Showing posts with label Boulder Garden. Show all posts
Showing posts with label Boulder Garden. Show all posts

Saturday, January 11, 2020

සිගිරි ගලෙන් පහල පර්වත උද්‍යානයේ ඔබ නොදකින සීගිරිය

සීගිරියේ පර්වත උද්‍යානය (Boulder garden) ලෙසින් හැඳින්වෙන කොටසේ දැකිය හැකි  නයිපෙන ගුහාව ආදී නටඹුන් ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කලෙමි (එම ලිපිය කියවීමට Link>> ). මේ ලිපියද එම පර්වත උද්‍යානයේ තොරතුරු ඉදිරිපත් කිරීම උදෙසා වෙන්වේ.

පෙර ලිපියෙන් විස්තර ඉදිරිපත් කල කුඩා ස්තූපය අසල පිහිටි ගුහාව අතරින් වැටී ඇති පඩි පේලිය මතින් ඊට ඉහලින් පිහිටි මලුව වෙතට පැමිණි විට විශාල ගල් පර්වතයකින් කිසියම් පුරාණ කාලයකදි සිරස් ලෙස දෙකඩව කැඩී වැටී පෙරලී ගිය පර්වත කොටසක් සහ එම මුල් පර්වතයේ ඉතිරි කොටස උපයෝගී කරගනිමින් නිර්මිත ඉතාමත්ම නිර්මාණශීලී ගෘහනිර්මාණාත්මක උද්‍යාන අංගයන් කිහිපයක් දැකිය හැක. මේ උද්‍යාන අංග වල පිහිටීම පිළිබඳව පැහැදිලි අදහසක්  මේ සමග ඇති කෙටි වීඩීයෝව නැරඹීමෙන් ලබා ගත හැක.
ආසන ගුහාව
ඉහත සඳහන් ගල් පර්වතයෙහි මුල් කොටස ජල ටැංකි ගල (Cistern Rock) ලෙසින් හැඳින්වේ. ඒ එම ගල මතුපිට සතරැස් ලෙසින් ඇතුලට හාරා උඩ ඉවුරු එකිනෙක පිරිද්දූ ගල් පුවරු වලින් නිමකල ජල ටැංකියක් තනා ඇති බැවිනි. එම ගලෙහි පහලින් පිහිටි ගුහාව ඒ තුල ඇති ගලින්ම මතුකර ඇති ආසනයක් හේතුවෙන් ආසන ගුහාව ලෙසින් හැඳින්වේ.
අතීතයේ කිසියම් යුගයකදි දෙකඩව ගිය ගල්පර්වතයේ කොටස් දෙක. දකුණු පස ආසන ගුහාව සහිත වතුර ටැංකි ගලද, වම් පස රාජ සභා ගලද (Audience Hall Rock) දැකිය හැක. රාජසභා ගලෙහි යටකොටසේද කටාරම් කොටා එහි වහලයෙහි හුණු බදාම අතුරා ඇති ලෙනක් දැකිය හැක
ගලින්ම නිර්මිත කොට බිත්ති වලින් යුත් මෙම ආසන ගුහාවේ ඇති ගල් ආසනයද ගලින්ම මතු කර ඇත. එම ආසනයට ඉහලින් වියනේ ගසක සිතුවමක් ඇඳ තිබූ බවට වූ සලකුණු ශේෂව ඇත. තවද 5 වන සියවසට අයත් විය හැකි ලෙස අනුමාණ කරන කාන්තා රූප සහ වලාකුළු වල කොටස්ද වියනේ දැක ගත හැක. එම රූප මත පසු කාලීනව හුණු තවරා ඒ මත කළු පැහැයෙන් අඳින ලද පිරිමි රූප දෙකක්ද මෙහි ඇත. ඒවා 10-12 සියවස් වලට අයත් විය හැකි බවට මත පලවී ඇත. බොහෝ දෙනෙකු නොදන්න කරුණක් වනුයේ සුප්‍රසිද්ධ කැටපත් පවුරේ පමණක් නොව මෙම ගුහාවේ චිත්‍ර මතද පැරණි යුගයේ කුරුටු ගෑ ගී ඇති බවය (සෙනරත් පරණවිතාන මහතා සහ පසු කාලීනව බෙනිල් ප්‍රියන්ක මහතා මෙම ගී කියවා පලකර ඇත.) මෙහි එවැනි කුරුටු ගී 14 පමණ සොයාගෙන ඇත. ඒ අතරින් ඉහත සඳහන් ගසක චිත්‍රය මත ඇති එක් ගීයක් අක්ෂර හැඩය අනුව 6 වන සියවසට කාල නිර්ණය කල හැක. ඒ අනුවය එම ගී කුරුටු ගෑ චිත්‍ර එයට පෙර 5 වන සියවසේ අවසාන කාලයට හෝ 6 වන සියවසේ මුල් යුගයට අයත් විය යුතු බවට අනුමාණ කරනුයේ.
