Showing posts with label Kandalama. Show all posts
Showing posts with label Kandalama. Show all posts

Sunday, July 23, 2023

වෙහෙර තුල අසමගියක් වූ විට බත් කවුඩන්ට විසි කල සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙර

පුරාතන යුගයේ මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සමෘද්ධිමත්ම අවදියේ අගනගරයේ මෙන්ම අගනගරයෙන් බැහැර ප්‍රදේශ වලද සංඝ සමාජයේ පැවැත්ම උදෙසා සහ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා විවිධ වෙහෙර විහාර ඉදිවිය. ඒ අතරින් පබ්බත විහාර ලෙසින් හැඳින්වෙන විහාරාරාම ගණයේ ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙරදීත් ලිපි කිහිපයකින්ම මෙහි කරුණු ඉදිරිපත් කර ඇත >> දිවයින පුරාම එම ගණයේ නටබුන් වූ ස්ථාන රාශියක් මේ වන විට හඳුනාගෙන ඇත. පරසතුරු උවදුරු සහ වෙනත් ස්වභාවික උපද්‍රව හේතුවෙන් ශිෂ්ඨාචාරයට වරින් වර විවිධ බාධක එල්ලවීමත් සමගම එම ආගමික ස්ථාන නඩත්තු කල ගම් බිම් වල ජනයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම හෝ ඔවුන් සමගම එම ගම් බිම් විනාශ වීමත් සමග ඔවුන් මත යැපුන විහාරාරාමත් පරිහාණියට පත්ව අතහැර දැමීම සිදුවේ. පසු කලක වෙනත් ප්‍රදේශයකින් පැමිණි හෝ එම ප්‍රදේශ වලම ඉතිරි වූ ජනයාගේ පසු පරම්පරාවන් වලට එම පූජනීය ස්ථාන වල නාමයන් පවා මතකයෙන් ගිලිහී යාම ස්වභාවිකය. එවන් අවස්ථාවලදී ඒ වන විට වන ප්‍රවාහය මගින් යටපත් කරගත් එවන් ස්ථාන වලට අලුත් නම් පටබැඳීම එම ගැමියන් අතින් සිදුවේ. ඒ අනුව කළු පැහැ වූ ජලය එකතු වූ පොකුණක් තිබීම හේතුවෙන් කළුදිය පොකුණ වූ පැරණි විහාරාරාම වල නටබුන් හමුවන ස්ථාන අවම වශයෙන් දෙකක් හඳුනාගත හැක. මිහින්තලේ පිහිටි මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල ස්ථානයට (එම ලිපිය කියවීමට >>) අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩලම වැවේ සහ එනයින් කලා ඔයේ ඉහල නිම්නයේ ජලපෝෂක ප්‍රදේශයේ එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ලෙසින් හැඳින්වෙන පබ්බත විහාර සංකීර්ණයක් ඇත. මේ ආකාරයෙන් නටබුන් වූ වෙනත් ඇතැම් ස්ථාන මෙන් නොව මෙහිදී අප හට සෙල්ලිපි සහ සාහිත්‍යමය මූලාශ්‍ර ආශ්‍රයෙන් ස්ථානයේ පැරණි නාමය කිසිදු සැකයකින් තොරවම හඳුනාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

කළුදිය පොකුණේ නටබුන් දක්වෙන කෙටි වීඩියෝව >>

ලෙනක බිත්තියේ කොටා ඇති ගිරි ලිපිය

මෙම ස්ථානයේ පිහිටි ලෙනක බිත්තියේ කෙටූ සෙල්ලිපියක් සහ පබ්බත විහාරයේ පිළිම ගෙය ලෙසින් අනුමාණ කරන ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පිහිටි පුවරු ලිපියක් ස්ථානයේ පැරණි නාමය හඳුනාගැනීම උදෙසා මූලික වශයෙන් උපකාරී වේ. ඒ අතරින්  ලෙනේ පිහිටි ලිපිය සිරිසඟ්බොය් මපුර්මුකා (දොළො)ස්වන්නේ පොසොනැපුර විසෙනි දවස්, එනම් සිරිගඟ්බො නම් රජෙකුගේ රාජ්‍යත්වයෙන් දොළොස්වන වර්ෂයේ පොසොන් මස පුර පක්ෂයේ පස්වෙනි දින දළනා නැමැත්තෙකු  විසින් දකිණිගිරි වෙහෙර මහසඟනට ලහා බත් (Ticket-meals) සඳහා තෙවිසි (23) කළන්දක් වූ රන් ප්‍රදානය කර, එයින්  දිනපතා මහබුන්ද්නෙන් අදමන දෙකක සහ මුත්වනින් සහ පෙරෙබුන්ද්නෙන් අදමන එකක ප්‍රමාණ වූ සහලින් බත් ඉර හඳ පවතින තුරා සැපයීම කලයුතු බවට පවසා පිහිටුවා ඇත. සහල් නොදී බත් ගෙ පිසැ බත් (එනම් මුළුතැන්ගේ  පිසූ බත්) දිය යුතු අතර, වෙහෙර තුල අසමගියක් වී නම් එම බත් කවුඩු (කපුටන්) බල්ලනට විසි කල යුතු වේ. මෙය කඩ කරන කිසිවෙකු හෝ වී නම් මහමෙතෙ සම්මා සම්බුදුන් දොරින් යත් (එනම් මතු බුදු වන මහා මෛත්‍රී බුදුන් එම කෙනාගේ ගේ දොරකඩින් ගියත්) එම බුදුන් හට වැඳීම උදෙසා එම පුද්ගලයා හට අත් එසවීමට හෝ නොහැකි වනු ඇත*. මෙම ප්‍රදානයේදී සීහ නැමැත්තෙකු, කොට්ගම් සීසෙන් වත්හිමි නැමැත්තෙකු, කළි මාඩබියන්,  අග්සුමෙයුර් වත්හිමියන්, කලල්වැලි උදහි, වදුරා අරක්සමණන්ගේ මෑණියන් සහ ඇදුර් වත්හිමියන් යන අය එක් ලහ බතක් බැගින් සැපයීමට දළනා සමග ගිවිස ගෙන ඇත.

