Showing posts with label Tantirimale. Show all posts
Showing posts with label Tantirimale. Show all posts

Wednesday, December 11, 2019

සැදූ කෙනෙක්, සැදූ කලක් නොදන්න තන්තිරිමලය බුදු පිළිම

එහි පැරණි නාමය අවිනිශ්චිත, තන්තිරිමලය ලෙසින් වර්තමානයේ හැඳින්වෙන පුද බිම පිළිබඳව මා මෙයට පෙර ලිපියකින්ද කරුණු දක්වා ඇත (එම ලිපිය කියවීමට Link>> ) තන්තිරිමලය  ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ පමණ සිට බෞද්ධ පුද බිමක් ලෙසට පැවත ආ බවට සාධක හමුවන මුත්, මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එහි දැකිය හැකි ශෛලමය ප්‍රතිමා ඉන් මෑත යුගයකට අයත් වේ. ක්‍රි.ව. 8-9 සියවස් වල සිට 13 වන සියවස දක්වාම විවිධ කාල නිර්ණයන් නොයෙකුත් විද්වතුන් මෙම ප්‍රතිමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මුත් ඒ සම්බන්ධව නිශ්චිතව  යමක් පැවසීමට සෙල්ලිපි, වංශකතා ආදී සාධක නොමැත. එහෙත් පොදුවේ මෙම ප්‍රතිමා නෙළු යුගය අනුරාධපුර යුගයේ අවසානය හෝ පොළොන්නරු යුගය බවට විවාදයක් නොමැත.

සමාධි ප්‍රතිමාව
උතුරු දෙසින් වූ දාගැබ දෙසට යොමුවන ලෙසින් පිහිටි ගලෙහි මතු කර ඇති මෙම ප්‍රතිමාව  මීටරයක් පමණ උස ආසනයක් මත නිමවා ඇත. ප්‍රතිමාව මීටර 2.3 පමණ උසය.  සමාධි ප්‍රතිමාව දෙපසින් වැඩ නිම නොකල එක් පසකට හතර බැගින් වූ ගලෙහි මතු කල කුහර 8 දැකිය හැක. ඉන් කුහර දෙකක අඩක් කැටයම් කල බෝධිසත්ව රූප ලෙස සැක කල හැකි කැටයම් දෙකකි. ප්‍රතිමාවට පිටුපසින් මකර තොරණක් ගලෙහි මතු කර ඇති අතර එහි දෙපස මකර හිස් දෙකක් ඇත. පිටුපස කකුල් වලින් නැගී සිටින සිංහ රූ දෙකක් මගින් එම තොරණ ඔසවාගෙන සිටී. ප්‍රතිමාවේ ප්‍රභාමණ්ඩලය දෙපසින් චාමර සලන දේවතා රූප දෙකකි. ප්‍රතිමාව තබා ඇති ආසනයේද සිංහ රූප කැටයම් කර ඇත. මෙම ප්‍රතිමාව ආසන්න වශයෙන් චතුරශ්‍ර හැඩයෙන් යුත් පිළිම ගෙයක් තුල පිහිටන පරිදි ඉදිකර තිබූ බව දැනටද දැකිය හැකි එහි ශෛලමය දොර උලුවස්ස, දෙපසින් ඇති ගඩොළු බිත්ති, වහලය දරා සිටි  ගල් කණු සහ ඒවා සිටුවීම උදෙසා ගල මතුපිට හාරා ඇති සිදුරු වලින්  පැහැදිලි වේ.

පුරා සතියක් තන්තිරිමලේ ගල් ගුහාවක නැවතී සිටිමින් ගවේෂණ සිදු කල  ජෝන් ස්ටිල් දකින අවධිය වන විටත් (1909) මෙම ප්‍රතිමා ගෘහයේ සිට දාගැබ දෙසට වූ පඩි පේලියේ පඩි වල අග්‍ර තියුණුව තිබී ඇත. පඩි 8 ක් සම්පූර්ණයෙන් කපා ඇති මුත් 9 වැනි පඩිය වැඩ නිමවා නොමැති තත්වයෙන් ඇත. මෙම කරුණු අනුව කිසියම් ව්‍යසනයක් හේතුවෙන් මෙහි වැඩ අතරමග නතර කර ඇති බවත්, එම පඩි වල අග්‍ර තවමත් තියුණුව පවතින්නේ ඒවා පාවිච්චි නොකිරීමේ හේතුව නිසා විය යුතු බවත් ස්ටිල් පවසයි.

