Friday, July 28, 2023

නානාදේසීන් අග්නි විහාරයේ පිහිටවූ දෙමළ පුවරු ලිපිය විහාරහින්නෙන් හමුවේ


වර්තමානයේ මෙරට දමිල ජනයා වැඩි වශයෙන් ජීවත් වන උතුරු සහ නැගෙනහිර පළාත් වල හමුවන පැරණි නටබුන් වෙහෙර විහාර බහුතරයක සෙල් ලිපි හමුවේ නම් ඒවා ලියා ඇත්තේ පූර්ව හෝ අපර බ්‍රාහ්මි අක්ෂර වලින් ඒ යුගයේ භාවිතා වූ සිංහල ප්‍රාකෘත භාෂාවෙන්ය. නැතහොත් එයට පසු කාලවලදී නම් අපර බ්‍රාහ්මි අක්ෂර වලින් හෝ එම අක්ෂර විකාශනය වීම මගින් බිහිවූ සිංහල අකුරු වලින් සිංහල භාෂාවෙන් ඒවා ලියා ඇත. ඒ අතර චෝල ආධිපත්‍යට යටත්ව පැවති යුගයේ බෞද්ධ විහාරයක් වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි වෙල්ගම් වෙහෙර වැනි ස්ථාන වල පිහිටවූ දෙමළ සෙල්ලිපිද කිහිපයක් හමු වේ. එහෙත් එම යුගයට අයත් ඇතැම් නටබුන් වූ වෙහෙර විහාර තිබූ තැන් වලින් හමුවන දෙමළ භාෂාවෙන් සහ දෙමළ අක්ෂර හෝ ග්‍රන්ථ අක්ෂර වලින් රචිත සෙල්ලිපි වැඩිවශයෙන් හමුවන්නේ අද වන විට සිංහල ජනයා මුළුමනින්ම හෝ බහුතරයක් සිටින ප්‍රදේශ වලින් වීමද විශේෂත්වයකි. වර්තමාන පළාත් සහ දිස්ත්‍රික් බෙදීම් අනුව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ බටහිර මායිමට ආසන්නව මොරගොල්ල ප්‍රදේශයේ පැහැදිලිවම අනුරාධපුර යුගයේ සිට පැවත එන බෞද්ධ පබ්බත විහාරයක් ලෙස හඳුනාගත හැකි ස්ථානයක, එකල අන්තර්ජාතික වෙළදාමේ යෙදුන දකුණු ඉන්දීය වෙළඳ සමාගමක් මගින් පිහිටවූ එවන් එක් දෙමළ පුවරු ලිපියක් දැකගත හැක. විහාරහින්න ලෙසින් මේ වන විට හැඳින්වෙන එම ස්ථානය පිළිබඳව සහ එහි තිබෙන නානාදේසීන් නම් වූ දකුණු ඉන්දීය වෙළඳ ශ්‍රේණිය විසින් පිහිටවූ පුවරු ලිපිය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.
 
සංස්කෘතික අමාත්‍යංශය මගින් 1972 වර්ෂයේදී ප්‍රකාශයට පත් කල පැරණි ස්මාරක නාමාවලියේ දෙපැත්තේ උස් කණ්ඩි දෙකකින් සෑදුනු පැරණි මාර්ගයක්* දිගේ ප්‍රාකාරයකින් වටවූ පැරණි ගොඩනැගිලි ඇති විහාරහින්න නම් වූ මෙම ස්ථානයට පිවිසිය හැකි බව සඳහන් කර එහි ඇති පැරණි දේ අතර දාගැබක අවශේෂයන් සහ එයට නිරිත දිගින් විශාල ගල් කුළුණු සහිත විහාර ගෙයක අවශේෂයන් ගැන සඳහන් වේ. එම ගොඩනැගිල්ල මැද හොරු හෑරූ වලක් තුළට විහාරයෙහි තිබුණ වැඩ හිදින බුදු පිලිමය දෙකට කඩා දමා ඇති බවත්, ප්‍රාකාරයකින් වටවූ එම ප්‍රදේශය තුළ තවත් ගොඩනැගිලි කිහිපයක අවශේෂ සහ දාගැබ අසල බාගෙට අකුරු ගෙවී ගිය දෙමළ පුවරු ලිපියක් ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. 

*[දෙපැත්තේ කණ්ඩි දෙකක් එන ලෙසට කන්ද කපා මෙම මාර්ගය තනා ඇත්තේ මේ ආසන්නව පිහිටි දේවහූව වැව තැනිමේ කටයුතු සිදු කිරීමට පැමිණි සේවකයන් විසින් බව ප්‍රදේශවාසීන් පවසයි. එම සේවකයින්ගේ තාවකාලික නිවාස තනා තිබී ඇත්තේ මෙම නටබුන් පිහිටි ස්ථානයේ වන අතර මෙම පූජනීය ස්ථානය මත නිවාස තනාගෙන සිටීම හේතුවෙන් ඔවුනට සිදුවූ උපද්‍රව නිසා ඒවායින් මිදීම උදෙසා ප්‍රදේශ වාසීන්ගේ උපදෙස් පරිදි මෙම ස්ථානයට වූ බාරයක් ඔප්පු කිරීමක් ලෙසට එය කල බවය පැවසෙන්නේ.] 

ප්‍රධාන පිළිම ගෙය සහ එහි පිවිසුම දෙපසින් තනා තිබූ කුඩා පිළිම ගෙවල් දෙක මෙහි දැකිය හැක

මෙම ස්ථානයේ පිලිම ගෙය සහ නිධන් සොයන්නන් විසින් විනාශ කල ප්‍රතිමාව සංරක්ෂණය කල බව 1994 සහ 1995 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ පාලන වාර්තා වල සඳහන් වේ.

"සිරිසංබො මපුර්මකා අට්ළොස්වන්නෙහි ඇසෙළ පුර විසෙවිනි දවස්" එනම් සිරිසඟබෝ නම් විරුදය සහිත රජෙකුගේ රාජ්‍යත්වයෙන් 18 වන වර්ෂයේ ඇසළ මස පුර පක්ෂයේ පස්වෙනි දවස "සිරිසංබෝ මහරද්හු වජනින්" එනම් එම රජුගේ නියමයෙන් "මිහින්ද් මහපාණන්.." යන වචන පමණක් ඉතිරි වී ඇති මුදුනේ පුන් කලසක් සහිත සහ එයට පහලින් ඔටුන්නක රූපයක් කොටා ඇති ටැම් ලිපියක් මෙම පරිශ්‍රයේ තිබී හමුවී ඇත. පැති හතරකින් යුත් මෙම ටැම් ලිපියේ එක් පැත්තක පමණක් සිරස් ලෙස පේලි දෙකකින් කොටා ඇති ඉහත කොටස පමණක් කියවිය හැකි අතර එහි අන්තර්ගතය අනුව තවත් වචන තිබිය යුතු මුත් පසු කලක වෙනත් කිසියම් කටයුත්තක් උදෙසා යොදාගැනීම නිසා හෝ කාලගුණික තත්වයන් හේතුවෙන් ඛාදනය වීම නිසා හෝ එම අකුරු දැනට දැකිය නොහැක. නව වන ශතවර්ෂයේ දෙවන අර්ධයට අයත් සිංහල අකුරු ලෙස හඳුනාගත හැකි ලිපියේ අකුරු අයත් කාලයේ වසර 18 කට වඩා රාජ්‍යය විචාල එසේම මහින්ද මහපා (මිහින්ද් මහපාණන්) නම් මහපාවරයෙකු සිටි එසේම සිරිසඟබෝ යන විරුදය භාවිතා කල  එකම රජු , වංශ කතාවට සහ වෙනත් සෙල්ලිපි සාධක අනුව දෙවන සේන රජු (පො. ව. 853-887) පමණි. එබැවින් වැඩි අපහසුවක් නොමැතිව මෙම ටැම් ලිපිය පිහිටවූවේ දෙවන සේන රජුගේ කාලයේදී බව නිගමනය කල හැක. ලිපියේ අරමුණ ඉතිරිව ඇති කොටසින් පැහැදිලිව පැවසිය නොහැකි මුත් මේ ආකාරයටම වචන සංයෝගයක් සහිත එම දෙවන සේන රජුගේම වියඋල්පොත ලිපිය අනුව මේ ලිපියද අත්තාණි ප්‍රදානයක් ගැන විය යුතු බව එය කියවා පල කල සිරිමල් රණවැල්ල මහතා අනුමාණ කරයි.

