Showing posts with label Malwatu Oya. Show all posts
Showing posts with label Malwatu Oya. Show all posts

Friday, June 21, 2024

දඹකොල පටුනේ සිට ශ්‍රී මහා බෝධිය වැඩමවූ "බෝධි මාර්ගයේ" හමුවන පැරණි ගල් පාලම්


අනුරාධපුර පූජනීය නගරයේ නටබුන් ස්ථාන පිහිටි කලාපයට උතුරින් එකිනෙකට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි පැරණි ගල් පාලම් දෙකක නටබුන් දැකගත හැක. හල්පන් ඇල/ හාල්පාණු ඇල/ හාල්පාන් ඇල ලෙසින් වර්තමාන ව්‍යවහාරයේ හැඳින්වෙන ඇලක් හරහා මින් එක පාලමක් තිබූ බවට සලකුණු ඉතිරි වී ඇති අතර, ප්‍රමාණයෙන් විශාල අනික් පාලම මල්වතු ඔය හෙවත් පැරණි කදම්භ නදිය හරහා ඉදිකර තිබී ඇත. මෙම පැරණි ගල් පාලම් දෙක එකල ඉදිකර තිබුනේ අනුරාධපුර අගනගරයේ සිට උතුරේ ජම්බුකෝලපට්ඨන වරාය තෙක් තිබූ ප්‍රධාන මාර්ගයේ බවට සාධක හමුවී ඇත. මේ ලිපිය  එම ගල් පාලම් දෙකේ සහ මෙකල ව්‍යවහාරය අනුව නම් ඒ මතින් දිව ගිය Northern Highway එකේ මුල් අදියර පිළිබඳ කතාවයි.
 
සිය මාමාවරුන් සමග වූ යුද්ධය දිනූ පණ්ඩුකාභය කුමරු අනුරාධ නම් වූ මුත්තණුවන් විසූ තැනට පැමිණියේය. මුත්තණුවන් ඔහු විසූ රජගෙය කුමරුට දී හෙතෙම වෙනත් තැනක නිවසක් තනාගෙන එහි වාසය සඳහා ගියේය. පණ්ඩුකාභය කුමරු නිමිති දන්නවුන් සහ වාස්තු විද්‍යාඥයන්ගෙන් විමසා එම ගමෙහි උතුම් නගරයක් ඉදිකළේය. අනුරාධවරුනට වාසස්ථාන වූ හෙයින්ද , අනුර නැකතින් පිහිටවූ හෙයින්ද එම නගරය අනුරාධපුර නම් විය. පණ්ඩුකාභය කුමරා අනුරාධපුර නම් වූ නගරය නිර්මාණය කිරීම පිළිබඳව මහාවංශය දක්වන එම විස්තරයේදී පෙර ඔහුට උපකාරකර යක්ෂ යෝනියෙහි උපන් දාසිය නගරයෙහි 'දකුණු දොරටුවේ' වාසය කරවූ බව පවසයි. එසේම හෙතෙම 'ද්වාර ගම් සතරක්' කරවූ බවද නගරයෙහි 'බටහිර දොරටුව' පෙදෙසෙහි මහා සුසානය, වධකස්ථානය, පච්ඡිමරාජිනි දෙවොල, වෙස්සවණ නුගරුක, ව්‍යාධදේව තල්ගස, යෝණ සභාග වස්තුව සහ මහේජඝරය පිහිටවූ බවද එහි තව දුරටත් සඳහන් වේ.  මේ අනුව නගරයේ දකුණු සහ බටහිර දෙසින් දොරටු පිහිටි බව පැවසෙන හෙයින් සහ ද්වාර ගම් සතරක් පිළිබඳව සඳහන් වන හෙයින් බොහෝදුරට එලෙසින්ම උතුරු සහ නැගෙනහිර දිශාවලද දොරටු තිබෙන්නට ඇති බවත්, එලෙසම නගරය වටා ප්‍රාකාරයක්ද තිබෙන්නට ඇති බවටත් අනුමාණ කල හැකිය.  

පණ්ඩුකාභය යුගයෙන් සියවස් කිහිපයකට පසුව මහාවංශයේ ලියැවෙන මෙම විස්තරය මගින් ඇතැම් විට මහානාම හිමියන් විසින් මහාවංශය ලියූ එම කාලයේ  අනුරාධපුර නගරයේ තිබූ භූමි දර්ශය පණ්ඩුකාභය යුගයට අදාල කෙරුවා වුවද වියහැකි මුත්, වෙනත් ඓතිහාසික වාර්තා සහ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් හෙලිවී ඇති කරුණු අනුව පණ්ඩුකාභය යුගයෙන් පසුව හෝ අනුරාධපුර නගරය නිර්මාණය කර තිබූ ආකාරය පිළිබඳව එම විස්තරයේ සඳහන් ඇතැම් තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සැකයක් නොමැත.

මහාවංශයේම පසු අවස්ථාවක වසභ රජු විසින් අතුළත නොපෙනෙන ලෙස නගර ප්‍රාකාරය  උස් කරවූ බව සහ සිව් දොරටුවේ ගෝපුර ඉදි කල බව පැවසේ. පොදු වර්ෂ පූර්ව හත්වන සියවසේ පමණ ලියවුන ලෙස සැලකෙන මානසර නම් වූ භාරතීය වාස්තු විද්‍යාත්මක ග්‍රන්ථයක සඳහන් වන්නේ නගරයක උතුරු, දකුණු , නැගෙනහිර සහ බටහිර යන සිව් කොනේ නගරද්වාර තිබිය යුතු බව සහ ඒවා නගරයෙන් පිටත පිහිටි ද්වාර ගම් වලට සම්බන්ධව තිබිය යුතු බවය. 

පුරාවිද්‍යාඥයින් විසින් H.C.P.  බෙල්ගේ යුගයේ පටන්ම සිදුකල ගවේෂණ සහ කැනීම් මගින් පුරාණ අනුරාධපුර නගරයේ ඇතුළු නුවර සීමාවන්, එහි තිබූ මෙම නගර දොරටු මෙන්ම එම දොරටු අතර නගරය තුල තිබූ සහ එයින් පිටත වෙනත් ප්‍රදේශ දක්වා, ප්‍රධාන වශයෙන් වෙරළබඩ පිහිටි වරායන් දක්වා විහිදී ගිය මාර්ග පද්ධතිය පිළිබඳව බොහෝ කරුණු සොයාගෙන ඇත.

ඒ අනුව 1960 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුරාධපුර ඇතුළු නුවර දකුණු දොරටුවේ සිදු කල කැනීම් මගින් පැරණි මාර්ගයක සලකුණු හඳුනාගෙන ඇත. එම මාර්ගය අඩි 57 පලලට ඉදිකර තිබී ඇති අතර එය නගර ප්‍රාකාරයට සෘජුකෝණාශ්‍රාකාරව ඉදිකර තිබී ඇත. එසේම දොරටුවේ මධ්‍යයට වන්නට එය දෙකට බෙදෙන ආකාරයට ඉදිකර තිබූ මුර කුටියක් විය හැකි ගොඩනැගිල්ලක ශිලා පාදම සහ එහි ගඩොල් ඉදිකිරීමෙහි අවශේෂද මෙහිදි හඳුනාගෙන ඇත.  එය අඩි 24 X 16 ප්‍රමාණයේ ඉදිකිරීමකි. 

මෙම ගූගල් සිතියමේ පැරණි අනුරාධපුර ඇතුළු නුවර (Citadel) සීමාවන් පැහැදිලිව හඳුනාගත හැක. මෙහි සුදු පාට ඉරි වලින් සලකුණු කර ඇත්තේ පෙර කල දිය අගල තිබූ ප්‍රදේශයයි. එම දිය අගලේ බොහෝ කොටස් මේ වන විට කුඹුරු බවට පත්වී ඇත. ඇතුළු නුවර සීමාව තුල වූ භූමි ප්‍රදේශ වලින් බොහොමයක් වර්තමානයේ පුද්ගලික දේපල බවට පත්වී පොදු ජනයාගේ වාසස්ථාන බවට පත්වී ඇති මුත්, විජයබාහු මාළිගය ලෙස හැඳින්වෙන පොළොන්නරු යුගයේ ඉදි කල රජ මාළිගයේ කොටසක්, දළදා මාළිගාව, මහාපාලි දාන ශාලව සහ එහි බත් ඔරුව වැනි පැරණි ගොඩනැගිලි කිහිපයක නටබුන් ආරක්ෂිත ස්ථාන ලෙසින් වෙන් කර ඇත. (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

මහා බෝධිය සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කිරීමේදී දේවානම්පියතිස්ස රජු නගරයේ උතුරු දොරටුව සිට දඹකොළ පටුන (ජම්බුකොලං මහාපථං) දක්වා මග සරසවා මහමග රිදීපටක පැහැ ගත් වැලි විසිරවූ බව මහාවංශයේ සඳහන් වේ. තවද එහිම මහාබෝධිය උතුරු දොරටුවෙන් නගරයට වඩම්මවා, නගරය මැදින් රැගෙන විත් දකුණු දොරටුවෙන් නික්ම...ලෙසින් සඳහන් වන හෙයින් දඹකොළ පටුනේ සිට නගරයට මාර්ගයක් වූ බවත්, නගරයේ උතුරු සහ දකුණු දිසා වල දොරටු වූ බවත්, එම දොරටු දෙක අතරද මාර්ගයක් තිබූ බවත් පැහැදිලිවේ. සිංහල මහාබෝධි වංසයේ මෙය විස්තර වන්නේ නුවර උතුරු දොරටුවේ සිට දඹුලු තොට දක්වා මඟ ලෙසිනි. එසේම නුවරට උතුරු දොරින්  බෝධීන් වහන්සේ ඇතුළට ගෙනවුත්,.... නුවර මධ්‍යයෙන් මඟුල් මහා වීථියෙන් ගෙන ඇර දකුණු දොරින් පිටත් කොට මහමෙවුනා උයනට පමුණුවා ලෙසිනි. ඒ අනුවඇතුළු නුවර උතුරු සහ දකුණු දොරටු අතර වූ වීදීය මගුල් මහා වීථිය ලෙස හැඳින්වූ බව පෙනේ.

මල්වතු ඔය සහ ඒ හරහා වැටී ඇති පැරණි ගල් පාලමේ කොටසක්

ඔහු විසින් හඳුනාගත් සේල චේතියේ සිට මල්වතු ඔය දක්වා වූ පුරාණ මාර්ගයක් පිළිබඳව H.C.P. බෙල් 1891 වර්ෂය සඳහා වූ සිය වාර්තාවේ කරුණු ඉදිරිපත් කරයි. ඔහුට අනුව නව රෝහල සඳහා වෙන් කල භූමිය පසුපසින් ගොස් එම පුරාණ මාර්ගය පොල් වත්තක් තුලට ඇතුළු වේ.ඉන්පසු ගල් ඔරුව සහ වෙනත් නටබුන් අද්දරින් බටහිරට යොමුව කැලෑව තුලින් බසවක්කුලම ඔයෙන් දැනට නටබුන් ඉතිරි වී ඇති දියමංකඩක් (Causeway) ඔස්සේ එතෙර වී කුට්ටම් පොකුණට මදක් බටහිරෙන් එම මාර්ගය පිටත වට රවුම් මාවතට සම්බන්ධ වේ. ඉන්පසු විහාරාරාම දෙක වෙන් කරමින්  ලඳු කැලෑව තුලින් ගොස් විශාල රම්බා පොකුණ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් වෙත ලඟා වේ. ඉන්පසු ඊසාන සහ උතුරු දෙසට යොමුවෙමින් "වලව්ව" ලෙසින් හැඳිවෙන ස්ථානය පසු කරමින් මාර්ගය, අතහැරදමා ඇති එලපත්වැව හෝ එහි කුඹුරු වලට ලඟාවේ. ඉන්පසු තව දුරටත් වනාන්තර තුලට ඇතුළු වී "යෝධ ඇල" හරහා ඇති පුරාණ ගල් පාලම හමුවන තෙක් වනාන්තරය තුලින් ගමන් කරයි. එම ගල් පාලමින් එගොඩ වූ පසු මල්වතු ඔය හරහා ඉදිකර තිබූ විශාල ගල් පාලම දක්වා දුර සැතපුම් භාගයක් පමණ වේ.

මල්වතු ඔය හරහා ඉදිකර තිබූ පුරාණ ගල් පාලමේ නටබුන් දැක්වෙන වීඩියෝව >>

මෙම විස්තරයේ සඳහන් භූගෝලිය ස්ථාන සහ ලක්ෂණ බොහෝමයක් මේ වන විට වෙනස් වී ඇතත් ඒ අතරින් ස්ථාන කිහිපයක් අදටද පැහැදිලිව හඳුනාගත හැක. කුට්ටම් පොකුණ සහ මල්වතු ඔය හරහා වූ විශාල ගල් පාලම මෙන්ම එයට සැතපුම් භාගයක් පමණ මෙපිටින් වූ බෙල් සඳහන් කරන යෝධ ඇල හරහා වූ පුරාණ ගල් පාලම කිසිදු සැකයකින් තොරව හඳුනාගත හැක. බෙල් යෝධ ඇල ලෙසින් හඳුන්වන පුරාණ ගල් පාලම සහිත ඇල මාර්ගය අද වන විට හැඳින්වෙන්නේ යෝධ ඇල ලෙසින් නොව හල්පන් ඇල/හාල්පන් ඇල/හාල්පාන් ඇල/හාල්පාණු ඇල ලෙසින්ය. 

බෙල් යෝධ ඇල හරහා වැටී තිබූ ගල් පාලම ලෙසින් හඳුන්වන වර්තමානයේ හල්පන් ඇල ලෙසින් හඳුන්වන ඇල හරහා වැටී ඇති ගල් පාලමේ වීඩියෝ දර්ශන >>



මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

එසේම බෙල් සඳහන් කරන ගල් ඔරුව සහ වෙනත් නටබුන් අනුරාධපුර ඇතුළු නුවර ලෙස හඳුනාගෙන ඇති කොටසේ ඇති මහාපාලි දාන ශාලාවේ ඇති ගල් ඔරුව සහ ඒ අවට ඇති මහාපාලි දාන ශාලාවේ සහ අනෙකුත් ඇතුළුනුවර ගොඩනැගිලි නටබුන් බව පැහැදිලිය. රුවන්වැලි සෑයෙන් නැගෙනහිරට වන්නට ඇති කුඩා දාගැබ අදටත් සේල චේතිය/ශිලා චේතිය නොහොත් කුජ්ජතිස්ස ස්තූපය ලෙසින් හඳුන්වන බැවින් පුරාණ මාර්ගය ආරම්භ වන ස්ථානය ලෙසින් බෙල් හඳුන්වන ස්ථානයද වැඩි අපහසුවකින් තොරව හඳුනාගත හැක. එවකට අතහැරදමා තිබූ එලපත්වැව අද සක්‍රිය වැවක් බවට නැවත පත්වී එයින් පෝෂණයවූ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයයි. කුට්ටම් පොකුණට උතුරින් කපාරාමූල විහාරයේ නටබුන් ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිලි සහ ඒ අසල තිබෙන පොකුණ මෙහි බෙල් විසින් විශාල රම්බා පොකුණ සහ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් ලෙස හඳුන්වන ස්ථාන විය යුතුය.

ඉහත රම්බා පොකුණ ලෙසින් බෙල් හඳුන්වන පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති පොකුණේ වීඩියෝ දර්ශන >>

 මෙලෙස හඳුනාගත් ස්ථාන සිතියමක සලකුණු කල විට පහත පරිදි වේ.

A - කුජ්ජතිස්ස ස්තූපය, B - මහාපාලි දානශාලාව සහ බත් ඔරුව (සුදු පාටින් සලකුණු කර ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුල් නුවර සීමාව වේ.), C - කුට්ටම් පොකුණ, D - කපාරාමූල විහාරයේ නටබුන්, F -  රම්බා පොකුණ ලෙස හඳුන්වන පොකුණ විය හැකි නටබුන් පොකුණ, G - ඇලපත් වැව, H - හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී ඇති ගල් පාලම,  I - මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම  


මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

ජය ගඟ, එයින් පෝෂණය වන අනුරාධපුර අගනගරයේ වැව් සහ නගරය තුල ජලවහන රටාව

දීර්ඝ ලෙස වෙනත් ලිපියකින් කරුණු ඉදිරිපත් කල යුතු මාතෘකාවක් වුවද ජය ගඟ එසේ නැතහොත් කලා -තිසා යෝධ ඇල පද්ධතිය පිළිබඳව කෙටි හැඳින්විමක් නොමැතිව මෙම ලිපියට අදාල කරුණු නිරවුල්ව ඉදිරිපත් කිරීමට අපහසු බැවින් ඉතාමත්ම කෙටියෙන් වුවද ඒ පිළිබඳවද විස්තර ප්‍රථමයෙන් විමසා බැලිය යුතු වේ. 

හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

මාතලේ කඳු පන්තියේ උතුරු විහිදුමේ කඳු වලින් ඇරඹෙන දිය කඳුරු වලින් පෝෂණය වන දඹුළු ඔය සහ මිරිස්ගෝනියා ඔය (ඇරෑවුල සහ කළුන්දාව ඔය මගින් පෝෂණය වන කණ්ඩලම වැවේ ජලය එක් වන්නේ මිරිස්ගෝනියා ඔයට වේ.) එක් වීමෙන් ඇරඹෙන දුණුමඩල ඔයේ ජලය ලබන කලා වැව සහ මොරගොල්ල ඔය, හැවැන් ඇල්ල ඔය සහ රණව ඇල මගින් පෝෂණය වන බළලු වැව, එක් වැවක් ලෙසට එක්කිරීමෙන්  කලා ඔය නිම්නයේ ඉදි කල කලා - බළලු වැවට එකතු වන ජලය, එහි සිට පටන් ගන්නා යෝධ ඇලක් ඔස්සේ එකල අගනගරය වූ අනුරාධපුරයේ නාගරික වැව් පද්ධතියට එකතු කිරීම එක් අරමුණක් ලෙස සලකා පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් විසින් මෙම ජය ගඟ ලෙසින් හැඳින්වෙන යෝධ ඇල මාර්ග පද්ධතිය ඉදිකර ඇත. 

කලා වැවේ ජලය ගෙන එයින් නික්මෙන ජයගඟ හෙවත් යෝධ ඇල, කලා ඔය නිම්නයේ සිට මල්වතු ඔය නිම්නයට පිවිස කෙලින් දුර සැතපුම් 30 ක් වනමුත් වංගු ගසමින් සිය මාර්ගයේ පිහිටි ලොකු කුඩා වැව් රාශියකට ජලය සපයමින් සැතපුම් 54.5 පමණ දුරක් ගොස් අනුරාධපුර නගරයේ මල්වතු ඔයෙහි වම් ඉවුරේ පිහිටි තිසා වැවට ඇතුළු වේ. එයට පෙර කලා වැවේ සිට සැතපුම් 26 ක් පමණ ගිය විටදී එයින් නික්මෙන තවත් ශාඛා ඇලක් මගින් නාච්චාදූව වැවටද ජය ගඟ ජලය සපයයි. නාච්චාදූව වැව ඉදිකර ඇත්තේ රිටිගල කඳු පන්තියේ සිට ඇරඹෙන මල්වතු ඔය හරස් කරමිනි. නාච්චාදූව වැවේ සිට නික්මෙන තවත් යෝධ ඇලක් මගින් අනුරාධපුර නගරයෙන් නැගෙනහිර දෙසට වන්නට මල්වතු ඔයේ දකුණු ඉවුරේ පිහිටි නුවර වැවට ජලය සපයයි. 

