1815 දී ගිවිසුමකින් කන්ද උඩරට අවසාන සිංහල බල ප්‍රදේශය කපටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවරා දෙන අවස්ථාව වන විට එවකට
සිංහලේ ලෙසින් හැඳින්වූ එම ප්‍රදේශ පළාත් 21 කට බෙදා පාලනය කල බව පෙනේ. ඒවා මහ දිසා 4 ක්, දිසා 8 ක් සහ රටවල් 9 ක් ලෙසට විය.
සතර කෝරළේ, සත් කෝරළේ, ඌව සහ
මාතලේ මහ දිසා වශයෙන්ද,
සබරගොමුව, තුන් කෝරළේ, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා
තමණ්කඩුව දිසා වශයෙන්ද,
උඩුනුවර, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම සහ
පාත බුලත්ගම රටවල් ලෙසින්ද එසේ බෙදා තිබුණි. එම ප්‍රදේශ පිළිබඳව සහ ඒවායේ පිහිටි ගම් පිළිබඳව ඉදිරියට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන ලිපි පෙලක පළමු ලිපිය මෙසේ
උඩ බුලත්ගම රටට අයත්
අඹගොමුව කෝරළයෙන් ආරම්භ කරමි.
සිංහලේ පැරණි බෙදීම් අතර වූ
උඩ බුලත්ගම දකුණින්
සබරගමුව දිසාවෙන්, බටහිරෙන්
සතර කෝරළයෙන්, උතුරින්
දොළොස්බාගේ ප්‍රදේශයෙන් සහ නැගෙනහිරෙන්
කොත්මලේ රටින් මායිම් වේ.
උඩ බුලත්ගම නැවතත් කෝරළ දෙකකට බෙදා තිබූ අතර ඒවා
අඹගමුව සහ
පස්බාගේ ලෙසින් හැඳින්වේ. මෙම ලිපියෙන්
අඹගමුව කෝරළය පිළිබඳව ප්‍රධාන වශයෙන් 1872 සිට 1892 දක්වා
මහනුවර දිසා විනිසුරු ලෙසින් සේවය කල
A.C. ලෝරි විසින් සම්පාදනය කල ගැසටියර් නාමාවලිය (A Gazetteer of the Central Province of Ceylon Volume 1 & 2) අනුසාරයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
|
මස්කෙලිය ඔය හරස් කර ඉදිකල මාඋස්සාකැලේ ජලාශය |
අඹගමුව කෝරළය ප්‍රධාන ගංගා නිම්න තුනකින් පෝෂණය වන ප්‍රදේශයක් ආශ්‍රීතව පිහිටා ඇත.
මහවැලි, කෙහෙල්ගමු ඔය සහ
මස්කෙලිය ඔය එම ගංගා නිම්න තුනයි. සුදු අධිරාජ්‍යවාදීන් පළමුව කෝපි සහ පසුව තේ වගා සඳහා එම ප්‍රදේශ එලි කිරීමට ප්‍රථමයෙන් ඝන වනාන්තර වලින් එම නිම්න වැසී පැවතුන බව
ලෝරි සඳහන් කරයි. සිය ගැසටියර් නාමාවලිය සම්පාදනය කරන යුගය වන විට (1896) එම සියළු වනාන්තර බිම්
අඹගමුව, පහල දික් ඔය, බොගවන්තලාව සහ
මස්කෙලිය වැවිලි දිස්ත්‍රික්ක බවට පත්වී තිබූ බව ඔහු පවසයි.
ලෝරි වැඩිදුරටත් පවසන්නේ එම කෝරළයේ උඩරට සිංහල ජනයා සුළු ප්‍රමාණයක් පමණක් වාසය කල බවත් ඔවුන් වගා කල සමතලා භූමි ආශ්‍රීතව පමණක් විසූ බවත්ය (Kandyan population is small and is confined to localities where the land is level and irrigated). ඉහල කඳුකර පෙදෙස් ජල පෝෂිත ප්‍රදේශ ලෙසින් ආරක්ෂා කරමින් පහත් තැනිතලා බිම් වගා බිම් ලෙසින් සහ වාසභූමි ලෙසින් යොදාගත් පරිසර හිතකාමි සිංහල ජීවන රටාව ලෝරිලා එවකට හඳුනාගෙන නොතිබූ අතර ඔවුන් ඉහල කඳුකර බිම් මුළුමනින් නිරුවත් කර තේ සහ කෝපි වගාබිම් ඉදිකලහ.
|
කෝපි සහ තේ වගා සඳහා එලි කිරීමට පෙර ශ්‍රීපාද අඩවිය දක්වා විහිදුනු බොගවන්තලාව ප්‍රදේශයේ වනාන්තර බිම් තේ වගාවෙන් අද වැසී පවතින ආකාරය |
අඹගමුව කෝරළයේ පැරණි ගමක් වන
අඹගමුව පිළිබඳව වර්ෂ 1819 දී ඒ හරහා ගිය
ඩේවි වාර්තා කර ඇති අතර සුප්‍රසිද්ධ
අඹගමුව සෙල්ලිපියද එහි පිහිටි
අකුරුකෙටූගල කන්ද ලෙසින් හැඳින්වෙන ස්ථානයේ හමුවේ.
ඩේවිගේ මාර්ග විස්තරය පිළිබඳව වූ ලිපිය කියවීමට
>>
අඹගමුව සෙල්ලිපිය පිළිබඳව වූ ලිපිය
>>
අඹගමුව කෝරළයේ පිහිටි විශාල ගම්මානයකි
කෙහෙල්ගමුව.
දික් ඔය සහ
බොගවන්තලාව වතු දිස්ත්‍රික්ක අයත් වන්නේද
කෙහෙල්ගමුවට ලෙස
ලෝරි දක්වයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ කඳු බෑවුම් සහ නිම්න ඔස්සේ තේ වගාව ඇරඹීමට පෙර එම ප්‍රදේශය මුළුමනින්ම පාහේ රාජකීය කැලෑ ප්‍රදේශ බවය. එහෙත් 1881 වසරේදී මුළු ජනගහණය 888 වූ
කෙහෙල්ගමුව ප්‍රදේශයේ වූ ලෙස
ලෝරි දක්වන ඇතැම් ගම්මාන පෙර සිට පැවතුන බව පෙනේ. ඒවා නම්
අඹතලාව, ඇල්ලේඋඩගම, කඳුරේගොඩ, තිනියගල, හෝමාගම සහ
හොරකඩයි. මෙම ගම්මාන වල 1891 දී මුළු ජනගහනය 1157 ව තිබී ඇති අතර ඉහත ගම්මාන වලට අමතරව
කඩවල සහ
කලවැල්දෙනියද එම වසරේ
සංගණනයේදී සැලකිල්ලට ගෙන ඇත.
|
කෙහෙල්ගොමු ඔය නිම්නය. මෑත පිහිටි කඳු පංතිය සහ ඈතින් දිස්වන කඳු පංතිය අතර මස්කෙලිය ඔය නිම්නය පිහිටා ඇත. ඡායාරූපය ගෙන ඇත්තේ B71 මාර්ගයේ වටවල සහ නොර්ටන් බ්‍රිජ් අතර ස්ථානයකදීය |
අඹතලාව ග්‍රාමයේ 1891 වසරේ සංගණනයට අනුව පුද්ගලයන් 31 දෙනෙකු සිට ඇත.
