අනුරාධපුර දිස්ත්රික්කයේ මහකනදරාව ගම්මානයේ පිහිටා ඇති මෙම පුරාණ ගල් පාලම අනුරාධපුර යුගයේ අනුරාධපුර නගරයේ නැගෙනහිර දොරටුවේ සිට පුලියන්කුලම, හුණු කනදරාව, මහකනදරාව, කහටගස්දිගිලිය, කෝන් වැව, කොක් ඇබේ, රත්මලේ වැව හරහා එකල ගෝකණ්ණ තිත්ථය ලෙසින් හැදින්වූ ත්රිකුණාමල වරාය දක්වා විහිදුණු මාර්ගයේ කනදරා ඔය හරහා එගොඩ වීමට ඉදිකල පාලමක් ලෙස සැලකේ. මෙම මාර්ගයේ ඔයවල් හරහා ඉදිකල ගල් පාලම් කිහිපයක්ම හදුනාගත හැකිමුත් මහකනදරා ඔය ගල් පාලම ඒ අතරින් වැඩි හානියක් නොවී බොහෝදුරට එදා ඉදි කල අයුරින්ම අදද දැකගත හැකි පාලමකි. මහසෙන් රජතුමා විසින් ( පොදු වර්ෂ 274-301) කනදරා වැව විශාල කර ප්රතිශංශ්කරණය කල බව මහාවංශයේ සදහන් වේ. එම වාරිමාර්ග ව්යාපෘතියට ප්රථම කනදරා ඔයේ ගලාගිය විශාල ජලකද වැව ඉදිකිරීමත් සමග සීමා වීම හේතුවෙන් එයට පෙර ඉදි කල මෙම ගල් පාලමට පසුකාලීනව ජල පහර සහ විඩින් විඩ පැමිණි ගංවතුර ආදියෙන් හානි පැමිණීමක් සිදුනොවීම එලෙස පෙර තත්වයෙන්ම පාහේ එය ආරක්ෂා වීමට හේතු වූවා විය හැක. ගල් කණු පේලි තුනක් මත ඉදි කර ඇති මෙම පාලම ගල් කණු 39 ක් ආධාරයෙන් දරා සිටී. එය දිගින් අඩි 85 ක් වන අතර පලල අඩි 10 ක් වේ. සෘජුකෝණාස්රාකාර ගල් පුවරු අතුරා ශක්තිමත් ලෙස සකසා ඇති මෙම පාලම මතින් කිසිදු අපහසුවක් නැතිව බර පිරවූ ගැල් පවා එකල ගමන් කරන්නට ඇත.
Saturday, July 11, 2026
Sunday, November 5, 2023
බිජෙර්වතු කුළියෙහි රන්තිසැ හෙවත් තිස්සවඩ්ඪමානක පිහිටි මැඩිලිගිරි වෙහෙර
මැදිරිගිරිය වටදාගෙය යනු මෙරට ඕනෑම පුද්ගලයෙක් අවම වශයෙන් ඡායාරූපයකින් හෝ දැක ඇති පුද බිමක් මෙන්ම ජනප්රිය සංචාරක ගමනාන්තයකි. මදක් උස් වූ කළුගල් තලා දෙකක් මතට ගොඩවීමට ශෛලමය පඩිපේලි සකසා ඒ මත තැනූ ස්තූපය සහිත වටදාගෙයක්, තවත් ස්තූපයක්, ප්රතිමාගෘහ හතරක් සහ පොකුණු දෙකක් මෙම පරිශ්රයේ ප්රධාන වශයෙන් දැකිය හැක. එසේම පූජනීය ගොඩනැගිලි පිහිටි ගල් තලා දෙකම ආවරනය වන පරිදි ඉදි කල විශාල ප්රාකාර බැම්මක් මගින් විහාරයේ සීමාව සළකුණු කර ඇත. එහෙත් මෙම සීමාවන්ට පිටතින් විශාල ප්රදේශයක් පුරාවිද්යා රක්ෂිතයට අයත් වන අතර කැනීම් සිදු කර සංරක්ෂණය කල පුරාණ රෝහලක් හෙවත් වෙදහලක් ආරාම සංකීර්ණයේ ගොඩනැගිලි වලට ඊසාණ දෙසින් දැකගත හැක. සෙල්ලිපි වල සිංහල භාෂාවෙන් මැඩිලිගිරිය ලෙසත්, මහාවංශයේ පාලි භාෂාවෙන් මණ්ඩලගිරිය ලෙසත් හැඳින්වෙන මැදිරිගිරිය ලෙසින් වර්තමානයේ හඳුනාගන්නා මෙම ස්ථානයෙන් හමුවූ සෙල්ලිපි සහ වංශකතා තුලින් එහි අතීතය පිලිබඳව කරුණු ඉදිරිපත් කිරීම ප්රධාන වශයෙන් අරමුණු කොට මෙම ලිපිය සැකසේ.