සැතපෙන ප්‍රතිමාව
උතුරු දෙසට යොමුවන සේ පිහිටි ගලේ නෙලා ඇති මෙම පිළිමය මීටර 12 දිගය. ප්‍රතිමාවේ හිසට මෙන්ම දෙපාවලටද කොට්ටයක් තබා තිබෙන අයුරින් නෙලා තිබේ. ඉහත ප්‍රතිමාව මෙන්ම මෙම සැතපෙන ප්‍රතිමාව වට වන අයුරින්ද ප්‍රතිමා ගෘහයක් ඉදිකර තිබී ඇත. 1896 වර්ෂය සඳහා වූ සිය වාර්තාවෙන් එවකට  පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ H.C.P. බෙල් පවසන්නේ ඔහු දකින විට මෙම පිළිමයේ නාසය සහ දකුණු අත විනාස වී තිබූ බවයි ( පසු කාලීන සංරක්ෂණයේදී සිමෙන්ති යොදා ඒවා පිලිසකර කර ඇත.)

ප්‍රතිමා ඉදිකල කාලය
පැරණි උපතිස්ස නගරය මේ ආසන්නයේ තිබිය යුතු බවට උපකල්පනය කල හෙන්රි පාර්කර් මෙම ප්‍රතිමා ගෘහ වල ගඩොල් වල ප්‍රමාණයන් අනුව ඒවා ක්‍රිස්තු පූර්ව හෝ ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසට අයත් බවත් ඒ අනුව මෙම සෙල්මුවා පිළිමද එම යුගයේ ඉදිකරන්නට ඇති බවත් අනුමාණ කරයි. එහෙත් පසුකාලීනව මේ පිළිබඳව අදහස් දක්වන ජෝන් ස්ටිල් පොළොන්නරුවේ ගල් විහාර ප්‍රතිමා සහ මෙම තන්තිරිමලේ ප්‍රතිමා අතර ඇති සමානත්වයන් නිසා මෙම පිළිම නෙලීම ආරම්භයද පළමුවන පරාක්‍රමබාහු යුගයට (ඔහුට පෙර H.C.P. බෙල්ද මෙම අදහසම ඉදිරිපත් කර ඇත.) හෝ ඉන් පසු කාලයට අයත් විය යුතු බවත්, ඇතැම්විට කාලිංග මාඝ ආක්‍රමණයත් සමග අතහැර දැමීම නිසා දැනට දැකිය හැකි අඩක් නිම කල ආකාරයෙන් දිස්වන බවත් පවසයි (රෝලන්ඩ් සිල්වා වැනි ඇතැම් නූතන යුගයේ පුරාවිද්‍යාඥයන්ද මෙම අදහසම දරයි. තන්තිරිමලය මෙරටට බොහෝ දකුණු ඉන්දීය ආක්‍රමණික සේනා ගොඩබට මහාතිත්ථ තොටමුණ හෙවත් වර්තමාන මාන්තායි ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වූ පැරණි මාර්ගයේ මල්වතු ඔයේ සිට සැතපුමක පමණ දුරින් පිහිටීමද මෙම ස්ථානය එවන් ආක්‍රමණ වලට පළමුවෙන්ම ගොදුරු වන ප්‍රදේශයක් වීමට හේතුවේ.) ඔහු සිය අදහස තහවුරු කිරීම උදෙසා මේ ආසන්නයේ ඇති 'පොත්ගුල' ලෙසින් හැඳින්වෙන ගුහාව ඉහලින් වූ පර්වතය මත ඇති කළු ගල් වලින් නිර්මිත හතරැස් කොටුවේ ඇති ඇතැම් ගල් වල 11 වන ශතවර්ෂයේ අවසාන භාගයට හෝ 12 වන ශතවර්ෂයට අයත් අක්ෂර වලින්  සලකුණු කර ඇති සලකුණු සාධකයක් ලෙස ඉදිරිපත් කරයි. ඔහුට අනුව එම හතරස් කොටුව, ඊට පහලින් ඇති 'පොත්ගුල' සහ ඉදිරිපස ඇති පධානඝර ගොඩනැගිල්ලද මෙම ප්‍රතිමා නිමවූ යුගයටම අයත් වේ. 
මෙම හතරැස් කොටුව ගල මතු පිට දැනට සමතල කර ඇති ලෙසින් දිස්වන වෙනත් ස්ථානයක තිබී 12 වන ශතවර්ෂයේ නටබුන් වූ පැරණි ස්ථාන නැවත ඉදිකිරීමේදී වර්තමාන ස්ථානයේ නැවත ඉදිකර ඇති බවට සැක කල හැකි බව පවසන H.C.P. බෙල්ට පසුව පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ A.M. හෝකාර්ට්, ස්ටිල් ඉහත සඳහන් කරන අක්ෂර එම ප්‍රතිසංස්කරණයේදී යොදන්නට ඇති බවත් මුල් ගොඩනැගිල්ල ඊට  සියවස් කිරිපයකට පෙර යුගයකට අයත් වීමේ සම්භාවිතාවක් ඇති බවත් පෙන්වා දේ. කෙසේ නමුත් ඔහු ප්‍රතිමා අයත් වන කාලය 12 වන සියවස හෝ ඇතැම් විට සමාධි ප්‍රතිමාවේ ආසනයේ දැකිය හැකි කැටයම් වල ශෛලය අනුව සහ වෙනත් සාධක මත 13 වන සියවසට හෝ අයත් විය හැකි බව පවසයි.
හෝකාර්ට් පෙන්වාදෙන තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ මෙම ප්‍රතිමා වල සිවුරේ රැලි මතු කර අති ආකාරය පොළොන්නරු යුගයේ ප්‍රතිමා වල දැකිය හැකි එකිනෙකට සමාන්තර ද්විත්ව රැලි වෙනුවට අවුකන වැනි පිළිම වල දැකිය හැකි තනි රේඛාවේ එකිනෙකට සම දුරින් පිහිටන රැලි ආකාරයේ වන බවයි. මෑතකදී වෙනස් මතයක් මෙම පිළිම වල කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ආචාර්ය දනන්ජය ගමලත් මහතා සිවුරේ මෙම ලක්ෂණය, සමාධි ප්‍රතිමාවේ ආසනයේ කැටයම් වල ලක්ෂණ සහ ප්‍රතිමා ගෘහයේ ස්වරූපය ආදිය පිළිබඳව සැලකීමේදී මෙම ප්‍රතිමා ඉදිකල කාලය 8-9 සියවස් වලට අයත් විය යුතු බව පවසයි.
බෝසත් පිළිම ලෙස අනුමාන කරන අඩක් නිමවූ ප්‍රතිමා
කෙසේ නමුත් මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතා මෙම පිළිම වල ශෛලය චෝල කලාවේ පශ්චාත් පල්ලව ලක්ෂණ වලට සමාන බව පවසමින් 9 වන සියවසට කාල නිර්ණය කර ඇති අතර, ෂ්රූඩර් ද (Ulrich Von Schroeder) එහි කාලය 9-10 සියවස් බව පවසයි. අප මෙම ලිපිය ආරම්භයේදී දක්වා ඇති ලෙසින් මේ අනුව බොහෝ විද්වතුන් මෙම පිළිම නෙළු යුගය අනුරාධපුර යුගයේ අවසානයට හෝ පොළොන්නරු යුගයට අයත් බව නිගමනය කරයි. 

