Showing posts with label Pomparippu. Show all posts
Showing posts with label Pomparippu. Show all posts

Sunday, August 25, 2019

පාර දිගේ - මන්නාරම සිට විල්පත්තු මැදින් පුත්තලමට

තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා දිවෙන A14 මාර්ගයෙන් තල්අඩි පසුකර මද දුරක් ගියවිට දකුණු අතට යොමු වූ B403 මාර්ගය වන්කාලෙයි කුරුළු අභයභූමිය (මන්නාරමට දකුණින් පිහිටි වන්කාලෙයි තෙත් බිම සංචාරක සහ දේශීය පක්ෂි විශේෂ රැසකට වාස භූමිය වන බැවින් කුරුළු අභයභූමියක් ලෙස නම් කර ඇත.) හරහා වන්කාලෙයි ධීවර ගම්මානය මැදින් නානත්තාන් මංසන්ධිය දක්වා වැටී ඇත.  නානත්තාන් සිට අරුවි ආරු (මල්වතු ඔයෙහි පහල කොටස මේ ප්‍රදේශයේදී අරුවි ආරු ලෙසින් හැඳින්වේ) මතින් තනා ඇති පාලම හරහා B403 මාර්ගය අරිප්පුසිලාවතුරෙයි, කොන්ඩච්චි හරහා මරිච්චුකඩ්ඩි වෙත ගොස් අවසන් වේ. මාර්ගයේ එම කොටසේදී අරිප්පු කොටුව සහ ඩොරික් බංගලාව හමුවේ (ඩොරික් බංගලාව පිළිබඳව වීඩියෝව නැරඹීමට Link>>

කොන්ඩච්චි සිට මරිච්චුකඩ්ඩි දක්වා කොටසේ මාර්ගයේ වම් පස මෑතක් වන තුරුම කල් ආරු වන රක්ෂිතයට ( B403 මාර්ගයේ හමුවන කල්ආරු නම් වූ ඔය දෙපසින් එම රක්ෂිතය නැගෙනහිර දෙසට රට ඇතුලට විහිදේ) අයත්ව තිබූ මුත් ඊලාම් ත්‍රස්තවාදී ගැටළුව අවසන් වීමත් සමග අවතැන් වූ ජනයා නැවත පදිංචි කිරීමට මුවාවී වනාන්තරය එලි කරමින් මූලික වශයෙන් ඉස්ලාම් ජානපදිකයන් පදිංචි කිරීමේ ව්‍යාපාරයක් රිශාද් බදූර්දීන් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය. දේශපාලනිකව සහ පාරිසරිකව ලාංකීය සමාජයේ උණුසුම් පුවත් මැවූ එම අර්බුදය මේ වන තුරුද සාර්ථක ලෙසින් අවසන් වී නැත. ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

පැරණි ගම්මානයක් වන මරිච්චුකඩ්ඩි සිට මෝදරගම් ආරුව මතින් තනා ඇති පාලමින් එතෙර වූ පසු  පුත්තලම දක්වා වූ මාර්ගය විල්පත්තු ජාතික වනෝද්‍යානය  හරහා වැටී ඇත.. මරිච්චුකඩ්ඩි සිට එළුවන්කුලම, වනාතවිල්ලු හරහා පුත්තලම දක්වා ගමන් කල හැකි එම මාර්ගය B379 ලෙසින් නම් කර ඇත. මාර්ගයේ විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුලත කොටසේදී අතහැර දැමූ ගමක් සහ වෙල් යායක් සහිත පොම්පරිප්පුව හමුවේ. පොම්පරිප්පුව සම්බන්ධව වැඩිදුර විස්තර සඳහා  Link>>

විල්පත්තු වන උද්‍යානයේ දකුණු පස සීමාව වන කලාඔය හරහා මාර්ගය වැටී ඇත්තේ සපත්තු පාලමක් මතින් වන අතර කලාඔයේ වතුර මට්ටම ඉහල ගිය විට එම මාර්ගය වාහන ගමනාගමනය සඳහා සුදුසු නොවේ. තවද අධික වැසි සහිත සමයන්හීදී මෝදරගම් ආරු සිට කලාඔය දක්වා වූ බොරළු මාර්ගය ලිස්සන සුළු බැවින් 4WD වාහන නොවන අනෙකුත් වාහන ගමන්කිරීම අවදානම් සහගතය.

මල්විල පුරාවිද්‍යා භූමිය මෙම මාර්ගයේ පුත්තලමට පෙර  හමුවන කරදිපුවල් ප්‍රදේශයේදී නැරඹිය හැක. මල්විල පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

Sunday, June 2, 2019

පැරණි මගණ නගරය හෙවත් මෝදරගම් ආරුව අසල මුවදොරගම

කෝකිල සන්දේශය හෙවත් කොවුල් අස්නේ පොන්පරප්පුවෙන් පසු කොවුලාට හමුවන ගම වනුයේ මුවදොරගමය (පොන්පරප්පුව පිළිබඳ පෙර ලිපිය කියවීමට Link >>). මේ එම මුවදොරගම කෝකිල සන්දේශ කවියා වර්ණනා කල ආකාරයයි.

වතළ කැලුම් දසනග ලවනත හමුව
සිවුමැලි තුම් රන්ලිය නූ ලිය සුමුව
වෙත සිත පෙම් කර සිටිනා සලෙල මුව
දකු මනරම් මුවදොරගම තොද යොමුව

මෙහි අර්ථය මෙසේ පැහැදිලි කල හැක.

