Tuesday, September 12, 2023

කොස්පොතු ඔයේ අමුණු බැඳ කුඹුරු අස්වද්දා ලංකාතිලක විහාරයට පිදූ, නම නොදන්නා රජ්ජුරු සාමී

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සහ එම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් ගවේෂකයන් විසින් මේ වන විට ගල් ලෙන් වල, ගල් තලා මත මෙන්ම ශෛලමය ටැම් සහ පුවරු මත කොටා ඇති ඓතිහාසික යුගයට අයත් සෙල්ලිපි අවම වශයෙන් 5000 කට අධික ප්‍රමාණයක් මෙරටින් සොයාගෙන ඇත. එසේම දිවයින පුරා විශේෂයෙන්ම පහත රට වියලි කලාපයට අයත් ප්‍රදේශ වල වනාන්තර වල සැඟවී තවමත් සොයාගෙන නොමැති සෙල්ලිපි සිය ගානක් තව දුරටත් තිබෙනවා විය යුතුය. මක්නිසාද යත් මෙතෙක් වාර්තා නොවූ එවන් අලුත් සෙල්ලිපි පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වරින් වර වාර්තා වන බැවිනි. එහෙත් මෙතෙක් කියවා ඇති මෙවන් කිසිදු සෙල්ලිපියක එම ස්ථානයේ කිසියම් වටිනා දේ සඟවා ඇත වැනි දෙයක් සඳහන්ව නොමැති බව එම විෂය පිළිබඳව අවම හැදෑරිමක් හෝ ඇති ඕනෑම කෙනෙකුට රහසක් නොවේ. ඒ වෙනුවට ඒ බොහෝමයක් ලිපි වල ඇත්තේ කිසියම් බෞද්ධ විහාරස්ථානයකට හෝ සංඝයාට විවිධ යුග වලදී සිදු කල ප්‍රදානයන් පිළිබඳව විස්තරය. එහෙත් මෙරට උගත්/නූගත් නූගතුන් (එක් හෝ වෙනත් ක්ෂේත්‍රයක උගතුන් ලෙස මෙරට සිටින බොහෝමයක් දෙනා එම ක්ෂේත්‍රයෙන් පිට වෙනත් දේ පිළිබඳව නූගතුන්ය. ඔවුන්ගේ ක්ෂේත්‍රය පිළිබඳව වුවද ඔවුන් ඇතැම්  විට යාවත්කාලීන නොවන අතර විභාග සමත්වීමට කට පාඩම් කල දැනුමෙන් කොටසක් මත පමණක් සදාකාලිකව ජීවත්වේ. එබැවින් ඔවුන් උගත් නූගතුන්ය.) සිතන්නේ එවන් අකුරු කොටා ඇති හෝ අකුරු සහිතව හෝ රහිතව වෙනත් සංකේත කොටා ඇති තැන් වල පෙර සිටි රජවරුන් නිධන් සඟවා ඇති බවය. එම මිත්‍යා විශ්වාසය නිසාම පසුගිය සියවස් වල වාර්තා කර තිබූ ඇතැම් සෙල්ලිපි මේ වන විට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ කර දමා ඇත. තව දුරටත් දිනපතා සිදුවෙමින් පවතී. එම විනාශය සිදු කිරීමෙන් ඔවුන් ලැබූ දෙයක් නොවන්නේ වෙනත් ස්ථාන වල කෙසේ වෙතත් මෙවැනි සෙල්ලිපි ඇති ස්ථාන වල ගල් යට නම් කිසිම නිධානයක් තිබීමට නොහැකි බැවිනි. 
කොස්පොතු ඔය නිම්නයේ කුඹුරු යායවල්
මෙම ලිපියේ මාතෘකාවට අදාල දැදුරු ඔයේ ශාඛාවක් වන එහි ඉහල ජලධාරා ප්‍රදේශයේ පිහිටි කොස්පොතු ඔය නිම්නයේ පිහිටි ගිරි ලිපියද කිසියම් කාලයක එවන් ඉරණමකට ලක්ව එහි මුල් පේලි කිහිපයම, විශේෂයෙන්ම ලිපිය පිහිටවූ රජුගේ නම සදහන් කොටසද සදහටම අහිමි වූ, අද පවා තර්ජනයකට ලක්ව ඇති සෙල්ලිපියකි. මෑතකදි එහි ගොස් සෙල්ලිපියේ ඡායාරූපයක් ගැනීමට මද වෙලාවක් අවශ්‍ය ආලෝක තත්වය ලැබෙන තුරු එහි රැඳි සිටි මා සමග කතා බහ කල ගැමියන් දෙදෙනෙකුට අවශ්‍ය වූවේ මා එය සම්පූර්ණයෙන් කියවා එහි සඳහන් දේ දැනගත්තේද යන්න දැනගැනීමටය. මා එය කියවීමට තැත් නොකල බවත්, එම අකුරු කියවීමට හැකි විද්වතුන්  එය කියවා ප්‍රකාශයට පත් කර ඇති බවත්, එහි සඳහන්ව ඇත්තේ කුමක්ද යන්නත්, මා හැකි තරම් සරලව ඔවුනට පහදා දුන් මුත් ඔවුන් එය විශ්වාස කල බවක් නොපෙණුනි (තකහනියක්ම කොළඹ සිට ඡායාරූපයක් ගැනීමට පමණක් එහි ඒමට තරම් පිස්සු පොරවල් මේ වගේ කාලයක සිටිය හැකි බව ඔවුන්ට විශ්වාස කිරීමට නොහැකි වීම සාධාරනය.) ඔවුන් සමග කතා බහ කිරීමේදී ඔවුන් හැඟවූවේ මා එහි ඇති යම් දෙයක් ගැනීමට වෙහෙසෙන්නේ නම් එයට ඔවුන්ගේ අකමැත්තක් නොමැති බවය. එසේම අවශ්‍ය සහයෝගයක් දිය හැකි බවය. තවද මේ සෙල්ලිපියට පහලින් පිහිටි අලවල අමුණ අසල ඇති පැරණි අමුණේ ලී කණු සිටවූ ගල මත වූ කුහර මෙන්ම ඔයේ ගල් තලාවේ ස්වාභාවිකව ඇතිවූ ගල් කුහර පිළිබඳවද ඔවුන්ට දැනගැනීමට අවශ්‍ය විය. එවන් එක් ස්වභාවික ගල් කුහරයක වූ කොළ රොඩු සහ වැලි පස් ආදිය කිසියම් අයෙකු හෝ කිහිප දෙනෙකු ඉතෑම මෑත දිනයකදී හාරා ඉවත් කර ඇති බවත් නිරීක්ෂණය විය. එම ස්වභාවික ගල් කුහර ඇති වන ආකාරය ඔවුන්ට පැහැදිලි කර දුන් විට නම් එය පිළිගත් බව හැඟී ගියේ එය හෑරූ අය හට කිසිවක් නොලැබී ගිය බව ඔවුන් දැනසිටින්නට ඇති බැවින් විය යුතුය. මෙහි පිහිටි නූතන යුගයට අයත් අමුණ ඉදි කල කාලය පිළිබඳව මා හට තොරතුරු සොයාගැනීමට නොහැකි වූ මුත් එය බොහෝවිට ඉංග්‍රීසි පාලන යුගයේ විය යුතු බව පෙනේ. පැරණි අමුණේ වූ ගල් කුහර ඔයේ එක් පසක පමණක් ඇත්තේ ඔය එම ස්ථානයෙන් පමණක් හරස් කර ජලය හරවා යැවූ බැවින්ද නොමැති නම් එහි අනික් පස වූ ගල් තලාවේ ගල් නව අමුණ සෑදීමට කැඩීම නිසා එම කුහරද ඒ සමග විනාශ වූ නිසාද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් එම කාලයෙන් පසුවද දැනට දැකගැනීමට ඉතිරිව ඇති ගල් කුහර ඇති ස්ථාන වල පතුරු මිනිස් ක්‍රියාකාරකම් මගින් ඉවත් කර ඇති බව පෙනී යයි. නැවතත් අරමුණ ගල යට තිබෙනවායැයි ඔවුන් සිතන වස්තුව සේවීම විනා අන් යමන් විය නොහැක. 