ප්‍රධාන පිළිමගෙය

සිරිසංබො මපුර්මකා තුදුස්වන්නෙ අග්(නි)ගිරි පිරිවෙන....ලෙසින් ආරම්භ වන 9-10 සියවස් වල සිංහල අක්ෂර වලින් රචිත තවත් කැබලි වූ ටැම් ලිපියක්ද මෙම ස්ථානයෙන්ම හමුවී ඇති අතර  එහි ඉතිරි වූ අනිත් අක්ෂර වලින් රක්සමණ [Chief Guardian] ළම්බදෙටුන් නියමයෙන් ආ කුඩසලා යන්න පමණක් කියවිය හැක. ලිපියේ අක්ෂර අයත් කාලයේ සිරිසඟබෝ විරුදය භාවිතා කල, එසේම ලිපිය පිහිටුවන්නේ එම රජුගේ තුදුස්වැන්නේ එනම් 14 වන රාජ්‍යය වර්ෂයේ හෙයින් වසර 14 කට වඩා රාජ්‍යය විචාල රජවරු හමුවන්නේ දෙදෙනෙකු පමණක් බැවින් මෙම ලිපියද කියවා පල කල සිරිමල් රණවැල්ල මහතා එය දෙවන සේන (පො. ව. 853-887) හෝ සිව්වන කාශ්‍යප (පො. ව. 898-914) යන දෙදෙනාගෙන් කෙනෙකුගේ කාලයේදී පිහිටවූ ලිපියක් ලෙසට අනුමාණ කරයි. කෙසේ නමුත් මෙම ස්ථානයේ පැරණි නාමය අග්නිගිරි පිරිවෙන විය හැකි බවට ලිපියේ කියවිය හැකි කොටසින් අනුමාණ කිරීමට හැක. එහෙත් අග්නිගිරි පිරිවෙන නමින් වූ විහාරයක්  පිළිබඳව සඳහනක් වංශ කතා ආදී සාහිත්‍යමය මූලාශ්‍ර වල හමු නොවේ. 

කුඩා පිළිම ගෙවල් දෙකින් සංරක්ෂණය කර ඇති පිළිම ගෙය

මෙම පරිශ්‍රයේ දැනට සංරක්ෂණය කර ඇති පිළිමගෙය ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල ඇත්ත වශයෙන්ම කළුගල් ප්‍රාකාර බැම්මකින් වට කරනු ලැබූ ප්‍රතිමාගෘහ තුනක් ලෙස හඳුනාගත හැක. මේ අතරින් විශාලම පිළිමගෙයට ඇතුලුවන දොරටුව දෙපස කුඩා ප්‍රමාණයේ පිළිමගෙවල් දෙකක් එකිනෙකට මුහුණලා දෙපසින් තනා ඇත. විශාල ප්‍රතිමාගෘහයේ තිබූ හිටි පිළිමය නිධන් සොයන්නන් විසින් විනාශ කර කැබලි කර ඇති අතර එහි හිස සහ දෙපා දකින්නට නොමැත. කුඩා පිළිම ගෙවල් දෙකින් එකක් පමණක් කැනීම් කර සංරක්ෂණය කර ඇත. එහි පිළිමය තබා තිබූ ගඩොලින් තැනූ ආසනය දැකිය හැකි මුත් එහි තිබූ පිළිමය අස්ථානගතවී ඇත. එය බොහෝවිට සමාධි පිළිමයක් විය හැකියැයි ආචාර්ය දනන්ජය ගම්ලත් මහතා අනුමාණ කරයි. මෙම පිළිමගෙවල් පො.ව. 5 වන සියවසට හෝ ඉන් සියවස් දෙකකට හෝ තුනකට පසු කාලයක් තුලට කාල නිර්ණය කල හැකි බව ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

ප්‍රධාන පිළිම ගෙයි තිබූ නිධන් හොරුන් විසින් විනාශ කල හිටි පිළිමය

මෙම ලිපියේ මුලදී පැවසූ පරිදි ඉහත විස්තර වූ සිංහල සෙල්ලිපි වලට අමතරව මෙම ස්ථානයෙන් ඉතා විශාල ප්‍රමාණයේ පුවරු ලිපියක්ද හමුවී ඇත. පො.ව. 12 වන සියවසට අයත් කර ඇති එහි අන්තර්ගතයෙන් වේනාටු උදයියාර් නම් පුද්ගලයෙකු (බොහෝවිට ප්‍රදේශීය පාලකයෙකු විය හැක) සහ වෙළද මඩුල්ලක සාමාජිකයන් අතර ඇතිවූ අර්බුදයක් පිලිබඳව සඳහන් වේ. 

විහාරහින්න නටබුන් දැක්වෙන වීඩියෝව >>

මෙම ලිපිය ප්‍රධාන වශයෙන් දෙමළ භාෂාවෙන් සහ දෙමළ අක්ෂර වලින් කොටා ඇති මුත් ලිපිය ආරම්භ වන්නේ ග්‍රන්ථ අක්ෂර වලින් සහ සංස්කෘත භාෂාවෙන් ලියූ කොටසකිනි. මුල් වරට මෙහි දෙමළ පෙල A. වේලුපිල්ලෙයි මහතා විසින් 1971 වසරේදී ප්‍රකාශයට පත් කර ඇති මුත් එහි ඉංග්‍රීසි පරිවර්තනයක් එය පලවූ Ceylon Tamil Inscriptions Part 1 හි ඉදිරිපත් කර නැත. මෙවැනිම වූ  තවත් පුවරු ලිපි දෙකක් පදවියෙන් සහ වාහල්කඩින් හමුවී ඇති බවත් ඒ සියල්ලෙහි අක්ෂර අනුව ඒවා අනුමාණ වශයෙන් 12 වන හෝ 13 වන සියවස්වලට කාල නිර්ණය කල හැකි බවත් ඒ මහතා සඳහන් කරයි. 

