Sunday, February 12, 2017

උදුන්දොර සුගලා දේවිය සොයා ගලබැද්දට....

සොළී බලසෙන් මැඩ ලක්දිව එක්සේසත් කල මහා විජයබාහු (ක්‍රි.ව. 1055-1110) රජතුමාගේ මරණින් පසු ඔහුගේ නැගණිය වූ මිත්‍රා, සිය පුතුන් තිදෙනා, අනෙකුත් රදළයන් සහ අෂ්ට විහාර වාසී භික්ෂුන් සමග එක්වි රුහුණේ වසන්නාවූ විජයබාහු රජුගේ පුත් වූ වික්‍රමබාහු ඈපාණන්ට රජු මල බව නොදන්වා, යුව රජ වූ ජයබාහු (ක්‍රි.ව. 1110-1111) හට රාජ්‍ය පවරා, උපරාජ පදවියට මිත්‍රා දේවියගේ පුත් වූ මාණාබරණ පත් කලහ. ඉක්බිති මාණාබරණ සිය සොහොයුරන් දෙදෙනා හා ජයබාහු රජු සමග සියලු සේනා ගෙන වික්‍රමබාහු හා සමග යුද වැදීම සදහා පුලත්ථි නගරයෙන් (පොළොන්නරුවෙන්) නික්මුණහ. වික්‍රමබාහු ඈපාණන්ද පියා මල බව සැලවී මහානාගහුල සිට සිය සේනාවද සමග ඔවුන් හා සටන් වැදීමට පුලත්ථි නගරය කරා එන අතරේ ගුත්තහාලා මඩුල්ලේ පණසබුක්ක නම් ගම්හී ඔවුනොවුන් හා යුද වැදුනහ. මෙහිදි එම සටනින් පැරද පලා යන මාණාබරණ හා ජයබාහුගේ ගේ සේනාව සමග වික්‍රමබාහු සටන් වැදුන ස්ථාන ලෙස මහාවංශය පිළිවෙලින් ආදිපාද ජම්බු, කටගාම, කාලවාපි, උද්ධානද්වාර සහ අවසානයේ පණ්කවෙලක යන තැන් සඳහන් කරයි.
කැසිකිලි ගලක්- ගලබැද්ද පොකුණ
මෙහි සඳහන් වන ගුත්තහාල මණ්ඩල යන්න වර්තමාන බුත්තල අවට ප්‍රදේශය ලෙස හඳුනා ගෙන ඇත (ගුත්තහාල >ගුත්තල>බුත්තල). පෙළ බසින් පණා යනු කොස් ලෙස ගත් කල පණසබුක්ක හා පණ්කවෙලක ලෙස මෙහි සඳහන් වන්නේ මොණරාගලට දකුනින් පිහිටි කොස්ගොඩ විය හැකි බව C.W. නිකලස් අදහස් කරයි (එහෙත් එකම පෙදෙසකට එකම අවස්තාවේ නම් දෙකක් ව්‍යවහාර වන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී පැන නැගේ.). ආදිපාද ජම්බු ප්‍රදේශය වර්තමානයේ මොණරාගලට උතුරින් පිහිටි දඹගල්ල විය හැක (පා: ජම්බු = සිං: දඹ). මෙහි සඳහන් කාලවාපි යනු අනුරාධපුර ආසන්නයේ ඇති කලා වැව නොව වෙනත් අවස්ථා කිහිපයකදීමත් රුහුණේ  කාලවල්ලිමණ්ඩප, කාලවල්ලික මණ්ඩප ලෙසින් හැඳින්වෙන බුත්තලට ආසන්නව පැවති වෙනත් පෙදෙසක් ලෙස මත ඉදිරිපත් වී ඇත (මහා පරාක්‍රමබාහු රජු රුහුණේ කාලවල්ලි වැව පිලිසකර කල බව පැවසේ. එසේම පූජාවලියට අනුව කාවන්තිස්ස රජතුමන් රුහුණේ කළු මුහුදු විහාරය ඉදි කර ඇත.) මේ හඳුනාගැනීම් නිවැරදි නම් උද්ධානද්වාර නමින් හැඳින්වෙන පෙදෙසද මොණරාගල අවටම විය යුතු බව පෙනේ.
