Showing posts with label Wattagamini Abhaya. Show all posts
Showing posts with label Wattagamini Abhaya. Show all posts

Sunday, October 20, 2019

කුවේණිය ලතෝනිදුන් ගලෙහි දුෂ්ඨගාමිණී පිහිටවූ තුමුල සෙල් ලිපි

මෙරට තෝනිගල ලෙසින් හැඳින්වෙන ස්ථාන කිහිපයක්ම ඇති අතර ඉන් ස්ථාන දෙකකම පැරණි සෙල්ලිපි හමුවේ. මෙරට එකල පැවති බැංකු ක්‍රමය ගැන විස්තර සඳහන් ඉන් එක් සෙල්ලිපියක් වව්නියාව දිස්ත්‍රික්කයේ තිබෙන අතර මේ ලිපියේ ප්‍රස්තුතය වන තෝනිගල සෙල් ලිපි පිහිටා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේය. එම සෙල්ලිපි වල වීඩියෝවක් සමග කෙටි හැඳින්වීමක් මීට පෙර ලිපියකින් ඉදිරිපත් කල අතර ඒවායෙහි වැඩිදුර විස්තර සහිත මෙම ලිපිය කියවීමට පෙර සෙල්ලිපියේ විශාලත්වය සහ පිහිටි පරිසරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම උදෙසා එම වීඩියෝව නැරඹීම වැදගත්ය Link >>

මෙම ස්ථානයේ කුඩා වැවක වැව්බැම්ම ඔස්සේ එකිනෙකට මීටර 100 පමණ දුරින්  පිහිටා ඇති ගල්තලා දෙකක් මත විශාල සෙල්ලිපි දෙකක් ඇති අතර ඒවායේ වචනයක් දෙකක් අඩු වැඩි ලෙස එහෙ මෙහෙ වීම නිසා එක් සෙල්ලිපියක පිටපතක් ලෙස අනෙක සැලකිය නොහැකි මුත්, එම සෙල්ලිපි දෙකෙහිම අර්ථය එකක් ලෙස සැලකීමට එය බාධාවක් නොවේ. ඉන් එක් ලිපියක පෙල සහ ලිපි දෙකෙහිම අර්ථ මෙසේ දැක්විය හැක.
සෙල්ලිපිය 1
පරුමක අබය පුත පරුමක තිශහ වපි අචගිරික තිශ පවතහි අගත අනගත චතුදිශ ශගශ දිනෙ දෙවනපිය මහ රක්ධ ගමිණි අබයෙ නියතෙ අචනගරකච තවිරිකිය නගරකච පරුමක අබය පුත පරුමක තිශ නියත පිත රක්ධහ අගත අනගත චතුදිශ ශගශ

ලිපිය 1 අර්ථය - පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශහගේ වැව අචගිරික තිශ පර්වතයේ පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී. දෙවන පිය මහරජ ගමිණි අබය විසින් දෙන ලදී. අචනගරයද තවිරිකිය නගරයද පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශ විසින් පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී.