දෙමළ පුවරු ලිපිය

එම යුගයේදී දකුණු ඉන්දියාවේ මෙන්ම කලාපයේ වෙනත් රටවලද (සුමත්‍රා සහ මියැන්මාර් [බර්මා] වැනි රටවලින්ද ඔවුන්ගේ සෙල්ලිපි හමුවී ඇත.) අන්තර්ජාතික වෙළදාමේ යෙදෙමින් ඇත්, අස්, මුතු, මැණික්, දියමන්ති, කරඳමුංගු, කරාබුනැටි, සඳුන්, කපුරු, කස්තුරි. කහ වැනි වටිනා ද්‍රව්‍ය සහ කුළුබඩු වෙළදාම් කල නානාදේසී නම් වූ වෙළඳ සමාගමක් විසින් මෙම ලිපිය සහ ඉහත කී වෙනත් ලිපි පිහිටුවා ඇත. මේ  වන විට එම වෙළඳ සමාගමට අයත් සෙල්ලිපි 20 කට නො අඩු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇත. ඉන් අනුරාධපුරයෙන් සහ පොළොන්නරුවට ආසන්න ආනඋලුන්දාවෙන් සොයාගත් සිංහල භාෂාවෙන් ලියා ඇති ලිපි දෙක හැර වෙනත් ඒවා දෙමළ භාෂාවෙන් ලියා ඇත. මෙම වෙළඳ සමාගමට අයත් ඔවුන් විසින් ඒවායෙහි පාලනය මෙහෙයවූ නකරම් ලෙසින් හැඳින්වෙන වෙළඳ නගර කර්ණාටක, ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු සහ කේරල යන ප්‍රදේශ වල තිබූ බවට සාධක හමුවී ඇති අතර මෙරට චෝල ආධිපත්‍යට පත් වීමත් සමග සහ ඉන්පසු අවධියේ එවන් නකරම් මෙරටද විවිධ ප්‍රදේශ වල වූ බවට මතයක් ඉහත සෙල්ලිපි වල හමුවන තොරතුරු පාදක කරගනිමින් ඉදිරිපත් වී ඇත. අයින්නුරුවර් ලෙසින්ද හැඳින්වෙන නානාදේසීන්ගේ බොහෝ ලිපිවල ඔවුන්ගේ සම්භවය, සම්බන්ධතා සහ ක්‍රියාකාරකම් පිළිබඳව වූ සම්ප්‍රදායික ප්‍රශස්තියක් ඇතුලත් වන අතර මෙම විහාරහින්න ලිපියේද එය අඩංගු වේ. එසේම ලිපියේ මුල් කොටසේ සංස්කෘත භාෂාවෙන් වූ කොටසින් පරමේශ්වරී දෙවඟන (දුර්ගා) පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කර ඇත. 

දෙමළ පුවරු ලිපියේ යට කොටස. මෙහි ලිපියට පහලින් වූ කොටසේ කඩු ආදී ආයුධ වල රූප කොටා ඇති බවක් පෙනේ.

S. පත්මනාදන් මහතා ඔහුගේ ග්‍රන්ථයක සඳහන් කරන පරිදි ජපානයේ ටයිෂෝ විශ්වවිද්‍යාලයේ නොබොරු කරෂිමා ප්‍රධාන ජපන්, ශ්‍රි ලංකා සහ ඉන්දියානු විද්වතුන් පිරිසක් එක්ව මෑතකදී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව ලබාගත් ස්පර්ශ ලාංජනයක් අනුසාරයෙන් මෙම විහාරහින්න ලිපියේ නව කියැවීමක් තංජවූර් දමිල විශ්ව විද්‍යාලයේ අභිලේඛන පිළිබඳව මහාචාර්ය Y. සුබ්බාරයාලු විසින් සිදු කර ඇත. එම කියැවීමට අනුව මෙම ලිපියේ වේලුපිල්ලෙයි මහතා විසින් පෙර සිදු කල කියැවීම සහ ඒ අනුව ඉදිරිපත් කල කරුණු බොහෝ සෙයින් දෝෂ සහගතය. [කෙසේ නමුත් මෙතෙක් මෙහි පෙල ඉංග්‍රීසි හෝ සිංහල භාෂාවට හෝ අවම තරමින් වර්තමානයේ ව්‍යවහාර වන දෙමළ භාෂාවට හෝ පරිවර්තනය කර පළකර ඇති බවක් නොපෙනේ.]

විහාරහින්න ලිපියෙන් තන්මඛාකරප්පට්ටිනම් නැතහොත් මාසේන-කාමම් ලෙසින් හැඳින්වූ නකරම් හි යම් යම් පුද්ගලයන් වෙත පිරිනැමූ වරප්‍රසාද ගැන සඳහන් වේ. මෙහි ප්‍රශස්ති කොටසින් වෙනත් වෙළඳ ශ්‍රේණියක් වූ වලඤ්ඤියාර් ගැන විස්තර වීම සුවිශේෂ කාරණයක් වන මුත් පට්ටිනම් ගැන විස්තර වන ලිපියේ කොටසින් නානාදේසීත්-තෛකයි-අයිරට්ටු-අයින්නුරුවර් (එනම් නානාදේසීන්ගැන සඳහන් වේ. 

පබ්බත විහාරයට අයත් කැනීම් සිදු නොකල ගොඩනැගිල්ලක්

සෙල්ලිපියේ සඳහන් වඩාත්ම සිත් ගන්නා කාරණය නම් මුක්තා තවලන් මුත්තාන් හෙවත් නානාදේසී-ආන්තාන් නම් වූ පුද්ගලයෙකුව වේනාටු උදයියාර් නම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන දම්වැල් වලින් බැඳ තැබූ සිද්ධියක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් සමනය කිරීම උදෙසා නකරම් මගින් සිදු කල කිසියම් ගනුදෙනුවක් මෙහි සඳහන් කර තිබීමයි. එම නකරම් හි පරිපාලනයට සම්බන්ධ ප්‍රධාන වෙළෙන්දන් සහ රණශූරයන් පිරිසක් විසින් ලිපිය පිහිටවූ බව පෙනේ. බෞද්ධ විහාරයක් ලෙසින් හඳුනාගත හැකි අනුරාධපුර යුගයේදී අග්නි පිරිවෙන ලෙසින් හැඳින්වූ මෙම පරිශ්‍රයේ, බෞද්ධ විහාරයක් වූ එම ස්ථානයේ කාර්යන්ට අදාල නොවන, ආගමික නොවන මෙවන් ලිපියක් පිහිටුවීමෙන් මෙම පිරිවෙන සමග බොහොදුරට මේ ආසන්න ස්ථානයක තිබූ නානාදේසී වෙළඳ ශ්‍රේණියට අයත් නකරම් හී පාලකයන් පැවැත්වූ කිට්ටු සම්බන්ධතාවය පෙන්වනවා විය හැක. පත්මනාදන් මහතා අනුමාන කරන්නේ මලය රටේ කඳු පාමුල දඹුල්ල ආසන්නයේ කිසියම් ස්ථානයක තිබුනා වූ මෙම වෙළඳ ශේණියේ පාලනයට නතුවූ නකරම් මගින් කඳුකරයේ නිෂ්පාදන වූ ගම්මිරිස්, ඉඟුරු සහ කහ වැනි කුළු බඩු එකතු කිරීම සිදුවන්නට ඇති බවය.  

ස්තූපය

මූලාශ්‍
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 3 , Sirimal Ranawella, 2005
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • History of Ceylon, Volume 1, Part 2, 1960
  • Ceylon Tamil Inscriptions, Part 1, Edited by A. Veluppillai,  1971
  • Facets of Sri Lankan History and Culture, S. Pathmanathan, 2015
  • ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සිහිවටන, නන්දසේන මුදියන්සේ, 2016
  • Sri Lanka and The Cholas, W.M.K. Wijetunga, 2003

Sunday, July 23, 2023

වෙහෙර තුල අසමගියක් වූ විට බත් කවුඩන්ට විසි කල සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙර

පුරාතන යුගයේ මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සමෘද්ධිමත්ම අවදියේ අගනගරයේ මෙන්ම අගනගරයෙන් බැහැර ප්‍රදේශ වලද සංඝ සමාජයේ පැවැත්ම උදෙසා සහ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා විවිධ වෙහෙර විහාර ඉදිවිය. ඒ අතරින් පබ්බත විහාර ලෙසින් හැඳින්වෙන විහාරාරාම ගණයේ ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙරදීත් ලිපි කිහිපයකින්ම මෙහි කරුණු ඉදිරිපත් කර ඇත >> දිවයින පුරාම එම ගණයේ නටබුන් වූ ස්ථාන රාශියක් මේ වන විට හඳුනාගෙන ඇත. පරසතුරු උවදුරු සහ වෙනත් ස්වභාවික උපද්‍රව හේතුවෙන් ශිෂ්ඨාචාරයට වරින් වර විවිධ බාධක එල්ලවීමත් සමගම එම ආගමික ස්ථාන නඩත්තු කල ගම් බිම් වල ජනයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම හෝ ඔවුන් සමගම එම ගම් බිම් විනාශ වීමත් සමග ඔවුන් මත යැපුන විහාරාරාමත් පරිහාණියට පත්ව අතහැර දැමීම සිදුවේ. පසු කලක වෙනත් ප්‍රදේශයකින් පැමිණි හෝ එම ප්‍රදේශ වලම ඉතිරි වූ ජනයාගේ පසු පරම්පරාවන් වලට එම පූජනීය ස්ථාන වල නාමයන් පවා මතකයෙන් ගිලිහී යාම ස්වභාවිකය. එවන් අවස්ථාවලදී ඒ වන විට වන ප්‍රවාහය මගින් යටපත් කරගත් එවන් ස්ථාන වලට අලුත් නම් පටබැඳීම එම ගැමියන් අතින් සිදුවේ. ඒ අනුව කළු පැහැ වූ ජලය එකතු වූ පොකුණක් තිබීම හේතුවෙන් කළුදිය පොකුණ වූ පැරණි විහාරාරාම වල නටබුන් හමුවන ස්ථාන අවම වශයෙන් දෙකක් හඳුනාගත හැක. මිහින්තලේ පිහිටි මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල ස්ථානයට (එම ලිපිය කියවීමට >>) අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩලම වැවේ සහ එනයින් කලා ඔයේ ඉහල නිම්නයේ ජලපෝෂක ප්‍රදේශයේ එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ලෙසින් හැඳින්වෙන පබ්බත විහාර සංකීර්ණයක් ඇත. මේ ආකාරයෙන් නටබුන් වූ වෙනත් ඇතැම් ස්ථාන මෙන් නොව මෙහිදී අප හට සෙල්ලිපි සහ සාහිත්‍යමය මූලාශ්‍ර ආශ්‍රයෙන් ස්ථානයේ පැරණි නාමය කිසිදු සැකයකින් තොරවම හඳුනාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

කළුදිය පොකුණේ නටබුන් දක්වෙන කෙටි වීඩියෝව >>

ලෙනක බිත්තියේ කොටා ඇති ගිරි ලිපිය

මෙම ස්ථානයේ පිහිටි ලෙනක බිත්තියේ කෙටූ සෙල්ලිපියක් සහ පබ්බත විහාරයේ පිළිම ගෙය ලෙසින් අනුමාණ කරන ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පිහිටි පුවරු ලිපියක් ස්ථානයේ පැරණි නාමය හඳුනාගැනීම උදෙසා මූලික වශයෙන් උපකාරී වේ. ඒ අතරින්  ලෙනේ පිහිටි ලිපිය සිරිසඟ්බොය් මපුර්මුකා (දොළො)ස්වන්නේ පොසොනැපුර විසෙනි දවස්, එනම් සිරිගඟ්බො නම් රජෙකුගේ රාජ්‍යත්වයෙන් දොළොස්වන වර්ෂයේ පොසොන් මස පුර පක්ෂයේ පස්වෙනි දින දළනා නැමැත්තෙකු  විසින් දකිණිගිරි වෙහෙර මහසඟනට ලහා බත් (Ticket-meals) සඳහා තෙවිසි (23) කළන්දක් වූ රන් ප්‍රදානය කර, එයින්  දිනපතා මහබුන්ද්නෙන් අදමන දෙකක සහ මුත්වනින් සහ පෙරෙබුන්ද්නෙන් අදමන එකක ප්‍රමාණ වූ සහලින් බත් ඉර හඳ පවතින තුරා සැපයීම කලයුතු බවට පවසා පිහිටුවා ඇත. සහල් නොදී බත් ගෙ පිසැ බත් (එනම් මුළුතැන්ගේ  පිසූ බත්) දිය යුතු අතර, වෙහෙර තුල අසමගියක් වී නම් එම බත් කවුඩු (කපුටන්) බල්ලනට විසි කල යුතු වේ. මෙය කඩ කරන කිසිවෙකු හෝ වී නම් මහමෙතෙ සම්මා සම්බුදුන් දොරින් යත් (එනම් මතු බුදු වන මහා මෛත්‍රී බුදුන් එම කෙනාගේ ගේ දොරකඩින් ගියත්) එම බුදුන් හට වැඳීම උදෙසා එම පුද්ගලයා හට අත් එසවීමට හෝ නොහැකි වනු ඇත*. මෙම ප්‍රදානයේදී සීහ නැමැත්තෙකු, කොට්ගම් සීසෙන් වත්හිමි නැමැත්තෙකු, කළි මාඩබියන්,  අග්සුමෙයුර් වත්හිමියන්, කලල්වැලි උදහි, වදුරා අරක්සමණන්ගේ මෑණියන් සහ ඇදුර් වත්හිමියන් යන අය එක් ලහ බතක් බැගින් සැපයීමට දළනා සමග ගිවිස ගෙන ඇත.

සිව්වන කාශ්‍යප රජුගේ කාලයට අයත් ලෙන් ලිපිය

අක්ෂර හැඩය අනුව ලිපිය අයත් වන 10 වන ශත වර්ෂයේ මුල් අර්ධයේ සිරිගඟබෝ යන විරුදය භාවිතා කල රජවරුන් දෙදෙනෙකු හඳුනාගත හැක. ඒ අතරින් සෙනරත් පරණවිතාන මහතාගේ අනුමාණය වූයේ දෙවන සේන රජු (පො. ව. 853-887)  වන අතර සිරිමල් රණවැල්ල මහතාට අනුව කොළඹ කෞතුකාගාරයේ දැනට ඇති සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ පිහිටවූ ලෙසට හඳුනාගත හැකි ටැම් ලිපියක මෙම ලිපියේද  නම සඳහන් වන වදුරා අරක්සමණ ගැන සඳහන් හෙයින්, කළුදිය පොකුණ ගුහා ලිපිය අයත් වන්නේ සිව්වන කාශ්‍යප රජුගේ කාලයටය (පො. ව. 898-914). 

කටාරම් කෙටූ ලෙනක්. මෙහි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක් කොටා ඇත.

පුවරු ලිපිය

කැත්කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් සුදොනා පරපුරෙන් ආ සලමෙවන් අභා උදා මහරජ්හු හට සහ විදුරා රැජිනට දාව උපන්, අභා සලමෙවන් මහසෙන් රජුගේ රාජ්‍යත්වයෙන් පළමු වර්ෂයේ සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙරේ සංඝයා සමග සම්මුතියෙන් එකඟව මහපිළිම හැඹූ පහණැ (මහ පිළිමය අඹන ලද ගලෙහි) ලියවා තැබූ කතිකාවතක් පිළිබඳව ඉහත සඳහන් කල අනෙක් ලිපිය වන පුවරු ලිපියේ සඳහන් වේ. 

පුවරු ලිපිය

දහවන සියවසට අයත් සිංහල අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපියේ නම සඳහන් අභා සලමෙවන් මහසෙන් රජු තුන්වන හෝ හතරවන සේන රජු විය හැකි බවට සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන මුත් (එහෙත් එතුමා එම රජු බොහෝදුරට සිව්වන සේන [පො. ව.  954-956] විය හැකි බවට අනුමාණ කරයි.) සෙනරත් පරණවිතාන මහතාට කියවිය නොහැකි වූ එම රජතුමාගේ පියාගේ නමද විරුදයද සමගින් සම්පූර්ණයෙන් කියවීමට හැකි වීම නිසා සිරිමල් රණවැල්ල මහතා එම පිය රජු දෙවන උදය (පො. ව. 887-898) ලෙසින් සහ එනයින් මෙම පුවරු ලිපිය පිහිටවූ රජු තුන්වන සේන (පො. ව. 938-946) ලෙසින් හඳුනාගනී. 

