Monday, March 4, 2019

තඹවන් වැලි ඇති කුදිරමලය ඓතිහාසික තම්බපණ්ණි නුවරද?

"නැවෙන් ගොඩබට විජය හා පිරිස වෙහෙසව පොළොවෙහි අතුල් ඔබා ඉඳගත්හ. ඔවුන්ගේ අත් භූමියෙහි දූවිල්ලෙන් තඹවන් වූ හෙයින් ඒ පෙදෙසද , දිවයිනද තම්බපණ්ණී නම් විය."

"තම්බපණ්ණී නගරයෙහි සිට ලංකා රාජ්‍යානුශාසනයෙහි යෙදුණු විජය රජු අටතිස් වසරක් රාජ්‍යය කළේය."

තම්බපණ්ණි යනුවෙන් නගරයක් මෙරට මුල්ම රජු වූ විජය රජු ආරම්භ කල පුවත මහාවංශයෙහි විස්තර වනුයේ ඒ ආකාරයෙනි. විජය රජු හා ඔහු හා සම්බන්ධ බොහෝ සිදුවීම් සත්‍ය සිදුවීම් වලට වඩා මහාවංශය රචනා කල යුගය වන විට ජනප්‍රවාද ලෙස පැවතෙමින් ආ දේ ලෙස පෙනෙන මුත් තම්බපණ්ණි නමින් යුත් නුවරක් මෙරට මුල් ඓතිහාසික යුගයේ තිබෙන්නට ඇති බව පිළිගැනීමට එය බාධාවක් නොවේ. ලංකා, ලංකාදීප යන නම් වලට අමතරව මහාවංශයේ මුල් කොටසේ බොහෝ අවස්ථා වලදී තම්බපණ්ණිදීප යන නම මුළු දූපතම හැඳින්වීම සඳහාද යොදාගෙන ඇත. නමුත් විජය රජු ආරම්භ කලා යැයි පැවසෙන තම්බපණ්ණි නුවර පිළිබඳව ඉන්පසු කිසිදු සඳහනක් වංශ කතා වල හමු නොවේ.

මහාවංශයේ දෙවන කොටසේදී නැවතත් මුළු දිවයිනම හැඳින්වීම උදෙසා තම්බපණ්ණී යන නම මුල් වරට භාවිතා වනුයේ පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු යුගය පිළිබඳව විස්තර කිරීමේදී එක් අවස්ථාවකදී සහ ඉන්පසු යුගයන්හි තවත් අවස්ථා දෙකකදී පමණක් වන අතර අනතුරුව 1815 ඉංග්‍රිසීන් "සිංහළය" යටත් කරගත් පසු විජය රජු විසින් තම්බපණ්ණියෙහිදී ආරම්භ කළ සිංහළ රාජ්‍යතන්ත්‍රය... මෙසේ විනාශයට පත් වූ බව පවසන ගාථාවේද තම්බපණ්ණි යන වදන එම නුවර හැඳින්වීම උදෙසා යොදාගනී.
තම්බපණ්ණි නගරය දිවයිනේ කිනම් පෙදෙසක පිහිටා තිබුනිද යන්න හඳුනාගැනීම උදෙසා මහාවංශය එතරම් උපකාරී නොවේ.  නමුත් මහාවංශයටත් පෙර ලියවුන ලෙස පිළිගැනෙන දීපවංශය පවසන්නේ "දක්ෂිණ දිග්භාගයෙන් අති උත්තම නදීතීරයෙහි හෙවත් මහාසමුද්‍රාසන්නයෙහි හාත්පසින් (සිව් දෙසින් පැමිණි වෙළඳ ජනයා ආදීන්ගේ විය හැකි) පොදි ලිහන ස්ථාන වූ හෙයින් පුටභේදන නම් වූ තම්බපණ්ණි නුවර විජය කුමරු විසින් ගොඩනගන ලද බවයි.

"දක්ඛිණතො නදීතීරෙ" ලෙසින් එම විස්තරය සඳහන් වන දීපවංශ ගාථා විවිධ අයුරින් අර්ථ කථනය කල හැකි මුත් (නදී තීරයෙන් දකුණු දෙස හෝ දකුණු දික්භාගයෙහි නදී තෙර හෝ නදියේ දකුණු ඉවුරේ) මෙම යුගය සම්බන්ධව එතරම් විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකිය නොහැකි රාජාවලිය විජය කුමරු ඇතුළු පිරිවර "රුහුණු රට දෙසට ගොඩ බලා උන් විට...සමන්තකූට පර්වතය මහමුහුද මැදදී දැක.... අප ඉඳිනට දිවයිනකැයි සිතාගෙන ගොඩකරේ ඈත දැක තම්මැන්නා තොටින් ගොඩ බැස.." ලෙසින් තම්මැන්නා හෙවත් තම්බපණ්ණී නුවර රුහුණු රටේ පිහිටි ලෙස කෙලින්ම පවසයි. ඇතැම් විට දීපවංශයේ එන දකුණු දෙස පිහිටි නදී තෙර යන පාඨය රාජාවලි කතුවරයා රුහුණු රටේ පිහිටි නදි තෙර ලෙසින්ම තේරුම් ගත්තා විය හැක.

