Wednesday, December 25, 2019

නොදකින සීගිරිය - පර්වත උද්‍යානය

සීගිරිය වනාහි දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් දිනපතා සංචාරය කරන මෙරට වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයකි. එමෙන්ම මෑත කාලයේදී ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍යය සහ පුවත්පත් වැනි අනෙකුත් මාධ්‍යය හරහා ජනප්‍රිය වූ ප්‍රබන්ධිත ඉතිහාස කතා බොහෝමයකට පාදක වූ ස්ථානයකි. එවන් කිසියම්ම හෝ පදනමක් නොමැති 'කතන්දර' කොතරම් ජනගත වී ඇත්ද යත් ඒවාට විරුද්ධ වන්නන් දේශද්‍රෝහීන් ලෙස සලකන තරමටම අනුවන ජනයා නිවැරදි වචනයෙන්ම කියනවා නම් 'අන්දවා' ඇත. කෙටි ක්‍රම වලින් සමාජයේ ජනප්‍රිය වීමට වලිකන මානසික රෝගීන් කිහිපදෙනෙක් සහ ඕනෑම කුණු ගොඩක් කුණුම ඉල්ලන බහුතර මෙරට ජනයාට පෙන්වා සිය YouTube Channels ජනප්‍රිය කරවාගෙන ආදායමක් උපයාගන්නට තනන කපටීන් මෙවැනි මත සමාජගත කිරීමට දායකත්වයක් දක්වයි. සීගිරියේ තිබී බෙල් මෙරටින් ගෙන ගිය නිධානය, සීගිරියේ සිංහ පාදය ගුරුලු පාදයකි (මේ පිළිබඳව ලිපි 2 ක් මෙයට පෙර මෙහි පලවිය Link>> සහ Link2>> ), සීගිරිය රාවණාගේ බලකොටුවකි, සීගිරියේ තිබූ සෝපානය සහ අනෙකුත් දෑ ඉරිසියාවෙන් පෙලුන බෙල් කොන්ක්‍රීට් දමා වැසූ ආකාරය මින් කිහිපයකි. 
නයිපෙන ගුහාව
මෙවන් මිත්‍යා මත වලට සමාජයේ වැඩි ඉඩක් ලැබීමට එක් හේතුවක් වන්නේ දේශිය, විදේශීය පුරාවිද්‍යාඥයන් සියවසකටත් අධික කාලයක් පුරා සීගිරිය ආශ්‍රීතව සිදු කල ගවේෂණ ඇසුරින් සොයාගත් බොහෝ කරුණු මෙරට බහුතර ජනතාව අතරට නොයෑම ලෙස සැලකිය හැක. එක් අතකින් එවන් බොහෝ කරුණු ඉංග්‍රීසි භාෂාවෙන් පලවී තිබීම සහ එම පොත පත පවා පහසුවෙන් සොයාගැනීමට නොහැකි වීම මෙයට එක් හේතුවකි. සීගිරි යන බොහෝ පිරිස් එතරම් අවධානයක් යොමු නොකරන (හැකි ඉක්මනින් සිංහ පාදය සහ බිතුසිතුවම් නරඹා, සීගිරි ගල මුදුනට නැග එදිනම පිදුරංගලටත් ගොස් සෙල්පි ගසා FB දැමීම බහුතරයකගේ එකම අපේක්ෂාව වේ.)  එමනිසා බොහෝදෙනෙකුගේ අවධානයට ලක් නොවන සීගිරියේ ජල උද්‍යානයේ සහ පර්වත උද්‍යානයේ දැකිය හැකි වෙනත් වැදගත් නටබුන් ස්ථාන පිළිබඳව මෙම ලිපියෙන් සහ ඉදිරියට වරින් වර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වෙනත් ලිපි වලින් අවධානය යොමු කෙරේ. සීගිරියේ පබ්බත විහාරය පිළිබඳව මෙයට පෙර තොරතුරු ඉදිරිපත් කර ඇත Link1>> සහ Link2>>.
සීගිරිය පර්වතය මතට දිස්වන පර්වත උද්‍යානයේ කොටසක්
පර්වත උද්‍යානය (Boulder Garden)
සීගිරියේ බටහිර පිවිසුමෙන් ඇතුලුවී ජල උද්‍යාන පසු කරගෙන යාමේදී සීගිරිය ප්‍රධාන පර්වතයට පහලින්  හමුවන ස්වභාවිකව පිහිටි කුඩා පර්වත කොටස් ඒ ආකාරයටම තිබියදී, ඇතැම් විට ඒවා අවම වෙනස් කම් වලට ලක් කරමින් පුරාණ යුගයේ ඉදිකල මනරම් උයනක් වර්තමානයේ පර්වත උද්‍යානය ලෙසින් හඳුන්වා ඇත. බොහෝ වූ කටාරම් කෙටූ ඇතැම් විට බ්‍රාහ්මී සෙල්ලිපි සහිත ලෙන්, කුඩා දාගැබ්, ගල් ආසන, මාලක, පඩි පේලි වැනි බොහෝ දේ මෙම කොටසේ දැකිය හැක. මේ බොහෝමයක් කාශ්‍යප යුගයට පෙර හා පසු මෙහි පැවැති සංඝාරාමයට අයත් අංග ලෙස හඳුනාගත හැකි මුත් ඒවා රාජකීය උද්‍යානයේ නටබුන් ලෙසද මත ඉදිරිපත් වී ඇත. මෙම ලිපියෙන් එම පර්වත උද්‍යානයේ හමුවන ස්ථාන කිහිපයක් පිළිබඳව අවධානය යොමුවේ.
නයිපෙන ගුහාව
නයිපෙන ගුහාව
නයිපෙනයක හැඩයෙන් යුක්ත හෙයින් ජනවහරේ නයිපෙන ගුහාව ලෙස හැඳින්වෙන මෙම ගුහාව පබ්බත විහාරයට ඉහලින් පිහිටා ඇත. ක්‍රි.පූ. දෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති සෙල් ලිපියක් මෙහි කටාරමට පහලින් දැකිය හැක. පරුම[ක] නගුලිය ලෙනෙ ලෙසින් එන එහි අදහස නම් පරුමක නගුලිය ගේ ලෙන යන්නය. පරුමක යනු රාජ්‍යයේ කිසියම් තනතුරක් දැරූ ප්‍රධානීන්ය (Chieftains).  නයිපෙන ගුහාවේ කටාරමට යටින් සුදු පිරියම් කර 'වියන් චිත්‍ර' ඇඳ තිබී ඇති බව දැනටද අතරින් පතර තරමක් ඉතිරිවී  ඇති චිත්‍ර කොටස් වලින් පැහැදිලි වේ. අඩු වැඩි වශයෙන් ඒවා මහනුවර යුගයේ හා ඉන්පසු යුග වලද බෞද්ධ විහාර වල පිළිම ගෙවල් වල දැකිය හැකි වියන් චිත්‍ර වලට යම් සමානත්වයක් දක්වයි.
මහනුවර යුගයේ චිත්‍ර ශිල්පීන් යොදාගත් කතුරු මල සහ තිරිංගිතල වැනි හැඩතල වලට මෙම චිත්‍ර වල සබදතාවයක් දැකිය හැක. විවිධ ජ්‍යාමිතික හැඩ තල හා පලා වැල් අතර  කිසියම් පක්ෂියෙකුගේ රුවක්ද හඳුනාගත හැක. සේනක බණ්ඩාරනායක මහතා සීගිරියේ දැකිය හැකි පැරණිම චිත්‍ර අතරට නයිපෙන ගුහාවේ වියන් චිත්‍රද ඇතුලත් කරන අතර මෙම චිත්‍ර සීගිරියේ ප්‍රකට කාන්තා රූප වල ශෛලියට සමානත්වයක් දක්වන බව පවසයි. ක්‍රි.ව. පස්වන සියවස හෝ හයවන සියවසේ මුල් අවධියට මෙම චිත්‍ර අයත් වන බවට ඔහු අනුමාණ කරයි.
මෙම ලෙනේ බිම ගඩොල් අල්ලා ඒ මත හුණු ආලේප කර තිබූ බවට කැනීම් සිදු කිරීමේදී හමුවූ එවන් කොටසකින් හඳුනාගැනීමට හැකි විය. වර්තමානයේ එවන් ගඩොල් සම්පූර්ණ ගුහා භූමිය තුලම දැකිය හැකි මුත් හුණු ආලේපනය දැකිය නොහැක. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කල සංරක්ෂණ කටයුතු වලදී සම්පූර්ණ ගුහා භූමිය තුලම අලුතින් ගඩොල් ඇල්ලීම සිදුකර ඇත. තවද මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සේනක බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් මෙම නයිපෙන ගුහාව ඉදිරිපස සිදු කල කැනීම වලදී අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර ඒ අනුව එම කොටසේ පැරණි සුසාන භූමියක් තිබී ඇති බවට අනුමාණ කෙරේ.
පබ්බත විහාර පිළිම ගේ සෙල්ලිපිය
පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල පබ්බත විහාරයට අයත් පසු කාලීනව පිළිම ගෙයක් බවට පරිවර්තනය කර ඇති ගුහාවේද ක්‍රි. පූ. 2-3 සියවස් වලට කාල නිර්නය කල හැකි අක්ෂර වලින් රචිත සෙල්ලිපියක් එහි කටාරමට පහලින් දැකිය හැක. පරුමක තිරි පුත අබිජිය ලෙනෙ ලෙසින් එන එහි අර්ථය පරුමක තිරිගේ පුත් වූ අබිජිත් ගේ ලෙන ලෙසින් පරණවිතාන මහතා අර්ථ නිරූපනය කරයි. පොදුවේ මෙවන් සෙල්ලිපි වලින් එම ලෙන් ඒවායේ පෙර අයිතිය පැවති පුද්ගලයන් විසින් ඔවුන් බුදු දහම වැලඳ ගැනීමත් සමග ඒවා භික්ෂු වාසස්ථාන උදෙසා පිරිනැමූ බවට පැවසෙන බව විද්වත් මතයයි. බ්‍රාහ්මී අක්ෂර හෝඩිය මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ඒමත් සමග මෙරටට හඳුන්වා දුන් බවට වූ පොදු පිලිගැනීමත් සමග එම මතය බැඳී පවතී. එවන් ඇතැම් ලෙන් ලිපි වල එහි අයිතිකරුවන් විසින් ඒවා සංඝයාට පිරිනැමූ බව පැවසෙන මුත් (උදා: බෝගොඩ ලිපි) මෙවැනි සමහර ලිපි වල එලෙස සඳහන් නොවීම අප දන්නා තරමින් කිසිවෙකුගේ අවධාන‍ය ලක් වී ඇති බව නොපෙනේ. මේවා සරලව ඔවුන්ගේ අයිතිය කියාපෑමක් පමණක් විය නොහැකිද?
කුඩා ස්තූපයක නටබුන් සහ ලෙන්
නයිපෙන ගුහාවේ සිට ඉහලට නැගීමේදී පර්වත දෙකක් අතර වූ කුඩා මලුවක විනාශ වී ගිය කුඩා දාගැබක සංරක්ෂණය කර ඇති කොටසක් හමුවේ. කැටයම් රහිත සඳකඩපහනක් සහ එක් මුරගලක කැඩී ගිය පහල කොටසක් මෙහි දැකිය හැක. එම කුඩා ස්තූපයට දකුණු පසින් වූ දෙපසින් පර්වත කොටස් දෙකක් එක් වීමෙන් ස්වභාවිකව නිර්මිත වූ ලෙන කටාරම් කොටා බිම නයිපෙන ගුහාවේ ලෙසින්ම ගඩොල් අතුරා සකසා තිබී ඇත. ගුහාව තුලින් ගොස් සීගිරි පර්වතය දෙසට යාමට පඩි පේලියක් තනා ඇත. මෙම දාගැබ මෙන්ම කටාරම් කෙටූ ලෙන්ද සීගිරියේ පැවති පබ්බත විහාරයට පැහැදිලිවම අයත්විය යුතුය. මක් නිසාද යත් අප පෙර ලිපියෙන් විස්තර කල පබ්බත විහාරයේ කොටස් එහි පූජනීය චතුරශ්‍රයට අයත් දේ වන අතර. පූජනීය චතුරශ්‍රයට පිටතින් පබ්බත විහාර වල පිහිටන භික්ෂු ආවාස කුටි සීගිරිය පබ්බත විහාරයේදි ඒ අවට හමුවන ලෙන් වලින් සමන්විත විය යුතුය (පබ්බත විහාර වල ගෘහනිර්මාණ ශිල්පී ලක්ෂණ පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට Link>> ) සිගිරිය පර්වතය අවට විශේෂයෙන්ම පර්වත උද්‍යානයට අයත් කොටසේ ලොකු කුඩා ලෙන් 30 ක් පමණ හමුවන අතර අවම වශයෙන් ඉන් 5 ක වහලයේ කටාරමට පහලින් මැකී යමින් පවතින චිත්‍ර කොටස් දැකිය හැක. තවද ඒවායින් බොහෝමයක සුදු පිරියම් කර තිබූ සාධක අතරින් පතර ඉතිරි වී ඇති බදාම කොටස් වලින් පැහැදිලි වේ. ඒවායෙහිද පෙර චිත්‍ර ඇඳ තිබූ බවට දැනටද දිස්වන වර්ණක කොටස් දෙස් දෙයි.

