![]() |
| Cinnamon is peeled on the island of Ceylon, උපුටාගැනීම - Baldaeus P., 1672, |
ක්‍රි.ව. 1200-1293 අතර කාලයේ රචිත ලෙස සැලකෙන බුත්සරණ හිමාලය වනය වර්ණනා කිරීමේදී විවිධ ගන්ධයන් නිකුත් කරන ශාක පිළිබඳව වූ වර්ග කිරීමකදී සුඹුළු වලින් (සිවිය/පිට පොත්ත/Outer integument) සුවඳ විහිදුවන 'ලමඟ' ආදී ගස් එහි තිබූ බව පවසයි. 'ලමඟ ගස' පිළිබඳව කාව්‍යශේඛරය (ක්‍රි.ව. 1449 ), සද්ධර්ම රත්නාවලිය (ක්‍රි.ව. 1220-1293), යෝගරත්නාකරය (16 වන ශතවර්ෂය), පූජාවලිය (ක්‍රි.ව. 1266), පඤ්චිකාප්‍රදීපය(ක්‍රි.ව. 1457) වැනි පැරණි ගද්‍ය/පද්‍ය ග්‍රන්ථ කිහිපයකම සඳහන් වන අතර එම ග්‍රන්ථ සංස්කරණය කල ඇතැම් වියතුන් 'ලමඟ' යනු කරාබු නැටි ලෙස සැලකුවද නම්රුවන්මල හෙවත් රුවන්මල් නිඝණ්ඩුව (ක්‍රි.ව. 1420 ට පසුව) නම් පැරණි කෝෂ ග්‍රන්ථයට අනුව 'ලමඟ' නම් 'කුරුඳු ගස' වේ (කරාබු නැටි ගස/Syzygium aromaticum දේශිය ශාකයන් නොවන අතර මොලුක්කාස් දිවයිනෙන් ඉංග්‍රිසීන් පැමිණෙන විටත් මෙරටට හඳුන්වා දී තිබූ ශාකයකි.) . ජාතක ගාථා සන්නය (ක්‍රි.ව. 1153-1225) නම් පැරණි සන්‍යය ග්‍රන්ථයේද කුරුඳු ගස ගැන සඳහන් වේ. 'කුරුඳු තෙල්' යන වදන ක්‍රි.ව. 1293-1303 අතර කාලයේ රචිත ලෙස සැලකෙන ථූපවංසයේ හමු වේ. මේ සියලුම මූලාශ්‍ර 13 වන ශතවර්ෂයේ හෝ ඉන්පසු රචිත ග්‍රන්ථ වන අතර කුරුඳු වැවීම, අපනයනය කිරීම හෝ කුළු බඩු ලෙස හෝ ඖෂධ ලෙස භාවිතා කිරීම පිළිබඳව විස්තර එයට පෙර රචිත කිසියම් හෝ සාහිත්‍ය මූලාශ්‍රයක හමු නොවේ. පැරණි වංශ කතා වලද කුරුඳු පිළිබඳව විස්තර කිසිවක් සොයා ගත නොහැක.
වෙළඳ භෝගයක් ලෙසට වර්තමානයේ රටවල් කිහිපයකම වගා කරන මුත් Cinnamomum verum ලෙසින් උද්භීද විද්‍යාත්මකව හඳුන්වන කුරුඳු ශාකය මෙරට නිරිත දිග තෙත් කලාපයේ පහත රට වනාන්තර වල පමණක් හමු වන ශාකයකි. එම Cinnamomum ගණයට(Genus) අයත් ශාක විශේෂ(Species) 8 පමණ ශ්‍රී ලංකාවේ වනාන්තර වල හමු වන අතර දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල සිට ඔස්ට්‍රේලියාව දක්වා විහිදුණු කලාපයේ වනාන්තර වල විශේෂ 250 පමණ මේ වන විට හඳුනාගෙන ඇත. එම බොහෝ ශාක වල සුවඳැති පොත්තක් ඇති මුත් ලොව පුරා කුළු බඩුවක් ලෙස භාවිතා වන Cinnamomum verum ශාකය මෙරටට ආවේනික වෙනත් කිසිදු රටක වනාන්තර වල හමු නොවන ගසකි.
