Showing posts with label Vishnu Cult. Show all posts
Showing posts with label Vishnu Cult. Show all posts

Sunday, November 24, 2019

ශිව දෙවියන් උදෙසා සොලීන් පුලතිසිපුර ඉදිකල වණවණ්මාදේවි ඊශ්වරමූඩෙයාර් කෝවිල

අනුරාධපුර යුගයේ අගභාගයේ මෙරට ඇතිවූ අරාජිකත්ව තත්වයත් සමග සිංහලද්වීපයේ රජරට රාජධානියේ බලය අඩ සියවසකට මදක් වැඩි කාලයකට චෝලයන් අතට පත්වූ අයුරුත් එම කාලය තුල මෙරට ඉදිවූ හින්දු ආගමික සිද්ධස්ථාන පිළිබඳවත් අපි පෙර ලිපි කිහිපයකින්ම විමසා බැලුවෙමු. (එම චෝල ආධිපත්‍යයට යටත් වීම දක්වා වූ දේශපාලන තත්වයන් පිළිබඳව දැනගැනීම උදෙසා අංක 1 ශිව දේවාලය ලෙසින් නම් කර ඇති ශිව දේවාලය පිළිබඳව වූ  ලිපියේ අදාල මුල් කොටස කියවීමට Link >>  මෙම ලිපියට අදාල නූවත් මෙහිදි සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ එම ලිපිය සමග අප ඉදිරිපත් කර ඇති ඡායාරූප 2018 වසරේදී ගන්නා ලද ඡායාරූප බවත් ඉන්පසු කාලයකදී ඇතිවූ අධික වර්ෂා සහිත කාලගුණික තත්වයකදී අංක 1 ශිව දේවාලය එහි වහලයද සමගින් කඩා වැටී ඇති බවත්ය. ඉන්පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය නැවත ගලවා ඉදිකිරීමේදී ශිව දේවාලය ඉදිකර ඇත්තේ විනාශ කල පැරණි බෞද්ධ පිළිම ගෙයක් මත බව ආචාර්ය ධනංජය ගම්ලත් මහතාගේ නිරික්ෂණයට ලක්වීමත් සමග (Link>>) මේ වන විට එම පිළිමගෙයි පාදම එම ස්ථානයෙහිම සංරක්ෂණය කෙරෙමින්, අංක 1 ශිව දේවාලය ඒ අසලම වෙනත් ස්ථානයක ගලවා සවිකරමින් ඇත.)
වෙනත් ස්ථානයක නැවත ඉදිකෙරෙමින් පවතින අංක 1 ශිව දේවාලය.
ඡායාරූපය - සුජීවා ගුණසේන (2019/8/29)
පොළොන්නරුව පැරණි නගරයේ දැකිය හැකි වෙනත් හින්දු ආගමික ස්ථාන සම්බන්ධ ලිපි

පොළොන්නරුව පැරණි නගරයේ හමුවන මෙම හින්දු ආගමික ස්ථාන සහ ඉදිරි ලිපි වලදී අප තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වෙනත් එවැනි අනෙකුත් ස්ථාන පොදුවේ මෙම චෝල පාලන යුගය තුල ඉදිකල බවට විශ්වාස කරන මුත් එම මතය සනාත කිරීම උදෙසා එම යුගයේ පිහිටවූ සෙල්ලිපි ආදී සාධක හමුවන්නේ විරල ලෙසිනි. මෙම ලිපියෙන් අප කතා කිරීමට බලාපොරොත්තු වන අංක 2 ශිව දේවාලය ලෙසින් හඳුන්වන ශිව දේවාලය එවන් සෙල්ලිපි සාධක හමුවන, එසේම ඉතාමත්ම හොඳ තත්වයෙන් තවමත් දැකිය හැකි ශිව දේවාලයකි.චෝල පාලකයක් බෞද්ධ පිළිම ගෙයක් විනාශ කර ඒ මත ශිව දේවාලයක් ඉදිකලද ඔවුන්ගෙන් බලය නැවත ලබාගත් මහා විජයබාහු රජු ඇතුළු පසු කාලීන සිංහල බෞද්ධ පාලකයන් හින්දු ආගමික ස්ථාන විනාශ කර නැවත බෞද්ධ ආගමික ස්ථාන එම ස්ථාන වලම ඉදිකිරීමට තරම් සැහැසි නොවූ බවට පොළොන්නරුව පැරණි නගරය තුල හමුවන මෙවන් බොහෝ හින්දු ආගමික ස්ථාන දෙස්දෙයි. ඒවා විනාශ වූවා නම් විනාශ වූවේ සියවස් ගණනාවක් පුරා කාලගුණික තත්වයන් වල බලපෑමෙන් සහ වන ප්‍රවාහයෙන් සිදුවූ හානිය නිසාය. ඒ අතරම මිනිස් ක්‍රියාකාරකම් ලෙස නිධන් හොරුන් විසින් සිදු කල විනාශයද සුලු පටු නොවේ.
