Showing posts with label Kobbakaduwe. Show all posts
Showing posts with label Kobbakaduwe. Show all posts

Saturday, September 15, 2018

සිංහලේ පරාජිත ජාතික විමුක්ති සටන් (1818 සිට 1830 දක්වා)

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති
මහනුවර යුගයට අයත් කස්තාන කඩුවක මිටක්
සිංහල රදලවරුන් විසින් 1815 දී සිංහලේ අවසාන රජු ඉංග්‍රීසීන්ට පාවාදීමෙන් ඇරඹුන බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව 1817-18 කාලයේ ඇතිවූ ප්‍රථම නිදහස් අරගලය නොහොත් "1818 මහා කැරැල්ල" (Great Rebellion of 1818) අවාසනාවන්ත ලෙස පරාජයට පත්විය. එහෙත් 1817-18 අරගලයට පසුවද 1848 නැවතත් ඇතිවන ජාතික විමුක්ති අරගලය දක්වා එතරම් ප්‍රකට නොවූ බටහිර ආක්‍රමණ විරෝධි කැරලි කිහිපයක් පිළිබඳවම තොරතුරු ඉංග්‍රිසි පරිපාලන ලිපි ලේඛන මගින් හෙලිවේ. ඒ අතරින් 1820 දී ඇතිවූ එවන් විමුක්ති අරගලයක් පිළිබඳව තොරතුරු මෙයට පෙර ලිපියකින් ඉදිරිපත් කලෙමි (සිංහලේ ඔටුනු නොපලන් රජු - විමලධර්ම නරේන්ද්‍රසිංහ). මේ ලිපිය ඉන්පසු ඇතිවූ තවත් එවන් සිදුවීම් කිහිපයක් පිළිබඳව වේ.

කොබ්බෑකඩුවගේ විමුක්ති සටන
ඉහත ලිපියේ ඉදිරිපත් කල සිදුවීම් වලින් මාස කිහිපයකට පසුව 1820 මැයි මස නැවතත් කොබ්බෑකඩුව නම් වූ සිංහල නායකයකුගේ මෙහෙයවීමෙන් උඩරට සිංහලේ ප්‍රදේශ තුල ප්‍රතිවිරෝධයක් ඇතිවිය. එම කොබ්බෑකඩුව, වෙල්ලස්සේ ප්‍රදේශය උදෙසා 1818 නිදහස් අරගලයේදි "රාජ ප්‍රතිරූපකයා" වූ විල්බාවේ රාල විසින් පත් කල දිසාවේ වරයාය. ඉංග්‍රිසී හමුදාවට හසු නොවී රටේ විවිධ ප්‍රදේශ තුල සැඟවි සිටි ඔහුට කොස්වත්තේ රටේ රාල සහ හල්මිල්ලෑවැව උන්නාන්සේ ඇතුළු භික්ෂූන්වහන්සේලා පිරිසක් සමග "ඔවුන් සේවය කල රෙජිමේන්තු වලින් (First Ceylon Regiment) පලාගිය මැලේ සොල්දාදුවන් තිදෙනෙක්ද" සහයෝගය දක්වා ඇත (කිඹිස්සේ රටේ රාල නම් පුද්ගලයෙකු ගැනද ඇතැම් මූලාශ්‍ර වල සඳහන් වේ.) තමණ්කඩුව සහ මාතලේ ප්‍රදේශ තුල සිටි ප්‍රදේශීය නායකයන්ට කොබ්බෑකඩුව නියෝග දී ඇත්තේ තමා "පැරණි රාජප්‍රතිරූපකයා" විසින් පළමු අධිකාරම ලෙස පත් කල බව පවසාය. මහනුවර-ත්‍රිකුණාමල පාරේ තැපැල් කාර්යාල ගිනි තැබීම සඳහා ඔහු යෙදවූ මැලේ සහ උඩරට සිංහල පුද්ගලයන් විසින් එක් තැපැල් කාර්යාලයක (පුලියන්කඩවත) ප්‍රධාන පණිවුඩකරුවා (Head Messenger) මරා දමයි (එහිදි තැපැල් කාර්යාලය අසල සිටි මුස්ලිම් තරුණයෙක්ද මරා දැමූ බව පැවසේ ). කෙසේ නමුත් ත්‍රිකුණාමලයෙන් සහ මහනුවරින් පිටත් වූ සෙබලුන් කොබ්බෑකඩුව අල්ලා ගැනීමත් සමග එම සිදුවීම්ද නිමාවට පත්වේ. ඔවුන් අල්ලාගැනීම සඳහා මාතලේ ප්‍රදේශයේ කීකරු වැසියන්ද (Loyal inhabitants) සහයා දැක්වූ බව පැවසේ. එම වසරේ ඔක්තොබර් 29 වන දින ඔවුන් එල්ලා මරා දමයි.

