Showing posts with label Soorathissa. Show all posts
Showing posts with label Soorathissa. Show all posts

Sunday, January 1, 2017

රිටිගල පුරාණය සහ පාංශුකූලික භික්ෂූන් උදෙසා සෘද්ධියෙන් මවන ලද්දක් මෙන්වූ ආරාමය

රිටිගල කඳු 
 ධූමරක්ඛ පර්වතයෙන් නික්මුනු පණ්ඩුකාභය කුමරු සිය සේනාව සමග අරිට්ඨ පබ්බතයට පැමිණ එහි සත් වසක් යුද සූදානමින් විසූහ. ඔහුගේ මාමා වරුන් අට දෙනෙක් සේනාව සමග පැමිණ අරිට්ඨ පර්වතය වට කලහ. එහි වූ මහ සටන් අවසානයේ කුමරුගේ සේනාව සතුරු සේනා නසමින් ඔවුන්ගේ හිස් එක් ස්ථානයක ගොඩ ගැසූහ. ඔහුගේ මාමා වරුන්ගේ හිස්ද ඒ අතර විය. එම හිස් ගොඩ දුටු කුමරු එය ලබු ගොඩක් මෙන් යැයි පැවසූ හෙයින් එම ග්‍රාමය ලබුගාමක නම් විය (වර්තමානයේ  රිටිගලට වයඹ දෙසින් පිහිටි ලබුන්නොරුව නාමයෙහි අද දක්වාම ලබුගාමක යන්න  සැගව පවතී.) වංශ කතාවේ අරිට්ඨ පබ්බත යන්න පළමුවෙන්ම සඳහන් වන්නේ එලෙසය. අරිට්ඨ පබ්බතයෙන් නික්මුන පණ්ඩුකාභය කුමරු අනුරාධපුරයට  ගොස් එහි සිට මෙරට එක්සේසත් කල පළමුවන පාලකයා ලෙස වසර හැත්තෑවක් රාජ්‍ය පාලනය කලහ.
පෙත්මග
 ඉන් සියවස් දෙකකට පමණ පසු රුහුණින් නික්ම පරසතුරු උවදුරින් රජරට මුදාගැනීමට යන ගමනේදී තවත් එක් නරපතියෙක් එක් දොරටුවකින් සහ දිය අගල් තුනකින් වටවුනු මහේලනගරයට පැමිණ සිව් මසක් එහි සිට මහේල නගරයේ සිටි මහේල නම් පාලකයා උපායෙන් පැරදවීය. මේ මහේල නගරය ඉන්පෙර  කාලයක අරිට්ඨ පබ්බතය පාමුල ඉදිකල මකුලක විහාරය පිහිටි පෙදෙස විය හැකි බවට C.W. නිකලස් ඉදිරිපත් කරන මතය නිවැරදි නම් (මහේල නගර > මහේලක > මකලක > මකුලක ) දෙවෙනි වරට මෙරට එක්සේසත් කල ගැමුණු කුමරුවාද විජිතපුර සටනින් පසු අනුරාධපුරය මුදාගැනීමට යන ගමනේදි රිටිගල අසලද සටන් මෙහෙයවා ඇත. මකුලක නම් වූ විහාරය අරිට්ඨ පබ්බතය පාමුල ඉදිකරනුයේ සූරතිස්ස රජතුමා විසිනි.
තහවුරු කල පධානඝරයක්
හත්වන සියවසේදී තුන්වන ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 632) රජතුමාද මලය රටේ සිට අරිට්ඨ පබ්බතයට පැමිණ ජනතාව ඔහු දෙසට නම්මා ගැනීමෙන් අනතුරුව සේනාව රැගෙන අගනුවර පැමිණ තුන්වන අග්ගබෝධි පලවාහැර රාජ්‍යය අල්වා ගත් බව මහාවංශයේ සදහන් වීමෙන් අරිට්ඨ පබ්බතයේ වූ උපායමාර්ගික වැදගත් කම නැවතත් සනාථ වේ.
කෙසේ නමුත් අරිට්ඨ විහාරය ඉන්පසු කාලයකදී ඉදිකිරීමේ ගෞරවය මහාවංශයට අනුව හිමිවන්නේ ලජ්ජිතිස්ස (ක්‍රි.පූ.  119-109) රජුටය. මෙය රිටිගල ඉදිකල මකුලක විහාරය නොවන වෙනත් විහාරයක් විය හැක. අරිට්ඨ විහාරය ගැන එන සඳහනින් පසු නැවතත් ඉන් වසර 900 කට පමණ පසු අරිට්ඨ පබ්බතය ගැන සඳහනක් පළමුවන සේන (ක්‍රි.ව. 833-853) රජතුමාගේ පාලන කාලයට අදාල මහාවංශ විස්තරයේ එයි. එම රජතුමන් විසින් පාංශුකූලික භික්ෂුන් සඳහා සෘද්ධියෙන් මවන ලද්දක් මෙන්වූ ආරාමයක් කරවා එයට අවශ්‍ය අනෙකුත් දෑ මෙන්ම දස්කම්කරුවන් සහ ආරාමිකයන්ද දුන් බව පැවසේ. වර්තමානයේ ශේෂව ඇති පධානඝර සහිත නටබුන් මෙම සේන රජතුමාගේ නිර්මාණයන් බවට පිළිගැනේ.

