Showing posts with label Talatuoya. Show all posts
Showing posts with label Talatuoya. Show all posts

Saturday, October 30, 2021

කෝපි කාලේ Lower Road එකේ මහනුවර සිට බදුල්ලට ගිය හැටි

බදුල්ල

පසුගිය සතියේ තොරතුරු ඉදිරිපත් කල හලාබ පාලම ලිපිය උදෙසා එය තැනූ වර්ෂය, ඒ හා සම්බන්ධ වන මාර්ගය පිළිබඳව හෝ උමා ඔයෙන් එතෙර වීම උදෙසා ඉංග්‍රීසීන් තැනූ පාලම් පිළිබඳව හෝ කිසියම් හෝ හෝඩුවාවක් සොයාගැනීම උදෙසා උත්සාහ කලමුත් එය සාර්ථක වූවේ නැත. එහෙත් එම තොරතුරු සොයා යාමේදී ඇස ගැසුන ඉංග්‍රීසි වාර්තා වල Kandy - Badulla Lower Road  through Goneganwa ලෙසින් සඳහන් වන වෙනත් මහනුවර - බදුල්ල මාර්ගයක් පිළිබඳව විස්තර හමුවූ අතර මේ ලිපිය එම තොරතුරු ආශ්‍රයෙන් එකී මාර්ගයේ පිහිටීම සොයා ගැනීමට කල උත්සාහයක ප්‍රතිඵලයයි.

Ferguson's Ceylon Directory

බ්‍රිතාන්‍ය යුගයේ සිට මෙරට කාලීන වානිජ තොරතුරු සම්පිණ්ඩනය කරමින් 1871 සිට (හෝ ඇතැම් විට එයට පෙර සිටත් (මට හමුවූ මුල්ම සංග්‍රහය 1871-72 වර්ෂ සඳහා වේ.) මෑතක් දක්වාම ( මා හට හමුවූ අවසාන කොටස 1997-99 කාලය උදෙසා පල කර ඇත.) පලවූ තොරතුරු සංග්‍රහයකි Ferguson's Ceylon Directory. එය Associated Newspapers of Ceylon Limited මගින් පලකර ඇති අතර මුල් කාලයේදී  මේ තොරතුරු සංග්‍රහයන් උදෙසා මූලිකත්වය ගත් එකල දෙසතියකට වරක් නිකුත්වූ Ceylon Observer පුවත්පතේ නියෝජ්‍ය කතෘ සහ පසුව එහි ප්‍රධාන කතෘ සහ අයිතිකරු බවට පත්වූ A.M Ferguson ගේ සහ John Ferguson ගේ  නම් වලින් ඒවා Ferguson's Ceylon Directory ලෙසින් හැඳින්වූ බව පෙනේ (එම දෙපල විසින් 1864 වර්ෂයේදීද එවන් තොරතුරු සංග්‍රහයක් පලකර ඇත.) Ferguson's Ceylon Directory හී කතෘත්වය දක්වා ඇත්තේ A.M. & J Ferguson, proprietors and editors of "Ceylon Observer" ලෙසිනි. 

ඉහත 1871-72 වර්ෂ සඳහා වූ Ferguson's Ceylon Directory හි මෙරට එවකට වූ ප්‍රධාන මාර්ග කිහිපයක් ගැන තොරතුරු සඳහන් වේ. ඒ යටතේ මහනුවර සිට බදුල්ල දක්වා වූ මාර්ග දෙකක් ගැන තොරතුරු ඉදිරිපත් කර ඇත. එක් මාර්ගයක් වන්නේ නුවරඑලිය හරහා බදුල්ල මාර්ගයයි. එය මහනුවර සිට පේරාදෙණිය, ගම්පොල, පුස්සැල්ලාව, රම්බොඩ, නුවරඑළිය, ඇටම්පිටිය හරහා බදුල්ල දක්වා යන මාර්ගය ලෙසින් හඳුනාගත හැක (මේ මාර්ගයේ තවත් ස්ථාන එහි දක්වා ඇති අතර මාර්ගයේ හමුවන ගංගාවන් හරහා එතෙර වූවේ පාලම් මතින්ද නැතහොත් පාරුවක උපකාරයෙන්ද ආදී තොරතුරුද එහි අන්තර්ගතය. එසේම එම ඇතැම් ස්ථාන වල තිබූ තානායම් ගැනද සඳහන් වේ. මේ ලිපියේ ප්‍රමුඛ අරමුණ එම මාර්ගය සම්බන්ධයෙන් නොවන බැවින් ඒ පිළිබඳව තොරතුරු මෙහි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.) කෙසේ නමුත් එම මාර්ගය ඉහත ස්ථාන නාම අනුව බැලූ කල පැහැදිලිවම මහනුවර සිට පේරාදෙණියට පැමිණ එතැන් සිට වර්තමානයේ A5 ලෙසින් හැඳින්වෙන පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ බදුල්ල දක්වා කොටස බව පැහැදිලිවේ. 