(මෙහිදී යෝධ ඇල නැතහොත් ජයගඟ ලෙසින් මෙහි විස්තර වන්නේ පැරණි යෝධ ඇල විනා මහවැලි ව්‍යාපාරය විසින් එම පැරණි යෝධ ඇල ජල/පරිසර පද්ධතිය විනාශ කර දමා අළුතින් ඉදි කල වාරි ඇල ගැන නොවන බව මෙහිදී අවදාරනය කල යුතුවේ.)

සිතියමේ වම්පස පහලින් දම්පාටින් දැක්වෙන්නේ ඉහත විස්තර කල කලා වැව නිම්නයේ සිට ජලය ගෙන එන ජයගඟ මල්වතුඔය නිම්නයේ පිහිටි (සිතියමේ රතු පාටින් ලකුණු කර ඇත්තේ මල්වතු ඔයයි ) තිසා වැවට ඇතුළු වන ආකාරයයි. ඉන්පසු එයින් නික්මෙන අතිරික්ත ජලය  නිල්පාටින් දැක්වෙන ඇල මාර්ගය ඔස්සේ බසවක්කුලම හෙවත් අභය වැවට සිය දියවර මුදාහරී. සිතියමේ කොල පාටින් දැක්වෙන කුඹුරු මෙම වැව් වල ජලයෙන් පෝෂණය වන අතර එම කුඹුරු දැක්වෙන ප්‍රදේශයේ නිල් පාටින් සලකුණු කර ඇති ඇල මාර්ග ඔස්සේ නැවතත් එම අතිරික්ත ජලය දම්පාටින් දැක්වෙන ජයගඟේ දිගුව හෙවත් උතුරු ඇල මාර්ගය හෙවත් යෝධ ඇලට එක්වේ. සිතියමේ සුදු පාටින් ලකුණු කර ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුළු නුවර (Citadel) ප්‍රදේශය වන අතර එහි රතු පාට කොටුවකින් ලකුණු කර ඇති ස්ථානයෙන් එනම් කුජ්ජතිස්ස ස්තූපය අසලින් ආරම්භ වන මෙම ලිපියේ විස්තර වන පැරණි උතුරු මාර්ගය කහ පාටින් පෙන්වා ඇත. A - හල්පන් ඇල ගල් පාලම, B - මල්වතු ඔය ගල් පාලම, F - එලපත් වැව, E - කුට්ටම් පොකුණ, D - මහාපාලි දානශාලව සහ බත් ඔරුව  (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන විස්තර උපයෝගී කරගනිමින් පිළියෙල කල මේ සමග දැක්වෙන සිතියමේ පෙන්වා ඇති පරිදි ජය ගඟේ ජලය ලබන තිසා වැවේ සිට බසවක්කුලම එනම් පුරාණ අභය වැවට ගෙන යන ජලය ඉන්පසු එම වැව් දෙකින් සහ බුලංකුලම වැවෙන් වගා කෙරෙන කුඹුරු පෝෂණය කර ඒවායින් පිටවන අතිරික්තය ලෙසින් එම කුඹුරු අතර විහිදී ඇති ලොකු කුඩා ඇල මාර්ග වලට එක් වේ. (පැරැන්නන් විසින් වෙල් පහු වතුර ලෙසින් හැඳින්වූවේ මෙසේ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයා එයින් නික්මෙන අතිරික්ත ජලයටය.) එම ඇල මාර්ග වලින් එකතු කර ගන්නා ජලය අවසානයේ උතුරු ඇළ මාර්ගය ලෙසින් හැඳින්වෙන අනුරාධපුර නගරයට උතුරින් පිහිටි මල්වතු ඔයේ වම් ඉවුර ඔස්සේ ගලා යන තවත් පැරණි යෝධ ඇලකට එකතුවේ. ඉන්පසු අනුරාධපුර නගරයෙන් වයඹ දෙසට (තන්තිරිමලේ දෙසට) ගමන් ගන්නා එම පැරණි යෝධ ඇලද පැරණි අඟලේ සිතියම් වල සැලකිය යුතු දුරක් යනතෙක් ලකුණු කර ඇති අතර එහි ගමනාන්තය දැනට සොයාගත නොහැකි බව බ්‍රොහියර් පවසයි. බෙල් විසින් ඉහත බසවක්කුලම ඇල ලෙසින් හඳුන්වා ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුළු නුවරට මදක් උතුරින් කුට්ටම් පොකුණ ආසන්නයේදී ඉහත සිතියමේ කහපාටින් දැක්වෙන මාර්ගය හරහා යන ඇල මාර්ගය විය යුතුය. එහි ජලය පැරණි යෝධ ඇලට නැතහොත් වර්තමාන හල්පන් ඇලට එකතු වේ.

මෙම සිතියමේ හල්පන් ඇල ලා නිල්පාටින් දක්වා ඇති අතර තද නිල්පාටින් මල්වතු ඔය ලකුණු කර තිබේ. හල්පන් ඇල මල්වතු ඔයේ ඉහත A ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේ ඉදිකර ඇති අමුණකින් ආරම්භ වන අතර ඒ මතින් වැටී තිබූ පැරණි ගල් පාලම සිතියමේ B ලෙසින් ලකුණු කර ඇත. C - මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල

හල්පන් ඇල (යෝධ ඇල) සහ එය හරහා වැටී තිබූ පැරණි ගල් පාලමේ නටබුන්

බෙල් විස්තර කරන ලෙසට මෙම පැරණි මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට යනවිට හමුවන පළමුවන ගල් පාලම වැටී ඇත්තේ යෝධ ඇල මත්තෙන්ය. පැරණි අඟලේ සිතියම් වලද යෝධ ඇල ලෙසින් හඳුන්වන එම ඇල සහ පැරණි මාවතේ කොටසක් පැහැදිලිව හඳුනාගත හැක. එම ගල් පාලමේ සිට මල්වතු ඔය හරහා වැටී තිබෙන අනික් විශාල ගල් පාලම වෙත බෙල් දක්වන දුරද සැතපුම් භාගයක් පමණ වේ. එහෙත් අද මෙම ගල් පාලම වැටී ඇති ඇල මාර්ගය හඳුන්වන්නේ හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල යන නම් වලිනි. පැරණි යෝධ ඇලේ මතකය ජන ව්‍යවහාරයෙන් වියකී ගොස් මෙම නව නාමය කිනම් කලක භාවිතයට පැමිණියේදැයි පැහැදිලි නැත. එහෙත් අද Google සිතියම් වල සහ භූමියේ හඳුනාගත හැකි හල්පන් ඇල, මල්වතු ඔයේ නගරයට දකුණින් පිහිටි ස්ථානයකදී අමුණක් බැඳ හරවා ගන්නා ජලය මෑත කාලීන වාරි ඇළක් මගින් පැරණි යෝධ ඇල කිසියම් කාලයකදී සම්බන්ධ කිරීමෙන් ඉදිකල එකක් බව පැහැදිලිය. ඉහත සිතියමේ A ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේදී මල්වතු ඔය හරහා ඉදි කල කොන්ක්‍රීට් අමුණකින් බොහෝවිට කලින් මල්වතු ඔයට ජලය බැස ගිය ස්වභාවික ඇළ මාර්ගයකට (එම පැරණි ඇළ මාර්ගය ඉහත පැරණි අඟලේ සිතියමේ හඳුනාගත හැක) හරවා ගන්නා ජලය, ඇල මාර්ගයේ ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරවා, එයට උතුරින්ද ඉහත සිතියමේ දක්වා ඇති පරිදි ඒ වන විටත් පැවති ඇතැම් ස්වභාවික හෝ පෙර කල කුඹුරු අතර ජල වහනය උදෙසා ඉදි කල ඇල මාර්ගද උපයෝගි කරගනිමින්, බොහෝවිට ඒවා අළුතින් ඉදි කල වාරි ඇලවල් මගින් සම්බන්ධ කර, අවසානයේ පැරණි යෝධ ඇලේ ගමන් මාර්ගයටම යොමු කල බවක් දිස්වේ. මල්වතු ඔයේ වම් ඉවුරේ අනුරාධපුර නගරයට නැගෙනහිර දෙසින් පිහිටි කුඹුරු වලට අවශ්‍ය ජලය සැපයීම එහි අරමුණ බව පෙනේ. කෙසේ නමුත් පැරණි ගල් පාලමට මෙපිටින් ඉහත සිතියමේ දම්පාටින් සලකුණු කර ඇති පැරණි යෝධ ඇල මෙයින් බලපෑමක් වූ බවක් නොපෙනේ. හල්පන් ඇලේ ගල් පාලම අද තිබෙන්නේද එම යෝධ ඇල හරහා වන අතර එහි නම පමණක් හල්පන් ඇල ලෙසට වෙනස් වී ඇත. 

හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

වංශ කතාවට අනුව ශ්‍රි මහා බෝධිය රැගෙන ආ මාවත හෙයින් රෝලන්ඩ් සිල්වා මහතා බෝධි මාර්ගය ලෙසින් හඳුන්වන අනුරාධපුර උතුරු දොරටුවෙන් නික්මී හල්පන් ඇල (පැරණි යෝධ ඇල) සහ මල්වතු ඔය මතින් වූ ගල් පාලම් වලින් එතෙර වී ජම්බුකෝලපට්ඨනය හෙවත් දඹකොල පටුන දක්වා තිබූ පැරණි උතුරු මාර්ගය පිළිබඳව රෝලන්ඩ් සිල්වා මහතා මෙන්ම P. විදානපතිරණ මහත්මියද පර්යේෂණ සිදු කර ඇත. H.C.P. බෙල්ගේ කාලය වනවිටත් සලකුණු ඉතිරි වී තිබූ එම මාර්ගයේ සහ එයටම සම්බන්ධ වන අනුරාධපුර ඇතුළු නුවර හරහා උතුරු - දකුණු දිශා ඔස්සේ වැටී තිබූ මගුල් මහා වීථිය මෙන්ම එම වීථියට නගරයේ දකුණු ද්වාරය හරහා සම්බන්ධ වූ දකුණු දොරටුවෙන් නික්මී අනුරාධපුර නගරයේ දකුණු දිශාවට යොමු වූ මාර්ගයක කුජ්ජතිස්ස ස්තූපය (සේල චේතිය) දක්වා ඉතිරි වූ කොටසක් පිළිබඳවද බෙල් විස්තර ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ ඉහත පර්යේෂකයන් විසින් හඳුනාගත් මාර්ගය ඔවුන් විසින් සිතියම් වල ලකුණු කර ඇති අතර මෙම ලිපියේ කරුණු එම විස්තර අනුව ඉදිරිපත් කර ඇත. P. විදානපතිර මහත්මිය විසින් මල්වතු ඔය ගල් පාලමෙන් ඔබ්බටද එම බෝධි මාර්ගයේ ඇතැම් ස්ථාන හඳුනාගෙන තිබෙන මුත් එම කරුණු මෙම ලිපියේ සන්දර්භයට අදාල නොවන හෙයින් මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.

බෙල් ඉහත විස්තර කරන රම්බා පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති කපාරාමූල විහාර නටබුන් අසල තිබෙන පොකුණ

කපාරාමූල විහාරයේ සංරක්ෂිත කොටසක්

මූලාශ්‍ර

  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Reflections on a heritage, Historical Scholarship on Premodern Sri Lanka, 2000
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • Ancient Irrigation Works in Ceylon, Part Two, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
  • ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය, භූගෝලිය පසුබිම සහ සුරක්ෂිතතාව, පී විදානපතිරණ, 2022
  • Archaeological survey of Ceylon, North Central Provinces, Annual Report, 1891, Bell, H.C.P. 1904
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • Jetavanaramaya Project Anuradhapura, first Archaeological Excavation an Research Report ( January - June 1982 ), Hema Ratnayake, 1984
  • 2009 වර්ෂය සඳහා පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාව සෙනරත් බණ්ඩාර දිසානායක, 2024
  • The Road Network: Within the city of Anuradhapura and the suburbs by P. Vidanapatirana IN Roalnd Silva Felicitation Volume, Nandana Chutiwongs & Nimal de Silva, 2008
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007 

Sunday, August 25, 2019

පාර දිගේ - මන්නාරම සිට විල්පත්තු මැදින් පුත්තලමට

තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා දිවෙන A14 මාර්ගයෙන් තල්අඩි පසුකර මද දුරක් ගියවිට දකුණු අතට යොමු වූ B403 මාර්ගය වන්කාලෙයි කුරුළු අභයභූමිය (මන්නාරමට දකුණින් පිහිටි වන්කාලෙයි තෙත් බිම සංචාරක සහ දේශීය පක්ෂි විශේෂ රැසකට වාස භූමිය වන බැවින් කුරුළු අභයභූමියක් ලෙස නම් කර ඇත.) හරහා වන්කාලෙයි ධීවර ගම්මානය මැදින් නානත්තාන් මංසන්ධිය දක්වා වැටී ඇත.  නානත්තාන් සිට අරුවි ආරු (මල්වතු ඔයෙහි පහල කොටස මේ ප්‍රදේශයේදී අරුවි ආරු ලෙසින් හැඳින්වේ) මතින් තනා ඇති පාලම හරහා B403 මාර්ගය අරිප්පුසිලාවතුරෙයි, කොන්ඩච්චි හරහා මරිච්චුකඩ්ඩි වෙත ගොස් අවසන් වේ. මාර්ගයේ එම කොටසේදී අරිප්පු කොටුව සහ ඩොරික් බංගලාව හමුවේ (ඩොරික් බංගලාව පිළිබඳව වීඩියෝව නැරඹීමට Link>>

කොන්ඩච්චි සිට මරිච්චුකඩ්ඩි දක්වා කොටසේ මාර්ගයේ වම් පස මෑතක් වන තුරුම කල් ආරු වන රක්ෂිතයට ( B403 මාර්ගයේ හමුවන කල්ආරු නම් වූ ඔය දෙපසින් එම රක්ෂිතය නැගෙනහිර දෙසට රට ඇතුලට විහිදේ) අයත්ව තිබූ මුත් ඊලාම් ත්‍රස්තවාදී ගැටළුව අවසන් වීමත් සමග අවතැන් වූ ජනයා නැවත පදිංචි කිරීමට මුවාවී වනාන්තරය එලි කරමින් මූලික වශයෙන් ඉස්ලාම් ජානපදිකයන් පදිංචි කිරීමේ ව්‍යාපාරයක් රිශාද් බදූර්දීන් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය. දේශපාලනිකව සහ පාරිසරිකව ලාංකීය සමාජයේ උණුසුම් පුවත් මැවූ එම අර්බුදය මේ වන තුරුද සාර්ථක ලෙසින් අවසන් වී නැත. ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

පැරණි ගම්මානයක් වන මරිච්චුකඩ්ඩි සිට මෝදරගම් ආරුව මතින් තනා ඇති පාලමින් එතෙර වූ පසු  පුත්තලම දක්වා වූ මාර්ගය විල්පත්තු ජාතික වනෝද්‍යානය  හරහා වැටී ඇත.. මරිච්චුකඩ්ඩි සිට එළුවන්කුලම, වනාතවිල්ලු හරහා පුත්තලම දක්වා ගමන් කල හැකි එම මාර්ගය B379 ලෙසින් නම් කර ඇත. මාර්ගයේ විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුලත කොටසේදී අතහැර දැමූ ගමක් සහ වෙල් යායක් සහිත පොම්පරිප්පුව හමුවේ. පොම්පරිප්පුව සම්බන්ධව වැඩිදුර විස්තර සඳහා  Link>>

විල්පත්තු වන උද්‍යානයේ දකුණු පස සීමාව වන කලාඔය හරහා මාර්ගය වැටී ඇත්තේ සපත්තු පාලමක් මතින් වන අතර කලාඔයේ වතුර මට්ටම ඉහල ගිය විට එම මාර්ගය වාහන ගමනාගමනය සඳහා සුදුසු නොවේ. තවද අධික වැසි සහිත සමයන්හීදී මෝදරගම් ආරු සිට කලාඔය දක්වා වූ බොරළු මාර්ගය ලිස්සන සුළු බැවින් 4WD වාහන නොවන අනෙකුත් වාහන ගමන්කිරීම අවදානම් සහගතය.

මල්විල පුරාවිද්‍යා භූමිය මෙම මාර්ගයේ පුත්තලමට පෙර  හමුවන කරදිපුවල් ප්‍රදේශයේදී නැරඹිය හැක. මල්විල පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

Saturday, April 20, 2019

කදම්භ නදියේ ජලය මානාමතු වැවට හැරවූ දාසෙන්කැලි රජුගේ "තේක්කම අමුණ"

"ක්‍රමයෙන් ඝන වනාන්තරය මිටි පඳුරු සහිත වනයක් බවට පත්වෙන පෙදෙසක් ඔස්සේ මැදවච්චියෙන් (Medawatchy) බටහිර දෙසට අප ගමන් කලෙමු. මන්නාරම් තලාවේ අතිවිශේෂ වාරිමාර්ග පද්ධතියේ ආරම්භය වූ ආර්ලන්කුලම් (Arlan Colom) දෙසට වූ මාර්ගය කම්කරුවන්ගේ කුඩා වාඩි පෙලක් සහ (ඔවුන්) ආහාර පිසීම උදෙසා තැනූ ගිනි ගොඩවල් නිසා, අලින් සහ වෙනත් වන සතුන්ගෙන් විරහිත, දෙපස කැලෑවෙන් බඳනා ලද තාප්ප දෙකක් මෙන් දිස්විය. අතරින් පතර මිනිසුන්ට පහර දෙන කොටියෙක් තවමත් මෙහි සිටී. ඌ මිනිසුන්ට එතරම් බියක් නොදක්වන අතර, අපගේ බැටළුවෙකුට තුවාල සිදු කර රැගෙන යාමට උත්සාහ කිරීමේදී, අමාරුවෙන් එලවා දමුවේ කිසිවෙකු ලඟ එවෙලේ වෙඩි බෙහෙත් දැමූ තුවක්කුවක් නොතිබූ හෙයිනි."
තෙක්කම අසලදී මල්වතු ඔය හෙවත් අරුවි ආරුව
"අරිප්පු ගඟේ (Arippo River) ජලය ස්වභාවික ගමන් මගින් හරවා චිත් ආර් (Chit Aar) එනම් "කුඩා ගඟ" ලෙසින් හැඳින්වෙන ඇල මාර්ගයකට යොමු කිරීම උදෙසා ඉදි කල බැම්ම හෙවත් තේක්කමට (Takum) ආසන්නම ස්ථානය වූවේ ආර්ලන්කුලමයි (Arlon Kolam)තේක්කම විශ්මය දනවන නිර්මාණයකි. බැම්මේ පහල කොටස නිර්මාණය කල අතිවිශාල ගල් කුට්ටි කපා මෙම ස්ථානයට ගෙන ඒම යෝධයන් විසින් සිදු කල බවට වූ ජනප්‍රිය පරම්පරානුගත කතාව පිළිගැනීමට තරම් එය වටනේය. එය මුලදී බඳින අවස්ථාවේ තිබුනාක් මෙන් මේ මොහොතේද පරිපූර්ණ ලෙසම පවතී. කාලයට සහ ජල ප්‍රවාහයට ඔවුන්ගේ බලය එය කෙරෙහි බලපවත්වන්නට නුපුළුවන් වූවා මෙනි. අනික් අතට ජලය ගලා යාමේදී ක්‍රමයෙන් තේක්කම සහ ගං ජලය අතර බැස්මක් සහිත දිගු වැලි බැම්මක් සෑදීමෙන් ගල් බැම්ම තද වී, එය චිරාත් කාලයකට පවතින ලෙසට තවදුරටත් ශක්තිමත් කර තිබේ. "
තේක්කම
"ලන්ඩන් හෝ පැරිස් නගර තරමටම ජනාකීර්ණව තිබූ, දැනට පාළුවට ගොස් ඇති මෙම ස්ථානයේ පෙර තිබූ, කලකට පෙර අතුරුදහන් වූ අධිරාජ්‍යය හා සම්බන්ධ ශිෂ්ටාචාරය, එහි තාක්ෂණය, වෙළදාම ආදිය පිළිබඳව ජනප්‍රවාදයක් හෝ මෙය හැර වෙනත් කිසිදු ස්මාරකයක් නොමැති තත්වයක් යටතේ, එම ශිෂ්ටාචාරයේ පැවැත්ම හෝ එහි පරිහානිය වාර්තා කර තැබීමට මෙම බැම්මට වඩා චිත්තාකර්ෂණිය වන අන් කිසිවක් ගැන සිතීමට වුවද අසීරුය."

