Thursday, October 12, 2017

මලය රට ෆෙඩරල්ද?

ඊනියා යහපාලනයක් සෙවූ අමන රැලකගේ ඔළමොට්ටල කමට පින්සිදුවන්නට ජඩපාලනය විසින් රට බෙදන ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල එළියට දමා ඇත. ඒ අනුව ලෝකයේ අන්තර්ජාතිකව පිළිනොගන්නා ඉංග්‍රිසි භාෂාවේ නොමැති වචන වන සිංහල 'ඒකිය' සහ දෙමළ 'ඔරුමිත්ත නාඩු' (සන්ධිය යන තේරුම ඇති) යන වචන ඉංග්‍රිසි පිටපතේ මෙතෙක් තිබූ 'Unitary State' යන්න වෙනුවට යොදා ගනිමින් අනාගත රටවල් දෙකකට මූලික නීතිමය අඩිතාලම දමා ඇත (Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu). ජනවාර්ගික වශයෙන් ජනතාව බෙදමින් ඉන්දියානු දෙමළ, ශ්‍රි ලංකා දෙමළ සහ මුස්ලිම් උප ජනාධිපතිවරු තිදෙනෙක් ඇතිකිරීම, උතුර සහ නැගෙනහිර නැවත එක් කිරීම, පාර්ලිමේන්තුවේ ජනවාර්ගික අනුපාතය අනුව සමන්විත වන දෙවන මන්ත්‍රි මණ්ඩලයක්, ඔලුවිල් වලට වෙනම මුස්ලිම් කලාපයක්, ප්‍රාන්ත වලට උපරිම ලෙස බලය බෙදීම, සිංහල සහ දෙමළ ජාතික ගී දෙකක් ආදි නොයෙකුත් හානිකර වගන්ති වලින්ද එය සමන්විතය. කුමන අයුරින් හෝ ජනවාර්ගික වශයෙන්  රටේ කොටස් බෙදා ඒවාට ක්‍රමයෙන් විවිධ බලතල එක් කිරීම යනු අනාගත වෙනම රාජ්‍යන් සඳහා මග එලි පෙහෙලි කර දීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ව්‍යවස්ථා කෙටුම්පතේ හානිකර කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා Link>>

මෙවන් තත්වයක් යටතේ පැරණි ලක්දිව පාලන ඒකක බෙදී තිබූ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පෙනේ. මක් නිසාද යත් ඉංග්‍රිසින් මෙරට පාලනය ලබාගන්නා තෙක්ම 'ජන වාර්ගික වශයෙන්' බෙදී තිබූ ප්‍රදේශිය පාලන ප්‍රදේශ මෙරට නොතිබූ බව ඉන් පෙන්වා දිය හැකි බැවිනි. උතුරේ ආර්ය චක්‍රවර්ති පාලනය යටතේ මෙන්ම වන්නියාර් වරු යටතේ වන්නි බල ප්‍රදේශ වලද සිටියේ මේ රටේ භූමිපුත්‍රයන් වන සිංහලයන්ය (සිංහල යනු ජනවර්ගයක් නොව ජාතියකි). දෙමළ, මුස්ලිම් ආදී විවිධ සංක්‍රමණික මෙන්ම ස්ථිරව වාසස්ථාන ඇතිකරගත් ජන වර්ග උතුරේ මෙන්ම රටේ අනෙක් ප්‍රදේශ වලද සිටි අතර ඔවුන් ක්‍රමයෙන් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝෂණය වූහ. (එසේ නොවූ අවස්ථාද නැතිවා නොවේ.)  මෙ සියලු කරුණු ඉදිරියට විස්තාරාත්මකව සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙමි. පෙර ඉදිරිපත් කල පහත දැක්වෙන ලිපි වලද ඒ පිළිබඳව ඇතැම් කරුණු ඉදිරිපත් කර ඇත. Link>>
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව අප පෙර ලිපියකින්ද විස්තර සාකාච්චා කලෙමු. කියවන්න >>  මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

