Showing posts with label Moggallana. Show all posts
Showing posts with label Moggallana. Show all posts

Sunday, November 13, 2022

පිදුරාගල පුරාණ දළ්හ විහාරයේ විහාර වහලුන් සිටියාද?

පිදුරංගල යනු සීගිරිය තරම්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මුත් පිදුරංගල කඳු මුදුන තරණය කරන බොහෝ දෙනෙක් නොදකින එහෙයින්ම එතරම් අවදානයක් යොමු නොවන පැරණි නටබුන් විහාරාම සංකීර්ණයක් එම පර්වතයට ආසන්නව එයට උතුරු දෙසින් පිහිටා ඇත. පබ්බත විහාර සම්ප්‍රදායට (පබ්බත විහාර පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා >>) අයත් තවත් එක් විහාරයක් වන මෙය අවම වශයෙන් පළමුවන කාශ්‍යප රජුට [පො. ව.  473-491] පසු රාජ්‍යත්වයට පත්වූ පළමුවන මුගලන් රජුගේ [පො. ව. 491-508] කාලය දක්වා පැරණි එවකට දළ්හ විහාරය ලෙසින් හැඳින්වූ මහායාන සම්ප්‍රදාය පිළිගත් අභයගිරියේ ධම්මරුචික නිකායට අයත් විහාරයක් බවට කරුණු හෙලිවී ඇත. මෙහි ඇති තවත් වැදගත්කමක් වන්නේ මෙරට විහාර වල "විහාර වහලුන්" සිටි බවට හෝ එවැනි විහාර වල වහලුන් බවට පත්වී නැවත මුදල් ගෙවා ඉන් මිදෙන පූජා ක්‍රමයක් ඒවායේ  සිදු කල බවට හැඟෙන "වහරල සෙල්ලිපි" ලෙසින් හැඳින්වෙන සෙල්ලිපි කිහිපයක්ද මෙහි හමුවන හෙයිනි. මෙම පබ්බත විහාරය සහ ඊට දකුණින් පිහිටි පිදුරංගල ලෙන් සහිත ප්‍රදේශය එකම ආරාමයකට අයත්ද නැත්ද යන්න තවමත් පැහැදිලිව පැවසීමට කරුණු නොමැත. එහෙයින් මේ ලිපියෙන් පිදුරංගල පර්වතය පාමුල පිහිටි එම පබ්බත විහාරය සම්බන්ධයෙන් පමණක් කරුණු ඉදිරිපත් කෙරේ.   

පිදුරංගල පබ්බත විහාරය පිළිබඳව වූ කෙටි වීඩියෝව >>

වහරල ලිපි සහ විහාර වහලුන්

පිදුරංගල පබ්බත විහාරයේ පිළිම ගෙයට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපි

අවම වශයෙන් පොදු වර්ෂ පූර්ව 3 වන සියවසේ අවසාන භාගයේ පමණ සිටවත් මෙරට තුලින් ආදී බ්‍රහ්මී අක්ෂර වලින් ලියැවුණු ශිලා ලේඛන හමුවන බව පොදු පිළිගැනීමයි (එම කාලය ඊට පෙර සියවස් දක්වාද අයත් කල හැකි පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇති බවද මෙහිදී සිහිපත් කල යුතුය. උදාහරණයක් ලෙසට අනුරාධපුර ඇතුල් නුවර කැනීම් මගින් හමුවූ ඇතැම් බ්‍රාහ්මී අක්ෂර සහිත වලන් කැබලි පොදු වර්ෂ පූර්ව 799-529, 796-520, 770, 767,674,662 වැනි කාල පරාසයන්ට අයත් බව කාල නිර්ණ ක්‍රම මගින් හෙළිවී ඇත. පොදුවේ එම සියළු වලන් කැබලි වල කාල පරාසය පොදු වර්ෂ පූර්ව 500 - 600 කාලයට එනම් පොදු වර්ෂ පූර්ව 6 වන සියවස දක්වා පැරණි යුගයකට අයත් කල හැක.) එතැන් සිට බ්‍රාහ්මි අක්ෂර සහ එහි විකාශනයන් මගින් ලියැවුණු සෙල්ලිපි පොදු වර්ෂ 7 වන සියවස දක්වා පමණ හමුවේ. 7 වන සියවසින් පසු හමුවන සෙල්ලිපි වල අක්ෂර ක්‍රමයෙන් බ්‍රහ්මී අක්ෂර වලින් වර්තමාන සිංහල අක්ෂර බවට පත්වන ආකාරය  දැකගත හැක. කෙසේ නමුත් මුල් කාලයට සහ 7 වන සියවසින් පසු කාලයට සාපේක්ෂව බැලූ කල පොදු වර්ෂ 4 වන සියවසේ සිට 7 වන සියවස දක්වා කාලයේ මෙරට සෙල්ලිපි එතරම් බහුලව හමු නොවේ. එම සෙල්ලිපි අතරින්ද රජවරුන්ගේ නම් සඳහන් සහ ඔවුන් විසින් ප්‍රකාශිත සෙල්ලිපි හමුවන්නේ ඉතාමත්ම ස්වල්පයක් පමණි. තවත් විශේෂ කාරණයක් වන්නේ එම කාලයේ හමුවන සෙල්ලිපි අතරින්ද බහුතරය "වහරල චිදවි" යන වචන දෙක හෝ එම වචන දෙකේ විවිධ ස්වරූපයන් සහිත සෙල්ලිපි වීමය. එමනිසා එම සෙල්ලිපි "වහරල සෙල්ලිපි" ලෙසින් හඳුන්වයි. පොදු වර්ෂ 5 වන සියවසේ සිට 7 වන සියවස දක්වා කාල පරාසයේ මෙම වහරල සෙල්ලිපි හමුවන අතර ඉන්පසු කාලයේදී එම ලිපි හමු නොවේ. මෙම "වහරල චිදවි" යන වචන දෙකට විවිධ විද්වතුන් විසින් විවිධ අර්ථකථන සපයා ඇති අතර ඒ පිළිබඳව නිශ්චිත අදහසකට තවමත් එළඹ නොමැත.

පිදුරංගල පබ්බත විහාරයේ මණ්ඩප ගොඩනැගිල්ලට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපි

එම අර්ථකථන අතරින් අද වනවිට විද්වතුන් වැඩි දෙනා පිළිගන්න මතය නොවූවත් වඩාත්ම ජනප්‍රිය එමෙන්ම එම සෙල්ලිපි හමුවන ස්ථාන වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශනය කරන පුවරු ආදියේ ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මුලින්ම මේ සම්බන්දයෙන් ඉදිරිපත් කල මතයයි

සෙනරත් පරණවිතාන මහතාගේ මතය - "වහරල චිදවි" යනු වහල් භාවයෙන් (වහරල) මිදීවීය (චිදවි). එනම් මේ කාලයේ මෙරට විහාරස්ථාන වලට වහල් භාවයට පත්වී මුදල් ගෙවා එම වහල් භාවයෙන් මිදීම මෙරට ජනතාව පුණ්‍යකර්මයක් ලෙස සැලකූ බව.

ඒ සම්බන්දව වෙනත් විද්වතුන් විසින් ඉදිරිපත් කල මත කිහිපයක් මෙසේය

1) දැව දඬු කැප්පවීම බව - මහාචාර්ය ඩී. ජේ. විජේරත්න

2) විහාර සලාක සැපයීම බව (මහාචාර්ය සුගතපාලද සිල්වා) හෝ විහාර සලාක කැප්පවීම බව (මහාචාර්ය සිරිමල් රණවැල්ල)

3) විහාර ගෙය සෑදවීම බව (කොටනෙළුවේ චන්දජෝති හිමි ) හෝ විහාර කුටි සෑදවීම බව (මැදඋයන්ගොඩ  විමලකිත්ති හිමි, මහාචාර්ය බන්දුසේන ගුණසේකර සහ ආචාර්ය බෙනිල් ප්‍රියංක) හෝ විහාරයනට ආදාල ගොඩනැගිලි සෑදවීම බව (ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න)

