Sunday, February 17, 2019

පරුමක තිශ පුත බමදත, සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට, උමා ඔය නිම්නයේ බෝගොඩදි පිදූ ලෙන

මලය රට හෙවත් මලය දේශය යනුවෙන් හැඳින්වූ පැරණි ප්‍රදේශය පිළිබඳව මෙයට පෙරද පලවූ ලිපි දෙකකින් කරුණු ඉදිරිපත් කර ඇත.
පර්වත දුර්ග සහිත සහ චණ්ඩ සත්වයන් ගැවසෙන, අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයකින් (අඩි පාරවල් වලින්) යායුතු වූ, ගැඹුරු ජලයෙන් යුතු මලය දේශය පිළිබඳව එම ලිපි වල උපුටා දැක්වූ කරුණු වලට අමතරව තවත් විශේෂ සඳහනක් පාළි විනය පිටකයට බුද්ධඝෝෂ හිමියන් විසින් මහානාම රජුගේ (ක්‍රි.ව. 406-428) රාජ්‍ය කාලයේ කල ලෙස සැලකෙන සමන්තපාසාදිකා නම් අටුවා ග්‍රන්ථයේ දැක්වේ. පාලි විනය පිටකයේ දැක්වෙන්නේ 'ගාම' යනුවෙන් හැඳින්වෙන්නේ 'කුටි' එකකින් හෝ දෙකකින් හෝ තුන හතරකින් හෝ සමන්විත වූ ප්‍රදේශයක් බවය. එවකට ලියැවී තිබූ හෙළ අටුවා අනුසාරයෙන් බුද්ධඝෝෂ හිමියන් විසින් පෙල බසින් සම්පාදනය කරන සමන්තපාසාදිකාවේ මෙම සඳහන විවරණය කරමින් මෙහි
'කුටි' ලෙසින් හැඳින්වෙන්නේ 'ගෙහ' (සිං: ගෙය) බවත් 'එක් ගෙයකින් පමණක් සමන්විත වූ ගම් මලය ජනපදයේ ඇති බවත්' පවසයි.
සෙල්ලිපිය සහිත ලෙන සහ ඒ තුල ඉදිකර ඇති විහාරගෙය
ඒ අනුව මලය ජනපදය එම යුගය වන විටත් අඩු ජන ඝනත්වයක් සහිත ගම් වලින් යුක්ත වූ බව පෙනේ. එම ගම් පවා එකිනෙක අතර බොහෝ දුරස්ථ ලෙසින් පිහිටා තිබෙන්නට ඇත. පුරාතණ සහ මධ්‍යතන යුගයන් වලට අදාලව මෙරට හමුවන බොහෝ නටබුන් ගොඩනැගිලි හමුවන්නේ පැරණි රජරට සහ රුහුණු රට ලෙස සැලකෙන වියලි තැනිබිම් වලින් විනා කඳුකර ප්‍රදේශ වලින් නොවීම මෙම අදහස තව දුරටත් තහවුරු කිරීම සඳහා සාධක ලෙස ඉදිරිපත් කල හැක. කෙසේ නමුත් මලය රටට අයත් ප්‍රදේශ වල මුල් ඓතිහාසික යුගයේ පටන්ම ජනාවාස තිබූ බවට තොරතුරු මධ්‍ය කඳුකරයට අයත් ප්‍රදේශ වල අතරින් පතර හමුවන කටාරම් කෙටූ ලෙන් වලින් සහ ඒවායෙහි කොටා ඇති මුල් බ්‍රාහ්මී (Early Brahmi Inscriptions) හෝ අපර බ්‍රාහ්මී (Late Brahmi Inscriptions) ලෙන් ලිපි වලින් විද්‍යාමානවේ. බොහෝවිට ගංගා නිම්න හෝ ඒවායේ අතු ගංගා ආශ්‍රිතව හමුවන සාපේක්ෂව තැනිතලා සරුසාර භූමිය මෙම මුල් ජානපදිකයන්ට වාසස්ථාන මෙන්ම ගොවිතැන් කටයුතු උදෙසා අවශ්‍ය පහසුකම් වලින් යුක්ත වූ බව පෙනේ. මහවැලි ගඟට එක්වන අතු ගංගාවක් වන උමා ඔය නිම්නයේ පිහිටි එවන් ලෙන් ලිපියක් ගැන විස්තර ඉදිරිපත් කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් මෙම ලිපියෙන් අවධානය යොමුවේ.
ගල්ලන්දා ඔය සහ බෝගොඩ පැරණි ලී පාලම
සුප්‍රසිද්ධ බෝගොඩ පාලම මෙරට බොහෝ දෙනෙකු සංචාරය කර ඇති හෝ අවම වශයෙන් අසා ඇති තැනක් මුත් එම සංචාරකයන්ගෙන් බහුතරය අසල ඇති ලෙන් විහාරයේ කටාරමට පහලින් කොටා ඇති ලිපිය කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරයි. මෙරට ලෙන් විහාර සියල්ලකම පාහේ පැතිර ඇති, නැතිනම් පතුරවා ඇති වළගම්බා රජු සැඟවී සිටි තවත් එක් ලෙනක් යන ජනකාන්ත මිත්‍යාව පවසන විහාරවාසී භික්ෂූන්වහන්සේ නමකගේ හෝ මාර්ගෝපදේශකයෙකුගේ යාන්හෑලි එයට වඩා ඔවුන්ට ආකර්ෂණීය වන්නා සේය. ඇතැම් විට වළගම්බා රජු මෙම ලෙනේ සිට බණ්ඩාරවෙල- බදුල්ල පාරේ හමුවන දෝව රජමහාවිහාරය දක්වා ගමන් කල උමගේ කටද ඔවුන් ඔබට පෙන්වනු ඇත. එහි අනෙක් කොන එම දෝව රජමහාවිහාරයේදී අසා බලා ගත හැක.

