Monday, May 29, 2017

මග සලකුණ ඔස්සේ බදුලු පුරයේ සිට සෙන්කඩගලට

බදුල්ල නගරය
මග සලකුණ
හියු නෙවිල් මහතා විසින් එකතු කල පුස්කොළ පොත් එකතුවේ තිබූ පත් ඉරු 17 කින් සහ කවි 203 කින් යුතු පුස්කොළ පොතක් දේව ධර්මාචාර්ය එඩ්මන්ඩ් පීරිස් හලාවත රදගුරුතුමන් විසින් වර්ෂ 1936 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබී සොයාගෙන 'මග සලකුණ' ලෙසින් සංස්කරණය කර පළ කර ඇත. එහි කර්තෘ හෝ ලිවූ කාලය පිළිබඳව කිසිම සඳහනක් නොමැති මුත් එහි විස්තර වන බදුලු පුරවරයේ, දියතිලක පුරයේ සහ සෙන්කඩගල පිළිබඳව විස්තර ඇසුරින් සහ එම පුරයන් පරසතුරු ආක්‍රමණ වලින් විනාශ වූ සහ අතහැරදැමූ කාලයන් පිළිබඳව විශ්ලේශනය කරමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා මෙම කාව්‍යය වර්ෂ 1612 ත් 1629 ත් අතර රචිත වූ ලෙස අනුමාන කරයි.
බදුල්ල - 1821 දී ජෝන් ඩේවි දුටු සැටි 
බදුලු පුරයේ සිට සෙන්කඩගලපුර (එනම් වර්තමාන මහනුවර) පිහිටි දළදා මාළිගාව වන්දනා කිරීමට එන පුද්ගලයෙකුට මග පවසන මෙම කාව්‍යය අදටද යම් පමණකින් එම මාර්ගය මතු කරගැනීමට අවැසි තොරතුරු වලින් සමන්විතය. ඒ සඳහා එඩ්මන්ඩ් පීරිස් පියතුමා යම් උත්සාහයක් දරා ඇති අතර, මෑතදි අප අතරින් වියෝ වූ දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු කතුවරයෙකු සහ ප්‍රවීණ පුවත්පත්කලාවේදියෙකු වූ කරුණාදාස සූරියාරච්චි (කසුරි) මහතා කලකට පෙර මෙම මාර්ගයේ ගමන් කර ඒ පිළිබඳව ලිපි පෙලකින් සිය අත්දැකීම් පාඨකයන් හා බෙදාගත් ආකාරය අපට මතකය.

අපගේ උත්සාහය මෙට්‍රික් සිතියම් සහ Google Earth ඇසුරින් මෙම මාර්ගය මතු කරගැනීම වන අතර ඒ සඳහා එඩ්මන්ඩ් පිරිස් පියතුමන් රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට සැපයූ ලිපියක් සහ ඔහුගේ මග සලකුණ සංස්කරණයත්, එම මාර්ගයේ වර්ෂ 1819 දී ගමන් කල ජෝන් ඩේවි මහතාගේ මාර්ග විස්තරයත් ඉවහල් කර ගනිමු.

බදුලු පුරවරය තුන් පසෙකින්ම වටවී ඇත්තේ බදුලු ඔයෙනි
බදුලු පුරය
තඹර කර කුලග උතුමන් හට පවර
නොහැර ඉසුරු විඳිනට සිතසෙ අවසර
පතර දෙරණ බට සුරසෙන් සහ එවර
අමරපුර අසිරිසිරි වර බදුලු පුර

