1914 වසරේ මැයි 17 වන දින එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ E.R. අයර්ටන් අනුරාධපුරයෙන් පිටත් වී දකුණු පළාතේ සංචාරයක් අරඹයි. එහෙත් ඔහුට කිසිදා නැවතත් ආපසු ඒමට අවස්ථාවක් නොලැබෙන්නේ එම වසරේම මැයි 17 වන දින හරියටම මාස තුනකට පසු එම සංචාරය අතරතුර ඔහු තිස්ස වැවේ ගිලී මිය යන බැවිනි. කෙසේ නමුත් සංචාරය අතරතුර ඔහු ආගිය ස්ථාන පිළිබඳව සිය දිනපොතේ තැබූ සටහන් පසු කලක Ceylon Antiquary and Literary Register කලාප කිහිපයක පලවේ. අයර්ටන් මේ සංචාරයේදී තිස්ස වැවට නැගෙනහිරෙන් වූ අකුරුගොඩ නම් වූ ප්‍රදේශයෙන් පස් වලින් වැසී ගොස් තිබූ සෙල් ලිපියක් සහිත ගල් ටැඹක් සොයාගනී. ඔහු එහි Estampage පිටපතක්ද ලබාගනී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිබූ එම Estampage පිටපත ඇසුරින් පසු කලක (1945 දී) මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එම ලිපිය කියවා රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට මෙරට පද්‍යයෙන් ලියැවුණු බ්‍රාහ්මි සෙල් ලිපි පිළිබඳව ඔහු සැපයූ ලිපියකට එහි විස්තරද ඇතුලත් කරයි. (මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුනාගන්නා ලෙසට වෙනත් බොහෝ පැරණි සෙල් ලිපි මෙන් නොව මෙම ලිපිය ලියැවී ඇත්තේ පද්‍යයක් ලෙස විරිතකට අනුවය.) එහෙත් එම ටැඹ අයර්ටන්ගෙන් පසු ගතවූ කාලයේ නැවතත් සොයාගත නොහැකි වන ලෙසට පසෙන් වැසී ගොස් තිබී ඇති අතර එය තිබූ තැන පිළිබඳව කිසිවෙකු දැන සිට නැත. නැවත ප්‍රදේශවාසීන්ගෙන් කරුණු විමසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය සොයාගන්නේ 1951 වසරේදීය.
|
අකුරුගොඩ ටැම් ලිපියේ අක්ෂර |
එම වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයේ ඒ වනවිට යම්තම් පොළොවෙන් මතුවී පෙනෙන්නට තිබූ මෙම අටපට්ටම් හැඩැති කුළුන පිහිටුවීමේ අරමුණ පිළිබඳව සොයා බැලීම උදෙසා කැනීමක් සිදු කරන අතර එහිදි හෙලිවී ඇත්තේ මෙම කුළුන භූමියේ සිටුවීමට පාදමක් ඉදිකර තිබී නැති බවත්, එය පොළොව මත ගිල්වා වඩාත් ශක්තිමත් කිරීමට සක්ක ගල් සහ වෙනත් ගල් පුවරු යොදාගෙන ඇති බවත්ය. මෙහිදී එම එක් ගල් පුවරුවක තිබී අඟල් 6 ක් පමණ විශාල වූ පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් රචිත තවත් ලිපියක් හමුවේ. එහි මහ රජුගේ අයබදු නිලධාරියා (අයක) වූ පරුමක පුශදෙව ගේ පොකුණ ලෙසින් සඳහන් වී ඇත. පැරණි මාගම නගරයේ තිබූ කිසියම් පොකුණකින් මෙම ගල් පුවරුව පසු කාලීනව (ලිපියේ අක්ෂර රටා අනුව පො. ව. 1 - 2 වන සියවස) පිහිටවූ සෙල් ටැඹ සිටුවීම උදෙසා රැගෙන එන්නට ඇත. ලිපියේ සඳහන් මහ රජ හෝ පුශදෙව ප්‍රධානියා නියත ලෙසින් හඳුනාගැනීමට නොහැකි මුත් ඔහු වංශ කතා වල සඳහන් දුටුගැමුණු රජුගේ ඵුස්සදේව 'යෝධයා' විය හැකිය යන මතයද එක්වර බැහැර කල නොහැක..
