Showing posts with label Buvanekabahu. Show all posts
Showing posts with label Buvanekabahu. Show all posts

Wednesday, June 28, 2017

කෝට්ටේ කලාලේ දත මැදගන්න රාළේ - කුරහන් ගලක දළදාව සැගවූ අඳුරු යුගයක කතාව

දෙල්ගමුව රජමහා විහාරය - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
කිරවැල්ලේ හිරිපිටියේ දිව නිලමේ (දිය වඩන නිලමේ) කෝට්ටේ රාජධානියට පෘතුගීසීන් පහර දීමට පෙර දින මෙවන් සිහිනයක් දුටුවේලු. තමන් වෙත සිහිනයෙන් පිරිවැජි වෙසකින් පැමිණි එක්තරා පුද්ගලයෙක් "කෝට්ටේ කළාලේ කිසිල්ලේ - දත මැද ගන්න රාළේ." යැයි කීවේලු. එසැනින්ම නින්දෙන් පිබිද එහි අදහස කල්පනා කල ඔහුට හැඟුනේ කෝට්ටේත්, කළාලයත්  (පැදුර) කිසිල්ලට ගෙන දත මැද ගන්න යන අරුතට වඩා යමක් එහි ඇති බවය. එනිසා සිහිනයෙන් කී පරිදි දත් මැද කොට්ටය සහ පැදුර කිහිල්ලේ ගසා නොගත් හෙතෙම නුවණින් වැඩිදුරටත් විමසා සිහිනයේ අරුත මෙසේ වටහා ගත්තේලු. " රාළේ! කෝට්ටේට කළ ආලයෙන් කිසිම පලයක් නැත, දන්ත ධාතුන් වහන්සේ මධ්‍ය රාජධානියට ගෙන යන්න". ඉක්බිති හිරිපිටියේ දියවඩන නිලමේ නොපමාව ඇත් දතින් දළදා වහන්සේට සමානව සාදා තිබූ අනුරුවක් රන් කරඬුවේ තබා නියම ධාතුන්වහන්සේ සිරියේ (පිහිය) කොපුවේ සඟවාගෙන කැළණි ගඟේ දිවස්නා තොටින් රාත්‍රියේම එතෙරව සීතාවකට ගොස් එහි සිටි මායාදුන්නේ රජුට (ක්‍රි.ව. 1521 - 1581) දළදාව භාරදුන්නේලු. ජනප්‍රවාදගත තොරතුරු අනුව සහ ක්‍රි. ව. 1773 දී පමණ රචිත ලෙස සැලකෙන සුළු රාජාවලියට අනුව කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ දළදාව සබරගමුව පළාතට අයත් දෙල්ගමු වෙහෙරට පැමිණියේ ඒ ආකාරයටය.
දෙල්ගමුව රජමහා විහාරය - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
පෘතුගීසීන්ගේ කොතෙකුත් අපවාද, ගැරහුම් ලබමින් සහ සීතාවක රාජධානිය කරගනිමින් විසූ සිය සොයුරු  මායාදුන්නේ සමගද  නිරන්තරයෙන් යුද වදිමින්, කෝට්ටේ අගනුවර කරගනිමින් තුන් සිංහලේ පාලකයා ලෙස විසූ හත්වෙනි භුවනෙකබාහු (ක්‍රි.ව. 1521 -1551) ප්‍රතිකාල් සොල්දාදුවෙකු තැබූ වෙඩි පහරකින් මරුමුවට පත්විමට පෙර, සිය මුණිබුරු වූ ධර්මපාල කුමරුගේ පිළිරුවක් පෘතුගාලයේ රජතුමා (Dom Joao III) වෙත යවා පෘතුගාල් රජුගේ යටත් රජෙකු ලෙස ඔහුගෙන් පසු රාජ්‍යය හිමිවන ලෙසට එම පිළිරුවට කිරුළු පලන්දවන ලදී. භුවනෙකබාහුගෙන් පසු රාජ්‍යත්වය පත්වූ එම ධර්මපාල කුමරු (ක්‍රි.