Monday, December 26, 2022

මිත්‍යාදෘෂ්ටි බිඳ හැර බුදුන් සරණ ගිය උපරජ නාගගේ යෝධ ටැම් ලිපිය සහ පරුමක පුශදෙවගේ පොකුණ

1914 වසරේ මැයි 17 වන දින එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ E.R. අයර්ටන් අනුරාධපුරයෙන් පිටත් වී දකුණු පළාතේ සංචාරයක් අරඹයි. එහෙත් ඔහුට කිසිදා නැවතත් ආපසු ඒමට අවස්ථාවක් නොලැබෙන්නේ එම වසරේම මැයි 17 වන දින හරියටම මාස තුනකට පසු එම සංචාරය අතරතුර ඔහු තිස්ස වැවේ ගිලී මිය යන බැවිනි. කෙසේ නමුත් සංචාරය අතරතුර ඔහු ආගිය ස්ථාන පිළිබඳව සිය දිනපොතේ තැබූ සටහන් පසු කලක Ceylon Antiquary and Literary Register කලාප කිහිපයක පලවේ. අයර්ටන් මේ සංචාරයේදී තිස්ස වැවට නැගෙනහිරෙන් වූ  අකුරුගොඩ නම් වූ ප්‍රදේශයෙන් පස් වලින් වැසී ගොස් තිබූ  සෙල් ලිපියක් සහිත ගල් ටැඹක් සොයාගනී. ඔහු එහි Estampage  පිටපතක්ද ලබාගනී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිබූ එම Estampage  පිටපත ඇසුරින් පසු කලක (1945 දී) මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එම ලිපිය කියවා රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට මෙරට පද්‍යයෙන් ලියැවුණු බ්‍රාහ්මි සෙල් ලිපි පිළිබඳව ඔහු සැපයූ ලිපියකට එහි විස්තරද ඇතුලත් කරයි. (මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුනාගන්නා ලෙසට වෙනත් බොහෝ පැරණි සෙල් ලිපි මෙන් නොව මෙම ලිපිය ලියැවී ඇත්තේ පද්‍යයක් ලෙස විරිතකට අනුවය.) එහෙත් එම ටැඹ අයර්ටන්ගෙන් පසු ගතවූ කාලයේ නැවතත් සොයාගත නොහැකි වන ලෙසට පසෙන් වැසී ගොස් තිබී ඇති අතර එය තිබූ තැන පිළිබඳව කිසිවෙකු දැන සිට නැත. නැවත ප්‍රදේශවාසීන්ගෙන් කරුණු විමසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය සොයාගන්නේ 1951 වසරේදීය. 

අකුරුගොඩ ටැම් ලිපියේ අක්ෂර

එම වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයේ ඒ වනවිට යම්තම් පොළොවෙන් මතුවී පෙනෙන්නට තිබූ මෙම අටපට්ටම් හැඩැති කුළුන පිහිටුවීමේ අරමුණ පිළිබඳව සොයා බැලීම උදෙසා කැනීමක් සිදු කරන අතර එහිදි හෙලිවී ඇත්තේ මෙම කුළුන භූමියේ සිටුවීමට පාදමක් ඉදිකර තිබී නැති බවත්, එය පොළොව මත ගිල්වා වඩාත් ශක්තිමත් කිරීමට සක්ක ගල් සහ වෙනත් ගල් පුවරු යොදාගෙන ඇති බවත්ය. මෙහිදී එම එක් ගල් පුවරුවක තිබී අඟල් 6 ක් පමණ විශාල වූ පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් රචිත තවත් ලිපියක් හමුවේ. එහි මහ රජුගේ අයබදු නිලධාරියා (අයක) වූ පරුමක පුශදෙව ගේ පොකුණ ලෙසින් සඳහන් වී ඇත. පැරණි මාගම නගරයේ තිබූ කිසියම් පොකුණකින් මෙම ගල් පුවරුව පසු කාලීනව (ලිපියේ අක්ෂර රටා අනුව පො. ව. 1 - 2 වන සියවස) පිහිටවූ සෙල් ටැඹ සිටුවීම උදෙසා රැගෙන එන්නට ඇත. ලිපියේ සඳහන් මහ රජ හෝ පුශදෙව ප්‍රධානියා නියත ලෙසින් හඳුනාගැනීමට නොහැකි මුත් ඔහු වංශ කතා වල සඳහන් දුටුගැමුණු රජුගේ ඵුස්සදේව 'යෝධයා' විය හැකිය යන මතයද එක්වර බැහැර කල නොහැක..

[ පරුමක පුශදෙව ගේ සහ ඔහුගේ පරපුරේ පුද්ගලයන්ගේ තවත් සෙල්ලිපි මෙම ස්ථානයේ සිට සැතපුම් 18 ක් පමණ දුරකින් පිහිටි සිතුල්පව් දෙකුන්දර වැව නම් ස්ථානයෙන් හමුවේ (ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා >> ) ]

කෙසේ නමුත් අයර්ටන්ට පොරොතුව 1884 වසරේදී මෙම සෙල් ලිපියේ පෙල කියවා  රාජකීය ආසියාතික සමිතියේ සඟරාවේ 8 වන වෙළුමේ පලකිරීමක් එවකට වාර්මාර්ග නිලධාරියෙක් ලෙස සේවල කල හෙන්රි පාර්කර් විසින් සිදු කර ඇත. අටපට්ටම් හැඩැති කුළුණු දෙකක තිබූ සෙල්ලිපි දෙකක් ලෙස ඔහු ඒ ගැන සඳහන් කරයි (ඒ වනවිටත් කැබැලි දෙකකට කැඩී තිබූ මුල් සෙල්ලිපිය පාර්කර් වරදවා සෙල් ලිපි දෙකක් ලෙස හඳුනාගෙන ඇත.)

අකුරුගොඩ ටැම් ලිපිය

මෙම ලිපියේ සියලුම අක්ෂර පැහැදිලිව කියවිය හැකි ලෙස සුරැකිව තිබෙන මුත් දැන් මෙන් එකල වාක්‍ය ලිවීමේදී වචන අතර පරතරයක් තබා ලියන පුරුද්දක් නොතිබූ බැවින් අකුරුගොඩ ගමෙන් හමුවූ එම ගල් ටැඹේ වූ 'අකුරු ගොඩින්' අර්ථයක් සහිත වචන වෙන් කර එම ලිපියේ සම්පූර්ණ අර්ථය ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එම කාර්යය තවත් අසීරු වන්නේ දැනට භාවිතයේ නොමැති සහ බොහෝවිට දැනට අපිට පරිශීලනය කිරීමට ලැබෙන පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල පවා හමු නොවන වචනද ඒ අතර තිබිය හැකි බැවිනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාද මෙහි මුල් කියැවීම ඉදිරිපත් කර පවසන්නේ එය අවසාන කියැවීම නොවන බවත් ඉහත හේතූන් නිසා මෙයට වෙනත් අර්ථකතනයක් දීමට වුව පසු අවස්ථාවකදී සිදුවිය හැකි බවත්ය. ඔහු කිවූ ලෙසින්ම එහි පද බෙදීම වෙනත් ආකාරයකට සිදු කරමින් තරමක වෙනස් අර්ථකතනයක් සෙනරත් පරණවිතාන මහතා Inscription of Ceylon වෙළුම 2 සඳහා පිළියෙල කරයි. එහෙත් එය පළවන්නේ 1972 සිදුවූ ඔහුගේ අභාවයෙන් වසර ගණනාවකට පසු මාලණි ඩයස් මහත්මියගේ සංස්කාරකත්වයෙන් වර්ෂ 2001 දීය.

 පරුමක පුශදෙව ගේ පොකුණ ලෙස සඳහන් වන සෙල්ලිපිය. ගල් පුවරුව වටා මායිමේ පැති තුනක පමණක් අකුරු ලියා ඇති මෙහි අවසාන අකුරු කිහිපයක් පමණක් රූපයේ දැකිය හැක.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පළමු වරට ඉදිරිපත් කරන පෙලේ අර්ථකතනය මේ ආකාරයටය. (සෙනරත් පරණවිතාන මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කල අර්ථකතනයේ සිංහල පරිවර්තනය පූජ්‍ය කොත්මලේ අමරවංශ හිමියන්ට අනුවය.)

මංගල්‍යයක් වේවා! වැඩෙන්නා වූ සංග හෙවත් තණ්හා නම්වූ  යම් මේ ධර්මයක් වේද, එය 'බය' නම් වේ. තිස්සගේ රාජකීය ග්‍රාමයෙහි ජනයා මිසදිටු බවටත් සංග සංඛ්‍යාත තෘෂ්ණාවටත් ආවර්තනය වන්නට (වැටෙන්නට) නොහැකිද? (හැක්කේමය. එහෙයින් ) මිසදිටු බව බිඳුණු කැමති බුදු රජුන් සරණ ගිය නාග උපරාජ නම් වූ මා විසින් උපරාජ කාලයෙහි කරන ලද ස්තම්භයයි.

සෙනරත් පරණවිතාන මහතා පසුව ඉදිරිපත් කරන පෙලේ අර්ථකතනය ඒ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ මේ ආකාරයටය. 

Success! The sacrifice is, Dharma; it is also to be accepted as the Good, it leads to heaven; it is not that, know it to be false belief. The desire for heaven is also not possible when it is (properly) understood. So (reflecting), I, the prudent one, by name Naga, the Uparaja, with the purpose of crushing false beliefs in the royal village went to the Buddha for refuge at the time of the viceregency administered by me.   

මෑතකදි මේ ලිපියේ පෙළ වෙනත්ම ආකාරයකට කියවන ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතා ලබාදෙන අර්ථකතනය මේ ආකාරයට වේ.

 යහපතක් වේවා! ගෙධම්ම නම් වූ මෙම සභා (ශාලාව) වඩමන නම් වූ  මෙහි (ග්‍රාමයෙහි) වසන සංඝයාට අයත්ය. මිත්‍යාදෘෂ්ටික ජනයාට එහි පැමිණිය නොහැකිය. මෙම රාජකීය ග්‍රමයෙහි මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන් බිඳ හෙලනු පිණිස උප රජ නාග නම් වූ මම බුදුන් සරණ ගොස් (මෙම ටැම් ලිපිය කළෙමි) මාගේ උප රජ කාලයෙහි මෙය කලෙමි.

