දඹුල්ල-හබරන A6 මාර්ගයේ හමුවන ඉනාමළුව හන්දියේ සිට සීගිරිය දෙසට විහිදෙන ඉනාමළුව- සීගීරිය මාර්ගයේ සීගිරිය පර්වතය දෙසට නොයා කිඹිස්ස කඩමණ්ඩියද පසු කර මද දුරක් යෑමේදී, පාරේ දකුණු පස පාරට තරමක් ඈතින් දිස්වන කුඩා දාගැබ කෙරෙහි දිනපතා සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් බහුතරයකගේ එතරම් අවදානයක් යොමු නොවේ. මෙහි පහත විස්තර වන ලෙසට බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිටි එක් පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු විසින් මාර්ගයේ සිට මෙම ස්තූපය දක්වා ඇති වනාන්තරය එලි පෙහෙලි කිරීම සිදු නොවන්නට අදටත් එය ඒ අවට ඇති අනෙකුත් ගොඩනැගිලි අවශේෂ ලෙසින්ම අලි ඇතුන්, ඌරන් වැනි අපා දෙපා, සිව්පා සතුන් ගහණ වනාන්තරයේ සැඟවී තිබෙන්නට බොහෝසෙයින්ම ඉඩ ඇත. හතරවන සියවසේ පමණ ඉදිකරන්නට ඇතැයි සැලකෙන පබ්බත විහාරයක් ලෙසින් හඳුනා ගත හැකි මහානාපව් වෙහෙර ලෙසින් හැඳින්වූ ලොකු කුඩා ගොඩනැගිලි සියයකට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත භික්ෂූන් 300 කට අධික ප්‍රමාණයක් වාසය කරන්නට ඇතැයි සැලකෙන එම විහාරය වර්තමානයේ රාම කැලේ ලෙසින් හැඳින්වෙන වනාන්තරයෙන් වැසුන පුරාවිද්‍යා රක්ෂිතයකි. මෙම ලිපිය ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල්ගේ සිට වර්තමානය දක්වා මෙම පබ්බත විහාර පරිශ්‍රයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව සොයාගත් කරුණු සම්පිණ්ඩනය කිරීමට ගන්නා උත්සාහයකි.
රාම කැලේ නටබුන් දැක්වෙන කෙටි වීඩියෝව >>
"සීගිරිය - ඉනාමළුව පාරෙන් දකුණට වන්නට පිහිටි හුදකලා ආරාමයෙන් බටහිරට වන්නට අමතර නටබුන් කිහිපයක් සොයාගැනීමට හැකිවිය. බොහෝදුරට අවට වනාන්තරයේ තවත් බොහෝ නටබුන් තිබිය හැකි අතර ඒ සියල්ල එකම සංඝාරාමයක කොටස් විය හැක. ඒ අවට ස්ථානයකින් මහනා-පව් වෙහෙරට සම්බන්ද 10 වන ශතවර්ෂයට අයත් අකුරු කෙටූ කොට ගල් කණුවක්ද සොයා ගත හැකිවිය". - H.C.P. බෙල්, සිංහලේ පුරාවිද්‍යා ගවේශන පිළිබඳව වූ වාර්ෂික වාර්තාව, 1899 [Archaeological Survey of Ceylon -Annual Report, 1899]. බෙල් මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ එම ලිපිය සහිත ගල් ටැඹ සහ තවත් පෙර වාර්තාවක සඳහන් කල දෙවන සේන රජුට අයත් ටැම් ලිපියක් සීගිරියේ තානායමට රැගෙන ගොස් එහි සිටවූ බවයි* (එම දෙවන ටැම් ලිපිය මෙම ස්ථානයට නුදුරින් වූ මාපාගල අසලින් සොයා ගත් බව 1897 සිංහලේ පුරාවිද්‍යා ගවේශන පිළිබඳව වූ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.)