සිව්වන කාශ්‍යප රජුගේ කාලයට අයත් ලෙන් ලිපිය

අක්ෂර හැඩය අනුව ලිපිය අයත් වන 10 වන ශත වර්ෂයේ මුල් අර්ධයේ සිරිගඟබෝ යන විරුදය භාවිතා කල රජවරුන් දෙදෙනෙකු හඳුනාගත හැක. ඒ අතරින් සෙනරත් පරණවිතාන මහතාගේ අනුමාණය වූයේ දෙවන සේන රජු (පො. ව. 853-887)  වන අතර සිරිමල් රණවැල්ල මහතාට අනුව කොළඹ කෞතුකාගාරයේ දැනට ඇති සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ පිහිටවූ ලෙසට හඳුනාගත හැකි ටැම් ලිපියක මෙම ලිපියේද  නම සඳහන් වන වදුරා අරක්සමණ ගැන සඳහන් හෙයින්, කළුදිය පොකුණ ගුහා ලිපිය අයත් වන්නේ සිව්වන කාශ්‍යප රජුගේ කාලයටය (පො. ව. 898-914). 

කටාරම් කෙටූ ලෙනක්. මෙහි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක් කොටා ඇත.

පුවරු ලිපිය

කැත්කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් සුදොනා පරපුරෙන් ආ සලමෙවන් අභා උදා මහරජ්හු හට සහ විදුරා රැජිනට දාව උපන්, අභා සලමෙවන් මහසෙන් රජුගේ රාජ්‍යත්වයෙන් පළමු වර්ෂයේ සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙරේ සංඝයා සමග සම්මුතියෙන් එකඟව මහපිළිම හැඹූ පහණැ (මහ පිළිමය අඹන ලද ගලෙහි) ලියවා තැබූ කතිකාවතක් පිළිබඳව ඉහත සඳහන් කල අනෙක් ලිපිය වන පුවරු ලිපියේ සඳහන් වේ. 

පුවරු ලිපිය

දහවන සියවසට අයත් සිංහල අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපියේ නම සඳහන් අභා සලමෙවන් මහසෙන් රජු තුන්වන හෝ හතරවන සේන රජු විය හැකි බවට සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන මුත් (එහෙත් එතුමා එම රජු බොහෝදුරට සිව්වන සේන [පො. ව.  954-956] විය හැකි බවට අනුමාණ කරයි.) සෙනරත් පරණවිතාන මහතාට කියවිය නොහැකි වූ එම රජතුමාගේ පියාගේ නමද විරුදයද සමගින් සම්පූර්ණයෙන් කියවීමට හැකි වීම නිසා සිරිමල් රණවැල්ල මහතා එම පිය රජු දෙවන උදය (පො. ව. 887-898) ලෙසින් සහ එනයින් මෙම පුවරු ලිපිය පිහිටවූ රජු තුන්වන සේන (පො. ව. 938-946) ලෙසින් හඳුනාගනී. 

ඇසෙළැ පුර දසවක් දවස් එනම් ඇසල මස පුර පක්ෂයේ දසවන දින එක්තැන් සමියෙන් [Supreme Council] වදාළ හෙයින් මෙම කතිකාව සඳහන් පුවරු ලිපිය පිහිටුවීම සඳහා පැමිණෙන්නේ මෙකාප්පර් [Commander of the Bodyguards] සඟ්සෙන් නියමයෙන් ආ සුනගලු රක්ස, කිළින්දිරි සෙන් සහ මහකිලින්ගම කිලිඟ් ලෝකයා, වට්රක් කස්බා රක්සමණන් [Chief Guardian] නියමයෙන් ආ කුඩසලා කිත්දෙවු යන අයය. 

ලිපියේ ඇතැම් කොටස් කියවිය නොහැකි හෙයින් එම කොටස් වල අර්ධ වශයෙන් කියවිය හැකි වචන වලින් පැහැදිලි අදහසක් ගත නොහැකි මුත් පැහැදිලිව කියවිය හැකි කොටස් වල සඳහන් කරුණු අතරින් කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. වස්  විසීම් දහයක් සිදු කල සහ සතර බණවර සම්පූර්ණ කල සංඝයා හට මෙහි ඇති ආවාස වල විසිය හැක. මෙම පරිශ්‍රය තුල සොළී සහ තුඩි බෙර වාදනය නොකල යුතු අතර, රැහැණ් [Army-whips] නොගැසිය යුතුය, වෙනත් ස්ථාන වලින් පිටමං කර මෙහි පැමිණි ඒත් ඒ බව හෙලි නොකල භික්ෂූන් හට මෙම පරිශ්‍රයේ ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මහපිරිත් ඉගෙනගැනීම සිදු නොකරන්නන් හට මෙහි පිහිටි ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මෙහි බණ හදාරන සාමනේර හිමිවරුන් මෙහි මහණ කල හැකි අතර වස් සමය අවසානයේ එය කල යුතුය, මෙහි ළුැනු (Onion) විකිනීම සිදු නොකල යුතුය, මෙහි වසන කැමියන් තමන්ගේ නඩත්තුව සඳහා ඉඩම් (දිවෙල්) බොගමියෙන් සහ මගමින් ගත යුතුය, වෙනත් ගම් වලින් ගෙනා ගෙරි [Cattle], මීවුන් [Buffaloes] සහ දස් මිනිසුන් [Male servants] යොදාගෙන මෙහි ඉඩම් සහ පමුණු ඉඩම් වල ගොවිකම් නොකල යුතුය, පස්මහ වැරදි කල කැමියන් දා [Sacred Relics] ගෙනියන පෙරහැර වලට යොදා නොගත යුතු අතර, කිසියම් වැරදි කල කැමියන් ලවා ඔවුන්ට පැවරූ රාජකාරි ඉටුකරගෙන පසුව ප්‍රදේශයෙන් පිටමන් නොකල යුතුය, වප් මස අව අටවක ලේකම් කිරීමට පෙර [Before the submission of accounts] දිවෙල් [Maintenance Lands] නොගත යුතුය, පෙර සිරිත් ඉටු නොකරන කැමියන් කැමි කමේ තබා නොගත යුතුය, පෙර සිරිත් පරිදි අය කල ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු අය නොකල යුතුය,  මහමන්ඩ්, වලමාල, වැලිපුනගොන සහ සිඹුර් බිම් වල සය කිරියා බිම් ලහබත් කරණු සඳහා වෙන් කර තැබිය යුතුය, මෙම වෙහෙරට අයත් ගම් බිම් වලට තුන් රදොලින් [Three Royal Households] වාරි-පෙරෙනාට්ටියම් නිලධාරීන් ඇතුළු නොවිය යුතු අතර, ගැල්, ගොන් [Oxen], මීවුන් [Buffaloes] වද්ද නොගත යුතුය, බැහැර මිනී කොටා මෙහි පැමිණෙන්නන් එනම් බාහිර ස්ථාන වල මිනීමරා මෙහි පැමිණෙන්නන් විහාරයේ සීමාවන් තුලට වැද්ද නොගත යුතුය, එසේම පරිශ්‍රය තුල සිට මිනී මරන්නන් කැමියන් [Officials] විසින් ඔවුන්ගේ ගෙවල් පවරාගෙන පරිශ්‍රයෙන් පිටත් කල යුතුය. මෙම කතිකාව කඩ කරන මහණුන්, කැමියන් හෝ රදොල් [Officers attached to the royal households] යන කිසිවෙකු හෝ වේවා ඔවුනට මෙතේ බුදුන් දකින්නට නොලැඹෙනු ඇත*.      