සීත ගඟුල නමින් වූ ගම්මානයක්ද
අඹගමුව කෝරලයේ තිබී ඇති බව
ලෝරිගේ සටහන් වල හමුවේ. 1891 වසරේදී එහි පදිංචිව සිට ඇත්තේ මිනිසුන් දෙදෙනෙකු සහ ගැහැණුන් දෙදෙනෙකු පමණි. මේ ශ්‍රීපාද මාවතේ පිහිටි සුප්‍රසිද්ධ
සීත ගඟුල ආශ්‍රීත ප්‍රදේශයේ තිබූ ගම්මානයක්ද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් වර්තමාන
සීත ගඟුල ප්‍රදේශයද
අඹගමුව කෝරලයේ සීමාව තුල පිහිටා ඇත. [
පසු සටහන - සීතගඟුලගම නමින් ගම්මානයක් නොර්ටන් - මස්කෙලිය B328 මාර්ගයේ 76 - 77 කිලෝමීටර කණු අතර මාර්ගයේ දකුණු පසින් මස්කෙලිය ඔයේ වම් ඉවුරේ මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මෙය පැහැදිලිවම ලෝරි සඳහන් කරන සීතගඟුල විය යුතුය.]
යටිගන්හුලහ ලෙසින් හැඳින්වූ ප්‍රදේශයට ගම්මාන කිහිපයක්ම අයත් වී ඇත.
දාගම්පිටිය, ගෝනාවල, මැඩිල්ල,
පදුපොල සහ
පිටවල ලෙසින් ඒවා දක්වා ඇත.
යටිගන්හුලහේ ග්‍රාමයට අයත් කුඩා ගමක් වන
ගෝනාවල ගමෙහි ගම්මුන් 63 ක් 1881 වසරේ සිට ඇති මුත් එම සංඛ්‍යාව 1891 වන විට 52 දක්වා පහල බැස ඇත. එහිම පිහිටි ලෙස දක්වා ඇති
පදුපොල ලෙසින් හැඳින්වූ තවත් කුඩා ගමක 1881 දී 281 වූ ජනගහණය 1891 වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් 189 දක්වා පහල බැස ඇත.
දාගම්පිටිය ග්‍රාමයේ 1881 වසරේ මෙන්ම 1891 සංගණනයෙහිද හමුවූ පුද්ගලයන් ගණන 53 කි.
මැඩිල්ල ග්‍රාමයේ පිළිවෙලින් 1881 සහ 1891 වසර වල ජනගහනය 83 සහ 170 ලෙසින්ද,
පිටවල 1891 වසරේදී එය 131 ලෙසින්ද දක්වා ඇත.
තිනියගලද (
Tuniyagala) දැනටද හඳුනාගත හැකි මෙම ප්‍රදේශය ආශ්‍රිතවම හමුවන එවකට තිබූ ගම්මානයකි.
|
අඹගොමුව කෝරලයේ බටහිර සීමාව වන කඳු පංතිය. පෙරබිමෙහි මස්කෙලිය ඔය නිම්නය දැක ගත හැක. කිරිවන්එළිය ප්‍රදේශයේදී B328 මාර්ගයේ සිට ඡායාරූපය ගෙන ඇත. |
අඹගමුව කෝරලයේ අනෙකුත් ගම්මාන සමග සැලකූ විට
දික් ඔය ග්‍රාමයේ සැලකිය යුතු ජනගහණයක් වාසය කල බව පෙනේ. 1881 දී 498 වූ එහි පුද්ගලයන් සංඛ්‍යාව 1891 වන විට 624 දක්වා වැඩිවී තිබේ. මේ වනවිට
කෙහෙල්ගමු ඔය නිම්නය සහ එහි අතු ගංගා වන
දික් ඔය, මැණික් ඔය, දරවැල්ලේ ඔය සහ
බටු කැලේ ඔය ආශ්‍රිත නිම්න භූමි ඔස්සේ ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ තේ සහ කෝපි වතු අයත් වූ '
දික් ඔය දිස්ත්‍රික්කයේ' වතු වල සේවා සැපයීමට සංක්‍රමණය වූ පහත රට සිංහල ජනයා පදිංචි වීම මෙම විශාල ජනගහණය ඇතිවීමට සහ කෙටි කලකින් එය 25% කින් පමණ වැඩිවීමට හේතු වූවාදැයි විමසා බැලිය යුතුය.
දික් ඔය, දරවැල්ල, මැණික්වත්ත, ද්‍රබාර් සහ
වනරාජ වතු වර්ෂ 1855 පමණ වූ මුල් කාලයේදීම ඇති වී තිබූ අතර එම
දික් ඔය වතු දිස්ත්‍රික්කයට අයත්ව ඒ වන විට තිබූ තේ සහ කෝපි වතු 117 ක ලැයිස්තුවක් ඒවායේ විශාලත්වයන්ද සමග
ලෝරි ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත්
දික් ඔය ප්‍රදේශය තුල පිහිටි
සමරවිල නමින් වූ 1891 වසරේදී 44 දෙනෙකු ජීවත් වූ ඉන් පෙර වසර වල සංගණන වල හමු නොවන ගම්මානයක් පිළිබඳව විස්තර හමුවේ. මෙය ඇතැම්විට පැරණි ගම්මානයක් විය හැක.
|
මුල් යුගයේම ආරම්භ වූ දරවැල්ල වතු යායේ සුදු ජාතික වතු අයිතිකරුවන්ගේ භාවිතය සඳහා ඉදිවූ සමාජ ශාලාව (Planter's Club - Darawella) |
1891 වසරේදී 419 ක් තරම් වූ විශාල ජනගහණයක් ජීවත් වූ
වටවල සම්බන්ධව 1871 මෙන්ම 1881 ජන සංගණන වලදී කිසිදු සඳහනක් නොවීම ද පැහැදිලි කල හැක්කේ වතු ආශ්‍රිතව සිදුවූ ජනතාව සංක්‍රමණය වීමේ ප්‍රතිපලයක් ලෙසින් සිදුවූ ශ්‍රීඝ්‍ර ජනගහන වර්ධනයක් ලෙසින්ද නොමැති නම් එම හේතූන් නිසාම එම යුගයේ ඇතිවූ පැරණි ගමක් නොවන නව ජනාවාසයක් ලෙසින්ද යන්න පැහැදිලි නැත.