* පසුව 1967-68 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ සඳහන් වන්නේ සීගිරියේ තානායම ඉදිරිපස තිබූ ටැම් ලිපි සහිත කණු දෙක කටුගේ ගොඩනැගිල්ලේ මැද මිදුලේ සිටවූ බවය.
ස්තූපය |
ඔහුගේම 1911-12 වර්ෂයන් සඳහා වූ වාර්තාවේ නැවතත් එම ටැම් ලිපිය සම්බන්දයෙන් විස්තර හමුවේ. ඉහලින් 'කලස' සහිත කොටස බිඳී ගිය සතැරස් ටැම් ලිපිය "ඉනාමළුව පාරේ කැනීම් සිදු කල දාගැබ සහ විහාරය සහිත ආරාමයට අයත් නටබුන්" සහ සීගිරිය කුඩා-ඇල අතර ප්‍රදේශයේදි හමුවූ බැවින් එය එම ආරාමයටම ඇතැම් විට අයත් විය හැකි බව බෙල් අනුමාන කරයි. එම වාර්තාවේ ඔහු එහි පෙළ සිංහල අකුරින් දක්වා එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි.
ස්තූපයෙන් බටහිර දෙසට වන්නට වනාන්තරය තුල පිහිටි පොකුණක් |
C.E. ගොඩකුඹුර මහතා Epigraphia Zeylanica පස්වන වෙළුමේ තුන්වන කොටසේ මෙම ලිපිය නැවතත් කියවා පලකර ඇත. සිරිසඟ්බෝ විරුදය ලත් රජෙකුගේ පස් වන රාජ්‍ය වර්ෂයේ කස්බල් නම් මහපාණන් (එනම් යුව රජු හෙවත්, මහාදිපාද හෙවත් මාපා) විසින් මහනාපව් වෙහෙරට සිදු කල අත්තානි ප්‍රදානයක් පිළිබඳව මෙම ලිපියේ සඳහන් වේ. ගොඩකුඹුර මහතා මෙම කස්බල් නම් මාපා පසුව පොදු වර්ෂ 914 සිට 923 දක්වා රාජ්‍යත්වයට පත් වූ පස්වන කාශ්‍යප (සිංහල: කසුප්/කසුබ්) ලෙස හඳුනා ගනී. තවද අභසලමෙවන් නම් වූ විරුදය සහිතව පසුව රාජ්‍යත්වයට පත් වූ ඔහු මාපා වරයෙකු ලෙස සිටියේ සිරිසඟ්බෝ නම් විරුදය සහිතව පොදු වර්ෂ 898-914 කාලයේ රජ කල සිව්වන කාශ්‍යපගේ කාලයේ බව එතුමා වැඩිදුරටත් සඳහන් කරයි. එම ලිපියම නැවතත් සංස්කරණය කර Inscriptions of Ceylon පස්වන වෙළුමේ පළමුවන කොටසේ පළකරන සිරිමල් රණවැල්ල මහතාද එම හඳුනාගැනීම සමග එකඟ වේ.
ස්තූපයෙන් බටහිර දෙසට වන්නට වනාන්තරය තුල පිහිටි ශිලා පුවරුවක් සහිත ගොඩනැගිල්ලක නටබුන්. මෙම ගොඩනැගිල්ල පිළිබඳව මූලාශ්‍ර වල කරුණු සඳහන් නොවේ. බෝධිඝරයක් විය හැක |
මෙම අත්තාණි ප්‍රදානය සිදු කර ඇති දිනය ලෙස ලිපියේ සඳහන් වන්නේ වෙසක් මස පුරපක්ෂයෙන් දසවන දිනය. එය පිහිටවූ වර්ෂය ලෙස සඳහන් වන්නේ සිව්වන කාශ්‍යප රජුගේ පස්වන රාජ්‍ය වර්ෂයේදි බැවින් එම දිනය වර්තමාන දින දර්ශනය අනුව පොදු වර්ෂ 903 අප්‍රියෙල් හෝ මැයි මාසයේ දිනයක් ලෙසින් හඳුනාගත හැක.