ආසන ගුහාව
ආසන ගුහාවට ඉදිරියෙන් ඇති රාජ සභා ගල යටද අර්ධ කවාකාරව බිත්තියක් බැඳි කටාරම් කොටා වියනේ හුණු පිරියම් කර චිත්‍ර ඇඳ තිබූ බවට සලකුණු සහිත ගුහාවක් දැකිය හැක. මෙම ගුහා ද්වය 'සීගිරි නුවර' අවසානයත් සමග කුඩා බෞද්ධ විහාරයක් සහ පන්සලක් ලෙස යොදාගෙන ඇති බවට 1899 වසර සඳහා වූ H.C.P. බෙල් ගේ වාර්තාවේ සඳහන් වේ. ඔහු එලෙස පවසන්නේ එම ගුහා වල තිබී පිළිම (බුදු පිළිම විය හැක.) හමුවීම නිසා බව එහි වැඩිදුරටත් සඳහන් වේ (After the fall of Sigiri-nuwara they served as a small Buddhist shrine and pansala [Images were exhumed]) මෙම ගුහාව තුල තිබී හුණු ගලින් නිර්මිත දෙවඟනකගේ ප්‍රතිමාවක්ද (තාරා දෙවඟන?) හමු වූ බව රාජා ද සිල්වා මහතා සඳහන් කරයි.
ආසන ගුහාවේ ඇති 5-6 සියවස් වලට අයත් විය හැකි වියන් චිත්‍ර
ඉහත වියන් චිත්‍ර මත හුණු තවරා පසු කාලීනව ( 10 -12 සියවස්? ) කළු පැහැ රේඛාවලින් ඇඳ ඇති පිරිමි රූප. මින් එක් රූපයකින් එහි සිටින පුද්ගලයා ඇඳිලි බැඳගෙන ඇති බවක් නිරූපිත අතර, අනෙත් පිරිමි රූපයේ එක් අතකින් කිසියම් මුද්‍රාවක් නිරූපනය කරයි. අනික් අතෙහිද යමක් දරා සිටින බවක් දිස්වේ.