පර්වත උද්‍යානයේ කෙටි වීඩියෝව නැරඹීමට Link>>

පර්වත උද්‍යානයේ මෙවන් වෙනත් බොහෝ දෑ පිළිබඳව ඉදිරි ලිපි වලින් තොරතුරු විමසා බලමු.

මූලාශ්‍ර
  • Sigiriya, Senake Bandaranayaka, City, Palace and Royal Gardens, 1999
  • Sigiriya, R.H. De Silva, 1976
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • සීගිරිය, එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග. මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
  • Further studies in the settlement archaeoligy of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • The Rock And Wall Paintings of Sri Lanka, Senake Bandaranayake, 2006
  • Men And Monuments D.T. Devendra A Centennial Tribute, Leelananda Prematilele at. all, 2001
  • Digging Into The Past, Raja de Silva, 2005
  • Sigiriya Paintings , Raja de Silva, 2009
  • සීගිරිය, කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රනාමය, සිරි ගුනසිංහ, 2010
  • Paranavitana S., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions
  • Sigiriya Project, 3rd Progress Report Excavation at Sigiriya (January - June 1983), Senaka bandaranayake, 1989
  • සීගිරිය ව්‍යාපෘතිය, සීගිරියේ සිව්වන පුරාවිද්‍යාත්මක කැණීම් (1983 ජූලි-දෙසැම්බර්) සේනක බණ්ඩාරනායක, 1993
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1911-12
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1896
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1897

Saturday, December 21, 2019

සීගිරිය පබ්බත විහාරය

මෙම පබ්බත විහාරය පිළිබඳව වූ විස්තරාත්මක ලිපියක් කලකට පෙර මෙහි පලවිය Link>> මේ එම පබ්බත විහාරයෙහි කෙටි වීඩියෝවකි.

Wednesday, December 11, 2019

සැදූ කෙනෙක්, සැදූ කලක් නොදන්න තන්තිරිමලය බුදු පිළිම

එහි පැරණි නාමය අවිනිශ්චිත, තන්තිරිමලය ලෙසින් වර්තමානයේ හැඳින්වෙන පුද බිම පිළිබඳව මා මෙයට පෙර ලිපියකින්ද කරුණු දක්වා ඇත (එම ලිපිය කියවීමට Link>> ) තන්තිරිමලය  ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ පමණ සිට බෞද්ධ පුද බිමක් ලෙසට පැවත ආ බවට සාධක හමුවන මුත්, මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එහි දැකිය හැකි ශෛලමය ප්‍රතිමා ඉන් මෑත යුගයකට අයත් වේ. ක්‍රි.ව. 8-9 සියවස් වල සිට 13 වන සියවස දක්වාම විවිධ කාල නිර්ණයන් නොයෙකුත් විද්වතුන් මෙම ප්‍රතිමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මුත් ඒ සම්බන්ධව නිශ්චිතව  යමක් පැවසීමට සෙල්ලිපි, වංශකතා ආදී සාධක නොමැත. එහෙත් පොදුවේ මෙම ප්‍රතිමා නෙළු යුගය අනුරාධපුර යුගයේ අවසානය හෝ පොළොන්නරු යුගය බවට විවාදයක් නොමැත.

සමාධි ප්‍රතිමාව
උතුරු දෙසින් වූ දාගැබ දෙසට යොමුවන ලෙසින් පිහිටි ගලෙහි මතු කර ඇති මෙම ප්‍රතිමාව  මීටරයක් පමණ උස ආසනයක් මත නිමවා ඇත. ප්‍රතිමාව මීටර 2.3 පමණ උසය.  සමාධි ප්‍රතිමාව දෙපසින් වැඩ නිම නොකල එක් පසකට හතර බැගින් වූ ගලෙහි මතු කල කුහර 8 දැකිය හැක. ඉන් කුහර දෙකක අඩක් කැටයම් කල බෝධිසත්ව රූප ලෙස සැක කල හැකි කැටයම් දෙකකි. ප්‍රතිමාවට පිටුපසින් මකර තොරණක් ගලෙහි මතු කර ඇති අතර එහි දෙපස මකර හිස් දෙකක් ඇත. පිටුපස කකුල් වලින් නැගී සිටින සිංහ රූ දෙකක් මගින් එම තොරණ ඔසවාගෙන සිටී. ප්‍රතිමාවේ ප්‍රභාමණ්ඩලය දෙපසින් චාමර සලන දේවතා රූප දෙකකි. ප්‍රතිමාව තබා ඇති ආසනයේද සිංහ රූප කැටයම් කර ඇත. මෙම ප්‍රතිමාව ආසන්න වශයෙන් චතුරශ්‍ර හැඩයෙන් යුත් පිළිම ගෙයක් තුල පිහිටන පරිදි ඉදිකර තිබූ බව දැනටද දැකිය හැකි එහි ශෛලමය දොර උලුවස්ස, දෙපසින් ඇති ගඩොළු බිත්ති, වහලය දරා සිටි  ගල් කණු සහ ඒවා සිටුවීම උදෙසා ගල මතුපිට හාරා ඇති සිදුරු වලින්  පැහැදිලි වේ.

පුරා සතියක් තන්තිරිමලේ ගල් ගුහාවක නැවතී සිටිමින් ගවේෂණ සිදු කල  ජෝන් ස්ටිල් දකින අවධිය වන විටත් (1909) මෙම ප්‍රතිමා ගෘහයේ සිට දාගැබ දෙසට වූ පඩි පේලියේ පඩි වල අග්‍ර තියුණුව තිබී ඇත. පඩි 8 ක් සම්පූර්ණයෙන් කපා ඇති මුත් 9 වැනි පඩිය වැඩ නිමවා නොමැති තත්වයෙන් ඇත. මෙම කරුණු අනුව කිසියම් ව්‍යසනයක් හේතුවෙන් මෙහි වැඩ අතරමග නතර කර ඇති බවත්, එම පඩි වල අග්‍ර තවමත් තියුණුව පවතින්නේ ඒවා පාවිච්චි නොකිරීමේ හේතුව නිසා විය යුතු බවත් ස්ටිල් පවසයි.

සැතපෙන ප්‍රතිමාව
උතුරු දෙසට යොමුවන සේ පිහිටි ගලේ නෙලා ඇති මෙම පිළිමය මීටර 12 දිගය. ප්‍රතිමාවේ හිසට මෙන්ම දෙපාවලටද කොට්ටයක් තබා තිබෙන අයුරින් නෙලා තිබේ. ඉහත ප්‍රතිමාව මෙන්ම මෙම සැතපෙන ප්‍රතිමාව වට වන අයුරින්ද ප්‍රතිමා ගෘහයක් ඉදිකර තිබී ඇත. 1896 වර්ෂය සඳහා වූ සිය වාර්තාවෙන් එවකට  පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ H.C.P. බෙල් පවසන්නේ ඔහු දකින විට මෙම පිළිමයේ නාසය සහ දකුණු අත විනාස වී තිබූ බවයි ( පසු කාලීන සංරක්ෂණයේදී සිමෙන්ති යොදා ඒවා පිලිසකර කර ඇත.)

ප්‍රතිමා ඉදිකල කාලය
පැරණි උපතිස්ස නගරය මේ ආසන්නයේ තිබිය යුතු බවට උපකල්පනය කල හෙන්රි පාර්කර් මෙම ප්‍රතිමා ගෘහ වල ගඩොල් වල ප්‍රමාණයන් අනුව ඒවා ක්‍රිස්තු පූර්ව හෝ ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසට අයත් බවත් ඒ අනුව මෙම සෙල්මුවා පිළිමද එම යුගයේ ඉදිකරන්නට ඇති බවත් අනුමාණ කරයි. එහෙත් පසුකාලීනව මේ පිළිබඳව අදහස් දක්වන ජෝන් ස්ටිල් පොළොන්නරුවේ ගල් විහාර ප්‍රතිමා සහ මෙම තන්තිරිමලේ ප්‍රතිමා අතර ඇති සමානත්වයන් නිසා මෙම පිළිම නෙලීම ආරම්භයද පළමුවන පරාක්‍රමබාහු යුගයට (ඔහුට පෙර H.C.P. බෙල්ද මෙම අදහසම ඉදිරිපත් කර ඇත.) හෝ ඉන් පසු කාලයට අයත් විය යුතු බවත්, ඇතැම්විට කාලිංග මාඝ ආක්‍රමණයත් සමග අතහැර දැමීම නිසා දැනට දැකිය හැකි අඩක් නිම කල ආකාරයෙන් දිස්වන බවත් පවසයි (රෝලන්ඩ් සිල්වා වැනි ඇතැම් නූතන යුගයේ පුරාවිද්‍යාඥයන්ද මෙම අදහසම දරයි. තන්තිරිමලය මෙරටට බොහෝ දකුණු ඉන්දීය ආක්‍රමණික සේනා ගොඩබට මහාතිත්ථ තොටමුණ හෙවත් වර්තමාන මාන්තායි ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වූ පැරණි මාර්ගයේ මල්වතු ඔයේ සිට සැතපුමක පමණ දුරින් පිහිටීමද මෙම ස්ථානය එවන් ආක්‍රමණ වලට පළමුවෙන්ම ගොදුරු වන ප්‍රදේශයක් වීමට හේතුවේ.) ඔහු සිය අදහස තහවුරු කිරීම උදෙසා මේ ආසන්නයේ ඇති 'පොත්ගුල' ලෙසින් හැඳින්වෙන ගුහාව ඉහලින් වූ පර්වතය මත ඇති කළු ගල් වලින් නිර්මිත හතරැස් කොටුවේ ඇති ඇතැම් ගල් වල 11 වන ශතවර්ෂයේ අවසාන භාගයට හෝ 12 වන ශතවර්ෂයට අයත් අක්ෂර වලින්  සලකුණු කර ඇති සලකුණු සාධකයක් ලෙස ඉදිරිපත් කරයි. ඔහුට අනුව එම හතරස් කොටුව, ඊට පහලින් ඇති 'පොත්ගුල' සහ ඉදිරිපස ඇති පධානඝර ගොඩනැගිල්ලද මෙම ප්‍රතිමා නිමවූ යුගයටම අයත් වේ. 
මෙම හතරැස් කොටුව ගල මතු පිට දැනට සමතල කර ඇති ලෙසින් දිස්වන වෙනත් ස්ථානයක තිබී 12 වන ශතවර්ෂයේ නටබුන් වූ පැරණි ස්ථාන නැවත ඉදිකිරීමේදී වර්තමාන ස්ථානයේ නැවත ඉදිකර ඇති බවට සැක කල හැකි බව පවසන H.C.P. බෙල්ට පසුව පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ A.M. හෝකාර්ට්, ස්ටිල් ඉහත සඳහන් කරන අක්ෂර එම ප්‍රතිසංස්කරණයේදී යොදන්නට ඇති බවත් මුල් ගොඩනැගිල්ල ඊට  සියවස් කිරිපයකට පෙර යුගයකට අයත් වීමේ සම්භාවිතාවක් ඇති බවත් පෙන්වා දේ. කෙසේ නමුත් ඔහු ප්‍රතිමා අයත් වන කාලය 12 වන සියවස හෝ ඇතැම් විට සමාධි ප්‍රතිමාවේ ආසනයේ දැකිය හැකි කැටයම් වල ශෛලය අනුව සහ වෙනත් සාධක මත 13 වන සියවසට හෝ අයත් විය හැකි බව පවසයි.
හෝකාර්ට් පෙන්වාදෙන තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ මෙම ප්‍රතිමා වල සිවුරේ රැලි මතු කර අති ආකාරය පොළොන්නරු යුගයේ ප්‍රතිමා වල දැකිය හැකි එකිනෙකට සමාන්තර ද්විත්ව රැලි වෙනුවට අවුකන වැනි පිළිම වල දැකිය හැකි තනි රේඛාවේ එකිනෙකට සම දුරින් පිහිටන රැලි ආකාරයේ වන බවයි. මෑතකදී වෙනස් මතයක් මෙම පිළිම වල කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ආචාර්ය දනන්ජය ගමලත් මහතා සිවුරේ මෙම ලක්ෂණය, සමාධි ප්‍රතිමාවේ ආසනයේ කැටයම් වල ලක්ෂණ සහ ප්‍රතිමා ගෘහයේ ස්වරූපය ආදිය පිළිබඳව සැලකීමේදී මෙම ප්‍රතිමා ඉදිකල කාලය 8-9 සියවස් වලට අයත් විය යුතු බව පවසයි.
බෝසත් පිළිම ලෙස අනුමාන කරන අඩක් නිමවූ ප්‍රතිමා
කෙසේ නමුත් මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතා මෙම පිළිම වල ශෛලය චෝල කලාවේ පශ්චාත් පල්ලව ලක්ෂණ වලට සමාන බව පවසමින් 9 වන සියවසට කාල නිර්ණය කර ඇති අතර, ෂ්රූඩර් ද (Ulrich Von Schroeder) එහි කාලය 9-10 සියවස් බව පවසයි. අප මෙම ලිපිය ආරම්භයේදී දක්වා ඇති ලෙසින් මේ අනුව බොහෝ විද්වතුන් මෙම පිළිම නෙළු යුගය අනුරාධපුර යුගයේ අවසානයට හෝ පොළොන්නරු යුගයට අයත් බව නිගමනය කරයි. 