ව. 1551 - 1597) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිකාල්වරුන්ගේ රූකඩයක් විය. ඔහු වර්ෂ 1557 දී කතෝලික දහම වැලඳ ගෙන දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි මූලාශ්‍ර සහ රාජාවලියට අනුව Dom Joao Periya Pandar සහ දොන් ජීවන් පෙරියපන්දාර) නමින් බෞතිස්ම ලදහ. ඉන්පසු  කැළණි විහාරය සහ කෝට්ටේ දළදා මැදුර ඇතුළු සියළු බෞද්ධාගමික වෙහෙර විහාර වලට අයත් නින්දගම් ප්‍රැන්සිස්කන් නිකායේ පූජකයන්ට පිරිනැමූහ. මෙවන් වාතාවරනයක් යටතේ කෝට්ටේ නුවර සිටි සංඝයා සීතාවකට සහ කන්ද උඩරටට ගිය බව රාජාවලිය පවසයි. දළදා වහන්සේද මෙම කාලයේම පාහේ ඉහත ජනප්‍රවාදයේ එන ආකාරයට හෝ වෙනත් ක්‍රමයකට සීතාවක රාජධානියට අයත් වන්නට ඇත.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
හිරිපිටියේ නිලමේ සීතාවක රාජධානියට ගෙන ගිය දළදා වහන්සේ ඉන්පසු එම රාජධානියේ එවකට පාලකයා වූ මායාදුන්නේ හට ලබාදුන්නා විය හැක. හෙතම වැඩි ආරක්ෂාව පතා සීතාවක සිට තවදුරටත් රට ඇතුලට වන්නට පිහිටි දෙල්ගමුවේ ඒ වනවිටත් පැවති වෙහෙරක හෝ අලුතින් සෑදු වෙහෙරක දළදා ගෙයක් සාදා දළදා වහන්සේ තැන්පත් කල බව පෙනේ. ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව දෙල්ගමු වෙහෙරේ දළදාව තැන්පත් කර තිබුනේ සාමාන්‍ය කුරහන් ගලකට වඩා විශාල ප්‍රමාණයෙන් සෑදු කුරහන් ගලක් තුල තිබූ රහසිගත කුහරයකය. අදද එම වෙහෙරේ දැකිය හැකි මෙම කුරහන් ගල තුල යටි ගලේ කුහර දෙකක් ඇත. උඩ සිදුර අඟල් 4 ක් පමණ පහතට කොටා යටම සිදුර ඊටත් මහත් ලෙස සම සතරැස්ව සාරා තිබේ. ඒ තුල දළදා කරඬුව ආරක්ෂිතව තිබූ ලෙස පැවසේ. ප්‍රතිකාල් ආදී පරසතුරු උවදුරු මෙන්ම කෝට්ටේ, සීතාවක, සෙණ්කඩගලපුර ආදී ප්‍රාදේශිය රාජ්‍ය අතරද නිබදවම යුද ගැටුම් නොඅඩුව පැවති මෙම අවදියේ රාජ්‍යයේ සංකේතය වූ දළදා වහන්සේ රැක ගැනීම දේශපාලනිකව කෙතරම් වැදගත් වූවේද යන්න මින් පෙන්නුම් කෙරේ.
ගල් ආසනය
රත්නපුර සමන් දේවාලයේ ඇති පැරණි ලේකම් මිටිය උපුටා දක්වමින් කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන්නේ සීතාවක රාජසිංහයන් (ක්‍රි.ව. 1581 - 1593) විසින් දෙල්ගමුවේ වැඩසිටි දළදා වහන්සේට දෙල්ගමුව, හඳගිරිය, මස් ඉඹුල, කුට්ටාපිටිය, පැල්මඩුල්ල හා ගනේගොඩ  යන ගම් සය සහ නෙළුම්දෙණිය නව අමුණ පූජා කල බවය.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල
එම සීතාවක පළවෙනි රාජසිංහ රජු කල අලගියවන්න මුකවෙටි විසින් රචනා කරන ලද සැවුල් අස්න හෙවත් සැවුල් සංදේශය (ක්‍රි.ව. 1581 - 1585 ) දෙල්ගමු වෙහෙර සහ එහි තිබූ දළදා මාලිගය පිළිබඳ කවි කිහිපයකින්ම වර්ණනා කරයි.