මැදිරිගිරිය විහාරයේ ගොඩනැගිලි දැක්වෙන වීඩියෝව >>
කනිට්ඨතිස්ස රජු (පො. ව. 167 - 186) මණ්ඩලගිරි විහාරයේ උපොසථඝරයක් කරවූ බවද, සිරිසංඝබෝධි නමින් රජවූ හත්ථදාඨ රජුගේ (පො. ව. 659 - 667) අග්ගබෝධි නම් වූ බාල සොහොයුරාගේ (එනම් පො. ව. 667 - 683 කාලයේ රජ්ය පාලනය කල සිව්වන අග්ගබෝධි) රාජ්ය පාලන කාලයේ මහත් ධනවත් වූ මලය රජු, මණ්ඩලගිරි විහාරයේ චේතියට වටිනා දාගෙයක් කරවූ බවද, දෙවන සේන රජු (පො. ව. 853 -887) මණ්ඩලගිරි විහාරයට ගම් පිදූ බවද, පළමුවන විජයබාහු රජු ප්රතිසංස්කරණය කරන ලද දිරාගිය විහාර අතර මණ්ඩලගිරි විහාරය තිබූ බවටද මහාවංශයේ තොරතුරු හමුවේ. නැවතත් මහාවංශයේ මණ්ඩලගිරි විහාරය (මණ්ඩලීගිරි ලෙසින්) ගැන සඳහන් වන්නේ දෙවන ගජබාහු රජු (පො.ව. 1132-1153) සහ පරාක්රමබාහු කුමාරයා අතර ඇතිවූ "සාම ගිවිසුම" පිළිබඳව වූ විස්තරයේදීය. මණ්ඩලගිරි විහාරයට පැමිණ ඔවුන් දෙදෙනා එකඟ වූ කරුණු ගලක මතුපිට ලියවූ බව එහි සඳහන් වේ (එහෙත් එම සෙල්ලිපිය හමුවන්නේ වර්තමානයේ සංගමුව නමින් හැඳින්වෙන කුරුණෑගල දිස්ත්රික්කයේ පිහිටි වෙනත් විහාරයකය. එම සෙල්ලිපිය සහ විහාරය පිළිබඳව තොරතුරු මීට පෙර ලිපි දෙකකින් ඉදිරිපත් කර ඇත (1) >> (2) >>. )
මැදිරිගිරිය පුරාවිද්යා පරිශ්රයෙන් හමුවී ඇති 10 වන ශතවර්ෂයේ මුල් අර්ධයට අයත් සිංහල අක්ෂර වලින් රචිත ටැම් ලිපි දෙකක් වේ. බොහෝදුරට එකම ලිපියේ පිටපත් දෙකක් ලෙස සැලකිය හැකි එම ටැම් ලිපි වල සඳහන් වන ලෙසට ඔකාවස් පරපුරෙන් පැවතෙන දඹදිව් තල එක් හෙළි කොට මධුරා දිනූ සිරිසග්බො මහරද්හු පුත් දෙබිසව් දා අභා සලමෙවන් මපූර්මකා තුන්වැන්නෙහි [එනම් අභා සලමෙවන් නම් වූ රජුගේ තුන් වන රාජ්ය වර්ෂයේ] නවය[නවම් මස] අව විසෙනිය [චන්ද්ර මාස ක්රමයට අනුව අවපක්ෂයේ පස් වන දින] එක්තැන් සමියෙන් [Supreme Council] වදාල හෙයින් අත්තාණි ප්රදානයක් සඳහන් කරමින් එම ලිපි පිහිටුවා ඇත. මහවංශයේද සඳහන් ලෙසට දෙවන සේන රජු (පො. ව. 853 -887) මධුරා පුරය ආක්රමණය කර ඇත. එසේම දෙබිසව් දා යන අභිධානය දැරූ එකම රජු ලෙස එම සේන රජුගේ පුත් පස්වන කාශ්යප හඳුනාගෙන ඇති බැවින් මෙම අත්තාණි ප්රධානයන් සිදු කර ඇත්තේ මෙම ලිපි වල අභා සලමෙවන් විරුදය දරන 5 වන කාශ්යප රජුගේ (පො. ව. 914 - 923) රාජ්යත්වයෙන් තුන්වන වර්ෂයේදී බව පැහැදිලිය.
| වෙදහල |
අත්තාණි ලිපි පිහිටුවීමේ අරමුණ ලෙස සඳහන් වන්නේ බිදෙර්වතු කුළියෙහි [බිජෙර්වතු කුළිය ලෙසින් අනෙක් ටැම් ලිපියේ සඳහන් වේ. ] රන්තිසැයෙහි පිහිටි මැඩිලිගිරි ඇත් වෙහෙර් පියැන්ගලැ සතර් සීමාවෙන් ඇතුලත පිහිටි භූමියෙහි [Land situated within the four boundaries of the Meditation Hall of the Inner Monastery of the මැදිලිගිරිය විහාර, situated in රන්තිසා in බිදෙර්වතු කුළිය. අනෙක් ටැම් ලිපියේ මෙය සඳහන් වන්නේ බිජෙර්වතු රන්තිසැයෙහි පිහිටි මැඩිලිගිරි විහාරයේ සතර සීමා තුල ලෙසටය.] බලපවත්නා මුක්තීන් පිළිබඳව සඳහන් කිරීමය. අඩු වැඩි වශයෙන් වෙනත් බොහෝ අත්තාණි පිරිනැමීම් සඳහන් ටැම් ලිපි වල සඳහන් කරුණු එලෙසින්ම සඳහන් වන මෙම අත්තාණි පිරිනැමීමේදීද ඒ සඳහා එක්තැන් සමියෙන් පැමිණි නිලධාරීන්ගේ නම් ගම් සඳහන් වන අතර, ඊට අමතරව සඳහන් වන වැදගත් කරුණු ලෙසට වෙද්හල් වැස්සන් [Employees of the hospital] ගම් වැද කිසිදු අකටයුතු කමක් නොකලයුතු බව සඳහන්වීම සහ මළ එළුවන් සහ කුකුළන් වෙහෙර් වෙද්හලට බහාලනු [ලබාදිය යුතු බවට] ලෙසට වූ සඳහන සැලකිය හැකිය (මෙම වෙදහල එනම් රෝහලේ නටබුන් විහාරය පිහිටි භූමියට ඊසාණ දෙසින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. මේ සමග ඇති ඡායාරූප සහ වීඩියෝව නරඹන්න.)
| හිටි පිළිම තුනක් සහ හිඳි පිළිම දෙකක් සහිත පිළිම ගෙය |
මෙම ටැම් ලිපි වලට අමතරව පුවරු ලිපි හතරක්ද මෙම පරිශ්රයෙන් හමුවී ඇත. ලිපියේ අර්ථය පැහැදිලිව මතු කර ගත නොහැකි ලෙසට කොටස් ගෙවීගිය, කුඩා අකුරු වලින් කල මින් එක් ලිපියක සඳහන් වන ලෙසට එය සිරිබර සැහැකුල කොත් සුදොනා පරපුරෙන් බට් සලමෙවන් අබහ මහරද් හට සහ දෙව්ගොන් බිසො හට පුත් වූ සිරිසග්බො මහරජු හට සත්වැන්නෙහි පිහිටුවා ඇත. මහාචාර්ය සිරිමල් රනවැල්ල මහතා එහි භාෂාව සහ පූර්විකාවේ ඇති සමානතාවය අනුව ලිපියේ සඳහන් සිරිසඟබෝ විරුදය දරන රජු දඹේගොඩ ලිපියේද ඒ ආකාරයෙන් විස්තර වන සිව්වන මහින්ද (පො. ව. 956 - 972) රජු ලෙස හඳුනාගනී. කෙසේ නමුත් මෙම ලිපියේද මැඩිලිගිරි මහවෙහෙර ගැන මෙන්ම විශේෂයෙන්ම එහි වෙදහල ගැනද කරුණු සඳහන් වන බව කියැවිය හැකි අක්ෂර අනුව පෙනී යයි.