  සේන රජතුමාගේ කිවුලේකඩ අත්තානි ටැම් ලිපියේ "රිටිගල් අරම්කාරූ සලමෙවන් රජ්.." ලෙසින් එනම් රිටිගල ආරාමය ඉදිකල සලමෙවන් (සලමෙවන් යනු පළමුවන සේන රජතුමා භාවිතා කල විරුද නාමයයි ) එතුමන්ව හැඳින්වීමෙන් මෙම මහාවංශ විස්තරය සනාථ වන අතරම අරිට්ඨ පබ්බත යන්නෙහි සිංහල නාමය රිටිගල ලෙසද හඳුනාගත හැක (සීගිරි කැටපත් පවුරේ එන රිට්ගල් සිට පැමිණි බුද් (රිට්ගල් බුද්මි )විසින් ලියා තැබූ ගියකින්ද එම නාමය තවදුරටත් තහවුරු වේ.). එසේම මෙවැනි සඳහනකින් රජතුමා හැඳින්වීමෙන්ම රිටිගල ආරාමය විශාල විහාර කර්මාන්තයක් බව පැහැදිලි වේ. ඒ බව අදද ඉතිරි වී ඇති තහවුරු කල සහ නොකල අති විශාල ගොඩනැගිලි වලින් විද්‍යාමාන වේ.
ජන්තාඝරය
මූලාශ්‍ර
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Ritigala, Central Cultural Fund, 1983.
  • ඓතිහාසික අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2007.
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume III, Edited by S.Paranavitana, 1928-1933
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965

Sunday, March 27, 2016

ඉන්දියානු ආක්‍රමණ පුරාණය

ඇතමුන් පිලිගැනීමට මැලි වුවද අද මේ රටේ ආන්ඩු කෙරෙන්නේ අසල්වැසි ලොකු අය්යාට ඕනේ විදිහටය. විපක්ෂයේ මන්ත්‍රීවරු කල යුතු රාජකාරිය පවා නිර්ණය කරන්නේ ලොකු අය්යාගේ මෙරට නියෝජිත සිංහාය. - Prof. Peiris: Are we back to Viceroy Dixit era of overlordship? මොන කතා කීවද වරාය නගරයේ චීන ඉදිකිරීම් වලට ඉන්දියාවේ එකඟතාවය නොමැති හෙයින් එහි ඉදිකිරීම් නැවතීමට ඉන්දියානු රූකඩ පාලකයනට සිදුවිය. අපට හැම අතින්ම අහිතකර ETCA ගිවිසුම මගින් මෙරට සේවා අංශය ඉන්දියානුවන්ට විවර කිරීම කවුරු විරුද්ධ වුවද කරන බව රූකඩ ආන්ඩුවේ අගමැති සපථ කර හමාරය. ඉන්දියානු ගිලන් රථ සේවය මගින් RAW නියෝජිතයන් රට පුරා ඕනෑම තැනක සැනෙකින් ස්ථාන ගත කිරීමේ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වීමට රජය අවසර දී ඇත. 