ලිපිය 2 අර්ථය - පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශ විසින් මේ වැව අචගිරික තිශ පවතහි පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී. දෙවනපිය මහරජ ගමිණි අබය විසින් දෙන ලදී අචනගරයද, තව්රකිය නගරයද අචගිරික තිශ පවතහි පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට පරුමක අබයගේ පුත්‍ර පරුමක තිශගේ විහාරයද දෙන ලදී.
සෙල්ලිපිය 2
ඒ අනුව මෙම සෙල්ලිපි දෙකින්ම කියැවෙන්නේ අචගිරික තිශපවත නම් වූ විහාරයට වැවක් සහ නගර දෙකක් පිදීම පිළිබඳවය. එක් ලිපියක "මේ වැව" ලෙසින්ම සඳහන් වන බැවින් එම විහාරයට පූජා කල වැව මෙම ලිපි දෙක පිහිටා ඇති ගල්තලා මතින් එහි වැව් බැම්ම වැටී ඇති දැනට තෝනිගල වැව ලෙසින් හැඳින්වෙන වැව ලෙස හඳුනාගත හැක. මෙම සෙල්ලිපි පිළිබඳව වර්ෂ 1909 දී සිය Ancient Ceylon ග්‍රන්ථයේ සඳහනක් කරන හෙන්රි පාර්කර් එකල එම වැවට භාවිතා වූ නම ලෙස සඳහන් කරන්නේ ගල් වැව හෝ ගලේ වැවය (Galawaewa, the Rock tank). එයටත් පෙර කලක වර්ෂ 1883 දී එඩ්වඩ් මියුලර් එය කුඩා වැව ලෙස හඳුන්වයි. (කෙසේ නමුත් මියුලර් ලිපි වල සඳහන් වැව රෝහණයේ දූරතිස්ස වැව විය හැකි බව පවසයි.)
අඩියක් පමණ විශාලව අඟලක් පමණ ගැඹුරට ගලේ කොටා ඇති සෙල්ලිපි අක්ෂර
මෙම ලිපි වල සඳහන් දෙවනපිය මහරජ ගමිණි අබය ලෙසින් හැඳින්වෙන රජු හඳුනාගැනීම පිළිබඳව සඳහන් කරමින් මියුලර් සඳහන් කරන්නේ එම රජු දුට්ඨගාමිණී (දුටුගැමුණු) හෝ වට්ඨගාමිණී (වලගම්බා) විය හැකි බවය (ගාමිණි අබය නම් සහිත රජවරුන් ලෙස මෙම යුගයේ අපට හමුවන්නේ ඉහත නම් සඳහන් රජවරුන් දෙදෙනා පමණි). ඒ අතරින් 'දෙවනපිය' විරුදාවලිය නිසා හෙතෙම වට්ඨගාමිණි වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු පවසයි. හෙන්රි පාර්කර් එම රජු දුට්ඨගාමිණි ලෙස නිසැකවම පවසයි. කෙසේ නමුත් මෙම සෙල්ලිපි වල අක්ෂර අයත් යුගයේ මෙරට පාලනය කල රජවරුන් අතරින් වට්ඨගාමිණී රජුගේ (ක්‍රි.පූ. 103 සහ නැවත ක්‍රි.පූ. 89 - 77) ලෙසින් හඳුනාගත් වෙනත් සෙල්ලිපි වල හමුවන ඔහු භාවිතා කල විරුදය වනුයේ 'දෙවනපිය' විරුදය නොව 'පිතිමහරජ' යන්නය (මහාවංශයේ සහ අට්ඨකථා වලද පිතුරාජ ලෙසින් ඔහුව හඳුන්වා ඇත.) එම හේතුව මත මෙම ලිපි වල සඳහන් රජු දුට්ඨගාමිණි (ක්‍රි.පූ. 161 - 137) ලෙසින් හඳුනාගන්නා එල්ලාවල මේධානන්ද හිමියන්ගේ හඳුනාගැනීම වඩාත් නිවැරදි බව පෙනේ. C.W. නිකොලස් මහතාද එම රජු බොහෝවිට දුට්ඨගාමිණි අභය රජු විය යුතු බව පවසයි.
තෝනිගල වැව
එම රජු විසින් ඉහත ලිපි වල සඳහන් වන පරිදි අචනගරය සහ තවිරිකිය නගරය ලෙසින් හැඳින්වෙන නගර දෙකක් අචගිරික තිශපවත විහාරයට පූජා කර ඇත.  එම නගර දෙක හෝ විහාරය නිසැකව හඳුනාගැනීමට සාධක නොමැති මුත් මෙම ලිපි වල සඳහන් පරුමක අබයගේ පුත් වූ පරුමක තිශ විසින් කරවූ ලෙන් ලිපි 3 ක්ම මේ අසලම පිහිටි දැනට පරමාකන්ද විහාරය ලෙසින් හැඳින්වෙන ගල් ලෙන් පිහිටි කඳු ගැටයක හමුවේ. ඉන් ලිපි දෙකකම පැවසෙන පරිදි ඔහු දුතනවිකහ/දුටකණයතහ නම් තනතුරක් දරා ඇති බව පෙනේ. එහි අදහස තානාපති සේවයේ යෙදුන නාවිකයෙක් යන්නය (Envoy-.mariner). මෙ අනුව පරුමක තිශ අපගේ හඳුනාගැනීම නිවැරදි නම් දුටුගැමුණු රජු යටතේ නාවික තානාපති සේවයේ යෙදී සිටි ප්‍රභූවරයෙකු ලෙස හඳුනාගත හැක.
තෝනිගල සිට දිස්වන පරමාකන්ද 
අචගිරික තිශපවත විහාරය (අච්ඡගිරි තිස්ස පබ්බත) යන්නෙහි 'අචගිරික' යන්නෙහි අර්ථය වලස්ගල ලෙසින් ගත හැක. මෙම විහාරයට බොහෝ පූජාවන් කල පරුමක තිශ නැමැත්තාගේ නමින් එය 'තිශපවත' වූවා විය හැක. එම විහාරය මෙම ස්ථානයෙන් ඈතක පිහිටි වෙනත් විහාරයක් ලෙස හඳුනාගන්නවාට වඩා ඉහත පරුමක තිශගේ වෙනත් ලිපිද හමුවන පරමාකන්ද විහාරය ලෙසින් දැනට හැඳින්වෙන විහාරය ලෙසින් සැලකීම නිවැරදි බව පෙනේ. එම විහාරය පුරාණයේ මෙම ස්ථානය දක්වාම පැතිර තිබෙන්නට ඇති බවට වූ සාධකයක් ලෙස කඩගලින් කල ස්ථූපයක නටබුන් මෙහි තිබී දැනට විනාශ වී ගොස් ඇති බවට පරනවිතාන මහතා 1972 දී පැරණි ස්ථාන නාමාවලියේ කරන සඳහන උපයෝගි කරගත හැක.
පරමාකන්ද  ගල් ලෙන්
මහාවංශයේ සඳහන් වන පරිදි සූරතිස්ස රජු නැගෙනහිර අච්ඡගල්ලක විහාරය නමින් විහාරයක් කරවීය. නැගෙනහිර අච්ඡගල්ලක විහාරය ලෙසින් එය හැඳින්වෙන බැවින් අනුරාධපුරයට නිරිත දිගින් පිහිටි මෙම විහාරය සූරතිස්ස රජු තැනවූ විහාරය විය නොහැක. නැගෙනහිර අච්ඡගල්ලක විහාරය නමින් සූරතිස්ස රජු තැනවූ විහාරය හඳුන්වන්නට ඇත්තේ අච්ඡගල්ලක නමින් වෙනත් විහාරයක්ද ඒ වන විට තිබූ නිසා විය හැක. එය අනුරාධපුරයට නිරිත දිගින් පිහිටි මෙම විහාරය විය නොහැකිද? කෙසේ නමුත් මෙම මහාවංශ ගාථාවේ අර්ථය පහදන වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාව දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250 - 210) විසින් 'දකුණු දිග' කරවන ලද අච්ඡවිහාරයෙන් වෙන්කොට දක්වනු පිණිස සූරතිස්ස රජු විසින් අනුරාධපුරයට නැගෙනහිරෙන් රහගල්ලක සමීපයේ කරවන ලද විහාරය එසේ හැඳින්වූ බව පහදා දෙයි. නිවැරදි දිශාව නිරිත දෙසින් වුවත් අනුරාධපුරයට සැලකිය යුතු දුරකින් දකුණට වන්නට පිහිටි පරමාකන්ද, එම දේවානම්පියතිස්ස රජු කරවූ අච්ඡවිහාරය ලෙසින් හඳුනාගැනීමද එතරම් වැරදි නොවන බව අපට හැඟේ. මෙහිදි මහාවංශ ටීකාව මුල් කාලයේ අනුරාධපුරයට දකුණින් කලා වැවෙන් සීමා වූ ලෙස පැවති රෝහණ රාජ්‍යය (මහාචාර්ය සිරිමල් රණවැල්ල මතය) මෙහිදී 'දකුණු දිග' ලෙස හැඳින්වූවා විය හැක. මහාවංශයේම පසුව එන සඳහනකට අනුව වට්ඨගාමිණි අභය රජු දමිළයන් සමඟ යුද වැදී පරාජය වී සැඟවී  සේනා සංවිධානය කරමින් සිටි සමයේ කුපික්කලමහාතිස්ස තෙරුන් හමුවී අච්ඡගල්ල විහාරයේ බුද්ධපූජාවක් කරවීය. වට්ඨගාමිණි අභය රජු සැඟවී සිටි ප්‍රදේශයෙහිම පිහිටි මෙම විහාරය බොහෝවිට එම අච්ඡගල්ල විහාරය විය හැක.
පරමාකන්ද  ගල් ලෙන්
ඒ අනුව දුටුගැමුණු රජු ඔහුට පෙර සිටි දේවානම්පියතිස්ස රජු කරවූ අච්ඡවිහාරයට නගර දෙකක් පූජා කරමින්ද, රජුගේ තානාපති සේවයේ යෙදී සිටි නාවිකයෙක් වන පරුමක තිශ වැවක් පුදමින්ද, එම විස්තර සඳහන් කරමින් එම තිශ සමග එක්වී මෙම ස්ථානයේ මෙරට විශාලම අකුරින් රචිත දිගම සෙල්ලිපි ද්වය පිහිටුවා ඇති බවට අනුමාන කල හැක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වසර ගනනාවක් ඉදිරිය ගැන සැලසුම් කරමින් ඉදිකල මාගම්පුර වරායට ලෝකයේ ලොකුම ස්විමින් පූල් එක ලෙස ගැරහූ රතු අලි ලප කුමාරලා එකල සිටියා නම් මොනවා නොකියන්න ඇත්ද? මෙරට උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන සැදුවේ පැනලා මැරෙන්නදැයි ඇසුවේද ඔහුගේම සගයා Till Win ය. ගාමිණි දුෂ්ඨයා ලොකුම අකුරින් දිගම සෙල්ලිපිය කලේ හඳේ හාවාට පේන්නදැයි "රතු-කොළ අලි" එකල සිටියා නම් දුටුගැමුණුගෙන් අහනවා සිකුරුය.