ඇසෙළැ පුර දසවක් දවස් එනම් ඇසල මස පුර පක්ෂයේ දසවන දින එක්තැන් සමියෙන් [Supreme Council] වදාළ හෙයින් මෙම කතිකාව සඳහන් පුවරු ලිපිය පිහිටුවීම සඳහා පැමිණෙන්නේ මෙකාප්පර් [Commander of the Bodyguards] සඟ්සෙන් නියමයෙන් ආ සුනගලු රක්ස, කිළින්දිරි සෙන් සහ මහකිලින්ගම කිලිඟ් ලෝකයා, වට්රක් කස්බා රක්සමණන් [Chief Guardian] නියමයෙන් ආ කුඩසලා කිත්දෙවු යන අයය. 

ලිපියේ ඇතැම් කොටස් කියවිය නොහැකි හෙයින් එම කොටස් වල අර්ධ වශයෙන් කියවිය හැකි වචන වලින් පැහැදිලි අදහසක් ගත නොහැකි මුත් පැහැදිලිව කියවිය හැකි කොටස් වල සඳහන් කරුණු අතරින් කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. වස්  විසීම් දහයක් සිදු කල සහ සතර බණවර සම්පූර්ණ කල සංඝයා හට මෙහි ඇති ආවාස වල විසිය හැක. මෙම පරිශ්‍රය තුල සොළී සහ තුඩි බෙර වාදනය නොකල යුතු අතර, රැහැණ් [Army-whips] නොගැසිය යුතුය, වෙනත් ස්ථාන වලින් පිටමං කර මෙහි පැමිණි ඒත් ඒ බව හෙලි නොකල භික්ෂූන් හට මෙම පරිශ්‍රයේ ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මහපිරිත් ඉගෙනගැනීම සිදු නොකරන්නන් හට මෙහි පිහිටි ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මෙහි බණ හදාරන සාමනේර හිමිවරුන් මෙහි මහණ කල හැකි අතර වස් සමය අවසානයේ එය කල යුතුය, මෙහි ළුැනු (Onion) විකිනීම සිදු නොකල යුතුය, මෙහි වසන කැමියන් තමන්ගේ නඩත්තුව සඳහා ඉඩම් (දිවෙල්) බොගමියෙන් සහ මගමින් ගත යුතුය, වෙනත් ගම් වලින් ගෙනා ගෙරි [Cattle], මීවුන් [Buffaloes] සහ දස් මිනිසුන් [Male servants] යොදාගෙන මෙහි ඉඩම් සහ පමුණු ඉඩම් වල ගොවිකම් නොකල යුතුය, පස්මහ වැරදි කල කැමියන් දා [Sacred Relics] ගෙනියන පෙරහැර වලට යොදා නොගත යුතු අතර, කිසියම් වැරදි කල කැමියන් ලවා ඔවුන්ට පැවරූ රාජකාරි ඉටුකරගෙන පසුව ප්‍රදේශයෙන් පිටමන් නොකල යුතුය, වප් මස අව අටවක ලේකම් කිරීමට පෙර [Before the submission of accounts] දිවෙල් [Maintenance Lands] නොගත යුතුය, පෙර සිරිත් ඉටු නොකරන කැමියන් කැමි කමේ තබා නොගත යුතුය, පෙර සිරිත් පරිදි අය කල ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු අය නොකල යුතුය,  මහමන්ඩ්, වලමාල, වැලිපුනගොන සහ සිඹුර් බිම් වල සය කිරියා බිම් ලහබත් කරණු සඳහා වෙන් කර තැබිය යුතුය, මෙම වෙහෙරට අයත් ගම් බිම් වලට තුන් රදොලින් [Three Royal Households] වාරි-පෙරෙනාට්ටියම් නිලධාරීන් ඇතුළු නොවිය යුතු අතර, ගැල්, ගොන් [Oxen], මීවුන් [Buffaloes] වද්ද නොගත යුතුය, බැහැර මිනී කොටා මෙහි පැමිණෙන්නන් එනම් බාහිර ස්ථාන වල මිනීමරා මෙහි පැමිණෙන්නන් විහාරයේ සීමාවන් තුලට වැද්ද නොගත යුතුය, එසේම පරිශ්‍රය තුල සිට මිනී මරන්නන් කැමියන් [Officials] විසින් ඔවුන්ගේ ගෙවල් පවරාගෙන පරිශ්‍රයෙන් පිටත් කල යුතුය. මෙම කතිකාව කඩ කරන මහණුන්, කැමියන් හෝ රදොල් [Officers attached to the royal households] යන කිසිවෙකු හෝ වේවා ඔවුනට මෙතේ බුදුන් දකින්නට නොලැඹෙනු ඇත*.      

ඉහත සඳහන් ස්ථාන නාම වලට අමතරව ලිපියේ අර්ධ වශයෙන් කියවිය හැකි කොටස් වල මහසඟ්වැලි බිමෙහි සුමන්ගලු නුවර කල්ලන්ගමු නවම, පහණ්ගම ..මනලක පිහිටි පවුර් මහපූගම, පනවගම-තම්ම, මහදියමොහොල යන ස්ථාන නාමයන්ද සඳහන්වේ.

* ඉහත සෙල්ලිපි දෙකෙහිම සඳහන් කරුණු කඩකරන්නන් හට මෙතේ බුදුන් දකින්නට නොලැබෙනු ඇත වැනි වැකි සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ මේ අවධිය වන විට  මහාවිහාර සම්ප්‍රදායට පරිබාහිරව අභයගිරි, ජේතවණ වැනි පාර්ශවය විසින් ප්‍රචලිත කල මතු බුදු වන මෛත්‍රී බුදුන් සහ බෝධිසත්ව වන්දනය මුල් කරගත් මහායානික ඇදහීම් කොතරම් දිවයිනේ අගනගරයෙන් බැහැර වෙනත් ප්‍රදේශ වලටද පැතිර ගොස් තිබිණිද යන්නය.

සංරක්ෂණය කල ස්තූපය
ඉහත සෙල්ලිපි වල සඳහන් දක්ඛිණ විහාරය පිළිබඳව  වංශ කතා වල හමුවන තොරතුරු

මහාවංශයේ සඳහන් වන පරිදි සද්ධාතිස්ස රජු (පො. ව. පූර්ව 137-119) දක්ඛිණගිරි විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇත. එහිම (චූලවංශය ලෙසින් හැදින්වූ මහාවංශයේ දෙවන කොටසේ) පසු අවස්ථාවක සඳහන් වන්නේ ධාතුසේන රජුද (පො. ව. 455-473) ථේරවාදී හික්ෂූන් සඳහා ඉදිකල සියළු සම්පත් සපිරි විහාර අතර දක්ඛිණගිරි නමින් වූ විහාරයක්ද තිබූ බවයි. නැවතත් පස්වන කාශ්‍යප රජු (පො. ව. 914-923) පිළිබඳව වූ විස්තරයේදී එහිම සඳහන් වන්නේ එම රජු දක්ඛිණගිරි නම් වූ විහාරයට ගමක් දුන් බවය. දක්ඛිණගිරි දළ්හ නම් වූ විහාරයේ පළමුවන අග්ගබෝධි රජු (පො. ව. 571-604) උපෝසථඝරයක් කරවූ බවටද මහවංශයේ සඳහන්වේ. මෙම දක්ඛිණගිරිදළ්හ විහාරයද ඇතැම් විට පෙර හා පසු අවස්ථාවන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසින් මහාවංශයේ හැඳින්වෙන විහාරය විය හැක. 
උපෝසථඝරය ලෙස අනුමාණ කරන ගොඩනැගිල්ල

පබ්බත විහාරයක් නැතහොත් පඤ්චාවාස ආරාමික භූමියක් ලෙස හඳුනාගෙන ඇති මෙම පැරණි නටබුන් විහාරයේ ප්‍රධාන මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව උතුරු දෙසින් පිහිටා ඇත.  මෙතෙක් මෙහි කැනීම් කර සංරක්ෂණය කර ඇත්තේ ප්‍රධාන මළුව වටා දිවෙන ගඩොල් ප්‍රාකාරයේ කොටසක් සහ ස්තූපය පමණි. එයට අමතරව මෙහි පිහිටි ගල් කණු තුනක් පමණක් මතුපිටින් දිස්වන උස් ගොඩැල්ලක් පිළිම ගෙය ලෙසත්, බොධිඝරය ලෙස මිටි ගල් කණු සහිත ස්ථානයක් සහ උපෝසථඝරය ලෙස උස් ගල් කණු සහිත ස්ථානයක් හඳුනාගෙන ඇත. 

