Showing posts with label Kotte. Show all posts
Showing posts with label Kotte. Show all posts

Saturday, July 11, 2020

තුන් සිංහලයේ රජකම එපා කියා අස්වානේ දෙවියන් වූ සකලකලාවල්ල, පියා මැරවීමට පතසේ උල් සිටවූ කළුකුමාරයා හා උඩුගම්පොල පතහ

උඩුගම්පොල පතහ පිළිබඳව කෙටි විස්තරයක් ඒ සම්බන්ධ කෙටි වීඩියෝවක්ද සමගින් පසුගිය සතියේ පල කලෙමි.
එම ලිපිය කියවීමට Link >>
වීඩියෝව නැරඹීමට >>

මේ ලිපිය එම පතහ සහ උඩුගම්පොල රාජධානියට අයත් ලෙස සැලකිය හැකි ප්‍රදේශයේ හමුවන වෙනත් නටබුන් සහිත ස්ථාන පිළිබඳව මෙන්ම උඩුගම්පොල රාජධානිය කර වූ සකලකලාවල්ල රජු පිළිබඳව සහ එම යුගයේ වෙනත් දේශපාලන තොරතුරුද ඉදිරිපත් කිරීම සඳහා වෙන්වේ.

කෝට්ටේ රාජධානිය, ප්‍රාදේශීය උප රාජධානි සහ ඒවා අතර දේශපාලන සම්බන්ධතාවය 
සිංහල රාජාවලියේ අවසාන වරට මෙරට එක්සේසත් කල හයවන පරාක්‍රමබාහු රජතුමා (1411-1466) පුත් තනතුරේ ඇති කල කුමාරවරුන් දෙදෙනෙකි සපුමල් කුමාරයා සහ අඹුලුගල කුමාරයා. මොවුන් දෙදෙනා පසු කලක පිළිවෙලින් ශ්‍රී බුවනෙකබාහු (හයවන බුවනෙකබාහු [1469-1477]) සහ වීර පරාක්‍රමබාහු (1480-1489) ලෙසින් කෝට්ටේ අගනුවර කරගෙන මෙරට පාලනය මෙහෙයවූහ. වීර පරාක්‍රමබාහු රජු හට සිය අග බිසවට දාව ධර්මපරාක්‍රමබාහු සහ (එක දෝලියක සරණ පාවාගෙන මැණික්කඩවර සිටි)  විජයබාහු, සහ රාජසිංහ  යන පුතුන් තිදෙනෙක්ද, රයිගම් නුවර විසූ තවත් පුතෙක්ද වූහ. එම අග බිසවගේ බාල සොහොයුරියකට දාව රජුට උඩුගම්පොල විසූ සකලකලාවල්ල සහ මාදම්පේ විසූ තනියවල්ල නම් තවත් පුතුන් දෙදෙනෙකුද සිටි බව රාජාවලියේ සඳහන් වේ.

වීර පරාක්‍රමබාහුගෙන් පසු මොවුන් අතරින් ධර්මපරාක්‍රමබාහු (1489-1513) රාජ්‍යත්වයට පත්වන අතර රාජාවලියටද මූලාශ්‍ර වන අලකේශ්වර යුද්ධය පවසන ලෙසට ධර්මපරාක්‍රමබාහුගේ අනෙක් සොහොයුරන් වූ තනියවල්ල කටුපිටි මාදම්පේ නගරය ඉදිකර එහිද, සකලකලාවල්ල උඩුගම්පොල නගරය ඉදිකර එහිද, ශ්‍රී රාජසිංහ සහ විජයබාහු මැණික්කඩවර නුවර ඉදිකර එහිද, බාලම සොහොයුරා රයිගමද වාසය කර ඇත.

හයවන පරාක්‍රමබාහු තුන් සිංහලය එක්සේසත් කර මුළු දිවයිනටම සිය බලය පැතිරවූ මුත් මේ වන විට ජනගහණයෙන් බහුතරය දිවයිනේ නිරිතදිග කොටසට සංකේන්ද්‍රණය වී තිබූ බව පෙනේ. රාජධානි නිරිතදිගට ව්‍යාප්ත වීමට පෙර රජරට රාජධානිය පැවතී යුගයේ මෙන් ප්‍රදේශ අතර සන්නිවේදනය සාපේක්ෂව පහසු තැනිතලා භූගෝලිය පිහිටීමක් ඒ වන විටත් ඝන වැසි වනාන්තර වලින් වැසී තිබූ මෙම නිරිතදිග පෙදෙසේ නොතිබුනි. මධ්‍යම කඳුකරයේ සිට සාගරය දක්වා ගලායන වසර පුරා ජලයෙන් පිරී පවතින ගංගා පද්ධතිය මෙම සන්නිවේදනය සහ ගමනාගමනය තව දුරටත් අපහසු කරයි. ප්‍රදේශ අතර සම්බන්ධතා පවත්වා ගත් වනාන්තර මැදින් වැටී තිබූ අඩි පාරවල්ද වැසි කාලයත් සමග නැවත හඳුනාගැනීමට නොහැකි අයුරින් ශ්‍රීඝ්‍රයෙන් වනාන්තරයෙන් වැසී යයි (අවාරය නිමා කර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට පෙර ශ්‍රී පාදය රත්නපුර සහ පලාබද්දල මාර්ග ඔස්සේ වන්දනා කරන්නන්ට අදද මේ තත්වය යම් තාක් දුරකට අවබෝධ කර ගත හැක.)
උඩුගම්පොල පතහ - කබොක් ගලින් කල නැගෙනහිර  බැම්ම
තවද හයවන පරාක්‍රමබාහුගෙන් පසු බලයට පැමිණි බොහෝ රජවරුන් එතරම් ශක්තිමත් රජවරු නොවූ අතර ඔවුන් රාජ්‍යත්වයට පැමිණීමට තිබූ සුදුසුකම්ද අභියෝගයට ලක් නොවූවාම නොවේ. උදාහරණයක් ලෙසට හයවන පරාක්‍රමබාහුගෙන් පසූ ජයවීර පරාක්‍රමබාහු (1466-1469) නමින් කෝට්ටේ පාලකයා වී රටේ බලය ලබාගන්නා හයවන පරාක්‍රමබාහුගේ දියණිය වූ උලකුඩය දේවියට සහ නන්නුරුතුනයාට දාව උපන් කුමරු මරා සපුමල් කුමරු ශ්‍රී බුවනෙකබාහු ලෙසින් රජවන මුත් කළුගඟේ සිට වලවේ ගඟ (වල ඔය) දක්වා කලාපයේ ප්‍රාදේශීය පාලකයන් සමග පස්යොදුන් කෝරලයේ කැකුලන්දොල ශ්‍රී වර්ධන පතිරාජයා සහ කුරගම හිමියාණන් කැරලි ගසයි. මෙම කැරැල්ල "සිංහල පෙරළී " ලෙසින් රාජාවලිය හඳුන්වයි. කැරැල්ල මැඩපැවැත්වීමට සපුමල් කුමරුට හැකිවන මුත් ඔහුට විරුද්ධ සිංහල ප්‍රභූවරු පිරිසක් සිටි බවට මෙයින් හැඟී යයි.