ඉහත සඳහන් ස්ථාන නාම වලට අමතරව ලිපියේ අර්ධ වශයෙන් කියවිය හැකි කොටස් වල මහසඟ්වැලි බිමෙහි සුමන්ගලු නුවර කල්ලන්ගමු නවම, පහණ්ගම ..මනලක පිහිටි පවුර් මහපූගම, පනවගම-තම්ම, මහදියමොහොල යන ස්ථාන නාමයන්ද සඳහන්වේ.

* ඉහත සෙල්ලිපි දෙකෙහිම සඳහන් කරුණු කඩකරන්නන් හට මෙතේ බුදුන් දකින්නට නොලැබෙනු ඇත වැනි වැකි සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ මේ අවධිය වන විට  මහාවිහාර සම්ප්‍රදායට පරිබාහිරව අභයගිරි, ජේතවණ වැනි පාර්ශවය විසින් ප්‍රචලිත කල මතු බුදු වන මෛත්‍රී බුදුන් සහ බෝධිසත්ව වන්දනය මුල් කරගත් මහායානික ඇදහීම් කොතරම් දිවයිනේ අගනගරයෙන් බැහැර වෙනත් ප්‍රදේශ වලටද පැතිර ගොස් තිබිණිද යන්නය.

සංරක්ෂණය කල ස්තූපය
ඉහත සෙල්ලිපි වල සඳහන් දක්ඛිණ විහාරය පිළිබඳව  වංශ කතා වල හමුවන තොරතුරු

මහාවංශයේ සඳහන් වන පරිදි සද්ධාතිස්ස රජු (පො. ව. පූර්ව 137-119) දක්ඛිණගිරි විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇත. එහිම (චූලවංශය ලෙසින් හැදින්වූ මහාවංශයේ දෙවන කොටසේ) පසු අවස්ථාවක සඳහන් වන්නේ ධාතුසේන රජුද (පො. ව. 455-473) ථේරවාදී හික්ෂූන් සඳහා ඉදිකල සියළු සම්පත් සපිරි විහාර අතර දක්ඛිණගිරි නමින් වූ විහාරයක්ද තිබූ බවයි. නැවතත් පස්වන කාශ්‍යප රජු (පො. ව. 914-923) පිළිබඳව වූ විස්තරයේදී එහිම සඳහන් වන්නේ එම රජු දක්ඛිණගිරි නම් වූ විහාරයට ගමක් දුන් බවය. දක්ඛිණගිරි දළ්හ නම් වූ විහාරයේ පළමුවන අග්ගබෝධි රජු (පො. ව. 571-604) උපෝසථඝරයක් කරවූ බවටද මහවංශයේ සඳහන්වේ. මෙම දක්ඛිණගිරිදළ්හ විහාරයද ඇතැම් විට පෙර හා පසු අවස්ථාවන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසින් මහාවංශයේ හැඳින්වෙන විහාරය විය හැක. 
උපෝසථඝරය ලෙස අනුමාණ කරන ගොඩනැගිල්ල

පබ්බත විහාරයක් නැතහොත් පඤ්චාවාස ආරාමික භූමියක් ලෙස හඳුනාගෙන ඇති මෙම පැරණි නටබුන් විහාරයේ ප්‍රධාන මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව උතුරු දෙසින් පිහිටා ඇත.  මෙතෙක් මෙහි කැනීම් කර සංරක්ෂණය කර ඇත්තේ ප්‍රධාන මළුව වටා දිවෙන ගඩොල් ප්‍රාකාරයේ කොටසක් සහ ස්තූපය පමණි. එයට අමතරව මෙහි පිහිටි ගල් කණු තුනක් පමණක් මතුපිටින් දිස්වන උස් ගොඩැල්ලක් පිළිම ගෙය ලෙසත්, බොධිඝරය ලෙස මිටි ගල් කණු සහිත ස්ථානයක් සහ උපෝසථඝරය ලෙස උස් ගල් කණු සහිත ස්ථානයක් හඳුනාගෙන ඇත. 

පිළිමගෙය ලෙස සැලකෙන මෙතෙක් කැනීමක් සිදු නොකල ස්ථානය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන මළුවට දකුණින් සහ ගිණිකොන දෙසින් එයට පිටතින් පොකුරු වශයෙන් පිහිටි ලෙන් 32 ක් හඳුනාගෙන ඇත. මේ අතරින් ලෙන් 18 ක කටාරම කොටා ඇති අතර, ලෙන් 4 ක පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලිපි කොටා ඇත. ගල් බිත්ති අවශේෂ සහිත ලෙන් 24 ක්ද, ගඩොල් බිත්ති අවශේෂ සහිත ලෙන් 9 ක්ද, සිතුවම් තිබූ බවට සාධක සහිත ලෙනක් සහ මූර්ති තිබූ ලෙනක් ද ඒ අතරින් හඳුනාගෙන ඇත. පූර්ව බ්‍රාහ්මි ලිපි සහිත ලෙන් දෙකකම එම ලිපි වල 'ශඝශ' ලෙසින් සඳහන් වන බැවින් එම අක්ෂර අයත් වන පොදු වර්ෂ පූර්ව තුන් වන සියවසේ සිටම එම ලෙන් සඟසතු කර තිබූ බවත්, එනයින් මෙම ආරාම සංකිර්ණයේ ආරම්භය එම යුගය දක්වාම දිවෙන බවත් පැවසිය හැකිය. පසු කාලීනව පොදු වර්ෂ 6, 7 සියවස් වලදී මෙම ස්ථානය පබ්බත විහාරයක් බවට පරිවර්තනය වූ පසුවද එම ලෙන් භික්ෂු ආවාස ලෙසින් භාවිතා වූ බව සිතිය හැක. මේ ලෙන් වල ඉඩ ප්‍රමාණය අනුව සියළුම ලෙන් වල භික්ෂූවහන්සේලා 106 ක් පමණ වැඩ වාසය කරන්නට ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ගණනය කරයි.  ලෙන් වලට අමතරව පිහිටි භික්ෂූන් වහන්සේලා අවම වශයෙන් 12 ක් වාසය කළ බවට ගණනය කල හැකි ආවාස කුටිද සැලකිල්ලට ගත් කල මෙම පබ්බත ආරාමයේ භික්ෂූන්වහන්සේලා 118 කට පමණ ඉඩ පහසුකම් තිබූ බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