බදුලු පුරය පිළිබඳව මග සලකුණ විස්තරයේදී මුතියංගණ විහාරය, පල්ලේ වීදිය, කුමාරසිංහ සිංහාසනය, මහාසේන දේවාලය, පල්ලේවාහල අටුව, හඳගල වීදිය, හඳගල සහ නයිකඳ පිහිල්ල යන තැන් පිළිබඳව විස්තර වේ. එසේම මාළිගා උයන සහ තවත් උයනක් පිළිබඳවද විස්තර වර්ණනාවක් එහි ඇතුලත්ය. මෙයින් මුතියංගණ වෙහෙර අද දක්වාම එම නමින් හැඳින්වෙන සෑහෙන දුරකට මෑත කාලින ඉදිකිරීම් වලින් සහ නවීකරණය වූ පැරණි ගොඩනැගිලි වලින් සමන්විත වුවද පැරණි විහාරයක සාධක දැකිය හැකි ස්ථානය ලෙස පහසුවෙන් හඳුනාගත හැක. මහසෙන් දේවාලය අද කතරගම දේවාලය ලෙසට වෙනස් වී ඇති නගර මධ්‍යයේ පිහිටි දේවාලයයි. සිංහල බෞද්ධ දෙවි කෙනෙකු වූ මහසෙන් දෙවියන් ඉතිහාසයේ යම් කාලයකදි බොහෝ විට දකුණු ඉන්දීය බලපෑම් නිසා කතරගම දෙවියන් ලෙසින් නාමකරන වෙනසකට බඳුන් වී ඇති බවට සාධක ඇත. එඩ්මන්ඩ් පීරිස් පියතුමාගේ කාල නිර්ණය පිළිගන්නේ නම් 17 වන සියවස දක්වාත් මහසෙන් දෙවියන් ලෙසින් එම දේව ඇදහිල්ල තිබූ බවට මග සලකුණ සාක්කි දරයි.
මහසෙන් දෙව් මැදුර සහ මුතියංගණ රජමහා විහාරය
කුමාරසිංහ සිංහාසනය පිළිබඳව Herbert White විසින් 1893 දී පළකල Manual of the Province of Uva උපුටා දක්වමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහනක් ඉදිරිපත් කරයි. ඒ අනුව 'සිංහාසනය' හෙවත් 'රාජාසනය' නමින් හැඳින්වෙන කුඩා ගොඩනැගිල්ලක් කතරගම දේවාලය අසල පහළ වීදියේ පිහිටා තිබී ඇති අතර, එය ඒ වන විට දේවාලයේම කොටසක් ලෙස තිබී ඇත. මෙහි සඳහන් වන කුමාරසිංහ යනු පළමුවන විමලධර්මසූරිය රජුගේ (ක්‍රි.ව. 1591- 1604) සහ දෝන කතරිනා ලෙස හැඳින්වූ කුසුමාසන දේවියගේ පුත්‍රයාය. හෙතෙම කුමාරසිංහ අස්ථාන ලෙසින් ප්‍රකටය. එම දෝන කතරිනා බිසව පසුව විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසු ඔහුගේ සහෝදරයා වූ සෙනරත් රජු (ක්‍රි.ව. 1604 - 1635) හා විවාහ වන අතර ඔවුන් දෙපලට ලැබූ පුත් කුමරුවා හට සෙනරත් රජුගේ අභාවයෙන් පසු රජකම හිමි විය. හේ දෙවන රාජසිංහ (ක්‍රි.ව.. 1635 - 1687) නමින් ප්‍රකට රජතුමාය. එම දෙවන රාජසිංහ රජු විසින් කුමාරසිංහ අස්ථාන වස දී මරා දැමූ බව පැවසේ. සෙනරත් රජුගේ පාලන කාලයේදී බදුලු පුරවරය අයත් වන ඌව රට පාලනය භාර කෙරුනේ කුමාරසිංහ අස්ථාන හටය. එමර්සන් ටෙනන්ට් සඳහන් කරන පරිදි බදුලු පුරවරයේ ඌවේ කුමාරයාගේ වාසල පිහිටි තැන පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් බලකොටුවක් ඉදිකර ඇත.
ස්වභාවික ගිරි දුර්ග සහ ජල දුර්ග මගින් ආරක්ෂිත බදුලු පුරවරය.
පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමියන් විසින් වර්ෂ 1945 දී රචිත ඌව ඉතිහාසය ග්‍රන්ථයේ එන ජන කවියක් උපුටා දක්වමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා නයිකඳ පිහිල්ල නමින් මග සලකුණ කාව්‍යයේ හැඳින්වෙන ස්ථානය එම ජනකවියේ නයිකට පිහිල්ල ලෙසින් හැඳින්වෙන ස්ථානය ලෙස හඳුනාගනී. එමර්සන් ටෙනන්ට් මහතාද සිය ග්‍රන්ථයේ (Ceylon) දුම් කට ළිඳ (The smoked-mouthed well) ලෙස හඳුන්වන්නේ මෙම ස්ථානය විය හැකි බවය එඩ්මන්ඩ් පීරිස් පියතුමාගේ අදහස. එම දොළ බෞද්ධයන් හින්දුන් මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ද මහත් ගෞරවයෙන් සලකන ස්ථානයක් ලෙස ටෙනන්ට් මහතා දක්වයි. කොටුවට ඉහලින් පහල බදුල්ල පාරේ නයිකට පිහිල්ල තිබූ බවට Manual of the Province of Uva හි දැක්වේ. හඳගල වීදිය අද වන විට හඳුනාගැනීමට නොහැකි මුත් වර්තමාන රෝමානු කතෝලික දේවස්ථානයට නුදුරින් හඳගල කුඹුර නම් වු වෙල් යායක් ඇත.