මෙ සියළු අර්ථකතන වල පැහැදිලිව සඳහන් වන කරුණ නම් නාග නම් උප රජ කෙනෙකු මිත්‍යාදෘෂ්ටි ඇදහීම් අතහැර බුදුන් සරණ ගිය බවය. ප්‍රධාන වශයෙන් ඔහු මෙම ටැම් ලිපිය පිහිටුවන්නේ ඒ බව දැනුම් දීමටය. මේ ලිපිය පිහිටවූ අක්ෂර අයත් වන කාලයටම අයත් වන අඩු වැඩි වශයෙන් අන්තර්ගතය එයම වන තවත් ලිපියක් තිස්සමහාරාමයට සැතපුම් 8 ක් පමණ ගිණිකොණ දෙසින් පිහිටි කිරින්ද ප්‍රදේශයේ මුහුදු වෙරළට ආසන්නව පිහිටි වර්තමානයේ කිරින්ද විහාරය පිහිටි භූමියේ ගල් පර්වතයක හමුවේ. එහි සඳහන් වන්නේ එම ස්ථානයේ පිහිටි විහාරයේදී උප රජ නාග මිත්‍යාදෘෂ්ටිය බිඳ දමා බුදුන් සරණ ගිය බවය. එම ලිපිය ලියැවී ඇත්තේද විරිතකට අනුව පද්‍යමය ලෙසටය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ උප රජ නාග අතහැරි මිත්‍යාදෘෂ්ටිය වන්නේ සත්ව බිලී පූජා ආදිය සිදු කෙරෙන බ්‍රාහ්මණික ඇදහීම් බවය. ඔහු තව දුරටත් සඳහන් කරන්නේ මෙම සෙල්ලිපිය පිහිටවූ අටපට්ටම් කුළුන එම බ්‍රාහ්මණික ආගමේ බිලී පූජා සඳහා යොදා ගත් යූප ගල (එනම් යාග ස්ථම්භය - යාගය සඳහා බිලි දෙන සිව්පා සතුන් බැඳ තබන කණුව) විය හැකි බවය. කොටස් දෙකක් ලෙසට තිබූ එම ගල එක් කල විට අඩි 15 ක් පමණ උසය. එහි පැති 8 න් පැති දෙකක් පමණක් මෙම ලිපිය පිහිටුවීම සඳහා යොදාගෙන ඇති බැවින් එම කුළුන තැනීමේ අරමුණ මෙම ලිපිය පිහිටුවීම සඳහා නොවන බව පැහැදිලිය. ඒ අනුවද සෙනරත් පරණවිතාන මහතාගේ මතය නිවැරදි බව පිළිගත හැක.

අකුරුගොඩ සෙල් ලිපි සහ පුරාණ රුහුණේ තවත් පැරණි ස්ථාන දැක්වෙන වීඩියෝව >>



කිරින්ද ලිපිය මෙන්න අකුරුගොඩ ලිපියද සෙනරත් පරණවිතාන මහතා පළමුවන සියවසට අයත් බව එම ලිපි පිළිබඳව ඔහු ලියූ මුල් ලිපියෙන් පවසයි. තවද කිරින්ද ලිපිය බොහෝදුරට අක්ෂර අනුව මහාදාඨික මහානාග (පො.ව. 7-19) රජුගේ මහරත්මලේ ලිපියට සමාන බවද සඳහන් කරයි. කෙසේ නමුත් මේ ලිපියේ නම සඳහන් උපරජ නාග මහාදාඨික මහානාග බවට සෙනරත් පරණවිතාන මහතා එහිදි සඳහන් නොකරන අතර අකුරුගොඩ සහ කිරින්ද ලිපි හෙතෙම ඒවායේ පසු කාලීන සංස්කරණ වලදී පළමුවන සිරිනාග (පො.ව. 189-209) සිට මහාසෙන් (පො.ව.  274-301) දක්වා රජුන් අයත් වන කාලයට එනම් තුන්වන සියවසට අයත් කොටසේ ඇතුලත් කරන මුත් කිරින්ද සෙල් ලිපිය පිළිබඳ විවරණයේදී නැවතත් එය අක්ෂර රටා අනුව පළමුවන සියවසට අයත් වන බව අවධාරණය කරයි. මහාදාඨික මහානාග රජ අනුරාධපුරයේ රජ වීමට පෙර රුහුණේ උප රජ ලෙස සිටින්නට ඇති බවත්, ඒ නිසා මේ ලිපි වල නම සඳහන් උප රජ ඔහු වීමට හැකි බවටත් C.W. නිකොලස් කරන සඳහන් කිරීම උපුටා දක්වන සෙනරත් පරණවිතාන මහතා මෙම ලිපි වල සඳහන් උප රජු පසු කලක අනුරාධපුරයේ රජවූ රුහුණේ  පාලකයා ලෙස එයට පෙර සිටි  කුමරුවෙකු ලෙස සලකන්නේ නම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේ මහාදාඨික මාහානාග බවට අවධාරනය කරයි. වංශකතා සහ සෙල් ලිපි සාධක අනුව පෙනී ගොස් ඇති ලෙසට මහාදාඨික මහානාග රජු විශාල වශයෙන් සංඝයාට සහ බෞද්ධ විහාරාරාම ගොඩනැගීම ආදියට අනුග්‍රහය දැක්වූ රජ කෙනෙක් වීම එලෙස අනුමාණ කිරීමට හේතුව ලෙසට ඔහු දක්වා ඇත. ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාට අනුව අකුරුගොඩ සෙල්ලිපිය දෙවන සියවසට අයත් වේ. 

මෙහි රතු පාට කොටුවෙන් ආවරනය වන ප්‍රදේශය අකුරුගොඩ පැරණි ඇතුළු නුවර ප්‍රදේශය (Citadel) ලෙස පුරාවිද්‍යාත්මක ගවේශන තුලින් හඳුනාගෙන ඇත. ඇතුළු නුවර වටා තිබූ ප්‍රාකාරයේ ලක්ෂණ මෙම ගූගල් මැප් චන්ද්‍රිකා ඡයාරූපයට අනුවද හඳුනාගත හැක (රූපය මත ක්ලික් කර විශාලනය කර බලන්න) එහි දකුණු කෙලවරේ රතු පාට රවුම මගින් මෙම ශිලා ස්ථම්භය පිහිටි තැන ලකුණු කර ඇත. ඇතුළු නුවරට පිටින් දැනට තිස්සමහාරාම, සඳගිරිය, යටාල සහ මැණික් වෙහෙර ලෙස හඳුනාගන්නා පැරණි සංඝාරාම පිහිටි ස්ථාන රතු පාට රවුම් වලින් සලකුණු කර ඇත. ඇතුළු නුවරට බටහිරෙන් එනම් ඡායාරූපයේ වම් පසින් තිස්සමහාරාම වැව හෙවත් තිස්ස වැව පිහිටා ඇත.

මෙහිදී සඳහන් කල යුතු තවත් වැදගත් කරුණක් වන්නේ. මෙම සෙල්ලිපිය පිහිටි අකුරුගොඩ ප්‍රදේශය පුරාවිද්‍යාත්මක කැනීම් මගින් සොයාගෙන ඇති ලෙසට ජනාවාස සාධක බහුලව හමුවන බොහෝ දුරට පැරණි මාගම නගරයේ ඇතුළු නුවර (Citadel) පිහිටි ප්‍රදේශය වේ. ශිලා ස්තම්භය බොහෝදුරට එහි දකුණු දොරටුව අසල පිහිටා ඇත (මේ සමග ඇති සිතියම බලන්න.) ඉහත ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාගේ කියැවීම නිවැරදි නම් ශිලා ස්ථම්භය පිහිටුවන්නේ වඩමන නම් වූ ග්‍රාමයෙහිය (ග්‍රාමය යන වචනය සෙල් ලිපියේ නැත.) මහාවංශ ටීකාව වන වංසත්ථප්පකාසිනී යට අනුව කාවන්තිස්ස රජුගේ නායකත්වය පිහිටියේ මහාගාමයේ වඩ්ඪමානක නම් නගරයෙහිය. ඒ අනුව අකුරුගොඩ ජනාවාස සාධක හමුවන ප්‍රදේශය එම වඩ්ඪමානක නගරය ලෙස හදුනාගත හැක. සෙනරත් පරණවිතාන මහතාගේ මුල් කියවීම අනුව තිස්සගේ රාජකීය ග්‍රාමය යන සඳහනක් වෙයි. හෙන්රි පාර්කර් මහතාද ඔහු කියවූ ආකාරයට තිස්සමහාරාම වර්තමාන නගරයෙහි නාමය මෙම සෙල්ලිපියේද ඇති බව පවසයි.

කෙසේ නමුත් පො.ව. 1-2 සියවස් අතර කාලයේ  රුහුණේ උප රජ ලෙස සිටි නාග නම් රජ කෙනෙකුන් මිත්‍යාදෘෂ්ටි අතහැර වර්තමාන කිරින්ද විහාරය පිහිටි භූමියේ පිහිටි විහාරයකදි  බුදුන් සරණ ගිය බවත් ඔහු එවකට අගනුවර පිහිටි ඇතුළුනුවර දකුණු දොරටුව අභියස, බොහෝවිට ඔහු පෙර ඇදහූ ආගමේ බිලී පූජා යාග සිදු කල යූප ස්ථම්භයේ, ඒ බව සටහන් කර තැබූ බවත් මේ සියළු කරුණු සමාලෝචනය කර ගත් විට පෙනේ. තවද එයට පෙර යුගයේ සිටි පරුමක පුශදෙව නම් වූ රජුගේ අයබදු එකතු කරන නිළධාරියට අයත්ව තිබූ පොකුණක්ද මේ ප්‍රදේශයේ තිබී ඇති බවත් එම පොකුණේ නම සඳහන් කර තිබූ සෙල්ලිපිය සහිත ඵලකය පසු කාලීනව මෙම ගල් ටැඹ කෙලින් කර සිටුවීම සඳහා රැගෙනවිත් ඇති බවත් පැහැදිලිය. 

මූලාශ්‍ර

  • Brahmi Inscriptions in Sinhalese Verse, Paranavitana S., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXXVI, No 98, 1945.
  • Archaeology of Tissamaharama, Henry Parker, 1884 ( Reprint 1998)
  • Report of the Archaeological survey of Ceylon for 1951, Dr. S. Paranavitana, 1952
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions, Senarat Paranavitana, 1970
  • Inscriptions of Ceylon Vol II, Part 2. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kaniththatissa (164 - 192 A.D) to Mahasena(140-276 - 303 A.D). Senarat Paranavitana, 2001
  • ලක්දිව සෙල්ලිපි, හැඳින්වීම්, පෙළ, අනුවාද, විවරණ, විමර්ශන සහිතයි, සම්පාදක ආචාර්ය (රාජකීය ) පණ්ඩිත කොත්මලේ අමරවංශ හිමි,1969
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • පැරණිතම බ්‍රාහ්මී සෙල්ලිපිවලින් හෙළිවන රුහුණු රාජ්‍යය, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2009
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001

