ඩෙල්ෆ්ට් හෙවත් නෙදුන්තිව් යනුවෙන් හැදින්වෙන දූපතේ වයඹ දිශාවේ වෙරලාසන්නයේ පිහිටි නටබුන් වූ බලකොටුවක් පිළිබද පලමුවරට සදහන් වෙන්නේ Penn යන නමින් කිසියම් පුද්ගලයකු Colombo Journal පුවත්පතට 1832 දී ලියූ ලිපියකය. Fire King's Fort යනුවෙන් එය හඳුන්වන ඔහු යාර 62 ක පරිධියෙන් සහ අඩි 20 ක පමණ උසින් යුත් එහි නැගෙනහිරින් සහ බටහිරින් පිහිටා තිබූ පඩි පේලි දෙකක නටබුන් එවකට දැකිය හැකිව තිබූ බවද පවසයි. එහි බාහිරින් හුණු පිරියම් කර තිබූ බවද සදහන් කරන හෙතෙම මෙය ඔහු දැක ඇති අනෙකුත් බලකොටු වලට කිසිදු සමාන කමක් නොමැති මුත් උඩරට ප්‍රදේශවල ඇති දාගැබ් වැනි (Dagoba's in the Kandyan territory) බව පවසයි. මෙම විශාල ගොඩැල්ලට අමතරව එයට ආසන්නයේ පිහිටි වෙනත් කුඩා දාගැබ් (Temple) හතරක වෘත්තාකාර පාදම් ගැනද ඔහු සදහන් කරයි. ඒවාද හුනු පිරියම් කර තිබූ ඝාණ්ඨාකාර (Bell-shaped) හැඩැති බව ඔහු පවසන මුත් පාදම් වලින් පමණක් එහි ඝාණ්ඨාකාර හැඩය පැවසුවේ කෙසේද යන්න පැහැදිලි නැත.
ප්‍රධාන චෛත්‍ය ගොඩැල්ල |
වර්ෂ 1909 දී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ඩෙල්ප්ට් දිවයින සම්බන්ධයෙන් ලිපියක් සපයන J. P. ලුවිස් (J.P. Lewis), Penn යන නමින් ලියූ ඉහත ලේඛකයාගේ ලිපියේ කොටස්ද උපුටා දක්වමින් පවසන්නේ ඔහු Fire King's Fort යනුවෙන් මෙම කොටුව හඳුවන මුත් ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ වෙඩි අරසන් එනම් Hunter King වියයුතු බවය. 1903 ඔක්තෝබර් මාසයේදී ඔහු එහි නටබුන් පිරික්සා බැලූ බවත්, දූපත්වාසින් මෙය වෙඩි අරසන් නම් වූ මුක්කුවා රජුගේ බලකොටුවක් (Vedi Arasan's Fort) බව විශ්වාස කරන බවත්, වර්තමානයේ කොරල් ගල් ගොඩක් මුත් කලකට පෙර එය සතරැස් කොටුවක්ව තිබෙන්නට ඇති බවත් පවසයි. පඩි පේලි ඇතුලු මුලින් කී ලේඛකයා සදහන් කරන කිසිවක් දැන් නොමැති බවත්, එම විස්තරයට අනුව මෙය කිසිදු ලෙසකින් පෘතිගීසි කොටුවක් විය නොහැකි බවත්, කොටුව තුල පන්සල් තිබීමෙන් පෙනී යන්නේ එය ස්වදේශිකන්ගේ බලකොටුවක් බවත් ලුවිස් වැඩිදුරටත් සදහන් කරයි.
කුඩා චෛත්‍යක නටබුන් |
ඉහල - මැටි පහනක්?, පහල - පාදම් ගලක් |
ඉන්පසු 1949 ජුලි 15 වෙනි දින D.T. දේවේන්ද්‍ර මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් මෙම නටබුන් වල නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව රාජකීය ආසියාතික සංගමයේ 1969 කලාපයට ලිපියක් සපයමින් පවසන්නේ වෙඩි අරසන් කෝට්ටෙයි (Vedi Arasan Kottai) එවකට අඩි 8ක් උස ගොඩැල්ලක් බවත් එය ආසන්නයේ වෘත්තාකාර වෙනත් ගොඩැල්ලක්ද දුටු බවත් ලූනු වගාවක් එය ආසන්නයට පැතිරෙමින් තිබූ බැවින් නුදුරේදිම රජයට අයත් මෙම ස්ථානය එමගින් ආක්‍රමණය විය හැකි බවත්ය. එම ගොඩැලි වල තිබූ කැටයම් කල කොරල් ගල්, මැටි උළු, ගඩොල්, පහන්, සහ සියල්ලටම වඩා වැදගත් ලෙස සැලකිය හැකි කොත් කැරැල්ලක කොටසක් මගින් මෙය අනිවාර්යෙන්ම දාගැබක නටබුන් විය යුතු බව එතුමා පවසයි. පසුව එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ සෙනරත් පරණවිතාන මහතාද ඔහුගේ මෙම හඳුනාගැනීම තහවුරු කරයි.
