Showing posts with label Nagadeepaya. Show all posts
Showing posts with label Nagadeepaya. Show all posts

Wednesday, June 21, 2017

යාල්පානම් වලදී කොවියාර් වූ නාගදීපයේ සිංහලයෝ

"මෙම ආගම් මාරුකිරීම සැලවීමත් සමග වයස් හෝ ලිංග භේදයක් නොමැතිවම සංකිලි හයසීයක් පමණ වූ පිරිස කඩුවෙන් ගෙල සිඳ දමා මරා දැමූහ. ....ඔහුගේ උමතු ක්‍රෝධය තව තවත් ගොදුරු සොයමින් ගොස් බෞද්ධයන් වෙතටද යොමු විය. බුදුසමය අදහන්නන් සියල්ලම සිංහලයන් වූ අතර ඔවුන් බොහෝ දෙනෙක් මෙම රාජධානියේ විසූහ. ඔහු විසින් නිකුත් කල අණ පරිදි ඔවුන්ව ඔහුට අයත් සීමාවෙන් එපිටට නෙරපූ අතර ඔවුන්ගේ අති විශාල ප්‍රමාණයක් වූ වදින පුදන ස්ථාන සියල්ලම විනාශ කලහ. ඔවුන් වන්නියට සහ උඩරට පෙදෙස් වලට සංක්‍රමණය වූ අතර කිසිදු සිංහලයෙක් ඉන්පසු මෙහි ඉතිරි වූවේ හෝ නැවත කිසි දිනක පෙරලා පැමිණියේ හෝ නැත. "

ද්‍රවිඩ කාන්තාවක් 
ලන්දේසි ආණ්ඩුකාර Maccara ගේ ඉල්ලිමකට අනුව මයිල්වාකනන්(Mayilvakanan) නම් වූ දෙමළ කතුවරයෙකු විසින් කල යාපනය රාජධානියේ ඉතිහාසය හා සම්බන්ධ යාල්පානවයිපාවමලෙයි (Yalpana-Vaipava-Malai) නම්වූ කෘතියක ඉහත විස්තර වන්නේ පෘතුගීසි බලපෑම් හමුවේ මන්නාරම ප්‍රදේශයේ කතෝලික දහම වැලැඳ ගත් 600 පමණ වූ පිරිසක් සංකිලි නම් වූ යාපනය රාජධානියේ අවසාන ද්‍රවිඩ පාලකයා විසින් මරා දැමූ අන්දම සහ ඉන් නොනැවතී ඔහු ලබ්බට තියපු අත පුහුලටත් තබා යාපනයේ සිටි සිංහල බෞද්ධයන්ද පලවා හැරි අන්දමයි. බෞද්ධ වෙහෙර විහාර විනාශ කල අන්දමයි.

කෙසේ නමුත් යාපනය රාජධානියේ ඉතිහාසය පිළිබඳව වර්ෂ 1926 දී ගවේෂණාත්මක කෘතියක් කරන C. රාසනායගම් මුදලියර්තුමා පවසන්නේ මෙම කුරිරු පලිගැනීමේදී පලායාමට නොහැකිවූවන් දෙමළ ප්‍රධානීන්ගේ වහලුන් වූ බව සහ ඔවුන් කොවියාර් ලෙස හඳුන්වන යාපනය අර්ධද්වීපයේ පමණක් පවතින කුලය තුලට ඇතුලත්වූ බවයි. යාපනය ප්‍රදේශය තුල තිබෙන සියළුම කුල වලට අනුරූප කුල දකුණු ඉන්දියාවේ පවතින මුත් කොවියාර් ඇතුළු කුල තුනක් පමණක් එසේ දකුණු ඉන්දීය ප්‍රභවයක් හඳුනාගත නොහැකිව යාපනය අර්ධද්වීපයේ පමණක් හමුවේ. රාසනායගම් මුදලියර්තුමා වැඩි දුරටත් පවසන්නේ මෙම කොවියාර් ලෙස වෙනස් වී ඇත්තේ සිංහල 'ගොවියා' හෙවත් 'ගොයියා' යන වදන බවය. ගොවියා>කොවියා>කොවියාර්

රාසනායගම් මුදලියර්තුමා පවසන්නේ කොවියාර් සහ මෙම යාපනය අර්ධද්වීපයේ පමණක් හමුවන අනෙකුත් කුල දෙකේ කාන්තාවන්ගේ ඇඳුමේ ඇතුළු අන්තය උරහිස උඩින් දමන ආකාරය අව්‍යාජ දෙමළ ජනතාවට මුළුමනින්ම ආගන්තුක වන අතර එය සමාන වන්නේ දකුණේ සිංහල කාන්තාවන්ගේ සම්ප්‍රදායික ඇඳුමට බවය. කාර්ට්මන්ට (Cartman, 1957) අනුවද  උතුරේ දෙමළ සමාජයේ පවතින විශ්වාසයක් වනුයේ කොවියාර් වරු කිසියම් කාලයකදී ද්‍රවිඩයන් විසින් වහලුන් බවට පත් කර ගත් සිංහල ගොවිගම පුද්ගලයන් බවය.