කාන්තා රූපයක් - ගලබැද්ද පොකුණ
සටනින් ජයගන්නා වික්‍රමබාහු (ක්‍රි.ව. 1111-1132) පුලත්ථි නගරයට ගොස් එහි සිට රජරට බලය පිහිටුවා ගන්නා අතරතුරෙහිදි මාණාබරණ ඇතුලු 'සහෝදර සමාගම' දක්ඛිණ දේශයේ සහ රෝහණයේ බලය අල්ලාගනී. ඉන්පසු එක් සොහොයුරෙකු වූ කිත්සිරිමේඝ හට ද්වාදසසහස්සක පෙදෙස (දොළොස්දහස් රට) බාර කරන අතර ඔහු එහි මහානාගහුල (වර්තමාන අම්බලන්තොට රම්බා විහාරය පිහිටි පෙදෙස මහානාගහුල ලෙස හඳුනාගෙන ඇත.) නගරයේ සිට පාලනය මෙහෙයවයි. අනෙක් සොයුරා වන සිරිවල්ලභ හට අට්තසහස්ස පෙදෙස (අටදහස් රට) සිටින ලෙසට පවසන අතර ඔහු පෙර සඳහන් කල උද්ධානද්වාර ග්‍රාමය රාජකීය නගරය බවට පත්කර ගනිමින් එහි සිට එම පෙදෙස පාලනය කරයි. දක්ඛිණ දේශය බලා යන මාණාබරණ එහි පුණ්ඛගාමයේ (මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගම ලෙස පරණවිතාන මහතා හඳුනාගනී) සිට විරබාහු යන නමින් එම පෙදෙසේ බලය පතුරුවයි. මිත්‍රා දේවිය සහ ජයබාහු කිත්සිරිමේඝ සමග මහානාගහුලම නවතී.
මෙම පාලකයන් සිව් දෙනාගේ පාලන කාලය තුල උසස් කුලවතුන් පිරිහෙලූ බවත්, හීන වූ ස්වාභිමානී ජනයන් මහත් තන්හී තැබූ බවත්, බුදුසස්න පිරිහෙලූ බවත්, උතුම් කුලවත් මිනිසුන්ගේ කිසිදු දොසක් නැතිව වුවද ඔවුන්ගේ ධනය බලහත්කාරයෙන් ගත් බවත්, අධික බදු පණවමින් ජනයා උක් යන්ත්‍රයක ලූ උක්දඬු සේ මිරිකූ බවත් වංශ කතාව පවසයි.[එම තත්වය කොතරම්  දුරට අදටත් ගැලපේද?] යුව රජ කමට සුදුසුකම් ලත් වික්‍රමබාහු වෙනුවට පැත්තක සිටි මාණාබරණ යුව රජු කර ඔහු යටතේ රූකඩ පාලකයෙක් ලෙස සිටීමට කැමැති වූ ජයබාහුගේ සහ පාණ්ඩ්‍ය රජ කුමරුවෙකුගේ බිසව වූ මිත්‍රා දේවියගේ කුමන්ත්‍රණය එසේ අවසාන වන්නේ මහා විජයබාහු රජු එක්සත් කල දේශය නැවතත් කැබැලි වලට කැඩී, පාලකයන් ජනයා පෙලමින් ඔවුනොවුන් හා සමගද කුලල්කාගන්නා අන්දමින්ය.
පාර්ලිමේන්තුවේ බහුතරය සහිත අගමැති සිටියදී සදාකාලික පරාජිතයෙක් අගමැති කර ඔහු යටතේ රූකඩයක් වී ඇති පාලකයෙක් වර්තමානයේද සිටි. මිත්‍රා බිසව ලෙසින්ම ඔහුට උපදෙස් දීමට චෞර රැජිනක්ද පසු පසින් සිටී.නායක මට්ටමේ චීවරදාරීන්ද ඔවුන් පසු පස සිට දැන් 'අතන මෙතන රතන' වන අතර එකෙකු අපා ගත විය. වසර 30 කට පසු ශ්‍රේෂ්ඨ නායකයෙක් නැවත එක්සත් කල දේශය නැවතත් බෙදා වෙන් කරලීමේ ඉමට පැමිණ ඇත. ඉතිහාසය නැවත නැවතත් එලෙසින්ම සිදුවනවාද? කෙසේ නමුත් අපගේ අවධානය මෙහිදී ප්‍රධාන වශයෙන් යොමු වන්නේ ඉහත කී උද්ධානද්වාර රාජධානිය පිහිටි පෙදෙස හඳුනාගැනීම සඳහා වන හෙයින් වංශ කතා වල ඒ හා සම්බන්ධ පසු කාලීන වාර්තා වෙත යොමු වෙමු.
