිට මාර්ගයේ වම්පසින් දිස්වන ගොඩනැගිල්ල ශිව දේවාලයක් ලෙසින් හඳුනාගෙන ඇත. අලි වැටකින් එපිට පාරේ දකුණු පසින් ඉහත කී ප්‍රීතිදානක මණ්ඩපය පිහිටා තිබෙන අතර එහි සිට බටහිර දෙසට වන්නට පිහිටි ගොඩනැගිලි දෙකක් අතරින් දැනට සංරක්ෂණය කර කාලි කෝවිල ලෙසින් නම් කර ඇති ස්ථානය පිළිබඳව මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

    එවකට තමණ්කඩුව පළාතේ දිසාවේවරයා විසින් වර්ෂ 1885 දී මේ පිළිබඳව ඉංග්‍රිසී නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇති අතර බරෝස් විසින් ඒ පිළිබඳව වර්ෂ 1886 දී Sessional Paper X වල සටහනක් තබා ඇත. මේ ඔහු ඒ පිළිබඳව පවසන ආකාරයයි

     "මගේ ගවේෂණ කණ්ඩායම විසින් එකිනෙකට ආසන්නව පිහිටි අවම වශයෙන් කුඩා හින්දු පූජනීය ස්ථාන හතරක නටබුන් සොයාගන්නා ලදී. ඉන් එක් ස්ථානයක ඉතාම හොඳ මට්ටමේ විෂ්ණු දේව රූපයක් හමු වූ අතර තවත් ගොඩනැගිල්ලක් අසල අත් 8ක් සහිත ගවයෙකුගේ හිසක් මත සිටගෙන සිටින දෙවඟනකගේ පිලිරුවක් හමුවිය. එය බොහෝවිට කාලි රූපයක් විය යුතුය." 

    එම ප්‍රතිමා කිසිවක් දැනට එම ස්ථාන වල නොමැති මුත්, ඔහුගේ හඳුනාගැනීම් නිවැරදි යැයි උපකල්පණය කලහොත් පැහැදිලිවම විෂ්ණු දේවාලයක සහ කාලි කෝවිලක නටබුන් ගොඩනැගිලි දෙකක් බරෝස් හට හමුවූ බව එමගින් පැහැදිලි වේ.
    නැවත 1902 වසර සඳහා වූ පාලන වාර්තාවේ මෙම ස්ථානයේ නටබුන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන H.C.P. බෙල් එහි තිබෙන විෂ්ණු දේවාලය සම්බන්ධව මෙසේ කරුණු ඉදිරිපත් කරයි.

     "ගල් පර්වතය අසලින්ම [එනම් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය පිහිටි ගල් පර්වතය] එයට බටහිර දෙසින් විෂ්ණු දෙවියන් සඳහා ඉදිකල දේවාලයක පිටත ප්‍රාකාරය පිහිටා ඇත." 

    එම විෂ්ණු දේවාලය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරයේ එක් තැනක බෙල් තවදුරටත් සඳහන් කරන්නේ විෂ්ණු දේවාලය දෙපසින් එයට නුදුරින් ශිව දේවාලය  සහ කාලි කෝවිල පිහිටා තිබෙන බවය .එම ශිව දේවාලය පැහැදිලිවම දැනට මාර්ගයෙන් අනිත් පස පිහිටා ඇති දේවාලය වන අතර කාලි කෝවිල විෂ්ණු දේවාලයෙන් අනික් පස වන්නට නම් එය තවදුරටත් පරාක්‍රම සමුද්‍රය දෙසට වන්නට තිබිය යුතුය.
    විෂ්ණු දේවාලය සම්බන්ධ බෙල්ගේ විස්තරයේ තවදුරටත් සඳහන් වන්නේ මකර හිසක් සහිත ජල නළයක්(A makara-head gargoil)  එම විෂ්ණු දේවාලයේ උතුරු දිසාවට වූ බිත්තියෙන් පිටතට නෙරා තිබෙන බවය (මෙම ලිපිය සමග පලවන ගොඩනැගිල්ලේ ඡායාරූප වල එම මකර රුව එහි උතුරු බිත්තියේ දැනටද දැක ගත හැකිය.) ඒ වන විටද ගඩොලින් කල බිත්ති අඩි 6 ක් පමණ උසකට එම දේවාලයේ ගර්භ ගෘහයේ (Sanctum) ඉතිරි වී තිබී ඇති අතර ගඩොලින්ම කල බවට සිතිය හැකි එහි වහලය දැකගැනීමට නොහැකිව තිබී ඇත. පහත පලවන්නේ එම වාර්තාවේ පලවූ  විෂ්ණු දේවාලයේ ඡායාරූප දෙකකි.
    මෙම ඡායාරූප අප විසින් ගනු ලැබූ ඉහත ඡායාරූප සමග සැසඳු විට එම ඡායාරූප එකම ගොඩනැගිල්ලක ඡායාරූප බවත් බෙල් විසින් එම ඡායාරූප සහිත ගොඩනැගිල්ල විෂ්ණු දේවාලයක් ලෙස හඳුනාගත් බවත් පැහැදිලිය. එපමණක් නොව මීට පෙර බරෝස් සඳහන් කරන විෂ්ණු දේව රූපය ගැනද බෙල් විස්තර කරයි

