Sunday, January 13, 2019

මව් ආරේ එල්ලංගා, ඌරුසිටා වැවේ සොරොව්ව සහ මහාගාමයේ පැරණි සිංහල වාරි තාක්ෂණය

මෑතක් වනතුරුම මෙරට නූතන වාරිකර්මාන්ත පිළිබඳ බටහිර විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් විමර්ශනය කර, සැලසුම් සම්පාදනය කල වාරි විශේෂඥයන් පවා වැවක් සැලකුවේ ජලය රැස්කර තබාගන්නා ටැන්කියක් ලෙසිනි. එක් එක් වැව් වෙන වෙනම ගෙන ඔවුන් සැලසුම් සැදුවේ එම අනවබෝධය පෙරදැරි කරගෙනය. ඔවුන්ගේ අරමුණ වූවේ වැව් වල පැරණි බැමි හැකි තරම් උස් කර වැඩි වතුර ප්‍රමාණයක් රැස් කරගැනීම කෙරෙහිය. එක් වැවක හෝ ජලාශයක සිට වෙනත් ජලාශයකට ජලය ගෙන යන ඇල මාර්ග කොන්ක්‍රිට් කලේ එම ගමනේදී ඔවුන් සිතන ලෙසට "පොළොවට කාන්දු වී අපතේ යන ජල සම්පත" හැකිතාක් අවම කරගැනීමටය. එහෙත් "වියලි කලාපය" ලෙස අද හැඳින්වෙන අපගේ පැරණි සිංහල බෞද්ධ සභ්‍යත්වය පැතිර තිබූ රජරට සහ රුහුණු රටේ තැනිතලා බිම් වල පැතිර ඇති වැව් එසේ හුදකලාව පිහිටි වැව් නොවන බවත්, ඒවා එකිනෙකට මනාව බද්ධ වූ එකක් අනික මත යැපෙන එක් පද්ධතියක් බවත් පසුගිය දශක කිහිපයේ වැව් පිළිබඳව අධ්‍යනය කල විද්වතුන් පෙන්වා දී ඇත. 

එල්ලංගාව
 කුඩා නිම්නයක ඉහලින්ම පිහිටි වැවක සිට වෙල් යායකටත්, වෙල් යායෙන් නැවතත් වැවකටත් ආදී වශයෙන් සිදුවන ජලාපවහනය වන රටාවට "කැස්කේඩ්" (Cascade) යන නම මුල් වරට මහාචාර්ය C.M. මද්දුම බණ්ඩාර මහතා 1985 දී පමණ යෝජනා කල මුත්, පසු කාලීනව (වසර 2000 දී පමණ) එවන් පද්ධතියක් උදෙසා එල්ලංගාව යන නම ගැමියන් අතරම භාවිතා වන බව ආචාර්ය M.U.A. තෙන්නකෝන් මහතා විසින් පෙන්වා දී ඇත. වැවකින් වැවකට වතුර ගලායන ආකාරයට එල්ලංගාවක් එහි තුන් පැත්තකින්ම කඳු රැහැන් හෝ හින්න මගින් වටවී ඇති අතර එහි යටාවතේ මායිම ඔයක් හෝ විශාල ජලාශයක් වේ (සිතියම 1 බලන්න). එල්ලංගාවක උසම මුදුනතේ සිට යටාවතේ විශාල ජලාශය හෝ ඔය දක්වා දිවෙන ඇලමාර්ගය බොහෝවිට වසරේ වැසි සහිත මාස කිහිපය තුල පමණක් දිය රඳන තාවකාලික ඇල මාර්ගයකි. 
සිතියම 1 - නූතන සහ පුරාතන ජලය රැස්කර තබාගැනීමේ තාක්ෂණික ක්‍රම වල වෙනස මෙම සිතියමින් මනාව පැහැදිලි වේ. වම් පස ඇති විශාල උඩවලවේ ජලාශය නූතන නිර්මාණයක් වන අතර කුඩා වැව් සිය ගණනක ජලය ගබඩා කර තබා පහල පිහිටි විශාල වැවක් අනුක්‍රමිකව අවශ්‍ය විට පුරවා ගැනීම පුරාතන ශිල්පීය උපක්‍රමය විය

සිතියම 2 - සිතියම 1 න් ආවරණය වන කලාපය මෙම සිතියමින් පෙන්වා ඇත.