මග සලකුණෙහි දැක්වෙන ගමන් විස්තරයේ ස්ථාන දැක්වෙන පිළිවෙල අනුව මාර්ගය වැටී ඇත්තේ දකුණු දෙස පිහිටි මුතියංගණ විහාරයේ සිට උතුරු දෙසට බව පෙනී යයි. මේ එම ස්ථාන දැක්වෙන පිළිවෙලයි. මුතියංගණය > පල්ලේ වීදීය > සිංහාසනය > මහසෙන් දෙව් රද විමන > පවුරු වලින් වටවූ උයන > පල්ලේ වාහල අටුව > හඳගල වීදිය > හඳගල > නයිකඳ පිහිල්ල > මාලිගා උයන.
බදුල්ල - 1859 දී එමර්සන් ටෙනන්ට් දුටු සැටි 
බදුලු පුරවරයේ සිට කැටවල දක්වා ගමන් මාර්ගය
බදුලු පුරවරයෙන් නික්මෙන මගියාට ඉන්පසු හමුවන්නේ මැදවෙල නම් ස්ථානයකි එය පසු කර ගිය විට අලුත්වෙල නම් වූ ස්ථානයක් හමුවේ. බදුල්ල නගරයට උතුරු දෙසින් අලුත්වෙල ලෙසින් වූ ප්‍රදේශයක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත (සිතියම බලන්න). මාර්ගය වැටී ඇත්තේ උතුරු දෙසට බැවින් මෙම ස්ථානය මග සලකුණේ සඳහන් වන ස්ථානය වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
අලුත්වෙල
වර්තමානයෙ මෙම ස්ථානයේ කුඩා වෙලක් ඉතිරි වී ඇති අතර පෙර කල එම ප්‍රදේශය පුරාම තිබූ වෙල් යායක් නාගරිකරණය සමග කෙමෙන් ගොඩවී ඇති බව පෙනේ. මැදවෙල ලෙසින් හැඳින්වූ ප්‍රදේශය මෙම ප්‍රදේශයට නැගෙනහිර දෙසින් බදුල්ල නගරය ආසන්නව දැකිය හැකි වෙල් වීමට ඉඩ ඇත. අලුත්වෙලින් පසු වර්තමානය වන විට නාමය ශේෂ වී ඇති ස්ථානයකට මග සලකුණේ දැක්වෙන මාර්ග විස්තරයේ හමුවන්නේ කැටවල ප්‍රදේශයයි. 
දිට නිල පුල වට අඳුනැඳ දුලා දළ
පිට තිල කෙක ළ තනහස පිලා තුල
කට නිල ලිය සෙ රුසිරෙන් නෙතු ලොලා කල
කැටවල සිටින ළඳ අඟනන් බලා පල > කියා කවියා පවසයි.

