Saturday, June 9, 2018

ජනනාථමංගලම්හි ශිව දේවාල - නයිපෙණ විහාරය නොහොත් අංක 5 ශිව දේවාලය


සුළු ජාතීන්ට අසාධාරණ කප්පම් දීම සඳහාම මහ ජාතියේ 'කුර වැසියන්' රවටා බලයට පැමිණි 'ජඩපාලනය' යටතේ උතුරු නැගෙනහිර පළාත් වල දැනට ඉදිවි තිබෙන බෞද්ධ වෙහෙර විහාර 131 එම ප්‍රදේශ වලින් ඉවත් කරගත යුතු බව දෙමළ ජාතිවාදීන් පවසන යුගයක >> Link , බහුතරයක් සිංහල බෞද්ධයන් වෙසෙන පෙදෙසක සියවස් ගණනාවක් නිදන් හොරුන්ගේ ග්‍රහණය හැර සාමකාමි සිංහල බෞද්ධයන්ගෙන් කිසිදු අතවරයක් නොවී අද දක්වා පැවතෙන තවත් එක් ශිව දේවාලයක් ගැන විස්තර ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි. එතෙක් පුළත්ථිපුර ලෙසින් හැඳින්වුන නගරය ජනනාථමංගලම් වූ අයුරුත් එහි ශිව දේවාල ඇතිවීමේ පසුබිම ගැනත් මෙයට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කලෙමි Link>>
ඉදිරි පස පිහිටි ගෝපුරම් තුලින් දිස්වන ශිව දේවාලය
පොළොන්නරුව පැරණි නගරයේ නටබුන් ඇති පෙදෙසට තරමක් දුරස්තව පොළොන්නරුව-හිඟුරක්ගොඩ මාර්ගයේ මද දුරක් ගිය විට ගල් කණු විශාල සංඛ්‍යාවක් සහිත සංරක්ෂිත නටබුන් භූමියක් හමුවේ. නයිපෙන විහාරය ලෙසින් පුවරුවක් සවි කර ඇති එම ස්ථානයේ ඇති නටබුන් විෂ්ණු දේවාලයක සහ ශිව දේවාලයක බව තහවුරු වී ඇති මුත් එම විෂ්ණු දේවාලයේ ශිඛරයේ දැනට කඩා වැටී ඇති කොටසක දැකිය හැකි ගඩොලින් කල නයි පෙණයක කැටයම නිසා එම මුළු නටබුන් පෙදෙසම නයිපෙණ විහාරය ලෙසින් හඳුන්වන බව පෙනේ. මෙම ලිපිය පොළොන්නරුවේ හමුවන විශාලම ශිව දේවාලය වන එම ශිව දේවාලය සම්බන්ධව වන අතර විෂ්ණු දේවාලය පිළිබඳව ඉදිරියේදි වෙනත් ලිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම දේවාලය නිර්මාණය කල කාලය හෝ එහි නිර්මාතෘ අවිනිශ්චිත මුත් පැහැදිලිවම එහි ගෘහ නිර්මාණ ලක්ෂණ චෝල යුගයට හෝ ඉන්පසු රාජ්‍යය විචාල පොළොන්නරු යුගයේ සිංහල රජවරුන්ගේ කාලයට අයත්ය.
අන්තරාල සහ ගර්භගෘහය
ගඩොල් භාවිතා කර හුණු බදාමයෙන් ඉදිකර ඇති මෙම ශිව දේවාලය පිළිබඳව මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ H.C.P. බෙල් මහතා1908 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරයි. ගර්භගෘහයකින් (Sanctum), අන්තරාල දෙකකින් (ඒවා අන්තරාල (Inner vestibule) සහ අර්ධ මණ්ඩපම් (Outer vestibule) ලෙසින් බෙල් හඳුන්වයි) සහ මණ්ඩපම් තුනකින් යුත් (එම මණ්ඩපම්, මණ්ඩපම් (Two Inner halls) සහ මහා මණ්ඩපම්(Outer hall) ලෙසින් බෙල් හඳුන්වයි ) මෙම ශිව දේවාලයේ ගර්භගෘහයේ වහලය මත තිබූ ගඩොලින් තැනූ විමානය සැලකිය යුතු හානියක් සිදු නොවීම, උඩු යටිකුරු වී බිමට කඩා වැටී ඇත (පහත රූපය බලන්න).