H.C.P. බෙල් මේ සම්බන්ධව දරන මතය වන සීගිරියේ කාශ්‍යප යුගයට පසුව විහාරයක් ලෙසින් මෙම ගුහා යොදා ගත් බවට වන අදහස මෙන්ම සිගිරියේ පිහිටි පබ්බත විහාරයේ අංග ලෙස මෙම ගුහා මුල සිටම තිබූ බවටද මත ඉදිරිපත් වී ඇත. මේ සම්බන්ධව යම් යම් තොරතුරු සීගිරි පබ්බත විහාරය සම්බන්ධ පෙර ලිපියේ අඩංගු විය Link>>

පැරණි චිත්‍ර මත පසුව සීගිරිය නැරඹීමට පැමිණි පුද්ගලයක් කුරුටු ගී ලියු ලෙසින්ම මෑත කාලීන සීගිරි නොයා යුතුව තිබූ එහෙත් ජාතියේ අවාසනාවට එහි ගිය ඇතැම් අමනයන් විසින්ද ඉංග්‍රීසි අකුරු ආදියෙන් විවිධ දේ ලියා ඒවා විනාශ කර ඇති බව පෙනේ. පැරණි චිත්‍ර, ඒ මත පැරැන්නන් ලියූ කුරුටු ගී මෙන්ම පැරණි චිත්‍ර මත පසු කාලීනව හුණු පිරියම් කර ඇඳි රේඛා චිත්‍රද සුරැකිය යුතු ජාතික උරුමයන් බව වටහා නොගත් පරපුරක් බිහිවී තිබීම මෙවන් සිදුවීම් ඇතිවීමට හේතු වේ. කැටපත් පවුරේ 'ඇඩ්‍රස්' ලියූ ද්‍රවිඩ තරුණියකට 'ජාතික සංහිඳියාව' උදෙසා ජනාධිපති මන්දිරයට කැඳවා රැකියාවක් ලබාදුන් පාලකයන්ද මෙරට මෑතකදි සිටිය බව මේ අවස්ථාවේ මතක් කර දීම තත්වයන් මේ වනවිට වඩාත් හොඳ අතට වෙනස් වී ඇතිමුත් වැදගත් වේ යයි හැඟේ.
අප ඉහත සඳහන් කල කිසියම් අතීත යුගයකදී එක් ගලකින් සිරස්ව කැඩී ගිය අනෙක් ගල් කොටස සහ මුල් ගල අතර පිහිටි විවෘත අවකාශය පැරණි සිංහල ගෘහනිර්මාණ ශිල්පීන් පෙත් මගක් ලෙසින් මනාව බිම ගල් අතුරා පඩි පේලි යොදා සකසා ඇති බව ඉහත ගුහා දෙක පසු කරමින් ඉදිරියට යන විට දැක ගත හැක. ඉහත ඡායාරූපයේ සහ පෙර ඉදිරිපත් කල වීඩියෝවේ මෙය පැහැදිලිව දැක ගත හැක. Link>> එමෙන්ම රාජ සභා පර්වතය දෙසට වන්නට තවත් කුඩා ගල් ආසනයක්ද මෙහි ඇත.
කුඩා ගල් ආසනය
රාජ සභා ශාලාව
මෙම ගල් පර්වත දෙක අතර වූ මාර්ගයේ ගොස් වම් පසින් ඇති පඩි පේලිය මතින් ඉහලට ගොඩ වූ විට රාජ සභා ශාලාව (Audience Hall) ලෙසින් හැඳින්වෙන ඉහත විස්තර වූ මුල් ගල් පර්වතයෙන් සිරස් ලෙස ස්වභාවිකව කැඩී වෙන්වූ පර්වතයේ මතුපිට මනාව සමතල කොට ඉදි කල, එම ගලින්ම මතු කල විශාල ප්‍රමාණයේ ආසනයක්ද සහිත ශෛලමය මණ්ඩපය වෙතට පිවිසිය හැක. මෙම මණ්ඩපය රාජ සභා ශාලාව ලෙසින් බෙල් විසින් මුල් වරට හඳුන්වන ලද අතර මෙය රාජකීය සභා ශාලාව ලෙසින් මෙන්ම වෙනත් අවශ්‍යතාවයන් උදෙසා ඉදිකර තිබූ ශාලාවක් ලෙසටද වූ විවිධ මත ඉදිරිපත් වී ඇත. 
රාජා ද සිල්වා මහතා පවසන ලෙසට මෙම ආසනය භික්ෂූන් කිහිප දෙනෙකුට ඉදිරියෙන් වාඩි වී සිටින බැතිමතුන්ට ධර්මය දේශනා කිරීම උදෙසා 'ආසන ශාලාවක' භාවිතා වූ 'ධම්මාසනයක්' ලෙසින් වූ බවට යන මතය මේ ආසන්නයේ ඇති අනෙකුත් බෞද්ධ නටබුන් සමග එකඟ විය හැකි මතයක් ලෙසින් ගත හැක. අනික් අතට සෙනරත් දිසානායක මහතා පවසන්නේ රාජ සභාව සිගිරිය ගල මුදුනේ ඇති රජ මාලිගාවට ආසන්නව තිබිය යුතු හෙයින් එයට සෑහෙන දුරකින් පර්වතය පාමුල පිහිටි මෙය රාජකීය උයනේ අංගයක් විය යුතු බවය.