ඉහත අප සඳහන් කල අයුරින් මෙරට පැරණි මූලාශ්‍ර වල කුරුඳු ශාකය පිළිබඳව විස්තර හමු නොවන මුත් වෙනත් විදේශීය මූලාශ්‍ර කිහිපයකම මෙරටින් අපනයනය කල කුරුඳු පිළිබඳව තොරතුරු සඳහන් වේ. එසේම කිසියම් හෝ විදේශීය රටකින් කුරුඳු පිළිබඳව පැරණි මූලාශ්‍රයක තොරතුරු හමු වන්නේ නම් එම කුරුඳු අනිවාර්යයෙන්ම මෙරටින් අපනයනය කල ඒවා විය යුත්තේ ඉහත සඳහන් කල ලෙසින් නියම කුරුඳු ගස හමුවන්නේ මෙරට වනාන්තර වල පමණක් වන බැවිනි.
මෙරට කුරුඳු පිළිබඳව හමුවන පැරණිම මූලාශ්‍රය වන්නේ ක්‍රි. ව. 10 වන ශතවර්ෂයේ බුෂූර්ග් ඉබ්න් ෂරියාර් (Buzurg Ibn Shariyar) විසින් රචිත අජා ඉබ් අල් හින්ද් (Aja ib al Hind) හෙවත් 'ඉන්දියාවේ අසිරිය' නම් කෘතියේය. යුදෙව් වෙළෙන්දන් විසින් 12 වන ශත වර්ෂයේ කයිරෝ නුවර තබා ඇති සටහන් වලද කුරුඳු වල මූලාශ්‍රය මෙරට බව සඳහන් වේ. එසේම මිෂනාරි කටයුතු උදෙසා 13 වන සියවසේ පෙරදිග රටවවල සැරිසැරූ මොන්ටිකෝවිනෝහි ජෝන් පියතුමාගේ (John of Montecorvino) ලිපියකද මෙරට කුරුඳු පිළිබඳව සඳහන් වේ. ඉබ්න් බතුතාගේ (Ibn Batuta) මෙරට සංචාරය ( ක්‍රි.ව. 1344) පිළිබඳව ඔහු තබන සටහන් අතර ඉන්දියාවේ මලබාර් සහ කොරමන්ඩල් ප්‍රදේශ වල සිට පැමිණි පුද්ගලයන් මෙරට රජුට ත්‍යාග ලෙසට රෙදි පිළි ආදී දේ ලබා දී කුරුඳු රැගෙන ගිය බව පවසයි. බතූතාගේ විස්තරයේ සඳහන් වන ලෙසට Batthalah ලෙසින් ඔහු හඳුන්වන නගරයේ (පුත්තලම ලෙසින් ඇතැම් වියතුන් හඳුනාගන්නා මුත් ඒ පිළිබඳව නිශ්චිත මතයක් නොමැත.) වෙරල තීරය මුළු මනින්ම පාහේ කුරුඳු 'කෝටු' කඳු ලෙසට ගොඩ ගසා තිබී ඇති අතර, ඒවා 'ජල ප්‍රවාහය' නිසා ගසා ගෙන ආ ඒවා ලෙස ඔහු පවසයි [All the neighboring shore was covered with trunks of cinnamon trees, torn up by the torrents ] (ජල ප්‍රවාහය නිසා ගොඩ ගැසූ කුරුඳු කඳන් ලෙසින් බතුතා පවසන දේ එලෙසින්ම පිළිගත නොහැකි මුත් මේ වන විටද කුරුඳු වනාන්තර වලින් එකතු කලා විනා වගා නොකල බව එම විස්තරයෙන්ද පැහැදිලි වේ. )
![]() |
| උපුටාගැනීම, Cave W. , 1910 |
1505 පමණ කාලයේ සිට මෙරට තුල ක්‍රියාත්මක වූ පෘතූගීසි බලපෑමත් සමග අරාබි වෙළෙඳුන් අත තිබූ කුරුඳු අපනයනය කිරීමේ ඒකාධිකාරය ප්‍රතිකාලුන් විවිධ ක්‍රම මගින් ඔවුන් වෙත ලබා ගත්හ. මෙතැන් පටන් මෙරට තුල දේශපාලන ඉතිහාසය කුරුඳු අපනයන වෙළදාමේ ඉතිහාසය සමග අඩු වැඩි වශයෙන් සමපාත වීමක් සිදුවේ [එබැවින් ලිපිය දීර්ඝ වන බැවින් මෙතැන් සිට ඉදිරිපත් කෙරෙනුයේ සංක්ෂිප්ත