මෙවන් තත්වයක් යටතේ ධර්මපරාක්‍රමබාහු රජු නිරිත දිග කලාපයේම විවිධ ප්‍රදේශ වල ඔහුට විශ්වාසී සිය සොහොයුරන් රඳවා එම පලාත්වල පාලන කටයුතු ඔවුන් ලවා මෙහෙයවූ බව සිතිය හැක. එහෙත් යාපනය රාජධානියේ සිට සපුමල් කුමරු දකුණට පැමිණීමත් සමග දුරින් පිහිටි එම ප්‍රදේශය නැවතත් කෝට්ටේ පාලනයෙන් ක්‍රමයෙන් මිදෙමින් පැවතී අතර සයවන පරාක්‍රමබාහු යුගයේ සිටම කන්ද උඩරට පදනම් කරගනිමින් උපරාජධානියක් ඉදිවීමේ ලකුණු පහල වී තිබුණි. එහෙත් නිරිත දිග කලාපයට සාපේක්ෂව මෙම ප්‍රදේශ අඩු ජන ඝනත්වයක් සහිත හෙයින් පිරිස් බලය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද ශක්තිමත් කෝට්ටේ පාලකයාට අවනතව සිටීමට මෙම ප්‍රදේශ වල පාලකයන්ට සිදුවිය. එහෙත් එම ප්‍රදේශ පදනම් කරගනිමින් වරින් වර කැරලි පැණ නොනැගුනාම නොවේ.

සකලකලාවල්ල රජු 
මෙවැනි තත්වයක් යටතේය සකලකලාවල්ල කුමරා උඩුගම්පොල නුවරක් ඉදිකරන්නේ. සකලකලාවල්ල ගැන රාජාවලියේ ඉන්පසු සඳහන් වන්නේ යොන්ගොල්ලකුත් සමග හලාවතට පැමිණි කායලපට්ටනමේ කදිරායන (අලකේශ්වර යුද්ධයේ සඳහන් වන ලෙසට කායල්පට්ටනමේ අදිරාසරායන් මුදලියා) නම් යොනෙක් (මුස්ලිම් පුද්ගලයෙක්) එහි මුතු කිමිදීමටත්, බලෙන් ඇතුන් අල්ලන්නත් පටන් ගැනීමත් සමග ධර්මපරාක්‍රමබාහු රජු මහා සේනාව සමග සකලකලාවල්ල රජු පිටත් කල බවත්, ඔහු මාදම්පේට ගොස් සිය මලනුවන් වූ තනියවල්ල සමග එහි ගොස් ඔවුන් සමග සටන් වැද බොහෝ යොනුන් මරා, කදිරායන මුදලියාටත් ඇන මරා, මුතු කිමිදීමට පැමිණි බොහෝ යොන්ගොල්ලන් අල්ලගෙන ඔවුන්ගේ සම්බාන් (එනම් එම නමින් හැඳින්වූ ඔරු) ඇතුන් ලවා පොඩි කරවා අසුන් නවදෙනෙකුත් අල්වාගෙන ජයවර්ධන නුවරට පැමිණ පරාක්‍රමබාහු රජුගෙන් බොහෝ තාන්නමාන්න ලැබගෙන තම තමන්ගේ නුවරවල් වලට ගිය බවට වූ සිද්ධිය විස්තර කිරීමේදීය.
උඩුගම්පොල පතහ - කබොක් ගලින් කල දකුණු බැම්ම
මේ කාලය වනවිට කෝට්ටේ රාජ්‍යයට යටත් ප්‍රදේශීය රාජ්‍යයක් ලෙසින් පැවති උඩරට රාජ්‍යය අවම වශයෙන් අවස්ථා දෙකකදී කෝට්ටේ රාජ්‍යයෙන් මිදී ස්වාදීන වීමට උත්සාහ කල බව රාජාවලි වාර්තා වලට අනුව පැහැදීලි වේ. එහි විස්තර වන පරිදි එම රජු (සේනාසම්මත වික්‍රමබාහු [1479-1511] ) සිංහාසනයක් මත හිඳ රාජ්‍යය විචාරීම, කාසි නිකුත් කිරීම (ඔහු නමින්), කෝට්ටේ රාජ්‍යයට ගෙවිය යුතු බදු නොගෙවීම සහ අංගම්පොර සටන් වල නියලීම ආදී උප රාජධානියක රජෙකු විසින් නොකල යුතු කාර්යයන් කරමින් මුල් අවස්ථාවේ මේ උත්සාහය දරා ඇත. එහෙත් එම වෑයම මැණික්කඩවර සිටි ශ්‍රී රාජසිංහ සහ කීරවැල්ලේ රාලහාමි නම් වූ ඔහුගේ මස්සිනා එක්ව ව්‍යර්ථ කරයි. යලිදු අවස්ථාවක සතර කෝරලයේ කැරලි ඇති කරමින් උඩරට රජු එවන් උත්සාහයක් දැරූ විට එය මැඩලීම උදෙසා ධර්මපරාක්‍රමබාහු රජු පිටත් කරන්නේ සකලකලාවල්ල රජුය. යටිනුවර දක්වා ගොස් කඳවුරු ලා ගන්නා සකලකලාවල්ල රජු හමුවීමට පැමිණෙන උඩරට රජු මුතුකුඩයක්, හක්ගෙඩියක්, පලිහක් සහ සිය කර බැඳි මාලය පිරිනමා යටත් වේ. එම මාලය සකලකලාවල්ල රජු සිය පයේ බැඳ, නැවත ඒකනායක මුදලියාගේ කරේ දමා උඩරට රජුට  තරවටු කර නැවත එම උත්සාහයද මැඩලයි.

රාජාවලියට අනුව පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටද මෙරට පාලකයා වූවේ ධර්මපරාක්‍රමබාහු රජුය (රාජාවලිය පවසන පරිදි එය සිදුවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ1522 දීය.) එම අවස්ථාවේ ධර්මපරාක්‍රමබාහු රජ සිය සොහොයුරන් සිව්දෙනා (පෙර සොහොයුරන් පස් දෙනෙකු පිළිබඳ විස්තර හමුවන මුත් මේ අවස්ථාවේ එම ගනන 4 ක් ලෙස දැක්වේ.) කැඳවා කුමක් කල යුතුදැයි සාකච්චා කර ඇත. මේ අවස්ථාවේ ඔහුගේ එක් සොහොයුරෙකු වූ චක්‍රායුධ රජ වෙස්වලාගෙන ගොස් ප්‍රතිකාලුන් පිළිබඳව විමසා බලා ඔවුන් හා යුද කිරීම නුවණට හුරු නොවන බව පවසා තෑගී භෝග හුවමාරුවක් සිදුකර ඇත. (මේ නමින් යුත් සොහොයුරෙක් ගැන පෙරදී සඳහන් නොවේ. අඩු වැඩි වශයෙන් රාජාවලි පිටපතක් ආශ්‍රයෙන්ම රචිත ලෙස හැඟෙන ඕලන්ද ජාතික වැලන්ටයින්ගේ [Francois Valentijnවිස්තරයේ මෙම කාර්යය සඳහා ගිය රජු ලෙස දක්වන්නේ උඩුගම්පොල රජතුමාය (King of Oedoegampala). ඒ අනුව චක්‍රායුධ යනු සකලකලාවල්ලගේම වෙනත් නමක් ලෙස හඳුනාගත හැක. එම අදහස තවදුරටත් ශක්තිමත් කිරීමක් පෘතුගීසි  ජාතික ක්වේරෝස් පියතුමාගේ [Fernao de Queyros] විස්තරයේ හමුවේ.  ක්වේරෝස් පියතුමාගේ වාර්තාවේ ධර්මපරාක්‍රමබාහුගෙන් පසු වැඩිමහළු චක්‍රායුධ [Chacrauade Bau] වෙනුවට බාලයා වූ විජයබාහු [Vigia-Bau] තෝරාගත් බව පවසයි. මෙය පහත විස්තර වන රාජාවලි විස්තරය හා සැසදූ විටද චක්‍රායුධ යනු සකලකලාවල්ලම බව හඳුනාගත හැක. සැ.යු. මේ අදහසට විරුද්ධ අදහසක් හැඟෙන තොරතුරක්ද ක්වේරොස් වෙනත් ස්ථානයක දක්වයි)

