Showing posts with label Gampola. Show all posts
Showing posts with label Gampola. Show all posts

Saturday, May 16, 2020

19 වන සියවසේ උඩ පළාත දිසාවට අයත් පැරණි ගම් සොයා දොලොස්බාගේ සිට ගඟ ඉහල කෝරළයෙන් ගඟ පහල කෝරළයට

1815 දී බ්‍රිතාන්‍ය හිරු නොබසිනවායැයි කී අධිරාජ්‍යයට ගිවිසුමකින් පවරා දීමට පොරොතුව සිංහලේ නමින් හැඳීන්වූ මහනුවර රාජධානියට අයත් ප්‍රදේශ වල තිබූ පළාත් බෙදීම් පිළිබඳව වූ ලිපි පෙලක තුන් වන ලිපිය උඩ පළාත දිසාව පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. පෙර ලිපි දෙකකින් උඩ බුලත්ගම ලෙසින් හැඳින්වූ රට පිළිබඳව සාකච්චා කලෙමි. එම ලිපි කියවීමට - 1. >> , 2. >>

ප්‍රධාන වශයෙන් 1896 වසරේ පලවූ ලෝරිගේ වාර්තා වල සඳහන් තොරතුරු ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ලිපියට එම යුගය වන විට උඩ පළාත දිසාවට අයත් වූ ප්‍රධාන කෝරළ 4 කින් 2 ක් පිළිබඳව කරුණු ඇතුලත්ය. එනම් ගඟ ඉහල කෝරළය සහ ගඟ පහල කෝරළයයි. මින් ගඟ ඉහල කෝරළයේ උස් කඳු මත පිහිටි ගම් අයත් වන ප්‍රදේශය දොළොස්බාගේ ලෙසින්ද හැඳින්විනි (පහත සිතියම බලන්න). පෙර ලිපි මගින් විස්තර ඉදිරිපත් කල උඩ බුලත්ගම රටට වඩා මෙම ප්‍රදේශ වල ගම් ව්‍යාප්තිය පිළිබඳව දැකිය හැකි කැපී පෙනන වෙනසක් ලෙස පෙන්විය හැක්කේ මෙම කෝරළ දෙකට අයත් මුළු ප්‍රදේශය පුරාම ගම් විසිරී තිබූ බවය. එහෙත් ඒ සෑම ගමක්ම පාහේ ගංගා, ඔය වල නිම්න අවට සමතලා භූමි ප්‍රදේශ වලට සීමා වූ අතර උස් කඳු මුදුන් වන වැස්මෙන් වැසී ආරක්ෂා වී තිබූ බව පෙනේ. එහෙත් කෝපි සහ තේ වතු සඳහා සුදු පාලකයන් එම කැලෑ බිම් හෙලි කෙරීමත් සමග එයින් ඇතිවූ පරිසර හානී වලට අමතරව ගම්මුන් විසින් සිය ගවයන්ගේ ආහාර අවශ්‍යතා සඳහා භාවිතා කල උස් බිම් වල පිහිටි පතන් බිම්ද ඔවුන්ට අහිමි වූ බවට වෙනත් වාර්තා වලින් තොරතුරු ඉදිරිපත් කල හැක. ඒ හේතුව නිසාම ගම්මුන් සහ වතු හිමියන් අතර නොයෙකුත් ගැටුම් ඇතිවී ඇත. තවද එම වන භූමි වල ගැමියන් විසින් සිදු කල හේන් වගාව ඔවුන්ට තවදුරටත් කරගෙන යාමට නොහැකි විය. අද හේන් වගාව පරිසර විනාශයක් ලෙස අර්ථ දක්වා ඇති මුත් එය එසේ නොවන බව ඒ පිළිබඳව සිදු කල අධ්‍යයන වලින් පෙන්වා දිය හැක (ඒ පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ සන්දර්භය ඉක්මවා යෑමක් වන බැවින් සම්පූර්ණ කැලය එලි කර තණකොල ගසක් වත් වැවීමට නොදී සදාකාලිකව පොහොර සහ කෘමිනාශක යොදමින් සිදු කරන තේ වගාවත්, කැලෑ ගිනි තබා (ලොකු ගස් බොහෝ විට විනාශ නොවී ඉතිරි වේ) විවිධ භෝග වවා, එක කන්නයකින් පසු නැවතත් වසර 6 ක් වත් කැලය වැවීමට අතහරින හේන් වගාවත් අතරින් වඩා පරිසර හානියක් සිදුවන්නේ කුමකින්ද යන්න පමණක් සිතා බලන්න)
දොලොස්බාගේ ප්‍රදේශයේ මියන්ගොල්ල සහ බෙරවිල ප්‍රදේශ අතර පිහිටි Pen-Y-Lan තේ වත්ත
19 වන සියවස අවසාන භාගය වන විට උඩ පළාතට අයත් ඉහත කෝරළ දෙකේ සීමාව තුල පිහිටි ගම් වල නොයෙකුත් තොරතුරු මෙතැන් සිට ඉදිරිපත් කරමි. මෙහිදි පෙර සිටි රජවරුන් සහ ප්‍රභූ වරුන් විසින් සිංහල බෞද්ධ ජනයා වැඳුම් පිඳුම් සිදු කල විහාර සහ දේවාල වලට පිරිනැමූ ගම් වලට අයත් ඉඩම් සුදු අධිරාජ්‍යවාදීන් විසින්  අත්පත් කර ගැනීමේ මූලික පියවරක් ලෙස එම ඉඩම් එවැනි ආයතන වලට අයත් ලෙස නොපිලිගත් ආකාරය සහ ඒවා එතෙක් පැවති ලෙසින් රජයට බදු නොගෙවන ඉඩම් ලෙස පිළිගැනීම නැවතූ ආකාරය මෙම ගම් බොහෝමයකදී දැකගත හැක. තවද උඩරට ප්‍රදේශ වලට සංක්‍රමණය වූ ඉස්ලාම් දහම ඇදහූ ජනයා ඔවුන්ගේ ආගමික අනනය්‍යතාවයන්ද පවත්වා ගනිමින් බෞද්ධ විහාර සහ සිංහල බෞද්ධ දෙවිවරුන්ගේ දේවාල ආදියටද සේවා සපයමින් (ඒ වෙනුවෙන් පෙරලා ඔවුන්ට පදිංචියට සහ වගා කිරීමට අවශ්‍ය ඉඩම් ලැබිණි.) සිංහල බෞද්ධ සංස්කෘතිය සමග මුහු වූ හෝ වෙමින් තිබූ ආකාරද හඳුනාගත හැක. (ඉංග්‍රීසි පාලකයන්ගේ විහාර දේවාල වලට අයත් ඉඩම් පවරා ගැනීම සහ ඔවුන් අනුගමනය කල බෙදා වෙන් කර පාලනය කිරීම උදෙසා විවිධ ජන වර්ග වෙනම ජාතීන් ලෙස සලකා ඔවුන්ට කප්පම් දීමේ ක්‍රියා පිළිවෙල නිසා පසුකාලීනව එම ක්‍රියාදාමය ඇන හිටි අතර, සුළු ජන වර්ග, වර්ගවාදය කරා තල්ලු කිරීමද සිදුවිය. එහි  හානිකර ප්‍රථිපල අද දක්වාම දැක ගත හැක.)