1823 නිදහස් අරගල
මෙවර සිදුවීම් ආරම්භවන්නේ උඩරට සිංහලේ පලාත් අතර ඉංග්‍රිසීන්ගේ බලපෑම එතරම් නොතිබූ නුවරකලාවිය ප්‍රදේශයෙනි. ඒ වන විට එම ප්‍රදේශ තුල ඉංග්‍රිසි යුද කඳවුරු හෝ පරිපාලන නිලධාරින් සිට නැත. මෙවර නිදහස් අරගලයේ නායකත්වය රත්මලේ උන්නාන්සේ නම් භික්ෂූන්වහන්සේ නමක් විසින් දරන අතර, 1823 වර්ෂයේ පෙබරවාරි අවසානයේ පමණ එය ආරම්භ වේ. ඉංග්‍රිසින්ට සේවය කල ලැස්කිරිඤ්ඤා භටයෙකු මෙම භික්ෂුන්වහන්සේගේ නියෝග මත කැරලිකරුවන් විසින් අත් අඩංගුවට ගන්නා අතර එම ප්‍රදේශ තුල ඉංග්‍රිසි ආන්ඩුව වෙනුවෙන් ධාන්‍ය බද්ද එක් රැස් කල පුද්ගලයාටද ජිවිතය බේරාගැනීම උදෙසා කැලෑව තුල සැඟ වෙන්නට සිදුවිය. තවද හේවාහැට ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් කටයුතු වල නියතව සිටි දකුණු ඉන්දියානු සේවකයන්ටද අවි ගත් සිංහල කැරලිකරුවන් පිරිසක් විසින් පහර දේ. කෙසේ නමුත් මේජර් ෆ්‍රේසර්ගේ (Major Fraser) නායකත්වයෙන් නුවරකලාවිය බලා යන මැලේ සෙබලුන්ගෙන් සමන්විත භට පිරිසක් සහ ත්‍රිකුණාමලයෙන් සහ කුරුණෑගලින් පිටත්වන අතිරේක භට පිරිස් විසින් ප්‍රදේශයේ තත්වය පාලනය කරයි. මේ අතර දඹුල්ල සහ හේවාහැට ප්‍රදේශ වෙතටද ඉංග්‍රිසි හමුදා භට පිරිස් කඩිනමින් යොමු කරවයි. රත්මලේ උන්නාන්සේ නම් වූ කැරලි නායකයාද අල්ලා ගන්නා ඉංග්‍රිසි සෙබලුන් ඔහුව ප්‍රශ්න කිරීම උදෙසා මහනුවරට පිටත් කරයි.
සිංහලේ රජ පවුල සහ රාජ සභාවේ පුද්ගලයන් දැක්වෙන දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඇත් දත් පිලිරූ පෙලක්
එම අරගලය එසේ මර්ධනය කරනු ලැබුවද ඉන් මාස කිහිපයකට පසු 1823 වර්ෂයේ මැයි 3 වන දින මාතලේ දිසාවෙන් නැවතත් භික්ෂූන්වහන්සේ තුන් නමකගේ නායකත්වයෙන් තවත් කැරැල්ලක් පැන නැගේ. මාතලේ ප්‍රදේශයේ විසූ කහවත්තේ උන්නාන්සේ නම් භික්ෂුවක් එහි ප්‍රධාන නායකයා ලෙස ඉංග්‍රිසීන් විසින් හඳුනාගනී. එසේම 1820 කැරැල්ලට සහභාගී වි සමාව ලැබ නිදහස් වූ කොස්වත්තේ රටේ රාල නැමැත්තාද මෙයට නායකත්වය ලබාදේ. මෙහිදි සහෝදරයන් වූ ඉන්දියානුවන් දෙදෙනෙකුද කැරලි කරුවන් අතර සිට ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් වූ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි ක්‍රිෂ්ණා හෙට්ටි (Krisna Hetty) රාජ ප්‍රතිරූපකයා ලෙස පෙනී සිටී. ඔවුන් දෙදෙනා පැරණි රජ පරපුරකින් පැවතෙන බව කැරලි නායකයන් ප්‍රචාරය කල මුත් එය එසේ නොවන බවත් ඔවුන් තැන් තැන් වල යමින් වෙළදාමේ යෙදුන පුද්ගලයන් බවත් ඉංග්‍රිසි වාර්තා වල සඳහන් වේ. දෙවන අධිකාරම වෙත කැරලිකරුවන් ඔහුගේ සහයෝගය ඔවුන් වෙත ලබාදෙන මෙන් ඉල්ලා යැවූ පණිවිඩකරුවන් අල්ලා ගන්නා දෙවන අධිකාරම ඔවුන්ව මහනුවර විසූ ජෝන් ඩොයිලි වෙත යවයි. එමගින් කැරැල්ලට සම්බන්ධ පුද්ගලයන් ඉංග්‍රීසීන් හඳුනාගෙන ඔවුන්ව අත් අඩංගුවට ගනී. (පාවාදෙන්නන් කවදත් සිංහල ජාතියට හිඟ නොවේ.)