[ පරුමක පුශදෙව ගේ සහ ඔහුගේ පරපුරේ පුද්ගලයන්ගේ තවත් සෙල්ලිපි මෙම ස්ථානයේ සිට සැතපුම් 18 ක් පමණ දුරකින් පිහිටි සිතුල්පව් දෙකුන්දර වැව නම් ස්ථානයෙන් හමුවේ (ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා >> ) ]
කෙසේ නමුත් අයර්ටන්ට පොරොතුව 1884 වසරේදී මෙම සෙල් ලිපියේ පෙල කියවා රාජකීය ආසියාතික සමිතියේ සඟරාවේ 8 වන වෙළුමේ පලකිරීමක් එවකට වාර්මාර්ග නිලධාරියෙක් ලෙස සේවල කල හෙන්රි පාර්කර් විසින් සිදු කර ඇත. අටපට්ටම් හැඩැති කුළුණු දෙකක තිබූ සෙල්ලිපි දෙකක් ලෙස ඔහු ඒ ගැන සඳහන් කරයි (ඒ වනවිටත් කැබැලි දෙකකට කැඩී තිබූ මුල් සෙල්ලිපිය පාර්කර් වරදවා සෙල් ලිපි දෙකක් ලෙස හඳුනාගෙන ඇත.)
|
අකුරුගොඩ ටැම් ලිපිය |
මෙම ලිපියේ සියලුම අක්ෂර පැහැදිලිව කියවිය හැකි ලෙස සුරැකිව තිබෙන මුත් දැන් මෙන් එකල වාක්‍ය ලිවීමේදී වචන අතර පරතරයක් තබා ලියන පුරුද්දක් නොතිබූ බැවින් අකුරුගොඩ ගමෙන් හමුවූ එම ගල් ටැඹේ වූ 'අකුරු ගොඩින්' අර්ථයක් සහිත වචන වෙන් කර එම ලිපියේ සම්පූර්ණ අර්ථය ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එම කාර්යය තවත් අසීරු වන්නේ දැනට භාවිතයේ නොමැති සහ බොහෝවිට දැනට අපිට පරිශීලනය කිරීමට ලැබෙන පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල පවා හමු නොවන වචනද ඒ අතර තිබිය හැකි බැවිනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාද මෙහි මුල් කියැවීම ඉදිරිපත් කර පවසන්නේ එය අවසාන කියැවීම නොවන බවත් ඉහත හේතූන් නිසා මෙයට වෙනත් අර්ථකතනයක් දීමට වුව පසු අවස්ථාවකදී සිදුවිය හැකි බවත්ය. ඔහු කිවූ ලෙසින්ම එහි පද බෙදීම වෙනත් ආකාරයකට සිදු කරමින් තරමක වෙනස් අර්ථකතනයක් සෙනරත් පරණවිතාන මහතා Inscription of Ceylon වෙළුම 2 සඳහා පිළියෙල කරයි. එහෙත් එය පළවන්නේ 1972 සිදුවූ ඔහුගේ අභාවයෙන් වසර ගණනාවකට පසු මාලණි ඩයස් මහත්මියගේ සංස්කාරකත්වයෙන් වර්ෂ 2001 දීය.
|
පරුමක පුශදෙව ගේ පොකුණ ලෙස සඳහන් වන සෙල්ලිපිය. ගල් පුවරුව වටා මායිමේ පැති තුනක පමණක් අකුරු ලියා ඇති මෙහි අවසාන අකුරු කිහිපයක් පමණක් රූපයේ දැකිය හැක.
|
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පළමු වරට ඉදිරිපත් කරන පෙලේ අර්ථකතනය මේ ආකාරයටය. (සෙනරත් පරණවිතාන මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කල අර්ථකතනයේ සිංහල පරිවර්තනය පූජ්‍ය කොත්මලේ අමරවංශ හිමියන්ට අනුවය.)
