Monday, November 30, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 3 - 'විජයරාජ චතුර්වේදීමංඟලම්' හි 'විජයරාජ ඊස්වරම්' තැනූ පළවෙනි විජයබාහු

වසර 77 ක සොලි පාලනයෙන් (993-1070) සිංහලේ මුදවාගත් විජයබාහු (1055-1110) රජු ගැන S. පරණවිතාන සහ C.W. නිකොලස් සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක් කෘතියේ මෙසේ පවසයි.

 "..රණකාමිත්වය අතින් මේ රජු ඉක්මවා යන වෙනත් එක  ද සිංහල රජෙකුවත් නැත්තේය. 'විජයබාහු කෙනෙකු නොවී නම් අද ලංකාවේ සිංහලයන් නොසිටින්නට ඉඩ තිබිණැ' යි පැවැසීම අත්ශයෝක්තියක් විය හැකිය. එහෙත් සිංහලයන්ට ස්වාධීනත්වය ලබාදීමේ පුරෝගාමියාත්, සිංහල ජාතිය ගොඩනැගුවන් අතර ප්‍රමුඛයාත් ඔහු බව නම් නිසැකය."

වර්ෂ 1933 දී පරණවිතාන මහතා කන්තලේ ප්‍රදේශයේ පාලම්මෝට්ටයි නම් ස්ථානයක පැරණි ශිව කෝවිලක නටබුන් අතරින් දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර වලින් රචිත පුවරු ලිපියක් සොයාගනී. පාදමට සහ කණු වලට පමණක් ගල් යොදාගනිමින් ගඩොල් වලින් කර තිබූ එම කෝවිල ඒ වන විට ගරාවැටී කැලයට යට වී තිබී ඇත.

දෙමළ භාෂාවෙන් කල එම ලිපියේ අරමුණ කන්තලායි හි හෙවත් විජයරාජ චතුර්වේදීමංඟලම් හි පිහිටි තෙන් කයිලාසම්  (දකුණු කයිලාසම්) හෙවත් විජයරාජ් ඊස්වරම් හි වැඩවසන ශිව දෙවියන්ට කල පූජාවක් පිළිබදව සටහන් කර තැබීමය. නැසී ගිය සිය සැමියා වන කාරාම්බචෙට්ටු යජ්ඤියක්‍රමවිට්ටන් බ්‍රාහ්මණයා වෙනුවෙන් ඔහුගේ බිරිය වන නාගායිච්චානී විසින් මෙම පූජාව සිරි සංඝබෝධි වර්මන් හෙවත් ශ්‍රී විජයබාහු දේවර් රජුගේ (එනම් පළමුවැනි විජයබාහු රජුගේ ) 42 වන රාජ්‍ය වර්ෂයේදී සිදු කර ඇත.

මෙම ලිපියට අනුව වර්තමානයේදි කන්තලේ යනුවෙන් හැදින්වෙන පූජාවලියට අනුව දෙවෙනි අක්බෝ (604-614) රජු ගඟතලා වැව කරවූ, එසේම නිශ්ශංකමල්ල රජු ඔහුගේ පොළොන්නරුව රන්කොත් වෙහෙර ටැම් ලිපියට අනුව සියලු මසුන්ට අභයදානය පිරිනැමූ ගඟතලා වැව පිහිටි, මෙම ලිපියෙහි කන්තලායි යනුවෙන් හැඳින්වෙන පුරවරය එකල හැඳින්වූ තවත් නමක් වන්නේ විජයරාජ චතුර්වේදීමංඟලම් වේ. **

දකුණු ඉන්දීය දෙමළ සෙල්ලිපි වල නිතර හමුවන චතුර්වේදිමංඟලම් යනු බ්‍රාහ්මණයන් සිටින ගම් හඳුන්වන වචනයකි. ඒ අනුව බොහෝ විට 11 වන සියවසේ චෝල පාලනයට රජරට නතු වූ කාලයේ සිටම මෙම ප්‍රදේශයේ බ්‍රාහ්මණ ගමක් තිබුනා විය හැක. විජයබාහු රජුගේ කාලයේද එයට රජුගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලැබුන හෙයින් එකල එය විජයරාජ චතුර්වෙදීමංඟලම් යනුවෙන් හැදින්වූවා විය හැක. එය අඛන්ඩව තවත් වසර 100 පමණ තිබූ බවට නිශ්ශංකමල්ල රජු කන්තලේ ගල් ආසන ලිපියේ එම ප්‍රදේශය චතුර්වේද බ්‍රාහ්මණපුර ලෙස හැඳින්වීමෙන් පැහැදිලි වේ (නිශ්ශංකමල්ල රජුගේ කන්තලේ ගල් ආසන සෙල් ලිපියට අනුව ඔහු චතුර්වේද බ්‍රාහ්මණපුරයේ පාර්වති නම් වූ දන් ශාලාව කරවන ලදී). එහි පිහිටි ශිව දෙවොල විජයරාජ ඊස්වරම් යනුවෙන් හැඳින්වීමෙන් බොහෝවිට එය විජයබාහු රජු ඉදිකල හෝ ඔහුගේ අනුග්‍රහය ලැබූ ස්ථානයක් බවට අනුමාණ කල හැක.

සොලී බලමුළු වලින් සිංහලයන් මුදාගත් සිංහල බෞද්ධ පාලකයකු සොලී දේශපාලන බලය මැඩපැවැත්වූ පසුවද මෙරට හැරදා නොගිය හින්දු ආගම අදහන ද්‍රවිඩ බ්‍රාහ්මණයන්ට අනුහ්‍රහය දැක්වූ අයුරු කෙතරම් කදිමද? ලොව වෙන යම් හෝ ජාතියක ආගමක දේශපාලන නායකයෙකුගෙන් තම සතුරාට එවන් අනුග්‍රහයක් ලැබි ඇත්ද?

සම්බන්ධිත පෙර ලිපි
මූලාශ්‍ර
        ** නිකාය සංග්‍රහයේ සඳහන් වන පරිදි දඹදෙනියේ රජ කම් කල දෙවැනි පරාක්‍රමබාහු රජු ගංතළා ඇතුලු තවත් තැන් කිහිපයක කඳවුරු බැඳ සිටි දෙමළ, මළල, ජාවකාදි වූ  සතුරු වියවුල් සන්සිඳවූහ.

  • * A Concise History of Ceylon, C.W. Nicholas & S. Paranavitana 1961 - සිංහල පරිවර්තනය - > සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, පරිවර්තන සංස්කාරක ඇස්. බී හෙට්ටිආරච්චි, 2005
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited & Translated by D.M.de. Z. Wickramasinge, 1912-1927
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 1997

No comments:

Post a Comment