ධර්මපරාක්‍රමබාහු මිය ගිය පසු රාජ්‍යත්වයට පත්වන්නේ 'අලකේශ්වර යුද්ධය' පවසන ලෙසට ඒ වන විට "යුව රජු" ලෙස සිටි සකලකලාවල්ල රජු නොව බාලයා වූ මැණික්කඩවර සිටි විජයබාහු රජුය. මේ වන විට ඔහු සමග මැණික්කඩවර එක් බිසවක තබාගෙන සිටි රාජසිංහ රජු මියගොස්ය. කෙසේ නමුත් රාජාවලිය, අලකේශ්වර යුද්ධය සහ තවත් මූලාශ්‍ර කිහිපයකම දැක්වෙන්නේ ධර්මපරාක්‍රමබාහු මිය ගිය විට ප්‍රබල ඇමතියන් (මහාමන්ත්‍රීන් ) සහ සේනාව උඩුගම්පොල සිටි සකලකලාවල්ල රජු ජයවර්දන නුවරට (එනම් කෝට්ටේට) කැඳවාගෙන පැමිණි මුත් කරුණු කිහිපයක් ඇති බැවින් තුන් සිංහලයේ රජකම ඔහු ප්‍රතික්ශේප කර විජයබාහු හට රජකම පැවරූ බවය. සකලකලාවල්ල රජුගේ මව වීර පරාක්‍රමබාහු රජුගේ අග බිසව නොවීම සහ විජයබාහු රජුගේ මව ඔහුගේ අග බිසව වීම මේ සඳහා බලපා එක් හේතුවක් විය හැක. ඉක්බිති සකලකලාවල්ල රජු නැවතත් සිය රාජධානිය වන උඩුගම්පොලටම පිටත් වේ.

සිංහල මූලාශ්‍ර වල මින් පසුවත් කිහිප විටක්ම සකලකලාවල්ල රජු පිළිබඳව සඳහන් වන මුත් ඒ යම් යම් වෙනත් පුද්ගලයන් හා සකලකලාවල්ල රජු අතරවූ ඥාති සම්බන්ධතා සහ සකලකලාවල්ල රජු ජීවත්ව සිටි කාලයේ එම පුද්ගලයන්ට අදාල තොරතුරු විනා සකලකලාවල්ල රජුට කෙලින්ම අදාල වන තොරතුරු නොවේ. කෙසේ නමුත් ලිඛිත මූලාශ්‍ර නැවතූ තැනින් පදනමක් ඇතිව හෝ නැතිව ප්‍රභවය වී ජනයා අතර පරපුරෙන් පරපුරට නිරන්තරයෙන් කොටස් එකතු වෙමින්, විකෘති වෙමින් සහ කොටස් අඩු වෙමින් පැවත එන ජනශ්‍රැතිය සකලකලාවල්ල රජුගේ පුතෙකු පිළිබඳව තොරතුරු අපට පවසයි. මේ ඒ පිළිබඳවය.
උඩුගම්පොල පතහ
කළුකුමාර දෙවියෝ
සකලකලාවල්ල(භ) රජුට රජක කුලයේ බිසවකගෙන් උපන් කළුකුමාර නම් පුතෙකු වීලු. හෙතෙම කුමාර බණ්ඩාර, මැණික් සාමි, මල්මද කුමරා ආදි නම් වලින්ද හඳුන්වා ඇත. උඩුගම්පොල රාජ්‍යය තමාට දෙන ලෙස මේ කුමරා පිය රජුගෙන් ඉල්ලා ඇති මුත් ඔහු එය ප්‍රතික්ශේප කල හෙයින් කුමරා පිය රජු මැරවීම උදෙසා ඔහු නාන තොටේ උල් සිටුවා ලීය. එහෙත් එය රජුට සැලවී ඔහු අල්ලා සිරකරන ලෙස අණ කලේය (දිය මතුපිටට ආසන්නව තිබූ එම උල් වල කෙලවර කළු දෙබරුන්/බත් කූරන් වසා සිටීම නිසා රජුට එය හසුවූ බවට එක් ජනප්‍රවාදයක කියැවේ.) බියපත් වූ කලු කුමාරයා වීරා නම් වූ සිය සේවකයාද සමග සමනල අඩවියට පැන ගියේය. එහෙත් එහි ජීවත් වීම අපහසු බැවින් (මෙරට වියලි කලාපීය වනාන්තර වල මෙන් නොව මිනිසාට ජීවත් වීමට අවැසි ශාකමය ආහාර සහ දඩයම් තෙත් සහ කඳුකර කලාපයේ වනාන්තර වල සුලභ නොවේ.) කළුකුමාරයා වීරාද සමග පර්වතයකින් පැන (කුණුදිය පර්වතය ලෙසින් එක් මූලාශ්‍රයක සඳහන් වේ.) දිවි හානි කරගත්තෙලු. මියගිය කළුකුමාරයා කළුකුමාර දෙවි බවටද, වීරා වීරමුණ්ඩ දෙවි (යකු) බවටද පත්විණි.

නමින් පසිදු උඩුගම්පොල පියසා
පියන් මරන ලෙස ඇවිදින වයසා
දෙපන්සියක් උල් සදලා පතසා
කියන් වරුණ බල තෙද පෑ විලසා

ජනප්‍රවාදයට අනුව සකලකලාවල්ල රජු මෙම ගල් ආසනය මත සිට දිය නෑමට පතහට පනින ස්ථානයේ කළු කුමාරය උල් සිටුවා ඇත.
කළු කුමාර දෙවි (යකා) ලෙසින් හැඳින්වෙන දෙවිවරු කිහිප දෙනෙක්ම මෙරට ජනයා අතර පුද පූජාවට ලක්වෙන අතර ඔවුන් සඳහා ප්‍රාදේශීයව වෙනස් උත්පත්ති කතාද හමුවේ. මේ ගම්පහ උඩුගම්පොල ප්‍රදේශය ආශ්‍රීතව පැවතෙන එවන් එක් කතාවකි.