     "ගර්භ ගෘහයේ සිට ඇදගෙන විත් තිබූ මනා ලෙස කැටයම් කල ශෛලමය විෂ්ණු දේව රූපයක් දේවාලයෙන් පිටත සුන්බුන් වලට යටවී තිබී හමුවිය. අත් සතරක් තිබූ එම දේව රූපයේ අත් තුනකම විවිධ සලකුණු (එනම් චක්‍රායුධයක්, මුගුරක් සහ නෙළුම් මලක්.) දරා සිටින ආකරයක් දිස්වේ. සිව්වන අත ආශිර්වාද කරන ආකාරයෙන් ඉහලට ඔසවා තබා ගෙන ඇති ලෙසින් විය. පිළිමය සිටුවා තිබූ කැටයම් සහිත පීටිකාව හැරුන විට එහි උස අඩි 3 අඟල් 9 ක් විය." 

    බෙල් එම පිළිමය පසුව අනුරාධපුර කෞතුකාගාරයට රැගෙන ගිය බව පවසයි
    එසේ මෙම ගොඩනැගිල්ල බෙල් පවසන විෂ්ණු දේවාලය ලෙසින් පැහැදිලිව හඳුනාගැනීමට හැකි තත්වයක් යටතේ එහි දැනට දැකිය හැකි පුවරුවේ එය කාලි කෝවිල ලෙසින් හඳුන්වන්නේ මක්නිසාද යන්න අපට ගැටළුවකි. පසු කාලීනව සොයාගත් කිසියම් වෙනත් සාධක ඔස්සේ එය කාලි කෝවිල ලෙසින් හඳුනාගත් බැවින්ද? එහෙත් අප දන්නා තරමින් එවන් කිසිදු වාර්තාවක් පලවී නැත. කෙසේ නමුත් බෙල් සිය වාර්තාවේ ඉදිරිපත් කරන සිතියමේ මෙන්ම පහත දැක්වෙන Epigraphia zeylanica Volume 2 හි පලවූ පොළොන්නරුව නගරයේ පැරණි ස්මාරක දැක්වෙන සිතියමේද  කාලි කෝවිල ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ලද පැහැදිලිව සටහන් කර ඇත. එය තවදුරටත් පරාක්‍රම සමුද්‍රය දෙසට වන්නට විෂ්ණු දේවාලය ලෙසින් සලකුණු කරන ගොඩනැගිල්ලට නිරිත දෙසින් පිහිටා ඇත.
    සිය වාර්තාවේද බෙල් සඳහන් කරන්නේ කාලි කෝවිල විෂ්ණු දේවාලයට නිරිත දෙසින් පිහිටා තිබෙන බවය. ප්‍රාකාරයකින් වටවූ එම පරිශ්‍රයේ දැකිය හැකි ගොඩනැගිලි තුනකින් විශාලම ගොඩනැගිල්ල කාලි කෝවිල බවට එහි තිබූ පිළිමය ආශ්‍රයෙන් බෙල් හඳුනාගෙන ඇත. බෙල්ගේ වාර්තාවෙන් උපුටා ගත් කාලි කෝවිලේ ඡායාරූපයක් පහත දැක්වේ. කාලි කෝවිලේ සහ ඒ ආසන්නව පිහිටි නිශ්ශංක දාන මණ්ඩපයේ වර්තමාන තත්වය පිළිබඳව කිසිදු මූලාශ්‍රයකින් තොරතුරු සොයාගත නොහැකි අතර ඇතැම්විට මේ වනවිට ඒවා නැවතත් වන ප්‍රවාහය විසින් යටකරගෙන තිබෙනවා විය හැක. මාර්ගයට එපිටින් අලි වැටකින් එපිට වූ ඇතැම්විට වන අලින්ද හමුවිය හැකි වනයේ එහි පිහිටීම සොයාගැනීමට උත්සාහ කලමුත් එය ව්‍යවර්ථ විය.

    මූලාශ්‍ර

    • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe, 1928
    • Bell H.C.P., 1907, Archaeological Survey of Ceylon, North Central and Central Provinces, Annual Report 1902