ස්තූපයෙන් බටහිර දෙසට වන්නට වනාන්තරය තුල පිහිටි ශිලා පුවරුවක් සහිත ගොඩනැගිල්ලක නටබුන්. මෙම ගොඩනැගිල්ල පිළිබඳව මූලාශ්‍ර වල කරුණු සඳහන් නොවේ. බෝධිඝරයක් විය හැක |
මෙම ලිපියේ අපට වඩාත් වැදගත් වන කොටස නම් එය පිහිටවූ ස්ථානය ලෙස සඳහන් වන මහනාපව් වෙහෙරයි. එම වෙහෙරට අයත් භූමියේ බලපවත්නා යම් යම් මුක්තීන් සම්බන්දයෙන් ලිපියේ කරුණු දැක්වේ. ඒ අනුව පෙරෙනාට්ටුන් (Perenattu officials) එම භූමියට නොවැද්ද යුතුය, දුනුමඩිලන් (Members of the Archery unit) නොපැමිණිය යුතුය, දොළොස් මහවැව්, ඒවා කැඩී ගියා වුවද (ප්‍රතිශංස්කරණ කටයුතු සඳහා විය හැක) වැරියන් (Tusk-less domesticated elephants) නොගෙනා යුතුය. එසේම එම වැව් වල වැව් පිටියට හෝ බැම්ම මතටද වැරියන් නොගත යුතුය. ගැල්, මීවුන් සහ ගම් ගොන් ද (Carts, buffaloes and village oxen) නොගත යුතුය,පස් මහ වැරදි කර වෙහෙරට පැමිණෙන පුද්ගලයන්ව එම පරිශ්‍රය තුලදි අත් අඩංගුවට නොගත යුතුය, හෙළ්කුලී, දෙමෙළ්කුලී නම් වූ බදු එකතු කරන්නන් ඇතුලු නොවිය යුතුය. මහනාපව් වෙහෙරට සිදුකල අත්තාණි ප්‍රදානය සඳහන් කර කුළුණ පිහිටවූ ලිපියේ නම් සඳහන් පුද්ගලයන් තිදෙනා* සඳහන් කරන මෙම නියෝග කඩ කරන පුද්ගලයන්ට දඩුවම් නොකරන කිසියම් වූ රද්දරු (Any royal prince) කෙනෙක් වෙතොත් ඔහු බලු හා කවුඩු [කපුටු] වෙත්වා ලෙසින් ලිපිය අවසන් වේ.
* (කස්බල් මහපාණන් සහ එක්තැන් සමියෙන් [Supreme Council] වදාළ හෙයින් මහනාපව් වෙහෙරේ අත්තාණි කුළුණු පිහිටුවීමට පැමිණේන්නේ පඩිරද් සලයාගේ නියමයෙන් මෙකාප්පර් දම්නෑ බල්දෙව් සහ කැළිදෙව්කඩු කුමාන් කිත් ද, අරක්සැමි [Chief guardian] සහ මහලෙ [Chief Scribe] කොලොමු ලොකයාගේ නියමයෙන් කුඩසලා අග්බෝ ද යන තිදෙනාය)
මෙම ලිපියටම අඩු වැඩි වශයෙන් සමාන මහනාපව් වෙහෙරට ඉහත කී පුද්ගලයන් විසින්ම සිදු කල අත්තාණි ප්‍රදානය පිළිබඳව වූ තවත් ටැම් ලිපි දෙකක් රාමකැලේ සහ මාපාගල අතර ප්‍රදේශයෙන් හමුවී ඇත.