උඩු යටිකුරු වී බිමට කඩා වැටී ඇති විමානය
මෙහි ගර්භගෘහයේ සහ එයට ඉදිරියෙන් වූ අන්තරාලයේ බිත්ති වල හානි නොවූ කොටස් එහි මුල් කපරාරුව සමගින් තවමත් ඉතිරි වී ඇති අතර 1908 පුරාවිද්‍යා වාර්තාවේ දක්නට ලබෙන ඡායාරූප අනුව එවකට හානී නොවී තිබූ ඇතැම් බිත්ති කොටස් මේ වන විට විනාශ වී ඇති බවද පෙනේ. ගර්භගෘහය තුල නිධන් සොයන්නන් විසින් විනාශ කල කළු ගලින් නිර්මිත ශිව ලිංගයක් සහ එය ධෝවනය කරන ජලය පිටවීම සඳහා ඉදි කල සෝමසූත්‍ර ලෙසින් හැඳින්වෙන පිහිල්ලක් දැකිය හැක. එම ජලය එකතු වීමට පිටත ගඩොලින් බිත්ති බැඳ ඇති ලිඳක් ඉදි කර ඇත. ශිව ලිංගයට යටින් කල කැනීමේදී කුටීර 9 කින් යුත් යන්ත්‍රගලක් හමුවී අති අතර ඒ තුල එය විනාශ කල නිධන් හොරුන්ට හසු නොවූ රත්‍රන් නන්දි ගවයාගේ මූර්තියක් බෙල්ට හමුවේ.
අන්තරාලයේ හානි නොවූ මුල් කපරාරුව සහිත බිත්ති කොටස්
අන්තරාල දෙකට ඉදිරියෙන් බොහෝ දුරට විශාලත්වයෙන් සමාන කොටස් දෙකකින් නිර්මිත මණ්ඩපයක් හා  එයටත් පිටින් දික් අතට වූ තවත් මණ්ඩපයක් දැකිය හැකි අතර එම වඩාත්ම පිටතින් පිහිටි මණ්ඩපය අනෙකට වඩා වැඩි ඉඩක් ඇතිව තනා තිබේ. ඇතුළු මණ්ඩප දෙකට ගල් කණු 40 ක් මත වූ වහලයක් තිබී ඇති අතර එම කණු 10 බැගින් වූ කණු පේලි 4 ලෙසින් සිටුවා ඇත. ඒවායින් කණු 24 ගඩොල් බිත්ති වලට සවිවී තිබී ඇති අතර අනෙක් 16 විවෘතව සිටුවා තිබී ඇත. එම ගල් කණු ඇතැම් ඒවා කැටයම් කර ඇති අතර බොහොමයක් හතරැස් හැඩයෙන් ඇති මුත් කිහිපයක් අටස්‍රාකාර වේ.
ගර්භගෘහය තුල වූ ශිව ලිංගය
මෙම එක් කැඩී බිඳි ගිය ගල් කුළුණක් මීට පෙර කිසියම් බෞද්ධ විහාරය තිබී ගෙන ආවක් බවට බෙල් අනුමාණ කරයි. එහි ඇති 11 වන ශතවර්ෂයට අයත් සිංහල අකුරු වලින් රචිත සෙල් ලිපියක් මෙයට හේතුව ලෙසට ඔහු ඉදිරිපත් කරයි. බෙහෙවින් ගෙවී ඇති එම ලිපියේ බෙල් සඳහන් කරන කියවිය හැකි කොටස් වලට අනුව එය කිසියම් අත්තාණි පිදීමක් බව පැහැදිලිය. එය අනිවාර්යෙන්ම බෞද්ධ විහාරයකින් ගෙන ආවක් බව ඒ අනුව පැවසීම සාධාරණ නොවේ. පෙර සිටි රජවරුන් බොහෝ විට වෙහෙර විහාර වලට ඉඩම් මුක්තීන් ලබා දෙමින් විවිධ ස්ථාන වල පිහිටවූ අත්තාණි කණු පසු කාලීනව වෙනත් බෞද්ධ ඉදිකිරීම් සඳහාද උපයෝගි කර ගෙන ඇති බවට සාධක හමුවේ >>.Link
මණ්ඩපම්, අන්තරාල සහ ගර්භගෘහය දිස්වන ඡායාරූපයක්. මෙහි දකුණු පස ට වන්නට සෝමසූත්‍ර තුලින් එන ජලය එක්වීමට තැනූ ලිඳ දැකිය හැක. 
මහා මණ්ඩපම් ලෙසින් හඳුන්වන පිටතින්ම පිහිටි මණ්ඩපය ඉදිරියෙන් නැගෙනහිර දෙසින් දේවාලයට පිවිසීමට වූ දොරටුව ඇති අතර ඒ කෙලින්ම වූ අනෙක් දොරටුව තුලින් ඉහත මුලින් විස්තර කල මණ්ඩපය තුලට පිවිසේ. එම දෙවෙනි මණ්ඩපයේ දෙපස දකුණු සහ උතුරු දෙසට වූ දොරටු දෙකක්ද දැකිය හැකිය. මෙම  'මහා මණ්ඩපම්' මණ්ඩපයේද 4 බැගින් වූ පේලි 8 කින් සැදි ගල් කුළුණු 32 මත  වූ වහලයක් තිබී ඇත.