ක්‍රිස්තු පුර්ව යුගයන්හි සිටම පැවත ආ සංඝාරාමයක් සුවිසල් පිළිම නෙලමින් තවදුරටත් දියුණු වෙමින් පැවතුන අවදියකදී පරසතුරු ආක්‍රමණ හෝ ඒ හේතුව නිසාම සිදුවූ රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් සමගම වනවැදී කාලයේ වැලි තලාවෙන් යටවී ගිය පසු නැවත විහාරයක් ලෙසින් දියුණු වීම ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යුගයේදීය. ඒ හා සම්බන්ධ ඇතැම් තොරතුරු ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර
  • Tantri-Malai: Some Archaeological Observations and Deductions. John Still, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXII, 63, 1910
  • Tantrimalai, A.M. Hocart, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXIX, 76, 1923
  • Ancient Ceylon, H. Parker, 1909
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, And Central Provinces, Annual Report 1896.
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්), ආචාර්ය දනන්ජය ගමලත්, 2016

Monday, July 10, 2017

තන්තිරිමලය - ගල් කෙම් අසල සැදි ලෙන් ආරාම සහ මුල් කාලීන සංඝාරාම

පැරණි රජරට සභ්‍යත්වයට ප්‍රධාන වශයෙන්ම පාදක වූ මල්වතු ඔය ද්‍රෝණියේ එහි පහල කොටසේ හමුවන තන්තිරිමලය වූ කලී ගල්තලා කිහිපයකින් සැදි භූමියක විසිරී ඇති විවිධ යුගයන්ට අයත් නටබුන් වලින් සමන්විත ප්‍රදේශයකි. උපතිස්ස නුවර, තිවක්ක බමුණු ගම ආදි වංශ කතා වල සඳහන් වන ප්‍රදේශ තන්තිරිමලය බවට විවිධ මත ඉදිරිපත් වුවද ඒවා සනාථ කිරීමට ඉදිරිපත් කර ඇති තර්ක එතරම් ප්‍රබල නොවේ. පුරාවිද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් තන්තිරිමලය පුද බිමේ දැකිය හැකි ඓතිහාසික යුගයට අයත් නටබුන් සහ ඒවායේ කාල නිර්ණය පිළිබඳ විවරණයකි මෙම ලිපි පෙළ.