දත් කෙලවරෙන් විහිදුනා වූ කාන්ති ඇති, තොල් හමුව සුකුමාර වූ, උතුම් වූ රන් ලලනාවන් බඳුවූ, සියුමැලි වූ, ගැහැණුන් කෙරෙහි සිත් පෙම් වඩවමින් සිටිනා සල්ලාල ජනයා ඇති මනරම් මුවදොරගම ඔබ දැක ගන්න.

කෝට්ටේ යුගයට අයත් ක්‍රි.ව. 1440 - 1446 අතර කාලයේ රචිත ලෙස සැලකෙන කෝකිල සන්දේශය පවසන එම මුවදොරගම අද දක්නට නොමැත. එහෙත් එහි නම මෝදරගම් ආරු ලෙසින් ද්‍රවිඩ ඌරුවට වෙනස් වී මරිච්චුකඩ්ඩි නම් ගමට දකුණෙන් මුහුදට වැටෙන ගංගාවේ ශේෂව ඇත. කලා ඔයට පසු මන්නාරම දෙසට යාමේදී හමුවන එකම ප්‍රධාන ගංගාව මෝදරගම් ආරුව වන බැවින් එහි මුවදොර හෙවත් මෝය අසල පෙර තිබූ ගම මුවදොරගම ලෙස හඳුනාගැනීම නිවැරදි බව පෙනේ.
මෝදරගම් ආරුව මතින් වැටී ඇති මරිච්චුකඩ්ඩි - පුත්තලම B379 මාර්ගයහි පාලම
කෝකිලයාට අනතුරුව සසල වන්නා වූ තරංග පන්තියේ ක්‍රීඩා කරන්නා වූ මසුන් සහ පක්ෂීන් ඇති, මුතු සහ හක්ගෙඩි ආදියෙන් පිරී තිබෙන්නා වූ ගංගාවෙහි බැස එයින් එතෙර වන්නා වූ කාන්තාවන් දැක, මුසලිය නම් වූ එම ගංගාවේ මුවදොර අසලන් පියාසර කරන ලෙස කවියා පවසන්නේ මේ ආකාරයෙනි.

සසලිය තරඟ පෙළ කෙළෙනා දියාසර
අසලිය දිමුතු මුතු සක් පිරි දියාසර
බැසලිය පැන තරනා දැක කරැ පියාසර
මුසලිය මුවදොරින් සකි කර පියාසර


සයිමන් කාසි චිට්ටි මුදලියර් වරයාගේ Ceylon Gazetteer හි සඳහන් වන ලෙසට මූසාලි (Mosely) යනු මන්නාරම් ප්‍රදේශයේ එක් කොට්ඨාශයක් වන අතර එය නැගෙනහිරින් වන්නියෙන්ද (Wanny), බටහිරින් මුහුදෙන් (Gulf of Manaar) සහ දකුණින් මෝදරගම් ගංගාවෙන්ද (Moregam river), උතුරින් අරිප්පු ගංගාවෙන්ද (Arrippo river එනම් අරුවි ආරු නොහොත් මල්වතු ඔය) මායිම් වන ප්‍රදේශයයි. මෙහි බහුලව වෙසෙන්නේ ප්‍රතිවිරුද්ධ මුහුදු වෙරලේ සිට එනම් ඉන්දියානු අර්ධද්විපයේ නැගෙනහිර වෙරලේ සිට පැමිණි යෝනක ජනයා (Moors) වන අතර මුළු මුසාලි ප්‍රදේශයේම ගම් 85 ඒ වන විට තිබී ඇත. මුතු කිමිදීම මෙන්ම ගොවිතැනද ඔවුන්ගේ ජිවනෝපාය මාර්ග වී ඇති අතර ප්‍රදේශයේ බහුලව සිටි අලි ඇල්ලීමද එක් සුවිශේෂ යෝනක කොට්ඨාශයක් විසින් සිදු කර ඇත. ඒ අනුව කෝකිල සංදේශයේ සඳහන් වන මුසලිය යන ස්ථාන නාමයද පසු කලක මෝදරගම් ආරුවත්, අරුවි ආරු හෙවත් මල්වතු ඔයත් අතර ප්‍රදේශය හැඳින්වීම උදෙසා කාසි චිට්ටි මුදලියර්වරයා සිය ග්‍රන්ථය රචනා කරන වර්ෂ 1834 දක්වාම තිබී ඇති අතර, අදද මුසලි ලෙසින් ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයක් එම ප්‍රදේශයේ ඇති අතර එහි මුසලි නම් වූ ගමක්ද ඇත (නමුත් එම ගම පිහිටා ඇත්තේ මෝදරගම් ආරු මුවදොරේ සිට සැතපුම් 15 පමණ උතුරින් සිලවතුරෙයි අසලය ).
මෝදරගම් ආරුව මතින් වැටී ඇති මරිච්චුකඩ්ඩි - පුත්තලම B379 මාර්ගයහි පාලම
පසුගිය වසර කිහිපයක් පුරා මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වූ 'විල්පත්තු' වනය වනසා ඉස්ලාම් ජනපදකරණය කිරීම පිළිබඳව වූ සිදුවීම් සැබවින්ම සිදුවන්නේ මෙම මුසලි කලාපයේ වන අතර මෝදරගම් ආරුවත්, කලා ඔයත් අතර පිහිටි විල්පත්තු ජාතික උද්‍යානයේ කිසිදු ජනපදකරණයක් ඇත්ත වශයෙන්ම සිදුවී නොමැත. කෙසේ නමුත් රැකිය යුතු ස්වභාවික වනාන්තරය අක්කර 2000-3000 අතර ප්‍රමාණයක් මෙම අන්තවාදී ඉස්ලාම් ජනපදකරණය මගින් විනාශ වී ඇති අතර, මෙම ප්‍රදේශයම ඒ සඳහා තෝරාගැනීමේ සහ එය ප්‍රධාන මාර්ගය දෙපස පටු තීරුවක් ඔස්සේ සැලකිය යුතු දුරක් ඔස්සේ විහිද යන ලෙසින් සිදුකිරීමේ දිගු කාලීන අන්තවාදී අරමුණු ඇති බවද පෙනේ. ශිඝ්‍රයෙන් වැඩිවන ජන වර්ධනයක් සහිත ඉස්ලාම් ජානපදිකයන්ට අවශ්‍යය අනාගත ඉඩම් ඔවුන්ට පහසුවෙන් දැනට මාර්ගය දෙපස ඉදිවී ඇති නිවාස වල සිට විශේෂයෙන් නැගෙනහිර දෙසට රට තුලට ඇති වනාන්තර විනාශ කරමින් ලබාගත හැකි අතරම, හලාවත සිට මන්නාරම දක්වා හෝ තව දුරටත් යාපනය දක්වාම මුළු බටහිර වෙරලම අනාගත පුංචි අරාබියක් බවට පත් කර ගැනීමද කර ගත හැක.