මහා මණ්ඩපම් වල ගල් කණු
ගර්භගෘහය, අන්තරාල දෙක සහ ඇතුළු මණ්ඩප දෙක වටා සෘජුකෝනාස්‍රාකාර ලෙස කුඩා ගඩොල් ප්‍රාකාරයක් තිබී ඇති අතර එම සීමාව තුල කෝවිල් ලෙසින් බෙල් හඳුන්වන කුඩා කාමර දෙකකින් යුත් ගොඩනැගිලි 3 සහ තනි කාමරයක් සහිත එක් ගොඩනැගිල්ලක් තිබී ඇත. ඒ අතරින් නිරිත දෙසින් වූ කෝවිල ගණේශ දෙවියන් උදෙසා ඉදි කර ඇති අතර තව එවැනි කෝවිලක් සප්ත මාත්‍රිකාවෝ (Seven Mothers) සඳහා වූ බව අනුමාණ කල හැක්කේ ඔවුන්ගේ පිළිරූ නෙළු ගල් පුවරු 3 ක් එම ස්ථානයේ තිබී හමුවූ බැවිනි. එම සීමාව තුල ලිඳක්ද දැකිය හැක. මහා මණ්ඩපයෙන් ඊසාන දෙසට වන්නට ඉහත විස්තර කල සෘජුකෝණාස්‍රාකාර සීමාවෙන් පිටත තවත් කෝවිල් දෙකක් සහ විශාල ප්‍රමාණයේ  ලිඳක් දැකිය හැක.
ඇතුළු මණ්ඩපම් වල ගල් කණු
මෙම දේවාල පරිශ්‍රයේ කල කැනීම් මගින් ගණේශ දේව රූපයක්, එම දෙවියන්ගේම රූපය ඇතුලට කැටයම් කල කණුවක් (A pillar with sunk-relief figurine), ඉහත විස්තර කල සප්ත මාත්‍රිකාවන්ගේ රූප කෙටූ ගල් පුවරු තුනට අමතරව තවත් වෙනත් දේව රූප අවනතව කෙටූ පුවරු (Cut in low relief ) කිහිපයක් සහ හිස පමණක් විනාශ නොවී අනිත් කොටස් කැබලි වලට කැඩී ගිය නන්දි ගවයාගේ රුවක් හමුවේ.
ඉහත විස්තර කල සෘජුකෝණාස්‍රාකාර සීමාවෙන් පිටත ඇති ඉදිකිරීම් සහ ලිඳ
 එම ශෛලමය මූර්ති වලට අමතරව  ලෝකඩ ප්‍රතිමා විශාල ප්‍රමාණයක්ද මෙම ස්ථානයේ තිබී හමු වී ඇත. එම ලෝකඩ පිළිම අතර නටරාජ පිළිම 2 ක්, ශිව දෙවියන්ගේ පිළිරුවක්, පාර්වතී දෙවඟනගේ රූප 2 ක්, සුන්දර මූර්ති ස්වාමි පිළිරූ 2, තවත් ශිව මුනිවරයෙක් වූ චන්දේශ්වර හෝ ව්‍යාඝ්‍රපාද විය හැකි පිළිරුවක්, තිරුඥාණ සම්පන්දර් ස්වාමි නම් වූ තවත් මුනිවරයෙකුගේ පිළිරුවක් සහ නන්දි ගවයාගේ ප්‍රතිමාවක්ද වේ. තවද සූර්ය දෙවියන්ගේ ලෙස හඳුනාගත් රූපයක්ද ඒ අතර වේ. මේ සියල්ලටම වඩා පුදුම සහගත සොයාගැනීම නම් මහා මණ්ඩපයේ බිත්ති වල පිටත සහ ඇතුලත තිබී හමුවූ  මිනිස් ඇට කටු සහිත මුට්ටි 8 ය. ආදාහනය කර ඉතිරි වූ ගැහැණු සහ පිරිමි ඇටකටු හින්දු දේවාල වල මෙසේ තැන්පත් කිරීමේ හේතුව මෙතෙක් නිවැරදිව විසදා නැත.
අන්තරාල සහ ගර්භගෘහය
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central  And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
  • Bronzes From Ceylon in The Colombo Museum, By Ananda K. Coomaraswamy, D.Sc. Edited by Pearson, D.Sc., F.L.S.1914
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • ලංකාවේ ද්‍රවිඩ සිහිවටන, නන්දසේන මුදියන්සේ, 1997