කැටවල ප්‍රදේශයට වර්තමානයේදී බදුල්ලේ සිට වැටී ඇති මාර්ගය විහිදෙන්නේ බදුලු ඔයේ වම් ඉවුර ඔස්සේ වැටී ඇති A5 මාර්ගය ඔස්සේ හාළිඇල දක්වා ගොස් එතැන් සිට බදුලු ඔයට උතුරු දෙසින් එක්වන කුඩා දොළක වම්  ඉවුර  ඔස්සේ උතුරු දෙසට ගමන් කිරීමෙනි.බොහෝවිට පැරණි මාර්ගයත් මෙයම වීමට වැඩි ඉඩක් ඇත. මක් නිසාද යත් නැතහොත් කැටවල දෙසට යාමට සිදුවන්නේ කඳු පන්ති කිහිපයක් තරණය කල යුතු දුෂ්කර මාර්ගයක් ඔස්සේ බැවිනි. එසේම මෙරට පැරණි මාර්ග බොහෝවිට ගංගා නිම්න වල ඉවුරු ඔස්සේ වැටී තිබූ බැවින් අපගේ උපකල්පනය නිවැරදි වීමට වැඩි ඉඩක් පවතී. තවද ඉංග්‍රීසි පාලන කාලයේ මෙරට මාර්ග ඉදිවීමේදි ඒවා බොහෝවිට ඒ වන විටත් අඩි පාරවල් ලෙස පැවති පැරණි මාර්ග ඔස්සේම කරත්ත පාරවල් ලෙස පුලුල් වි ක්‍රමයෙන් අද පවතින මහාමාර්ග දක්වා වෙනස් වූ බවට දිවයිනේ වෙනත් ස්ථාන වලින් සාධක හමුවේ. එය මෙම ප්‍රදේශයටද පොදු වූවා විය හැක. අඩු දුෂ්කරතාවයකින් යා හැකි තවත් මාර්ගයක් සිතියමේ කොල පාටින් දක්වා ඇත.  බදුල්ල නගරයට බටහිර දෙසින් වූ කඳු පන්තියේ අනිත් පස ඔස්සේ ගොස් වර්තමාන හාළිඇල - කැටවල මාර්ගයට එක්වෙන මෙම මාර්ගයද පැරණි මාර්ගය වීමට ඉඩ නැතිවා නොවේ. එහෙත් පෙර කී මාර්ගයේ මෙන් ජල පහසුව නොමැතිවීම මෙය භාවිතයට යොමුවීමේ අඩු සම්භාවිතාවක් දක්වයි.
බදුල්ලේ සිට කැටවලට මාර්ගය රතු පාටින් දක්වා ඇත. කොළ පාටින් දක්වා ඇති මාර්ගයද පැරණි මාර්ගයක් වීමට ඉඩ ඇත.
කැටවල දක්වා පසු කල යුතු අනිත් ස්ථාන ලෙස පිළිවෙලින් මහගල්කඩ > අලුගොල්ලේ බැවුල > කොහොල්විලේ කඳුර > කහටගහරුප්පේ > රන් ආවුද ගල්පොත්ත යන ස්ථාන දැක්වෙයි. මේ වන විට තේ වගාවට යටවී ඇති මෙම කඳු පන්ති අතර තිබූ මෙම පැරණි සිංහල නම් අභාවයට ගොස් ඇතිවා හෝ මෙට්‍රික් සිතියම් වල නොදැක්වෙන මුත් ප්‍රදේශයේ ගැමියන් අතර තවමත් භාවිතයේ පවතිනවා විය හැක.

කැටවල සිට සෙන්කඩගල පුර දක්වා මාර්ගය පිළිබඳව විස්තර ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි ) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821


Monday, May 22, 2017

උන්මාද චිත්‍රාව සිර කර තැබූ එක්ටැම්ගෙය සොයාගනී!!