දොළොස්බාගේ
උඩ පළාත දිසාවට අයත් දොළොස්බාගේ දකුණින් පස්බාගේ කෝරළයෙන්ද, බටහිරෙන් පාත බුලත්ගම රටින්ද, උතුරින් සතර කෝරළය මහ දිසාවට අයත් පරණකුරු කෝරළයෙන්ද මායිම් වේ. එක් බාගයකට ගම් හතර බැගින් වූ බාග 3 කින් සැදි දොළොස්බාගය මේ ආකාරයෙන් සැදී ඇත.
Craighead Junction - Dolosbage
ගිරාඋල්ල හතරබාගේ 
  • ගිරාඋල්ල - ගම්මුන් විසින් සෑදූ විහාරයක් මෙම ගමේ තිබූ බවත් එයට ඔවුන් පිරිනමා තිබූ පෑල 2 ක ( අක්කරයක පමණ) ඉඩම බදු වලින් නිදහස් කිරීම උදෙසා කල ඉල්ලීම විහාර දේවාල ගම් කොමසාරිස්(Temple Lands Commissioner) විසින් ප්‍රතික්ශේප කල බවත් ලෝරි පවසයි. මෙම ගම තුල වූ කරගල නම් වූ ගමේ කෝවිලක් තිබූ බව සඳහන්ය.
  • මීතලාව
  • පොල්මලගම - ගල්පාය නම් වූ කුඩා ගමක් (Hamlet) පොල්මලගම තුල තිබී ඇත.
  • තෙලිහුන්න
මැදගන් හතරබාගේ
  • අම්බලන්පිටිය - හකුරු සෑදීමේ රාජකාරියේ නිරත වූ වහුම්පුර කුලයට අයත් ජනයා ජීවත් වූ ගම්මානයකී. පැල්ලේපිටිය නම් වූ කුඩා ගමක්ද අම්බලන්පිටිය ගම්මානයේ තිබී ඇත.
  • අම්පිටිය - යටපාන ගම තුල වූ කුඩා ගමක් ලෙසද හඳුන්වා ඇත.
  • වැටකේදෙණිය - යටපාන සහ අම්පිටිය වෙල් විදානේ යටතේම පාලනය වූ ගමකි.
  • යටපාන - අම්පිටිය, පදුවල, තියඹරා අම්බේ සහ පිටකන්ද මෙම ගමෙහි වූ කුඩා ගම් බව සඳහන්ය. යටපාන පත්තිනි දේවාලයට දිගු කාලයක් අයත්ව තිබූ ලාහ කීපයක් වූ ඉඩම්ද බදු වලින් නිදහස් කිරීමට කල ඉල්ලීම ප්‍රතිශ්ෂේප වී ඇත.
උඩුවැල්ල හතරබාගේ
  • බෙරවිල
  • මියනගොල්ල - මියනගොල්ල ගම තුල අළුගොල්ල නම් කුඩා ගමක්ද තිබී ඇත.
  • පට්ටිතලාව
  • උඩුවැල්ල - මෙම ගමෙහි පිහිටි උඩුවැල්ලේ විහාරය නම් විහාරයට අයත් විහාරේවත්ත, හසලන්ගේවත්ත, බෝගහමුල අස්වැද්දුම සහ වෙඬරුපිටියේ ලියැද්ද යන ඉඩම් බදු වලින් නිදහස් කරන ලෙස ඉන්දශ්වර උන්නාන්සේ විසින් කල ඉල්ලීම විහාර දේවාල ගම් කොමසාරිස් විසින් 1858 දී ප්‍රතිශ්ෂේප කල බව සඳහන්ය. මෙහි පැරණි විහාරයක් තිබී එය විනාශ වී තිබී ඇත (ප්‍රතිශ්ෂේප වීමට හේතුව විහාරයක් ඒ වන විට නොතිබීමද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මෙම ගමේ වෙනත් විහාරයක්ද තිබී ඇත.)
දොලොස්බාගේ 
ලෝරි පවසන ලෙසට 19 සියවසේ අවසාන භාගය වනවිටද දොළොස්බාගේ වැඩි භූමි ප්‍රමාණයක් කෝපි සහ තේ වගාවෙන් යුක්ත විය.1871 වනවිට එහි වතු 28 තිබී ඇති අතර ලෝරි ඒ වනවිට (1896) තිබූ වතු 57 ක ලැයිස්තුවක් ඉදිරිපත්කරයි.
උඩ පලාත දිසාවයට අයත් දැනට හඳුනාගත හැකි 19 ශතවර්ෂය අවසාන කාලයේ තිබූ මෙම ලිපියෙන් විස්තර ඉදිරිපත් කර ඇති කෝරළ තුල පිහිටි ගම් මෙම සිතියමේ ලකුණු කර ඇත. මෙහි නිල් පාටින් දොළොස්බාගේට අයත් ගම්ද. එම යුගය වන විට දොළොස්බාගේද ඇතුලත් කර තිබූ ගඟ ඉහල කෝරළයේ අනෙකුත්ගම් රෝස පාටින්ද, ගඟ පහල කෝරළයේ ගම් කොළ පැහැයෙන්ද පෙන්වා ඇත. මෙම කෝරළ බෙදීම කෙතරම් කඳු පංති සහ ඇල දොළ වල පිහිටීම අදාල කරගෙන සිදු කර ඇත්ද යන්න බලන්න. මෙම සිතියමේ දැක්වෙන ත්‍රිමාන භුවිෂමතාවයන් එකල මේ ආකාරයෙන් දැකගැනීමේ කිසිදු තාක්ෂණික හැකියාවක් නොතිබුනද පැරණි ප්‍රදේශ බෙදීම් එම භූමියේ වූ ලක්ෂණ වලට කෙතරම් අනුකූල ව සිදු කර ඇත්ද යන්න බලන්න. අද මෙරට ඇතැම් බෙදීම් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බෙදීම් සිදු කර ඇත්තේ තනි කෙලින් ඉරි ගසා බවට මෙහිදී සිහිපත් කර ගැනීමද වැදගත්ය.
ගඟ ඉහල කෝරළය
උඩ පලාතට අයත් ගඟ ඉහල කෝරළයට දොළොස්බාගේද අයත් වේ. නැගෙනහිරෙන් මහවැලි ගඟෙන්, දකුණින් උඩ බුලත්ගමින්, සතර කෝරළයෙන් බටහිරෙන් සහ ගඟ පහල කෝරලයෙන් උතුරින් එය මායිම් වේ. දොළොස්බාගේ කොටසට අයත් ලෙස ඉහත දැක්වූ ගම්මාන වලට අමතරව පහත විස්තර වන ගම් ගඟ ඉහල කෝරළයේ තිබී ඇත.
  • බෝවතුර - බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • ගම්පොල වෙල - රජ ඇල මගින් වගා කල කුඹුරු සහිත ගමකි. උඩ පලාතට අයත් රජ ඇල විශාල ප්‍රදේශයකට වගාව සඳහා ජලය සැපයූ පැරණි වාරි ව්‍යාපෘතියකි. නටබුන්ව පැවති එහි අමුණ 1855 වසරේදී පානබොක්කේ රටේ මහත්මයාගේ (ජ්‍යෙෂ්ඨ) දැනුම්දීම මත ඉංග්‍රීසි රජය විසින් ප්‍රතිශංස්කරණය කර ඇත. විගුලවත්ත සෙල්ලිපිය මෙම ගම තුල පිහිටා ඇත. විහාරයක් මෙන්ම කළු බණ්ඩාර දෙවියන් උදෙසා වූ කෝවිලක්ද මෙම ගම තුල තිබී ඇත.
  • ගොඩගම - කොටසක් ගඟ ඉහල කෝරලයටද ඉතිරි කොටස ගඟ පහල කෝරලටද අයත් වන ගොඩගම ගම්මානය තුල, අම්බුලුවාව කන්ද පාමුල සිංහයාපිටිය නම් වූ තැනිතලා ප්‍රදේශයේ ගම්පොල රාජධානියේ රජුන්ගේ  පැරණි "නුවර" පිහිටා තිබී ඇත. මෙම ගමේ පිහිටි පොල්වත්තේ විහාරයට රාජපක්ෂ දුරයා නම් පුද්ගලයෙකු විසින් කිසියම් රජකෙනෙකුගේ සමයකදී පිරිනැමූ ඉඩම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් වීමේ ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.
  • හලගම - බෙරවා කුලයේ ජනයා වාසය කල තැඹිලිගල වසමට අයත් ගම්මානයකි.
  • හතුගොඩ - ප්‍රධාන වශයෙන් බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • හෙරකොල - බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • කුඩමකේ - තවත් බෙරවා කුලයේ ජනයා වාසය කල ගම්මානයකි. එරෑගොඩ සහ කුරුකුඩේ කුඩමකේ ගම තුල වූ කුඩා ගම් ලෙස සඳහන් කර ඇත.
  • එරෑගොඩ - කුඩා පත්තිනි දේවාලයක් රෝහල අසල කෑලෑව තුල තිබී ඇත.
  • තැඹිලිගල (උඩු ගම සහ පල්ලේ ගම) - පදුවෝ හෙවත් දුරයෝ කුලයට අයත් ජනයා පල්ලේගම කොටසේද, නිලමක්කාරයෝ උඩගම කොටසේද විසූ බව සඳහන්ය. ගම හරහා රජ ඇල වැටී ඇති අතර, අම්බලමක් සහ තැඹිලියගල දේවාලයද මෙම ගම තුල තිබී ඇත.
  • උලපනේ - ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව උලපනේ සීතාවක රාජසිංහ රජු කල හිඟුරුවත්තේ දිසාවට අයත් නින්දගමකි. එහෙත් රාජද්‍රෝහී අපරාදය යටතේ ඔහුව උල හිඳුවා, ඔහුට අයත් ඉඩම් රාජ සන්තක වූ පසු වර්ෂ 1707 දී පමණ නරේන්ද්‍රසිංහ රජු එම ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් හඟුරන්කෙත මහ දේවාලයට පවරා දී ඇත. උලපනේ ගමේ ගම්මුන් සියල්ලම පාහේ හඟුරන්කෙත දේවාලයේ සේවා සිදු කල මුත් විහාර දේවාලගම් කොමසාරිස් විසින් දේවාලයට අයත් ඉඩම් ලෙස පිළිගෙන ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි.
  • වල්ලහගොඩ - පෙරදී වනවාසගොඩ හෙවත් වල්වාසගොඩ ලෙසින් හැඳින්වූ ඉතා පැරණි ප්‍රදේශයකි. වල්ලහගොඩ විහාරයට අයත් ඉඩම් පිළිබඳව ඉන්දසාර උන්නාන්සේ දැක්වූ අයිතිය විහාර දේවාලගම් කොමිසම විසින් ප්‍රතික්ශේප කර ඇත්තේ එම හිමිකම ඔප්පු කිරීම උදෙසා ඒ හිමියන් සතුව තල්පතක් නොමැති බව කියමිනි. පෙර ගොඩගම නුවර පිහිටි රජ මාළිගයේ දොරටුව දෙපස තිබූ ශෛලමය සිංහ රූප දෙකින් එකක් වල්ලහගොඩ පිහිටි කතරගම දේවාලයේ තිබූ බව ලෝරි පවසයි (අනෙක් සිංහ රූපය සිංහයාපිටිය අම්බලම අසල එවකට තිබී ඇත.)
  • කැන්දගොල්ල
අම්බුළුවාව කන්ද
ගඟ පහල කෝරළය
නැගෙනහිරෙන් මහවැලි ගඟින්, දකුණින් ගඟ ඉහල කෝරළයෙන්, බටහිරෙන් සතර කෝරළයෙන් සහ උතුරින් උඩුනුවර රටින් වට වූ ගඟ පහල කෝරළය තුල තිබූ ගම් ලෙස පහත ගම් හඳුනාගත හැක.