| වෙදහල තුල තිබුණා විය හැකි බෙහෙත් ඔරුවක්. එහෙත් මෙය කිසියම් කලක එයට සැලකිය යුතු තරම් දුරකින් පිහිටා ඇති සැතපෙන පිළිමයක් සහිත ප්රතිමාගෘහය පිහිටි මළුවට රැගෙන විත් ඇත. |
අභා සලමෙවන් මපුර්මකා පස්වැන්නෙහි මැන්දින් දිනැ පුර විසෙනිය [එනම් අබා සලමෙවන් නම් මහ රජුගේ රාජ්යත්වයෙන් පස් වන වර්ෂයේ මැදින් දින චන්ද්ර මාස ක්රමයට අනුව පුර පක්ෂයෙන් පස්වන දින], රාල් පුවිළ නම් වූ පුද්ගලයෙක් පනස් කලඳක් රන් දී පිඬින් වසගක් [Food ration] ගෙන මැඩිලිගිරි වෙහෙර මහ සඟ්නට [සංඝයා හට] දිනපතා එක් කෙනෙක් හට රදින් තුන් අඩ්මනාක් සාලෙ බත් [Boiled rice cooked of three අඩ්මනාක් of raw rice from the royal house], තුන් මාළුවක් [Three curries] සහ දෙහිරා බුලතක් [Two sheaves of betel] දෙන ලෙසින් පවසා පිහිටවූ පුවරු ලිපියක්ද මැදිරිගිරිය පුරාවිද්යා පරිශ්රයේ තිබී හමුවී ඇත. එහි වැඩිදුරටත් සඳහන් වන ලෙසට මෙම දන් සැපයීම කඩ කරන සඟුන් වුව උපැවිදි කර ආවාසයෙන් පිටුවහල් කල යුතු අතර, කැමියන් [officials] දාසයන් කල යුතුය.
| ස්තූපයක් |
අඩු වැඩි වශයෙන් මෙම කරුණුම සඳහන් මෙහි හමුවන තවත් පුවරු ලිපියක් පිහිටුවා ඇත්තේ රද් මදියා නම් පුද්ගලයෙක් අභා සලමෙවන් නම් රජෙකුගේ [මපුර්මකා] රාජ්යත්වයෙන් නවවැන්නේ හිලැ පුර දසවක් දවස [හිල මස පුර පක්ෂයෙන් දසවන දින] මැඩිලිගිරි රද් වෙහෙරට පනැස් කළන්දක් රන් දී පිඩින් වසගක් [Food ration] ගෙනය. මෙම පුවරු ලිපි දෙකෙහි මෙන්ම ලිපියේ නම සඳහන් රජු හඳුනාගත නොහැකි, එහෙත් සිරිසඟබො මපුර්මකා පළමුවන්නේ මැන්දින් දින පුර විසෙනි දවස් මහ අරකි බුදල්නාවන්ගෙ සුත්කා... ලෙසින් ආරම්භ වන ලිපියේ අන්තර්ගතය හඳුනාගත නොහැකි ලෙසින් ගෙවී ගිය තවත් පුවරු ලිපියක් මැදිරිගිරිය විහාරයේ නටබුන් අතර තිබී හමුවී ඇත.
| ටැම් ලිපිය |
ස්වස්ති බිජෙර්වතුකුළියැ සෙල බොය් (මෙ) ගී
(ඇජැ තබ) ය් බෙයන්දහි [රන්] වන් පිළිබිබ් ඇත්නි
(හැ)ජවෙය් මෙ (සෙස්) සිත සිරිබර්නි පෙවෙහි කා අවද්
අට වෙනි සියවසේ අවසාන භාගයට හෝ නව වන සියවසේ අරම්භක යුගයට අයත් කල හැකි සිංහල අක්ෂර වලින් ලියා ඇති ඉහත සඳහන් සීගිරි ගීයෙහි සඳහන් වන පරිදි බිජෙර්වතු කුළියේ සෙල බොය් නම් පුද්ගලයා සිගිරි පැමිණ කැටපත් පවුරේ ගීයක් සටහන් කර ඇත.
| ගඩොලින් කල සැතපෙන පිළිමය සහිත ප්රතිමාගෘහය |
| කවන්ධ හිටි පිළිම තුනක් සහිත ප්රතිමාගෘහයක් |
නිශ්ශංකමල්ල රජතුමා පිහිටවූ සෙල්ලිපි කිහිපයකම (රන්කොත් දාගැබ ටැම් ලිපිය, ශිව දේවාල පුවරු ලිපිය සහ Polonnaruva Stone-Bath Slab Inscription ලෙසින් හැඳින්වෙන පුවරු ලිපිය) රන්තිසැ, මිණිහොරු, ගඟතළා, පදී ඇතුළු වූ තුන් රජයෙහි මහවෑ (තැනැ) අශේෂ ප්රාණීන්ට අභය දී නොමරන නියායෙන් සම්මතකොටැ... ලෙසින් සඳහන් කරන පරිදි එතුමා රන්තිසැ, මිණිහොරු (වර්තමාන මින්නේරිය වැව), ගඟතළා (වර්තමාන කන්තලේ වැව), පදී (වර්තමාන පදවිය වැව) ආදී තුන් රජයේ මහ වැව් වල සියළු සතුන් නොමැරිය යුතු බවට නියෝග කර ඇත.
| පොකුණ |
මැදිරිගිරිය විහාර පරිශ්රයෙන් හමුවන සෙල්ලිපි වල සඳහන් වන පරිදි එය පිහිටා ඇත්තේ බිජෙර්වතු (හෝ බිදෙර්වතු) කුළිය ලෙසින් හැඳින්වූ ප්රදේශයක පිහිටි රන්තිසා නම් වූ උප කොට්ඨාශයක බව පැහැදිලිය. එම රන්තිසා නම් වූ ප්රදේශය තුල එම නමින්ම වූ වැවක් මහසෙන් රජු ඉදිකර ඇති අතර එය මහාවංශයේ තිස්සවඩ්ඪමානක ලෙසින් හඳුන්වා ඇත. රන්තිසා නම් වූ ප්රදේශයද මහාවංශයේ වසභ රජු කල තිස්සවඩ්ඪමානක ලෙසින් හඳුන්වා ඇති අතර, එහි එතුමා මුචේල නම් වූ විහාරයක් ඉදිකර එයට ආලිසාර ඇලේ දියබාගය පවරා දී ඇත. ආලිසාර ඇල යනු මහවැලි ගඟේ අතු ගංගවක් වන අඹන් ගඟ වර්තමාන ඇලහැර ප්රදේශයේදී පුරාණ අමුණක් මගින් හරවා මින්නේරිය ප්රදේශය කරා ජලය ගෙන ගිය ඇලක් වන අතර එය වසභ රජු කරවූ ලෙස පිළිගැනේ. ආලිසර ඇල පිළිබඳව වූ ලිපිය කියවීමට >>
| කවුඩුල්ල හෙවත් පුරාණ රන්තිසා වැව |
| ගල් ගුහාව |
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part III, Edited by Sirimal Ranawella, 2005
- Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Edited by Sirimal Ranawella, 2001
- බුද්ධ ප්රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2015
- The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
- Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්ර වික්රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- මහාවංස 2 වෙළුම, ක්රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්ර වික්රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්යාංශය 1972
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
- අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්රතිමා, වෛද්ය රුවන් මාරසිංහ, 2021
- Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
- පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
- A Short History of Ceylon, H.W. Codrington, 1926.
- රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
- Ancient Irrigation Works in Ceylon, Part 1, R.L. Brohier, 1934
- Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
Thursday, October 12, 2017
මලය රට ෆෙඩරල්ද?
ව්යවස්ථා කෙටුම්පතේ හානිකර කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා Link>>
මෙවන් තත්වයක් යටතේ පැරණි ලක්දිව පාලන ඒකක බෙදී තිබූ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පෙනේ. මක් නිසාද යත් ඉංග්රිසින් මෙරට පාලනය ලබාගන්නා තෙක්ම 'ජන වාර්ගික වශයෙන්' බෙදී තිබූ ප්රදේශිය පාලන ප්රදේශ මෙරට නොතිබූ බව ඉන් පෙන්වා දිය හැකි බැවිනි. උතුරේ ආර්ය චක්රවර්ති පාලනය යටතේ මෙන්ම වන්නියාර් වරු යටතේ වන්නි බල ප්රදේශ වලද සිටියේ මේ රටේ භූමිපුත්රයන් වන සිංහලයන්ය (සිංහල යනු ජනවර්ගයක් නොව ජාතියකි). දෙමළ, මුස්ලිම් ආදී විවිධ සංක්රමණික මෙන්ම ස්ථිරව වාසස්ථාන ඇතිකරගත් ජන වර්ග උතුරේ මෙන්ම රටේ අනෙක් ප්රදේශ වලද සිටි අතර ඔවුන් ක්රමයෙන් කුල ක්රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝෂණය වූහ. (එසේ නොවූ අවස්ථාද නැතිවා නොවේ.) මෙ සියලු කරුණු ඉදිරියට විස්තාරාත්මකව සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙමි. පෙර ඉදිරිපත් කල පහත දැක්වෙන ලිපි වලද ඒ පිළිබඳව ඇතැම් කරුණු ඉදිරිපත් කර ඇත. Link>>
| දුම්බර කඳුකරය |
මලය රටේ ඉතිහාසය (දුටුගැමුණුගේ සිට මහසෙන් දක්වා)
දමිළයන් සහ යුද වැදීමට ගඟෙන් එතෙර යාමට අවසර නොදුන් බැවින් සිය පියා වූ කාකවණ්ණතිස්ස රජු සමග අරගල කල ගාමණී කුමාරයා මාගමින් නික්ම මලය රටට පලා ගිය බවත්, පියා කෙරෙහි දුෂ්ඨ වූ බැවින් මහජනයා ඔහු දුෂ්ඨගාමණී නමින් හැඳින්වූ වගත් මහාවංශයේ විස්තර වේ. කාකවණ්ණගේ මරණින් පසු රජකම ලැබූ එම දුෂ්ඨගාමණී රජු (ක්රි.පූ. 161 - 137), එළාර සමග සටනට යාම සඳහා මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කරවූ බව එහිම සඳහන් වේ.
ඉළනාග රජු (ක්රි.ව. 33 - 43) කල රජුට එරෙහිව කැරලි ගැසූ ලම්බකර්ණ වංශිකයන් රජු අල්ලා රජගෙයිම සිර කොට තැබූ කල, රජුගේ මගුලැතු සිරගෙය කඩා රජු ඉන් මුදවාගෙන ඔහුව සිය පිටමත හිඳුවාගෙන මහාතිත්ථයට (අද මන්නරාම අසල ඇති මාන්තායි) ගෙන ගොස් නැවක නැංවූ බවත්, ඉන්පසු ඇතු බටහිර වෙරළ ඔස්සේ මලය රටට ගිය බවත් මහාවංශය පවසයි. එම පුවතේ සත්ය අසත්ය තාවය කෙසේ වුවත් බටහිර වෙරළ ඔස්සේද මලය රටට යා හැකිව තිබූ බව එමගින් අපට පැහැදිලි වේ.
නැවත වෝහාරික තිස්ස රජු (ක්රි.ව. 209 -231) කල ඔහුගේ බාල සොහොයුරු අභයනාග බොහෝ දමිළයන් රැගෙන පරතෙර සිට පැමිණ රජු හා යුද වැදීමට නගරය සමීපයට පැමිණි කල රජු දේවිය සමග අසෙකු පිට නැගී මලයරටට පලා ගියහ. ඔහු ලුහුබඳින අභයනාග , මලයරටේදී රජු මරා දේවියද ගෙන නගරයට පැමිණ රාජ්යය ලබාගත් බව පැවසේ.
එසේම මහසෙන් රජු (ක්රි.ව. 274 - 301) කල මහාවිහාරවාසී භික්ෂුන්ට රජුගෙන් උවදුරු පැමිණි කල්හී එම භික්ෂූන් මහාවිහාරය හැරදමා මලයට සහ රුහුණට ගිය බව පැවසේ. රජුගේ මෙම ක්රියාදාමය කෙරේ කිපුණු මේඝවණ්ණාභය ඇමැති මලයරටට ගොස් මහත් සේනා ගෙන රජු හා සටනට දූරතිස්ස වැව අසල කඳවුරු බැඳගත් නමුත්, රාත්රියේදී මිහිරි පානයක් සහ මස් මලය රටින් ලැබ ඒවාද රැගෙන ඔහු හා සටන් වැදීමට කඳවුරු බැඳ සිටි රජු හමුවීමට තනිවම ගොස්, රජු සමග එම මස් හා පානය වළදා, සටන් අතහැර සාකච්චා මාර්ගයෙන් ගැටලුව විසදා ගත් බවත් වංශ කතාව අපට පවසයි.
