Friday, March 22, 2019

බතලගොඩ වැව අසල "පරණ නුවර", කල්‍යාණවතී රැජිනගේ බදලගොඩ පුවරු ලිපිය සහ බදලත්ථල ගාමය

බදලත්ථල ගාමය/බදලගොඩ නුවර පිළිබඳව වංශ කතා තොරතුරු
  • චෝළ බලසෙන් මැඩ සිරිලක එක්සේසත් කිරීම උදෙසා රුහුණේ සිට සටන් වැදුනු විජයබාහු රජු සටන් පෙරමුණු දෙකකින් රජරට යටත් කරගැනීම උදෙසා බලසෙන් මෙහෙයවීය. ඉන් එක් සේනාවක් ඇමැතිවරු දෙදෙනෙකුගේ නායකත්වයෙන් නැගෙනහිර වෙරළ මාර්ගයේ යැවූ අතර දක්ඛිණපස්සයට යැවූ තවත් ඇමැතිවරු දෙදෙනෙකුගේ මෙහෙයවීම යටතේ වූ බල සෙන් මුහුන්නරුගම දුර්ගය (හෙට්ටිපොල අසල නුවරකැලේ), බදලත්ථල, වාපිනගර (කුරුණෑගල අසල වේනරු), බුද්ධගාම (මැණික්දෙන), තිලගුල්ල (තලගල්ලේ ඇල), මහාගල්ල (මාගල්ල/නිකවැරටිය), මණ්ඩගල්ල (පොල්පිතිගම අසල මහාමඩගල ) හා අනුරාධපුර බලකොටු අල්ලාගෙන ක්‍රමයෙන් මහාතිත්ථයට පැමිණියහ. දකුණු ඉන්දියාවෙන් පොළොන්නරුව දෙසට සහායක බල ඇණි පැමිණීම වලක්වාලීම මේ ආකාරයෙන් මහාතිත්ථයේ (වර්තමාන මන්නාරම අසල මාන්තායි ලෙසින් හැඳින්වෙන පැරණි වරාය පිහිටි ස්ථානය)  බලය තහවුරු කර ගැනීමේ අරමුණ වූ බව පෙනේ. [විවිධ විද්වතුන් විසින් ඉහත ස්ථාන හඳුනාගැනිම පිළිබඳව දක්වා ඇති අදහස් අනුව සැකසූ පහත සිතියම බලන්න.]

බතලගොඩ පුවරු ලිපිය - පරණවිතාන මහතා දකින විට වැව් සොරොව්වට ඔබ්බෙන් බෝක්කුවක තාප්පයට සවිකර තිබූ පුවරු ලිපිය මේ වන විට වැව් කණ්ඩිය මත ආරක්ෂිත වැටක්ද සහිතව වහලයක් සහිත කුඩා කුටියක තැන්පත් කර ඇත.

  • කිත්සිරිමේඝ රජු දක්ඛිණ දේශය පාලනය කරන අවධියේ දක්ඛිණ දේශය සහ රජරට පාලනය කල 2 ගජබාහු රජුගේ සීමාවේ පිහිටි බදලත්ථිලි නම් ගමට තරුණ පරාක්‍රමබාහු කුමරා පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. එවකට එම සීමා ගමෙහි ආරක්ෂාව කිත්සිරිමේඝ රජු විසින් සංඛ නම් සෙන්පතියා හට පවරා ඔහුව එහි නවතා ඇත. (මහා විජයබාහුගෙන් පසු ලංකාද්වීපයේ ප්‍රදේශ රජ කුමරුවන් අතර බෙදී ගිය ආකාරය පිළිබඳව වැඩි විස්තර සහිත පෙර ලිපිය කියවීමට  Link>> ) පරාක්‍රමබාහු කුමරාගේ උපනයනය කිරීමේ උත්සවයද පවත්වන ලද්දේ බදලත්ථිලි ගාමයේදීය 
  • දක්ඛිණ දේශය පාලනය කල කිත්සිරිමේඝ රජුගේ අගනුවර වූවේ සංඛනායකත්ථලි නමින් හැඳින්වූ ගමයි. මෙය වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගමට සැතපුම් 5 පමණ ඊසාන දෙසින් වූ හත්නාගොඩ (හත්නාගොඩ යන්නෙහි පාලි සංඛනායකත්ථලි යන අර්ථය ඇතඅසල පේරාදෙණි නුවර ලෙසින් හැඳින්වෙන පෙදෙස ලෙසින් පරණවිතාන මහතා හඳුනාගෙන ඇත. පරාක්‍රමබාහු කුමරු සංඛනාථත්ථලි (සංඛනායකත්ථලි යන්නෙහිම වෙනත් ස්වරූපයක්) සිට පස් ගව්වක් (සැතපුම් 15) පමණ මග ගෙවා තවත් වරක බදලත්ථලි නම් පෙදෙසට නොදුරු පිලිංවත්ථු  ගමට පැමිණි බව මහාවංශයේ තවත් ගාථාවක සඳහන් වේ. එහිම එන විස්තරයකට අනුව සංඛනාථත්ථලි සහ බදලත්ථලි අතර පදවාරසුඤ්ඤඤ්ඩ නම් වූ ස්ථානයක්ද තිබී ඇත (මෙම ස්ථාන දෙකම දැනට හඳුනාගත නොහැක). මෙම ගමනේදී පරාක්‍රමබාහු කුමරු විසින් සංඛ සෙන්පතියාව ඔහුගේ බලකොටුවේදීම මරා දමයි.

