Showing posts with label Nalanda gedige. Show all posts
Showing posts with label Nalanda gedige. Show all posts

Monday, March 13, 2017

සල්ලි මවන කුවේර,දිසා පාලක වෙසමුණි, යකුන්ට අධිපති වෛශ්‍රවණ සහ මහායාන ජම්බාල


බෞද්ධ මෙන්ම හින්දු සාහිත්‍යයේද දැක්වෙන ආකාරයට කුවේර හෙවත් වෛශ්‍රවණ හෙවත් වෙස්සවන යනු උතුරු දිශාවට අධිපති  දික්පාල නොහොත් ලෝකපාල දෙවියාය. ඔහු යක්ෂ සමූහයාට අධිපති වන අතර වස්තුවට අධිපති දෙවියා මෙන්ම එහි ආරක්ෂකයාද වේ. හින්දු දේව කතා වලට අනුව කුබේර හෙවත් කුවේර සිය යක්ෂ පිරිවර සමග හිමාලයේ කෛලාශකූටයට ආසන්න ආලකපුරය සිය වාසභවන කරගනිමින් වැඩ වෙසේ.

මහායාන බෞද්ධ ඇදහීම් වලට අනුව ජම්බාල යනු ධනයට අධිපති දෙවියාය. ඔහුව වන්දනා කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා හට වස්තුව ලබා ගත හැක. ජම්බාල ධ්‍යානි බුදුවරයෙකු වූ රත්න සම්භවගෙන් ප්‍රභවය වී ඇත. නමුත් අක්ෂෝභය ලබ්දිකයන්ගේ පිලිගැනීම වනුවේ ජම්බාලගේ ප්‍රභවය වෙනත් ධ්‍යානි බුදුවරයෙකු වූ අක්ෂෝභයගෙන් වූ බවය. ජම්බාලගේ ශක්ති හෙවත් බිසව වනුයේ වසුධාරය. සාධනමාලාව නම් ග්‍රන්ථයේ දැක්වෙනුයේ ජම්බාල හට අක්ෂෝභයගෙන් මෙන්ම රත්න සම්භවගෙන්ද ප්‍රභවය විය හැකි බවය. අක්ෂෝභයගෙන් ප්‍රභවය වූ විට ඔහුට හිස් තුනක් සහ අත් සයක් ඇති අතර සිය මහේසිකාව සමග පෙනී සිටි. රත්න සම්භවගෙන් පහල වූ විට දකුණු අතින් මුගටියෙකු සහ වමතින් ජම්බල ගෙඩියක් දරා සිටී. ඔහුගේ ශරීර වර්ණය කහ පාට වේ.
මහායාන සංස්කෘත ග්‍රන්ථයක් වන මහාමයුරි හි කූවේර හඳුන්වා ඇත්තේ ධනේෂ්වර ලෙසය. එහි දැක්වෙන්නේ ඔහු සිංහලයන්ගේ විශ්වාසය අනුව ධනයට අදිපති දෙවියා වන බවය. එහිම සඳහන් වන පරිදි කලසෝදර (කලයක් වැනි උදරයක් ඇති) යනු සිංහල ද්වීපයේ අදහන යක්ෂයන්ට අධිපති දෙවියාය. කලසෝදර යනුද කුවේර විය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. කෙසේ වුවද පූර්වයේ පටන් කුවේර ඇදහීම මෙරට තිබූ බවට සාධක ඇත. මහාවංශයට අනුවද වෙස්සවන හට පුද කල නුග වෘක්ෂයක් පණ්ඩුකාභය රජ කල අනුරාධපුරයේ බටහිර දොරටුව අසල තිබී ඇත. අනුරාධපුරයේ දක්ෂිණ දාගැබේ ආයකයේද ඔහුගේ රූපයක් ඇත. අද පවා ජනවහරේ වෙසමුණි රජු ලෙස එම මතකයන් රැඳි පවතී.
මීට පෙරද අප සාකච්චා කල නාලන්ද ගෙඩිගේ එක් පනේලයක කුවේරගේ යැයි H.C.P. බෙල් විසින් මුල් වරට හඳුනාගත් ප්‍රතිමාවක් ඇත. එම පිළිමයේ දකුණු අතින් වරද මුද්‍රාව දැක්වෙන අතර වම් අතින් පසුම්බියක් දරා සිටී. පපුව සහ බඩ හරහා යන උපවිතක් ඇති අතර අත්පටි සහ මාල පැළැඳ සිටි. හිසට ඉහලින් ඡත්‍රයක් ඇති අතර දෙපසින් අහසින් ගමන් කරන විද්‍යාදරයන්ගේ රූප දක්නට ඇත. පල්ලව සම්ප්‍රදායේ ලක්ෂණ මෙම පිළිමයේ මුහුණේ සහ පා වල දක්වෙන බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසයි.  වෙනත් රටවලින් ලැබී ඇති ජම්බාල ප්‍රතිමා වල වමතින් මුගටියා වෙනුවට පසුම්බියක් හෝ මුගටියා සහ පසුම්බිය යන දෙකම දක්නට ඇති බව පවසන ඒ මහතා ඒ අනුව මේ පිළිමය ජම්බාල හෙවත් කුවේරගේ ප්‍රතිමාවක් ලෙස හඳුනාගනී.