ශ්‍රි ලාංකික දෙමළ ජනතාවගේ කුල අතරින් උසස්ම කුලය ලෙස සලකන වෙල්ලාල කුලය ( ගොවි ) සහ මෙම කොවියාර් කුලය අතර ඇත්තේද අමුතුම ආකාරයේ සහ සම්බන්ධයකි. කොවියාර්වරු පෙර කල වෙල්ලාල ප්‍රධානින්ගෙ වහලුන් වූ අතර වෙල්ලාල ප්‍රධානීන්ගේ ගේ දෝර සහ ගොවිබිම් වල සේවකයන් සහ කෝකියන් ලෙස කටයුතු කලහ. පසුකාලීනවද වෙල්ලාලයන්ගේ මංගල උත්සව වල හැමවිටම පාහේ කෑම සැකසීම කොවියාර්වරු විසින් සිදු කර ඇත (Holms, 1980)

පෙරකල වෙල්ලාලයන් කොවියාර් කාන්තාවන් සමග අනියම් සබදතා පවත්වා ඇති අතර ඔවුන්ගෙන් පැවත එන දරුවන් බොහෝ දෙනෙකු වෙල්ලාලයන් ලෙස සලකා ඇත. කොවියාර්වරුන්ගේ මගුල්තුලා වලට වෙල්ලාලයන්ද සහභාගී වන අතර ඔවුන්ගේ ආහාරද පිලිගනී. වෙල්ලාල පුද්ගලයෙකුගේ අවමගුලකදී කොවියාර්වරු දේහය ආදාහනය සඳහා ඔසවාගෙන යන අතර කොවියාර්වරයෙකුගේ අවමගුලකදී එම මියගිය පුද්ගලයා සේවය කල වෙල්ලාල ප්‍රධානියා එම දේහය භූමදානය සඳහා ගෙන යෑමට ප්‍රථම එය ස්පර්ශ කිරීම අනිවාර්යෙන් සිදුකල යුතුය. දෙමළ සමාජයේ වෙල්ලාල කුලවතුන් කිසි විටෙක අනෙකුත් පහත් කුල ලෙස සලකන කුල වල සේවකයන් ස්පර්ශ නොකරන බැවින් මෙය කොවියාර්වරුන් ඒ අතරින් විශේෂ කණ්ඩායමක් බව විදහාපාන අවස්ථාවකි. රඝවාන්ට අනුව කොවියාර්වරු වෙල්ලාලයන්ගේ මගුල් කපුවන් ලෙසද අතරමැදි සේවයක් ඉටුකරයි. මගුල් පෙරහැරේ වෙල්ලාල මනාලයාගෙ හිසට ඉහලින් වියන් ඇල්ලීමද කොවියාර් පිරිමින් සිදු කරන අතර මනාලයා මනාලියගේ ගෙදරට පිවිසි විට සිදුකරන ආලත්ති චාරිත්‍රයද කොවියාර් කාන්තාවක විසින් සිදු කරයි (මෙහිදි බන්දේසියක තබා දැල්වූ පහන්තිර මනාලයා ඉදිරියෙන් වැනීමක් සිදු කරන අතර ඉන් ඇස්වහ කටවහ දෝශ දුරු කිරීමක් සිදු කරයි ) වෙල්ලාල යුවතියන්ගේ කොටහළු අවස්ථාවලදීද කොවියාර් කාන්තාවන් බොහෝ කටයුතු වලදි උදව්කරුවන් ලෙස කටයුතු කරයි. කලාතුරකින් නමුත් වෙල්ලාලයන් සහ කොවියාර්වරු අතර සිදුවූ විවාහයන් පිළිබඳව තොරුතුරුද ඇත.
ද්‍රවිඩ කාන්තාවක් සිය සේවිකාව සමග

කෙසේ නමුත් මානව විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ කොවියාර්වරුන් දිගු හිස් ඇති පුද්ගලයන් බවය. එසේම ඔවුන් එම ලක්ෂණය මගින් වඩාත් සමාන වන්නේ දෙමළ වෙල්ලාලයන්ට සහ මෙරට ආදී වාසින් ලෙස සලකන වැදි ජනතාවට බවය. එම ලක්ෂණ වලට අනුව නම් ඔවුන් සිංහලයන් හා සමාන වන්නේ මද වශයෙනි. කෙසේ නමුත් සිංහල ජනතාව අතර පවතින කුල ක්‍රමයට අනුව වැදි ජනතාව ගොවි කුලයට අයත් ලෙස සලකන අතර කිසියම් කාලයකදි උතුරු ප්‍රදේශය තුලදි සිංහල බවට පත්වූ වැදි ජන කණ්ඩායමකින් කොවියාර් කුලය පැවතෙනවා විය හැක. කෙසේ නමුත් ද්‍රවිඩ වෙල්ලාලයන් සහ කොවියාර්වරු අතර ලිංගික සබදතා පැවතුනු බව ඉහත සඳහන් වූ බැවින් සැලකිය යුතු ලෙස ද්‍රවිඩ ලේ එමගින් වර්තමාන කොවියාර් වරු අතරට ගිය බව අනුමාණ කල හැකිය. එලෙසින් ඔවුන් වෙල්ලාලයන්ට මානව විද්‍යාත්මකව සමාන වීම පැහැදිලි කල හැකිය.

වෙල්ලාල ඇතුළු අනිකුත් කුල වල දෙමළ ජනතාව සියවස් කිහිපයකට පෙර මෙරටට සංක්‍රමණය වීමට පෙර උතුරේ නාගදීපයේ භූමිපුත්‍රයන් වූ සිංහල ගොවි කුල ජනයා අවසානයේ කොවියාර්වරු ලෙසින් සාපෙක්ෂව ප්‍රමාණයෙන් කුඩා ජන කණ්ඩායමක් බවට පත්වි අදවන විට දෙමළ ජන වර්ගයට අයත් කුලයක් ලෙස ශේෂ වීම මේ ආකාරයෙන් සිදු වූවා විය හැක. දශක තුනක් පුරා දකුණේ සිංහල ජනයාට එරෙහිව LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදය සිදුකල ම්ලේච්ඡ ප්‍රහාර වලට ඇතැම් විට කොවියාර් කුලයේ පුද්ගලයන්ද සම්බන්ධ වන්නට ඇත. සියවස් කිහිපයකට පෙර සිදුවූ දකුණු ඉන්දීය සංක්‍රමණ තුලින් උතුරේ විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපයේ බහුතරය බවට පත්වූ දෙමළ ජන වර්ගය සමග එක්වී එලෙස තමුන්ගේ අතීත මුතුන් මිත්තන්ගෙන් පැවතෙන දකුණේ තම නෑදෑයන්ට එරෙහි වීම, එක්ව ජීවත්විය යුතු දේශය දෙකඩ කිරීමට අරගල කිරීම ඉතිහාසයේ කුරිරු සරදමක් නොවේද?