මෙම සීමිත සාධක ඇසුරු කරගනිමින් තම්බපණ්ණි නුවර හෙවත් තම්මැන්නා තොට හඳුනාගැනීම උදෙසා විද්වතුන් කිහිප දෙනෙකුම උත්සහ දරා ඇත. තම්බපණ්ණි නුවර ගං මුවදොරක පිහිටි බව සහ එය වරායක් සහිත පටුනු ගමක් බව ඉහත විස්තර අනුව අවිවාදිතය. එසේම එය මෙරට මුල් ඓතිහාසික ජනාවාස විහිදුනු ප්‍රධාන ගංගා කිහිපයෙන් එකක මුවදොර පිහිටිය යුතු බවද පැහැදිලිය.
මල්වතු ඔය ලෙසින් එහි මුල් කොටසේදී සහ අරුවි ආරු ලෙසින් එහි මුවදොර පෙදෙසේදී දැනට ව්‍යවහාර වන මහාවංශයේ කදම්භ නදී ලෙසින් හැඳින්වෙන නදියේ දකුණු ඉවුරේ තම්බපණ්ණිය පිහිටි බව C.W. නිකොලස් ඒ අනුව අනුමාණ කරයි.  ඔහු පවසන්නේ අරුප්පු ආශ්‍රිත ප්‍රදේශයේ පැරණි තම්බපණ්ණි නගරය පිහිටා තිබෙන්නට ඇති බවයි. H.W. කොඩ්රිංටන් මහතාද එම අදහස අනුමත කරයි. හෙන්රි පාකර් මහතා පවසන්නේ තම්බපණ්ණි නුවර දකුණු මුහුදු තීරයේ තිබෙන්නට ඇති බවයි. ඔවුන් සිය අදහස් සනාථ කිරීම උදෙසා විවිධ සාධක ඉදිරිපත් කරන මුත් ඒවා සියල්ල ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව නොවේ.