රාජ සභා ශාලාවට පහලින්ද තවත් මධ්‍යම ප්‍රමාණයේ ගල් ආසනයක් දැකිය හැකි අතර පර්වත උද්‍යානයේ මෙම කොටසේ ගල් ගුහා තුල සහ පිටත මෙතරම් ආසන ප්‍රමාණයක් හමුවීම පිළිබඳව මතයක් ඉදිරිපත් කරන රාජා ද සිල්වා මහතා මෙම ස්ථානය මුල් යුගයේ බුදු පිළිමය හඳුන්වාදීමට පොරොතුව ආසන වන්දනාව සිදු කල ආසනඝරයක් පිහිටි ස්ථානයක් ද යන්න පිළිබඳව අවධානය යොමු කරයි.
රාජසභා ශාලාවට පහලින් පිහිටි ආසනය
බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ වැඩසිටි ආසනයේ අනුරූ මෙරට බුද්ධ රූපය හඳුන්වාදීමට පෙර ඒ අර්ථයෙන් වන්දනා කල බවට මතයක් ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා ඇතැම් පිළිගත හැකි සාධකද ඉදිරිපත් වී ඇත (ඒ පිළිබඳව වෙනම ලිපියකින් අවධානය යොමු කල යුතු වේ.) තවද එම ආසන මත බුදුන් වඳින අර්ථයෙන් මල් ආදියද තබා වන්දනා කරන්නට ඇත. මෙම මතය තහවුරු කිරීම උදෙසා රාජා ද සිල්වා මහතා යොදාගන්නා තවත් සාධකයක් නම් මෙම ඇතැම් ආසන සහිත කුඩා ගුහා තුල වෙනත් කිසිදු ඉදිකිරිමක් හමු නොවීමයි. තවද මේ මතය නැවතත් පර්වත උද්‍යානයේ මෙම කොටසේ හමුවන අනෙකුත් ලෞකික නොවන බෞද්ධ ඉදිකිරිම් වල නටඹුන් සමගද ගැලපේ.
රාජසභා ශාලාව සහ එයට පහලින් පිහිටි ආසනය
වතුර ටැංකි ගල
රාජ සභා ශාලාවට ඉහලින් පිහිටි වතුර ටැංකි ගල (Cistern Rock) ලෙසින් බෙල් විසින් මුල් වරට නම් කරන පර්වතය මත අප මේ ලිපියේ මුලදී සඳහන් කල ලෙසින් ගලින් නිර්මිත ජල ටැංකියක් ඇති අතර එය වෙතට ලඟාවීමට පඩිපේලියක්ද රාජ සභා ශාලාව දෙසට පිවිසෙන පඩි පේලියට අනෙත් පසින් ඉහල මළුවට පිවිසෙන පඩි පෙල නැග මදක් ඉහලට ගිය විට හමුවේ (පහත රූපය)
මෙම වතුර ටැංකිය මෙම ගල මතුපිට තැනීම සහ එයින් නික්මෙන වැඩිපුර ජලය ගල මතුපිටම වූ කාණුවක් මතින් ගොස් වතුර ටැංකි ගලේ සිරස් අතට හාරා ඇති තවත් කාණුවක් දිගේ ඉහතින් විස්තර කල පෙත් මගෙහි පසෙකින් පහලට ගලා යන ලෙස සකසා තිබීම කුමන අරමුණකින් සිදු කලෙහිද යන්න පිළිබඳව නිශ්චිත මතයක් ඉදිරිපත් වී නොමැත. ඇතැම්විට උද්‍යානයේ අලංකාරය මෙන්ම සිසිලනය උදෙසා එය යොදාගත්තා වන්නට පුළුවන. (වතුර ටැංකි ගලෙහි සිරස් අතට ඇති එම ගල් කාණුව ඉහත වීඩියෝවේ පැහැදිලිව දක්වා ඇත.)