කුළු වැව්/උල්පත් වැව්
මෙවන් එල්ලංගා පද්ධති වල දැකිය හැකි වැව් වර්ගයකි කුළු වැව්. "කුළු" යන වචනයෙන් කැලෑ යන අදහස ගත හැකි බැවින් (උදා: කුළු හරක් එනම් කැලෑගත වූ හරක් ) කුළු වැව් යන්නෙහි අර්ථය "කැලෑ වැව්" ලෙසද ගනු ලැබේ. එල්ලංගා පද්ධති වල බොහෝවිට වේගවත්ව දිය පාරවල් ගලා යන උස් ප්‍රදේශ වල එනම් එල්ලංගා පද්ධති වල උඩාවතේ දැකිය හැකි මෙම වැව් වල සොරොව් නොමැත. වේගයෙන් ගලා එන දියපාරවල් හරස් කර පස් බැම්මක් බැඳීමෙන් ඉදි කරන මෙම කුඩා වැව් වර්ෂාවත් සමග ජලයෙන් පිරී එහි බැම්මේ එක් තැනක ගල් යොදා සවි ගැන්වූ පැන්නුමකින් ගලා ගොස් එම ඔයටම එක් වන්නේ ජල පහරේ ගලා ආ රොන් මඩ ආදිය කුළු වැව තුල රඳවා තබා ගනිමිනි. මේ නිසා එම රොන්මඩ සහිත ජලය එකවර ගලා ගොස් පහල පිහිටි විශාල වැව් තුල තැන්පත් වීම වලකී. එයට අමතරව සුළු ප්‍රමණයෙන් වුවද ජලය තැන්පත් කර තබා ගැනීම හේතුවෙන් වැව් ඉහත්තාවේ භූගත ජල මට්ටම වැඩිවේ. කැලෑව තුල වූ කුළු වැව් වල මෙම භූගත ජල මට්ටම ඉහල දැමීමේ කාර්යය හේතුවෙන් ඒ අවට ශාක ප්‍රජාවට පමණක් නොව වන සතුන්ටද එය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. තවද එම භූගත ජලය එක්වර මහා වැව් වෙත ගලා නොගොස් මහවැසි අවසන් වුවද පොළොව තුලින් කාන්දු වීමෙන් උල්පත් ජලය ලෙස මහවැව පෝෂණය කරයි (මේ හේතූන් නිසා කුළු වැව් උල්පත් වැව් ලෙසින්ද හැඳින්වේ). රොන්මඩ සහ පාංශු කොටස් රඳවා තබා ගැනීම කුල්ලකින් කරන කාර්යය මෙන් වන නිසා කුළු වැව් එනම් ලැබූ බවටද පැවසේ. කුළු වැවේ තැන්පත් වන රොන්මඩ ඉවත් කිරීම මහ වැවක වසර ගණනාවක් පුරා එකතු වූ පසු ඒවා ඉවත් කිරීම තරම් අපහසු නොවන බව අපේ පැරණි සිංහලයන් තේරුම් ගත් මුත් පසුකාලීනව එම ඇතැම් කුළු වැව් වලට සොරොව් යොදා කුඩා කුඹුරු ප්‍රදේශ අස්වැද්දීමට යොදා ගැනීම හේතුවෙන් කුළු වැවේ කාර්යය ඉටු නොවී පහල පිහිටි මහවැව් රොන්මඩින් පිරී ගොස් එහි ධාරිතාවයන් අඩුවී ඇත.
මහගම වැව 
බිසෝවැව් 
විශාල කුළු වැව් ආකාරයේ වැව් ඇතැම් විට බිසෝවැව් ලෙසද හඳුන්වා ඇත. මේවා එක්තරා දුරකට ජලය ගබඩාකර තබාගෙන අවශ්‍ය විට වරින් වර පහල පිහිටි මහ වැව වෙත මුදා හැරීම උදෙසා තනා තිබී ඇත. ඒ සඳහා එම වැව් වල බිසෝකොටු සාදා තිබී ඇති අතර ඒ මගින් ජලය අවශ්‍ය විට ප්‍රධාන වැව දෙසට ජලය ගලා යන ඔයට මුදා හරී. 