| දුම්බර කඳුකරය |
දුෂ්ඨගාමණි රජුගේ මරණ මංචකයේදී ඔහු කල කුසල් සටහන් කර තැබූ 'පින්පොත' කියවන අවස්ථාවේදී 'අක්ඛක්ඛලි' නම් වු දුර්භික්ෂයේදී රුහුණු ජනපදයෙහි මලය ග්රාමයෙහිදී රජු සිය කුණ්ඩලාභරණ දෙක දී තණහාල් නැළියක් ගෙන, ඇඹුල්කැඳ පිස, සිය කුසගින්න අතහැර එම ඇඹුල්කැඳ රහතන්වහන්සේලා පස්නමකට දුන් බව සඳහන් වේ. ඒ අනුව මලය නමින් වූ 'ග්රාමයක්' රුහුණෙහි වූ බව පෙනේ. එළාර සමඟ යුද වැදීමට නික්මෙන ගාමණි කුමරු මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව ඉහත උපුටා දැක්වූ මහාවංශ සඳහන එම මලය ග්රාමය සම්බන්ධයෙන් වූවා විය නොහැකිද? ඒ අනුව මලය ග්රාමය පැහැදිලිවම රුහුණු රටට අයත් බව වංශ කතාව පවසන බැවින් මලය රට හා එහි සම්බන්ධයක් නොමැති බව පෙනේ. පැරණි මාගම රාජධානිය රුහුණෙහි නොව මලය රටේ වර්තමාන ඇලහැර ප්රදේශයේ වූ බවට වූ මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට මෙම සඳහනද (මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව) උපයෝගි කරගන්නා බැවින් ඒ පිළිබඳව යලි සලකා බැලිය යුතු බව අපට හැඟේ. කෙසේ නමුත් රුහුණු ජනපදයෙහි පිහිටි මලය ග්රාමයේදී මෙම සිදුවීම වූ බවට වූ මහාවංශ ගාථාව හමුවන්නේ එහි මොග්ගල්ලාන සංස්කරණයේ පමණි මහානාම හිමියන් කල සංස්කරණයේදී එය සිදු වූ බව පැවසෙන්නේ කොට්ට නම් වූ පව්වෙහිය (එය රුහුණු ජනපදයෙහි වූ බව වංසත්ථප්පකාසිනිය පැහැදිලි කරයි.)
| කඳුකර ගංගාවක් - කුරු ගඟ (ශ්රීපාද අඩවිය) |
දෙවන උපතිස්ස (ක්රි.ව. 517 - 518) රජු රාජ්ය විචාරන අවධියේ සිළාකාළ නම් වූ ලම්බකර්ණ වංශිකයෙක් දකුණු මලය රටට ගොස් මහත් බළසෙන් රැස් කොට නගරය ගැනීමට ආ කල, කස්සප නම් වූ රජුගේ පුත්රයෙකු ඔහු හා සටන් වැද මුලදී ඔහුව පැරදූ මුත් හෙතෙම උපායෙන් නැගෙනහිර සහ බටහිර පෙදෙස් අත්පත් කර ගෙන නැවත පැමිණ සත් දිනක් නගරය අවහිර කරයි. එම අවස්ථාවේ ඔහු හා යුද නොවැදී කස්සප මහළු වූ සිය පිය රජු හා පිරිවර සමග රාත්රියේ මලයට යෑමට නික්මුණ මුත් ඔවුන් මග නොදැන අතරමං වේ (මලය රටට යාමට තිබූ මාර්ගය රජුට සහ පිරිවරට පවා සොයාගත නොහැකි වූ බව කීමෙන් හැඟෙන්නේ එය නිතර භාවිතා වූ ජනාකිර්න මාවතක් නොව කුඩා අඩි පාරක් වැන්නක් බවය. පෙර ලිපියේ ගෙනහැර දැක්වූ මහාවංශ පාඨයද කියවන්න.Link >>). මෙහිදි සිළාකාල පැමිණ ඔවුන් හා දරුණු යුද කර රාජ්යය අත්පත් කරගනී. ඉක්බිති එම සිළාකාල රජු (ක්රි.ව. 518 - 531) සිය පුතුන් තිදෙනාගෙන් මධ්යම පුත්රයා (දාඨාපභුති) හට මලයරජ තනතුරද, දක්ෂිණ දේශයද දී මුහුද රැකීම සඳහා ඔහු යෙදවීය.
| කඳුකර වන මංපෙතක් - දුම්බර කඳුකරය |
පළමුවන අග්ගබෝධි (ක්රි.ව. 571 - 604) රජු සිය බෑනා හට තම දියණිය විවාහ කරදී ඔහුව මලයරජ තනතුරේ පිහිටුවීය.
අසිග්ගාහක සංඝතිස්ස රජු (ක්රි.ව. 614) රජවූ කල ඔහු හා යුද වැදුන මොග්ගලාන නම් වූ රුහුණේ සිට පැමිණි සෙන්පතියා ඔහු පරදා බලය ලබාගත් බැවින් රජු මේරුමජ්ජර වනයට පලා ගිය බවත්, රජුගේ එක් පුත්රයකු වූ ජෙට්ඨතිස්ස මලය දේශයේ මේරුකන්දර නම් වූ ස්ථානයට ගිය බවත් මහාවංශයේ දෙවන කොටසින් විස්තර වේ. ඉන්පසු රජු, පුතු (ජෙට්ඨතිස්ස නොවේ) සහ ඔවුනට හිතවත් ඇමතියෙකු වේළුවන විහාරයට ගොස් භික්ෂු වෙස් ගෙන රුහුණට යන අදහසින් මණිහීරයට (මින්නේරිය) පැමිණි මුත් එහිදී ඔවුන් හඳුනාගන්නා රාජපුරුෂයන් රජ අණ පරිදි ඔවුන්ව සීගිරියට ගෙන ගොස් හිස ගසා මරා දමනු ලබයි. සංඝතිස්ස රජු මොග්ගල්ලාන සමග සටන් වැදීමට යාමේදී ඔහු හා එක් නොවී ගිලන් වූවෙකු ලෙස හඟවා නගරයේ නැවතී පසුව පිටුපස සිට රජුට පහරදී මොග්ගල්ලනට සහය දුන් රජුගේ සෙන්පතියාට මොග්ගල්ලාන (ක්රි.ව. 614 - 619) රජවූ පසු මලය රජකම දුන් බව වංශ කතාව පවසයි.
කෙසේ නමුත් කිසියම් හේතුවක් නිසා පසු කලක එම මලයරජ හා කිපුණු මොග්ගල්ලාන රජු ඔහු උපායකින් ගෙන්වාගෙන අත්පා සින්ඳවයි. මලය රජකම ලැබූ සෙන්පතියාගේ පුතුට මොග්ගල්ලාන රජු අසිග්ගාහක තනතුර ලබා දී තිබුණි. සිය පියාගේ අත් පා සින්දවූ බව දැනගත් ඔහු සිය පුතුද සමගින් රුහුණට පලාගොස් එහි සිට ජනපද රට අල්ලා ගනිමින්, මලය රටෙහි සැඟවි සිටි ජෙට්ඨතිස්ස හමුවී ඔහු සමග එක්ව දෝළ්හ පබ්බතයේ කඳවුරු බැඳ මොග්ගල්ලාන රජුට එරෙහිව යුද වදී. එහෙත් පසුව ඔහු හා යුද වැදීම සඳහා පැමිණි රජුගේ මිනිසුන් උණ රෝගයකින් මියයෑම නිසා සටන් කල නොහැකිව පලා යන රජුව සීගිරිය අසලදි අල්ලගෙන මරා දමයි. පසුව අසිග්ගාහක ඔවුන් සමග නොගිය ජෙට්ඨතිස්සද මරාදැමීම සඳහා 'පැමිණ රජවන' ලෙස පවසා ඔහුට හසුනක් යැවූ මුත් ඔහුගේ උපාය වටහා ගත් හෙතෙම නැවතත් මලය දේශයට පලායයි. අසිග්ගාහක සිලාමේඝවණ්ණ (ක්රි.ව. 619 - 698) නමින් අනුරාධපුරයට ගොස් රජවි ලක්දිව අණසක පතුරවයි.
මලය රටේ සැඟවී සිටි ජෙට්ඨතිස්ස නැවත මතුවන්නේ සිළාමේඝවණ්ණ රජුගේ පුත් වූ තුන්වන අග්ගබෝධී රජුගේ (ක්රි.ව. 628) රාජ්ය කාලයේය. ඔහු මලය රටේ සිට අරිට්ඨ (රිටිගල) පර්වතයට පැමිණ ජනයා රැස් කර අග්ගබෝධි රජ දඹදිවට පලවාහැර රාජ්ය ලබාගනී.
සිරිසංඝබෝධි නමින් රජවූ සිව්වන අග්ගබෝධි රජුගේ (ක්රි.ව. 667 - 683) රාජ්ය කාලයේ 'මහත් දනවත් වූ මලය රජු', මණ්ඩලගිරි විහාරයේ ස්ථූපයට වටිනා දා ගෙයක් කරවූ බවත් ලෝහප්රාසාදයේ (ලෝවාමහපායේ) මැද කුළුගෙයි පියස්සද කරවූ බවත් පැවසේ. (මේ අනුව මලය රජු සිය බල ප්රදේශයෙන් පිටත රජරට ප්රදේශයේ පවා වෙහෙර විහාර ඉදි කල බව පෙනේ.)
පළමුවන මහින්ද රජුගෙන් (ක්රි.ව. 730 - 733) පසු අග්ගබෝධී නමින් වූ ඔහුගේ පුතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සිලාමේඝ නමින් රජවී (ක්රි.ව. 733 - 772) අනෙක් අග්ගබෝධි කුමරුවා යුව රජ තනතුරේ තැබූහ. කලකදි වෙනත් අයගේ කේලම් බස් අසා ඔවුනොවුන් කෙරෙහි සැක ඉපදී ඔවුන් අතර යුද ගැටුම් පැණ නැගුන අතර යුව රජ තනතුර දැරූ අග්ගබෝධි කුමරුවා සටනින් පැරදී මලය දේශයට පැනගිය මුත්, පසුව රජු තනිවම මලය දේශයට ගොස් නැවතත් සිය සොහොයුරා නුවරට රැගෙන එයි.
තුන්වන සේන (ක්රි.ව. 938 - 946) රජුගේ රාජ්ය කාලයේ අග්ගබෝධි නම් වූ ඇමතිවරයෙක් මලය රජ තනතුර දැරූ බවත් සේන රජු එම මලය රජු විසින් කරවන ලද නාගසාලා පිරිවෙණ දැක එයට ගමක් දුන් බවත් පැවසේ.
අනුරාධපුර රාජධානිය චෝළ ආධිපත්යට නතුව තිබූ අවධියේ මලය පර්වත ප්රාන්තයේ බුද්ධරාජ නම් වූ මහා බල ඇති වීරයෙක් වූ බව වංශ කතාව පවසයි. ඔහු කිර්ති කුමාරයා හා එක්වේ (පසු කලක චෝළ බලමුළු පරදවා 1 විජයබාහු (ක්රි.ව. 1055 - 1110) නමින් වූයේ එම කීර්ති කුමාරයාය). වංශ කතාව අනුව සොළීන් හා සටන් වැදීමට පොරොතුව මූලසාල ගමෙහි සිටි කිර්ති කුමරා ඉන් නික්ම සරීවග්ගපිට්ඨි ගමට ගොස් විරුද්ධවාදීන් සිටි බෝධිවාල නම් ගම ජයගෙන, එහි සිට චුණ්ණසාල ජනපදයට ගොස් එහි වසමින්, ලෝකෙශ්වර නම් වූ සෙන්පතිවරයා හා සටන් වැද සියළු මලය මණ්ඩලය ඔහු යටතට ගනී.
එම විජයබාහු රජුගේ රාජ්ය කාලයේ රජුට විරුද්ධ වී දඹදිවට පලාගිය සහෝදරයන් තිදෙනෙකු රජුගේ 19 වන රාජ්ය වර්ෂයේදී නැවත ලක්දිව පැමිණ රුහුණු රටද, මලය මණ්ඩලයද, සියළු දක්ඛිණ පස්සයද පෙරලාදැමූ බව මහාවංශයේ එන සඳහන අනුව පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ මුල් කාලයේදීද දක්ඛිණ පස්ස සහ මලය මණ්ඩලය ලෙස කලාප දෙකක් රුහුණු සහ පිහිටි රටට අමතරව වූ බවය.
| දුම්බර කඳුකරය |
මූලාශ්ර
- මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්ර වික්රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- මහාවංස 2 වෙළුම, ක්රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්ර වික්රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්ර දිසානායක , 1994
Saturday, August 5, 2017
වඩා උස සෑය - ජේතවනය, නැහැ ගෝඨාගේ සඳ හිරු සෑය?
![]() |
| රුවන්වැලිසෑය ස්තූපය - ඡායාරූපය - Images of Ceylon |
මහාවංශයේ මහාතූපය ලෙසින්ද වර්තමාන ව්යවහාරයේ රුවන්වැලිසෑය නමින්ද හැඳින්වෙන පැරණි මහාවිහාර සීමාවේ ඇති ස්තූපය පිළිබඳව මුල්ම සඳහන මහාවංශයේ හමුවන්නේ මිහිඳු මහා රහතන් වහන්සේ විසින් මහා විහාරයේ නොයෙකුත් ගොඩනැගිලි සහ වෙනත් පූජනීය ස්ථාන තිබිය යුතු තැන් පිළිබඳව දේවානම්පියතිස්ස රජුට විස්තර කර දෙමින් මහාවිහාරයේ සීමා සලකුණු කරන විස්තරයේදීය. සිව් බුදුවරුන් පැමිණි ස්ථානයක් ලෙසින් එක්තරා ස්ථානයක් හඳුන්වන මිහිඳු හිමියන් එම ස්ථානයේ අනාගතයේ හේමමාලි නම් වූ ස්තූපයක් බුදුන්ගේ ශාරිරික ධාතු නිදන් කර දුට්ඨගාමණී නම් රජෙකු විසින් එක්සිය විසි රියන් උසට ඉදිකෙරෙණු ඇති බව පවසයි. ඒ අනුව පසු කලක එය ඉදිකිරීම ආරම්භ කර සැලකිය යුතු ප්රමාණයක වැඩ නිමවූ දුටුගැමුණු රජතුමා සහ ඔහුගේ මරණින් පසු එහි වැඩ අවසන් කල ඔහු මලනුවන් වූ සද්ධාතිස්ස රජතුමන් රියන් 120 (අඩි 180) උසට මහා ස්තූපය ඉදි කල බව අනුමාණ කල හැක. ඉන්පසු එලඹෙන සියවස් වලදි බොහෝ රජවරුන් මහාතූපයට විවිධ අංග එකතු කිරීම සහ අලුත්වැඩියාවන් සිදු කල බව වංශකතාවේ සඳහන් වන මුත් එහි උස පිළිබඳව සටහනක් නැවත හමුවන්නේ මහා පරාක්රමබාහු සමයේදීය. එතුමන් විසින් දමිලයන් විසින් විනාශ කල අනුරාධපුරයේ පූජනීය ස්ථාන නැවත ඉදි කල බව සඳහන් කිරීමේදි රත්නවාලුකා ස්තූපය එහි මුල් උස වූ රියන් 120 (අඩි 180) උසට තැනවූ බව පැවසේ. ඉන්පසුවද වරින් වර විවිධ රජවරුන් රුවන්වැලි සෑය පිළිබඳව අවධානය යොමු කල මුත් පුරාණ අනුරාධපුර නගරය අතහැර දැමීම නිසා රුවන්වැලිසෑය ඇතුළු අනුරාධපුරයේ සියලු වෙහෙර විහාර ක්රමයෙන් වල් බිහිවි ජරාවාස විය.
රුවන්වැලි සෑය පිළිබඳව වර්ෂ 1859 දී එමර්සන් ටෙනන්ට් මහතා ඉදිරිපත් කරන විස්තරයේ ඔහු පවසනුවේ ඒ වන විට එහි උස අඩි 150 කට වඩා අඩු වූ බවය. ඔහුම පවසන පරිදි 1830 දී එහි උස අඩි 189 විය. වැස්සට සේදීයෑම නිසා මේ උස අඩු වීම සිදුවන්නට ඇත. ජේම්ස් ස්මිදර් මහතා 1894 දි එහි ගර්භයේ උස බිම සිට මුදුන දක්වා අඩි 162 අඟල් 8 ලෙස දක්වයි. අඩි 16 උස වූ පේසා වලලු 3 ද සමගින් එහි මුළු උස අඩි 178 අඟල් 8 ලෙසවූ බවය ඔහු පවසන්නේ. රුවන්වලිසෑය ඒ වනවිට ප්රතිසංස්කරණය වෙමින් පැවති අතර එහි කොත් කැරල්ලද (මෙම කොත වර්ෂ 1853 දී එහි තැන්පත් කර ඇත.) සමගින් සම්පූර්න උස අඩි 198 අඟල් 4 වූ බව ඒ මහතා සඳහන් කරයි.
වර්ෂ 1872 දී නාරංවිට සුමනසාර හිමියන් විසින් රුවන්වලිසෑයේ ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කල අතර චෛත්යය අඩි 340 උසට ගොඩනැංවිමටත් එහි අඩි 24 ක කොත්කැරල්ලක් තැන්පත් කිරීමටත් සැලසුම් කර තිබුණි. වර්තමානයේ සලපතල මලුවේ සිට රුවන්වැලි සෑයේ උස මීටර් 103.1 ලෙස දැක්වේ (අඩි 338 පමණ). කොත්කැරල්ල සහ චූඩා මාණික්යය මීටර් 7.6 උස වේ (අඩි 25 පමණ).
![]() |
| අභයගිරිය ස්තූපය - ඡායාරූපය - Images of Ceylon |
වට්ටගාමිණී අභය රජු විසින් ගිරි නම් නිගණ්ඨාරාමය විනාශ කර එහි පිරිවෙන් දොළසකින් යුත් විහාරයක් කරවූ බව (ස්තූපයක් ගැන එහි විශේෂයෙන් සඳහන් නොවේ) මහාවංශයේ සඳහන් වේ. ඉන්පසු ගජබාහුක ගාමිණි රජු අභයුත්තර මහාස්තූපය විශාල කොට කරවා එහි දොරටු සතරෙහි ආදිමුඛ (වාහල්කඩ) කරවූ බව එහිම පැවසේ. අභයගිරි ස්තූපය වට්ටගාමිණි අභය රජු කල බවට එන ප්රකට මතය මේ අනුව විවාදයට බඳුන් වන මුත් ඒ පිළිබඳව සාකච්චා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ ගැන විමසීම පසුවට තබමු. කෙසේ නමුත් මේ කිසිදු අවස්ථාවක එහි මුල් උස පිළිබඳව සදහන් නොවේ. ඒ පිළිබඳව පලමුවරට සඳහන් වනුයේ ෆාහියන් හිමියන්ගේ වාර්තාවෙහිය. ඒ හිමියන් පවසන පරිදි "නගරයෙන් උතුරෙහි වූ සිරිපා සටහනක් මත අඩි 400 උස මහා ස්තූපයක් ගොඩ නගා තිබේ. එම ස්තූපයේ එක් පසක අභයගිරි නම් සංඝාරාමය වෙයි."
ෆාහියන් හිමියන් චං නමැති පුරාණ චීන මිනුම් ඒකකයෙන් දක්වන එම උස චං 1 ක් මීටර් 3.333 ලෙස ගෙන අඩි 400 ලෙස ගනනය කර ඇති මුත් එම ඒකකය පිළිබඳව ඇති වෙනත් මතයකට අනුව චං 1 ක් මීටර් 2.3 පමණ වේ. ඒ අනුව ගතහොත් ස්තූපයේ උස අඩි 276 පමණ වූ ලෙස ගැනිය හැක. මෙයින් දෙවැනි මතය වඩා විශ්වාසනීය බව හැඟෙන්නේ දමිල ආක්රමන මගින් විනාශ වූ පසු අනෙකුත් මහා ස්තූපයන් දෙක සමගම අභයගිරිය ස්තූපයද නැවත ගොඩනගන මහා පරාක්රමබාහු රජතුමා එය රියන් 160 (අඩි 240) උසට සෑදු බව පවසන බැවිනි.
වල්බිහිවීමෙන් පසුව ඉංග්රිසි පාලන සමයේදී (එනම් 1894 වසරේදී) මෙහි මිණුම් ලබාගත් ජෙම්ස් ස්මිදර් සල පතල මළුවේ සිට කොත් කැරැල්ලේ ඉහලම කොන දක්වා ස්තූපයේ උස අඩි 245 ලෙස වූ බව වාර්තා කර ඇත. ඔහුට පෙර වර්ෂ 1859 දී පල කල සිය ග්රන්ථයේ අභයගිරි ස්තූපයේ උස දක්වන එමර්සන් ටෙනන්ට් එය අඩි 249 උස වූ බව පවසයි. මෑත කාලයේ අභයගිරි ව්යාපෘතිය මගින් ප්රතිසංස්කරණ කටයුතු පටන් ගැනීමට පෙර ලබාගත් මිණුම් වලට අනුව ස්තූපයේ ලම්භක උස මීටර් 72.6 ලෙස දක්වා ඇත (අඩි 238 පමණ).
![]() |
| ජේතවන ස්තූපය |
මහසෙන් රජු විසින් මහා විහාර සීමාවේ තිබූ ජෝතිවන නම් උයනෙහි ජේතවන විහාරය ඉදි කල බව මහාවංශය පවසයි. ජේතවන විහාරය විනා ස්තූපය මහසෙන් රජතුමා විසින් ඉදිකල බවට විශේෂයෙන් එහි පැවසෙන්නේ නැති බැවින් ඉහත අභයගිරිය ස්තූපයේ අයුරින්ම ජේතවන ස්තූපය මුලින්ම ඉදිකල රජු පිළිබඳව විවිධ මත පවතී. කෙසේ නමුත් ඉහත මහා ස්තූප දෙක මෙන්ම ජේතවන ස්තූපයද මහා පරාක්රමබාහු රජතුමා විසින් දමිලයන් සිදුකල විනාසයන්ගෙන් පසුව නැවත රියන් 140 (අඩි 210) උසට ඉදි කල බව මහාවංශයේ සඳහන් වේ.
එමර්සන් ටෙනන්ට් ජේතවන ස්තූපයේ උස 1859 දී අඩි 244 ක් වූ බවත් ජේම්ස් ස්මිදර් 1894 දී එහි උස අඩි 232 ලෙස වූ බවත් වාර්තා කර ඇත. ප්රතිසංස්කරණයට පෙර නටබුන් වි තිබූ ස්තූපයේ උස අඩි 231 ලෙස මෑත කාලීන මැනුම් මගින් වාර්තා වී ඇත.
මේ සියලු තොරතුරු අනුව එක් එක් කාලයේදි මෙරට උසින් වැඩිම ස්තූප 3 අතුරින් උසම ස්තූපය මෙලෙස පහත වගුවේ ආකාරයට ඉදිරිපත් කල හැක. කොළ පාටින් සලකුණු කර ඇත්තේ එම කාලයේ උසින් වැඩිම ස්තූපයයි. ඒකකය අඩි වලිනි.
ආරම්භක උස
|
පරාක්රමබාහු |
ටෙනන්ට්(1859)
|
ස්මිදර්
(1894) |
අද
|
|
රුවන්වැලිය
|
180
|
180
|
150 (1830 දී - 189)
|
178 8’
|
338
|
අභයගිරිය
|
276 හෝ 400 (ෆාහියන්ට
අනුව)
|
240
|
249
|
245
|
238
|
ජේතවනය
|
210
|
244
|
232
|
231
|
මේ අනුව කිසිම කලෙක ජේතවන ස්තූපය මෙරට උසම ස්තූපය ලෙස තිබී ඇති බවට සාධක නොමැති අතර එකම කාලයකදි ස්තූප තුනේම උස ඉදිරිපත් කරන මහා පරාක්රමබාහු සමයේදීද අභයගිරිය මෙරට උසින් වැඩිම ස්තූපය ලෙස තිබී ඇත. අද වන විට මෙරට උසම ස්තූපය ලෙස සැලකිය හැක්කේ රුවන්වැලි සෑය වන අතර එය උසින් වැඩිම ස්තූපය වනුයේ 19 වන සියවසේ සිදුකල ප්රතිසංස්කරණයත් සමගිනි. වර්තමානය වන විට නැවත ප්රතිසංස්කරණය වෙමින් පවතින් ජේතවනය සහ අභයගිරිය ස්තූප ප්රතිසංස්කරණ අවසානයේ කොතරම් උසක් ගනීද යන්න ඉදිරියේදි දැක ගත හැකි වනු ඇත. කෙසේ නමුත් අඩි 257 උසින් යුතුව ඉදිකිරිමට අපේක්ෂිත වූ සඳ හිරු සෑය ඉදි කරන්නට ඉදිරියේදි හැකි වුවද එවිටද රුවන්වැලි සෑය එයට වඩා උසින් වැජඹෙනු ඇත.
ඇඩොල්ෆ් හිට්ලර් පැවසුවායැයි පවසන පහත කියමන මෙරටට කෙතරම් ගැලපේද? ( ඒ සම්බන්ධ වැඩි විස්තර සඳහා - Link )
- Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it.-
මූලාශ්ර
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය.
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
- Ceylon An Account of the island Physical, Historical and Topographical with notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859
- Heritage of Rajarata, Major Natural, Cultural and Historic Sites, Chandra Wikramagamage, 2004
- අනුරාධපුර අටමස්ථානය, උක්කු බණ්ඩා කරුණානන්ද, 2007
- අනුරපුර මහා විහාරය, මහාචාර්ය ටී. ජී. කුලතුංග, 2001
- පුරාණ අභයගිරි විහාරය, මහාචාර්ය ටී. ජී. කුලතුංග, 2014
- පුරාණ අනුරාධපුරය, අනුරාධ සෙනෙවිරත්න, 1995
- මහාවංශය, ප්රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
- On the Ancient Coins and Measures of Ceylon. T.W. Rhys DAvids, 1877
- Architectural Remains, Anuradhapura, Sri Lanka, James G. Smither, Revised and Edited by Chandra Wikramagamage, 1993
- බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව - මහාචාර්ය විමල් ජී බලගල්ලේ, 1999
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- Memoirs of the Archaeological Survey of Ceylon, Volume V. The Stupa in Ceylon, S. by Paranavitana, 1946