මංගල්‍යයක් වේවා! වැඩෙන්නා වූ සංග හෙවත් තණ්හා නම්වූ යම් මේ ධර්මයක් වේද, එය 'බය' නම් වේ. තිස්සගේ රාජකීය ග්‍රාමයෙහි ජනයා මිසදිටු බවටත් සංග සංඛ්‍යාත තෘෂ්ණාවටත් ආවර්තනය වන්නට (වැටෙන්නට) නොහැකිද? (හැක්කේමය. එහෙයින් ) මිසදිටු බව බිඳුණු කැමති බුදු රජුන් සරණ ගිය නාග උපරාජ නම් වූ මා විසින් උපරාජ කාලයෙහි කරන ලද ස්තම්භයයි.
සෙනරත් පරණවිතාන මහතා පසුව ඉදිරිපත් කරන පෙලේ අර්ථකතනය ඒ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ මේ ආකාරයටය.
Success! The sacrifice is, Dharma; it is also to be accepted as the Good, it leads to heaven; it is not that, know it to be false belief. The desire for heaven is also not possible when it is (properly) understood. So (reflecting), I, the prudent one, by name Naga, the Uparaja, with the purpose of crushing false beliefs in the royal village went to the Buddha for refuge at the time of the viceregency administered by me.
මෑතකදි මේ ලිපියේ පෙළ වෙනත්ම ආකාරයකට කියවන ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතා ලබාදෙන අර්ථකතනය මේ ආකාරයට වේ.
යහපතක් වේවා! ගෙධම්ම නම් වූ මෙම සභා (ශාලාව) වඩමන නම් වූ මෙහි (ග්‍රාමයෙහි) වසන සංඝයාට අයත්ය. මිත්‍යාදෘෂ්ටික ජනයාට එහි පැමිණිය නොහැකිය. මෙම රාජකීය ග්‍රමයෙහි මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන් බිඳ හෙලනු පිණිස උප රජ නාග නම් වූ මම බුදුන් සරණ ගොස් (මෙම ටැම් ලිපිය කළෙමි) මාගේ උප රජ කාලයෙහි මෙය කලෙමි.
මෙ සියළු අර්ථකතන වල පැහැදිලිව සඳහන් වන කරුණ නම් නාග නම් උප රජ කෙනෙකු මිත්‍යාදෘෂ්ටි ඇදහීම් අතහැර බුදුන් සරණ ගිය බවය. ප්‍රධාන වශයෙන් ඔහු මෙම ටැම් ලිපිය පිහිටුවන්නේ ඒ බව දැනුම් දීමටය. මේ ලිපිය පිහිටවූ අක්ෂර අයත් වන කාලයටම අයත් වන අඩු වැඩි වශයෙන් අන්තර්ගතය එයම වන තවත් ලිපියක් තිස්සමහාරාමයට සැතපුම් 8 ක් පමණ ගිණිකොණ දෙසින් පිහිටි කිරින්ද ප්‍රදේශයේ මුහුදු වෙරළට ආසන්නව පිහිටි වර්තමානයේ කිරින්ද විහාරය පිහිටි භූමියේ ගල් පර්වතයක හමුවේ. එහි සඳහන් වන්නේ එම ස්ථානයේ පිහිටි විහාරයේදී උප රජ නාග මිත්‍යාදෘෂ්ටිය බිඳ දමා බුදුන් සරණ ගිය බවය. එම ලිපිය ලියැවී ඇත්තේද විරිතකට අනුව පද්‍යමය ලෙසටය.