කටාරම් කෙටූ ලෙන් සහ බ්‍රාහ්මී ලිපි
ක්‍රිස්තු පූර්ව යුගයට අයත් කටාරම් කෙටූ ලෙන් තන්තිරිමලයේ ගල් තලා අතර බහුල නොවූවද වැදි චිත්‍ර නොහොත් පූර්ව ඓතිහාසික යුගයට අයත් මානව සිතුවම් ලෙස හඳුනාගන්නා සිතුවම් සහිත ගුහාවක් තන්තිරිමලයේ ගල් තලා අතර ගිණිකොණ දෙසට වන්නට දැකිය හැක. මෙහි කටාරම් කොටා ඇති බැවින් එය ඓතිහාසික යුගයේදී භාවනානුයෝගී භික්ෂුන්ගේ භාවිතය සඳහා යොදා ගන්නට ඇති බව සිතිය හැක. එම ලෙන ආසන්නයේම වූ වෙනත් ලෙනකද කටාරම සහ වැදි චිත්‍ර දැකිය හැකි අතර එම ස්ථානයේම කටාරම් කෙටූ වෙනත් තුන්වැනි ලෙනක්ද ඇත. පසුව විස්තර කෙරෙන උපාසිකා නාගාගේ සෙල් ලිපිය සහිත ලෙනද කටාරම් කෙටූ විශාල ප්‍රමාණයේ ලෙනකි.
වැදි චිත්‍ර සහිත කටාරම් කෙටූ ලෙන
මෙරට කටාරම් කෙටූ ලෙන් වල කටාරමට යටින් බොහෝවිට දැකිය හැකි ලෙන් පූජා කල තැනැත්තා විසින් ඒ බව සඳහන් කර කෙටවූ ලිපි මේ ලෙන් වල දැකිය නොහැකි මුත් බ්‍රාහ්මි අක්ෂර සහිත ක්‍රිස්තු පූර්ව යුගයට අයත් වෙනත් සෙල් ලිපි තුනක් තන්තිරිමලය පුද බිමෙන් හමුවී ඇත. එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ ජෝන් ස්ටිල් (John Still) විසින්  පලමු වරට කියවා පළකර ඇති එම ලිපි දකින්නට ලැබෙන්නේ මෙහි ඇති ගල් කෙම් අසලය (ජෝන් ස්ටිල්ට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම කොමසාරිස් ධූරය හෙබවූ H.C,P. බෙල් මහතා මින් මුල් ලිපිය පිටපත් කර තිබුණි. මෙම ලිපිය සඳහා යොදා ගන්නේ එම ලිපි පසුව කියවූ සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන අර්ථකතනයන්ය.)
වැදි චිත්‍ර සහිත කටාරම් කෙටූ ලෙනක් 
මින් ලිපි දෙකක් ක්‍රි.පූ. 2 වන හෝ 3 වන සියවසට අයත් බවත් අනික ඉන් වසර 100 ක් පමණ මෙපිටදි ලියූවක් විය හැකි බවත් ස්ටිල් පවසයි. මෙහි දැකිය හැකි ජලය රඳන ස්වභාවික ගල් කෙම් අතරින් හොඳ මට්ටමේ වූ කෙමකට ඉහලින් ගල් තලාවේ කොටා ඇති එක් ලිපියකින් කියවෙන්නේ 'පිණ්ඩපාතික තිස්ස තෙරගේ' බවය (Of the elder, lord Tissa, the pindapathika). මෙම ගල් කෙමේ අයිතිය ඉන් හැඟවූවා විය හැක. එම ලිපියට යාර 60 පමණ නැගෙනහිර දෙසින් වූ දිගු ගල් ලෙනක පැත්තකට වන්නට කොටා තිබූ එම යුගයටම (ක්‍රි.පූ 2 වන සියවස ) අයත් අක්ෂර වලින් යුතු දෙවැනි ලිපියේ එම ලෙන ඇත් ඇදුරු (අති අජරිය/Elephant-trainer) බති ගේ මව වූ උපාසිකා නාගාගේ බව පවසයි (Of the female lay-devotee Naga, mother of Bati, the elephant-trainer). තුන්වැනි ලිපිය ඉහත දෙවෙනි ලිපිය පිහිටි ස්ථානයේ සිට යාර 150 උතුරු-ඊසාන දෙසින් තවත් කුඩා ස්වභාවික ගල් කෙමකට ඉහලින් ගල් තලාවේ දැකිය හැකි අතර එයින් කියවෙන්නේ එය වංශාධිපති සුමනගේ තලිය හෙවත් හැළිය (තලචඩි/Ground-Pot) බවයි. නැවතත් එම ජලය රඳන ගල් කෙමේ (තලචඩි) අයිතිය හැඟවූවා විය හැක (The ground-pot of Lord Sumana). 
සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිල්ලක පාදමක්
ජලය හීන වියලි කලාපයේ වූ මෙම ප්‍රදේශයේ ගල්තලා මත වූ මෙවන් ගල් කෙම් ඉඩෝර කාලය සඳහා ජලය ස්වභාවිකවම එක් රැස් වන වටිනා ජල මූලාශ්‍ර වූවා නිසැකය. අද පවා වනාන්තරයේ තැන් තැන් වල ඇති මෙවැනි ගල් කෙම් වියලි කාලයේදි අපා දෙපා සිව්පා සියලු සතුන්ගේ පිපාසය සන්සිදුවයි. එබැවින් ක්‍රිස්තු පූර්ව යුගයේදි එම කෙම් වල අයිතිය දැරූ ප්‍රභුන් සිටියා විය හැක. මුල් කාලීන සංඝාරාම එම ස්ථාන මූලික කරගනිමින් ඇරඹෙන්නට ඇත්තේ මෙම ජල පහසුව නිසා විය හැක.

සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිලි
තන්තිරිමලයේ ගල් තලා මත තැන් තැන් වල සක්කා ගල් කැබලි උපයෝගි කරගනිමින් ඉදිකල ගොඩනැගිලි දොලහක් පමණ ඇති බවත්, එම ගොඩනැගිලිද මෙම කාලයටම අයත් විය හැකි බවත් ජෝන් ස්ටිල් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට ඉදිරිපත් කල සිය ලිපියේ සඳහන් කරයි. එම ගොඩනැගිලි බොහෝමයක් ස්වභාවික ගල් කෙම් අසල ඉදිකර ඇති බැවින් ස්ථානයේ වර්තමානයේ දැකිය හැකි වැව ඉදිකිරීමට ප්‍රථම ඒවා ඉදිකරන්නට ඇති බවය ස්ටිල්ගේ අදහස. මින් ඇතැම් ගොඩනැගිලි වල ගඩොලු දැකිය හැකි මුත් වෙනත් ඇතැම් ගොඩනැගිලි වල බොහෝ විට ඛාදනය නිසා සෝදායෑම් සමගින් ගඩොළු නොමැති වීම සිදු වූවා විය හැකි බවයි ඔහුගේ අදහස.
විශාල ප්‍රමාණයේ සංඝාරාමයක පාදමක්
මෙම ගොඩනැගිලි පිළිබඳව අදහස් පළකරන හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ A.M. හෝකාර්ට් පවසනුයේ ඒවා ගල් තලා මත සක්ක ගල් කැබලි අතුරා සැදූ හතරස් කොටු ඇතුලත පස් පුරවා සකසා ගත් පාදම මත ඉදිවූ ගොඩනැගිලි වන්නට ඇති බවය. වැහි කාල වලදි සිදුවූ සෝදායෑමට අමතරව මෙම ප්‍රදේශයේ දඩයමේ පැමිණි දඩයම්කරුවන් වතුර වලවල් අසල සැගවි සිටීමට කුඩා අට්ටාල (Bastions) සෑදීමටද මෙම සක්කා ගල් යොදාගත් බව හෝකාර්ට් පවසයි. (70 දශකය පමණ වනවිටත් මෙම ප්‍රදේශය කොටි වලස් ආදි දරුණු වනසතුන් ගැවසුන විනෝදය සඳහා දඩයමේ යන්නන්ගේ පාරාදීසයක් ව තිබූ බව සිසිල් D. ධර්මසේන මහතා සිය අත්දැකීම් ඇසුරින් වනසත්ව සහ ස්වභා ආරක්ෂක සංගමයේ [Wildlife & Nature Protection Society] Loris සඟරාවේ 50 වන ජුබිලි සංවත්සර කලාපයට සැපයූ ලිපියකින්ද පැහැදිලි වේ.)
සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිල්ලක පාදමක්
මූලාශ්‍ර
  • Tantri-Malai: Some Archaeological Observations and Deductions. John Still, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXII, 63, 1910
  • Tantrimalai, A.M. Hocart, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXIX, 76, 1923
  • Tantrimalee That Was, Cecil D. Dharmasena, Loris, The Journal of the Wildlife and nature Protection Society of Sri Lanka, Vol XVII, No 3, 1986
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.