මූලාශ්‍ර
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • History of Ceylon, Volume 1, Part 1, 1959
  • Pre-Buddhist Religious Beliefs in Ceylon, S. Paranavitana, Journal of Royal Asiatic Society (Ceylon Branch), Vol. 31, Part 82. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
ආශ්‍රිත පෙර ලිපි

Friday, March 10, 2017

නීලපට දර්ශණය, රති පූජාව, තන්ත්‍රයානය සහ නාලන්ද ගෙඩිගේ

පුද්ගලයන් තිදෙනෙකු එකිනෙකා සමග මෛථුනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයම
නීලපට දර්ශණය
කුමාරදාස රජු මෙරට පාලනය කරන කාලයෙහි දඹදිව දක්ෂිණ මධුරායෙහි විසූ ශ්‍රි හර්ෂ නම් රජ කෙනෙකුන් කල, සම්මිත්තිය නිකාය වාසී වූ භික්ෂුවක් රාත්‍රි කාලයෙහි නිල් වස්ත්‍රයක් පෙරව වෛශ්‍යා වාසයකට ගොස් එහි ලැග, පහන් වූ යාමයේ නැවත විහාරයට යන කල ඔහුගේ ශිෂ්‍යයෝ එය දැක " මේ වේශය යහපත්දැයි?" විචාල බවත්, එවිට තමා ගත් වේශය බොහෝ දෙනා දුටු හෙයින් එය වර්ණනා කර එහි අනුහස් පැවසූ බවත්, ඔහුගේ වචන පිලිගත් අනෙකුත් භික්ෂුන්ද නිල් රෙදි පෙරවි බැවින් එය නීලපට දර්ශණය ලෙස ප්‍රචලිත වූ බවත් නිකාය සංග්‍රහයේ සඳහන් වේ. ඔවුන් නීලපට දර්ශණ නම් වූ ග්‍රන්ථයක් කල බවත් වෛශ්‍යාංගනාවන් ඇසුර, සුරා පානය, සහ කාමදේවයා ඇදහීම තුන් රත්නය ලෙස සැලකු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුදු ශ්‍රි හර්ෂ රජු මේ බව සැලවී, මේ වනාහී ධර්මයක් නොව ශාසන භේදයක් බව වටහා ගෙන ඔවුන් ගෙන්වා ඔවුන්ගේ පොත් පත්ද සමගින් ප්‍රාසාදයකට ඇතුළු කර අග්නි පූජා කල බව නිකාය සංග්‍රහය පවසයි. කෙසේ නමුත් ඉන්පසු ඉතිරි වූ අනුගාමිකයන් මුල් නොසිදුනු ව්‍යාධියක් මෙන් පැතිර ගිය බවත් ලක්දිව පවා පැතිරුණු බවත් නිකාය සංග්‍රහය අවසානයේ සඳහන් කරයි. නීල සධන යනු තාන්ත්‍රික ඇදහීම් වලට ව්‍යවහාර වූ නමක් බවත් නීලපට දර්ශණය ලෙස වංශ කතාව දක්වන්නේ එම ඇදහිල්ල විය හැකි බවත් සෙනරත් පරණවිතාන, නන්දසේන මුදියන්සේ වැනි වියතුන්ගේ අදහසයි.
නාලන්ද ගෙඩිගේ
තන්ත්‍රයානය 
හින්දු තාන්ත්‍රික ඇදහීම් මහායාන බෞද්ධ දර්ශණය තුලට අවශෝෂණය වීමත් සමග නොයෙකුත් හින්දු දෙවියන් සහ දේවතාවියන්ට අනුකූල බෞද්ධ දෙවිවරු ඇතිවිය. ඔවුන් ධ්‍යානී බුදුවරු ලෙස වර්ග කෙරුණි. මෙම ඇදහීම් තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් ලෙස පොදුවේ හැඳින්වේ. නීලපට දර්ශණය ලෙස නිකාය සංග්‍රහයේ සඳහන් වන විස්තරය පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය මොරටුවේ සාසනරතන හිමියන් 'සම්මත' නම් ආචාර්යයන් විසින් පිහිටුවන ලද බැවින් 'සම්මිතිය' නම් වූ නිකාය, නීලපට දර්ශණය ලෙස නිකාය සංග්‍රහය