උදු ළිය සඳ කිරණ මිහි පිට හුණු ලෙසට
සුදු වැලි අතුළ වැලි මළුයෙන් සැදි සුමට
රුදු නත දරණ යුරු පවුරෙනි යුතු අවට
වදු ම මිතුර දෙල්ගමු වෙහෙර ලැගුමට

ලොවැනොමදින් පිරි ගනඳුරු දමා දුර
සිය කිරණින් හිරු පැමිණෙත උදා ගිර
ලැගි නිවෙසින් නැඟැ තෙරුවන් මෙනේ කැර
මිතුර වඩින් දළදා ගෙට මනෝහර

මෙම දළදා මැදුරේ රුවන් කරඬුවක් තුළ දළදා වහන්සේ තැන්පත් කර තිබූ බව මින් පසු එන පැදි වලින් විස්තර වේ. මෙහි එන තවත් කවකින් කියැවෙන්නේ දෙල්ගමු වෙහෙරේ සධාතුක දාගැබක්, බුදු පිළිමයක් සහ බෝ ගසක්ද තිබූ බවයි. එසේම එහි එවකට විහාරාධිපති ලෙස වැඩ විසූ මිහිඳු ලකර තෙර හිමියන් (එනම් මහින්දාලංකාර මහා ස්ථවිරයන් ) ගැනද දස පද සැහැල්ලකින් විස්තර කෙරේ.
වර්තමානයේ ඉහත කුරහන් ගල තබා තිබෙන කුඩා විහාර ගෙය
මේ යුගයේදී දළදාව පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ කන්ද උඩරට පළමුවන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1591 - 1604) පිළිබඳව එන විස්තරයේදීය. එතුමා මුලින් පෘතුගීසීන් සමග සිට, ගෝවට ගොස් කොනප්පු බණ්ඩාර නමින් කතෝලික ආගම වැලැඳ බෞතිස්ම ලැබූහ. පසුව කන්ද උඩරට අල්ලා ගත් පෘතුගීසින් එහි තැබූ රූකඩ පාලකයා වන යමසිංහ බණ්ඩාර මරා කොනප්පු බණ්ඩාර නැවතත් බෞද්ධාගම වැලඳ පළමුවන විමලධර්මසූරිය නමින් රජවී, වැටී සිටි සිංහල ජාතියට ශක්තිමත් නායකත්වයක් සැපයීහ. මහාවංශයේ විස්තර වන පරිදි නගරයේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමෙන් පසු එතුමා සර්වඥයන්වහන්සේගේ දන්ත ධාතූන් කොහිදැයි විචාරා එය ලබුජගාම විහාරයේ ආරක්ෂිතව ඇති බව දැන, බෙහෙවින් සතුටු වී, සපරගමු දිසාවේ ලබුජගාමයේ සිට තමන්ගේ පුරවරයට දන්ත ධාතුව වඩා ගෙන්වා එහි දෙමහල් පහයක තබා වඳිනටද, වත් පිළිවෙත් කරන්නටද වූහ. එම ලබුජගාම යන්න පෙල බසට පෙරළු සිංහල දෙල්ගමු යන්න බව පෙනේ.
දෙල්ගමුව විහාරගෙය - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
1593 දී සිදුවූ පළමුවන රාජසිංහයන්ගේ මරණයත් සමග සීතාවක රාජධානියට අයත් ප්‍රදේශ පෘතුගීසීන් යටතට පත්විය. ඒ ආසන්න කාලයකදී සිදුවු දෙල්ගමුවේ සිට දළදාව සෙන්කඩගලපුරට ගෙන ඒමත් සමගම දෙල්ගමුව විහාරය සහ දළදා මාලිගය ඇතැම්විට පෘතුගීසි කොල්ලකෑම් වලට ලක්වන්නට ඇත. ඉහත විස්තර වූ කුරහන් ගල සහ ගල් ආසනයක් පමණක් පැරණි දේ ලෙසට දැනට මෙම ස්ථානයේ ඉතිරි වී ඇත. මෙම ස්ථානයේ පෘතුගීසි බලකොටුවක් තිබූ බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන මුත් ඒ කුමන මූලාශ්‍රයක් පදනම් කරගෙනද යන්න පැහැදිලි නැත. ස්ථානය වල් බිහිවී ගිය පසු එම ස්ථානයට පැමිණි කොළඹ සද්ධාතිස්ස නම් භික්ෂුන්වහන්සේ නමක් වර්තමාන විහාරය ආරම්භ කල බව පැවසේ.