බ්‍රිතාන්‍ය පාලන යුගයේ මෙරට ආණ්ඩුකාරවරයෙකුව සිටි හෙන්රි වෝඩ් (Henry Ward) 1859 වසරේ අරුවි ආරුවේ නොහොත් එවකට එය හැඳින්වූ ලෙසට අරිප්පු ගඟේ තේක්කම නම් වූ ස්ථානයකට සිදු කල සංචාරයකින් අනතුරුව තැබූ සටහන් අතර ඉහත තොරතුරු හමුවේ.
ඇල මාර්ගයට ජලය හරවා යැවීමෙන් අනතුරුව තේක්කමින් පහලදී මල්වතු ඔය දිස්වන ආකාරය
පැරණි බ්‍රිතාන්‍ය වාර්තා වල අරිප්පු ගඟ (Arippo River) සහ ඇතැම් විට මූසලි ආරු (Musali Aru) ලෙසින්ද හැඳිවෙන එහි පහල කොටසේදී අවට වෙසෙන ද්‍රවිඩ ජනයා විසින් අරුවි ආරු ලෙසින් දැනට හඳුන්වන මල්වතු ඔය වනාහී මෙරට ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයේ වැදගත්ම නගර වූ උපතිස්සගාම සහ අනුරාධගාම (පසුව අනුරාධනගර සහ දැනට අනුරාධපුර) වලට පදනම් වූ ගංගා නිම්නයයි.  පැරණි මූලාශ්‍ර වල කදම්භ නදී, කලම්භ සහ කොළොම් හොය ආදී නම් වලින් එය හඳුන්වා ඇත. තේක්කම ලෙසින් ඉහත විස්තර වන අමුණ එම මල්වතු ඔය හරහා ඉදි කර ඇති අතර එම බැම්මේ සිට අඩි 200 පමණ ගඟ ඉහලින් එහි දකුණු ඉවුරෙන් පටන් ගන්නා, බ්‍රෝහියර්ට අනුව අවට ජනයා විසින් ආලවක්ක ලෙසින් (එනම් ඇල මාර්ගය හෙවත් දිය පහර යන අර්ථය) හඳුන්වන ඇල මාර්ගයක් ඔස්සේ එහි මුල් සැතපුම් 4 මල්වතු ඔයට සමාන්තර මාර්ගයක් ඔස්සේද ඉන්පසු එයින් ඈත් වෙමින්ද සැතපුම් 17 ක දුරක් වංගු සහිත මගක ගමන් කර දැනට යෝධ වැව ලෙසින් හැඳින්වෙන මන්නාරම් තලාවේ විශාලම වැවට ජලය රැගෙන යයි.
තේක්කම අමුණේ සිට යෝධ වැව දක්වා ජලය ගෙන යන ඇල මාර්ගය තේක්කම අසලදී 
හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමා Chit Aar එනම් "කුඩා ගඟ"  ලෙසින් හඳුන්වන්නේද මෙම ඇල මාර්ගයයි.  තේක්කම සිට යෝධ වැව දක්වා කෙලින් දුර සැතපුම් 9 පමණ වේ. එහෙත් R.L. බ්‍රෝහියර් නිවැරදිව පවසන පරිදි සැතපුම් 17 ක දුරක් වංගු ගසමින් යන දිගු මාර්ගයක ඕනෑකමින්ම ඇල තැනීමට එක් හේතුවක් වනුයේ එහි බෑවුම අඩු කර ගැනීමයි. එමගින් අධික රොන්මඩ ගසා ගෙන විත් ප්‍රධාන ජලාශයේ එනම් යෝධ වැවේ තැන්පත්වීම වලකින අතර, එම දිගු මාර්ගය ඔස්සේ වූ කෙත් වලට ජලය සපයා ඒවා පෝෂණය කිරීම මෙන්ම ප්‍රදේශයේ භූගත ජල ධාරිතාව වැඩි කිරීමෙන් සාපේක්ෂව වියලි පෙදෙසක් වූ මෙම තැනිතලා භූමිය වසර පුරා තෙත් ගතිය පවතින සරුසාර ප්‍රදේශයක් බවට පත්කිරීමද අරමුණු කරගත් බව සිතිය හැක.
යෝධ වැව
මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහු රජු මහානාමමත්ථක වැව ප්‍රතිශංස්කරණය කරවීය. දඹදෙණි  යුගයේදී දෙවෙනි පරාක්‍රමබාහු රජු කල මාඝින්ද සහ ජයබාහු යන දමිළ රජුන් දෙදෙනාගේ කඳුවුරු පිහිටි ස්ථාන අතර මානාමත්ත නම් වු ප්‍රදේශයක් පිළිබඳවද එහිම විස්තර වේ (නිකාය සංග්‍රහයෙහි මෙම කඳවුර මානාමතු ලෙසින් හැඳින්වේ). මානාමත්තයට අනතුරුව මන්නාරපට්ටනය (වර්තමාන මන්නාරම) යන ස්ථානයද ඔවුන්ගේ කඳවුරු තිබූ ස්ථානයක් ලෙස සඳහන් වේ.  දාසෙන්කැලි හෙවත් ධාතුසේන රජු මානා වැව කරවූ බව පූජාවලියේ සඳහන් වේ. මේ අනුව අනුමාණ වශයෙන් ඉහත සියළු නම් ව්‍යවහාර වන්නට ඇත්තේ  දැනට යෝධ වැව පිහිටි මන්නාරමෙන් නැගෙනහිර දෙසට රට තුලට වූ ප්‍රදේශය ලෙසින් හඳුනාගෙන, යෝධ වැව ලෙසින් දැනට හැඳින්වෙන වැව ධාතුසේන රජු කරවූ මානා වැව ලෙසට අනුමාණ කරයි. යෝධ වැවට ජලය සැපයූ ඇල මාර්ගය සහ ඒ සඳහා ජලය ලබාගැනීමට මල්වතු ඔය හරස් කර ඉදි කල අමුණද බොහෝ විට ධාතුසේන රජුගේම ව්‍යාපෘති වන්නට ඇති බව ඒ අනුව සිතිය හැක.
යෝධ වැවේ ජලයෙන් පෝෂණය වන කෙත් බිම්
වොර්ඩ් ආණ්ඩුකාරවරයාගේ අවධියේදී ආලන්කුලම් ලෙසින් හැඳින්වූ ප්‍රදේශය වර්තමානයේ හඳුනාගත නොහැක. ඉහත තෙක්කම පිහිටි ප්‍රදේශයට ආසන්නම ප්‍රදේශය දැනට හැඳින්වෙන්නේ පරයානම්කුලම් ලෙසිනි (පැරණි අඟලේ සිතියම් වල පරයියානලන්කුලම්). මල්වතු ඔයේ පිහිටි ස්වභාවික ගල් තලාවක් මත කළුගලින් කවාකාරව ඉදිකර ඇති මෙම අමුණ දිගින් මීටර 150-200 පමණ්ද පළලින් මීටර 4.8 ද වන අතර එහි උස මීටර 4.3 පමණ වේ. අමුණේ එක් කොනක විශාල දොරටු තුනක් දැකිය හැකි අතර ඒවා අතිරික්ත ජලය පිටකිරීමට ලී දොරටු යොදා එකල භාවිතා කල පිට වානවල් ලෙස අනුමාණ කල හැක. දැනට ඒවා ස්ථිරව වසා දමා ඇති බව පෙනේ (බොහෝවිට බ්‍රිතාන්‍ය යුගයේ සිදු කල ප්‍රතිසංස්කරණ වලදී එලෙස සිදු වූවා විය හැක.)
තෙක්කම අමුණ පහල සිට පෙනෙන ආකාරය . රූපයේ වම් පස ඉහත විස්තර වන පිටවානවල් තුන දැකිය හැක.
මූලාශ්‍ර
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • පුරාණ ශ්‍රි ලංකාවේ වාරි කර්මාන්තය, ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි, 2017
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • මන්නාරම දිස්ත්‍රික්කය, M.V.G. කල්ප අසංග, I.G. S. නිශාන්ත, 2018 
  • Ancient Irrigation Works in Ceylon, Part Two, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001

Monday, March 4, 2019

තඹවන් වැලි ඇති කුදිරමලය ඓතිහාසික තම්බපණ්ණි නුවරද?