කතුවරයා විසින් හඳුන්වා ඇති බව පෙන්වා දෙයි. නීලපට දර්ශණය යනුවෙන් හැඳින්වෙන ග්‍රන්ථය ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථයක් විය හැකි බවත් නිකාය සංග්‍රහය කතුවරයා දක්වන සිද්ධිය කොතරම් දුරට සත්‍යක්ද යන්න සෙවිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි. එම ග්‍රන්ථයේ එන ලෙස නිකාය සංග්‍රහය දක්වන 'වෛශ්‍යාරත්නං සුරාරත්නං...' යන පද්‍යයෙන් දැක්වෙන්නේ එම වචන වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන දේ නොව වෙනත් ගුප්ත දාර්ශණික ඉගැන්වීම් විය හැකි බවය උන්වහන්සේගේ අදහස.
හිටි බුදු පිළිමයක්- නාලන්ද ගෙඩිගේ 
නාලන්ද ගෙඩිගේ
මාතලේ දිස්ත්‍රික්කයේ බෝවතැන්න ජලාශය ආසන්නයේ තිබෙන නාලන්ද ගෙඩිගේ ලෙස ජන ව්‍යවහාරයේ හැඳින්වෙන පල්ලව සම්ප්‍රදායට අයත් ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත පිළිම ගෘහයේ පාදමේ ඇති එක් සුවිශේෂ කැටයමක් වැදගත් වන්නේ මෙරට පැරණි බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් නිර්මාණය වූ අනිකුත් ස්ථාන වල ඇති කැටයම් සමග සැසදීමේදි මෙහි විෂය අසාමාන්‍ය එකක් වීම නිසාය. පුද්ගලයන් තිදෙනෙකු අතර සිදුවන ශෘංගාරාත්මක මෛථුන සම්බන්ධතාවයක් එයට වස්තු විෂය වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසන්නේ ශෛලිය අතින් නාලන්ද ගෙඩිගෙය 8 වන ශත වර්ෂයට පමණ අයත් විය හැකි බවත්, එයින් එම කාලයේ පැවති තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් වල නරකම ආකෘතියක්(Worst form) පිළිබිඹු වන බවත්ය. අභයගිරි පරිශ්‍රයෙන් සොයාගත් ධාරණී ගල් වලද සඳහන් වන රති පූජාවන් ඉහත ගල් කැටයමින් නිරූපණය වනවා විය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ මෙවන් තවත් කැටයමක් පිළිබඳ 1910-11 වර්ෂ සඳහා වූ H.C,P. බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් වන මුත් එය මේ වන විට සොයාගැනිමට නොහැක. මේ නිසා මේ ස්ථානය තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් සිදු කල ස්ථානයක් ලෙස හඳුනාගත හැක. මෙයට ආසන්නව ස්ථූපයක් දක්නට ඇති අතර විහාර ගෙය තුල හිටි බුදු පිළිම සහ වෙනත් මූර්ති කිහිපයක අවශේෂද දක්නට ඇත. ස්ථානය පුරා විවිධ ආකාරයේ ශෛලමය නිර්මාණ වල නටබුන් විසිරි පවති.
නාලන්ද ගෙඩිගේ

මූලාශ්‍ර
  • ලක්දිව මහායාන අදහස්, මහාචාර්ය පණ්ඩිත මොරටුවේ සාසනරතන ස්ථවිර, 1952
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • History of Ceylon, Voume 1, Part 1, 1959
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • ලංකාවේ මහායානවාදය, සෙනරත් පරණවිතාන, පුරාණ යුගය, ශාස්ත්‍රිය ලිපි, පළවෙනි කාණ්ඩය, 1962