බතලගොඩ පුවරු ලිපිය 
  • පූජාවලියේ දැක්වෙන ලෙසට දඹදෙනියේ සිට රාජ්‍යය විචාල දෙවන පරාක්‍රමබාහු රජ සමයේ රජුගේ වඩිමහල් පුත්‍රයා වූ විජයබාහු කුමරා කුරුණෑගල නගරයේ ආරක්ෂිත පවුරු වාසල් ආදිය බඳවා, විහාර පිරිවෙන් ආදියද කරවා එම නුවර ආරක්ෂාවට බදලගොඩ නුවර බද මනුෂ්‍යයන් යෙදවීය.
  • ගම්පොල සිට රාජ්‍යය විචාල සිව්වන බුවනෙකබාහු යුගයේ පිහිටවූ ලංකාතිලක සෙල් ලිපියේ සඳහන් වන ලෙසට අලුත් බදලගොඩින් සහ පරණ බදලගොඩින් එම විහාරයට කුඹුරු පිරිනමා ඇත.
බතලගොඩ වැව සහ පරණ නුවර
මෙරට සෙල්ලිපි ගවේෂණයේ පුරෝගාමියෙකු වූ මුලර් (Edward Muller) මහතා සිය ග්‍රන්ථයේ Batalagodaluwa ලෙසින් කුරුණෑගල සිට දඹුල්ල පාරේ සැතපුම් 8 ක දුරුන් පිහිටි දෙහෙල්ගමුව (Dehelgomuwa) නම් ගමක සිට සැතපුමක් පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටි පැරණි වැවක් සහ එහි යාමට හරි හමන් අඩි පාරක්වත් නොමැති ඝන කැලෑවට යටවූ ස්ථානයක පිහිටි ගල් කණු සහ සෙල්ලිපියක් සහිත ගලක කොටසක් පිළිබඳව සඳහන් කරයි. සෙල්ලිපියේ අකුරු 15 වන සියවසට අයත් බව ඔහු පවසයි (එය නිවැරදි නොවේ)
ලිපියේ සඳහන් වන දැනට හඳුනාගෙන ඇති සමහර පැරණි ස්ථාන
කුරුණෑගල - දඹුල්ල පාරේ බතලගොඩ නමින් හැඳින්වෙන වැවක් හෙන්රි පාකර් මහතාගේ අධීක්ෂණය යටතේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පිලිසකර කර ඇත. වර්ෂ 1890 දී එහි පිලිසකර කිරීමේ කටයුතු ආරම්භ කල බව පාර්කර් සඳහන් කරයි. එම වැවට සැතපුමක පමණ දුරින් දැදුරු ඔය අසබඩ "පරණ නුවර" ලෙසින් හැඳින්වූ නටබුන් සහිත පෙදෙසක් තිබී ඇති අතර පාර්කර් පවසන පරිදි බලකොටුවක ලක්ෂණ විද්‍යාමාන කරමින් එම ස්ථානය තුන් පැත්තකින් උස් පස් බැමි වලින් වටවී තිබී ඇති අතර පුලුල් දිය අගල්ද ඒ වන විටත් ඔහුට දැකගැනීමට හැකිවී ඇත. දැදුරු ඔයේ බෑවුම් සහිත ඉවුර එහි අනෙක් සීමාව ලෙස ස්වභාවිකවම ආරක්ෂාව සපයා ඇති බැවින් බටහිර දෙසින් එක් බැම්මක් පමණක් තිබී ඇත. බලකොටුවට දකුණු දෙසින් ඔය ඉවුරේ තිබූ කුඩා විහාරයක් සහ දාගැබක් පිළිබඳවද ඔහු පවසයි.  

මෙම ස්ථානයේ වූ එක් ටැම් ලිපියක් සහ ඉහත මුලර් ද සඳහන් කරන පුවරු ලිපිය ගැනද පාර්කර් කරුණු ඉදිරිපත් කරයි. එම ටැම් ලිපිය 10 වන ශතවර්ෂයට අයත් බෙහෙවින්ම ගෙවී ගිය අක්ෂර වලින් ලියා තිබූ බව හෙතෙම සඳහන් කරයි. එහෙත් නැවත වර්ෂ 1931 දී එම ස්ථානයට ගිය පරණවිතාන මහතාට මෙම ලිපිය හමුවී නැති අතර ඔහුට කිසිවෙකු පවසා තිබුනේ එය වැව පත්ලේ ඇති බවත්, වැවේ වතුර අඩු වන කාලයට පමණක් එය දැකගැනීමට හැකි බවත්ය .
දනට බතලගොඩ වැවෙන් වගා කෙරෙන කුඹුරු ඉඩම්
පුවරු ලිපියේ අන්තර්ගතය සම්බන්ධව පාර්කර් පවසන ඇතැම් කරුණු නිවැරදි නොවන බව එය මුල් වරට කියවා ප්‍රකාශයට පත් කල H.C.P. බෙල් මහතා සහ සෙනරත් පරණවිතාන මහතාගේ ලිපි වලින් තහවුරු වේ. පරනවිතාන මහතාගේ සහ මෑතකදි නැවත වරක් එය ප්‍රකාශයට පත් කල සිරිමල් රනවැල්ල මහතාගේ කියැවීම් වලට අනුව අභා සලමෙවන් කල්‍යාණවතී ලෙසින් හැඳින්වෙන නිශ්ශංකමල්ල රජතුමාගේ බිසවක වූ පසුව ක්‍රි.ව. 1202 දී පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් කල්‍යාණවති රැජිනගේ පස්වන රාජ්‍ය වර්ෂයේදී චූඩාමණී නමැති අධිකාරිවරයා විසින් ඔහුගේ බල ප්‍රදේශය වූ මායා රාජ්‍යයේ මධ්‍ය දේශයට අයත් බදලගොඩ හෙවත් මංගල පුර වැව පිලිසකර කරවීම සහ ඒ අසල වූ ලක්විජය සං සිඟු සෙනෙවි විසින් කරවා ඒ වන විට අබලන් වී අතහැර දමා තිබූ සෙනෙවිරත් පිරිවෙනෙහි පිළිමගෙය කරවා, දාගැබද බඳවා සංඝාරාමයද පිලිසකර කර එහි වැසිකිලි සහ පැන්පැල් ද කරවා නැවත මහා සංඝයාට පවරා දීම පිළිබඳව විස්තර සටහන් කර එම ලිපිය කරවා ඇත. තවද එම විහාරයේ කටයුතු උදෙසා සොතෙමුණින් (දැනට හඳුනාගත නොහැක.) අමුණු සතරක ඉඩම්ද පිරිනමා ඇත.
කැබැලි කිහිපයකට කැඩී තිබූ මෙම ලිපියේ ඇතැම් කොටස් සොයා ගත නොහැක. සොයාගත හැකි වූ කැබැලි සිමෙන්ති දමා එකතු කර ඇත[පරණවිතාන මහතා සිතන ලෙසට හෙන්රි පාර්කර් විසින්] . එපමණක් නොව එම ලිපියේ අඩු අකුරු [බොහෝවිට පාර්කර් විසින්ම] සම්පූර්ණ කිරීමටද උත්සහා දරා ඇත. පරණවිතාන මහතා එම ක්‍රියාව එතරම් හොඳ දෙයක් ලෙස නොසලකයි. ඔහුගේ කියවීමේදි එම එකතු කල අකුරු නොසලකා හැර ඇත.
ඒ අනුව වර්තමාන බතලගොඩ වැව පිහිටි ප්‍රදේශය පොළොන්නරු යුගය වන විටද බදලගොඩ ලෙසින් හඳුන්වා ඇති බව පෙනේ. මහාවංශයේ බදලත්ථල, බදලත්ථිලි ආදි පාලි ස්වරූප වලින් කිහිප වරක්ම සඳහන් කරන ස්ථානයද මෙම බතලගොඩ වැව අසල ප්‍රදේශයම බව මෙම ලිපියේ මුලින් සඳහන් කල එම විස්තර සමග ඉදිරිපත් කරන අනෙකුත් ස්ථාන වල පිහිටීමට සාපේක්ෂව කරුණු විමසා බැලීමේදී පැහැදිලි වේ. දඹදෙනි යුගය වනවිටද බදලගොඩ නුවර ලෙසින්ම පැවති එම නුවර ගම්පොල යුගය වන විට අලුත් බදලගොඩ සහ පරණ බදලගොඩ ලෙසින් ප්‍රදේශ දෙකක් බවට පත්වී තිබෙන බව නොහොත් අලුත් බදලගොඩක්ද ඇතිවී ඇති බව ඉහත පූජාවලි සහ ලංකාතිලක සෙල්ලිපි වල එන සඳහන් වලින් පැහැදිලි වේ.