Wednesday, February 1, 2017

පැරණි පධානඝර පිරිවෙන හෙවත් පියන්ගල් පිරිවෙන වනවාසී භික්ෂුන්ගේ භාවනාකුටිද?

තහවුරු නොකල පධානඝරයක් - රිටිගල

අනුරාධපුරයේ පිහිටි වර්තමානයේ බටහිරාරාම(Western monasteries)  ලෙස හඳුන්වන නටබුන් ගොඩනැගිලි පෙල පුරාවිද්‍යාඥයන් විසින් එක් එක් කාලයන්හීදී විවිධ නම් වලින් හඳුන්වා ඇත. මුලදී ඒවා ද්විත්ව වේදිකා ගොඩනැගිලි (Double-platform) ලෙසින් හැඳින්වූවේ මේවායේ එක් පොදු ලක්ෂණයක් වන වේදිකා දෙකකින් සමන්විතවීම නිසාය. එම වේදිකා දෙක එකිනෙකට යා කරමින් පටු ගල් පාලමක් මේ ආකාරයේ සෑම ගොඩනැගිල්ලකම පාහේ දක්නට ඇත.  මේ ආකෘතියේ නටබුන් වූ ගොඩනැගිලි අනුරාධපුර පැරණි නගරයේ පමණක් නොව දිවයිනේ වෙනත් ස්ථාන කිහිපයකින්ම හමුවී ඇත. ඒ අතරින් රිටිගල මෙවන් පධානඝර 50 ක් පමණ දැකිය හැකි අතර මානාකන්ද සහ නුවරගල්කන්ද යන ස්ථාන වලද ඉන් අඩක් පමණ වන ප්‍රමාණ වලින් යුත් පධානඝර හමුවේ. අරංකැලේ පුරාවිද්‍යා ස්ථානයේද සැලකියයුතු පධානඝර ප්‍රමාණයක් හමුවන අතර එයට අමතරව තන්තිරිමලය, වෙහෙරබැඳිගල, කළුදියපොකුණ, නාගොල්ල, මාළිගාතැන්න, අමුණුකොලේ, සීතාකොටුව, ගල්ඇඳහේන, අභයගිරි විහාර පරිශ්‍රය, රාජාංගනයේ හස්ථිකුච්ජි විහාරය හා සබරගමුව දිස්ත්‍රික්කයේ කල්තොට පිහිටි බුදුගල යන ස්ථාන වලද පධානඝර පිරිවෙන් දැකිය හැක.
මාලකය සහ කුටිය සම්බන්ධ වන ගල් පාලම - අරංකැලේ
මෙම ද්විත්ව වේදිකා වල ඉදිරිපසින් පිහිටි වේදිකාව මාලකය ලෙසද, පසුපසින් ගල් පාලමෙන් සම්බන්ධ වන කොටස කුටිය නොහොත් පාසාදය ලෙසද වර්තමානයේ හඳුනාගනී (මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාට අනුව). මෙම ඉදිරිපස මාලකය විවෘතව වහලයක් රහිතවද කුටිය උළු සෙවිල කල වහලයකින් යුක්තවද තිබූ බව පුරාවිද්‍යා ගවේෂණ මගින් සොයාගෙන ඇත. ඉදිරිපස මාලකයේ පමණක් එකතුවන වැසි වතුර පිටවීමට යෙදූ ජල පිහිලි ඇති බැවින් එය විවෘතව තිබූ බව තවදුරටත් තහවුරු වේ. බොහෝ පධානඝර වල කුටිය (හෝ ඇතැම් අවස්ථා වලදී මාලකයද)  ඉදිකර ඇත්තේ එම ස්ථානයේ මතුපිට පස ඉවත් කර පිහිටි ගල පාදාගැනීමෙන් පසු ඒ මත වන අතර (ගල් පර්වත අශ්‍රිත ප්‍රදේශ වල පධානඝර වැඩි වශයෙන් ඉදිකර ඇති බැවින් මෙය පහසු වේ.) බොහෝවිට කුටිය වටා දිය අගලක් දැකිය හැකිය. ඉදිරිපස කොටසේ සිට ගල් පාලම හරහා පසුපස කොටසට ඇතුලු වීමට ඇති ස්ථානයේ දොරක් සවිකර තිබූ බවට සාධක හමුවන බැවින් කුටිය බිත්ති වලින් වටවී තිබූ බව පැහැදිලි වේ.
පධානඝරයක් - අරංකැලේ