අදාල පෙර ලිපි

මූලාශ්‍ර
  • The Yalpana-Vaipava-Malai or The History of the Kindom of Jaffna, Translated from the Tamil with an Appendix and a Glossary, C. Brito,1879.
  • Ceylon: A Pictorial Survey of The People And Arts by M.D. Raghavan, 1962
  • Ancient Jaffna, being a research into the history of Jaffna from very early times to the Portuguese period, Mudaliyar C. Rasanayagam, 1926
  • The People of Ceylon, Dr. N.D. Wijesekera, 
  • Caste in Modern Ceylon, The Sinhalese System in Transition, Bryce Ryan, 1953
  • The Lion and the Sword, An Ethnological Study of Sri Lanka, Asiff Hussein Volume 2,2008
  • Caste in Sri Lanka, From Ancient Times to the Present Day, Asiff Hussein, 2013



Sunday, April 10, 2016

නාගදීපයෙන් බුදුන් පැන්නීම

ඊනියා "යහපාලන සංහිදියාව" එහි උපරිමයෙන් භුක්තිවිදින දෙමළ ජාතිවාදීන් මෑතකදී පවසා තිබුනේ යාපනය නාගදීප විහාරයේ ඉදිවන බුදු පිළිමය එහි වාසය කරන ද්‍රවිඩයන්ට තර්ජනයක් වන බැවින් එය වහා නතර කල යුතු බවය. (නාගදීපය බුදු පිළිමයට උතුරු පළාත් මන්ත්‍රීවරු ගොරවති...) මේ අර්ථයෙන් ගතහොත් දකුනේ සිංහල බෞද්ධ, සිංහල කතෝලික හෝ මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල ඉදිකර ඇති හින්දු කෝවිල් ආදියද එම ප්‍රදේශ වල සිටින බහුතර ජනයාට "තර්ජනයක්" වන බැවින් එම ජනතාවද එම හින්දු ආගමික ස්ථාන ඉවත් කරගන්නා ලෙස පැවසුවහොත් ඇතිවන තත්වය කුමක්ද? වාසනාවට බහුතරයක් සිංහලයන් මෙම වර්ගවාදී දෙමළ දේශපාලකයන් මෙන් අන්තවාදීහු නොවෙති. එබැවින් එවැනි තත්වයක් මුස්ලිම් භක්තිකයන්ගෙන් කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ගෙන් හෝ කතෝලිකයන්ගෙන් නම් ඇති නොවනු ඇති. යාපනයේ ඇති බෞද්ධ විහාරයක 
වර්තමාන නාගදීප විහාරය
ඉදිකිරීමට එරෙහිව ගොරවන  මෙම අන්තවාදී තිරිසනුන්ගේ ගර්ජනය පාලක තන්ත්‍රයේ කිසිම දේශපාලකයෙකුගේ හෝ සංහිදියාව ගැන බයිලා කියන කිසිදු ජාත්‍යන්තරවාදී ඩොලර් හිඟන්නෙකුගේ හෝ කන් වලට ඇසුනු බවක් දකින්නට නොලැබුනි. වැල්ලවත්තේ හෝ මෝදර ප්‍රදේශයේ දෙමළ කෝවිලක කිසියම් ඉදිකිරීමකට විරුද්ධව සිංහල බෞද්ධ හෝ එසේ කියාගන්නා හෝ පුද්ගලයෙකුගේ කටින් කෙලබිඳුවක් හෝ විසි වූවා නම් මේ ඩොලර් හිඟන්නන් ලිප්ටන් වටරවුම දෙවනක් කරනු ඇත. දෙමළ ජනතාවට සිංහල බෞද්ධ වර්ගවාදීන්ගෙන් ඇතිවන අසාධාරණකම් ගැන පත්තර පිටු පුරා ලිපි ලියනු ඇත. අවාසනාවට ඊනියා යහපාලනය යනු දෙමළ ජාතිවාදීන්ගේ උවමනාවන් පමණක් පෙනෙන රණවිරුවන්ගෙන් පලිගෙන මිනීමරු කොටින් නිදහස් කරන, චාවාකච්චේරියෙන් හමුවන "බඩු මුට්ටු" වල ඔතා තිබූ පත්තරයෙන් කාල නිර්ණය කරන දේශද්‍රෝහීන් කැලකගේ පාලනයකි. එබැවින් ඉදිරියේදි මෙම ඉදිකිරීමට තිත තැබෙනු ඇත. දෙමළ ජාතිවාදීන් නැවතත් තව පියවරක් ඊලම දෙසට පියමනිනු ඇත.
නාගදීප දිවයිනේ ඇති පැරණි හුණුගල් පිළිමයක්

නාගදීපයට එනම් වර්තමාන යාපනය අර්ධද්වීපයට බුදු පිළිම අරහංද? මේ එම ප්‍රදේශයෙන් වරින් වර හමුවූ ඉපැරණි බුදු පිළිම කිහිපයක් ගැන ඓතිහාසික වාර්තා විමසා බැලීමකි.

වල්ලිපුරම් බුදු පිළිමය
මීට ඉහතදීද සාකච්චා කරනු ලැබූ වල්ලිපුරම් ප්‍රදේශයෙන් (නාගදීප පුරාණය - වල්ලිපුරමෙන් තහවුරු වන නාගදීප පුරාණයඉතාම හොඳ තත්වයේ තිබූ අමරාවති සම්ප්‍රදායේ බුදු පිළිමයක් වර්තමාන විෂ්ණු කෝවිල ආසන්නයෙන් පස් යට තිබී මතු කරගෙන වර්ෂ 1906 පමණ වන තුරුත් යාපනයේ පැරණි උද්‍යානයේ තිබී ඇත. නමුත් එම වසරේදී එය එවකට සිටි ඉංග්‍රීසි ආන්ඩුකාරයා වූ හෙන්‍රි බ්ලේක් විසින් සියම් රටේ (වර්තමාන තායිලන්තය ) රජුට තෑගි කර ඇත. එය මේ වන විට තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි

Wat benjamaborpit විහාරයේ ඇති බව පැවසේ.