  • බෝවල -  ගබඩාගමක් ලෙස පැවසෙන මෙම ගම තුල සිංහලේ අවසාන රජුට අයත් පුවක් ගබඩා කර තිබී ඇත. මෙහි තිබූ හපුගස්තැන්නේ විහාරය හෙවත් පාලු විහාරය 1858 ට බොහෝ කලකට පෙර අතහැර දමා තිබූ හෙයින් එම විහාරය උදෙසා ඉදිරිපත් කල බදු වලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. උපාසකගේ නම් වූ පවුලට අයත් ජනයා එහි බෝ මළුව පිරිසිදු කිරීම ආදී සේවාවන් සිදු කරමින් සිට ඇත. පසුව ඒ අසල අලුත් විහාරයක් ඉදි කර ඇත. උඩපලාතේ මාම්පිටියේ රටේ මහත්මයා මෙම ගම්මානයේ ජීවත් වී ඇත. පහත්කුඹුර නම් වූ කුඩා ගමක්ද මෙම ගම තුල තිබී ඇත.
  • ඇල්පිටිය - රත්වත්තේ දිසාව විසින් අස්වැද්දූ රාජකීය කෙත් සහිත ගමකි. ගල්ගෙඩි ඔය මගින් ජලය සපයන රජ ඇල මෙම ගමටද වගාව සඳහා ජලය සපයයි. සැතපුම් 3 දිග එම ඇලේ අමුණ කිරින්දේ ගම තුල පිහිටා ඇත. බොහෝ කලකට පෙර ගම තුල පදිංචි වූ මුස්ලිම්වරු කිහිපදෙනෙක්ද ඇල්පිටිය ගමේ එවකට සිට ඇත. ඔවුන් රජුට ගැල් වලින් බඩු ගෙන ඒමේ සේවාව (මඩිගේ) සිදුකර ඇත. ඉංග්‍රීසීන් විසින් ඉදි කල කොටුවක්ද ගම තුල කන්දක් උඩ තිබී ඇති අතර එය තිබූ කඳු වැටිය ඔස්සේ මහනුවර සිට ගම්පොල දක්වා වූ පැරණි මාර්ගය තිබී ඇති බව පැවසේ. ගනේගොඩ දේවාලයට අයත් ඉඩම් වල විසූ මෙහි සිටි මුස්ලිම් ජනයා එම දේවාලයට ලුනු සැපයීමේ සේවාව ඉටු කර ඇත. ඇල්පිටියේ වලව්ව පානබොක්කේ පරපුරට අයත් වලව්වකි. මෙම ගමේ විහාරය සතු ඉඩම් සඳහාද බදු වලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ශේප වී ඇත. 
  • ගම්පොල - ගඟ පහල කෝරලයට මෙන්ම ගඟ ඉහල කෝරලයටද අයත් වූ ගම්පොල ඒ වනවිටද උසාවියක්, පොලීසියක්, ටෙලිග්‍රාප් කාර්යාලයක්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල්, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා පාසැල් , දුම්රිය ස්ථානයක් සහ තානයමක්ද තිබූ නගරයකින්ද යුක්ත විය. මහවැලි ගඟ හරහා එල්ලෙන පාලමක්ද තිබී ඇත.
Gampola Athletic & Cricket Club - Gampola
  • කහටපිටිය - වෙල්ලාල  එනම් ගොවි කුලයේ ජනයා, බඩහැල් කුලයේ එනම් මැටි කර්මාන්තයේ නියැලෙන පිරිස් සහ මුස්ලිම් ජනයා වාසය කල ගමකි.  පානබොක්කේ පරම්පරාවට අයත් පැරණි වලව්වක්ද මෙම ගම තුල තිබී ඇත. පානබොක්කේ රටේ මහත්මයාගේ (ජ්‍යෙෂ්ඨ) සොහොන පවා තිබූ උනම්බුවේ පරම්පරාවට අයත් ගම තුල පිහිටි සුසාන භූමියේ ඒ වන විට චර්ච් මිෂණාරි පාසැලක් (A Church Missionary School) ඉදිකර තිබී ඇත. ප්‍රකට මුස්ලිම් පල්ලියක් කහටපිටියේ තිබී ඇති අතර එහි පිහිටි "මක්කම් සොහොන් ගෙය" මක්කම සිට එහි පැමිණි ශාන්තුවරයෙකුගේ බව පැවසේ. 'බේත්ගේ' හෙවත් රජුගේ වෛද්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත මුස්ලිම් වෙද පරපුරක් උඩුනුවර සිට පැමිණ මෙහි පදිංචි වී සිට ඇත. ඇම්බැක්ක, ගඩලාදෙනිය, ලංකාතිලක, වල්ලහගොඩ සහ වේගිරිය දේවාල වල පෙරහැරවල් දියකැපීමේ කාර්යය සිදු කල බෝතලපිටියේ බෝමළුව මෙම ගම තුල පිහිටා තිබූ අතර මහවැලි ගඟේ පිහිටි පෝරුතොට නම් ස්ථානයේ දියකැපීම සිදු කර ඇත. ජනප්‍රවාද වලට අනුව මෙම බෝමළුවේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ දේහය ආදාහනය කිරීමද සිදු කර ඇත. නටබුන් තත්වයේ පැවති ගංගාතිලක විහාරයේ 1858 දී කහටපිටියේ රත්නපාල උන්නාන්සේ විහාරාධිපති පදවිය දරා ඇත. උනම්බුවේ මොහොට්ටාල සහ උනම්බුවේ රටේ මහත්මයා ඉල්ලවතුරේ විහාරයට පූජා කල ඉඩම්ද මෙම ගම තුල තිබී ඇත.
ගම්පොල - මාවනැල්ල මාර්ගයට (B279) දිස්වන දොලොස්බාගේ සහ සතර කෝරලය ප්‍රදේශයේ කඳු
  • කිරින්ද - උඩෝවිට, කිරින්ද සහ ඇල්පිටිය  කිරින්ද ආරච්චි වසමට අයත් ගම් වේ. කිරින්ද ගමේ ඉඩම් විශාල ප්‍රමාණයක් කිරින්දේ වලව්වට අයත්ව තිබී ඇති අතර එම වලව්වට සේවා සැපයූ වහුම්පුර කුලයේ පිරිස හැරුන විට ගමේ සෙසු පුද්ගලයන් ගොවි කුලයට අයත් පුද්ගලයන්ය. පරාක්‍රමබාහු නම් රජෙකුගේ රාජ්‍ය කාලයේ ලංකාධිකාරි නම් පුද්ගලයෙකු ඉදිකල බව පැවසෙන කිරින්දේ පරණ විහාරය සහ පසු කලක ඉදි කල කිරින්දේ අලුත් විහාරය ලෙසින් විහාර දෙකක් මෙම ගම තුල තිබී ඇත. අලුත් විහාරයේ ඉඩම් ලියාපදිංචියට ඒ වන විටද වසර 23 ක් එම විහාරයේ විහාරාධිපති ධූරය දැරු හලදස්සී උන්නාන්සේ කල ඉල්ලීම 1858 දී ප්‍රතික්ශේප වී ඇත්තේ උන්වහන්සේ සතුව එය තහවුරු කිරීම උදෙසා රජුගෙන් ලද සන්නසක් නොමැති වීම හේතුවෙනි. නමුත් වෙනත් රදලයන් විසින් විහාරයට ඉඩම් පූජා කිරීම් පිළිබඳව වූ සන්නස් 4 ක පරිවර්තන ලෝරි ඉදිරිපත් කර ඇත.
  • කිරපනේ - කිරපනේ , මොල්ලිගොඩපිටිය, අගලකුඹුර සහ  ඉල්ලවතුර කිරපනේ ආරච්චි වසමට අයත් ගම් වේ. සිංහයාපිටිය වත්තේ ජෝජ් බර්ඩ් (Mr. George Bird of Sinhayapitiya estate) නම් ඉංග්‍රීසි ජාතිකයෙකු 1834 වසරේදී මෙම් ගමේ කොස් ගසක් මත තිබූ පැලක සිට වන අලි තිදෙනෙකු වෙඩි තැබූ බව ලෝරි පවසයි. එම යුගය වන විටද වන අලි මෙම ප්‍රදේශයේ සැරිසැරූ බව ඔහු එම වෙඩි තැබීම සිදු කලේ වන අලින්ගෙන් ආරක්ෂා වී රාත්‍රිය ගත කිරීම උදෙසා ගම්මුන් විසින් තැනූ පැලක් තුල සිට බව පැවසීමෙන් පැහැදිලි වේ. මහනුවර කතරගම දේවාලයට සහ නියංගම්පාය විහාරයට සේවා ඉටුකල පුද්ගලයන් මෙම ගමේ සිට ඇත.
  • රත්මලකඩුව - විදාන දුරයා කෙනෙකු යටතේ පාලනය වූ ග්‍රාමයකි. නියංගම්පාය විහාරයට හේවිසි සේවාව සැපයූ ජනයා මෙම ගම තුල සිට ඇත.
ගම්පොල-පුපුරැස්ස මාර්ගයට (B125) දිස්වන අම්බුළුවාව කඳු පංතිය. මෙම කඳු පහල පෙදෙසේ ගඟ ඉහල කෝරළය සහ ගඟ පහල කෝරළයට අයත් ගම් පිහිටයි
  • උනම්බුව- වෙල්ලාල හෙවත් ගොවි කුල ජනයා විසූ ගමකි. තෙන්නකෝන් වාසගම සහිත පරම්පරාවට අයත් උනම්බුවේ වලව්ව මෙම ගමේ පිහිටා තිබී ඇත. සිංහලේ අවසාන රජ සමයේ බත්වඩන නිළමේ ධූරය දැරූ නිළමේ වරයෙකු 1818 දක්වාත් මෙම ගමේ වාසය කර ඇති අතර එම වර්ෂ වල සිදුවූ උඩරට නිදහස් අරගලයේදී කැරලිකරුවන් විසින් ඔහුගේ නිවස ගිනි තබා ඔහුව සිර භාරයට ගෙන ඇත.  කිරින්දේ අලුත් විහාරයට ඔහු තෙවරක්ම ඉඩම් ප්‍රදානය කර ඇත. 1804 ඉංග්‍රීසින් සමග යුද්ධයේදී කල සේවය වෙනුවෙන් මෙම ගමේ විසූ කූණමඩුවේ ලේකම් ධූරය දැරූ උනම්බුවේ රාජකරුණා තෙන්නකෝන් වාහල මුදියන්සේ සන්නසක් ලබා ඇත. 1815 ඉංග්‍රීසීන්  පැමිණීමට ටික කලකට පෙර කොත්මලේ රටේ මහත්මයා වූ උඩපලාතේ උනම්බුවේ මොහොට්ටාල ඉල්ලවතුරේ විහාරය ඉදිකර එයට ඉඩම් ප්‍රදානය කර ඇත. මෙම විහාරයේ ඉඩම්  බදු වලින් නිදහස් වීම උදෙසා කල ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත (ලෝරි සඳහන් කරන ආකාරයට ඉල්ලවතුර මුස්ලිම් ගම්මානයකි.) උනම්බුවේ මැද වලව්ව නමින් වූ වලව්වක් පිළිබඳවද ලෝරි සඳන් කර ඇත. උනම්බුවේ ගමේ විසූ මෙවැනි රදල පවුල් වල සාමාජිකයන් විශාල පිරිසකගේ විස්තර ලෝරිගේ වාර්තාවේ ඇතුලත්ය. ඒ අතර මීගමුවේ කොටුවට ප්‍රහාර එල්ලකිරීම පිණිස ශක වර්ෂ 1683 (ක්‍රි.ව. 1761) සිය දේපල දරුවට පවරා ගිය අප්පුහාමි නම් වූ රටේ මහත්මයා පදවිය ලැබූ පුද්ගලයෙකු පිළිබඳවද, එවැනිම දේපල පවරා දඹදිව ගිය (Proceed to the Continent of India) උඩපලාතේ උනම්බුවේ මහන්තගේ පුංචිරාල නම් වූ පුද්ගලයෙකු පිලිබඳවද ආදී වූ සන්නස් සහ තුඩපත් කිහිපයක්ද ලෝරි ඉදිරිපත් කරයි. උනම්බුවේ ගම තුල වූ පැරණි විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල ඉදිකර ඇති අතර එයට උනම්බුවේ දිසාව සහ ගම්මුන් ඉඩම් ප්‍රදානය කර ඇත. පැරණි විහාරය අසලම කඳු ගැටයක් මත 1834 දී එවකට උනම්බුවේ උඩපලාතේ දිසාව විසින් අලුත් විහාරය ඉදි කර ඇත.
  • උඩුපිටිය - ගම්පොල පිහිටි කුඩා ගමකි. මුස්ලිම් ජනයා වාසය කර ඇත.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898