4) විහාර දොරටුවල ගල් පඩි සෑදවීම බව (මොරවක ශ්‍රී සිද්ධාර්ථ හිමි)

5) අනිවාර්ය සේවයෙන් නිදහස් වීම බව (මහාචාර්ය මාලනී ඩයස් සහ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි)

ඉහත පරණවිතාන මහතා ඉදිරිපත් කල මතය හෝ ඒ සම්බන්ධව අනෙකුත් විද්වතුන් ඉදිරිපත් කල මත  සාධාරණීකරණය කිරීමට ඔවුන් ගෙනහැර පාන තර්ක සියල්ල පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට මෙහිදී අදහස් නොකරන මුත්, පරණවිතාන මහතාගේ මතය සහ එයට විකල්ප ලෙසට මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් සහ පසුව වෙනත් විද්වතුන් ඉදිරිපත් කල මතය සම්බන්ධයෙන් මෙහිදී සැකවින් හෝ කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙමි.

පිදුරංගල පබ්බත විහාරයේ මණ්ඩප ගොඩනැගිල්ලට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපියක කොටසක්

පිදුරංගල පබ්බත විහාරය සම්බන්දයෙන්වූ මෙම ලිපියේදී වහරල ලිපි පිළිබඳව අපට අවධානය යොමු කිරීමට සිදුව ඇත්තේ මෙම පබ්බත විහාරයේ පිළිම ගෙහි ගල් පඩියක සහ මණ්ඩපයේ නැගෙනහිර දොරටුව මත්තෙහි ගල් පඩි වල මෙතෙක් කියවා පළකල සහ නොකළ වහරල ලිපි කිහිපයක්ම හමුවන බැවිනි (ලිපි 10 ක් පමණ හමුවී ඇති අතර ඉන් 6ක් ප්‍රකාශයට පත්වී ඇත.) එසේම පිළිම ගෙයි සඳකඩ පහණකද මැකී ගිය සෙල් ලිපියක් දැකිය හැක. 

එම එක් වහරල ලිපියක පෙළ මෙසේ දැක්වීම හැක.  (ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාට අනුව)

අය සවලී මහ වසයණ සදය
වහරල වටකට දන එක යහ
ළක ව වි එක මුයුදනක වි

එම ලිපිය මුලින්ම ප්‍රකාශයට පත් කල නලීන් වීරරත්න මහතාට අනුව එහි අදහස  - අය සවලී මහ නම් ස්ථානයේ වාසය කරන........වහරල පවත්වාගෙන යාමට එක් යහළක වී (සහ) එක් අමුණක වී (දෙන ලදී)

"වහරල චිදවි" යනු විහාර කුටි සෑදීම ලෙසින් ගෙන ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතා එහි අදහස මෙසේ ඉදිරිපත් කරයි.

අය සවලී නැමැත්තා විසින් මහ වස් වසනා කාලය තුළ වාසය කිරීම පිණිස විහාර කුටි සෑදීමේ කර්ත්‍යවයට දුන් එක් යහළක වී සහ එක් අමුණක වී.

වහරල ලිපි සමස්තයක් ලෙස ගත් කල ඒ සියල්ලේ හෝ බොහෝමයක දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ පෙල ගැස්විය හැක.

1) සියළුම වහරල ලිපි විහාරාරාම නටබුන් හමුවන ස්ථාන වල හමුවීම
2) සමහර වහරල ලිපි විහාර වලට පිවිසෙන ගල් පඩිපෙලෙහි කොටා තිබීම ( උදා: පිදුරංගල පිළිමගෙය සහ මණ්ඩපයට පිවිසෙන ගල් පඩි.
3) ඇතැම් වහරල ලිපි වල දායකයන් වඩුවන් හෝ ගල් වඩුවන් වීම
4) එම ක්‍රියාව සිදු කර ඇත්තේ පින් ලබා ගැනීම උදෙසා වීම සහ ඇතැම් ලිපි වල එම පින් වෙනත් අය හට අනුමෝදන් කරවීම (තවත් සමහර ලිපි වල එම පින් බලෙන් මතු බුදු බව අත්වේවා ලෙසින් පැතීම් ද සිදු කර ඇත.)
5) මෙම ක්‍රියාව කිරීමේදී බොහෝවිට කහවණු පරිත්‍යාග කිරීම් සිදු කිරීම (බහුතරයක් සෙල්ලිපි වල පරිත්‍යාග කර ඇති මුදල කහවණු 100 ක් වේ. ඉහත පිදුරංගල ලිපියේ සිදුවී ඇත්තේ වී පරිත්‍යාග කිරීමකි.) 
පිදුරංගල පබ්බත විහාරයේ බෝධිඝරය. ඈතින් දිස්වන්නේ පිදුරංගල පර්වතයයි