ස්තූපයට දකුණින් තරමක් වනාන්තරය තුලට වන්නට පිහිටි පබ්බත විහාරයේ උපෝසථඝරය ලෙස අනුමාන කරන ගොඩනැගිල්ල |
ටැම් ලිපිය 1 - දැනට සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාරයේ සෙල් ලිපි දෙකක් ලෙසින් තබා තිබෙන මෙම ලිපිය කැබලි දෙකක් ලෙස බෙල් හට හමුවන්නේ මාපාගල ප්‍රදේශයේදීය. ඉහත ලිපියේ සඳහන් වන පස්මහ වැරදි කර වෙහෙරට පැමිණෙන පුද්ගලයන් අත් අඩංගුවට නොගත යුතුය යන්න මෙහි සඳහන් වන්නේ එවැන්නන් වෙහෙරේ පිරිවෙනට නොගත යුතු ලෙසින්ය.
ටැම් ලිපිය 2 - 1991 වර්ෂයේදී මාපාගල අසල ප්‍රදේශයෙන් කැබැලි දෙකක් ලෙස හමුවී, දැනට සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. අන්තර්ගතය අතින් ඉහත ලිපි දෙකේ අන්තර්ගතයට බොහෝසෙයින් සමාන වන අතර එම ලිපි දෙකටම වඩා අකුරු වලට අඩුවෙන් හානි වී ඇති බැවින් සම්පූර්ණ අදහසක් ගත හැක. ඉහත කරුණු වලට අමතරව මෙහි රට්ලදු මහමල් බැළයන් (Mercenary soldiers attached to the army unit of Mahamal ), කොල්පාට්ටින් (Lance-bearers), වෙල් බැදි (Agriculture officers), රට්ලදු සේවායන් (Soldiers employed under the Governors of Districts), ඇත් ගොව්, අස් ගොව්, වැරි, කුඩසලයන් (Attendants looking after domesticated elephants) මෙන්ම මගිව සහ පියගිව නිලධාරීන්ද මහනාපව් වෙහෙරට අයත් භූමියට නොපැමිණිය යුතු බව පවසයි.
ස්තූපයට දකුණින් තරමක් වනාන්තරය තුලට වන්නට පිහිටි පබ්බත විහාරයේ උපෝසථඝරය ලෙස අනුමාන කරන ගොඩනැගිල්ල |
ටැම් ලිපිය 3 - තවද කිඹිස්ස ප්‍රදේශයෙන් හමුවී දැනට සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා තිබෙන කැබලි වූ ටැම් ලිපියක්ද ඉහත අත්තාණි ලිපි වලම පිටපතක් ලෙස හඳුනාගෙන ඇත. අඩු වැඩි වශයෙන් එහි අන්තර්ගතයද ඉහත ලිපි වලටම සමාන වන අතර මෙහිද පස්මහ වැරදි කලවුන් විහාරයේ පිරිවෙනට වැද්ද නොගත යුතු බව පවසයි.
උපෝසථඝරය ලෙස අනුමාන කරන ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම. එහි පියගැටපෙල කොරවක් ගල් සහ කඩා බිඳ දමා ඇති මුරගල් |
බෙල් හට මාපාගල අවටින් හමුවන ටැම් ලිපි තුනම (ඉන් දෙකක මහනාපව් වෙහෙරට සිදු කල අත්තාණි ප්‍රදානය ගැන සඳහන්වේ.) හමුවන ප්‍රදේශය දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වාසස්ථාන සහ සංචාරක බංගලාව පිහිටි ප්‍රදේශය ලෙස ගොඩකුඹුර මහතා අනුමාණ කරයි. එම ප්‍රදේශය වර්තමාන රාමකැලේ නටබුන් සහිත ප්‍රදේශය සහ මාපාගල අතර පිහිටයි. ඒ අනුව දැනට රාමකැලේ ලෙසින් හැඳින්වෙන පැරණි ආරාමික සංකීර්ණය අවට ප්‍රදේශයෙන් හමුවී ඇති ඉහත අත්තාණි ප්‍රදානයක් ගැන සඳහන් වන ටැම් ලිපි සතරකින්ම එම නටබුන් සහිත ආරාම සංකීර්ණය පැරණි මහනාපව් වෙහෙර [පාළි: මහානාගපබ්බත විහාරය] ලෙසින් හඳුනාගත හැක.