 පාර්කර් සඳහන් කරන බලකොටුව පිහිටි ස්ථානය පරණවිතාන මහතා එම ස්ථානයට යන විටද පෞද්ගලික හිමිකරුවෙකුට අයත් පොල් වගාවක් බවට පත්වී ඇති අතර, පැරණි අඟලේ සිතියම් වලට අනුව පරණගම්පිටිය ලෙසින් එම පෙදෙස හඳුන්වා ඇත. දිය අගල් සහ එහි සීමාව දක්වන පස් බැමි ලෙස හඳුනාගත හැකි තැන් දැනටද එම ස්ථානයේ Google Map පරික්ෂා කල විට දැක ගත හැකි අතර දිය අගලේ සලකුණුද ස්ථානයේ තවමත් හමුවේ. පාර්කර් සඳහන් කරන අවශේෂ නෂ්ඨාවශේෂ වල මේ වන විට තත්වය පැහැදිලි නැත. එය දැනටද පෞද්ගලික අයිතිය ඇති පොල් වගාවක් වන බැවිනි (එම හේතුව නිසාම එම ස්ථානය මේ ලිපියේ සිතියම් වල සලකුණු කිරීමේන් වැලකී සිටිමි.)
මූලාශ්‍ර
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925\
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI Sirimal. Ranawella, 2007
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VII Sirimal. Ranawella, 2014
  • Ancient Ceylon, H. Parker, 1909
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 - 1941), 1943

Sunday, March 17, 2019

පෙරදිග ධාන්‍යාගාරය සැබෑවක්ද? රට සහලින් ස්වයංපෝෂිත කලේ 6 වැනි පරාක්‍රමබාහුද අන්තිම විකුණුම්සිංහද?

මෙරට පාසල් පෙළ පොත් වල පවා සඳහන් වන සාමාන්‍ය ජනතාව අතරද මුල් බැසගත් මතයක් වනුයේ පෙර රජ දවස අප රට "පෙරදිග ධාන්‍යාගාරය" බවයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරමට ධාන්‍ය (කලාපයේ ප්‍රධාන ධාන්‍ය භෝගය වන වී මෙයින් අදහස් කලා විය හැක) ගබඩා කර නොහොත් නිපදවා ඇත්තේ මේ රට තුලය. පෙර රජවරුන් වී වගාවට අවශ්‍ය වාරිමාර්ග ආදී පහසුකම් ජනතාවට සපයා දුන් බව සහ දුර්භීක්ෂ ආදි උවදුරු වලක්වා ගැනීම උදෙසා බොහෝ දේ කල බවට සාධක ඇති මුත් අවම වශයෙන් මෙරට පසු කාලීන යුගයන්ට සාපේක්ෂව සශ්‍රීක යුගයක් ලෙස සැලකිය හැකි රජරට ශිෂ්ඨාචාරය පැවති යුගයේ වුවද සැමකල්හීම අවම වශයෙන් රටේ පරිභෝජනයට අවශ්‍ය තරමින් වත් ආහාර භෝග නිෂ්පාදනය වුනිද යන්න සැලකිල්ලෙන් විමසා බැලිය යුතුය. "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම නිතර භාවිතා වන්නේ මෙරටින් සහල් පිටරට වලටද අපනයනය කල බව අවධාරණය කරමින් වීමද මෙහිදි සිහිපත් කල යුතුය.