වතුර ටැංකිය

වතුර ටැංකි ගල මත සිට පහලින් දිස්වන රාජ සභා ශාලාව
මූලාශ්‍ර
  • Sigiriya, Senake Bandaranayaka, City, Palace and Royal Gardens, 1999
  • Sigiriya, R.H. De Silva, 1976
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • සීගිරිය, එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග. මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
  • The Rock And Wall Paintings of Sri Lanka, Senake Bandaranayake, 2006
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1895
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1899

Wednesday, December 25, 2019

නොදකින සීගිරිය - පර්වත උද්‍යානය

සීගිරිය වනාහි දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් දිනපතා සංචාරය කරන මෙරට වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයකි. එමෙන්ම මෑත කාලයේදී ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍යය සහ පුවත්පත් වැනි අනෙකුත් මාධ්‍යය හරහා ජනප්‍රිය වූ ප්‍රබන්ධිත ඉතිහාස කතා බොහෝමයකට පාදක වූ ස්ථානයකි. එවන් කිසියම්ම හෝ පදනමක් නොමැති 'කතන්දර' කොතරම් ජනගත වී ඇත්ද යත් ඒවාට විරුද්ධ වන්නන් දේශද්‍රෝහීන් ලෙස සලකන තරමටම අනුවන ජනයා නිවැරදි වචනයෙන්ම කියනවා නම් 'අන්දවා' ඇත. කෙටි ක්‍රම වලින් සමාජයේ ජනප්‍රිය වීමට වලිකන මානසික රෝගීන් කිහිපදෙනෙක් සහ ඕනෑම කුණු ගොඩක් කුණුම ඉල්ලන බහුතර මෙරට ජනයාට පෙන්වා සිය YouTube Channels ජනප්‍රිය කරවාගෙන ආදායමක් උපයාගන්නට තනන කපටීන් මෙවැනි මත සමාජගත කිරීමට දායකත්වයක් දක්වයි. සීගිරියේ තිබී බෙල් මෙරටින් ගෙන ගිය නිධානය, සීගිරියේ සිංහ පාදය ගුරුලු පාදයකි (මේ පිළිබඳව ලිපි 2 ක් මෙයට පෙර මෙහි පලවිය Link>> සහ Link2>> ), සීගිරිය රාවණාගේ බලකොටුවකි, සීගිරියේ තිබූ සෝපානය සහ අනෙකුත් දෑ ඉරිසියාවෙන් පෙලුන බෙල් කොන්ක්‍රීට් දමා වැසූ ආකාරය මින් කිහිපයකි. 
නයිපෙන ගුහාව
මෙවන් මිත්‍යා මත වලට සමාජයේ වැඩි ඉඩක් ලැබීමට එක් හේතුවක් වන්නේ දේශිය, විදේශීය පුරාවිද්‍යාඥයන් සියවසකටත් අධික කාලයක් පුරා සීගිරිය ආශ්‍රීතව සිදු කල ගවේෂණ ඇසුරින් සොයාගත් බොහෝ කරුණු මෙරට බහුතර ජනතාව අතරට නොයෑම ලෙස සැලකිය හැක. එක් අතකින් එවන් බොහෝ කරුණු ඉංග්‍රීසි භාෂාවෙන් පලවී තිබීම සහ එම පොත පත පවා පහසුවෙන් සොයාගැනීමට නොහැකි වීම මෙයට එක් හේතුවකි. සීගිරි යන බොහෝ පිරිස් එතරම් අවධානයක් යොමු නොකරන (හැකි ඉක්මනින් සිංහ පාදය සහ බිතුසිතුවම් නරඹා, සීගිරි ගල මුදුනට නැග එදිනම පිදුරංගලටත් ගොස් සෙල්පි ගසා FB දැමීම බහුතරයකගේ එකම අපේක්ෂාව වේ.)  එමනිසා බොහෝදෙනෙකුගේ අවධානයට ලක් නොවන සීගිරියේ ජල උද්‍යානයේ සහ පර්වත උද්‍යානයේ දැකිය හැකි වෙනත් වැදගත් නටබුන් ස්ථාන පිළිබඳව මෙම ලිපියෙන් සහ ඉදිරියට වරින් වර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වෙනත් ලිපි වලින් අවධානය යොමු කෙරේ. සීගිරියේ පබ්බත විහාරය පිළිබඳව මෙයට පෙර තොරතුරු ඉදිරිපත් කර ඇත Link1>> සහ Link2>>.