වේදිකා දෙකම ඇතුලත් වන පරිදි වටා පිහිටි සීමා ප්‍රාකාරය, සැම විටම නැගෙනහිර දිශාවට යොමුකර පිහිටවූ ද්වාර මණ්ඩපය, එයට ගොඩවීමට ගලින් කල පියගැටපෙළක් සහ පාමුල මෝස්තර රහිත සඳකඩපහණ,වේදිකා දෙක යා කරන ගල් පාලම දෙපසින් පිහිටි පියගැටපෙළවල් සහ එම පියගැටපෙළවල් වලට මුහුණලා උතුරු සහ දකුණු දෙසට යොමුව පිහිටි උප දොරටු බොහෝ පධානඝර වලට පොදු ලක්ෂණ වන අතර ඇතැම් පධානඝර ආශ්‍රිතව වෙනත් සේවා ගොඩනැගිලිද දක්නට ඇත. ප්‍රධාන කුටිය ඇතැම්විට කුඩා කුටි වලට බෙදා ඇති අවස්ථාද හමුවේ. පධානඝර පිරිවෙන් වල ගල් කැටයම් දැකිය හැක්කේ ඉතාමත් අඩුවෙන් වන අතර බොහෝ අවස්ථාවලදි කැසිකිලි ගල් අලංකාර කැටයමින් යුක්තව නිමවා තිබීම විශේෂිතය. මෙම කැටයම් වල අලංකාර ගොඩනැගිල්ලක ඉදිරිපස පෙනුම කැටයම් කර ඇත.
වැසිකිලි ගලක්- රිටිගල
ඇතැම් අවස්ථා වලදී දිය අගල නොමැති පධානඝර ගොඩනැගිලි හමුවී ඇති මුත් ගොඩනැගිල්ල වටා පිහිටි දිය අගල මගින් කාර්යයන් කිහිපයක් ඉටු වන්නට ඇතැයි සැලකේ. වනාන්තර අශ්‍රිතව පිහිටි හෙයින් වන සතුන්ගෙන් වන උවදුරු වැලකීම, වියලි කලාපීයව පිහිටි හෙයින් කුටියට සිසිලසක් ගෙනදීමට අමතරව එහි එකතු වන ජලය ඇතැම් අවස්ථා වලදී එදිනෙදා කටයුතු වලටද යොදා ගත්තා විය හැක. අනුරාධපුර බටහිරාරාම පෙදෙසේ හමුවන පධානඝර සාපේක්ෂව දියුණු අවධියක් නියෝජනය කරන අතර මූලික සැලැස්ම ඉක්මවා ගිය ලක්ෂණ ඒවායේ හමුවේ.
තන්තිරිමලය පධානඝරය
පධානඝර ගොඩනැගිලි වල සුවිශේෂිතම වැදගත් කම වන්නේ මේ අකාරයේ ගොඩනැගිලි මෙරට හැර වෙනත් කිසිම රටකින් මෙතෙක් හමුවී නොතිබීමය. මෙරට පැරණි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ කලාකරුවන්ගේ නිර්මාණ සැම විටම පාහේ අසල්වැසි භාරතයේ විවිධ ප්‍රදේශ වලින් ආභාෂය ලබා කල ඒවා ලෙස හණ්වඩු ගසන මෙරට අනුකාරක විද්වතුන් අසරණ වන එක් ප්‍රධානතම අවස්ථාවක් වන්නේ පධානඝර සම්බන්ධයෙනි. පධානඝර යනු මෙරටදී සම්භවය වී මෙහිදීම දියුණු වූ සංකල්පයකි.
මාලකය සහ කුටිය සම්බන්ධ වන ගල් පාලම - රිටිගල
වංශකතාවල එන පධානඝර සම්බන්ධ සිදුවීම්
මහාවංශයේ මුල් වරට පධාන යන වචනය හමුවන්නේ 3 වන සියවසේ දී ගෝඨාභය (ක්‍රි.ව. 249-262) රජු මහා විහාරයට බටහිරින් පධානඝරයක් සෑදවූ බවට එන සඳහනෙහිය. එසේම පළමුවන මුගලන් (ක්‍රි.ව. 491-508) රජුගේ උත්තර නම් සෙනෙවියා සිය නමින් පධානඝරයක් කරවූ බවටද, අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් මහාවිහාරයේ මහාපධානඝරයට ගොස් සංඝපාල තෙරුන්ගෙන් සිංහල අටුවා උගත් බවටද, දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604-614) රජු කල කාලිංගයේ සිට යුදයේ සතුන් මැරෙන්නා දැක කලකිරී මෙරටට පැමිණි කාලිංග රජු ජෝතිපාල මහ තෙරුන් කෙරෙහි පැවිදි වූ කල ඔහු වෙනුවෙන් මත්තපබ්බත විහාරයේ පධානඝරයක් කරවූ බවටද, තුන්වන අග්ගබෝධි (ක්‍රි.ව. 628-639) රජු උපරජ සමග ඔහු ඉදිකල මහල්ලරාජ නම් පධානඝරයේ තෙරණුවන්ට හංකාර සහ සමුගාම නම් ගම් සහ කෙහෙල්ල ගාමයේ රාජ භාරය පිදූ බවද, හතරවන අග්ගබෝධි (ක්‍රි.ව. 667-683) රජු දාඨාශිව නම්වූ තෙරුන්ට ඔහුගේ නමින් පධානඝරයක් තනවා පූජා කල බව සහ ගම් කිහිපයක්ම එම ගෙයට පවරා දුන් බවද මහාවංශයේ  පධානඝර යන වචනය ඇතිව සඳහන් වේ. 
පධානඝරයක් - අරංකැලේ
සෙල්ලිපි වල එන පධානඝර සම්බන්ධ සිදුවීම්
වසභ (ක්‍රි.ව. 67-111) රජුගේ පෙරුමියන්කුලම පර්වත ලිපියේ සුදසන පතනගල විහාරයට පිරිනැමූ ජල බදු ආදායම් ආදී පිරිනැමිම් ගැන සඳහන් වේ. එසේම සිව්වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) රජුගේ මන්නාරම කච්චේරි ටැම් ලිපියෙහි බහදූර්සෙන් පියන්ගල වෙහෙරට අයත් වූ ඉඩම් සඳහා පිරිනැමූ වරප්‍රසාද පිළිබඳව කියැවේ. පස්වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) රජුගේ අනුරාධපුර පුවරු ලිපියේ පියන්ගල් යන වචනය පිරිවෙන්හි, රජ්මහවෙහෙර්හී, පියන්ගල්හි සහ මෙහෙණිවර්හි ලෙස පූජනීය ස්ථාන වර්ග කිහිපයක් ගැන එන සඳහනක ඒ. ඒ අනුව එමගින් කිසියම් සංඝාරාම හෝ විහාර විශේෂයක් හැඳින්වූ බව පැහැදිලිය. පස්වන කාශ්‍යප  (ක්‍රි.ව. 914-923) රජුගේම මැදිරිගිරිය අත්තානි ටැම් ලිපියෙහි බිදෙර්වතුකුළියෙහි, රන්තිසායේ පිහිටි මැඩිලිගිරිවෙහෙර් පියන්ගලැ සතර සීමා ගැන සඳහනක් ඇත. සිව්වන මහින්ද (ක්‍රි.ව. 956-972) රජුගේ මිහින්තලා පුවරු ලිපියේ පියන්ගල් පෙරෙවැළියෙකුට (පරිපාලකයෙකුට) ගෙවූ වේතන ගැන සදහනක් එයි.  පධානඝෙරෙහි වසන භික්ෂූන්ට බාධා නොකර සාමනේර භික්ෂූන් ධර්මය උගත යුතු බවට මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) රජුගේ ගල් විහාර සෙල්ලිපියේ සදහන් වේ. 
පධානඝරයක් - රිටිගල 