දෙල්ගමුව විහාරගෙය - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
එදා සිංහල ජාතියට සහ බෞද්ධාගමට තිබූ තර්ජනයම අඩු වැඩි ආකාරයෙන් අදද නැවතත් සියවස් ගණනාවකට පසු ඇතිවී ඇත. '1948 නිදහසින්' පසු ප්‍රථම වතාවට අන්තර්ජාතික මංකොල්ලකරුවන් පිරිසකට මේ රට ජාතිය සහ සමය ජාතියක් ජම්මයක් නැති මහා ජනතාව විසින්ම සිය කැමැත්තෙන් භාරදී තෙවසරක් ගෙවී යමින් තිබේ. රටේ ආර්ථිකයේ හදවත බඳු මහා බැංකුව මංකොල්ලකෑමෙන් නොනැවතී දඹුලු පන්සලේ පිංකැටයටද කෙල හලන බහිරවයන් පිරිසක් මේ වනවිට බිහිවී ඇත. එම බහිරවයන් පිරිස නුදුරේම දළදා මාළිගයටද අත තබනු ඇත. පෘතුගීසින්ට හපන් කොල්ලකරුවන් වන මේ අමන රැල දොන් ජුවන් ධර්මපාලටද වඩා බෞද්ධ විරෝධිය, දේශද්‍රෝහිය. මේ නිසා දොන් ජුවන් ධර්මපාලගෙන් දළදාව බේරාගත් හිරිපිටියේ නිලමෙලා මේ රටට වැඩි වැඩියෙන් අවැසි මොහොතකි මේ. දොන් ජුවන් වික්කමසිංහලා සහ දොන් ජුවන් හිටංලා වෙනුවට විමලධර්මසූරිය, මායාදුන්නේ, රාජසිංහ වැනි ශ්‍රේෂ්ඨ නරපතියෙකුද මියැදෙන ජාතිය ඉල්ලා සිටී.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
මූලාශ්‍ර
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • සපරගමුවේ පැරණි ලියවිලි, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1942
  • සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967
  • සැවුල් සංදේශය
  • සපරගමු වංශකතාව, 2 වෙළුම, 2003
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913
  • Portuguese Rule in Ceylon 1594-1612, Tikiri Abeyasinghe, 1966
  • The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume 1 1505 - 1565, V. Perniola S.J. 1989
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • දේව පුරාණය සමන් දෙවිඳු හා සමන් දෙවොල, මඩලගම වජිරබුද්ධි හිමි, 2007
  • දළදා ඉතිහාසය සහ සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර ස්ථවිර, 2008

Monday, December 21, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 4 - හය වැනි පරාක්‍රමබාහුගේ Central Cafe දෙමළ සෙල්ලිපිය සහ සපුමල් කුමරුගේ නල්ලුර් කන්දසාමි කෝවිල