මෙම බ්ලොග් ලිපියේ හෙඩිම දකින කවරෙකු හෝ මෙරට පළවන සති අන්ත සිංහල පුවත්පත් කියවන්නෙකු නම් මෙවන් ලිපි ඔහුට හෝ ඇයට ආගන්තුක නොවනු ඇත. රාවණාගේ ඩෙඩ් බොඩිය තියෙන ගල් ලෙනේ පටන් විජයගේ සොහොනද, කුවේණියගේ මාළිගයද, සුගලා බිසවගේ මමියද, බුදුන් උපන් තැන සිට පිරිනිවන් පෑම දක්වා ආ ගිය සියලුම තැන්ද මෙරට තුල ඔවුන්ට දැන් අපගේ අති දක්ෂ ගවේෂණශීලී පුවත්පත් කලාවේදීන් විසින් සොයා දී ඇත. ඉතිරිව ඇත්තේ වන්දනා නඩ ලෙස ගොස් වැඳ නමස්කාර කර පහන් සංවේග ඇති කර ගැනීම පමණි. මේ එම ඓතිහාසික ස්ථාන ගොඩට මගෙනුත් 'තවත් එකකි'. මෙයට පෙර කිසිවෙකු හෝ මෙය සොයාගෙන ඇත්නම් කමා කරත්වා!
මීට පෙරද අප කතා කල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර ලෙස වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයේ රජමාලිගය සහ විහාර ආරාම වල නටබුන් හමුවන ප්‍රදේශයට දකුණින් නූතන රජමහා විහාරය ආසන්නයේ පිහිටි එක්තරා සුවිශේෂ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ වලින් සමන්විත ඉදිකිරිමක් හමුවේ. ජනවහරේ බිසෝකොටුව ලෙසින් හැඳින්වූ මෙය ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රකටව තිබුණේ පණ්ඩුවාසුදේව රජුගේ දියණිය වූ උන්මාද චිත්‍රාවන්ට පුතකු ලැබුණහොත් ඒ කුමරා සිය මයිලණුවන් මරා දමනු ඇතැයි ලෙස පවසා තිබූ අනාවැකිය ඉටුවනු වලක්වනු පිණිස ඇයව සිර කර තැබූ එක්ටැම් මාළිගය ලෙසය. මෙරට ඉතිහාසයේ එතරම් විශ්වාසය තැබිය නොහැකි ජනකතා ආශ්‍රයෙන් ගොතන ලද කොටසට අයත් උන්මාද චිත්‍රා කතාව ඓතිහාසිකව සිදුවූවක් ලෙස පිලිගැනිමට නොහැකිවා පමණක් නොව අපගේ වස්තු විෂයට අදාල ගොඩනැගිල්ල කිසිසේත්ම එතරම් ඈත යුගයක ඉදිකිරීමක් ලෙස හඳුනාගැනිමට කිසිදු සාධකද නොමැත.
මෙම ස්ථානයේ  කල ගවේෂණ වලදි මෙම ඉදිකිරීමට භාවිතා වූ ගඩොල් වල ප්‍රමාණය 12 වන සියවසේ මෙරට භාවිතා වූ ගඩොලුවලට ප්‍රමාණයට සම විමත්, ගල් ඇතිරුමේ එක් ගලක කොටා තිබූ වඩු ලකුණක් එම යුගයේම භාවිතා වූ අක්ෂර වලට අනුරූපී වීමත් අනුව මෙය නිසැකවම 12 වන ශතවර්ෂයේ කල ඉදිකිරිමක් බවට පරණවිතාන මහතා නිගමනය කරයි. වැව් බැම්මක ආකාරයට පිහිටි බිමෙන් ඉහලට නැගෙන වෘත්තාකාර පස් බැම්මක් මෙහි ඇති අතර එම පස් බැම්මේ අභ්‍යන්තර මුහුණත ගඩොලු වලින් ආවරණය කර තිබේ. මෙම වලයාකාර සුවිසල් භූමියේ මධ්‍යයට වන්නට ගඩොලින් කළ තවත් කුඩා වෘත්තාකාර ඉදිකිරීමක් වේ.
උන්මාද චිත්‍රාවගේ එක්ටැම්ගෙය නොවේ නම් මෙය කුමක්ද යන පැණය මී ලගට මතු වේ. ඒ පිළිබඳව ඉඳුරා දිය හැකි පිළිතුරක් නොමැතිමුත් සෙනරත් පරණවිතාන මහතා මේ පිළිබඳව ඉදිරිපත් කරන කල්පිතය වන්නේ මෙය චක්‍රවාලකෝට්ටයක් බවය. එයින් විශ්වය නිරූපිත බවය එතුමාගේ මතය. එම අවදියේ භාරතීය සංස්කෘතියේ ආධිපත්‍යයට නතු වූ රට වල රජවරු තමන් විශ්වපාලකයන් බව කියාපෑමට මහාමේරු පර්වත ආකෘතීන් තනා ඒවාට අයිතිය කියා සිටි බවත්, මහාමේරුවට වඩා මුලු මහත් විශ්වයේම ආකෘතියක් තැනීමෙන් එම අදහස වඩාත් ඉස්මතු කල හැකි බැවින් පරාක්‍රමබාහු කුමරා මෙවන් ඉදිකිරීමක් කර සිය වැසියන් හමුවේ චක්‍රවර්ති රජකු ලෙස වැජඹෙන්නට ඇති බවත්, එය ඔහුගේ යුධ ව්‍යාපාර සඳහා වැසියන් සහ සෙන්පතියන් අතර උද්යෝගය ඇති කිරීමට ඉවහල් වන්නට ඇති බවත්ය පරණවිතාන මහතාගේ අදහස.  
මූලාශ්‍ර
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • අසිරිමත් පඬුවස්නුවර, සෙනරත් දිසානායක, 2016

