Showing posts with label Sinhale. Show all posts
Showing posts with label Sinhale. Show all posts

Thursday, May 7, 2020

අඹගොමුව කෝරළයේ පුරාණ සිංහල ගම් සහ දෙවියන්ගේ අඩවිය වසා නැගී සිටි වතු අධිරාජ්‍යය

1815 දී ගිවිසුමකින් කන්ද උඩරට අවසාන සිංහල බල ප්‍රදේශය කපටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවරා දෙන අවස්ථාව වන විට එවකට සිංහලේ ලෙසින් හැඳින්වූ එම ප්‍රදේශ පළාත් 21 කට බෙදා පාලනය කල බව පෙනේ. ඒවා මහ දිසා 4 ක්, දිසා 8 ක් සහ රටවල් 9 ක් ලෙසට විය. සතර කෝරළේ, සත් කෝරළේ, ඌව සහ මාතලේ මහ දිසා වශයෙන්ද, සබරගොමුව, තුන් කෝරළේ, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න හා තමණ්කඩුව දිසා වශයෙන්ද, උඩුනුවර, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම සහ පාත බුලත්ගම රටවල් ලෙසින්ද එසේ බෙදා තිබුණි. එම ප්‍රදේශ පිළිබඳව සහ ඒවායේ පිහිටි ගම් පිළිබඳව ඉදිරියට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන ලිපි පෙලක පළමු ලිපිය මෙසේ උඩ බුලත්ගම රටට අයත් අඹගොමුව කෝරළයෙන් ආරම්භ කරමි.

සිංහලේ පැරණි බෙදීම් අතර වූ උඩ බුලත්ගම දකුණින් සබරගමුව දිසාවෙන්, බටහිරෙන් සතර කෝරළයෙන්, උතුරින් දොළොස්බාගේ ප්‍රදේශයෙන් සහ නැගෙනහිරෙන් කොත්මලේ රටින් මායිම් වේ. උඩ බුලත්ගම නැවතත් කෝරළ දෙකකට බෙදා තිබූ අතර ඒවා අඹගමුව සහ පස්බාගේ ලෙසින් හැඳින්වේ. මෙම ලිපියෙන් අඹගමුව කෝරළය පිළිබඳව ප්‍රධාන වශයෙන් 1872 සිට 1892 දක්වා මහනුවර දිසා විනිසුරු ලෙසින් සේවය කල A.C. ලෝරි විසින් සම්පාදනය කල ගැසටියර් නාමාවලිය (A Gazetteer of the Central Province of Ceylon Volume 1 & 2) අනුසාරයෙන් කරුණු ඉදිරිපත්  කිරීමට බලාපොරොත්තු වෙමි.
මස්කෙලිය ඔය හරස් කර ඉදිකල මාඋස්සාකැලේ ජලාශය
අඹගමුව කෝරළය ප්‍රධාන ගංගා නිම්න තුනකින් පෝෂණය වන ප්‍රදේශයක් ආශ්‍රීතව පිහිටා ඇත. මහවැලි, කෙහෙල්ගමු ඔය සහ මස්කෙලිය ඔය එම ගංගා නිම්න තුනයි. සුදු අධිරාජ්‍යවාදීන් පළමුව කෝපි සහ පසුව තේ වගා සඳහා එම ප්‍රදේශ එලි කිරීමට ප්‍රථමයෙන් ඝන වනාන්තර වලින් එම නිම්න වැසී පැවතුන බව ලෝරි සඳහන් කරයි. සිය ගැසටියර් නාමාවලිය සම්පාදනය කරන යුගය වන විට (1896) එම සියළු වනාන්තර බිම් අඹගමුව, පහල දික් ඔය, බොගවන්තලාව සහ මස්කෙලිය වැවිලි දිස්ත්‍රික්ක බවට පත්වී තිබූ බව ඔහු පවසයි. ලෝරි වැඩිදුරටත් පවසන්නේ එම කෝරළයේ උඩරට සිංහල ජනයා  සුළු ප්‍රමාණයක් පමණක් වාසය කල බවත් ඔවුන් වගා කල සමතලා භූමි ආශ්‍රීතව පමණක් විසූ බවත්ය (Kandyan population is small and is confined to localities where the land is level and irrigated). ඉහල කඳුකර පෙදෙස් ජල පෝෂිත ප්‍රදේශ ලෙසින් ආරක්ෂා කරමින් පහත් තැනිතලා බිම් වගා බිම් ලෙසින් සහ වාසභූමි ලෙසින් යොදාගත් පරිසර හිතකාමි සිංහල ජීවන රටාව ලෝරිලා එවකට හඳුනාගෙන නොතිබූ අතර ඔවුන් ඉහල කඳුකර බිම් මුළුමනින් නිරුවත් කර තේ සහ කෝපි වගාබිම් ඉදිකලහ.
කෝපි සහ තේ වගා සඳහා එලි කිරීමට පෙර ශ්‍රීපාද අඩවිය දක්වා විහිදුනු බොගවන්තලාව ප්‍රදේශයේ වනාන්තර බිම් තේ වගාවෙන් අද වැසී පවතින ආකාරය
අඹගමුව කෝරළයේ පැරණි ගමක් වන අඹගමුව පිළිබඳව වර්ෂ 1819 දී ඒ හරහා ගිය ඩේවි වාර්තා කර ඇති අතර සුප්‍රසිද්ධ අඹගමුව සෙල්ලිපියද එහි පිහිටි අකුරුකෙටූගල කන්ද ලෙසින් හැඳින්වෙන ස්ථානයේ හමුවේ.

ඩේවිගේ මාර්ග විස්තරය පිළිබඳව වූ ලිපිය කියවීමට >>
අඹගමුව සෙල්ලිපිය පිළිබඳව වූ ලිපිය >>