එල්ලංගා පද්ධති, කුළු වැව්, සහ බිසෝ වැව් පිළිබඳව මෙම කෙටි හැඳින්වීම අපගේ ප්‍රස්තුතය උදෙසා පූර්විකාවක් ලෙස ඉදිරිපත් කල අතර මෙම ලිපියේ අවධානය මූලික වශයෙන් අප මෙයට පෙර ලිපියකින් තොරතුරු ඉදිරිපත් කල පණ්ඩිකුලම නොහොත් මහගම වැව නොහොත් ඌරුසිටා වැව මූලික කරගත් එල්ලංගා පද්ධති සහ එහි අගනා නාග රූපයක කැටයමක්ද සහිත පැරණි සොරොව්ව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම උදෙසා යොමු වේ (පෙර ලිපිය කියවීමට Link>>).
රූපය  1 - මහගම  වැවේ සිට එන ජලය බිසෝකොටුවට ඇතුළු වන ස්ථානය
වලවේ ගඟේ ඉහළ නිම්නයේ කෝන්ගල බින්තැන්නේ සිට ගලා බසින මා ආර හෙවත් මව් ආර ලෙසින් හැඳින්වෙන ඔයෙහි (වර්තමානයේ මව් ආර ලෙස හැඳින්වුවද මා ආර ලෙසින්ද එය හඳුන්වා ඇති බව පෙනේ. කෙසේ නමුත් "ප්‍රධාන ඔය" යන අර්ථයෙන් එම නම් දෙකම එයට මනාව ගැලපේ.) එහි ඉහළම ඇති හම්බේගමුව වැවේ සිට මහගම වැව දක්වා සෘජු දුර සැතපුම් 15 ක් පමණ වන මුළු ප්‍රදේශය පුරා ඇති මව් ආරේ අතු ඉති වල බඳවා ඇති ලොකු කුඩා වැව් ප්‍රමාණය 440 පමණ වේ. එම වැව් සියල්ල වර්ග සැතපුම් 142 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇත. මෙම වැව් බොහොමයක් කුළු වැව් හෙවත් "වැටි වැව්" ලෙස උදුල බණ්ඩාර අවුසදහාමි මහතා හඳුන්වා ඇත.  (සිතියම 1 බලන්න)
රූපය 2 - බිසෝකොටුවෙන් ජලය පිටවන විවර දෙක
මෙම ප්‍රදේශයේ R.L. බ්‍රොහියර් ඉදිරිපත් කරන පැරණි අඟලේ සිතියම් වල දක්වා ඇති වැව් වල ප්‍රමාණයන් සලකා බැලූවිට එම මතය නිවැරදි ලෙස පෙනේ. මක්නිසාද යත් මහගම වැව හැරුණ විට එතරම් විශාල නොවූවත් තරමක හෝ විශාල වැව් ලෙස එම සියළු වැව් අතර ඇත්තේ නිම්නයේ ඉහළින්ම පිහිටි හම්බේගමුව වැව සහ එයට පහල ප්‍රදේශයේ හම්බේගමුව වැව සහ මහගම වැව අතර හමුවන ගල්මුණ වැව පමණක් වන නිසාය. එම මහගම වැවෙන් පහලට වුවත් එතරම් විශාල වැවක් වලවේ ගඟෙහි මුවදොර දක්වාම හමු නොවේ.මහානාගකුල පැරණි අගනුවර ආසන්නයේ පිහිටි පැරණි රිදීගම වැව වුවද අද විශාල කර ඇති රිදීගම ජලාශයට මේ වන විය යටවී ඇති කුඩා වැවකි. 