|
බ්‍රිතාන්‍යය වතු අයිතිකරුවන්ගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා ඉදිවූ ඇංග්ලිකන් පල්ලිය - දික් ඔය (Christ Church Warleigh - Dik Oya |
19 වන සියවස අවසාන භාගයේ සාපේක්ෂව සැලකිය යුතු ජනතාවක් වාසය කල පැරණි සිංහල ගමක් ලෙස මේ ප්‍රදේශයේ හඳුනාගත හැකි
කළුගම්මන, පල්ලේබාගේ සහ
උඩබාගේ ලෙසින් කොටස් දෙකකට බෙදා තිබී ඇත. මෙයින්
පල්ලේබාගේ (469)
කොටසට අයත් ලෙස
කන්ගරාපිටිය (278) සහ
හිටියගමත් (256),
උඩබාගේ (409)
ගම් ලෙස
මොරහේනගම (269)
සහ
කිරිවන්එළියත් (279) දක්වා ඇත. [සැ.යු. ඉහත ග්‍රාම නාම සමග වරහන් තුල 1881 ජන සංගණනයේදී එම ගම් වල විසූ ගම්මුන් ප්‍රමාණ දක්වා ඇත.]
උඩබාගේ ගම්මාන තුල වී වගාව ගම්මුන්ගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරමින්වත් සිදු නොවූවත් ප්‍රදේශය තුල පිහිටි 7000-8000 පමණ වූ කිතුල් ගස් වලින් ගම්මුන් වෙළදාම සඳහා හකුරු සෑදූ බවත්, කුරක්කන්, බඩ ඉරිඟු සහ ගොඩ වී සැලකිය යුතු ප්‍රමාණ වලින් ප්‍රදේශය තුල වගා කල බවත් සඳහන් වේ. තේ වගාවද ඒ වන විට ප්‍රදේශය සැලකිය යුතු මට්ටමකින් ආක්‍රමණය කර තිබී ඇත.
දැන්
මස්කෙලිය වතු දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පූර්වයෙහි ශ්‍රීපාද වන්දනාකරුවන් පමණක් ගමන් කල නොනැවතී විහිදුනු වනාන්තරයෙන් යුත්ත වූ ප්‍රදේශයක් බව
ලෝරි සඳහන් කරයි.
බොගවන්තලාව සහ
සමනල කඳු පෙදෙසින් ඇරඹෙන සිය ගණන් දිය දහරා එකතු වී මේ ප්‍රදේශයේදි සිය ගමන අරඹන
මස්කෙලිය ඔය කැළණි ගඟේ ප්‍රධාන මව් ගංගාවකි. වර්ෂ 1866 හෝ 67 වර්ෂයේදී පමණ කෝපි වගාව මේ ප්‍රදේශයේ ආරම්භ වී ඇති අතර වර්ෂ 1880 දී පමණ මුල් තේ වතු ආරම්භ කර ඇත. ඒ වන විට තිබූ තේ වතු 71 ක විස්තර
ලෝරි ඉදිරිපත් කර ඇත.
|
වතු වගාව ආරම්භයට පෙර ඝන වනාන්තරයෙන් වැසී තිබූ මස්කෙලිය ප්‍රදේශය අද |
නමින්ම හැඟෙන පරිදි පැහැදිලිවම වතු වගාවත් සමගම ඇතිවූ කඩමණ්ඩියක් සහ පසුව නගරයක් බවට පත්වූ
හැටන් අයත් වන්නේද
අඹගමුව කෝරළයටය. පෙර සංගණන වල දත්ත ඇතුලත්ව නොතිබූ මුත් 1891 වසරේදී එහි ජනගහනය 1017 පමණ වූ විශාල අගයක් විය. වර්ෂ 1884 ජූනි 4 වන දින
හැටන් දක්වා දුම්රිය ගමන් ඇරඹීමත් සමගම එය ජනාකීර්ණ නගරයක් බවට පත්වීම ඉක්මන් වන්නට ඇත.
|
වතු වගාව ආරම්භයට පෙර ඝන වනාන්තරයෙන් වැසී තිබූ මස්කෙලිය ප්‍රදේශය අද |
පැරණි
මලය රට පිළිබඳව මෙයට පෙර මෙම බ්ලොග් අඩවියේ පලවූ ලිපියක
අඹගමුව සෙල්ලිපිය ඇසුරින් හඳුනාගත හැකි එවකට තිබූ පැරණි සිංහල ගම් කිහිපයක් පිළිබඳව විස්තර ඉදිරිපත් කලෙමි.
පළමුවන විජයබාහු රජතුමා එම ලිපියෙන්
ශ්‍රීපාදයට පිදූ
විල්බා පෙදෙස වර්තමාන
අඹගමුව කෝරලය බවත්, එහි පිහිටි
කෙලගමුව වර්තමාන
කෙහෙල්ගමුව බවත් (
කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත්
කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ
කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.)
තිනියගල් යනු වර්තමාන
තිනියගල බවත්,
සොරගොඩ වර්තමාන
හොරකඩ බවත් පෙන්වාදුන්නෙමි ( එම ලිපිය කියවීමට
>> )
අඹගමුව නාමයද එදා සිට අද දක්වාම නොවෙනස්ව අදද එම නමින්ම හැඳින්වෙන ප්‍රදේශයට ව්‍යවහාර වේ.
|
සිතියම 1 |
19 වන සියවසේ
අඹගොමුව කෝරලයේ තිබූ ලෙසට
ලෝරි ඉදිරිපත් කරන ගම් අතරින්
පදුපොල සහ
සමරවිල යන ගම්මාන හැර සෙසු සියළු ගම් ඉහත සිතියමේ සලකුණු කර ඇත.
පදුපොල එහි නමින්ම හැඟෙන පරිදි ඇතැම්විට පදු කුලයේ ජනයා විසූ කුඩා ගමක් වන්නට ඇත. හීන කුලයක් ලෙසින් එකල පිළිගත් බැවින් කාලයත් සමග එම නම භාවිතයෙන් ඉවත්වී ඇතැම්විට වෙනත් ගමක් තුල සැඟව යන්නට හෝ අලුත් නාමයක් ලබන්නට හෝ ඇත
[පදුපොල පිළිබඳව ප්‍රදීප් විසින් පහල එකතු කල කොමන්ටුව බලන්න].