රජමාලිගයේ නටබුන් වලට නුදුරින් ඇති තහවුරු නොකල ගොඩනැගිල්ලක් 
මෙසේ බෙදී වෙන් වූ ලක්දිව නැවත එක්සේසත් කිරීම සිදුවන්නේ දක්ඛිණ දේශයේ පාලකයා වූ මාණාබරණ ගේ පුත් වූ පරාක්‍රමබාහු කුමරා වෙතින්ය. වංශ කතාවට අනුව දක්ඛිණ දේශයේ පාලකයා වූ මානාබරණගේ මරණින් පසු දොළොස්දහස් රටේ සිටි කිත්සිරිමේඝ දක්ඛිණ දේශයේ පාලකයා වන අතර, අටදහස් රටේ උද්ධානද්වාර නගරයේ සිටි සිරිවල්ලභ අටදහස් සහ දොළොස්දහස් යන දෙරටම ඇතුලත් මුලු රෝහයේම බලය ඔහුට නතු කර ගෙන සිය අගනුවර ලෙස මහානාගහුල තෝරාගනී. සිරිවල්ලභගේ මරණින් පසු ඔහුගේ පුත් මාණාබරණ 2 (ඉහත මාණාබරණ හා පටලැවීම වැලක්වීමට මෙතැන් සිට ඔහු මාණාබරණ 2 ලෙස දක්වමු) අතට රුහුණේ පාලනය මාරු වෙයි. [මෙහිදී මහා නදී, වන නදී ආදී නම් වලින් මහාවංශයේ හැඳින්වෙන වර්තමාන වලවේ ගඟෙන් නැගෙනහිර පෙදෙස පහල ඌව පෙදෙසද ඇතුලත්ව අටදහස් රට ලෙසත් (එනම් ගම් 8000 වූ රට) වලවේ ගඟින් බටහිර ගම් 12000 කින් යුක්ත වූ පෙදෙස දොළොස්දහස් රට ලෙසත් එහි අගනුවර මහානාගහුල හෙවත් මානාවුළු පුරවරය බවත් හඳුනාගෙන ඇත.]
කිත්සිරිමේඝගේ මරණින් පසු දක්ඛිණ දේශයේ පාලනය බාර ගන්නා පරාක්‍රමබාහු කුමරු, වික්‍රමබාහුගේ මරණින් පසු රජරට පාලකයා වන ඔහු පුත් ගජබාහු (ක්‍රි.ව. 1132-1153) හා රුහුණේ පාලකය වූ මාණාබරණ 2 එකිනෙකාගේ ප්‍රදේශ අල්වාගැනීම සඳහා ඔවුනොවුන් අතර වූ දීර්ඝ හා වෙහෙසකර  සටන් පෙලකින් පසුව ගජබාහුගේ ස්වභාවික ව සිදුවූ මරණින් අනතුරුව පරාක්‍රමබාහු කුමරා අවසානයේ  රජරටද ඔහුගේ අනසක යටතට පත් කරගනී. ගජබාහු හා පරාක්‍රමබාහු අතර සංඝයා මැදිහත් වීමෙන් මණ්ඩලිගිරි විහාරයේ (වර්තමාන මැදිරිගිරිය) ඇති කරගත් ගිවිසුමට අනුව ගජබාහුගෙන් පසු රජරට සිහසුන පරාක්‍රමබාහුට (ක්‍රි.ව. 1153-1186) අයත් විය යුතු වූ මුත් මේ කාලය වන විට රාජ්‍යයේ සංකේතය බවට පත්ව තිබූ දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව හිමිව තිබූ රුහුණේ මාණාබරණ 2 සහ පරාක්‍රමබාහු අතර නැවතත් සිවිල් යුද්ධයක් ඇති වන අතර ඉන් පැරදි රුහුණට පලා යන මාණාබරණ 2 එහිදි මිය යෑමෙන් පසු දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ලබාගැනීම උදෙසා නැවතත් මාණාබරණගේ මව වූ සුගලා දේවිය සහ පරාක්‍රමබාහු අතර රුහුණේ සටන් ඇවිලේ.