පසු කාලීන ප්‍රතිසංස්කරණ වලින් මෙම පද්ධතිය බොහෝ දුරට උඩු යටිකුරු වී ඇති බව පැවසීම අසත්‍යයක් නොවේ. හම්බේගමුව වැව, ගල්මුණ වැව (මේ වැව අද වන විට මව් ආර ජලාශයට යටවී ඇත.) වැනි වැව් ප්‍රතිසංස්කරණය වී මෙම ලිපියේ මුලින් අප කතා කල ආකාරයේ හුදකලා වැව් බවට පත්වී ඇති අතර, සෙසු ඇතැම් කුඩා කුළු වැව් තිබූ තැන් වල අද ඒවා දක්නට නොමැත. කිරි ඉබ්බන් වැව වැනි විශාල ජලාශද එම නිම්නයට අලුතින් එක්වී ඇති බව පෙනේ. කෙසේ නමුත් එම පැරණි තොරතුරු විමසා බැලූ විට නිගමනය කල හැක්කේ වසරේ මාස කිහිපයක් පමණ ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලබන මෙම නිම්නයේ ඉහත සියළු වැටි වැව් තැනීමේ අරමුණ එම ජලය හැකිතාක් ඉහත විස්තර කර ඇති පරිදි රැස්කර තබාගෙන පහලින් පිහිටි ප්‍රධාන වැව වූ මහගම වැව හෙවත් පළමුවන දප්පුල රජු (ක්‍රි.ව. 659) ඉදි කල, මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) ප්‍රතිසංස්කරණය කල පාඩික්කුලම වැව (පෙර ලිපිය කියවීමට Link>>) පෝෂණය කිරීම බවය. මව් ආරේ එල්ලංගා පද්ධති වල රැස් කරන එම ජලයට අමතරව වලවේ ගඟේ තෙන්කැටිය අමුණ ලෙසින් හඳුන්වන අමුණක් මගින් ඇල මාර්ගයක් ඔස්සේ රැගෙන එන අමතර ජලයද මහගම වැව වෙත යොමු කර ඇත (සිතියම 1 බලන්න).

තෙන්කැටිය අමුණ සහ මහගම වැව අතර කෙලින් දුර සැතපුම් 6 ක් වුවද එම පැරණි ඇල මාර්ගය සැතපුම් 14 ක වක් වෙමින් යන ඇලක් ලෙසට තනා ඇත්තේ එය (වර්තමානයේ අප සිතන ලෙසට) කොන්ක්‍රිට් දමා වලවේ ගඟේ වතුර මහගම වැව වෙත ගෙන එන කානුවක් නොවන බැවිනි. එම සැතපුම් 14 පුරාම විශාල ප්‍රදේශයක ගොවිතැන් කටයුතු උදෙසා එම ඇලේ ජලය භාවිතයට ගන්නට ඇති අතර, ඒ මගින් වසරේ වැඩි මාස ගණනක් සාපේක්ෂව වියලි එම  භූමි භාගයේ භූගත ජල මට්ටම ඉහල දමා මිනිසාට,සතුන්ට සහ ශාක ප්‍රජාවට ජල අවශ්‍යතාවය සැපිරීමද අරමුණු කර ගන්නට ඇත. තවද එවන් වක් වෙමින් සෙමින් ගමන් කරන ඇල මාර්ගයක් මගින් කෙලින් කැපූ වේගයෙන් ගලායන ඇලක මෙන් නොව රොන්මඩ ආදිය ගසාගෙන විත් මහ වැවේ තැන්පත්වීම වැලකී ඒවා ඇලමාර්ගයේ වක්වූ ස්ථාන වල තැන්පත්වේ. කෙත් වලට ජලය ලබාගැනීමේදි එම රොන්මඩ පොහොර බවට පත්වී එම ගොවිබිම් සරුසාර  කරයි
රූපය 3 -  රූපය 2 දැක්වෙන බිසෝකොටුවේ සිට එන ජලය ඇල මාර්ග දෙකක් ඔස්සේ නාග රූපය සහිත සොරොව්ව දක්වා යොමු කිරීම
ඌරුසිටා වැවේ සොරොව්ව
ඉහත විස්තර කල පූජාවලියේ පාඩික්කුලම ලෙසින් හැඳින්වූ වැව පන්ඩික්කුලම් වැව ලෙසින් මෑතක් වන තුරුම හඳුන්වා ඇති බව බ්‍රොහියර් විසින් සිය ලක්දිව පුරාතන වාරිමාර්ග පිළිබඳව වූ ග්‍රන්ථයේ උපුටා දක්වන වැල්ලවාය කොට්ඨාසයේ ප්‍රධානියා වූ දඹවින්නේ රටේ මහත්තයා විසින් 1866 ඉදිරිපත් කල වාර්තාවකද එම නමින් එය හැඳින්වීමෙන් තහවුරු වේ. මහගම ගම්මානය තුල පිහිටි හෙයින් මහගම වැව ලෙසින්ද හැඳින්වෙන එම වැව මෑත භාගයේ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ඌරු සිටා වැව ලෙසිනි. මෙම ලිපියේ ආරම්භයේදී දක්වා ඇති සියුම් නාග රූපයක් සහිත කැටයම එම වැවේ සොරොව්වේ එක් පසක ඇති අතර එහි අනෙක් පසද එවන් නාග රුවක් එවකට තිබූ බව ඉහත සඳහන් කල වාර්තාවේ සඳහන් කර තිබේ. පසු කාලීනව එයට කුමක් සිදුවීදැයි පැහැදිලි නැත. 