මහාවංශයෙහි පළමුවන අග්ගබෝධි රජු (පො.ව. 571-604) පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු මහානාග රජුට (පො.ව. 569-571) පින් පිණිස ඔහුගේ නමින් විහාරයක් කරවූ බව කියැවේ. එය මහානාග පබ්බත විහාරයද යන්න පැහැදිලි නොවන මුත් එම සඳහනට පසුව එන ගාථාවකින් කියවෙන්නේ පළමුවන අග්ගබෝධි රජු මහානාග පබ්බතයේ සහ කාළවාපි විහාරයේ උපෝසථඝර කරවූ බවය. එම සඳහන බොහෝවිට මෙම මහනාපව් වෙහෙර නොහොත් මහානාග පබ්බත විහාරය පිළිබඳව විය හැක.
මීට අමතරව සීගිරි ගී දෙකකම මහනාපව් වෙහෙර ගැන කියැවේ. මහනාපවවෙහෙරැ වසන දළමෙය සහ මහනාපවුවෙහෙරැ දළමෙය් බත ලෙසින් ආරම්භ වන එම ගී දෙකම බොහෝවිට එකම පුද්ගලයකු විය හැකි එම වෙහෙරේ වසන දළමෙය හා දළමෙය් බත විසින් රචිත බව එම ගී වලම කියැවේ.
ස්තූපයේ නැගෙනහිර පිවිසුම |
රාමකැලේ නටබුන් ගොඩනැගිලි පබ්බත විහාරාරාමයක් ලෙස හඳුනාගෙන ඇත (පබ්බත විහාරරාම පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා කියවන්න >> ) නමුත් වෙනත් පබ්බත විහාරාරාම වල හමුවන පූජණීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන සැලැස්ම හෙවත් ඇතුළු මළුව සහ වෙනත් ගොඩනැගිලි සහිත පිටමළුව මෙහි පැහැදිලිව ප්‍රාකාරයක් සහ දිය අගලක් මගින් වෙන් කර නැත. එසේම පරිශ්‍රයේ උතුරු දිශාවට වන්නට පිහිටි ස්තූපය සහ එයට දකුණින් පිහිටි උපෝසථඝරය හැරෙන්නට ප්‍රධාන සැලැස්මට අයත් වෙනත් ගොඩනැගිලි මෙහි මෙතෙක් හමුවී නොමැත (ඉහත ඡායාරූප වල දැක්වෙන විශාල ශෛලමය පුවරුවක් සහිතව හමුවන ගොඩනැගිල්ල බෝධිඝරය විය නොහැකිද?). ඊට අමතරව ප්‍රධාන නොවන සැලැස්මට අයත් විවිධ ප්‍රමාණයේ කුඩා ගොඩනැගිලි 127 ක නටබුන් ස්තූපයට දකුණු දෙසින් වනාන්තරය තුල සොයාගෙන ඇති අතර ඒවා විහාරාරාමයේ වැඩ විසූ භික්ෂූන්ගේ ආවාස ගොඩනැගිලි ලෙස හඳුනාගෙන ඇත. භෝජනශාලාවක් සහ වැසිකිලිද එකව ගත් කල මෙහි ගොඩනැගිලි 131 හඳුනාගත හැක. ඊට අමතරව ලොකු කුඩා පොකුණු කිහිපයක්ද ඇති අතර ඒවා එහි වැඩ වාසය කල භික්ෂූන් ගේ ජල අවශ්‍යතා සඳහා යොදාගන්නට ඇත. එම ලොකු කුඩා විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත ගොඩනැගිලි වල විශාලත්වයන් අනුසාරයෙන් මෙහි භික්ෂූන් 350 ක් පමණ වාසය කරන්නට ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අනුමාන කරයි.