Kandy - Badulla Lower Road  through Goneganwa

අපගේ ප්‍රස්තුතයට වැදගත් වන්නේ මහනුවර සිට බදුල්ල දක්වා එවකට වූ අනෙක් මාර්ගයයි. Lower Road (From Kandy to Badulla by "Lower Road" through Goneganwa) ලෙසින් හැඳින්වෙන එම මාර්ගය සම්බන්ධයෙන් ඉහත Ferguson's Ceylon Directory වල 1940 දශකය දක්වාම කිසියම් හෝ තොරතුරක් හමුවේ. 1871-72 වාර්තා වල ඉහත සඳහන් කල මුල් මාර්ගය ගැල් පාරක් (Carriage Road) ලෙසින් හැඳින්වෙද්දී Lower Road මාර්ගය හැඳින්වෙන්නේ හාරගම ඔය දක්වා කරත්ත ගමන් කල හැකි මාර්ගයක් බවත් එතැන් සිට පටු පාරක් (Bridle Road) ලෙසින් වූ බවත්ය (From Kandy to Harrackgam Oya passable for carts. Beyond that Bridle Road).  

එම වාර්තා වල සඳහන් ස්ථාන නාම වර්තමාන නම් හා ගැලපීමෙන් මාර්ගය මේ ආකාරයෙන් හඳුනාගත හැක. මහනුවර [Kandy] සිට කුන්ඩසාලේ [Kondesally] දක්වා ගොස් (සැතපුම් 3) එහිදි තලාතු ඔයේ පාලමෙන් (පලල අඩි 5) [Tallat Oya Bridge] එතර වී (පසු වාර්තා වල දැක්වෙන පරිදි කුණ්ඩසාලේ සිට තලාතු ඔය පාලම දක්වා සැතපුම් 1.5 ක දුරක් ඇත.) එතැන් සිට තවත් සැතපුමක් ගොස් ගෝනවත්ත තොට [Gonawatte Ferry] ලගාවී, එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගොස් හාරගම ඔය [Harrackgam Oya] දක්වා පැමිණ [හාරගම ඔය අසලදී මතුරට දක්වා යන මාර්ගය හමුවේ],  එතැන් සිට තවත් සැතපුම් 2 ක් ගොස් මහ ඔය තොටුපලින් [Maha Oya Ferry] එගොඩ වී ගෝනගමුව [Gonnegamwa] දක්වා වූ සැතපුම් 3 ගමන් කල විට දියබුබුල දුර්ගය මුදුනේ එම ගම හමුවේ [Top of Diaboobela pass, village]. එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගිය තැන බෙලිහුල් ඔයේ තොටුපල [Billahool Oya Ferry] හමුවේ. එම තොටුපලින් එතර වී කුරුඳු ඔය [Kooroade Oya] දක්වා යෑමට ගමන් කල යුතු දුර සැතපුම් 4 කි. කුරුඳු ඔයෙන් එතර වීමට නොගැඹුරු ජලයේ බැස යා යුතු බව එය Ford ලෙසින් හඳුන්වා තිබීමෙන් පැහැදිලි වේ. ගමන් මාර්ගයේ ඉන්පසු හමුවන්නේ උමා ඔයයි [Ooma Oya ferry]. කුරුඳු ඔයේ සිට උමා ඔය දක්වා යෑමට සැතපුම් 5 ක් ගමන් කල යුතුය. උමා ඔයේදි හමුවන්නේ ඔරුවකින් එගොඩ විය යුතු තොටුපලකි. එහි මුල් වරට මේ මාර්ගයේ තානායමක් [Rest house] වූ බවද සඳහන්ය. එතැන් සිට බදුල්ල දක්වා වූ මාර්ගයේදි නැවතත්  වේල්ල ඔය [Vella Oya] නම් වූ බැස එගොඩ විය යුතු ඔයක් සැතපුම් 6 ගිය තැන හමුවේ. ඉන්පසු නැවතත් තානායමක් තල්දෙන  [Taldene] නම් ස්ථානය දක්වා සැතපුම් 9 ක් ගමන් කල විට හමුවේ. මේ ස්ථානයේදී මාර්ගය දෙකට බෙදෙන අතර එක් මාර්ගයක් මඩකලපුව දක්වා විහිදේ [Road branches off to Batticaloa]. බදුල්ලට යොමු වන අනික් මාර්ගයේ එතැන් සිට බදුල්ලට ඇති දුර සැතපුම් 10 ලෙස සඳහන් වේ. මහනුවර සිට මේ මාර්ගයේ ඒ අනුව මුළු දුර සැතපුම් 54 ක් ලෙස දැක්වේ. ඉහත සඳහන් කල අනෙක් මාර්ගයේ මුළු දුර සැතපුම් 84  ලෙසින් දක්වා ඇති බැවින් මෙම මාර්ගය දුරින් අඩු බව පෙනේ.

මින් පසු කිහිප අවස්ථාවකම ඉහත දුර ප්‍රමාණයන් වල යම් යම් වෙනස්කම් සහිතව මෙම මාර්ගය ගැන විස්තර හමුවේ. පහත දැක්වෙන්නේ 1905 වර්ෂයේ එම දුර ප්‍රමාණයන් සහ විස්තර දැක්වෙන වගුවයි. 1905 වර්ෂය වන විට බෙලිහුල් ඔය හරහා අශ්වයන්ට ගමන් කල හැකි මට්ටමේ පාලමක් වූ බව ඉන් පැහැදිලි වේ. එසේම උමා ඔයෙන් එතර වීම දැක්වෙන්නේ Ferry ලෙසින් නොව Ford ලෙසිනි. මාර්ගයේ මුළු දුර සැතපුම් 58.75 ලෙසින් මෙහි දැක්වෙන අතර, සිංහල නම් ඉංග්‍රීසියෙන් ලිවීමේදි මුල් කාලයේදීට වඩා වෙනස් වඩාත් නිවැරදි ශබ්දය එන ලෙසින් ලියා ඇති අයුරුද දැක ගත හැක.

