Saturday, November 20, 2021

දළදා මාළිගාවට යකඩ සැපයූ මුස්ලිම්වරු සිටි අකරහඩුව, හුවන් කුමාර වැද්දා අස්වැද්දූ පොත්තටවෙල සහ නැගෙනහිර මාතලේ වෙනත් පැරණි ගම්

කන්දේනුවර

1872 සිට 1892 දක්වා මහනුවර දිසා විනිසුරු ලෙසින් සේවය කල A.C. ලෝරි විසින් 1896 දී සම්පාදනය කල ගැසටියර් නාමාවලිය (A Gazetteer of the Central Province of Ceylon Volume 1 & 2) අනුසාරයෙන් 19 වන සියවසේ මෙරට විවිධ ප්‍රදේශ වල පිහිටි ගම් සහ ඒවායේ එවක සමාජ ආර්ථික සහ ආගමික තත්වයන් පිළිබඳව විස්තර කෙරෙන ලිපි පෙලක (පෙර ලිපි 1, 2, 3, 4, 5) මෙවර ලිපියෙන් වර්තමාන මාතලේ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කලාපයේ පිහිටි පත්තු තුනක පිහිටි ගම් පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එම ගම් බොහෝමයක් වර්තමානයේද එම නම් වලින්ම හඳුනාගත හැකි අතර ඇතැම් ගම් මෑතකදී  මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට යටවී ඇත.

මේ කාලය වන විට 1815 ට පෙර උඩරට සිංහල රාජධානියට අයත්ව තිබූ මෙම ඇතැම් ගම් එලිපත්තටම 'තේ වතු අධිරාජ්‍යයේ' බලපෑම් ඇතිවූ ආකාරය දැක ගත හැක. ඇතැම් ගම් වල ද්‍රවිඩ ජනයාද විසූ බව ලෝරිගේ සටහන් වල දැක්වෙන බැවින් බොහෝවිට ඔවුන් එම තේ වතු වල සේවයට පැමිණි දකුණු ඉන්දීය කුලී සේවකයන් සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් විය හැක. එහෙත් එයට පෙර සිටම මෙම ඇතැම් ගම් වල ඉස්ලාම් ආගම ඇදහූ මුස්ලිම් වරු සිටි බවට කරුණු මෙහිදී හමුවන අතර මෙයට පෙර ලිපියකදීත් පෙන්වා දුන් පරිදි (එම ලිපිය කියවීමට >> ) මෙම ගම් වල සිටි මුස්ලිම් ජනයාද බෞද්ධයන්ගේ මුදුන්මලකඩ වන් දළදා මාළිගාවට රජුගේ නියමයෙන් විවිධ සේවාවන් සපාය ඇත. මෙම ඇතැම් ගම් වල ආරම්භකයා සම්බන්ධව එන ජනප්‍රවාද බොහෝමයක දැක්වෙන පරිදි කෘෂිකර්මාන්තයට නැඹුරු වූ කලින් වැද්දන් ලෙස දිවි ගෙවූ ජනයාගෙන් මෙම ගම් ආරම්භ වූ බව හඳුනාගත හැක. 

මෙහි විස්තර වන දැනට හඳුනාගත හැකි ගම් දැක්වෙන සිතියම. මෙහි දම් පැහැයෙන් මාතලේ පල්ලේසිය පත්තුවද, නිල් පැහැයෙන් ගංගල පල්ලේසිය පත්තුවද, මෙරුන් පැහැයෙන් ගංගල උඩසිය පත්තුවද  දක්වා ඇත. කොළ පැහැයෙන් දක්වා ඇති ලග්ගල පල්ලේසිය පත්තුව සහ රතු පැහැයෙන් දක්වා ඇති ලග්ගල උඩසිය පත්තුව ගම් පිළිබඳව ඉදිරි ලිපියකින් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි



මාතලේ පල්ලේසිය පත්තුව
  • රත්තොට - පන්නයෝ, පාලියෝ සහ බඩහැල් කුල වලට අයත් ජනයා ජීවත් වී ඇති අතර රත්තොට නගරයේ ප්‍රධාන වශයෙන් වෙරලබඩ මුස්ලිම් වරු (Coast Moormen) සිට ඇත. රත්තොට විහාරයට සහ දළදා මාළිගාවට සේවා සැපයූ එම ආයතන වලට අයත් ඉඩම් වල පදිංචි වී සිටි ජනයා ගම තුල සිට ඇත.
  • හුණුකැටේ ගම - දුරයෝ කුලයට අයත් ජනයා විසූ රත්තොට වසමට අයත් ගමකි.
  • නාගුලියැද්ද - ගොවිගම, නවන්දන සහ පන්න කුල වලට අයත් ජනයා විසූ රත්තොට වසමට අයත් ගමකි.
  • ඕවල - ගොවිගම, නිලමක්කාරයෝ, පන්නයෝ, රදා සහ රිදී සහ රත්තරන් කර්මාන්තයේ නියැලුනු නවන්දන කුලයේ ජනයා මෙන්ම දමිල ජනයාද විසූ ගම්මානයකි. බොහෝ ගම්මුන් තේ වතු වල (ඕවල වත්ත ) සේවය කල බව පැවසේ. හුණුකැට ඇල සහ හැකරැල්ල යන ගම් ඕවල වසමට අයත් ගම්ය.
  • හැකරැල්ල (Hekirilla) - මුස්ලිම් ජනයා විසූ ගම්මානයකි. 1881 දී ගම්මුන් 23 දෙනෙකු සිටි මුත් 1891 වනවිට එක් නිවසක් පමණක් තිබූ ගමක් බවට පත්වී තිබේ. පුද්ගලයන් ගණන 7 කි. 
  • හුණුකැට ඇල - මෙම ගමේ විසූ බොහෝ දෙනා Crystal Hill Estate වත්තේ සේවය කල බවත් වෙනත් ගම් වලට අයත් කුඹුරු ඉඩම් වල අඳේට වැඩ කල බවත් පැවසේ.
  • පල්ලේගම - ගොවිගම, රදා, බෙරවා, නවන්දන කුල වලට අයත් සිංහල ජනයා මෙන්ම දමිල සහ මුස්ලිම් ජනයාද වාසය කර ඇත. කයිකාවල සහ කුරුවාව මෙම ගම් වසමටම අයත් ගම් වේ.
  • කයිකාවල - රජයේ පාසැලක් මෙම ගම තුල තිබී ඇත. 
  • කුරුවාව ගනේතැන්නේ දෙවියන් උදෙසා වූ දේවාලයක් මෙම ගම තුල තිබී ඇත.
  • කයිනෑක
  • කුඹුරේගම්මැද්ද (කුඹුරේගෙදර)
  • දඹේ වේරගම වසමට අයත් දුරයා ගමකි.
  • කැටවලතැන්න
  • වීරකෝන්කන්ද
  • වේරගම -  වේරගම වසමට කුඹුරේගම්මැද්ද, දඹේ සහ කයිනෑක ගම් ඇතුලත්ව තිබී ඇත. ජනප්‍රවාදයට අනුව බින්තැන්නේ වේරගම සිටි වැද්දෙකු විදින ලද ගෝනෙකු තුවාල සහිතව පෙර මේ ගම පිහිටි ඉසව්වේ පිහිටි ඊරියගොල්ල වගුර දක්වා දුරක් දිව ගොස් මැරී වැටී ඇත. ගෝනා පසු පස හඹා ආ වැද්දා එම මඩ ගොහොර අස්වැද්දීමට සුදුසු බව දැක ඒ බව 'සීතාවක රජුට' සැල කල පසු රජු "තෝ එහෙනම් එය අස්වද්දා එහි පදිංචි වෙව" යි පැවසූ කල වැද්දා එසේ කල බව පැවසේ. මේ ගමේ ගොයිගම, නිලමක්කාරයෝ, බඩහැල්, නවන්දන, රදා, පදු, බෙරවා, හුන්නෝ ආදී විවිධ කුල වලට අයත් සිංහල ජනයා මෙන්ම ද්‍රවිඩ සහ වෙරලබඩ මුස්ලිම් ජනයාද සිට ඇත. රදල පරම්පරාවකට අයත් වේරගම කහඳේ වලව්ව මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජු තැනූ මකුළුතැන්නේ විහාරයද මේ ගම තුල තිබී ඇත. එම විහාරයට රාජාධිරාජසිංහ රජු ක්‍රි.ව. 1787 දී පිරිනැමූ තඹ සන්නසකින් එහි අයිතිය උපෝසථාරාමයේ සෝභිත සාමි සහ ඔහුගේ ගෝල පරපුර වෙත පිරිනමා ඇත. 
  • බෝගම්බර - ගොවිගම කුලයේ ජනයා විසූ ගමකි. මෙම ගමේ තිබූ අභූත දෙවියන් නම් දෙවියෙකු උදෙසා වූ දේවාලයක් ගැන ෆොර්බ්ස් සඳහන් කරයි. 
  • බුලත්වතුකන්ද
  • ගුරුබැබිල - ගුරුබැබිල විහාරය පිහිටා ඇත.
  • මැටිහක්කේගම (මැටිහක්ක?) ගුරුබැබිල වසම තුල පිහිටි ගොවිගම කුලයේ ජනයා විසූ ගම්මානයකි. 
  • පල්ලම ගුරුබැබිල වසම තුල පිහිටි ගොවිගම, බජ්ජන්, දුරා කුල වලට අයත් සිංහලයන් සහ දමිලයන් ජීවත් වූ ගමකි.
  • ඇල්හේන (Elahena) - ගුරුබැබිල වසම තුල පිහිටි ගමකි
  • පල්ලේමුල්ල - ගුරුබැබිල වසම තුල වූ ගම්මානයකි. ගොවිගම, නිලමක්කාරයෝ, වහුම්පුර සහ රදා කුල වල ජනයාට අමතරව දමිලයන්ද සිටි බව පැවසේ. 
  • දිඹුල්වෙල - පල්ලේමුල්ල ගම තුල වූ කුඩා ගමකි. වෑගොඩපොල බස්නායක නිලමේට අයත් ඉඩම් මෙම ගම තුල තිබී ඇත.
  • රයිතලාව - පෙර කල රජතලාව ලෙසින් හැඳින්වූ බව පැවසේ. ගොවිගම සහ බෙරවා කුල වල ජනයා වාසය කර ඇත.
  • හුණුකැට ඇල - රයිතලාව වසමට අයත් වහුම්පුර කුලයේ ජනයා විසූ ගම්මානයකි. ගම තුල යපස් හමුවන අතර 1888 දී එහි පුද්ගලයන් පදිංචි කර යකඩ නිස්සාරනය ආරම්භ කල මුත් දර නොමැති වීම හේතුවෙන් එය අඩාල වී ඇත. පසුව කපු වගාව අත් හදා බලා ඇතිමුත් එයද අසාර්තක වී ඇත. ගම්මුන් වතු වල සේවයේ යෙදී සිට ඇත.
  • මැකිලියවල - රයිතලාව වසමට අයත්ව තිබූ අතහැරදැමූ ගමකි.
  • ඉඹුල්ගොල්ල - මහනුවර මහා දේවලයට සේවා සැපයූ ජනයා විසූ එයට අයත් ඉඩම් තිබූ ගමකි. මෙම ගමේ ජනයා එම දේවාලයට යපස් උණු කර සාදා ගත් යකඩ කුට්ටි සැපයීමේ සේවාව සිදුකර ඇත.
  • දෙල්පවන ඉඹුල්ගොල්ල ගම තුල වූ කුඩා ගමකි.
  • කොස්ගොල්ල
  • කුඹල්ඔළුව - සිංහලේ අවසාන රජු විසින් හුදුහුම්පොල විහාරයට පවරා දුන් ගමකි. එම විහාරයට මෙන්ම දළදා මාළිගාවටද සේවා සපයන ජනයා පදිංචිව සිට ඇත.
කන්දේනුවර ප්‍රදේශයේ දර්ශනයක්.
  • පුස්සැල්ල
  • පල්ලේ අස්වැද්දුම
  • නාරංගොල්ල
  • සිරංගහවත්ත
  • උඩමුල්ල
  • දංකන්ද
  • පොල්වත්තේකන්ද - ගොවිගම, නිලමක්කාරයෝ සහ ගුරුන්නැහෙලා සිට ඇත. දංකන්ද වසමට අයත් ගමකි.
  • වෙරළුගස්තැන්න - ගොවිගම සහ නිලමක්කාර කුල වලට අයත් ජනයා වාසය කර ඇත. දංකන්ද වසමට අයත් ගමකි.
  • මඩකුඹුර - ගොවිගම, නිලමක්කාර සහ දෙමළ ජනයා සිටි ගමකි.
  • මාඋස්සාගොල්ල - ගොවිගම, නිලමක්කාර, රදා සහ දමිල ජනයා වාසය කර ඇත.
  • දික්කුඹුර - මාඋස්සාගල වසමට අයත් ගමකි.
  • වදකහමඩ - මාඋස්සාගල වසමට අයත් ගමකි. ගොවිගම සහ නිලමක්කාර කුල වලට අයත් ජනයා වාසය කර ඇත.
  • බෝධිකොටුව - මාඋස්සාගල වසමට අයත් ගොවිගම සහ බෙරවා කුල වලට අයත් ජනයා ජීවත් වූ ගමකි.
  • වෙලන්ගහවත්ත - ගොවිගම, නිලමක්කාර සහ ගුරුන්නැහෙලා කුල වලට අයත් ජනයා වාසය කල මාඋස්සාගල වසමට අයත් ගමකි.
  • අලකොලමඩ
  • ගන්සරපොල - හංගරම්මෝ? කුලයට අයත් ජනයා වාසය කර ඇත.
  • නිකවැල්ල - රදා, නවන්දන, බෙරවා, ගොවිගම, හුන්නො, බඩහැල්  සහ පන්න කුල වලට අයත් ජනයා වාසය කර ඇත. 
  • වලතලාව - වහුම්පුර කුලයට අයත් ජනයා වාසය කල නිකවැල්ල වසමට අයත් ගමකි. දළදා මාළිගාවට සේවා සපයන ජනයා සිට ඇත.
  • මැල්ලගොල්ල - නිකවැල්ල වසමට අයත්ව තිබූ අතහැර දැමූ ගමකි.
  • මරදුරාවල
  • ආඳාවල
  • ලිණිපිටිය ආඳාවල වසමට අයත් ගමකි. ලීණි වෙහෙර (Lini Vehera)නම් ස්ථානයක සිට මෙහි පැමිණි මිනිසෙකු ගම සහ මෙහි කුඹුරු ආරම්භ කල බවට ජනප්‍රවාදයක් ඇති අතර මෙම ගමේ බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත. 
  • ඕපල්ගල - වැදි රජෙකු විසූ ගමක් බවට ජනප්‍රවාදයේ එන ගොවිගම, නවන්දන, බෙරවා කුල වල සිංහලයන් සහ දෙමළ ජනයා (ගම ආසන්නයේ පිහිටි ඕපල්ගල තේ වත්තට අයත් දකුණු ඉන්දීය දෙමළ ජනයා විය යුතුය.)  ජීවත් වූ ගමකි. 
  • මොරගොල්ල - ගොවිගම සහ බෙරවා කුලයේ ජනයා වාසය කල ඕපල්ගල වසමට අයත් ගමකි.
  • බෝවතැන්න - ගොවිගම සහ වහුම්පුර ජනයා විසූ ඕපල්ගල වසමට අයත් ගමකි. අඹන් ගඟේ අමුණක් මගින් ගමේ කුඹුරු වලට ජලය ලබාගනී.
  • අකරහඩුව - ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනයා ජීවත් වූ ගමකි. නමුත්  කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා මාළිගාවට පිරිනැමූ අකරහඩුව ගම 19 වන සියවස අවසාන කාලය වනවිටත් දළදා මාළිගාවට අයත් ගමක් ලෙස තිබී ඇත.  මෙම ගමේ විසූ මුස්ලිම් ජනයාද එම ඇතැම් සේවාවන් දළදා මාළිගාවට ඉටුකර ඇති අතර ප්‍රධාන සේවාව වී ඇත්තේ ගම තුල උණුකර සාදන යකඩ කුට්ටි දළදා මාළිගාවට සැපයීමයි.  එම යකඩ කුට්ටි සහ හාල් දළදා මාළිගාවට තවලම් මගින් ප්‍රවාහනය කිරීමේ සේවාවේ ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනයා නියැලී ඇත.
  • අළුත්වෙල
  • මාගල්ලෑව
  • උඩගම
  • එසින්ගම්මැද්ද (එසින්ගම) - උඩගම වසමට අයත් ගමකි. 1891 දී සිදුවූ නාය යෑමක් මගින් මෙම ගමේ කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයකට හානි සිදුවී ඇත.
  • ගලේකොටුව - උඩගම වසම තුල පිහිටි ගමකි. ගම්මුන් තේ වතු වල සේවයේ යෙදී සිට ඇත. 1891 දී කන්දේනුවර වතු යායේ සිට ඇතිවූ නාය යෑමක් හේතුවෙන් මෙම ගමේ කුඹුරු ඉඩම් වලටද විශාල හානියක් සිදුවී ඇත.
ගංගල උඩසිය පත්තුව
නැගෙනහිරෙන් අඹන් ගඟින් සහ ලග්ගල පල්ලෙසිය පත්තුවෙන්ද, දකුණින් ලග්ගල පල්ලෙසිය පත්තුවෙන් සහ ලග්ගල උඩසිය පත්තුවෙන්ද, බස්නාහිරෙන් ගංගල පල්ලේසිය පත්තුවෙන්ද, උතුරින් වගපනහ පල්ලේසිය පත්තුවෙන්ද ගංගල පල්ලේසිය පත්තුව සීමා වේ.