අඹගමුව කෝරළයේ පිහිටි විශාල ගම්මානයකි කෙහෙල්ගමුව. දික් ඔය සහ බොගවන්තලාව වතු දිස්ත්‍රික්ක අයත් වන්නේද කෙහෙල්ගමුවට ලෙස ලෝරි දක්වයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ කඳු බෑවුම් සහ නිම්න ඔස්සේ තේ වගාව ඇරඹීමට පෙර එම ප්‍රදේශය මුළුමනින්ම පාහේ රාජකීය කැලෑ ප්‍රදේශ බවය. එහෙත් 1881 වසරේදී මුළු ජනගහණය 888 වූ කෙහෙල්ගමුව ප්‍රදේශයේ වූ ලෙස ලෝරි දක්වන ඇතැම් ගම්මාන පෙර සිට පැවතුන බව පෙනේ. ඒවා නම් අඹතලාව, ඇල්ලේඋඩගම, කඳුරේගොඩ, තිනියගල, හෝමාගම සහ හොරකඩයි. මෙම ගම්මාන වල 1891 දී මුළු ජනගහනය 1157 ව තිබී ඇති අතර ඉහත ගම්මාන වලට අමතරව කඩවල සහ කලවැල්දෙනියද එම වසරේ සංගණනයේදී සැලකිල්ලට ගෙන ඇත.
කෙහෙල්ගොමු ඔය නිම්නය.  මෑත පිහිටි කඳු පංතිය සහ ඈතින් දිස්වන කඳු පංතිය අතර මස්කෙලිය ඔය නිම්නය පිහිටා ඇත. ඡායාරූපය ගෙන ඇත්තේ B71 මාර්ගයේ වටවල සහ නොර්ටන් බ්‍රිජ් අතර ස්ථානයකදීය
අඹතලාව ග්‍රාමයේ 1891 වසරේ සංගණනයට අනුව පුද්ගලයන් 31 දෙනෙකු සිට ඇත. සීත ගඟුල නමින් වූ ගම්මානයක්ද අඹගමුව කෝරලයේ තිබී ඇති බව ලෝරිගේ සටහන් වල හමුවේ. 1891 වසරේදී එහි පදිංචිව සිට ඇත්තේ මිනිසුන් දෙදෙනෙකු සහ ගැහැණුන් දෙදෙනෙකු පමණි. මේ ශ්‍රීපාද මාවතේ පිහිටි සුප්‍රසිද්ධ සීත ගඟුල ආශ්‍රීත ප්‍රදේශයේ තිබූ ගම්මානයක්ද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් වර්තමාන සීත ගඟුල ප්‍රදේශයද අඹගමුව කෝරලයේ සීමාව තුල පිහිටා ඇත. [පසු සටහන - සීතගඟුලගම නමින් ගම්මානයක් නොර්ටන් - මස්කෙලිය B328 මාර්ගයේ 76 - 77 කිලෝමීටර කණු අතර මාර්ගයේ දකුණු පසින් මස්කෙලිය ඔයේ වම් ඉවුරේ මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මෙය පැහැදිලිවම ලෝරි සඳහන් කරන සීතගඟුල විය යුතුය.යටිගන්හුලහ ලෙසින් හැඳින්වූ ප්‍රදේශයට ගම්මාන කිහිපයක්ම අයත් වී ඇත. දාගම්පිටිය, ගෝනාවල, මැඩිල්ලපදුපොල සහ පිටවල ලෙසින් ඒවා දක්වා ඇත. යටිගන්හුලහේ ග්‍රාමයට අයත් කුඩා ගමක් වන ගෝනාවල ගමෙහි ගම්මුන් 63 ක් 1881 වසරේ සිට ඇති මුත් එම සංඛ්‍යාව 1891 වන විට 52 දක්වා පහල බැස ඇත. එහිම පිහිටි ලෙස දක්වා ඇති පදුපොල ලෙසින් හැඳින්වූ තවත් කුඩා ගමක 1881 දී 281 වූ ජනගහණය 1891 වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් 189 දක්වා පහල බැස ඇත. දාගම්පිටිය ග්‍රාමයේ 1881 වසරේ මෙන්ම 1891 සංගණනයෙහිද හමුවූ පුද්ගලයන් ගණන 53 කි. මැඩිල්ල ග්‍රාමයේ පිළිවෙලින් 1881 සහ 1891 වසර වල ජනගහනය 83 සහ 170 ලෙසින්ද, පිටවල 1891 වසරේදී එය 131 ලෙසින්ද දක්වා ඇත. තිනියගලද (Tuniyagala) දැනටද හඳුනාගත හැකි මෙම ප්‍රදේශය ආශ්‍රිතවම හමුවන එවකට තිබූ ගම්මානයකි.
අඹගොමුව කෝරලයේ බටහිර සීමාව වන කඳු පංතිය. පෙරබිමෙහි මස්කෙලිය ඔය නිම්නය දැක ගත හැක. කිරිවන්එළිය ප්‍රදේශයේදී B328  මාර්ගයේ සිට ඡායාරූපය ගෙන ඇත.
අඹගමුව කෝරලයේ අනෙකුත් ගම්මාන සමග සැලකූ විට දික් ඔය ග්‍රාමයේ සැලකිය යුතු  ජනගහණයක් වාසය කල බව පෙනේ. 1881 දී 498 වූ එහි පුද්ගලයන් සංඛ්‍යාව 1891 වන විට 624 දක්වා වැඩිවී තිබේ. මේ වනවිට කෙහෙල්ගමු ඔය නිම්නය සහ එහි අතු ගංගා වන දික් ඔය, මැණික් ඔය, දරවැල්ලේ ඔය සහ බටු කැලේ ඔය ආශ්‍රිත නිම්න භූමි ඔස්සේ ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ තේ සහ කෝපි වතු අයත් වූ 'දික් ඔය දිස්ත්‍රික්කයේ' වතු වල සේවා සැපයීමට සංක්‍රමණය වූ පහත රට සිංහල ජනයා පදිංචි වීම මෙම විශාල ජනගහණය ඇතිවීමට සහ කෙටි කලකින් එය 25% කින් පමණ වැඩිවීමට හේතු වූවාදැයි විමසා බැලිය යුතුය. දික් ඔය, දරවැල්ල, මැණික්වත්ත, ද්‍රබාර් සහ වනරාජ වතු වර්ෂ 1855 පමණ වූ මුල් කාලයේදීම ඇති වී තිබූ අතර එම දික් ඔය වතු දිස්ත්‍රික්කයට අයත්ව ඒ වන විට තිබූ තේ සහ කෝපි වතු 117 ක ලැයිස්තුවක් ඒවායේ විශාලත්වයන්ද සමග ලෝරි ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත් දික් ඔය ප්‍රදේශය තුල පිහිටි සමරවිල නමින් වූ 1891 වසරේදී 44 දෙනෙකු ජීවත් වූ ඉන් පෙර වසර වල සංගණන වල හමු නොවන ගම්මානයක් පිළිබඳව විස්තර හමුවේ. මෙය ඇතැම්විට පැරණි ගම්මානයක් විය හැක.
මුල් යුගයේම ආරම්භ වූ දරවැල්ල වතු යායේ සුදු ජාතික වතු අයිතිකරුවන්ගේ භාවිතය සඳහා ඉදිවූ සමාජ ශාලාව (Planter's Club - Darawella)
 1891 වසරේදී 419 ක් තරම් වූ විශාල ජනගහණයක් ජීවත් වූ වටවල සම්බන්ධව 1871 මෙන්ම 1881 ජන සංගණන වලදී කිසිදු සඳහනක් නොවීම ද පැහැදිලි කල හැක්කේ වතු ආශ්‍රිතව සිදුවූ ජනතාව සංක්‍රමණය වීමේ ප්‍රතිපලයක් ලෙසින් සිදුවූ ශ්‍රීඝ්‍ර ජනගහන වර්ධනයක් ලෙසින්ද නොමැති නම් එම හේතූන් නිසාම එම යුගයේ ඇතිවූ පැරණි ගමක් නොවන නව ජනාවාසයක් ලෙසින්ද යන්න පැහැදිලි නැත.
බ්‍රිතාන්‍යය වතු අයිතිකරුවන්ගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා ඉදිවූ ඇංග්ලිකන් පල්ලිය - දික් ඔය (Christ Church Warleigh - Dik Oya
19 වන සියවස අවසාන භාගයේ සාපේක්ෂව සැලකිය යුතු ජනතාවක් වාසය කල පැරණි සිංහල ගමක් ලෙස මේ ප්‍රදේශයේ හඳුනාගත හැකි කළුගම්මන, පල්ලේබාගේ සහ උඩබාගේ ලෙසින් කොටස් දෙකකට බෙදා තිබී ඇත. මෙයින් පල්ලේබාගේ (469) කොටසට අයත් ලෙස කන්ගරාපිටිය (278) සහ හිටියගමත් (256), උඩබාගේ (409) ගම් ලෙස මොරහේනගම (269) සහ කිරිවන්එළියත් (279) දක්වා ඇත.  [සැ.යු. ඉහත ග්‍රාම නාම සමග වරහන් තුල 1881 ජන සංගණනයේදී එම ගම් වල විසූ ගම්මුන් ප්‍රමාණ දක්වා ඇත.] උඩබාගේ ගම්මාන තුල වී වගාව ගම්මුන්ගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරමින්වත් සිදු නොවූවත් ප්‍රදේශය තුල පිහිටි 7000-8000 පමණ වූ කිතුල් ගස් වලින් ගම්මුන් වෙළදාම සඳහා හකුරු සෑදූ බවත්, කුරක්කන්, බඩ ඉරිඟු සහ ගොඩ වී සැලකිය යුතු ප්‍රමාණ වලින් ප්‍රදේශය තුල වගා කල බවත් සඳහන් වේ. තේ වගාවද ඒ වන විට ප්‍රදේශය සැලකිය යුතු මට්ටමකින් ආක්‍රමණය කර තිබී ඇත.