හුණුගලක දෙමළ අකුරු වලින් කොටා තිබූ සෙල්ලිපියක් යාපනයේ ප්‍රධාන වීදීයේ (Main Street) පිහිටි Central Cafe නම් වූ වෙළඳ සැලක දොරක් අභියස බිමට අතුරා කිසිවෙකුගේ අවධානයට ලක් නොවී වසර ගණනාවක්ම තිබුනි. එම වෙළඳ සැලට ඉදිරියෙන්ම පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ සේවකයන්ද දිනපතාම පාහේ මෙම ස්ථානයට තේ පානය සඳහා පැමිණි මුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය වර්ෂ 1968 වනතුරුම අනාවරනය වූවේ නැත.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
වර්ෂ 1915 දී  Yalppana Carittiram නමින් මුත්තුසාමි නම් වූ පුද්ගලයෙක් කල ග්‍රන්ථයක එන සඳහනකට අනුව පෘතුගීසීන් විසින් නල්ලුර් නගරය විනාශ කිරීමෙන් පසු එහි තිබූ ගොඩනැගිලි වල ගඩොල් සහ ගල් කනු ආදිය යාපනය කොටුව සහ නිවාස සෑදීමට උපයෝගි කරගෙන ඇති අතර යාපනයේ පැරණි නගරයේ පරංගී විදියේ (වර්තමානයේ Main Street හෙවත් ප්‍රධාන විදිය ) පිහිටි පජානානන්තර්ගේ පැරැණි නිවසේ පඩියකට යොදාගෙන ඇත්තේද අකුරු කෙටූ එවන් ගලකි. පජානානන්තර්ගේ එම නිවස අප මෙහි සඳහන් කල Central Cafe සහ වෙනත් වෙළඳ සැල් පිහිටි 18 වන ශතවර්ෂයේ අවසාන භාගයේ හෝ 19 වන ශතවර්ශයේ මුල්භාගයේ පමණ ඉදිකල බව හැඟෙන ගොඩනැගිල්ල බව මේ පිළිබඳව කරුණු සෙවූ ඉහත සඳහන් සෙල්ලිපිය පසුව පරිවර්තනය කර Epigraphia Tamilica පලමු වෙලුමේ ඉදිරිපත් කල මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල (Karthigesu Indrapala) මහතා හඳුනා ගනී.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
කැබැලි වූ මෙම සෙල්ලිපියේ පේලි 25 පමණ ඇති මුත් ඉන් කියවිය හැකි මට්ටමේ පවතින්නේ පේලි 15 පමණි.  ලිපිය ආරම්භයේම ඇති  'ශ්‍රී' අකුර ග්‍රන්ථ අක්ෂර වලින් සහ ඉතිරි කොටස 15 වන ශතවර්ෂයේ භාවිත දෙමළ අකුරු වලින් රචිත මෙම ලිපිය කෝට්ටේ සිට තුන් සිංහලය අවසාන වරට එක්සේසත් කල 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ නයිම්මන සහ මුන්නේස්වරම් (කියවන්න සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා) දෙමළ සෙල් ලිපි වලට බොහෝ දුරට සමාන කමක් දක්වයි. ලිපිය පිහිටුවීමේ අරමුණ සඳහන් කොටස ගෙවී ගොස් ඇති බැවින් කියවිය හැකි කොටසින් අනාවරනය වනුයේ එය පිහිටවූ රජතුමාගේ නම පමණි. ශ්‍රී සංඝබෝධිවර්මන් ත්‍රිභුවණ චක්‍රවර්ති  ශ්‍රී පරාක්‍රමබාහු දේවා ලෙස සඳහන් එම රජු හඳුනා ගැනීම එතරම් අපහසු නැත. 15 වන සියවසේ එම නමින් යාපනය ප්‍රදේශය හා සම්බන්ධව නම කියවෙන්නේ ඉහත සඳහන් සෙල්ලිපි දෙකෙහිද සඳහන් 6 වන පරාක්‍රමබාහු (ක්‍රි.ව.1412 - 1467) රජු පමණි.

නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරි න
දුල කර සේසත් මිණිබරණ කිරණි    න
බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙ    න
බල සේනානායක සපු කුමරු එ        න

සැළළිහිණි සංදේශයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් එලෙසින් වර්ණනා කරන්නේ පරාක්‍රමබාහුගේ හදාවඩා ගත් දරුවෙකු වන සේනානායක සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල්, ආර්යචක්‍රවර්ති නම් වූ යාපා පටුන ප්‍රදේශයේ බලය පැතිරවූ ප්‍රාදේශිය රජු මරා ඔහුගේ රාජධානියේ බලය අල්ලා ගෙන නැවැත පැමිණෙන අයුරුය. ඉන් පසු එම සපුමල් කුමරු යාපා පටුනේ පරාක්‍රමබාහු යටතේ පාලනය මෙහෙය වූ බව රාජාවලිය පවසයි. වර්තමානයේ නල්ලුර් වල තිබෙන කන්දසාමි කෝවිල හෙවත් කතරගම දෙවිඳුන් සඳහා පුද කල දේවාලය පිහිටුවන්නේද එම සපුමල් කුමාරයාය. ඒ බව අදටත් එම දෙවොලේ ගැයෙන කත්තියම් (Kattiyam) වල සඳහන් වේ (6 වන පරාක්‍රමබාහුට පසුව භුවනෙකභාහු ලෙසින් කෝට්ටේ රජ වන සපුමල් කුමරු එම කත්තියම් වල හැඳින්වෙන්නේ ශ්‍රී සංඝබෝධි භුවනෙකබාහු ලෙසිනි.). එසේ නම් මෙම ලිපිය එම යාපා පටුන ජයගැනීම ගැන හෝ නල්ලුර් දේවාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ සඳහනක් විය නොහැකිද?

* 70 දශකය වන විටත් Central Cafe භූමියේ පිහිටි එම සෙල්ලිපියේ වර්තමාන ඉරණම පිළිබඳව ලිඛිත මූලාශ්‍ර වල කිසිවක් සඳහන් නොවේ.

සම්බන්ධිත පෙර ලිපි
මූලාශ්‍ර 
  • Epigraphia Tamilica, A Journal of Tamil Epigraphy Volume 1, Part 1, Edited by Karthigesu Indrapala, Jaffna Archaeological Society, 1971.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සැළළිහිණි සංදේශය
  • Pieris P.E., 1917, Nagadipa and Buddhist remains in Jaffna, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume XXVI, 70.
  • Ancient Jaffna, Mudaliyar C. Rasanayagam, 1926

Friday, November 6, 2015

17 වන සියවසේදි ප්‍රැන්සිස්කානු නිකායට බිලිවූ බොදු පුදබිම්.

කතෝලික දහම මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමින් ලෙස සැලකිය හැක්කේ 1534 දී ප්‍රථම වරට කෝට්ටේ
රජුගේ ඇරයුමින් මෙරටට පැමිණි ප්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ය. රටේ අනිකුත් ප්‍රදේශ වල බලය පතුරුවාගෙන සිටි ප්‍රාදේශිය රජුන් සමග වූ - විශේෂයෙන්ම සීතාවක රාජධානියේ මායාදුන්නේ සමග - අභ්‍යන්තර අරගල වලින් හෙම්බත් වී සිටි කෝට්ටේ පාලකයා වූ බුවනෙකබාහු මේ ඇරයුම කරන ලද්දේ හුදෙක් පෘතුගීසීන්ගේ හොඳහිත දිනාගැනීමට විනා ඔහුට කතෝලික දහම මෙරට පතුරුවාලීමට හෝ තමාට එම දහම වැලඳගැනීමට හෝ කිසිදු වුවමනාවක් නොවූ බව පෘතුගීසීන්ගේ දැඩි බලකිරීම් මධ්‍යයේ  පවා ඔහු මරණය දක්වාම බෞද්ධයකුව සිටීමෙන් පැහැදිලි වේ.* මෙරට පාලකයකු ලෙස පලමුවරට කතෝලිකයකු වන්නේ දොන් ජුවන් ධර්මපාල නමින් ප්‍රකටව සිටි ඔහුගේ මුණුබුරාය.