අස්වානේ දෙවියෝ
සකලකලාවල්ල රජුගේ පුත් කුමරා පමණක් නොව සකලකලාවල්ල රජුද මරණින් පසු ජනයා අතර දේවත්වයෙන් පුද ලැබීය. ඒ අස්වානේ දෙවි නමිනි. මේ ඔහුගේ කතාවයි. සකලකලාවල්ල රජු මිනුවන්ගොඩ ඔය හරස් කර වානක් බැඳ ප්‍රදේශයේ ජනතාවට කෘෂිකර්මය සඳහා අවශ්‍ය ජල සම්පාදනය කර දී ඇත. එය කළවානේ වැව ( වාන කළ >  කළවාන ) ලෙස හඳුන්වයි. එහෙත් ටික කලකදී වැව්බැම්ම කැඩී ගිය හෙයින් රජුගේ අනියම් බිසවක් වන රජක කාන්තාවක එයට බිලී දී ඇත. එයද අසාර්ථක වූ බැවින් රජුද වැවට පැන මිය ගියේය. රජු වෙනුවෙන් ගැමියන් ඒ ආසන්නයේ දෙවොලක් ඉදිකර පුද පූජා කිරීමට පටන් ගත්හ. වාන කැඩී ගිය හෙයින් අස් - වාන (වාන අස් වුනා) යයි ව්‍යවහාර වී දේවාලය, එය පිහිටි ගම සහ දෙවියන් අස්වානේ දේවාලය, අස්වාන සහ අස්වානේ දෙවියන් ලෙසින් හඳුන්වන්නට වීලු. අස්වානේ දෙවි ඇදහිල්ල මෑතක් වනතෙක්ම මේ ප්‍රදේශයේ තිබී ඇත (වර්තමාන තත්වය නොදනී.)
මාලිගාගොඩැල්ල හෙවත් උත්තරාරාම විහාරභූමියෙන් හමුවන නටබුන් (2007 වසරේදී ගත් ඡායාරූප)
උඩුගම්පොල පතහ සහ වෙනත් නටබුන්
උඩුගම්පොල පතහ ආසන්නයේ පිහිටි මාලිගා ගොඩැල්ල නම් ස්ථානයක මේ වනවිට උත්තරාරාම විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇතත්, ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව සහ එම ස්ථානයේ හමුවන ඇතැම් ශෛලමය අවශේෂ කොටස් වලට අනුව පැරණි රජ මාළිගය මෙම ස්ථානයේ තිබුණ බවට අපට අනුමාණ කල හැක. මෙම පතහ හා ඉහත කළුකුමාරයා සම්බන්ධ ජන කතාවට සාධකයක් විය හැකි ඔහුට හමුවූ උල් කල දැව කොටසක් පිළිබඳව නැසී ගිය කවියෙකු, නාට්‍යය රචකයකු සහ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු වූ දයානන්ද ගුණවර්ධනයන් ලියූ "සකලකලාවල්ල උඩුගම්පොල රජතුමා" නම් ග්‍රන්ථයේ සඳහන් බව පැවසේ ( එම මූලාශ්‍රය නොමැති බැවින් එය පිරික්සා බැලීමට නොහැකි විය.) කෙසේ නමුත් මෑතකාලීන කැනීම් වලදි හමුවූ එවැනි දැව කොටසක් උඩුගම්පොල ප්‍රදේශීය සභා පරිශ්‍රයේ තබා ඇති බව පැවසේ (එහි ඡායාරූපයක් මෙම වෙබ් අඩවියේ පලකර ඇත >>) ඇතැම්විට වෙනත් කටයුත්තක් සඳහා යොදාගත් මෙවැනි දැව කොටස් මෙම ස්ථානයේ පැරණි යුගයේ බහුල ලෙස හමුවීම ඉහත ජන කතාව නිර්මාණයට ඉවහල් වූවාද විය හැක.
මාලිගාගොඩැල්ල හෙවත් උත්තරාරාම විහාරභූමියෙන් හමුවන නටබුන් (2007 වසරේදී ගත් ඡායාරූප)
මූලාශ්‍ර
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
  • සිංහල දේව පුරාණය, කේ. එන්. ඕ ධර්මදාස, එච්. එම්. එස්. තුන්දෙනිය, 2015
  • සිංහල රණවිරු දෙවිවරු, විභාවි විජයශ්‍රීවර්ධන
  • University of Peradeniya, History of Sri Lanka, Volume II (c1500 to c1800), Editor K.M. de Silva  1995
  • The Rajavaliya, A Comprehensive Account of the Rulers of Sri lanka, And the first ever translation of the Alakesvara Yuddhaya, A.V. Suraweera, 2000
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 3  සංස්කාරක ආචාර්ය W.M.K. විජේතුංග, 2012
  • Francois Valentijn's Description of Ceylon, Translated and Edited by Sinnappah Arasaratnam, 1978
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930


Thursday, February 18, 2016

ඉංග්‍රීසීන් සිංහලයන්ට දීපු දෙමළ රාජ්‍ය ආපසු දියව්!!!!

ඉන්ග්‍රිසීන් වරින් වර පළාත් බෙඳූ ආකාරය- මූලාශ්‍ර Wikipedia - විශාලනය කිරීම සදහා පිංතූරය මත ක්ලික් කරන්න
රටේ ජාතික ආරක්ෂාව අඩපන කරමින් සහ කෙරෙමින් තිබූ සංවර්ධනය ආපසු හරවමින් සිදුවූ "ආප්ප විප්ලවයට" සිය උපරිම දායකත්වය සැපයීමේ පිං පලදී "පිං විපක්ෂනායක" කම ලබාගත් දෙමළ ජාතිවාදි නායකයා මෑතකදී පවසා තිබුනේ ඉංග්‍රීසීන් 1948 දී සිංහලයන්ට බාරදීපු දෙමළ රාජ්‍ය නැවත ඔවුන්ට දෙන ලෙසය. ජාතිවාදීන්ට කප්පම් දෙන නිවට පාලකයන්ට නොව මේ නම් මොහු රැවුල පාන්නේ බහුතරයක් ජාතිවාදි නොවන සිංහල ජාතියටය (සිංහල ජාතිය එහි පුළුල් අර්ථයෙන් එනම් ජාතිවාදි නොවන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග ඇතුලත්ව )

මේ ජාතිවාදියාගේ කීමට කිසිවෙකු වැඩි යමක් නොකීවේ "ආප්ප විප්ලවයෙන්" පසු බිහිවූ ජාතිවාදින්ට කප්පම් දෙන ඊණියා "සහජීවනයට" බාදා වේ යැයි සිතු බැවින් විය හැක. නැගුනු විරෝධතාද "සුපිරි මාධ්‍ය නිදහස" හමුවේ යටපත් වූ බවක් පෙණුනි. ඇත්තටම ඉංග්‍රීසීන් ඔවුන්ට ලැබුනු වර්තමාන උතුරු හා නැගෙණහිර පලාත් වල තිබුනා යැයි කියන දෙමළ රාජ්‍යයක් සිංහලයන්ට බාරදුන්නාද?

අප දන්නා පරිදි මේ කියන පලාත් දෙකද ඇතුලත් මුහුදුකර පෙදෙස් ඉංග්‍රිසීන් ලබාගන්නේ ලන්දේසින් යුද්ධයෙන් සහ කූට උපක්‍රම මගින් පලවා හරිමිනි. ලන්දේසින් ඊට පෙර එම පෙදෙස් උදුරා ගන්නේ පෘතුගීසීන්ගෙනි. ඒ අතර කාලය තුලදි වරින් වර සිදුවූ උඩරට, සීතාවක සහ කෝට්ටේ රජුගේ සේනා ඉහත බටහිර ආක්‍රමණිකයන්ගෙන් අපගේ රටේ කොටස් මුදවාගැනීම් සහ නැවත ගිවිසුම් මගින් ලියාදීම් වැනි සියල්ල මොහොතකට පසකින් තබා පෘතුගීසීන් මේරටේ එවකට තිබූ ප්‍රාදේශීය පාලනයන් හා මුලු මහත් රටේම පාලකයා ගැන කිවූ තත් කාලීන වාර්තා විමසා බැලීමෙන් මේ කියන ඊනියා දෙමළ රාජ්‍ය මිත්‍යාව ප්‍රලාඵයක් බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි.