ක්‍රිස්තු පුර්ව යුගයන්හි සිටම පැවත ආ සංඝාරාමයක් සුවිසල් පිළිම නෙලමින් තවදුරටත් දියුණු වෙමින් පැවතුන අවදියකදී පරසතුරු ආක්‍රමණ හෝ ඒ හේතුව නිසාම සිදුවූ රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් සමගම වනවැදී කාලයේ වැලි තලාවෙන් යටවී ගිය පසු නැවත විහාරයක් ලෙසින් දියුණු වීම ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යුගයේදීය. ඒ හා සම්බන්ධ ඇතැම් තොරතුරු ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර
  • Tantri-Malai: Some Archaeological Observations and Deductions. John Still, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXII, 63, 1910
  • Tantrimalai, A.M. Hocart, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXIX, 76, 1923
  • Ancient Ceylon, H. Parker, 1909
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, And Central Provinces, Annual Report 1896.
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්), ආචාර්ය දනන්ජය ගමලත්, 2016

Sunday, November 24, 2019

ශිව දෙවියන් උදෙසා සොලීන් පුලතිසිපුර ඉදිකල වණවණ්මාදේවි ඊශ්වරමූඩෙයාර් කෝවිල

අනුරාධපුර යුගයේ අගභාගයේ මෙරට ඇතිවූ අරාජිකත්ව තත්වයත් සමග සිංහලද්වීපයේ රජරට රාජධානියේ බලය අඩ සියවසකට මදක් වැඩි කාලයකට චෝලයන් අතට පත්වූ අයුරුත් එම කාලය තුල මෙරට ඉදිවූ හින්දු ආගමික සිද්ධස්ථාන පිළිබඳවත් අපි පෙර ලිපි කිහිපයකින්ම විමසා බැලුවෙමු. (එම චෝල ආධිපත්‍යයට යටත් වීම දක්වා වූ දේශපාලන තත්වයන් පිළිබඳව දැනගැනීම උදෙසා අංක 1 ශිව දේවාලය ලෙසින් නම් කර ඇති ශිව දේවාලය පිළිබඳව වූ  ලිපියේ අදාල මුල් කොටස කියවීමට Link >>  මෙම ලිපියට අදාල නූවත් මෙහිදි සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ එම ලිපිය සමග අප ඉදිරිපත් කර ඇති ඡායාරූප 2018 වසරේදී ගන්නා ලද ඡායාරූප බවත් ඉන්පසු කාලයකදී ඇතිවූ අධික වර්ෂා සහිත කාලගුණික තත්වයකදී අංක 1 ශිව දේවාලය එහි වහලයද සමගින් කඩා වැටී ඇති බවත්ය. ඉන්පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය නැවත ගලවා ඉදිකිරීමේදී ශිව දේවාලය ඉදිකර ඇත්තේ විනාශ කල පැරණි බෞද්ධ පිළිම ගෙයක් මත බව ආචාර්ය ධනංජය ගම්ලත් මහතාගේ නිරික්ෂණයට ලක්වීමත් සමග (Link>>) මේ වන විට එම පිළිමගෙයි පාදම එම ස්ථානයෙහිම සංරක්ෂණය කෙරෙමින්, අංක 1 ශිව දේවාලය ඒ අසලම වෙනත් ස්ථානයක ගලවා සවිකරමින් ඇත.)
වෙනත් ස්ථානයක නැවත ඉදිකෙරෙමින් පවතින අංක 1 ශිව දේවාලය.
ඡායාරූපය - සුජීවා ගුණසේන (2019/8/29)
පොළොන්නරුව පැරණි නගරයේ දැකිය හැකි වෙනත් හින්දු ආගමික ස්ථාන සම්බන්ධ ලිපි

පොළොන්නරුව පැරණි නගරයේ හමුවන මෙම හින්දු ආගමික ස්ථාන සහ ඉදිරි ලිපි වලදී අප තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වෙනත් එවැනි අනෙකුත් ස්ථාන පොදුවේ මෙම චෝල පාලන යුගය තුල ඉදිකල බවට විශ්වාස කරන මුත් එම මතය සනාත කිරීම උදෙසා එම යුගයේ පිහිටවූ සෙල්ලිපි ආදී සාධක හමුවන්නේ විරල ලෙසිනි. මෙම ලිපියෙන් අප කතා කිරීමට බලාපොරොත්තු වන අංක 2 ශිව දේවාලය ලෙසින් හඳුන්වන ශිව දේවාලය එවන් සෙල්ලිපි සාධක හමුවන, එසේම ඉතාමත්ම හොඳ තත්වයෙන් තවමත් දැකිය හැකි ශිව දේවාලයකි.චෝල පාලකයක් බෞද්ධ පිළිම ගෙයක් විනාශ කර ඒ මත ශිව දේවාලයක් ඉදිකලද ඔවුන්ගෙන් බලය නැවත ලබාගත් මහා විජයබාහු රජු ඇතුළු පසු කාලීන සිංහල බෞද්ධ පාලකයන් හින්දු ආගමික ස්ථාන විනාශ කර නැවත බෞද්ධ ආගමික ස්ථාන එම ස්ථාන වලම ඉදිකිරීමට තරම් සැහැසි නොවූ බවට පොළොන්නරුව පැරණි නගරය තුල හමුවන මෙවන් බොහෝ හින්දු ආගමික ස්ථාන දෙස්දෙයි. ඒවා විනාශ වූවා නම් විනාශ වූවේ සියවස් ගණනාවක් පුරා කාලගුණික තත්වයන් වල බලපෑමෙන් සහ වන ප්‍රවාහයෙන් සිදුවූ හානිය නිසාය. ඒ අතරම මිනිස් ක්‍රියාකාරකම් ලෙස නිධන් හොරුන් විසින් සිදු කල විනාශයද සුලු පටු නොවේ.
1906 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ වාර්ෂික වාර්තාවේ H.C.P. බෙල් මහතා මෙම ශිව දේවාලය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට පෙරද කළුගල් (Granite) සහ හුණු ගල්වලින් (Limestone) නිර්මිත මෙම කුඩා හින්දු දේවස්ථානය පිළිබඳව ජේම්ස් ෆර්ගියුෂන් සහ S.M. බරෝස් නම් වූ ඉංග්‍රීසි ජාතික ලේඛකයන් කරුණු ඉදිරිපත් කර ඇත. ජන වහරේ 'විෂ්ණු දෙවියන්නේ දේවාලේ' ලෙසින් එවකට හඳුනාගත් මෙම ගොඩනැගිල්ල ඒ අවට හමුවන ශිලාමය ගව රූප හේතුවෙන් එසේ විය නොහැකි බවට ෆර්ගියුෂන් විසින් බෙල් එම අදහසම ඉදිරිපත් කිරීමට වසර 30 කට පෙර එම ස්ථානයට නොගොස් ඡායාරූප පමණක් දැකීමෙන් සැක පහල කල බව H.C.P. බෙල්ම සිය වාර්තාවේ පවසයි. කෙසේ නමුත් බරෝස් විසින් අවස්ථා දෙකකදීම මෙම ගොඩනැගිල්ල පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේදී එය 'විෂ්ණු දේවාලය' ලෙස හඳුන්වයි. සැතපුම් කාලක් පමණ වූ පටු වනගත මාර්ගයක් ඔස්සේ මෙම ස්ථානයට ලගාවිය යුතු බවත්, දැරිය නොහැකි ලෙසින් වූ වවුල් ගඳ ඔහු එහි ඇතුළු විහාරයට (Inner Shrine) පිවිසීම වලකා ලූ බවත් බරෝස් පවසයි. එහි දකුණු බිත්තිය දිගට වූ දෙමළ සෙල්ලිපිය පිළිබඳවත් ඔහු සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.
සෙල්ලිපියක් සහිත දකුණු  බිත්තියට අල්ලා ඇති ගලක්
බෙල් හඳුනාගන්නා පරිදි මෙම ශිව දේවාලයේ බිත්ති වල ග්‍රන්ථ අක්ෂර වලින් රචිත සෙල්ලිපි 3 ක් දැකිය හැක. එවකට මදුරාසි පුරාවිද්‍යා සහකාර පාලකවරයා වූ  ක්‍රිෂ්ණ ශාස්ත්‍රී විසින් එම ලිපි බෙල් වෙනුවෙන් කියවා ඇති අතර එම ලිපි වල කියවිය හැකි කොටස් වලින් හෙලි වන කරුණු මෙලෙස ඉදිරිපත් කල හැක.
  • ප[රකේශරීවර්]මන් හෙවත් උදය්යාර් ශ්‍රී  අධිරාජෙන්ද්‍රදේවා නම් වූ චෝල  රජෙකුගේ කාලයට අයත් මෙහි හමුවන දීර්ඝම ලිපිය එම රජුගේ කිසියම් රාජ්‍ය වර්ෂයකදී පිහිටුවා ඇති බවට සඳහන් වුවත් එම වර්ෂය ලිපියේ කියවිය නොහැකි ලෙසින් මැකී ඇත. චෝල රජුන් වන වීර රාජේන්ද්‍ර (රාජ්‍ය කාලය දළ වශයෙන් ක්‍රි. ව.  1062 සිට 1069 ) හා දෙවන රාජේන්ද්‍ර චෝල හෙවත් පළවැනි කුලෝත්තුංග ( ක්‍රි. ව. 1073 සිට 1118) අතර කාලයේ අධිරාජේන්ද්‍ර රජු චෝල රට පාලනය කල බවට විශ්වාස කෙරේ.
  • ලිපිය පිහිටුවීමේ අරමුණ එහි වූ දොළොස්මහේ පහන (Perpetual Lamp) තබන්න ආධාරකයක් (Lamp stand) පිරිනැමීම සහ එම පහන දැල්වීමට අවශ්‍ය තෙල් ලබාගැනීම උදෙසා මුදල් පිරිනැමීමයි. ශිව දෙවියන් උදෙසා වූ එම දේවාලයේ නම වණවණ්මාදේවි ඊශ්වරමූඩෙයාර් නම් විය. ජනනාථමංගලම් නම් වූ වර්තමාන පොළොන්නරුව නගරය සඳහා එම යුගයේ ව්‍යවහාර වූ නාමයද මෙම ලිපියේ හමුවේ.
  • තවද එම පහනේ මනා නඩත්තුව සඳහා දේවාලයේ සුළු සේවකයන්, පරිපාලකයන්, බෙර වාදකයින්, නාටිකාංගනාවන් ඇතුළු සියල්ලන් වගබලාගතයුතු බව එහි සඳහන් වේ.
  • මෙහි ඇති තවත් ලිපියකින් කියවෙන්නේ වණවණ්මාදේවි ඊශ්වරමූඩෙයාර් නම් වූ මෙම දේවාලයෙහි පල්ලිකොන්ඩාර් සහ ශ්‍රී අලගියමනවාලර් පිලිරූ පිහිටවූ බවය. විෂ්ණු ඇදහීම හා සම්බන්ධ මෙම ප්‍රතිමා මෙම පරිශ්‍රයේ පිහිටි වෙනත් කුඩා විෂ්ණු දේවාල දෙකක පිහිටුවන්නට ඇති බව විශ්වාස කෙරේ.
  • මෙහි දැකිය හැකි තුන්වන ලිපියෙන් චෝල රජකෙනෙකු වූ පළමුවැනි රාජෙන්ද්‍ර චෝල රජුගේ ඓතිහාසික හැඳින්වීමක් ඉදිරිපත් කරයි.
 තවද මෙහි ගර්භගෘහය තුල තිබී හමු වූ ශිව ලිංගය නිසා පැහැදිලිවම මෙම දේවාලය ශිව දෙවියන් උදෙසා ඉදිකල බව තහවුරු කරයි. මෙම ගොඩනැගිල්ලේ පහල කොටස මූලිකව කළු ගලින් සහ උඩ කොටස වැඩි වශයෙන් හුණු ගලින් නිමවා ඇත. මුළු ගොඩනැගිල්ලම එකල සුදු පිරියම් කර වර්ණ ආලේප කර තිබෙන්නට ඇති බවට දැනටද ඇතැම් ස්ථාන වල ඇතැම්විට දැකිය හැකි සුදු පසුබිමේ වූ රතු පාට ලැටිස් සලකුණු වලින් පැහැදිලි වන බව බෙල් සඳහන් කරයි. දේවාලය ඉදි කල යුගයට පසු කාලයකදී ඉදිකලා විය හැකි ලෙසට සැලකෙන ප්‍රාකාරයේ සීමාවෙන් ඇතුලත තවත් කුඩා ගොඩනැගිලි 2 ක සාධක හමුවේ. ඉන් එක් ගොඩනැගිල්ලක් එහි තිබී හමුවූ පුවරුවක මතු කල ගණ දෙවි රුවක් හේතුවෙන් එය ගනේශ දේවාලයක් ලෙස හඳුනාගෙන ඇත. එම පුවරුව කොළඹ කෞතුකාගාරයේ ඇති බව පැවසේ. කාමර දෙකකින් සමන්විත මෙම ගොඩනැගිල්ල මුළුමනින්ම ගඩොලින් නිමවා තිබී ඇත. ගනේශ  ශිව දෙවියාගේ එක් ප්‍රත්‍රයකු ලෙස සැලකේ. මෙම පරිශ්‍රයේම වූ තවත් කාමර දෙකකින් යුත් කුඩා ගොඩනැගිල්ලක් ශිව දෙවියාගේ අනෙක් පුත්‍රයා වූ කර්තික්‍යය හෙවත් කන්දස්වාමි හෙවත් සුබ්‍රමනියන් උදෙසා වෙන් කර තිබූ බවට එහි තිබී හමු වූ අනෙකුත් මූර්ති අතර වූ ඔහුගේ වාහනය වූ මොණරා ඉදිරිපස සිටගෙන සිටින කවන්ධ දේව රූපය නිසා සිතිය හැකි බව බෙල් පවසයි (එම මූර්ති සියල්ලද බෙල්ට අනුව කොළඹ කෞතුකාගාරයට යවා ඇත.)
විමානය
මූලාශ්‍ර
  • The Buried Cities of Ceylon, A Guide book to Anuradhapura And Polonaruwa S.M. Burrows, 1905
  • Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1906, H.C.P. Bell, 1910
  • History of Indian And Eastern Architecture, James Fergusson, Volume 1, 1899