තමන් අදහන දහම විනා අන් කිසිදු ආගමක් නොතැකූ පෘතුගීසින් තමන්ගේ අණසක පතුරුවාලිය හැකි පෙදෙසේ වූ එවන් අනිකුත් ආගමික මධ්‍යස්ථාන විනාශ කරමින් නොනැවතී එවන් ස්ථාන වල කතෝලික දෙව් මැදුරු ඉදි කිරීම සහ බෞද්ධ විහාර සහ දේවාල ගම් වල ආදායම එම පල්ලිවරට පවරා දීමද සිදු කලහ.

වර්ෂ 1631 වන විට ප්‍රැන්සිස්කානු නිකායේ පමණක් දෙව් මැදුරු 54 දිවයිනේ බටහිර වෙරල තීරයේ වූ බවට Paul da Trindade ඔහුගේ Conquista Espiritual do Oriente නම් කෘතියේ පවසයි. ඔහු එක් එක් දේවස්ථාන පිළිබදව කෙටි හැදින්වීමක්ද දෙන අතර එම දේවස්ථාන ගොඩනැගීමට පෙර එම ස්ථානයේ වූ "මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ" ආගමික ආයතන පිළිබදවද ඇතැම් විට සදහන් කරයි. මේ ඒ ඇසුරින් සම්පාදිත ලිපියකි. මේ ඇතැම් ස්ථාන වල වර්තමානයේ පවා පැරණි විහාර වල නටබුන් දැකිය හැකි අතර එම ස්ථාන වල ඡායාරූපද මේ සමග පලවේ.  උපුටාගැනීම මෙරට කතෝලික පල්ලියේ ඉතිහාසය The Catholic Church in Sri Lanka නම් වූ  අගනා ග්‍රන්ථ පෙලක් මගින් ලොවට හෙලිකල V. ෆර්නියෝලා (V. Perniola) පියතුමාගේ පෘතුගීසී යුගය සම්බන්ධ එහි දෙවන වෙලුමේ වූ ට්‍රිනිඩේඩ් ගේ කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනයේ කොටස් වලිනි.

නවගමුව 
Nagao ලෙසින් හඳුවන මල්වාන ආසන්නයේ 'ගම් නවය' යන තේරුමින් යුත් ග්‍රාමයේ තිබූ බව පවසන මෙම ස්ථානය හඳුනාගැනීම අපහසු නැත. ඒ අද දිනයේ නවගමුව පත්තිනි දේවාලය පිහිටි ස්ථානයයි. නවගමුව ගම මිත්‍යාලබ්ධික රජු විසින් එම ස්ථානයේ කලින් තිබූ විශාල ගොඩනැගිලි වලින් සමන්විත ඉතා අනර්ඝ විහාරයට පූජා කර තිබූ බවත් එම විහාරය පිහිටි ස්ථානයේ දැන් සාන්ත ජෙරම් (Glorious doctor St Jerome) උදෙසා පූජාකල දේවස්ථානය පිහිටි බවත් ට්‍රිනිඩේඩ් පවසයි. 1631 වන විට එම ගමේ ක්‍රිස්තු භක්තිකයන් 2123 සිටි බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මාපිටිගම
කලින් සිංහලයන්ගේ ප්‍රසිද්ධ විහාරයක් පිහිටි ස්ථානයක කැලණි ගඟ ආසන්නයේම මාපිටිගම (Mapitigao) දේවස්ථානයක් පිහිටා තිබූ බව ට්‍රිනිඩේඩ් පවසයි. පැරණි විහාරයේ නටබුන් ඒ වනවිටද දක්නට තිබූ බව වැඩි දුරටත් ඔහු හෙලි කරසිටී. මේ අද මාපිටිගම ලෙසින් හැදින්වෙන ප්‍රදේශය බව Mapitigao යන්නෙහි අරුත "ගමේ විශාල කුඹුර"(The big field of the village) යනුවෙන් අර්ථ දක්වා තිබීමෙන් පැහැදිලි වේ. කලින් කැප්ටන් ජෙනරාල් ලෙස සිටි අසවේදු (Dom Hieronimo d' Azevedo) විසින් මෙම දේවස්ථානය පිහිට වූ බවත්, 1631 වන විට ගංවතුර හේතුවෙන් එය බෙහෙවින් විනාශ වි තිබූ බවත්, ඒ නිසා වඩා උස් ස්ථානයකට ගෙන යෑමට ඒ වන විට අදහස් කර තිබූ බවත් හෙතෙම පවසයි.  එම දේවස්ථානයට අනුයුක්තව බැතිමතුන් 1278 සිටි බව පැවසේ. මෙම භූමිය පිහිටි නිශ්චිත ස්ථානය හඳුනාගැනීමට හැකිවී නැත.