1906 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ වාර්ෂික වාර්තාවේ H.C.P. බෙල් මහතා මෙම ශිව දේවාලය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට පෙරද කළුගල් (Granite) සහ හුණු ගල්වලින් (Limestone) නිර්මිත මෙම කුඩා හින්දු දේවස්ථානය පිළිබඳව ජේම්ස් ෆර්ගියුෂන් සහ S.M. බරෝස් නම් වූ ඉංග්‍රීසි ජාතික ලේඛකයන් කරුණු ඉදිරිපත් කර ඇත. ජන වහරේ 'විෂ්ණු දෙවියන්නේ දේවාලේ' ලෙසින් එවකට හඳුනාගත් මෙම ගොඩනැගිල්ල ඒ අවට හමුවන ශිලාමය ගව රූප හේතුවෙන් එසේ විය නොහැකි බවට ෆර්ගියුෂන් විසින් බෙල් එම අදහසම ඉදිරිපත් කිරීමට වසර 30 කට පෙර එම ස්ථානයට නොගොස් ඡායාරූප පමණක් දැකීමෙන් සැක පහල කල බව H.C.P. බෙල්ම සිය වාර්තාවේ පවසයි. කෙසේ නමුත් බරෝස් විසින් අවස්ථා දෙකකදීම මෙම ගොඩනැගිල්ල පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේදී එය 'විෂ්ණු දේවාලය' ලෙස හඳුන්වයි. සැතපුම් කාලක් පමණ වූ පටු වනගත මාර්ගයක් ඔස්සේ මෙම ස්ථානයට ලගාවිය යුතු බවත්, දැරිය නොහැකි ලෙසින් වූ වවුල් ගඳ ඔහු එහි ඇතුළු විහාරයට (Inner Shrine) පිවිසීම වලකා ලූ බවත් බරෝස් පවසයි. එහි දකුණු බිත්තිය දිගට වූ දෙමළ සෙල්ලිපිය පිළිබඳවත් ඔහු සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.
සෙල්ලිපියක් සහිත දකුණු  බිත්තියට අල්ලා ඇති ගලක්
බෙල් හඳුනාගන්නා පරිදි මෙම ශිව දේවාලයේ බිත්ති වල ග්‍රන්ථ අක්ෂර වලින් රචිත සෙල්ලිපි 3 ක් දැකිය හැක. එවකට මදුරාසි පුරාවිද්‍යා සහකාර පාලකවරයා වූ  ක්‍රිෂ්ණ ශාස්ත්‍රී විසින් එම ලිපි බෙල් වෙනුවෙන් කියවා ඇති අතර එම ලිපි වල කියවිය හැකි කොටස් වලින් හෙලි වන කරුණු මෙලෙස ඉදිරිපත් කල හැක.
