Showing posts with label Thambi Mudaliyar. Show all posts
Showing posts with label Thambi Mudaliyar. Show all posts

Saturday, September 26, 2015

තම්බි මුදියන්සේලාගේ පරපුර

සුදු අධිරාජ්‍යවාදීන්ට චරපුරුෂ සේවය කරමින් සිංහලය පාවාදීමට කැපවූ දකුණු ඉන්දිය සම්භවයක් සහිත තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන පිලිබඳ වූ මෙම ලිපියේ මුල් කොටස මෙතනින් කියවන්න.

යැංකි ඩිකීගේ මීමුත්තා - තම්බි මුදලියර් හෙවත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන


රූපය - ග්‍රෑන්ඩ්පාස් හි පිහිටා තිබූ ජයවර්ධන පරපුරේ පාරම්පරික වලව්ව -  උපුටා ගැනීම Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907 
  • 1815 ඉංග්‍රීසි හමුදා උඩරට රාජ්‍යය ආක්‍රමණයේදීද ඒඩ්‍රියන් එම සේනාංක වලට අවශ්‍ය චරපුරුෂයන් සපයාදීම් ආදියෙන් මනා සේවයක් කලේය. එපමනක් නොව ඔහු හේවා කණඩායමක් සමග ගොස් රජු අල්ලා ගෙනවුත් ඩොයිලිට භාර දුන් බවද ඔහු වෙනුවෙන් ලියූ සිලෝන් ගැසට් ලිපියේ සදහන් වේ (කෙසේ නමුත් රජු අල්ලාගැනීමට ගිය පිරිස අතර ඔහු සිටි බව දැක්වෙන සදහන වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු නොවේ. ඩොයිලි[Diary of Mr. John D'oyly - H.W. Codrinton, 1917] පවසන්නේ අධිකාරමගේ [එක්නැලිගොඩ විය හැක] පිරිස විසින් රජුගේ නෑදෑ මලබාර් වරුන්ගෙන් කොල්ල කන ලද වටිනා දෑ අතර තිබූ වඩාත් වටිනා දේවල් මැද මහනුවරට සැතපුම් 5-6 පමණ පෙර ස්ථානයකදි තම්බි  මුදලියර් විසින් ඔවුන්ගෙන් ලබාගත් බවය. තම්බි මුදලිගේ පසුකාලීනයකු වූ  T.F. ජයවර්ධන විසින් කොළඹ කෞතුකාගාරයට භාර දී ඇති සිංහලේ අවසාන රජුට අයත්යැයි පැවසෙන රජුට ලන්දේසීන් පිරිනැමූ රත්තරන් ඔරලෝසුවක් තම්බි මුදලියර්ද රජුට සහ ඔහුගේ නෑදෑ පිරිසට අයත් වස්තුව කොල්ලකන ලද බවට සාක්කි සපයයි. කෙසේ නමුත් ඔවුන් පවසන්නේ එම ඔරලෝසුව රජු අල්ලාගෙන කොළඹට ගෙන එන අතරතුරේදී තම්බි මුදියන්සේ විසින් රජුට හොදින් සැලකූ බැවින් රජු විසින් එය ඔහුට පිරිනැමූ බවය. 
  • උඩරට අල්ලාගැනීමෙන් පසු නැවතත් ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ඇතිවිය හැකි බව පවසා ඒ සදහා නායකත්වය දිය හැකියැයි සැකකෙරෙන උඩරට ප්‍රධානීන් 18 දෙනෙකුගේ ලැයිස්තුවක් ඉංග්‍රිසීන්ට ඉදිරිපත් කල ඒඩ්‍රියන් එම නායකයන් අත් අඩංගුවට ගෙන මුහුදු බඩ පෙදෙස් වලට ගෙන යා යුතු යැයි යෝජනා කලමුත් ඉංග්‍රීසීන් නැවතත් ඔහුව නොසලා හරින ලදී.
  • එහි ප්‍රතිඵලය 1818 දී ඉංග්‍රීසීන්ට අත්විදින්නට සිදුවූවේ නිදහස උදෙසා ඇතිවූ උඩරට මහ කැරැල්ල පැනනැගීමත් සමගිණි. තමන්ව විශ්වාස නොකල සිය හාම්පුතුන් කෙරෙහි කිසිදු අහිතක් නොසිතා ඒඩ්‍රියන් නැවතත් සිංහල කැරලි නායකයන් සම්බන්ධ තොරතුරු ඉංග්‍රීසින්ට සපයමින් කැරැල්ල මර්ධනයට අනුපමේය සේවයක් සැපයීය.
1970-77 සමගි පෙරමුණු ආන්ඩුව ගෙනගිය දේශීය ආර්ථිකයක් සහ නොබැදුනු විදේශ ප්‍රතිපත්තියක් යන තේමාවන්ගෙන් බැහැරව නැවතත් රට නව යටත්විජිත්වාදී ආර්ථික ක්‍රමයක් කරා ගෙනයාමට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකල, සිය ඇමෙරිකන් ගැති  විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන්  'යැංකි ඩිකී' යනුවෙන් විරුදාවලි ලැබූ මෙරට පලමු ඩිධායක ජනපතිවරයා වන J.R, ජයවර්ධන යනු E.W. ජයවර්ධන සහ එකල ධනවත් ව්‍යාපාරිකයකු වූ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධනගේ* වැඩිමල් දියණිය වූ ඇග්නස් හෙලන් යුවළගේ වැඩිමහල් දරුවාය. E. W. ජයවර්ධන හෙවත් ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධනගෙ පියා ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන නම් විය. ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන යනු පුත්තලම කච්චේරියේ භාෂා පරිවර්තක මුදලි තනතුර හෙබවූ දොන් එබ්‍රරම් විජේසිංහ ජයවර්ධනගේ පුතෙකි. දොන් එබ්‍රරම් විජේසිංහ ජයවර්ධන යනු අපගේ කතා නායකයා වූ තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධනගේ එක් පුත්‍රයෙකි. දොන් එඩ්‍රියන්ගේ බිරිඳ ක්‍රිස්ටිනා කොරෙයා නම් තැනැත්තියකි**.