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ උප රජ නාග අතහැරි මිත්‍යාදෘෂ්ටිය වන්නේ සත්ව බිලී පූජා ආදිය සිදු කෙරෙන බ්‍රාහ්මණික ඇදහීම් බවය. ඔහු තව දුරටත් සඳහන් කරන්නේ මෙම සෙල්ලිපිය පිහිටවූ අටපට්ටම් කුළුන එම බ්‍රාහ්මණික ආගමේ බිලී පූජා සඳහා යොදා ගත් යූප ගල (එනම් යාග ස්ථම්භය - යාගය සඳහා බිලි දෙන සිව්පා සතුන් බැඳ තබන කණුව) විය හැකි බවය. කොටස් දෙකක් ලෙසට තිබූ එම ගල එක් කල විට අඩි 15 ක් පමණ උසය. එහි පැති 8 න් පැති දෙකක් පමණක් මෙම ලිපිය පිහිටුවීම සඳහා යොදාගෙන ඇති බැවින් එම කුළුන තැනීමේ අරමුණ මෙම ලිපිය පිහිටුවීම සඳහා නොවන බව පැහැදිලිය. ඒ අනුවද සෙනරත් පරණවිතාන මහතාගේ මතය නිවැරදි බව පිළිගත හැක.
අකුරුගොඩ සෙල් ලිපි සහ පුරාණ රුහුණේ තවත් පැරණි ස්ථාන දැක්වෙන වීඩියෝව >>
කිරින්ද ලිපිය මෙන්න අකුරුගොඩ ලිපියද සෙනරත් පරණවිතාන මහතා පළමුවන සියවසට අයත් බව එම ලිපි පිළිබඳව ඔහු ලියූ මුල් ලිපියෙන් පවසයි. තවද කිරින්ද ලිපිය බොහෝදුරට අක්ෂර අනුව මහාදාඨික මහානාග (පො.ව. 7-19) රජුගේ මහරත්මලේ ලිපියට සමාන බවද සඳහන් කරයි. කෙසේ නමුත් මේ ලිපියේ නම සඳහන් උපරජ නාග මහාදාඨික මහානාග බවට සෙනරත් පරණවිතාන මහතා එහිදි සඳහන් නොකරන අතර අකුරුගොඩ සහ කිරින්ද ලිපි හෙතෙම ඒවායේ පසු කාලීන සංස්කරණ වලදී පළමුවන සිරිනාග (පො.ව. 189-209) සිට මහාසෙන් (පො.ව. 274-301) දක්වා රජුන් අයත් වන කාලයට එනම් තුන්වන සියවසට අයත් කොටසේ ඇතුලත් කරන මුත් කිරින්ද සෙල් ලිපිය පිළිබඳ විවරණයේදී නැවතත් එය අක්ෂර රටා අනුව පළමුවන සියවසට අයත් වන බව අවධාරණය කරයි. මහාදාඨික මහානාග රජ අනුරාධපුරයේ රජ වීමට පෙර රුහුණේ උප රජ ලෙස සිටින්නට ඇති බවත්, ඒ නිසා මේ ලිපි වල නම සඳහන් උප රජ ඔහු වීමට හැකි බවටත් C.W. නිකොලස් කරන සඳහන් කිරීම උපුටා දක්වන සෙනරත් පරණවිතාන මහතා මෙම ලිපි වල සඳහන් උප රජු පසු කලක අනුරාධපුරයේ රජවූ රුහුණේ පාලකයා ලෙස එයට පෙර සිටි කුමරුවෙකු ලෙස සලකන්නේ නම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේ මහාදාඨික මාහානාග බවට අවධාරනය කරයි. වංශකතා සහ සෙල් ලිපි සාධක අනුව පෙනී ගොස් ඇති ලෙසට මහාදාඨික මහානාග රජු විශාල වශයෙන් සංඝයාට සහ බෞද්ධ විහාරාරාම ගොඩනැගීම ආදියට අනුග්‍රහය දැක්වූ රජ කෙනෙක් වීම එලෙස අනුමාණ කිරීමට හේතුව ලෙසට ඔහු දක්වා ඇත. ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාට අනුව අකුරුගොඩ සෙල්ලිපිය දෙවන සියවසට අයත් වේ.