ඉහත සඳහන් සෙල්ලිපි වලට අමතරව පොදු වර්ෂ 5 - 7 සියවස් වලට අදාල අක්ෂර වලින් කොටා ඇති වහරල ලිපි ලෙසින් හඳුන්වන ලිපි කිහිපයක්ද මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ මුරගල්, පියගැට සහ පුවරු වලින් හමුවී ඇත.

සංරක්ෂණය කල ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ සිදුවූ පුරාවිද්‍යා කැනීම් සහ සංරක්ෂණය කිරීම්

1977 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බිමක් මෙම පරිශ්‍රයේ ආරම්භ කරන අතර කුඹුක්කඳන්වල ගම්මානයේ සිට මෙහි ඒමට තිබූ සැතපුමක් පමණ වූ අඩි පාර ජීප්-පාරක් බවට පුළුල් කල බවත්, එහෙත් බෝක්කු කිහිපයක් නොයොදා වාහනයක් වැඩබිම වෙත ගෙන යෑමට නොහැකි බවත් 1970- 1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂයේම පුරාවිද්‍යා රක්ෂිතය එලිපෙහෙලි කර විවිධ ස්මාරක වෙත යෑමට අඩි පාරවල් යෙදූ බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.  
එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ආරාමයේ සංරක්ෂණය කල ස්තූපය

මෙහි පිහිටි ස්තූපයේ තිබූ ගස් ඉවත් කර එහි දකුණු දිශාවෙන් කැනීමක් 1979 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ වේ. එම වසර අවසාන වන විට එහි දකුණු හා නැගෙනහිර දිශාවෙන් සහ බටහිර දිශාවෙන් මද දුරක්ද කැනීම් කර දාගැබේ මාලකය මතුකර ගැනීමට හැකිවී ඇත. දකුණු දිශාවෙන් වූ පඩිපෙල සහ මුරගල්ද මතුකරගැනීමට හැකිවී ඇති අතර පඩිපෙලේ පලමු පඩියේ කොටා තිබූ අනුරාධපුර යුගයේ පසුකාලයට අයත් සෙල්ලිපියක්ද එම යුගයටම අයත් අකුරු කොටා තිබූ රවුම් හැඩැති ගඩොල්ද මෙහිදී හමුවී ඇත. මෙහි පිහිටි ස්තූපය සහ ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරයේ කොටසක් පමණක් 90 දශකයේදී සංරක්ෂණය කර ඇත.
බෝධිඝරය
මූලාශ්‍
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 2 , Sirimal Ranawella, 2004
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume III (1928 - 1933), 1989
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1997, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1996, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1970-1977, R.H. de Silva
  • Administration Report of the Director-General of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunawatne 
  • Historic Matale, 1984
  • History of Ceylon, Volume 1, Part 2, 1960

Tuesday, November 8, 2022

කළුන්නරු බිම්හි සීගිරි අමුණ බද මාපාගල සහ සීගිරි මහ වැවේ පතුලේ ඉදිවූ සීගිරිය ගම


 මීට පෙර විස්තර ඉදිරිපත් කල රාමකැලේ නටබුන් ප්‍රදේශයට තරමක් නුදුරින් ඉනාමළුව- සීගිරිය මාර්ගයේ දකුණු පස එකිනෙකට ආසන්නව පිහිටි විශාල ගල් කුට්ටි ආධාරයෙන් තැනූ ගල් බැමි සහිත මෙම පර්වත මුදුන් දෙක පොදු ව්‍යවහාරයේ මාපාගල ලෙසින් හැඳින්වේ. ජනප්‍රිය මතය නම් කාශ්‍යප රජු (පො. ව. 473-491) සීගිරිය පර්වතය මුදුනේ සිය මාළිගය තනා ගෙන රාජ්‍යය විචාරන අවදියේ ඔහුගේ යුව රජු හෙවත් මහාදිපාද හෙවත් මාපා සීගිරි පර්වතයට දකුණින් වූ මේ පර්වතය මත වූ සිය මාළිගයේ විසූ බවය.