##2019 වසර වන විට විලපත්තු වන උද්‍යානයට උතුරින් කල් ආරු සිට මරිච්චුකඩ්ඩි දක්වා සිදු කර ඇති වන විනාශය සහ ජනාවාසකරණයෙන් කොටසක් දැක්වෙන කෙටි වීඩියෝවක් ##

මෙම වන විනාසය සහ එක් ජන කොටසක් පමණක් පදිංචි කරමින් අනාගත ආගමික අන්තවාදී අරමුණු ඉටු කරගැනීම උදෙසා ජඩපාලනයේ ප්‍රබල ඇමතිවරයෙකු ගෙන යන වැඩ පිළිවෙල පැරදවිය යුතු මුත්,.ආරම්භයේ සිටම පරිසර සංවිධාන සහ සිංහල ජාතිවාදි හෙල කරුම වල අතුරලියෙන්, පාහියන්ගලින් මතු වන සිවුරු ඇඳගත් පිල්ලි සහ ජනතා විපත්ති පෙරමුනේ ජාතික ලැයිස්තු වල නම් සහිත "පරිසර සහෝදරවරු" එම ප්‍රශ්ණය සිය දේශපාලන අරමුණු උදෙසා 2014 හෝ ඊට පෙර සිටම යොදාගත් අතර ගත යුතු නිවැරදි පියවර ගනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන පරිසර යුක්ති කේන්ද්‍රය පමණි. ඒ මෙම විනාශය වලකා එම ජනපද එම ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා නඩු මගට යොමු වීමය. එහෙත් ලොව කිසි තැනක සිදු නොවන අරුම පුදුම සිදුවීම් සිදුවන ලෝකයේ එකම රට වන මෙරට සිව් වසරක් පුරා ඇසූ එම නඩුවේ තීන්දුව දිය නොහැකි යැයි පවසමින් නඩුකාර තුමා සති කිහිපයකට පෙර ඉල්ලා අස් වූ පසු, වෙනත් විනිසුරන් දෙදෙනෙකු යටතේ නඩුව තවත් වසර ගනණාවක් යලිත් අසන්නට පටන් ගැනීම පැහැදිලි කර දිය හැක්කේ කෙසේදැයි අපට නොවැටහේ. දැන් තවත් වසර කිහිපයක් පෙර කී දේශපාලකයන්ට  "ඊණියා විල්පත්තු විනාශය" සිය අරමුණු උදෙසා තොරොම්බල් කල හැක. 
මරිච්චුකඩ්ඩි - පුත්තලම B379 මාර්ගය විල්පත්තු ජාතික වන උද්‍යානය තුලදී
මග නගරය
කෙසේ නමුත් අපගේ මෙම ලිපියේ අරමුණ 15 වන සියවසේ මුවදොරගම ලෙසින් හැඳින්වූ මෝදරගම් ආරුව අවට පැරණි ජනාවාස ව්‍යාප්තව තිබූ ආකාරය සහ එහි ඉතිහාසය පිළිබඳව විමසා බැලීමය. බ්‍රාහ්මි අක්ෂර වලින් රචිත ලිපි සහිත කටාරම් කෙටූ ලෙන්, නටබුන් වූ ස්ථූප ආදියෙන් සමන්විත පැරණි විහාර සංකීර්ණයක නටබුන් විල්පත්තු වන උද්‍යානය තුල ඔච්චප්පුකල්ලු නම් වන ස්ථානයක පිහිටා ඇත. එහි ඇති පර්වත ලිපියක් මෙරට සෙල් ලිපි ගවේෂණයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් මෙන්ම හෙන්රි පාර්කර් සහ H.W. කොඩ්රිංටන් වැනි වියතුන් කිහිප දෙනෙකුගේම අවධානයට යොමුවිය. පසුව සෙනරත් පරණවිතාන මහතාද එය කියවා ප්‍රකාශයට පත් කර ඇත. නක මහරජුගේ පුතු වන මලිතිස මහරජු විසින්  මග නගරයේ වසන වවලවි මිතයට අයත් චුදතක වවිය (සුදත්ත වැව)  මතක වවිය (මත්තක වාපිය), ජබො අවිය (ජම්බු වාපි හෙවත් දඹවැව) සහ තලවන වවි (තාල වනය වැව) යන වැව් හතරේ ආදායම කුබ වෙහෙරේ විවිධ කටයුතු සඳහා පවරා දීම එමගින් සිදුකර ඇත. මෙම මලිතිස රජු වංශ කතාවේ කණිට්ඨතිස්ස (ක්‍රි. ව. 167 - 186) ලෙසින් හැඳින්වෙන රජු ලෙස හඳුනාගෙන ඇත. 