දැන් මස්කෙලිය වතු දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය  පූර්වයෙහි ශ්‍රීපාද වන්දනාකරුවන් පමණක් ගමන් කල නොනැවතී විහිදුනු වනාන්තරයෙන් යුත්ත වූ ප්‍රදේශයක් බව ලෝරි සඳහන් කරයි. බොගවන්තලාව සහ සමනල කඳු පෙදෙසින් ඇරඹෙන සිය ගණන් දිය දහරා එකතු වී මේ ප්‍රදේශයේදි සිය ගමන අරඹන මස්කෙලිය ඔය කැළණි ගඟේ ප්‍රධාන මව් ගංගාවකි. වර්ෂ 1866 හෝ 67 වර්ෂයේදී පමණ කෝපි වගාව මේ ප්‍රදේශයේ ආරම්භ වී ඇති අතර වර්ෂ 1880 දී පමණ මුල් තේ වතු ආරම්භ කර ඇත. ඒ වන විට තිබූ තේ වතු 71 ක විස්තර ලෝරි ඉදිරිපත් කර ඇත.
වතු වගාව ආරම්භයට පෙර ඝන වනාන්තරයෙන් වැසී තිබූ මස්කෙලිය ප්‍රදේශය අද
නමින්ම හැඟෙන පරිදි පැහැදිලිවම වතු වගාවත් සමගම ඇතිවූ කඩමණ්ඩියක් සහ පසුව නගරයක් බවට පත්වූ හැටන් අයත් වන්නේද අඹගමුව කෝරළයටය. පෙර සංගණන වල දත්ත ඇතුලත්ව නොතිබූ මුත් 1891 වසරේදී එහි ජනගහනය 1017 පමණ වූ විශාල අගයක් විය. වර්ෂ 1884 ජූනි 4 වන දින හැටන් දක්වා දුම්රිය ගමන් ඇරඹීමත් සමගම එය ජනාකීර්ණ නගරයක් බවට පත්වීම ඉක්මන් වන්නට ඇත.
වතු වගාව ආරම්භයට පෙර ඝන වනාන්තරයෙන් වැසී තිබූ මස්කෙලිය ප්‍රදේශය අද
පැරණි මලය රට පිළිබඳව මෙයට පෙර මෙම බ්ලොග් අඩවියේ පලවූ ලිපියක අඹගමුව සෙල්ලිපිය ඇසුරින් හඳුනාගත හැකි එවකට තිබූ පැරණි සිංහල ගම් කිහිපයක් පිළිබඳව විස්තර ඉදිරිපත් කලෙමි. පළමුවන විජයබාහු රජතුමා එම ලිපියෙන් ශ්‍රීපාදයට පිදූ විල්බා පෙදෙස වර්තමාන අඹගමුව කෝරලය බවත්, එහි පිහිටි කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.) තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් පෙන්වාදුන්නෙමි ( එම ලිපිය කියවීමට >> ) අඹගමුව නාමයද එදා සිට අද දක්වාම නොවෙනස්ව අදද එම නමින්ම හැඳින්වෙන ප්‍රදේශයට ව්‍යවහාර වේ.
සිතියම 1
19 වන සියවසේ අඹගොමුව කෝරලයේ තිබූ ලෙසට ලෝරි ඉදිරිපත් කරන ගම් අතරින් පදුපොල සහ සමරවිල  යන ගම්මාන හැර සෙසු සියළු ගම් ඉහත සිතියමේ සලකුණු කර ඇත. පදුපොල එහි නමින්ම හැඟෙන පරිදි ඇතැම්විට පදු කුලයේ ජනයා විසූ කුඩා ගමක් වන්නට ඇත. හීන කුලයක් ලෙසින් එකල පිළිගත් බැවින් කාලයත් සමග එම නම භාවිතයෙන් ඉවත්වී ඇතැම්විට වෙනත් ගමක් තුල සැඟව යන්නට හෝ අලුත් නාමයක් ලබන්නට හෝ ඇත [පදුපොල පිළිබඳව ප්‍රදීප් විසින් පහල එකතු කල කොමන්ටුව බලන්න]. කෙහෙල්ගමුව, කළුගම්මන සහ යටිගන්හුලහ යන ගම්ද හඳුනාගත නොහැකි මුත් ලෝරි පවසන පරිදි එම නම් ව්‍යවහාර වී ඇත්තේ විශාල ප්‍රදේශයකට වන අතර ඒ ප්‍රදේශ තුල පිහිටි කුඩා ගම් (Hamlets) ඔහු ඉදිරිපත් කර ඇත. කාලයත් සමග එම ව්‍යවහාර යටපත් වී එම කුඩා ගම් අද වන විට විශාල ගම් බවට පත් වී ඇත. සිදුවිය යුතු පරිද්දෙන්ම කෙහෙල්ගමුව, යටිගන්හුලහ කළුගම්මන වැනි ගම් කිහිපයක් අයත් වන ප්‍රදේශයකට ව්‍යවහාර වූ නම් ඒ සමගම භාවිතයෙන් ඉවත් වන්නට ඇත. එහෙත් කෙහෙල්වරාව ලෙසින් ග්‍රාම නිලධාරි වසමක් සහ ගමක් අදද හඳුනාගත හැක.  එහි පැරණි කෙහෙල්ගොමුව නම සැඟව පවතී. තවද කෙහෙල්ගොමු ඔය එම නම තවමත් දරා සිටී.
සිතියම 2 - අඟලේ සිතියම් වල සමර්විල් ලෙසින් ලකුණු කර ඇති ස්ථානය බලන්න
දික් ඔය ප්‍රදේශයේ පිහිටි ලෙස ලෝරි පවසන සමරවිල ගමද අද හඳුනාගත නොහැක. ඉහත සිතියම 1 දෙස බැලූ විට දික් ඔය ප්‍රදේශය පිළිබඳව අප ඉහත මතු කල පරිදිම එය පැරණි ගමක්ද යන්න පිළිබඳව සැක මතුවේ. අඹගොමුව කෝරලයේ සියළුම පැරණි ගම් ගිනිගත්හේන ප්‍රදේශයෙන් දකුණට සහ ගිණිකොන දිශාවට යොමු වූ මස්කෙලිය සහ කෙහෙල්ගොමු ඔය බඩ නිම්න අවට තැනිතලා ප්‍රදේශයකට සීමා වේ. එම ප්‍රදේශය හැර අඹගොමුව කෝරලයේ සෙසු සියළු පෙදෙස් වතු වගාව ඇරඹීමට පෙර ශ්‍රීපාද අඩවිය දක්වා විහිදුනු වනාන්තරයෙන් වැසී තිබූ බව ලෝරිගේ විස්තරයෙන්ද පැහැදිලි වේ. එයට දික් ඔය ප්‍රදේශයද අයත්වේ. ඒ අනුව එම ප්‍රදේශයේ එවන් ගමක් පිහිටීමේ හැකියාව අල්පය. කෙසේ නමුත් පැරණි අඟලේ සිතියම් වල වර්තමාන දික් ඔය නගරයට දකුණින් කාසල්රේ ජලාශය ඉවුරේ සමර්විල් ලෙසින් ස්ථානයක් සලකුණු කර ඇත. ඉංග්‍රිසි Summer වචනය සමග විල යන සිංහල වචනය එකතු වී සෑදී ඇති එම අසාමාන්‍ය නාමය එහි මුලින් පදිංචිව සිටි සිංහල ජනයා එම ගම අතහැර දැමූ පසු පසුකාලීනව ඉංග්‍රිසි ජාතිකයක් අතර සමරවිල යන්න ශේෂ වූ ආකාරයද? [පසු සටහන බලන්න] සමරවිල (එනම් අනංග විල යන අරුත ඇති) නමින් හැඳින්වූ ස්වභාවික විලක් දැනට කාසල්රේ ජලාශයට යටවූ කෙහෙල්ගොමු ඔයේ නිම්නයේ මෙම ස්ථානය අසල පිහිටීමේ සැලකිය යුතු ඉඩක් පවතින්නේ එම ප්‍රදේශය බොගවන්තලාව ප්‍රදේශයේ සිට ගලා බසින හම්බන්තොට ඔය සහ අවට පිහිටි කඳු මුදුන් වලින් ගලා බසින ලොකු කුඩා දිය පහරවල් සිය ගණනකින් සමන්විත කඳු වලල්ලකින් වටවූ ප්‍රදේශයක් වන බැවිනි (සිතියම බලන්න) එම ජලය එක් රැස් වන ප්‍රදේශය සහ ඒ අසල පිහිටි ගම පැරැන්නන් සමරවිල ලෙසින් හැඳින්වූවාද?