පතනගල, පියන්ගල්, පධානඝෙර, පධානඝර ලෙස මේ සෙල්ලිපි වල සහ වංශ කතා වල හැඳින්වෙන්නේ අප කතා කරන ගොඩනැගිලි විශේෂය විය හැකි බවට මත පලවී ඇත. එසේම ඒවා වනවාසීව භාවනානුයෝගී දිවියක් ගත කල භික්ෂූන් උදෙසා කල බවට විශ්වාස කෙරේ. ඉදිරිපස මාලකය විවිධ භාවනා ක්‍රම වල යෙදීමටත් පසු පස කුටිය වාසය කිරීම උදෙසාත් නිර්මිත බවට මත පලවී ඇතිමුත් විද්වතුන් අතර ඒ පිළිබඳ ස්ථිර එකඟතාවයක් නොමැත.
මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume III, 1928-1933 Edited by S.Paranavitana, 1933
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume II, 1912-1927 Edited and translated by Don Martino de Zilva Wickremasinghe, 1928
  • ශිලාලේඛන සංග්‍රහය, 1 වෙළුම 1904-1912, සංස්කරණය දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ, පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න, 2000
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part 1, Late Brahmi Inscriptions, Paranavitana S., 1983
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • The Mahavamsa or The Great Chrinicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part1, Edited by Sirimal Ranawella, 2001
  • Sinhalese Monastic Achitecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake,1974
  • පධානඝරවල වාස්තු විද්‍යා ලක්ෂණ, යුරේන් අතුකෝරළ, ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුම 6, 2016, සංස්කාරක ධනේෂ් විසුම්පෙරුම
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007