අලවල අමුණේ සහ සෙල්ලිපියේ වීඩියෝ දර්ශන >>


 කුරුණෑගල සිට සැතපුම් 6 ක පමණ දුරින් පිහිටි කොස්පොතු ඔයේ අලවල අමුණ පිහිටි ස්ථානයේ [මියුලර් එම ස්ථානය ගැන කරන සඳහන අනුව පෙනී යන්නේ එම යුගය වන විටත් එහි පැරණි හෝ නව අමුණ තිබී ඇති බවය.] ගඟට ආසන්නව පිහිටි ගල් තලාවක විශාල ප්‍රමාණයේ  නූතන අකුරු වලින් කොටා ඇති සෙල්ලිපියක් ගැන මෙරට සෙල්ලිපි අධ්‍යයනයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් 1883 වර්ෂයේ පළවූ සිය ග්‍රන්ථයේ කෙටි සටහනක් තබා ඇත. සෙල්ලිපියේ පෙල ඉදිරිපත් නොකරන මුත් එහි සඳහන් වන්නේ ඒ ආසන්නයේ පිහිටි මැදගම විහාරයට දඹදෙණියේ පරාක්‍රමබාහු (එනම් දෙවන පරාක්‍රමබාහු [පො. ව. 1236 - 1270]) විසින් සිදුකල ප්‍රදානයක් පිළිබඳව බව මියුලර් එහි සඳහන් කරයි.
අලවල සෙල්ලිපිය