මාපාගල නටබුන් දැක්වෙන කෙටි වීඩියෝව >>


මාපාගල මතට එහි උතුරු කොටසෙන් පිවිසෙන මාර්ගය
සීගිරිය මහ වැව ලෙසින් හැඳින්වෙන මෙම මාපාගලට නැගෙනහිර දෙසින් වූ වැවේ වැව් බැම්ම සීගිරිය පර්වතය සහ මෙම මාපාගල යා කරමින් තනා ඇත. අද වන විට "මහවැව" ලෙසින් හැඳින්වුවද කුඩා වැවක් බවට පත්වී ඇති "සීගිරිය මහ වැව" පෙර කල මාපාගල සිට තවදුරටත් දකුණු දිශාවට විහිදුනු, අදටත් එහි වැව් බැම්මේ නටබුන් සැතපුම් 5 ක් පමණ දුරකට කණ්ඩලම කඳු පන්තියේ ආසන්නතම කඳු දක්වා නිරිත දිශාවට හමුවන, විශාල වැවක ශේෂ වූ කොටසක් බව සොයාගෙන ඇත. ඇත්ත වශයෙන්ම අද සීගිරිය ගම පිහිටා ඇත්තේ එදා සීගිරිය මහා වැවේ පත්ලේ කීවොත් වඩාත් නිවැරදිය. පැරණි අඟලේ සිතියම් වල මෙම නටබුන් වූ සීගිරිය මහා වැවේ මිණුම් කටයුතු සිදු කල කාලය වන විට තිබූ වපසරිය පැහැදිලිව දක්වා ඇත. එකල සීගිරිය වැවේ ජලය මාපාගල පර්වත වල නැගෙනහිර අන්තය දක්වාම පැතිරි තිබී ඇත. පැරණි සීගිරි මහ වැවේ වාරි පද්ධතියේ වැඩිදුර විස්තර සඳහා මේ සමග ඇති සිතියම සහ එහි සටහන බලන්න.
මෙහි අංක දක්වා ඇති කොල පාට රවුම් වලින් පිලිවෙලින් 1) සීගීරිය පර්වතය, 2) රාමකැලේ ස්තූපය, 3) මාපාගල සහ 4) වර්තමාන සීගිරිය මහ වැව දැක්වේ. ඉහලින්ම තද නිල් පාටින් ඇත්තේ වර්තමාන වැවේ ජල වපසරිය වන අතර ඉන් දකුණට වන්නට වම්පස අදටත් යම් තරමක් අතරින් පතර ඉතිරි වී ඇති සීගිරිය මහ වැවේ එදා තිබුණු වැව් බැම්ම දැක්වේ. ලා නිල් පාටින් මතුකර ඇත්තේ එදා සීගිරි මහ වැවෙන් යටවුනු ප්‍රදේශය අඟලේ සිතියමේ ලකුණු කර ඇති ආකාරයයි. සීගිරි මහ වැවෙන් නැගෙනහිර දෙසට වන්නට වෑවල වැවේ සිට උතුරු දෙසට ජලය ගෙන ගිය පැරණි ඇල මාර්ගයක නටබුන් හමුවේ [සිතියමේ තද නිල් පාටින්]. එම ජලය ඇතැම් විට සීගිරිය වැවට එකතු උනා වන්නට පුළුවන. එසේ වූවා නම් මූලිකව සීගිරි ඔයෙන් පෝෂණය වන සීගිරිය වැවට, වෑවල වැව පෝෂණය කරන කිරි ඔයෙන්ද අමතර ජල ප්‍රමාණයක් රැගෙන විත් ඇත. එම ඇල මාර්ගයට බටහිරෙන් තවත් ඇල මාර්ගයක සලකුණු තිබී ඇති අතර [සිතියමේ ලා නිල් පාටින්] එම බටහිර ඇල මාර්ගය නැගෙනහිර ඇල මාර්ගය සමග එකතු වූ සලකුණු හමු නොවේ [නැගෙනහිර ඇලට බටහිර දෙසින් වූ පෙදෙසේ එකතු වන ජලය -විශේෂයෙන්ම වැසි කාලයේ- නැගෙනහිර ඇලට විශාල වශයෙන් එකතු වී එහි බැමි විනාශ වී යෑම පාලනය උදෙසා මෙම බටහිර ඇල තැනුවා වන්නටද ඉඩ ඇත.] එම ඇල මාර්ගයෙන් එකතු වන ජලය පසුව ස්වභාවික දිය පාරක් ඔස්සේ පොල්ලත්තාව වැවට එක් වී, පොල්ලත්තාව වැව හරහා අවසානයේ සීගිරිය මහ වැවටම එක් වේ. මෙම සිතියමේ සීගිරිය වැවේ වැව් බැම්ම දකුණින් අවසන් වන ස්ථානයේ සිට වෑගොල්ල වැව දක්වා වූ පැරණි ඇල මාර්ගයක නටබුන් හමුවී ඇති අතර [අඟලේ සිතියම් වල එය ලකුණු කර නොමැත. ඒ වෙනුවට බොහෝදුරට එම ඇල මාර්ගයට අනුරූපව තිබූ අඩි පාරක් දක්වා ඇත. ඉහත සිතියමේ එම ඇල මාර්ගය කොළ පාටින් දක්වා ඇත.වෑගොල්ල වැවට තවත් එවන් පැරණි ඇල මාර්ගයක් ඔස්සේ [අඟලේ සිතියමේ Ancient irrigation channel ලෙසින් දක්වා ඇත.] මහා ගෝනා ඔය නිම්නයෙන් රැගෙන එන ජලය අවසානයේ එම ඇල මාර්ගය ඔස්සේ සීගිරිය මහ වැවට එක්වන්නට ඇති බව අනුමාණ කල හැක. අද වන විට මේ බොහෝ පැරණි වාර්මාර්ග නටබුන් ජනාවාස ඉදිවීම, ගොවිතැන් සඳහා ඩෝසර් කිරීම සහ එම ජනතාවගේ යටිතල පහසුකම් උදෙසා ඉදිවූ මාර්ග පමණක් නොව අලුතින් ඇතිවූ වැව් සහ ඇල මාර්ග නිසාද විනාශ වී ගොස්ය. උදාහරණයක් ලෙසට කායන්වල වැව ලෙසින් හැඳින්වෙන වැව අඟලේ සිතියමේ හමු නොවන අතර එය පසුව සීගිරි මහ වැවේ පැරණි බැම්මේ කොටසක්ද උපයෝගී කරගනිමින් අළුතින් තැනූ වැවක් බව පෙනේ.  ඉහත සිතියමේ කොටුවකින් දක්වා ඇති ප්‍රදේශයේ වර්තමාන Google සිතියම පහතින් දක්වා ඇත. එම කොටසේ Google Map විමසා බැලීමෙන්  මෙම කරුණු තවදුරටත් වටහාගත හැක.