එම නිදහස් අරගලයද පරාජයෙන් කෙලවර වන අතර අත් අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 29 දෙනෙකු වැරදි කරුවන් ලෙස හඳුනාගනී. ඒ අතරින් කහවත්තේ උන්නාන්සේ සහ කොස්වත්තේ රටේ රාල 1823 අගෝස්තු මස 5 වන දින එල්ලා මරනු ලබයි. වෑගොඩපොල රටේ රාල (Weyuridepolle), මිගහකුඹුරේ අධිකාරම්, කෙන්දගමුවේ කෝරාල, පෝයාවේ (Poyawe) දුරයා, වරකගස්තැන්නේ පිහින රාල, කහටගස්මුදමේ (Kahategasmudeme) දුග්ගන්නා රාල, පුබ්බෙලියේ අලුත්වත්තේ රටේ රාල ඇතුළු තවත් 12 දෙනෙකු ජීවිතාන්තය දක්වා මුරුසි දිවයිනට පිටුවහල් කරනු ලබයි. ඉතිරි පුද්ගලයන් හට කෙටි කාලීන සිර දඩුවම් නියම කරන අතර රාජප්‍රතිරූපකයා හට වසර දෙකක බලපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර, මහනුවරදී සහ මාතලේදි කස පහර 50 බැගින් කස පහර 100 ක් ලබාදේ. කැරැල්ලට සහභාගි වී දඩුවම් ලැබූ ඉහත පිරිස අතර  කෝරාල, අතුකෝරාල, විදානේ, දුරයා වැනි පහල මට්ටමේ ප්‍රදේශිය නායකයන් බහුතරය අතර සාමාන්‍ය වැසියන් 11 දෙනෙකුද හමුවේ. දේවාලයක කපුරාල කෙනෙකු සහ නැකැති රාල කෙනෙක්ද ඒ අතර වේ.
සිංහලේ රජ පවුල සහ රාජ සභාවේ පුද්ගලයන් දැක්වෙන දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඇත් දත් පිලිරූ පෙලක්
1824 නිදහස් අරගලය
1824 අගෝස්තු 12 සිට 23 දක්වා කාලයේ සිදුවූ මෙම අරගලයේද නායකත්වය දරනු ලැබුවේ භික්ෂූන්වහන්සේ නමකි. එසේම බින්තැන්නේ වැදි නායකයන් දෙදෙනෙකු සහ ඇහැලේපොල සහ උනම්බුවේ පරම්පරා වලින් පැවත එන බව හැඟවූ සත් කෝරලයේ අප්‍රධාන නායකයන් දෙදෙනෙකුද (පිළිවෙලින් නෙල්ලියේ පුංචිරාල, සහ වන්නකු රාලගේ පුංචිරාල) එයට එක්වී ඇත. මේ පිරිස වැද්දන් කණ්ඩායමක් සමග මහවැලි ගඟ තරණය කර මාතලේ දිස්ත්‍රික්කයට පිවිස බින්තැන්න සහ ලග්ගල ප්‍රදේශයන්හී ගමින් ගමට ගොස් දුනු හී සහ තුවක්කු කිහිපයක් සහිත 470 ක පමණ පිරිසක් එකතු කරගෙන ඇත. ඔවුන් ධාන්‍ය බද්ද එකතු කරන්නෙකු (වී බද්දේ ලේකම්) අත් අඩංගුවට ගෙන ඇති අතර සංචාරක වෙළෙන්දන් කිහිප දෙනෙකුද කොල්ලකා ඇත. මෙහිදි රාජ ප්‍රතිරූපකයා ලෙස හාරිස්පත්තුවේ සෙව්රාල ලෙසද හැඳින්වූ ගල්ලෑල්ලේ වන්නිසේකරගෙදර මුදලිහාමි නැමැත්තෙක් බින්තැන්නේ මාරකේ ලෙස හැඳින්වූ වැදි ගම්මානයකදි අභිෂේක කර ඇත. එහිදි දිසාවේ, දියවඩන නිළමේ, බත්වඩන නිළමේ, සහ මහ මුදියන්සේ යන තනතුරු සඳහා නෙල්ලියේ පුංචිරාල, වන්නකු රාලගේ පුංචිරාල, කොට්ටේගංවෙල කුඩාරාල, මාරකේ මුදියන්සේ රාල සහ වැල්ලාවිට කීරාල යන පුද්ගලයන් සහ තවත් සය දෙනෙකු පත්කරගෙන ඇත. මාතලේ ආණ්ඩුවේ නියෝජිතයා (Government Agent in Matale) විසින් යවන බල සේනාවක් මගින් අල්ලා ගන්න 50 ක පමණ පිරිසකගෙන් (මෙහිදීද මාතලේ කීකරු ප්‍රදේශවාසීන් ආධාර කල බව බාන්ස් ආණ්ඩුකාරවරයා පවසයි. [A detachment from Mathale assisted by loyal inhabitants from that area...]) 13 දෙනෙකුට නඩු දමා ඉන් කැරලි නායකයන් ලෙස හඳුනාගන්නා පස් දෙනෙකුට මරණ දඩුවම ලබාදී, සෙස්සන් යාපනයේ බන්ධනාගාරයේ බරපතල වැඩ සහිතව හිර කර තබයි. මින් ඇතැමුන් ඩෙල්ෆ්ට් දූපතටද පිටුවහල් කලා විය හැක.
18 වන ශතවර්ෂයේ අවසාන කාලයට හෝ 19 ශතවර්ෂයේ මුල් කාලයට අයත් ඉංග්‍රිසි සහ සිංහල හේවායන් දැක්වෙන කපු බැනරයක කොටසක්
මෙම කැරලි නොහොත් ජාතික විමුක්ති අරගල දෙස බැලීමේදි පෙනී යන කරුණක් වන්නේ ඒ වන විට ඒවාට නායකත්වය දීමට 1818 කැරල්ලේදී මෙන් ඉහල රදල පරම්පරා වලට අයත් ප්‍රභූ වරුන් සිට නැති බවයි. ඔවුන් එක්කෝ 1817-18 කැරැල්ලට වරද කරුවන් වී ඉංග්‍රිසි අධිරාජ්‍යවාදීන් විසින් මරා දමා හෝ මුරුසි දිවයිනට පිටුවහල් කර ඇති අතර ඉතිරි වූවන් ඒ වන විට ඉංග්‍රිසීන්ගේ සුවච කීකරු සේවකයන් වී ඇත. එබැවින් පහල මට්ටමේ ප්‍රාදේශීය නායකයන්ට සහ දේශප්‍රේමි භික්ෂූන්වහන්සේලාට ජාතික විමුක්ති අරගල වලට නායකත්වය දීමට සිදුවී ඇත. එහෙත් ඔවුන්ගෙ වීරෝධාර දෑහිතකාමි කැපවීම එහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවීමට දේශපාලනික සහ යුදමය උපායමාර්ග මට්ටමින් ඔවුන්ට අවශ්‍ය හැකියාව තිබූ බවක් පෙනෙන්නට නැත. කපටි දේශපාලනික උපාය මාර්ග අතින් කෙල පැමිණි, යුදමය අතින් වඩා වැඩි ගිනි අවි බලයක් සහිත, කෲර ලෙස ගම් බිම් වනසමින් කැරලි මර්ධනය කරන ඉංග්‍රිසීන් සමග සම්ප්‍රදායික සිංහලයාට හුරු ගරිල්ලා සටන් ක්‍රම එතරම් ඵලදායි වූ බවක් නොපෙනේ. අනෙක් අතට අවි බලයට වඩා දේශපාලනික කුමන්ත්‍රණ මතින් මෙරට යටත් කරගත් එසේම ඔවුන්ට අවනත ගැත්තක් රැලක් තාන්න මාන්න දී තනා ගත් ඉංග්‍රිසීන් පන්නාදැමීම තැන් තැන් වල කරන පහර දී පලායෑම් වලින් සාක්ෂාත් කරගත නොහැකි බව එම දේශහිතෛශී සටන්කාමින් වටහාගත් බවක් නොපෙනේ.