Sunday, November 3, 2019

තොටදනවු මන්ද්නාවන් සෑගිරියෙන් ගෙනා නිශ්ශංකමල්ල රජුගේ පුලස්තිපුර ගල්පොත

පෙර ලිපියකින් මෙරට විශාලම අකුරින් රචිත දිගම සෙල්ලිපිය ගැන විස්තර ඉදිරිපත් කල අතර (Link>>) මෙම ලිපිය මගින් අපගේ අවධානය යොමුවන්නේ මෙරට හමුවන 'යෝධ සෙල්ලිපිය' ලෙස සැලකිය හැකි සෙල්ලිපියටයි. අකුරු 4300 කට අධික ප්‍රමාණයකින් පේලි 72 කට, ඔප මට්ටම් කල විශාල ගල් කුට්ටියක මතු පිට ලියා ඇති මෙම ලිපිය පොළොන්නරුවේ දළදා මළුව ලෙසින් හැඳින්වෙන පූජනීය චතුරශ්‍රයේ පිහිටා ඇත. (තෝනිගල සෙල්ලිපි වල අකුරු ප්‍රමාණය මීට වඩා අඩුමුත් ඒවා දික් අතට තනි පේලියක් ලෙස ලියා ඇති හෙයින් එය විශාල පරාසයක් පුරා විසිරුනු දිගම සෙල් ලිපිය ලෙස සැලකේ.) අප මෙම ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන 'ගල්පොත' ලෙසින් ජනවහරේ හැඳින්වෙන ලිපිය අකුරු ප්‍රමාණය අතින් ඉදිරියෙන් සිටින මුත් කුඩා අකුරින් පේලි ලෙස ලියා ඇති බැවින් සාපේක්ෂව අඩු ඉඩක් උපයෝගි කරගෙන ඇත (එහෙත් මෙම ගල් කුට්ටියේ මුළු දිග අඩි 26 අඟල් 10 පමණද පළල අඩි 4 අඟල් 7 පමණද වේ.) සෙල්ලිපිය පිහිටවූ රජු සිරිසඟබො කාලිඟ පරාක්‍රමබාහු වීරරාජ නිශ්ශංකමල්ල අප්‍රතිමල්ල මහාරජපාවහන්සේ ලෙස ලිපියෙහි හැඳින්වෙන මෙරට වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස සැලකිය හැකි (දැනට මෙම රජුගේ ලෙස හඳුනාගෙන කියවා පලකර ඇති මුළු සෙල්ලිපි ප්‍රමාණය 64 කි.) නිශ්ශංකමල්ල රජු ලෙස හඳුනාගත හැක.
ලිපිය පිහිටුවීම උදෙසා මෙම විශාල ගල් කුට්ටිය මෙම ස්ථානයට රැගෙන ආ පෙදෙස සහ ගෙනා පුද්ගලයන් ගැනද මෙම ලිපියේ පසු සටහනක් ලෙස එහි දකුණු අන්තයේ සිරස් කොටසේ දක්වා ඇත. ඒ අනුව 'ශ්‍රී කාලිඟ චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ඇති කළ නිශ්ශංක භටයන්' ලවා 'අධිකාර තොටදනවු (මන්ද්)නාවන් සෑගිරියෙන්' එම 'ශිලාලේඛ ගල' ගෙන්වා ඇත. මෙහි සඳහන් සෑගිරිය මිහින්තලය ලෙස හඳුනාගත හැක. මිහින්තලයේ සිට මෙම ස්ථානයට සැතපුම් 80 ක පමණ දුරක් ඇති අතර, සාපේක්ෂව තැනිතලා මෙම බිමේ මෙවන් ගල් කුට්ටියක් මෙතරම් දුරක් රැගෙන ඒම එතරම් අපහසු නොවුනත් පොළොන්නරුවට එතරම් දුර නොවන මෙවන් ගල් කුට්ටි ලබාගත හැකි ස්ථාන තිබියදී එවන් දුරක සිට රැගෙන ඒමේ අවශ්‍යතාවය කුමක්ද යන පැනය මෙහිදී මතුවේ. අවසන් නිගමනයක් ලෙස නොවුනත් මේ පිළිබඳව මියූලර් පවසන මතයද මෙහිදී වැදගත් වේ. ඔහු පවසන්නේ එම ස්ථානය සෑගිරිය නොව පොළොන්නරුවට සැතපුම් 15 ක පමණ දුරින් පිහිටි සීගිරිය විය හැකි බවයි. ලිපිය කෙටූ ගල්වඩුවා එයට වැඩි අගයක් දීම උදෙසා එය බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්වූ ස්ථානයක් වන මිහින්තලය ලෙසට වෙනස් කරන්නට ඇති බවය ඔහුගේ අදහස. රජු විසින් පිහිටුවන සෙල්ලිපියක අන්තර්ගතය ගල්වඩුවාට වෙනස් කල හැකිද යන පැනය මෙහිදී මතුවන මුත් Z. වික්‍රමසිංහ මහතා එම මතය තවත් ශක්තිමත් කිරීම  උදෙසා ඉදිරිපත් කරන අදහස්ද මෙහිදී දැක්වීම ප්‍රයෝජනවත් වේ. ඔහු පවසන්නේ ලිපියෙහි 'ස' අකුරට උඩින් 'සී' ලෙස ලියා මකා ඇති සලකුණු ඇති බවත් අනතුරුව එය 'සෑ' ලෙස සටහන් කර ඇති බවත්ය. තවද නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය අසලින් සොයාගත් රජුගේ 'ගල් ආසන ලිපියක' එම ගල එඩෙරගල්ලෙන් ගෙනා ලෙස සටහන් කර තිබීමයි. එම එඩෙරගල්ල වර්තමාන එඬේරුගල ගම්මානය ලෙසින් හඳුනාගත හැකි බැවින් සීගිරියේ සිට සැතපුම් 5 ක පමණ දිරින් පිහිටි එවකට සීගිරි ප්‍රදේශයටම අයත් වූ එම පෙදෙසින්ම මෙම ගලද ගෙනෙන්ට ඇති බවය එතුමා වැඩිදුරටත් සඳහන් කරනුයේ.
අප විසින් මෙයට පෙරද ඉදිරිපත් කල නිශ්ශංකමල්ල රජුගේ වෙනත් සෙල්ලිපි වල (Link1>>, Link2>>) එන තොරතුරුම අඩු වැඩි වශයෙන් මෙම සෙල්ලිපියේද හමුවන අතර ඔහුගේ ඇදහිය නොහැකි ඇතැම් වීරක්‍රියා වැනි දේ හැර වෙනත් වැදගත් තොරතුරු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කල හැක. (ඉහත ලිපිවලද සඳහන් ඇතැම් තොරතුරු මෙහිදී නැවතත් ඉදිරිපත් කර නැත.)
  • ඔකාවස් රජපරපුරෙහි කාලිංග චක්‍රවර්ති කුලෙන් පැවතෙන විජය රජු ලක්දිව ගොඩබැස වසර 1700 ගියතැන, නිශ්ශංකමල්ල රජු දඹදිව කලිඟු රට සිංහපුරයෙහි ඉපිද, 'පරපුරෙන් ඔහුට හිමි ලක්දිව' රජ කරනු මැනවැයි 'ලක්දිව කුලජෙටු මහරජු' ආරාධනා කල හෙයින් මෙරටට පැමිණ 'ඈපාහිමියා' තනතුරද හොබවා රජ පිළිවෙලින් අභිෂේක ලැබ ඔටුණු පැලඳ මෙරට රාජ්‍යත්වයට පත් වූ බව. 
  • පෙර සිටි සමහර රජවරුන්ගේ අදමිටු ක්‍රියාවන් හේතුවෙන් සිය ධනය සහ පාරම්පරික වරප්‍රසාද අහිමි වූ ලක්දිව බහුජනයා අතරින් සමහරකුගේ වරප්‍රසාද නිශ්ශංකමල්ල රජු නැවත පිහිටවූ බව (FCID වැනි නීතිවිරෝධී පොලිසී මගින් මෙකල සිදුකරන ආකාරයේ දේශපාලන පළිගැනීම් එකලද සිදුව ඇති බව පෙනේ.)
  • පස් වසරකට අයබදු අත්හිටවූ බව සහ පෙර රජවරුන් කෙත්වතු වලින් අය කල අමතර බදු අත්හිටවන ලෙසට නීති පැණවූ බව, කුඹුරුවල පලදාව අනුව වර්ග තුනකට බෙදා ඒවායින් ගත යුතු බදු ප්‍රමාණද මෙහි දක්වා ඇත. තවද දුකෙන් කරන සෙහෙන් කටුසර අය මුළුමනින්ම නැවතූ බවද (එනම් හේන් ගොවිතැනින් බදු අය නොකල බව) මෙම සෙල්ල්පියේ වැඩිදුරටත් සඳහන් වේ. 
  • තුන් රජයෙහිම අබලන් වූ මහවැව්, ඇළ, අමුණු බඳවා 'පිසම්බුරු වතද' (ජල බද්ද) අහෝසි කල බව.
  • නොයෙක් ජනපද වල 'ධර්මාධිකරණ' පිහිට වූ බව.
 පසු සටහන සහිත දකුණු අන්තයේ සිරස් කොටස
  • යුවරජ තැන්පත් ඔහුගේ පුතනුවන් වූ වීරබාහු මහපාණන් හටද, කලිඟු පුරයෙන් රාජ කන්‍යාවක් ගෙන්වූ බව සහ ඔහුගේ බිසෝවරුන් දෙදෙනා සහ පුතණුවන්ද, දුව වූ සබ්බාඟ සුන්දරීන්වහන්සේද  (සර්වාංග සුන්දරී) එක්ව වසරකට පස් වතාවක් තුලාභාර දන් දුන් බව. මෙ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>
  • හෙතෙම පුලස්තිපුර නම් කාලිඟකපුරයෙහි (එනම් පොළොන්නරුවේ)  වැඩවසමින් චරපුරුෂයෙන් මාර්ගයෙන් නිතර සිය රට මෙන්ම වෙනත් රට වලද තොරතුරු දකින මුත් ලක්දිව තොරතුරු සිය ඇස් දෙකින්ම දකිනු රිසියෙන් සිව්රඟ සෙනග පිරිවරා (රෑට රෑට වෙස්වලාගෙන තනියම අපේ ගෙවල් වලට පැමිණ අපි සතුටින්දැයි බලන බූරු පුතානෝ මෙන් නොව) ත්‍රීසිංහළයෙහි ගම්, නියම්ගම්, රාජධානි, ජලදුර්ග, ගිරිදුර්ග, වනදුර්ග ආදියෙහි සැරිසැරූ බව.
  • තුන් රජයෙහි මියුගුණු මහවෙර, (ම)හගම [දෙවුනුවර?] කැ(ලැ)ණි ආදී වූ ඔහු සැරිසැරූ වෙහෙර වල නව කර්මාන්ත කරවා, දම්බුලුලෙණැ හොත්, හුන් සහ හිටි පිළිම වල රන් ආලේප කරවා, අනුරාධපුරයෙහි රුවන්මැලිමහසෑවහන්සේට සතිස්ලක්ෂයක් ධන වියදම් කර පූජා කරවා, එහි 'ගල් දාගැබක්' කරවා, එම සෑම තැනකම ශිලාලේඛනද කරවූ බව.
ඇත් රූ දෙකක් දෙපසින් ජලය හිස මතට වක්කරන සෙල්ලිපියෙහි දකුණු අන්තයේ සිරස් කොටසේ පිහිටි ලක්ෂ්මි රූපය
  • මෙම ලිපියෙහි නිශ්ශංකමල්ල රජුගේ දඹදිව සිදු කල ආක්‍රමණ ගැන කියවෙන කොටස අතිශයොක්තියෙන් පිරී ඇති මුත් ඔහු පාණ්ඩ්‍ය (පාඩි), සොළී ආදී රාජ්‍යය වලින් රාජ කන්‍යාවියන් හා හස්ති, අශ්ව ආදී පඬුරු ලද බවත්, කණ්ණට, නෙල්ලූරු, ගෞඩ, කලිඟ, ති[ලිඟ], ගු[ජ්ජර] ආදී නොයෙක් දේශයන් වල රජවරුන් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බවත් ලෙස පැවසෙන තොරතුරු සත්‍යය විය හැක. තවද හෙතෙම රාමෙශ්වරයෙහිද තුලාභාර දන් දුන් බව කියවේ. එසේම එහි ජයස්තම්භයක් පිහිටුවා, නිශ්ශංකේශ්වර නම් දෙවොලක්ද ඉදි කල බව වැඩිදුරටත් සඳහන් වේ (මෙම තොරතුරු වල විශ්වාසනීයත්වය රාමේශ්වරමින් හමුවන රජුගේ ගල් ආසන ලිපියෙන් තහවුරු වේ.) මෙම 'දඹදිව ආක්‍රමණය' සඳහා ඔහු සමග ගිය සෙනෙවියා ල(ග්) විජයසිඟු සෙනෙවි තාවුරුනාවන් ලෙස ලිපියේ දක්වා ඇත.
  • නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකල වෙහෙර විහාර ලෙස දළදාගෙය, වටගෙය, නිශ්ශංකලතාමඩපය, මහවෙහෙර දාගැබ හා සමාන වන උපකාර චෛත්‍යයද මෙහි සඳහන් වේ. එසේම රජගෙට උතුරු දෙසින් අසූ අත් (රියන්) රුවන්මැලි දාගැබද කරවූ බව සඳහන් වේ. එසේම ඒවායෙහි දොරටු, පවුරු සහ සංඝාරාමද හෙතෙම ඉදිකරවීය. 
උතුරු අන්තයේ සිරස් කොටස
  • රජදරුවන් මනුෂ්‍යරූපයෙන් සිටියද ඔවුන් නරදේවතාවන් ලෙසින් හඳුන්වන ලිපියේ අවසාන කොටසේ රජු කෙරෙහි ජනයාගේ පක්ෂපාතීත්වය වැඩීම උදෙසා දිර්ඝ 'අවවාද' සහිත වාක්‍යය කිහිපයක් අතුලත් වේ. රජුගෙන් පසුව රාජ්‍යත්වයට ඈපා, මහපා දූර දරන ඔහුගේ පුතුන්ද, ඔවුන් නොමැති නම් බිසෝවරුන්ද පත් කරගත යුතු වේ. බිසෝවරුන්ද නොමැති වුවහොත් මහරජ පය ලූ වහන්මාත්‍රයකදු (පාවහන්) රජ තැන්හී තබා රාජ්‍යය රැකගත යුතුය. අබෞද්ධ චෝඩ, පාණ්ඩ්‍යය ආදී රජුන් ලක්දිව රජතැන්හි නොපිහිටවිය යුතුය. විජයරාජ කුමාරයාගේ පටන් ලක්දිව හිමි කාලිඟ වංශයෙහි රජදරුවන් පමණක් රාජ්‍යත්වයට පත්විය යුතුය ආදී කරුණු ඒවායෙහි ඇතුලත් වේ. 
ගඩොල් පීඨිකාවක් මත පිහිටුවා ඇති ගල්පොත සෙල්ලිපිය එය වටා සිටුවා ඇති කුළුණු 10 ක් මත ඉදිකර තිබී ඇති වහලයකින්ද ආවරනය වී තිබී ඇත.
නිශ්ශංකමල්ල යුගයේ රජෙකු පත්කරගැනීමේදී සැලකිය යුතු යැයි ඔහු ඉදිරිපත් කරන සමහර තත්වයන් වර්තමානයට අදාල නොවූවත් රාජ්‍යත්වයට පත්කරගත යුත්තේ ඒ සඳහා හැකියාවක් සහිත පුද්ගලයන් විය යුතුය යන්න නම් පසුගිය වසර 5 ක පමණ කාලය තුලදී මෙරට වැසියන් ඕනෑවටත් වඩා හොඳින් වටහාගන්නට ඇත. ග්‍රාමසේවක මහතෙකු වෙනුවට අ.පො.ස. සා. පෙලද අසමත් විකටයකු පත්කරගෙන ඉදිරි වසර පහ තුල රට මීටත් වඩා දරුණු අගාධයකට ගෙනියනවාද, නැතහොත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඕනෑවටත් වඩා හොඳින් පෙන්වා ඇති වැඩකල හැකි මිනිසෙකු සමග සෞභාග්‍යමත් යුගයකට පියවර නගනවාද යන්න තව දෙසතියකින් මෙරට චන්දදායකයන් තිරණය කරනු ඇත.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883