ඉන්පසු 1912 වර්ෂය සඳහා වූ වගුව පහතින් දැක්වෙන අතර එහි මීට පෙර සඳහන් කල තොරතුරු වලට අමතරව කුන්ඩසාලේදී ඉලුක්මෝදර තොටුපල හමුවන බව සඳහන් වේ. කුණ්ඩසාලේ පිහිටන්නේ මහවැලි ගඟේ වම් ඉවුරේ වන අතර තලතු ඔය එහි දකුණු ඉවුරේ වේ. එමෙන්ම මෙහිදී තලාතු ඔය පාලම Kershaw's Bridge ලෙසින් හඳුන්වා ඇත. මහ ඔයදී පැරණි බදුල්ල මාර්ගය වම් පසට විහිදෙන බවද මෙහි සඳහන් වේ (Old bridle road to Badulla on Left)

1914 වන විට කුරුඳු ඔය හරහාද Horse Bridge ලෙසින් හැඳින්වෙන පාලමක් ඇති බවට සඳහන් වේ. මේ කාලය වනවිටත් කරත්ත ගමන් කල හැක්කේ හාරගම ඔය දක්වා පමණක් වන අතර හාරගමදී දකුණු පසින් හඟුරන්කෙත සහ මතුරට දක්වා යොමුවූ මාර්ග හමුවන බව සඳහන් වේ.

මින් පසු 1942 වර්ෂය දක්වාම Ferguson's Ceylon Directory  වල මෙම මාර්ගය මෙරට ප්‍රධාන මාර්ග ලැයිස්තුවේ (Principal Roads in Ceylon) දක්වා ඇති මුත් පෙර පරිදි එහි එක් එක් ප්‍රධාන සංදිස්ථාන වලට ඇති දුර ප්‍රමාණ හෝ අනෙකුත් විස්තර අඩංගු නොවේ. මෙම තොරතුරු වලට අමතරව මහනුවර - බදුල්ල Lower Road මාර්ගය පිළිබඳව අපට හමුවන තවත් වැදගත් තොරතුරක් නම් ශ්‍රීමත් හෙන්රි වෝඩ් (Henry Ward) ආණ්ඩුකාරවරයාගේ සමයේ (1855-1860) ඔහු විසින් බදුල්ලේ කෝපි වතු වල නිෂ්පාදන පහසුවෙන් මහනුවර දක්වා ගෙන ඒම උදෙසා මෙම මාර්ගය පිළිසකර කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ බවය. එහෙත් දරන්නට සිදුවන අධික වියදම නිසා එම ව්‍යාපෘතිය අතහැර දමන ඔහු වර්ෂ 1857 දී ඒ වෙනුවට බදුල්ල - නුවරඑළිය මාර්ගය පිළිසකර කිරීම අරඹයි. 

ඉහත සඳහන් තොරතුරු වලින් පමණක් මෙම මහනුවර - බදුල්ල මාර්ගයේ පිහිටීම පිළිබඳව දල අදහසක් විනා එය සිතියමක සටහන් කිරීමට අවශ්‍ය දත්ත හමු නොවේ. එහෙත් මහනුවර සිට මුල් කොටසේදී එය මහවැලි ගඟේ දකුණු ඉවුර ඔස්සේ ගොස් ඉළුක්මෝදර තොටුපල පසුකර තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ පිහිටි  Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම හරහා ගමන් කරයි. එම ස්ථාන දෙකම අඟලේ සිතියම් වල ලකුණු කර ඇත. එම ස්ථානයේදී තලාතු ඔය සහ අම්පිටිය දක්වා යන මාර්ගය හමුවේ. ගෝනවත්ත තොටුපලද පැරණි මහනුවර අඟලේ සිතියමේ හඳුනාගත හැක. (මෙම මාර්ගය හඳුනාගැනීම උදෙසා භාවිතා කරන මහනුවර සහ හඟුරන්කෙත අඟලේ සිතියම් මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ වික්ටොරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදිවීමට පෙර අඳින ලද ඒවාය.)

සිතියම 1 - මහනුවර සිට ගෝනවත්ත තොටුපොල දක්වා මාර්ගය පැරණි අඟලේ සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත හැක. ඉලුක්මෝදර තොටුපොල, Kershaw's bridge සහ ගෝනවත්ත තොටුපොල මෙහි සලකුණු කර ඇත. එසේම තලාතු ඔය (නිල් පැහැයෙන් ) සහ එම නමින් යුතු නගරය කරා යන මාර්ගය (කොළ පැහැයෙන්) දක්වා ඇත.  

තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ ඉදිකර ඇති Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම (Google Street View ඇසුරින්. එම පාලම පිහිටි මාර්ගය පැරණි මහනුවර මාර්ගය ලෙස Google Map වල දක්වා ඇත.)