මේ සමග පලවෙන්නේ එම ස්ථානයේදි අප විසින් වර්ෂ 2010 දි ගත් ඡායාරූපය. උතුරු නැගෙනහිර ඉපැරණි බොදු උරුමය මතු කරන තවමත් විද්‍යාමාන මෙවන් සාධක වල වර්තමාන ඉරනම කුමක්ද?
මූලාශ්‍ර
- Notes & Queries - A Ruined Dagaba in Delft, Devendra D.T., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume XIII, 1969.
- Notes on Delft, Lewis J.P., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume XXI, 62, 1909
උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ බෞද්ධයන් පවා ඉඳලා තියෙනවා. පසුකාලීන අන්තවාදීන් විසින් සමහර බෞද්ධ සිද්ධස්ථාන කෝවිල් බවට පත්කළ බවත්, සමහර ඒවා විනශ කර ඇතිබවත් කියවන්නට ලැබුණා. භූෂණ වැනි තොරතුරු දන්නා අය, හැකි පමණ මේ විස්තර පළ කිරීමෙන්, අපේ අනාගත පරපුර මේ ගැන ඇත්ත ත්ත්ත්වය දැනගනීවි.
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීමට. උතුරු නැගෙනහිර පැති වල විතරක් නෙමේ වයඹ, උතුරු මැද වැනි ප්‍රදේශ වලද ද්‍රවිඩ සෙල්ලිපි හමුවෙනවා. ඒ පැති වල ද්‍රවිඩයන් සිටි බවත් දැක්වෙන සාධක තියෙනවා. හැබැයි ඔවුන් බෞද්ධයන් බවට පැවසිය හැකි සාධක මා දන්නා තරමින් නැහැ. උතුරු සහ නැගෙනහිර පැති වල බෞද්ධ විහාර නටබුන් හමුවෙන තැන් වල හමුවෙන්නේ සිංහල සෙල්ලිපි. පසුකාලීනව නිධන් හොරුන් මෙන්ම අන්තවාදීන්ද මේවා විනාශ කලා. එය සත්‍යයක්. මෙම පෝස්ට් එකේදි පවා මා සිංහල බෞද්ධ උරුමය යනුවෙන් සදහන් නොකලේ ඩෙල්ෆ්ට් දූපතේ බෞද්ධයන් සිටි බවට මෙය සාධකයක් වුවද ඔවුන්ගේ ජන වර්ගය සිංහලද දෙමළ ද යන්න පැහැදිලි නැති බැවිනි. මෑත කාලයේදි මෙම ස්ථානයෙන් සිංහල සෙල්ලිපි දෙකක් හමුවූ බවට වූ පුවත්පත් වාර්තාවක් පලවූ නමුත් ඒ සම්බන්ධ වෙනත් පිලිගත හැකි මූලාශ්‍රයක් නොදුටු බැවින් ඒ ගැන සදහන් කිරීමෙන් වැලකී සිටියෙමි.
Deleteඅපේ ඉතිහාසය වලලන්න යන, රට ජාතිය ගැන කතා කිරීම ජාතිවාදය හැටියට හඳුන්වන අවාසනාවන්ත යුගයක ජාතිය අවධිකරවන අපේ උරුමය සිහි කැඳවන වැදගත් තොරතුරු ටිකක් ඉදිරිපත් කළාට බොහොම ස්තුතියි. දිගටම ලියන්න.
Deleteස්තුතියි දිරි ගන්වන වදන් වලට :)
Deleteවිශිෂ්ඨ ලිපි පෙලක්
ReplyDelete