චුන්නාකම් හුනුගල් බුදු පිළිමය
අනුරාධපුර කෞතුකාගාරයේ ඇති යාපනයෙන්
 හමුවූ බව සඳහන් හිටි පිළිමයක්
චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක එවකට තිබූ අගනා හුනුගල් බුදු පිළිමයක් පිළිබදව 1919 දී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලිපියක් සපයන පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කරයි. 1909 දී කොඩ්ඩියවත්තයි නම් ස්ථානයකින් එය පොලොව යට තිබී මතු කරගෙන ඇත. පසුව එම ස්ථානයේ කැනීම් කරන එතුමන්ට දාගැබක පාදම සහ වෙනත් නටබුන්ද හමුවේ. හය වසරකට පමණ එපිට එය හාරා එහි තිබූ ගල් දුම්‍රිය මාර්ගය තැනීමට ගෙනගොස් තිබූ බව පෝල් ඊ. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කන්තරෝඩෙයි (කඳුරුගොඩ)


කඳුරුගොඩ වර්තමානයේ ඉතිරි වී ඇති දාගැබ් කිහිපය
නම්පොතේ සඳහන් වන කඳුරුගොඩ හෙවත් වර්තමාන කන්තරෝඩෙයි ප්‍රදේශයේ නිවසක ලිදක් අසල රෙදි ඇපිල්ලීමට භාවිතා කරමින් තිබූ පැරණි විශාල පිළිමයක කවන්දයක කොටසක් පිළිබඳවද පෝල් ඊ. පිරිස් මහතා ඉහත ලිපියේ සඳහන් කරයි. ඒ වන විට කන්තරෝඩෙයි නටබුන් විශාල වශයෙන් ඒ අවට නිවාස ඉදිකිරීමට සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් යොදාගනිමින් තිබූ බව ඒ මහතා පවසයි. බුදු පිළිමයක තවත් කොටස් දෙකක් සහ තවත් සුවිසල් බුදු පිළිමයක හිසක් කුඹුරකින් සොයාගැනීමටද පෝල් ඊ. පිර්ස් මහතා සමත්වේ.

එම නටබුන් සොයාගන්නා අතර තුරේ ඒ අසල තිබූ ගල් කණු පාදම් කිහිපයක් අතරින් උඩට මතු වී තිබු හුණුගල් කොටසක් රාසනායගම් මුදලියර් මහතා පෝල් ඊ. පිරිස් මහතාගේ අවධානයට යොමු කල පසු, දවසක්  පුරා කැනීම් කරන පෝල් ඊ පිරිස් මහතා අවසානයේ ටොන් තුන් කාලක් පමණ වන බුදු පිළිමයක කඳ කොටසක්ද මතු කර ගනී.  එය උරහිස් හරහා අඩි 5.5 පමණ පලලට පිහිටි පිළිමයක් වන්නට ඇති බව ඒ මහතා අනුමාණ කරයි.
කඳුරුගොඩ විනාශ වූ දාගැබ් වල පාදම්
මූලාශ්‍ර
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana Volume IV, 1934-1942, 1943.
  • Pieris P.E., 1917, Nagadipa and Buddhist remains in Jaffna, Journal of the Royal Asiatic Society Ceylon Branch, Vol 26 Part 70.

Monday, December 14, 2015

නාගදීප පුරාණය - වල්ලිපුරමෙන් තහවුරු වන නාගදීප පුරාණය

 දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් විනාශ කර  දැමීමට ලැබූ අනගි අවස්ථාවක්  ලෙස බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් විජය විමලරත්න මහතුන්ගේ නායකත්වයෙන් 1987 දී සිදුකල වඩමාරච්චි  මෙහෙයුම සැලකිය හැකිය. එය ඉන්දියානු ව්‍යාප්තිවාදීන්ගේ බලපෑම් හමුවේ ජයග්‍රහණය පෙනි පෙනි නතර කර දැමීමට එවකට සිටි නිවට නායකත්වයට සිදුවීමෙන් දෙමළ ත්‍රස්තවාදය අතුගෑ දැමීම තවත් සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් දහස් ගනනකගේ ජීවිත අහිමි වීමෙන් පසු වර්ෂ 2009 දක්වාම කල් තැබුනි. නැවතත් නිවට නායකත්වයක් යටතේ අලු ගසා නැගී සිටින දෙමළ ජාතිවාදීන්ගේ නාගදීප, නයිනතිව් කිරීමේ පුරසාරම් කතා අසා සිටින්නට සිදු වී ඇති මෙම අවස්ථාවේ වර්තමාන යාපනය අර්ධද්වීපය දෙවන සියවසේ නාගදීපය ලෙසින් හැදින්වූ බවට ඇති ප්‍රබලම සාක්කිය හමුවන්නේද යාපනය දීස්ත්‍රික්කයේ එම වඩමාරච්චි කලාපයේ වල්ලිපුරම් ගමෙන් බව පෙන්වාදීම මෙම ලිපියේ අරමුණයි.
වල්ලිපුරම් රන්පත
වල්ලිපුරම් ග්‍රාමයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරි පවතින ගොඩනැගිලි පාදම්, ගඩොල්, වලං කැබැලි, පැරණි කාසි ආදි නටබුන් හමුවන ප්‍රදේශයක් ඇත. එහි පිහිටි විෂ්ණු කෝවිලට අයත් ඉඩමක තිබී වසර ගනනකට පෙර හමු වූ අමරාවති සම්ප්‍රදායේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව මෙම නටබුන් විවාදයක් නොමැතිවම පැරණි බෞද්ධ විහාරයක බව පසක් කරයි (එම ප්‍රතිමාව වර්ෂ 1906 දී හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරයා විසින් සියම් රජුට තෑගි කරයි )