පසු සටහන
* කෙසේ නමුත් පැරණි අඟලේ සිතියමක සමර්විල් ලෙසින් සිංහල භාෂාවෙන් සලකුණු කර ඇති ස්ථානය වර්තමානයේ Summerville ලෙසින් මෙට්‍රික් සිතියම් වල සලකුණු කර ඇත. Summerville ලෙසින් නගරයක්ද ඇමරිකා එක්සත් ජනපදයේ South Carolina වල පිහිටා ඇත. තවද දික් ඔය තේ වතු දිස්ත්‍රික්කයේ ලෝරි ඉදිරිපත් කරන වතු අතර Summerville ලෙසින් වත්තක්ද ඇති බැවින් ඉහත උපකල්පන නිවැරදි නොවන බව පෙනේ
කෙහෙල්ගොමු ඔය හරස් කර ඉදි කල කාසල්රේ (Castlereigh Reservoir) ජලාශය. බොගවන්තලාව ප්‍රදේශයේ සිට ගලා එන හම්බන්තොට ඔයද කාසල්රේ ජලාශයට සිය ජල කඳ මුහු කරයි
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • ලේකම්මිටි විමර්ශනය, ආචාර්ය එච්. ඒ. පී අභයවර්ධන, 2009
  • කඩඉම්පොත් විමර්ශනය, ආචාර්ය එච්. ඒ. පී අභයවර්ධන, 1996

Monday, March 14, 2016

දුම්බරින් මතුවන 'අපේ මිනිසා' එනතුරු.....

ගොවියෙකුගේ පුතෙක් රජෙක් කරන්න ගොස් පොහොර සහනාධාරයත් නැතිකරගෙන වී වලට මෑත ඉතිහාසයේ ලද අවම මිලත් ලබා ගෙන පොලවේ පස් කන, පස්ස බිම ඇනගත් ගොය්යෙකුගේ විලාපය මෑතකදි අසන්නට ලැබුන විට මට සිහිවූවේ 2015 'ආප්ප විප්ලවය' සහ හරියටම ඉන් වසර 200 කට පෙර 1815 සිදුවූ එවැනිම පාවාදීම අතර සමානකම් පෙන්වමින් මීට පෙර මා ලිව් සටහනය. (සිංහලේ මහා පාවාදීම් - එදා (1815) මොල්ලිගොඩලා සහ මෙදා (2015) මොල්ලි-සේනලා). මේ සිදුවීම සහ මේ වන විට ඇටි කෙහෙල් කෑ උගුඩුවන් බවට පත්වී ඇති 62 ලක්ෂයේ  අමන රැල කොතරම් අසරණ වී ඇත්ද යන්න තැන් තැන් වලින් මතුවන මෙවැනි අදෝනාවන්ගෙන් මැනවින් පැහැදිලි වේ. වර්ෂ 1815 දීද ජනතාවගේ සෘජු මැදිහත්වීමක් නොමැති වුවද රදල ප්‍රභූවරුන්, ශ්‍රී වික්‍රමරාජසිංහට වඩා 'යහපාලනයක්' අපෙක්ෂාවෙන් හිරු නොබසිනවායැයි කිවූ අධිරාජ්‍යයෙන් පැමිණි කපටි රැලකට බන්දේසියක තබා රටේ පාලනය භාර කලහ. හරියටම ඉන් වසර 200 කට පසුව සිදුවූවේද එවැනිම සිදුවීම් දාමයකි. මෙවර බලය හුවමාරු වූවේ සාපෙක්ෂව ජනතාවාදි ජාතික බලවේගයකින් ඉන්දියන් සහ බටහිර අධිරාජ්‍යවාදයේ සුවච කීකරු හුරතලුන් රැලකටය. වෙනස එපමනය. සිදුවීම් සිදුවන්නේ බොහෝදුරට 1815 ආකාරයටමය. රටේ ණය ප්‍රමානය පමනක් පසුගිය වසරේ ඊට පෙර වසර 9 ටම ගත් ණය වලට වඩා 4.5 ගුණයකින් පමණ වැඩිය (මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර 9 ටම සියලු සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා ගත් මුළු ණය ප්‍රමාණය ඩො.මි. 1400 වන අතර. වර්තමාන පාලකයන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු නොකර එදා වේල කැමට පමණක් ගත් මුළු ණය ප්‍රමාණය ඩො. මි. 6361 කි. සනීපයි නේද වෙනස ? ) අප නැවතත් ආරථික වශයෙන් විදේශයන්ගේ යටත්විජිතයක් වෙමින් යන බවට එම කරුනම ප්‍රමාණවත්ය. ඉන්දියාවට මෙරට සේවා අංශයේ දොරටු විවර කරමින් ETCA ද අත්සන් කල පසු ඉතිරියද ඉටුවනු ඇත.

මෙදා මේ ලතෝනි දෙන ගොවියාට මෙන් එදාද සුද්දන්ගෙන් බැට කෑ පොදු ජනයාටද බලාපොරොත්තුවක් තිබුණි. ඒ බලාපොරොත්තුව එදා නම් බලාපොරොත්තුවක්ම පමණක් විය.