කෙහෙල්ගමුව, කළුගම්මන සහ
යටිගන්හුලහ යන ගම්ද හඳුනාගත නොහැකි මුත්
ලෝරි පවසන පරිදි එම නම් ව්‍යවහාර වී ඇත්තේ විශාල ප්‍රදේශයකට වන අතර ඒ ප්‍රදේශ තුල පිහිටි කුඩා ගම් (Hamlets) ඔහු ඉදිරිපත් කර ඇත. කාලයත් සමග එම ව්‍යවහාර යටපත් වී එම කුඩා ගම් අද වන විට විශාල ගම් බවට පත් වී ඇත. සිදුවිය යුතු පරිද්දෙන්ම
කෙහෙල්ගමුව, යටිගන්හුලහ, කළුගම්මන වැනි ගම් කිහිපයක් අයත් වන ප්‍රදේශයකට ව්‍යවහාර වූ නම් ඒ සමගම භාවිතයෙන් ඉවත් වන්නට ඇත. එහෙත්
කෙහෙල්වරාව ලෙසින් ග්‍රාම නිලධාරි වසමක් සහ ගමක් අදද හඳුනාගත හැක. එහි පැරණි
කෙහෙල්ගොමුව නම සැඟව පවතී. තවද
කෙහෙල්ගොමු ඔය එම නම තවමත් දරා සිටී.
|
සිතියම 2 - අඟලේ සිතියම් වල සමර්විල් ලෙසින් ලකුණු කර ඇති ස්ථානය බලන්න |
දික් ඔය ප්‍රදේශයේ පිහිටි ලෙස
ලෝරි පවසන
සමරවිල ගමද අද හඳුනාගත නොහැක. ඉහත සිතියම 1 දෙස බැලූ විට
දික් ඔය ප්‍රදේශය පිළිබඳව අප ඉහත මතු කල පරිදිම එය පැරණි ගමක්ද යන්න පිළිබඳව සැක මතුවේ.
අඹගොමුව කෝරලයේ සියළුම පැරණි ගම්
ගිනිගත්හේන ප්‍රදේශයෙන් දකුණට සහ ගිණිකොන දිශාවට යොමු වූ
මස්කෙලිය සහ
කෙහෙල්ගොමු ඔය බඩ නිම්න අවට තැනිතලා ප්‍රදේශයකට සීමා වේ. එම ප්‍රදේශය හැර
අඹගොමුව කෝරලයේ සෙසු සියළු පෙදෙස් වතු වගාව ඇරඹීමට පෙර
ශ්‍රීපාද අඩවිය දක්වා විහිදුනු වනාන්තරයෙන් වැසී තිබූ බව
ලෝරිගේ විස්තරයෙන්ද පැහැදිලි වේ. එයට
දික් ඔය ප්‍රදේශයද අයත්වේ. ඒ අනුව එම ප්‍රදේශයේ එවන් ගමක් පිහිටීමේ හැකියාව අල්පය.
කෙසේ නමුත් පැරණි අඟලේ සිතියම් වල වර්තමාන දික් ඔය නගරයට දකුණින් කාසල්රේ ජලාශය ඉවුරේ සමර්විල් ලෙසින් ස්ථානයක් සලකුණු කර ඇත. ඉංග්‍රිසි Summer වචනය සමග විල යන සිංහල වචනය එකතු වී සෑදී ඇති එම අසාමාන්‍ය නාමය එහි මුලින් පදිංචිව සිටි සිංහල ජනයා එම ගම අතහැර දැමූ පසු පසුකාලීනව ඉංග්‍රිසි ජාතිකයක් අතර සමරවිල යන්න ශේෂ වූ ආකාරයද? [පසු සටහන බලන්න]
සමරවිල (එනම්
අනංග විල යන අරුත ඇති) නමින් හැඳින්වූ ස්වභාවික විලක් දැනට
කාසල්රේ ජලාශයට යටවූ
කෙහෙල්ගොමු ඔයේ නිම්නයේ මෙම ස්ථානය අසල පිහිටීමේ සැලකිය යුතු ඉඩක් පවතින්නේ එම ප්‍රදේශය
බොගවන්තලාව ප්‍රදේශයේ සිට ගලා බසින
හම්බන්තොට ඔය සහ අවට පිහිටි කඳු මුදුන් වලින් ගලා බසින ලොකු කුඩා දිය පහරවල් සිය ගණනකින් සමන්විත කඳු වලල්ලකින් වටවූ ප්‍රදේශයක් වන බැවිනි (සිතියම බලන්න) එම ජලය එක් රැස් වන ප්‍රදේශය සහ ඒ අසල පිහිටි ගම පැරැන්නන්
සමරවිල ලෙසින් හැඳින්වූවාද?
පසු සටහන
* කෙසේ නමුත් පැරණි අඟලේ සිතියමක
සමර්විල් ලෙසින් සිංහල භාෂාවෙන් සලකුණු කර ඇති ස්ථානය වර්තමානයේ
Summerville ලෙසින් මෙට්‍රික් සිතියම් වල සලකුණු කර ඇත.
Summerville ලෙසින් නගරයක්ද
ඇමරිකා එක්සත් ජනපදයේ South Carolina වල පිහිටා ඇත. තවද
දික් ඔය තේ වතු දිස්ත්‍රික්කයේ
ලෝරි ඉදිරිපත් කරන වතු අතර
Summerville ලෙසින් වත්තක්ද ඇති බැවින් ඉහත උපකල්පන නිවැරදි නොවන බව පෙනේ
|
කෙහෙල්ගොමු ඔය හරස් කර ඉදි කල කාසල්රේ (Castlereigh Reservoir) ජලාශය. බොගවන්තලාව ප්‍රදේශයේ සිට ගලා එන හම්බන්තොට ඔයද කාසල්රේ ජලාශයට සිය ජල කඳ මුහු කරයි |
මූලාශ්‍ර
- A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
- A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
- ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
- ලේකම්මිටි විමර්ශනය, ආචාර්ය එච්. ඒ. පී අභයවර්ධන, 2009
- කඩඉම්පොත් විමර්ශනය, ආචාර්ය එච්. ඒ. පී අභයවර්ධන, 1996
Summerville වුනේ Somerville වෙන්නත් පුළුවන්. මේ අයගේ මූලාරම්භය ප්‍රංශයේ වුවත් පසුව ස්කොට්ලන්තයේ පැලපදියම් වී ඉන් පසුව ලංකාවටත් ඇවිත් තියෙනවා. 1870දී ලංකාවට පැමිණි William Somerville ලංකාවේ තේ කර්මාන්තයේ පුරෝගාමියෙක්. මුලින්ම කෝපි වවන්න බලාගෙන ආවත් කෝපි වගාව අසාර්ථක වීමෙන් පසුව තේ වලට අත ගහල තියෙනවා. 1880දී තේ තැරවුකාර සමාගමක් පටන් අරන් ලංකාවේ මුල්ම තේ වෙන්දේසියටත් සම්බන්ධ වී තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙත් (CCC) පුරෝගාමියෙක්. Somervilleලා පසුගිය සියවසේ මැද දක්වා ලංකාවේ ඉඳලා තියෙනවා.