කිසියම් පරපුරක ආදිතමයන් රට පාවාදුන් අධිරාජ්‍යවාදීන්ගේ සුරතලුන් වූ පමනින් ඔවුන්ගෙන් පැවතෙන්නන්ද එසේම පරගැතියන් වන්නේයැයි පැවැසිය නොහැක. සිය පියාගේ අදූරදර්ශී ක්‍රියාපිලිවෙත හේතුවෙන් ඔඩු දිවූ තුවාලයක් බවට පත්වූ දෙමළ ඊලාම් බෙදුම්වාදි අරගලය මැඩපැවැත්වීමට ( LTTE සංවිධානය යනු අධිරාජ්‍යවාදින්ගේ බලල් අතකි) තිරෙන් පිටුපස සිට අනගි වැඩපිලිවෙලක් දියත් කල J.R. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන වුවද එයට දෙස් දෙයි***. නමුත් එය එසේ නොවන්නේද නොවන බව තම්බි මුදියන්සේ -යැංකි ඩිකී චරිත හැදෑරීමෙන් වටහා ගත හැක.

* තුඩුගල පවුලේ ඉතිහාසය සදහා The Tudugala Family, Some notes on the Tudugalas in the reign of Rajasinghe 2 - J.H.O. Paulusz බලන්න
** තම්බි මුදලියර්ගේ පරපුරේ වෙනත් පසුකාලිනයන් සම්බන්ධ තොරතුරු සදහා කියවන්න - තම්බි මුදියන්සේ,  රට පාවා දීමේ පුරෝගාමියා - ධර්ම ශ්‍රී කාරියවසම්
*** වැඩිදුර විස්තර සඳහා - For a Sovereign State, A True Story on Sri Lankan Separatist War - Malinga H. Gunaratne.




Tuesday, September 22, 2015

යැංකි ඩිකීගේ මීමුත්තා - තම්බි මුදලියර් හෙවත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන

තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒද්‍රියන් විජේසිංහ ජයවර්ධන. ......

සිංහලේ ඉතිහාසය වෙනස් කිරීමට ඉමහත් සේවයක් කල එහෙත් කාලයේ වැලි තලාවෙන් යටවි ගිය කුප්‍රකට චරිතයක් ලන්දේසි යුගයේදි කොළඹ කොටුව බාර අණදෙන නිලධාරීයා වූ කර්නල් ඩ්‍රිබර්ග්ගේ නිවසේ සේවකයකු වශයෙන් සේවය කලේය. ඔහුගේ පියා දකුනු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරලින් මෙහි පැමිණි ද්‍රවිඩ සම්භවයක් ඇති චෙට්ටි (Chetti) පරපුරකින් පැවත එන පුද්ගලයෙකි. ඔවුන්ගේ පරපුරේ යම් කිසිවෙකු සියනෑ කෝරලයේ වෙල්ගම පදිංචිව සිටි ජයවර්ධන පෙලපත් නාමය සහිත සිංහල කාන්තාවක් විවාහ කරගත් බැවින් අපගේ කතා නායකයාගේ පියා බුලත්ගේ ඒඩ්‍රියන් ජයවර්ධන නම් ගත්හ.