  • ප[රකේශරීවර්]මන් හෙවත් උදය්යාර් ශ්‍රී  අධිරාජෙන්ද්‍රදේවා නම් වූ චෝල  රජෙකුගේ කාලයට අයත් මෙහි හමුවන දීර්ඝම ලිපිය එම රජුගේ කිසියම් රාජ්‍ය වර්ෂයකදී පිහිටුවා ඇති බවට සඳහන් වුවත් එම වර්ෂය ලිපියේ කියවිය නොහැකි ලෙසින් මැකී ඇත. චෝල රජුන් වන වීර රාජේන්ද්‍ර (රාජ්‍ය කාලය දළ වශයෙන් ක්‍රි. ව.  1062 සිට 1069 ) හා දෙවන රාජේන්ද්‍ර චෝල හෙවත් පළවැනි කුලෝත්තුංග ( ක්‍රි. ව. 1073 සිට 1118) අතර කාලයේ අධිරාජේන්ද්‍ර රජු චෝල රට පාලනය කල බවට විශ්වාස කෙරේ.
  • ලිපිය පිහිටුවීමේ අරමුණ එහි වූ දොළොස්මහේ පහන (Perpetual Lamp) තබන්න ආධාරකයක් (Lamp stand) පිරිනැමීම සහ එම පහන දැල්වීමට අවශ්‍ය තෙල් ලබාගැනීම උදෙසා මුදල් පිරිනැමීමයි. ශිව දෙවියන් උදෙසා වූ එම දේවාලයේ නම වණවණ්මාදේවි ඊශ්වරමූඩෙයාර් නම් විය. ජනනාථමංගලම් නම් වූ වර්තමාන පොළොන්නරුව නගරය සඳහා එම යුගයේ ව්‍යවහාර වූ නාමයද මෙම ලිපියේ හමුවේ.
  • තවද එම පහනේ මනා නඩත්තුව සඳහා දේවාලයේ සුළු සේවකයන්, පරිපාලකයන්, බෙර වාදකයින්, නාටිකාංගනාවන් ඇතුළු සියල්ලන් වගබලාගතයුතු බව එහි සඳහන් වේ.
  • මෙහි ඇති තවත් ලිපියකින් කියවෙන්නේ වණවණ්මාදේවි ඊශ්වරමූඩෙයාර් නම් වූ මෙම දේවාලයෙහි පල්ලිකොන්ඩාර් සහ ශ්‍රී අලගියමනවාලර් පිලිරූ පිහිටවූ බවය. විෂ්ණු ඇදහීම හා සම්බන්ධ මෙම ප්‍රතිමා මෙම පරිශ්‍රයේ පිහිටි වෙනත් කුඩා විෂ්ණු දේවාල දෙකක පිහිටුවන්නට ඇති බව විශ්වාස කෙරේ.
  • මෙහි දැකිය හැකි තුන්වන ලිපියෙන් චෝල රජකෙනෙකු වූ පළමුවැනි රාජෙන්ද්‍ර චෝල රජුගේ ඓතිහාසික හැඳින්වීමක් ඉදිරිපත් කරයි.
 තවද මෙහි ගර්භගෘහය තුල තිබී හමු වූ ශිව ලිංගය නිසා පැහැදිලිවම මෙම දේවාලය ශිව දෙවියන් උදෙසා ඉදිකල බව තහවුරු කරයි. මෙම ගොඩනැගිල්ලේ පහල කොටස මූලිකව කළු ගලින් සහ උඩ කොටස වැඩි වශයෙන් හුණු ගලින් නිමවා ඇත. මුළු ගොඩනැගිල්ලම එකල සුදු පිරියම් කර වර්ණ ආලේප කර තිබෙන්නට ඇති බවට දැනටද ඇතැම් ස්ථාන වල ඇතැම්විට දැකිය හැකි සුදු පසුබිමේ වූ රතු පාට ලැටිස් සලකුණු වලින් පැහැදිලි වන බව බෙල් සඳහන් කරයි. දේවාලය ඉදි කල යුගයට පසු කාලයකදී ඉදිකලා විය හැකි ලෙසට සැලකෙන ප්‍රාකාරයේ සීමාවෙන් ඇතුලත තවත් කුඩා ගොඩනැගිලි 2 ක සාධක හමුවේ. ඉන් එක් ගොඩනැගිල්ලක් එහි තිබී හමුවූ පුවරුවක මතු කල ගණ දෙවි රුවක් හේතුවෙන් එය ගනේශ දේවාලයක් ලෙස හඳුනාගෙන ඇත. එම පුවරුව කොළඹ කෞතුකාගාරයේ ඇති බව පැවසේ. කාමර දෙකකින් සමන්විත මෙම ගොඩනැගිල්ල මුළුමනින්ම ගඩොලින් නිමවා තිබී ඇත. ගනේශ  ශිව දෙවියාගේ එක් ප්‍රත්‍රයකු ලෙස සැලකේ. මෙම පරිශ්‍රයේම වූ තවත් කාමර දෙකකින් යුත් කුඩා ගොඩනැගිල්ලක් ශිව දෙවියාගේ අනෙක් පුත්‍රයා වූ කර්තික්‍යය හෙවත් කන්දස්වාමි හෙවත් සුබ්‍රමනියන් උදෙසා වෙන් කර තිබූ බවට එහි තිබී හමු වූ අනෙකුත් මූර්ති අතර වූ ඔහුගේ වාහනය වූ මොණරා ඉදිරිපස සිටගෙන සිටින කවන්ධ දේව රූපය නිසා සිතිය හැකි බව බෙල් පවසයි (එම මූර්ති සියල්ලද බෙල්ට අනුව කොළඹ කෞතුකාගාරයට යවා ඇත.)