Wednesday, May 3, 2017

අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 2

අඹන් ගඟ නිම්නයට දිස්වන දුම්බර කඳුකරය (Knuckles Range)
දෙවන ගජබාහු රජු සිය බල පරාක්‍රමය විහිදවූ පිහිටි රට තුල පරාක්‍රමබාහු කුමරු සිදු කල චරපුරුෂ මෙහෙයුම් සම්බන්ධ මහාවංශ විස්තරයේ රණඹුර නම් ගමින් නික්ම ඔහු පැමිණි බව පවසන්නේ කීරවාපි නම් වූ ගම පසු කර අම්බවන රට්ඨ හෙවත් අම්බවන ප්‍රදේශයටය. (මෙහි එන රණඹුර ගම සහ ආශ්‍රිත වෙනත් ස්ථාන හඳුනාගැනීම සම්බන්ධ විස්තර මෙම ලිපි පෙළේ පළමුවන ලිපියෙන් ඉදිරිපත් කර ඇත. බලන්න. අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1) එහි සිටි සතුරු බලමුළු පලවාහැර ගම ගිනි ලෑමෙන් පසුව ඔහු නවගිරිස නම් ග්‍රාමයට පැමිණේ. මහාවංශයේ මෙයට පෙර අවස්ථාවකදි තුන්වන කාශ්‍යප රජුගේ සාසනික සේවාවන් පිළිබඳව එන විස්තරයකදි හෙතෙම අම්බවන නම් වූ ආරාමය කරවා එයට ගම් පුද කල බව පවසයි.
මොරගහකන්ද ජලාශයට යටවෙමින් පවතින පැරණි අම්බවන රට
 සිය පියා වූ කිත්සිරිමේඝ රජු මිය යෑමෙන් පසුව දක්ෂිණ දේශයේ පාලකයා වන පරාක්‍රමබාහු කුමරා තම බල ප්‍රදේශයේ සීමාවන් රකින සෙනෙවියන් ගෙන්වා ඔවුන්ට බල පිරිස් සහ ආයුධ දීම සම්බන්ධ විස්තරයකදීද නැවතත් අම්බවන නම් වු රටෙහි සිටි සෙනෙවියාද කැඳවූ බව වංශ කතාවේ සඳහන් වේ. එසේම දෙවන ගජබාහු රජු සමග කල සටන් වලදී පරාක්‍රමබාහුගේ සේනා සූර-අම්බවන රටින් නික්ම ඉදිරියට ගොස් ජනපද රටෙහි සිටි සතුරන් නැසූ බව පැවසේ. මෙසේ පරාක්‍රමබාහු සහ ගජබාහු අතර භූමිය උදෙසා දරුණු සටන් ඇවිලෙද්දී ජනපද රටට යවන පරාක්‍රමබාහුගේ ලංකානාථ සෙනෙවියා අම්බවන රටට ඇතුල් වී බුබ්බුල ග්‍රමයේදී බොහෝ සතුරන් නසයි. මේ අනුව පැහැදිලි වන්නේ පෙර දී සඳහන් කල පරිදි පරාක්‍රමබාහුගේ සේනා සූර-අම්බවන රටෙහි සිට ජනපද රටට මුලින් ඇතුලු වූ නමුත් පසුව පසු බෑමක් සිදුවූ බවය. නැවත වතාවක් පරාක්‍රමබාහුගේ අම්බවනයේ සිටි මායාගෙහා නම් වූ නායකයෙක් ගැන සඳහනක් මහාවංශයේ හැත්තෑවන පරිච්ඡේදයේ එයි.