1815 ට පසු 2015 සිට නැවතත් අධිරාජ්‍යවාදීන්ගේ සුරතලුන් පිරිසක් ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව මේ රට අගාධයක හෙලා අවසාන වී ඇති මේ මොහොතේද රට සහ ජාතිය තව දුරටත් වලපල්ලට නොයෑ රැකගැනීමට නම් වර්තමාන ජාතිකවාදීන් සහ බෙදුම්වාදීන්ගෙන් වරක් රට බේරාගත් දේශපාලන නායකත්වය යල්පැනගිය "ජනබල" පෙන්වීම් වලට වඩා "ආප්ප කා පැනගිය හිටං ක්‍රමයේ කුමන්ත්‍රණ දේශපාලනය" මීට වඩා හැදෑරිය යුතු බව අතීතයේ පාඩම් ඇසුරින් වටහා ගත යුතුය.

මූලාශ්‍ර
  • Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries, Kumari Jayawarena - Colombo, Social Scientists's Association, 2010
  • The Kandyan's Last Stand Against The British, M.A. Durand Appuhamy, 1995

Monday, October 5, 2015

සිංහලේ ඔටුනු නොපලන් රජු - විමලධර්ම නරේන්ද්‍රසිංහ

ඇහැලේපොල ප්‍රමුඛ සිංහල රදලවරුන් නායක්කර් වංශික රජු පාවා දී, යුරෝපීය ජාතීන් තුනකටම සියවස් තුනක් පුරා සටන් කර යටත් කරගත නොහැකිවූ උඩරට සිංහලේ බලය බන්දේසීයක තබා 1815 මහා පාවාදීමේ ගිවිසුම මගින් සටනකින් තොරවම ඉංග්‍රීසීන් අතට ලබාදුන් නමුත්, වැඩි කල් නොගොස්ම තමුන්ට වැරදුන බව වටහා ගත්හ. එහි ප්‍රථිපලය වූවේ දොරේසාමි නමින් රාජ ප්‍රතිරූපකයෙක් ඉදිරියට දමා ගනිමින් කොහුකුඹුරේ රටේරාල, බූටෑවේ රාල ඇතුළු ඌව-වෙල්ලස්සේ දේශප්‍රේමින් ඇරඹූ 1817-18 මහා අධිරාජ්‍යවිරෝදී සටනට ක්‍රමයෙන් කැප්පෙටිපොල ඇතුළු රදල වරුන්ද එක්වී එයට නායකත්වය සැපයීමය. වඩුග රජුගෙන් සිංහල රජ කෙනෙකු අතට බලය ලබාගැනීමට ඉංග්‍රිසීන්ගෙ පිහිට පැතු රදලවරු නැවතත් වඩුග රජෙකු බලයට ගෙන ඒමට කැරලි ගැසීම එක්තරා අතකින් ඉතිහාසයේ සරදමකි. කෙසේ නමුත් දොරේසාමි නමින් පෙනී සිටියේ කලින් මහණ වී සිට සිවුරු හැරි විල්බාවේ රාල නම් රාජවංශික නොවන සත් කොරලයේ සිංහල පුද්ගලයෙකු බව කල් යාමේදි වටහාගන්නා පිළිමතලාවේ සහ මඩුගල්ලේ වැනි රදල නායකයන් සටන අතහරින මුත් කැප්පෙටිපොල ඇතුළු සුලු පිරිසක් අවසානය දක්වාම සටන මෙහෙයවයි.