සීගිරිය පර්වතය මතට දිස්වන පර්වත උද්‍යානයේ කොටසක්
පර්වත උද්‍යානය (Boulder Garden)
සීගිරියේ බටහිර පිවිසුමෙන් ඇතුලුවී ජල උද්‍යාන පසු කරගෙන යාමේදී සීගිරිය ප්‍රධාන පර්වතයට පහලින්  හමුවන ස්වභාවිකව පිහිටි කුඩා පර්වත කොටස් ඒ ආකාරයටම තිබියදී, ඇතැම් විට ඒවා අවම වෙනස් කම් වලට ලක් කරමින් පුරාණ යුගයේ ඉදිකල මනරම් උයනක් වර්තමානයේ පර්වත උද්‍යානය ලෙසින් හඳුන්වා ඇත. බොහෝ වූ කටාරම් කෙටූ ඇතැම් විට බ්‍රාහ්මී සෙල්ලිපි සහිත ලෙන්, කුඩා දාගැබ්, ගල් ආසන, මාලක, පඩි පේලි වැනි බොහෝ දේ මෙම කොටසේ දැකිය හැක. මේ බොහෝමයක් කාශ්‍යප යුගයට පෙර හා පසු මෙහි පැවැති සංඝාරාමයට අයත් අංග ලෙස හඳුනාගත හැකි මුත් ඒවා රාජකීය උද්‍යානයේ නටබුන් ලෙසද මත ඉදිරිපත් වී ඇත. මෙම ලිපියෙන් එම පර්වත උද්‍යානයේ හමුවන ස්ථාන කිහිපයක් පිළිබඳව අවධානය යොමුවේ.
නයිපෙන ගුහාව
නයිපෙන ගුහාව
නයිපෙනයක හැඩයෙන් යුක්ත හෙයින් ජනවහරේ නයිපෙන ගුහාව ලෙස හැඳින්වෙන මෙම ගුහාව පබ්බත විහාරයට ඉහලින් පිහිටා ඇත. ක්‍රි.පූ. දෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති සෙල් ලිපියක් මෙහි කටාරමට පහලින් දැකිය හැක. පරුම[ක] නගුලිය ලෙනෙ ලෙසින් එන එහි අදහස නම් පරුමක නගුලිය ගේ ලෙන යන්නය. පරුමක යනු රාජ්‍යයේ කිසියම් තනතුරක් දැරූ ප්‍රධානීන්ය (Chieftains).  නයිපෙන ගුහාවේ කටාරමට යටින් සුදු පිරියම් කර 'වියන් චිත්‍ර' ඇඳ තිබී ඇති බව දැනටද අතරින් පතර තරමක් ඉතිරිවී  ඇති චිත්‍ර කොටස් වලින් පැහැදිලි වේ. අඩු වැඩි වශයෙන් ඒවා මහනුවර යුගයේ හා ඉන්පසු යුග වලද බෞද්ධ විහාර වල පිළිම ගෙවල් වල දැකිය හැකි වියන් චිත්‍ර වලට යම් සමානත්වයක් දක්වයි.