Tuesday, December 20, 2022

වැලි මළුව ජලයෙන් යටවූ දෙනා ඇත් වෙහෙරේ යටාල දාගැබ

යටාල විහාරය - වංශ කතා තොරතුරු

සිය පුතු හට රාජ්‍යත්වය ලබාගැනීම උදෙසා දේවානම්පිය තිස්ස රජුගේ දෙවන සහෝදරයා වූ උපරජ මහානාග මැරවීමට රජුගේ මෙහෙසිය අඹ ගෙඩියක විස යොදා ඔහුට යැවූ කල, උපරජු සමග ගොස් සිටි ඇයගේම පුතු අඹ අතර උඩින්ම තිබූ එම විස යෙදූ අඹ ගෙඩිය කා මියගිය පසු, මහානාග උපරජු සිය දේවිය සහ ධනයද ඇත් අස් , රිය හා බළසෙනගද ගෙන තමාගේ ආරක්ෂාව සඳහා රුහුණ බලා පලා යයි. එම ගමනේදී යටාල විහාරයට [යට්ඨාලයවිහාර] පැමිණි විට මහානාග උපරජුගේ දේවිය පුතෙකු ප්‍රසූත කල හෙයින් ඔහුට යටාලතිස්ස යයි නම් තැබූ බව මහාවංශයේ සඳහන් වේ. කෙසේ නමුත් සිංහල ධාතුවංශයේ (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය) සඳහන් වන්නේ යටාල විහාරය මාගම් නුවර විසූ ඉහත විස්තරය හා සම්බන්ධ මහානාග රජුගේ නිර්මාණයක් බවය. 14 වන සියවසේ ලියවුන සද්ධර්මාලංකාරය මහාවංශයේ පැවසෙන ආකාරයෙන්ම මුලින් මහානාග රජුගේ බිසවු අතරමගැ යටාල නම් විහාරයෙකැදී පුතණු කෙනෙකුන් වැදූ බව පවසා, පසු අවස්ථාවක සඳහන් කරන්නේ කාවන්තිස්ස රජු (ඉහත යටාලතිස්ස රජුගේ මුණුපුරු) තැනූ සූසැටක් රජමහ විහාර අතර යටාල වෙහෙරත් වූ බවය. සද්ධර්මාලංකාරයට පාදක වූ පාලි රසවාහිනියේද ඒ ආකාරයෙන්ම යටාල වෙහෙර කාවන්තිස්ස රජු කරවූ බව සඳහන්වේ. මහාවංශයේ එන පුවතට අනුව නම් මහානාග රජු රුහුණට පලායන අවස්ථාවේද එම මාර්ගයේ කිසියම් තැනක යටාල නමින් වෙහෙරක් තිබී ඇත. සිංහල ධාතුවංශයට අනුව එම මහානාග රජුම යටාල නමින් වෙහෙරක් ඉදි කර ඇත. ඒ වෙහෙර පෙර කී යටාල වෙහෙර නොව ඒ නමින්ම ඔහු කරවූ වෙනත් වෙහෙරක් වීමටද  ඉඩ ඇත. රසවාහිනිය සහ සද්ධර්මාලංකාරය අනුව කාවන්තිස්ස රජුද පෙර කී යටාල නමින් යුත් විහාරය හෝ ඒ නමින් යුත් විහාර දෙකින් එකක් හෝ අලුත් වැඩියා කිරීමක් හෝ නවතම වෙහෙරක් යටාල නමින් කරවා ඇත.  

වර්තමානයේ යටාල වෙහෙර නමින් හැඳින්වෙන වෙහෙර සහ ඒ ආශ්‍රිත මැණික් වෙහෙර ආදී වෙනත් නටබුන් දැක්වෙන වීඩියෝව >>


යටාල විහාරය - සෙල්ලිපි සාධක

යටාල දාගැබේ සලපතල මළුවේ තිබී හමුවූ සිධ අලගමික අල මහ විහරහි භිකු...ලෙසින් සඳහන් පො.ව. 2-3 සියවස් වලට අයත් අකුරින් ලියා ඇති පුවරු ලිපියක් 1995 වර්ෂයේදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කල බව එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.  යටාල ස්තූපයට නැගෙනහිර දෙසින් හමුවූ සෙල්ලිපි දෙකක් දැනට කියවා පළකර ඇත. 10 වෙනි ශතවර්ෂයට අයත් එම එක් ලිපියකට අනුව අභා සලමෙවන් නම් රජුගේ (මේ රජු හඳුනාගත නොහැක) රාජ්‍යත්වයෙන් තුන්වැන්නේ වෙසක් මස පුර පක්ෂයෙන් දහ වන දින දෙනා ඇත් වෙහෙර නියම්දෙට් [Chief Executive officer of the Dena At Vehera] නාදළ් ඔහු විසින් ඉදි කල නැටුම් මඩියෙහි [Dancing hall] සිටින නැට්ටුවන් උදෙසා සහ ගුළා දදගේ [Gula flag house] සයිසාකන පූජාව [මෙම පූජාව කුමක්දැයි පැහැදිලි නැත] නොකඩවා පවත්වාගෙන යෑම සඳහා රත්තරන් දස කළඳක් පිරිනමා ඇත. එම ශතවර්ෂයටම අයත් අක්ෂර වලින් ලියා ඇති එක් පැත්තක ඇති අකුරු පමණක් කියවීමට හැකි ටැම් ලිපි කැබැල්ලක් වන අනික් ලිපියෙහි දෙනා ඇත් වෙහෙරට නැගෙනහිරෙන් වූ කුඹුරක්ද ඇතුලත් පස් පයල පමණ වූ ඉඩමක් සම්බන්ද යමක් සඳහන් වේ. ලිපිය අභාසලමෙවන් නම් වූ හඳුනාගත නොහැකි රජ කෙනෙකුගේ රාජ්‍යත්වයෙන් තුන්වැන්නේ වෙසක් මස පුර පක්ෂයෙන් 10 වැනි දින එනම් ඉහත ලිපිය පිහිටවූ දිනම පිහිටුවා ඇත. 1999 දී කල ක්ෂේත්‍ර ගවේෂණයකදී යටාල වෙහෙරෙන් සොයාගත් පුවරු ලිපියක් මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිය ආචාර්ය උපාධි නිබන්දනයේ පල කර ඇත. ලිපියේ අවසානයට ඇති අකුරු 5 ක් හැර ඉතිරි කොටස කියැවිය හැකි එහි සඳහන් වන්නේ කිසියම් ඇලක ජල බද්ද මහා විහාරයේ භික්ෂුන්ට පිරිනැමූ බවකි. මීට අමතරව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ රුහුණේ සෙල්ලිපි සම්බන්ධ ග්‍රන්ථයක කියවා නැති සහ කියැවිය නොහැකි ලිපි අතර යටාල වෙහෙරෙන් හමුවූ ගල් කොටයක ගුතශ මණිය ලෙස කියාතිබෙන බව සඳහන් වේ. 

මෙහිදී ගයිගර් සිය මහාවංශ සංස්කරණයේ සඳහන් කරන කරුණක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ යටාල වෙහෙර යන නම ඒ අනුව ආල විහාර හෙවත් අල මහ විහර ලෙසින් නිරුක්ති ගැන්විය හැකි බැවිනි. ගයිගර් පවසන්නේ යට්ඨාලය යන්නෙහි අර්ථය කැපකරන්නාගේ නිවාසය හෙවත් ආරාමය (Dwelling or temple of the sacrificer) බවය. එය සංස්කෘත යස්ටාර්, පාලි යස්ථාර් සහ සංස්කෘත පාලියේ ආලය ලෙසින් ගත හැකි බව ඔහු පවසයි. මෙය තවදුරටත් අර්ථ දක්වන ආචාර්ය දනන්ජය ගමලත් ඉහත සෙල්ලිපියේ අල මහ විහර යන්නෙන් ඒ අනුව ආල විහාර යන්න කියැවෙන බවත් ඒ අනුව මහානාග රජු අනුරාධපුර රාජ්‍යත්වය හැර දමා මහාගාමයට පැමිණ සිදු කල කැපකිරීම සිහිවීමට සිය පුත්‍රයා උපන් ස්ථානයේ තිබූ විහාරයක් සංවර්ධනය කරවා එයට ආල විහාරය (එනම් යට්ඨාලය විහාර) යැයි නම් තැබුවා විය හැකි බවත් පවසයි. කෙසේ නමුත් පසු කලක එම නම වෙනස් වී 10 වන සියවස වන විට මෙම විහාරය දෙනා ඇත් වෙහෙර ලෙසින් හැඳින්වූ බව ඉහත විස්තර කල අනෙක් සෙල්ලිපි වලට අනුව පෙනේ. 

19 සියවසේ බ්‍රිතාන්‍ය වාර්තා සහ දැගැබ පිළිසකර කිරීමේ මුල් උත්සාහයන්

1834 වර්ෂයේ ජනවාරි මාසයේ මේජර් පෝබ්ස් "යටලතිස්ස දාගැබ" ගැන පවසන්නේ එය අඩි 70 ක් පමණ උස ගඩොල් ගොඩක් බවය. එහි මධ්‍යයෙන් පුපුරා තිබී ඇති අතර ගස් සහ අකුල් වලින් සම්පූර්ණයෙන්ම වැසී තිබී ඇත. මගපෙන්වන්නා විසින් පොර්බ්ස් හට පවසා තිබුනේ එවන් විශාල ගරාවැටීමකට හේතුව පෘතුගීසින් විසින් වෙඩි බෙහෙත් යොදා එය විනාශ  කිරිමට උත්සාහ කිරීම බවය. ගොඩවල් ලෙසින් අඩි 7 ක් පමණ උස ගල් කණු සිය ගානක් දාගැබ වටා විසිරී තිබූ බවත් ඒවා වෙනත් වෙනත් විහාර බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 

යටාල දාගැබ ප්‍රතිසංස්කරණය සඳහා සැලසුම් පිළියෙල කිරීමට කැණීමක් 1962-63 වර්ෂ වලදී සිදු කර ඇති අතර මෙහිදි පළමුවරට ගල් ඇතුරූ සලපතල මළුවට යටින් ගඩොල් ඇතුරූ මලුවක් හමුවේ. ගඩොලින් කල මළුවේ මතුපිට අඟල් 3 ක් පමණ ඝනකම හුණු බදාමයක් තිබී ඇති බවටද සාධක මෙහිදී සොයාගෙන ඇත. දගැබේ උතුරු දිශාවෙන් සිදු කල කැනීමකදි දැනට පිහිටි පොළවේ සිට අඩි 3 ක් යටින් ප්‍රාකාරයක පාදම හමුවී ඇති අතර එම අඩිතාලමට බොරදම් සහිත ගඩොල් යොදා ඇති බව නිරීක්ෂණය වී ඇත. එම ප්‍රාකාරයට පිටින් තවත් ප්‍රාකාරයක් ඇති බවත් එහි ඇති අඩි 3 ක් පමණ උස කණු ඇත් පවුරක අවශේෂයන් විය හැකි බවත් එම කැනීම පිළිබඳව විස්තර ඉහත වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ ඉදිරිපත් කරන C.E. ගොඩකුඹුර මහතා සඳහන් කරයි (එම ඇත් පවුර පසුව කරන කැනීම් වලදී සොයාගනී. මෙහි පහත විස්තරය බලන්න.) ඔහු එහි වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉහත සඳහන් ප්‍රාකාර බැමි සියල්ල වසා මෑත කාලයේදී දාගැබ සහ මළුව විශාල කර ඇති බව අවට ඇති ගල් කණු වලින් පෙනෙන බවය. 