අත්තරගල්ලෑව ප්‍රදේශයේදී අඹන් ගඟ
  • අතරගල්ලෑව - වර්ෂ 1881 දී 64 ක්ද, 1891 දී 53 ක්ද මුස්ලිම් ජනයා වාසය කල ගමකි. අඹන්ගඟ සහ කළු ගඟ එකතුවන තැන තනා තිබූ අතරගල්ලෑවේ අමුණ මගින් මෙම ගමට අවශ්‍ය ජලය සපයාගෙන ඇත. මැද උල්පොත සහ දියකැපිල්ල ගම්ද අතරගල්ලෑව වසමට අයත්ය.
  • මැද උල්පොත - වර්ෂ 1881 දී 26 ක්ව තිබී 1891 දී 7 දක්වා ජනගහණය අඩුවූ ගොවිගම කුලයට අයත් ජනයා විසූ ගමකි.
  • දියකැපිල්ල - සීගිරියේ සිට පැමිණි 8 දෙනෙකුගෙන් (පිරිමි 4 ක් සහ ගැහැණු 4 ක්) ලෝරි විස්තර ඉදිරිපත් කරන යුගයේදි අලුතින් පටන් ගත් ගමකි.
  • කළු ගඟ
  • වැලිවරනගොල්ල - කළුගල වසමට අයත් 1887 වර්ෂයේදී 12 දෙනෙකු සහ 1891 වර්ෂයේදී 38 දෙනෙකු වාසය කල ගමකි. පන්නයෝ කුලයට අයත් ජනයා වාසය කර ඇත.
  • පොත්තටවෙල හුවන් කුමාරයා නම් වැද්දෙකු ගස් වල පොතු වලින් සෑදූ නිවසක පලමුව පදිංචි වී ආරම්භ කල ගමක් ලෙස ජනප්‍රවාදයේ පැවසෙන මෙම ගමේ ගොවිගම සහ පදු කුල වලට අයත් ජනයා 60 ක් පමණ සිටි බවට 1871, 1881 සහ 1891 වර්ෂ වලදී වාර්තා වී ඇත. මෙම නමින්ම යුත් ගම් වසමට මැටිහක්ක සහ බඹරගහවෙල ගම්ද අයත් වී ඇත.
  • මැටිහක්ක - මෙම ගමේ පන්නයෝ, බෙරවා සහ ගොවිගම කුල වල ජනයා 104 ක් 1871 දී වාර්තා වී ඇති මුත් 1881 දී එය 71 කට අඩුවී 1891 වනවිට 63 දක්වා පහල බැස ඇත.
  • බඹරගහවෙල (බඹරගහ වාඩිය) - 1881 දී ජනගහණය 23 ක් සහ 1891 දී 21 ක් වූ පදු කුලයට අයත් ජනයා වාසය කල ගමකි.
  • දඹගහමඩ - 1881 දී 15 දෙනෙකු සිටි මෙම ගමේ 1891 වන විට සිට ඇත්තේ 10 දෙනෙකු පමණි
  • කන්දෙපිටවල
  • කඹරාව 
  • යකරිල්පොත
  • තලකොලපිටිය
  • මීගහවෙල
  • වතුවල - කෝන්වැව නම් වූ කුඩා ගමක්ද වතුවල  ගම තුල තිබී ඇත.
  • නවන්එලිය - 1881 වර්ෂයේදී 20 දෙනෙකු පමණක් සිටි ගමකි.
  • පුවක්පිටිය - හපු රත්නෙකල නම් වැද්දෙකු පලමුව පදිංචි වී පුවක් ගස් සිටුවා ආරම්භ කල ලෙස ජනප්‍රවාදයේ එන ගමකි. 1871 දී 435 ක පමණ පිරිසක් මෙම ගමේ ජීවත් වී ඇතත්, එය 1881 දී 207 දක්වා අඩුවී ඇත. 1891 දී එය213 කි. ගොවිගම, පන්න, නවන්දන, රදා සහ සලාගම? (Weavers) ජනයා වාසය කර ඇත. පතනේගෙදර, හබරගහ ඇලදම්මන්තැන්න (පුවක්පිටිදම්මන්තැන්න), ගම්ද මෙම නමින් යුත් ගම් වසමට අයත්ය.
  • පුවක්පිටිදම්මන්තැන්න - මද වශයෙන් මඩ ගොවිතැනද විශාල වශයෙන් හේන් වගාවද සිදු කල 1881 දී ගම්මුන් 111 සහ 1891 දී 90 ක් සිටි ගමකි.
  • පතනේගෙදර - ගොවිගම කුලයට අයත් ජනයා 1881 සහ 1891 වර්ෂ වලදී 50 ක් පමණ විසූ ගමකි.
  • හබරගහ ඇල - ගොවිගම කුලයට අයත් ජනය 1881 දී 26 ක් සහ 1891 දී 24 ක් ජීවත් වූ ගමකි.
  • මින්මිරිය - 1741 වර්ෂයේදී බලගල්ලේ වික්‍රමසිංහ මුදියන්සේ රාලහාමි නම් වූ දලදා මාළිගාවේ දියවඩන නිලමේ නිකුත් කල තල්පතක් මගින් මෙම ගමේ ඉඩම් දලදා මාළිගාවට අයත් බවත් එහි සේවාවන් ඉටුකිරීමට ගම්මුන් බැඳී ඇති බවත් කියැවේ.
  •  පුවක්ගහ උල්පොත
  • කෝඳුරුවාව - ඇලහැර සිට කොඳුරුවාව අතර ප්‍රදේශය ගමන් කල නොහැකි තරමට වනාන්තරය මැදින් වූ ප්‍රදේශයක් විය. අතරින් පතර අතහැරදැමූ ගම් තිබී ඇති අතර වියලි කාලයේදී ජල මූලාශ්‍ර දුලබ විය. කෝඳුරුවාවට යෑමට මාර්ගය පෙන්වීමට කෙනෙකු සොයා ගැනීමට පවා 1855 දී පමණ ඇඩම්ස්, බේලි සහ චර්චිල් නම් සුදු ජාතිකයන් තිදෙනාට අපහසු වී ඇත. ගමන් කල යුතු දුර අධික වීම, මාර්ගයේ ජල අපහසුව සහ බොහෝ ගම්මුන් එහි යෑමට නොදැන සිටීම යන හේතු නිසා ඔවුන් මාර්ගයේ අපහසුතාවය ඕනෑවටත් වඩා වැඩිපුර ඉස්මතු කල බව පෙනේ. මාර්ගය පැරණි යෝධ ඇලේ බැම්ම දිගේ වැටී තිබී ඇත. 1891 වර්ෂයේදී මෙහි ගම්මුන් 31 දෙනෙකු සිට ඇත.
  • ඇටඹගොල්ල වාඩිය - අතහැර දැමූ ගමකි.
  • වන්නිගමයේ ගම (වන්නිගමයේ වැව) - 1891 දී සිව් දෙනෙකු පමණක් සිටි ගමකි.
ගංගල පල්ලේසිය පත්තුව
නැගෙනහිරෙන් ගංගල උඩසිය පත්තුවෙන්ද, දකුණෙන් ගංගල උඩසිය පත්තුවෙන් සහ මාතලේ පල්ලේසිය පත්තුවෙන්ද, බටහිරෙන් මාතලේ පල්ලේසිය පත්තුවෙන් සහ වගපනහ උඩසිය පත්තුවෙන්ද, උතුරින් වගපනහ පල්ලේසිය පත්තුවෙන්ද ගංගල පල්ලේසිය පත්තුව මායිම් වේ. 