වතුර ඇතුළුවීමට ඇති නල මාර්ග - ගලබැද්ද පොකුණ
ඒ සඳහා පරාක්‍රමබාහු රජුගේ රක්ඛ නම් වූ සෙනෙවියා පොළොන්නරුවෙන් නික්ම බරබ්බල (වර්තමාන මයියංගණය අසල විය හැක.) කණ්ඨකවන, අම්බලල, සැවැ යන බලකොටු යටත් කරගනිමින් ගොස්  දිවාචන්දන්තාබාට නම් වූ වනගත නිම්නයේ වූ බලකොටුව අසලට පැමිණි කල්හි දෙපිරිස  අතර දරුණු සටන් ඇති විය. මෙම ගමන් මාර්ගය වර්තමාන මයියංගණය -ඌරණිය-බිබිල මාර්ගය ඔස්සේ වැටි තිබෙන්නට ඇතැයි කොඩ්රිංටන්  මහතා අනුමාන කරන අතර වර්තමානයේ හෑපොල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය ඉහත කී දරුණු සටන් සිදුවූ වන දුර්ග සහිත නිම්නය ලෙස හඳුනාගනී. මෙහිදී රක්ඛගේ සහයට භූත නම් වූ සෙනෙවියාද බල පිරිස් සමග එක්වන අතර එම ස්ථානය යටත් කර ගැනීමෙන් පසු ඔවුන් කිම්සුඛවත්තුක, වටරක්ඛතලි, දාථාවඩ්ධන යන බලකොටු යටත් කරගනිමින් ගොස් සහෝදර නම් ගම්හි (බිබිල අසල ලෙස සැලකේ) මහා යුධ කොට එතැන් සිට සතුරු බල මුලු මගින් පැත්තකින් එල්ල වන ප්‍රහාර  (Flank attacks) වැලැකීමට රක්ඛ සෙනෙවි තෙමේ ලෝකගල්ල (වර්තමාන ලොග්ගල් ඔය නිම්නය) ඔස්සේ ගොස් නැවතත් සේනා දෙක එක්වී මජ්ජිමගාම ( බිබිල-මොණරාගල මාර්ගයේ ඇති මැදගම ) සහ කණ්ඨකද්වාරවාත (දඹගල්ල අසල කටුපැලැල්ල ) යන බලකොටු යටත් කරගනිමින් ගොස් සුගලා දේවී විසූ උද්ධානද්වාරය වෙත ලගාවේ.
ගලබැද්ද පොකුණ ඉදිරිපසට පෙනෙන කඳු වැටිය
සුගලා දේවිය දළදා සහ පාත්‍ර ධාතු රැගෙන උරුවෙලා  (වර්තමාන ඇතිමලේ ) පෙදෙසට පලා යන අතර ඉක්බිති දීඝවාපි පෙදෙසේ ඇතිවන ගැටුම් නැවතත් උද්ධානද්වාර දක්වා පැතිරී එහි දරුණු සටන් ඇතිවේ. වංශ කතාව විස්තර සහිතව දීර්ඝ ලෙස විස්තර කරන මින් පසු ඇතිවූ සටන් වලදි දළදා සහ පාත්‍ර ධාතු පරාක්‍රමබාහු රජු ලබා ගන්නා අතර අවසානයේ සුගලා දේවියද ජීවග්‍රහයෙන් අල්වා ගනී. රුහුණේ සුගලා දේවිය සමග සටන් වැදුනු නායකයන් සමූලඝාතනය වන අතර වනගාම හිදී සිදුවූ අවසන් සටනින් පැරද නැවතත් උද්ධානද්වාර සහ නිග්‍රෝධ-මාරගල්ල වෙත පලා එන ඇතැම් සෙනෙවියන්ද මරා දමා හෝ අල්වාගෙන රුහුණේ ප්‍රභූ පරපුර නැවත නැගී නොසිටින ලෙසට විනාශ කර දමනු ලබයි. [මෙහි සඳහන් වන නිග්‍රෝධ-මාරගල්ල  මොණරාගල කඳු වැටියේ මරගල ලෙස කොඩ්රිංටන් හඳුනා ගනී.]