"නැවෙන් ගොඩබට විජය හා පිරිස වෙහෙසව පොළොවෙහි අතුල් ඔබා ඉඳගත්හ. ඔවුන්ගේ අත් භූමියෙහි දූවිල්ලෙන් තඹවන් වූ හෙයින් ඒ පෙදෙසද , දිවයිනද තම්බපණ්ණී නම් විය."

"තම්බපණ්ණී නගරයෙහි සිට ලංකා රාජ්‍යානුශාසනයෙහි යෙදුණු විජය රජු අටතිස් වසරක් රාජ්‍යය කළේය."

තම්බපණ්ණි යනුවෙන් නගරයක් මෙරට මුල්ම රජු වූ විජය රජු ආරම්භ කල පුවත මහාවංශයෙහි විස්තර වනුයේ ඒ ආකාරයෙනි. විජය රජු හා ඔහු හා සම්බන්ධ බොහෝ සිදුවීම් සත්‍ය සිදුවීම් වලට වඩා මහාවංශය රචනා කල යුගය වන විට ජනප්‍රවාද ලෙස පැවතෙමින් ආ දේ ලෙස පෙනෙන මුත් තම්බපණ්ණි නමින් යුත් නුවරක් මෙරට මුල් ඓතිහාසික යුගයේ තිබෙන්නට ඇති බව පිළිගැනීමට එය බාධාවක් නොවේ. ලංකා, ලංකාදීප යන නම් වලට අමතරව මහාවංශයේ මුල් කොටසේ බොහෝ අවස්ථා වලදී තම්බපණ්ණිදීප යන නම මුළු දූපතම හැඳින්වීම සඳහාද යොදාගෙන ඇත. නමුත් විජය රජු ආරම්භ කලා යැයි පැවසෙන තම්බපණ්ණි නුවර පිළිබඳව ඉන්පසු කිසිදු සඳහනක් වංශ කතා වල හමු නොවේ.

මහාවංශයේ දෙවන කොටසේදී නැවතත් මුළු දිවයිනම හැඳින්වීම උදෙසා තම්බපණ්ණී යන නම මුල් වරට භාවිතා වනුයේ පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු යුගය පිළිබඳව විස්තර කිරීමේදී එක් අවස්ථාවකදී සහ ඉන්පසු යුගයන්හි තවත් අවස්ථා දෙකකදී පමණක් වන අතර අනතුරුව 1815 ඉංග්‍රිසීන් "සිංහළය" යටත් කරගත් පසු විජය රජු විසින් තම්බපණ්ණියෙහිදී ආරම්භ කළ සිංහළ රාජ්‍යතන්ත්‍රය... මෙසේ විනාශයට පත් වූ බව පවසන ගාථාවේද තම්බපණ්ණි යන වදන එම නුවර හැඳින්වීම උදෙසා යොදාගනී.
තම්බපණ්ණි නගරය දිවයිනේ කිනම් පෙදෙසක පිහිටා තිබුනිද යන්න හඳුනාගැනීම උදෙසා මහාවංශය එතරම් උපකාරී නොවේ.  නමුත් මහාවංශයටත් පෙර ලියවුන ලෙස පිළිගැනෙන දීපවංශය පවසන්නේ "දක්ෂිණ දිග්භාගයෙන් අති උත්තම නදීතීරයෙහි හෙවත් මහාසමුද්‍රාසන්නයෙහි හාත්පසින් (සිව් දෙසින් පැමිණි වෙළඳ ජනයා ආදීන්ගේ විය හැකි) පොදි ලිහන ස්ථාන වූ හෙයින් පුටභේදන නම් වූ තම්බපණ්ණි නුවර විජය කුමරු විසින් ගොඩනගන ලද බවයි.

"දක්ඛිණතො නදීතීරෙ" ලෙසින් එම විස්තරය සඳහන් වන දීපවංශ ගාථා විවිධ අයුරින් අර්ථ කථනය කල හැකි මුත් (නදී තීරයෙන් දකුණු දෙස හෝ දකුණු දික්භාගයෙහි නදී තෙර හෝ නදියේ දකුණු ඉවුරේ) මෙම යුගය සම්බන්ධව එතරම් විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකිය නොහැකි රාජාවලිය විජය කුමරු ඇතුළු පිරිවර "රුහුණු රට දෙසට ගොඩ බලා උන් විට...සමන්තකූට පර්වතය මහමුහුද මැදදී දැක.... අප ඉඳිනට දිවයිනකැයි සිතාගෙන ගොඩකරේ ඈත දැක තම්මැන්නා තොටින් ගොඩ බැස.." ලෙසින් තම්මැන්නා හෙවත් තම්බපණ්ණී නුවර රුහුණු රටේ පිහිටි ලෙස කෙලින්ම පවසයි. ඇතැම් විට දීපවංශයේ එන දකුණු දෙස පිහිටි නදී තෙර යන පාඨය රාජාවලි කතුවරයා රුහුණු රටේ පිහිටි නදි තෙර ලෙසින්ම තේරුම් ගත්තා විය හැක.

මෙම සීමිත සාධක ඇසුරු කරගනිමින් තම්බපණ්ණි නුවර හෙවත් තම්මැන්නා තොට හඳුනාගැනීම උදෙසා විද්වතුන් කිහිප දෙනෙකුම උත්සහ දරා ඇත. තම්බපණ්ණි නුවර ගං මුවදොරක පිහිටි බව සහ එය වරායක් සහිත පටුනු ගමක් බව ඉහත විස්තර අනුව අවිවාදිතය. එසේම එය මෙරට මුල් ඓතිහාසික ජනාවාස විහිදුනු ප්‍රධාන ගංගා කිහිපයෙන් එකක මුවදොර පිහිටිය යුතු බවද පැහැදිලිය.
මල්වතු ඔය ලෙසින් එහි මුල් කොටසේදී සහ අරුවි ආරු ලෙසින් එහි මුවදොර පෙදෙසේදී දැනට ව්‍යවහාර වන මහාවංශයේ කදම්භ නදී ලෙසින් හැඳින්වෙන නදියේ දකුණු ඉවුරේ තම්බපණ්ණිය පිහිටි බව C.W. නිකොලස් ඒ අනුව අනුමාණ කරයි.  ඔහු පවසන්නේ අරුප්පු ආශ්‍රිත ප්‍රදේශයේ පැරණි තම්බපණ්ණි නගරය පිහිටා තිබෙන්නට ඇති බවයි. H.W. කොඩ්රිංටන් මහතාද එම අදහස අනුමත කරයි. හෙන්රි පාකර් මහතා පවසන්නේ තම්බපණ්ණි නුවර දකුණු මුහුදු තීරයේ තිබෙන්නට ඇති බවයි. ඔවුන් සිය අදහස් සනාථ කිරීම උදෙසා විවිධ සාධක ඉදිරිපත් කරන මුත් ඒවා සියල්ල ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව නොවේ.

කෙසේ නමුත් තම්බපණ්ණි ලෙසින් එම මුල් නුවර හැඳින්වීම උදෙසා ඉවහල් වූ තඹ පැහැ වැල්ල හේතු කොටගෙන ජනප්‍රවාදයේ විජය සිය අගනුවර ගොඩනැන්වූ ස්ථානය ලෙස පොදු ජනයා හඳුනාගන්නා ස්ථානයක් විල්පත්තු අභය භූමිය තුල ඇත. කුදිරමලෙයි ලෙසින් ද්‍රවිඩ භාෂාවෙන් හැඳින්වෙන එම ස්ථානයේ  පැරණි ජනාවාසයක් පැවති බවට වන සාධක R.L. බ්‍රෝහියර් විස්තර කර ඇත. මුහුදු ඛාදනය වූ ප්‍රපාතය මත සැලකිය යුතු දුරකට වළං කැබලි, රවුම් තලි කොටස් (Circular dishes), ගුරුලේත්තු කොටස් (Water Goblets), කොතළ (Pitches) සහ වෙනත් එවැනි උයන භාජන (Cooking Utensils) කොටස් දැකිය හැකි බව ඔහු පවසයි. එයට අමතරව ඌරා කැට හෙවත් මැටි වලලු යෙදූ ලිඳක්ද එහි තිබී ඇත. මුහුදු ඛාදනය හේතුවෙන් දිනෙන් දින එම පැරණි වෙළඳ නගරයේ නශ්ඨාවශේෂ විනාශ වෙමින් යන බවද ඔහු අවධාරනය කර ඇත.
කුදිරමලෙයි යන ද්‍රවිඩ වචනයෙන් 'අශ්ව කන්ද' යන අර්ථයක් ගත හැක (මලබාර් සහ මැලේ භාෂා වලින් කුද්‍ර යනු අශ්වයා අන අතර මලය යනු ද්‍රවිඩ භාෂාවෙන් කන්ද වේ.). අශ්ව කන්ද යන තේරුමම ගත හැකි තප්‍රොබේනයේ පිහිටි නැව් තොටක් ගැන ප්ලීනි (ක්‍රි.ව. 24-79නම් වූ රෝමන් ලේඛකයා තැබූ සටහනක් අපට හමුවේ. ප්ලීනිගේ වාර්තාවට අනුව ක්ලෝඩියස් නම් රෝම අධිරාජයාගේ (Claudius)  පාලන කාලයේ (ක්‍රි.ව. 41-54) රතු මුහුදේ ඔහු වෙනුවෙන් බදු එකතු කල අන්නියස් ප්ලොකමස් නම් නිලධාරියාගේ නිදහස් වහලෙකු (Freedman of Annius Plocamus)  ගමන් ගත් නැව රතු මුහුදේදී කුණාටුවකට හසු වී දින 15 ගසාගෙන ගොස් නොදන්නා ගොඩබිමක පිහිටි නැව් තොටක් වෙත ලඟා වේ. එම සුළඟ නිරිත දිග මෝසම් සුළං ලෙස උපකල්පනය කලහොත් එම නැව ගසාගෙන ආ නැව්තොට මෙරට බටහිර වෙරළ තීරයේ වූවක් ලෙසට අනුමාණ කල හැක. ප්ලීනි සඳහන් කරන ලෙසට එම නැවියන් ගොඩ බට ස්ථානය අසල පිහිටි කන්දක සැලකිය යුතු ජනාවාසයක් තිබී ඇත. මෙම සිදුවීම සිදුවූ වර්ෂය ලෙස ක්‍රි.ව. 45 සඳහන් වේ. වඩාත්ම වැදගත් කරුණ නම් එම නැව්තොට ප්ලීනි විසින් Hippuros ලෙසින් හඳුන්වා තිබීමයි. එහි අර්ථය 'අශ්වයාගේ වලිගය' වන මුත් එම වචනය Hipporos  (ග්‍රීක භාෂාවෙන් Hippos > අශ්වයා Oros > කන්දලෙස ගතහොත් එයින් 'අශ්ව කන්ද' යන අර්ථය ගත හැක. පැරණි ලේඛන සියවස් ගණනාවක් පුරා සිදුවන පිටපත් වීම් වලදී එවැනි අක්ෂර දෝෂ සිදුවීමේ හැකියාව බෙහෙවින් වැඩිය (ප්ලීනි සිය ග්‍රන්ථය රචනා කරන්නේ පළවන සියවසේදීය.) මෙහි තැප්‍රොබේන් ලෙස ග්‍රීක ලේඛන වල මුල් වරට  සඳහන් වන රට, තම්බපණ්ණි යන මෙරට හැඳින්වීමට යොදාගත් නමෙන් ප්‍රභවය වූවක් ලෙස පොදුවේ පිළිගැනේ.
මේ සියලු කරුණු සලකා බැලූ විට එමර්සන් ටෙනන්ට්, R.L. බ්‍රොහියර්, වැනි ලේඛකයන් අනුමාන කල අයුරින් කුදිරමලය අසල පිහිටි පැරණි වෙළඳ නගරය තම්බපණ්ණි නුවර ලෙස සැලකීමේ යම් පදනමක් ඇති බව පෙනේ. තවද උපතිස්සගාම, අනුරාධගාම වැනි මෙම යුගයේ හෝ ඉන් පසු ආසන්න යුගයේ ජනාවාස පැතිර තිබූ ලෙස වංශ කතාව පවසන ප්‍රදේශ වල පිහිටීමද තම්බපණ්ණියේ සිට මල්වතු ඔය සහ මෝදරගම් ඔයඔස්සේ මුහුදු තීරයේ සිට රට තුලට ජනාවාස පැතිරුන ආකාරය පිළිබඳව මනා චිත්‍රයක් මවා පායි. 

