Showing posts with label Wilpattu. Show all posts
Showing posts with label Wilpattu. Show all posts

Monday, March 4, 2019

තඹවන් වැලි ඇති කුදිරමලය ඓතිහාසික තම්බපණ්ණි නුවරද?

"නැවෙන් ගොඩබට විජය හා පිරිස වෙහෙසව පොළොවෙහි අතුල් ඔබා ඉඳගත්හ. ඔවුන්ගේ අත් භූමියෙහි දූවිල්ලෙන් තඹවන් වූ හෙයින් ඒ පෙදෙසද , දිවයිනද තම්බපණ්ණී නම් විය."

"තම්බපණ්ණී නගරයෙහි සිට ලංකා රාජ්‍යානුශාසනයෙහි යෙදුණු විජය රජු අටතිස් වසරක් රාජ්‍යය කළේය."

තම්බපණ්ණි යනුවෙන් නගරයක් මෙරට මුල්ම රජු වූ විජය රජු ආරම්භ කල පුවත මහාවංශයෙහි විස්තර වනුයේ ඒ ආකාරයෙනි. විජය රජු හා ඔහු හා සම්බන්ධ බොහෝ සිදුවීම් සත්‍ය සිදුවීම් වලට වඩා මහාවංශය රචනා කල යුගය වන විට ජනප්‍රවාද ලෙස පැවතෙමින් ආ දේ ලෙස පෙනෙන මුත් තම්බපණ්ණි නමින් යුත් නුවරක් මෙරට මුල් ඓතිහාසික යුගයේ තිබෙන්නට ඇති බව පිළිගැනීමට එය බාධාවක් නොවේ. ලංකා, ලංකාදීප යන නම් වලට අමතරව මහාවංශයේ මුල් කොටසේ බොහෝ අවස්ථා වලදී තම්බපණ්ණිදීප යන නම මුළු දූපතම හැඳින්වීම සඳහාද යොදාගෙන ඇත. නමුත් විජය රජු ආරම්භ කලා යැයි පැවසෙන තම්බපණ්ණි නුවර පිළිබඳව ඉන්පසු කිසිදු සඳහනක් වංශ කතා වල හමු නොවේ.

මහාවංශයේ දෙවන කොටසේදී නැවතත් මුළු දිවයිනම හැඳින්වීම උදෙසා තම්බපණ්ණී යන නම මුල් වරට භාවිතා වනුයේ පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු යුගය පිළිබඳව විස්තර කිරීමේදී එක් අවස්ථාවකදී සහ ඉන්පසු යුගයන්හි තවත් අවස්ථා දෙකකදී පමණක් වන අතර අනතුරුව 1815 ඉංග්‍රිසීන් "සිංහළය" යටත් කරගත් පසු විජය රජු විසින් තම්බපණ්ණියෙහිදී ආරම්භ කළ සිංහළ රාජ්‍යතන්ත්‍රය... මෙසේ විනාශයට පත් වූ බව පවසන ගාථාවේද තම්බපණ්ණි යන වදන එම නුවර හැඳින්වීම උදෙසා යොදාගනී.
තම්බපණ්ණි නගරය දිවයිනේ කිනම් පෙදෙසක පිහිටා තිබුනිද යන්න හඳුනාගැනීම උදෙසා මහාවංශය එතරම් උපකාරී නොවේ.  නමුත් මහාවංශයටත් පෙර ලියවුන ලෙස පිළිගැනෙන දීපවංශය පවසන්නේ "දක්ෂිණ දිග්භාගයෙන් අති උත්තම නදීතීරයෙහි හෙවත් මහාසමුද්‍රාසන්නයෙහි හාත්පසින් (සිව් දෙසින් පැමිණි වෙළඳ ජනයා ආදීන්ගේ විය හැකි) පොදි ලිහන ස්ථාන වූ හෙයින් පුටභේදන නම් වූ තම්බපණ්ණි නුවර විජය කුමරු විසින් ගොඩනගන ලද බවයි.