පෘතුගීසි යුගයේ ඉතිහාසය සම්බන්ධ විශ්වකෝෂයක් බඳු කෘතියක් කල ක්ව්‍රෝස් පියතුමා පෘතුගීසීන් පැමිණෙන විට මෙරට තිබූ දේශපාලනික තත්වය සම්බන්ධයෙන් මෙසේ පවසයි.

"රාජපුරේ (Rajapure එනම් අනුරාධපුරය) අගනුවර වී තිබූ යුගයේ මුලු දිවයිනම එක් රජෙකු යටතේ පාලනය විය. නමුත් කෝට්ටේ නගරය (City of Cota) අගනුවර වීමත් සමග දිවයිනේ කෝට්ටේ රාජධානියට යටත් ප්‍රාදේශිය රාජධානි 15 ක් තිබුණි. එමනිසා කෝට්ටේ පාලකයා අධිරාජ්‍යයා (Emperor) ලෙස සැලකුණි. එම විරුදය දැන් කන්ද උඩරට පාලකයා විසින් දරනු ලබයි*. එම රාජධානි නම් දෙනවක (Dinavaca), ඌව (Uva), වලවේ (Valave) , පුත්තලම (Putelao), මාන්තොට (Mantota), තණගම(Tanagama), මුලියාවුලි(Muliauali), ත්‍රිකුණාමලය(Triquilimale), කොට්ටියාර්(Cutiar), මඩකලපුව(Batecalou), පානම(Paneva), බින්තැන්න(Vintena), ඔරුපොල(Orupula), මාතර(Mature), කන්ද උඩරට(Candea) සහ උතුරු කොනේ යාපනපටුනය (Point of the North, Jafanapatao). ඒවා සහ කෝට්ටේ රාජධානිය එකතු වීමෙන්  16 ක් සැදේ. "

*ක්ව්‍රොස් සිය කෘතිය රචනා කරන්නේ ඔවුන්ට දිවයිනේ අයිතිය නැතිවූ පසුව රටේ වැඩි ප්‍රදේශකය බලය  උඩරට පාලකයාට තිබූ අවධියේය.

ප්‍රාදේශිය රජුන් යටතේ හෝ දිසාවේ වරුන් යටතේ වූ මේ කුඩා රාජධානි සැම එකක්ම පාහේ කෝට්ටේ වූ රටේ රජතුමාට යටත් ව තිබූ බව නොවේද ක්වේරෝස් මේ පවසන්නේ? එසේ නම් ඉහත කී දෙමළ ජාතිවාදියා කියන "ඉංග්‍රිසීන් විසින් 1890 පමණ වන විට වර්තමානයේ ඇති ආකාරයෙන් බෙදාවෙන් කර අවසන් කල උතුරු හා නැගෙණහිර පලාත්" වල තිබුනා යැයි කියන ස්වාධීන දෙමළ රාජ්‍ය තිබුනේ මොන දිල්ලියෙන්ද? ක්වේරෝස්ම මෙහි කියන අයුරින් උතුරු කොනේ කුඩා ප්‍රාදේශිය රාජ්‍යක් ආර්ය චක්‍රවර්ති රජවරුන්ගේ පාලනයෙන් සැලකිය යුතු කාලයක් (බොහෝ විට දඹදෙනි යුගයේ සිදුවූ චන්ද්‍රභානු ආක්‍රමණයෙන් පසුව ) තිබූ බවට පිළිගත හැකි සාක්කි හමුවන මුත් ආර්ය චක්‍රවර්තිවරුන් දෙමළද නොමැති නම් මලයාසියානු කලාපයෙන් පැමිණි ආක්‍රමනිකයන්ද යන්න විවාදාත්මක පැනයකි. පරණවිතාන මහතාට අනුව නම් ඔවුන් ආර්යයන්ය ( එනයින්ම ඔවුන් ද්‍රාවිඩ නොවන බව ගම්‍ය වේ ). එසේම එම රාජ්‍යයේ සිංහලයන් සිටි බවට සාධක ක්වේරෝස්ම සිය කෘතියේ වරින් වර පවසයි. ඒ පිලිබඳව පසුව සලකා බලමු. කෙටියෙන් පැවසිය යුත්තේ මේ ජාතිවාදියා කියන ආකාරයේ කොයිකලක හෝ තිබූ දෙමළ රාජ්‍යක් නම් 1948 ඉංග්‍රීසීන් විසින් සිංහලයන්ට පවරා නොදුන් බවය.

මූලාශ්‍ර

Monday, December 21, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 4 - හය වැනි පරාක්‍රමබාහුගේ Central Cafe දෙමළ සෙල්ලිපිය සහ සපුමල් කුමරුගේ නල්ලුර් කන්දසාමි කෝවිල

හුණුගලක දෙමළ අකුරු වලින් කොටා තිබූ සෙල්ලිපියක් යාපනයේ ප්‍රධාන වීදීයේ (Main Street) පිහිටි Central Cafe නම් වූ වෙළඳ සැලක දොරක් අභියස බිමට අතුරා කිසිවෙකුගේ අවධානයට ලක් නොවී වසර ගණනාවක්ම තිබුනි. එම වෙළඳ සැලට ඉදිරියෙන්ම පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ සේවකයන්ද දිනපතාම පාහේ මෙම ස්ථානයට තේ පානය සඳහා පැමිණි මුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය වර්ෂ 1968 වනතුරුම අනාවරනය වූවේ නැත.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
වර්ෂ 1915 දී  Yalppana Carittiram නමින් මුත්තුසාමි නම් වූ පුද්ගලයෙක් කල ග්‍රන්ථයක එන සඳහනකට අනුව පෘතුගීසීන් විසින් නල්ලුර් නගරය විනාශ කිරීමෙන් පසු එහි තිබූ ගොඩනැගිලි වල ගඩොල් සහ ගල් කනු ආදිය යාපනය කොටුව සහ නිවාස සෑදීමට උපයෝගි කරගෙන ඇති අතර යාපනයේ පැරණි නගරයේ පරංගී විදියේ (වර්තමානයේ Main Street හෙවත් ප්‍රධාන විදිය ) පිහිටි පජානානන්තර්ගේ පැරැණි නිවසේ පඩියකට යොදාගෙන ඇත්තේද අකුරු කෙටූ එවන් ගලකි. පජානානන්තර්ගේ එම නිවස අප මෙහි සඳහන් කල Central Cafe සහ වෙනත් වෙළඳ සැල් පිහිටි 18 වන ශතවර්ෂයේ අවසාන භාගයේ හෝ 19 වන ශතවර්ශයේ මුල්භාගයේ පමණ ඉදිකල බව හැඟෙන ගොඩනැගිල්ල බව මේ පිළිබඳව කරුණු සෙවූ ඉහත සඳහන් සෙල්ලිපිය පසුව පරිවර්තනය කර Epigraphia Tamilica පලමු වෙලුමේ ඉදිරිපත් කල මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල (Karthigesu Indrapala) මහතා හඳුනා ගනී.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
කැබැලි වූ මෙම සෙල්ලිපියේ පේලි 25 පමණ ඇති මුත් ඉන් කියවිය හැකි මට්ටමේ පවතින්නේ පේලි 15 පමණි.  ලිපිය ආරම්භයේම ඇති  'ශ්‍රී' අකුර ග්‍රන්ථ අක්ෂර වලින් සහ ඉතිරි කොටස 15 වන ශතවර්ෂයේ භාවිත දෙමළ අකුරු වලින් රචිත මෙම ලිපිය කෝට්ටේ සිට තුන් සිංහලය අවසාන වරට එක්සේසත් කල 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ නයිම්මන සහ මුන්නේස්වරම් (කියවන්න සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා) දෙමළ සෙල් ලිපි වලට බොහෝ දුරට සමාන කමක් දක්වයි. ලිපිය පිහිටුවීමේ අරමුණ සඳහන් කොටස ගෙවී ගොස් ඇති බැවින් කියවිය හැකි කොටසින් අනාවරනය වනුයේ එය පිහිටවූ රජතුමාගේ නම පමණි. ශ්‍රී සංඝබෝධිවර්මන් ත්‍රිභුවණ චක්‍රවර්ති  ශ්‍රී පරාක්‍රමබාහු දේවා ලෙස සඳහන් එම රජු හඳුනා ගැනීම එතරම් අපහසු නැත. 15 වන සියවසේ එම නමින් යාපනය ප්‍රදේශය හා සම්බන්ධව නම කියවෙන්නේ ඉහත සඳහන් සෙල්ලිපි දෙකෙහිද සඳහන් 6 වන පරාක්‍රමබාහු (ක්‍රි.ව.1412 - 1467) රජු පමණි.

නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරි න
දුල කර සේසත් මිණිබරණ කිරණි    න
බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙ    න
බල සේනානායක සපු කුමරු එ        න

සැළළිහිණි සංදේශයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් එලෙසින් වර්ණනා කරන්නේ පරාක්‍රමබාහුගේ හදාවඩා ගත් දරුවෙකු වන සේනානායක සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල්, ආර්යචක්‍රවර්ති නම් වූ යාපා පටුන ප්‍රදේශයේ බලය පැතිරවූ ප්‍රාදේශිය රජු මරා ඔහුගේ රාජධානියේ බලය අල්ලා ගෙන නැවැත පැමිණෙන අයුරුය. ඉන් පසු එම සපුමල් කුමරු යාපා පටුනේ පරාක්‍රමබාහු යටතේ පාලනය මෙහෙය වූ බව රාජාවලිය පවසයි. වර්තමානයේ නල්ලුර් වල තිබෙන කන්දසාමි කෝවිල හෙවත් කතරගම දෙවිඳුන් සඳහා පුද කල දේවාලය පිහිටුවන්නේද එම සපුමල් කුමාරයාය. ඒ බව අදටත් එම දෙවොලේ ගැයෙන කත්තියම් (Kattiyam) වල සඳහන් වේ (6 වන පරාක්‍රමබාහුට පසුව භුවනෙකභාහු ලෙසින් කෝට්ටේ රජ වන සපුමල් කුමරු එම කත්තියම් වල හැඳින්වෙන්නේ ශ්‍රී සංඝබෝධි භුවනෙකබාහු ලෙසිනි.). එසේ නම් මෙම ලිපිය එම යාපා පටුන ජයගැනීම ගැන හෝ නල්ලුර් දේවාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ සඳහනක් විය නොහැකිද?

* 70 දශකය වන විටත් Central Cafe භූමියේ පිහිටි එම සෙල්ලිපියේ වර්තමාන ඉරණම පිළිබඳව ලිඛිත මූලාශ්‍ර වල කිසිවක් සඳහන් නොවේ.

සම්බන්ධිත පෙර ලිපි
මූලාශ්‍ර 
  • Epigraphia Tamilica, A Journal of Tamil Epigraphy Volume 1, Part 1, Edited by Karthigesu Indrapala, Jaffna Archaeological Society, 1971.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සැළළිහිණි සංදේශය
  • Pieris P.E., 1917, Nagadipa and Buddhist remains in Jaffna, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume XXVI, 70.
  • Ancient Jaffna, Mudaliyar C. Rasanayagam, 1926

Friday, November 6, 2015

17 වන සියවසේදි ප්‍රැන්සිස්කානු නිකායට බිලිවූ බොදු පුදබිම්.

කතෝලික දහම මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමින් ලෙස සැලකිය හැක්කේ 1534 දී ප්‍රථම වරට කෝට්ටේ
රජුගේ ඇරයුමින් මෙරටට පැමිණි ප්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ය. රටේ අනිකුත් ප්‍රදේශ වල බලය පතුරුවාගෙන සිටි ප්‍රාදේශිය රජුන් සමග වූ - විශේෂයෙන්ම සීතාවක රාජධානියේ මායාදුන්නේ සමග - අභ්‍යන්තර අරගල වලින් හෙම්බත් වී සිටි කෝට්ටේ පාලකයා වූ බුවනෙකබාහු මේ ඇරයුම කරන ලද්දේ හුදෙක් පෘතුගීසීන්ගේ හොඳහිත දිනාගැනීමට විනා ඔහුට කතෝලික දහම මෙරට පතුරුවාලීමට හෝ තමාට එම දහම වැලඳගැනීමට හෝ කිසිදු වුවමනාවක් නොවූ බව පෘතුගීසීන්ගේ දැඩි බලකිරීම් මධ්‍යයේ  පවා ඔහු මරණය දක්වාම බෞද්ධයකුව සිටීමෙන් පැහැදිලි වේ.* මෙරට පාලකයකු ලෙස පලමුවරට කතෝලිකයකු වන්නේ දොන් ජුවන් ධර්මපාල නමින් ප්‍රකටව සිටි ඔහුගේ මුණුබුරාය.

තමන් අදහන දහම විනා අන් කිසිදු ආගමක් නොතැකූ පෘතුගීසින් තමන්ගේ අණසක පතුරුවාලිය හැකි පෙදෙසේ වූ එවන් අනිකුත් ආගමික මධ්‍යස්ථාන විනාශ කරමින් නොනැවතී එවන් ස්ථාන වල කතෝලික දෙව් මැදුරු ඉදි කිරීම සහ බෞද්ධ විහාර සහ දේවාල ගම් වල ආදායම එම පල්ලිවරට පවරා දීමද සිදු කලහ.

වර්ෂ 1631 වන විට ප්‍රැන්සිස්කානු නිකායේ පමණක් දෙව් මැදුරු 54 දිවයිනේ බටහිර වෙරල තීරයේ වූ බවට Paul da Trindade ඔහුගේ Conquista Espiritual do Oriente නම් කෘතියේ පවසයි. ඔහු එක් එක් දේවස්ථාන පිළිබදව කෙටි හැදින්වීමක්ද දෙන අතර එම දේවස්ථාන ගොඩනැගීමට පෙර එම ස්ථානයේ වූ "මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ" ආගමික ආයතන පිළිබදවද ඇතැම් විට සදහන් කරයි. මේ ඒ ඇසුරින් සම්පාදිත ලිපියකි. මේ ඇතැම් ස්ථාන වල වර්තමානයේ පවා පැරණි විහාර වල නටබුන් දැකිය හැකි අතර එම ස්ථාන වල ඡායාරූපද මේ සමග පලවේ.  උපුටාගැනීම මෙරට කතෝලික පල්ලියේ ඉතිහාසය The Catholic Church in Sri Lanka නම් වූ  අගනා ග්‍රන්ථ පෙලක් මගින් ලොවට හෙලිකල V. ෆර්නියෝලා (V. Perniola) පියතුමාගේ පෘතුගීසී යුගය සම්බන්ධ එහි දෙවන වෙලුමේ වූ ට්‍රිනිඩේඩ් ගේ කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනයේ කොටස් වලිනි.