ReplyDeleteAll about Tea, Volume 2 By William Harrison Ukers published 1935. pp .263.
https://www.historyofceylontea.com/ceylon-publications/maxwell-fernando-archive/auctioneers-and-brokers.html
Clan Somerville - http://www.allinthepast.net/scot-irish/clans_m-z/somerville_clan/index.htm
ville - https://en.wikipedia.org/wiki/Ville
ස්තූතියි තොරතුරු වලට
Deleteසමර්විල් තේ බ්‍රෝකර් සමාගම තාම මෙහෙ තියනවා
Deleteතේ බ්‍රෝකරින් තාම කරනවද ශුවර් නෑ.අහල බලන්න ඕනෙ. සමර්විල් ස්ටොක් බ්‍රෝකරින් නම් කරනව
Deleteඉකොනෝ වගේ තොරතුරු දෙන්න නම් දන්නේ නැහැ. ඒත් ආසාවෙන් කියවනවා බූෂණ, අනාගත පරපුරට මේ තොරතුරු සංරක්ෂණය වීම ගැන සතුටෙන් යුතුව.
ReplyDelete"...ඒත් ආසාවෙන් කියවනවා බූෂණ" - සතුටුයි!! :)
ReplyDeleteපදුපොල (බදුපොල) අදටත් ව්‍යාවහාරවන ග්‍රාම නාමයක්. කොලඹ හැටන් මාර්ගයේ හොරකඩ හැරනෙ හංදිය හඳුන්වන්නේ රංජුරාව (රංජිරාව) නමින්. එම හංදියේ සිට මදක් ගිනිගත්හේන දෙසට ගියවිට පවතින්නේ පදුපොල වේ. එය ප්‍රධාන මාර්ගයක පිහිටා තිබීමත්, ප්‍රධාන මාර්ගය ගමන්ගන්නේ දුර්ගයක වීමත් නිසා මෙය බදු අයකල ස්ථානයක් විය හැකියි.
ReplyDeleteබෙහෙවින්ම ස්තූතියි ප්‍රදීප්. මේ ගම් වල වර්තමාන තත්වය සොයාබැලීම මූලික වශයෙන් සිතියම් ආශ්‍රයෙන් පමණක් සිදු කරන බැවින් සිතියම් වල දැකිය නොහැකි එහෙත් භූමියේ තවමත් පවතින මේ වැනි ස්ථාන මග හැරීම සිදුවෙනවා. බොහෝවිට එම ගමේ නම බදුපොල වීමේ ඉඩ වැඩී එහි පිහිටීම ගිනිගත්හේන ආසන්නයේ තිබෙනවා නම්. මොකද ගිනිගත්හේන ඇත්ත වශයෙන්ම කපොල්ලක්. කන්ද උඩරටට ඇතුළුවන කපොල්ලක් ලෙස වුවත් සැලකිය හැකියි. ඉහත සිතියමේ වුවත් කුඩා කඳු ගැට දෙකක් අතරින් ඇති එම කපොල්ල දැකගත හැකියි. එවැනි ස්ථාන වල බදු අයකිරීම සිදුවන්නට ඇති.
Deleteඔව්, පදුපොල ගිනිගත්හේනට කිලෝමීටර් 3-4 ආසන්නයේ තමයි තියෙන්නෙ. අනිත් එක විස්තරයේ 4-5 ඡායාරූප වල තියන කඳුපංතිය සප්තකන්‍යා ලෙස හඳුන්වා නැත්තේ මන්ද ? ලංකාවේ මෙතෙක් සිදුවී ඇති ප්‍රධානතම ගුවන් අනතුරු සිදුවී ඇත්තේ මෙහි නිසා එය බොහෝ දෙනා දන්නා කඳු පංතියක්.
Deleteඔව් ඒ කඳුවැටියට සප්ත කන්‍යා කියල කියනවා තමා. ඒත් ඒ නම කිසිම සිතියමක දකින්නට නැහැ. ඔය නම ඔය කඳු වැටියට ඒ ප්‍රදේශ වල පැරණි පුද්ගලයන් භාවිතා කලේ නැහැ නේද? මම දන්න තොරතුරු වලට අනුව නම් ඒ නම භාවිතයට එන්නේ ඔය ගුවන් අනතුරත් සමග. ඒ නම ඔය කඳුවැටියට යොදන්නේ මාධ්‍යය. දැන් නම් ඒ ප්‍රදේශ වල උනත් ඔය නම භාවිතා වෙනවා. මට මතක හැටියට අවම වශයෙන් කාලයකට පෙර උඩ මාලිබොඩ ප්‍රදේශයේ ගම්මුන් මට පැවසූ ආකාරයට නම් ඔවුන් අතරවත් එවන් නමක් නැහැ. එක් මුදුනක් ඔවුන් බඹරගල ලෙස හඳුන්වනවා. ප්‍රදේශය පිළිබඳව අත්දැකීම ඇති ඔබ මේ පිළිබඳව අතීතය එනම් සප්ත කන්‍යයා නම ඇතිවීමේ අතීතය පිළිබඳ යමක් දන්නවා ඇති. කෙසේ නමුත් ඉදිරියට වෙනත් ලිපියකින් මෙම ප්‍රදේශ වල පිහිටි කඳු මුදුන් සහ දොල පාරවල්, ඔයවල් ආදියේ පැරණි නම් සහ ඒවා වෙනස් වුන ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ලිපියේ කඳු වැටි පිළිබඳව තොරතුරු ඉදිරිපත් නොකලෙත් එබැවින්
Deleteබබරගල තියෙන්නෙ සප්ත කන්‍යා කදුපන්තියෙ නෙවෙ.ඒක තියෙන්නෙ උඩ මාලිබොඩ බබරගල ගම ආසන්නව .නමුත් බබරගල සිට සප්ත කන්‍යා හරහා මස්කෙළියට ,ලක්ශපානවලට යන්න පුලුවන්
Deleteස්තූතියි. නමුත් ඊට මෙහයින් තිබ්බත් ඒ කඳු වැටියෙම කොටසක් නේද? මන් හිතන්නේ කිරිවන්එලිය පැත්තේ ඉදන් බලන කොට බඹරගලත් පේනවා. ප්‍රධාන කඳු පෙලට මදක් පිටිපසින් නමුත් ආසන්නව
Deleteසුපිරි..