Sunday, October 20, 2019

කුවේණිය ලතෝනිදුන් ගලෙහි දුෂ්ඨගාමිණී පිහිටවූ තුමුල සෙල් ලිපි

මෙරට තෝනිගල ලෙසින් හැඳින්වෙන ස්ථාන කිහිපයක්ම ඇති අතර ඉන් ස්ථාන දෙකකම පැරණි සෙල්ලිපි හමුවේ. මෙරට එකල පැවති බැංකු ක්‍රමය ගැන විස්තර සඳහන් ඉන් එක් සෙල්ලිපියක් වව්නියාව දිස්ත්‍රික්කයේ තිබෙන අතර මේ ලිපියේ ප්‍රස්තුතය වන තෝනිගල සෙල් ලිපි පිහිටා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේය. එම සෙල්ලිපි වල වීඩියෝවක් සමග කෙටි හැඳින්වීමක් මීට පෙර ලිපියකින් ඉදිරිපත් කල අතර ඒවායෙහි වැඩිදුර විස්තර සහිත මෙම ලිපිය කියවීමට පෙර සෙල්ලිපියේ විශාලත්වය සහ පිහිටි පරිසරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම උදෙසා එම වීඩියෝව නැරඹීම වැදගත්ය Link >>

මෙම ස්ථානයේ කුඩා වැවක වැව්බැම්ම ඔස්සේ එකිනෙකට මීටර 100 පමණ දුරින්  පිහිටා ඇති ගල්තලා දෙකක් මත විශාල සෙල්ලිපි දෙකක් ඇති අතර ඒවායේ වචනයක් දෙකක් අඩු වැඩි ලෙස එහෙ මෙහෙ වීම නිසා එක් සෙල්ලිපියක පිටපතක් ලෙස අනෙක සැලකිය නොහැකි මුත්, එම සෙල්ලිපි දෙකෙහිම අර්ථය එකක් ලෙස සැලකීමට එය බාධාවක් නොවේ. ඉන් එක් ලිපියක පෙල සහ ලිපි දෙකෙහිම අර්ථ මෙසේ දැක්විය හැක.
සෙල්ලිපිය 1
පරුමක අබය පුත පරුමක තිශහ වපි අචගිරික තිශ පවතහි අගත අනගත චතුදිශ ශගශ දිනෙ දෙවනපිය මහ රක්ධ ගමිණි අබයෙ නියතෙ අචනගරකච තවිරිකිය නගරකච පරුමක අබය පුත පරුමක තිශ නියත පිත රක්ධහ අගත අනගත චතුදිශ ශගශ

ලිපිය 1 අර්ථය - පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශහගේ වැව අචගිරික තිශ පර්වතයේ පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී. දෙවන පිය මහරජ ගමිණි අබය විසින් දෙන ලදී. අචනගරයද තවිරිකිය නගරයද පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශ විසින් පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී.