|
මෙහි රතු පාට කොටුවෙන් ආවරනය වන ප්‍රදේශය අකුරුගොඩ පැරණි ඇතුළු නුවර ප්‍රදේශය (Citadel) ලෙස පුරාවිද්‍යාත්මක ගවේශන තුලින් හඳුනාගෙන ඇත. ඇතුළු නුවර වටා තිබූ ප්‍රාකාරයේ ලක්ෂණ මෙම ගූගල් මැප් චන්ද්‍රිකා ඡයාරූපයට අනුවද හඳුනාගත හැක (රූපය මත ක්ලික් කර විශාලනය කර බලන්න) එහි දකුණු කෙලවරේ රතු පාට රවුම මගින් මෙම ශිලා ස්ථම්භය පිහිටි තැන ලකුණු කර ඇත. ඇතුළු නුවරට පිටින් දැනට තිස්සමහාරාම, සඳගිරිය, යටාල සහ මැණික් වෙහෙර ලෙස හඳුනාගන්නා පැරණි සංඝාරාම පිහිටි ස්ථාන රතු පාට රවුම් වලින් සලකුණු කර ඇත. ඇතුළු නුවරට බටහිරෙන් එනම් ඡායාරූපයේ වම් පසින් තිස්සමහාරාම වැව හෙවත් තිස්ස වැව පිහිටා ඇත. |
මෙහිදී සඳහන් කල යුතු තවත් වැදගත් කරුණක් වන්නේ. මෙම සෙල්ලිපිය පිහිටි අකුරුගොඩ ප්‍රදේශය පුරාවිද්‍යාත්මක කැනීම් මගින් සොයාගෙන ඇති ලෙසට ජනාවාස සාධක බහුලව හමුවන බොහෝ දුරට පැරණි මාගම නගරයේ ඇතුළු නුවර (Citadel) පිහිටි ප්‍රදේශය වේ. ශිලා ස්තම්භය බොහෝදුරට එහි දකුණු දොරටුව අසල පිහිටා ඇත (මේ සමග ඇති සිතියම බලන්න.) ඉහත ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාගේ කියැවීම නිවැරදි නම් ශිලා ස්ථම්භය පිහිටුවන්නේ වඩමන නම් වූ ග්‍රාමයෙහිය (ග්‍රාමය යන වචනය සෙල් ලිපියේ නැත.) මහාවංශ ටීකාව වන වංසත්ථප්පකාසිනී යට අනුව කාවන්තිස්ස රජුගේ නායකත්වය පිහිටියේ මහාගාමයේ වඩ්ඪමානක නම් නගරයෙහිය. ඒ අනුව අකුරුගොඩ ජනාවාස සාධක හමුවන ප්‍රදේශය එම වඩ්ඪමානක නගරය ලෙස හදුනාගත හැක. සෙනරත් පරණවිතාන මහතාගේ මුල් කියවීම අනුව තිස්සගේ රාජකීය ග්‍රාමය යන සඳහනක් වෙයි. හෙන්රි පාර්කර් මහතාද ඔහු කියවූ ආකාරයට තිස්සමහාරාම වර්තමාන නගරයෙහි නාමය මෙම සෙල්ලිපියේද ඇති බව පවසයි.