මලය රටේ ඉතිහාසය (දුටුගැමුණුගේ සිට මහසෙන් දක්වා)

දමිළයන් සහ යුද වැදීමට ගඟෙන් එතෙර යාමට අවසර නොදුන් බැවින් සිය පියා වූ කාකවණ්ණතිස්ස රජු සමග අරගල කල ගාමණී කුමාරයා  මාගමින් නික්ම මලය රටට පලා ගිය බවත්, පියා කෙරෙහි දුෂ්ඨ වූ බැවින් මහජනයා ඔහු දුෂ්ඨගාමණී නමින් හැඳින්වූ වගත් මහාවංශයේ විස්තර වේ. කාකවණ්ණගේ මරණින් පසු රජකම ලැබූ එම දුෂ්ඨගාමණී රජු (ක්‍රි.පූ. 161 - 137), එළාර සමග සටනට යාම සඳහා මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කරවූ බව එහිම සඳහන් වේ.

ඉළනාග රජු (ක්‍රි.ව. 33 - 43) කල රජුට එරෙහිව කැරලි ගැසූ ලම්බකර්ණ වංශිකයන් රජු අල්ලා රජගෙයිම සිර කොට තැබූ කල, රජුගේ මගුලැතු සිරගෙය කඩා රජු ඉන් මුදවාගෙන ඔහුව සිය පිටමත හිඳුවාගෙන මහාතිත්ථයට (අද මන්නරාම අසල ඇති මාන්තායි) ගෙන ගොස් නැවක නැංවූ බවත්, ඉන්පසු ඇතු බටහිර වෙරළ ඔස්සේ මලය රටට ගිය බවත් මහාවංශය පවසයි. එම පුවතේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වුවත් බටහිර වෙරළ ඔස්සේද මලය රටට යා හැකිව තිබූ බව එමගින් අපට පැහැදිලි වේ.

නැවත වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව. 209 -231) කල ඔහුගේ බාල සොහොයුරු අභයනාග බොහෝ දමිළයන් රැගෙන පරතෙර සිට පැමිණ රජු හා යුද වැදීමට නගරය සමීපයට පැමිණි කල රජු දේවිය සමග අසෙකු පිට නැගී මලයරටට පලා ගියහ. ඔහු ලුහුබඳින අභයනාග , මලයරටේදී රජු මරා දේවියද ගෙන නගරයට පැමිණ රාජ්‍යය ලබාගත් බව පැවසේ.