කැළණිය
පෙර කල කෝට්ටේ රජතුමාගේ නිවාඩු නිකේතන මාලිගාව පිහිටි ස්ථානයේ ශාන්ත බර්තලමියු දේවස්ථානය (Church of San Bartholomeu of Calane) පිහිටා ඇති බව ට්‍රිනිඩේඩ් පවසයි. රජ වාසලේ පාදම පමනක් එවකට දක්නට තිබූ බව ඔහු වැඩි දුරටත් හෙලි කර සිටී.

වත්තල
කලින් ස්වදේශිකයන්ගේ විහාරයක් පිහිටා තිබූ ස්ථානයක කොළඹ සහ මීගමුව අතර ගඟ තරනය කල පසු හමුවන කුඩා දේවස්ථානයක් ගැන ට්‍රිනිඩේඩ් සදහන් කරයි.  ශාන්ත ජේම්ස්(St james) සදහා පුද කල එය පිහිටි බව පවසන Betal යනු වර්තමාන වත්තල ප්‍රදේශයයි.  එහි ක්‍රිස්තු භක්තිකයන් 730 සිටි බව පැවසේ.

මෙවන් විනාශයන් සිදු කල පෘතුගීසින් මෙරටට පැමිණ වසර 500 ගතවූ 2005 දී එවකට පෘතුගීසි අගමැතිවරයාද කැන්දාගෙන එය සැමරීමට නැකත් බැලු දෙවන දොන් ජුවන් ධර්මපාල කෙනෙකුද 2002 වන විට මෙරට පහල වී සිටියහ.ජාතියේ වාසනාවට 2004 දී ඔහුට සියල්ලු අකුලාගෙන පල්ලම් බැසීමට සිදුවීමෙන් එම උත්සාහය ව්‍යවර්ත වී ගිය මුත් ඉන් වසර 10 කට පසු 'පරංගියා' නැවතත් මෝඩ සිංහලයන්ගේ කරපිටින්ම ජය ලබා ඇත.

දකුනු මුහුදු තීරයේ ප්‍රැන්සිස්කානු දේවස්ථාන වලට බිලීවූ බෞද්ධ පුදබිම් ගැන විස්තරත් සමග නැවත හමුවෙමු.

මූලාශ්‍ර
    
   * Historical Sketches (Ceylon Church History), Father S.G. Perera S.J., 1962
      The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume III 1620-1658, V. Perniola s.j., 1991

මේ සමග පලවන්නේ නවගමුව දේවාල පරිශ්‍රයේ වර්තමාන ගොඩනැගිලි වටා අතරින් පතර දක්නට ලැබෙන පැරණි ශෛලමය නටබුන් වල ඡායාරූප වේ.