ReplyDeleteස්තුතියි. මම නැවතත් බදුපොල පිලිබඳව බැලුවා. ඒ නම තවමත් ව්‍යවහාරයේ පවතින නමුත් ලංකාවේ ගම් ලයිස්තුවේවත් ඒ පිලිබඳව සඳහන්ව නැහැ. https://testlife.lankagate.gov.lk/LIFe/navigate/index?offset=480&max=30&active=1&lang=en&province=64&district=47&divisionalSecretariat=1025 . ඔබේ ලිපියේ සමරවිල ලෙස සඳහන් ප්‍රදේශය http://www.it.survey.gov.lk/gn_updating/ මිනුම් දෙපාර්තමේන්තුවේ ග්‍රාම නිලධාරී වසම් පිලිබඳ සිතියමට අනුව අයත් වන්නේ Lethenty නම් ග්‍රාමනිලධාරී වසමට. දැන් එය තුල පවතින ගම් ලෙස සඳහන්ව ඇත්තේ ඉංග්‍රීසි නම් සහිත වතු රාෂියක් පමණයි. එනිසා පැරණි නම් යටපත්ව ගොස් ඇති. සීතගඟුල නමින්ම ග්‍රාමනිලධාරී වසමක් සහ ගමක් ද තිබෙනවා. සප්ත කන්‍යා පිලිබඳව බලල කියන්නම්.
ReplyDeleteස්තූතියි නැවතත්. ඔව් මන් ලගත් තිබෙනවා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ කලකට ඉහත තිබුනු ගම් ලැයිස්තුවකින් ගත්තු ලිස්ට් වගයක් ඒකෙත් අඹගමුව කොට්ටාශාය් තුල ඇති ගම් අතර ඒ නම නැහැ. ඔව් සීතගඟුල ගම ගැන මම ටිකකට පෙර හොයාගෙන පෝස්ට් එක යාවත්කාලීන කලා. හපුගස්තැන්න කිට්ටුව මස්කෙලිය ඔයේ වම් ඉවුරේ එම නම සහිත ගමක් සලකුණු කරලා තියෙනවා මෙට්‍රික් සිතියමේ.
ReplyDeleteභූෂණ දන්නව ඇති පසුගිය අවු 100 ක පමණ කාලයක් ඇතුලත ලන්කාවෙ මුලු කදුකර ප්‍රදේශවල උඩු පස top soil අඩියකින් අඩුවෙලා /ඛාදනය වෙලා කියලා. මුලින්ම යටත්විජිත සමයේ කැලෑ එලිකිරීමෙන් පටන් ගත්තා. ඉස්සර තේවතුවල අඩු ගණනේ හුගක් තද බෑවුම් එලි නොකිරීම, ඇල දොල රක්ශිත පවත්වා ගැනීම හා වැටි දැමීම කලා. ජනසතුකිරීමෙන් පසු ඇල රක්ශිත හුගක් නැතිවුනා. පසුව හා දැනටත් ලොකුම හානිය එලවලු වගාව. Steep බෑවුම් එලි කිරීම හා වැටි නිසි ලෙස නොදැමීම නිසා රාගල නුවරලිය පස් තියෙන්නෙ රන්‍ටැඹේ රන්දෙනිගල ජලාසවල. පොඩි වැස්සටත් ඒවා පිරෙනවා බාගයක් මඩවලින් පිරිල නිසා. පොඩි නියගටත් හිදෙනවා.
ReplyDeleteඔව් කඳුකරයේ කැලෑ හෙලි කර වතු වගාව සිදුකිරීම තවමත් විශාල විදේශ විනිමයක් මෙරටට ගෙන ආවත් ඒ නිසා සිදුවෙච්ච සහ තවමත් සිදුවෙන පරිසර අසමතුලිතතාවය විශාලයි. ඔබ කිව්වා වගේ ජනසතු කිරීමත් එක්ක ඒක තවත් වැඩි උනා වෙන්න පුළුවන්. අනෙක් අතට ජනසතු කිරීමත් එක්ක අතහැර දමපු තේ වතු ප්‍රමාණයත් විශාලයි.2015 ට පෙර සම්පාදනය කල National Physical Master Plan එකේ තිබ්බා එහෙම හඳුනාගත්තු ප්‍රදේශ වල නැවත වන වගාව සිදු කිරීම සම්බන්ධ යෝජනා. (2015 න් පසු ඒක නෙමේනේ ක්‍රියාත්මක උනේ. බැඳුම්කර මාස්ටර් ප්ලැන් නේ) ඒත් තාම නම් ඒවා සිදු වෙලා නැහැ. ඉදිරියටවත් වෙයි කියලා බලාපොරොත්තුවෙන් සිටිමු. එලවළු වගාව නිසත් සිදුවන විනාශය ඒ වගේම තමා.
ReplyDeleteඑතකොට "රට" භාවිතා වෙලා තියෙන්නේ අද අර්ථයට හාත්පසින්ම වෙනස් අර්ථයකින් ද?
ReplyDeleteඑහෙමම කියන්න බැහැ. එකම වචනය උනත් විවිධ අර්ථයෙන් යොදාගන්න පුළුවන්නේ. රට යන්නෙහි තේරුම ප්‍රදේශයක් කියන එක. එතකොට ඒක ඉංග්‍රිසියෙන් Country කියන එකට මෙන්ම Province or District එකටද යොදාගන්න්න පුළුවන්. අදාල සන්දර්භයේදී එය යොදන්නේ කුමකටද යන්න ඒ අනුව තේරුම් ගන්න පුළුවන්. රට යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ ප්‍රධානියා රටේරාල ලෙසින් හැඳින්වුනා එය දිසාවේ වරයාට වඩා පහල තනතුරක්
Deleteමම ගිනිගත්හේන ප්‍රදේශයේ කිහිප දෙනෙකුගෙන්ම අහලා බැලුවා. එයාල කියන විදියටනම් සප්ත කන්‍යා නම ඉස්සර ඉඳලම (අනතුරට පෙර) තිබුන එකක්. ගුවන් අනතුරු නිසා සිදුවෙලා තියෙන්නෙ ඒ නම ජනප්‍රිය වෙච්ච එක විතරයි.