කෙසේ නමුත් තම්බපණ්ණි ලෙසින් එම මුල් නුවර හැඳින්වීම උදෙසා ඉවහල් වූ තඹ පැහැ වැල්ල හේතු කොටගෙන ජනප්‍රවාදයේ විජය සිය අගනුවර ගොඩනැන්වූ ස්ථානය ලෙස පොදු ජනයා හඳුනාගන්නා ස්ථානයක් විල්පත්තු අභය භූමිය තුල ඇත. කුදිරමලෙයි ලෙසින් ද්‍රවිඩ භාෂාවෙන් හැඳින්වෙන එම ස්ථානයේ  පැරණි ජනාවාසයක් පැවති බවට වන සාධක R.L. බ්‍රෝහියර් විස්තර කර ඇත. මුහුදු ඛාදනය වූ ප්‍රපාතය මත සැලකිය යුතු දුරකට වළං කැබලි, රවුම් තලි කොටස් (Circular dishes), ගුරුලේත්තු කොටස් (Water Goblets), කොතළ (Pitches) සහ වෙනත් එවැනි උයන භාජන (Cooking Utensils) කොටස් දැකිය හැකි බව ඔහු පවසයි. එයට අමතරව ඌරා කැට හෙවත් මැටි වලලු යෙදූ ලිඳක්ද එහි තිබී ඇත. මුහුදු ඛාදනය හේතුවෙන් දිනෙන් දින එම පැරණි වෙළඳ නගරයේ නශ්ඨාවශේෂ විනාශ වෙමින් යන බවද ඔහු අවධාරනය කර ඇත.
කුදිරමලෙයි යන ද්‍රවිඩ වචනයෙන් 'අශ්ව කන්ද' යන අර්ථයක් ගත හැක (මලබාර් සහ මැලේ භාෂා වලින් කුද්‍ර යනු අශ්වයා අන අතර මලය යනු ද්‍රවිඩ භාෂාවෙන් කන්ද වේ.). අශ්ව කන්ද යන තේරුමම ගත හැකි තප්‍රොබේනයේ පිහිටි නැව් තොටක් ගැන ප්ලීනි (ක්‍රි.ව. 24-79නම් වූ රෝමන් ලේඛකයා තැබූ සටහනක් අපට හමුවේ. ප්ලීනිගේ වාර්තාවට අනුව ක්ලෝඩියස් නම් රෝම අධිරාජයාගේ (Claudius)  පාලන කාලයේ (ක්‍රි.ව. 41-54) රතු මුහුදේ ඔහු වෙනුවෙන් බදු එකතු කල අන්නියස් ප්ලොකමස් නම් නිලධාරියාගේ නිදහස් වහලෙකු (Freedman of Annius Plocamus)  ගමන් ගත් නැව රතු මුහුදේදී කුණාටුවකට හසු වී දින 15 ගසාගෙන ගොස් නොදන්නා ගොඩබිමක පිහිටි නැව් තොටක් වෙත ලඟා වේ. එම සුළඟ නිරිත දිග මෝසම් සුළං ලෙස උපකල්පනය කලහොත් එම නැව ගසාගෙන ආ නැව්තොට මෙරට බටහිර වෙරළ තීරයේ වූවක් ලෙසට අනුමාණ කල හැක. ප්ලීනි සඳහන් කරන ලෙසට එම නැවියන් ගොඩ බට ස්ථානය අසල පිහිටි කන්දක සැලකිය යුතු ජනාවාසයක් තිබී ඇත. මෙම සිදුවීම සිදුවූ වර්ෂය ලෙස ක්‍රි.ව. 45 සඳහන් වේ. වඩාත්ම වැදගත් කරුණ නම් එම නැව්තොට ප්ලීනි විසින් Hippuros ලෙසින් හඳුන්වා තිබීමයි. එහි අර්ථය 'අශ්වයාගේ වලිගය' වන මුත් එම වචනය Hipporos  (ග්‍රීක භාෂාවෙන් Hippos > අශ්වයා Oros > කන්දලෙස ගතහොත් එයින් 'අශ්ව කන්ද' යන අර්ථය ගත හැක. පැරණි ලේඛන සියවස් ගණනාවක් පුරා සිදුවන පිටපත් වීම් වලදී එවැනි අක්ෂර දෝෂ සිදුවීමේ හැකියාව බෙහෙවින් වැඩිය (ප්ලීනි සිය ග්‍රන්ථය රචනා කරන්නේ පළවන සියවසේදීය.) මෙහි තැප්‍රොබේන් ලෙස ග්‍රීක ලේඛන වල මුල් වරට  සඳහන් වන රට, තම්බපණ්ණි යන මෙරට හැඳින්වීමට යොදාගත් නමෙන් ප්‍රභවය වූවක් ලෙස පොදුවේ පිළිගැනේ.
මේ සියලු කරුණු සලකා බැලූ විට එමර්සන් ටෙනන්ට්, R.L. බ්‍රොහියර්, වැනි ලේඛකයන් අනුමාන කල අයුරින් කුදිරමලය අසල පිහිටි පැරණි වෙළඳ නගරය තම්බපණ්ණි නුවර ලෙස සැලකීමේ යම් පදනමක් ඇති බව පෙනේ. තවද උපතිස්සගාම, අනුරාධගාම වැනි මෙම යුගයේ හෝ ඉන් පසු ආසන්න යුගයේ ජනාවාස පැතිර තිබූ ලෙස වංශ කතාව පවසන ප්‍රදේශ වල පිහිටීමද තම්බපණ්ණියේ සිට මල්වතු ඔය සහ මෝදරගම් ඔයඔස්සේ මුහුදු තීරයේ සිට රට තුලට ජනාවාස පැතිරුන ආකාරය පිළිබඳව මනා චිත්‍රයක් මවා පායි. 

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහාස්ථවිර, 1927
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Gazetteer of the Puttalam District of the North-Western Province of Ceylon, Frank Modder, F.R.G.S., 1908
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • Discovering Ceylon, R.L. Brohier, 1973
  • The Deepavamsa, Edited by Dr. B.C. Law, 1959
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record.  Hermann Oldenberge, 1879
  • * A Concise History of Ceylon, C.W. Nicholas & S. Paranavitana 1961 - සිංහල පරිවර්තනය - > සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, පරිවර්තන සංස්කාරක ඇස්. බී හෙට්ටිආරච්චි, 2005
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1 සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • The Ancient Puttalam - Mannar Road, C,G. Uragoda, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series Volume XXVI, 1982

9 comments:

  1. //හෙන්රි පාකර් මහතා පවසන්නේ තම්බපණ්ණි නුවර දකුණු මුහුදු තීරයේ තිබෙන්නට ඇති බවයි. //
    ගොඩවාය රතු පස්?