** මෙම ලිපියෙහි මාතෘකාවට පාදක වූ ජන කතා පිළිබඳව විස්තර සඳහා පෙර ලිපියේ (Link>>) පරිකථන (Comments)  කියවන්න.

මූලාශ්‍ර

  • Paranavitana S., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Ancient Ceylon, H. Parker, 1909
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001

Sunday, March 17, 2019

පෙරදිග ධාන්‍යාගාරය සැබෑවක්ද? රට සහලින් ස්වයංපෝෂිත කලේ 6 වැනි පරාක්‍රමබාහුද අන්තිම විකුණුම්සිංහද?

මෙරට පාසල් පෙළ පොත් වල පවා සඳහන් වන සාමාන්‍ය ජනතාව අතරද මුල් බැසගත් මතයක් වනුයේ පෙර රජ දවස අප රට "පෙරදිග ධාන්‍යාගාරය" බවයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරමට ධාන්‍ය (කලාපයේ ප්‍රධාන ධාන්‍ය භෝගය වන වී මෙයින් අදහස් කලා විය හැක) ගබඩා කර නොහොත් නිපදවා ඇත්තේ මේ රට තුලය. පෙර රජවරුන් වී වගාවට අවශ්‍ය වාරිමාර්ග ආදී පහසුකම් ජනතාවට සපයා දුන් බව සහ දුර්භීක්ෂ ආදි උවදුරු වලක්වා ගැනීම උදෙසා බොහෝ දේ කල බවට සාධක ඇති මුත් අවම වශයෙන් මෙරට පසු කාලීන යුගයන්ට සාපේක්ෂව සශ්‍රීක යුගයක් ලෙස සැලකිය හැකි රජරට ශිෂ්ඨාචාරය පැවති යුගයේ වුවද සැමකල්හීම අවම වශයෙන් රටේ පරිභෝජනයට අවශ්‍ය තරමින් වත් ආහාර භෝග නිෂ්පාදනය වුනිද යන්න සැලකිල්ලෙන් විමසා බැලිය යුතුය. "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම නිතර භාවිතා වන්නේ මෙරටින් සහල් පිටරට වලටද අපනයනය කල බව අවධාරණය කරමින් වීමද මෙහිදි සිහිපත් කල යුතුය.