කඹරාව, කොහොන්ගහවෙල වැනි මේ ලිපියේ විස්තර වන ගම් මේ වන විට මෙම මොරගහකන්ද ජලාශයට යටවී ඇත.
  • ඇලහැර - 1871 දී ගම්මුන් 136 ක්, 1881 දී 106 ක් සහ 1891 දී 140 ක් ජීවත් වූ ගමකි. ඇලහැර ඇලේ ජලයෙන් කුඹුරු වගා කර ඇති අතර එම ජලය නොලැඹෙන කුඹුරු ඉඩම් ජලය නොමැති කමින් වසර ගණනාවකින් වගා කර තිබී නොමැත
  • එලගමුව -150 ක පමණ පිරිසක් ජීවත් වූ ගමකි. වරකට  පිරිමි ලමුන් 44 ක් පමණ අධ්‍යාපනය ලැබිය හැකි රජයේ ප්‍රාථමික ස්වභාෂා පාසැලක්ද මෙම ගමේ තිබී ඇත. 
  • තලගොඩ - එලගමුව වසමට අයත් ගොවිගම කුලයට අයත් ජනයා විසූ ගමකි. පැරණි දාගැබක් ලෙස හඳුන්වන ගල් කුළුණු කිහිපයක් මෙම ගම තුල තිබී ඇත.
  • මැදපිහිල්ල - පට්ටිවල සහ කුනම්මඩුවේ ජනයා 1881 දී 32 සහ 1891 දී 22 ජීවත් වූ එලගමුව වසමට අයත් ගමකි.
  • ගල්බොඩ
  • තලන්ගොමුව - ගල්බොඩ වසමට අයත් ගොවිගම කුලයට අයත් ජනයා 1881 දී 17 ක් සහ 1892 දී 16 ක් ජීවත් වූ ගමකි.
  • මුරුවට උල්පත - අතහැරදැමූ ගල්බොඩ වසමට අයත් ගම්මානයකි.
  • දම්මන්තැන්න
  • පුබ්බිලිය - ගොවිගම කුලයට අයත් ජනයා 150 ක් පමණ විසූ ගමකි. 1818 නොවැම්බර් 21 ඉංග්‍රීසි ආණ්ඩුව නිකුත් කල නිවේදනයක්(Proclamation) මගින් මෙම ගමේ ප්‍රධානීන්ගේ සහ ගම්මුන්ගේ මනා කල්පැවැත්ම (Good conduct) හේතුවෙන් බදු අයකිරීම 1/14 දක්වා අඩු කර ඇත.  මේ යහපත් කල්පැවැත්ම 1818 නිදහස් අරගලයේදී ඔවුන්ගේ හැසීරීම සම්බන්ධයෙන් විය යුතුය. 
  • මරගොමුව - ගොවිගම සහ රද කුල වල‍ය අයත් ජනයා ජීවත් වූ ගමකි. වර්ෂ 1891 දී මෙම ගමේ පාසැලක් ආරම්භ කර ඇත.
  • දඹගොල්ල
  • හැලඹගහවත්ත - 1881 දී 84 ක් සහ 1891 දී ගම්මුන් 90 ක් ජීවත් වී සිට ඇතත්, වැසි දිය නොමැති කමින් මෙම ගමේ කුඹුරු වසර ගණනාවකින් වගා කර නොමැත. බඹරගහවත්ත මෙම ගම් වසම තුල වූ ගොවිගම ජනයා විසූ ගමකි. 
  • කෝන්ගහවෙල - වර්ෂ 1881 දී 48 ක් වූ මෙම ගමේ ජනගහණය වර්ෂ 1891 දී 36 දක්වා අඩුවී ඇත. ඉහත පුබ්බිලිය ගමේ ලෙසින්ම මෙම ගම උදෙසාද 1\14 ක බදු සහනයක් ලබා දී ඇත්තේ ඔවුන්ගේ මනා කල් පැවැත්ම හේතුවෙන් 1818 නොවැම්බර් 21 දිනයටම අදාල නිවේදනයක් මගිනි. රජයේ බෙහෙත්හලක් (Government Dispensary) තිබී ඇත.
  • රදාවෙල - කෝන්ගහවෙල වසමටම අයත් ගමකි. ගොවිගම කුලයට අයත් ජනයාට අමතරව විල්ලි දුරයි කුලයට අයත් එක් පවුලක්ද සිට ඇත. පැරණි නටබුන් වූ ගොඩනැගිල්ලක ගඩොලු ගොඩැල්ලක් රදාවෙල ගම තුල තිබී ඇත.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898

Saturday, October 30, 2021

කෝපි කාලේ Lower Road එකේ මහනුවර සිට බදුල්ලට ගිය හැටි

බදුල්ල

පසුගිය සතියේ තොරතුරු ඉදිරිපත් කල හලාබ පාලම ලිපිය උදෙසා එය තැනූ වර්ෂය, ඒ හා සම්බන්ධ වන මාර්ගය පිළිබඳව හෝ උමා ඔයෙන් එතෙර වීම උදෙසා ඉංග්‍රීසීන් තැනූ පාලම් පිළිබඳව හෝ කිසියම් හෝ හෝඩුවාවක් සොයාගැනීම උදෙසා උත්සාහ කලමුත් එය සාර්ථක වූවේ නැත. එහෙත් එම තොරතුරු සොයා යාමේදී ඇස ගැසුන ඉංග්‍රීසි වාර්තා වල Kandy - Badulla Lower Road  through Goneganwa ලෙසින් සඳහන් වන වෙනත් මහනුවර - බදුල්ල මාර්ගයක් පිළිබඳව විස්තර හමුවූ අතර මේ ලිපිය එම තොරතුරු ආශ්‍රයෙන් එකී මාර්ගයේ පිහිටීම සොයා ගැනීමට කල උත්සාහයක ප්‍රතිඵලයයි.

Ferguson's Ceylon Directory

බ්‍රිතාන්‍ය යුගයේ සිට මෙරට කාලීන වානිජ තොරතුරු සම්පිණ්ඩනය කරමින් 1871 සිට (හෝ ඇතැම් විට එයට පෙර සිටත් (මට හමුවූ මුල්ම සංග්‍රහය 1871-72 වර්ෂ සඳහා වේ.) මෑතක් දක්වාම ( මා හට හමුවූ අවසාන කොටස 1997-99 කාලය උදෙසා පල කර ඇත.) පලවූ තොරතුරු සංග්‍රහයකි Ferguson's Ceylon Directory. එය Associated Newspapers of Ceylon Limited මගින් පලකර ඇති අතර මුල් කාලයේදී  මේ තොරතුරු සංග්‍රහයන් උදෙසා මූලිකත්වය ගත් එකල දෙසතියකට වරක් නිකුත්වූ Ceylon Observer පුවත්පතේ නියෝජ්‍ය කතෘ සහ පසුව එහි ප්‍රධාන කතෘ සහ අයිතිකරු බවට පත්වූ A.M Ferguson ගේ සහ John Ferguson ගේ  නම් වලින් ඒවා Ferguson's Ceylon Directory ලෙසින් හැඳින්වූ බව පෙනේ (එම දෙපල විසින් 1864 වර්ෂයේදීද එවන් තොරතුරු සංග්‍රහයක් පලකර ඇත.) Ferguson's Ceylon Directory හී කතෘත්වය දක්වා ඇත්තේ A.M. & J Ferguson, proprietors and editors of "Ceylon Observer" ලෙසිනි. 

ඉහත 1871-72 වර්ෂ සඳහා වූ Ferguson's Ceylon Directory හි මෙරට එවකට වූ ප්‍රධාන මාර්ග කිහිපයක් ගැන තොරතුරු සඳහන් වේ. ඒ යටතේ මහනුවර සිට බදුල්ල දක්වා වූ මාර්ග දෙකක් ගැන තොරතුරු ඉදිරිපත් කර ඇත. එක් මාර්ගයක් වන්නේ නුවරඑලිය හරහා බදුල්ල මාර්ගයයි. එය මහනුවර සිට පේරාදෙණිය, ගම්පොල, පුස්සැල්ලාව, රම්බොඩ, නුවරඑළිය, ඇටම්පිටිය හරහා බදුල්ල දක්වා යන මාර්ගය ලෙසින් හඳුනාගත හැක (මේ මාර්ගයේ තවත් ස්ථාන එහි දක්වා ඇති අතර මාර්ගයේ හමුවන ගංගාවන් හරහා එතෙර වූවේ පාලම් මතින්ද නැතහොත් පාරුවක උපකාරයෙන්ද ආදී තොරතුරුද එහි අන්තර්ගතය. එසේම එම ඇතැම් ස්ථාන වල තිබූ තානායම් ගැනද සඳහන් වේ. මේ ලිපියේ ප්‍රමුඛ අරමුණ එම මාර්ගය සම්බන්ධයෙන් නොවන බැවින් ඒ පිළිබඳව තොරතුරු මෙහි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.) කෙසේ නමුත් එම මාර්ගය ඉහත ස්ථාන නාම අනුව බැලූ කල පැහැදිලිවම මහනුවර සිට පේරාදෙණියට පැමිණ එතැන් සිට වර්තමානයේ A5 ලෙසින් හැඳින්වෙන පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ බදුල්ල දක්වා කොටස බව පැහැදිලිවේ. 

Kandy - Badulla Lower Road  through Goneganwa

අපගේ ප්‍රස්තුතයට වැදගත් වන්නේ මහනුවර සිට බදුල්ල දක්වා එවකට වූ අනෙක් මාර්ගයයි. Lower Road (From Kandy to Badulla by "Lower Road" through Goneganwa) ලෙසින් හැඳින්වෙන එම මාර්ගය සම්බන්ධයෙන් ඉහත Ferguson's Ceylon Directory වල 1940 දශකය දක්වාම කිසියම් හෝ තොරතුරක් හමුවේ. 1871-72 වාර්තා වල ඉහත සඳහන් කල මුල් මාර්ගය ගැල් පාරක් (Carriage Road) ලෙසින් හැඳින්වෙද්දී Lower Road මාර්ගය හැඳින්වෙන්නේ හාරගම ඔය දක්වා කරත්ත ගමන් කල හැකි මාර්ගයක් බවත් එතැන් සිට පටු පාරක් (Bridle Road) ලෙසින් වූ බවත්ය (From Kandy to Harrackgam Oya passable for carts. Beyond that Bridle Road).  