යටාල දාගැබේ සංරක්ෂණය කල ඇත් පවුර සහ ජලයෙන් යටවූ පිට මළුව හෙවත් වැලි මළුව
ස්ථානයේ සිදු කරන මූලික කැනීමකින් අනතුරුව එය ප්‍රතිස්ථාපනය කිරීමේ සැලසුමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1972 දී පිලියෙල කරන අතර එහිදි හෙලිවූ කරුණු අනුව මුල් දාගැබ පො.ව. පූර්ව 1 වැනි සියවසට අයත් බවත් පො.ව. 4 වන සියවසේ හෝ පසුව සිදුවූ එහි විශාල කිරීමක් පිළිබඳවත් 1970-1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 1975 වර්ෂයේදී ස්තූපයේ සංරක්ෂණය පිළිබඳව එකඟතාවයක් දෙපාර්තමේන්තුව සහ යටාල වෙහෙර ප්‍රතිස්ථාපන සමිතිය අතර අත්සන් කරන අතර ඉක්බිති මුල් කාර්යය ලෙස සිදු කර ඇත්තේ 1883 වර්ෂයේ එකල තිබූ ප්‍රතිස්ථාපන සමිතිය මගින් ස්තූපයට එකතුකල ගඩොල් කබොළ ගලවා ඉවත් කිරීමයි. එම ප්‍රතිස්ථාපන උත්සාහය අතරතුරදි මුලදී එක් පේසාවක් පමණක් තිබූ ස්ථූපයට පේසා තුනක් එකතු කර ඇත. 1975 පෙබරවාරි මස 26 දින සිදුවූ මුල්ගල් තැබීමේ උත්සවයෙන් අනතුරුව ස්තූපයේ ගිණිකොණ දිග සහ ඊසාන දිග කොටස් වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉහත කී සමිතිය මගින් එම කටයුතු ආරම්භ කර ඇත. ඇතුළු මළුවට පිටතින් මෙහි පැරණි ගඩොල් මුවා ඇත් රූප සහිත හස්තිප්‍රාකාරය එහි ඇතැම් තැන් වල  හුණු බදාමද සුළුවෙන් හෝ ඉතිරිව ආරක්ෂාවී තිබී ඇති අතර, ඒවා සංරක්ෂණය කිරීමද මෙහිදී සිදු කර ඇත. ඇත් රූප වල සැලකිය යුතු මට්ටමේ ප්‍රතිස්ථාපනයක් මෙහිදී සිදු කර ඇති බව සඳහන්ය. ස්තූපයේ පේසාවේ පාදමට ආසන්න ගැටි බැම්මේ වූ හුණුගල් වල වූ 5 වන ශතවර්ෂයට අයත් බ්‍රහ්මී අක්ෂර වලින් ලියා ඇති සෙල්ලිපි විශාල ප්‍රමාණයක් මෙහිදී හමුවූ බව පැවසේ. සමිතිය මගින් මෙම කාර්යන් සඳහා එකතු කල මුදල් අවසන් වෙමින් තිබූ හෙයින් ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සපයාගැනීම උදෙසා 1977 දෙපාර්තමේන්තු අයවැයට රුපියල් 70000 ක වැය ශ්‍රීර්ෂයක් හඳුන්වාදුන් බවද 1970-1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 
යටාල විහාරයයේ සිටි භික්ෂූන් වහන්සේලා වැඩසිටි ආවාස කුටි ලෙස අනුමාන කරන මෙවැනි ගොඩනැගිලි කිහිපයකම අවශේෂ යටාල දාගැබ අවට දැකිය හැක.
19 වන ශතවර්ෂයේ අවසාන භාගයේ ආරම්භ වී සිදුකල පුද්ගලික සංරක්ෂණයකදි ස්තූපයේ බඳට එකතු කල ඝන ගඩොල් ස්ථරයේ බටහිර සහ වයඹදිග පැති වල ගඩොල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කල බව 1979 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන්වේ. කෙසේ නමුත් කතරගම ගම් උදාව ව්‍යාපෘතියට සමගාමීව මෙම දාගැබේ සංරක්ෂණයක් 1994 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නැවතත් ආරම්භ කරයි. ඉහත සඳහන් කල පරිදි බෞද්ධ සමිතියක් මගින් මෙම දාගැබ සංරක්ෂණය කිරීමේ උත්සාහයක් එයට පෙර සිදු කර ඇති අතර මුලදී එක් පේසාවක් පමණක් තිබූ මෙහි එම සංරක්ෂණය සිදු කල පිරිස විසින් පේසා තුනක් එකතු කර අඩි 40 ක් පමණ උසක් දක්වා ඉදිකිරීම් සිදුකර නතර කර ඇත. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නැවතත් මුල සිටම ස්තූපයේ සංරක්ෂණය ආරම්භ කර ඇත. එහිදි ප්‍රධාන දිශා සතරින්ම සඳකඩපහණ සහ පඩිපේලි සහිත පිවිසුම් හතරක් සහිත පිට මළුවේ කැනීමක් සිදු කරන අතර දැනට පිහිටි පොළොවේ සිට අඩි 5 ක් යටින් පිහිටි එම මළුව පාදාගැනීමත් සමග එය වතුරින් පිරී  ඇත. පුරාණයේ තිබූ මට්ටමේ සිට භූගත ජල මට්ටම අඩි 5 ක් පමණ මෙම ප්‍රදේශයේ ඉහල ගොස් තිබීම මෙයට හේතුව බව පැවසේ. එම භූගත ජල මට්ටම තිස්සමහරාම වැව දක්වාම එලෙස ඇති බව සඳහන්වේ. එම හේතුව නිසා මේ වන විටත් එම පිට මළුව ජලයෙන් යටවී ඇති අතර එම ජලය ඉවත් කිරීමට ගත් සියළු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇත.

ස්තූපයේ සංරක්ෂණයට පෙර යටාල වෙහෙරෙහි ගල් පතුරු ඇල්ලූ සලපතල මලුවෙහි 1998 වර්ෂයේ සිදු කල කැනීමකදී යටම පිහිටි ගල් පතුරු ස්ථරයට යටින් අවම වශයෙන් අවධි තුනකට අයත් ගඩොල් ස්ථර අතුරා ඇති බව නිරීක්ෂණය වී ඇත. පහලම පිහිටි ස්ථරයේ ගඩොල් ප්‍රමාණයෙන් විශාල ඒවා බවද සඳහන්ය. එම කැනීමෙන් ගෙවීගිය කෙටි පාද සතරක් සහිත ශෛලමය ඇඹරුම් ගල් වැනි භාණ්ඩ (Saddle querns) කිහිපයක්ම හමුවී ඇති අතර ඒවායේ මතුපිට පො.ව.  3 - 2 සියවස් වලට අයත් මුල් බ්‍රහ්මී අකුරු සහ විවිධ සෞභාග්‍යයේ සංකේත කොටා තිබී ඇත (මෙම ගල් කිහිපයක් දැනට යටාල කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.)   

පිළිම ගෙයක්

19 වන සියවසේ හෙන්රි පාර්කර් යටාල දාගැබේ සිදු කල නිරීක්ෂණ

යටාල දාගැබේ 19 වන සියවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අවධියේ එහි තිබූ ගඩොල් විශාල ප්‍රමාණයක අක්ෂර කොටා තිබූ බව එවකට වාරිමාර්ග නිලධාරියෙක් වූ හෙන්රි පාර්කර් නිරීක්ෂණය කර ඇත. කිහිපයක් හැර සියළුම ගඩොල් වල පාහේ තිබී ඇත්තේ එක අක්ෂරයක් මුත් අකුරු දෙකකින් සැදි පුද්ගල නාම ලෙස ගිනිය හැකි කජ, තක, ජත වැනි ගඩොල්ද ඔහුට හමුවී ඇත. පාර්කර් අනුමාන කරන්නේ එම අක්ෂර ගඩොල් නිෂ්පාදනය කල පුද්ගලයන්ගේ මුලකුරු විය හැකි බවය. ගඩොල් පිලිස්සීමට පෙර එම අක්ෂර ලියන්නට ඇති බවය ඔහුගේ අදහස. බහුතරයක් ගඩොල් වල අකුරු ලියා ඇත්තේ ඇගිල්ලෙන් බවය පාර්කර් සඳහන් කරන්නේ. එහෙත් ගඩොල් කිහිපයක උල් කල කෝටුවකින් හෝ රිකිල්ලකින්ද තවත් ස්වල්පයක් පැහැදිලිවම තද ලී වර්ගයකින් කල අච්චුවකින් අලංකාර ලෙස ගැඹුරට මුද්‍රා තබා තිබූ බවත් හෙතෙම සඳහන් කරයි. පාර්කර් යටාල දාගැබ ඉදිකල කාලය පො.ව. පූර්ව 220 පමණ කාලය විය හැකි බවට අනුමාන කරයි. මීට අමතරව පාර්කර් හට කලින් ධාතු ගර්භය තුල තිබී පසුව එය හාරා විනාශ කල පසු පහලට වැටී ස්තූපයේ පහල කොටසේ සුන්බුන් අතර යටවී තිබී කරඩු හතරක්ද හමුවේ. මින් එකක් අඹතේස්ත [Amethyst] පාෂාණයෙන්ද, තවකෙක් ස්ඵටික පාෂාණයෙන්ද [Rock-crystal] (මෙහි පියනද ඒ සමග වෙනම තිබී හමුවී ඇත.) තනා තිබී ඇත. ක්‍රිසෝබෙරිල් [Chrysoberyl] පාෂාණයෙන් නිමවූ දාගැබක හැඩය සහිත තවත් කරඩුවක් සහ ස්ඵටික පාෂාණයෙන්ම නිමවූ මනාව ඔපදැමූ තවත් කරඩුවක් එහි පියනද සමගින් හමුවූ බව පාර්කර් විස්තර කරයි. එම සිව්වන කරඩුවේ කුහරය තුල ධාතු තැන්පත් කර තිබූ තුනී රත්තරන් පතුරු දෙකක්ද තිබී ඇත. තවද කාසි දෙකක් විය හැකි රිදියෙන් කල නමුත් කිසිදු සලකුණක් නොමැති සතරැස් කුඩා පැතලි කැබලි දෙකක්ද ඔහුට හමුවූ ද්‍රව්‍ය අතර තිබී ඇත. මෙහි තිබී පාර්කර් හට හමුවු සුවිශේෂම දෙය නම් රතු කාර්නේලියන් පාෂාණයෙන් තැනූ මුදුවකට අල්ලා තිබුනා විය හැකි මුද්‍රාවයි. එහි මුහුණතේ පුටුවක් වැනි ආසනයක ඉඳගෙන සිටින රජ කෙනෙකුගේ රුවක් කැටයම් කර තිබී ඇත. පාර්කර්ගෙ විස්තරයට අනුව එම රූපයේ ඉතා සියුම් ලෙස එම පුද්ගලයාගේ ශරීරයේ සහ ඔහු පැලද සිටි ආභරන සහ ඇඳුම් ආදියේ මෙන්ම ඔහු වාඩිවී සිටින ආසනයේද විස්තර මතු කර තිබී ඇත. (එම කාර්නේලියන් ගලේ ප්‍රමාණය අඟල් 0.78 කි.)  