මාපාගල මුදුනට දිස්වන වර්තමාන "සීගිරිය මහ වැව"
1908 වර්ෂයේදී මාපාගල පිළිබඳව ගවේෂණාත්මක විස්තරයක් ඉදිරිපත් කරන H.C.P. බෙල් අනුමාණ කරන්නේ මෙම ගල් බැමි "සීගිරි නුවර" පැවති 5 වන සියවසට වඩා පරණ විය නොහැකි බවය. උතුරු දිශාවට වන්නට පිහිටි විශාල පර්වත කොටස සහ එයට දකුණින් පිහිටි කුඩා පර්වත කොටස වෙන් කරන පටු දොරුව කෙතරම් පටුද යත් ඉතාමත් පහසුවෙන් ඒ දෙක යා කරන පාලමක්  ඉදි කල හැකි බව පවසන හෙතෙම, දකුණින් පිහිටි කුඩා පර්වතයේ මතුපිට සමතලා පෙදෙසේ මධ්‍යයට වන්නට ගල් බැම්මකින් වට වූ විශාල ගඩොල් ඉදිකිරීමක නටබුන් පවතින බව පවසයි. එහෙත් ඒ වනවිටත් එහි ඉතිරිව ඇත්තේ ගොඩනැගිල්ලේ හැඩරුව හෝ අරමුණ හඳුනාගැනීමටවත් නොහැකි තරම් අල්ප වු නශ්ඨාවශේෂ ප්‍රමාණයක් පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.  එහෙත් එය කාමර, පෙත්මන් සහ ආලින්ද වලින් යුත් සීගිරියේ ශීත මාළිගා වල සේ භූමි සැලැස්මක් සහිත ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් බවත්, කැනීම් මගින් එහි බිම සැමතැනකම පාහේ ගඩොල් අතුරා තිබූ බව පැහැදිලි වූ බවත් පවසයි. එහි දකුණු අන්තයේ පහලට වන්නට මළුවක් තිබූ බවටත් බෙල් හට සාධක හමුවේ. ඊට අමතරව කැනීමෙන් ඔහුට වෙනත් කිසිදු වැදගත් දෙයක් හමු නොවූ බවද බෙල් විශේෂයෙන්ම අවදාරනය කරයි.
පහල ගල් බැමි වලට ඉහලින් පිහිටි ගල් බැමි සහ ගල මතු පිට වූ කිසියම් ගොඩනැගිල්ලක කුළුණු පිහිටුවීමට ගලේ කපා ඇති සතැරස් සිදුරු
මාපාගල ගල් බැමි තැනීමට සීගිරියේ ගල් බැමි සඳහා යොදාගත් ගල් කුට්ටි වලට වඩා විශාල ගල් කුට්ටි යොදාගෙන ඇත. මාපාගල පර්වතය වටා කුඩා ගල් ගුහා 6 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ඇතැම් ගුහා වල කටාරම් දැකිය හැකි මුත් සෙල් ලිපි හමුවී නැත. බෙල් සඳහන් කරන දකුණින් වූ කුඩා පර්වතය මත පමණක් නොව උතුරු පර්වතය මතද ගඩොල් කැබැලි සහ නටබුන් වූ කුඩා ගල් වැටියක කොටස් හඳුනාගත හැක. එසේම කාල-රක්ත වර්ණ වලන් කැබලි, උළු කැබලි මෙන්ම විශාල වශයෙන් තිරිවාණ ගල් කැබැලි අතර පූර්ව ඓතිහාසික යුගයට අයත් ගල් ආයුදද මෙම පර්වත මත හමුවේ. මේ ආසන්නයේ වූ පෙතන්ගල ලෙසින් හැඳින්වෙන පර්වතය මතද කිසියම් ගොඩනැගිල්ලක් තිබූ බවට සාධක එහි ඉතිරි වී ඇති ගල් පාදමක නටබුන් මගින් හඳුනාගත හැක. තවද මේ සමග පලවන ඡායාරූප වල සහ වීඩියෝ දර්ශන වල දැක්වෙන ආකාරයට ගොඩනැගිලි වල කුළුණු රැඳවීම උදෙසා ගල් මතු පිට හෑරු සිදුරු තැන් කිහිපයකම හමුවේ.  බෙල් අනුමාන කල උතුරු - දකුණු පර්වත යා කල පාලමක සාධකද  80 දශකයේ මෙහි ගවේෂණයක යෙදුන පුරාවිද්‍යාඥයන් හට හමුවී ඇත.
මාපාගල උතුරු සීමාවේ පිහිටි විශාල ගල් කුට්ටි අනුසාරයෙන් තැනු ගල් බැම්මක කොටසක්
මාපාගල අවට ප්‍රදේශයෙන් හමුවූ ටැම් ලිපි කිහිපයක්ම ඇති අතර එම ලිපි වලින් හතරක් පිළිබඳව දීර්ඝ විස්තර කිරීමක් රාමකැලේ නටබුන් පිළිබඳව වූ ලිපියේ අඩංගු වූ අතර බෙල් හට 1897 දී හමු වූ එහි සැකෙවින් කරුණු දක්වූ අනෙත් ලිපියේද  සඳහන් වන්නේ කසුබ් මහපාණන් වහන්සේ විසින් සිදුකල අත්තාණි ප්‍රදානයක් සම්බන්දයෙනි. එම අත්තාණි ප්‍රදානය සිදු කර ඇත්තේද සිරිසඟ්බෝ නම් විරුදය සහිත රජෙකුගේ රාජ්‍යත්වයෙන් දෙවෙනි වර්ෂයේ දුරුතු මස පුර පක්ෂයේ සත් වෙනි දිනදීය. බෙල් මහතා මෙම සිරිසඟ්බෝ නම් රජු දෙවෙනි සේන රජු (පො. ව. 853-887) ලෙස වරදවා හඳුනාගන්නා මුත් මෙහි සඳහන් සිරිසඟ්බෝ  මපුර්මුකාද [මහා පරුමක එනම් මහ රජු] පෙර ලිපි පිහිටවූ කාලයේද රාජ්‍යය විචාල  සිව්වන කාශ්‍යප (පො. ව. 894-914) ලෙස සිරිමල් රණවල්ල මහතා නිවැරදිව හඳුනාගනි. මෙහි සඳහන් වන කසුබ් මහපාණන්ද පෙර ලිපියේ සඳහන් රාමකැලේ සහ මාපාගල මෙන්ම කිඹිස්ස ප්‍රදේශයෙන්ද හමුවූ ටැම් ලිපි හතරේම සඳහන් වන පසුව පස්වන කාශ්‍යප (පො. ව. 914-923) ලෙසින් රාජ්‍යත්වයට පත්වූ මාපා වරයා ලෙස හඳුනාගෙන ඇත. 
මාපාගල බටහිර සීමාවේ පිහිටි විශාල ගල් කුට්ටි අනුසාරයෙන් තැනු ගල් බැම්මක කොටසක්