පිළිමගෙය ලෙස සැලකෙන මෙතෙක් කැනීමක් සිදු නොකල ස්ථානය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන මළුවට දකුණින් සහ ගිණිකොන දෙසින් එයට පිටතින් පොකුරු වශයෙන් පිහිටි ලෙන් 32 ක් හඳුනාගෙන ඇත. මේ අතරින් ලෙන් 18 ක කටාරම කොටා ඇති අතර, ලෙන් 4 ක පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලිපි කොටා ඇත. ගල් බිත්ති අවශේෂ සහිත ලෙන් 24 ක්ද, ගඩොල් බිත්ති අවශේෂ සහිත ලෙන් 9 ක්ද, සිතුවම් තිබූ බවට සාධක සහිත ලෙනක් සහ මූර්ති තිබූ ලෙනක් ද ඒ අතරින් හඳුනාගෙන ඇත. පූර්ව බ්‍රාහ්මි ලිපි සහිත ලෙන් දෙකකම එම ලිපි වල 'ශඝශ' ලෙසින් සඳහන් වන බැවින් එම අක්ෂර අයත් වන පොදු වර්ෂ පූර්ව තුන් වන සියවසේ සිටම එම ලෙන් සඟසතු කර තිබූ බවත්, එනයින් මෙම ආරාම සංකිර්ණයේ ආරම්භය එම යුගය දක්වාම දිවෙන බවත් පැවසිය හැකිය. පසු කාලීනව පොදු වර්ෂ 6, 7 සියවස් වලදී මෙම ස්ථානය පබ්බත විහාරයක් බවට පරිවර්තනය වූ පසුවද එම ලෙන් භික්ෂු ආවාස ලෙසින් භාවිතා වූ බව සිතිය හැක. මේ ලෙන් වල ඉඩ ප්‍රමාණය අනුව සියළුම ලෙන් වල භික්ෂූවහන්සේලා 106 ක් පමණ වැඩ වාසය කරන්නට ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ගණනය කරයි.  ලෙන් වලට අමතරව පිහිටි භික්ෂූන් වහන්සේලා අවම වශයෙන් 12 ක් වාසය කළ බවට ගණනය කල හැකි ආවාස කුටිද සැලකිල්ලට ගත් කල මෙම පබ්බත ආරාමයේ භික්ෂූන්වහන්සේලා 118 කට පමණ ඉඩ පහසුකම් තිබූ බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

ඉහත සඳහන් සෙල්ලිපි වලට අමතරව පොදු වර්ෂ 5 - 7 සියවස් වලට අදාල අක්ෂර වලින් කොටා ඇති වහරල ලිපි ලෙසින් හඳුන්වන ලිපි කිහිපයක්ද මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ මුරගල්, පියගැට සහ පුවරු වලින් හමුවී ඇත.

සංරක්ෂණය කල ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ සිදුවූ පුරාවිද්‍යා කැනීම් සහ සංරක්ෂණය කිරීම්

1977 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බිමක් මෙම පරිශ්‍රයේ ආරම්භ කරන අතර කුඹුක්කඳන්වල ගම්මානයේ සිට මෙහි ඒමට තිබූ සැතපුමක් පමණ වූ අඩි පාර ජීප්-පාරක් බවට පුළුල් කල බවත්, එහෙත් බෝක්කු කිහිපයක් නොයොදා වාහනයක් වැඩබිම වෙත ගෙන යෑමට නොහැකි බවත් 1970- 1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂයේම පුරාවිද්‍යා රක්ෂිතය එලිපෙහෙලි කර විවිධ ස්මාරක වෙත යෑමට අඩි පාරවල් යෙදූ බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.  
එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ආරාමයේ සංරක්ෂණය කල ස්තූපය

මෙහි පිහිටි ස්තූපයේ තිබූ ගස් ඉවත් කර එහි දකුණු දිශාවෙන් කැනීමක් 1979 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ වේ. එම වසර අවසාන වන විට එහි දකුණු හා නැගෙනහිර දිශාවෙන් සහ බටහිර දිශාවෙන් මද දුරක්ද කැනීම් කර දාගැබේ මාලකය මතුකර ගැනීමට හැකිවී ඇත. දකුණු දිශාවෙන් වූ පඩිපෙල සහ මුරගල්ද මතුකරගැනීමට හැකිවී ඇති අතර පඩිපෙලේ පලමු පඩියේ කොටා තිබූ අනුරාධපුර යුගයේ පසුකාලයට අයත් සෙල්ලිපියක්ද එම යුගයටම අයත් අකුරු කොටා තිබූ රවුම් හැඩැති ගඩොල්ද මෙහිදී හමුවී ඇත. මෙහි පිහිටි ස්තූපය සහ ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරයේ කොටසක් පමණක් 90 දශකයේදී සංරක්ෂණය කර ඇත.
බෝධිඝරය
මූලාශ්‍
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 2 , Sirimal Ranawella, 2004
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume III (1928 - 1933), 1989
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1997, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1996, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1970-1977, R.H. de Silva
  • Administration Report of the Director-General of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunawatne 
  • Historic Matale, 1984
  • History of Ceylon, Volume 1, Part 2, 1960

Sunday, July 9, 2023

වසර දහසක් නම වෙනස් නොවූ රණැ ග්‍රාමය සහ දෙමෙට්වල පිරිවෙන පිහිටි නා කැලේ කන්ද


මහනුවර - යාපනය A9 පාරේ දඹුල්ල පසු කර මඩාටුගම මංසන්ධියට පැමිණ එතැන් සිට ආඬියාගල දක්වා විහිදුනු මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් පැමිණි විට රණව ග්‍රාමය හමුවේ. එහි රණව දෙව්රද රනරද රජමහා විහාරය නමින් හැඳින්වෙන විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ හරි මැද පිහිටි කුඩා බිම් කොටසක් දෙපසින් මාර්ගය දෙකට බෙදෙමින් තනා ඇති බවක් එක්වරම මාර්ගයේ ගමන් කරන බොහෝදෙනෙක් නොදකී. එම කුඩා බිම් කඩ මැද පිහිටි අටපට්ටම් හැඩැති ගල් කණුවක මීට වසර දහසකටත් පෙර මෙම ප්‍රදේශය හැඳින්වූ නම සටහන් වී ඇති බවත්, ඒ නාමය වසර දහසකට පසුවත් එලෙසින්ම අදද භාවිතයේ ඇති බවත් ගම් වැසියන් බොහෝදෙනෙක් වුවද නොදන්නවා විය හැක. ප්‍රදේශවාසියෙකු පැවසූ පරිදි අවස්ථා කිහිපයකදීම රාත්‍රී කාලයේදි බීමතින් රිය පදවන්නන් මෙම ගල් ටැඹ හෝ ඒ වටා ඇති ආරක්ෂිත වැටේ ගැටී අනතුරු සිදුවී ඇත. එසේම ඔහුට අනුව අකුරු සහිත මෙම ගල් ටැඹේ ලියා ඇති දේ නොදන්නා පිරිස් කිහිපවරක්ම පැමිණ එය උගුලා නිධන් සෙවීමටද උත්සාහ කර ඇත.  එම ටැම් ලිපිය සහ එය මාර්ගයේ පිහිටා ඇති ආකාරය දැක ගැනීම සඳහා මේ සමග ඇති වීඩියෝවේ මුල් විනාඩි කිහිපය නරඹන්න >> 