ලිපියේ ගමණි අබය ලෙසින් හැඳින්වෙන මහාදාතික මහානාග (ක්‍රි. ව. 7- 19) රජුගේ මිහින්තලේ පර්වත ලිපියේද චෙතියගිරි  විහාරයට එනම් මිහින්තලයට මග නගරයේ පොල් ඉඩමක් පැවරූ බව පැවසේ. තවද H.C.P. බෙල් මහතා විසින් සොයාගත් මෝදරගම් ආරුවේ සිට සැතපුම් 1.5 පමණ දුරකින් පිහිටි සින්න ආඬියාගල ලෙසින් හැඳින්වෙන ගල් පර්වතයක ඇති සෙල්ලිපියකද වසභ රජු (ක්‍රි. ව. 67 - 111 විසින් දක්ඛිණි විහාරයේ ඔහු විසින් සෑදූ උපෝසථාඝාරයේ උපෝසථ දින වල බුමුතුරුණු එලීමේ උත්සවය සඳහා පැමිණෙන භික්ෂූන්ට ආහාර සැපයීම සඳහා කළපහණක වවි හෙවත් කළුපහණ වැව කහපණ 5000 ගෙවා මිලදී ගෙන, එය මංගණ නගරයේ පවුල් 50 කට පවරා ඔවුන්ට එම වගකීම පැවරූ බවක් පැවසේ. මහාවංශයේ වසභ රජු විසින් කරවූ වැව් අතර මංගණ නම් වූ වැවක නමක්ද ඇත. මහාවංශයේ ධාතුසේන රජු (ක්‍රි. ව. 455 - 473) මංගණ විහාරය කරවූ බව පැවසෙන මුත් එම මංගණ විහාරය පිහිටියේ මංගණ නගරයේද යන්න පැහැදිලි නැත
මෝදරගම් ආරුව 
සිහළවත්ථුප්පකරණයේ එන මංගණවාසී තෙරුන්ගේ කථාවේ පැවසෙන පරිදි රජු අනුරාධපුරයේ සිට එම තෙරුන් හමුවීමට පස් යොදුනක් පමන දුර පයින්ම ගොස් ඇත. ඒ අනුව මංගණ නගරය (මංගණ යනු මගණ යන්නෙහි  පාලි ස්වරූපයයි) අනුරාධපුරයේ සිට යොදුන් 5 පමණ දුරින් තිබී ඇති බව පෙනේ. ක්‍රි.ව. 2 වන ශතවර්ෂයට අයත් ටොලමිගේ ලංකා සිතියමේ Modouttou ලෙසින් හැඳින්වෙන මහාතිත්ථයට දකුණින් Margana ලෙසින් ලකුණු කර ඇත්තේ මගණ නගරය ලෙස සැලකේ. ඒ අනුව C.W. නිකොලස් විසින් මෝදරගම් ආරුවේ මුවදොර අසල උතුරට වන්නට මුල්ලිකුලම්හි පිහිටි දැනටද පොළව මතද ඇතැම් ලකුණු දැකිය හැකි වැළලුනු නගරය මගණ ලෙස අනුමාණ කරයි (පහත සිතියම බලන්න). 

[ස්වස්ති] තතු  දත් වි හි[න්ද] ගී
තමන් පිය න්ට් සෙවින් අදන්  වැ නොබණනන්
මොයුන් බෙයන්ද්හි අද්හ යෙත් (බණා ත ) අ (ප හය් )නොදහම්
මගණවැ සෙ (න්මි )

මගණ වැසි සෙන් විසින් ලියා තැබූ ඉහත ගීය සිගිරියේ කැටපත් පවුරේ දැකිය හැක. 