බෝගොඩ ලෙන් ලිපිය
පරුමක තිශ පුත බමදතශ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ පඩිටිතෙ

මෙහි අර්ථය වනුයේ පරුමකවරයෙකු (එනම් ප්‍රධානියෙකු) වූ තිශ (පාලි: තිස්ස) ගේ පුතු වූ බමදතගේ ( පාලි: බ්‍රහ්මදත්ත) ලෙන එනම් ඔහුට අයත්ව තිබූ ලෙන සිව් දෙසින් පැමිණි සහ නොපැමිණි සංඝයාට පිහිටවූ බවයි.

ඉහත ලිපියට පහලින් තවත් ලිපියක මුල් කොටස පමණක් දැකගත හැකි අතර එහි උපසික (එනම් උපාසිකා) යන වචනය පමණක් කියැවිය හැක.
ලෙන් ලිපිය
බ්‍රාහ්මි අක්ෂර
භාරතයේ විවිධ ප්‍රදේශ වලින් හමුවන අශෝක අධිරාජ්‍යාගේ ආඥා ලියාතැබූ සෙල්ලිපි වල භාවිතා වන අක්ෂර මාලාව පුරාවිද්‍යාඥයන් විසින් 'බ්‍රාහ්මි අක්ෂර' ලෙසින් හඳුන්වයි. එම හැඳින්වීම 3 වන ශතවර්ෂයේ පමණ රචිත ලෙස සැලකෙන ලලිතවිස්තර නම් වූ ග්‍රන්ථයක එන විවිධ ආකාරයේ වූ අක්ෂර මාලා පිළිබඳ හැඳින්වීමක දැක්වෙන වචනයක් ආශ්‍රයෙන් ඔවුන් භාවිතයට ගෙන ඇතත්, එම අකුරු භාවිතා වූ ලෙස සැලකෙන ක්‍රි.පූ 3 වන ශතවර්ෂයේ සිට 3 වන සියවස දක්වා වූ මුළු කාලය පුරාම 'බ්‍රාහ්මි අක්ෂර' යන හැඳින්වීම ඒවාට යොදාගත්තේද යන්න පැහැදිලි නැත.
බෝගොඩ අසල උමා ඔය නිම්නයේ හෙල්මලු වී වගාව
මෙරටට 'බ්‍රාහ්මි අක්ෂර' හඳුන්වාදීම මහින්දාගමනයත් සමග බෞද්ධාගම මෙරට පැමිණීමත් සමග සිදුවූ ලෙස පොදු පිළිගැනීම වුවත් එයට පෙර සිටම එම අක්ෂර මෙරට භාවිතා වූ බවට සාධක මෑත කාලයේදී ආචාර්ය සිරාන් දැරණියගල, මහාචාර්ය රාජ් සෝමදේව වැනි පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂණ තුලින් හමුවී ඇත. කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට අදාල සෙල්ලිපිය පැහැදිලිවම බුද්ධාගම මෙරටට හඳුන්වාදීමට පසුව පිහිටවූ බවට එහි අන්තර්ගතය අනුව වටහා