මහගම වැවේ සොරොව්ව - ඉහත රූපය 3 දැක්වෙන ඇලමාර්ග දෙක ඔස්සේ එන ජලය මෙම සොරොව්වේ විවර දෙකින් එලියට නිකුත්වේ
වර්ෂ 1888 සැප්තැම්බර් 9 දාතම සහිත හම්බන්තොට සහකාර ආණ්ඩුවේ ඒජන්ත ධූරය දැරූ මියුරේ මහතාගේ (Mr. Murray) වාර්තාවකට අනුව ඒ වන විටද සැතපුම් තුන් කාලක් පමණ දිග වූ එම වැවේ බැම්ම (කෙසේ නමුත් එම දුර මුළු බැම්මෙන් කොටසක් විය හැකි බවත් ඩික්සන් මහතාගේ (Mr, Dickson) පැරණි වාර්තාවකට අනුව සම්පූර්ණ බැම්ම සැතපුම් 13 දිග බව පවසා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි) එක් ස්ථානයකින් කැඩී ගොස් ඒ හරහා මව් ආර ගලාගිය බවත් පන්ඩිකුලම් සහ මහගම යන නම් දෙකම එම වැවට එවකටද භාවිතා වූ බවත් පවසයි. එක් ඇල මාර්ගයකින් වැවේ සිට එන ජලය එයට ඇතුළු වී ඇල මාර්ග දෙකකට බෙදී ඉන් පිටවන ශෛලමය බිසෝකොටුව සම්බන්ධවද ඔහු විස්තර ඉදිරිපත් කරයි. ගල් පුවරු කිහිපයක් එහෙ මෙහෙ වී තිබූ මුත් එයට වැඩි හානියක් සිදුව නොතිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මහගම වැවේ සොරොව්වෙන් පිටවන ජලය  සැතපුම් 9 පමණ දිගු පැරණි ඇල මාර්ගයක් ඔස්සේ අලිඔළු ආර දක්වාම ගෙනගිය බවට හඳුනාගෙන ඇති අතර ඉන් ඔබ්බට එහි මාර්ගය හඳුනාගෙන නොමැති වුවත් ජනප්‍රවාදයේ සඳහන් වන ලෙසට හම්බන්තොට දෙසටම එම ඇල මාර්ගය තිබි ඇත. 

මූලාශ්‍ර
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • පුරාණ ශ්‍රි ලංකාවේ වාරි කර්මාන්තය, ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි, 2017
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • වියළි කලාපීය පරිසරානුගත සංවර්ධනයක් සඳහා එල්ලංගාව, ආචාර්ය එම්.යූ. ඒ. තෙන්නකෝන්, 2005
  • එල්ලංගානුගත වැව්වලට ප්‍රවේශයක්, ආචාර්ය එම්.යූ. ඒ. තෙන්නකෝන්, 2012
  • Small Tanks in Sri Lanka, Evolution, Present Status and Issuse, C.R Panabokke, R, Sakthivadivel and Asoka Dias Weerasinghe, 2002
  • අපේ වැවෙන් පැන් දෝතක්, සිංහල වැව පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනය, කේ. එම්. අයි. ස්වර්ණසිංහ
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
  • Ancient Irrigation Works in Ceylon, R.L. Brohier, 1934