Sunday, December 3, 2017

මියුරිඳුසඳ දුටු අලගක්කෝනාර ප්‍රභූරාජයාගේ පතහවත්තේ රයිගම් රාජධානිය


බණ්ඩාරගම- හොරණ මාර්ගයේ කොතලාවල හන්දියෙන් දකුණට ඇති පාරේ මද දුරක් ගිය විට කබොක්  ගලින් නිර්මිත වට පවුරකින් වටවූ ශ්‍රී පුෂ්කරාරාමය නම් විහාරයක් හමුවේ. එම විහාර භූමියේ මෑතකදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිළිසකර කල විශාල පොකුණක්ද දැකිය හැක. මේ ලිපිය එම භූමියේ ඓතිහාසිකත්වය විමසා බැලෙන කෙටි සටහනකි. 

මයුර සන්දේශය
ගම්පොළ පස්වන බුවනෙකබාහු ( ක්‍රි.ව. 1371 - 1408 ) රජ සමයේ රජුට, රජ පවුලට සහ රාජ්‍යභාර සෙන්පතියන්ට උපුල්වන් දෙවියන්ගේ ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා ගඟසිරිපුර (ගම්පොළ) සිට දෙව්නුවර උපුල්වන් දේවාලය දක්වා මොණරෙකු අත යවන සන්දේශයක් මයුර සන්දේශ කාව්‍යයට විෂය වේ. මයුර සන්දේශය ලිවූ කවියා කවරෙක්ද යන්න බොහෝ පිටපත් වල සඳහන් නොවන මුත් ඇතැම් පිටපත් වල සඳහන් වන්නේ ගුරුළුගෝමින්ගේ මුණුබුරු වූ කවිශ්වර නම් කෙනෙකු එය රචනා කල බවයි. එය ලිවූ කාලය ක්‍රි.ව. 1385 ත් 1391 අතර විය හැකි බව පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා අනුමාණ කරයි.

ගඟසිරිපුර සිට දෙව්නුවරට මයුරා යන මග එවකට අලගක්කෝනාර ප්‍රභූ රාජයා විසූ රයිගම් පුරවරය පසුකර ගමන් කරයි. මයුර සන්දේශ කවියා එම රයිගම්පුරය මෙසේ වර්ණනා කරයි.

ලෙස තෙවිකුම් රුපු නොතැකුම් විකුම් කොට
තුඟු තුරුගුම් බල සැලසුම් සෙන් පිහිට
ලොව සිරිතුම් ඇම පැවතුම් කළ දිගට
නිති මනරම් වදු රයිගම් පුරවරට

ත්‍රිවික්‍රමයා (එනම් විෂ්ණු) මෙන් සතුරන් නොතැකීම වික්‍රමය කරගත්, බල සේනා පෙලගැස්වීමට තූර්ය ඝෝෂාව පදනම් වූ, ලෝකයේ උතුම් හැසීරීම දිගටම පවත්වාගත්, නිතර සිත් පිනවන උතුම් රයිගම්පුරවරයට පිවිසෙන ලෙස කවියා එම කවියෙන් මයුරාට ආරාධනා කරයි.
ප්‍රාකාරය
එපුර වොරැඳි පිළිමිණි උර පිරි දියෙනි
ඉතිර සපිරි ලෙළ පිරි ඒ මිණිබිතෙනි
පැතිර ඔබින් ඔබ දිසි සේයා කෙවැනි
ගැඹර තර උනුන් එදෙදෙන බලන වැනි

පළිඟු මැණික්  පවුරෙහි ඡායාව දිය අගළෙහි පෙනෙයි. දිය අගළෙහි ඡායාව පළිඟු මැණික් පවුරෙහි පෙනෙයි. ඒ කෙසේද යත් පළිඟු මැණික් පවුර සහ දිය අගළ යන දෙදෙනා ඔවුනොවුන්ගේ ගැඹුර සහ මහත විමසා බලනු වැන්න.

පළිඟු මැණික් පවුරක් ලෙස කවියා වර්ණනා කරන එම ප්‍රාකාරය වර්තමානයේ පතහවත්ත ලෙසින් හැඳින්වෙන ඉඩම වටා අදද  දක්නට ඇත. කබොක් ගල් වලින් නිර්මිත එම ප්‍රාකාරය පුරාණයේ කපරාරු කර සුදු පිරියම් කර තිබෙන්නට ඇත. එනිසාය ඒ වටා තිබූ දිය අගලේ ඡායාව කැටපතක් බඳු ප්‍රාකාරයෙන් දිස්වූවේ. දිය අගල අද දක්නට නැති අතර ප්‍රාකාරයේ එක් පසක කුඩා පාරක්ද වෙනත් ස්ථාන වල පෞද්ගලික ඉඩම්ද දක්නට ඇත. දිය අගළ පසුව ගොඩ කර හෝ ස්වභාවිකව ගොඩවූ පසු  එම මාර්ගය සහ නිවාස ඉදිකර ඇතිවා විය හැක.
පතහ (පොකුණ)
රයිගම්පුර පිළිබඳව වූ මයුර සන්දේශ වර්ණනාවේ තව දුරටත් සඳහන් වනුයේ එපුර වෙළෙන්දන් උස් ප්‍රාසාදයන්ගේ සල්පිල් පවත්වාගෙන ගිය බවත්, රත්න කාන්තිය විහිදෙන බොහෝ විමන් ඒ නුවර වූ බවත්, එහි විදී වල නිතර මැණික් ඇල්ලු පොරොදු (සන්නාහ) බැඳ ඇතුන් සැරිසැරූ බවත්ය.

