|
මාලකය සහ කුටිය සම්බන්ධ වන ගල් පාලම - රිටිගල |
වංශකතාවල එන පධානඝර සම්බන්ධ සිදුවීම්
මහාවංශයේ මුල් වරට පධාන යන වචනය හමුවන්නේ 3 වන සියවසේ දී ගෝඨාභය (ක්‍රි.ව. 249-262) රජු මහා විහාරයට බටහිරින් පධානඝරයක් සෑදවූ බවට එන සඳහනෙහිය. එසේම පළමුවන මුගලන් (ක්‍රි.ව. 491-508) රජුගේ උත්තර නම් සෙනෙවියා සිය නමින් පධානඝරයක් කරවූ බවටද, අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් මහාවිහාරයේ මහාපධානඝරයට ගොස් සංඝපාල තෙරුන්ගෙන් සිංහල අටුවා උගත් බවටද, දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604-614) රජු කල කාලිංගයේ සිට යුදයේ සතුන් මැරෙන්නා දැක කලකිරී මෙරටට පැමිණි කාලිංග රජු ජෝතිපාල මහ තෙරුන් කෙරෙහි පැවිදි වූ කල ඔහු වෙනුවෙන් මත්තපබ්බත විහාරයේ පධානඝරයක් කරවූ බවටද, තුන්වන අග්ගබෝධි (ක්‍රි.ව. 628-639) රජු උපරජ සමග ඔහු ඉදිකල මහල්ලරාජ නම් පධානඝරයේ තෙරණුවන්ට හංකාර සහ සමුගාම නම් ගම් සහ කෙහෙල්ල ගාමයේ රාජ භාරය පිදූ බවද, හතරවන අග්ගබෝධි (ක්‍රි.ව. 667-683) රජු දාඨාශිව නම්වූ තෙරුන්ට ඔහුගේ නමින් පධානඝරයක් තනවා පූජා කල බව සහ ගම් කිහිපයක්ම එම ගෙයට පවරා දුන් බවද මහාවංශයේ පධානඝර යන වචනය ඇතිව සඳහන් වේ.
|
පධානඝරයක් - අරංකැලේ |
සෙල්ලිපි වල එන පධානඝර සම්බන්ධ සිදුවීම්
වසභ (ක්‍රි.ව. 67-111) රජුගේ පෙරුමියන්කුලම පර්වත ලිපියේ සුදසන පතනගල විහාරයට පිරිනැමූ ජල බදු ආදායම් ආදී පිරිනැමිම් ගැන සඳහන් වේ. එසේම සිව්වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) රජුගේ මන්නාරම කච්චේරි ටැම් ලිපියෙහි බහදූර්සෙන් පියන්ගල වෙහෙරට අයත් වූ ඉඩම් සඳහා පිරිනැමූ වරප්‍රසාද පිළිබඳව කියැවේ. පස්වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) රජුගේ අනුරාධපුර පුවරු ලිපියේ පියන්ගල් යන වචනය පිරිවෙන්හි, රජ්මහවෙහෙර්හී, පියන්ගල්හි සහ මෙහෙණිවර්හි ලෙස පූජනීය ස්ථාන වර්ග කිහිපයක් ගැන එන සඳහනක ඒ. ඒ අනුව එමගින් කිසියම් සංඝාරාම හෝ විහාර විශේෂයක් හැඳින්වූ බව පැහැදිලිය. පස්වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) රජුගේම මැදිරිගිරිය අත්තානි ටැම් ලිපියෙහි බිදෙර්වතුකුළියෙහි, රන්තිසායේ පිහිටි මැඩිලිගිරිවෙහෙර් පියන්ගලැ සතර සීමා ගැන සඳහනක් ඇත. සිව්වන මහින්ද (ක්‍රි.ව. 956-972) රජුගේ මිහින්තලා පුවරු ලිපියේ පියන්ගල් පෙරෙවැළියෙකුට (පරිපාලකයෙකුට) ගෙවූ වේතන ගැන සදහනක් එයි. පධානඝෙරෙහි වසන භික්ෂූන්ට බාධා නොකර සාමනේර භික්ෂූන් ධර්මය උගත යුතු බවට මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) රජුගේ ගල් විහාර සෙල්ලිපියේ සදහන් වේ.
|
පධානඝරයක් - රිටිගල |
පතනගල, පියන්ගල්, පධානඝෙර, පධානඝර ලෙස මේ සෙල්ලිපි වල සහ වංශ කතා වල හැඳින්වෙන්නේ අප කතා කරන ගොඩනැගිලි විශේෂය විය හැකි බවට මත පලවී ඇත. එසේම ඒවා වනවාසීව භාවනානුයෝගී දිවියක් ගත කල භික්ෂූන් උදෙසා කල බවට විශ්වාස කෙරේ. ඉදිරිපස මාලකය විවිධ භාවනා ක්‍රම වල යෙදීමටත් පසු පස කුටිය වාසය කිරීම උදෙසාත් නිර්මිත බවට මත පලවී ඇතිමුත් විද්වතුන් අතර ඒ පිළිබඳ ස්ථිර එකඟතාවයක් නොමැත.
මූලාශ්‍ර
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume III, 1928-1933 Edited by S.Paranavitana, 1933
- Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume II, 1912-1927 Edited and translated by Don Martino de Zilva Wickremasinghe, 1928
- ශිලාලේඛන සංග්‍රහය, 1 වෙළුම 1904-1912, සංස්කරණය දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ, පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න, 2000
- Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part 1, Late Brahmi Inscriptions, Paranavitana S., 1983
- සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
- The Mahavamsa or The Great Chrinicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
- Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part1, Edited by Sirimal Ranawella, 2001
- Sinhalese Monastic Achitecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake,1974
- පධානඝරවල වාස්තු විද්‍යා ලක්ෂණ, යුරේන් අතුකෝරළ, ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුම 6, 2016, සංස්කාරක ධනේෂ් විසුම්පෙරුම
- History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
සෑහෙන්න පරිපූර්ණ ලිපියක්. ඇත්තමයි ඔබට ස්තූතියි මෙවන් ලිපි බෙදා හදා ගැනීම සම්බන්ධව.
ReplyDeleteජය
වටිනවා මේ ලිපිය.
ReplyDeleteජයවේවා!!!
වටිනා ලිපියක් .ස්තූතියි.
ReplyDeleteස්තුතියි
ReplyDeleteSuperb❤️👍
ReplyDelete👍👌🙏
ReplyDelete