මෙම  විෂ්ණු කෝවිල ප්‍රදේශයෙන් 1936 දී හෝ ඒ ආසන්න වසරකදී අකුරු කෙටූ රන් පතක් හමුවේ. පැරණි ගොඩනැගිලි පාදමක පතුලේ තිබී හමු වූ මෙම රන් පත බ්‍රාහ්මි අක්ෂර වලින් සහ දෙවැනි ශතවර්ෂයේ වෙනත් සෙල්ලිපි ආදියේ හමුවන පැරණි සිංහල භාෂාවෙන් ලියැවි ඇත.  වසභ රජුගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව. 67-111 ) ඉසිගිරිය ඇමතියා විසින් නකදිව පාලනය කරන අවධියේ බදකරඅතනෙ හි පියගුක තිස විසින් විහාරයක් කරවූ බව එම රන් පතින් කියවේ. (මෙම ලිපියේ වෙනත් කියවීමකට අනුව කරඅතනෙහි කල විහාරයේ නම පියගුකතිස වෙහෙර වේ. එවිට එම විහාරය ඉදි කර ඇත්තේ වසභ රජු සහ ඉසිගිරිය ඈමැතියා ලෙස ගත හැක.)

නකදිව - සිංහල 'නක' ශබ්දය පාලියට පෙරලූ විට 'නාග' වේ. ඒ අනුව සිංහලෙන් නකදිව යනු පාලියෙන් නාගදීපයයි.

බදකරඅතන - 'අතන' ශබ්දය වෙනත් සෙල්ලිපි වලද ස්ථාන නාම සමගින් හමුවේ. එවිට බදකරඅතන යනු වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය එවකට හැඳින්වූ නාමය ලෙස ගත හැක.

පියගුකතිස - මහාවංශයේ දුටුගැමුණු රජු හා සම්බන්ධ කතාවකදි පියංඟු දිවයිනේ වැඩසිටි තිස්ස නම් තෙර නමක් ගැන සඳහන් වේ. වල්ලිපුරම් රන්පතේ සඳහන් වන පියගුක තිස යන්න විහාරයේ නම ලෙස ගතහොත් එම විහාරය ඇතැම්විට මෙම පෙර සිටි තෙරණුවන්ගේ නමින් නම් කලා විය හැක. මහනුවර යුගයේ රචිත එවකට වැඳුම් පිඳුම් කල විහාර දේවාල ලේඛනයක් අඩංගු වන නම්පොතේ සඳහන් වන පුවංඟු දිවයින අවිවාදිතවම මෙම පියංඟු දිවයින ලෙස සැලකිය හැක. එය වර්තමාන පුන්කුඩුතිව් විය හැකි බව පරණවිතාන මහතා ඇතුලු විද්වතුන්ගෙ මතයයි.

වල්ලිපුරම් රන්පතින් හෙලිවන වැදගත් කරුණු  මෙලෙස කෙටියෙන් ගෙනහැර දැක්විය හැක : -

  •  එවකට බදකරඅතන ලෙසින් හැදින්වූ වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය පිහිටි යාපනය අර්ධද්වීපය 2 වෙනි සියවසේදී නකදිව හෙවත් නාගදීපය ලෙසින් හැඳින්වූ බව.
  • එහි ප්‍රාදේශීය පාලනය අනුරාධපුරයේ සිට තුන් සිංහලේම පාලනය කල වසභ රජුගේ ඉසිගිර නමැති ඇමැතිවරයා අතින් සිදුවූ බව.
  • එම කාලයේ නාගදීපයේ සිංහල බෞද්ධ ජනතාව විසූ බව සහ ඔවුන් බෞද්ධ වෙහෙර විහාර ඉදි කල බව.
පසුකාලිනව දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ යාපනය අර්ධද්වීපයේ සිංහල ජන වර්ගය කෙමෙන් දකුණු ඉන්දීය සංක්‍රමණික හින්දු ද්‍රාවිඩ ජනයාගෙන් ප්‍රතිස්ථාපනය වුවද සියවස් ගණනාවකට පෙර සිටි එක් පුද්ගලයෙකු කිසිදා කිසිවකුට දැකිය නොහැකි වනු ඇතැයි සිතා තම පුණ්‍ය ක්‍රියාව සටහන් කර තැන්පත් කල රන් පතකින් එම සැඟවුනු ඉතිහාසය ඉස්මතු වූ අයුරු කෙතරම් අපූරුද?

සම්බන්දිත පෙර ලිපි -   


මූලාශ්‍ර
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana Volume IV, 1934-1942, 1943.
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • නම්පොත

Wednesday, November 18, 2015

නාගදීප පුරාණය - සම්බිලිතුරෙයි වූ මහ බෝ වැඩි දඹුලු තොට

මේ හා සම්බන්දිත පෙර ලිපිය මෙතනින් කියවන්න.  නාගදීප පුරාණය - නයිනතිව්නං නාගදීපං?


සම්බිලිතුරෙයි වෙරළ
දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 252-212) කල වෙහෙර විහාර පිළිබද පැවසීමේදි මහාවංශ කතු හිමියන් "...නාග දිවයින දඹකොළ වෙහෙරද, එම පටන්හි තිස්ස මහා විහාරයද, පාචීනාරාමයද යන මේ කර්මාන්තයන්...දෙවන පෑතිස් රජ තෙමේ පළමු වෙනි හවුරුදුයෙහිම කරවී" යනුවෙන් පවසයි. එසේම පෙර සදහන් කල භාතියතිස්ස රජුට පසු රජ පැමිණි ඔහු මලනුවන් වූ කණිටුතිස් රජු (ක්‍රි.ව. 167-186) නාගදීප විහාරයේ ප්‍රතිසංස්කරණ කල බවද සදහන්ය. ඉන්පසු ක්‍රි.ව. 209 සිට 231 දක්වා රාජ්‍යය විචාල වෝහාරිකතිස්ස රජුද නාගදිවයින තිස්ස නම් විහාරය ඇතුලු දිවයින පුරා වෙහෙර සයක ප්‍රාකාර කල බව මහාවංශයේ සදහන් වේ. මහල්ලනාග රජුගේ සය අවුරුදු පාලන කාලය තුල (ක්‍රි.ව. 136-143) කල සත් විහාර අතර නාගදීපයේ සාලිපබ්බත වෙහෙරද සදහන්ය (සුමංගල-බටුවන්තුඩාව සංස්කරණයේ මෙය ඇල්ගිරිය විහාරය ලෙස දැක්වේ)