"දක්ඛිණතො නදීතීරෙ" ලෙසින් එම විස්තරය සඳහන් වන දීපවංශ ගාථා විවිධ අයුරින් අර්ථ කථනය කල හැකි මුත් (නදී තීරයෙන් දකුණු දෙස හෝ දකුණු දික්භාගයෙහි නදී තෙර හෝ නදියේ දකුණු ඉවුරේ) මෙම යුගය සම්බන්ධව එතරම් විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකිය නොහැකි රාජාවලිය විජය කුමරු ඇතුළු පිරිවර "රුහුණු රට දෙසට ගොඩ බලා උන් විට...සමන්තකූට පර්වතය මහමුහුද මැදදී දැක.... අප ඉඳිනට දිවයිනකැයි සිතාගෙන ගොඩකරේ ඈත දැක තම්මැන්නා තොටින් ගොඩ බැස.." ලෙසින් තම්මැන්නා හෙවත් තම්බපණ්ණී නුවර රුහුණු රටේ පිහිටි ලෙස කෙලින්ම පවසයි. ඇතැම් විට දීපවංශයේ එන දකුණු දෙස පිහිටි නදී තෙර යන පාඨය රාජාවලි කතුවරයා රුහුණු රටේ පිහිටි නදි තෙර ලෙසින්ම තේරුම් ගත්තා විය හැක.

මෙම සීමිත සාධක ඇසුරු කරගනිමින් තම්බපණ්ණි නුවර හෙවත් තම්මැන්නා තොට හඳුනාගැනීම උදෙසා විද්වතුන් කිහිප දෙනෙකුම උත්සහ දරා ඇත. තම්බපණ්ණි නුවර ගං මුවදොරක පිහිටි බව සහ එය වරායක් සහිත පටුනු ගමක් බව ඉහත විස්තර අනුව අවිවාදිතය. එසේම එය මෙරට මුල් ඓතිහාසික ජනාවාස විහිදුනු ප්‍රධාන ගංගා කිහිපයෙන් එකක මුවදොර පිහිටිය යුතු බවද පැහැදිලිය.
මල්වතු ඔය ලෙසින් එහි මුල් කොටසේදී සහ අරුවි ආරු ලෙසින් එහි මුවදොර පෙදෙසේදී දැනට ව්‍යවහාර වන මහාවංශයේ කදම්භ නදී ලෙසින් හැඳින්වෙන නදියේ දකුණු ඉවුරේ තම්බපණ්ණිය පිහිටි බව C.W. නිකොලස් ඒ අනුව අනුමාණ කරයි.  ඔහු පවසන්නේ අරුප්පු ආශ්‍රිත ප්‍රදේශයේ පැරණි තම්බපණ්ණි නගරය පිහිටා තිබෙන්නට ඇති බවයි. H.W. කොඩ්රිංටන් මහතාද එම අදහස අනුමත කරයි. හෙන්රි පාකර් මහතා පවසන්නේ තම්බපණ්ණි නුවර දකුණු මුහුදු තීරයේ තිබෙන්නට ඇති බවයි. ඔවුන් සිය අදහස් සනාථ කිරීම උදෙසා විවිධ සාධක ඉදිරිපත් කරන මුත් ඒවා සියල්ල ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව නොවේ.