හුණු ගලින් නිර්මිත බුදු පිළිම 2 සහිත පිළිම ගෙය

යටාල ස්තූප මළුවේ ප්‍රතිමාගෘහ සහ පිළිම

යටාල ස්තූප මළුවේ ප්‍රතිමාගෘහ 8 ක් ඉදි කර තිබී ඇත. එහෙත් දැනට එහි ආරක්ෂා වී ඇත්තේ 7 ක් පමණි. සෑ මළුවේ එක් කෙලවරක දෙක බැගින් ඉදි කර ඇති මෙම ප්‍රතිමාගෘහ අතරින් චතුරශ්‍ර සැලසුමකට ඉදි කර ඇති එක් ප්‍රතිමාගෘහයක පාදම සලපතල මළුවේ මට්ටමට වඩා පහලින් ඇති හෙයින් මුලින් ඉදි කරන්නට ඇති බවත් ඉතිරි ප්‍රතිමාගෘහ ඉන්පසු කාලයකදි එකවර ඉදි කරන්නට ඇති බවත් ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසයි. ඔහු එම ප්‍රතිමාගෘහය හැර අනිත් ප්‍රතිමා ගෘහ 7 ඉදි කල කාලය පො. ව. 5-7 සියවස් වලට අයත් විය හැකි බව සඳහන් කරයි. පැරණි ප්‍රතිමාගෘහය ඔහුට අනුව පො.ව. 3 - 6 සියවස් අතර කාලයේ ඉදි කර ඇත.  මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට අනුව මෙම ප්‍රතිමා ගෘහ පොළොන්නරු යුගයට අයත් ඒවා වේ. එහෙත් මෙම ප්‍රතිමාගෘහ එම යුගයට අයත් වන්නේ කුමන හේතූන් නිසාද යන්නට ඔහු කරුණු නොදක්වයි. පොළොන්නරු යුගයට නිසැකවම අයත් කල හැකි පබළු වෙහෙර වැනි පොළොන්නරුවේ තිබෙන දාගැබ් කිහිපයකම මේ ආකාරයේ ප්‍රතිමාගෘහ දාගැබ් මළුවේ දක්නට ලැබෙන හෙයින් ඔහු එම අදහස පල කලා විය හැක. එහෙත් එම අදහස ප්‍රතික්ශේප කරන ආචාර්ය දනන්ජය ගමලත් පොළොන්නරු යුගයේ ඉදිකල එම සියළුම පිළිම ගෙවල් දාගැබ් මළුවේ ස්ථූපයේ පේසා වලට බද්දව ස්තූපයට පිටුපා සිටින සේ පිළිම තැන්පත් කිරීමට ඉදි කල ඒවා බව ආදී වාස්තුවිද්‍යා ලක්ෂණ කිහිපයකම වෙනස්කම් මෙන්ම යටාල වෙහෙරේ තැන්පත් කර තිබූ පිළිම වල අංග ලක්ෂණ අනුව ඒවා පො.ව. 3 - 7 සියවස් අතර ප්‍රචලිතව තිබූ අමරාවතී සහ පශ්චාත් ආන්ද්‍ර අමරාවතී බුද්ධ ප්‍රතිමා වල මූලික ලක්ෂණ නියෝජනය කරන හෙයින් එම පිළිම හෝ ප්‍රතිමාගෘහ පොළොන්නරු යුගයට අයත් කල නොහැකි බව පෙන්වා දෙයි.  

බෝධිසත්ව රූපය
යටාල දාගැබ් මළුවේ පිළිමගෙයක් තුල හුණුගලින් කල බෝධිසත්ව රූපයක් ඇත. 7-8 සියවස් වල නිර්මාණය කරන්නට ඇති බව පැවසෙන මෙය රජ රුවක් විය හැකි බවට ෂ්රූඩර් සිදු කරන අනුමානය මෙම පිළිමය ප්‍රතිමාගෘහයක් තුල තැන්පත් කර ඇති බැවින් ආචාර්ය දනන්ජය ගමලත් ප්‍රතික්ෂේප කරයි. ඩොලමයිට් මාර්බල් පාෂාණයෙන් නිමකර ඇති මෙම බෝධිසත්ව රූපයේ මකූටයේ සලකුණු අපැහැදිලි බැවින් එයින් කිනම් බෝධිසත්වවරයෙකු නිරූපණය වන්නේදැයි ඉඳුරා පැවසිය නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙම දාගැබ් පරිශ්‍රයෙන් හමුවූ තවත් හුණුගලින් නිර්මාණය කර ඇති 6-7 සියවස් වලට අයත් බවට විශ්වාස කරන බෝධිසත්ව ශීර්ෂයක් සහ 7-8 සියවස් වලට අයත් යැයි පැවසෙන බොහෝවිට මෛත්‍රී බෝධිසත්ව පිළිමයක් ලෙසට හඳුනාගත හැකි දෑත් වලින් අහ්වන මුද්‍රාව දැක්වෙන පිළිමයක් යටාල කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා ඇත. ඉහත බෝධිසත්ව ශීර්ෂය හින්දූන්ගේ යෝගී ශිව ( යෝගේශ්වර) රූපය අනුකරණය කරමින් මහායාන බෞද්ධයන් නිර්මාණය කල යෝගී අවලෝකිතේශ්වර පිළිමයක හිසක් බවත් සමහර යෝගී අවලෝකිතේශ්වර පිළිම වල ජටාමකූටයේ ධ්‍යානි බුදුරුව නැති බවත් යටාල වෙහෙරින් ලැබී ඇත්තේ එවන් බෝධිසත්ව ශීර්ෂයක් බවත් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා සඳහන් කරයි. මෙම පිළිම ගෙවල් 8 අතරින් එක් පිළිමගෙයක හුණු ගලින් නිර්මිත බුදු පිළිම 3 ක් හමුවී ඇති අතර ඉන් වඩාත් හොඳ මට්ටමේ තිබූ ස්ඵටික හුණුගලින් තැනූ දකුණතින් අභය මුද්‍රාව නිරූපිත පිළිමය දැනට යටාල කෞතුකාගාරය තුල තැන් පත් කර ඇති අතර, අනෙක් පිළිම දෙක එම පිළිම ගෙය තුලම දැකිය හැක. මින් එක් පිළිමයක හිස දැකිය නොහැකි අතර මෙම පිළිම සියල්ල 8 වන සියවසට අයත් විය හැකි බවට ෂ්රූඩර් අනුමාණ කරයි. යටාල පරිශ්‍රයෙන් හමුවූ හුණුගලින් නිර්මිත තවත් අඩි 1.5 පමණ උස බුදු පිළිමයක සිරසක් ෂ්රූඩර් 7-8 සියවස් වලට කාල නිර්ණය කර ඇතිමුත්  සෙනරත් පරණවිතාන මහතාට අනුව එය 3 වන ශතවර්ෂයට අයත්ය. යටාල කෞතුකාගාරය තුලම තවත් 5-6 සියවස් වලට අයත් ලෙස අනුමාණ කරන ශීර්ෂය රහිත හුණුගලින්ම නිර්මිත පීඨයක් මත නෙලා ඇති හුණුගල් හිඳි පිළිමයක් දැකිය හැකි අතර එහි පිටිපස වූ හුණුගලින්ම නිර්මිත ආසනයේ වම්පසින් කිසියම් රුවක් මතු කර ඇති බව පෙනේ. පොළොන්නරුව ගල් විහාර පිළිම අතර දැකිය හැකි බෙහෙවින් මතභේදයට ලක්වූ පිළිමයක් වන දෑත ලය මත බැඳ තබාගෙන සිටින ආකාරයේ මුද්‍රාවක් සහිත කවන්ද පිළිමයක් මෙම යටාල පරිශ්‍රයෙන්ද හමුවී ඇත (මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට අනුව  යටාල කෞතුකාගාරයේම තබා ඇති ඉහත විස්තර කල බුදු පිළිම හිස මෙම පිළිමයේ හිස වේ.) හුණුගලින් නිර්මිත මෙම පිළිමයද 8-7 සියවස් වලට අයත් ලෙස සැලකෙන අතර දැනට යටාල කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. නමුත් පොදුවේ මෙම සියලු බුද්ධ ප්‍රතිමා පො.ව. 3 - 7 සියවස් අතර කාලයේ ප්‍රචලිතව තිබූ අමරාවතී සහ පශ්චාත් ආන්ද්‍ර අමරාවතී සම්ප්‍රදායට අනුව නෙලා ඇති හෙයින් ඒවා එම යුගයන්ට අයත් විය යුතු බවය ආචාර්ය දනන්ජය ගමලත් මහතාගේ මතය.

ස්තූපයේ පහල මට්ටමේ බොරදම් වල මහායාන සූත්‍රයක් වන ධාරණී සූත්‍රය කොටා ඇති බැවින් (ඉහත සඳහන් කල 70 දශකයේ සිදු කල කැනීම් වලදී ස්තූපයේ පේසාවේ පාදමට ආසන්න වූ ගැටි බැම්මේ තිබී හමුවූ බ්‍රාහ්මි අක්ෂර වලින් ලියා ඇති සෙල්ලිපි මෙම ධාරණී සූත්‍රය සහිත සෙල්ලිපි විය යුතුය.) මෙම යටාල ස්තූපය අයත් වන සංඝාරාමය මහායාන ඇදහීම් පිළිගත් භික්ෂූන් සිටි සංඝාරාමයක් බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. එම අක්ෂර  4 වැනි හෝ 5 වැනි සියවස් වලට අයත් බවය ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. කෙසේ නමුත් මෙරට මහායානික ඇදහීම් පිළිබඳව මහාවංශයට අනුව මුලින්ම සඳහන් වනුයේ වෝහාරිකතිස්ස (පො.ව. 209-231) හා පසුව ගෝඨාභය හෙවත් මේඝවණ්ණ අභය ( පො.ව. 249-262 ) රජුගේ රාජ්‍ය කාල වලදීය. එසේම මෙරටින් හමුවී ඇති පැරණිම මහායාන ලේඛන පො.ව. 8 වන සියවසට වඩා පැරණි නොවේ. එහෙත් කිසියම් කලක මෙම විහාරය මහායාන ඇදහීම් සිදු කල ස්ථානයක් බවට පත්වූ බව එම සාධකය මෙන්ම බෝධිසත්ව වන්දනය උදෙසා පිළිමයක්ද සහිතව වෙනමම පිළිම ගෙයක් තිබීම ආදී වෙනත් පුරාවිද්‍යාත්මක අවශේෂ අනුව පැහැදිලිය. එය අනුරාධපුර යුගයේ මධ්‍යතන අවදිය විය හැක.  

යටාල වෙහෙර පරිශ්‍රයේ ඇති ආසනඝරය නොහොත් බෝධිඝරය පිළිබඳව වූ ලිපිය කියවීමට >>

මූලාශ්‍ර

  • Archaeological survey of Ceylon Inscriptions of Ceylon  Volume V Part III, Sirimal Ranawella, 2005
  • Administration Report of the Archaeological Commissioner for the years 1970-1977, R.H. de Silva
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • Administration Report of the Commissioner of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunaratne
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
  • ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව,  මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ, 2006
  • 1962-63 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1964
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Studies in Global Archaeology 5,  Raj Somadeva, Urban Origins in Southern Sri Lanka, 2006
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
  • Archaeology of Tissamaharama, Henry Parker, 1884 ( Reprint 1998)
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • සද්ධර්මාලංකාරය



Sunday, December 4, 2022

ප්‍රාග් බෞද්ධ යක්ෂ ගෝත්‍රිකයන් පුද පෙත් කල ටංකිතමඤෙචා බෞද්ධයන්ට ආසනඝර වීද?