රණව ටැම් ලිපිය, නා කැලේ පිහිටි පබ්බත විහාරයේ නටබුන් සහ රෝස තිරිවාණ කන්ද දැක්වෙන වීඩියෝව [නා ගස් (Mesua ferrea) බහුලව දැකිය හැකි මෙම රණව කන්ද සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය අද ජනප්‍රිය වී ඇත්තේ ජාතික නාමල් උයන ලෙසින්ය] 

H.C.P. බෙල් මහතා1893 වර්ෂය සඳහා වූ සිංහලේ පුරාවිද්‍යා ගවේශන වාර්ෂික වාර්තාවේ (Archaeological survey of Ceylonමඩාටුගම - ආඬියාගල 'පින්පාරේ' රණව නමින් වූ ස්ථානයක පාර මැද පිහිටි, අලංකාර පුන් කලසක් එහි මුදුනේ නෙලා තිබූ, සියළුම පැති වල අකුරු කෙටූ ටැම් ලිපියක් පිළිබඳව සඳහන් කරයි (බෙල් සඳහන් කරන 'අලංකාර පුන් කලස' අද මෙම ටැම් ලිපිය මුදුනේ දක්නට නැත.)  කුඩා අකුරු වලින් ලිපිය කොටා තිබූ හෙයින් සහ එම අකුරුද බෙහෙවින්ම ගෙවී තිබූ නිසා ඔහු එය කියවීමට උත්සහ නොකල බව එහි වැඩිදුරටත් සඳහන් කරන බෙල් එය අභා සලමෙවන් නම් රජෙකුගේ 12 වන රාජ වර්ෂයට අදාල එකක් බවත් බොහෝවිට ඒ පස්වන දප්පුල විය හැකි බවත් පවසයි. ඒ අසල පිහිටි පැරණි කුඩා දාගැබක් අසල වූ කැබලි වූ වෙනත් ටැම් ලිපියක අබා සලමෙවන් සහ ඔහුගේ පියා වූ සිරි සන් බෝ (එනම් දෙවන සේන) ගැන සඳහන් වන බවත්, එමගින් එම අනුමාණය තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

රණව ටැම් ලිපිය

නැවතත් 1895 වර්ෂය සඳහා වූ එම වාර්තාවේ රණව කන්ද සහ ලිපිය පිළිබඳව කෙටි සටහනක් හමුවේ.  'ලුණු ගල' ලෙසින් හඳුන්වන එම කඳු වැටියේ මැද පිහිටි සුදු පැහැ උද්ගතය (බෙල් ට අනුව හුණුගල් [Limestone] විශේෂයක් නිසා එලෙස දිස්වේ.) නිසා එය දුරදී වුවද හඳුනාගත හැකි බව බෙල් පවසයි. අටපට්ටම් හැඩැති ටැම් ලිපියේ පිටපත (?  ස්තූපය අසල වූ කැබලි වූ ලිපිය බෙල් මෙහිදි පිටපත ලෙසින් හඳුන්වන්නට ඇත.) පරික්ෂා කල බවද ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම ලිපිය මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා විසින් 2004 වර්ෂයේදී කියවා පල කර ඇත. අටපට්ටම් හැඩැති කුලුනේ සියළුම පැති වල පේලි 209 ක වචන 240 කට වඩා වැඩි ප්‍රමාණයක් අකුරු 800 කින් පමණ ලියා ඇති මෙම ලිපිය දිග අනුව ගත් කල දෙවැනි වන්නේ බදුල්ල ටැම් ලිපියට පමණක් බව පවසන ඒ මහතා එහි අකුරු 10 වන ශතවර්ෂයේ මුල් අර්ධයට කාල නිර්ණය කල හැකි බව පවසයි. ලිපිය අභා සලමෙවන් නම් රජෙකුගේ 12 වන රාජ වර්ෂයේ පොසොන් මස පුර පස පස් වන දින පිහිටවූ බවට එහි සඳහන් වන අතර, ඔහුගේ පියා සැහැකුල කෙවිලු සුදොනා පරපුරෙන් ආ (Descended from the lineage of King Suddhodana, the banner of the Sakya race) සිරිසඟ්බෝ බවත්, මව සඟා රද්නා බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. ලිපියේ සඳහන් තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ උදා මහපාණන් වහන්සේ ලෙසින් එහි සඳහන් වන මහපාවරයාය. මෙම තොරතුරු මත පිහිටා රණවැල්ල මහතා එම අභා සලමෙවන් නම් වූ විරුද නාමයෙන් හැඳින්වෙන රජු සිව්වන දප්පුල (ක්‍රි.ව. 923 - 924) ලෙසට හඳුනාගනී. 

රණව කන්දේ පිහිටි පබ්බත විහාරයට අයත් සංරක්ෂණය කල ස්තූපය

අත්තානි ප්‍රදානයක් වූ මෙම ටැම් ලිපිය පිහිටුවීමේ අරමුණ වූවේ මහමෙව්නා තිසරම් රද්මහ වෙහෙරට අනුබද්ධ, දාරස් (වතුහි) පිහිටි අභයතුරා පෙතැ දෙමෙට්වල පිරිවෙනට අයත්, පැලැන්බිම්හි රණැ [ග්‍රාමයේ] දොළොස් පයලක් වූ ඉඩම් සඳහා යම් යම් මුක්තීන් ප්‍රදානය කිරීමයි. මෙකාප්පර් [Commander of the Bodyguards] මුගලන්නා බුදු ගේ නියමයෙන් ආ සිවිපිළිගම ගොවය සහ ගිරිස දාපුළ්,  කිලිඟ් කිත් දෙටු නියමයෙන් ආ නාවුනිදෙට් කිලිඟ් සමන සහ ආරක්සමණන්වර [Chief Guardian] වන මහලේ අග්බෝ නියමයෙන් ආ කුඩසලා දෙට් යන අය පොදුවේ උදා මහපාණන් වහන්සේ [සිව්වන දප්පුලට පසුව තුන්වන උදය ලෙසින් රාජ්‍යත්වයට පත් වන්නේ මෙම උදා මහපාණන්ය] වදාළැ හෙයින් මෙම අත්තානි කණු හින්ඳවන්නට ආ බව ලිපියේ පැවසේ. 

ලිපියෙන් පිරිණැමූ මුක්තීන් වන්නේ 

  • පෙරෙනාට්ටු නිලධාරීන්, මදිව, පෙදිව සහ මෙලාත්ති බදු එකතුකරන්නන්, රට්ලදු [Governors of Districts], පස්ලදු [Governors of Provinces], දෙරුවන [Officials of the Two Treasuries], දෙකම්තැන් [Two Secretariats] සහ රද්කොල්කැමියන් [Officials attached to the royal household] මෙම බිමට ඇතුළු නොවිය යුතුය. 
  • ගැල්, ගොන්, මීවුන්, කිරි ගෙරි සහ වැරියන් [Carts, oxen, buffaloes, milch-cows and domesticated elephants] එම බිම් තුළට නොගත යුතුය.
  • පිටතදී මිනී කොටා [මිනී මරා] ගම් වදින්නන් ගම තුලදී අත් අඩංගුවට නොගත යුතුය.
  • තලන්, මීවන් [Trees such as Palmyra-palms and මී] ආදී පල රුක් නොකැපිය යුතුය.
  • ගම තුළ සිට තුඩිය, සොළිය ආදී බෙර නොගැසිය යුතුය. බලත් රැහැණ් [Military whips] නොගැසිය යුතුය.
  • මෙම නියෝග කඩකර ගම තුලට එන්නන් කෙත් සහ උයන් කැමියන් [Park keepers and the keepers of farms] විසින් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය.
මෙම නියෝග කඩකරන්නන් කවුඩු [Crows], බලු, ගම් හූර් [Village-pigs] සහ නිවි තිරිසනුන්  [Beasts of the hell] වී ඉපදෙන අතර ඔවුන් මහවුටියේ එළුවන් මැරීමෙන් කරන අකුසල් ගන්නාහු වන්නාහ.