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහාස්ථවිර, 1927
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Gazetteer of the Puttalam District of the North-Western Province of Ceylon, Frank Modder, F.R.G.S., 1908
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • Discovering Ceylon, R.L. Brohier, 1973
  • The Deepavamsa, Edited by Dr. B.C. Law, 1959
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record.  Hermann Oldenberge, 1879
  • * A Concise History of Ceylon, C.W. Nicholas & S. Paranavitana 1961 - සිංහල පරිවර්තනය - > සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, පරිවර්තන සංස්කාරක ඇස්. බී හෙට්ටිආරච්චි, 2005
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1 සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • The Ancient Puttalam - Mannar Road, C,G. Uragoda, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series Volume XXVI, 1982

Wednesday, August 23, 2017

සොළී බල බිඳි විජිතපුර බලකොටුව කදුරුවෙලින් සොයාගැනීම

විජිත පුරය
විජය රජුගේ විජිත නම් ඇමතියා විජිත නම් නගරය (විජිතං නගරං) ඉදි කල බව මහාවංශයේ මෙන්ම දීපවංශයේද සඳහන් වේ. එහෙත් එය පිහිටවූ ස්ථානයක් පිළිබඳව සඳහනක් එහි නොදැක්වේ. විජයගෙන් පසු වසරක පමණ වූ අරාජක කාලයකින් පසුව ලංකා රාජ්‍යයේ රජවූ පණ්ඩුවාසුදේව රජුගේ මෙහෙසිය වූ භද්දකච්චානාගේ සොහොයුරන් මෙරටට පැමිණ ඉදිකල ජනපද පිළිබඳව සඳහන් කිරීමේදිද මහාවංශය එම එක් සොයුරෙකු වන විජිත විසින් ඉදි කල විජිතගාම යන ජනපදයක් ගැනද සඳහන් කරයි. 'විජිත නගර' සහ 'විජිතගාම' ලෙස අවස්ථා දෙකකදි සඳහන් වන්නේ එකම පෙදෙසක්ද නැතහොත් ජනපද දෙකක්ද යන්න අපැහැදිලිය. එසේම ජනප්‍රවාද ඇසුරින් ලියැවුනු වංශ කතා වල මෙම වකවානුව සම්බන්ධව එන විස්තර ඓතිහාසික වශයෙන් එතරම් පිළිගත හැකි මට්ටමක නොමැති බැවින් ඉන්දියාවේ යම් පෙදෙසක සිට පැමිණි සංක්‍රමණිකයන් පිරිසක් විජිත නම් නායකයෙකුගේ (හෝ එම නම ඇති නායකයන් දෙදෙනෙකුගේ) ප්‍රධානත්වයෙන් විජිත නගරය  (හෝ/සහ විජිතගාම) යන ජනපදය (හෝ එම නම ඇති ජනපද 2ක් ) ඇති කල බව පමණි අපට මින් නිගමනය කල හැක්කේ.

විජිත නගරයෙහි පිහිටීම පිළිබඳව යම් හෝඩුවාවක් මහාවංශයට ලියූ වංසත්ථප්පකාසිනිය නම් වූ ටීකාවෙන් හමුවේ. විජයගෙන් පසු අරාජක සමයේ ඔහුගේ ඇමැතියන් විසින් අගනුවර උපතිස්සගාමයට ගෙනගිය බව පැවසේ. ඉන්පසු සිහපුර සිට පැමිණි පණ්ඩුවාසුදේව රජුද එහි සිටම පාලනය ගෙනගිය බව පෙනේ. ඔහුගේ මෙහෙසිය ලෙස පැමිණි භද්දකච්චානා ඇතුළු පිරිවර ගොඩබසිනුයේ ගෝණගාමක පටුන නම් තැනකටය. එම පිරිස ගෝණගාමකයේ සිට උපතිස්සගාම කරා එන ගමනේදී විජිත නගරයට පැමිණි බවට වූ සඳහනක් මහාවංශ ටීකාවේ එයි. ඒ අනුව විජිතගාමය, ගෝණගාමක පටුන සහ උපතිස්සගාම අතර වූ බව හැඟේ.

උපතිස්සගාම 
විජය සමග පැමිණි උපතිස්ස නම් පුරෝහිත විසින් අනුරාධ ගමට උතුරින් ගම්භීර නදී තීරයේ උපතිස්ස ගම නිර්මාණය කල බව මහාවංශයේ සඳහන් වේ. එහිම සඳහන් වන පරිදි කදම්බ නදී තීරයේ අනුරාධ නම් ඇමති අනුරාධ ගම ඉදිකරයි. මහාවංශයේ වෙනත් අවස්ථාවකදී පැවසෙන්නේ ගම්භීර නදිය අනුරාධපුරයට යොදුනක් පමණ උතුරින් ගලාගිය බවය.  අප දන්නා පරිදි එවකට අනුරාධගාමය වූ වර්තමාන අනුරාධපුරය අසලින් ගලා යනුයේ මල්වතු ඔයයි. ඒ අනුව කදම්බ නදී ලෙස එකල හැඳින්වූවේ මල්වතු ඔය බව පැහැදිලිය. එයට යොදුනක් (සැතපුම් 8 සිට 12 අතර දුරක්) පමණ උතුරින් ඇත්තේ මල්වතු ඔයට වැටෙන අතු ගංගාවක් වන කනදරා ඔයයි. ඒ අනුව ගම්භීර නදිය ලෙස හැඳින්වූ කනදරා ඔය නිම්නයේ කිසියම් තැනක උපතිස්සගාමය තිබූ බව පෙනේ. කනදරා ඔය මල්වතු ඔය හමුවන ස්ථානයට ආසන්නව උපතිස්සගාමය පිහිටා තිබෙන්නට ඇති බවට මතයක් ඉදිරිපත්වී ඇත (තන්තිරිමලයට කිලෝමීටර් 3-5 පමණ නැගෙනහිර දෙසට වන්නට)

ගෝණගාමක පටුන
භද්දකච්චානා ඇතුළු පිරිසට මෙරටට පැමිණීමට පෙර පැමිණි පණ්ඩුවාසුදේවගේ පිරිවර ගොඩ බසින්නේ මහාවංශයට අනුව මහ කන්දර නදියේ මුව දොරටය. එම ස්ථානය ගෝකණ්ණ තිත්ථය බව මහාවංශ ටීකාව පැහැදිලි කරයි. ගෝණගාමක පටුන සහ ගෝකණ්ණ තිත්ථය එකම ස්ථානයක් ලෙස පෙනේ. පසු අවස්ථා වලදිද වංශකතාවේ හමුවන ගෝකණ්ණ තිත්ථය වර්තමාන ත්‍රිකුණාමලය වරාය බව හඳුනාගෙන ඇත. (ඒ අනුව මහා කන්දර නදී ලෙස එවකට හැඳින්වූවේ මහවැලි ගඟ බව පෙනේ.)