 එසේම මහසෙන් රජු (ක්‍රි.ව. 274 - 301) කල මහාවිහාරවාසී භික්ෂුන්ට රජුගෙන් උවදුරු පැමිණි කල්හී එම භික්ෂූන් මහාවිහාරය හැරදමා මලයට සහ රුහුණට ගිය බව පැවසේ. රජුගේ මෙම ක්‍රියාදාමය කෙරේ කිපුණු මේඝවණ්ණාභය ඇමැති මලයරටට ගොස් මහත් සේනා ගෙන රජු හා සටනට දූරතිස්ස වැව අසල කඳවුරු බැඳගත් නමුත්, රාත්‍රියේදී මිහිරි පානයක් සහ මස් මලය රටින් ලැබ ඒවාද රැගෙන ඔහු හා සටන් වැදීමට කඳවුරු බැඳ සිටි රජු හමුවීමට තනිවම ගොස්, රජු සමග එම මස් හා පානය වළදා, සටන් අතහැර සාකච්චා මාර්ගයෙන් ගැටලුව විසදා ගත් බවත් වංශ කතාව අපට පවසයි.
දුම්බර කඳුකරය
මලය රට සහ මලය ග්‍රාමය
දුෂ්ඨගාමණි රජුගේ මරණ මංචකයේදී ඔහු කල කුසල් සටහන් කර තැබූ 'පින්පොත' කියවන අවස්ථාවේදී 'අක්ඛක්ඛලි' නම් වු දුර්භික්ෂයේදී රුහුණු ජනපදයෙහි මලය ග්‍රාමයෙහිදී රජු සිය කුණ්ඩලාභරණ දෙක දී තණහාල් නැළියක් ගෙන, ඇඹුල්කැඳ පිස, සිය කුසගින්න අතහැර එම ඇඹුල්කැඳ රහතන්වහන්සේලා පස්නමකට දුන් බව සඳහන් වේ. ඒ අනුව මලය නමින් වූ 'ග්‍රාමයක්' රුහුණෙහි වූ බව පෙනේ. එළාර සමඟ යුද වැදීමට නික්මෙන ගාමණි කුමරු මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව ඉහත උපුටා දැක්වූ මහාවංශ සඳහන එම මලය ග්‍රාමය සම්බන්ධයෙන් වූවා විය නොහැකිද? ඒ අනුව මලය ග්‍රාමය පැහැදිලිවම රුහුණු රටට අයත් බව වංශ කතාව පවසන බැවින් මලය රට හා එහි සම්බන්ධයක් නොමැති බව පෙනේ. පැරණි මාගම රාජධානිය රුහුණෙහි නොව මලය රටේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ වූ බවට වූ මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට මෙම සඳහනද (මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව) උපයෝගි කරගන්නා බැවින් ඒ පිළිබඳව යලි සලකා බැලිය යුතු බව අපට හැඟේ. කෙසේ නමුත් රුහුණු ජනපදයෙහි පිහිටි මලය ග්‍රාමයේදී මෙම සිදුවීම වූ බවට වූ මහාවංශ ගාථාව හමුවන්නේ එහි මොග්ගල්ලාන සංස්කරණයේ පමණි මහානාම හිමියන් කල සංස්කරණයේදී එය සිදු වූ බව පැවසෙන්නේ කොට්ට නම් වූ පව්වෙහිය (එය රුහුණු ජනපදයෙහි වූ බව වංසත්ථප්පකාසිනිය පැහැදිලි කරයි.)
කඳුකර ගංගාවක් - කුරු ගඟ (ශ්‍රීපාද අඩවිය)
මලය රටේ ඉතිහාසය (මහසෙන් සිට 1 පරාක්‍රමබාහු දක්වා)
දෙවන උපතිස්ස (ක්‍රි.ව. 517 - 518) රජු රාජ්‍ය විචාරන අවධියේ සිළාකාළ නම් වූ ලම්බකර්ණ වංශිකයෙක් දකුණු මලය රටට ගොස් මහත් බළසෙන් රැස් කොට නගරය ගැනීමට ආ කල, කස්සප නම් වූ රජුගේ පුත්‍රයෙකු ඔහු හා සටන් වැද මුලදී ඔහුව පැරදූ මුත් හෙතෙම උපායෙන් නැගෙනහිර සහ බටහිර පෙදෙස් අත්පත් කර ගෙන නැවත පැමිණ සත් දිනක් නගරය අවහිර කරයි. එම අවස්ථාවේ ඔහු හා යුද නොවැදී කස්සප මහළු වූ සිය පිය රජු හා පිරිවර සමග රාත්‍රියේ මලයට යෑමට නික්මුණ මුත් ඔවුන් මග නොදැන අතරමං වේ (මලය රටට යාමට තිබූ මාර්ගය රජුට සහ පිරිවරට පවා සොයාගත නොහැකි වූ බව කීමෙන් හැඟෙන්නේ එය නිතර භාවිතා වූ ජනාකිර්න මාවතක් නොව කුඩා අඩි පාරක් වැන්නක් බවය. පෙර ලිපියේ ගෙනහැර දැක්වූ මහාවංශ පාඨයද කියවන්න.Link >>). මෙහිදි සිළාකාල පැමිණ ඔවුන් හා දරුණු යුද කර රාජ්‍යය අත්පත් කරගනී. ඉක්බිති එම සිළාකාල රජු (ක්‍රි.ව. 518 - 531) සිය පුතුන් තිදෙනාගෙන් මධ්‍යම පුත්‍රයා (දාඨාපභුති) හට මලයරජ තනතුරද, දක්ෂිණ දේශයද  දී මුහුද රැකීම සඳහා ඔහු යෙදවීය.
කඳුකර වන මංපෙතක් - දුම්බර කඳුකරය