මේ අතර ලොව ප්‍රථම වතාවට සිය රටේ මහා බැංකුව කොල්ල කෑ එකම පාලකයා වන "ආසියාවේ මහා මොලය" සිය ඉතිහාස දැනුම නැවතත් ප්‍රදර්ශනය කරමින් මහා සොයාගැනීමක් කර තිබේ. කලකට පෙර පස්යොදුන් රටේ පහත් බිම් පස් දමා පුරවපු මහා පරාක්‍රමබාහු ගැන සහ නැවතත් කළුතර දීස්ත්‍රික්කයේ කුරුඳු වගා කර විදේශ විනිමය සොයා ගත් මහා පරාක්‍රමබාහු ගැන ලොවට හෙලි කල (Link>>) මේ මහා ඉතිහාස අඥානයා නැවතත් 6 වැනි පරාක්‍රමබාහු සමග කරලියට පිවිස ඇත. ඔහුට  අනුව 6 වැනි පරාක්‍රමබාහුගෙන් පසු රට සහලින් ස්වයංපෝෂිත වූවේ උන්නැහේගේ කාලයේදීය. වී වගා කරන කුඹුරු ඉඩම් ගොඩ කර දැමිය යුතු බව පවසා එය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කල ඔහුගේ පෙර පාලන සමය ගැන නොදන්නා සහ ඒ බව උවමනාවෙන්ම අමතක කල අම්බරුවන් රැලකගේ චන්දයෙන් බලයට පැමිණි මේ "මහා මොලය" බලය ඩැහැගත් සැනින් අන්තර්ජාතික ගුවන් තොටුපලක වී ගබඩා කර පලි ගත්තේ සැබෑවටම රට සහලින් ස්වයංපෝෂිත කල ඔහුට පෙර සිටි ජනහිතවාදී පාලකයන්ගෙන් පමණක් නොව ඔහුට චන්දය දුන් අම්බරුවන්ද ඇතුළු මුළු මහත් ජනතාවගෙන්ය.
මහා පරාක්‍රමබාහුගේ පිළිමය ලෙසින් ප්‍රකට වී ඇතිමුත් එසේ විය නොහැකි පොත්ගුල් වෙහෙර අසල පිහිටි පිළිමය
ඔහු සහලින් රට ස්වයංපෝෂිත කල ආකාරය බත් කන අම්බරුවන් නොවන සියළු දෙනාට රහසක් නොවන බැවින් සහ අප ඉහත සඳහන් කල පෙරදිග ධාන්‍යාගාරය යන යෙදුම වුවද භාවිතා වන්නේ 6 වන පරාක්‍රමබාහු යුගයට නොව මහා පරාක්‍රමබාහු යුගයට බව ජාතියක් ජම්මයක් නැති මේ පරගැති කළු සුද්දා නොදන්නා නමුත් පාසල් යන ප්‍රාථමික පන්ති වල සිසුන් පවා දන්නා බැවින් පරාක්‍රමබාහුලා රට සහලින් ස්වයංපෝෂිත කල කතාව සැබෑවක්ද නැතහොත් එයට සාධක පවතීද යන්න ගැන සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.

දුර්භීක්ෂ යුගයන්
මහාවංශය වැනි වංශ කතා මූලාශ්‍ර සහ අට්ඨ කතා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන්ම විවිධ අවස්ථා වලදී මෙරට දරුණු සාගත තත්වයන්ට මුහුණ දී ඇත. දුට්ඨගාමණී (ක්‍රි.පූ. 161-137), වට්ටගාමණී අභය හෙවත් වළගම්බා ( ක්‍රි.පූ 103 සහ නැවත ක්‍රි.පූ. 89-77) කුඤ්චනාග හෙවත් කුඩ්ඩනාග ( ක්‍රි.ව. 187-189), සිරිසංඝබෝධි ( ක්‍රි.ව. 247-249), පළමුවන උපතිස්ස (ක්‍රි.ව. 265-406) කිත්තිසිරිමේඝ හෙවත් කුඩා කිත්සිරිමෙවන් ( ක්‍රි.ව. 551-569), සිලාමේඝවණ්ණ (ක්‍රි.ව. 619 - 628) සහ දෙවන උදය ( ක්‍රි.ව. 887 - 898) යන රජවරුන්ගේ පාලන සමයන්හි මෙරටට බලපැවත්වූ සාගත තත්වයන් පිළිබඳව තොරතුරු එම මූලාශ්‍ර වලින් අනාවරණය වේ.