එම වාර්තා වල සඳහන් ස්ථාන නාම වර්තමාන නම් හා ගැලපීමෙන් මාර්ගය මේ ආකාරයෙන් හඳුනාගත හැක. මහනුවර [Kandy] සිට කුන්ඩසාලේ [Kondesally] දක්වා ගොස් (සැතපුම් 3) එහිදි තලාතු ඔයේ පාලමෙන් (පලල අඩි 5) [Tallat Oya Bridge] එතර වී (පසු වාර්තා වල දැක්වෙන පරිදි කුණ්ඩසාලේ සිට තලාතු ඔය පාලම දක්වා සැතපුම් 1.5 ක දුරක් ඇත.) එතැන් සිට තවත් සැතපුමක් ගොස් ගෝනවත්ත තොට [Gonawatte Ferry] ලගාවී, එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගොස් හාරගම ඔය [Harrackgam Oya] දක්වා පැමිණ [හාරගම ඔය අසලදී මතුරට දක්වා යන මාර්ගය හමුවේ],  එතැන් සිට තවත් සැතපුම් 2 ක් ගොස් මහ ඔය තොටුපලින් [Maha Oya Ferry] එගොඩ වී ගෝනගමුව [Gonnegamwa] දක්වා වූ සැතපුම් 3 ගමන් කල විට දියබුබුල දුර්ගය මුදුනේ එම ගම හමුවේ [Top of Diaboobela pass, village]. එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගිය තැන බෙලිහුල් ඔයේ තොටුපල [Billahool Oya Ferry] හමුවේ. එම තොටුපලින් එතර වී කුරුඳු ඔය [Kooroade Oya] දක්වා යෑමට ගමන් කල යුතු දුර සැතපුම් 4 කි. කුරුඳු ඔයෙන් එතර වීමට නොගැඹුරු ජලයේ බැස යා යුතු බව එය Ford ලෙසින් හඳුන්වා තිබීමෙන් පැහැදිලි වේ. ගමන් මාර්ගයේ ඉන්පසු හමුවන්නේ උමා ඔයයි [Ooma Oya ferry]. කුරුඳු ඔයේ සිට උමා ඔය දක්වා යෑමට සැතපුම් 5 ක් ගමන් කල යුතුය. උමා ඔයේදි හමුවන්නේ ඔරුවකින් එගොඩ විය යුතු තොටුපලකි. එහි මුල් වරට මේ මාර්ගයේ තානායමක් [Rest house] වූ බවද සඳහන්ය. එතැන් සිට බදුල්ල දක්වා වූ මාර්ගයේදි නැවතත්  වේල්ල ඔය [Vella Oya] නම් වූ බැස එගොඩ විය යුතු ඔයක් සැතපුම් 6 ගිය තැන හමුවේ. ඉන්පසු නැවතත් තානායමක් තල්දෙන  [Taldene] නම් ස්ථානය දක්වා සැතපුම් 9 ක් ගමන් කල විට හමුවේ. මේ ස්ථානයේදී මාර්ගය දෙකට බෙදෙන අතර එක් මාර්ගයක් මඩකලපුව දක්වා විහිදේ [Road branches off to Batticaloa]. බදුල්ලට යොමු වන අනික් මාර්ගයේ එතැන් සිට බදුල්ලට ඇති දුර සැතපුම් 10 ලෙස සඳහන් වේ. මහනුවර සිට මේ මාර්ගයේ ඒ අනුව මුළු දුර සැතපුම් 54 ක් ලෙස දැක්වේ. ඉහත සඳහන් කල අනෙක් මාර්ගයේ මුළු දුර සැතපුම් 84  ලෙසින් දක්වා ඇති බැවින් මෙම මාර්ගය දුරින් අඩු බව පෙනේ.

මින් පසු කිහිප අවස්ථාවකම ඉහත දුර ප්‍රමාණයන් වල යම් යම් වෙනස්කම් සහිතව මෙම මාර්ගය ගැන විස්තර හමුවේ. පහත දැක්වෙන්නේ 1905 වර්ෂයේ එම දුර ප්‍රමාණයන් සහ විස්තර දැක්වෙන වගුවයි. 1905 වර්ෂය වන විට බෙලිහුල් ඔය හරහා අශ්වයන්ට ගමන් කල හැකි මට්ටමේ පාලමක් වූ බව ඉන් පැහැදිලි වේ. එසේම උමා ඔයෙන් එතර වීම දැක්වෙන්නේ Ferry ලෙසින් නොව Ford ලෙසිනි. මාර්ගයේ මුළු දුර සැතපුම් 58.75 ලෙසින් මෙහි දැක්වෙන අතර, සිංහල නම් ඉංග්‍රීසියෙන් ලිවීමේදි මුල් කාලයේදීට වඩා වෙනස් වඩාත් නිවැරදි ශබ්දය එන ලෙසින් ලියා ඇති අයුරුද දැක ගත හැක.

ඉන්පසු 1912 වර්ෂය සඳහා වූ වගුව පහතින් දැක්වෙන අතර එහි මීට පෙර සඳහන් කල තොරතුරු වලට අමතරව කුන්ඩසාලේදී ඉලුක්මෝදර තොටුපල හමුවන බව සඳහන් වේ. කුණ්ඩසාලේ පිහිටන්නේ මහවැලි ගඟේ වම් ඉවුරේ වන අතර තලතු ඔය එහි දකුණු ඉවුරේ වේ. එමෙන්ම මෙහිදී තලාතු ඔය පාලම Kershaw's Bridge ලෙසින් හඳුන්වා ඇත. මහ ඔයදී පැරණි බදුල්ල මාර්ගය වම් පසට විහිදෙන බවද මෙහි සඳහන් වේ (Old bridle road to Badulla on Left)

1914 වන විට කුරුඳු ඔය හරහාද Horse Bridge ලෙසින් හැඳින්වෙන පාලමක් ඇති බවට සඳහන් වේ. මේ කාලය වනවිටත් කරත්ත ගමන් කල හැක්කේ හාරගම ඔය දක්වා පමණක් වන අතර හාරගමදී දකුණු පසින් හඟුරන්කෙත සහ මතුරට දක්වා යොමුවූ මාර්ග හමුවන බව සඳහන් වේ.

මින් පසු 1942 වර්ෂය දක්වාම Ferguson's Ceylon Directory  වල මෙම මාර්ගය මෙරට ප්‍රධාන මාර්ග ලැයිස්තුවේ (Principal Roads in Ceylon) දක්වා ඇති මුත් පෙර පරිදි එහි එක් එක් ප්‍රධාන සංදිස්ථාන වලට ඇති දුර ප්‍රමාණ හෝ අනෙකුත් විස්තර අඩංගු නොවේ. මෙම තොරතුරු වලට අමතරව මහනුවර - බදුල්ල Lower Road මාර්ගය පිළිබඳව අපට හමුවන තවත් වැදගත් තොරතුරක් නම් ශ්‍රීමත් හෙන්රි වෝඩ් (Henry Ward) ආණ්ඩුකාරවරයාගේ සමයේ (1855-1860) ඔහු විසින් බදුල්ලේ කෝපි වතු වල නිෂ්පාදන පහසුවෙන් මහනුවර දක්වා ගෙන ඒම උදෙසා මෙම මාර්ගය පිළිසකර කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ බවය. එහෙත් දරන්නට සිදුවන අධික වියදම නිසා එම ව්‍යාපෘතිය අතහැර දමන ඔහු වර්ෂ 1857 දී ඒ වෙනුවට බදුල්ල - නුවරඑළිය මාර්ගය පිළිසකර කිරීම අරඹයි. 

ඉහත සඳහන් තොරතුරු වලින් පමණක් මෙම මහනුවර - බදුල්ල මාර්ගයේ පිහිටීම පිළිබඳව දල අදහසක් විනා එය සිතියමක සටහන් කිරීමට අවශ්‍ය දත්ත හමු නොවේ. එහෙත් මහනුවර සිට මුල් කොටසේදී එය මහවැලි ගඟේ දකුණු ඉවුර ඔස්සේ ගොස් ඉළුක්මෝදර තොටුපල පසුකර තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ පිහිටි  Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම හරහා ගමන් කරයි. එම ස්ථාන දෙකම අඟලේ සිතියම් වල ලකුණු කර ඇත. එම ස්ථානයේදී තලාතු ඔය සහ අම්පිටිය දක්වා යන මාර්ගය හමුවේ. ගෝනවත්ත තොටුපලද පැරණි මහනුවර අඟලේ සිතියමේ හඳුනාගත හැක. (මෙම මාර්ගය හඳුනාගැනීම උදෙසා භාවිතා කරන මහනුවර සහ හඟුරන්කෙත අඟලේ සිතියම් මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ වික්ටොරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදිවීමට පෙර අඳින ලද ඒවාය.)

සිතියම 1 - මහනුවර සිට ගෝනවත්ත තොටුපොල දක්වා මාර්ගය පැරණි අඟලේ සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත හැක. ඉලුක්මෝදර තොටුපොල, Kershaw's bridge සහ ගෝනවත්ත තොටුපොල මෙහි සලකුණු කර ඇත. එසේම තලාතු ඔය (නිල් පැහැයෙන් ) සහ එම නමින් යුතු නගරය කරා යන මාර්ගය (කොළ පැහැයෙන්) දක්වා ඇත.  

තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ ඉදිකර ඇති Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම (Google Street View ඇසුරින්. එම පාලම පිහිටි මාර්ගය පැරණි මහනුවර මාර්ගය ලෙස Google Map වල දක්වා ඇත.)