පළමුවන අග්ගබෝධි (ක්‍රි.ව. 571 - 604) රජු සිය බෑනා හට තම දියණිය විවාහ කරදී ඔහුව මලයරජ තනතුරේ පිහිටුවීය.

අසිග්ගාහක සංඝතිස්ස රජු (ක්‍රි.ව. 614) රජවූ කල ඔහු හා යුද වැදුන මොග්ගලාන නම් වූ රුහුණේ සිට පැමිණි සෙන්පතියා ඔහු පරදා බලය ලබාගත් බැවින් රජු මේරුමජ්ජර වනයට පලා ගිය බවත්, රජුගේ එක් පුත්‍රයකු වූ ජෙට්ඨතිස්ස මලය දේශයේ මේරුකන්දර නම් වූ ස්ථානයට ගිය බවත් මහාවංශයේ දෙවන කොටසින් විස්තර වේ. ඉන්පසු රජු, පුතු (ජෙට්ඨතිස්ස නොවේ) සහ ඔවුනට හිතවත් ඇමතියෙකු වේළුවන විහාරයට ගොස් භික්ෂු වෙස් ගෙන රුහුණට යන අදහසින් මණිහීරයට (මින්නේරිය) පැමිණි මුත් එහිදී ඔවුන් හඳුනාගන්නා රාජපුරුෂයන් රජ අණ පරිදි ඔවුන්ව සීගිරියට ගෙන ගොස් හිස ගසා මරා දමනු ලබයි. සංඝතිස්ස රජු මොග්ගල්ලාන සමග සටන් වැදීමට යාමේදී ඔහු හා එක් නොවී ගිලන් වූවෙකු ලෙස හඟවා නගරයේ නැවතී පසුව පිටුපස සිට රජුට පහරදී මොග්ගල්ලනට සහය දුන් රජුගේ සෙන්පතියාට මොග්ගල්ලාන (ක්‍රි.ව. 614 - 619) රජවූ පසු මලය රජකම දුන් බව වංශ කතාව පවසයි.

කෙසේ නමුත් කිසියම් හේතුවක් නිසා පසු කලක එම මලයරජ හා කිපුණු මොග්ගල්ලාන රජු ඔහු උපායකින් ගෙන්වාගෙන අත්පා සින්ඳවයි. මලය රජකම ලැබූ සෙන්පතියාගේ පුතුට මොග්ගල්ලාන රජු අසිග්ගාහක තනතුර ලබා දී තිබුණි. සිය පියාගේ අත් පා සින්දවූ බව දැනගත් ඔහු සිය පුතුද සමගින් රුහුණට පලාගොස් එහි සිට ජනපද රට අල්ලා ගනිමින්, මලය රටෙහි සැඟවි සිටි ජෙට්ඨතිස්ස හමුවී ඔහු සමග එක්ව දෝළ්හ පබ්බතයේ කඳවුරු බැඳ මොග්ගල්ලාන රජුට එරෙහිව යුද වදී. එහෙත් පසුව ඔහු හා යුද වැදීම සඳහා පැමිණි රජුගේ මිනිසුන් උණ රෝගයකින්  මියයෑම නිසා සටන් කල නොහැකිව පලා යන රජුව සීගිරිය අසලදි අල්ලගෙන මරා දමයි. පසුව අසිග්ගාහක ඔවුන් සමග නොගිය ජෙට්ඨතිස්සද මරාදැමීම සඳහා 'පැමිණ රජවන' ලෙස පවසා ඔහුට හසුනක් යැවූ මුත් ඔහුගේ උපාය වටහා ගත් හෙතෙම නැවතත් මලය දේශයට පලායයි. අසිග්ගාහක සිලාමේඝවණ්ණ (ක්‍රි.ව. 619 - 698) නමින් අනුරාධපුරයට ගොස් රජවි ලක්දිව අණසක පතුරවයි.