නවගමුව 
Nagao ලෙසින් හඳුවන මල්වාන ආසන්නයේ 'ගම් නවය' යන තේරුමින් යුත් ග්‍රාමයේ තිබූ බව පවසන මෙම ස්ථානය හඳුනාගැනීම අපහසු නැත. ඒ අද දිනයේ නවගමුව පත්තිනි දේවාලය පිහිටි ස්ථානයයි. නවගමුව ගම මිත්‍යාලබ්ධික රජු විසින් එම ස්ථානයේ කලින් තිබූ විශාල ගොඩනැගිලි වලින් සමන්විත ඉතා අනර්ඝ විහාරයට පූජා කර තිබූ බවත් එම විහාරය පිහිටි ස්ථානයේ දැන් සාන්ත ජෙරම් (Glorious doctor St Jerome) උදෙසා පූජාකල දේවස්ථානය පිහිටි බවත් ට්‍රිනිඩේඩ් පවසයි. 1631 වන විට එම ගමේ ක්‍රිස්තු භක්තිකයන් 2123 සිටි බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මාපිටිගම
කලින් සිංහලයන්ගේ ප්‍රසිද්ධ විහාරයක් පිහිටි ස්ථානයක කැලණි ගඟ ආසන්නයේම මාපිටිගම (Mapitigao) දේවස්ථානයක් පිහිටා තිබූ බව ට්‍රිනිඩේඩ් පවසයි. පැරණි විහාරයේ නටබුන් ඒ වනවිටද දක්නට තිබූ බව වැඩි දුරටත් ඔහු හෙලි කරසිටී. මේ අද මාපිටිගම ලෙසින් හැදින්වෙන ප්‍රදේශය බව Mapitigao යන්නෙහි අරුත "ගමේ විශාල කුඹුර"(The big field of the village) යනුවෙන් අර්ථ දක්වා තිබීමෙන් පැහැදිලි වේ. කලින් කැප්ටන් ජෙනරාල් ලෙස සිටි අසවේදු (Dom Hieronimo d' Azevedo) විසින් මෙම දේවස්ථානය පිහිට වූ බවත්, 1631 වන විට ගංවතුර හේතුවෙන් එය බෙහෙවින් විනාශ වි තිබූ බවත්, ඒ නිසා වඩා උස් ස්ථානයකට ගෙන යෑමට ඒ වන විට අදහස් කර තිබූ බවත් හෙතෙම පවසයි.  එම දේවස්ථානයට අනුයුක්තව බැතිමතුන් 1278 සිටි බව පැවසේ. මෙම භූමිය පිහිටි නිශ්චිත ස්ථානය හඳුනාගැනීමට හැකිවී නැත.

කැළණිය
පෙර කල කෝට්ටේ රජතුමාගේ නිවාඩු නිකේතන මාලිගාව පිහිටි ස්ථානයේ ශාන්ත බර්තලමියු දේවස්ථානය (Church of San Bartholomeu of Calane) පිහිටා ඇති බව ට්‍රිනිඩේඩ් පවසයි. රජ වාසලේ පාදම පමනක් එවකට දක්නට තිබූ බව ඔහු වැඩි දුරටත් හෙලි කර සිටී.

වත්තල
කලින් ස්වදේශිකයන්ගේ විහාරයක් පිහිටා තිබූ ස්ථානයක කොළඹ සහ මීගමුව අතර ගඟ තරනය කල පසු හමුවන කුඩා දේවස්ථානයක් ගැන ට්‍රිනිඩේඩ් සදහන් කරයි.  ශාන්ත ජේම්ස්(St james) සදහා පුද කල එය පිහිටි බව පවසන Betal යනු වර්තමාන වත්තල ප්‍රදේශයයි.  එහි ක්‍රිස්තු භක්තිකයන් 730 සිටි බව පැවසේ.

මෙවන් විනාශයන් සිදු කල පෘතුගීසින් මෙරටට පැමිණ වසර 500 ගතවූ 2005 දී එවකට පෘතුගීසි අගමැතිවරයාද කැන්දාගෙන එය සැමරීමට නැකත් බැලු දෙවන දොන් ජුවන් ධර්මපාල කෙනෙකුද 2002 වන විට මෙරට පහල වී සිටියහ.ජාතියේ වාසනාවට 2004 දී ඔහුට සියල්ලු අකුලාගෙන පල්ලම් බැසීමට සිදුවීමෙන් එම උත්සාහය ව්‍යවර්ත වී ගිය මුත් ඉන් වසර 10 කට පසු 'පරංගියා' නැවතත් මෝඩ සිංහලයන්ගේ කරපිටින්ම ජය ලබා ඇත.

දකුනු මුහුදු තීරයේ ප්‍රැන්සිස්කානු දේවස්ථාන වලට බිලීවූ බෞද්ධ පුදබිම් ගැන විස්තරත් සමග නැවත හමුවෙමු.

මූලාශ්‍ර
    
   * Historical Sketches (Ceylon Church History), Father S.G. Perera S.J., 1962
      The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume III 1620-1658, V. Perniola s.j., 1991

මේ සමග පලවන්නේ නවගමුව දේවාල පරිශ්‍රයේ වර්තමාන ගොඩනැගිලි වටා අතරින් පතර දක්නට ලැබෙන පැරණි ශෛලමය නටබුන් වල ඡායාරූප වේ.

Thursday, October 15, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා

6 වැනි පැරකුම්බා යනු අවසාන වරට සිංහලේ එක්සේසත් කල රජු ලෙස සැලකේ. කෝට්ටේ හෙවත් ශ්‍රි ජයවර්ධනපුර රාජධානිය කරගනිමින් රාජ්‍යය විචාල එතුමන් ද්‍රවිඩයකු වන සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල් යවා ආර්ය චක්‍රවර්තිගෙන් යාපාපටුන මුදාගත් බව කෝකිල, සැළලිහිනි සංදේශ වැනි සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකින් මෙන්ම රාජාවලිය වැනි ඉතිහාස ග්‍රන්ථ වලින්ද හෙලිවේ.

කිනම් කලක ආරම්භ වී දැයි නිශ්චිතවම කීමට පිලිගත හැකි සාධක නොමැති මුත් කෝට්ටේ යුගය වන විට මුන්නේස්වරම  දේවාලය තිබූ බවට ක්‍රි.ව. 1441 - 1446 කාලයේ ලියවුන කෝකිල සංදේශයේ එන මෙම කවියෙන්ද පසක් වේ.