මේ අතර ලොව ප්‍රථම වතාවට සිය රටේ මහා බැංකුව කොල්ල කෑ එකම පාලකයා වන "ආසියාවේ මහා මොලය" සිය ඉතිහාස දැනුම නැවතත් ප්‍රදර්ශනය කරමින් මහා සොයාගැනීමක් කර තිබේ. කලකට පෙර පස්යොදුන් රටේ පහත් බිම් පස් දමා පුරවපු මහා පරාක්‍රමබාහු ගැන සහ නැවතත් කළුතර දීස්ත්‍රික්කයේ කුරුඳු වගා කර විදේශ විනිමය සොයා ගත් මහා පරාක්‍රමබාහු ගැන ලොවට හෙලි කල (Link>>) මේ මහා ඉතිහාස අඥානයා නැවතත් 6 වැනි පරාක්‍රමබාහු සමග කරලියට පිවිස ඇත. ඔහුට  අනුව 6 වැනි පරාක්‍රමබාහුගෙන් පසු රට සහලින් ස්වයංපෝෂිත වූවේ උන්නැහේගේ කාලයේදීය. වී වගා කරන කුඹුරු ඉඩම් ගොඩ කර දැමිය යුතු බව පවසා එය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කල ඔහුගේ පෙර පාලන සමය ගැන නොදන්නා සහ ඒ බව උවමනාවෙන්ම අමතක කල අම්බරුවන් රැලකගේ චන්දයෙන් බලයට පැමිණි මේ "මහා මොලය" බලය ඩැහැගත් සැනින් අන්තර්ජාතික ගුවන් තොටුපලක වී ගබඩා කර පලි ගත්තේ සැබෑවටම රට සහලින් ස්වයංපෝෂිත කල ඔහුට පෙර සිටි ජනහිතවාදී පාලකයන්ගෙන් පමණක් නොව ඔහුට චන්දය දුන් අම්බරුවන්ද ඇතුළු මුළු මහත් ජනතාවගෙන්ය.
මහා පරාක්‍රමබාහුගේ පිළිමය ලෙසින් ප්‍රකට වී ඇතිමුත් එසේ විය නොහැකි පොත්ගුල් වෙහෙර අසල පිහිටි පිළිමය
ඔහු සහලින් රට ස්වයංපෝෂිත කල ආකාරය බත් කන අම්බරුවන් නොවන සියළු දෙනාට රහසක් නොවන බැවින් සහ අප ඉහත සඳහන් කල පෙරදිග ධාන්‍යාගාරය යන යෙදුම වුවද භාවිතා වන්නේ 6 වන පරාක්‍රමබාහු යුගයට නොව මහා පරාක්‍රමබාහු යුගයට බව ජාතියක් ජම්මයක් නැති මේ පරගැති කළු සුද්දා නොදන්නා නමුත් පාසල් යන ප්‍රාථමික පන්ති වල සිසුන් පවා දන්නා බැවින් පරාක්‍රමබාහුලා රට සහලින් ස්වයංපෝෂිත කල කතාව සැබෑවක්ද නැතහොත් එයට සාධක පවතීද යන්න ගැන සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.

දුර්භීක්ෂ යුගයන්
මහාවංශය වැනි වංශ කතා මූලාශ්‍ර සහ අට්ඨ කතා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන්ම විවිධ අවස්ථා වලදී මෙරට දරුණු සාගත තත්වයන්ට මුහුණ දී ඇත. දුට්ඨගාමණී (ක්‍රි.පූ. 161-137), වට්ටගාමණී අභය හෙවත් වළගම්බා ( ක්‍රි.පූ 103 සහ නැවත ක්‍රි.පූ. 89-77) කුඤ්චනාග හෙවත් කුඩ්ඩනාග ( ක්‍රි.ව. 187-189), සිරිසංඝබෝධි ( ක්‍රි.ව. 247-249), පළමුවන උපතිස්ස (ක්‍රි.ව. 265-406) කිත්තිසිරිමේඝ හෙවත් කුඩා කිත්සිරිමෙවන් ( ක්‍රි.ව. 551-569), සිලාමේඝවණ්ණ (ක්‍රි.ව. 619 - 628) සහ දෙවන උදය ( ක්‍රි.ව. 887 - 898) යන රජවරුන්ගේ පාලන සමයන්හි මෙරටට බලපැවත්වූ සාගත තත්වයන් පිළිබඳව තොරතුරු එම මූලාශ්‍ර වලින් අනාවරණය වේ.

මේ අතරින් බැමිණිටියා සාය ලෙසින් හැඳින්වූ වට්ටගාමණී අභය රජුගේ කාලයේ ඇතිවූ සාගත තත්වය සහ එයින් භික්ෂුන් වහන්සේ ඇතුළු ජනතාව විඳි දුක් ගැහැට පිළිබඳව බොහෝ තොරතුරු වාර්තා වී ඇත. දිවිගලවා ගැනීම උදෙසා එම යුගයේ ඇතැමුන් මිනී මස් පවා අනුභව කල බව අට්ඨ කතා වල සඳහන් වේ. කෙසේ නමුත් අතරින් පතර ඇතිවූ මෙවන් සාගත තත්වයන් නිසා රට සහලින් ස්වයංපෝෂිත වූ අවධි එම යුගයේ නොපැවතිනි යැයි එකහෙලා පැවසීමට නොහැක. එක් අට්ඨ කතාවක පැවසෙන ආකාරයට එම බ්‍රාහ්මණතිස්ස භය පැවති කාලයේම සිතුල්පව්ව විහාරයේ භික්ෂූන් 12000 කට සහ තිස්ස මහා විහාරයේ එබඳුම ප්‍රමාණයක් වූ භීක්ෂූන්ට වර්ෂ 3 කට අවැසි තරම් ධාන්‍ය ගබඩාකර තිබී ඇත. එතරම් විශාල ප්‍රමාණයක ධාන්‍ය ගබඩා කර තැබීමට නම් නිෂ්පාදන අතිරික්තයක් අවම වශයෙන් භීක්ෂු සංඝයා සහ ප්‍රභූ පැලැන්තිය උදෙසාවත්  තිබිය යුතු බව පැහැදිලිය.
ඇලහැර යෝධ ඇල, වැඩි විස්තර සඳහා Link >>
සාගත බිය මැඩීමට රජුවරු අනුගමනය කල ක්‍රියාමාර්ග
"පොදොනවුලු පුලුඩාවුලුයෙන් කෙත් කම් සුලබ් කොට් සිරිලක් ළොන්ද්‍රර්වය් සා බිය නිවය්" -  ලෙසින් සලමෙය්වන් අබහය් මහ රජ ලෙසින් ලිපියේ තමා හඳුන්වාගන්නා රජෙකුගේ අනුරාධපුර ජේතවන විහාර පරිශ්‍රයේ තිබී හමු වූ පුවරු ලිපියක දැක්වෙන ලෙසට ඔහු අහස් දිය සහ වැව් දිය උපයෝගී කරගනිමින් කෘෂිකාර්මික කටයුතු උනන්දු කරවා සිරිලක සාගත බිය දුරු කොට එය සශ්‍රික කල බව සඳහන් වේ. (මෙම රජු පස්වන කස්සප/කාශ්‍යප (ක්‍රි.ව. 914 - 923 ) ලෙසින් හඳුනාගෙන ඇති අතර මෙහි එන "පොදොනවුලු පුලුඩාවුලුයෙන්" යන වචන පිළිවෙලින් අහස් දියෙන් සහ වැව් දියෙන් ලෙස සිරිමල් රණවැල්ල මහතා හඳුනාගන්නා මුත් ඒවා වැව් දෙකක නම් ලෙස එම ලිපිය මුල් වරට කියවා ප්‍රකාශයට පත් කල  Z. වික්‍රමසිංහ මහතාද, පර්ජන්‍ය සහ අග්නි යන දෙවිවරුන්ට යාතිකා කොට ලෙසින් සෙනරත් පරණවිතාන මහතාද අර්ථ කතනය කරයි. මෙයින් පරණවිතාන මතය එතරම් පිළිගත හැකි මට්ටමක නැත.)