4 comments:

  1. Are these the creations of Cholas? Did they employ local people or imported Tamil craftsmen from India? These monuments seems too similar to the Parakramabahu palace.

    ReplyDelete
    Replies
    1. Most probably those were built by Cholas if not by later on Sinhalese rules of Polonnaruwa period (There are evidences that they also built or patronage Hindu temples - http://trisinhala.blogspot.com/2015/11/3.html & http://trisinhala.blogspot.com/2015/10/1-6.html)- They may have employed South Indian craftsmen as well as local people. No direct evidences but style or rather architecture and Tamil letters found in here and there of construction materials such as bricks are the testimony to that. Those migrant south Indian workers may have also employed under later on Sinhalese rulers. Hence the architectural similarity of Parakramabahu palace and other buildings. Mahavansa also mentioned that parakramabahu employed captured soldiers of his foreign wars to built Demala mahaseya (So that the unusual name)

      Delete
  2. Those urn burials have been dated? They pre-date, post-date or are contemporary with the Kovil?

    http://www.phenomenalplace.com/2014/05/mudhumakkal-thazhi-ancient-funeral.html

    https://en.wikipedia.org/wiki/Aghori

    http://www.sciencemag.org/news/2017/06/carved-human-skulls-found-ancient-stone-temple


    ReplyDelete
    Replies
    1. Pra, unfortunately I couldn't find any source with those details. Links you sent seems to be related to the so called megalithic urn burials, those you can find at Ibbankatuwa, Galsohon kanaththa etc.

      Delete