ගෝනවත්ත තොටුපලින් පසු මාර්ගයේ වැදගත් සන්දිස්ථානයක් ලෙස දැක්වෙන්නේ හාරගම ඔයයි. 1914 දක්වාම කරත්ත පාරක් ලෙස මාර්ගය තිබී ඇත්තේ මෙම ස්ථානයට වන තුරු පමණි. හාරගම ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට හඟුරන්කෙත හරහා මතුරටට මාර්ගය ඉහත විස්තර වන ආකාරයෙන්ම දකුණු පසින් දක්වා ඇත. හාරගම ඔයෙන් පසු මහ ඔය හමුවන අතර අඟලේ සිතියම් වල මාර්ගය වාහන ගමනාගමනය කල හැකි මාර්ගයක් ලෙසට මහ ඔයෙන් පසු ගෝනගමුව දක්වාම සලකුණු කර ඇත (සිතියම් වල ගෝනගමුව දැක්වෙන්නේ ගෝනගම්පිටිය ලෙසිනි.  Ferguson's Ceylon Directory වල සඳහන් වන දියබුබුල දුර්ගය අඟලේ සිතියමේ සලකුණු කර නොමැති වුවත් භූගෝලිය ලක්ෂණ අනුව ගෝනගම්පිටිය පිහිටා ඇත්තේ ඒවායේ දැක්වෙන පරිදිම දුර්ගයක මුදුනත බව හඳුනාගත හැක.) ගෝනගම්පිටියේ සිට එම මාර්ගය හඟුරන්කෙත දක්වා යොමුවන අතර අපගේ ප්‍රස්තුතයට අදාල මාර්ගය ගෝනගම්පිටියේ සිට කුඩා අඩි පාරක් ලෙස අඟලේ සිතියම් වල දක්වා ඇත. පහත සිතියම 2 බලන්න (එහි හාරගම ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට මතුරට මාර්ගය කොළ පැහැයෙන් ලකුණු කර ඇත. කහ පැහැයෙන් දැක්වෙන්නේ Lower Road මාර්ගයයි. වම් පස සිට පිළිවෙලින් නිල් පැහැයෙන් මතු කර ඇත්තේ. හාරගම ඔය , මහ ඔය සහ බෙලිහුල් ඔයයි. ලා නිල් පැහැයෙන් දැක්වෙන්නේ මහවැලි ගඟයි)

සිතියම 2
ගෝනගම්පිටියේ සිට කුඩා අඩි පාරක් ලෙසින් දැක්වෙන මාර්ගයේ ඊලග සංදිස්ථානය වන්නේ එය බෙලිහුල් ඔයෙන් එතෙර වෙන ස්ථානයයි. ඉන්පසු එය පිළිවෙලින් කුරුඳු ඔය සහ උමා ඔයෙන් එතෙර වන ස්ථාන දක්වාම අඟලේ සිතියම් වල බොහෝ දුරට අඩි පාරක් ලෙසින් සටහන් වී ඇත.එහෙත් බෙලිහුල් ඔයත් කුරුඳු ඔයත් අතර මාර්ගයේ මුළු දුරින් අඩක් පමණ දුරක් කුරුඳු ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට බෙලිහුල් ඔය දෙසට වන්නට කරත්ත පාරක් ලෙසින් සලකුණු කර ඇත. ඉන්පසු උමා ඔය තරණය කිරීමෙන් පසු සැලකිය යුතු දුරක් යනතෙක් එය කරත්ත පාරක් ලෙසින් ගොස් නැවත සුළු දුරක් අඩි පාරක් බවට පත්වී ඉන්පසු බදුලු ඔයට ආසන්නවීමත් සමග ප්‍රධාන පාරක් බවට පත්වේ. ඉන්පසු බදුලු ඔයේ අතු ගංගාවක් වන වේල්ල ඔයෙන් (?) එතෙර වන අතර මෙය ඉහත Ferguson's Ceylon Directory වල Wella Oya Ford ලෙසින් දක්වා ඇත. ඉන්පසු බොහෝදුරට බදුලු ඔයට සමාන්තරව විහිදෙන මාර්ගය තල්දෙන දක්වා ගොස් එතැන් සිටද බදුලු ඔය නිම්නය ඔස්සේම බදුල්ල දක්වා ලඟාවේ. අඟලේ සිතියම් වල මේ කොටස ප්‍රධාන මාර්ගයක් ලෙසින් පෙන්වා ඇති අතර එය වර්තමාන B36 බදුල්ල-කරමැටිය-ආඳාඋල්පත මාර්ගයයි.  පහත සිතියමේ මේ සියළු ස්ථාන සහ පැරණි මාර්ගය ( කහ පැහැයෙන් ) ලකුණු කර ඇත.

මාර්ගයේ අද තත්වය. 

ඉහත පැරණි මාර්ගය අඟලේ සිතියම් වල දැක්වෙන අකාරය මහවැලි ව්‍යාපාරයේ වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ සහ රජ මාවත ඉදිවීමෙන් පසු සිදුවූ වෙනස්කම් නිරූපණය වන සිතියමක සටහන් කල විට දැක්වෙන ආකාරය පහත දැක්වේ. මහනුවර සිට හාරගම දක්වා පැරණි කරත්ත පාර ප්‍රධාන මාර්ගයක් ලෙස අදද දක්නට ඇත (සිතියමේ කළු පාටින්). පැරණි මාර්ගයේ හාරගමින් පසු යම් දුරක් සහ නැවතත් මහ ඔයෙන් එගොඩ වූ පරණ තොටුපල පිහිටි ස්ථානයෙන් පසු තරමක දුරක් වික්ටොරියා ජලාශයට යටවී ඇත (සිතියමේ නිල් පැහැයෙන් දක්වා ඇත). ඉන්පසු  මහ ඔයේ සිට ගෝනගමුව පසු කර බෙලිහුල් ඔය දක්වා ඇති දුරින් වැඩි ප්‍රමාණයක වර්තමාන රජ මාවත එම පැරණි මාර්ගයට අනුරූපව ඉදි කර ඇති බව පෙනේ (සිතියමේ රජ මාවත සුදු පැහැයෙන් සහ පැරණි මාවත කළු පැහැයෙන්.). බෙලිහුල් ඔය ආසන්න වෙත්ම රජ මාවත පැරණි මාර්ගයෙන් අපගමනය වන අතර ඉන්පසු උමා ඔය හමුවන තෙක්ම පැරණි මාර්ගය වර්තමාන රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වලට යටවී ඇත. උමා ඔයේ සිට නැවතත් රජ මාවත තරමක දුරක් පැරණි  මාර්ගයට අනුරූපව තනා ඇති බව පෙනේ.  

ඉන්පසු නැවතත් රන්ටැඹේ ජලාශයෙන් පටන් ගන්නා මිණිපේ දකුණු ඉවුරු ඇල හෙවත් ලොග්ගල් ඔය ඇල පටන් ගන්නා ස්ථානයේ සිට කිලෝමීටර් 1.4 පමණ ගිය පසු රජ මාවතේ දකුණු පසට විහිදෙන පැරණි මාර්ගය අදද භාවිතා වන අතර (පහල සිතියමේ කළු පැහැයෙන්) එය මද දුරක් ගිය පසු පැරණි මාර්ගයට අනුරූපව අද ඉදිවී ඇති කන්දෙකැටිය-මහ කැලේ-රජ මාවත මාර්ගය (එම කොටස සිතියමේ නිල් පැහැයෙන් දක්වා ඇත.) හා එක්වේ. ඉන්පසු කන්දේකැටිය නගරය දක්වාම එම මාර්ගය අඩු වැඩි වශයෙන් පැරණි මාර්ගයට අනුරූපව ඉදිවී ඇති බව පෙනේ. කන්දේකැටිය නගරය පසු කල පසු එම පැරණි මාර්ගයට අනුරූපව අද ඉදිවී ඇති මාර්ග වන්නේ කිලෝමීටර 2 ක් පමණ දුරට ගල්ලන්ද-කන්දේකැටිය මාර්ගය (සිතියමේ රතු පැහැයෙන්) සහ ඉන්පසු තවත් කිලෝමීටර් 2.3 කට ආසන්න දුරක් කන්දේකැටිය-සොරණාතොට මාර්ගයයි (සිතියමේ කොළ පැහැයෙන්). 

ඉන්පසු පැරණි මාර්ගය වඩාත් බදුලු ඔයට ආසන්නව ගමන් කරන අතර Google Satellite View මගින් තල්දෙන දක්වාම හඳුනාගත හැක. ඉහත කන්දේකැටිය-සොරණාතොට (පහත රූපයේ කොළ පැහැයෙන් දක්වා ඇත ) මාර්ගයෙන් වෙන් වන ස්ථානයේ සිට මාර්ගයේ එම කොටසේ මුල් කොටස පමණක් පහත රූපයේ කහ පැහැයෙන් මතු කර ඇත.  තල්දෙන සිට බදුල්ල දක්වා පැරණි මාර්ගයට අනුරූපව අද ඉහත විස්තර කර ඇති පරිදි B36 මාර්ගය ඉදිවී ඇත.



Saturday, October 23, 2021

ඩිලාන් ඇදන් වැටුන පාලම සුද්දාට සිදුවූ වැරදීමක්ද?

පසුගිය සතියේ හලාබ පාලම නිරීක්ෂණය කිරීමට ගිය ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එහි ලෑල්ලක් ගැලවීමෙන් එය මත ඇද වැටෙන වීඩියෝ දර්ශන ගොසිප් සයිට් කිහිපයක පලවීමෙන් පසු එහි කොමන්ට් දැමූ "3% නෙගටිව් කොමන්ට් කාරයන්ගේ" අදහස් දැකීමෙන් පසු තැනූ අවදිය හෝ එහි අරමුණ පිළිබඳව ස්ථිර නිගමනයකට ඒමට කරුණු ප්‍රමාණවත් නොවීම නිසා කිහිප වරක්ම කල් දමමින් සිටි හලාබ පාලම පිළිබඳව යමක් ලිවීමට සිත්විය. 