පිල්මඩු තෙක්කම සහ ඔච්චප්පුකල්ලු 
මරිච්චුකඩ්ඩි සිට සැතපුම් 12 පමණ දුරින් මෝදරගම් ආරුවේ පිහිටි පැරණි අමුණක් හෙවත් තේක්කමක් පිළිබඳව වර්ෂ 1867 සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයා වූ W.C. Twynam හට මුසලි හි අධිකාරිවරයා (Adigar) විසින් හෝඩුවාවක් ලබාදේ. ඒ ඔස්සේ එහි ගවේෂණයක යෙදෙන ටයිනම් හට එම අමුණ, ඒ අසල මෝදරගම් ආරුවට උතුරින් වූ වැව සහ නටබුන් වූ දාගැබක් හමුවේ. එම තේක්කම අරුවි ආරුවෙහි තේක්කමට (අරුවි ආරුවේ තේක්කම පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට Link >>) බෙහෙවින්ම සමාන බවත්, අඩි 310 පමණ දිග වූ එහි උතුරු කොටසේ අඩි 200 පමණ විනාශ නොවූ තත්වයේ තිබූ බවත් ඔහු වාර්තා කර ඇත. උපරිම උස අඩි 9 අඟල් 6 පමණද, අඩි 33 පමණ පළලින්ද එය ඒ වන විට තිබී ඇත. බැම්මට උතුරින් අඩි 20 ක් පමණ පළල් වූ ගැඹුර අඩි 6 වූ ඇල මාර්ගයක් මගින් ජලය සැතපුම් 8 පමණ දුරින් වූ වැව වෙත ගෙන යන බව ඔහුට දැනගන්නට ලැබී ඇත. එම වැව පෙරියකට්ටු වැව ලෙසින් හඳුන්වා ඇති අතර Twynam  එය ඈතින් දුටු බව පවසයි. පසු කලක එම ස්ථානයට යන හෙන්රි පාර්කර් හට සැතපුමක පමණ බැම්මක් සහිත අක්කර 1000 ක පමණ කුඩා වැවක් හමුවන මුත් එය ඉහත තෙක්කම මගින් හරවා ඇල මාර්ගය ඔස්සේ ජලය රැගෙන එන වැව විය නොහැකි බව බ්‍රෝහියර් පවසයි. ඔහුට අනුව පෙරියකට්ටු වැව මිනින්දෝරුවන්ට තවමත් හමු නොවී ඝන වනාන්තරය තුල සැඟව තිබෙනවා විය හැක.

පසුදින එතැන් සිට දකුණු දෙසට ගම න් කල ඔහුට පර්වත සහිත පෙදෙසකට ලගාවන්නට හැකිවී ඇති අතර ඉන් එක් පර්වතයක් මත නටබුන් වූ දාගැබක් තිබූ බව ඔහු පවසයි. පර්වතය පාමුල කුඩා වැවක් ඔහුට දැකගන්නට හැකි වී ඇති අතර අසල වූ අනෙක් පර්වතය මතද දාගැබක නටබුන් දැක ඇත. මේම ස්ථානය තේක්කමේ සිට සැතපුම් 2 ක පමණ දුරින් වූ බව ඔහු පවසයි.  ස්තානයේ විවිධාකාර ගල් කණු සහ ගඩොල්ද දැක ගන්නට හැකි වූ බව ඔහු මෙන්ම ඒම වර්ෂයේදීම තෙමසකට පෙර (1867 අප්‍රියෙල්) එම ස්ථානයට ගිය Macready සහ Atherton යන අයද වාර්තා කර ඇත. මෙම ස්ථානයේ වූ සෙල් ලිපිය පිළිබඳවද ඔවුන් සටහන් තබා ඇති අතර ඒ අනුව පහසුවෙන් මෙම ස්ථානය ඉහත විස්තර වූ ඔච්චප්පුකල්ලු ලෙස හඳුනාගත හැක. 

අඟලේ සිතියම් ආශ්‍රයෙන් සකසා ගත් ඉහත සිතියමට අනුව මෝදරගම් ආරු ද්‍රෝනියේ පැරණි වැව් දැකිය හැක්කේ එහි මෝයට ආසන්නව බව වටහා ගත හැක. බොහෝවිට ඉහත පිල්මාඩු තෙක්කම මගින් ජලය එම වැව් වෙත ගෙන එන්නට ඇත. මෝදරගම් ආරු මුවදොර දෙපස හෝ නිකොලොස් පවසන පරිදි එහි දකුණු ඉවුර්‍රේ මුල්ලිකුලම අසල පැරණි මගණ හෙවත් මංගණ නගරය තිබෙන්නට ඇති අතර කෝකිල සන්දේශය රචනා කරන යුගය වන විට පැරණි රජරට ශිෂ්ඨාචාරය අතුරුදන් වූ අවධිය වන බැවින් මගණ නගරයද එහි පැරණි ශ්‍රි විභූතිය නැතිවී ගොස් මුවදොර ගමක් බවට පත්වන්නට ඇත. එය මෝදරගම් ආරුවේ වම් ඉවුරේ එහි මුවදෝර පිහිටි බව කෝකිල සන්දේශයෙහිම පැවසේ. පැරණි මංගණ නගරය කුබි වෙහෙර හෙවත් වර්තමාන ඔච්චප්පුකල්ලුහි පිහිටි ආරාම සංකීර්ණයේ විසූ භික්ෂූන්ට ගොදුරු ගමක් වන්නට ඇත. එපමණක් නොව සශ්‍රික මංගණ නගරය මිහින්තලයේ සහ දක්ඛිණි විහාරයේ විසූ භික්ෂූන් පවා නඩත්තු කල බව ඉහත සෙල්ලිපි සාධක සාක්ෂි දරයි.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Ancient Irrigation Works in Ceylon, Part Two, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Wilpattu, Villus and Beyond, Compiled by Vimukthi Weeratunga, 2009
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983
  • Inscriptions of Ceylon Vol II, Part 2. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kaniththatissa (164 - 192 A.D) to Mahasena(140-276 - 303 A.D). Senarat Paranavitana, 2001
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • ඉතා පැරණි සිංහල බණ කථා පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමි, 2001
  • කෝකිල සංදේශය 
  • Ancient Ceylon, H. Parker, 1909
  • Margana, Notes & Queries, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society (Ceylon) Vol XXVIII No 73 - 1920
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004