සීගිරිය- ඉනාමළුව මාර්ගයේ සිට ස්තූපය දෙසට යාමේදී වම් පසින් දැකිය හැකි විශාල පොකුණ |
මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි සිව් දිසාවෙන්ම පඩි පෙලවල් සහිත ප්‍රවේශ සහිතව චතුරශ්‍රාකාර මළුවක් මත ඉදිකර ඇති ස්තූපයෙහි H.C.P. බෙල් විසින් 1910 දී අර්ධ වශයෙන් කැනීමක් සිදු කර ඇත. එම කැනීමේදි ස්තූපයේ ධාතු ගර්භයේ හමුවූ මෑත රෝම අධිරාජ්‍ය යුගයට අයත් කාසි මගින් එය ඉදිකල කාලය පොදු වර්ෂ හතරවන සියවසට අයත්බවට අනුමාණ කල හැක. මෙහි එකක් මතු පිට එකක් ලෙස ධාතු ගර්භ තුනක් තිබී ඇති අතර ඉන් ඉහලින්ම පිහිටි ධාතු ගර්භය නිධන් හොරුන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. දෙවෙනි ධාතු ගර්භයේ කුහර 25 ක යන්ත්‍ර ගලක් හමුවී ඇති අතර පහලින්ම පිහිටි ධාතු ගර්භයේ ගඩොලින් කල බිත්ති වල තිබූ කුහර වලින් තුනකම "අමරාවතී කිරිගරුඩ පාෂාණ" ඵලක වල මතු කල නාග රූප තිබී ඇත. එම ගර්භය මධ්‍යයේ කිරිගරුඬ පාෂාණයෙන්ම කල මහාමෙරු පර්වතයේ නිරූපණයක් ඩොලමයිට් පුවරුවක් මත තබා එය මතුපිට සිරිපතුල් ගලක් තබා තිබී ඇත.භාරතීය සංකල්ප වලට අනුව මහමේරුව යනු විශ්වයේ මධ්‍යය වන අතර මෙම ස්තූපයෙන් හමුවූ මහමේරු ගල වෙනත් මෙරට ස්තූප තුලදි හමුවූ මහමේරු ගල් වලට වඩා සුවිශේෂ කැටයම් වලින් යුක්ත විචිත්‍ර එකක් වේ.
එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ A.H. Longhurst විසින් 1939 දී දාගැබ මත තිබූ සුන්බුන් මුලුමනින්ම ඉවත් කර එය සහ ප්‍රධාන මාර්ගය අතර තිබූ වන වැස්මද මුලුමනින්ම ඉවත් කර ඇත. 1947 දී පරණවිතාන මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලියෙන් පසු වසරක් ගතවීමටත් පෙර එය සම්පූර්ණයෙන්ම ශාක මගින් වැසී ගිය බවත්, කැනීමෙන් පසු සංරක්ෂණයක් සිදු නොකල හෙයින් මඩ බදාමයකින් බැඳ තිබූ ගඩොල් ගරා වැටීමකට ලක්වී ඇති බවත්ය. ඔහු විසින් එම වර්ෂයේදී එම ශාක වැස්ම ඉවත් කර එවන් බදාමයෙන් බැඳ ඇති ගඩොල් ඉදිකිරීම් සංරක්ෂණයේදී උපයෝගී කරගන්නා ක්‍රියා මාර්ග සිදු කර ඇත. තවද ස්තූපයට දකුණු දෙසින් පිහිටි මුරගල්, කොරවක්ගල් සහ සඳකඩ පහනක් සහිත චතුරශ්‍රාකාර අසාමාන්‍ය ආකාරයේ බිම් සැලැස්මක් සහිත ගොඩනැගිල්ල (උපෝසථඝරය) පිළිබඳව කෙටි විස්තරයක් පරණවිතාන මහතා 1956 දී ඉදිරිපත් කර ඇත.