එම පුරයට අධිපතිව මහේෂ්වරයාගේ මිත්‍ර වූ (මහේශ්වර එනම් ශිව දෙවියාගේ මිත්‍රයා වනුයේ කුවේරයි ) අලකේශ්වර ප්‍රභූරාජයා (කවියා ඔහුගේ නමෙහි එම සංස්කෘත රූපය මෙන්ම සිංහල ශබ්දය වන අලගක්කෝනාර යන්නද භාවිතා කරයි.) සහ ඔහුගේ සොහොවුරු මන්ත්‍රීශ්වරයා විසූ බව මයුර සන්දේශ කවියා ඔවුන්ගේ දීර්ඝ ගුණ වැණුමක්ද සමගින් පවසයි.

අලගක්කෝනාර හෙවත් අලකේශ්වර සම්බන්ධව ඉහත මයුර සන්දේශ තොරතුරු සනාථ කරමින් රාජාවලිය පවසන්නේ මහාජීනේ දොස් රජු මායම් කර විජයබාහු රජුව මහාජීනයට (චීනයට) අල්වාගෙන ගිය පසු (චීන මායම ගැන කියවීමට Link >>) ලංකාවේ රජුන් නැති හෙයින් අලකේශ්වර මන්ත්‍රියා රයිගම් නුවර විසූ බවත් පරාක්‍රමබාහු බෑනා ගම්පල නුවර උන් බවත් යාපාපටුනේ ආර්ය චක්‍රවර්ති රජ උන් බවත්ය.
ශෛලමය ඇත් රුවක්
පැරකුම්බා සිරිත
උතුම් ගුණයුත් මෙ පැරැකුම්බා නිරිඳු රයිගම් නම් පුරා
බරණ සූසැට සිද්ද වොටුනුත් පැලඳැ විලසින් පුරඳරා
වෙළෙඳ ගොවිකුල වන්නි නිරිඳුන් නොදැන කළ නොසිරිත් වරා
බබුළුවා ලෝසසුන හෙබවී සරසමින් කුල දිවයුරා

ක්‍රි.ව. 1450 ත් 1460 අතර රචිත ලෙස සැලකෙන කොට්ටේ සවැනි පැරකුම්බා (1411 - 1461) රජුගේ ගුණ වැයුමට කිසියම් කවියෙකු විසින් කල ප්‍රශස්ති කාව්‍යයක් වන පැරකුම්බා සිරිතේ එන ඉහත පද්‍යයෙන් කියවෙන පරිදි පැරකුම්බා නිරිඳු රයිගම් පුරවරයේ සූසැට බරණින් සහ සිද්ද ඔටුනු පැළැඳ, ලෝ සසුන බබුළුවමින් සූර්ය වංශය සරහමින් ශක්‍ර දේවෙන්ද්‍රයා මෙන් වාසය කර ඇත. ඔහු කෝට්ටේ පුරවරය සිය අගනුවර කරගැනීමට පොරොතුව මෙසේ රයිගම විසුවා විය හැක. ඒ බව තහවුරු කරමින් රාජාවලිය පවසන්නේ බුධවර්ෂයෙන් එක්වාදහස් නවසිය සුසාළිස් අවුරුද්දක් ගිය සඳ ශ්‍රී පරාක්‍රමබාහු රජු තුන් අවුරුද්දක් රයිගන් නුවර වැඩ හිඳ පසුව ජයවර්ධන කෝට්ටයට වැඩමවූ බවයි. 
පතහ සහ පතහවත්ත
විජයබා කොල්ලය සහ රයිගම් බණ්ඩාර
රාජාවලියේ 'විජයබා කොල්ලය' ලෙසින් හැඳින්වෙන හය වැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1513 - 1521) මරා ඔහුගේ පුතුන් තිදෙනෙකු වන මායාදුන්නේ, රයිගම් බණ්ඩාර සහ භුවනෙකබාහු රාජ්‍ය පැහැර ගැනීමේ මාළිගා කුමන්ත්‍රණයෙන් පසු හත්වන භුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1521 -1551)  ජයවර්ධනපුර අගනුවර කර ගනිමින් මුළු රටේම පාලකයා ලෙස කිරුළු පළදින අතර, රයිගම් බණ්ඩාර රයිගම් නුවරද (පාලි - රයිගාමපුරෙ) මායාදුන්නේ තමන් විසින්ම කළ සීතාවක නුවරද ප්‍රදේශ රාජ්‍යය කළ බව මහාවංශයේ සඳහන් වේ.
පතහ (පොකුණ) සංරක්ෂණයට පෙර 2005 වසරේදී
රාජාවලියේ රයිගම සිටි කුමරාගේ නම සඳහන් නොවූවත් රාජාවලිය ලිවීමට පාදක වූ ලෙස හඳුනාගන්නා 'අලකේශ්වර යුද්දයේ' හෙතෙම පරරාජසිංහ ලෙස හඳුන්වයි. කෙසේ නමුත් රාජාවලියේ පසුව එන සඳහනකට අනුව රයිගම් බණ්ඩාර, මාපිටිගම සිට මියයන අතර, එම පුවතම වාර්තා කරන අලකේශ්වර යුද්දය මාපිටිගම සිටියදී එහිදීම මිය ගියේ රයිගම රජු වන පරරාජසිංහ බව පවසයි. අලකේශ්වර යුද්දයේ විජයබා කොල්ලය සිදුවීමට පෙර එන සඳහනකට අනුව හය වැනි විජයබාහු රජුට එක් බිසවකට දාව රාජාවලිය පවස්න පරිදි පුතුන් තිදෙනෙකු නොව සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් අතරින් වැඩිමහළු මහාරයිගම් බණ්ඩාර තරුණ අවදියේ මිය යන අතර, අනෙක් තිදෙනා පරරාජසිංහ, භුවනෙකබාහු සහ මායාදුන්නේ වෙයි. ඇතැම් විට මහාරයිගම් බණ්ඩාර මියගිය පසු රයිගම පාලනය කල හෙයින් පරරාජසිංහ රජු, රයිගම් බණ්ඩාර ලෙස හැඳින්වූවා විය හැක.

කෙසේ නමුත් පෘතුගීසි ලේඛක කූතෝ පවසන්නේ රයිගම විසූ රයිගම් බණ්ඩාර  (Reigao Pandar) සිය ප්‍රාදේශිය රාජ්‍යය ගෙන යාමට පුතෙකු නොමැතිව මිය ගිය විට, එම ප්‍රදේශය නීත්‍යානුකූලව කෝට්ටේ (Cota) රාජධානියට අයත් විය යුතු වුවත්, එම රාජධානියේ අගනුවර වූ රයිගම් කෝරලයට (Reigao Corle) කඩිනමින් ඇතුළු වූ මායාදුන්නේ (Madune) එහි බලය සහ සිය මිය ගිය සොහොයුරාගේ ධනය අත්පත් කරගත් බවත්, එමගින් ඔහු කෝට්ටේ රජුට වඩා බලවත් වූ බවත්ය.
පතහ (පොකුණ)
එවන් වූ ඉතිහාසයක් ඇති රයිගම් පුරවරයේ නශ්ඨාවශේෂ ලෙස ප්‍රාකාරයකින් වටවූ ඉහත පතහවත්ත නමින් හැඳින්වෙන අක්කර 4.5 ක පමණ වපසරියකින් යුතු ඉඩමේ මෑතකදි සංරක්ෂණය කර ඇති විශාල පොකුණක් සහ අඩි 8 පමණ උස අඩි 6 පමණ පළල ප්‍රාකාරයක් නටබුන් ලෙස ඉතිරිව ඇත. 'පතහ' යන්නෙන් විශාල පොකුණක් හැඟවෙන අතර 'පතහවත්ත' නම එම ඉහත විස්තර වූ පොකුණ නිසා එම ඉඩමට ව්‍යවහාර වන බව පෙනේ. මේ වන විට එම ඉඩමේ නූතන යුගයට අයත් ශ්‍රි පුෂ්කරාරාම විහාරය ඉදි කර ඇති අතර එම පරිශ්‍රය පුරා වැසිකිලි ගල්, ඇත් රූප, පාදම් ගල් වැනි විවිධ නටබුන් හමු වී ඇත. ඒවා අලකේශ්වර ප්‍රභූ රාජයගේ හෝ  ඉන්පසුව එහි විසූ සවැනි පරාක්‍රමබාහු, රයිගම් බණ්ඩාර (පරරාජසිංහ) වැනි රජවරුන්ගේ මාළිගා වල නටබුන් විය හැකි වන අතර පොකුණ (පතහ) පැරණි රාජකීය පොකුණ ලෙස හඳුනාගත හැක.
ශෛලමය වැසිකිලි ගලක්
මූලාශ්‍ර
  • රයිගම්පුර වංශකතා, සංස්කරණය රාජකීය පණ්ඩිත ආචාර්ය හොරණ වජිරඤාණ නාහිමි, 2002
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • මයුර සන්දේශය සංස්කරණය - සිරි තිලකසිරි, 2000
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • The Rajavaliya, A Comprehensive Account of the Rulers of Sri lanka, And the first ever translation of the Alakesvara Yuddhaya, A.V. Suraweera, 2000
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • University of Ceylon, History of Ceylon Volume I Part II, 1960
  • University of Peradeniya, History of Sri Lanka, Volume II (c1500 to c1800), Editor K.M. de Silva  1995
  • The History of Ceylon from the Earliest Times to 1600 A.D. As related bu Joao de barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1993