Sunday, January 27, 2019

පැරණි මහවැලිගම නොහොත් උරුවේල පටුන් ගම සහ කෝකිලයා දුටු පොන්පරප්පුව

එළුවන්කුලම වැව (සිතියමේ අංක 4 ස්ථානය)
විජය පුරාවෘත්තයේ කියැවෙන ලෙසට විජය සමග පැමිණි ඇමතියෙක් උරුවේල නම් වූ ගමක් ඉදි කල බව මහාවංශයේ දැක්වේ. පණ්ඩුවාසුදේව රජු සිය මෙහෙසිය ලෙස අභිෂේක කල භද්දකච්චානා දේවියගේ ලංකාවට පැමිණි සොයුරන් සය දෙනා අතර වූ උරුවේල නම් අයෙක් විසූ තැන එනම් වූ බව මහාවංශයේ පසුව එන ගාථාවකද සඳහන් වේ. මහාථූපය ඉදි කිරීම උදෙසා දුටුගැමුණු රජුට අනුරාධපුරයෙන් බටහිර දෙස පස්යොදුන් පමණ තැන උරුවේල පටුනෙහි (උරුවෙලපට්ටනෙ) මුහුදු වෙරළෙහි මුහුදු රළපහරින් ගොඩගසන ලද පබළු සමග නෙල්ලි ගෙඩි තරම් වූ මුතු පහල වූ බවද එහිම පසුව සඳහන් වේ. සුභ රජු (ක්‍රි.ව. 60-70) උරුවේල අසල වල්ලි විහාරය කල බව උරුවේල නම් වූ නගරය හෝ ගම සම්බන්ධයෙන් මහාවංශයේ එන අවසාන සඳහනයි.
B379 මාර්ගයේ සපත්තු පාලම මතින් ගලා යන කලා ඔය (සිතියමේ අංක 3 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය)
මහාවංශයේ ටීකාව වූ වංසත්ථප්පකාසිනීය දඹදිව වූ 'උරුවෙලායං' ගැන අර්ථ දැක්වීමේදි 'උරු' යනු වැලි බවත් 'වෙලා' යනු 'සීමා' බවත්, ඒ අනුව උරුවෙලා යන්නට 'මහාවැලිතලායෙහි' යන නිරුක්තිය දිය හැකි බවත් පැහැදිලි කරයි. කසයන් දේවියගේ (භද්දකච්චායනා දේවිය) සොහොයුරුන් දස දෙනෙකු ගැන පවසන පූජාවලිය ඔවුන් අතරින් උරුවෙල නම් ශාක්‍යයන් විසූ තැන් මහවැලිගම් නම් වූ බව පවසන බැවින්, ඉහත අර්ථ නිරූපනයටද අනුව උරුවේලා ලෙසින් පෙල බසින් හැඳින්වූ ග්‍රාමය මහවැලිගම ලෙසින් හෙළ බසින් හැඳින්වූ බව පැහැදිලිය. උරුවෙල් නම් ශාක්‍ය කුමාරයා විසූ තැන විල්බා නම් නුවර වූ බව පසු කාලීන වංශ කතාවක් වන රාජාවලිය සඳහන් කරයි. ඒ අනුව විල්බා යන නමද පසු කාලීනව මහවැලිගමට ව්‍යවහාර වූවා විය හැක.
පැරණි වැව් ආශ්‍රයෙන් වගා කල කුඹුරු තිබූ ප්‍රදේශ හරහා යන B379 මාර්ගය (සිතියමේ අංක 2 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය )
වලි වෙහෙර නටබුන් 
විල්පත්තු වනෝද්‍යානය තුලින් වැටී ඇති පුත්තලම - මන්නාරම මාර්ගයේ (* පාදක සටහන බලන්න) හමුවන පොම්පරිප්පු මෙගලිතික් සුසාන භූමියේ බරණි සූසාන (Urn burials) විසිරී ඇති ප්‍රදේශයේ, එම මාර්ගයට සැතපුමක් පමණ නැගෙනහිර දිශාවට වන්නට වනාන්තරයට යටවී ඇති පැරණි ස්තූපයක නටබුන් හමුවේ. සෙනරත් පරණවිතාන මහතා 1956 වර්ෂයේදී මුල් වරට මෙම ස්තූපය අවට ගවේෂණයක් සිදු කර එම නටබුන් ස්ථානය පුරාණ වලි වෙහෙර බවට එහි තිබී හමුවූ 8 වන සියවසට අයත් ශිලා ලිපියක් ආශ්‍රයෙන් සොයාගෙන ඇත. පැරණි කාසි කිහිපයක්ද මෙහි තිබී ඔහුට හමුවේ. නැවත 1977 වර්ෂයේදී මෙම ස්ථානයේ කැනීමක් සිදු කර ස්තූපයේ සලපතල මළුවේ තිබී  9 වන ශතවර්ෂයට අයත් විවිධ ප්‍රදානයන් සිදු කල සෙල් ලිපි කිහිපයක් මෙන්ම, ස්තූපයේ සිව් කොනේ ගඩොලින් කල කුටි තුල ශෛලමය ආසන මත තබා තිබූ හුණුගලින් නිර්මිත හිඳි බුදු පිළිම හතරක්ද මතු කරගැනීමට ශරත් වත්තල මහතාගේ අධීක්ෂණයෙන් කැනීම් සිදු කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකිවේ. ස්තූපයේ අවධි දෙකකදී ඉදිකිරීම් කර ඇති බවටද සාධක මෙහිදී හමු වී ඇත.
පැරණි වැව් ආශ්‍රයෙන් වගා කල කුඹුරු තිබූ ප්‍රදේශ (සිතියමේ අංක 2 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය
එම කැනීම් සහ සංරක්ෂණ කටයුතු 1979 වර්ෂය වන විටත් සිදුවෙමින් තිබී ඇති අතර එම ස්ථානයට ලඟාවීම සඳහා පුත්තලම් - මන්නාරම මාර්ගයේ සිට කැලය මැදින් සැතපුම් 2.5 ක ජීප් රථ යා හැකි මාර්ගයක්ද කපා ඇත. කෙසේ නමුත් දෙමළ ජාතිවාදීන්ගේ ත්‍රස්තවාදී ප්‍රශ්නය සමගින් එම කටයුතු ඉදිරියට යාම සිදු නොවන්නට ඇති අතර අද වන විට එම ප්‍රදේශය නැවතත් වන ප්‍රවාහය විසින් වසාගෙන ඇතිවා වන්නට පුළුවන.