ගෝනවත්ත තොටුපලින් පසු මාර්ගයේ වැදගත් සන්දිස්ථානයක් ලෙස දැක්වෙන්නේ හාරගම ඔයයි. 1914 දක්වාම කරත්ත පාරක් ලෙස මාර්ගය තිබී ඇත්තේ මෙම ස්ථානයට වන තුරු පමණි. හාරගම ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට හඟුරන්කෙත හරහා මතුරටට මාර්ගය ඉහත විස්තර වන ආකාරයෙන්ම දකුණු පසින් දක්වා ඇත. හාරගම ඔයෙන් පසු මහ ඔය හමුවන අතර අඟලේ සිතියම් වල මාර්ගය වාහන ගමනාගමනය කල හැකි මාර්ගයක් ලෙසට මහ ඔයෙන් පසු ගෝනගමුව දක්වාම සලකුණු කර ඇත (සිතියම් වල ගෝනගමුව දැක්වෙන්නේ ගෝනගම්පිටිය ලෙසිනි.  Ferguson's Ceylon Directory වල සඳහන් වන දියබුබුල දුර්ගය අඟලේ සිතියමේ සලකුණු කර නොමැති වුවත් භූගෝලිය ලක්ෂණ අනුව ගෝනගම්පිටිය පිහිටා ඇත්තේ ඒවායේ දැක්වෙන පරිදිම දුර්ගයක මුදුනත බව හඳුනාගත හැක.) ගෝනගම්පිටියේ සිට එම මාර්ගය හඟුරන්කෙත දක්වා යොමුවන අතර අපගේ ප්‍රස්තුතයට අදාල මාර්ගය ගෝනගම්පිටියේ සිට කුඩා අඩි පාරක් ලෙස අඟලේ සිතියම් වල දක්වා ඇත. පහත සිතියම 2 බලන්න (එහි හාරගම ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට මතුරට මාර්ගය කොළ පැහැයෙන් ලකුණු කර ඇත. කහ පැහැයෙන් දැක්වෙන්නේ Lower Road මාර්ගයයි. වම් පස සිට පිළිවෙලින් නිල් පැහැයෙන් මතු කර ඇත්තේ. හාරගම ඔය , මහ ඔය සහ බෙලිහුල් ඔයයි. ලා නිල් පැහැයෙන් දැක්වෙන්නේ මහවැලි ගඟයි)

සිතියම 2
ගෝනගම්පිටියේ සිට කුඩා අඩි පාරක් ලෙසින් දැක්වෙන මාර්ගයේ ඊලග සංදිස්ථානය වන්නේ එය බෙලිහුල් ඔයෙන් එතෙර වෙන ස්ථානයයි. ඉන්පසු එය පිළිවෙලින් කුරුඳු ඔය සහ උමා ඔයෙන් එතෙර වන ස්ථාන දක්වාම අඟලේ සිතියම් වල බොහෝ දුරට අඩි පාරක් ලෙසින් සටහන් වී ඇත.එහෙත් බෙලිහුල් ඔයත් කුරුඳු ඔයත් අතර මාර්ගයේ මුළු දුරින් අඩක් පමණ දුරක් කුරුඳු ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට බෙලිහුල් ඔය දෙසට වන්නට කරත්ත පාරක් ලෙසින් සලකුණු කර ඇත. ඉන්පසු උමා ඔය තරණය කිරීමෙන් පසු සැලකිය යුතු දුරක් යනතෙක් එය කරත්ත පාරක් ලෙසින් ගොස් නැවත සුළු දුරක් අඩි පාරක් බවට පත්වී ඉන්පසු බදුලු ඔයට ආසන්නවීමත් සමග ප්‍රධාන පාරක් බවට පත්වේ. ඉන්පසු බදුලු ඔයේ අතු ගංගාවක් වන වේල්ල ඔයෙන් (?) එතෙර වන අතර මෙය ඉහත Ferguson's Ceylon Directory වල Wella Oya Ford ලෙසින් දක්වා ඇත. ඉන්පසු බොහෝදුරට බදුලු ඔයට සමාන්තරව විහිදෙන මාර්ගය තල්දෙන දක්වා ගොස් එතැන් සිටද බදුලු ඔය නිම්නය ඔස්සේම බදුල්ල දක්වා ලඟාවේ. අඟලේ සිතියම් වල මේ කොටස ප්‍රධාන මාර්ගයක් ලෙසින් පෙන්වා ඇති අතර එය වර්තමාන B36 බදුල්ල-කරමැටිය-ආඳාඋල්පත මාර්ගයයි.  පහත සිතියමේ මේ සියළු ස්ථාන සහ පැරණි මාර්ගය ( කහ පැහැයෙන් ) ලකුණු කර ඇත.

මාර්ගයේ අද තත්වය. 

ඉහත පැරණි මාර්ගය අඟලේ සිතියම් වල දැක්වෙන අකාරය මහවැලි ව්‍යාපාරයේ වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ සහ රජ මාවත ඉදිවීමෙන් පසු සිදුවූ වෙනස්කම් නිරූපණය වන සිතියමක සටහන් කල විට දැක්වෙන ආකාරය පහත දැක්වේ. මහනුවර සිට හාරගම දක්වා පැරණි කරත්ත පාර ප්‍රධාන මාර්ගයක් ලෙස අදද දක්නට ඇත (සිතියමේ කළු පාටින්). පැරණි මාර්ගයේ හාරගමින් පසු යම් දුරක් සහ නැවතත් මහ ඔයෙන් එගොඩ වූ පරණ තොටුපල පිහිටි ස්ථානයෙන් පසු තරමක දුරක් වික්ටොරියා ජලාශයට යටවී ඇත (සිතියමේ නිල් පැහැයෙන් දක්වා ඇත). ඉන්පසු  මහ ඔයේ සිට ගෝනගමුව පසු කර බෙලිහුල් ඔය දක්වා ඇති දුරින් වැඩි ප්‍රමාණයක වර්තමාන රජ මාවත එම පැරණි මාර්ගයට අනුරූපව ඉදි කර ඇති බව පෙනේ (සිතියමේ රජ මාවත සුදු පැහැයෙන් සහ පැරණි මාවත කළු පැහැයෙන්.). බෙලිහුල් ඔය ආසන්න වෙත්ම රජ මාවත පැරණි මාර්ගයෙන් අපගමනය වන අතර ඉන්පසු උමා ඔය හමුවන තෙක්ම පැරණි මාර්ගය වර්තමාන රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වලට යටවී ඇත. උමා ඔයේ සිට නැවතත් රජ මාවත තරමක දුරක් පැරණි  මාර්ගයට අනුරූපව තනා ඇති බව පෙනේ.  