ReplyDeleteඒ ගැන තව දුරටත් සොයා බැලිය යුතුයි. එක අතකින් සිතියම් වල නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න බැහැ. අනිත් අතින් අවුරුදු 46 කට පෙර සිදුවූ ගුවන් අනතුරට පෙර ලිඛිත සාධක වගේ දෙයක් නොමැතිව හුදු ජනප්‍රවාද ඔස්සේ පමණක් එවැනි නමක් භාවිතා වූ බවක් පිළිගන්නත් බැහැ. ඔය නම කලින් නොතිබූවක් බව මම කාලයකට පෙර කිසියම් පුවත්පතක පලවූ ලිපියකින් තමා මුල්වරට කියෙව්වේ. ඔය ගැන ඉංග්‍රිසියෙන් පුවත්පතක Seven virgins වගේ කඳු පෙලක් කියලා ලියපු එක සිංහලට උනා සප්ත කන්‍යා කියලා වගේ දෙයක් තමා එහි තිබ්බේ.
ReplyDeleteමට ගොඩක් සතුටුයි භූෂණ සහෝදරයා... ඔයා මේ සඳහන් කරලා තියෙන්නේ මගේ ගම සහ ඒ අවට ප්‍රදේශය ගැන වීම තමයි ඒ සතුටට හේතුව. ඔයා මේ ගමනේදී පහුකරගෙන ගිය නෝටන් බ්‍රිජ් තමයි මගේ ගම... මේ අවට ප්‍රදේශය ගැන මගේ තියෙන සාමාන්‍ය දැනීමත් එක්ක , ඔයාට ගැටළුවක් වෙලා තියෙන සමහර තැන්වලට මට යම් උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා
ReplyDelete1.පදුපොල ( බදුපොල )
මේ නමින් අදටත් ගිනිගත්හේන නගරයට නුදුරින් ගමක් තියෙනවා. ගිනිගත්හේන ඉඳලා අවිස්සාවේල්ල - නුවරඑළිය A7 මාර්ගයේ අවිස්සාවේල්ල දිහාවට කිලෝමීටර් 4 ක් පමණ යනකොට පාරේ වම් අත පැත්තේ හමුවන ප්‍රදේශය තමයි පදුපොළ. හොරකඩ ඉඳලා එන පාර A7 පාරට එකතුවෙන හංදියත් අද සමහර විට පදුපොල හංදිය කියලා හඳුන්වනවා.
2.යටිගන්හුලහ
මේ නමින් අතීත කාලයේදී ඉතා විශාල ප්‍රදේශයක් හඳුන්වලා තියෙන බව පේනවා. ඒ ප්‍රදේශයට අයිති කුඩා ගම්මාන හැම එකක්ම අදටත් ඒ නම්වලින්ම හඳුන්වනවා.A7 පාරේ අවිස්සාවේල්ල දිසාවට යන්න ගිනිගත්හේන පහුකරනවාත් එක්කම පාරේ වම් අත පැත්තේ කඳු බෑවුමේ කන්දේ පහලම කොටස දක්වා විහිදෙන ගම "ගෝනාවල" යි. ගෝනාවල පහුකරලා කිලෝමීටර් කීපයක් යනකොට පාරේ වම් අත පැත්තේ බෑවුමේ "පදුපොල". ඊට ටිකක් එපිටින් "පිටවල". ඒ ගමෙන් සෑහෙන්න කොටසක් වම්පැත්තේ කඳු බෑවුමේ තමයි පිහිටලා තියෙන්නේ. එතකොට පදුපොල හංදියේ ඉඳලා වම් පැත්තට කඳු බෑවුම දිගේ ඇති හොරකඩ පාරේ පහලට ගමන් කරනකොට හොරකඩට මෙපිටින් "මැඩිල්ල" ත් හොරකඩට එපිටින් "දාගම්පිටිය" ත් හමුවෙනවා.ඒ අනුව යටිගන්හුලහ ගැන දළ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්.A7 පාරේ ගිනිගත්හේන සහ පිටවල අතර පාරේ වම් පැත්තේ කඳු බෑවුමේ තියෙන සමස්ථ ප්‍රදේශය යටිගන්හුලහ විදියට හඳුන්වන්න ඇති.
3.කළුගම්මන
A7 පාරේ පිටවල පහුකරලා අවිස්සාවේල්ල දිහාවට ටිකදුරක් යනකොට හමුවෙනවා කළුගල කියන ප්‍රදේශය. කළුගල හංදිය කියන තැනින් වමට තියෙන පාරෙන් තමා ලක්ෂපාන , හඟරාපිටිය පැතිවලට යන්නේ... ඔය කළුගල නම ඇතුලේ පුරාණ කළුගම්මන ශේෂයන් තියෙනවා කියලා මට හිතෙනවා. කළුගල හන්දියෙන් හැරිලා ඒ තියෙන පාරේ ගියහම හම්බවෙනවා පොල්පිටිය කියලා හන්දියක්.. එතනින් වම්පැත්තට තියෙන පාර මොරහේනගම , ලක්ෂපාන හරහා ගිහින් කිලෝමීටර් 0 කණුව පිහිටලා තියෙන ඩබල්කටින් කියන හංදියේදී නෝටන් - මස්කෙළිය පාරට එකතු වෙනවා.ඒ නුදුරින් තමා කිරිවන්එළිය පිහිටලා තියෙන්නේ. පුරාණ කළුගම්මනට අයිති උඩබාගේ කියන්නේ මේ ප්‍රදේශයට බව පැහැදිලියි. එතකොට පොල්පිටිය කියන හන්දියෙන් දකුණට තියෙන පාරේ ගියොත් හම්බවෙනවා " හිටිගේගම" එය පැරණි "හිටියගම" බව හිතන්න පුළුවන්.ඊළඟට හම්බවෙනවා "හඟරාපිටිය" පැරණි "කන්ගරාපිටිය" එය බවට විශ්වාස කරන්න පුළුවන්.ඒ අනුව පැරණි කළුගම්මන පල්ලේභාගේ කියන්නේ වර්තමාන මේ ප්‍රදේශයයි.
4.සමරවිල
භූෂණ සහෝදරයා , මේ සමරවිල කියලා සිතියම්වල හැඳින්වෙන තැන අදටත් අපේ ගම්වල වහරේ හැඳින්වෙන්නේ "සමරවල්ලිය" යන නමින්.පුරාණයේ ඔය තැනට සමරවිල කියන්න ඇති.. පස්සේ යම්කිසි ද්‍රවිඩ භාෂා බලපෑමකින් ඔය තැන "සමරවල්ලිය" වෙන්න ඇති.කොහොම නමුත් ඔය සමරවල්ලිය කියන නම අභාවයට යමින් පවතිනවා.වර්තමානයේ ඒ ප්‍රදේශ කාසල්රි සහ ලෙතන්ටි කියන නමිනුයි හඳුන්වන්නේ.