තම ස්වාමියාවූ ඩ්‍රිබර්ග්ගේ විශ්වාසවන්තම සේවකයෙකු බැවින් කල්යත්ම දොන් ඒද්‍රියන් විජේසිංහ ජයවර්ධන ලන්දේසි හමුදාවේ ඔත්තුකාරයෙකු බවට පත්විය. කෙටිකලක් එම කාර්යය මැනවින් ඉටුකල ඔහුට ලන්දේසීන්ගෙන් පැවරුන අවසාන රාජකාරිය වූවේ මීගමුව බලකොටුව අල්ලාගෙන ගොඩබිම් මාර්ගයෙන් කොළඹ බලා එමින් සිටි ඉංග්‍රිසි හමුදාව තුලට රිංගා චරපුරුෂයෙකු වශයෙන් තොරතුරු සෙවිමය. එම කාර්යය කරමින් සිටින අතරතුරේදි ඉංග්‍රිසීන්ට හෙලිවිමෙන් ඔහුට මරණීය දන්ඩනය නියම කරන්නේ ලන්දේසින්ගේ තොරතුරු ඉංග්‍රිසින් අතට පත් කර තම ජීවිතය බේරාගන්නා ලෙස කල යෝජනාව ඉවත දැමු බැවිනි. එහෙත් ඔහු ජීවිතය බේරාගන්නේ තමන්ට සිය ලන්දේසි ස්වාමිවරුන් පාවාදිය නොහැකි නමුත් යම් ආකාරයකින් ඉංග්‍රීසීන් කොළඹ කොටුව අල්ලාගතහොත් ලන්දේසීන්ට සේවය කල පරිද්දෙන්ම ඉංග්‍රීසීන්ටද සේවය කිරීමට හැකි බව පවසමිණි. ඔහුගේ කපටි නුවණ පලදරා අවසානයේ ඔහු ඉංග්‍රීසීන්ගේ ඔත්තුකරුවෙකු බවට පත්වෙන්නෙ සිදුවිය යුතු පරිද්දෙන්ම දුර්වල ලන්දේසි හමුදාව ඉංග්‍රීසීන්ට යටත් වී පසුබැසීම නිසාවෙනි.

මේ ඉංග්‍රීසීන් යටතේ ඔහු කල සේවයෙන් බිදක් ගොනු කර දැක්වීමකි. මේ විස්තර සදහන් වෙන්නේ ඔහුගේ අභාවයත් සමග 1830 මැයි 15 වෙනි දින දරන සිලෝන් ගැසට් (Ceylon Gazette) කලාපයේ ඔහු වෙනුවෙන් පලවූ අතිරේකයේය. උපුටා ගැනීම ධර්ම ශ්‍රී කාරියවසම් විසින් මෑතකදි පල කල තම්බි මුදියන්සේ - රට පාවා දීමේ පුරෝගාමියා# සහ 1815 කන්ද උඩරට සිංහල රාජධානිය සිය කපටි රාජ්‍යතාන්ත්‍රික නුවණ යොදවා උපක්‍රමශීලීව යටත් කරගැනීමේ මහාමොලකරු වූ ජෝන් ඩොයිලිගේ දිනපොතෙනි*. ඩොයිලි සිය දිනපොතේ කිහිප තැනකම තම්බි මුදලියර් විසින් සැපයූ උඩරට රාජධානියේ වැදගත් රහස් පිලිබද තොරතුරු සටහන් කරයි.