උඩරට සිංහල ජනයාගේ ඉඩම් කොල්ලකමින් යුරෝපීයන්ගේ තේ වතු වලට පාරවල් තැනීමට පැමිණි කර්නල් වොට්සන්ට (Colonel Watson)  1844 දී මුහුන පෑමට සිදුවූ මේ සිදුවීම ඉංග්‍රීසීන්ට යටත්වීමෙන් වසර ගණනාවකට පසුවද එදා ඒ ගැමි ජනයාගේ තිබූ බලාපොරොත්තුව සහ කැකෑරෙන විරෝධය මැනවින් පෙන්නුම් කරයි. මේ කර්නල් වොට්සන් එය විස්තර කල අයුරුයි.

---මා සමග කතාවට පැමිණි පෙර කල ආරච්චිවරයෙකුට (ගම් ප්‍රධානියෙක්) ඔහුට සහ අවට ගම්මාන වලට පාරක් සැදීමෙන් සිදුවන වාසි පැහැදිලි කලෙමි. බෙහෙවින් කලබල වූ ඔහු ගරුසරු නැති ලීලාවෙන් මෙසේ පැවසූහ. "කවුද ඔබ වැනි සුදු මිනිසුන් මෙහෙට එව්වේ? ඔබලා නැතිව අපි කිසි අඩු පාඩුවක් නොමැතිව මෙහෙ සිටියා. අර බලන්න ( කෝපි වත්තක් පෙන්වමින් ) ඒ කැලෑව මගේ". නැවතත් උක් වගාවක් පෙන්වමින් "අරකත් මගේ", නැවතත් රජයට අයත් ගවයන් තණ කමින් සිටි විවෘත බිමක් පෙන්වමින් "ඒත් මගේ ඉඩමක්". ඔබ අපගේ කැලෑ කැපුවා, අපගේ හේන් බිම් කොල්ලකෑවා. දැන් අපේ කුඹුරු උඩින් පාරවල් හදනවා. නමුත් අපේ මිනිහෙක් අර කන්දේ ඉන්නවා ( සැතපුම් 12 පමණ එපිටින් පිහිටි නකල්ස් කඳුකරය පෙන්වමින් ) ඔහු ඉක්මනින්ම ඔබගේ කරදරයෙන් අපව මුදවාවි. (කුරුරු හිනාවක් ඇතිව ඔහුගේ අත බෙල්ල වටා යවමින්) ඔබ සියලු දෙනාගේ හිස් ගසා දාවි."  ආරච්චිගේ මේ වදන් මගින් උඩරට ජනයාගේ හඬ සහ හැගීම් පොදුවේ එළිදරවු කරන ලදී.---උපුටාගැනීම - Colonialism in Sri Lanka, Asoka Bandarage, 1950

දුම්බර කඳුවැටියෙන් (නකල්ස් කඳුකරය) පැමිණ ඔවුන්ව මුදාගැනීමට එදා නම් කිසිදු 'අපේ මිනිහෙකුට' නොහැකි විය. මතුවූ අරගලද කුරුරු ලෙස මර්ධනය කිරීමට සුදු අධිරාජ්‍යවාදීන්ට හැකිවිය. සිංහලේ මුදාගැනීමට තැත් දැරූ එවන්  'අපේ මිනිසුන්' සිය දහස් ගණනාවක් අමු අමුවේ මරා දැමූහ. ඔවුන් එතරම්ම කුරිරුය, කපටිය, බලවත්ය. ඒ එදාය. මෙදා? එය අනාගතයට භාරය. මේ සිංහලේ අවසාන අවධියද (Last phase) ? එයද අනාගතය විසින් තීරණය කරනු ඇත. කෙසේ නමුත් එම සුදු අධිරාජ්‍යවාදීන්ගේ කලු නියෝජිතයන්ද ඔවුන් මෙන්ම කපටිය, බලවත්ය, කුරිරුය. ඔවුන්ට දවස ගානේ වීදි බසින ගොවියන් දහස් ගණන පෙනෙන්නේ නැත. නිදහස් චතුරශ්‍රයේ රති කෙලියට අවසර ඉල්ලන පඟරනැට්ටන්  10-15 නම් එසැනින්ම පෙනෙනවාය.

සුනිල් එදිරිසිංහයන් වරක් මෙසේ ගැයූහ... මහත්වරුණි පේනවාද අදත් එනවා රට කරන්න....




Sunday, January 17, 2016

සිංහලේ සහ සිංහ-ලේ

තොටගමුව විහාරයේ බිතුසිතුවමක්
මීට සිව් මසකට පමණ පෙර සිංහලේ නමින් මෙම බ්ලොගය පටන් ගනිද්දී මා මෙසේ පැවසුවා....

"රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්‍යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත. " 

වැඩිදුර කියවීමට > සිංහලේ - The Last Phase

වරින් වර 'සිංහලේ' නම විවිධ අවස්තා වලදී යොදාගත් මුත් ඒ පිළිබඳව විස්තාරත්මක විවරණයක් කිසි විටක ඉදිරිපත් නොකලේ ඒ පිළිබඳ විස්තර සියලු ලිපි තුලින් වරින් වර සමස්තයක් ලෙස ඉදිරිපත් වනු ඇතැයි සිතූ බැවිනි. එහෙත් 'සිංහ-ලේ' නමින් එක්තරා ආකාරය රැල්ලක් හෝ ඔවුන් කියන ලෙසට කැරැල්ලක් සමාජය සිසාරා හමා යන මොහොතක සිංහලේ පිළිබඳ යමක් පැවැසීම උචිතයැයි සිතුණි. මෙය සිංහලේ පිළිබඳව විනා සිංහ-ලේ පිළිබඳව නොවේ. සිංහ-ලේ පිළිබඳ මේ වන විට මා ඇසූ වඩාත්ම සාධනීය විවරණය මේ සමඟ ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳ මගේ මතයද අඩු වැඩි වශයෙන් එයම වන බැවිනි. සවන්දෙමු උදය ගම්මන්පිල මහතාට.



පොළොන්නරු යුගයේ ගුරුළුගෝමින් විසින් රචිත පාලි බෝධිවංශ පරිකථාව හෙවත් පාළි බොධිවංශයට කල ගැට පදයේ එනම් ධර්මප්‍රදීපිකාවේ සිංහළභාෂා නම් කවරැ යත්? යන පැහැදිලි කිරිමේ මෙසේ සඳහන් වේ.

"යම්සේ ශක්‍රයහට නිවාසභූමි වූ පුරය 'ශක්‍රපුර' වීද, එසෙයින් මැ සිංහළයනට නිවාසභූමිය වූ ද්වීපය 'සිංහළද්වීප' නම් විය. යම්සේ මඤ්චස්ථ වූ ජනයො මඤ්ච ශබ්දයෙන් කියනු ලැබෙද් ද, එසෙයින් මැ සිංහළ දේශස්ථ වූ ජනයෝ සිංහළ ශබ්දයෙන් කියනු ලැබෙත්. ඔවුන්ගේ භාෂා 'සිංහළභාෂා' නම් වේ."

එසේම කෝට්ටේ යුගයේ 6 වැනි පරාක්‍රමබාහු රජුගේ සත්වන රාජ්‍ය වර්ෂයේ එනම් ක්‍රි.ව. 1417 දී ධම්මදින්නාචාර්ය විමලකිත්ති හිමියන් 'හෙලුබසින්' සද්ධර්මරත්නාකරය රචනා කරනුයේ බුදුන් වහන්සේ දේශනා කල "සද්ධර්මය මාගධික භාෂාවෙහි නො හසළ සිංහලද්වීපවාසීන්ට විශේෂයෙන් නො දැනෙන හෙයින් " ය. 