කෙසේ නමුත් පො.ව. 1-2 සියවස් අතර කාලයේ රුහුණේ උප රජ ලෙස සිටි නාග නම් රජ කෙනෙකුන් මිත්‍යාදෘෂ්ටි අතහැර වර්තමාන කිරින්ද විහාරය පිහිටි භූමියේ පිහිටි විහාරයකදි බුදුන් සරණ ගිය බවත් ඔහු එවකට අගනුවර පිහිටි ඇතුළුනුවර දකුණු දොරටුව අභියස, බොහෝවිට ඔහු පෙර ඇදහූ ආගමේ බිලී පූජා යාග සිදු කල යූප ස්ථම්භයේ, ඒ බව සටහන් කර තැබූ බවත් මේ සියළු කරුණු සමාලෝචනය කර ගත් විට පෙනේ. තවද එයට පෙර යුගයේ සිටි පරුමක පුශදෙව නම් වූ රජුගේ අයබදු එකතු කරන නිළධාරියට අයත්ව තිබූ පොකුණක්ද මේ ප්‍රදේශයේ තිබී ඇති බවත් එම පොකුණේ නම සඳහන් කර තිබූ සෙල්ලිපිය සහිත ඵලකය පසු කාලීනව මෙම ගල් ටැඹ කෙලින් කර සිටුවීම සඳහා රැගෙනවිත් ඇති බවත් පැහැදිලිය.
මූලාශ්‍ර
- Brahmi Inscriptions in Sinhalese Verse, Paranavitana S., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXXVI, No 98, 1945.
- Archaeology of Tissamaharama, Henry Parker, 1884 ( Reprint 1998)
- Report of the Archaeological survey of Ceylon for 1951, Dr. S. Paranavitana, 1952
- Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions, Senarat Paranavitana, 1970
- Inscriptions of Ceylon Vol II, Part 2. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kaniththatissa (164 - 192 A.D) to Mahasena(140-276 - 303 A.D). Senarat Paranavitana, 2001
- ලක්දිව සෙල්ලිපි, හැඳින්වීම්, පෙළ, අනුවාද, විවරණ, විමර්ශන සහිතයි, සම්පාදක ආචාර්ය (රාජකීය ) පණ්ඩිත කොත්මලේ අමරවංශ හිමි,1969
- ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
- පැරණිතම බ්‍රාහ්මී සෙල්ලිපිවලින් හෙළිවන රුහුණු රාජ්‍යය, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2009
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001
කරවන විටදී ලොකු වැඩ පොඩි එවුන් ලවා
ReplyDeleteනැත සඳහනක් කෙරෙනුයෙ ඉතිහාසෙ පවා
අදටත් ඒ ගතිය එලෙසම පවතිනවා
සාධාරණද කියලා හිත විමසනවා
අදටත් එහෙමනේ අපේ ගේ හදපු වඩු බාස්වත් මේසන් බාස්වත් නෙමේනේ අපි කාට හරි කියන කොට කියන්නෙ ගේ හැදුවා කියලා. එක්කෝ මම නැත්නම් අපේ තාත්තා එහෙමත් නැත්නම් සීයා කියලනේ. මහවැලි ව්‍යාපාරය ගැන ඇහැව්වොත් කී දෙනෙක් දන්නවද ඒකට සම්බන්ධ අඩුම ගානේ ඉංජ්නේරුවෙකුගෙවත් නම් කම්කරුවෝ ඕනේ නැහැ.. හැමෝම කියන්නේ ගාමිණි දිසානායක නැත්නම් J.R. ජයවර්ධන කියලනේ. අඩුගානේ ඒකේ මුල් පියවරවල් ගත්ත සිරිමාවෝ මැතිණියගේ නමවත් කීදෙනෙක් දන්නවද? එහෙම තමා ඉතිහාසයේ ඕවා සඳහන් වෙන්නේ. ඒකේ අසාධාරණයකුත් නැහැ. ඔය හැම දේකම වඩා වැදගත් ඒ සංකල්පය කවුද ගන්නේ සහ ඒ සඳහා මූලික අඩිතාලම දාලා යටිතල පහසුකම් සලසලා දෙන අය කවුද කියන එක. ඒ හින්දා කවුරු කැමැති උනත් නැතත් ඉස්සරහටත් නොරොච්චොලේ, හයිවේ, විකුණපු වරාවල් සහ විකුණන්න තියෙන ගුවන්තොටුපොලවල් රාජපක්ෂලාගේ තමා. ඔන්න ඔය ප්‍රසිද්ද ප්‍රශ්නෙට මගේ උත්තරේ. ඒ වගේම රුවන්වැලිය දුටුගැමුණුගේ, මින්නේරිය වැව මහසෙන්ගේ සහ ගම් උදාව R. ප්‍රේමදාසගේ
Deleteමම මෙතනට ගියා වරක්. ටැම් ලිපිය ගැන ලියන්න හිතාගෙන තොරතුරු ටිකකුත් එකතු කරගත්තා. මට ඔය ටැම් ලිපිය කියවද්දි මතක් වුනේ, දෙවනපිය පියදසි හෙවත් අශෝක රජු, තමන් බුදු සමය වැළඳගත්තා කියා පිහිටුවපු ටැම් ලිපි.