ගොඩනැගිල්ලක ගඩොළු පාදමක්
පාළි මූලාශ්‍ර වල උද්ධානද්වාර ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පිළිබඳ හෝඩුවාවක් කුරුණෑගල යුගයේ  රචනා කල දළදා පූජාවලියෙන් ලැබේ. රුහුණු උඳුන්දොර අමරගිරි පර්වත සමීපයේ සුරක්ෂිත කර තිබූ දළදා, පාත්‍ර ධාතුන් මහළු පරාක්‍රමබාහු රජතුමන් චතුරාංගනී සේනාව යවා පොළොන්නරු පුරවරයට ගෙන්වා ගත් බව එහි සඳහන් වේ. මොණරාගල ලෙස වර්තමානයේ හැඳින්වෙන කන්ද පෙර කල අමරගිරි ලෙස හැඳින්වූ බවට බිබිලේ රටේ මහත්තයා විසින් තහවුරු කල බවත්, ඒ අනුව උදුන්දොර යනු වර්තමානයේ මොණරාගල පාමුල ගලබැද්ද ලෙස හඳුන්වන නටබුන් වූ මාලිගයක් සහ පොකුණක් සහිත ප්‍රදේශය බවත් කොඩ්රිංටන් හඳුනාගනී. තවමත් කැනීම් කර සංරක්ෂණය කර නොමැති මෙහි මාලිගයේ සැලැස්ම පොළොන්නරුව සහ පඬුවස්නුවර ඇති පොළොන්නරු යුගයේ රජ මාලිගා වල සැලැස්මට සමාන වන මුත් ප්‍රමාණයෙන් ඒවාට වඩා කුඩාය. මාලිගයේ නටබුන් වලට නුදුරින් ඇති 'කෙල්ලන්ගේ වල' නමින් හැඳින්වෙන සංරක්ෂණය කර ඇති පොකුණ පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ලක්ෂණ වලින් යුක්ත වේ.
සුගලා දේවිය සොයා රක්ඛ සෙනෙවියා ගිය මාර්ගය ඔස්සේ අසූව දශකයේ වන මන් පෙත් ඔස්සේ දුෂ්කර ගමනක යෙදී සිය අත්දැකීම් විචිත්‍ර ලෙස ඉදිරිපත් කල ලාලා ආදිත්‍ය මහතා සිය කෘතියේ තම රාජධානිය අත්පත් කරගැනීමට ලග ලග එන රක්ඛ හා භූත සෙනවියන් ප්‍රමුඛ සේනාව හමුවේ උදුන්දොර මාලිගයේ සිටි සුගලා දේවියගේ මුවට නැන්වූ මෙම පැදියෙන් මෙය අවසන් කරමු.

"I have swayed troublous councils,
                                        I am wise in terrible things;
Father and son and grandson,
                                        I have known the hearts of the Kings.
Shall I give thee my sleepless wisdom,
                                       or the gift all wisdom above?
Ay, we be women together-
                                      I give thee thy people's love."

බලසම්පන්න තරුණ පරාක්‍රමබහු සමග රුහුණු රටේ උරුමය උදෙසා අභීත සටනක් ගෙන ගිය සුගලා දේවියත් සමග රුහුණු ප්‍රභූ පරපුර හමාර වේ. එහෙත් එහි වන්දි ගෙවන්න්නට සිදුවන්නේද අනාගත රජරට ප්‍රභූ පරපුරටමය. පෙර කල අනුරාධපුර රාජධානී සමයේ මෙන් පර සතුරු උවදුරු හමුවේ නැවතත් සිංහල ජාතියේ ස්වාධීනත්වය නගා සිටුවීමට රුහුණෙන් මතු වී සටන් කිරීමට නායකත්වයක් ඉතිරි වී නොතිබුණි. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක අභිමානයද එයට සමගාමීව කෙමෙන් වියැකී ගොස් පසු කාලයකදි බටහිර ආක්‍රමණිකයන්ට නතු විය.

මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • දළදා පූජාවලිය
  • Search For Sugala, Lala Adithiya, 1980

1 comment: