Friday, March 24, 2023

යුධ ගැටුම් නවතා රජුන් සමගි කල භික්ෂූන් විසූ පුරාණ මණ්ඩලගිරි වෙහෙර සංගමුව රජමහා විහාරයද?

අවම වශයෙන් පො.ව. පූර්ව 3 වන සියවසේ අවසාන භාගයේ සිට මහනුවර යුගය දක්වාම පැවත එන විවිධ කාල වලට අයත් ශිලා ලේඛන 5000 කට ආසන්න ප්‍රමාණයක් මෙරට තුලින් හමුවී ඇත. තවමත් වන ප්‍රවාහයට යටවී සොයා නොගත් ශිලා ලේඛනද සැලකිය යුතු තරමක් තිබෙනවා විය හැක. මේ බොහෝමයකින් වැදගත් ඓතිහාසික තොරතුරු රාශියක් හෙලි කර ගත හැකි වී ඇති නමුත් එයිනිදු ඓතිහාසික වශයෙන් සුවිශේෂ ලෙස සැලකිය හැකි ලිපි කිහිපයක්ම පවතී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගමුව රජමහා විහාරයේ පිහිටි එවන් එක් ශිලා ලේඛනයක් පිළිබඳව මෙයට පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල අතර එම ලිපිය පිහිටා ඇති ගල් පර්වතයේ හමුවන වෙනත් සෙල්ලිපි ආදී පුරා වස්තු සහ ඒවායින් හෙලිවන තොරතුරු මෙම ලිපියට වස්තුවිෂය වේ. පෙර ලිපිය කියවීමට >>
පෙර ලිපියෙන් විස්තර ඉදිරිපත් කල මේ ස්ථානයේ පිහිටි දෙවන ගජබාහු රජු සහ පරාක්‍රමබාහු කුමාරයා අතර ඇතිවූ සන්ධානය පිළිබඳව එපිග්‍රැපියා සෙලනිකා සිව්වන වෙලුමට ලිපියක් සපයන මහාචාර්ය සෙනරත් පරනවිතාණ මහතා මෙහි එතුමා විසින් නිරීක්ෂණය කල නටබුන් පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරයි. 1934-1941 දක්වා කාලයේ පලකල සෙල්ලිපි ඇතුලත් එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් වන්නේ 1943 වසරේදීය. ඒ අනුව එතුමා 1934 හෝ එයට පෙර කාලයකදී මෙම ස්ථානය පිළිබඳව සිය ගවේෂණය සිදු කලා විය යුතුය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1930-31 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාවේ එම වසරේ සොයාගත් ඉතාමත්ම වැදගත් සෙල්ලිපිය ලෙස සඳහන්ව මෙම ලිපියේ අන්තර්ගතය පිළිබඳව විස්තරයක් හමුවේ. ඒ අනුව පැහැදිලි වන්නේ සෙනරත් පරණවිතාණ  මහතා ඉදිරිපත් කරන විස්තරය 1930 හෝ 1931 වර්ෂයේ මුල් කාලයට අයත් විය යුතු බවය. 

පැරණි ස්තූපය
කෙසේ නමුත් එතුමා ඉදිරිපත් කරන විස්තරයට අනුව මෙම පරිශ්‍රයේ එතරම් උස් නොවූ පස් ගොඩැල්ලක් බවට පත්ව තිබූ පැරණි ස්තූපය, තැන තැන තිබූ පැරණි ආරාමික ගොඩනැගිලි වල නටබුන් වූ රළු ගල් කණු, මුරගලක්, සඳකඩපහණක් මෙන්ම පැරණි බ්‍රාහ්මි 'ශ' අක්ෂරය වැනි සලකුණක් කොටා ඇති ගල් පුවරුවක් වැනි නටබුන් එතුමාට හමුවී ඇත. ඒ වන විටත් එහි නූතන විහාරයක් තිබී ඇති අතර ඉහත නටබුන් හමුවන අක්කර 10 ක් පමණ වූ සමතලා භූමියේ සිට රළු පඩි සහිත මගක කන්ද මුදුනේ පිහිටි මහනුවර යුගයට අයත් ලෙන් විහාරයට යා හැකි බව සෙනරත් පරණවිතාණ මහතා සඳහන් කරයි. ඒ වන විට නවීකරණය වෙමින් තිබූ එම ලෙන් විහාරයේ වසර පහකට පමණ පෙර ඉදි කර තිබූ බිත්තිය නිසා ගුහාවේ කටාරමට යටින් වූ බ්‍රාහ්මි සෙල්ලිපියේ කොටසක් වැසී ගොස් ඇති බවත් පරණවිතාණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. පරුමක චිතගුත ගේ බිරිය යන කොටස සමග නැවතත් පරුමක යන අක්ෂර පමණක් එසේ වැසී නැති කොටසින් එතුමා කියවා පලකර ඇත (පරුමක චිතගුතහ බරිය පරුමක....)  

මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහ මූර්ති සහිත ලෙන් විහාරය

ඒ ආසන්නයේම වූ වෙනත් ගුහාවක විශාල කොටසක් කිසියම් නොදන්නා කාල වකවානුවකදී කඩා වැටී ඇති අතර එහි තිබූ  බ්‍රාහ්මි සෙල්ලිපියටද ඉන් හානී වී ඇති බව පවසන පරණවිතාණ මහතා එහි කියවිය හැකි ඉතිරි වී ඇති අක්ෂර වලින් බත ශොබනශ ....ලශ පුත ම.... යන්න කියැවෙන බව පවසයි (පරණවිතාණ මහතා ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනය >> Of lord Shobana ......Ma.....son of ....la. || මෙහි තද කළු පැහැයෙන් [Bold]දක්වා ඇත්තේ පුද්ගල නාම සහ පුද්ගල නාම වල කියැවිය හැකි කොටස් ලෙස සලකන්න.) එයට අමතරව ඒ ආසන්නයේම වූ තවත් ගල් ගුහා දෙකක්, කන්ද පාමුල වැවට ආසන්නව වූ තවත් ගල් ගුහාවක් සහ විහාරයට යාර 100 පමණ දකුණින් වූ වෙනත් ඉඩකඩ සහිත ගල් ගුහාවක් පිළිබඳව එම විස්තරයේ සඳහන් වේ. තවද නූතන විහාරයට ආසන්න ගල් තලාවක් මත පස් වන සියවසේ සිට හත් වන සියවස දක්වා භාවිතා වූ අක්ෂර වලින් රචිත සෙල්ලිපි කිහිපයකම කොටස් දැක ගත හැකි බව පවසන එතුමා ඉන් එක් ලිපියක 'ගොනගිරි' ලෙසින් සඳහන් මුත් එහි කොටස් මුළුමනින්ම නොමැති හෙයින් මෙම ස්ථානයේ පැරණි නාමය එය ලෙස සැලකීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරනය කරයි.

සංගමුව විහාරයේ ඡායාරූප වලින් මෙහි දක්වා නොමැති ගල් ලෙන් සහ ලෙන් විහාරයේ බිතුසිතුවම් ආදිය දැක්වෙන වීඩියෝව >>

සංගමු විහාරයේ ඉහත විස්තර වූ කටාරම් කෙටූ ගල් ලෙන් වලින් සොයාගත් මුල් බ්‍රාහ්මි සෙල්ලිපි සතරක් සෙනරත් පරණවිතාණ මහතා පසු කලක ප්‍රකාශයට පත් කර ඇත. ඉහත දැක්වූ ලිපි දෙකට අමතරව මෙම පරිශ්‍රයෙන් සොයාගත් තවත් ලිපි දෙකක් එහි දක්වා ඇත.

1)  පරුමක මහතිශහ පුත පරුමක...... ( ....the chief... son of the chief Mahatissa.)

2)  .....ශුමනශ ලෙනෙ ශගශ (The cave of ....Sumana, [is given] to the Sangha) - එනම් ශුමන නැමැත්තාගේ ලෙන සංඝයාට පූජා කල බව මෙම ලිපියෙන් කියැවේ.

ඉහත විස්තර වූ ගල් තලාවක වූ පස් වන සියවසේ සිට හත්වන සියවස පමණ දක්වා වූ අක්ෂර වලින් ලියා ඇති ලිපි වලින් කියැවිය හැකි ලිපි කිහිපයක් පසු කලක ආචාර්ය මාළිණි ඩයස් මහත්මිය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම ලිපි 6-7 සියවස් වලට අයත් ඒවා ලෙස එතුමිය සඳහන් කරයි. මේ යුගය සාපේක්ෂව අඩු සෙල්ලිපි ප්‍රමාණයක් මෙරටින් හමුවන සියවස් කිහිපයක් වන අතර එම ලිපි වලින්ද බහුතරය වහරල ලිපි ලෙස හඳුන්වන සෙල්ලිපි කාණ්ඩයට අයත් ඒවා වේ. වහරල ලිපි පිළිබඳව වැඩි විස්තර සඳහා කියවන්න >>

1) ..(දව) වහරල පල සව සතනට (..වහරලින් නිදහස්වන ලදී. මෙහි පල සියලු සත්ත්වයනට අත්වේවා!)

2) මහමලගම ලද චරමත මහ පත...(වහ) රල (මහමලගම ලද්දාවූ චර ඇමති අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී.)

3) ...නය නිවි සයක කහ (ව )... දි චිදවි වහරල සව... (..නය...නිවි...කහවණු සියයක් දී විහාරයෙහි අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී.)

4) ...පරසමතහ...සව සතනත (ප )... (ඇමති පරසමතගේ... [මෙහි පල] සියලු සත්ත්වයනට [අත්වේවා!])

මෙම ලිපි වලට අමතරව කියැවිය නොහැකි තවත් ලිපි දෙකක් එහි ඇති බව සඳහන්ය.
බෝධිඝරය
සැ.යු. මෙහි සඳහන් සිංහල පරිවර්තන (ඉහත 1-3 දක්වා ලිපි සඳහා) ආචාර්ය බෙනිල් ප්‍රියන්ත මහතාට අනුව වන අතර එම පරිවර්තන ආචාර්ය මාළිණි ඩයස් මහත්මියගේ මුල් ඉංග්‍රීසි පරිවර්තන අනුව සිදු කර ඇත. මෙහිදි වහරල චිදවි යන්නෙන් "විහාරයේ අනිවාර්ය සේවයෙන් නිදහස් වන ලදී [Made free from the compulsory service]" යන අර්ථය එතුමිය විසින් ගෙන ඇත. (වහරල චිදවි යනු තවමත් විද්වතුන් අතර විවාදයට තුඩු දුන් නිශ්චිතව ඉන් අදහස් වන්නේ කුමක්දැයි යන්න අපැහැදිලි පැරණි සිංහල වචන දෙකකි. මේ සඳහා ඉදිරිපත් වී ඇති වෙනත් මත සහ මෑතකදී ආචාර්ය බෙනිල් ප්‍රියන්ත මහතා ඉදිරිපත් කල මතය දැනගැනීම උදෙසා වහරල ලිපි ගැන ලියැවුණු පහත ලිපිය කියවන්න. >>  එම මතයට අනුව මෙම වහරල ලිපි වලින් දැක්වෙන්නේ විහාරයේ කුටි ඉදි කල සහ වෙනත් ඉදිකිරීම වලට අනුග්‍රහය දැක්වූ පුද්ගලයන් ඒ පිළිබඳව සටහන් කර තැබූ සටහන්ය.)

 සංගමුව විහාරයේ නටබුන් පිහිටි ගල මතුපිටට දිස්වන මැද්දේකැටිය වැව
මේ අනුව සෙල්ලිපි සාධක අනුව පො.ව. පූර්ව දෙවන සියවසේ සිට 12 වන ශතවර්ෂය දක්වාම මෙම ස්ථානයයේ පිහිටි විහාරය සක්‍රීයව පැවති බව අනුමාන කල හැක. එසේම එය පොළොන්නරුව යුගය වන විට රාජ්‍යයෙහි වැදගත් දේශපාලනික ක්‍රියාකාරකම් වලට මැදිහත් වීමට තරම් වැදගත් වූ ප්‍රබල භික්ෂූ පිරිසක් සිටි ස්ථානයක් බව පෙනී යයි (ඒ පිළිබඳ විස්තර සහිත පෙර ලිපිය කියවන්න >>) ඇතැම් විට මහාවංශයේ සඳහන් දෙවන ගජබාහු රජ තමන්ගෙන් පසුව රජරට රාජ්‍යය පරාක්‍රමබාහු කුමරු හට අයත් වන බව ගලක කෙටූ මණ්ඩලගිරි විහාරය මෙය වීමටද ඉඩ නැතුවා නොවේ (සෙනරත් පරණවිතාණ මහතා එම මණ්ඩලගිරි විහාරය වර්තමානයේ මැදිරිගිරිය ලෙසින් හැඳින්වෙන විහාරය ලෙස සලකයි.) මෙහි පිහිටි ලෙන් විහාරය පොළොන්නරු යුගයෙන් පසුව මහනුවර යුගයේ හෝ එයට පෙර ඉදි කරන්න ඇති බව පෙනේ (ඇතැම් විට ඉන්පසු යුගයක ඉදි වූවා වීමටද ඉඩ නැතිවා නොවේ.) වර්තමානයේ මෙම ස්ථානයේ පිහිටි විහාරයද වෙනත් ඇතැම් පන්සල් මෙන් නොව  පෞරාණික නටබුන් අභිබවා ඉදිවන කොන්ක්‍රීට් ගොඩවල් වලින් බැහැරව එවන් ස්ථානයක තිබිය යුතු නිස්කලංක බව සහ පූජනීය වටපිටාව මැනවින් සුරකිමින් පවත්වා ගෙන යන බවක් පෙනේ.  
  • විශේෂ ස්තූතිය විහාරාධිපති පූජ්‍ය අලුත්ගම මංගල හිමියන්ට සහ චින්තක මහතාට.
 මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 - 1941), Edited by S. Paranavitana, 1943
  • ක්‍රිස්තු වර්ෂ 4, 5, 6, 7 සියවස්හි ලක්දිව සෙල්ලිපි ඇසුරින් සකස් කරන ලද දත්ත, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2019
  • Epigraphical Notes, Nos 1-18, Malani Dias, 1991
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Annual Report of the Archaeological Survey of Ceylon for 1930-31, C. F. Winzer, Esq., 1932

3 comments:

  1. පණ්ඩුකාභය, දුටුගැමුණු, විජයබාහු වගේ රජවරුන්ට සංසන්දනාත්මකව මහා පරාක්‍රමබාහු ගැන ලියවිලා අඩු වුනාට මට පේන විදිහට පරාක්‍රමබාහුගේ යුද්ධ හා රාජ්‍යපාලනය වඩා විවිධයි, ඉන්ටරෙස්ටින්.
    බූෂණට අදහසක් නැද්ද ලියන්න?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒ ගැන විවිධ තැන් වල ලියැවිලා තියෙනවා. මමත් මීට පෙර ලිපි කිහිපයකදීම පරාක්‍රමබාහුගේ යුද්ධ ගැන ලියලා තියෙනවා. ඔහු පැහැදිලිවම රාජ්‍ය පාලනය සම්බන්ධ කෞටිල්‍යගේ ග්‍රන්ථය මාස්ටර් කරලා වැඩ කල කෙනෙක්. පරණවිතාන මහතා ඒ ගැන විශේෂයෙන් කියනවා මැකියවෙලි ගැනත් සඳහන් කරලා මේ ලිපියට ප්‍රශ්තුත වෙච්ච සෙල්ලිපිය ගැන කීමේදී. ඒ වගේම පරාක්‍රමබාහුගේ යුද්ධ හින්ද උන දේ තමා ඔහුගෙන් පසු කාලකයකදී දකුණු ඉන්දියාවෙන් ආ ආක්‍රමණ වලට මුහුණ දිය හැකි ශක්තිමත් ප්‍රභූ පන්තියක් රුහුණේ නොමැති වීමේ අඩුව. පරාක්‍රමබාහුට කලින් කාලය ගතහොත් හැම වෙලාවකම රජරටට සතුරු ආක්‍රමණ පැමිණි විට එයින් රට මුදා ගත්තේ රුහුණෙන් පැමිණි ප්‍රභූන් . එක්කෝ ඔවුන්ගේම නායකත්වයක් යටතේ නැත්නම් රජරටින් පැමිණ රුහුණේ සැඟවුණු රජ පවුලට අයත් කෙනෙකුගේ නායකත්වය යටතේ. ඒත් පරාක්‍රමබාහුගෙන් පස්සේ මාඝ ආක්‍රමණය සිදුවන විට එයට ශක්තිමත් ප්‍රතිප්‍රහාරයක් දීමට කෙනෙක් නැති උනා පරාක්‍රමබාහු රුහුණේ ප්‍රභූ පරපුර හරියටම කියනවා නම් සමූලඝාතනය කිරීම නිසා. රජරට අතහැරීම සහ රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමට ත් එම ප්‍රහාර වලට මුහුණ දීමට නොහැකිවීම හේතු උනා. එත් එක්කම නිරිතදිග කැලෑ වල ඉබේ වැවුණු කුරුඳු වගේ දේවල් වැඩි වැඩියෙන් අපනයනය කිරීම නිසා එම වෙළඳ පොළට බටහිර ජාතීන් ගේ ඇල්ම බැල්ම වැඩියෙන් වැටෙන්න ගත්තා. පෘතුගීසි එන්නෙත් ඒක හින්දනේ. ඒක හින්ද පරාක්‍රමබාහු කල ඒ වැඩ එසේ නොවුනා නම් ඇතැම්විට මෙරට ඉතිහාසයේ බටහිර ජාතීන්ට යටත් වූ යුගයන් වුවත් ඇති නොවන්න තිබ්බා.

      Delete
  2. අදත් පොස්ටුව සාරයි කරුණුවලින්
    නොදත්; නොගිය තැන් ගැන කියවෙයි මැනැවින්
    වැඩි වැය නිසා ලක අඩු විණි, ගමන්බිමන්
    හිදැස ඒ මැකෙයි මේ වගෙ postsවලින්

    ReplyDelete