ගත හැක. අඩු වැඩි වශයෙන් මෙම යුගයට අයත් බොහෝ ලෙන් ලිපි වල මෙම වචනම උපයෝගි කරගනිමින් කිසියම් පුද්ගලයෙකු සතුව පැවති ලෙනක් සඟ සතු කල බව යන කෙටි සදහන පමණක් හමුවේ. මෙහිදි එම පැවරීම එක් විශේෂිත සංඝයා වහන්සේ කෙනෙකුට නොව සතර දෙසින් පැමිණි සහ නොපැමිණි (එනම් අනාගතයේදී පැමිණීමට ඉඩ ඇති) සංඝයා වහන්සේ වෙත පවරා ඇත. වෙනත් ලෙසකින් පැවසුවහොත් එම පැවරීම සිදු කර ඇත්තේ සංඝ සමාජයට විනා එක් සුවිශේෂි තෙර නමකට නොවේ.
බෝගොඩ අසලදී උමා ඔය
 ඒ අනුව මෙම ප්‍රදේශයේ ක්‍රි.පූ. 3 වන සියවසත් 1 වන සියවසත් අතර කාලයේ පවා ජනාවාස පැවති බවත් ප්‍රභූ සමාජයේ පරුමකවරුන්ට අයත් ලෙන් බුදු සමය පැමිණීමත් සමග භික්ෂුන් වහන්සේගේ වාසය සඳහා පවරා දීම් සිදු වූ බවටත් පැහැදිලි වේ. උමා ඔයට ගලා බසින ගල්ලන්දා ඔය ලෙසින් අද හඳුන්වන ඔය ඉවුරේ ඇති මෙම ලෙන තුල දැනට මහනුවර යුගයේ හෝ ඉන්මෑත යුගයේ ඉදි කල විහාරගෙයක් ඇති අතර ගල්ලන්දා ඔයෙන් එතෙර වීමට තනා ඇති බෝගොඩ පාලමද මහනුවර යුගයේ සිදු කල ඉදිකිරීමක් බව විශ්වාස කරයි. එම පාලම වැටී ඇත්තේ පැරණි බදුල්ල- මහනුවර මාර්ගය ඔස්සේ බවට මෙයට පෙර ලිපියකදී කරුණු ඉදිරිපත් කර ඇත (එම ලිපිය කියවීමට Link>>)

මූලාශ්‍ර
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966
  • පෞරාණික ස්ථාන සහ ස්මාරක. බදුල්ල දිස්ත්‍රික්කය, නිලන්තිකා ප්‍රියදර්ශනී, ප්‍රියන්ගා ප්‍රියදර්ශනී, 2017
  • Social And Cultural History of Ancient Sri Lanka, S.B. Hettiaratchi, 1988

Sunday, February 10, 2019

මොනරගල් බුද් දස ඇතුන් කරවා බුදු බව පැතූ නිල්ලක්ගම බෝධිඝරය

"මොනරගල් බුද් මි මෙ දස ඇතුන් කරවා මහබොහි පිදූ පින්හි බෙලෙන් අනුත්තර සම්මා සම්බුදු වෙම්වා"