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩවායට ආසන්න උස්සන්ගොඩත් එවැනි රතු පස් තිබෙනවා.තම්බපණ්ණිය රුහුණේ තිබූ බවට ඇති මතය එම නිසා බැහැර කල නොහැකියි. ඒත් පාර්කර්ගේ තර්ක වෙනයි. ඒ ගැන පසුව කතා කරන්නම්

      Delete
  2. විජය ලංකාවේ දකුණු පළාතට ගොඩබැස්සා කියන්න ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා ද...???
    මම තවත් කාරණයක් ගැන කියන්න හිටියේ. විශේෂයෙන් මේ සමාජ මාධ්‍යවල අපේ ජාතිය බාල්දු කරන්න හදන මිනිස්සුන්ගේ ප්‍රධාන තර්කයක් තමයි , අපේ කාන්තාවෝ උඩුකයට රෙදි ඇන්දේ නෑ කියන එක.. මේ ගැන සවිස්තරාත්මක ලිපියක් ලියන්න බැරිද

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තු පූර්ව යුග වල සිටන්ම අසල්වැසි ඉන්දීය අර්ධද්විපයේ සිට විවිධ ජන කොටස් මෙරටට සංක්‍රමණය වූ බවට සාධක තියෙනවා. කිසියම් හෝ හේතුවකින් උතුරු ඉන්දීය ප්‍රදේශ වල සිට පැමිණි ජනයා තමා මෙරට එම මුල් සංක්‍රමණිකයන්. දකුණු ඉන්දීය සංක්‍රමණ ගැන පිලිගත හැකි සාධක පවතින්නේ ඊට පසු යුග වල විශේෂයේන් පොළොන්නරු යුගයෙන් පසුව ( කුලී හමුදාවන් ලෙස ඊට පෙර යුග වලදී රැගෙන ආ දකුණු ඉන්දීය හේවායන් අමතක කලහොත් ) විජය ජනප්‍රවාදය මෙම සියළු සංක්‍රමණ එක්ව ගෙන ඒවා පිළිබඳව කතා කිරීමට ගෙතූ ජන කතාවකට වඩා දෙයක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. මේරටට පැමිණි ඉන්දීය සංක්‍රමණිකයන් මෙරට වයඹ වෙරල තීරයෙන් මෙන්න දකුණු වෙරල තීරයේ විවිධ ස්ථාන වලින්ද ගොඩ බසින්නට ඇථි. ඇතැම් විට කලක් තිස්සේ වෙළදාමේ පැමිණි පිරිස් මෙරට ස්ථිර පදින්චි වූවා විය හැකියි. මෙරටින් විවිධ ද්‍රව‍ය රැගෙන යාමට පැමිණි අන්තර්ජාතික වෙළඳ ශ්‍රේණි රටට ගොඩ බැස්ස වරායන් ක්‍රි. පූර්ව යුග වල සිටන්ම පැවත ආ බවට සාධක තියෙනවා. මාතොට මෙන්ම දකුණු වෙරළ තීරයේ ගොඩවාය එවැනි තැන්. ඒ අනුව විජය ගොඩ බැස්ස තැන සොයන්න යාම එතරම් වැදගත් නැහැ. යමෙකුට මෙම එක් ස්ථානයක් තෝරාගෙන එම ස්ථානය විජය පැමිණි වරාය ලෙසට තර්ක කරන්න මෙන්ම තවත් කෙනෙකුට එම තර්ක බිද වෙනත් ස්ථානයක් ඉස්මතු කිරීමටද අවශ්‍ය තරම් සාධක තියෙනවා.