හම්බන්තොට - තිස්සමහාරාම පාරේ හමුවන යඨාල දාගැබ ඉදිරිපස පාරෙන් අනිත් පස පිහිටි යඨාල ආසනඝරය ලෙසින් හැඳින්වෙන පෞරාණික ගොඩනැගිල්ල එතරම් සංචාරක ආකර්ශනයක් නොලබන ස්ථානයක් බැවින් දිගින් අඩි 23 වන මෙරට හමුවන විශාලම ගල් ආසනය එහි ඇති බව බොහෝදෙනෙක් නොදන්නා කරුණකි. බුද්ධ ප්‍රතිමාව හඳුන්වාදීමට ප්‍රථම බුදුන් වහන්සේ සංකේතවත් කල පූජනීය වස්තුවක් ලෙස සැලකෙන ගල් ආසන මෙරට බොහෝ ස්ථාන වලින් හමුවන මුත් 'මල් ආසන' නැතහොත් 'ගල් ඇඳන්' ලෙස ජනවහරේ අද හැඳින්වෙන ඒවාට කිසිදු පූජනීය සැලකිල්ලක් කිසිදු බෞද්ධයෙකුගෙන් යොමු නොවේ. ප්‍රථම වරට මෙම ස්ථානයේ කැනීමක් 1965 අගෝස්තු මස 7 වෙනි දින සිදු කෙරී ඇතිමුත් මුල් දිනයේ ඉතා උනන්දුවෙන් එයට සහභාගී වූ දෙබරවැව සහ තිස්ස මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන්ද කැනීමෙන් කැබලිති මිස කිසිවක් හමු නොවීම නිසා උකටලීවදෝ කලින් කථාකරගත් පරිදි පසුදින වැඩට පැමිණියේ නැති බව එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ චාර්ල්ස් ගොඩකුඹුරේ මහතා 1964-65 වසර සඳහා වූ සිය පාලන වාර්තාවේද විශේෂයෙන් සඳහන් කර ඇත. එවන් අඩු අවධානයක් යොමු වූ යටාල ආසනඝරය මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. මේ ලිපිය එම ආසනඝර නටබුන් ආශ්‍රයෙන් මෙරට හමුවන ආසනඝර ලෙසින් හැඳින්වූ වර්තමානයේ බොහෝ වියතුන් බෝධිඝර නටබුන් ලෙස හඳුනාගන්නා පුරාණ ගොඩනැගිලි පිළිබඳව කෙරෙන විමසීමකි.

අට්ඨකතා සහ වංශ කථා මූලාශ්‍ර වල හමුවන ආසනඝර/සිලාපල්ලංක

විනය අටුවාව වන සමන්තපාසාදිකාවේ චෙතියඝරං, බෝධිඝරං, ආසනඝරං..ආදී 
වශයෙන් විහාරාරාමයක වූ ගොඩනැගිලි කිහිපයක් ගැන සඳහන් කිරීමකදී ආසනඝරය නම් වූ ගොඩනැගිල්ලක් ගැන සඳහනක් වේ. එහිම වෙනත් තැනක බෝධිරුක්ඛ, බෝධිඝර,ආසනඝර ලෙසින් නැවතත් බෝරුක, බෝගෙය සහ තවත් ගොඩනැගිලි කිහිපයක් ගැන සඳහනකදී ආසනඝරය යන ගොඩනැගිල්ලක් ගැන පවසයි. විමතිවිනෝදනී නම් වූ සමන්තපාසාදිකාවට කල ටීකාවේ "ආසනඝර නති පටිමාඝාරං" ලෙසින් අසනඝර යනු පටිමාඝරයයි සඳහන් වේ. බෝ ගසක අතු කැපීම කැප වන සහ අකැප වන අවස්ථා පිළිබඳව සඳහන් කිරීමේදී පපඤ්ච සූදනී නම් වූ මජ්ජිම නිකායට්ඨ කතා අටුවාවේ මෙසේ සඳහන් වේ -  "යම් බෝ අත්තක් බෝධිඝරයට බාධා වෙයි ද එය ගෙය රැකීම පිණිස සිඳීමට ඉඩ නොලැබෙයි. මක්නිසාද යත්? ඒ ගෙය තනා ඇත්තේ බෝධියේ ප්‍රයෝජනය සඳහාය. ගෙහි ප්‍රයෝජනය සඳහා බෝධිය කලේ නොවන හෙයිනි. ආසනඝරය කෙරෙහි ද මේ ක්‍රමයයි. යම්කිසි ආසනඝරයක ධාතු තැන්පත් කර ඇද්ද එහි ආරක්ෂාව උදෙසා බෝ අතු සිඳීම සුදුසුය." මේ කාරණය මේ අකාරයෙන්ම මනෝරථපූරණී නම් වූ අංගුත්තර නිකායට්ඨකථා සහ සමෙමාහ විනොදනී නම් වූ විභංගටඨ කථා යන අටුවා ග්‍රන්ථ වලද දක්වා ඇත. 
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයට උතුරු දෙසින් පිවිසීමට ඇති දොරටුව
එකල 'ආසන පූජා' සිදු කල බව සඳහනක් දීඝ නිකායට බුද්ධඝෝෂ ස්ථවිරයන් විසින් සිදුකල සුමංගල විලාසිනී නම් වූ අට්ඨ කථාවේ සඳහන් වේ. එහි ආටානාටිය සූත්‍රය ගැන වූ විවරණයේ සඳහන් වන්නේ අමනුෂ්‍යය කරදර දුරු කිරීමට අමනුෂ්‍යය භය ගන්නා වූ තැනත්තන් විහාරයට පමුණුවා, සෑ මලුවෙහි වැදහොවා,  ආසන පූජාව කරවා, පහන් දල්වා, සෑ මළුව ඇමද, මංගල ගාථා කිව යුතු බවය. ඉන්පසු  අමනුෂ්‍ය ගන්නා ලද ඔබ කිනම් වේදැයි විචාල යුතු බවත්, නම කී කල නමින්ම ආමන්ත්‍රණය කර, මේ නම ඇති ඔබට සුවඳ මල් පූජා ආදියේ පින, ආසන පූජාවේ පින, පිණ්ඩපාතයේ පින.. පමුණුවා භික්ෂු සංඝයා කෙරෙහි  ගෞරවයෙන් මොහු මුදවයි කියා මිඳවිය යුතු බවය. 
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයේ ගඩොල් මණ්ඩපයක් මත සංරක්ෂණය කර ඇති ගල් ආසනය
විශුද්ධි  මාර්ගයෙහි පීත කසිණය වඩනා ක්‍රමය ගැන එන විස්තරයකදී චිත්තල පබ්බතයෙහි [එනම් සිතුල් පව්වෙහි] පතඟ [පතඟි/Biancaea sappan] මලින් කල ආසන පූජාව බලන්නා හා ම ඒ ආසන ප්‍රමාණ වූ නිමිත්ත [Mental image] චිත්තගුන්ත තෙරුන්ට උපන් බව සඳහන් වේ. මේ පාඨයෙන් පැහැදිලි වන්නේ ආසනයක් යනු සැලකිය යුතු තරම් විශාල දෙයක් වන බවය. 

මේඝවණ්ණ අභය රජතුමන් [පො.ව. 249-262] උතුම් මහාබෝධිඝරයේ [මහාබොධි ඝරුත්තමෙ] ශිලා පල්ලංකයක් [සිලාපල්ලංකං] කරවූ බව දීපවංශයෙහි සඳහන් වේ. මේඝවණ්ණාභය නමින්ද ප්‍රසිද්ධ වූ ගෝඨාභය රජු මහාබෝධියේ තුන්දොරටුවක සිලාමය ප්‍රතිමා කරවා, දකුණු දොරටුවෙහි සිලාමය පල්ලංකද තැබූ බව [පල්ලංකෙ දක්ඛිණම්හි සිලමයෙ] එම සිද්දිය විස්තර කරන මහාවංශය සඳහන් කරයි. C.E. ගොඩකුඹුර මහතා පවසන්නේ වංශ කථා වල පල්ලංක ලෙසින් හඳුන්වන්නේ අට්ඨ කතා වල ආසන ලෙසින් හඳුන්වන ගල් ආසනම වන බවය.
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයේ ගඩොල් මණ්ඩපයක් මත සංරක්ෂණය කර ඇති ගල් ආසනය

12 වැනි සියවසේ ලියන ලද විමතිවිනෝදනියේ හැර ඉහත අට්ඨකතා මූලාශ්‍ර කිසිවක බුද්ධ ප්‍රතිමා වන්දනාව සිදු වූ ප්‍රතිමාඝර ගැන සඳහන් නොවේ. වංශ කථා මූලාශ්‍ර වල පවා ගෝඨාභය රජතුමා කරවූ සිලා ප්‍රතිමා ගැන සඳහන් වන්නේ දීපවංශයට පසුව ලියැවුන ලෙස සැලකෙන මහාවංශයේ පමණි. දීපවංශයට වැදගත් වූවේ රජු කරවූ සිලා ප්‍රතිමා නොව ශෛලමය පල්ලංකය පමණක් බව පෙනේ. මෙ පිළිබඳව අවධානය යොමු කරන C. E. ගොඩකුඹුර මහතා සඳහන් කරන්නේ මෙරට බොහෝවිට බුදු සමය හඳුන්වාදුන් මුල් යුගයේ මුලින්ම බෝධිඝරය ඇතිවි ආසනඝර, චේතියඝර සහ ප්‍රතිමාඝර අනුපිලිවෙලින් පසු කාලීනව ඇති වන්නට ඇති බවයි. ඒ කෙසේ වුවත් ඉහත සඳහන් වන පරිදි  ඇතැම් ආසනඝර වල ධාතු තැන්පත් කර තිබූ බව සඳහන් වේ. ඒ අනුව බැතිමතුන් වන්දනා කර ඇත්තේ හුදු ගල් ආසනයක් නොව ඒ ආසනය තිබූ ආසනඝරයේ තැන්පත් කර තිබූ ධාතුන් බව පසක් වේ. එසේම ඉහත උපුටා දැක්වූ මූලාශ්‍ර කිහිපයකින්ම හෙලිවන්නේ ආසනඝරය හෝ ආසනය බෝධි වෘක්ෂයකට ආසන්නව තිබූ බවය. 
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයට උතුරු දෙසින් පිවිසීමට ඇති දොරටුව
මේ සියළු කරුණු එක්ව ගත් කල එලඹිය හැකි නිගමනය වන්නේ බුද්ධ ප්‍රතිමාව හඳුන්වාදීමට පොරොතුව මෙරට බෞද්ධයන් වන්දනාමාන කල බුදුන් නිරූපණය කල සිරිපතුල් ගල් ආදිය අතරට බෝසතුන් බුද්ධත්වයට පත්වීමේදී වැඩසිටි වජ්‍රාසනය නිරූපණය කරන ශෛලමය ආසනයද ඇතුලත්ව තිබෙන්නට ඇති බවය. එය බෝධි වෘක්ෂය අසල තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. ආසනඝරයේ හෝ ආසනයේ ධාතූන් තැන්පත් කර තිබූ බව සාහිත්‍යමය මූලාශ්‍ර වලින් පැවසෙන මුත් මෙතෙක් එවන් කිසිදු තැනකින් ඒ සඳහා සාධක හමුවී නොමැත. බොහෝවිට පසුකාලීනව ආසන වන්දනයෙන් බැතිමතුන් දුරස් වීමත් සමග එම ධාතුන් බුදු පිළිම,  ප්‍රතිමාඝර හෝ දාගැබ් තුලට වැඩම කරවූවා විය හැක. බුදු පිළිම වන්දනය ජනප්‍රිය වීමත් සමග වජ්‍රාසනය නිරූපණය කල ගල් ආසන මත මුලදී කුඩාහිඳි පිළිම තැබීම සිදු වන්නට ඇත. කාලයත් සමග ආසනඝරය ප්‍රතිමාඝරය බවට පත්වී 12 වන සියවස වන විට විමතිවිනෝදනී ටීකාවේ ආසනඝර යනු ප්‍රතිමාඝරයි යනුවෙන් එන සඳහන දක්වාම ආසනඝර සහ ගල් ආසන වන්දනාව කෙමෙන් වියැකී යන්නට ඇත.  
යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයේ බටහිර දෙසින් ඇති කුඩා ගල් ආසනය
මෙරට මුල් කාලීන බෞද්ධයන් අතර ආසන වන්දනාව සිදුවූ බවට මුල්වරට පවසන්නේ සෙනරත් පරණවිතාන මහතාය. මඩකලපු දිස්ත්‍රික්කයේ පුළුකුනාවි ලෙසින් හඳුන්වන ස්ථානයක හමුවන මණ්ඩපයක් මත වූ විශාල ගල් ආසනයක් සහ එම ගල් ආසනය ගොඩනැගිල්ලේ එක් පසකට වන්නට තිබෙන සේ ඒ වටා කවාකාරව ඉදිකර තිබූ ගෘහයක නටබුන් ලෙස දැව කණු බහාලීමට යොදාගත් ශෛලමය කණු පාදම් පිළිබඳව සඳහන් කරමින් ඒ මහතා එම නිගමනයට එලඹේ. C.E. ගොඩකුඹුර මහතා කටුවන්නාව, පුළුකුනාව, රජගල, එරුපොතාන, කටගොමුව, උට්ටිමඩුව, වෙහෙරගල, කිහිඹියගොල්ලෑව, අභයගිරියේ බරෝස් මණ්ඩපය, හල්මිල්ලවැටිය ආදී  දිවයින පුරා විවිධ ප්‍රදේශ වල හමුවන මේ ආකාරයේ ආසනඝර කිහිපයක් පිළිබඳවම සඳහන් කරයි.
යටල ආසනඝරය නොහොත් බෝධිඝරය බටහිර දෙසින් දිස්වන ආකාරය