ඉන්පසු නැවතත් රන්ටැඹේ ජලාශයෙන් පටන් ගන්නා මිණිපේ දකුණු ඉවුරු ඇල හෙවත් ලොග්ගල් ඔය ඇල පටන් ගන්නා ස්ථානයේ සිට කිලෝමීටර් 1.4 පමණ ගිය පසු රජ මාවතේ දකුණු පසට විහිදෙන පැරණි මාර්ගය අදද භාවිතා වන අතර (පහල සිතියමේ කළු පැහැයෙන්) එය මද දුරක් ගිය පසු පැරණි මාර්ගයට අනුරූපව අද ඉදිවී ඇති කන්දෙකැටිය-මහ කැලේ-රජ මාවත මාර්ගය (එම කොටස සිතියමේ නිල් පැහැයෙන් දක්වා ඇත.) හා එක්වේ. ඉන්පසු කන්දේකැටිය නගරය දක්වාම එම මාර්ගය අඩු වැඩි වශයෙන් පැරණි මාර්ගයට අනුරූපව ඉදිවී ඇති බව පෙනේ. කන්දේකැටිය නගරය පසු කල පසු එම පැරණි මාර්ගයට අනුරූපව අද ඉදිවී ඇති මාර්ග වන්නේ කිලෝමීටර 2 ක් පමණ දුරට ගල්ලන්ද-කන්දේකැටිය මාර්ගය (සිතියමේ රතු පැහැයෙන්) සහ ඉන්පසු තවත් කිලෝමීටර් 2.3 කට ආසන්න දුරක් කන්දේකැටිය-සොරණාතොට මාර්ගයයි (සිතියමේ කොළ පැහැයෙන්). 

ඉන්පසු පැරණි මාර්ගය වඩාත් බදුලු ඔයට ආසන්නව ගමන් කරන අතර Google Satellite View මගින් තල්දෙන දක්වාම හඳුනාගත හැක. ඉහත කන්දේකැටිය-සොරණාතොට (පහත රූපයේ කොළ පැහැයෙන් දක්වා ඇත ) මාර්ගයෙන් වෙන් වන ස්ථානයේ සිට මාර්ගයේ එම කොටසේ මුල් කොටස පමණක් පහත රූපයේ කහ පැහැයෙන් මතු කර ඇත.  තල්දෙන සිට බදුල්ල දක්වා පැරණි මාර්ගයට අනුරූපව අද ඉහත විස්තර කර ඇති පරිදි B36 මාර්ගය ඉදිවී ඇත.



Thursday, June 8, 2017

දියතිලකපුර හරහා මතුරට සිට සිරිවද්දන පුරවරට...

මග සලකුණ නම් වූ පැරණි පුස්කොල පොතක එන කවි අනුසාරයෙන් බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක් පිළිබඳව වන මෙම ලිපිය එම ලිපි පෙලේ සිව්වන සහ අවසාන ලිපියයි. පෙර ලිපි සඳහා
සැඩ නල එකත් මැඩගෙන මෙර සිඳු දෙරණ
රකින කග පලහ ගෙන ඉදිරියට පැන
නොමින විකුම් යුතු සෙබලුන් මුර කරන
ගමන යෙහෙකි සකි මතුරට කඩවතින