මේ අනුව පුරාණ ගද්‍ය සාහිත්‍යයේ ඇතැම් අවස්තා වලදී සිංහල දේශය නැතහොත් සිංහල ද්වීපය යන නම මේ දිවයින හැදින්වීමට යොදාගෙන ඇති බව පැහැදිලි වේ (පරණවිතාන මහතා පවසන්නේ පුරාණ සංස්කෘත පොත් වලද මේ රට සිංහලද්වීපය ලෙසින් හඳුන්වන බවය*.). එයට හේතු වූවේ රටේ ශිෂ්ඨාචාරය පිහිටවූ එහි ජීවත් වූ ජාතිය ('ප්‍රධාන ජාතිය' නොව 'ජාතිය' ) සිංහලයන් වූ බැවිනි. වරින් වර මෙරටට සංක්‍රමණය වූ බොහෝවිට දකුණු ඉන්දීය ජන කොටස් කුල ක්‍රමය යටතේ සිය අනන්‍යතාවය හා උප සංස්කෘතිය පවත්වා ගනිමින්ම 'සිංහල ජාතිය' තුලට ඇතුලත් වූවා මිසක ඔවුන් තමන් වෙනත් ජාතියක් ලෙස වෙනම අනන්‍යතාවයක් ඇතිව රටේ කොටස් වෙන් කර ගත්තා නොවේ. උදාහරණයක් වශයෙන් මෙරට බටහිර මුහුදු තීරයේ කරාව, සලාගම, දුරාව වැනි කුල යටතේ අද සිංහල වී ඇත්තේ 14-15 ශතවර්ෂ වලදී දකුණු ඉන්දියාවෙන් පැමිණි (බොහෝවිට දකුණු ඉන්දියාවට එවකට මුහුන දීමට සිදුවූ මුස්ලිම් ආක්‍රමණ මීට හේතු වන්නට ඇත.) එවකට ද්‍රාවිඩ භාෂා කතා කල ජනයාය. 

ටොලමි මේ රට හැඳින්වීමට යොදා ගන්නා සාලිකේ (Salike) යන්නද සිංහල හෝ සිහල යන්න නාවිකයන්ගේ කට වහරෙහිදි සිදුවූ වෙනස් වීමකින් ඇති වූවක් බවට මත පලවී ඇත. එසේම සිංහල ද්වීප > සිලන් ද්වීප > සෙරෙන් දිව ලෙසින් වෙනස් වෙමින් ගොස් අරාබි වෙළෙන්දුන් මෙරට හැඳින්වීමට භාවිතා කල සෙරෙන්ඩිබ් (Serendib) ඇතිවූ බවටද පොදු පිළිගැනීමක් ඇත. පෘතුගීසීන් ට සෙයිලාන් (Zeilan) වන්නේත් නැවත ලන්දේසීන් සෙලාන් (Ceylan) කරන්නේත් අවසානයේ ඉංග්‍රීසීන් සිලෝන් (Ceylon) කරන්නේත් එම සිංහල ද්වීපය නොහොත් සිංහල ශබ්දයේ විකෘති වූ ව්‍යවහාරයන්මය. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් වෙනස් වන තුරුම මේ රට අන් දේශයන්ට සිලෝන් (Ceylon) විය. සිංහලෙන් කියනවා නම් මේ රට 1972 වන තුරුම සිංහල ද්වීපය විය. කට වහරේදී නම් සිංහලේ විය.

ඊලාම් යනු සිංහලේද? ඒ පිළිබඳව සහ සිංහලේ පිළිබඳ තවත් තොරතුරු මතුවට විමසා බලමු.

මූලාශ්‍ර
      * සිංහලයෝ, සෙනරත් පරණවිතාන, 1969
  • ධර්මප්‍රදීපිකාව, ගුරුළුගෝමින්
  • සද්ධර්මරත්නාකරය, ධම්මදින්නාචාර්ය විමලකීර්තී හිමි
  • Ceylon, An account of the island physical, historical and topographical with notices of its natural history, antiquities and productions, Sir James Emerson Tennent, 1859

Thursday, September 10, 2015

"චෙල්සියා රෝහලේ රාජසිංහ කොඩිය" සිංහලේ කොඩිය වූ හැටි




J. W. බෙනට් විසින් 1843 දි රචිත Ceylon And Its Capabilities - An account of its natural resources, indigenous productions and commercial facilities නම් ග්‍රන්ථයේ සිංහලේ අවසන් රජුගේ කොඩිය 1815 ඔක්තෝබර් 12 වෙනි දින ලන්ඩන් වල පිහිටි Whitehall මාලිගයේ පිහිටි ඒ නමින් වූ දේවස්ථානයේ තැන්පත් කර තැබීම සදහා එවූ බවට සදහනක් වේ. මෙය පාදක කර ගනිමින් E.W. පෙරේරා 1908 දී එවකට එම පරිශ්‍රයේ පිහිටි Royal United Service Institute හි කෞතුකාගාරයේ එය සෙවූ නමුත් එවැන්නක් එහි නොතිබුනි. නමුත් එහි සිටි නිලධාරියෙකු විසින් එතුමන්ට පැවසූ අයුරින් එහි තිබූ ධජ සමහරක් කලකට පෙර රාජකීය චෙල්සියා (Royal Chelsea Hospital) රෝහල වෙතට යැවූ බවට ලද හෝඩුවාව ඔස්සේ  ගිය E.W. පෙරේරා මහතාට අහම්බයකින් මෙන් එම රෝහලේදි ඔහු සොයන ධජය හමුවන්නේ Royal United Service ආයතනයෙන් චෙල්සියා රෝහල වෙත යැවූ ධජ අතර කන්ද උඩරටින් අල්ලා ගත් ධජ කිසිවක් තිබිය නොහැකි බවට එම ආයතනයේ නිලධාරීන් කල සදහනද බොරු කරමිනි. එම රෝහලේ බිත්තියක එල්ලා තිබූ වර්ණ ගැන්වූ සූචි පුවරුවක් (Colored Key-Plate) ඔස්සේ සොයා බැලු එතුමන්ට ප්‍රධාන ශාලාවේ (Great Hall) එල්ලා තිබූ එම ධජ ත්‍රිත්වය සොයා ගැනීමට හැකිවූ බව 1916 ප්‍රකාශිත Sinhalese Banners and Standards නම් ග්‍රන්ථයේ එතුමන් සදහන් කර ඇත.

දරුනු ලෙස දුර්වර්න වී තිබූ එම කොඩි දෙකක් සූචි පුවරුවෙන් හඳුනාගත් අයුරින් රාජකීය ධජ වූ අතර අනෙක අතපත්තුවේ ලේඛම් කොඩියක් ("The King's war standard" ලෙසින් අපගේ පෙර ලිපියේ හැඳින්වූ කොඩිය) ලෙස එතුමන් සදහන් කරයි. E.W. පෙරේරා මහතා සදහන් කරන අයුරින් ඔහු එම කොඩි වල කටු සටහනක් පවා සටහන් කර ගනුයේ ඉහත සදහන් කල වර්ණ ගැන්වූ සුචි පුවරුවෙන් වේ. ඒ මහතා සිය ග්‍රන්ථයේ යොදා ගන්නේ එම කටුසටහන මගින් සහ පසුව D.R. විජේවර්ධන මහතා වෙනුවෙන් ලන්ඩන් වල පිහිටි South Wood & Co. සමාගම විසින් පිටපත් කර වර්ණ ගැන්වූ කොඩියක රූප සටහනක්ද අනුසාරයෙන් ප්‍රතිනිර්මාණය කල සිතුවම් වේ.