Sunday, February 19, 2017

මහාසෑයේ තැන්පත් කල ලොව පළමු බුදු පිළිමය, උඩ අළුදෙණිය ස්ථූපයේ රන් ආලේපිත බුදු පිළිම සහ සඳ හිරු සෑයේ රත්‍රන් බුදු පිළිමය

සිරස්පත සහිත සමාධි හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
 "..ඉක්බිති දුටුගැමුණු මහරජ්ජුරුවෝ ධාතුගර්භමධ්‍යයෙහි රුවන් මුවා බෝ රුකක් කරවීය. ඒ බෝධීන් වහන්සේ ඉන්ද්‍රනීලමාණික්‍යමය බිමෙහි පිහිටියේය. එහි මුල් පබලුමය කොට කරවූහ. කඳ රිදියෙන් කරවන ලදී. මිණි මුවා පතින් හෙබියේය. රුවන් මුවා පාණ්ඩු පුත්‍ර ඵල ඇත්තේය. අටමඟලද සත්රුවනින්ම කරවීය. නැවත මල් , සිව්පා, හංස පන්තීන්ද සත්රුවනින්ම කරවීය. ඒ බෝධීන් වහන්සේගේ මුදුනේ සුදු වියන් බැඳ ඒ වියන් කෙළවර වට කොට මුතු හා එක්කොට අවුණන ලද රන් රසුදැල් බැඳවූහ. මෙසේම ඒ ධාතු ගර්භයේ සුදුසු ලෙස සත්රුවනින් ම සඳහිරු දෙදෙනාද, නැකත්තරුද, රන් පියුම්ද කරවන ලද්දේය. ඉක්බිති ඒ බෝධීන් වහන්සේගේ කඳ මුල වටකොට සත්රුවන්මය පිල්කඩකුදු ලැවූ ය. ඒ පිල්කඩ මත්තෙහි මාහැඟි මුතු ඇතුරුවූ ය. ඒ මුතුරැසට කෙළවර සුවඳ පැන් පිරූ සත්රුවන් කළ පංතියක්ද තැබ්බවූ ය. ඒ රුවන් කළ පංතියෙහි පබළුමය මල් ලැවූ ය. පබළුමය කළයෙහි රන් මල් ලැවූ ය. මැණික්මය කළයෙහි රිදී මල් ලැවූ ය. රිදීමය කළයෙහි ඉන්ද්‍රනීලමාණික්‍යමය මල් ලැවූ ය. සත් රුවන් කළයෙහි සත් රුවන් මල් ලැවූ ය. නැවත ඒ බෝධීන් වහන්සේට නැගෙනහිර දිසාවේ. සත්රුවන්මය වූ කෙළක් අගනා ආසනයෙහි සත් රුවන්මය වූ බුදුරුවකුදු කරවූ ය. ඒ පිළිරුව  ශරීර අවයවයෝ  සුදුසු පරිද්දෙන් නානා වර්ණ රුවනින් කරන ලද්දා හ....."
පිළිම සහ විශාල ලෝකඩ කරඬුව කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති අයුරු
මහා සෑය හෙවත් රුවන්වැලි දාගැබෙහි ධාතු ගර්භයෙහි තැන්පත් කල විවිධ පූජා වස්තු පිළිබඳව මහාවංශයෙහි සහ ථූපවංසයෙහි සඳහන් වන දීර්ඝ විස්තරයෙහි සංක්ෂිත කොට දැක්වූ කොටසක් එසේය. මෙහි රත්රනින් කල බුදු පිළිමයක් පිළිබඳව වූ සඳහන වැදගත් වන්නේ මේ විස්තර වල සත්‍යතාවය පිළිගත හැකි නම් ඒ වූ කලී බුදු පිළිමයේ ආරම්භය පිළිබඳ වූ පැරණිම හෝඩුවාව වන බැවිනි. එසේම බුදු පිළිමය ප්‍රථමයෙන්ම  නිර්මාණය පිළිබඳ වූ ගෞරවයද ඒ අනුව හෙළ කලාකරුවාට හිමිවේ. එහෙත් ඇතැම් විද්වතුන් මේ පිළිබඳව එකඟ නොවන්නේ මහාවංශය ලියවෙන කාලය වන විට භාරතයේ ප්‍රථමයෙන් සහ ඉන් අනතුරුව මෙරට බුදුපිළිම නිර්මාණය කර තිබූ බැවින් මේ සඳහන එම කාලයේ තත්වයන් අතීතයට ආදේශ කිරීමක් විය හැකි බව පවසමිනි. කෙසේ වුවත් පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් සහ D.T. දේවේන්ද්‍ර වැනි වියතුන් මෙම සඳහන සහ වෙනත් සාධක අශ්‍රයෙන් ලොව බුදු පිළිම නෙළීමේ ආරම්භය මෙරට සිදුවූ බවට වූ මතයක් ඉදිරිපත් කරයි.  ඒ පිළිබඳව වූ විස්තර පසුව සාකච්චා කරමු.
ලෝකඩ කරඬුව තුල පිළිම තැන්පත් කර තිබූ අයුරු
සියවස් ගණනාවකට පෙර මේ රට එක්සේසත් කල දුටුගැමුණු රජතුමා ඉන්පසු සිදු කල ආගමික සේවාව එසේ වූ නමුත් ඉන් පසු කාලයක නැවතත් ලොව කෘරතම සහ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය මර්ධනය කර, දේශිය සහ විදේශිය සතුරු බල සෙන් පරදා මෙරට එක්සේසත් කල නායකයෙකුට නම් කළගුණ නොදත් නාමික සිංහල අඳබාලයන් බහුතරයක්ද ඇතුලත් ලක්ෂ 62 ක් වූ තෘණ භක්ෂක චන්දදායකයන් පිරිසකට පිංසිදු වන්නට මුහුණ දෙන්නට සිදු වූවේ එසේ මෙසේ ඉරණමකට නොවේ. මිත්‍යාදෘෂ්ටිකයන් රජ වී ඇති මෙකල රාජ සන්තක වූ රේගුවට අයත් රත්‍රන් යොදාගෙන බුදුරුවක් සකසා එය සඳ හිරු සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීම ආනන්තරීක පාප කර්මයක් ලෙස අරුත් ගන්වා පොලිස් රාජ්‍යයේ 'ගෙස්ටාපෝවේ' කෙළවරක් නැති ප්‍රශ්ණ කිරීම් වලට මුහුණ දීමට එය සිදු කල යුගයේ ජාතික විරුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවීම නම්, කටයුතු මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් සිංහල ජාතියේ සහ බුද්ධ ශාසනයේ අවසානය නුදුරේම විය හැකි බවට වූ සලකුණක් විනා අන් යමක් නොවේ.
භූමි ස්පර්ශ මුද්‍රාව සහිත හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
වංශ කතා වල සඳහන් වන ධාතු ගර්භයේ තැන්පත් කල මෙවන් වූ පූජා වස්තූන් පිළිබඳ වූ විස්තර හුදු අතිශයෝක්තියක්ම නොවන්නේ මෙරට සියවස් ගණනාවක් පුරා නිඳන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී විනාස වූ ස්ථූප අතරින් කළාතුරකින් වුවද ඉතිරි වූ ස්ථූප ඇතැමෙක ධාතු ගර්භ වල පුරාවිද්‍යාඥයන් විසින් සිදු කල කැනීම් වලින් මතු කරගත් පුරා වස්තු පිළිබඳව විමසා බැලීමේදීය. මේ අතරින් පොළොන්නරු යුගය සහ මහනුවර යුගය අතර කාලයට අයත් ලෙස අනුමාණ කරන ගම්පළ උඩ අළුදෙණිය පුරාණ විහාරස්ථානයේ ස්තූපයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් 2004 දී සිදු කල කැනීමක් මගින් මතු කරගත් පුරාවස්තු එකතුව වැදගත් වන්නේ එමගින් ලෝකඩින් සහ රිදියෙන් කල විවිධ ප්‍රමාණයේ බුදු පිළිම 140 පමණ සොයාගැනීම නිසාය. මේ බුදු පිළිම අතර සාපේක්ෂව මෙරටින් කළාතුරකින් හමුවන භූමි ස්පර්ශ මුද්‍රාව දැක්වෙන පිළිම දෙකක්ද හමුවි ඇත
සිරස්පත සහිත සමාධි හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
මීට අමතරව එහි තිබී දඹදෙණි යුගයේ සිට ඕලන්ද කාලය දක්වා භාවිතා වූ කාසිද, ලෝකඩ සහ රිදී කරඬු සහ එක් රිදී කරඩුවක් මධ්‍යයේ කුඩා රන් මංජුසාවක වැඩ හිඳින ධාතූන් වහන්සේලාද හමුවිය. මීට අමතරව කුඩා බෝධි වෘක්ෂ, කොඩි ගස්, නාග රූප, මුදු, රනින් සහ රිදියෙන් කල කුඩා මල් වැනි දේවල් හමුවීම පෙන්නුම් කරන්නේ ඉහත මහසෑය සම්බන්ධයෙන් වංශ කතාවල දැක්වෙන විස්තර ඊට පසු කාලින පරිහාණීය කාලයකදි ඉදි කල ඉදිකිරිමක හමුවන එවන් දෑ සමග සැසදීමේදි කිසිසේත්ම අතිශයෝක්තියක් නොවන බවය. වර්තමානයේ මෙම කෞතුක භාණ්ඩ එකතුව කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