මේ අතරින් බැමිණිටියා සාය ලෙසින් හැඳින්වූ වට්ටගාමණී අභය රජුගේ කාලයේ ඇතිවූ සාගත තත්වය සහ එයින් භික්ෂුන් වහන්සේ ඇතුළු ජනතාව විඳි දුක් ගැහැට පිළිබඳව බොහෝ තොරතුරු වාර්තා වී ඇත. දිවිගලවා ගැනීම උදෙසා එම යුගයේ ඇතැමුන් මිනී මස් පවා අනුභව කල බව අට්ඨ කතා වල සඳහන් වේ. කෙසේ නමුත් අතරින් පතර ඇතිවූ මෙවන් සාගත තත්වයන් නිසා රට සහලින් ස්වයංපෝෂිත වූ අවධි එම යුගයේ නොපැවතිනි යැයි එකහෙලා පැවසීමට නොහැක. එක් අට්ඨ කතාවක පැවසෙන ආකාරයට එම බ්‍රාහ්මණතිස්ස භය පැවති කාලයේම සිතුල්පව්ව විහාරයේ භික්ෂූන් 12000 කට සහ තිස්ස මහා විහාරයේ එබඳුම ප්‍රමාණයක් වූ භීක්ෂූන්ට වර්ෂ 3 කට අවැසි තරම් ධාන්‍ය ගබඩාකර තිබී ඇත. එතරම් විශාල ප්‍රමාණයක ධාන්‍ය ගබඩා කර තැබීමට නම් නිෂ්පාදන අතිරික්තයක් අවම වශයෙන් භීක්ෂු සංඝයා සහ ප්‍රභූ පැලැන්තිය උදෙසාවත්  තිබිය යුතු බව පැහැදිලිය.
ඇලහැර යෝධ ඇල, වැඩි විස්තර සඳහා Link >>
සාගත බිය මැඩීමට රජුවරු අනුගමනය කල ක්‍රියාමාර්ග
"පොදොනවුලු පුලුඩාවුලුයෙන් කෙත් කම් සුලබ් කොට් සිරිලක් ළොන්ද්‍රර්වය් සා බිය නිවය්" -  ලෙසින් සලමෙය්වන් අබහය් මහ රජ ලෙසින් ලිපියේ තමා හඳුන්වාගන්නා රජෙකුගේ අනුරාධපුර ජේතවන විහාර පරිශ්‍රයේ තිබී හමු වූ පුවරු ලිපියක දැක්වෙන ලෙසට ඔහු අහස් දිය සහ වැව් දිය උපයෝගී කරගනිමින් කෘෂිකාර්මික කටයුතු උනන්දු කරවා සිරිලක සාගත බිය දුරු කොට එය සශ්‍රික කල බව සඳහන් වේ. (මෙම රජු පස්වන කස්සප/කාශ්‍යප (ක්‍රි.ව. 914 - 923 ) ලෙසින් හඳුනාගෙන ඇති අතර මෙහි එන "පොදොනවුලු පුලුඩාවුලුයෙන්" යන වචන පිළිවෙලින් අහස් දියෙන් සහ වැව් දියෙන් ලෙස සිරිමල් රණවැල්ල මහතා හඳුනාගන්නා මුත් ඒවා වැව් දෙකක නම් ලෙස එම ලිපිය මුල් වරට කියවා ප්‍රකාශයට පත් කල  Z. වික්‍රමසිංහ මහතාද, පර්ජන්‍ය සහ අග්නි යන දෙවිවරුන්ට යාතිකා කොට ලෙසින් සෙනරත් පරණවිතාන මහතාද අර්ථ කතනය කරයි. මෙයින් පරණවිතාන මතය එතරම් පිළිගත හැකි මට්ටමක නැත.)

මොණරාගල දිස්ත්‍රික්කයේ මාලිගාවිල අසල දඹේගොඩ බෝධිසත්ව පිළිම ගෙය තුල තිබී හමුවූ සිරිසඟබො මහ රජ්හු  තුමා ලෙසින් ලිපියේ ඔහුව හඳුන්වාගන්නා 5 වන මහින්ද (ක්‍රි.ව. 972 - 982 ) ලෙසින් හඳුනාගෙන ඇති රජතුමාගේ ටැම් ලිපියේ සඳහන් වන්නේ ඔහු " එ එ තන්හි සුන් වෑ බන්දවා පැවැත් වූ දියෙන් හෙළදිව්හි දුබික් පල්වා " ලූ බවයි එනම් ඒ ඒ තැන නටබුන් වූ වැව් බඳවා ජලය සපයා හෙළදිව දුර්භීක්ෂ නැති කල බවයි.  ඒ ආකාරයෙන් සාගත මැඩලීමට පෙර රජවරුන් නිරතුරුව ක්‍රියාමාර්ග ගත් මුත් දෙවන පරාක්‍රමබාහු සහ පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1272 - 1284) රජවරුන්ගේ සමයන්හීද මෙරට දුර්භීක්ෂ ඇතිවූ බවට තොරතුරු හමුවේ.

මේ අනුව පුරාතන සහ මධ්‍යතන යුගයන්හී මෙරට තුල වරින් වර දුර්භීක්ෂ තත්වයන් ඇති වුවද පාලකයන් නිරතුරුව ඒවා මැඩපැවැත්වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් රටේ පරිභෝජනය උදෙසා අවශ්‍ය තරමින්වත් තිබෙන්නට ඇති බවත් අනුමාණ කල හැක. මුළු දිවයින පුරාම සියළු කල්හීම එකම තත්වයක් බලපැවත්වීද? එසේම ප්‍රභූ සහ සංඝ සමාජයේ සිට සමාජයේ පහල ස්ථරය නියෝජනය කල ගැමියන් දක්වා මේ තත්වය එසේම පැවතීද යන්න අවසාන නිගමනයකට එලඹිය හැකි කාරණා නොවේ.
ගිරිතලා වැව
පෙර රජ දවස ධාන්‍ය අපනයනය සහ ආනයනය
මෙරටින් සහල් අපනයනය කල බවට අපගේ වංශ කතා වල කිසිදු සඳහනක් හමු නොවන අතර ඒ පිළිබඳව ඇත්තේ  එකම එක සාක්ෂ්‍යක් පමණි. ඒ දකුණු ඉන්දීය සංගම් සාහිත්‍යට අයත් ක්‍රි.ව. 2 සියවසේ රචනා කෙරුණු ලෙස සැලකෙන පත්තුපාට්ටු නම් ද්‍රවිඩ සාහිත්‍ය කෘතියේ ඉල්ලත්තුනාවු නම් රටින් දකුණු ඉන්දීයාවට "ආහාර ද්‍රව්‍ය" ගෙන ආ බවට වන සඳහනයි. මෙහි සඳහන් ඉල්ලත්තුනාවු, ශ්‍රි ලංකාව ලෙස හඳුනාගන්නා අතර එම "ආහාර ද්‍රව්‍ය" මොනාවාද යන්න හෝ ඒ අතර සහල් පැවතීද යන්න අවිනිශ්චිතය.

මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම බොහෝවිට ඇතිවන්නට ඇත්තේ මේ එකම තොරතුර පාදක කරගෙන වීමට පුළුවන. එහෙත් මෙලෙස සැමකල්හීම මෙරටින් දකුණු ඉන්දීය ප්‍රදේශ වලට සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපනයනය සිදු කරන්නට ඇති බවට ඉන් නිගමනය කල නොහැක. ඇතැම් කාල වලදී දකුණු ඉන්දීය ප්‍රදේශ වල සහල් (හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය) හිඟ වූ විට, මෙරට අතිරික්තයක් තිබුණි නම් ඒවා ගෙන්වා ගත්තා විය හැක. අනෙක් අතට "ආහාර ද්‍රව්‍ය" ගැන මිසක් සහල් ගැන මෙම සාහිත්‍ය කෘතියේ කිසිවක් සඳහන් කර නැත.

කෙසේ නමුත් මෙරටට සහල් ආනයනය සිදු කල බවට වූ සාධක කිහිපයක්ම හමුවේ. ඒ අතරින් 9 වන සියවසේ විසූ සංචාරකයකු වන ඉබ්න් කුර්දාබේ (Ibn Khurdadbeh) සඳහන් කරන්නේ දකුණු ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කල බවයි. එසේම 11 වන ශතවර්ෂයේ විසූ අල් ඉද්‍රිසි (Al-Idrisi) පවසන්නේ දකුණු ඉන්දියාවේ ජිර්බාතම් වරාය (Jirbatam) මෙරටට සහල් අපනයනය සිදු කල වරාය බවයි. මෙම සාධක වුවද සැම කල්හීම මෙරටට දකුණු ඉන්දීය ප්‍රදේශ වලින් සහල් ආනයනය කල බවට වූ සාධක ලෙස ගත නොහැකි අතර එම පුද්ගලයන් පවසා ඇති දේ සත්‍ය ලෙස සහ ඔවුන් පවසන්නේ මෙරට සම්බන්ධයෙන් තොරතුරු බව පිලිගත්තද ඒවා මුළු මහත් පුරාතන සහ මධ්‍යතන යුගයන්ට අදාල කරගන්නට යෑම එතරම් උචිත නොවේ. ඇතැම් කාල වල මෙරට අවශ්‍යතාවයට ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවන තත්වයන් යටතේ දකුණු ඉන්දීයාවේ සහල් අතිරික්තය මෙරටට ආනයනය කලා විය හැක.
ලොව විශාලතම ගඩොලින් කල නිර්මාණයක් ලෙස සැලකෙන ජේතවන දාගැබ (වැඩි විස්තර සඳහා  Link>> )
කෙසේ නමුත් රජරට ශිෂ්ඨාචාරය බිඳවැටීමත් සමග 16 වන සියවසේ කොරමන්ඩල් (Coromandel) සිට මෙරටට සහල් අපනයනය කල බවට වූ ප්‍රකාශ බාර්බෝසා (Duarte Barbosa) සහ වර්තෙමා(Ludovico di Varthema) වැනි පුද්ගලයන් තබා ඇත. මෙම සියළු කරුණු පසක තැබුවද රජරට ශිෂ්ඨාචාරය පැවැති යුගයේ ඉදිකර දැනටද විද්‍යාමාන සුවිසල් ඉදිකිරීම් පිළිබඳව විමසා බැලීමේදී පැවසිය යුත්තේ "පෙරදිග ධාන්‍යාගාර අතිශයෝක්තිය" කෙසේ වෙතත් යුද ගැටුම් ආදී පරසතුරු උවදුරු නොමැතිව ගෙවූ යුගයන්හී මෙරට සහලින් ස්වයංපෝෂිත ව තිබූ බවයි. නොමැති නම් එවැනි නිර්මාණ ඉදිකිරීමට තරම් ශක්ති සම්පන්න ශ්‍රම බලකායක් ඇතිවිය නොහැකි බැවිනි. සියල්ල නොරටට විකුණා ඉල්ලන් කන ආර්ථිකයක් බිහිකල විකුණුම්සිංහලාට සහ ඔවුන්ව එම තැනට ඔසවා තැබූ බත් කන ගව රැලට නම් සිව් වසරක් ගෙවී ගියද ඔවුන් පවසන පරිදි අවම වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිකිලි නැති ලක්ෂයකට එක වැසිකිලියක්වත් සාදා දෙන්නටවත් හැකි වී නැත. සියල්ල වනසා සිය මඩි තරකරගනිමින් ලගදීම "ගෙදර යෑමට නියමිත" එම සොර මුලට රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ නම්බුනාමය කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ රටක් වැනසූ පජාතම සොර මුලේ සම්මානය නම් මෙරට බත් කන බුද්ධිමත් ජනතාව හිමි කර දෙනු ඇත.