යටල ආසනඝරය නොහොත් බෝධිඝරයේ ඇති බෝධි වෘක්ෂය සිටවා තිබූ ආවාටය. වෙනත් මෙවැනි බොහෝ ස්ථාන වල මෙන්ම මෙහිද ආවාටයේ බිත්ති වල ගඩොල් බැමි යොදා ඇත (ආරක්ෂාව උදෙසා මෙහි කට වීදුරුවක් දමා වසා ඇත.)
රෝලන්ඩ් සිල්වා මහතාගේ මතය

සංඝමිත්තා තෙරණිය මෙරටට බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් ගයාවේ පිහිටි බෝධියේ ශාඛාවක් හඳුන්වා දුන් දින සිට පැවත ආ බෝධි වෘක්ෂ වන්දනාව පාදක කර ගනිමින් ඇතිවූ බෝධි මාලක සහ බෝධිඝර යන වාස්තු විද්‍යාත්මක නිර්මාණ දෙකක් පිළිබඳව සඳහන් කරන රෝලන්ඩ් සිල්වා මහතා බෝධිමාලක යනුවෙන් හඳුන්වන්නේ මූලිකවම බෝධි වෘක්ෂය, ඒ වටා වූ ගරාදි වැට, වජ්‍රාසනය සහ මේ සියල්ල වටකරගත් ප්‍රදේශයයි. ඔහුට අනුව වජ්‍රාසනයට ආවරනයක් ලෙසට ඉදි කල කුඩා වාස්තු විද්‍යාත්මක නිර්මාණය ආසනඝර ලෙසින් හැඳින්වේ. මල් සහ වෙනත් එවැනි පූජා භාණ්ඩ මෙම ආසනය මත තබා පූජා කිරීම සිදු කරයි. මෙම වජ්‍රාසනය සාමාන්‍යයෙන් බුද්ධ ගයාවේ පිහිටි ලෙසට බෝධි වෘක්ෂයේ නැගෙනහිර දිශාවෙන් පිහිටුවයි. ආසනඝර ලෙස හෝ බෝධිඝර ලෙස හඳුනාගන්නා මෙවැනි නටබුන් ස්ථාන බොහෝමයක විශාල ආසනයට අමතරව තවත් කුඩා ආසනයක් හෝ තුනක් අනෙකුත් ප්‍රධාන දිශාවන්ට අනුරූපව බෝධි වෘක්ෂය වටා තිබූ බවට සාධක හමුවේ. එසේම ඇතැම් අවස්ථා වලදී එම ප්‍රධාන ආසනය මත මෙන්ම එවන් කුඩා ආසන මතද ඉහත විස්තර කල පරිදි පසු කාලීනව එකතු වූ බුදු පිළිම තබා තිබූ බවට සාධක හමුවේ. 
අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේ පිහිටි සුප්‍රකට සමාධි පිළිමය. ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ බෝධිඝරයක නටබුන් වන අතර මෙම පිළිමය එහි ප්‍රධාන වජ්‍රාසනය මත තිබූ පිළිමය වේ. දැනට පිළිමය තබා ඇති ගඩොල් මණ්ඩපයට ඉදිරියෙන් එම වජ්‍රාසනය අද මල් ආසනයක් ලෙස තබා ඇත. බෝධිඝරය වටා වූ ගරාදි වැට පසුබිමින් දිස්වේ. 
රෝලන්ඩ් සිල්වා මහතා බෝධිඝරය ලෙස හඳුනාගන්නා වාස්තු විද්‍යාත්මක නිර්මාණයට, බෝධි වෘක්ෂය, නැගෙනහිර දිශාවට වූ වජ්‍රාසනය සහ අනෙක් ප්‍රධාන දිශාවන්ට වූ කුඩා ආසන හෝ සිව් දිශාවටම මුහුණ ලා තිබූ ආසන 4 ක් (එම ආසන මත බුදු පිළිම තිබීමට හෝ නොතිබීමට පුළුවන.) කවාකාර හෝ චතුරශ්‍රාකාර ප්‍රදක්ෂිණා පථයක් සහ එම ප්‍රදක්ෂිණා පථයට සෙවන සැලසීමට තිබූ වහලය දරා සිටි ගල් කණු හෝ දැව කණු සිටවා තිබූ සෙල්මුවා කණු පාදම් ගල්, ශෛලමය හෝ ගඩොලින් කල බාහිර ප්‍රාකාරයක්, පරිශ්‍රයට පිටතින් ඇතුළුවීමට දොරටු, බෝධි වෘක්ෂය ඇති ඇතුළු මලුවේ එකතුවන ජලය පිටතට ගෙන යෑමට වැසුණු කානුවක් සහ බෝධි වෘක්ෂයට බැතිමතුන් හට ජලය වැක්කිරීමට පඩි පෙලක් යන අංග වලින් සමන්විත වේ. බෝධිඝරයක මේ සියළු   අංග හෝ ඉන් කිහිපයක් තිබිය හැකි බවට හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. වඩාත් හොඳින් ආරක්ෂා වූ මෙවැනි බෝධිඝරයකට උදාහරණයක් ලෙසට නිල්ලක්ගම බෝධිඝරය සැලකිය හැක ( ඒ පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට >> ) නිල්ලක්ගම බෝධිඝරය වැනි වෙනත් චතුරශ්‍රාකාර බෝධිඝර පන්කුලිය, පුලියන්කුලම, වෙස්සගිරිය, විජයාරාම,බෙලිගල, දිඹුලාගල, රාජාංගනය සහ අනුරාධපුර සමාධි පිළිමය යන ස්ථානයෙන් හඳුනාගෙන ඇති අතර මැණික්දෙන, පුළුකුණාවි, කුඩා කටුවන්නාව සහ තොළුවිලින් කවාකාර බෝධිඝර සොයාගෙන ඇත.
සුප්‍රකට අනුරාධපුර සමාධි පිළිමයට පිටුපසින් ඇති බෝධිඝරයේ නටබුන්. බෝධි වෘක්ෂය සිටවා තිබූ ආවාටය සහ එයට එපිටින් පිහිටි අනෙක් ආසනය මත තිබූ පැරණි හිඳි පිළිමයේ විනාශ කල ඉනෙන් පහල කොටස ඡායාරූපයේ වම් කෙලවරෙහි දැකිය හැක.

සුප්‍රකට අනුරාධපුර සමාධි පිළිමයට පිටුපසින් ඇති බෝධිඝරයේ නටබුන්. බෝධි වෘක්ෂය සිටවා තිබූ ආවාටය සහ එයට එපිටින් පිහිටි අනෙක් ආසනය මත තිබූ පැරණි හිඳි පිළිමයේ විනාශ කල ඉනෙන් පහල කොටස මෙහි දැකිය හැක.

විකල්ප මතයක්

ආසනඝර වශයෙන් සෙනරත් පරණවිතාන මහතා සහ C. E. ගොඩකුඹුර මහතා හඳුනාගන්නා වාස්තු විද්‍යාත්මක නිර්මාණ සම්බන්ධයෙන් විකල්ප මතයක් ඉදිරිපත් කරන A.D.T.E. පෙරේරා මහතා පවසන්නේ සාහිත්‍යමය මූලාශ්‍ර වල ආසනඝර සහ ඒවායෙහි පිහිටි ආසන ලෙස හඳුන්වන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් විශාල වශයෙන් හමුවී ඇති සිරිපතුල්ගල් ලෙසින් හැඳින්වෙන කුඩා ශෛලමය ආසන බවය. විශාල සෙල්මුවා ආසනයක් මගින් බුදුන් නිරූපණය කලේ නම් ඉන්දියාවේ හමුවන එවන් ගල් ආසන වල මෙන් සිරිපතුල්, වජ්‍රය, ධර්ම චක්‍රය, බෝධි වෘක්ෂය, වැදහොත් මුවා, සැතපුන සිංහයා වැනි සංකේත තිබිය යුතු බවය ඔහුගේ තර්කය. එවන් ආසන සහ ඇතැම්විට ඒ මත තැබූ බුදු පිළිම ආදිය තිබූ ආසනඝර බෝධි වෘක්ෂය සමගද තිබෙන්නට ඇති බව ඔහු පවසයි. 

සිරිපතුල් ගලක් - යටාල කෞතුකාගාරය

මෙවන් විශාල ආසන හමුවන ආසනඝර බුදු සමය මෙරටට හඳුන්වාදීමට පෙර මෙරට සිටි යක්ෂ, නාග වැනි ජනයා ඇදහූ ප්‍රාග් බෞද්ධ ඇදහීම් වලට අදාල ආගමික ස්ථාන විය හැකි බවය ඔහුගේ මතය. මේ මතය සනාථ කිරීම උදෙසා බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් යක්ෂයන් හා සම්බන්ධ තොරතුරුද ඔහු උපයෝගි කරගනී. උදාහරණයක් ලෙසට  බුදුන් වහන්සේ යක්ෂයන් දමණය කල විට ඔවුන්ගේ වටිනාම වස්තුව වන ආසනය බුදුන්ගේ බුද්ධ ආසනය වන බව සඳහන් වීම (බුද්ධකාලයේ මෙරට සිටි බව සඳහන් මහෝදර සහ චූලෝදර නාග රජුන් අතර සටන ඇතිවන්නේද මැණික් වලින් කල ආසනයක් හෙවත් මිණිපලඟක් [මණිපල්ලංක] නිසා බව වංශකතාවේ සඳහන් වේ), උට්ටිමඩුව, රජගල සහ රාජාංගනය වැනි ඇතැම් ආසනඝර නටබුන් හමුවන ස්ථාන වල තබ්බෝව-මරදන්මඩුව සංස්කෘතික රූප ලෙසින් හැඳින්වෙන ටෙරාකොටා මැටි රූප හමුවූ බව සඳහන් වීමද සිය මතය ශක්තිමත් කිරීම උදෙසා යොදාගත හැකි සාධකයක් බව A.D.T.E. පෙරේරා මහතා සඳහන් කරයි (තබ්බෝව, මරදන්මඩුව, ඉළුක්වැව තලගස්වැව ආදී ස්ථාන කිහිපයකින්ම හමුවී ඇති අද්භූත ටෙරා කොටා මූර්ති කිසියම් බෞද්ධ නොවන බුදු සමය හඳුන්වාදීමට පෙර හෝ ඇතැම් විට ඉන් පසුවත් තිබූ ඇදහීමක් හෝ අභිචාර ක්‍රමයක් හා සම්බන්ද මූර්ති විය හැකි බවට විද්වතුන් අනුමාණ කරයි.) 