ඉතාමත් වැදගත් සිදුවීම් පිළිබඳව තොරතුරු බිඳක් පමණි.] එහෙත් ප්‍රතිකාල් වරුන් පලවා හැර ලන්දේසින් මෙරට මුහුදු බඩ ප්‍රදේශ අත් කරගන්නා තෙක් කිසිදු පෘතූගීසි හෝ සිංහල මූලාශ්‍රයක මෙරට තුල කුරුඳු වගා කර අපනයනය කල බවට කිසිදු තොරතුරක් හමු නොවේ. ඒ වෙනුවට සිදු වූවේ මුලදී ප්‍රධාන වශයෙන් සලාගම කුලයට අයත් ජනයා සහ පසුව සලාගම නොවන කරාව, පදු සහ හුණු වැනි කුල වලට අයත් ජනයාද සුළු වශයෙන් යොදවා කැලෑවලින් කුරුඳු එකතු කිරීමය.
![]() |
| උපුටාගැනීම, Cave W. , 1910 |
මූලාශ්‍ර
- A History of Sri Lanka, K.M. de Silva, 2005.
- සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
- පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
- History of Sri Lanka, W.I. Siriweera, 2012
- Tropical Planting and Gardening with Special Reference to Ceylon, H.F. Macmillan, 1910
- ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1,2,3 සහ 4, සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
- Ibn Batuta in The Maldives and Ceylon, Albert Gray, 1883
- සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
- A Revissed Handbook to The Flora of Ceylon, Dassanayake et.al., Volume IX, 1995
- ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
- සිරිසඟබෝ පැරකුම්බා නිරිඳුන් කළ නමෘවන්මල හෙවත් රුවන්මල් නිඥ්ඩුව, ආනන්ද අබේසිරිවර්ධන, 2004
- සද්ධර්ම රත්නාවලිය, කිරිඇල්ලේ ඥාණවිමල සංස්කරණය, 2004
- Sri Lanka The Geographical Vision, Enviroment, Land and Settlement in Classical Sinhala Literature, V. Vitharana, 1999
- කාව්‍යශේඛරය,සුචරිත ගම්ලත්, වේගිරියේ කීරාල, 2006
- අමෘතාවහ නම් බුද්ධචරිතය, බුත්සරණ, ලබුගම ලංකානන්ද සංස්කරණය, බු.ව. 2497
- Pearls, Spices and Green Gold An Illustrated History of Biodiversity Exploration in Sri Lanka, Rohan Pethiyagoda, 2007
- Ceylon and Its Capabilities, An Account of Its Natural Resources, Indigenous productions and commercial facilities, J.W. Bennett, 1843
- A Description of the Great and Most Famous Isle of Ceylon, Baldaeus Phillip, 1672
- Illustrations and Views of Dutch Ceylon, 1602-1796, R.K. de Silva & W.G,M, Beumer, 1988
- The Ceylon Government Railway, Henry W, Cave, 1910