විමානය
මූලාශ්‍ර
  • The Buried Cities of Ceylon, A Guide book to Anuradhapura And Polonaruwa S.M. Burrows, 1905
  • Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1906, H.C.P. Bell, 1910
  • History of Indian And Eastern Architecture, James Fergusson, Volume 1, 1899

Sunday, November 4, 2018

ජනනාථමංගලම්හි විෂ්ණු දේවාල - 1

පොළොන්නරුව පැරණි නගරයට එහි උතුරු දිශාවෙන් පිවිසෙන දොරටුව අසලම වම් පසින් පිහිටි කළු ගල් කුට්ටි වලින් සාදා තිබූ විෂ්ණු දේවාලයක නටබුන් පිළිබඳව බරෝස් (S.M. Burrows1885-86 වසර වල කැනීමක් සිදු කර විස්තර ඉදිරිපත් කරයි. එම කැනීමේදී ඔහුට එම නටබුන් ගොඩනැගිල්ලේ ගර්භ ගෘහය (Inner Shrine) ලෙසින් හඳුනාගන්නා කොටසේ තිබී කදිම කළු ගලින් නෙලූ වීෂ්ණු දේව ප්‍රතිමාවක් හමුවේ. එම ප්‍රතිමාවට අමතරව එම පරිශ්‍රයේ තිබී තවත් ශෛලමය පිලිරූ කිහිපයක්, සිංහ රූප සහිත බිත්ති හිසක් (Large bold frieze of Lions) සහ සෙල් ලිපි කොටස් දෙකක් හමුවේ. ගොඩනැගිල්ල අසලින් හමුවන තවත් සෙල් ලිපියක කොටසක් ඔහු පවසන පරිදි 'දළදා මාළිගාව' අසල තිබෙන නිශ්ශංකමල්ල රජුගේ සෙල් ලිපියේම පිටපතකි. (මෙහි දළදා මාළිගාව ලෙසින් එවකට වැරදියට හැඳින්වූ අංක 1 ශිව දේවාලය අදහස් කෙරේ. එම ශිව දේවාලය පිළිබඳව කියවීමට >> Link )
තවද කැඩී බිඳි ගිය ගනේෂ හෙවත් පිල්ලෙයාර් ප්‍රතිමාවක්, මොණරා සමග සිටින කතරගම දේව ප්‍රතිමාවක් ( එයද කැඩී බිඳි ගොස් තිබී ඇත.) ඊශ්වර පිළිරුවක් සහ තවත් හඳුනාගත නොහැකි කැඩුණු ප්‍රතිමාවක්ද එම නටබුන් ගොඩනැගිල්ල අසල ස්ථාන වලින් බරෝස් ට හමුවේ. ඉන් වසර 22 කට පසු වර්ෂ 1908 දී එම ස්ථානයට යන H.C.P. බෙල් හට වන ගහනයට සහ සෝදාගෙන යන පස් වලට යටවීමෙන් වැසී තිබූ දේවාලයේ නටබුන් මතු කර ගැනීමට නැවතත් කැනීමක් කිරීමට සිදුවේ. ගොඩනැගිල්ලේ පදනම සඳහා බොහෝවිට ආසන්නයේම පිහිටි කිසියම් බෞද්ධ විහාරයකින් ගෙනා බවට සිතිය හැකි සිංහ රූප පෙලක් සහිත බොරදම සහිත ශෛලමය කැටයම් කණු හැටදාගේ ලෙසින් හඳුන්වන ස්ථානයේ දැකිය හැකි එවන් කැටයම් සහිත ගල් කුළුනු වලට සමාන බවද ඔහු සඳහන් කරයි. (ඉහත බරොස්ද විස්තර කරන්නේ මෙම ගල් කැටයම් විය හැක. දැනට ඒවා එම ස්ථානයේ දැකිය නොහැක.)