එබැවින් විජිත පුරය උපතිස්ස ග්‍රාමයට සහ අනුරාධපුරයට නැගෙනහිර දෙසින් වූ පෙදෙසක් බව සිතිය හැක.
දුටුගැමුණු යුගයේ විජිත පුරය
මාගම සිට ගුත්තහාල (බුත්තල), මහියංගණය වැනි ප්‍රදේශ පසුකරමින් කුඩා බලකොටු යටත් කරගනිමින් එළාර සමග සටනට පැමිණෙන දුටුගැමුණු කුමරාගේ සේනාවට පැරදී පලායන 'ගංගා තීරයේ සියලු දමිලයන්' ඉන්පසු රැකවරණය පතා විජිත නගරයට පිවිසුනු බව මහාවංශයේ විස්තර වේ. ඉන්පසු ගඟෙන් එතෙර වන දුටුගැමුණුගේ සේනාව කඳවුරු බැඳගත් ස්ථානය ඛන්ධාවාරපිට්ඨිය නම් විය. එතැන් සිට විජිත නගරය අල්ලාගැනීම පිළිබඳව දීර්ඝ විස්තරයක් මහාවංශයේ එයි. විජිත නගරය වටා කලල්, දිය සහ මත්ස්‍යයන් පිරි ගැඹුරු අගල් තුනක් වූ බවත් එහි සිව් දෙසින් යකඩින් කල දොරටු 4 ක් වූ බවත්, උස් ප්‍රාකාරයකින් වටවී තිබූ බවත් එම විස්තරයේ පැවසේ.  විජිත නගරයේ බලකොටුව අල්ලාගැනීමෙන් පසු ගිරිලක (මේ ගිරිතලේ ප්‍රදේශය විය හැකි බවට වූ මතයක් ඉදිරිපත් වී ඇත), මහේල නගර, කාසපබ්බත ඔස්සේ අනුරාධපුරය වෙත ඔහුගේ සේනා ගමන් කරයි.

පොදුවේ පිළිගත් මතය වනුයේ වර්තමානයේ තිස්සමහාරාම ලෙසින් හැඳිවෙන පෙදෙසේ පිහිටි මාගම සිට බුත්තල, මහියංගණය හරහා මහවැලි ගඟේ දකුණු ඉවුර දිගේ දුටුගැමුණුගේ සේනාව රජරට ආක්‍රමණය සඳහා පැමිණි බවයි. ඒ අනුව ඔවුන් මහවැලි ගඟ තරණය කල පසු පිවිසිය යුත්තේ පොළොන්නරුව ලෙසින් වර්තමානයේ හැඳින්වෙන පෙදෙසටය. පොළොන්නරුව දක්වා මහවැලි ගඟේ වම් ඉවුරට ඔබ්බෙන් පිහිටි ස්වභාවික ගිරි දුර්ග වලින් පිරි පෙදෙසින් රජරට පෙදෙසට පිවිසීම පහසුවෙන් කල නොහැක (රූපය 2 ). ඒ අනුව විජිත නගරය පොළොන්නරුව ආශ්‍රිතව තිබිය යුතු බව පැහැදිලි වේ.
රූපය 2 
පොළොන්නරුව නගරය හැඳින්වීමට පසු කාලීන සිංහල ගද්‍ය කෘතියක් වන පූජාවලියේ ඇතැම් අවස්ථා වල යොදාගන්නා කඳවුරු නුවර, කඳවුරු බෑ පුර, කඳවුරු පුර යන නම් සහ ඉහත දුටුගැමුණුගේ සේනාව කඳවුරු බැඳ ගත් පාළියෙන් ඛන්ධාවාරපිට්ඨිය ලෙස හැඳින්වෙන ස්ථාන නාමය එකම තේරුමක් ගෙන දේ. එසේම මහාවංශ විස්තරයට අනුව එම ප්‍රදේශය මහවැලි ගඟෙන් එතෙර වී සැතපුම් කිහිපයක් යාමට පෙර හමුවන බව පෙනේ. පොළොන්නරුව පිහිටා ඇත්තේද මහවැලි ගඟේ සිට සැතපුම් 3 පමණ දුරකිනි. මහා පරාක්‍රමබාහු රජතුමන් විජිත නම් 'ශාඛා පුරයෙහි' වේළුවන විහාර නම් වෙහෙරක් කල බව මහාවංශය සඳහන් කරයි. එයද විජිත පුරය පොළොන්නරුවට නොදුරින් පිහිටා තිබූ බවට තවත් එක් සාධකයකි.

පොළොන්නරුව පිහිටා ඇත්තේ උපක්‍රමික වශයෙන් වැදගත් පිහිටීමකය. රුහුණු රට සහ රජරට වෙන් කරන මහවැලි ගඟ ඒ අසලින් ගලා බසී. එබැවින් මෙරට ඉතිහාසයේ වරින් වර සිදුවූ පරිදි රුහුණු රටේ සිට කැරලිකාර කණ්ඩායම් රජරට ආක්‍රමණය කිරීමේදී ඒවා මැඩපැවැත්වීමට මෙම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට රජරට රජවරුන් ක්‍රියාමාර්ග ගත්හ. එසේම දකුණු ඉන්දීය ආක්‍රමණ වලදී අනුරාධපුර නගරය ඔවුන් යටතට පත්වූ විට සිංහල රජවරුන් පළමුව පොළොන්නරුවට පසු බැස එහි සිට නැවත ප්‍රතිප්‍රහාර එල්ල කලහ. එයද නිශ්ඵල වූ විට ඔවුන් ගඟින් එතෙර රුහුණු රටට පසු බැස දිවි ගලවාගත්හ. මේ නිසා කඳවුරු නුවර යන නම පොළොන්නරුවට භාවිතා වන්නට ඇත. එවන් තත්වයක් යටතේ පොළොන්නරුවේ හෝ එයට ආසන්නව සැම කල්හිම හෝ අවම වශයෙන් අභ්‍යන්තර සහ බාහිර බලවේග වලින් රජරට රාජ්‍යයට තර්ජන එල්ලවන සමයන්හි  නඩත්තු වූ බලකොටුවක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවයකි.
රූපය 1- අඟලේ සිතියමේ සලකුණු කර ඇති බලකොටුව ඊතලයෙන් දක්වා ඇත
විජිතපුර බලකොටුව සොයාගැනීම
පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට සහ නව නගරයට නැගෙනහිරෙන් පැරණි අඟලේ සිතියම් වල පැහැදිලිව සලකුණු කර ඇති ජලය පිරි අගල් වලින් යුත් සම සතැරස් කොටුවක් කිසිවෙකුගේ අවධානකට යොමු නොවී වසර ගණනාවක්ම තිබූණි (රූපය 1). 80 දශකයේ මේ ප්‍රදේශයේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප වල මෙම එක් පැත්තක් සැතපුම් භාගයක් පමණ දික්වූ සතරැස් කොටුව දුටු එවකට මහවැලි අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂ වූ A. ඩෙනිස් N. ෆර්නැන්ඩෝ මහතා එහි ජ්‍යාමිතික හැඩතලය නිරික්ෂණය කර එය මානව ක්‍රියාකාරකම් වලින් ඇතිවූවක් බව දැක එම ප්‍රදේශයේ සිදු කල වැඩිදුර ගවේෂණ මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ Ancient Ceylon සඟරාවට The Discovery of Vijithapura of 6th Century B.C. And The Ancient Fortress in Plonnaruwa මැයෙන් ලිපියක් සැපයීහ.
විජිතපුර බලකොටුව Google Earth වල දිස්වන ආකාරය
දිය අගල් වලින් වටවූ මෙම ප්‍රදේශයේ කලකට පෙර නැගෙනහිර වෙරලේ සිට පැමිණි පුද්ගලයකු විසින් උක් වගා කර තිබූ අතර, පසුව රජයේ ගොවිපලක් එක් කොටසක ඇති කල අතර ඉතිරි කොටසේ වසර 60 කට පමණ පෙර එම ප්‍රදේශයට පැමිණි ජානපදිකයන් පදිංචි වි සිටි. මුළු භූමිය පුරාම ශිලා අවශේෂ සහ ගොඩනැගිලිවල නටබුන් හමුවන බව ප්‍රදේශයේ පැරණි පුද්ගලයන්ගෙන් ඩෙනිස් ෆර්නැන්ඩෝ මහතාට දැනගන්නට ලැබි ඇත. එබැවින් නිසැකවම මෙය විජිතපුර බලකොටුව විය යුතු බව ඒ මහතා සිය ලිපිය මගින් කරුණු ඉදිරිපත් කරයි. තවද කදුරුවෙල යන මෙම ප්‍රදේශයට වර්තමානයේ භාවිතා වන නාමය කඳවුරු වෙල යන නාමයේ වෙනස්වීමකින් ඇතිවූවක් විය හැකි බවය ඒ මහතාගේ අදහස. එය කඳවුරු නුවර යන පැරණි සිංහල නාමයෙන් නිශ්පන්න වූවක් බව නිසැකය.

*මෙම බලකොටුවේ සිදු කල කැනීම සම්බන්ධ විස්තර සඳහා ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ මහතා මෑතකදී www.archaeology.lk වෙබ් අඩවියට සැපයූ මෙම ලිපිය කියවන්න.>> පොළොන්නරුවේ කඳුරුවෙල බලකොටුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් : 2009 -10 වර්ෂවල මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵල 
විජිතපුර බලකොටුව මහවැලි ගඟ, එහි අතු ගංගාවක් වන අඹන් ගඟ,පොළොන්නරුව නගරය සහ පරාක්‍රම සමුද්‍රයට ආසන්නව පිහිටා ඇති ආකාරය
මූලාශ්‍ර
  • The Discovery of Vijithapura of 6th Century B.C. And The Ancient Fortress in Plonnaruwa, A. Denis N. Fernando, Ancient Ceylon 1984, No 5
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record, Hermann Oldenberg, 1879.
  • The Dipavamsa edited by Dr. B.C. Law, The Ceylon Historical Journal, Vol VII. Nos 1-4, 1957 & 1958
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • The Polonnaruwa Period, A Special Issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu, 1955
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016