මියුලර්ට පසුව වර්ෂ 1931 දී මෙම සෙල්ලිපියේ පිටපතක් ගැනීම උදෙසා මෙම ස්ථානයට යන සෙනරත් පරණවිතාන මහතා හට ප්‍රදේශවාසීන් පවසා ඇත්තේද මියුලර් සිය ග්‍රන්ථයේ සඳහන් කල මැදගම විහාරය සහ දඹදෙනියේ විසූ පරාක්‍රමබාහු පිළිබඳව වූ කතාවම වීම නිසා (අදට වඩා එදා සිටි ගැමියන් මෙහි සඳහන් වන්නේ කිසියම් හෝ විහාරයකට රජ කෙනෙකු විසින් පිරිනැමූ ප්‍රදානයක් බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධිමත් වූ බව පෙනේ.) පරණවිතාන මහතා සැක කරන්නේ මියුලර් සඳහන් කරන විස්තරයද ඔහු එම ලිපිය කියවා පවසන්නකට වඩා ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමක් විය යුතු බවය. සෙනරත් පරණවිතාන මහතා එහි යන සමය වන විටත් ලිපියේ මුල් පේලි දහයේ කොටස් මෙහි නිධන් සෙවූ අමනයන් දරුණු ලෙස විනාශ කර තිබී ඇති අතර, ලිපිය පිහිටවූ රජුගේ නම සඳහන් වන සිව්වන පේලියේ අකුරු ඔවුන් විසින් සදහටම නැති කර දමා ඇත (ගිරි ලිපියේ මුල් කොටස විනාශ කර දමා ඇති ආකාරය මෙම ලිපියේ පළමු ඡායාරූපයෙන් දැකගත හැක) එහෙත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ මියුලර් මෙහි ආ කාලයේදී ඇතැම්විට එම විනාශය සිදු වී නොතිබෙන්නට ඇති බවත්, පරාක්‍රමබාහු යන වචන එමනිසා ලිපියේ ඇති බව ඔහු බොහෝවිට දකින්නට ඇති බවත්, එනිසාම ඔහුට මෙන්ම මියුලර්ටද ප්‍රදේශවාසීන් පැවසූ දේ මියුලර් විශ්වාස කරන්නට ඇති බවත්ය. 

අලවල සෙල්ලිපිය

ලංකා විශ්ව විද්‍යාලය විසින් පළකල University of Ceylon Review සඟරාවට 1960 වර්ෂයේදී  Lankatilaka Inscription යන මැයෙන් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් මෙම සෙල්ලිපියේ පෙළ සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයක් මුල් වරට ලංකාතිලක විහාරය පිහිටි පරිශ්‍රයේ පිහිටි වෙනත් සිංහල සෙල්ලිපි කිහිපයක් සහ දෙමළ සෙල්ලිපියක්ද එම විහාරය සතු තඹ සන්නසක්ද සමගින් පල කරන පරණවිතාන මහතා එම අනෙකුත් සෙල්ලිපි වල සඳහන් කරුණු මෙම සෙල්ලිපියේ කරුණු සමග සසදමින් පවසන්නේ මෙම සෙල්ලිපිය අනිවාර්යෙන් සිව්වන බුවනෙකබාහු [පො. ව. 1341 - 1351] හෝ පස්වන පරාක්‍රමබාහු [පො. ව. 1344 - 1359] විසින් පිහිටවූවක් බවය. ඒ අතරින්ද ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේ පස්වන පරාක්‍රමබාහු වීමට බව ඔහු පවසයි (ඒ මන්දැයි මේ ලිපියේ ඉදිරියේදී කරුණු ඉදිරිපත් කර ඇත.) 

නූතන යුගයේදී ඉදි කල අමුණට පහලින් ගල් තලාවේ ඇති පැරණි අමුණක සාධක. 