කෙසේ නමුත් තම්බපණ්ණි ලෙසින් එම මුල් නුවර හැඳින්වීම උදෙසා ඉවහල් වූ තඹ පැහැ වැල්ල හේතු කොටගෙන ජනප්‍රවාදයේ විජය සිය අගනුවර ගොඩනැන්වූ ස්ථානය ලෙස පොදු ජනයා හඳුනාගන්නා ස්ථානයක් විල්පත්තු අභය භූමිය තුල ඇත. කුදිරමලෙයි ලෙසින් ද්‍රවිඩ භාෂාවෙන් හැඳින්වෙන එම ස්ථානයේ  පැරණි ජනාවාසයක් පැවති බවට වන සාධක R.L. බ්‍රෝහියර් විස්තර කර ඇත. මුහුදු ඛාදනය වූ ප්‍රපාතය මත සැලකිය යුතු දුරකට වළං කැබලි, රවුම් තලි කොටස් (Circular dishes), ගුරුලේත්තු කොටස් (Water Goblets), කොතළ (Pitches) සහ වෙනත් එවැනි උයන භාජන (Cooking Utensils) කොටස් දැකිය හැකි බව ඔහු පවසයි. එයට අමතරව ඌරා කැට හෙවත් මැටි වලලු යෙදූ ලිඳක්ද එහි තිබී ඇත. මුහුදු ඛාදනය හේතුවෙන් දිනෙන් දින එම පැරණි වෙළඳ නගරයේ නශ්ඨාවශේෂ විනාශ වෙමින් යන බවද ඔහු අවධාරනය කර ඇත.
කුදිරමලෙයි යන ද්‍රවිඩ වචනයෙන් 'අශ්ව කන්ද' යන අර්ථයක් ගත හැක (මලබාර් සහ මැලේ භාෂා වලින් කුද්‍ර යනු අශ්වයා අන අතර මලය යනු ද්‍රවිඩ භාෂාවෙන් කන්ද වේ.). අශ්ව කන්ද යන තේරුමම ගත හැකි තප්‍රොබේනයේ පිහිටි නැව් තොටක් ගැන ප්ලීනි (ක්‍රි.ව. 24-79) නම් වූ රෝමන් ලේඛකයා තැබූ සටහනක් අපට හමුවේ. ප්ලීනිගේ වාර්තාවට අනුව ක්ලෝඩියස් නම් රෝම අධිරාජයාගේ (Claudius)  පාලන කාලයේ (ක්‍රි.ව. 41-54) රතු මුහුදේ ඔහු වෙනුවෙන් බදු එකතු කල අන්නියස් ප්ලොකමස් නම් නිලධාරියාගේ නිදහස් වහලෙකු (Freedman of Annius Plocamus)  ගමන් ගත් නැව රතු මුහුදේදී කුණාටුවකට හසු වී දින 15 ගසාගෙන ගොස් නොදන්නා ගොඩබිමක පිහිටි නැව් තොටක් වෙත ලඟා වේ. එම සුළඟ නිරිත දිග මෝසම් සුළං ලෙස උපකල්පනය කලහොත් එම නැව ගසාගෙන ආ නැව්තොට මෙරට බටහිර වෙරළ තීරයේ වූවක් ලෙසට අනුමාණ කල හැක. ප්ලීනි සඳහන් කරන ලෙසට එම නැවියන් ගොඩ බට ස්ථානය අසල පිහිටි කන්දක සැලකිය යුතු ජනාවාසයක් තිබී ඇත. මෙම සිදුවීම සිදුවූ වර්ෂය ලෙස ක්‍රි.ව. 45 සඳහන් වේ. වඩාත්ම වැදගත් කරුණ නම් එම නැව්තොට ප්ලීනි විසින් Hippuros ලෙසින් හඳුන්වා තිබීමයි. එහි අර්ථය 'අශ්වයාගේ වලිගය' වන මුත් එම වචනය Hipporos  (ග්‍රීක භාෂාවෙන් Hippos > අශ්වයා Oros > කන්ද) ලෙස ගතහොත් එයින් 'අශ්ව කන්ද' යන අර්ථය ගත හැක. පැරණි ලේඛන සියවස් ගණනාවක් පුරා සිදුවන පිටපත් වීම් වලදී එවැනි අක්ෂර දෝෂ සිදුවීමේ හැකියාව බෙහෙවින් වැඩිය (ප්ලීනි සිය ග්‍රන්ථය රචනා කරන්නේ පළවන සියවසේදීය.) මෙහි තැප්‍රොබේන් ලෙස ග්‍රීක ලේඛන වල මුල් වරට  සඳහන් වන රට, තම්බපණ්ණි යන මෙරට හැඳින්වීමට යොදාගත් නමෙන් ප්‍රභවය වූවක් ලෙස පොදුවේ පිළිගැනේ.
මේ සියලු කරුණු සලකා බැලූ විට එමර්සන් ටෙනන්ට්, R.L. බ්‍රොහියර්, වැනි ලේඛකයන් අනුමාන කල අයුරින් කුදිරමලය අසල පිහිටි පැරණි වෙළඳ නගරය තම්බපණ්ණි නුවර ලෙස සැලකීමේ යම් පදනමක් ඇති බව පෙනේ. තවද උපතිස්සගාම, අනුරාධගාම වැනි මෙම යුගයේ හෝ ඉන් පසු ආසන්න යුගයේ ජනාවාස පැතිර තිබූ ලෙස වංශ කතාව පවසන ප්‍රදේශ වල පිහිටීමද තම්බපණ්ණියේ සිට මල්වතු ඔය සහ මෝදරගම් ඔයඔස්සේ මුහුදු තීරයේ සිට රට තුලට ජනාවාස පැතිරුන ආකාරය පිළිබඳව මනා චිත්‍රයක් මවා පායි. 

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහාස්ථවිර, 1927
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Gazetteer of the Puttalam District of the North-Western Province of Ceylon, Frank Modder, F.R.G.S., 1908
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • Discovering Ceylon, R.L. Brohier, 1973
  • The Deepavamsa, Edited by Dr. B.C. Law, 1959
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record.  Hermann Oldenberge, 1879
  • * A Concise History of Ceylon, C.W. Nicholas & S. Paranavitana 1961 - සිංහල පරිවර්තනය - > සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, පරිවර්තන සංස්කාරක ඇස්. බී හෙට්ටිආරච්චි, 2005
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1 සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • The Ancient Puttalam - Mannar Road, C,G. Uragoda, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series Volume XXVI, 1982

Wednesday, December 14, 2016

රජරට අප්‍රකට පැරණි පුදබිම් 3 - කුවේණියට පැලස් එකක් වූ විල්පත්තුවේ බොදු පුද බිම.



විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කාලි විල්ලුව ආසන්නයේ පිහිටි ගල් කණු පේලි කිහිපයකින් සමන්විත ස්ථානයක් 'කුවේනි මාළිගය' හෙවත් 'කුවේනි පැලස්' ලෙස එහි යන නරඹන්නන්ට වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකයන් සහ සෆාරි ජීප් රථ රියදුරන් විසින් හඳුන්වාදෙනු ඇත. ඒ සමගම ඒ හා සම්බන්ධ රසවත් ඉතිහාස කතා ද නරඹන්නන්ගේ උනන්දුව අනුව අවශ්‍ය නම් ඔවුන්ගෙන් අසා දැන ගත හැක. විදෙස් සංචාරකයන්ට නම් ඔවුන් සමග එහි යන ගයිඩ් මහතුන්ගේ ආලවට්ටම්ද සහිතව එම Fabulous legend එක අසා සිටීමට සිදුවනු ඇත. විල්පත්තු වනෝද්‍යානය තුල වූ ස්ථාන කිහිපයක්ම විජය-කුවේනි පුරාවෘත්තය හා සම්බන්ධ කරමින් ගෙතූ ජනප්‍රවාද වලින් සමන්විත වන අතර ඒවා කෙතරම් පොදු ජනතාව අතරට ගොස් ඇත්ද යත් අද වන විට එම ජනප්‍රවාද මෙරට ජනප්‍රිය ඉතිහාසයේ (Popular History) 'පරම සත්‍ය වූ ඉතිහාසය' බවටද පත්වී ඇත.
 සාමාන්‍ය මිනිසෙකුගේ උස මෙන් දෙගුණයක් පමණ උස ගල් කණු වලින් සමන්විත ගොඩනැගිලි දෙකක නටබුන් මෙම ස්ථානයේ ඇත. ඒ අසලම පිහිටි විනාශ වූ ස්ථූප ගොඩැල්ලක ගඩොලු මගින් පැහැදිලිවම මෙම ස්ථානය අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් වූ බෞද්ධ ආරාමයක නටබුන් බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි. (පැරණි ගඩොල් වල ප්‍රමාණ අනුව අනුමාණ වශයෙන් එම ගඩොල් යොදවා තැනූ ගොඩනැගිලි වල කාල නිර්ණය සිදු කල හැක. එසේම මෙම ස්ථානයේ දක්නට ඇති නිදන් හොරුන් විසින් හාරා විනාශ කල තරමක් විශාල ස්ථූපය බෞද්ධ විහාරයකට අයිති ස්ථූපයක් බව සහ ඒ අනුව ඒ අසලම ඇති අනෙකුත් ගොඩනැගිලිද එම විහාරයේම අවශේෂ ගොඩනැගිලි බව පැවසිය හැක.)
කෙසේ නමුත් මේ වන තුරුත් මෙම ස්ථානයේ විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් හෝ කැනීමක් සිදු කර නොමැති බැවින් තවත් චිරාත් කාලයක් මෙය 'කුවේනියගේ මාළිගාවම' වනු ඇත. වර්තමානයේ වෙස්සගිරිය යනුවෙන් හදුන්වන්නේ එම නමින් වංශ කතා වල හැඳින්වෙන ස්ථානය නොව පැරණි ඉසුරුමුණිය බව විද්වතුන් එම ස්ථානයේ ඇති සෙල්ලිපි ආශ්‍රයෙන් නොයෙක් වර පෙන්වා දී  ඇති මුත් තවමත් සඥා පුවරු වල, ඇතැම් ග්‍රන්ථ වල, සිතියම් වල සහ මාර්ගෝපදේශක පත්‍රිකා වල එය වෙස්සගිරියම වන්නා සේය (මෙවැනි උදාහරණ මෙරට පුරාවිද්‍යා සහ ඉතිහාස ක්ෂේත්‍රයේ නොඅඩුව ඇත ).


මූලාශ්‍ර
  • ගවේෂණ තුළ ගවේෂණ, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Handbook for the Ceylon Traveller, Studio Times Publication, 1983.
  • Wilpattu, Villus And Beyond, Compiled by Vimukthi Weeratunga, 2009