මහනුවර යුගයේ චිත්‍ර ශිල්පීන් යොදාගත් කතුරු මල සහ තිරිංගිතල වැනි හැඩතල වලට මෙම චිත්‍ර වල සබදතාවයක් දැකිය හැක. විවිධ ජ්‍යාමිතික හැඩ තල හා පලා වැල් අතර  කිසියම් පක්ෂියෙකුගේ රුවක්ද හඳුනාගත හැක. සේනක බණ්ඩාරනායක මහතා සීගිරියේ දැකිය හැකි පැරණිම චිත්‍ර අතරට නයිපෙන ගුහාවේ වියන් චිත්‍රද ඇතුලත් කරන අතර මෙම චිත්‍ර සීගිරියේ ප්‍රකට කාන්තා රූප වල ශෛලියට සමානත්වයක් දක්වන බව පවසයි. ක්‍රි.ව. පස්වන සියවස හෝ හයවන සියවසේ මුල් අවධියට මෙම චිත්‍ර අයත් වන බවට ඔහු අනුමාණ කරයි.
මෙම ලෙනේ බිම ගඩොල් අල්ලා ඒ මත හුණු ආලේප කර තිබූ බවට කැනීම් සිදු කිරීමේදී හමුවූ එවන් කොටසකින් හඳුනාගැනීමට හැකි විය. වර්තමානයේ එවන් ගඩොල් සම්පූර්ණ ගුහා භූමිය තුලම දැකිය හැකි මුත් හුණු ආලේපනය දැකිය නොහැක. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කල සංරක්ෂණ කටයුතු වලදී සම්පූර්ණ ගුහා භූමිය තුලම අලුතින් ගඩොල් ඇල්ලීම සිදුකර ඇත. තවද මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සේනක බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් මෙම නයිපෙන ගුහාව ඉදිරිපස සිදු කල කැනීම වලදී අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර ඒ අනුව එම කොටසේ පැරණි සුසාන භූමියක් තිබී ඇති බවට අනුමාණ කෙරේ.
පබ්බත විහාර පිළිම ගේ සෙල්ලිපිය
පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල පබ්බත විහාරයට අයත් පසු කාලීනව පිළිම ගෙයක් බවට පරිවර්තනය කර ඇති ගුහාවේද ක්‍රි. පූ. 2-3 සියවස් වලට කාල නිර්නය කල හැකි අක්ෂර වලින් රචිත සෙල්ලිපියක් එහි කටාරමට පහලින් දැකිය හැක. පරුමක තිරි පුත අබිජිය ලෙනෙ ලෙසින් එන එහි අර්ථය පරුමක තිරිගේ පුත් වූ අබිජිත් ගේ ලෙන ලෙසින් පරණවිතාන මහතා අර්ථ නිරූපනය කරයි. පොදුවේ මෙවන් සෙල්ලිපි වලින් එම ලෙන් ඒවායේ පෙර අයිතිය පැවති පුද්ගලයන් විසින් ඔවුන් බුදු දහම වැලඳ ගැනීමත් සමග ඒවා භික්ෂු වාසස්ථාන උදෙසා පිරිනැමූ බවට පැවසෙන බව විද්වත් මතයයි. බ්‍රාහ්මී අක්ෂර හෝඩිය මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ඒමත් සමග මෙරටට හඳුන්වා දුන් බවට වූ පොදු පිලිගැනීමත් සමග එම මතය බැඳී පවතී. එවන් ඇතැම් ලෙන් ලිපි වල එහි අයිතිකරුවන් විසින් ඒවා සංඝයාට පිරිනැමූ බව පැවසෙන මුත් (උදා: බෝගොඩ ලිපි) මෙවැනි සමහර ලිපි වල එලෙස සඳහන් නොවීම අප දන්නා තරමින් කිසිවෙකුගේ අවධාන‍ය ලක් වී ඇති බව නොපෙනේ. මේවා සරලව ඔවුන්ගේ අයිතිය කියාපෑමක් පමණක් විය නොහැකිද?