ලිපිය 2 අර්ථය - පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශ විසින් මේ වැව අචගිරික තිශ පවතහි පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී. දෙවනපිය මහරජ ගමිණි අබය විසින් දෙන ලදී අචනගරයද, තව්රකිය නගරයද අචගිරික තිශ පවතහි පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට පරුමක අබයගේ පුත්‍ර පරුමක තිශගේ විහාරයද දෙන ලදී.
සෙල්ලිපිය 2
ඒ අනුව මෙම සෙල්ලිපි දෙකින්ම කියැවෙන්නේ අචගිරික තිශපවත නම් වූ විහාරයට වැවක් සහ නගර දෙකක් පිදීම පිළිබඳවය. එක් ලිපියක "මේ වැව" ලෙසින්ම සඳහන් වන බැවින් එම විහාරයට පූජා කල වැව මෙම ලිපි දෙක පිහිටා ඇති ගල්තලා මතින් එහි වැව් බැම්ම වැටී ඇති දැනට තෝනිගල වැව ලෙසින් හැඳින්වෙන වැව ලෙස හඳුනාගත හැක. මෙම සෙල්ලිපි පිළිබඳව වර්ෂ 1909 දී සිය Ancient Ceylon ග්‍රන්ථයේ සඳහනක් කරන හෙන්රි පාර්කර් එකල එම වැවට භාවිතා වූ නම ලෙස සඳහන් කරන්නේ ගල් වැව හෝ ගලේ වැවය (Galawaewa, the Rock tank). එයටත් පෙර කලක වර්ෂ 1883 දී එඩ්වඩ් මියුලර් එය කුඩා වැව ලෙස හඳුන්වයි. (කෙසේ නමුත් මියුලර් ලිපි වල සඳහන් වැව රෝහණයේ දූරතිස්ස වැව විය හැකි බව පවසයි.)
අඩියක් පමණ විශාලව අඟලක් පමණ ගැඹුරට ගලේ කොටා ඇති සෙල්ලිපි අක්ෂර
මෙම ලිපි වල සඳහන් දෙවනපිය මහරජ ගමිණි අබය ලෙසින් හැඳින්වෙන රජු හඳුනාගැනීම පිළිබඳව සඳහන් කරමින් මියුලර් සඳහන් කරන්නේ එම රජු දුට්ඨගාමිණී (දුටුගැමුණු) හෝ වට්ඨගාමිණී (වලගම්බා) විය හැකි බවය (ගාමිණි අබය නම් සහිත රජවරුන් ලෙස මෙම යුගයේ අපට හමුවන්නේ ඉහත නම් සඳහන් රජවරුන් දෙදෙනා පමණි). ඒ අතරින් 'දෙවනපිය' විරුදාවලිය නිසා හෙතෙම වට්ඨගාමිණි වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු පවසයි. හෙන්රි පාර්කර් එම රජු දුට්ඨගාමිණි ලෙස නිසැකවම පවසයි. කෙසේ නමුත් මෙම සෙල්ලිපි වල අක්ෂර අයත් යුගයේ මෙරට පාලනය කල රජවරුන් අතරින් වට්ඨගාමිණී රජුගේ (ක්‍රි.පූ. 103 සහ නැවත ක්‍රි.පූ. 89 - 77) ලෙසින් හඳුනාගත් වෙනත් සෙල්ලිපි වල හමුවන ඔහු භාවිතා කල විරුදය වනුයේ 'දෙවනපිය' විරුදය නොව 'පිතිමහරජ' යන්නය (මහාවංශයේ සහ අට්ඨකථා වලද පිතුරාජ ලෙසින් ඔහුව හඳුන්වා ඇත.) එම හේතුව මත මෙම ලිපි වල සඳහන් රජු දුට්ඨගාමිණි (ක්‍රි.පූ. 161 - 137) ලෙසින් හඳුනාගන්නා එල්ලාවල මේධානන්ද හිමියන්ගේ හඳුනාගැනීම වඩාත් නිවැරදි බව පෙනේ. C.W. නිකොලස් මහතාද එම රජු බොහෝවිට දුට්ඨගාමිණි අභය රජු විය යුතු බව පවසයි.
තෝනිගල වැව
එම රජු විසින් ඉහත ලිපි වල සඳහන් වන පරිදි අචනගරය සහ තවිරිකිය නගරය ලෙසින් හැඳින්වෙන නගර දෙකක් අචගිරික තිශපවත විහාරයට පූජා කර ඇත.  එම නගර දෙක හෝ විහාරය නිසැකව හඳුනාගැනීමට සාධක නොමැති මුත් මෙම ලිපි වල සඳහන් පරුමක අබයගේ පුත් වූ පරුමක තිශ විසින් කරවූ ලෙන් ලිපි 3 ක්ම මේ අසලම පිහිටි දැනට පරමාකන්ද විහාරය ලෙසින් හැඳින්වෙන ගල් ලෙන් පිහිටි කඳු ගැටයක හමුවේ. ඉන් ලිපි දෙකකම පැවසෙන පරිදි ඔහු දුතනවිකහ/දුටකණයතහ නම් තනතුරක් දරා ඇති බව පෙනේ. එහි අදහස තානාපති සේවයේ යෙදුන නාවිකයෙක් යන්නය (Envoy-.mariner). මෙ අනුව පරුමක තිශ අපගේ හඳුනාගැනීම නිවැරදි නම් දුටුගැමුණු රජු යටතේ නාවික තානාපති සේවයේ යෙදී සිටි ප්‍රභූවරයෙකු ලෙස හඳුනාගත හැක.
තෝනිගල සිට දිස්වන පරමාකන්ද 
අචගිරික තිශපවත විහාරය (අච්ඡගිරි තිස්ස පබ්බත) යන්නෙහි 'අචගිරික' යන්නෙහි අර්ථය වලස්ගල ලෙසින් ගත හැක. මෙම විහාරයට බොහෝ පූජාවන් කල පරුමක තිශ නැමැත්තාගේ නමින් එය 'තිශපවත' වූවා විය හැක. එම විහාරය මෙම ස්ථානයෙන් ඈතක පිහිටි වෙනත් විහාරයක් ලෙස හඳුනාගන්නවාට වඩා ඉහත පරුමක තිශගේ වෙනත් ලිපිද හමුවන පරමාකන්ද විහාරය ලෙසින් දැනට හැඳින්වෙන විහාරය ලෙසින් සැලකීම නිවැරදි බව පෙනේ. එම විහාරය පුරාණයේ මෙම ස්ථානය දක්වාම පැතිර තිබෙන්නට ඇති බවට වූ සාධකයක් ලෙස කඩගලින් කල ස්ථූපයක නටබුන් මෙහි තිබී දැනට විනාශ වී ගොස් ඇති බවට පරනවිතාන මහතා 1972 දී පැරණි ස්ථාන නාමාවලියේ කරන සඳහන උපයෝගි කරගත හැක.
පරමාකන්ද  ගල් ලෙන්
මහාවංශයේ සඳහන් වන පරිදි සූරතිස්ස රජු නැගෙනහිර අච්ඡගල්ලක විහාරය නමින් විහාරයක් කරවීය. නැගෙනහිර අච්ඡගල්ලක විහාරය ලෙසින් එය හැඳින්වෙන බැවින් අනුරාධපුරයට නිරිත දිගින් පිහිටි මෙම විහාරය සූරතිස්ස රජු තැනවූ විහාරය විය නොහැක. නැගෙනහිර අච්ඡගල්ලක විහාරය නමින් සූරතිස්ස රජු තැනවූ විහාරය හඳුන්වන්නට ඇත්තේ අච්ඡගල්ලක නමින් වෙනත් විහාරයක්ද ඒ වන විට තිබූ නිසා විය හැක. එය අනුරාධපුරයට නිරිත දිගින් පිහිටි මෙම විහාරය විය නොහැකිද? කෙසේ නමුත් මෙම මහාවංශ ගාථාවේ අර්ථය පහදන වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාව දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250 - 210) විසින් 'දකුණු දිග' කරවන ලද අච්ඡවිහාරයෙන් වෙන්කොට දක්වනු පිණිස සූරතිස්ස රජු විසින් අනුරාධපුරයට නැගෙනහිරෙන් රහගල්ලක සමීපයේ කරවන ලද විහාරය එසේ හැඳින්වූ බව පහදා දෙයි. නිවැරදි දිශාව නිරිත දෙසින් වුවත් අනුරාධපුරයට සැලකිය යුතු දුරකින් දකුණට වන්නට පිහිටි පරමාකන්ද, එම දේවානම්පියතිස්ස රජු කරවූ අච්ඡවිහාරය ලෙසින් හඳුනාගැනීමද එතරම් වැරදි නොවන බව අපට හැඟේ. මෙහිදි මහාවංශ ටීකාව මුල් කාලයේ අනුරාධපුරයට දකුණින් කලා වැවෙන් සීමා වූ ලෙස පැවති රෝහණ රාජ්‍යය (මහාචාර්ය සිරිමල් රණවැල්ල මතය) මෙහිදී 'දකුණු දිග' ලෙස හැඳින්වූවා විය හැක. මහාවංශයේම පසුව එන සඳහනකට අනුව වට්ඨගාමිණි අභය රජු දමිළයන් සමඟ යුද වැදී පරාජය වී සැඟවී  සේනා සංවිධානය කරමින් සිටි සමයේ කුපික්කලමහාතිස්ස තෙරුන් හමුවී අච්ඡගල්ල විහාරයේ බුද්ධපූජාවක් කරවීය. වට්ඨගාමිණි අභය රජු සැඟවී සිටි ප්‍රදේශයෙහිම පිහිටි මෙම විහාරය බොහෝවිට එම අච්ඡගල්ල විහාරය විය හැක.
පරමාකන්ද  ගල් ලෙන්
ඒ අනුව දුටුගැමුණු රජු ඔහුට පෙර සිටි දේවානම්පියතිස්ස රජු කරවූ අච්ඡවිහාරයට නගර දෙකක් පූජා කරමින්ද, රජුගේ තානාපති සේවයේ යෙදී සිටි නාවිකයෙක් වන පරුමක තිශ වැවක් පුදමින්ද, එම විස්තර සඳහන් කරමින් එම තිශ සමග එක්වී මෙම ස්ථානයේ මෙරට විශාලම අකුරින් රචිත දිගම සෙල්ලිපි ද්වය පිහිටුවා ඇති බවට අනුමාන කල හැක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වසර ගනනාවක් ඉදිරිය ගැන සැලසුම් කරමින් ඉදිකල මාගම්පුර වරායට ලෝකයේ ලොකුම ස්විමින් පූල් එක ලෙස ගැරහූ රතු අලි ලප කුමාරලා එකල සිටියා නම් මොනවා නොකියන්න ඇත්ද? මෙරට උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන සැදුවේ පැනලා මැරෙන්නදැයි ඇසුවේද ඔහුගේම සගයා Till Win ය. ගාමිණි දුෂ්ඨයා ලොකුම අකුරින් දිගම සෙල්ලිපිය කලේ හඳේ හාවාට පේන්නදැයි "රතු-කොළ අලි" එකල සිටියා නම් දුටුගැමුණුගෙන් අහනවා සිකුරුය.

** මෙම ලිපියෙහි මාතෘකාවට පාදක වූ ජන කතා පිළිබඳව විස්තර සඳහා පෙර ලිපියේ (Link>>) පරිකථන (Comments)  කියවන්න.

මූලාශ්‍ර

  • Paranavitana S., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Ancient Ceylon, H. Parker, 1909
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001

Sunday, October 13, 2019

පොල්ගෙඩි අකුරින් වලස්ගල වෙහෙරට වැවක් පිදූ පරුමක තිශගේ තෝනිගල පිහිටි මෙරට විශාලම සෙල්ලිපිය



ඔරුවක හැඩය (දෙමළ තෝනි) සහිත ගල යන තේරුම දෙන තෝනිගල නමින් යුත් ගල් පර්වත සහිත ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව නගරයට තරමක් උතුරට වන්නට එනමින්ම වර්තමානයේ හැඳින්වෙන වැවක් අසල පිහිටා ඇත. මෙහි අඩු වැඩි වශයෙන් එකම අර්ථය සහිත සෙල් ලිපි දෙකක් එකිනෙකට ආසන්නව හමුවේ. පරුමක අබයගේ පුත් වූ පරුමක තිශ නම් පුද්ගලයෙක් ඔහුට අයත් වැවක් අචගිරික තිශ පර්වතයේ සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට පූජා කල බව එම ලිපි වල සඳහන් වේ. එම අචගිරික තිශ විහාරය (අචගිරික යන්නෙහි සිංහල තේරුම වලස්ගල ලෙස ගත හැක.) මේ ආසන්නයේම පිහිටි පූර්ව බ්‍රාහ්මි අක්ෂර වලින් ලිපි කොටා ඇති කටාරම් සහිත ලෙන් හමුවන වර්තමානයේ පරමාකන්ද ලෙසින් හැඳින්වෙන පුරාණ සංඝාරාමය විය හැක.  තවද දෙවනපි යන විරුදය ලත් මහරජ ගමිණි අබය නම් රජෙකු විසින් අචනගර සහ තවිරිකියනගර නම් ප්‍රදේශද එම විහාරයට පිරිනැමූ බව එම ලිපි වල සඳහන් වේ. එම ප්‍රදේශ ස්ථිර ලෙසින් හඳුනාගත නොහැකි වුවත් ලිපියේ සඳහන් රජු දුටුගැමුණු හෝ වලගම්බා  යන රජවරුන්ගෙන් කෙනෙකු බවට විවිධ විද්වතුන් මත ඉදිරිපත් කර ඇත. එක් එක් ලිපි අඩි 100 පමණ දිගින් යුත් මෙම සෙල්ලිපි වල අක්ෂර අඩියක් පමණ විශාල වේ. එම අකුරු අඟලක් පමණ ගැඹුරට ගල මතු පිට කොටා ඇත. මෙතරම් දිගින් සහ විශාල අකුරු වලින් යුත් වෙනත් ලිපි මෙරටින් හමුවී නැත.

**තෝනිගල සෙල්ලිපිය පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Saturday, September 14, 2019

රජුන් තනන නිශ්ශංකමල්ල සූත්‍රය

"එහෙයින් මහරජ තන්පත් වැ සිටියවුන් නැති තැනකැ යුවරජ වැ සිටියවුන් හො උනුදු නැතහොත් රාජකුමාරවරුන් හො උනුදු නැතහොත් බිසෝවරුන් හො රාජ්‍යයට තැකිය යුත්තෙය. බුදුසසුනට හිමි ලක්දිවට අබෞද්ධ චොළ කේරළාදි රජදරුවොද නොතැකිය යුත්තාහ. උන් හා එක්වැ පෙරෙළි කළාහු රාජද්‍රොහි නම් වෙති. කාකයා හංස ගතියටද, කොටළුවා සෛන්ධවයන්ටද, ගැඩහුලා නාග රාජයන්ටද,  කණමැදිරියා සූර්‍ය ප්‍රභාවයටද වටුවා හස්තීන්ටද, කැණහිලා සිංහයන්ටද භාව කරන්නා සේ ගොවිකුලෙහි ඇත්තන් රාජ ලීලාවට නොපැතුව මැනැවැ,"

අඩි 6 ක් පමණ උස ගල් පුවරුවක දෙපසම අකුරු කොටා පිහිටවූ සෙල් ලිපියක් පොළොන්නරුවේ පැරණි නගර බලකොටුවේ උතුරු දොරටුවේ සුන්බුන් අතර තිබී හමුවී දැනට ඒ අසලම කෙලින් අතට සිටුවා ඇත. අන්තර්ගතයේ සුළු වෙනස්කම් කිහිපයක් හැර එවැනිම වූ  තවත් සෙල් ලිපියක් එහි නැගෙනහිර දොරටුව අසල තිබී හමුවී අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. උතුරු දොරටුව අසල ලිපියෙහිම තවත් පිටපතක් විය හැකි සෙල් ලිපියක කැබැල්ලක් නැගෙනහිර දොරටුව අසලින් හමුවී ඇත. හමුවූ නිශ්චිත තැනක් නොදන්නා එහෙත් පොළොන්නරුවෙන් බවට සඳහන් තවත් එවැනිම වූ සෙල්ලිපියක කොටසක්ද අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තිබේ.  බොහෝචිට එකල නගරයේ දොරටු හතර අසල පිහිටුවා තිබෙන්නට ඇති එම සෙල්ලිපි 4 එකම අරමුණක් වෙනුවෙන් එක් රජ කෙනෙකු විසින් කල බව පැහැදිලිය. හේ අන් කවරෙකුවත් නොව නිශ්ශංකමල්ල කාලිඟ ප්‍රාක්‍රමබාහු චක්‍රවර්තතින් වහන්සේ ලෙසින් සෙල්ලිපියේ හැඳින්වෙන නිශ්ශංකමල්ල රජතුමාය. හෙතෙම "ලෝවැඩ, සසුන් වැඩ කොට දශරාජ ධර්මයෙන් රාජ්‍යය කරමින් පුලස්තිපුර නමැති කාලිඟරාජපුරයෙහි" එනම් පොළොන්නරුවෙහි වැඩවාසය කල බවද එහි සඳහන් වේ.