උරුවේලා නුවර හඳුනාගැනීම
අනුරාධපුරයට යොදුන් 5 ක් එනම් සැතපුම් 40-50 පමණ බටහිර දෙසින් උරුවේලා පටුන තිබූ ලෙස මහාවංශයේ එන සඳහන සහ ඉහත පොම්පරිප්පු අසල හමුවන වලි වෙහෙර සුභ රජු උරුවේල අසල ඉදි කල වල්ලි වෙහෙර ලෙසින් හඳුනාගැනීම නිවැරදි ලෙස ගතහොත් පහසුවෙන්ම පැරණි උරුවේලා ග්‍රාමය හෝ පටුන් ගම හෝ නගරය කලා ඔය මුවදොර එහි දකුණු ඉවුරෙන් උතුරු දෙසට පිහිටි ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. සාපේක්ෂව වැව් දුලබ මෙම කලාපයේ කලා ඔය නිම්නයේ සරුසාර දියළු පස (Alluvial Soil) ආශ්‍රිතව ලොකු කුඩා වැව් පද්ධතියක්ම දැකිය හැකි වීමද එම හඳුනාගැනීම නිවැරදි බවට තවත් සාධකයකි (සිතියම 1). ඓතිහාසික යුගයට පෙර සිටම මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට ක්‍රි.පූ. 500-100  පමණ යුගයට අයත් විය හැකි යැයි විශ්වාස කරන බරණි සොහොන් 8000-10000 අතර ප්‍රමාණයක් මෙම සමතලා බිමේ විසිර තිබීමෙන්ද තහවුරු වේ.
සිතියම 1 - කලා ඔය මුවදොර අවට පැරණි වැව් වල පිහිටීම, වලි වෙහෙර සහ පොම්පරිප්පු, ඉහත ඡායාරූප ගත් ස්ථාන මෙහි ඡායාරූපයේ අදාල අංකයත් සමග සලකුණු කර ඇත 
උරුවේලා සිට අනුරාධපුරයට වැටී තිබූ මාර්ගය කරෙයිතිව්, පෙරියවිල්ලු හරහා විරඳගොඩ ඔස්සේ වැටි තිබූ බවට හඳුනාගෙන ඇති අතර එම මාර්ගයේ නටබුන් මුහුදු බඩ ගම්මානයක් වන පෙරියවිල්ලු පෙදෙසේදී දැකිය හැකි බව මෙරට පැරණි මාර්ග පද්ධතිය පිළිබඳව ගවේෂණය කරන P. විදානපතිරණ මහත්මිය පවසයි. එම මාර්ගයේ පිහිටීම අනුව උරුවේල වරාය කලා ඔයේ වම් ඉවුරේ එහි  මුවදොර අසල තිබෙන්නට ඇති බව එතුමිය අනුමාණ කරයි. දැනට එහි කිසිදු සාධකයක් පොළාව මතුපිට දැකගත නොහැක.

දෙව් සිරිසර දිසි වන රන් පරප්පුව
කොව් ලඟනක සමගව වැස සරප්පුව
එ ව් මිරස බිඳ මී අඹ තරප්පුව
සව් සැපතින් යුතු දකු පොන් පරප්පුව
පොම්පරිප්පු ආර හරහා වැටී ඇති B379  මාර්ගය ( සිතියමේ අංක 1 ස්ථානය)
කෝට්ටේ යුගයට අයත් ක්‍රි.ව. 1440 - 1446 අතර කාලයේ රචිත ලෙස සැලකෙන කෝකිල සන්දේශය හෙවත් කොවුල් අස්නේ එන ඉහත පද්‍යයෙන් විස්තර වන ප්‍රදේශය කෝකිලයාගේ ගමන් මග අනුව ඉහත විස්තර වූ මහවැලි ගම හෙවත් උරුවේල ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. සැම සම්පත්තියකින්ම යුක්ත වූ පොන්පරප්පුව යන ගම දැක ගන්නා ලෙසට කවියා එමගින් කෝකිලයාට පවසයි.