ඉන්දියානු අර්ධද්විපයට ආසන්නව පිහිටි භූ දේශපාලනය පිහිටීම නිසාම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම මෙරට සංස්කෘතික, ආගමික සාමාජීය සහ දේශපාලන තත්වයන්ට ඉන්දියානු බලපෑම නොවැලැක්විය හැකි සාධකයක්ව පැවැතුනි. මෙරට වංශ කතාවල දැක්වෙන ආකාරයට එදා පටන්ම අප මෙරට ස්වාධීනත්වය සදහා ඉන්දියානු භූමියේ විවිධ කොටස් වල බලය පතුරාගෙන සිටි චෝල, පාණ්ඩ්‍ය, කේරල ආදී කොටස් සමග නිරන්තර අරගලයක යෙදී සිටියෙමු. වරක ඔවුන් අප රටේ ස්වාධීනත්වය ඩැහැ ගන්නා අතර මේ බිමේ සුජාත දූ පුතුන්ගේ ජීවිත පරිත්‍යාගයන් මතින් නැවතත් නිවහල් ජාතියක් ලෙස නැගි සිටියෙමු. මෙම සදාතනික අරගලය අදද නොයෙක් ස්වරූපයන්ගෙන් එලෙසම පවතින අතර වර්තමානයේ මේ ක්‍රියාත්මක වන්නේද එයමය. නිවට පාලකයන් සිටිනතාක් කල් අප ඔවුන්ගේ යටත්වැසියන් ලෙසට සැලකීම ඔවුන් සිදුකරනු ඇත. ඔවුන්ට විරුද්ධ වන පාලකයන් 2015 ජනවාරි සිදු කල අයුරින් කුමන්ත්‍රණ මගින් පලවා හරිනු ඇත. මේ වංශකතා වල සදහන් එවන් ඉන්දියානු ආක්‍රමණ ගැන විවරණයකි.

ලිඛිත ඉතිහාසයේ සදහන් වන පලමු ඉන්දියානු ආක්‍රමණය සිදු කරන්නේ සූරතිස්ස රජු සමයේ ඉන්දියාවේ සිට පැමිණි සේන සහ ගුත්තික නම් දමිලයන් දෙදෙනෙකි. ඔවුන් අශ්වයන් වෙළදාමේ පැමිණි නාවිකයකුගේ පුතුන් දෙදෙනෙකු බව මහාවංශය සදහන් කරයි. ඔවුන් වසර 22 මෙරට පාලනය කල බව එහි වැඩිදුරටත් සදහන් වේ. අසේල නම් සිංහල රජු නැවතත් ඔවුන්ගෙන් බලය අත්පත්කරගන්නා නමුත් ඔහුට වසර 10 ක්වත් පාලනය කිරීමට නොහැකි වන්නේ දෙවෙනි ඉන්දියානු ආක්‍රමණයද එළාර නම් චෝල රට සිට පැමිණි දමිලයෙකු ක්‍රියාත්මක කිරීමත් සමගය. ඔහු එතැන් සිට වසර 44 ක් මෙරට රාජ්‍යය පාලනය කරයි. මෙම ආක්‍රමණයන් සිදුවූ කාලය පිළිබද නිශ්චිත සාධක නොමැති හෙයින් ඒවා ක්‍රි. පූ. 250 ත් ක්‍රි.පූ. 161 ත් අතර සිදුවූ ලෙස අනුමාන වශයෙන් පිළිගැනේ. වංශ කතා වල සදහන් වන අයුරින් මේ ආක්‍රමණිකයන් සියලු දෙනාම දැහැමින් රට පාලනය කර ඇත. කුඩා ප්‍රමානයක් වූ ඔවුන්ගේ බලය මෙරට බහුතරයක් වූ ස්වදේශිකයන් එකමුතු වුවහොත් පහසුවෙන්ම අතික්‍රමණය කල හැකි බැවින් එවැනි හැසීරීමක් අනිවාර්ය බව පැහැදිලිය. කෙසේ නමුත් රජරට ප්‍රදේශයට පමනක් සීමා වූ මේ ආක්‍රමණිකයන්ගේ බලය දකුණේ රෝහණ දේශය යටත් කරගැනීම දක්වා පැතිරීමක් සිදු නොවූ බැවින් රෝහණයේ සිට සේනා සංවිධානය කල කාවන්තිස්ස රජුගේ උත්සාහය මල්ඵල දරමින් ඔහු පුත් දුටුගැමුණු විසින් මෙරට නැවතත් එක්සේසත් කලහ. එළාරගේ මරණයෙන් පසු ඔහුගේ බෑනා වූ භල්ලුක නම් තැනැත්තෙක්ද මෙරටට සේනාවක් සහිතව පැමිණෙන මුත් ඔහුවද පැරදවීමට දුටුගැමුණු සමත්වේ. මෙය තුන්වැනි ඉන්දියානු ආක්‍රමණය ලෙස ගත හැක.