මොනරගල බුද් වන මා මෙම ඇතුන් දස දෙනා කරවා මහබෝධියට පිදු පින් බලෙන් අනුත්තර සම්මා සම්බුදු වෙම්වා යැයි 9-10 සියවස් වලට අයත් සිංහල අක්ෂර වලින් ලියා තැබූ ඉහත සෙල්ලිපිය හමුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, වන්නිහත්පත්තුවේ නිටලව අසල නිල්ලක්ගම පිහිටි නිල්ලක්ගම බෝධිඝරය ලෙසින් හැඳින්වෙන දැනට සංරක්ෂණය කර ඇති පැරණි නටබුන් වූ ගොඩනැගිල්ලේ, බස්නාහිර දොරටුවට වම් පසින් වූ පිටත බිත්තියේ ඇත් පවුරට පහලින් වූ අත්තිවාරම් ගලෙහිය. එම සෙල් ලිපියට ඉහලින් ඇත් පවුරේ වූ සෙල්මුවා ඇතුන් දසදෙනෙකු ඔහු කරවූ බවය ඉන් පැවසෙන්නේ.
මොනරගල් බුද් විසින් කරවූ ඇතුන් දස දෙනා (ඉහල) සහ එම සෙල් ලිපියේ කොටසක් (පහල)
1895 වසරේ මෙම ස්ථානයට පැමිණි H.C.P. බෙල් මහතා ගම්මුන් විසින් "දළදා මාලිගාව" ලෙසින් හැඳින්වූ නිටලව (Nittalawa) අසල නිල්ලක්ගම (Nilakgama) පිහිටි තනි නටබුන් ගොඩනැගිල්ලක් පිළිබඳව එම වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් කරයි. එහි තිබූ අලංකාර ශෛලමය සිංහ, හස්ති සහ හංස රූප ගැනද ඔහු එම විස්තරයේ කෙටි සඳහනක් පමණක් ඉදිරිපත් කරයි. සෙනරත් පරණවිතාන මහතා පසුව සඳහන් කරන පරිදි බෙල් මහතාගේ නිරීක්ෂණයෙන් පසු එතරම් කලක් යන්නට මත්තෙන් එහි උඩ මළුව  නිදන් හොරුන් විසින් මුළුමනින් කඩාදමා ගොඩනැගිල්ලේ හරි මැදින් අඩි 10 පමණ ගැඹුරු වලක්ද සාරා ස්ථානය විනාශ කර දමා ඇත.
නිල්ලක්ගම බෝධිඝරයේ නැගෙනහිර දොරටුව, එහි කැටයම් රහිත සඳකඩපහණ, කොරවක්ගල් සහ කැටයම් කල දොර උළුවස්ස, දෙපසින් පහත මළුවේ ඇත් පවුර දැක ගත හැක
එපමණක් නොව ඉන්පසුව කාලයේදී අසල වැවී තිබූ කෝන් ගසක අත්තක් කඩා වැටීම නිසා ගොඩනැගිල්ලේ නැගෙනහිර දොරටුවේ උළුවස්ස සුනුවිසුනු වී ගොස්, ගැමියන් විසින් අසල හේනක් ගිනි තැබීම හේතුවෙන් පහල මළුවේ ඇත් පවුරේ සෑහෙන කොටසකටද හානි සිදු වී ඇත.  පරණවිතාන මහතා 1954 වසරේ එම ස්ථානයට යන විට එම ස්ථානයේද හේනක් කෙටීම සඳහා උත්සාහයක් තිබී ඇත. කෙසේ නමුත් එම වසරේදී එහි කැනීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට එතුමාට හැකිවන බැවින් අද පවතින ආකාරයට නැවතත් එම ගොඩනැගිල්ල සංරක්ෂණය වීම සිදුවේ.
නැගෙනහිර දොරටුවෙන් ඇතුළු වූ පසු පෙනෙන බෝධිය පිහිටුවා තිබූ ඉහල මළුව (රූපයේ වම්පස), ප්‍රදක්ෂිණ පථය සහ එයට වහලයක් තිබූ බවට සාධක ලෙස ඉතිරි වී ඇති ගල් කණු (කැනීමේදී උළු කැට හමුවීමෙන් වහලයක් තිබූ බව තහවුරු වේ.) බටහිර දොරටුව වම් පස කොනේ දිස්වේ.