ඉහත කවියේ කියවෙන ලෙසට මග සලකුණ ලිවූ කාලයේ මතුරට සෙබලුන් මුර කරන කඩවතක් තිබී ඇත. පසු කාලයේ ඩේවි මතුරටින් යනවිට එහි තිබී ඇත්තේ ඉංග්‍රිසි යුද භටයන් සිටින බල කොටුවකි. ඉංග්‍රිසින් මෙම මාර්ගයේ උපාය මාර්ගික වැදගත්කමින් යුත් ස්ථාන වල බලකොටු ඉදි කිරීමට ප්‍රථමයෙන් සිංහල රජවරුද එම ස්ථාන වල ඇති වැදගත්කම වටහාගෙන සෙබලුන් රැඳවූ බව පෙනේ (සසදන්න දොඩම්වතුකපල්ල පසුකල විට හමුවන කඩවත සහ පසු කලක එහි පාමුල ඉදි කල මැක්ඩොනල්ඩ් කොටුව සමග)
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ ඇති මාර්ගය
ඩේවිගේ විස්තරයට අනුව මතුරට(Maturatta) කොටුව කුඩා කඳු ගැටයක් මත, මුහුදු මට්ටමේ සිට අඩි 2700 පමණ උසින්  සහ පහල නිම්නයේ සිට අඩි 1000 පමණ ඉහලින් පිහිටා ඇත. කොටුවේ සිට සැතපුම් 2 පමණ දුරින් කන්දක පැත්තකින් (Side of the Mountain) තිබූ වෙඩි ලුනු ගුහාවක් (Nitre Cave) පිළිබඳවද ඩේවි විස්තර කරයි.
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ  ඇති මාර්ගය
මතුරට සිට දියතිලක පුරට
මග සලකුණ විස්තරයට අනුව මතුරට කඩවතින් පසු බෙලිහුල් ඔය සිරි නරඹා පදියපැලැල්ලෙන් ළඳුන් බලා යා ගන්නා ලෙස පවසයි. ඉන්පසු හමුවන කොස්රුප්ප පසු කර ගිය පසු හමුවන මැටිවල අම්බලමේ ඉඳ, එතනින් නික්ම වලුගන්හින්න පසු කර රිකිල්ලගස්කඩින් ගොස් මාදන්වල විහාරය වැඳ මග සලකුණ මගියා පිවිසෙන්නේ දියතිලක පුරයටය.
පදියපැලැල්ලේ සිට රිකිල්ලගස්කඩට මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම මෙසේ යොමු වී තිබුණා විය හැක
මෙම ස්ථාන නාම වලින් බෙලිහුල් ඔය, පදියපැලැල්ල, රිකිල්ලගස්කඩමාදන්වල විහාරය (මාදන්වල  රජමහා විහාරය ලෙසින්) සහ දියතිලකපුර (වර්තමාන හඟුරන්කෙත) වැඩි අපහසුවක් නැතිව හඳුනාගත හැක. ඒ අනුව පැරණි මාර්ගය මෙම සිතියම් වල දැක්වෙන ආකාරයෙන් තිබුණා විය හැක.
ඩේවි ඒදණ්ඩක් (Singalese Bridge) මතින් බෙලිහුල් ඔයෙන් එතෙර වූ ස්ථානය විය හැකි ස්ථානයේ (පදියපැලැල්ලේ ) අද ඉදිකර ඇති පාලම - Google Street View ඇසුරින්
මතුරට සිට මහනුවරට (Kandy) සැතපුම් 26 ඇති බවද, එම කොටස එතරම් සිත්ගන්නා කොටසක් නොවන බවද, මාර්ගය අධික ලෙස කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවද, එහි සැලකිය යුතු කොටසක වගාවන් ඇති නමුදු වැඩි කොටසක් ඒ වන විටත් නොඋස් වනාන්තර වලින් යුක්තව තිබූ බවද ඩේවි පවසයි. එම මගෙහි දිය කඳුරු කිහිපයකින්ම එගොඩ විය යුතු නමුත් මතුරට නිම්නය හරහා පහලට බසින බෙලිහුල් ඔය (Bilhool Oya) සහ හඟුරන්කෙත (Hangranketty) අසලින් ගලන මහා ඔය (Maha Oya) ඒ අතරින් විශේෂයෙන් සඳහන් කල යුතු බව ඔහු පවසයි. ඒ එම ඔයවල් දෙකම සැලකිය යුතු මට්ටමේ ජල ප්‍රවාහයන්(Both are considerable torrents) වන බැවිනි.මෙයින් මුල් එක එනම් බෙලිහුල් ඔය කලාතුරකින් බැස යා හැකි මට්ටමේ (Fordable) එකක් වන බැවින් ඒ හරහා යා යුත්තේ දිය පහරට අඩි 20 ක් හෝ 30 පමණ උඩින් ඔයෙහි ඉවුරු දෙක හරහා ගසක කඳක් දමා සදා තිබූ සිංහල පාලමක් (Singalese Bridge) මතින් යන බියකරු ගමනකින් බව හෙතෙම සඳහන් කරයි. මහ ඔය ඔහු එහි යන අවස්ථාවට ආසන්න කාලයේ වට වැසි නිසා ඉදිමුණු බවක් තිබුනද එහි ගල් සහිත පත්ල හරහා ඩේවි එතරම් අපහසුවකින් තොරව ඇවිද යයි.

මාදන්වල විහාරය මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය
රිකිල්ලගස්කඩ සිට මාදන්වල විහාරය හරහා දියතිලකපුරට (හඟුරන්කෙත) මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම වූවා විය හැක.
දියතිලක පුර
මග සලකුණේ දියතිලක පුර වර්ණනාව යටතේ දකුණු දෙසින් පෙනෙන පුල්වන් දෙව් රද විමන (එනම් උපුල්වන් දේවාලය) නමැද ඉන්පසු මාර්ගයේ දකුණු දෙසින් පෙනෙන දියතලා කන්ද නරඹා උඩ වීදියට යාගන්නා ලෙසත්, දකුණේ ඇති කොත්මලේ වහල් කඩ දැක, වම් පස ඇති අන්කෙළිහින්නේ බෝ තුර බලා යාගන්නා ලෙසත් පවසයි. මෙම ස්ථාන අතරින් අද වන විට උපුල්වන් දෙව් විමන ලෙසින් හැඳින්වූ වර්තමාන විෂ්ණු දේවාලය පහසුවෙන් හඳුනාගත හැක. අප මෙම ලිපි පෙලේ මුල් ලිපියේ කතරගම දෙවියන් ලෙස වෙනස් වූ මහසෙන් දෙවියන් ගැන පැවසූ පරිද්දෙන්ම මග සලකුණ ලියවෙන කාලය වන විටද සිංහල බෞද්ධ දේව ඇදහිල්ලක් වූ උපුල්වන් දෙවියන් දකුණු ඉන්දියාවෙන් පැමිණි විෂ්ණු දෙවියන්ගෙන් අතික්‍රමනය වී නොතිබුණු බවට මග සලකුණ සාක්කි දරයි.
විෂ්ණු දේවාලය සහ පත්තිනි දේවාලය. මෙහි ඇති පොත්ගුල් විහාරය සෑදීම සඳහා පැරණි රජ මාලිගයේ නටබුන් යොදාගෙන ඇත.