මෙම සෙල්ලිපියේ සඳහන් කරුණු සහ එම කරුණු ඉදිරිපත් කර ඇති භාෂා විලාශය සහ වචන පවා අඩු වැඩි වශයෙන් ලංකාතිලක විහාර පරිශ්‍රයේ පිහිටි එම අනෙකුත් සෙල්ලිපි සහ තඹ සන්නස  සමග සමාන වේ. එහෙත් එම අනෙකුත් සෙල්ලිපි වල සඳහන් වන ආකාරයට පරණ බදලගොඩකසඹිලියාගොඩනාරංගොඩඅලුත් බදලගොඩ යන ප්‍රදේශ වලින් ලංකාතිලක විහාරයට පිරිනමා ඇති කුඹුරු වල මුළු වපසරිය යාළ් 14 ක් පමණ වේ. එහෙත් මෙම අලවල අමුණ සෙල්ලිපියේ එම ප්‍රමාණය යාළ් 90 ක් ලෙසින් සඳහන් වේ. මෙම නොගැලපීම විස්තර කරමින් පරණවිතාන මහතා පවසන්නේ ලංකාතිලක විහාරය ඉදිකර මුලින් එම ස්ථානයේ පිහිටවූ සෙල්ලිපි වල එවන් අඩු ඉඩම් ප්‍රමාණයක් සඳහන් කලද, ඊට පසු කාලයකදී එම ඉඩම් පිහිටි ගම් අයත් ප්‍රදේශයේ පිහිටවූ මෙම සෙල්ලිපිය පිහිටවන අවස්ථාව වන විට මුලින් තිබුනාට වඩා වැඩි ප්‍රදේශයක් අස්වද්දා එම කුඹුරු වල ආදායමද ලංකාතිලක විහාරයට පිරිනමන්නට ඇති බවත්, ලංකාතිලක විහාරයේ ඇති සෙල්ලිපි පිහිටවීමට පසුව කාලයකදී මෙම සෙල්ලිපිය පිහිටවූ බවට ඒ අනුව සිතිය හැකි බවත්ය. එනයින් අලවල අමුණ සෙල්ලිපිය පිහිටවා එම ප්‍රදානයන් සිදු කල රජු පස්වන පරාක්‍රමබාහු වීමට වැඩි ඉඩක් ඇති බව පරණවිතාන මහතා සඳහන් කරයි.

නූතන යුගයේදී ඉදි කල අමුණට පහලින් ගල් තලාවේ ඇති පැරණි අමුණක සාධක. 

ඉහත සඳහන් කල පරිදි කිසියම් කාලයක විනාශ කල ලිපියේ මුල් පේලි වලින් කියැවෙන්නේ ලංකාතිලක විහාරය උභය වාසයෙහි මහා සංඝයා (ආරණ්‍ය වාසී සහ ග්‍රාමවාසී) විසින් ඉදි කල බවත්, මහල් සතරකින් යුත් එහි එක් එක් මහල් ඉදි කල පුද්ගලයන් සහ ඒවායේ වූ පිළිම සහ අනෙකුත් පූජනීය දේ පිළිබඳවත්ය. එම විස්තර ලංකාතිලක විහාර පරිශ්‍රයේ ඇති සෙල්ලිපි වලද කියැවෙන බැවින් මෙම ලිපිය විනාශ කලා වුවත් එම තොරතුරු එහි සුරැකිව ඉතිරි වී ඇත. එහි පළමුවන මහල තුන් රජයේ (රුහුණු, මායා, පිහිටි) සේනාව සමග එක්ව සෙනාලංකා අධිකාරයන් කරවූ බවත් එහි වජ්‍රාසනයේ සාමීන්ද (විදුරසුන් මත වූ බුදු පිළිමයක්) වෙනත් පිළිම දහසකින්ද ( ඒ අතරින් දෙදහසක් පන්සිය පනස් ජාතක කතා නිරූපනය කරමින් අඹා ඇත.) බ්‍රහ්ම, විෂ්ණු, මහෙශ්වර, සතර වරම්, කිහිරැළි උපුල්වන්, සමන් , විභීෂණ, ගණපති, කන්දකුමාර ආදී ලෝකපාල දෙවියන්ගෙන්ද බබලන්නා වූ බව ලිපියේ විනාශ නොකල කොටසින් සම්පූර්ණ ලෙස කියවිය හැක.