සෙනරත් පරණවිතාන මහතා විසින් 8-9 සියවස් වලට අයත් ලෙස සලකන ඉහත සෙල්ලිපිය මගින් මෙම ගොඩනැගිල්ල ඉදි කල කාලය සහ එය කුමක්දැයි යන්න පිළිබඳව අදහසක් ලබාගත හැකි මුත් (එනම් 8-9 සියවස් වල ඉදි කල බෝධිඝරයක්. නමුත් මෙම සෙල්ලිපිය  9-10 සියවස් වල භාවිතා වූ සිංහල අක්ෂර වලින් කොටා ඇති බව සිරිමල් රනවැල්ල මහතාගේ අදහසයි.) එයට වඩා යමක් ඒ පිළිබඳව පැවසීමට ඉවහල් වන වෙනත් නටබුන් කිසිවක් මේ අසල දැකිය නොහැක. කෙසේ නමුත් ඉහත සෙල්ලිපියේ ඇති 'මහබෝ' යන වචනයට අනුව මෙම බෝධිඝරය තුල පිහිටුවා තිබූ බෝධිය අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ශාකාවක් ලෙස හඳුනාගැනීමේ ගැටලුවක් නොමැති බව පෙනේ.
බෝධිඝරයේ ඉහල මළුව සහ මල් ආසනයක්
අනුරාධපුරයේ පිහිටවූ මහාබෝධි ශාකාවේ පළමුවෙන්ම හටගත් ඵලරුහ බෝධි පිහිටි ස්ථාන 8 ක් පිළිබඳව මහාවංශය, සමන්තපාසාදිකාව වැනි පැරණි ඓතිහාසික ග්‍රන්ථ කිහිපයකම සඳහන් වේ. කුරුණෑගල යුගයේ 4 වැනි පරාක්‍රමබාහු සමයේ (ක්‍රි.ව. 1302-1326) විල්ගම්මුල හිමියන් විසින් රචිත සිංහල බෝධි වංශයේ එම ස්ථාන 8 ට අමතරව පළමුවරට දෙතිස්ඵලරුහ බෝධි 32 පිහිටි ස්ථාන පිළිබඳවද විස්තර හමුවේ. සිංහල මහාබෝධි වංශයට අමතරව එයින් පසු කාලයට අයත්  සුළුබෝධිවංශය, චූලබෝධිවංශය වැනි ග්‍රන්ථ වලද එම ස්ථාන ගැන සඳහන් වන මුත් නිල්ලක්ගම හෝ නිටලව හෝ වෙනත් ආසන්න නමක් ඒ කිසිවක හමු නොවේ (දෙතිස්ඵලරුහ බෝධි යටතේ ක්‍රි.ව. 1787 දී ලියන ලද සුළුබෝධිවංශයේ ස්ථාන 35 දක්වා ඇති අතර චූලබෝධිවංශයේ ස්ථාන 33 ගැන සඳහන් වේ.)  ඉහත සෙල්ලිපියේ සඳහන් මොනරගල් යන්නද ස්ථාන නාමයක් විය හැකි මුත් එය මේ ස්ථානයේ නම ලෙස සැලකිය නොහැක්කේ, මොනරගල් යනු එම ඇත් රූ පෙල කරවා පූජා කල පුද්ගලයා වාසය කල ප්‍රදේශය විය හැකි බැවිනි. එම ප්‍රදේශය අනිවාර්යෙන්ම මෙම බෝධිය පිහිටි ප්‍රදේශය විය යුතු නොවේ. අසල ප්‍රදේශයක් වීමට නම් වැඩි ඉඩක් තිබේ.
බෝධිඝරයේ ඉහල මළුවේ ඇති සිංහ රූප සහ පහල මළුවේ ඇත් පවුරේ දකිය හැකි ඇත් රුවක්

මූලාශ්‍ර
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • හීනටිකුඹුරේ සුමංගල හිමියන් ලියූ සුළුබෝධිවංසය, සංස්කරය - ආචාර්ය සෝමපාල ජයවර්ධන, 1991
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • අපේ සංස්කෘතික උරුමය, ද්විතිය කාණ්ඩය, 1998
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Archaeological Survey of Ceylon North-Central, Sabaragamuwa,Central and North-Western Provinces, Annual Report 1895, H.C.P. Bell, 1904
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part III, Edited by Sirimal Ranawella, 2005