මූලාශ්‍ර
  • බුද්ධ ප්‍රතිමාව හා ලංකාව ඩී. ටී. දේවේන්ද්‍ර, 1967
  • ලක්දිව බුදු පිළිමය, කඹුරුපිටියේ වනරතන හිමි,1985
  • උඩ අළුදෙනිය විහාරයෙන් සොයාගන්නා ලද පුරාවස්තු, රංජිත් හේවගේ, ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංහිතා වෙළුම 2, 2006
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994

Saturday, September 10, 2016

නැගෙනහිර බොදු උරුමය 3 - දාපුලු රජ කැරවූ, පැරකුම්බා දෙබෑ රජ දරුවන් හට අගමෙහෙසුන් වූ විහාරමහා දේවිය පිළිසකර කරවූ ලාහුගල රූණු මහ වෙහෙර

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම පත්තුවේ ලාහුගල පිහිටා ඇති වර්තමානයේ මගුල් මහා විහාරය ලෙසින් හැඳින්වෙන නටබුන් විහාර සංකිර්ණය කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවියගේ විවාහ උත්සවය පැවත්වූ මණ්ඩපය පිහිටි භූමිය ලෙස එහි යන නරඹන්නන් දැනුවත් කරන මාර්ගෝපදේශකයන් සහ ගැමියන් ඔබට පවසනු ඇත. එම මංගල උත්සවය සිදු කල ශෛලමය මගුල් පෝරුව පවා ඔවුන් ඔබට පෙන්වනු ඇත. එහෙත් මෙයද   ඊලාම්වාදීන්ගෙ පුහු තර්ක ඇසුරින් නිර්මිත ඊණියා ඉතිහාසය බොරු කරන, මේ බිමේ පැරණි සිංහල බෞද්ධ උරුමය විදහාපාන, පැරණි රෝහණ රාජ්‍යයේ සිංහල බෞද්ධ නරපතියන් කරවූ අති විශාල විහාර ආරාම අතරින් තවත් එක් නිර්මාණයක් බව සාධක සහිතව පෙන්වා දිය හැක. 
14 වන සියවසේ පමණ සිංහල අකුරු වලින් ලියැවුන මෙම ස්ථානයෙන් හමුවන පුවරු ලිපියක සහ ටැම් ලිපියක සදහන් වන්නේ දාසෙන්කැලි රජ දරුවන් විසින් කරවූ රූණු මහ වෙහෙර නම් වූ මෙම ස්ථානය වල්වැදි තිබෙනු දැක, සොලී සේනාව මැඩ රූණු රට රජ කරන පැරකුම්බා දෙබෑයන්ගේ අගමෙහෙසිය වූ විහාරමහා දේවිය විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ස්ථානයේ නඩත්තුව සදහා ගම්වර ප්‍රදානය කල බවයි. එසේම විහාරදේවි පිරිවෙන ද එතුමිය විසින් සාදා මෙම ස්ථානයට පිරිනැමූ බවයි.
කැබැලි වලට කැඩුන බුදු පිළිමයක්
මහාවංශයට අනුව අනුරාධපුරයේ ක්‍රි.ව. 659 දී පමණ සුළු කාලයක් රජකම් කර පසුව රෝහණයේ රාජ්‍ය පාලකයා වූ පළවෙනි දප්පුල රජතුමන් විසින් රෝහණ විහාරය යනුවෙන් වෙහෙරක් පාෂාණදීප (වෙහෙර )වාසී මහා තෙරණුවන් ගැන පැහැදී ඒ හිමියන් වෙනුවෙන් තනවා පුජා කරන ලදී. පූජාවලියට අනුව දාපුලු නම් රජ රුහුණින් පැමිණ අනුරාධපුර නුවර ඉඳ  රුහුණු වෙහෙර ආදි එකුන් විස්සක් පමණ විහාර කරවා තුන් අවුරුදු තුන් මසක් රාජ්‍ය කලහ. රාජාවලිය පවසනුයේ දාපුලු රජ රුහුණින් ගොඩනැගී අනුරාධපුර නුවරට ගොසින් එහි තිබූ සුන් බුන් වැඩ කරවා නැවත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා... දස අවුරුද්දක් රාජ්ජය කල බවය.
බෝධිඝරය
ඉහත සඳහන් විහාර මහා දේවිය සිටි යුගයට සියවසකට පමණ පෙර ලියවුනු මහාවංශයේ මේ යුගයට අදාල කොටස මෙන්ම පූජාවලියද පසුකාලින සෙල් ලිපියට වඩා විශ්වාසනීය බැවින් සෙල් ලිපියේ දාසෙන්කැලි යනුවෙන් ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 455 - 473) කල බව පවසන රෝහන වෙහෙර (පාලි) හෙවත් රූණු වෙහෙර (සිංහල) ඉදිකලේ ධාතුසේන රජු නොව පළවෙනි දප්පුල විය හැකි බව පරණවිතාන මහතා පවසයි. සිංහල මූලාශ්‍ර වල දාපුලුසෙන් ලෙස හැඳින්වෙන දප්පුල රජතුමන් වචනයේ සාම්‍යත්වය නිසා පසුකාලීනව දාසෙන්කැලි සමග පටලවා ගැනීමක් සිදුවන්නට ඇති බවට ඒ මහතා අනුමාණ කරයි.

ස්තූපය
මේ අනුව පැරකුම්බා දෙබෑයන් හට අගමෙහෙසිය වූ විහාරමහා දේවිය සදහන් කරන රූණු වෙහෙර සහ වංශ කතා වල සදහන් රූණු වෙහෙර යනු බොහෝවිට එකම විහාරයක් බව පිළිගත හැක. එය මුලින්ම ඉදි කිරීමේ ගෞරවය බොහෝවිට හිමිවිය යුත්තේ පළවෙනි දප්පුල රජුට බවද පැහැදිලිය. එසේ නම් එය නැවත පිළිසකර කරවූ සෙල්ලිපි වල සදහන් විහාරමහා දේවිය යනු කවරෙකුද යන්න ඉන්පසු මතුවන ගැටලුවයි. මේ පිළිබඳව අදහස් දක්වන පරණවිතාන මහතා මෙහි සඳහන් පරාක්‍රමබාහු නම් ගම්පොල රාජධානිය කරගනිමින් සිරිලක රාජ්‍ය විචාල පස් වන පරාක්‍රමබාහු සහ ඔහුගේ සහෝදරයකු වන හතරවන බුවනෙකබාහු විය හැකි බව පවසයි. ක්‍රි.ව. 1341 සිට 1351 දක්වා හතරවන බුවනෙකබාහු ගම්පොල සිට රට පාලනය කල අතර එම කාලයේ පස්වන පරාක්‍රමබාහු දැදිගම ප්‍රදේශය ආශ්‍රිතව ස්වාධීන පාලකයෙකු ලෙස විසීය. නැවත ක්‍රි.ව. 1351 න් පසු ක්‍රි.ව. 1359 දක්වා හෙතෙම ගම්පොල පාලකයා බවට පත්විය.
ස්තූපය
කෙසේ නමුත් පසුව තම මතය සම්බන්ධයෙන් සැක පල කරන පරණවිතාන මහතා බුවනෙකබාහු යන නම මෙම ස්ථානයෙන් හමුවන සෙල්ලිපි වල නැති බැවින් සහ එම දෙබෑයන් රුහුණේ පමණක් පාලකයන් බව සෙල්ලිපි වල පැහැදිලිව සඳහන් වන බැවින් (පෙර කී රජවරුන් දෙදෙනම ඔවුන් මුළු දිවයිනටම අධිපති වූ බව පවසයි ) ඔවුන් දෙදෙනා වංශ කතා මූලාශ්‍ර වල සදහන් නොවන ප්‍රදේශිය පාලකයන් දෙපලක් විය හැකි බව පවසයි. එම සෙල්ලිපි වල සදහන් වන චෝල ආක්‍රමණය සම්බන්ධවද වෙනත් මූලාශ්‍ර වලින් කරුණු හමු නොවේ.
හතරැස් වේදිකාවක ඉදි කර ඇති පැරණි ස්තූපයක්, බුදු මැදුරු, පධානඝර, සහ කාවන්තිස්ස සහ විහාර මහා දේවියගේ මගුල් පෝරුව ලෙස වරදවා හඳුනා ගන්නා බෝධිඝරයක නටබුන් ඇතුලු තවත් ගොඩනැගිලි කිහිපයකම නටබුන් මෙහි ඇත.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කලකට පෙර මේ ස්ථානය ගැන ලියූ සටහනක් අවසන් කරන්නේ මෙසේය .
 "එදා ආක්‍රමණික ද්‍රවිඩ බලයට එරෙහිව රෝහණය නිදහස් කරගත් මේ වීරෝධාර සිංහල දූපුතුන් ජනිත භූමියෙහි අද ජාතිවාදි ත්‍රස්තවාදී ද්‍රවිඩයන්ගේ හොල්මන්වලට ඉඩදී තිබීම නම් වර්තමාන රුහුණු දූ පුතුනට කිසිසේත් තරම් නොවේ."
 එම ත්‍රස්තවාදි බලවේග එවන් රුහුණු පුතෙකුගේ බල මහිමයෙන් මර්ධනය කලද වර්තමානය වන විට නැවතත් රටට සතුරු විජාතික බලවේග වල නියෝජිතයන් වූ පිරිසක් අතට රටේ බලය හුවමාරු වී ඇති මොහොතක ජාතිවාදි බලවේග වෙනදාටත් වඩා ශක්තිමත්ව සිය අරමුණු කරා යන බවක් දිස්වේ. එම නිසා මද සංශෝධන සහිතව ඉහත සටහන අදටද වලංගුය.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941