කැබැලි කිහිපයක් ලෙසින් හමුවූ ඉහත ලිපියේ අකුරු බෙහෙවින් මැකී ගොස් ඇති මුත් මෙම ලිපියේම පිටපතක් ලෙස හඳුනාගත හැකි පොළොන්නරුව කිරිවෙහෙර ටැම් ලිපියේ සඳහන් වන ලෙසට රාජකීය ගෘහයට අයත් කළුන්නරු බිම්හි සිහිගිර අමුණ අසබඩ අමුණුදොර්-පලුදොර්දිග මහවතු බිම් ඇතුළුව නම අපැහැදිලි කිසියම් පිරිවෙනකට [මාපාගලින් හමුවූ ලිපියේ මෙන්ම පොළොන්නරුවේ කිරි වෙහෙරට යාර 50 ක් පමණ නැගෙනහිර දෙසින් හමුවූ ලිපියේද පිරිවෙනේ නම සඳහන් කොටස මැකී ඇත. එම පිරිවෙන බොහෝවිට පොළොන්නරුවේ කිරිවෙහෙර ස්තූපය පිහිටි විහාරයට අයත් පිරිවෙනක් විය හැක.]  අයත් 'හේන් බිම්' දොළහකට අදාල අත්තාණි ප්‍රදානයන් පිරිනැමීම මෙම අත්තාණි කුළුණු ලිපිය මගින් ප්‍රකාශයට පත් කර ඇත. කසුබ් මහාපාණන් වහන්සේ වදාළ හෙයින් අත්තාණි ප්‍රදානය සඳහා පැමිණි පුද්ගලයන් වන්නේ පඬිරද් සලයා ගේ නියමයෙන් මෙකාප්පර් සඟින් මිහින්ද් සහ කාමාදෑ කලියා ද, රක්සමණන් (Chief Guardian) වන අග්බෝයා ගේ නියමයෙන් කුඩසලා දෙව් යන තිදෙනාය. 
මාපාගල මතට දිස්වන එහි බටහිර දෙසින් වූ කායන්වල ප්‍රදේශය
මෙම ටැම් ලිපියට අනුව කුලී එකතු කරන්නන්, මෙලාස්සි බදු එකතු කරන්නන්, රද්කොල් කැමියන් (Officials attached to the royal households) දෙකම්තැන් (Officials of the two secretariats), දෙරුවන (Officials of the two treasuries) , මගිව සහ පියගිව නිලධාරීන් මෙම දොළොස් හේන් වලට ඇතුළු නොවිය යුතුය. තවද ගැල්, මීවුන් (Buffaloes) සහ වැරි (Domesticated elephants) මෙහෙයන් (Free service) සඳහා නොගෙනා යුතුය. හිදොළු (Palanquin bearers), මහසත් (Canopy bearers) සහ සොළී බෙර ගසන්නන් නොපැමිණිය යුතුය. (වෙනත් තැන් වල) මිනී මරා මේ බිම් වලට පැමිනෙන්නන් අත් අඩංගුවට ගැනීමට නිලධාරින් නොපැමිණිය යුතුය. මෙම නියමයන් කඩකරන්නන් කවුඩු [කපුටු], ගෙරි[ගව] සහ බලු වෙත්වා ලෙසින් ලිපිය අවසන් වේ. 
මාපාගල මතට සීගිරිය පර්වතය දිස්වන ආකාරය
අක්ෂර වල හැඩයන්ට අනුව 9-10 සියවස් වලට කාල නිර්ණය කල හැකි තවත් කැබලි වූ පුවරු ලිපියක් මාපාගල අවටින් හමුවී ඇති අතර එය කුමන රජකෙනෙකුගේ කාලයට අයත්ද යන්න එම කොටසේ අකුරු මැකී ඇති හෙයින් හඳුනාගත නොහැක.
මාපාගල මතට සීගිරිය පර්වතය දිස්වන ආකාරය
මෙම උතුරු පර්වතය මුදුනේ ස්ථාන දෙකක සිදු කල පරික්ෂණ කැනීම් වලවල් මගින් පූර්ව ඓතිහාසික යුගයන්ට අයත් ක්ෂුද්‍ර ගල් ආයුධ (Microlithic implements belonging to the Mesolithic culture), මූල ඓතිහාසික අවදියට (Protohistoric) අයත් කාල රක්ත වර්ණ වලන් කැබැලි (Black-and-Red Ware pottery) මෙන්ම සුළු වශයෙන් ඓතිහාසික යුගයන්ට අයත් අවශේෂද හමුවී ඇත. මාපාගල දකුණු පර්වතයට දකුණින් වැව් බැම්මේ කල වෙනත් කැනීමක් මගින් පැහැදිලිවී ඇත්තේ වැව් බැම්ම තැනීමට පෙර කාලයකදී මාපාගල ගල් බැමි තනා ඇති බවය (ගල් බැමි ඉදිකල කාලය පොදු වර්ෂ 306-517 කාලයෙන් පසුව සහ පොදු වර්ෂ 432-550 කාලයට පෙර විය යුතු බවට මෙම කැනීම් මගින් අනාවරණය කරගෙන ඇත.) මාපාගල අවට විශේෂයෙන් එහි බටහිරදෙසට වන්නට යබොර කොටස්ද බහුලව හමුවන හෙයින් යකඩ කර්මාන්තයද මේ අවට සිදුවූ බවට පැහැදිලි වේ. මාපාගල පාමුල එහි බටහිර කොටසේ 80 දශකයේ සිදු කල කැනීමකදී උළු කැබලි හමුවීම නිසා මෙම ගල් බැමි මත වහලයක් සහිත කිසියම් ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇති බවටද පුරාවිද්‍යාඥයන් අනුමාණ කරයි. මෙම උළු කැබැලි හමුවන පාෂාණ ස්ථරයේ වැඩි වශයෙන් රක්ත වර්ණ වලන් (Red Ware pottery) කැබැලි සහ අඩුවෙන් කාල-රක්ත වර්ණ වලන් කැබැලි හමුවන අතර කාබන් කාල නිර්ණය මගින් එම යුගය කාශ්‍යප අවදියට (5 වන සියවස) කාල නිර්ණය කර ඇත. මෙම යුගයෙන් පසුව කිසියම් කාලයක් මෙම ප්‍රදේශයේ මානව ක්‍රියාකාරකම් සිදු නොවූ බවක් පෙනී යන අතර නැවත අවම වශයෙන් 10 වන සියවසේ පමණ යලි ගල් බැමි පිලිසකර කල බවක් හඳුනාගෙන ඇත. නැවතත් ගල් බැමි විනාශ කල බවක් කැනීමේදි ප්‍රධාන බැම්මෙන් පහලට වැටුන ගල් කුට්ටි මගින් පෙනී යන අතර ඉන් පසු කාලයේ ජනාවාසකරණයකට වඩා සංඝාරාමයකට අයත් අවශේෂ හමුවී ඇත. 