පැල දිඟු වෙනුර සරහන කොතබු මිණ ලෙසින්
දළ රිවි බිඹු බබළත වෙසෙස සහ රසින්
දළ සඳ පිහිටි මුන්නේ සරම දැක තොසින්
ලෙළ තුඟු තුරෙක වැද සැතපෙන්න සිතුලෙසින්

මෙහි 'දළ සඳ' ලෙසින් හැදින්වෙන්නේ මෙහෙසුරු හෙවත් ඊස්වර දෙවියන් බැවින්, මුන්නේස්වරම යනු ඊස්වර දෙවියන් වෙනුවෙන් වූ දෙවොලක් බව පෙනේ. එසේම 'මුනි' සහ 'ඊස්වරම්' යන වචන එකතු වීමෙන් මුන්නේස්වරම යන්න සෑදී ඇති බවද සැලකිය හැක. මේ කාලය වන විට සලාවත් තොට (හලාවත) ජනාකීර්ණ වරායක්ව පැවති බැවින් ඒ ආසන්නයේ පිහිටි මෙම දෙවොලද මෙම නැව් තොටින් වෙළදාම සඳහා පැමිනි ශිව දෙවියන් අදහන දකුනු ඉන්දීය හින්දු භක්තික දෙමළ වෙළෙදුන්ගේ ජනප්‍රිය පූජනීය ස්ථානයක් වූවා විය හැක. එසේම මෙම සියවස් වල විවිධ දකුනු ඉන්දිය ජන කණ්ඩායම් වරින් වර මෙරටට සංක්‍රමණය වීම් සිදුවූ බවට සාධක ඇති බැවින් මෙරට බටහිර වෙරලේ පදිංචි වූ එම ජන වර්ග වල පුදපෙත් කටයුතු වෙනුවෙන් මුන්නේස්වරම ඉදිවූවාද  විය හැක. (මෙම ජන කණ්ඩායම් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝසනය වූ අතර පසු කාලීනව ඔවුන් හින්දු ආගම අතහැර කතෝලික සහ බෞද්ධ ආගම් වැලඳ ගත්හ. ඒ පිළිබඳව සවිස්තරාත්මකව පසුව සලකා බලමු ) තවද හලාවත කේන්ද්‍රගත කරගෙන සිදුවූ මුතු සහ වාලම්පූරි සෙවිම සදහා කිමිදීමේ කටයුතු වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් මෙරටට වසරේ එම කිමිදීම් සිදුවන කාල වලදී පැමිණි දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාගෙන් නිතර වැඳුම් පිදුම් ලැබූ පුද බිමක් ලෙසටද ඇතැම් විට මුන්නේස්වරම පවතින්නට ඇත.

දේවාලයේ පාදමේ දැකිය හැකි සෙල්ලිපිය 
 අපගේ ප්‍රස්තුතය වන මෙම දේවාලයේ පිහිටි දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර උපයෝගි කරගනිමින් දෙමළ සහ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් ලියා ඇති සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ යාපා පටුන (වර්තමාන යාපනය ) අල්ලා ගෙන සිටි ඇතමුන් ද්‍රවිඩ රජෙකැයි පවසන ආර්ය චක්‍රවර්ති හෝ වෙනත් ද්‍රවිඩ සම්භවයක් ඇති රජ කෙනෙකු නොව කෝට්ටේ රජකම් කල සිංහල බෞද්ධ පාලකයකු වන හයවැනි පරාක්‍රමබාහු රජතුමාය. ආචාර්ය S. පත්මනාදන් මහතාට අනුව මෙම ලිපියෙන් කියවෙන ලෙසට පරාක්‍රමබාහු රජු ඔහුගේ 38 වන රාජ්‍ය වර්ෂයේදි මුන්නේස්වරම් දේවාලයේ ප්‍රධාන පූජක වරුන් කැඳවා දේවාලයේ කටයුතු කෙලෙසදැයි විමසා, පෙර එම පූජකයන්ට අයත්ව තිබූ මුන්නේස්වරම් ප්‍රදේශයේ ඉඩම් දේවාල බිම් ලෙස පවරාදී ඇත. තවද පූජක වරුන්ට ඉල්ලුප්ප දෙනියේ (Illuppa deni) අමුණු* 22 ක්ද, ප්‍රධාන පූජකයන්ට කෝට්ටයිපිට්ටි (Kottaipitti) හි අමුණු 30 සහ ටිට්ටක්කටයි (Tittakkatai) හි අමුණු 8 ක්ද පූජා කිරීමක් ලෙස දී ඇත. එසේම දිනපතා දවසට තුන්වරක් බත්, වෑංජන, බුලත් සහ සුවද වර්ගද, ප්‍රධාන පූජකයන්ට මාසිකව පනම් 30 බැගින් සහ අනෙකුත් පූජකවරුන්ට පනම් 11 බැගින්ද ඉර හඳ පවතින තුරා බදු රහිතව දීමනා දෙන ලෙසටද ඔහු  එයින් අණ කර ඇත. මෙම අණ කඩකරන්නන්ට දරුණු පස් මහ අපරාධ කරන්නන් රැස්කරන පව් ලැබෙන බවත් එහි අවසානයේ සටහන් කර ඇත.

සෙල්ලිපියේ කොටසක්
කෝට්ටේ යුගය අවසානය දක්වාම මෙම අණ ක්‍රියාත්මකව තිබී ඇත. පසු කාලීන පාලකයකු වන 9 වන පරාක්‍රමබාහු රජතුමාද 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ තඹ සන්නසක් මගින් තවත් ඉඩම් පවරාදීමක් මෙම දේවාලයට සිදු කර ඇත. එසේනම් එම අණ කඩකලෝ කවරහුද?

ප්‍රතිසංස්කරණය වූ මුන්නේස්වරම් දේවාලය
කෝට්ටේ රාජධානියේ සිංහල රාජ්‍ය බලය කෙමෙන් වියැකෙමින් යද්දී නැවතත් 'ශිෂ්ඨ සම්පන්න සුදු හම ඇති යුරෝපීයන්ගේ' ආගමික සහජීවනය සහ 'සිංහල බෞද්ධ ම්ලේච්චයන්' වන අපගේ ආගමික සහජීවනයේ වෙනස මැනවින් පසක් කරමින් දියෝගෝ ද මේලෝ (Diogo de Mello) යටතේ පෘතිගීසි බල සෙන් 1578 දී මෙම දේවාලය බිමට සමතලා කර න ලදි. පසුව මුන්නේස්වරම් පත්තුවේ දේවාලයට අයත් ගම් 62 ක් ජේසු නිකායේ (Jesuits) පූජකයන් 1606 දී ආරම්භ කල සාන්ත පාවුලු (St. Paul) දේවස්ථානයට පවරා දෙන ලදී.

17 වන ශතවර්ෂයේදී නැවතත් උඩරට සිංහල රාජධානියේ බලයට මෙම ප්‍රදේශය නතුවීමෙන් අනතුරුව, 18 වන ශතවර්ෂයේදී මුන්නේස්වරම නැවතත් ප්‍රතිසංස්කරණය වන්නේ රට පුරා විනාස වී තිබූ බෞද්ධ පුදබිම් අති විසාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණයට ලක් කල සිංහල බෞද්ධ සංස්කෘතිය වැලඳ ගත් දකුණු ඉන්දීය නායක්කර් රජ කෙනෙකු වන කීර්ති ශ්‍රී රාජසිංහ නරපතියන්ගේ අතිනි. ඉන්දියාවෙන් ගෙන්වූ ශිල්පීන් ලවා 1753 දී එහි වැඩ අවසන් කල බව පැවසේ.

* අමුණු - වී අමුනක් වගා කල හැකි වපසරියක් ඇති ඉඩමක්. මෙහි ප්‍රමාණය ප්‍රදේශය අනුව වෙනස් වේ.

මූලාශ්‍ර
  • The Munnesvaram Tamil Inscription of Parakramabahu VI, Pathmanathan, S. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume XVIII, 1974.
  • කෝකිල සංදේශය 
  • සැළලිහිණි සංදේශය
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913