  •  1797 දී එවකට ඉංග්‍රීසීන් යටතේ පැවති වෙරලබඩ ප්‍රදේශ වල ඇතිවූ ජනතා කැරැල්ල පිලිබද තොරතුරු කැරැල්ල ඇතිවීමට පෙර කර්නල් ස්ටුවට්  වෙත සපයා විශාල මුදල් ත්‍යාග ලබාගැනීම.
  • මේජර් ජෙනරාල් මැක්ඩොවල් යටතේ 1800 දී දූත පිරිසක් මුවාවෙන් උඩරට රජුවෙත යැවූ භට පිරිසේ මගපෙන්වන්නා ලෙස කටයුතු කිරීම. එහිදි ඔහු කල සේවය අගය කිරීමක් වශයෙන් පසුව අතපත්තුවේ නිලලත් මුහන්දිරම් තනතුර (Titular Muhandiram of the Atapattu) ආන්ඩුකාරය විසින් පිරිනැමුනි.
  • කන්ද උඩරට අල්ලාගැනීම සදහා ඉංග්‍රීසින් 1803 කල අසාර්ථක ආක්‍රමණයේදී මගපෙන්වන්නෙකු ලෙස සහභාගීවීම සහ එහිදි රජුට එරෙහි වන්නෙකු ලෙස පෙනී සිටිමින් ඉංග්‍රීසීන් සමග කුමන්ත්‍රණ කල මහාධිකාරම වූ පිළිමතලාවේ විශ්වාස නොකරන ලෙස මැක්ඩොවල්ගෙන් ඉල්ලා සිටීම. එහෙත් එය නොපිලිගත් මැක්ඩොවල් පිළිමතලව්වේ විශ්වාස කිරීම හේතුවෙන් අවසානයේ උඩරට ඉතිරි වූ ඉංග්‍රීසි හමුදා පිළිමතලවුවේගේ කපටි උපක්‍රම අබිමුවේ සිංහල හමුදා අතින් සමූලඝාතනය වීමෙන් අවසන් විය.
  • නැවතවරක් ආන්ඩුකාර නෝර්ත් සමග සාකච්චා කිරීම සදහා මහාධිකාරම් පිළිමතලාවේ විසින් නොර්ත්ට දඹදෙනියට එනලෙස කල යෝජනාව ආන්ඩුකාර නෝර්ත්ව සිරකරුවෙකු ලෙස අල්ලාගැනීමට පිළිමතලව්වේගේ උපක්‍රමයක් විය හැකි බැවින් එය ප්‍රතික්ශේප කරන ලෙස ඉල්ලා සිටීම. නොර්ත් විසින් ඒඩ්‍රියන්ගේ ඉල්ලීම පිලිනොගත් නමුත් ඉංග්‍රීසීන්ට පසුව හෙලිදරව් වූයේ තම්බි මුදියන්සේගේ පැවසු පරිද්දෙන්ම මහාධිකාරම එවැනි උපායක් ක්‍රියාත්මක කිරීමට සිටි නමුත් නොර්ත් සමග ගිය භට පිරිස විශාල වීම හේතුවෙන් එය අත්හැර දැමූ බවය. තම්බි මුහන්දිරම්ගේ හෙලිදරව්ව සම්බන්ධයෙන් පැහැදුණු නෝර්ත් අණ්ඩුකාරයා ඔහුව අතපත්තුවේ බලය ලත් මුහන්දිරම් (Effective Muhandiram of the Atapattu) ලෙසට උසස් කරන ලදී.
  • ටික කලකට පසුව තම්බි මුහන්දිරම් ගෙනා තවත් ඔත්තුවකින් කියවුනේ 31000 ක සේනාවක් සමග කොළඹ කොටුවට පහරදීමට උඩරට සිංහල හමුදා සූදානම් වන බවය.උද්දච්ච ඉංග්‍රීසීන් නැවතත් ඔහුව නොසලකා හැරිය මුත් සිංහල හමුදා පැමින හංවැල්ල බලකොටුව වටලන තෙක්ම ඉංග්‍රීසින් එය නොදැන සිටියහ. කෙසේ නමුත් නැවත වරක් සිය අධිරාජ්‍යවාදී ස්වාමිවරුන්ගේ ගැලවුම්කරුවා වූ තම්බි මුහන්දිරම් ඉංග්‍රීසීන් සමග හංවැල්ල කොටුව බේරාගැනිමේ සටනට ස්වදේශික ලැස්කිරිඥ්ඥා භට පිරිස් වලට නායකත්වය දෙමින් ඉදිරිපත් විය. සටනින් ජයගත් ඉංග්‍රීසීන් තම්බි මුදියන්සේට වාසල මුදලිකම (Muhandiram of the Gate) සහ ඔත්තුකරුවන්ගේ මුදලිකම (Mudaliyar of the Guides) යන තානාන්තර දෙකම එකවර පිරිනැමීය. 
තම්බි මුදියන්සේගේ ඉංග්‍රීසීන් වෙනුවෙන් කල අගනා සේවය මින් නිම නොවේ. උඩරට රාජ්‍යය අල්ල ගැනීම සහ ඉන්පසු එය ඉංග්‍රීසීන් යටතේ චිරාත් කාලයක් තබාගැනීම උදෙසා ඔහු කල මෙහෙවර අපි වෙනත් දිනක සලකා බලමු. තම්බි මුදියන්සේගේ පරපුරේ පසුකාලීනයකු වන යැංකි ඩිකී ගැනද එහිදී සාකච්චා කරමු.  >> තම්බි මුදියන්සේලාගේ පරපුර

රූපය - 1869 දී කඩාදමමින් පැවැති කොළඹ පැරණි ලන්දේසි කොටුව.



  • Diary of Mr. John D'oyly - H.W. Codrinton, 1917
  • # 2015 සංශෝධිත දෙවැනි සංස්කරණය.