මෑතකදි පලවූ Flags - Flag Traditions of Sri Lanka ග්‍රන්ථයේ මේ පිලිබද විවරනයක යෙදෙන එහි සම්පාදක නිමල් ද සිල්වා මහතා ඉස්මතු කරන පරිදි E.W. පෙරේරා මහතා මෙන්ම D.R. විජේවර්ධන මහතා වෙනුවෙන් එය පිටපත් කල සමාගමද මෙම කොඩි වල පැහැදිලි මුල් පිටපත් නොදැක තිබූ හෙයින් පිටපත් කිරීමේදි ඔවුන්ගේ සිතැඟි පරිදි විවිධ වර්ණ සහ සලකුනු යොදාගෙන තිබේ. අප පෙර සදහන් කල 1841 දි කැප්ටන් J. ෆොර්ඩ් මහතා විසින් අදින ලද කොඩි වල සිංහයා නිල් පැහැති වන අතර වමතින් එක් කොඩියක කඩුව සහ අනිත් කොඩියේ කසයක් දරා සිටී (රූපය බලන්න - වම් පස ඇති කොඩිය). නමුත් පෙර සදහන් කල පිටපත් වල සිංහයා කහ පාට වන අතර කඩුව දරා සිටින්නේ දකුනු අතිනි. එසේම සියලුම පිටපත් වල කොඩියේ කොන් වල දැකිය හැකි සිංහල චිත්‍ර සම්ප්‍රදායේ හමු නොවන වටාපත් හිස් වැනි සලකුනු එවැනි සලකුනු පිලිබද අවබෝදයක් නොමැති විදේශීය සිත්තරන්ගේ අතින් නිර්මාණය වූ (හෝ විකෘති වූ ) දුර්වර්ණ වී තිබූ මුල් කොඩියේ අපැහැදිලිව දක්නට තිබූ බෝ පත් හෝ අන් සලකුනක් විය හැක.

කෙසේ වුවත් වර්තමානයේ "සිංහලේ කොඩිය" ලෙසින් හඳුනාගන්නේ E.W. පෙරේරා මහතා විසින් සිය පොතේ පිට කවරය සදහා ප්‍රතිනිර්මානය කල ඉහත කොඩිය වන අතර (රූපය බලන්න - දකුණු පස ඇති කොඩිය) චෙල්සියා රෝහලේ තිබූ ධජයේ  මුල් ස්වරූපය සොයා යෑමට මේ වන විට හැකියාවක් නොමැති තත්වයක් උදාවී ඇත.

කෙසේ නමුත් මෙම "සිංහලේ කොඩිය" වර්තමානයේ අප හඳුනා ගන්නා ජාතික කොඩියට ආදේශකයක් නොවන අතර එය භාවිතා කල කිසිවෙකු එය ජාතික කොඩිය ලෙසින්ද හඳුන්වා නොතිබුනි. එවැනි තත්වයක් යටතේ ඒ පිළිබද අනවශ්‍ය බියක් හෝ කලබල වීමක් ඇතිකරගත යුතු නොවන්නේ මේ රටේ ඕනෑම ජනවර්ගයකට තමන් අභිමත ධජයක් හෝ වෙන යම් සංකේතාත්මක  දෙයක් ඔවුන්ගේ විවිධ කටයුතු වලදී යොදා ගැනීමට තහනමක් නොමැති බැවිනි (උදා: මෙරට ඇතැම් කුල වලට ඔවුන්ගේ පාරම්පරික ධජ ඇති අතර ඔවුන් ඒවා ඔවුන්ගේ උත්සව අවස්ථා වැනි දේ වලදි යොදා ගනී ). එය ජාතික කොඩිය විකෘති කිරීමක්ද නොවේ. කෙසේ නමුත් මෙරට තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයේ කොඩිය වරින් වර උතුරු නැගෙනහිර පලාත්හි පෙනී නොපෙනී යන විට නොදුටූ ඇස් ඇතිව නෑසු කන් ඇතිව සිටින්නන්ට සිංහලේ කොඩිය වහකඳුරු වීම නම් ජාතියේම අවසානාවකි.

Tuesday, September 8, 2015

ජාතික කොඩිය විකෘති නොකරනු! සිංහලේ කොඩිය තහනම් කරනු!!

පසුගිය දින වල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආධාර කරුවන් අත විවිධ අවස්ථා වලදි ලෙලදුන් අරුම පුදුම 'ජාතික කොඩියක්' මාධ්‍ය වල පුවත් මවන්නට යෙදුනි (1). එය මුල්වරට කරලියට පැමිනියේ මාර්තු 3 වන දින සිංහලේ ජාතික පෙරමුණ සහ ස්වර්ණ හංස පදනම එක්ව මහනුවර මගුල් මඩුව ඉදිරිපස ඔසවා ඇති ජාතික කොඩිය පහත හෙලා මෙම කොඩිය ඔසවන්නට උත්සහ කිරීමත් සමග ඇතිවු සිදුවීමත් සමගය (2). මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහය දක්වමින් පැවැත්වූ උද්ඝෝෂණ සහ රැස්විම් අතර තුර මෙම කොඩිය භාවිතය සම්බන්ධ වගකිවයුත්තන් හෙලි නොවු නමුත් එය බොහෝ අවස්ථා වලදි එම ව්‍යාපාරයේ නායකත්ව මට්ටමින් සිදු කල දෙයක් නොවන බව පෙනී ගියේය. කුමක්ද මේ අන් ජාතීන් නියෝජනය කරන ද්වි වර්ණ තීරු නොමැති කොඩිය? ඉහත සංවිධාන විසින් එය හඳුන්වා දුන්නේ 'සිංහලේ කොඩිය' ලෙසය. සැබෑ සිංහලේ කොඩිය මෙයද?

සිංහලේ කලින් කලට පාලනය කල විවිධ රජවරුන් සිංහයා සංකේතකාත්මකව රාජ්‍ය මුද්‍රා ආදියේ යොදාගත් බවට සාධක ඇති මුත් සිංහ ධජය සහ රාජ්‍යත්වය සම්බන්ධ මුල්ම සාධකය හමුවන්නේ දඹුලු  විහාරයේ දුටුගැමුණු - එළාර යුද්ධය නිරූපනය කෙරෙන ගුහා චිත්‍ර වලිනි. මෙහි දුටුගැමුණු රජතුමා අසලින් ලෙලදෙන කොඩියේ කඩුවක් අතින් ගත් සිංහයා සහ එයට උඩින් හිරු සහ සඳු චිත්‍රනය කර ඇත (රූපය බලන්න). මෙම බිතු සිතුවම් 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමන සිතුවම් කර ඇති බැවින් බොහෝ විට මෙයින් එම යුගයේ තත්වය නිරූපනය වූවා යැයි සිතිය හැක.