සුපුරුදු පරිදි 225 න් එකෙක් නැතිවෙන්න ගිය අවස්ථාව අහිමිවීම පිළිබඳව වැලපීම් වලට (මේ නෙගටිව් කොමන්ට් කාරයන් සිතන්නේ රටේ සියළුම ගැටළු වලට මුල මේ 225 බැවින් ඔවුන් නැතිවූ පසු සියල්ල හරියන බවය.)  අමතරව ඒවායේ තිබුනේ ගම් වල වෙසෙන ජනතාව සිය අවශ්‍යතා සඳහා ගමන් කරන මෙවැනි පාලම් ඇති බව නගර වලට වී සුර සැප විදින පාලකයන් මේ සිද්දියෙන්වත් තේරුම් ගත යුතු බවය (හැබැයි ගමක පාරක්, පාලමක් හදන්න යන විට පට්ටපල් බොරු සමාජ ගත කරමින් ඒවාට එරෙහි වන්නේද සමාජයේ වෙසෙන මේ 3% මය. හොඳම උදාහරණය ලංකාගමට යෑමට දශක ගණනාවක්ම එහි ගැමියන් සහ සංචාරකයන් භාවිතා කල මාර්ගයම පිලිසකර කිරීමට උත්සාහ කල අවස්ථාවේ සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපනවායැයි පට්ටපල් බොරු කියමින් එය ජාතික ප්‍රශ්නයක් කිරීමය. සිද්දිය තවත් හිට් කරන්නට සිතූ එක් පරිසර ප්‍රශ්න විකුණා ගතමනාව සොයාගන්නා NGO කාරයෙකු පැවසුවේ ඒ පාර කපන්නේ සිංහරාජය මැද තිබෙන නාමල්ගේ හෝටලයට යන්න බවය. අද වෙනකොට පාර පිළිසකර කර අවසානය. සිංහාරජ වනාන්තරයේ එක් ගසක් හෝ බිම හෙලා නැත. නාමල්ගේ හෝටලය ඇති තැන ඔහුවත් දන්නා බවක් නොපෙනේ. නෙගටිව් කොමන්ට් කාරයන් සහ ඔවුන් කඩේ යන පජාත දේශපාලනය එවැනිය.)

 කෙසේ නමුත් මන්ත්‍රීවරයා ඇදන් වැටුන හලාබ පාලම අපට මෙහිදී වැදගත් වන්නේ එය මේ 3% සෙට් එක කියන ආකාරයේ ජනතාව භාවිතා කරන පාලමක් නොවීම නිසාය. පාලමේ දෙකෙලවර හා සම්බන්ධ වන පාරක් කිසිදා තිබී නැති බව පැවසේ. එසේම අදද මේ පාලම බැලීමට යෑම උදෙසා ඇති අඩි පාර විනා අවම වශයෙන් යතුරිපැදියකටවත් පහසුවෙන් යා හැකි පාරක් එහි දෙපසින් නොමැත.

හලාබ පාලමේ එක් පසක සිට ඇති කුඩා අඩි පාර

නමුත් පාලම දෙපසින් අඩි 10 ක් පළල්වද මැද කොටස අඩි 8 ක් පළලටද තනා ඇති බව පැවසේ. දිග අඩි 372 ක්ය.  බදුල්ල දිස්ත්‍රික්කයේ හලාබ ග්‍රාමයේදී උමා ඔය හරහා ඉදිකර ඇති මෙම පාලම උමා ඔයේ පලල්ම ස්ථානයක් හරහාද ඉදිකර තිබීම විශේෂත්වයකි (මෙම ස්ථානයේදී ගඟේ පලල අඩි 300 ක් පමණද ගැඹුර අඩි 25-40 ක් පමණද වන බව පැවසේ.) පාලම තනා අත්තේ උමා ඔයේ සිට අඩි 100 පමණ උසින්ය. පාලමේ ඉහල ඇති පුවරුවක එය 1919 දී තැනූ බව සටහන් කර ඇති බව පැවසේ. [සැ.යු. ඉහත දත්ත සියල්ල අන්තර්ජාලයෙන් (Link >> )ලබාගත් ඒවා වන අතර කිසිදු පිළිගත් මූලාශ්‍රයකින් තහවුරු කරගත් ඒවා නොවේ. එහෙත් තැනූ වර්ෂය ගැන දැක්වෙන පුවරුව හැර අනෙක් මිණුම් අඩු වැඩි වශයෙන් නිවැරදි බව එම පාලමේ කල නිරීක්ෂණ වලින් තහවුරු විය. වර්ෂය සඳහන් පුවරුව අප හට සොයාගැනීමට නොහැකිවිය. එය ඇත්තේ පාලමේ උඩින් නම් එයට ලගාවීම පහසු නොවේ.] 

මෙවැනි හේතූන් නිසා කිසියම් අභිරහස් පාලමක් ලෙසට මෙය දකින ගැමියා ඒ වටා විවිධ කතන්දර ගෙතීමද ස්වභාවිකය. එවන් එක් කතාවකින් කියැවෙනුයේ මෙය හලාවත කිසියම් ගඟක් හරහා තැනීමට සැලසුම් කල එකක් බවත්, හලාබ, හලාවත සමග පටලා ගත් සුද්දන් මෙය හලාබ ගමේ උමා ඔය හරහා ඉදි කල බවත්ය.

මේ පාලමේ පිහිටීම පිළිබඳව තවත් එක් වැදගත් කරුණක් වන්නේ එය පිහිටා ඇත්තේ සුප්‍රසිද්ද බෝගෝඩ ලී පාලම ආසන්නයේ වීමය. බෝගොඩ ලී පාලම තනා ඇත්තේ පැරණි මහනුවර - බදුල්ල මාර්ගයේ ගල්ලන්දා ඔය හරහාය (ගල්ලන්දා ඔය ආසන්න ස්ථානයකදී උමා ඔය හා එක්වන එහි අතු ගංගාවකි.) මෙයට පෙර අවස්ථාවකදී ලිපි කිහිපයක් මගින් මා එම පැරණි මහනුවර- බදුල්ල මාර්ගය පිළිබඳව කරුණු ඉදිරිපත් කර එහි ගමන් මාර්ගය පිළිබඳව අනුමාන කිරීමක් සිදු කර ඇත. එම ලිපි කියවීමට >>

මග සලකුණ නම් පැරණි කවි පොතට අනුව එම අනුමාන මාර්ගය බෝගොඩ පාලමෙන් එතෙර වීමෙන් පසු යොමු වන්නේ උමා ඔයෙන් එතෙර වීමටය. එම එතෙරවන ස්ථානය සලාතොට ලෙසින් එහි සඳහන් වේ. එය පැහැදිලිවම තොටුපලකි. 

බෝගොඩ පැරණි දැව පාලම, හලාබ යකඩ පාලම සහ උපකල්පිත පැරණි බදුල්ල-මහනුවර මාර්ගය වැටී තිබූ ආකාරය

කලාවටින් පිරිසිඳ වත යුගැස පෙටින්

පිලාසැටින් රනහස දෙතන බැඳ පටින්

කලාවිටින්  විට දිය කෙළිනෑවිත් වටින් 

සලාතොටින් යා කර සබඳ සිත තුටින්

උමා ඔය මැද පිහිටි ගල් පරයක් මත තනා ඇති පාලමේ අධාරක කණුව

වැදගත්ම කරුණ වන්නේ සලාතොට ලෙසින් සිතියම් ආශ්‍රයෙන් ඉහත දෙවන ලිපියෙන් මා අනුමාන කල ස්ථානය මේ හලාබ පාලමට ඉතාම ආසන්නයේ එයට තරමක් ගඟ පහලට වන්නට පිහිටා තිබීමය. ඒ අනුව සලාතොට වර්තමාන හලාබ පාලම පිහිටි ස්ථානයම ලෙසින් හෝ ඒ ආසන්න ස්ථානයක් ලෙසින් වුව සැලකීම නිවැරදි බව පෙනේ. මේ කරුණු අනුව හලාවතට ගෙන යෑමට තිබූ පාලම හලාබට නොහොත් සලාතොටට ගෙනා බවට වූ ජනප්‍රවාදයේද යමක් ඇති බව පෙනේ. හලාබ යන්නද සලාතොට යන්නේ විකාශනයක් බව පෙනේ. එහෙත් මා සැක කරන්නේ මේ පාලම ඉංග්‍රීසින් සැබවින්ම මේ සලාතොට සවි කිරීමටම ගෙනාවක් බවත්, එය කිසිසේත්ම ඔවුන්ට සිදුවූ වැරදීමක් නොවන බවත්ය. එසේ නම් ඒ කුමන හේතුවක් නිසාද? හලාබ පාලම මේ ස්ථානයේ සවි කිරීමෙන් ඔවුන් උනන්දු වූවේ පැරණි මහනුවර - බදුල්ල මාර්ගය පලල් කර ඒ වන විට බදුල්ල ආශ්‍රිත වතු වල නිෂ්පාදන ප්‍රවාහනය උදෙසා පහසු ගමන් මාර්ගයක් සකසා ගැනීමද? පසුව එම අදහස කිසියම් හේතුවක් නිසා අතහැර දැමුවාද?