බරෝස් විස්තර කල අඩි 3 අඟල් 8 ක් වූ හිටි විෂ්ණු ප්‍රතිමාව පද්මාසනය මත බරෝස් වසර 22 කට පෙර සිටුවා තැබූ ආකාරයෙන්ම බෙල්ට හමුවන අතර අත් සතරක් සහිත එම ප්‍රතිමාවේ ඉහලට එසවුනු වම් සහ දකුණු අත් වල පිලිවෙලින් සංඛය සහ චක්‍රය දරන අතර පහලට යොමු වූ වම් අතේ පොළොවට බරවූ මුගුරක් දැකිය හැක. අනෙක් දකුණු අතින් අභය මුද්‍රාව විදහා පායි. මෙම ප්‍රතිමාව දැනට මෙම ස්ථානය නොමැති අතර එය පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඒ වෙනුවට එහි අනුරුවක් දේවාලය තුල තැන්පත් කර ඇත.
දේවාල ගොඩනැගිල්ලට පිටතින් තිබී බරෝස් විස්තර කල සෙල් ලිපි කොටස්ද බෙල්ට හමුවන අතර ඔහුද එය මාලිගා කොටුවේ (Citadel) උතුරු දොරටුව අසල ඇති (අංක 1 ශිව දේවාලය පිහිටා ඇත්තේද මේ ආසන්නයේය ) සෙල් ලිපියේ මෙන්ම නගරයට ඊසාන දෙසින් ඇතුලුවන දොරටුව අසල අංක 2 ශිව දේවාලය ආසන්නයේ දැකිය හැකි සෙල්ලිපියේද පිටපතක් ලෙස හඳුනාගනී.
මෙම විෂ්ණු රූපය දැනට නටබුන් කෞතුකාගරය තුල තැන්පත් කර ඇති මුල් පිලිමයේ අනුරුවක් පමණි
පොළොන්නරු යුගය දක්වාම විෂ්ණු ඇදහිල්ල මෙරට තුල තිබූ බවට සාධක හමු නොවේ. එහෙත් ක්‍රි.ව. 1017 සිට 1070 පමණ දක්වා චෝල ආධිපත්‍යයට මෙරට නතුවීමත් සමග (චෝල ආධිපත්‍යට සිංහලද්වීපය නතු වීම පිළිබඳව වැඩිදුර විස්තර සඳහා >> Linkශෛව මෙන්ම විෂ්ණු භක්තිකයන්ද මෙරටට පැමිණ වාසය කර ඇති බව පොළොන්නරුව පැරණි නගරයේ හමුවන එම හින්දු ආගමේ දෙවිවරු දෙදෙනාට නිසැකවම අයත් කල හැකි දේවාල වලින් පැහැදිලි වේ. පොළොන්නරුව නටබුන් නගරයේ ප්‍රාකාරයෙන් වටවූ කොටසේ මෙන්ම ඉන් පිටතද දැනට එවන් විෂ්ණු දේවාල 5 ක් පමණ හඳුනාගෙන ඇති අතර මෙම දේවාලය අංක 2 විෂ්ණු දේවාලය ලෙසින් බෙල් හඳුන්වයි.
දේවාලය තුල තිබී හමුවූ විෂ්ණු පිළිමය සහ මයුරාසනාරූඩ කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක් ලෙස බරෝස් හඳුනාගන්න පිළිමය.
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007