දියතලා කන්ද සහ පල්ලේ මළුව වැව. පල්ලේ මළුව වැවට දකුණෙන් රජ මාළිගය පිහිටා තිබී ඇත. (සෙනරත් දිසානායක මහතා පල්ලේ මළුව වැව ලෙස ලකුණු කර ඇති ස්ථානයේ Google Maps අනුව ඇත්තේ ඉහල මළුව වැව ලෙස සඳහන් වන වැවකි )
හඟුරන්කෙත පැරණි නගරයේ නටබුන් වී තිබූ රජ මාලිගාව සහ ඒ සමග වූ විහාරය ගැන ඩේවි මෙසේ පවසයි. "1815 දී අප මෙම ප්‍රදේශ වලට ඇතුළු වනවිටද මාළිගාව සහ විහාරය හොඳ තත්වයේ තිබුණි. එහෙත් මේ වන විට නටබුන් වී ඇති  මාළිගය එය තිබූ තැන සොයාගත නොහැකි මට්ටමටම පත් වී ඇත [පල්ලේමළුව නම් වූ වැවට යාබදව පැරණි රජ මාළිගය පිහිටා තිබූ බව සෙනරත් දිසානායක මහතා සාධක සහිතව පෙන්වා දී තිබේ.] වසර දෙක තුනකින් විහාරයද පොළවටම සමතලා වනු ඇත. පත්තිනි දේවාලයද මේ වනවිට නටබුන් වී ඇති අතර මහා විෂ්ණු දේවාලය නටබුන් වෙමින් පවතී. එහි සියළුම කාමර හිස්වී තිබූ අතර, දොරවල් කඩා බිඳ දමා තිබුණි. ගොඩනැගිල්ලේ වැඩි වශයෙන් වහලය නොමැති තත්වයකි ඇත්තේ. මාළිගය විනාශ කිරිමේ වගකීම ස්වදේශිකයන් විසින්ම භාරගත යුතුය. එය කොල්ලකෑමෙන් පසු ඔවුන් එයට ගිනි තැබූහ. විහාරය නම් විනාශ කලේ අපේ හමුදාවය. කැරැල්ල කාලයේ ඔවුන් ඒ තුල විසූ අතර එක් වරකට වඩා මෙහි විශාල වශයෙන් එකතු වූ සතුරන් හට පහර දීම් සිදුවුනි." (එහෙත් අද වන විට පත්තිනි දේවාලය සහ විෂ්ණු දේවාලය නැවත පිලිසකර කර ප්‍රකට පූජනීය ස්ථාන ලෙසින් පවතී.)

දියතිලක පුර සිට බෝලාපේට
මග සලකුණට අනුව දියතිලක පුර සිට මාර්ගය යොමුවන්නේ රත්මැටිය හරහා ඩේවි ඉහත සඳහන් කරන මහ ඔයෙන් එතෙර වී (මග සලකුණේ එම ඔය සඳහන් වන්නේ මා ඔය ලෙසිනි.) මිලලේ, දෙගල්කඩ කඩවත, මීරුප්පේ, මාරස්සන වෙහෙර හරහා බෝලාපේ ට ලඟා වීමෙනි. හඟුරන්කෙත සිට මා ඔය දක්වා වර්තමානයේ මාර්ග 3ක් යොමුවී ඇත (ඉහත සිතියම බලන්න) මින් කුමන මාර්ගයක් පැරණි මාර්ගය වූවාද යන්න නිශ්චිතව පැවසිය නොහැක. පැරණි විහාරයක් වන අරත්තන විහාරය මේ මාර්ග අතුරින් B413 මාර්ගයේ යනවිට හමුවන බැවින් ඇතැම් විට පැරණි මාර්ගය එය විය හැක (එහෙත් එම විහාරය මග සලකුණේ විස්තර නොවන බැවින් ඉඳුරාම එසේ පැවසීම නිවරදි නොවිය හැක.) මා ඔයෙන් එගොඩ වූ තොටමුණ බොහෝ දුරට වර්තමාන පාළම පවතින ස්ථානය විය හැක
මා ඔය සහ වර්තමාන මාර්ගය ඔය හරහා යන පාළම - Google Street View ඇසුරින්

මා ඔයෙන් එගොඩ වූ පසු මගියාට බිම බටු සුරඟන වන් අඟනන් සිටින මිලලේ පසු කර දෙගල්කඩ කඩවත හරහා මීරුප්පේ සෙවනේ මදක් ගිමන් හැර මාරස්සන වෙහෙර තොසින් වැඳ බෝලාපේ නුදුරින් යා ගන්නා ලෙසට මග සලකුණ කවියා පවසයි. මෙයින් මාරස්සන නමින් හැඳින්වෙන මං සන්දියක් අද දක්වාම පවතින මුත් මෙට්‍රික් සිතියම් වල මී රුප්පේ ලෙසින් ලකුණු කර ඇති ස්ථානය ඇත්තේ එම මං සන්දියට මදක් උතුරිනි. එම නිසා මාරස්සන වෙහෙර එයටත් උතුරු දෙසින් තිබුණා විය හැක. ඒ අනුව පැරණි මාර්ගය මේ ආකාරයෙන් තිබූ ලෙසට පෙන්වා දිය හැක (පහත සිතියම බලන්න). මාරස්සන දක්වා වූ වෙනත් ස්ථාන හඳුනාගත නොහැකි මුත් දෙගල්කඩ කඩවත පහත සිතියමේ දක්වා ඇති කඳු දෙක මැඳින් මාර්ගය වැටී ඇති ස්ථානය විය හැක.
මග සලකුණ විස්තරයේ දැක්වෙන මීරුප්ප වර්තමාන මාරස්සන මංසන්දියට දකුණෙන් වූ ස්ථානයක තිබූ වෙනත් මීරුප්පයක් වී මාර්ගය ඉහත සිතියමේ දෙගල්කඩ කඩවත ලකුණු කර ඇති ස්ථානයේ සිට පහලට යොමු වී ඇති මාර්ගය හරහා වර්තමාන මාරස්සන මං සන්දිය හරහා තිබුණා වීමටද ඉඩ ඇත.