Saturday, October 16, 2021

රාසිං දෙවියන්ගේ අටුව බිඳ පුහුල් පහනින් තවමත් පුද ලබන කැලණි මිටියාවතේ රන්වල දෙවියන්

 සීතාවකින් පහල පෙදෙසේ කැලණි ගං දෙගම්බඩ පිහිටි හිඟුරල, මල්වාන, ඇස්වත්ත, පූගොඩ, මීතිරිගල, රන්වල වැනි ගම්  වල පුහුල් පහන් ලෙසින් හැඳින්වෙන ගොක්කොළ වලින් නිර්මිත මේ සමග ඇති ඡායාරූප වල දැක්වෙන ආකාරයේ සැරසිල්ලක් තුල පහන් දැල්වීම අද දක්වාම දැකිය හැකි සම්ප්‍රදායික චාරිත්‍රයකි. මේ සම්බන්ධව තව දුරටත් විමසිලිමත් වුවහොත් එම පහන් රන්වල දෙවියන් උදෙසා දල්වන බව එම ගම්මුන් පවසනු ඇත. රන්වල දෙවියන් උදෙසා වූ දේවාල කිහිපයක්ද මේ ප්‍රදේශ වල හමුවේ. මෙරට බොහෝ පැරණි ගම් පිහිටි ප්‍රදේශ වල එම පෙදෙස් වලටම ආවේනික වූ ප්‍රාදේශීය දෙවිවරුන් වන්දනා මාන කිරීම දැකිය හැකි අතර එම දෙවිවරුන්ගේ උප්පත්තිය අලලා ගෙතුණු විචිත්‍ර ජන කතාද අසන්නට ලැබේ. මේ රන්වල දෙවියන් බිහිවූ ආකාරය පිළිබඳ වූ කතන්දරයයි. උපුටා ගැනීම මහාචාර්ය කේ. එන්.ඕ ධර්මදාස සහ එච්. එම්. එස් තුන්දෙනිය මහතුන් විසින් රචිත සිංහල දේව පුරානය ග්‍රන්ථයෙනි.  

රන්වල නමින් වූ ගමක් වර්තමාන කෑගල්ල නගරය ආසන්නයේද ඇත. රන්වල දෙවියන් සම්බන්ධ වූ එක් ජන කතාවකට අනුව දෙවන රාජසිංහ රජුගේ කාලයේ මෙම ගමේ රජුට අයත් වී අටුවක් තිබී ඇත. එම ගමේ සිටි මිතුරන් දෙදෙනෙකි අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ. ඔවුන් දෙදෙනා දිනක් මෙම වී අටුවෙන් වී සොරාගැනීමක් සිදු කරයි. අද මෙන් නොව එතරම් විශාල පුද්ගලයන් ප්‍රමාණයක් නොසිටි පැරණි සිංහල ගම් වලට එම ගමේ  ගම්මුන්ට රහසේ පිටස්තර ගම් වලින් පුද්ගලයන් පැමිණීම එතරම් පහසු නොවේ. එසේම ගම තුල සිටින ගැමියන්ද ගම තුල සිදු වන ක්‍රියාකාරකම් සහ එකිනෙකාගේ හැසීරිම් ගැන මනා වැටහීමකින් යුතුව සිටි බවට ඓතිහාසික වාර්තා මගින්ද තොරතුරු හෙලිවේ.  එබැවින් මෙම සොරාගැනීම සිදුකලේ අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ යන දෙදෙනා බව කිසිවෙකුටත් රහසක් නොවීය. පත්තෑයම ලෙසින්ද හැඳින්වෙන රජුගේ වී අටුවේ රාජකාරිය සිදුකලේ පත්තෑයමේ ලේකම් විසිනි. ඔහු මේ සිද්දිය රජුට සැල කල පසු රජු සෙංකඩගල පුර සිට ඔවුන් අල්ලා ගැනීම උදෙසා කටුපුල්ලේ රාල සමග පිරිසක් රන්වල ගමට පැමිණීමට පිටත් කරයි. ඔවුන් ගැටඹේ තොටින් නික්මුන ආරංචිය සැල වන අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ රන්වල ගමින් රහසේ පැනගොස් යටියන්තොට හරහා අවිස්සාවේල්ලට පැමිණ එතැන් සිට උණ ගස් සහ වේවැල් උපයෝගි කරමින් සාදාගන්නා පහුරක නැගී කන්ද උඩරට රාජධානියෙන් තවදුරටත් ඈත් වීම උදෙසා ගඟ පහලට යන අතරේ, අලවතුරේ රාළ එක් ස්ථානයකදීද, ගණේගොඩ රාළ තවදුරටත් ගඟ පහලට ගොස් දන්ගල්ල නම් ගමේදීද පහුරෙන් නික්මෙයි. අලවතුරේ රාළ එම ගමේ තරුණියක් පාවා ගෙන එහි කැළෑ එලි කර නව ගමක් ඉදිකරයි. ඔහුගේ පැමිණීමට පෙර එතරම් සරුසාර ගමක් නොවූ එය කෙටිකලකින්ම දියුණු ගම්මානයක් බවට පත්වී ඇත. තමා පැමිණි රන්වල ගමේ නමම එම ගමටත් තැබීමට අලවතුරේ රාළ ක්‍රියා කර ඇති අතර ඔහු එම ගමේ බොහෝ ගරු බුහුමණට පාත්‍ර වූ පුද්ගලයෙක් බවට පත්ව, කලකින් මිය පරලොව ගියහ. ඉක්බිති ගම්මුන් ඔහුට දේවාලයක් තනා දේවත්වයට පත් කලහ. රන්වල දෙවියන් ලෙසින් හැඳින්වූ එම දෙවියන් කැලණි ගඟට අරක් ගත් දෙවියන් ලෙසින්ද එම ප්‍රදේශ වල පිළිගැනේ. 

රන්වල දේව උප්පතිය සම්බන්ධ වූ තවත් කතාවකට අනුව රන්වල ගමේ සිටි මිතුරන් දෙදෙනා අස්වාන් රාළ සහ රන්කිරි රාළ නම් වේ. ඔවුන් දෙදෙනාගේ රාජකාරිය වී ඇත්තේ රජුට අයත් පත්තෑයම හෙවත් වී අටුව බලාගැනීමය. එහෙත් ඔවුන් දෙදෙනා කෙරෙහි ඊර්ෂ්‍යා කල පිරිසක් එම අටුවට ගිනි තබා ඒ බව මහ වාසලට දන්වා තිබේ. රජතුමා ඔවුන්ට දඩුවම් කිරීමට යන ආරංචිය කෝහල්පිරි රාළ  නම් පුද්ගලයෙකුගෙන් දැනගන්නා ඔවුන් දෙදෙනා රහසේ ගමින් නික්මී අරන්දරට පැමිණ පහුරු දෙකක් තනා ගුරුගොඩ ඔය දිගේ පහලට පැමිණ ඇත. අතරමගදී ගඟ බඩ සිට ගී කියන කතකගේ ගී රාවයක් ඇසී ඇය සමග පිළිතුරු ගී කියා ගන්නා අස්වාන් රාළ ඇයගේ ගී හඩට වශී වී එම ගමින් ගමන නතර කරන මුත්, රන්කිරි රාළ තව දුරටත් ගඟ පහලට ගොස් සියනෑ කෝරළයේ ගිරිදර නම් ගමේ නතර වේ. අස්වාන් රාළ ගී ගැයූ තරුණිය සමග ඇයගේ නිවසට යන මුත් ඇයගේ මව්පියන් ඔවුන් ප්‍රතික්ශේප කරන හෙයින්, ඔවුන් අසල පිහිටි දන්ගොල්ල නම් ගමේ ලැගුම් බිම නම් ගල් ලෙනක වාසය කරමින් හේන් ගොවිතැන් කිරීමට පටන් ගනී. ජන කතාවට අනුව අද හේනේ ගම ලෙසින් හැඳින්වෙන්නේ එම බිමයි. අස්වන් වෙල ලෙසින් අද හැඳින්වෙන්නෙ ඔවුන්ගේ කුඹුරු වේ. නමුත් කෙටි කලකින් යුග දිවිය අත් හරින අස්වන් රාළ කැලණි ගඟ බඩ අසපුවක් ඉදිකරගෙන එහි වාසය කරයි. හෙතෙම තම අසපුව වටා රාත්‍රියේ පහන් දැල්වීම සිරිතක් කරගනී. එම පහන් ගඟේ ඉහල පහල යන පාරුකරුවන්ට පහසුවක් වී ඇත. එනිසා අස්වන් රාළ මියගිය පසුද එම පහන් දැල්වීම පාරු කරුවන් සහ අසල්වැසියන් නොකඩවා සිදු කර ඇත. එසේම ඒ අසල වූ තොටුපොළ භාරකරුවන්ද එය නොකඩවා සිදු කර ඇත. එසේම එම තොටුපොල භාරකරු වෙත පැමිණි පොඩියා නම් ද්‍රවිඩ ජාතිකයෙකුද එම චාරිත්‍රය නොකඩවා සිදු කර ඇත. පසුව අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය ඉදිවීමත් සමග පහන් දල්වන ස්ථානය මහාමාර්ගය අසලට ගෙන ගොස් ඇත.