කැරලි නායකන් අල්ලා ගෙන හිස ගසා දැමීමෙන් සහ ඇතමුන් මුරුසි දිවයිනට පිටුවහල් කිරීමෙන් මෙම ප්‍රතිරෝධය සමනය කර ගැනීමට ඉංග්‍රීසීන් සමත් වන මුත් බොහෝ දෙනා සිතන පරිද්දෙන් 1848 දී නැවතත් ඇතිවන කැරැල්ල දක්වා කිසිදු ප්‍රතිරෝධයක් සිංහල දේශමාමක බලවේග තුලින් යටත්විජිතවාදීන් වෙත එල්ල නොවූවා නොවේ. කාලයේ වැලිතලාවෙන් යටවී ගිය එවන් සුලු පරිමාණ නැගිටීම් කිහිපයක් පිළිබදවම තොරතුරු ආචාර්ය කුමාරි ජයවර්ධන සිය පර්යේෂණ මගින් හෙලිදරව් කරයි*.

1820 ජනවාරි 6 වෙනි දින බින්තැන්න ප්‍රදේශයෙන් කුමාරස්වාමි නම් රාජ ප්‍රතිරූපකයෙක් මතුවි පවසන්නේ 1818 දී තමාව සිංහලේ රජකමට විල්බාවේ වෙනුවට පිළිමතලාවේ සහ මඩුගල්ලේ ඇතුලු සත් රටේ නායකයන් පිරිසක් ඉදිරියේ සිරිමා බෝධිය අභියසදි තෝරාගත් බවය. තමා හේවාහැට ඉපදුන සිංහලේ අවසාන රජුගේ නෑයෙකු බවත්, ශ්‍රි වික්‍රම රාජසිංහ රජු විසින් ඔහුව ඌව පලාතට පිටුවහල් කල බවත්, වෙළෙඳ සහ භික්ෂු වෙස් ගෙන ඇවිදිමින් සිටින අතරේ 1818 දී රුවන්වැල්ලේදි හසුවි කොළඹ සිරකරුවෙකු ලෙස සිටි බවත්, ඔහු වැඩිදුරටත් හෙලිකරයි. ගණේගොඩ අධිකාරම වෙත පුස්කොල පතක් යවමින් ඔහු පවසන්නේ තමා කොබ්බෑකඩුවේ නායක තෙරණුවන් හමුවන්නට බලාපොරොත්තු වන බව මොල්ලිගොඩ අධිකාරම ඇතුළු අන් අයට දන්වන ලෙසත්, බුළුවාලේ උන්නාන්සේ භාරයේ ඇති දළදාව විමලධර්ම නරේන්ද්‍රසිංහ  නමින් රජවි ඇති තමා වෙත ගෙන එන ලෙසත්ය. තවද ඔහු 1818 කැරැල්ලේ රාජ ප්‍රතිරූපකයාව සිටි විල්බාවේ හමු වූ බවත්, ඔහුට පලමුව තෙලිගු භාෂාවෙන් (නායක්කර්වරුන්ගේ භාෂාව) සහ නැවත දෙමළ භාෂාවෙන් ඇමතූ මුත් එම භාෂා ඔහුට නොතේරුන බැවින් අවසානයේ සිංහලෙන් අමතා අදහස් හුවමාරු කරගත් බවත්, තමුන් නියම රජු බව ඔහුද පිලිගත් බවත්, හෙතෙම වැඩි දුරටත් එහි සදහන් කරයි. 1818 දි මෙන් මෙවරද වැදි ජනතාව කැරැල්ලේ පෙරමුණ ගත් බවත්, ඔවුන් යම් යම් කලබල ඇති කල බවත් ආන්ඩුකාරවරයාගේ සටහන් වලින් හෙලිවේ. රාජ ප්‍රතිරූපකයා සදහන් කරන්නේ මාරකේ නමැති වැදි ගම්මානයට ඔහු පැමිණි විට 7000 ක පමණ වැද්දන් වැඳ වැටී ඔහුට රජෙකුට මෙන් ආචාර කල බවත් ඔවුන් දුනු ඊතල වලින් සන්නද්ධව ඔහුව මහවැලි ගඟින් එතෙරට ගෙන ආ බවත්ය.