මොණරාගල දිස්ත්‍රික්කයේ මාලිගාවිල අසල දඹේගොඩ බෝධිසත්ව පිළිම ගෙය තුල තිබී හමුවූ සිරිසඟබො මහ රජ්හු  තුමා ලෙසින් ලිපියේ ඔහුව හඳුන්වාගන්නා 5 වන මහින්ද (ක්‍රි.ව. 972 - 982 ) ලෙසින් හඳුනාගෙන ඇති රජතුමාගේ ටැම් ලිපියේ සඳහන් වන්නේ ඔහු " එ එ තන්හි සුන් වෑ බන්දවා පැවැත් වූ දියෙන් හෙළදිව්හි දුබික් පල්වා " ලූ බවයි එනම් ඒ ඒ තැන නටබුන් වූ වැව් බඳවා ජලය සපයා හෙළදිව දුර්භීක්ෂ නැති කල බවයි.  ඒ ආකාරයෙන් සාගත මැඩලීමට පෙර රජවරුන් නිරතුරුව ක්‍රියාමාර්ග ගත් මුත් දෙවන පරාක්‍රමබාහු සහ පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1272 - 1284) රජවරුන්ගේ සමයන්හීද මෙරට දුර්භීක්ෂ ඇතිවූ බවට තොරතුරු හමුවේ.

මේ අනුව පුරාතන සහ මධ්‍යතන යුගයන්හී මෙරට තුල වරින් වර දුර්භීක්ෂ තත්වයන් ඇති වුවද පාලකයන් නිරතුරුව ඒවා මැඩපැවැත්වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් රටේ පරිභෝජනය උදෙසා අවශ්‍ය තරමින්වත් තිබෙන්නට ඇති බවත් අනුමාණ කල හැක. මුළු දිවයින පුරාම සියළු කල්හීම එකම තත්වයක් බලපැවත්වීද? එසේම ප්‍රභූ සහ සංඝ සමාජයේ සිට සමාජයේ පහල ස්ථරය නියෝජනය කල ගැමියන් දක්වා මේ තත්වය එසේම පැවතීද යන්න අවසාන නිගමනයකට එලඹිය හැකි කාරණා නොවේ.
ගිරිතලා වැව
පෙර රජ දවස ධාන්‍ය අපනයනය සහ ආනයනය
මෙරටින් සහල් අපනයනය කල බවට අපගේ වංශ කතා වල කිසිදු සඳහනක් හමු නොවන අතර ඒ පිළිබඳව ඇත්තේ  එකම එක සාක්ෂ්‍යක් පමණි. ඒ දකුණු ඉන්දීය සංගම් සාහිත්‍යට අයත් ක්‍රි.ව. 2 සියවසේ රචනා කෙරුණු ලෙස සැලකෙන පත්තුපාට්ටු නම් ද්‍රවිඩ සාහිත්‍ය කෘතියේ ඉල්ලත්තුනාවු නම් රටින් දකුණු ඉන්දීයාවට "ආහාර ද්‍රව්‍ය" ගෙන ආ බවට වන සඳහනයි. මෙහි සඳහන් ඉල්ලත්තුනාවු, ශ්‍රි ලංකාව ලෙස හඳුනාගන්නා අතර එම "ආහාර ද්‍රව්‍ය" මොනාවාද යන්න හෝ ඒ අතර සහල් පැවතීද යන්න අවිනිශ්චිතය.

මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම බොහෝවිට ඇතිවන්නට ඇත්තේ මේ එකම තොරතුර පාදක කරගෙන වීමට පුළුවන. එහෙත් මෙලෙස සැමකල්හීම මෙරටින් දකුණු ඉන්දීය ප්‍රදේශ වලට සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපනයනය සිදු කරන්නට ඇති බවට ඉන් නිගමනය කල නොහැක. ඇතැම් කාල වලදී දකුණු ඉන්දීය ප්‍රදේශ වල සහල් (හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය) හිඟ වූ විට, මෙරට අතිරික්තයක් තිබුණි නම් ඒවා ගෙන්වා ගත්තා විය හැක. අනෙක් අතට "ආහාර ද්‍රව්‍ය" ගැන මිසක් සහල් ගැන මෙම සාහිත්‍ය කෘතියේ කිසිවක් සඳහන් කර නැත.