මලය රටේ සැඟවී සිටි ජෙට්ඨතිස්ස නැවත මතුවන්නේ සිළාමේඝවණ්ණ රජුගේ පුත් වූ තුන්වන අග්ගබෝධී රජුගේ (ක්‍රි.ව. 628) රාජ්‍ය කාලයේය. ඔහු  මලය රටේ සිට අරිට්ඨ (රිටිගල) පර්වතයට පැමිණ ජනයා රැස් කර අග්ගබෝධි රජ දඹදිවට පලවාහැර රාජ්‍ය ලබාගනී.

සිරිසංඝබෝධි නමින් රජවූ සිව්වන අග්ගබෝධි රජුගේ (ක්‍රි.ව. 667 - 683) රාජ්‍ය කාලයේ 'මහත් දනවත් වූ මලය රජු', මණ්ඩලගිරි විහාරයේ ස්ථූපයට වටිනා දා ගෙයක් කරවූ බවත් ලෝහප්‍රාසාදයේ (ලෝවාමහපායේ) මැද කුළුගෙයි පියස්සද කරවූ බවත් පැවසේ. (මේ අනුව මලය රජු සිය බල ප්‍රදේශයෙන් පිටත රජරට ප්‍රදේශයේ පවා වෙහෙර විහාර ඉදි කල බව පෙනේ.)

පළමුවන මහින්ද රජුගෙන් (ක්‍රි.ව. 730 - 733) පසු අග්ගබෝධී නමින් වූ ඔහුගේ පුතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සිලාමේඝ නමින් රජවී (ක්‍රි.ව. 733 - 772) අනෙක් අග්ගබෝධි කුමරුවා යුව රජ තනතුරේ තැබූහ. කලකදි වෙනත් අයගේ කේලම් බස් අසා ඔවුනොවුන් කෙරෙහි සැක ඉපදී ඔවුන් අතර යුද ගැටුම් පැණ නැගුන අතර යුව රජ තනතුර දැරූ අග්ගබෝධි කුමරුවා සටනින් පැරදී මලය දේශයට පැනගිය මුත්, පසුව රජු තනිවම මලය දේශයට ගොස් නැවතත් සිය සොහොයුරා නුවරට රැගෙන එයි.

තුන්වන සේන (ක්‍රි.ව. 938 - 946) රජුගේ රාජ්‍ය කාලයේ අග්ගබෝධි නම් වූ ඇමතිවරයෙක් මලය රජ තනතුර දැරූ බවත් සේන රජු එම මලය රජු විසින් කරවන ලද නාගසාලා පිරිවෙණ දැක එයට ගමක් දුන් බවත් පැවසේ.

අනුරාධපුර රාජධානිය චෝළ ආධිපත්‍යට නතුව තිබූ අවධියේ මලය පර්වත ප්‍රාන්තයේ බුද්ධරාජ නම් වූ මහා බල ඇති වීරයෙක් වූ බව වංශ කතාව පවසයි. ඔහු කිර්ති කුමාරයා හා එක්වේ (පසු කලක චෝළ බලමුළු පරදවා 1 විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) නමින් වූයේ එම කීර්ති කුමාරයාය). වංශ කතාව අනුව සොළීන් හා සටන් වැදීමට පොරොතුව මූලසාල ගමෙහි සිටි කිර්ති කුමරා ඉන් නික්ම සරීවග්ගපිට්ඨි ගමට ගොස් විරුද්ධවාදීන් සිටි බෝධිවාල නම් ගම ජයගෙන, එහි සිට චුණ්ණසාල ජනපදයට ගොස් එහි වසමින්, ලෝකෙශ්වර නම් වූ සෙන්පතිවරයා හා සටන් වැද සියළු මලය මණ්ඩලය ඔහු යටතට ගනී.

එම විජයබාහු රජුගේ රාජ්‍ය කාලයේ රජුට විරුද්ධ වී දඹදිවට පලාගිය සහෝදරයන් තිදෙනෙකු රජුගේ 19 වන රාජ්‍ය වර්ෂයේදී නැවත ලක්දිව පැමිණ රුහුණු රටද, මලය මණ්ඩලයද, සියළු දක්ඛිණ පස්සයද පෙරලාදැමූ බව මහාවංශයේ එන සඳහන අනුව පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ මුල් කාලයේදීද දක්ඛිණ පස්ස සහ මලය මණ්ඩලය ලෙස කලාප දෙකක් රුහුණු සහ පිහිටි රටට අමතරව වූ බවය.
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව ඉහත විස්තර කල ප්‍රධාන වශයෙන්ම මහාවංශයේ ඇතුලත් කරුණු අනුව පෙනී යන්නේ එහි පාලනය හැම විටම පාහේ අනුරාධපුරයේ සිටි මහ රජතුමා තමුනට අවනත පුද්ගලයෙකු යටතේ පවත්වාගෙන ගිය බවය. එසේම මලය රජු ලෙසින් හැඳින්වූ එහි පාලකයා ඇතැම් කාල වලදී රජරටට අයත් ප්‍රදේශ වලද ඇතැම් ආගමික ඉදිකිරිම් කර ඇති බැවින් (එසේම ඇතැම් අවස්තා වලදී මලය රජු ඉදි කල ආගමික ඉදිකිරීම් වලට අවශ්‍ය ගම් ප්‍රධානය කර ඇත්තේ රජරට සිටි මහ රජතුමායඅපට පෙනී යන්නේ ඔහු රජ පවුලටම සම්බන්ධ හෝ මහ රජුට විශ්වාසී මලය රට යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයේ පාලන කටයුතු මෙහෙයවූ සහ රජු වෙනුවෙන් එහි ආදායම් එකතු කල නායකයෙකු විනා එම මලය ප්‍රදේශය පමණක් භුක්ති විදීම සඳහා පත් කල 'ෆෙඩරල්' කලාපයක නායකයෙකු නොවන බවය. තවත් වැදගත් කරුණක් වන්නේ වනදුර්ග, ගිරි දුර්ග ජලදුර්ග ආදියෙන් සමන්විත මලය රට, කෙන්ද්‍රිය රජරට පාලකයාට එරෙහිව කැරලි ගැසූ ඇතැම් ජන නායකයින්ට ආරක්ෂාව සඳහා සැඟවී සිටීමට කදිම ක්ෂේම භූමියක් වූ බවය (එමෙන්ම ඇතැම් අවස්ථා වලදී බලය හෙබවූ රජුද කැරලිකරුවන්ගෙන් බේරි පලායාමට මලය මණ්ඩලය තෝරාගෙන ඇත.). තවද බොහෝ අවස්ථා වලදි රජරට පාලනය විදේශීය සොළි ආදී ආක්‍රමණිකයන්ට නතු වූ විට ආක්‍රමණිකයන්ගෙන් බේරී  දිවි රැකගත් රාජකීයන්ට රුහුණ මෙන්ම මලය රටද සැඟවී සිටීමට මෙන්ම නැවත සේනා සංවිධානය කරමින් ආක්‍රමණිකයා පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය රැකවරනය සහ සම්පත්ද සැපයීහ.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994