මා මෙම ලිපියෙහි ආරම්භයෙහි දැක්වූ පාඨය එම උතුරු දොරටුව අසල සෙල්ලිපියෙහි එන එක් කොටසකි. මෙම සෙල්ලිපිය කියවා ප්‍රකාශයට පත් කල Z. වික්‍රමසිංහ මහතා හෝ සිරිමල් රණවැල්ල මහතා සිය ලිපි වල සඳහන් නොකරන තවත් වැදගත් කරුණක් වන්නේ ඉහත පාඨයේ දැක්වෙන සත්ව රූප සහ සූර්යාගේ රූපය මෙම සෙල්ලිපියේ පසුපස කොටසේ ලිපියේ අවසානයට පහලින් කොටා ඇති බවය. ඒ අනුව පිලිවෙලින් හංස, සිංහ, අශ්ව (එනම් සෛන්ධව), ඇත්, නාග සහ සූර්ය රූප ඉහල රාමුවේද, කාක (එනම් කපුටු), කැණහිල්, කොටළු, වටු, ගැඩවිල් (එකල භාෂාවෙන් ගැඩහුලා), කණමැදිරි රූප පහල රාමුවේද දක්වා ඇත. (ඉහත පලමුවන රූපය බලන්න)
විදේශ සම්භවයක් සහිත පුද්ගලයෙකු වශයෙන් නිශ්ශංකමල්ල රජුට මෙරට රදල ප්‍රභූ පැලැන්තියෙන් කිසියම් තර්ජනයක් තිබූ බව පෙනේ. එහෙයිනි ඔහුගේ මෙම සෙල්ලිපි වලින් "ඔවුන් කෙතරම් බලවත් වුවද" ගොවි කුලේ ඇත්තන් රාජ්‍යයත්වයට පත් නොවිය යුතු බව පවසන්නේ. එවන් පුද්ගලයන් රාජ්‍යත්වයට පත්වීමට උත්සාහ දැරීම ඔහු සලකන්නේ කපුටා හංසයා වීමටත්, කොටළුවා සෛන්ධව වර්ගයේ අශ්වයන් වීමටත්, ගැඩවිලා නාග රාජයා වීමටත්, වටුවා හස්තීන් වීමටත්, කැණහිලා (එනම් හිවලා) සිංහයා වීමටත් උත්සාහ කරන්නක් මෙනි. තවද කණාමැදිරි එලිය සූර්ය එලියට සම කරන්නාක් මෙනි. එහෙයින් මහරජ තැන්පත්ව සිටිය පුද්ගලයා නැති වූ විට, යුව රජවසිටි පුද්ගලයන් හෝ, එසේත් නොමැති නම් රාජකුමාරවරුන් හෝ  ඔවුන්ද නැති අවස්තාවකදී බිසෝවරු හෝ රාජ්‍යය කල යුතුය. තවද බුදු සසුනට හිමි ලක්දිව රාජ්‍යයත්වය චෝළ, කෙරළ ආදී  රාජ පරපුරු වල ඇත්තන්ටද හිමි නොවේ. ඔවුන් හා එක්ව රාජ්‍යයත්වය උදුරා ගැනීමට කැරලි ගසන්නන්ද රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සැලකිය යුතුය.

නිශ්ශංකමල්ල රජු පවසන කුල සාධකය අද දවසේ රාජ්‍ය පාලකයා තේරීමේදී එතරම් සැලකිය යුත්තක් නොවන්නේ එය මෙරට නූතන සමාජයේ එතරම් පිළිගැනීමකට ලක්වන්නක් නොවන බැවිනි. එය එකල තත්වයන් සමග සැලකීමේදී යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කෙතරම් මහෝපකාරීවීද යන්න එම යුගයන්හි සමාජ තත්වයන් සමග වෙනම සලකා බැලිය යුත්තකි. කෙසේ නමුත් වර්තමානයේ පවා මෙරට ඇතැම් ප්‍රදේශ වල දේශපාලන නායකයන් තේරීමේදී කුල සාධකය ප්‍රධාන සාධකයක් බව රහසක් නොවේ. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශ වල සහ බටහිර මුහුදු තීරයේ දිස්ත්‍රික්ක වල මැතිවරන අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී අවම වශයෙන් මෙරට ප්‍රධාන පක්ෂ දෙක මෙම සාධකය සැලකිල්ලට ගෙන ඒ ඒ කුල වල චන්දදායකයින්ගේ චන්ද ලබාගැනීම උදෙසා එම කුල වලින් අපේක්ෂකයන් සිය ලැයිස්තු වලට ඇතුලත් කිරීම සිදුකරයි. මෙරට ප්‍රධාන පක්ෂ දෙකේ (එනම් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ [මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ]) ඇතැම් පුද්ගලයන් සිය පක්ෂයෙන් ප්‍රධාන අනිත් පක්ෂයට ගියද සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සිදු කරන්නේ කෙසේදැයි ඇතමුන්ට ගැටළුවක් වුවද ඒ තුල සැඟව ඇත්තේ කුල සාධකය බව දන්නෝ දනිති. භීෂණ තත්වයක් යටතේ මෙරට චන්දදායකයින්ට මරුවා අතින් ගෙන චන්දය ප්‍රකාශ කරන්න සිදුවූ දූෂිතම මැතිවරණයකින් ජනාධිපති වූ "ගස් බඩගාන, ඔරු පදින, ඒදණ්ඩේ සර්කස් පෙන්නන බූරු පුතානෝගේ වන්දනීය පියානෝ" හැරෙන්ට 1948 න් පසු මෙරට පාලකයා වූ සියල්ලන්ම උසස්යැයි සම්මත එකම කුලයකට අයත් වීම කෙසේවීදැයි විමසා බැලීම වැදගත්ය. අනෙක් අතට මෙරට ප්‍රධාන දේශපාලන අධිකාරියට එරෙහිව දෙපාරක්ම ආයුධ සන්නද්ධ අරගලයක නියැලුන ජනතා විමුක්ති පෙරමුණේ (වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ වහල් පක්ෂයක් බවට පත්වී ඇති "රතු අලි පැටියාගේ රෝස පාට ජවිපෙය" නොව රෝහණ විජේවීරයන්ගෙන් පටන් ගෙන සෝමවංශ අමරසිංහයන්ගෙන් අවසන් වූ පැරණි රතු පාට ජවිපෙ) ඉහල නායකත්වය මෙන්ම ක්‍රියාකාරිකයන්ගෙන් බහුතරය එම ප්‍රදේශයන්හි පීඩිත කුල වලට අයත් වීම පිළිබඳව වික්ටර් අයිවන්* සහ ධර්මන් වික්‍රමරත්න* ආදීන් සිය ග්‍රන්ථ වල විග්‍රහ කර ඇත.
උතුරු දොරටුව, සෙල්ලිපිය පින්තූරයේ  වම් පසින් දැකිය හැක
ඒ කෙසේ වුවත් මෙරට පාලකයා තේරීමේදී ඔහු සිංහල බෞද්ධ පසුබිමක් සහිත නායකයෙක් වීම නිශ්ශංකමල්ල යුගයේ මෙන්ම අදද වැදගත් වන්නේ එවන් පාලකයෙක් සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව වෙනත් ආගම් අදහන පුද්ගලයන්ගේද අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන බැවිනි (සසදන්න "මොහොමඩ් මහින්ද" ලෙසින්ද ඇතැමුන් හැඳින්වූ 2015 ට පෙර පැවැති රාජපක්ෂ පාලනය සහ පරම්පරාවෙන්  ඇංග්ලිකන් භක්තිකයෙකු වුවත් බෞද්ධ සළු පොරවාගත් වර්තමාන "ආසියාවේ විශිෂ්ඨ මොලයානන්ගේ" කූජීත පාලන සමය) අනෙක් අතට 2015 හංසයෙක් කියා කාකයෙක් ගෙනා මෙරට ඇතැම් චන්දදායකයන් මේ වන විට නාග රාජයෙක් කියා ගැඩවිලෙක්ද, තවත් ඇතමුන් ඇත් රජෙක් කියා "ඒදණ්ඩේ බඩගාන වටුවෙක්ද", තවත් සමහරු සෛන්ධව වර්ගයේ අශ්වයෙක් යැයි සිතාගෙන කොටම කොට කොටළුවෙක්ද (පුංචි අම්මපා!!) 2020 රටේ පාලකයා කිරීමට කර තියාගෙන ඇති තත්වයක් යටතේ 2015 වැරැද්ද නැවතත් සිදුකර නොගැනිමට  බුද්ධිමත් දේශප්‍රේමි ජනතාව කලයුත්තේ කුමක්දැයි ඔවුන්ට අමුතුවෙන් කියාදිය යුතු නොවේ. කැණහිලුන් පැරදවීමට සිංහ සම්ප්‍රාත්තිය දැනටත් සිදුවී ඇත. නමුත් අවාසනාව මෙරට බහුතරය චන්දය ප්‍රකාශ කිරීමේදී එසේ බුද්ධිමත්ව කරුණු කාරනා සලකා තීරණ ගැනීමේ හැකියාවෙන් තොර රැල්ලට ගසන් යන පරඬලා වීමය. ඔවුන් අවශ්‍ය දිශාවට තල්ලු වන රැල්ල සැදීම මෙරට ජාතිකත්වයේ අපේක්ෂකයා වටා සිටින පිරිසද සැලකිල්ලට ගැනීම වැදගත්වන්නේ ඒ නිසාය.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007

සටනින් සටන, ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයේ  දෙවැනි කාණ්ඩය, ධර්මන් වික්‍රමරත්න,2019 
ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම, වික්ටර් අයිවන්, 1993
* දේශපාලනයේ පවුල සහ කුලය, වික්ටර් අයිවන්, 2015

Sunday, September 8, 2019

අරාජික සමයේදී දළදා රැකි දෙමළ වේළෛක්කාර කුලී හේවායන්

පොළොන්නරුවේ දළදා මළුව ලෙසින් හැඳින්වෙන තරමක් උස් බිමක පිහිටි පූජනිය ගොඩනැගිලි කිහිපයකින්ම සමන්විත මළුවේ දැනට අටදාගෙය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල අසලින් 1903 වසරේදී H.C.P. බෙල්ට හමුවූ දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර භාවිතා කර දෙමළ භාෂාවෙන් රචිත පුවරු ලිපිය මෙරට හමුවන සෙල් ලිපි අතරින් එක් සුවිශේෂ සෙල් ලිපියක් ලෙස සැලකේ.

වේළෛක්කාර සෙල්ලිපිය ලෙසින් හැඳින්වෙන එම සෙල් ලිපිය පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) රජුගේ යුගය සහ ඉන්පසු යුගයේ සමාජ දේශපාලන තත්වයන් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙලිකරනවා පමණක් නොව ඒ සම්බන්ධව මහාවංශය ප්‍රධාන අනෙකුත් මූලාශ්‍ර වල දක්වා ඇති කරුණුද තහවුරු කරයි.

ලිපියේ මුල් කොටසේ අන්තර්ගතයෙන් හෙලිවන කරුණු මෙසේ පෙලගැස්විය හැක.

  • සශ්‍රීක ලංකා ද්වීපයේ සූර්ය වංශික ශ්‍රී සංඝබෝධි වර්මන් හෙවත් ශ්‍රී විජයබාහු දේවාර් රජු බෞද්ධ සංඝයාගේ ආරාධනයෙන් නොයෙක් පරසතුරන් මැඩ අනුරාධපුර නගරයට ඇතුළු වූ බව සහ බෞද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා උතුම් ඔටුනු පළඳා අරමණ දේශයෙන් (බර්මා හෙවත් වර්තමාන මියන්මාරය) බෞද්ධ භික්ෂූන් වැඩමවා තුන් නිකාය පිරිසිදු කල බව.
  • රජු තෙවරක්ම ඔහුගේ බරට සමාන කාසි තුන් නිකාය උදෙසා වැය කර, ලංකාව එක්සේසත් කරමින් පුරා 55 වසරක් දශ රාජ ධර්මයෙන් රාජ්‍යය විචාරමින් උපන් දින 73 සැමරූ බව ( එනම් ඔහු අවුරුදු 73 ආයු වලඳා 55 වසරක් මෙරට එකම ධජයක් යටතේ පාලනය කල බව.)
  • රජු නුවරකල් දේව සෙනෙවිරත්තාර් ලවා විජයරාජපුරම් හෙවත් පුලනාරි (වර්තමාන පොළොන්නරුව එකල හැඳින්වූ නම්) හි මහා දළදා මාළිගයක් තනවා එහි පෙර අභයගිරි මහා විහාරයේ උත්තොරුල-මූල ප්‍රධාන විහාරයේ තිබූ දළදා  සහ පාත්‍ර ධාතූන් වඩම්මවා තැන්පත් කල බව.
  • එම විහාරයේ ප්‍රථම අභිෂේකය සිදු කරන බව සහ එහි ගන්ධ කුටියේ බුදුන් වහන්සේගේ සුවිශාල සෙල්මුවා පිළිමය තිබූ බව. වාර්ෂිකව එම පිළිමයේ නේත්‍රා මංගල්‍යය සිදු කර ඇත.

සෙල්ලිපියේ ඉහත ඉදිරිපත් වන තොරතුරු  පළමුවන විජයබාහු රජු සම්බන්ධයෙන් මහාවංශයේද ඒ ආකාරයෙන්ම විස්තර වන මුත් දළදා මාළිගය තැනූ අමාත්‍යවරයාගේ නම එහි හමු නොවේ.