කෙසේ නමුත් මෙරටට සහල් ආනයනය සිදු කල බවට වූ සාධක කිහිපයක්ම හමුවේ. ඒ අතරින් 9 වන සියවසේ විසූ සංචාරකයකු වන ඉබ්න් කුර්දාබේ (Ibn Khurdadbeh) සඳහන් කරන්නේ දකුණු ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කල බවයි. එසේම 11 වන ශතවර්ෂයේ විසූ අල් ඉද්‍රිසි (Al-Idrisi) පවසන්නේ දකුණු ඉන්දියාවේ ජිර්බාතම් වරාය (Jirbatam) මෙරටට සහල් අපනයනය සිදු කල වරාය බවයි. මෙම සාධක වුවද සැම කල්හීම මෙරටට දකුණු ඉන්දීය ප්‍රදේශ වලින් සහල් ආනයනය කල බවට වූ සාධක ලෙස ගත නොහැකි අතර එම පුද්ගලයන් පවසා ඇති දේ සත්‍ය ලෙස සහ ඔවුන් පවසන්නේ මෙරට සම්බන්ධයෙන් තොරතුරු බව පිලිගත්තද ඒවා මුළු මහත් පුරාතන සහ මධ්‍යතන යුගයන්ට අදාල කරගන්නට යෑම එතරම් උචිත නොවේ. ඇතැම් කාල වල මෙරට අවශ්‍යතාවයට ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවන තත්වයන් යටතේ දකුණු ඉන්දීයාවේ සහල් අතිරික්තය මෙරටට ආනයනය කලා විය හැක.
ලොව විශාලතම ගඩොලින් කල නිර්මාණයක් ලෙස සැලකෙන ජේතවන දාගැබ (වැඩි විස්තර සඳහා  Link>> )
කෙසේ නමුත් රජරට ශිෂ්ඨාචාරය බිඳවැටීමත් සමග 16 වන සියවසේ කොරමන්ඩල් (Coromandel) සිට මෙරටට සහල් අපනයනය කල බවට වූ ප්‍රකාශ බාර්බෝසා (Duarte Barbosa) සහ වර්තෙමා(Ludovico di Varthema) වැනි පුද්ගලයන් තබා ඇත. මෙම සියළු කරුණු පසක තැබුවද රජරට ශිෂ්ඨාචාරය පැවැති යුගයේ ඉදිකර දැනටද විද්‍යාමාන සුවිසල් ඉදිකිරීම් පිළිබඳව විමසා බැලීමේදී පැවසිය යුත්තේ "පෙරදිග ධාන්‍යාගාර අතිශයෝක්තිය" කෙසේ වෙතත් යුද ගැටුම් ආදී පරසතුරු උවදුරු නොමැතිව ගෙවූ යුගයන්හී මෙරට සහලින් ස්වයංපෝෂිත ව තිබූ බවයි. නොමැති නම් එවැනි නිර්මාණ ඉදිකිරීමට තරම් ශක්ති සම්පන්න ශ්‍රම බලකායක් ඇතිවිය නොහැකි බැවිනි. සියල්ල නොරටට විකුණා ඉල්ලන් කන ආර්ථිකයක් බිහිකල විකුණුම්සිංහලාට සහ ඔවුන්ව එම තැනට ඔසවා තැබූ බත් කන ගව රැලට නම් සිව් වසරක් ගෙවී ගියද ඔවුන් පවසන පරිදි අවම වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිකිලි නැති ලක්ෂයකට එක වැසිකිලියක්වත් සාදා දෙන්නටවත් හැකි වී නැත. සියල්ල වනසා සිය මඩි තරකරගනිමින් ලගදීම "ගෙදර යෑමට නියමිත" එම සොර මුලට රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ නම්බුනාමය කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ රටක් වැනසූ පජාතම සොර මුලේ සම්මානය නම් මෙරට බත් කන බුද්ධිමත් ජනතාව හිමි කර දෙනු ඇත.

මූලාශ්‍ර
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1,2  සංස්කාරක ආචාර්ය W.M.K. විජේතුංග, 2012
  • සමෙමාහ විනොදනී නම් වූ විභංගට්ඨ කථා අභිධර්ම පිටකය (සිංහල පරිවර්තනය), බී. එම්. පී. බාලසූරිය, 2007
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume I, D.M.D.Z. Wickremasinghe (1904 - 1912), 1912
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Edited by Sirimal Ranawella, 2001
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part II, Edited by Sirimal Ranawella, 2004
  • ඉතා පැරණි සිංහල බණ කථා පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමි, 2001
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012

Monday, March 4, 2019

තඹවන් වැලි ඇති කුදිරමලය ඓතිහාසික තම්බපණ්ණි නුවරද?

"නැවෙන් ගොඩබට විජය හා පිරිස වෙහෙසව පොළොවෙහි අතුල් ඔබා ඉඳගත්හ. ඔවුන්ගේ අත් භූමියෙහි දූවිල්ලෙන් තඹවන් වූ හෙයින් ඒ පෙදෙසද , දිවයිනද තම්බපණ්ණී නම් විය."

"තම්බපණ්ණී නගරයෙහි සිට ලංකා රාජ්‍යානුශාසනයෙහි යෙදුණු විජය රජු අටතිස් වසරක් රාජ්‍යය කළේය."

තම්බපණ්ණි යනුවෙන් නගරයක් මෙරට මුල්ම රජු වූ විජය රජු ආරම්භ කල පුවත මහාවංශයෙහි විස්තර වනුයේ ඒ ආකාරයෙනි. විජය රජු හා ඔහු හා සම්බන්ධ බොහෝ සිදුවීම් සත්‍ය සිදුවීම් වලට වඩා මහාවංශය රචනා කල යුගය වන විට ජනප්‍රවාද ලෙස පැවතෙමින් ආ දේ ලෙස පෙනෙන මුත් තම්බපණ්ණි නමින් යුත් නුවරක් මෙරට මුල් ඓතිහාසික යුගයේ තිබෙන්නට ඇති බව පිළිගැනීමට එය බාධාවක් නොවේ. ලංකා, ලංකාදීප යන නම් වලට අමතරව මහාවංශයේ මුල් කොටසේ බොහෝ අවස්ථා වලදී තම්බපණ්ණිදීප යන නම මුළු දූපතම හැඳින්වීම සඳහාද යොදාගෙන ඇත. නමුත් විජය රජු ආරම්භ කලා යැයි පැවසෙන තම්බපණ්ණි නුවර පිළිබඳව ඉන්පසු කිසිදු සඳහනක් වංශ කතා වල හමු නොවේ.