දඹකොල පටුන - වර්තමාන චෛත්‍යය
මෙහි සදහන් වෙන දඹකොල පටුන හෙවත් ජම්බුකෝලපට්ඨන පිළිබඳ වංශ කතාවේ එන වෙනත් සදහන් කිරීම් විමසා බැලීමෙන් නාගදීපය පිහිටි ප්‍රදේශය පිළිබද කිසියම් අදහසක් ලබාගත හැක. ධර්මාශෝක රජු හමුවීමට ගිය දේවානම්පියතිස්ස රජුගේ ධූත පිරිස ඒ සදහා පිටත්වුවේ  සහ නැවත පැමිණියේ දඹකොල පටුනටය. එසේම ශ්‍රී මහා බෝධිය රැගෙන සංඝමිත්තා තෙරණිය පැමිණෙන්නේද දඹකොල පටුනටය. ඒ සම්බන්ධ විස්තරයේදී මහාවංශයේ එන සදහන මෙහිදි සලකා බැලීම වැදගත්ය."...නුවර උතුරු දොරින් දඹකොළ පටුන් මහ මග දක්වා සියලු මාර්ගය අලංකෘත කරවා..." මේ අනුව නුවර උතුරු දොරටුවෙන් නික්මී දඹකොළ පටුනට යන මඟ විහිදි ඇති බව පෙනේ. ඒ නයින් දඹකොළ පටුන පිහිටියේ අනුරාධපුරයට උතුරු දෙසින් බවට ඉඟියක් ලැබේ. කොඩ්රිංටන් මේ අනුව පුරාණ දඹකොල පටුන යනු වර්තමානයේ කන්කසන්තුරෙයි අසල පිහිටි සම්බිලිතුරෙයි ලෙස හඳුනාගනී.

 දඹකොල පටුනේ සමුද්‍රපන්නශාලා යනුවෙන් පසුව ශාලාවක් සෑදු බව සහ එම මහාබෝධිය නැවින් ගොඩ නැඟී පිහිටි තන්හි එක් අෂ්ඨ ඵල බෝධියක්ද පිහිටවූ බව මහාවංශයේ වැඩිදුරටත් සදහන් වෙයි. කුරුණෑගල යුගයේ 4 වන පැරකුම්බා රජු කල (ක්‍රි.ව. 1325-1333) විල්ගම්මුල මාහිමියන් රචනා කල සිංහල බෝධිවංසයට අනුව පාලියෙන් ජම්බුකෝලපට්ටන යනුවෙන් හැදින්වුන මෙම ස්ථානයේ එවකට භාවිතා වූ සිංහල නම වනුයේ දඹුලු තොටය. අෂ්ඨඵල බෝ පිහිටුවීම විස්තර කරමින් සිංහල බෝධිවංසය මෙසේ පවසයි. "එයින් එක් බෝ පැළයක් සමුද්‍රතීරයෙහි සිට එන ගමනේ මහා බෝධීන් වහන්සේ පිහිටි තැන දඹුලු තොට රෝපණය කෙළේය".  හීනටිකුඹුරේ සුමංගල හිමියන් රාජාධිරාජසිංහ රජුගේ හත්වන වර්ෂයේ එනම් ක්‍රි.ව. 1787 ලියන ලද සුළු බෝධිවංසය  එම ස්ථානය හඳුන්වන්නේ දඹකොලපටුන්න ලෙසය.මීට අමතරව 11 වන සියවසේ විජයබාරජු (ක්‍රි.ව. 1055-1110) ප්‍රතිසංස්කරණය කල වෙහෙර විහාර අතර දඹකොළ වෙහෙරද ඇතුලත්ය


මහ බෝ වැඩි ලෙස සැලකෙන දඹකොල පටුන 
ඒ අනුව නාගදීපයද අනුරාධපුරයට උතුරු දෙසින් පිහිටි ප්‍රදේශයක් ලෙස ගිණිය හැක. එසේම දඹකොළ පටුන යනු වර්තමාන සම්බිලිතුරෙයි ලෙස පිලිගන්නේ නම් නාගදීප යනු වර්තමාන යාපන අර්ධද්වීපය විනා නයිනතිව් ලෙසින්ද හැඳින්වෙන කුඩා දූපත නොවන බව වටහා ගත හැක.

වල්ලිපුරම් රන්පතින් තහවුරු වන නාගදීප ඉතිහාසය මී ලගට සලකා බලමු.

මූලාශ්‍ර
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, Ph.D, 1912.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • හීනටිකුඹුරේ සුමංගල හිමියන් ලියූ සුළුබෝධිවංසය, සංස්කරය - ආචාර්ය සෝමපාල ජයවර්ධන, 1991
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996

Monday, November 16, 2015

නාගදීප පුරාණය - නයිනතිව්නං නාගදීපං?