මූලාශ්‍ර
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1,2  සංස්කාරක ආචාර්ය W.M.K. විජේතුංග, 2012
  • සමෙමාහ විනොදනී නම් වූ විභංගට්ඨ කථා අභිධර්ම පිටකය (සිංහල පරිවර්තනය), බී. එම්. පී. බාලසූරිය, 2007
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume I, D.M.D.Z. Wickremasinghe (1904 - 1912), 1912
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Edited by Sirimal Ranawella, 2001
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part II, Edited by Sirimal Ranawella, 2004
  • ඉතා පැරණි සිංහල බණ කථා පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමි, 2001
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012

Sunday, March 27, 2016

ඉන්දියානු ආක්‍රමණ පුරාණය

ඇතමුන් පිලිගැනීමට මැලි වුවද අද මේ රටේ ආන්ඩු කෙරෙන්නේ අසල්වැසි ලොකු අය්යාට ඕනේ විදිහටය. විපක්ෂයේ මන්ත්‍රීවරු කල යුතු රාජකාරිය පවා නිර්ණය කරන්නේ ලොකු අය්යාගේ මෙරට නියෝජිත සිංහාය. - Prof. Peiris: Are we back to Viceroy Dixit era of overlordship? මොන කතා කීවද වරාය නගරයේ චීන ඉදිකිරීම් වලට ඉන්දියාවේ එකඟතාවය නොමැති හෙයින් එහි ඉදිකිරීම් නැවතීමට ඉන්දියානු රූකඩ පාලකයනට සිදුවිය. අපට හැම අතින්ම අහිතකර ETCA ගිවිසුම මගින් මෙරට සේවා අංශය ඉන්දියානුවන්ට විවර කිරීම කවුරු විරුද්ධ වුවද කරන බව රූකඩ ආන්ඩුවේ අගමැති සපථ කර හමාරය. ඉන්දියානු ගිලන් රථ සේවය මගින් RAW නියෝජිතයන් රට පුරා ඕනෑම තැනක සැනෙකින් ස්ථාන ගත කිරීමේ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වීමට රජය අවසර දී ඇත. 

ඉන්දියානු අර්ධද්විපයට ආසන්නව පිහිටි භූ දේශපාලනය පිහිටීම නිසාම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම මෙරට සංස්කෘතික, ආගමික සාමාජීය සහ දේශපාලන තත්වයන්ට ඉන්දියානු බලපෑම නොවැලැක්විය හැකි සාධකයක්ව පැවැතුනි. මෙරට වංශ කතාවල දැක්වෙන ආකාරයට එදා පටන්ම අප මෙරට ස්වාධීනත්වය සදහා ඉන්දියානු භූමියේ විවිධ කොටස් වල බලය පතුරාගෙන සිටි චෝල, පාණ්ඩ්‍ය, කේරල ආදී කොටස් සමග නිරන්තර අරගලයක යෙදී සිටියෙමු. වරක ඔවුන් අප රටේ ස්වාධීනත්වය ඩැහැ ගන්නා අතර මේ බිමේ සුජාත දූ පුතුන්ගේ ජීවිත පරිත්‍යාගයන් මතින් නැවතත් නිවහල් ජාතියක් ලෙස නැගි සිටියෙමු. මෙම සදාතනික අරගලය අදද නොයෙක් ස්වරූපයන්ගෙන් එලෙසම පවතින අතර වර්තමානයේ මේ ක්‍රියාත්මක වන්නේද එයමය. නිවට පාලකයන් සිටිනතාක් කල් අප ඔවුන්ගේ යටත්වැසියන් ලෙසට සැලකීම ඔවුන් සිදුකරනු ඇත. ඔවුන්ට විරුද්ධ වන පාලකයන් 2015 ජනවාරි සිදු කල අයුරින් කුමන්ත්‍රණ මගින් පලවා හරිනු ඇත. මේ වංශකතා වල සදහන් එවන් ඉන්දියානු ආක්‍රමණ ගැන විවරණයකි.

ලිඛිත ඉතිහාසයේ සදහන් වන පලමු ඉන්දියානු ආක්‍රමණය සිදු කරන්නේ සූරතිස්ස රජු සමයේ ඉන්දියාවේ සිට පැමිණි සේන සහ ගුත්තික නම් දමිලයන් දෙදෙනෙකි. ඔවුන් අශ්වයන් වෙළදාමේ පැමිණි නාවිකයකුගේ පුතුන් දෙදෙනෙකු බව මහාවංශය සදහන් කරයි. ඔවුන් වසර 22 මෙරට පාලනය කල බව එහි වැඩිදුරටත් සදහන් වේ. අසේල නම් සිංහල රජු නැවතත් ඔවුන්ගෙන් බලය අත්පත්කරගන්නා නමුත් ඔහුට වසර 10 ක්වත් පාලනය කිරීමට නොහැකි වන්නේ දෙවෙනි ඉන්දියානු ආක්‍රමණයද එළාර නම් චෝල රට සිට පැමිණි දමිලයෙකු ක්‍රියාත්මක කිරීමත් සමගය. ඔහු එතැන් සිට වසර 44 ක් මෙරට රාජ්‍යය පාලනය කරයි. මෙම ආක්‍රමණයන් සිදුවූ කාලය පිළිබද නිශ්චිත සාධක නොමැති හෙයින් ඒවා ක්‍රි. පූ. 250 ත් ක්‍රි.පූ. 161 ත් අතර සිදුවූ ලෙස අනුමාන වශයෙන් පිළිගැනේ. වංශ කතා වල සදහන් වන අයුරින් මේ ආක්‍රමණිකයන් සියලු දෙනාම දැහැමින් රට පාලනය කර ඇත. කුඩා ප්‍රමානයක් වූ ඔවුන්ගේ බලය මෙරට බහුතරයක් වූ ස්වදේශිකයන් එකමුතු වුවහොත් පහසුවෙන්ම අතික්‍රමණය කල හැකි බැවින් එවැනි හැසීරීමක් අනිවාර්ය බව පැහැදිලිය. කෙසේ නමුත් රජරට ප්‍රදේශයට පමනක් සීමා වූ මේ ආක්‍රමණිකයන්ගේ බලය දකුණේ රෝහණ දේශය යටත් කරගැනීම දක්වා පැතිරීමක් සිදු නොවූ බැවින් රෝහණයේ සිට සේනා සංවිධානය කල කාවන්තිස්ස රජුගේ උත්සාහය මල්ඵල දරමින් ඔහු පුත් දුටුගැමුණු විසින් මෙරට නැවතත් එක්සේසත් කලහ. එළාරගේ මරණයෙන් පසු ඔහුගේ බෑනා වූ භල්ලුක නම් තැනැත්තෙක්ද මෙරටට සේනාවක් සහිතව පැමිණෙන මුත් ඔහුවද පැරදවීමට දුටුගැමුණු සමත්වේ. මෙය තුන්වැනි ඉන්දියානු ආක්‍රමණය ලෙස ගත හැක.