මහාවංශයේ දෙවන කොටසේදී නැවතත් මුළු දිවයිනම හැඳින්වීම උදෙසා තම්බපණ්ණී යන නම මුල් වරට භාවිතා වනුයේ පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු යුගය පිළිබඳව විස්තර කිරීමේදී එක් අවස්ථාවකදී සහ ඉන්පසු යුගයන්හි තවත් අවස්ථා දෙකකදී පමණක් වන අතර අනතුරුව 1815 ඉංග්‍රිසීන් "සිංහළය" යටත් කරගත් පසු විජය රජු විසින් තම්බපණ්ණියෙහිදී ආරම්භ කළ සිංහළ රාජ්‍යතන්ත්‍රය... මෙසේ විනාශයට පත් වූ බව පවසන ගාථාවේද තම්බපණ්ණි යන වදන එම නුවර හැඳින්වීම උදෙසා යොදාගනී.
තම්බපණ්ණි නගරය දිවයිනේ කිනම් පෙදෙසක පිහිටා තිබුනිද යන්න හඳුනාගැනීම උදෙසා මහාවංශය එතරම් උපකාරී නොවේ.  නමුත් මහාවංශයටත් පෙර ලියවුන ලෙස පිළිගැනෙන දීපවංශය පවසන්නේ "දක්ෂිණ දිග්භාගයෙන් අති උත්තම නදීතීරයෙහි හෙවත් මහාසමුද්‍රාසන්නයෙහි හාත්පසින් (සිව් දෙසින් පැමිණි වෙළඳ ජනයා ආදීන්ගේ විය හැකි) පොදි ලිහන ස්ථාන වූ හෙයින් පුටභේදන නම් වූ තම්බපණ්ණි නුවර විජය කුමරු විසින් ගොඩනගන ලද බවයි.

"දක්ඛිණතො නදීතීරෙ" ලෙසින් එම විස්තරය සඳහන් වන දීපවංශ ගාථා විවිධ අයුරින් අර්ථ කථනය කල හැකි මුත් (නදී තීරයෙන් දකුණු දෙස හෝ දකුණු දික්භාගයෙහි නදී තෙර හෝ නදියේ දකුණු ඉවුරේ) මෙම යුගය සම්බන්ධව එතරම් විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකිය නොහැකි රාජාවලිය විජය කුමරු ඇතුළු පිරිවර "රුහුණු රට දෙසට ගොඩ බලා උන් විට...සමන්තකූට පර්වතය මහමුහුද මැදදී දැක.... අප ඉඳිනට දිවයිනකැයි සිතාගෙන ගොඩකරේ ඈත දැක තම්මැන්නා තොටින් ගොඩ බැස.." ලෙසින් තම්මැන්නා හෙවත් තම්බපණ්ණී නුවර රුහුණු රටේ පිහිටි ලෙස කෙලින්ම පවසයි. ඇතැම් විට දීපවංශයේ එන දකුණු දෙස පිහිටි නදී තෙර යන පාඨය රාජාවලි කතුවරයා රුහුණු රටේ පිහිටි නදි තෙර ලෙසින්ම තේරුම් ගත්තා විය හැක.

මෙම සීමිත සාධක ඇසුරු කරගනිමින් තම්බපණ්ණි නුවර හෙවත් තම්මැන්නා තොට හඳුනාගැනීම උදෙසා විද්වතුන් කිහිප දෙනෙකුම උත්සහ දරා ඇත. තම්බපණ්ණි නුවර ගං මුවදොරක පිහිටි බව සහ එය වරායක් සහිත පටුනු ගමක් බව ඉහත විස්තර අනුව අවිවාදිතය. එසේම එය මෙරට මුල් ඓතිහාසික ජනාවාස විහිදුනු ප්‍රධාන ගංගා කිහිපයෙන් එකක මුවදොර පිහිටිය යුතු බවද පැහැදිලිය.
මල්වතු ඔය ලෙසින් එහි මුල් කොටසේදී සහ අරුවි ආරු ලෙසින් එහි මුවදොර පෙදෙසේදී දැනට ව්‍යවහාර වන මහාවංශයේ කදම්භ නදී ලෙසින් හැඳින්වෙන නදියේ දකුණු ඉවුරේ තම්බපණ්ණිය පිහිටි බව C.W. නිකොලස් ඒ අනුව අනුමාණ කරයි.  ඔහු පවසන්නේ අරුප්පු ආශ්‍රිත ප්‍රදේශයේ පැරණි තම්බපණ්ණි නගරය පිහිටා තිබෙන්නට ඇති බවයි. H.W. කොඩ්රිංටන් මහතාද එම අදහස අනුමත කරයි. හෙන්රි පාකර් මහතා පවසන්නේ තම්බපණ්ණි නුවර දකුණු මුහුදු තීරයේ තිබෙන්නට ඇති බවයි. ඔවුන් සිය අදහස් සනාථ කිරීම උදෙසා විවිධ සාධක ඉදිරිපත් කරන මුත් ඒවා සියල්ල ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව නොවේ.