වර්තමාන නාගදීප විහාරය
2015 ජනවාරි 8 සිදුවූ ඊනියා "යුග පෙරලියත්" සමග ලැබුනු නිදහස සමගින් යලිත් අවදි වී සිටින ඊලාම්වාදීන් හට නාගදීපය නමින් අද හැඳින්වෙන කුඩා දූපත නයිනතිව් කිරීමට හදිසි රුදාවක් පහල වී ඇත.  කලක පටන්ම එම ප්‍රදේශයේ දෙමළ ජනතාව එම දූපත නයිනතිව්  ලෙස හඳුන්වන මුත් දකුනේ සිංහලයන්ට අදටත් එය නාගදීපය විනා නයිනතිව් නොවේ. කාලයත් සමග විවිධ ප්‍රදේශ වල නම් වෙනස් වීම ස්වභාවිකය. ඇතැම් විට ඉදිරි කාලයේදි දකුනේ සිංහලයන්ටද එය නයිනතිව් ම විය හැක. එසේ සිදුවන ස්වභාවික වෙනස්වීමට පටහැනිව කෘතිමව නම් වෙනස් කිරීමට යෑමෙන් පෙනීයන්නේ ඊලාම්වාදීන්ගේ සැමදා නොසන්සිදෙන ජාතිවාදී, වර්ගවාදී උවමනාවන් විනා අන් යමක් නොවේ. අප මෙහිදි සිදු කිරීමට යන්නේ නාගදීපය යන නමින් අතීතයේ හැඳින්වූ ප්‍රදේශය පිලිබදව පිලිගත හැකි සාධක අනුසාරයෙන් විවරණයක යෙදීමටය.

පැරණිම වංශ කතාව ලෙස සැලකෙන දීපවංශයේ (4 වැනි සියවස*) නග්ගදීප යනුවෙන් හැඳින්වෙන දූපතක් ගැන කියවෙන්නේ විජය ඇතුලු පිරිස පිටිවහල් කිරීමේදීය. සීහපුරයේ වැසියන්ට විජය සිදු කල කෲර කම් ඉවසා සිටිය නොහැකිව ජනයා ප්‍රකෝපවී රජුට පැමිණිලි කල කල්හී රජු එම පිරිසේ විජය ඇතුලු පිරිමින් එක් නැවකටද, ගැහැණුන් තවත් නැවකටද, කුඩා ලමයින් තුන්වෙනි නැවකටද පටවා රටින් පිටුවහල් කරයි. මින් ලමයින් සිටි නැව මුහුදේ ගසාගෙන ගොස් නවතින දූපත ඉන්පසුව නග්ගදීප (Naggadipa) නමින් පතල වූ බව එම වෘතාන්තයේ පැවසෙයි. 5 වන සියවසේ රචිත මහාවංශයේද එන මෙම සඳහන ගයිගර් සිය මහාවංශ සංස්කරණයේ 'නග්ග' යනු 'නිරුවත්' බැවින්  'නග්ගදීප' යනු 'ලමුන්ගේ දූපත' (Island of children from nagga 'naked')  යනුවෙන් අර්ථකතනය කරයි. කෙසේ නමුත් හික්කඩුවේ සුමංගල හිමියන් සහ බටුවන්තුඩාවේ පඬිතුමන්ගේ මහාවංශ සංස්කරණයේ මෙම සඳහන නොමැති අතර 'කුමරුවන් පිහිටි දිවයින මහින්ද්විපය යයි වී' යනුවෙන් සඳහනක් පමණක් ඇත. මහාවංශයේ නවතම සංස්කරණය වූ ආනන්ද ගුරුගේ මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනයේ මහාවංශයේ 6 වන පරිච්ඡේදයේ 45 වන ගාථාවේ දරුවන් පැමිණි දූපත නග්ගදීප ලෙසත් බිරියන් ගොඩ බට දිවයින මහිලාදීප ලෙසත් ඉන්පසු හැදින්වූ බව සදහන් වේ. (The island where the children landed, was known as Naggadipa and the island where the wives landed, as Mahiladipa) එසේම මහාවංශයට කල ටීකාව වන වංසත්ථප්පකාසිනියේද මෙය එලෙසින්ම සඳහන් වේ. ජනකතාවක් ඇසුරින් මෙරට වංශකතාවට ඇතුලු වූ මෙම ප්‍රබන්ධයේ විශ්වාසනීයත්වය පිළිබද ගැටලු ඇත. දීපවංශය සහ මහාවංශය ලියවෙන කාලයේ සහ ඉන් පෙර නග්ගදීපය නම් දිවයිනක් පිළිබද  වංශකතාකරුවා දැන සිටි බව මින් අදහස් වන ලෙස පමණක් පිළිගන්නේ නම් එය වර්තමාන නාගදීපයද නැතහොත් මෙරට සහ ඉන්දියාව අතර පිහිටි වෙනත් දූපතක්ද යන්නද  නිශ්චිතව කිව නොහැක.

කෙසේ නමුත් මෙයට පෙර අවස්ථාවකදී බුදුන් වහන්සේගේ දෙවැනි ලංකාගමණය විස්තර කිරීමේදී නාගදීප යනුවෙන් වූ දිවයිනක් ගැන මහාවංශයේ සදහන් වේ. මෙම විස්තරයම දීපවංශයේද එන මුත් චුලෝදර සහ මහෝදර නම් වූ නා රජවරුන් දෙදෙනා අතර ඇති වූ එම සටන සිදුවූවේ ලංකාද්වීපයේ හෙවත් තම්බපන්නියේ කියනු විනා නාගදීප හෝ වෙනත් විශේෂ ප්‍රදේශයක් පිළිබද සදහනක් දීපවංශයේ නොයේ. මහාවංශ කතෲ දක්වන පරිදි මිණිපළහක් හේතුකොට ගෙන ඇතිවූ එම යුද්ධය දැක බුදුන් වහන්සේ එය වැලැක්වීම සඳහා "...නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක" යනුවෙන් සදහන් කරන බැවින් එය මෙරට පිහිටි ප්‍රදේශයක් හෝ ආසන්න දූපත් රාජ්‍යයක් බව හැඟේ. එසේම මහෝදර නම් නාගයාගේ මයිල් වූ මණි අක්ඛිත නම් වූ කැලණියේ විසූ නා රජෙකු ගැනද එම කතාවේ සඳහන් වෙන බැවින් සහ ජේතවනය අසල කිරිපලුරුකක වැඩ හුන් සමිද්ධි සුමන නම් වූ දේවතාවෙක්ද එම රුකත් රැගෙන බුදුන් වහන්සේ සමඟ එය ඡත්‍රයක් ලෙස බුදුන් වහන්සේගේ හිසට ඉහලින් අල්ලාගෙන නාගදීපයට පැමිණි බව පවසන බැවින් සහ එම දේවතාවා පෙර ආත්මයක නාගදීපයේ මනුස්සයකු ලෙස විසූ බව පවසන හෙයින් කිසියම් අදහසක් මෙම වෘතාන්තයෙන්ද අපගේ මාතෘකාවට අදාල කරගත හැක. පෙර කතාව මෙන්ම බුදුන් වහන්සේගේ ලංකාගමණය පිළිබඳව මහාවංශයේ එන සදහන්ද අපගේ වංශකතා හැර වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු කල නොහැකි බැවින් සහ ඒවාහි සඳහන් අතිශයෝක්තියට නැගූ පුරාණෝක්තිගත (Mythical) බව හේතුවෙන් ඓතිහාසික සත්‍ය අසත්‍ය බව පිළිබඳ ගැටලු පැණනගී. කෙසේ නමුත් එම කිරිපලු රුක නාගදීපයේ පිහිටවූ ස්ථානයේ රාජායතන චෛත්‍යය පිහිටවූ බව සඳහන් වීමේන් සහ ඒ පිළිබඳව වංශ කතා වල පසු කලක නැවත කෙරෙන සදහන් ආශ්‍රයෙන් නාගදීපය පිහිටි ප්‍රදේශය පිළිබඳ යම් වැටහීමක් ලබාගත හැක.