බෙහෙවින්ම ස්තූතියි දීර්ඝ සහ වැදගත් කරුණු රැසක් සහිත Comment එකට
Deleteඅගනා ලිපියක්! අහම්බෙන් තමා මේ අඩවිය මුණගැහුනේ!
ReplyDeleteඒ වගේම මාඋස්සාකැලේ ජලාශයේ ඉවුරේ පිහිටි ගවරවිල නම් ප්‍රදේශය පිළිබදව සදහනක් නැද්ද? අතීතයේ දී ගවරා නම් සත්ත්වයින් බහුලව වාසය කළ බැවින් එම ප්‍රදේශය 'ගවරවිල' ලෙසින් හදුන්වා තිබෙනවා! වර්තමානයේදී Upcot හෝ සාමිමලේ යන නම්වලින් තමා ප්‍රසිද්ධ.
Deleteනැහැ ගවරවිල සම්බන්ද සඳහනක් හමු උනේ නැහැ මෙම මූලාශ්‍ර වල නම්
Deleteතොරතුරු ඉතාමත් වැදගත්
ReplyDeleteඉතාමත් වැදගත් ලිපියක්. මමත් මේ ප්‍රදේශයේ උඩබාගේ (ලක්ෂපාන). අද දවසේ කුඩා ගමකට එය සීමා වෙලා තියෙනවා. අපි මෙතෙක් හෙව්වා කෝ යටබාගේ කියල.
ReplyDeleteතවත් තැනෙක මෙම බෙදීම මම කියෙව්වා. ප්‍රදේශවාසියෙක් හැටියට එහි තාර්කික බව මම දකිනවා. ඔය කියන පල්ලෙ බාගෙට සහ උබ බාගෙට අයත් ගම්මාන තියෙන්නෙ මස්කෙළි ඔයෙන් දෙපස. ඔයේ ආරම්භයේ සිට බලන විට වම් පැත්තේ පල්ලේ බාගෙ තියෙන්නෙ. උඩබාගෙ දකුණු පැත්තෙ. මම ප්‍රායෝගිකව දන්නව පල්ලෙබාගෙ ගම්මාන තියෙන්නෙ උඩබාගේ ගම්මානවලට වඩා මදක් පහලින්. කොහොමත් මේ තර්කය නිවැරදියි කියල මාත් හිතනව.
ඔබට කොමෙන්ට්ස් දාන අය ගැනත් පැහැදුන.
ඉතා වැදගත් ලිපියක්. මේ දැනුම අද මෙහි පදිංච අය තුලිනුත් ගිලිහෙමින් පවතින්නෙ
ReplyDeleteමහනුවර රාජධාණි සමයේ දඹදිව සිට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන බමුණෙක් ලංකාවට පැමිණ වටිනා ඖෂධයක් සොයමින් ශ්‍රීපාද මායිමට පැමණ වෙස් වලාගෙන ගමින් ගමට, ගමන් ගන්නා විට පිටවල ග්‍රාමයේ නැවතී, මෙම බමුණා බෙහෙත් හේත් එකතු කිරීම වෙදහෙදකම් කිරීම වැනි කටයුතු වල නිරත වී ඇති අතර, ටික කාලක් යන විට මෙම බ්‍රාහ්මණයා ගමේ අය හා හිතවත් වූ අතර, මෙම බමුණා ගමන් කරන මාර්ගයේ පිහිටි එක්තරා ලැලී ගෙයක කිතුල් මදින්නෙකු ජීවත් වූ අතර,මොහුගේ නිවසේ මිදුලේ මිරිස් ගලක් තරම් ලොකු අමුතු ගලක් තිබුණි. බමුණා යන විට මෙම අහිංසක ගැමියා හිනාවී කිතුල් මදින පිහිය මෙම මිදුලේ ඇති ගලේ හොඳින් මුවහත් කරමින් සිට ඇත.
ReplyDeleteමෙසේ මෙම මිදුල උඩින් නිතර යන එන බමුණා ,කිතුල් මදින්නා පිහිය මදින ගල දවස් කිහිපයක් නැවතී හොදින් අතපත ගා හෝදා බලන්නට විය එවිට, බමුණා වෙත පෙනීයන්නේ,පරම්පරා කිහිපයක් මිදුලේ දමා මිරිස් ගලක් වගේ පිහිය මැදීම සඳහා භාවිත කොට ඇත්තේ මිල කළ නොහැකි මැණික් ගලක් බවයි.
පසුව බ්‍රාහ්මණයා සෙංකඩගල රජ මාලිගයට ගොස් රාජ පුරුෂයන් දැනුවත් කොට, පිටවල ගමේ වටිනා විශාල මැණිකක් ඇති බව රජතුමාට දැනුම් දීමෙන් පසු, රාජ පුරුෂයන් හා බමුණා මැණික් ගල රාජ මාලිගයට රැගෙන එ්ම සඳහා පිටත් කර යවනු ලබන අතර,විශාල මැණික් ගල මුරකාවල් මැද රජමාලිගයට රැගෙන විත්,බමුණාටත්,කිතුල් මදින්නාටත්,විශාල වශයෙන් තෑගී භෝග ලබාදී,මැණිකෙන් මොකක්ද කරන්නේ යැයි ඇමති මඩුල්ල සමඟ සාකච්ඡා කර මෙම වටිනා මැණිකෙන් දළඳා මාළිඟයට බුදු පිළිමයක් නෙළා පූජා කිරීම සුදුසු බව තිරණය විමෙන් පසු,
පිළිමතලාවේ,කිරිවවුල ගමේ පාරම්පරික මැණික් ශිල්පියෝ ලවා සකස්කරන ලද මැණික් බුදු පිළිමය දළඳා මාළිගාවේ තැන්පත් කර ඇති අතර වර්තමානයේ මෙම බුදු පිළිමය පිටවල මැණික් බුදු පිළිමය ලෙස දළඳා මැඳුරේ පුද සත්කාර ලබයි. ඒ අනුව එතෛිහාසික වශයෙන් වැඳගත් ග්‍රාම නිලධාරී වසමක් ලෙස පිටවල වසම හැඳින්වීමට පුළුවන.
(පුවත්පත් වාර්තාවක් ඇසුරෙන් උපුටාගන්නා ලදී. සටහන් කරු “වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.කේ ජයවර්ධන මහතා”)
Chanel tower of lonac estate
ReplyDeleteBashana....... අපූරු කියවීම් ටිකක්.මට ඔබගෙන් විශාල උදව් ප්‍රමාණයක් අවැසිව ඇත.
ReplyDelete