කෙසේ නමුත් තම්බපණ්ණි ලෙසින් එම මුල් නුවර හැඳින්වීම උදෙසා ඉවහල් වූ තඹ පැහැ වැල්ල හේතු කොටගෙන ජනප්‍රවාදයේ විජය සිය අගනුවර ගොඩනැන්වූ ස්ථානය ලෙස පොදු ජනයා හඳුනාගන්නා ස්ථානයක් විල්පත්තු අභය භූමිය තුල ඇත. කුදිරමලෙයි ලෙසින් ද්‍රවිඩ භාෂාවෙන් හැඳින්වෙන එම ස්ථානයේ  පැරණි ජනාවාසයක් පැවති බවට වන සාධක R.L. බ්‍රෝහියර් විස්තර කර ඇත. මුහුදු ඛාදනය වූ ප්‍රපාතය මත සැලකිය යුතු දුරකට වළං කැබලි, රවුම් තලි කොටස් (Circular dishes), ගුරුලේත්තු කොටස් (Water Goblets), කොතළ (Pitches) සහ වෙනත් එවැනි උයන භාජන (Cooking Utensils) කොටස් දැකිය හැකි බව ඔහු පවසයි. එයට අමතරව ඌරා කැට හෙවත් මැටි වලලු යෙදූ ලිඳක්ද එහි තිබී ඇත. මුහුදු ඛාදනය හේතුවෙන් දිනෙන් දින එම පැරණි වෙළඳ නගරයේ නශ්ඨාවශේෂ විනාශ වෙමින් යන බවද ඔහු අවධාරනය කර ඇත.
කුදිරමලෙයි යන ද්‍රවිඩ වචනයෙන් 'අශ්ව කන්ද' යන අර්ථයක් ගත හැක (මලබාර් සහ මැලේ භාෂා වලින් කුද්‍ර යනු අශ්වයා අන අතර මලය යනු ද්‍රවිඩ භාෂාවෙන් කන්ද වේ.). අශ්ව කන්ද යන තේරුමම ගත හැකි තප්‍රොබේනයේ පිහිටි නැව් තොටක් ගැන ප්ලීනි (ක්‍රි.ව. 24-79නම් වූ රෝමන් ලේඛකයා තැබූ සටහනක් අපට හමුවේ. ප්ලීනිගේ වාර්තාවට අනුව ක්ලෝඩියස් නම් රෝම අධිරාජයාගේ (Claudius)  පාලන කාලයේ (ක්‍රි.ව. 41-54) රතු මුහුදේ ඔහු වෙනුවෙන් බදු එකතු කල අන්නියස් ප්ලොකමස් නම් නිලධාරියාගේ නිදහස් වහලෙකු (Freedman of Annius Plocamus)  ගමන් ගත් නැව රතු මුහුදේදී කුණාටුවකට හසු වී දින 15 ගසාගෙන ගොස් නොදන්නා ගොඩබිමක පිහිටි නැව් තොටක් වෙත ලඟා වේ. එම සුළඟ නිරිත දිග මෝසම් සුළං ලෙස උපකල්පනය කලහොත් එම නැව ගසාගෙන ආ නැව්තොට මෙරට බටහිර වෙරළ තීරයේ වූවක් ලෙසට අනුමාණ කල හැක. ප්ලීනි සඳහන් කරන ලෙසට එම නැවියන් ගොඩ බට ස්ථානය අසල පිහිටි කන්දක සැලකිය යුතු ජනාවාසයක් තිබී ඇත. මෙම සිදුවීම සිදුවූ වර්ෂය ලෙස ක්‍රි.ව. 45 සඳහන් වේ. වඩාත්ම වැදගත් කරුණ නම් එම නැව්තොට ප්ලීනි විසින් Hippuros ලෙසින් හඳුන්වා තිබීමයි. එහි අර්ථය 'අශ්වයාගේ වලිගය' වන මුත් එම වචනය Hipporos  (ග්‍රීක භාෂාවෙන් Hippos > අශ්වයා Oros > කන්දලෙස ගතහොත් එයින් 'අශ්ව කන්ද' යන අර්ථය ගත හැක. පැරණි ලේඛන සියවස් ගණනාවක් පුරා සිදුවන පිටපත් වීම් වලදී එවැනි අක්ෂර දෝෂ සිදුවීමේ හැකියාව බෙහෙවින් වැඩිය (ප්ලීනි සිය ග්‍රන්ථය රචනා කරන්නේ පළවන සියවසේදීය.) මෙහි තැප්‍රොබේන් ලෙස ග්‍රීක ලේඛන වල මුල් වරට  සඳහන් වන රට, තම්බපණ්ණි යන මෙරට හැඳින්වීමට යොදාගත් නමෙන් ප්‍රභවය වූවක් ලෙස පොදුවේ පිළිගැනේ.
මේ සියලු කරුණු සලකා බැලූ විට එමර්සන් ටෙනන්ට්, R.L. බ්‍රොහියර්, වැනි ලේඛකයන් අනුමාන කල අයුරින් කුදිරමලය අසල පිහිටි පැරණි වෙළඳ නගරය තම්බපණ්ණි නුවර ලෙස සැලකීමේ යම් පදනමක් ඇති බව පෙනේ. තවද උපතිස්සගාම, අනුරාධගාම වැනි මෙම යුගයේ හෝ ඉන් පසු ආසන්න යුගයේ ජනාවාස පැතිර තිබූ ලෙස වංශ කතාව පවසන ප්‍රදේශ වල පිහිටීමද තම්බපණ්ණියේ සිට මල්වතු ඔය සහ මෝදරගම් ඔයඔස්සේ මුහුදු තීරයේ සිට රට තුලට ජනාවාස පැතිරුන ආකාරය පිළිබඳව මනා චිත්‍රයක් මවා පායි. 

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහාස්ථවිර, 1927
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Gazetteer of the Puttalam District of the North-Western Province of Ceylon, Frank Modder, F.R.G.S., 1908
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • Discovering Ceylon, R.L. Brohier, 1973
  • The Deepavamsa, Edited by Dr. B.C. Law, 1959
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record.  Hermann Oldenberge, 1879
  • * A Concise History of Ceylon, C.W. Nicholas & S. Paranavitana 1961 - සිංහල පරිවර්තනය - > සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, පරිවර්තන සංස්කාරක ඇස්. බී හෙට්ටිආරච්චි, 2005
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1 සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • The Ancient Puttalam - Mannar Road, C,G. Uragoda, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series Volume XXVI, 1982