මූලාශ්‍ර
- Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1897
- Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1899
- Archaeological Survey of Ceylon, North Central, Central and North WesternProvinces, Annual Report, H.C.P. Bell, 1911- 12
- Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
- Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 3 , Sirimal Ranawella, 2005
- Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica being Lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana, C.E Godakumbura Vol 5 , Part 2, 1963
- Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
- Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
- 1967-68 මුදල් වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව. ආර්. එච්. ද සිල්වා මහතා, 1970
- Report on the Archaeological Survey of Ceylon for 1940-45, Dr. S. Paranavitana, 1947
- Archaeological Survey of Ceylon, Annual Report for 1939, A.H. Longhurst, 1940
- Report of the Archaeological Survey of Ceylon for 1955, Dr. S. Paranavitana, 1956
- Memoirs of the Archaeological Survey of Ceylon, Volume 5 The Stupa in Ceylon, Paranavitana, 1988
- ස්තූප, චන්ද්‍ර වික්‍රමගමගේ, 2000
- මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
- Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
සිංහලේ ගිහිං හිටියද කරුණු සොයා
ReplyDeleteනොලියා හිටල ඔබ ලොකු කාලයක් ගියා
අහලවත් නොමැති තැනකිය ඇත්තෙ ලියා
නොගියම මොකද, මෙතැනම හිඳ එහෙට ගියා!
සිංහලේ නොගිහින් හිටියා කිව්වා නම් නිවැරදියි. කොරෝනා, ලොක්ඩව්න්, ඉන්ධන ප්‍රශ්න සහ තවත් හේතු හින්දා වසර තුනක්ම ඇවිදින එක සීමා වීම තමා ප්‍රධානම හේතුව.
ReplyDeleteසෑහෙන තරම් හොඳින් නඩත්තු කරන බවක්ද පෙනෙනවා
ReplyDeleteඔව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ස්ථානය සඳහම අනුයුක්ත කල සේවකයන් ඉන්නවා. ඔවුන් ඒ කටයුතු මැනවින් කරගෙන යනවා
DeleteWelcome back !
ReplyDeleteGlad to be back again ;)
Deleteභූෂණ ආපහු ලියන එක වටිනවා. ඒ වගේ ම රාමකැළේ මේ නටඹුන් පබ්බතාරාමය ගැන ඔබේ විස්තරය අංග සම්පූර්ණයි. මේ ගැන කිසිම දෙයක් මා දැන හිටියේ නෑ.
ReplyDeleteරාමකැළේ කියන නම ඇහුණත් රෝමෝද්ගමනය වන පිරිසකුත් ඉන්නවා නේද...?
ස්තූතියි ඩ්‍රැකී!! කිව්වත් වගේ එයාලා තාම මේ රාමගේ කැලේ ගැන අහලා නැතිව ඇති. නැත්නම් කතාන්දර ගොඩක් හදලා මෙලහකට. මේ කිට්ටුවම තියෙන මාපා ගලත් ඒකට ගාව ගන්න පුලුවන් ( ඒ ගැන මන් ඊලගට ලියන්නයි ඉන්නේ ). මන් හිතන්නේ සීගිරිය එහෙම් පිටින් රාවණට දීලා තියෙන හින්ද මේවා ගැන එයාල එච්චර තැකීමක් කරලා නැහැ
Deletepost එකේ font size එක පොඩ්ඩක් ලොකුවට දාන්න... අකුරු පොඩියි
ReplyDeleteඔව් ඒ අවුල නිවැරදි කලා. ස්තූතියි!!
Delete🤗👌
ReplyDeleteහොඳ ලිපියක්. ඩ්රකි තමයි පාර කිව්වේ
ReplyDeleteස්තූතියි
Delete