එක් සතියකින් කැරැල්ල අවසන් වන්නේ එදා සිට අද (2015 ඔක්තෝබර් ජිනීවා පාවා දීම) දක්වාම නැවත නැවතත් සිදුවෙන අයුරින් සිංහලයන්ට ආවේණික පාවාදීම මෙතනදිත් නැවතත් සිදුවීමෙනි. ගණේගොඩ දිසාව විසින් මේ පිලිබද ඉංග්‍රිසීන්ට දැනුම් දීමෙන් නොනැවතී පිරිසක් සමග ගොස් 1820 ජනවාරි 12 දින රාජ ප්‍රතිරූපකයාව අල්ලා ගෙන ඉංග්‍රීසි ආන්ඩුවට භාර දෙයි. නඩු විභාගයක් අවසානයේ ඔහුට අත්හිටවූ මරණ දඩුවමක් ලබාදී මුරුසි දිවයිනට පිටුවහල් කරයි. ඉංග්‍රීසීන් මුදල්, අංගසම්පූර්ණ නිවසක් සහ ඇඳුම් පැලදුම් ලබා දීමෙන් ගණේගොඩ දිසාවගේ කැපවීම අගය කරයි (The Disava was rewarded with money, a furnished house and "a splendid new dress" ).

මේ රාජ ප්‍රතිරූපකයා සත්‍ය වශයෙන්ම නායක්කර්වරයෙකුද යන්න පැහැදිලි නොමැති මුත් ඔහු තමා එසේ වන බව හඟවන්න දරන උත්සාහයෙන් හැගෙන්නේ  ඔහු විල්බාවේ මෙන්ම සිංහල ජාතිකයකු බවය. පිට පිට අවස්ථා දෙකකදිම ඉස්මතු වූ රාජ ප්‍රතිරූපකයන් තමුන් වඩුගයන් බව හඟවන්න උත්සාහ කිරීමෙන් පැහැදිලි වන්නේ උපතින් සිංහල නොවුනත් සිංහල බෞද්ධ සංස්කෘතියේ පැවැත්ම උදෙසා මහඟු සේවයක් කල නායක්කර් රජ වරුන් කෙරෙහි ජනතාවගේ තිබූ ප්‍රසාදයද? නැතහොත් එකිනෙකා සමග කුලල්කාගන්නා සිංහල රදලයන්ට වඩා විශ්වාසයක් ජනතාවට ද්‍රවිඩ සම්භවයක් ඇති දකුණු ඉන්දීයාවෙන් පැමිණි වඩුග රජවරුන් කෙරේ පැවැති බවද?

රූපය - සිංහල හේවායකු නිරූපිත ලී කැටයමක් , ඇම්බැක්කේ දේවාලය

*Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries, Kumari Jayawarena - Colombo, Social Scientists's Association, 2010