Wednesday, October 21, 2015

කෝපි කාලේ කෝපි වැවූ උඩරට සිංහලයන්

බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන් මෙරටට අපනයන භෝග වගාවක් ලෙස කෝපි හඳුන්වා දුන් බව බොහෝවිට පැවසෙන මතයකි. එහෙත් එය කොතරම් දුරට සත්‍යද? 19 වන ශත වර්ෂයේ මුල් භාගයේ සිටම මෙරටින් කෝපි අපනයනය කල බවට සාධක ඇති මුත් මුල් වරට මහා පරිමාණ වගාවක් ලෙස කෝපි වගාව පටන් ගනු ලබන්නේ ජෝර්ජ් බර්ඩ් (George Bird) නම් විශ්‍රාමික බ්‍රිතාන්‍ය රජයේ සේවකයෙකු විසින් 1824 දීය. මහනුවරට නුදුරින් (ගම්පොල) අක්කර 400 ක ඉඩමක් සමගින් රික්ස් ඩොලර් 40000 ක ණයක් ඔහුට ඒ සදහා රජයෙන් ලබා දේ. එහෙත් සැලකිය යුතු ලෙස මහා පරිමාණ වතු වගාවක් ලෙස කෝපි වැවීම මෙරට ආරම්භ වනුයේ 1830 දී පමන ඇතිවූ බාහිර සාධක කිහිපයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අතරින් එම කාලයේ බ්‍රිතාන්‍යයේ සහ බටහිර යුරෝපයේ වයින් පානය අඩු වීමත් සමග ඇතිවූ ඒ වෙනුවට කෝපි සදහා වැඩි ඉල්ලුමත්, බ්‍රිතාන්‍යට මෙරටින්  කෝපි ආනයනයෙදී අයකල අසාධාරණ රේගු බදු බටහිර ඉන්දීය දූපත් වලින් ආනයනය කරන කෝපි සදහා අය කරන බදු වල අගයටම පහත හෙලීමත් ප්‍රධාන තැනක් ගනී.
දිඹුල ප්‍රදේශයේ ඉංග්‍රීසි වතු හිමියන්ට අයිති කෝපි, තේ සහ සින්කෝනා මිශ්‍ර වගාවක්.  පසුබිමින් තවමත් විනාශ නොකල කඳුකර 
වනාන්තරය දිස්වේ. උපුටා ගැනීම - Ceylon in the Jubilee Year, John Ferguson,

වර්ෂ 1800 ත් 1804 අතර කාලයේ මෙරට දේශිය ගැමි වගාකරුවන්ගේ කෝපි අපනයනයේ සාමාන්‍ය (Average peasant coffee export)  හොන්ඩර 1116  වූ අතර 1822 ත් 1825 ත් අතර කාලයේදී අපනයනය කල කෝපි වල සාමාන්‍ය අගය හොන්ඩර 10 246 ක් විය. මෙම අධික වැඩිවීමට හේතුව බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් මහා පරිමාණයෙන් කෝපි වගාවට අවතීර්ණ විමය. 1830 න් පසු මෙය සැලකිය යුතු මට්ටමකින් වැඩි වූ අතර 1865 ත් 1869 අතර කාලයේදී එය හොන්ඩර 148000 සිට 218000 දක්වා වැඩි විය.

ජෝන් ෆර්ගියුසන්ට* අනුව පෘතුගීසින් පැමිනෙන්නටත් පෙර සිටම ආරාබීන් විසින් කෝපි ගස මෙරටට
හඳුන්වා දී තිබී ඇත. එමර්සන් ටෙනන්ට්* පවසන්නේ ඕලන්දයන් විසින් 1690 දී කෝපි ගස බතාවියාවලට හඳුන්වා දුන් බැවින් එම කාලයේදීම එය මෙරටදීද වගා කරන්නට ඇති බවය. නමුත් එහි ඇට වලින් පානයක් සාදාගත හැකි බව සිංහලයන් දැන සිට නොමැත. ඔවුන් එම ගසේ දලු වෑංජන සෑදීම සදහා යොදාගෙන ඇති අතර මල් ඔවුන්ගේ බුදු මැදුරු අලංකාරයට යොදාගෙන ඇත. ජෝන් ෆර්ගියුසන් ද බොහෝවිට ටෙනන්ට් මූලාශ්‍ර කරගෙන එයම පවසයි. වැඩි දුරටත් ෆර්ගියුසන් පවසන්නේ ඕලන්දයන් විසින් 1740 දී ක්‍රමාණුකූල ලෙස කෝපි වගා කරන්නට උත්සහ කල මුත් පහත රට ප්‍රදේශ වල එය එතරම් සාර්ථක වී නොමැති බවය. ඔවුන් වසරකට හොණ්ඩර 1000 කට වඩා අපනයනය කර නොමැත.  ටෙනන්ට් පවසන පරිදි ඕලන්දවරුන් 1739 වන විට කෝපි වගාව අසාර්ථක වීම නිසා අතහැරදමන මුත් මේ වන විට සිංහලයන් සහ අරාබින් (සංක්‍රමණික මුස්ලිම් වෙළෙන්දන්) කෝපි වල ඇති අගය හඳුනාගෙන ඇති අතර ඉංග්‍රීසීන් පැමිනෙන විටත් ඔවුන් පිලිවෙලින් කෝපි වගාව සහ වෙළදාම පවත්වාගෙන ගොස් ඇත.

උඩරට සිංහලයන් පසුකාලීන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙන් උස් කඳුකර බිම් වල තිබූ වන වගාව වනසා කෝපි වගාව සිදු නොකල අතර ඔවුන් කෝපි ගස් වගා කලේ ඔවුන්ගේ ගෙවතු වල අනෙකුත් බෝගද සමගිනි. කිසිදු සැලකිල්ලක් නොදක්වා වැවුනු එම ගස් වල ගෙඩි හටගත් විට ඇතැම් විට මෝරන්නටද පලමුව කඩා ගමට පැමිනෙන මුස්ලිම් වෙළෙන්දන්ට මුදල් වලට හෝ භාණ්ඩ හුවමාරුවට විකුනා ඇත. කෙසේ නමුත් 1830 පමණ වන තුරුම අපනයන කෝපි වලින් වැඩි ධාරිතාවක් සපයා ඇත්තේ මෙම උඩරට වැසියන් වන අතර කෝපි වගාව එහි උපරිමයටම පැමිණි 1850 සිට 1860 අතර කාලයේදීද උඩරට ගැමියන් මුලු අපනයන ධාරිතාවයෙන් 1/5 සිට 1/4 අතර ප්‍රමාණයක සැපයුම් කරුවන්ව සිට වාර්ෂිකව පවුම් 250000 ත් 300000 ත් අතර ආදායමක් ඉන් උපයා ඇත.

මෙයින් පෙනී යන්නේ බ්‍රිතාන්‍යයන් විසින් වානිජ භෝග වගාවක් ලෙස කෝපි මෙරටට හඳුන්වාදුන්නායැයි යන පොදු පිලිගැනීම මිත්‍යාවක් බවය. ඇත්ත වශයෙන්ම සිදුවූවේ උඩරට ගැමියන්ගේ කෝපි වගාවේ සාර්ථකත්වයන් සහ වැරදීම් තුලින් ඉගෙන ගත් ඉංග්‍රීසීන් උඩරට සිංහලයන්ගේම හේන් ඉඩම්, විහාර දේවාල ගම් සහ තහංචි කැලෑ බලෙන් පවරාගෙන විනාශකාරී ලෙස ලාභය පමනක්ම ඉලක්ක කරගනිමින් අනාගතයේදී ඇතිවන (තවමත් නොවිසදී පවතින) ගැටලු රාශියකටම මේ රට ඇද දැමිමය.

මූලාශ්‍ර

Colonialism in Sri Lanka, Asoka Bandarage, 1950
Agricultural, Commercial and Financial Interests of Ceylon , Anthony Bertolacci, 1817
* -  Ceylon in the Jubilee Year, John Ferguson, 1887
   -  Ceylon An Account of the island  Physical, Historical and Topographical with  notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859