රණව කන්දේ පිහිටි පබ්බත විහාරයට අයත් කැනීම් සිදුකර මෙතෙක් සංරක්ෂණය නොකල උපෝසථඝරය හෙවත් පොහොය ගෙය

නිසැකවම ලිපියේ රණැ ලෙසින් හැඳින්වෙන්නේ ලිපිය සහ රණව කන්ද පිහිටි මෙම ප්‍රදේශය බවත් එම නාමය අවම වශයෙන් වසර 1100 ඒ ආකාරයෙන්ම භාවිතයේ තිබී ඇති බවත් පැහැදිලිය. ටැම් ලිපියේ සඳහන් රණැ [ග්‍රාමයේ] පිහිටි ඉඩම් පිරිණැමූ අභයතුරා පෙතැ දෙමෙට්වල පිරිවෙන කුමක්ද යන්න ලිපියෙන් හෝ වෙනත් සාධක වලින් ඉඳුරා පැවසීමට නොහැකිමුත්, එය මේ අසල පිහිටි රණව කන්දේ වූ නටබුන් සහිත පැරණි විහාරය විය යුතු බව බොහෝදෙනාගේ අද වනවිට ජනප්‍රිය පිළිගැනීමයි. 

නා ගස් බහුලව හමුවන නිසා පෙර නා කැලේ කන්ද ලෙසින් හැඳින්වූ එම ස්ථානය සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යාංශය මගින් 1972 වර්ෂයේදී පළකල පැරණි ස්මාරක නාමාවලියේ සඳහන් වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු කලාගම් පළාතේ රනාව ග්‍රාමයේ පිහිටි නාකැලේකන්ද මුදුනේ ද්විත්ව වේදිකා ගොඩනැගිලි වල අවශේෂ ඇති බවය. කැකිරාව - දඹුල්ල පාරේ 51 වැනි සැතපුම් කනුව ලගින් හැරී සැතපුම් 4 ක් පමණ ගිය පසු එම ස්ථානයට ලගාවිය හැකි බව එහි වැඩිදුරටත් පැවසේ.

රණව කන්දේ පිහිටි පබ්බත විහාරයට අයත් සංරක්ෂණය කල බෝධිඝරය

අද වන විට ජාතික නාමල් උයන නමින් බොහෝදෙනා දෛනිකව පැමිණෙන සංචාරක ආකර්ශනීය ස්ථානයක් වන  මෙම රණව කන්දේ ද්විත්ව වේදිකා ගොඩනැගිලි එනම් පධානඝර ඇති බවට වෙනත් ප්‍රකාශනයකද සඳහන් වන මුත් මේ වන විට එහි කැනීම් සිදුකර සංරක්ෂණය කර ඇත්තේ ස්තූපයක් සහ බෝධිඝරයක් පමණි. පොහොය ගෙයක් හෙවත් උපෝසථඝරයක් ලෙස හඳුනාගත් ගොඩනැගිල්ලකද කැනීම් සිදු කර ඇත [මේ සමග ඇති වීඩියෝව සහ ඡායාරූප බලන්න]  එම සාධක අනුව නම් මේ ස්ථානයේ තිබිය යුත්තේ පධානඝර සංකීර්ණයක් නොව පබ්බත විහාර ලෙසින් හඳුනාගන්නා සංඝාරාමයකි. පධානඝර පිරිවෙන නැතහොත් ගාමිණී විජේසූරිය මහතා හඳුනාගන්නා ආකාරයට බෞද්ධ භාවනාරාම පිළිබඳව සඳහන් වන කෘති වලද දිවයිනේ ඇති එවන් පධානඝර පිහිටි ස්ථාන අතරට මෙම ස්ථානය ඇතුලත් කර නැත. කෙසේ නමුත් එවන් පධානඝර මෙම ස්ථානයේ පබ්බත විහාරයේ නටබුන් වලට ආසන්නයෙන් හමුවන්නේ නම් සහ ඒවා එකම කාලයකට අයත් නම් එය පධානඝර සංකීර්ණයක් සහ පබ්බත විහාර සංඝාරාමයක් එකට පිහිටි විශේෂ අවස්ථාවක් ලෙස හඳුනාගත හැකි අතර, එම පැරණි සිංහල ගෘහ නිර්මාණ ශිල්පීය ඉදිකිරීම් ද්විත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති ඇතැම් මත නැවත සලකා බැලීමටද සිදුවන්නක් බව පැවසිය යුතුය. 

ඉහත විස්තර ඉදිරිපත් කල සෙල්ලිපිය පාදක කරගනිමින් ජාතික නාමල් උයනේ ඉතිහාසය සම්බන්ධයෙන් ලියැවී ඇති සහ සමාජ මාධ්‍ය වල සංසරණය වන බොහෝ වැරදි ප්‍රකාශ වෙන වෙනම ගෙන පිළිතුරු දීමක් මෙම ලිපියෙන් සිදු කිරීමට බලාපොරොත්තු නොවන මුත් ටැම් ලිපියේ සඳහන් සියළු තොරතුරු ඒ ආකාරයෙන් ඉදිරිපත් කල පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි කුමක්දැයි කියවන ඔබට පැහැදිලි වේ යැයි සිතමි. කෙටියෙන් නමුත් පැවසිය යුත්තේ ජාතික නාමල් උයන යනු මිනී මරා සැඟවීමට වෙන් කර තිබූ ස්ථානයක් නොවන බවය. මෙම අත්තානි ප්‍රදානයේදී පමණක් නොව මෙතෙක් දිවයින පුරා විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇති බොහෝ අත්තානි ප්‍රදානයන් වල එම ප්‍රදානය සිදු කරන බිම් වලට පිටතින් රාජ පුරුෂයන් වැනි නිලධාරීන්ට පැමිණීමට නොහැකි වන ලෙසට මුක්තීන් ප්‍රදානය කර ඇති බවත්, කිසියම් අපරාධයක් කර එම බිම් තුලට පැමිණෙන පුද්ගලයෙකු එම ප්‍රදේශයේ බලය පවරා තිබූ පුද්ගලයන් විසින් ප්‍රදේශයෙන් පිටතට යොමු කල පසු රජුගේ නිලධාරීන්ට කැමැත්තක් කල හැකි බවත්ය ඒවායේ සඳහන් වන්නේ. 

මූලාශ්‍ර
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Archaeological survey of Ceylon, North-Central And Sabaragamuwa Provinces, Annual Report, 1893, H.C.P. Bell, 1904
  • Archaeological survey of Ceylon, North-Central, Sabaragamuwa, Central and North-Western Provinces, Annual Report, 1895, H.C.P. Bell, 1904
  • Jathika Namal Uyana, Duminda Sanjeewa Balasooriya, Indika Senevirathna, 2018
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම (පධානඝර) ගාමිණී විජේසූරිය, 2023
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 2 , Sirimal Ranawella, 2004