ReplyDeleteඅයර්ටන් මහත්තයා තමයි අපේ රටේ පුරාවිද්‍යාවෙ ගමන් මඟ පොඩ්ඩක් වෙනස් කළේ නේද? එතුවක් කල්, රජ මාළිගා සහ ආරම ගැන හොයපු අපේ දෙපාර්තමේන්තුව, මානව ජනාවාස, මං මාවත් සහ පොඩි මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ගැන හොයන්න පටන් ගත්තෙ අයර්ටන් මහත්තයා යටතේ කියල මතකයි.
අනික, ඒ කාලෙ, කොමසාරිස් තනතුරට අනුප්‍රාප්තිකයා විදිහට හඳුනාගත් තැනැත්තා ඒ සඳහා පුහුණු කරවීමේ ක්‍රමයක් තිබුණා. ඒ විදිහට අයර්ටන් මහත්තයත් ඊජිප්තු කැණීම්වලට සහභාගි වෙමින් පුහුණු වුණා, මෙහෙ කොමසාරිස් වෙන්න කලින්.
ඔව් අශෝක ස්තම්භ වගේ උස ටැම් ලිපි මන් හිතන්නේ ලංකාවේ හමුවන්නේ මේක විතරයි. සඳගිරිය, මැනික් වෙහෙර වගේ තැන් වල තියෙන ඒවා එතරම් උස නැහැ. හැබැයි මීට වඩා පුලුල්. අනික ටැම් ලිපි බහුලව හමුවන්නේ මේ කාලයට පස්සේ. ඒවා වෙනස්ම ශෛලියකින් යුක්තයි. මේ ලිපිය ලියන්නේ ඊට කලින් යූප ගලක් වගේ සත්ව බිලී දීම් සිදු කරන යාගයන්ට පාවිච්චි කරපු ගල් ටැමක කියන එක හරි කියලා මට හිතෙන්නෙත් ඒ වෙනස හින්ද. ඊට පස්සේ යූප කණු හම්බෙන්නේ ස්තූප වල. ඒවා උනත් පැරණි බ්‍රාහ්මන ආගමේ අය පාවිච්චි කරපුව වෙන්නත් පුළුවන්. අයර්ටන් ගැන ඔබ කියන දේ ගැන හොයලා බලන්න ඕනේ. මෑත කාලේදි නම් ඒ ගැන වැඩියෙන්ම උනන්දුවක් දැක්වුවේ ශිරාන් දැරණියගල මහතාගේ කාලයේ. හැබැයි මේ ලිපියෙත් පෙර ලිපියේත් මම සඳහන් කල හෙන් රි පාර්කර් වාරිමාර්ග නිලදාරියෙක් ලෙස සිටිමින් තිස්සමහරාම ප්‍රදේශයේ ඇලක් කැනීමේදි හමුවන ජනාවාස සාධක ගැන වැදගත් තොරතුරු ප්‍රමාණයක් සපයනවා. ඒ H.C.P. බෙල් ටපෙර 1884 (බෙල් පුරාවිද්‍යා කොමසාරිස් වෙන්නේ 1890).
Delete