1834 වර්ෂයේ සයිමන් කාසි චිට්ටි මුදලියර් වරයාගේ Ceylon Gazetteer හි පොම්පරිප්පු පිළිබඳව විස්තරයක් හමුවේ. එතුමා පවසන ලෙසට පොම්පරිප්පු යන්නෙහි අදහස Golden plains හෙවත් රන්වන් තලාව වේ. එම ප්‍රදේශයේ සරුසාර පස එම නම භාවිතා වීමට හේතු වන්නට ඇති බවය ඔහුගේ අදහස. පොම්පරිප්පු ලෙසින් හැඳින්වූ කුඩා ගම්මානයට පමණක් නොව නැගෙනහිරින් නුවරකලාවියෙන් , සහ දෙමළ පත්තුවෙන්ද, උතුරින් මෝදරගම් ඔයෙන්ද (Moderegam river) බස්නාහිරින් කල්පිටිය බොක්කෙන්ද (Gulf of Calpentyn) වටවූ විශාල පළාතටද එම නම ව්‍යවහාර වූ බව ඔහු පවසයි. එම ප්‍රදේශයේ පුද්ගලයන් 498 වාසය කර ඇති අතර ගම්මාන 35 ක ඔවුන් ජීවත් වී ඇත. ශක වර්ෂ 1469 (ක්‍රි.ව. 1547)  මුක්කුවා ප්‍රධානියෙක් වන නවරත්න වන්නියා වෙතට මෙම ප්‍රදේශය සීතාවක රජවාසලින් නිකුත් කල තඹ සන්නසකින් පවරා තිබූ නමුත් ඔහුගේ මරණින් පසුව එය වෙනත් පුද්ගලයන් අතට පත්වූ බවත් ඔහු පවසයි. 1822 කැප්ටන් Gualterus Schneider ගේ සිතියමේ එම පළාත සලකුණු කර ඇත්තේ මේ අයුරිනි.
සිතියම 2 - 1822 දී කැප්ටන් Gualterus Schneider සකස් කල සිතියමක පොම්පරිප්පු දිස්ත්‍රික්කය ලකුණු කර ඇති අයුරු. එම සිතියමේ සලකුණු කර ඇති කරෙයිතිව් සහ පොම්පරිප්පු මෙන්ම පැරණි මාර්ගද (දුඹුරු පාටින්) මතු කර ඇත.
 පොම්පරිප්පු නම් වූ ගම පුත්තලමේ සිට සැතපුම් 31 දුරින් විශාල තැනිතලාවක පිහිටා තිබූ බවත් එහි ගල් වලින් තනා තිබූ තානායමක්ද (Rest house built of stone) ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 1881 ජන සංගණනයට අනුව පොම්පරිප්පු ග්‍රාමයේ නිවාස 7 ක පුද්ගලයන් 22 සිට ඇති අතර 1891 එය නිවාස 3 ක පුද්ගලයන් 11 දක්වා පහත වැටී ඇත. 1901 වන විට තිබී ඇත්තේ එක් නිවසක් පමණි. පුද්ගලයන් 5 කි. ඔවුන් ද්‍රවිඩ ජනවර්ගයට අයත් ක්‍රිස්තියානි ආගම අදහන 4 ක් සහ එක් හින්දු බැතිමතෙක් වූ බව පැවසේ. පොම්පරිප්පු පත්තුවේම මුළු ජනගහණය 1901 වන විට පුද්ගලයන් 53 වී තිබූ අතර නිවාස තිබී ඇත්තේ 5 පමණි. එයින් 6 ක් පහත රට සිංහල වූ අතර 47 ද්‍රවිඩ විය. ඉන් බහුතරය හින්දු ආගම ඇදහූවන් වූ අතර (34) සෙස්ස ක්‍රිස්තියානි (14) සහ බෞද්ධ (5) විය.
පොම්පරිප්පු ආර  ( සිතියමේ අංක 1 ස්ථානය)
මේ වන විට මෙම සියළු ප්‍රදේශ විල්පත්තු වනෝද්‍යානය තුල පිහිටා ඇති හෙයින් පූර්ව ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස පැවති උරුවේල හෙවත් මහවැලිගම නොහොත් පසුව පොම්පරිප්පු (හෝ කෝකිල සන්දේශයේ දැක්වෙන ලෙසට පොන්පරප්පුව ) පෙදෙස අද වන විට එවන් මානව ක්‍රියාකාරකම් නීත්‍යානුකූලව තහනම්, වන සතුන් උදෙසා වෙන්වූ කලාපයක් බවට පත් වී ඇත. අනාගතයේ කිසියම් දිනක නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ මෙම ප්‍රදේශය තුල සිදු කලහොත් වන ප්‍රවාහය විසින් වසා ගත් බොහෝ තොරතුරු සොයා ගත හැකි වනු ඇත.

* ඇත්ත වශයෙන්ම මෙම මාර්ගයේ මුල් කොටස B379 ලෙසින් හැඳින්වෙන පුත්තලම - මරිච්චුකඩ්ඩි මාර්ගයයි. එතැන් සිට වන්කාලෙයි දක්වා B403 මාර්ගය ඔස්සේ මන්නාරම දෙසට ලගාවිය හැක. වන්කාලෙයිදි B403 මාර්ගය තලෙයිමන්නාරම දක්වා යන මැදවච්චිය සිට එන A14 මාර්ගයට එක්වේ.

මූලාශ්‍ර
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Ancient Irrigation Works in Ceylon, R.L. Brohier, 1934
  • Wilpattu, Villus and Beyond, Compiled by Vimukthi Weeratunga, 2009
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Administration Report of the Commissioner of Archaeology for the Year 1979, de Silva R.H. & Karunaratne W.S.
  • Administration Report of the Commissioner of Archaeology for the Years 1970-1977, de Silva R.H.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහාස්ථවිර, 1927
  • Gazetteer of the Puttalam District of the North-Western Province of Ceylon, Frank Modder, F.R.G.S., 1908
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ  මොග්ගල්ලාන සංස්කරණය මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012