විදේශීය කෞතුකාගාර වල තැන්පත් කර ඇති මෙරටින් ගෙනගිය කෞතුක වස්තු රැසක් පිළිබදව අගනා ග්‍රන්ථයක් කල කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කල P.H.D.H de. සිල්වා මහතාගේ A Catalogue of Antiquities And Other Cultural Objects From Sri Lanka (Ceylon) Abroad නම් ග්‍රන්ථයේ ලන්ඩන් නුවර චෙල්සියා රාජකීය රෝහලේ (Chelsea Royal Hospital) තැන්පත් කර තිබූ සිංහලේ අවසාන රජුට අයිති ධජ තුනක් පිලිබද රූප සටහන්ද සමගින් විස්තරයක් එයි. එහි සදහන් වන අයුරින්  1803 දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙන් අල්ලා ගත් මෙම ධජ ත්‍රිත්වය පෙරදිග ඉන්දියානු සමාගම(East India Company) මගින් 4 වන විලියම් රජුගේ අනුමැතිය ඇතිව ආරක්ෂාකාරිව තැබීම සදහා මෙම රාජකීය රෝහලට එවා ඇත.  වසර ගනනාවක් එම රෝහලේ එල්ලා තිබූ එම ධජ ස්වභාවික හේතුන් මත දරුනු ලෙස දිරාපත් වීම හේතුවෙන් "The King's war standard" වශයෙන් හැඳින්වූ එක් කොඩියක් 1934 දී විනාශ කර දමා ඇති අතර (එම ධජය 51 වන රෙජිමේන්තුවේ කැප්ටන් පොලොක් (Capt. William Pollock) විසින් 1803 සැප්තැම්බර් 13 වන දින අල්ලා ගත් බව සදහන් වේ. මෙහි සිංහ රූපයක් නොමැති අතර විවිධ ආයුද වල රූප සටහන් වලින් නිර්මාණය කර ඇත.) අන් කොඩි දෙක ඒ වන විට කොටස් එකතු කර මසා තිබී ඇත. 1870 දී මෙම කොඩි සමග වෙනත් දේ එල්ලා තිබූ ශාලාවේ ගත් ජායාරූපයකද වැරහැලි වූ මෙම කොඩි තුන සටහන් වී තිබුනි. P.H.D.H de. සිල්වා මහතා සිය ග්‍රන්ථයේ විස්තර සදහා යොදා ගන්නේ එම කොඩි තුන ආශ්‍රයෙන් කැප්ටන් J. ෆොර්ඩ් (J. Ford) විසින් 1841 දී සිය "The War Flags at the Chelsea Hospital" නම් පොත සඳහා පිලියෙල කල සිතුවම් වන අතර එම පොත වික්ටොරියා රැජිනට පිරිනමා මේ වන විට වින්ඩ්සර් මාලිගාවේ(Windsor Castle) තැන්පත් කර ඇත. එම මුල් පිටපතට අමතරව තවත් පිටපත් දෙකක් පසුකාලීනව පිලියෙල කර ඇති අතර ඉන් එක් පිටපතක් චෙල්සියා  රෝහල් බලධාරීන් සන්තකව තිබේ.

ඉහත ධජයන් අතුරින් සිංහලේ කොඩිය ලෙසට සැලකිය හැකි කොඩි දෙක රතු පසුබිමේ පිලිවෙලින් වමතින් කසයක් සහ කඩුවක් වැනි යමක් ගත් අඳුරු නිල් පැහැති සිංහ රූප සහිත The Secretary At - Hand Flag සහ The King's Civil Standardලෙසින් හදුන්වන කොඩි වන අතර, එම කොඩි දෙකෙහිම කොන් වල වටාපත් වල ඉහල කොටස වැනි කොත් කැරැල්ලක ස්වරූපයේ සලකුනු ඇත (වර්තමාන ජාතික කොඩියේ බෝ කොල පිහිටන අයුරින් ). කහ තීරුවක් කොඩිය වටා යයි.

මේ අනුව ඉහත සදහන් කොඩි කිසිවක් වර්තමානයේ සිංහලේ කොඩිය නමින් හැදින්වෙන කොඩිය සමග තත්වාකාරයෙන් සමාන නොවූවත් බොහෝ දුරට වර්තමාන කොඩිය මෙම කොඩි අනුසාරයේන් නිර්මිත බව පෙනි යයි . එය සිදුවූවේ කෙසේද ? සිංහලේ කොඩිය එසවීම ජාතික කොඩිය විකෘති කිරීමක්ද? එනිසා සිංහලේ කොඩිය තහනම් කල යුතුද? ඒ පිලිබදව මතුවට සාකච්චා කරමු.

(1)  Sinhale Flag Raised At UPFA Meeting : Journalist 'Detained'

        Controversy Over Flag At Demo

(2) Police Launch Investigations On Hoisting Of 'Sinhale' Flag At Dalada Maligawa


Sunday, September 6, 2015

සිංහලේ - The Last Phase


"රජු සහ මැක්ඩොවල් වසර 12 කට පෙර හමුවු මගුල් මඩුවේම 1815 මාර්තු දෙවෙනි දින හවස 4 ට සමුලුවක් මුලුගැන්විනි. බ්‍රිතාන්‍ය හමුදා මගුල් මඩුව ඉදිරියේ පෙල ගැසී සිටියහ. පලමුවෙන් තනිවම පැමිණි ඇහැලේපොල බ්‍රවුන්රිග් විසින් සාදරයෙන් පිලිගෙන ඔහුගේ දකුනත් පසින් වූ ආසනය මත හිදගන්නා ලෙස ආරාධනය කලේය. ඔහුට පසුව පැමිනි මොල්ලිගොඩ ප්‍රධාන රදලවරුන්ව ආන්ඩුකාරතුමාට සහ ඇහැලේපොලට හදුන්වාදුන්හ. ඔවුන් දෙදෙනා සිටගෙනම ඔවුන්ට ආචාර කලේ ආන්ඩුකාරතුමා පෙලෙමින් සිටි රක්තවාත රෝගය ගැනද නොසලකාය. ආචාර සමාචාර කිරීම් වලින් පසුව පෙර සූදානම් කර තිබු ගිවිසුම කියවා ඔවුන්ට තේරුම් කර දුන්හ. එහි වගන්ති වලින් රට බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යට නතුවූහ. එහි අඩන්ගු අනික් වගන්ති අතර සිංහලයන්ගේ ආගම සහ සම්ප්‍රදානුකූල නීති රීති සුරකින බවද සදහන් විනි. එයට රදලවරුන්ගේ අනුමැතිය ලැබුනි. ඉනික්බිති ඔවුන් මගුල් මඩුව ඉදිරියට ගොස් රැස්ව සිටි ජනතාවට එය පැහැදිලි කරන ලදී. අනතුරුව පලමු වරට බ්‍රිතාන්‍ය ධජය සෙංකඩගල පුරවරයේදී ඉහලට නැන්වුන අතර බ්‍රිතාන්‍ය කාලතුවක්කු වෙඩි මගින් තුන්වන ජෝජ් රජතුමාගෙන් ශ්‍රි වික්‍රම රාජසිංහ ප්‍රතිස්ථාපනය වූ බව නිවේදනය විනි. මේ අතර බ්‍රවුන්රිග්ගේ පුතුනුවන් කඩිනමින් තුන් හෙලේ ධජය රැගෙන එංගලන්තයට නික්මුනේ එය උපරාජ කුමරුවාගේ දෙපා මුල තැබීමටය"

පෝල් රී පිරිස් විසින් රචිත Tri Sinhala - The Last Phase 1796-1815 නම් ග්‍රන්ථයේ අවසානයේ තුන් හෙලේ අවසානය සනිටුහන් කරනු ලබන්නේ එලෙසිනි. රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්‍යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත.  වරෙක 1815 සිට අතීතයටත් වරෙක මෑත අතීතයේ සිදුවීම් දක්වාත් අපගේ අවධානය යොමුවෙනු ඇති.  නැවත හමුවෙමු....