කුඩා ස්තූපයක නටබුන් සහ ලෙන්
නයිපෙන ගුහාවේ සිට ඉහලට නැගීමේදී පර්වත දෙකක් අතර වූ කුඩා මලුවක විනාශ වී ගිය කුඩා දාගැබක සංරක්ෂණය කර ඇති කොටසක් හමුවේ. කැටයම් රහිත සඳකඩපහනක් සහ එක් මුරගලක කැඩී ගිය පහල කොටසක් මෙහි දැකිය හැක. එම කුඩා ස්තූපයට දකුණු පසින් වූ දෙපසින් පර්වත කොටස් දෙකක් එක් වීමෙන් ස්වභාවිකව නිර්මිත වූ ලෙන කටාරම් කොටා බිම නයිපෙන ගුහාවේ ලෙසින්ම ගඩොල් අතුරා සකසා තිබී ඇත. ගුහාව තුලින් ගොස් සීගිරි පර්වතය දෙසට යාමට පඩි පේලියක් තනා ඇත. මෙම දාගැබ මෙන්ම කටාරම් කෙටූ ලෙන්ද සීගිරියේ පැවති පබ්බත විහාරයට පැහැදිලිවම අයත්විය යුතුය. මක් නිසාද යත් අප පෙර ලිපියෙන් විස්තර කල පබ්බත විහාරයේ කොටස් එහි පූජනීය චතුරශ්‍රයට අයත් දේ වන අතර. පූජනීය චතුරශ්‍රයට පිටතින් පබ්බත විහාර වල පිහිටන භික්ෂු ආවාස කුටි සීගිරිය පබ්බත විහාරයේදි ඒ අවට හමුවන ලෙන් වලින් සමන්විත විය යුතුය (පබ්බත විහාර වල ගෘහනිර්මාණ ශිල්පී ලක්ෂණ පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට Link>> ) සිගිරිය පර්වතය අවට විශේෂයෙන්ම පර්වත උද්‍යානයට අයත් කොටසේ ලොකු කුඩා ලෙන් 30 ක් පමණ හමුවන අතර අවම වශයෙන් ඉන් 5 ක වහලයේ කටාරමට පහලින් මැකී යමින් පවතින චිත්‍ර කොටස් දැකිය හැක. තවද ඒවායින් බොහෝමයක සුදු පිරියම් කර තිබූ සාධක අතරින් පතර ඉතිරි වී ඇති බදාම කොටස් වලින් පැහැදිලි වේ. ඒවායෙහිද පෙර චිත්‍ර ඇඳ තිබූ බවට දැනටද දිස්වන වර්ණක කොටස් දෙස් දෙයි.

පර්වත උද්‍යානයේ කෙටි වීඩියෝව නැරඹීමට Link>>

පර්වත උද්‍යානයේ මෙවන් වෙනත් බොහෝ දෑ පිළිබඳව ඉදිරි ලිපි වලින් තොරතුරු විමසා බලමු.

මූලාශ්‍ර
  • Sigiriya, Senake Bandaranayaka, City, Palace and Royal Gardens, 1999
  • Sigiriya, R.H. De Silva, 1976
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • සීගිරිය, එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග. මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
  • Further studies in the settlement archaeoligy of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • The Rock And Wall Paintings of Sri Lanka, Senake Bandaranayake, 2006
  • Men And Monuments D.T. Devendra A Centennial Tribute, Leelananda Prematilele at. all, 2001
  • Digging Into The Past, Raja de Silva, 2005
  • Sigiriya Paintings , Raja de Silva, 2009
  • සීගිරිය, කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රනාමය, සිරි ගුනසිංහ, 2010
  • Paranavitana S., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions
  • Sigiriya Project, 3rd Progress Report Excavation at Sigiriya (January - June 1983), Senaka bandaranayake, 1989
  • සීගිරිය ව්‍යාපෘතිය, සීගිරියේ සිව්වන පුරාවිද්‍යාත්මක කැණීම් (1983 ජූලි-දෙසැම්බර්) සේනක බණ්ඩාරනායක, 1993
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1911-12
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1896
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1897