      ඔබේ දෙවැනි ප්‍රශ්නයට ත් දිය හැක්කේ එවැනිම පිළිතුරක්. රොඩී වැනි අඩු කුල වල කාන්තාවන්ට උඩු කා වැසිය නොහැකි බවට වූ සම්මතයක් මහනුවර යුගයේ හෝ ඊට ආසන්න කාල වලදී දකුණු ඉන්දීය කුල ක්‍රමය දැඩි ලෙස මෙරට බලපැවත්වීමත් සමග ඇතිවී තිබුණා. ඉන් පෙර අපගේ කාන්තාවන් ඇඳි ඇදුම් පිළිබඳව වෙනම කතා කල යුතුයි. සාහිත්‍යමය සහ පුරාවිද්‍යාත්මක ( සීගිරි චිත්‍ර වැනි ) සාධක මත යම් යම් උපකල්පන ඉදිරිපත් කල හැකියි. කෙසේ නමුත් රටක ජීවත් වන මිනිසුන්ට ගැලපෙන ඇඳුම් පිළිබඳව වෙනත් රටක වෙනත් දේශගුණික තත්වයන් යටතේ සිටින ජනයාට කතා කල නොහැකියි. යුරෝපයේ සීත රට වල සිටින මිනිසුන් අඳින ඇදුම් අපිට මේ රටේදී අඳින්න ඕනේ කමක් නැහැ වගේ තමා අපි වගේ සරමක් ඇඳන් ඒ රට වල එලි මහනේ නම් යන්න බැහැ. අනික Summer එකට එම රට වල කාන්තාවන් ශරීරය අවම වශයෙන් වැහෙන ලෙස අඳිනවනේ ( අපේ ස්මහරුන්ට අනුව අඩ නිරුවත් ) ලංකාව වගේ නිතර දාඩිය දාන රටක එලිමහනේ සිටින විට මුලු ශරීරයම වැසිය යුතුද? යම් යුගයක එසේ නොවැසුවා නම් එය ම්ලේචත්වයේ සංකේතයක් වනවා නම් Summer එකට යුරෝපිය රට වල කාන්තාවනුත් එලෙස වනවා නේද? ඇත්ත වශයෙන්ම අපේ රටේ එහෙම උඩු කය නිරුවත් ව කාන්තාවන් සිටියා නම් ( එසේ සිටියාද යන්න වෙනම කාරණයක් ) එහි කිසිම වැරද්දක් මම නම් දකින්නේ නැහැ. කිසිදු විදේශිකයෙක් මම හිතන ලෙසට නම් එය ප්‍රශනයක් කරගන්න එකක් නැහැ ( මගේ පෞද්ගලික අත්දැකීමක් කියනවා නම් වරක් ලංකාවටත් පැමිණ ගිය මගේ විදේශිය මිතුරෙක් මගෙන් ඇසුවේ අවුරුද්ද පුරාම උණුසුම් දේශගුණයක් ඇති අපේ රටේ කාන්තාවන් මුළු ශරීරයම වැසෙන ඇඳුම් වැඩි පුර අඳින්නේ ඇයි කියා? දැඩි හිරු රශ්මිය නිසා සමට වන හානි වලක්වා ගැනීම ස් එයට හේතු ලෙස මම පැවසුවත් එයට වඩා සම්ප්‍රදායික සංස්කෘතික බලපෑම් නිසා එසේ වන බව මම ඔහුට කීවේ නැහැ ) ඔබ ඉය පවසන සමාජ ජාලා වල අපේ ජාතිය බාල්දු කරන්න ඔය වැනි කතා කියන්නේ විදේශිකයන් නෙමේ. ජාතියක් ජම්මයක් නැති මෙරටේම ඉපදුන හීනමාන රෝගීන් පිරිසක්.

      Delete
    2. විදේශිකයන්ටනම් එය කොහෙත්ම ගැටළුවක් නෙවෙයි. ගතින් සියරට හිතින් පිටරට වසන කලුසුද්දෝ තමයි ජාතිය ගැන ඔය කථා කියන්නේ

      Delete
  3. කලා ඔය මෝය ආශ්‍රිතවද උරුවේල ජනපදය තිබුනේ? ඒ ගැන වැඩි විස්තර හොයාගන්න පුලුවන් පොත් මොනවාද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මේ පෝස්ට් එකේ ලිව්වා. සමහරවිට ඔබට මග හැරෙන්න ඇති (http://trisinhala.blogspot.com/2019/01/blog-post_27.html) විස්තර ලබගත් පොත් කිහිපයක් මූලාශ්‍ර යටතේ සඳහන් කරලා තියෙනවා

      Delete
  4. මගේ මතකය නිවැරදිනම් ජැක්සන් ඇන්තනී "මහා සංචාරය" පටන් ගත්තෙ කුදිර මලෙන්.. එයත් අනුමාන කරේ විජය බැස්ස තම්බපන්නිය ඔය කිට්‍ටුවේ තිබුනා කියලා තමා...

    එතකොට නැගෙනහිර වෙරලේත් කුදිරමලයක් තියනව ද? පුල්මුඩේ පැත්තෙ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා - දන්න තරමින් නැගෙනහිර වෙරලේ කුදිරමලෙයි යන නම සහිත ස්ථානයක් නැහැ

      Delete