අද ඇතැම් විජාතික මනසින් යුත් මනස්ගාතකරුවන් අර්ථනිරූපනක කිරීමට වලිකන අයුරින් මෙම සටන් කිසිදු ලෙසකින් එකල මෙරට විසූ ජනවර්ග දෙකක් අතර පැවැති වාර්ගික යුද්ධ ලෙස සැලකීමට සාධක නොමැති අතර බෞද්ධ ආගම මෙරටට හදුන්වාදීමත් සමග රාජ්‍ය අනුග්‍රය යටතේ මේ වන විට මෙරට බහුතරයක් එම දහම වැලදගත්තන් වන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇත. මේ යුගයේ දමිල ලෙසින් හැදින්වූවන් වර්තමාන අර්ථයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව ලෙස ගැනෙන කොටසින් පැමිණි පුද්ගලයන් බව පොදුවේ පිළිගැනේ. ඔවුන් කිසියම් හෝ රාජ්‍ය වංශයකට අයත් වූවන්ට වඩා මෙරට පැවැති සාපේක්ෂව යුධ ශක්තිය අතින් දුර්වල පාලනයන් පහසුවෙන් අත්පත්කර ගත් තනි පුද්ගලයන් වන්නට ඉඩ වැඩිය. කෙසේ නමුත් ඔවුන් ආගමින් හින්දු වීමට වැඩි ඉඩක් ඇති බැවින් ඔවුන්ගේ පාලන යුග වලදි පෙර පැවැති රාජ්‍ය අනුග්‍රය ඒ අයුරින්ම බුද්ධ ශාසනයට නොලැබී යෑම දුටුගැමුණු රජුගේ සේනා සංවිධානයේදී බෞද්ධ භික්ෂුන්ගේ ප්‍රබල මැදිහත් වීමෙන් වටහාගත හැක. එසේම ජනතාව සටන් සදහා යොමු කිරීමටද පොදුවේ බෞද්ධයන් වූ සිංහලයන්ට එල්ල වූ එම අසාධාරණය ඉවහල් කර ගත් බවක් පෙනී යයි.

මෙවැනි ආකාරයේම වූ තවත් ආක්‍රමණයක් දුටුගැමුණුගේ මරනයෙන් දශක හතරක් ඉක්මවූ තැන ක්‍රි. පූ. 137 දී වට්ටගාමිණි අභය රජුගේ කාලයේදීද සිදුවේ. වංශකතාවේ සදහන් අයුරින් මහාතිත්තයට ගොඩ බසින දමිලයන් සත් දෙනෙක් වට්ටගාමිණි රජුගේ පදවිප්‍රාප්තියෙන් පස් මසක් ගිය තැන ඔහු පලවා හැර බලය අත්පත් කරගනී. තීය නම් වූ බ්‍රාහ්මනයෙකු ඇති කල කැරල්ලක් නිසා මෙරට ඇතිවී තිබූ අස්ථාවරත්වය සහ දුර්භික්ෂය මෙම ආක්‍රමණිකයන්ගේ අරමුණ ඉටුකර ගැනීම පහසු කෙරුවා විය හැක. මෙම දමිලයන් සත් දෙනාගෙන් දෙදෙනෙකු එක් අයෙකු රජුගේ බිසවක් වූ සෝමාදේවිය සහ අනෙකා බුදුන්ගේ පාත්‍රා ධාතුව රැගෙන ඉන් සෑහිමකට පත්වී නැවතත් ඉන්දියාවට නික්මයන අතර සෙස්සන් එකිනෙකා මරාගනිමින් වසර 14 කුත් සත් මසක් මෙරට පාලනය කරන අතර වට්ටගාමිණී රජු සේනා සංවිධානය කර අන්තිමයාගෙන් නැවතත් බලය අත් පත් කර ගනී.

ඉන්දියානු ආක්‍රමණ පුරාණය ගැන තව දුරටත් ඉදිරියේදි විමසා බලමු. 

චිත්‍රය - ඒකාබද්ධ වෘත්තියවේදීන්ගේ සංගමගේ නිර්මාණයකි.

මූලාශ්‍ර
  • The Indian factor in the security perspectives of Sri lanka, A, Liyanagamagea, 1993
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.