පැරණි ස්ථාන දැක්වෙන සිතියම
වර්තමාන මහනුවර - යාපනය මහාමාර්ගයෙන් නැගෙනහිර දෙසට වන්නට අඹන් ගඟ දෑලේ විහිදුනු අඹන නම් වූ ප්‍රදේශයක් ඇත. නාඋල - ඇලහැර මාර්ගයෙන් නාඋල සිට කිලෝමීටර 7 ක පමණ දුරින් දකුණට හැරී කිලෝමීටර් 3.6 පමණ ගිය පසු මෙම ප්‍රදේශයට ලඟා විය හැක. මෙට්‍රික් සිතියම් වල මෙම ප්‍රදේශය අඹව ගම ලෙසද සලකුණු කර ඇත. පුරාණ අම්බවන රට්ඨ යන්න මෙම අඹන යන ග්‍රාම නාමයේ ශේෂව ඇති බව පෙනේ. එසේම අඹන් ගඟටද එම නාමය අම්බවන රට්ඨ යන්නෙන් ලැබි ඇතිවා විය හැකි බව ගයිගර්, කොඩ්රිංටන්, නිකොලස් සහ පරණවිතාන යන වියතුන්ගේ අදහසයි. ඒ අනුව නාලන්ද පෙදෙසේ සිට ඇලහැර දක්වා අඹන් ගඟ දෑලේ වූ ප්‍රදේශය පුරාණ අම්බවන රට්ඨ විය හැකි බව  C.W. නිකොලස් මහතා නිගමනය කරයි. ගයිගර් සඳහන් කරන්නේ එහි උතුරු ප්‍රදේශය හෝ අම්බවන රටට උතුරින් පිහිටි ප්‍රදේශය සූර- අම්බවන රට බවය. අම්බවන රටට අයත් කීරවාපි ගම වර්තමාන කිරිගම සහ කිරිඔරුව ගම් විය හැකි බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි (මෙම ප්‍රදේශය නාලන්ද සිට බටහිර දෙසට වන්නට වර්තමාන නාලන්ද ජලාශය අසල පිහිටා ඇත.) එසේම වර්තමානයේ යටවත්ත අසල පිහිටි නැව්ගල නම්වූ කඳු ප්‍රදේශය  පුරාණ නවගිරිස ලෙසත්, නාඋල සිට උතුරු දෙසට වන්නට මැණික්දෙන අසල පිහිටි පිහිටි වර්තමාන බිබිල (බොබැල්ල?) ප්‍රදේශය බුබ්බුල ලෙසත් පිළිවෙලින් C.W. නිකොලස් සහ H.W. කොඩ්රිංටන් මහතුන් හඳුනාගනී.

ජනපද රට සහ අලිසාර රට හඳුනාගැනීම පිළිබඳව ඉදිරි ලිපියකින් විමසා බලමු...

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007