අලවල අමුණ

ඉහත කී ආකාරයෙන් ලංකාතිලක විහාරය රන් තුන් කෙළ සැට ලක්ෂයක් (මිලියන 36 ක්) දී කරවා, උභය වාසයේ සංඝාරාම කරවා (එනම් නිකාය දෙකේ භික්ෂූන්ට සංඝාරාමද කරවා) මතු පවත්නා ලෙස භූමි දානයක් ඇත මැනැවැයි සිතා, යම් යම් කෙනෙකුන් සන්තක ගමක් බිමක් උදුරා පිදුවහොත් මතු නොපවතී කියා ප්‍රධාන ගණා හා සේනාව (රාජ්‍යයේ ප්‍රධානීන් සහ සේනාව) රැගෙන රජ්ජුරු සාමි මෙම තැනැට වැද වදාරා අමුතුව ඇළ අමුණු බන්දවා* වෙල් වල් කප්පා තනා (අලුතින් ඇළවල් සහ අමුණු බැඳ, කැලෑ කපා වෙල් තනා) ගොවීන්, එඩේරන් වහල් [වහලුන්], සරක් [හරක්] පුදා මතු ඇතිවන රජ, යුවරජ මහාමාත්‍යාදීන් නූගුලුවන ලෙස ඉර සඳ ඉම් පමුණු කොට (එනම් ඉර හඳ පවතින තුරා අනාගතයේදී පැමිණෙන රජවරු , යුවරජවරු හෝ මහ ඇමැති ආදීන් විසින් අහිමි නොකරන පරිදි) ලෙසින් සඳහන් කරමින් පහත දැක්වෙන ලෙසට කුඹුරු විහාරයට ප්‍රදානය කර ඇත.

* මෙම ස්ථානයේ ඇති ඉහත විස්තර කල පැරණි අමුණේ සාධක බොහෝවිට මෙසේ ඉදි කල අමුණක නටබුන් විය හැක.

අලවල අමුණ

පරණ බදලගොඩ, කසඹිලියාගොඩ, නාරංගොඩ, අලුත් බදලගොඩ යන ගම් සතරින් සතර දිගින් යොත්නකින් කුඹුරු බිජුවට අනූ යාළක්, එනම් ඉහත කී ගම් වල පිහිටි (බොහෝවිට ලිපිය පිහිටවූ ස්ථානයේ සිට සතර දෙසින් යොදුනක් දුරට වූ) කුඹුරු යාළ් අනූවක්, සිගුරුවාණෙන්, සිද්දාවුල්ල, ගොන්වණකේ, කිරිවවුල, ගොඩවෙල ඇතුළු වූ තෙනින් කුඹුරු බිජුවට තුන් යාළක් එනම් සිගුරුවාණේ පිහිටි ඉහත කී ගම් සතරින් යාළ් තුනක් පමණ වූ කුඹුරු සහ සැදැ ඇත්තන් නොයෙක් තැන් වලින් පිදූ කුඹුරු බිජුවට සත් යාළක් (එනම් සැදැහැවතුන් විසින් නොයෙකුත් ස්ථාන වලින් පූජා කල කුඹුරු යාළ් සතක්) ඇතුළුව කුඹුරු බිජුවට සියක් යාළක් මෙම ලිපියේ කියැවෙන ලෙසට ලංකාතිලක විහාරයට පිරිනමා ඇත. 

අලවල අමුණට ඉහලින් කොස්පොතු ඔය

සෙල් ලිපියේ තව දුරටත් සඳහන් වන ලෙසට මේ කුඹුරු වලින් ලැබෙන දේ කොටස් පහකට බෙදා ඉන් කොටස් තුනක් තුණුරුවනට, එක් කොටසක් දේවාල පහට සහ ඉතිරි කොටස විහාරය මතු පවත්වන (එනම් ඉදිරියට විහාරයේ කටයුතු පරිපාලනය කරන) සේනාලංකා අධිකාර නම් මන්ත්‍රීහුගේ බන්ධූන්ට (එනම් සේනාලංකා අධිකාර නම් මන්ත්‍රීවරයාගේ ඥාතීන්ට) ලැබිය යුතුය.  

මෙම ලිපිය පිහිටවූ තැනට රජු පැමිණ ඉහත විදානයන් ලියවා වදාළ බව එහි අවසානයේ සඳහන් වේ. තවද ඉහත සඳහන් භූමින්ට භයකින් වන් කෙනෙකුන්ට අභය දානය ලැබෙන බවත්, එහි සඳහන් විදානයන් කඩ කරන පුද්ගලයන් පංච චණ්ඩාලයන්ටත් අන්තව  කවුඩන්ට බල්ලන්ටත් පුත් වන බවත්, නරකාදියේ වැටෙන බවත්, එම විදානයන්ට බසකින් හෝ සහයෝගය දක්වන උත්තමයන් මෙම කුසලෙන් කොටසක් ලැබ දිව සැපත්, නිවන් සැපත් ලබන බවත් සඳහන් වේ. 

මූලාශ්‍ර

  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 7 , Sirimal Ranawella, 2014
  • University of Ceylon Review, Vol XVIII Nos. 1 & 2, 1960
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.