මාරස්සනදී ඩේවි රාත්‍රිය ගත කිරීමට නැවතේ. එම ස්ථානය මහනුවර සිට සැතපුම් 10 පමණ දුර්න් වූ බව ඔහු සඳහන් කරයි. එහි තිබූ කදිම විහාරය සුදු පැහැති බිත්තියකින් වටවී තිබූ බවත් එය විශිෂ්ට දෙයක් ලෙසත් ඩේවි සඳහන් කරයි (Its neat vihare, enclosed by a white wall, is a conspicuous object). ඒ වන විට එහි බෙන්ගාලි සිපයි ඒකකයක් (Detachment of Bengal Sepoys) නැවතී සිටි බවත් ඔවුන් එහි තිබූ බුදු පිළිමය (Figure of the Boodhoo) ඔවුන්ගේ මහා දෙවියා (Maha Deo) ලෙස සලකා එයට වැඳුම් පිඳුම් කල බවත් ඩේවි වැඩිදුරටත් සඳහන් කරයි. මේ මාරස්සන වෙහෙර අද දක්වාම පවතින්නේද යන්න ගැන නිශ්චිතව කීමට අපට  සාධක කිසිවක් හමු නොවිනි.

බෝලාපේ සිට සිරිවද්දනපුරය
මාරස්සන වෙහෙරින් පසු බෝලාපේ නුදුරෙන් ගොස් කිවුල් ළිඳේ පාළම නැඟ තළාවතු ඔයෙන් යාගන්නා ලෙසත්, ඉන්පසු රදා ගැහූ පාණ පසු කර අන්පිටියේ බණ මඩුවේ නොරදා, සිහිල් පැන් කඳුර දැක, මී ගොන් අරඹ වෙලට ගොස් වමෙහි පෙනෙන පල්ලේවාහල අටුව දැක, අංගම් පොර අරින සෙබලුන් සිටින අංගම් මැඩිල්ලෙන් ගොස්, පරගහ මුල මළුව බලා දළදාගේ පිහිල්ලට බැස පැන් නාන ලෙසත් මග සලකුණ කවියා මගියාට පවසයි.
මාරස්සන සිට තළාතු ඔය දක්වා ගමන් මග
වර්තමාන වික්ටොරියා ජලාශය අද්දර බෝලාපේ නම් ස්ථානයක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මාරස්සන සිට එම ස්ථානය හරහා තළාතු ඔය දක්වා යන විට කිවුල්ලිඳ නම් වූ බස් නවත්වන ස්ථානයක් Google Map වල දැකිය හැක. එම ස්ථානයට පෙර වර්තමානයේ වික්ටෝරියා ජලාශයට වැටෙන (ජලාශය සෑදීමට පෙර මහවැලි ගඟට එකතු වූ) කුඩා දිය පාරක් දැකිය හැකි අතර, ඉහත කිවුල් ළිඳේ පාළම මෙම ස්ථානයේ තිබුනා විය හැක. කෙසේ නමුත් මෙට්‍රික් සිතියම් වල කිවුල් ළිඳ ලකුණු කර ඇත්තේ තවදුරටත් තළාතු ඔය දෙසට වන අතර එම ස්ථානයේද කුඩා දිය කඳුරක් හරහා වර්තමාන පාර වැටී ඇත. එබැවින් කිවුල් ළිඳේ පාළම එම දිය කඳුර හරහා තිබූවක් වූවාද විය හැක.  තළාතු ඔයෙන් එතෙර වූ පසු හමුවන අන්පිටිය අම්පිටිය ලෙසින් අද දක්වාම පැවත එන ප්‍රදේශයයි.

තළාතුඔය සිට මහනුවර දක්වා අම්පිටිය හරහා යන මාර්ගය
සෙන්කඩගලපුර තුල දළදා ගේ පිහිල්ලෙන් පැන් නාගත් පසු, ගල් පඩි පෙළින් මහ මළුවට නැගගන්නා ලෙසත්, ඉන්පසු නාත සුර විමන, වම් පසින් ඇති යකරුහල ( යකඩ කරුවන්ගේ ශාලාව හෙවත් කම්මලක්) දකුණෙන් පෙනෙන මහවාසල් දොර ආදිය දැකගන්නා ලෙසත් සිරිවද්දනපුරය පිළිබඳ නගර වර්ණනාවකින් පසු දළදා මාළිගයට පිවිසෙන ලෙසත් පවසා මග සලකුණ සිය ගමන් විස්තරය නිම කරයි. මේ අතුරින් නාථ දේවාලය (නාත සුර විමන), මහා වාසල සහ දළදා මාළිගය පිහිටි ස්ථාන පහසුවෙන් හඳුනාගත හැක.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Kandy, Anuradha Seneviratna,1983
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • දියතිලක නුවර, පැරණි ස්මාරක සහ ස්ථාන, සෙනරත් බණ්ඩාර දිසානායක, 1997