අද ඇතැම් විජාතික මනසින් යුත් මනස්ගාතකරුවන් අර්ථනිරූපනක කිරීමට වලිකන අයුරින් මෙම සටන් කිසිදු ලෙසකින් එකල මෙරට විසූ ජනවර්ග දෙකක් අතර පැවැති වාර්ගික යුද්ධ ලෙස සැලකීමට සාධක නොමැති අතර බෞද්ධ ආගම මෙරටට හදුන්වාදීමත් සමග රාජ්‍ය අනුග්‍රය යටතේ මේ වන විට මෙරට බහුතරයක් එම දහම වැලදගත්තන් වන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇත. මේ යුගයේ දමිල ලෙසින් හැදින්වූවන් වර්තමාන අර්ථයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව ලෙස ගැනෙන කොටසින් පැමිණි පුද්ගලයන් බව පොදුවේ පිළිගැනේ. ඔවුන් කිසියම් හෝ රාජ්‍ය වංශයකට අයත් වූවන්ට වඩා මෙරට පැවැති සාපේක්ෂව යුධ ශක්තිය අතින් දුර්වල පාලනයන් පහසුවෙන් අත්පත්කර ගත් තනි පුද්ගලයන් වන්නට ඉඩ වැඩිය. කෙසේ නමුත් ඔවුන් ආගමින් හින්දු වීමට වැඩි ඉඩක් ඇති බැවින් ඔවුන්ගේ පාලන යුග වලදි පෙර පැවැති රාජ්‍ය අනුග්‍රය ඒ අයුරින්ම බුද්ධ ශාසනයට නොලැබී යෑම දුටුගැමුණු රජුගේ සේනා සංවිධානයේදී බෞද්ධ භික්ෂුන්ගේ ප්‍රබල මැදිහත් වීමෙන් වටහාගත හැක. එසේම ජනතාව සටන් සදහා යොමු කිරීමටද පොදුවේ බෞද්ධයන් වූ සිංහලයන්ට එල්ල වූ එම අසාධාරණය ඉවහල් කර ගත් බවක් පෙනී යයි.

මෙවැනි ආකාරයේම වූ තවත් ආක්‍රමණයක් දුටුගැමුණුගේ මරනයෙන් දශක හතරක් ඉක්මවූ තැන ක්‍රි. පූ. 137 දී වට්ටගාමිණි අභය රජුගේ කාලයේදීද සිදුවේ. වංශකතාවේ සදහන් අයුරින් මහාතිත්තයට ගොඩ බසින දමිලයන් සත් දෙනෙක් වට්ටගාමිණි රජුගේ පදවිප්‍රාප්තියෙන් පස් මසක් ගිය තැන ඔහු පලවා හැර බලය අත්පත් කරගනී. තීය නම් වූ බ්‍රාහ්මනයෙකු ඇති කල කැරල්ලක් නිසා මෙරට ඇතිවී තිබූ අස්ථාවරත්වය සහ දුර්භික්ෂය මෙම ආක්‍රමණිකයන්ගේ අරමුණ ඉටුකර ගැනීම පහසු කෙරුවා විය හැක. මෙම දමිලයන් සත් දෙනාගෙන් දෙදෙනෙකු එක් අයෙකු රජුගේ බිසවක් වූ සෝමාදේවිය සහ අනෙකා බුදුන්ගේ පාත්‍රා ධාතුව රැගෙන ඉන් සෑහිමකට පත්වී නැවතත් ඉන්දියාවට නික්මයන අතර සෙස්සන් එකිනෙකා මරාගනිමින් වසර 14 කුත් සත් මසක් මෙරට පාලනය කරන අතර වට්ටගාමිණී රජු සේනා සංවිධානය කර අන්තිමයාගෙන් නැවතත් බලය අත් පත් කර ගනී.

ඉන්දියානු ආක්‍රමණ පුරාණය ගැන තව දුරටත් ඉදිරියේදි විමසා බලමු. 

චිත්‍රය - ඒකාබද්ධ වෘත්තියවේදීන්ගේ සංගමගේ නිර්මාණයකි.

මූලාශ්‍ර
  • The Indian factor in the security perspectives of Sri lanka, A, Liyanagamagea, 1993
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.