නාගදීපය හෙවත් නයිනතිව් දූපත

පූජාවලියේ දැක්වෙන පරිදි භාතියතිස්ස රජු (ක්‍රි. ව. 143-167 "නාගදිවයින කිරිපලු ගස මුල කිරිපලු දාගෙය" කරවන ලදී. භාතියතිස්ස රජු කල වෙනත් විහාර සම්බන්ධ විස්තර දක්වන මුත් මෙම කිරිපලු දාගෙය සම්බන්ධ කිසිදු සඳහනක් මහාවංශයේ නොමැත. පූජාවලිය ලියවෙන්නේ ක්‍රි. ව. 1266 දී පමණ වන බැවින් පූජාවලියට මෙම කරුණු පැමිනියේ මහාවංශය නොවන වෙනත් මූලාශ්‍රයකින් නොවේ නම් අවම වශයෙන් එම කාලයේ එනම් 13 වන ශතවර්ෂයේ නාගදිවයින යනුවෙන් ප්‍රදේශයක් හා එහි කිරිපලු දාගෙය නම් වූ ස්ථානයක් තිබූ බවට පූජාවලි කතෲ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් දැනසිටි බවට වඩා වැඩි යමක් මෙයින් ගත නොහැක. නමුත් එම ස්ථානය මින් පෙර සදහන් වූ රාජායතන චෛත්‍යය පිහිටි ස්ථානය බව නම් විවාදයක් නොමැත. 17 වන සියවසේ අග භාගයේ පමණ රචිත රාජාවලියද පූජාවලිය අනුව යමින් "භාතියතිස්ස රජ කිරිපලු  වෙහෙර කරවා පූජා කර..." යනුවෙන් සදහන් කරයි. කෙසේ නමුත් මහාවංශයේ 41 වන පරිච්ඡේදයේ දැක්වෙන පරිදි කුඩා අක්බෝ නමින්ද හැඳින්වූ දෙවෙනි අග්ගබෝධි (ක්‍රි. ව. 597-606) රජු "නාග දිවයින රාජායතන ධාතු ගෘහයද , උණු ලොම් ගෙයද, ආමල චෛත්‍යයෙහි සැතද (කරවා) විහාරයට කැඳ දන් පිණිස තත්තග්‍රාමය දින" යනුවෙන් එන සදහනින් නාගදිවයිනේ වූ රාජායතන ධාතු ගෘහය හා අනිකුත් විහාර ආරාම ආදියේ ඉතිහාසය නිසැකවම 6 වැනි ශතවර්ෂයේ අවසානය දක්වාම ගෙන යා හැක.

මෙම සියලු දත්ත පාදක කරගනිමින් අපට පැවසිය හැක්කේ. මෙරට කිසියම් වූ ප්‍රදේශයක නාගදීපය යනුවෙන් ප්‍රදේශයක් තිබූ බව සහ එම නම අවම වශයෙන් 17 වන සියවසේ අවසානය දක්වාම ඒ ආකාරයෙන්ම පැවති බවත්, එහි රාජායතන දා ගෙය හෙවත් කිරිපලු වෙහෙර නමින් වූ වෙහෙරක් තිබූ බවත්, එම විහාරයේ ආරම්භය වංශ කතාවේ දැක්වෙන පරිදි බුද්ධ කාලයට කෙසේ වෙතත් 2-6 වන සියවස් තරම් වත් පැරණි බවත් පමණි. අනික් අතට එම ස්ථානයේ ඒ වන විටත් මිනිසුන් වැඳුම් පිඳුම් කරන පැරණි කිරිපලු ගසක් තිබෙන්නට ඇති බවත් ඒ හා සම්බන්ධ ජනප්‍රවාදය 4-5 සියවස් වල රචිත වංශ කතා තුලටත් බුදුන් මෙරටට වැඩමවීමේ කතා ආශ්‍රයෙන් ඇතුලු වෙන්නට ඇති බවත් උපකල්පනය කල හැක. නාගදීපය යනු වර්තමානයේ අප නාගදීප/නයිනතිව් නමින් හඳුන්වන දූපතද නොමැති නම් මුලු යාපන අර්ධද්වීපයද යන්න වංශ කතා සහ සෙල්ලිපි සාධක ඇසුරින් මතුවට විමසා බලමු.

මූලාශ්‍ර
  • The Dipavamsa edited by Dr. B.C. Law, The Ceylon Historical Journal, Vol VII. Nos 1-4, 1957 & 1958
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record, Hermann Oldenberg, 1879.
  • *පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966 
  • *The Pali Literature of Ceylon, G.P. Malalasekera, 1928.
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, Ph.D, 1912.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.