ගල මතු පිට වූ කිසියම් ගොඩනැගිල්ලක කුළුණු පිහිටුවීමට ගලේ කපා ඇති සතැරස් සිදුරු
මෙම සියළු කරුණු එක්ව ගත් කල මාපාගල පූර්ව ඓතිහාසික යුගයේ සිටම මානව ක්‍රියාකාරකම් පැවැති පෙදෙසක් බව අවබෝධ වේ. ඓතිහාසික යුගයේ ගල් බැමි තැනීම සහ මුල්ම මානව ක්‍රියාකාරකම් තුන් වන සියවසේ සිට පස්වන සියවසේ පසු භාගය දක්වා පමණ සිදුවූ බව පෙනී යයි. එය බලකොටුවක් ලෙසද නැතිනම් මාපාවරයෙකුගේ හෝ කිසියම් වෙනත් එවන් ප්‍රභූ වරයෙකුගේ මාළිගයක් ලෙසින්ද යන්න පැහැදිලි නැත. 9 වන සියවසේ අග භාගයට සහ 10 වන සියවසේ මුල් භාගයට අයත් සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ ඔහුගේ මාපාවරයා ලෙසින් සිටි කසුබ් මහපාණන් මහානාග පබ්බත විහාරයට අයත් ඉඩම් සඳහා පිරිනැමූ අත්තාණි ප්‍රදානයක් දැක්වෙන ටැම් ලිපි සහ ඔහුම සිදු  කල වෙනත් අත්තාණි ප්‍රදානයක් පිළිබඳව ලිපියක් මේ අවටින් හමුවන හෙයින් අවම වශයෙන් ඔහුගේ මාළිගය මෙහි තිබූ බවට යමෙකුට තර්ක කල හැක. එහෙත් ඔහු එම අත්තාණි ප්‍රදානය සිදු කරන්නේ මේ අසලම වූ මහානාග පබ්බත විහාරයට හෙයින් එම ටැම් ලිපිය එම විහාරයට අයත් භූමියේ පිහිටවීමට වැඩි ඉඩක් ඇති බව සැලකිය යුතුය. එනයින් මාපාගල අවට ප්‍රදේශය සහ ඇතැම් විට ඒ මත පිහිටි ගොඩනැගිලිද එම මහානාපව් වෙහෙරටම අයත් වූවා විය හැක. අනෙක් අතට ඔහු විසින් සිදුකල කිසියම් වෙනත් විහාරයකට වීමට බොහෝදුරට ඉඩ ඇති අත්තාණි ප්‍රදානයක් පිළිබඳව ටැම් ලිපියක් මේ අවටින් හමුවේ. එම ලිපියේම පිටපතක් පොළොන්නරුවේ කිරි වෙහෙර අසබඩ තැනක හමුවන හෙයින් දැනට කිරිවෙහෙර ලෙසින් හැඳින්වෙන විහාරයේ එවක වූ පිරිවෙනකට අයත් මෙම ප්‍රදේශයේ පැවති හේන් බිම් සඳහා එම අත්තාණි ප්‍රදානය පිරිනැමූ බව පෙනේ. ඒ ලිපියේ අන්තර්ගතය අනුව පෙනී යන්නේ රාජකීය ගෘහයට අයත් කළුන්නරු බිම්හී සීගිරි අමුණ අසබඩ හේන් බිම් වලටද එම ප්‍රදානය වලංගු බවය. එම බිම් ඒ වන විට අදාල විහාරයට අයත්ද යන්න ලිපියේ පැහැදිලිව සඳහන් නොවේ. කෙසේ නමුත් මෙහි කළුන්නරු බිම්හී සීගිරි අමුණ ලෙසින් හැඳින්වෙන්නේ අප ඉහතින් විස්තර කල සීගිරිය මහ වැවේ බැම්ම ලෙස අනුමාණ කල හැක. ඒ අසබඩ වූ බිම් මෙම මාපාගල අවට සහ රාම කැලේ ප්‍රදේශයේ ඉඩම්ය. රාජකීය ගෘයට අයත් ඉඩම් වූවේ මාපාගල සහ ඒ අවට ඉඩම් නම් මාපාගල මත රාජකීය ගෘහයක් තිබුනා විය නොහැකිද? එය අනිවාර්යයෙන්ම මාපා වරයාට අයත් විය යුතුද නැත. අනික් අතට බෙල් සඳහන් කරන මාපාගල මත පිහිටි ගොඩනැගිල්ලේ භූමි සැලැස්ම සීගිරියේ ශීත මාළිගා ලෙසින් හඳුනාගන්නා ගොඩනැගිලි වල භූමි සැලැස්මට සමාන වූයේ නම් එම ගොඩනැගිල්ල ඇතැම් විට පළමුවන කාශ්‍යප අවදියේ ඔහුගේ තවත් එක් ශීත මාළිගයක් ලෙසට පැවතියේද? කැනීම් මගින් හෙලිවී ඇත්තේ 10 වන සියවසෙන් පසුව නිශ්චිතවම කාලය නිර්ණය කර නොමැති අවදියකදි මාපාගල පාමුල ප්‍රදේශයේ සංඝාරමයකට අයත් අවශේෂ හමුවන බවය. එසේ නම් පසුව නැවතත් සියවස් ගණනකට අතහැර දැමීමට පොරොතුව මාපාගල සංඝයා හට අයත්ව තිබූ බවටද අනුමාණ කල හැක. ඉදිරි කාලයේ මෙම මාපාගල පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ සිදුවන පුරාවිදු පර්යේෂණ මගින් පමණක් මේ පිළිබඳව ඇතැම්විට තව බොහෝ කරුණු හෙළිකර ගැනීමට හැකි වනු ඇත.
පහල ගල් බැමි වලට ඉහලින් බටහිර දෙසට වන්නට පිහිටි ගල් බැමි

 
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon, North-central and Central Provinces, Annual Report. 1908, H.C.P. Bell.
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 3 , Sirimal Ranawella, 2005
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica being Lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana, C.E Godakumbura Vol 5 , Part 2, 1963  
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016