පළමුවන විජයබාහු සම්බන්ධ එම විස්තරයෙන් අනතුරුව සෙල්ලිපිය පිහිටුවීමේ අරමුණ විස්තර වේ. එහි සඳහන් වන්නේ උතුරුල මූල රාජගුරු මුගලන් මහතෙර රාජමාත්‍යාදීන් සමග වේළෛක්කාර ප්‍රජාවට ඉහත සඳහන් දළදා මාලිගාවේ සියලු භාරකාරත්වයන් පවරා දුන් බවයි.
අනතුරුව ඔවුන් එම දළදා මැදුර කීර්තිමත් වේළෛක්කාර තුන් පේරුවට අයත් මහා  දළදා විහාරය ලෙසින් නම් කර එය ඔවුන්ගේම පුණ්‍යායතනයක් ලෙස සලකා එහි නඩත්තු කටයුතු උදෙසා ගම්වර සහ ආරක්ෂකයන් පත් කර එම ගිවිසුම කඩ කරන ඕනෑම කටයුත්තක් වේළෛක්කාරවරුන්ට සහ මහාතන්ත්‍රයටත් (ශෛව ආගමික නිකායක් ලෙස හඳුනාගෙන ඇත.)බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටත් එරෙහි අපරාධයක් ලෙසින් සලකා කටයුතු කල බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

මෙරට ඉතිහාසයේ මහා විජයබාහු යන නමින් හැඳින්වෙන රජු පිළිබඳව සඳහන් වන්නේ ඔහු 77 වසරක සොලී පාලනයෙන් සිංහල දේශය මුදාගත් විරුවා ලෙසිනි. ඔහුගේ පාලන කාලයෙන් වසර 20 - 30 පමණ කාලයකට පසුව පිහිටවූ ලෙසින් අනුමාණ කරන මෙම සෙල්ලිපියේ සඳහන් ලෙසින් සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් දළදා සහ බුදුන්ගේ පාත්‍ර ධාතුව තැන්පත් කර ඇති විහාරයේ සියලු භාරකාරත්වයන් දෙමළ කුලී හේවායන් වන වේළෛක්කාරවරුන් හට බෞද්ධ නායක මහතෙරුන්වහන්සේ කෙනෙකු විසින්ම පවරා දීමට හේතු වූ තත්වයන් මොනවාදැයි මෙහිදී විමසා බැලීම වැදගත් වේ.
දැනට අටදාගෙය ලෙසින් හඳුන්වන වේළෛක්කාර සෙල්ලිපිය අසල පිහිටි මෙම ගොඩනැගිල්ල ලිපියේ විස්තර වන විජයබාහු රජු විසින් ඉදිකල දළදා මාළිගය ලෙසින් අනුමාණ කෙරේ. රූපයේ වම් පසින් සෙල්ලිපිය දැකගත හැක.

වේළෛක්කාරවරු 
සිය ජීවිතය පවා පරදුවට තබා රජුගේ ජීවිතය රකින බවට දිව්රා පොරොන්දු වී රජුට සේවය කරන දකුණු ඉන්දීය ද්‍රවිඩ කුලී හේවායන්ගෙන් සමන්විත වේළෛක්කාරවරු සිය ආරක්ෂාව උදෙසා මෙරට ඉතිහාසයේ මුලින්ම යොදාගත් රජු ලෙස සඳහන් වනුයේ පළමු විජයබාහු රජුය. ඔහු ඇතැම් විට ඔහුට පෙර සිටි සොලීන් මෙහිදී අනුගමනය කලා විය හැක. මෙරට තුල දේශපාලන බල අරගල වලදී විශේෂයෙන් මාළිගා කුමන්ත්‍රන අවස්ථාවන්හීදී විදේශිකයන් බැවින්  ඔවුන් රජුට අවනතව කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය එයට හේතු වූවා විය හැක. නමුත් විජයබාහු රජුටම ඔවුන් පාරාවලල්ලක් වූ සිද්ධියක් මහාවංශයේ විස්තර වේ. වරක් චෝල දේශය සමග සටන් වැදීම උදෙසා රජු සේනා සංවිධානය කරමින් සිටියදී ඒ සඳහා තමන්ටද සහභාගි වීමට සිදුවීම සම්බන්ධයෙන් උරණ වූ වේළෛක්කාරවරු රජුට එරෙහිව කැරලි ගැසූහ (වේළෛක්කාරවරුන්ගෙන් බහුතරය චෝළ දේශවාසීන් වන්නට ඇති බව මෙයින් පෙනේ.) ඔවුන් රජුගේ සෙන්පතිවරු දෙදෙනෙකුද මරා රජුගේ බාල නැගණිය සහ ඇයගේ පුතුන් තිදෙනාද ප්‍රාණ ඇපයට ගත් අතර ජීවිතය බේරාගැනීම උදෙසා රජුටද වාකිරිගලට පලා යෑමට සිදුවිය. වේළෛක්කාරවරු රජ මාළිගයද ගිනි තබා පොලොන්නරුව නගරයද කොල්ලකෑවේය. සිය යුවරජු වන වීරබාහු සමග එක්වී දරුණු සටන් කර රජුට වේළෛක්කාරවරු පැරදවීමට හැකි වූ අතර මරණු ලැබූ සෙන්පතියන්ගේ ඇටසැකිලි තැන්පත් කල චිතකය අසල වේළෛක්කාර සෙන්පතියන් බැඳ දමා හාත්පසින් ගිනි අවුලවා ඔවුන් දැව්වේය. එහෙත් විජයබාහු රජුගෙන් පසුද සියවසක් පමණ කාලයක් වේළෛක්කාරවරු කුලී හමුදා ලෙසින් සිංහල රජවරු යොදාගත් බවට තොරතුරු ඇත. නමුදු දෙවන ගජබාහු (ක්‍රි.ව. 1132 - 1153) සහ පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 - 1186) රජවරුන්ටද වේළෛක්කාරවරුන් ද්‍රෝහි වූ අවස්තා තිබූ බවට වංශ කතා තොරතුරු ඇත.

අටදාගෙය තුල ශෛලමය බුද්ධ ප්‍රතිමා කිහිපයක්ම තිබූ බවට
සාධක ඇති මුත් ප්‍රමාණයෙන් විශාල මෙම හිටි පිළිමය ඉහත
සෙල්ලිපියේ විස්තර වන පිළිමය විය හැක.
මෙවන් තත්වයක් යටතේ මහා විජයබාහු රජුගෙන් පසු අවධියේදී එවන් වූ වේළෛක්කාරවරුන් යටතට රාජ්‍යයයේ උරුමයටද වැදගත් වන දළදා,පාදා පිහිටි විහාරය පවරා දීමට හේතු වූවේ මන්ද යන්න පිළිබඳව විමසීමේදී විජයබාහු රජුගෙන් පසුව මෙරට දේශපාලන තත්වය පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. මෙයට පෙර ලිපියකින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත්කර ඇති බැවින් ඒ පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු නොවේ. ඒ සම්බන්ධ පෙර ලිපිය කියවීමට Link >>

ලිපියේ සඳහන් වන මුගලන් හෙවත් මොග්ගල්ලාන තෙරුන් හඳුනාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන මෙම ලිපිය H.C.P. බෙල්ට පසුව දෙවෙනිවර කියවා පරිවර්තනය කරන Z. වික්‍රමසිංහ මහතා ඒ හිමියන් පළමු විජයබාහු යුගයේ සාමනේර නමක්ව සිට පළමුවන පරාක්‍රමබාහු යුගයේ ශාසන පුනර්ජීවන කටයුතු දක්වාම සිටි මොග්ගල්ලාන ව්‍යාකරණ ග්‍රන්ථය කරවූ හිමියන් ලෙස හඳුනාගනී. ඉහත සෙල්ලිපියේ ඒ හිමියන් ව්‍යාකරණ සම්බන්ධ විශේෂ දැනුමක් තිබූ අයෙක් ලෙසද හඳුන්වා තිබීම එම හඳුනාගැනීම නිවැරදි බවට තවදුරටත් තහවුරු කරයි. එසේම වික්‍රමසිංහ මහතා මෙම ලිපිය පිහිටවූ කාලය ක්‍රි.ව 1137 ත් 1153 ත් අතර කාලය විය හැකි බවට අනුමාණ කරයි . ඒ වූ කලී බුද්ධ ශාසනය සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වූ සහ ඇතැම් අවස්තා වලදී එයට විරුද්ධව කටයුතු කල පළමුවන වික්‍රමබාහු රජුගේ (වික්‍රමසිංහ මහතාට අනුව ක්‍රි.ව.1116 - 1137  පරණවිතාන මතය - ක්‍රි.ව. 1111 - 1132) අවසන් කාලය හෝ අනතුරුව පොළොන්නරුවේ බලයට පත්වූ එවැනිම වූ දෙවන ගජබාහු රජුගේ (වික්‍රමසිංහ මහතාට අනුව ක්‍රි.ව.1137 - 1153  පරණවිතාන මතය - ක්‍රි.ව. 1132 - 1153) මුල් කාලය වේ. (විවිධ හේතූන් නිසා බුද්ධ ශාසනය කෙරෙහි වෛරයෙන් කටයුතු කල පාලකයන් මෙකල මෙන්ම පෙර කාලයේත් සිට ඇත. පන්සලේ පිං කැටයේ එකතු වන මුදල් පවා කොල්ලකා, සංඝයා වහන්සේ 50 නමකට වඩා විවිධ හේතු මත දඟ ගෙහි ලා, අන්‍යාගමිකයන්ට රිසිසේ විහාර ඉඩකඩම් කොල්ලකෑමට සහ විනාශ කිරීමට අවස්තාව සලසා දී,ගොංජා වැනි තම හෙන්චයියන් ලවා ගරුතර සංඝරත්නයට අපහාස සිදුකර අවසානයේ කැළණි පන්සලේ ප්‍රධාන දායක කමින්ද දොට්ට දැමූ ගෙදර යාමට නියමිත බටලන්දේ අගනැති පිංගුත්තරයා සිහි කරන්න.)

එවන් අරාජික සමයන්හීදී දකුණු ඉන්දීය දෙමළ කුලී හේවායන් මෙරට පාලකයන්ට වඩා මුගලන්  තෙරුන් වැනි භික්ෂූන්ට බෞද්ධයාගේ උතුම් වෙහෙර විහාර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශ්වාසී වූවා විය හැක. ඉහත සෙල්ලිපියේ සඳහන් වන පරිදි වේළෛක්කාරවරුන්, මුගලන්  හිමියන් සහ අමාත්‍යවරුන් ( එම අමාත්‍යවරුන් අනිවාර්යයෙන්ම පැවතී රජයේ අමාත්‍යවරුන් විය යුතු බවට ලිපියේ වචන වලින් ගම්‍ය නොවේ.) සමග ඇතිකරගත් ගිවිසුම තඹ සන්නසක මෙන්ම සෙල්ලිපියකද කොටවා ඉර හඳ පවතිනතුරාවට පවතින ලෙසට පිහිටවූ බව පැවසේ.
කෙසේ නමුත් මහාවංශයේ සඳහන් වන්නේ පළමුවන වික්‍රමබාහු රජුගේ කාලයේදීම රජු බුද්ධාදී තෙරුවන් සතු අයගම් පැහැරගෙන සේවකයන්ට දුන් හෙයින්ද, පොළොන්නරුවේ ධාතූන්ගෙන් අලංකාර වූ නොයෙක් විහාර විදේශික භටයන්ට වාසය සඳහා දුන් හෙයින්ද (මෙම මහාවංශ පාඨයෙන් දළදාව තැන්පත් කර තිබූ විහාරය මුගලන් තෙරුන් සහ අමාත්‍යයන් විසින් ප්‍රස්තුත සෙල්ලිපියේ ලෙසින් වේළෛක්කාර භටයන්ට පැවරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ ආරක්ෂාව වෙනුවට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වීද යන්න සම්බන්ධව යම් ඉඟියක් ලෙස ගත නොහැකිද යන්න මෙහිදි විමසා බැලිය යුතුය.), සැදැහැවතුන් පාත්‍රධාතුවට සහ දළදාවට පූජා කල මිණි මුතු, රන් ප්‍රතිමා ආදිය පැහැරගෙන විනාශ කල හෙයින්ද ඔහු කෙරෙහි කළකිරුණු අෂ්ටමූල විහාරවාසී භික්ෂූන් වහන්සේලා සහ පාංසුකූලික භික්ෂූන් වහන්සේලා එක්ව උතුම් දළදාව සහ පාත්‍ර ධාතුව ගෙන රුහුණට පලා ගොස් වාසය කල බවයි. ඒ අනුව මෙම සෙල් ලිපිය එම සිදුවීම් වලට පොරොතුව වික්‍රමබාහු රජුගේ කාලයේදීම පිහිටුවන්නට ඇති බවත්, ඉන් අනතුරු කාලයේදී එම ධාතූන් වහන්සේලාද රැගෙන භික්ෂූන්ගේ රුහුණට පලා යාම සිදුවන්නට ඇති බවත් සිතිය හැක.

මූලාශ්‍ර

  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1903
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1911 -1912