සිය මතය සනාථ කිරීම උදෙසා ඔහු ඉදිරිපත් කරන ප්‍රබලම සාධකය නම් සුත්තනිපාතයේ සුචිලෝම සූත්‍රයේ සඳහන් වන සුචිලෝම යක්ෂයාගේ භවනේ තිබූ ටංකිතමඤෙචා ලෙසින් හැඳිවෙන ගල් ආසනය පිළිබඳව පරමත්ථජෝතිකා නම් වූ එහි අට්ඨකතාවේ එන විවරණයයි. එහි සඳහන් වන්නේ ටංකිතමඤෙචා යනු ගල් සතරක් මත පළල් ගලක් නංවා සකස් කරන ලද ගල් ඇඳක් බවයි. මෙරට හමුවන ආසනඝර සියල්ලකම පාහේ ගල් ආසනය මෙවැනි කෙටි ගල් කණු සතරක් මත තබා තිබේ, නැතහොත් එසේ තිබූ බවට සාධක හමුවේ (මීට අමතරව ආසනය තැබීමට චතුරශ්‍රාකාරව ගඩොල් බැමි බැඳ ඒ තුල පස් පුරවා තිබූ බවට කොක්ඇබේ ආසනඝරය කැනීමේදී පළමුවරට සාධක හමුවී ඇත. වෙනත් ආසනඝර වලද මේ ආකාරයට තිබී පසුව ගඩොල් බැමි විනාශ වූවා හෝ නිදන් හොරුන් විසින් විනාශ කලා විය හැක.) 

යටාල ආසනඝරය නොහොත් බෝධිඝරයට ආසන්නව එයට උතුරු දෙසින් පිහිටා ඇති යටාල දාගැබ. පැහැදිලිවම මෙම ආසනඝරය/බෝධිඝරය යටාල දාගැබද අයත් වන පබ්බත විහාරයේ කොටසක් විය යුතුය.

සමාලෝචනය

දැනට හමුවන නටබුන් විමසා බැලීමේදී මෙම ගල් ආසන සහ ඒ ආශ්‍රීත ආසනඝර ලෙසින් හඳුනාගන්නා කිසියම් ගොඩනැගිල්ලක නටබුන් වේ නම් ඒවා බෝධි වෘක්ෂයක් මූලික කරගනිමින් ගොඩනැගූ ඒවා බව පැහැදිලිය. බුදු පිළිමය හඳුන්වාදීමට පොරොතුව බැතිමතුන්ගේ වැඩි ගෞරවයක් යොමු වූ බුදුන් බුද්ධත්වයට පත්වීමේදි වැඩසිටි වජ්‍රාසනය නිරූපනය කල බෝධි වෘක්ෂය ආශ්‍රිතව තිබූ ගල් ආසනය මතට පසු කාලීනව බුදු පිළිම වැඩම කරවීමත් සමග පිළිමය කෙරෙහි එම ගෞරවය නිරායාසයෙන් යොමුවී කෙමෙන් ගල් ආසනය මල් ආසනයක් බවට පත් වූවා විය හැක. ආසනඝර සංකල්පයත් ඒ අනුව පිළිමඝර බවට විකාශනය වන්නට ඇත. ඇතැම් විට බුදු සමය මෙරටට හඳුන්වාදීමට පෙර මෙවැනි ගල් ආසන ඉන් පෙර මෙරට වැසියන් ඇදහූ ඇදහිලි හා විශ්වාස සමග සම්බන්ධ වූ පූජනීය ස්ථාන වලද තිබුනා විය හැක. නව ආගම වැලඳගත් පසු එවැනි ඇතැම් ඇදහීම් නව ආගමේ සංකල්ප සමග අනුගත වී ඒ තුලට අවශෝෂනය වූවා විය හැක. ඇතැම් විට බොහෝ විට මෙරට සහ වෙනත් රටවල වල සහ සමාජයන් තුල සිදුවූවා සේ නව ආගමේ පූජනීය ස්ථාන පැරණි ආගමේ එවන් තැන් තිබූ තැන් වලම එම පැරණි පූජනීය ගොඩනැගිල්ලේ අවශේෂද එක් කර ගනිමින් ඉදිවූවා විය හැක. උදාහරනයක් ලෙසට පෘතුගීසින් බලහත්කාරයෙන් මෙරටට කතෝලික ආගම හඳුන්වා දෙන්නේ පැරණි බෞද්ධ සහ හින්දු ආගමික මධ්‍යස්ථාන විනාශ කර ඒවායේ තිබූ අමුද්‍රව‍ය උපයෝගි කරගෙන නව දේවස්ථාන ඉදිකිරීමෙනි. ඒ බව ඔවුන්ගේම ක්වේරෝස් වැනි දේවගැතිවරුන් තබා ඇති වාර්තා වල පැහැදිලිවම සඳහන් වේ. පසුව පැමිණෙන ලන්දේසීන් එම දේවස්ථාන විනාශ කර හෝ ඒවා අත්පත්කරගනිමින් සිය ප්‍රොතෙස්තන්ත ආගමේ මධ්‍යස්ථාන බවට ඒවා පත් කර ඇත. නැතහොත් පැරණි ගොඩනැගිල්ලේ අමුද්‍රව්‍ය උපයෝගි කරගනිමින් නව ප්‍රොතෙස්තන්ත දේවස්ථාන ඉදි කරයි. මෑත කාලයේ පවා උතුරු නැගෙනහිර පළාත් වල පැරණි බෞද්ධ නටබුන් තිබූ ස්ථාන විනාශ කරමින් දෙමළ ජාතිවාදීන් සිය හින්දු කෝවිල් ඉදිකිරීම බහුලව සිදු කර ඇති අතර මේ වනතුරුත් සිදු කරමින් සිටී. මෙවන් දේ පෙර නොවූවා විය නොහැක. ඒ සම්බන්ද ඇතැම් තොරතුරු  වංශ කථා වලද හමුවේ. ඒ අනුව යක්ෂ, නාග ගෝත්‍රික ආගමික ස්ථාන වල තිබූ ආසන, වජ්‍රාසනය ලෙසට බෝධි වන්දනාව සිදු කල බෞද්ධ බෝධිඝරයට එක් වූවා යන මතයද එක්වරම බැහැර කල නොහැක. 

මූලාශ්‍ර

  • Samantapasadika, Buddhaghoda's commentary on the Vinaya Pitaka, Edited by J. Takakusu and Makoto Nagai, Vol VI, Pali Text Society, 1947
  • භදන්තාචරියබුද්ධඝොසම්හාථෙරචරවිරචිතා සමන්තපාසාදිකා නාම විනයට්ඨකතා චතුතෙථාභාගෝ, වැලිවිටියෙ පණ්ඩිතසොරතාභිධානෙන, වැලිවිටියේ පෙමරතනතෙථරපාදෙන ච සංසොධිතො, 1948 
  • අත්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් විරචිත සමන්තපාසාදිකා විනයට්ඨකතා (සිංහල පරිවර්තනය), තෙවෙනි කොටස, පරිවර්තනය  රාජකීය පණ්ඩිත අම්බලම්ගොඩ ධම්මකුසල මහානායක මහස්ථවිරයන්වහන්සේ, 2005
  • භදන්තාචරියචොල්ළියකස්සපමහාථෙරවරප්පණීතා විමතිවිනෝදනී නාම සමන්තපාසාදිකාය විනයට්ඨකථාය ටීකා, බේරතුඩුවේ ධම්මාධාර තිස්ස තෙථරෙන, පණ්ඩිත සොමාලෝක තිස්ස තෙථරෙන, තොටගමුවේ පඤ්ඤාමෝලි තිස්සාභිධානෙන, 1935
  • Papancasudani Majjhimanikayattthakatha of Buddhaghosacariya, Edited by I. B. Horner, part IV & V, 1977, Pali Text Society
  • භදන්තාචාරීය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් විරචිත පපඤච සූදනී නම් වූ මජ්ක්ධිම නිකායට්ඨ කතා සිව්වෙනි කොටස (සිංහල පරිවර්තනය) , බලපිටියේ සිරි සීවලී හිමි, යාලේගම චන්දකිත්ති හිමි, 2008
  • Manorathapurani, Buddhaghosa's Commentary on the Anguttara-Nikaya, By Max Walleser and Hermann Kopp, Vol 2, Eka-Duka-Tika-Nipata Vannana, 1930, Pali Text Society.
  • අත්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් විරචිත මනෝරථපූරණී නම් වූ අංගුත්තර නිකායට්ඨකථා (සිංහල පරිවර්තනය) , මහාචාර්ය කපිල අභයවංස, 2003
  • අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිර පාදයන් විසින් විරචිත සමෙමාහ විනොදනී නම් වූ විභංගටඨ කථා අභිධර්ම පිටකය (සිංහල පරිවර්තනය ),  බී. එම්. පී. බාලසූරිය, බුද්ධික විජේසිංහ, 2007
  • Sammoha-Vinodani Abhidhamma-Pitake, Vibhangatthakatha, Edited by A.P. Buddhadatta Thero, 1923, Pali Text Society
  • The Sumangala-Vilasini Buddhaghosa's Commentary on the Digha_Nikaya, Edited By W.Stede From Materials Left Unfinished by T.W. Rhys Davids and J.Estlin Carpenter, Part III (Suttas 21-34), 1971, Pali Text Society.
  • අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්ථවිර පාදයන් විසින් විරචිත සුමංගල විලාසිනී නම් වූ දීඝනිකායටඨ කථා දෙවෙනි කොටස (සිංහල පරිවර්තනය ),  බී. එම්. පී. බාලසූරිය, 2008
  • The Visuddhi-Magga of Buddhaghosa, Edited by C.A.F. Rhys Davids, 1975, Pali Text Society.
  • විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්ගය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record.  Hermann Oldenberge, 1879
  • The Deepavamsa, Edited by Dr. B.C. Law, 1959
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහා ස්ථවිර, 1927
  • Asanagara, C.E. Godakumbura  IN Paranavitana Felicitation Volume on Art & Architecture and Oriental Studies, 1965
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Asanagara Shrines of Ancient Sri Lanka, who built them, the Buddhists or pre-historic Yakkhas ?, A.D.T.E. Perera, Assistant Editor, Buddhist Encyclopedia. IN Journal of the Sri Lankan Branch of the Royal Asiatic Society, NS, Vol XX, 1976
  • භදන්තාචාරීය බුද්ධඝෝෂ ස්ථවිරපාදයන් විසින් විරචිත පරමත්ථජෝතිකා නම් වූ සුත්තනිපාතට්ඨ කථා (සිංහල පරිවර්තනය), ජේ.ජී. නිමල් ලාල් රංජිත්, පී. එල්. කේ. පෙරේරා, 2008
  • 1962-63 මුදල් වර්ෂ සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1964
  • 1964-65 මුදල් වර්ෂ සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1967