සංස්කෘත වෘෂල යන වචනයෙන් සිංහල වහල් යන වචනය සෑදුන බව ගයිගර් විසින් පෙන්නා දී ඇත. පරණවිතාන මහතා තර්ක කරන්නේ මෙම ලිපි හමුවන 6 වන සියවස පමණ වන විට වහල් යන සිංහල වචනයට සම්පූර්ණයෙන් පරිවර්තනය නොවුන වහරල යන අතරමැදි ස්වරූපයක් තිබුනා විය හැකි බවයි. ( වෘෂල > වරසල > වරහල > වහරල >  වහල් ලෙසින් ) ඒ අනුව "චිදවි" යන වචනයේ අර්ථය මිදුනා ලෙසින් ගෙන පරණවිතාන මහතා සිය අර්ථකථනය සපයයි. මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් පවසන්නේ "වහර" යනු "විහාරය" හෙයින් (මේ යුගයේදී විහාරයට වහර යනුවෙන් පැවසූ බව සෙල්ලිපි කිහිපයකින්ම පැහැදිලිවේ.) ගන්ධකුටි ශබ්දය ගඳොල, ගදෙළ, ගදළ යි සිටියාක් මෙන් විහාර කුටි ශබ්දයත්  වහරල ලෙසින් සිටිය හැකි බවය. විමලකිත්ති හිමියන්ගේ මතය තව දුරටත් සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කරන ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතා 10 වන සියවසට අයත් දඹේගොඩ ටැම් ලිපියෙහි "වෙහෙරල කරව මගුල් පිරිවෙන් කරවා" ලෙසින් එන පාඨයෙන් "විහාර කුටි කරවා මගුල් පිරිවෙන නිමකොට" යන්න කියැවෙන හෙයින් මගුල් පිරිවෙන ගොඩනැගීමට විහාර කුටි රාශියක් සාදා නිම කිරීමට සිදු වූ බව එයින් ගම්‍ය වන බවත්, එහෙයින් "වෙහෙරල" යනු විහාර කුටි බවත් පවසයි. සද්ධාමංගල කරුණාරත්න මහතා වෙනත් 6 වන සියවසට අයත් ලිපියක (එම ලිපිය නැගෙනහිර පළාතේ  කිරිපොකුණුහෙල පියගැට සහිත ගල් තලාවක පසෙක කොටා ඇත.) "පදගඩ චිදවය" ලෙසින් පියගැට සාදන ලදී යන්න අදහස් කර ඇති බවත්, ඒ අනුව "චිදවි" යන්නෙන් සාදන ලදී හෝ සාදන ලද යන තේරුම ගත හැකි බවත් පෙන්නා දෙයි. මෙම දෙවන මතය සාධාරණීකරණය කිරීමට මෙවන් උදාහරණ බොහෝමයක් දිය හැකි බැවින් "වහරල චිදවි" යන්නෙන් විහාර කුටි සෑදීම අදහස් කරන්නට ඇති බව සිතීම වඩාත් තර්කාණුකූල බව පෙනේ. මෙම ඇතැම් වහරල ලිපි ගල් වඩුවන් සහ වඩුවන් විසින් පිහිටුවා තිබීමද මේ මතය සනාථ කිරීමට යොදාගත හැක ( ඔවුන් එම කාර්යය පින් තකා මුදල් අය කිරීමකින් තොරව ඉටු කර ඒ බව ලිපියකින් පවසා ඇත.) අනෙක් අතට ඇතැම් වහරල ලිපි වල එන "දරුයන චිදවි වෙහෙරල" යන්න විහාර කුටි දැවයෙන් සෑදීම ලෙසින් ගත හැක ( පරණවිතාන මහතා පවසන්නෙ ඉන් ලිපිය පිහිටුවන තැනැත්තා සිය දරුවන් මුදල් ගෙවා වහල් කමින් මුදා ගත් බව පැවසෙන බවය.) 

*මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ පෙර කල විහාරාරාමයන්හි සේවය කළ සේවකයන් සිටි බවට සාධක ඇති බවය. එහෙත් ඔවුන් සෙල් ලිපි වල හඳුන්වා ඇත්තේ "වෙහෙර් දසුන්" යනුවෙන් විනා "වෙහෙර් වහලුන්" ලෙසින් නොවේ ( 4 වැනි මහින්ද [පො.ව. 956-972] රජුගේ මිහින්තලා පුවරු ලිපිය. තවද පොදු වර්ෂ 2 වැනි සියවසට අයත් අනුරාධපුර ඉළුක්වැව නම් තැනකින් හමුවූ ලිපියක විහාරයක සේවය කල අඹු සැමි යුවලක් දස හා දැසි ලෙසින් හඳුන්වා ඇත.) 

උපෝසථඝරය

පිදුරංගල පබ්බත විහාරය පැරණි දළ්හ විහාරය බව හඳුනාගැනීම

පිදුරංගල පබ්බත විහාරයේ හමුවන එක් වහරල ලිපියක් මෙහිදී වැදගත් වන්නේ එහි මෙම විහාරයේ නම සඳහන් වන බැවිනි. අදාල ලිපිය මේ පරිදි වේ.

මහ කළ වනයල හ ධන එක සයක කහවණ එම මය ධන කපිදළ වහරට  (දෙ) වහරල චිදවය පල සව සතහට.
 
මහගල (වාසය කරන) වනසල සිය ධනයෙන් කහවණු සියය බැගින් දළ්හ විහාරයට (දී එහි) (දෙ) වහරල මුදවිය [ඉහත පැහැදිලි කිරීම අනුව විහාර කුටි දෙකක් කරවීය ලෙස ගත හැක.] (එහි) පළ සියළු සත්වයන්ට (අත්වේවා)

මහාවංශයේ සඳහන් වන්නේ පළමුවන මොග්ගල්ලාන රජු [පො.ව. 491-508] සීගිරියේ දළ්හ නම් විහාරය හා දාඨා කොන්ඩඤ්ඤ විහාරද ධම්මරුචි සහ සාගලිය නිකායවල භික්ෂුන්ට පූජා කල බවය. ඒ අනුව පිදුරංගල පබ්බත විහාරය එම දළ්හ විහාරය ලෙසින් හඳුනාගත හැකි අතර 6-7  සියවස් වලට අයත් ඉහත වහරල ලිපිය පිහිටවූ තැනැත්තා එහි විහාර කුටි දෙකක් එම යුගයේදී තැනීමට කහවණු ලබා දී ඇත. 

මීට අමතරව මෙම පබ්බත විහාර පරිශ්‍රය තුලින් හතරවන දප්පුල රජුගේ [පො.ව. 924-935] කාලයට අයත් අත්තාණි ටැම් ලිපියක කොටසක් හමුවී ඇත.  ලිපියේ නම සඳහන් උදා මහපාණන් වහන්සේ  (මාපා උදය) IV දප්පුල රජු යටතේ එම දූරය දැරූ උදය මාපා ලෙස සැලකේ. උදා මහපාණන් වහන්සේ වදාල හෙයින් රක්සමණන් (Chief Guardian) වන මහලෙ අග්බොයා නියමයෙන් පැමිණි කුඩසලා දෙට් විසින් එම අත්තාණි කණුව පිහිටුවා ඇති බව ලිපියේ ශේෂව ඇති කොටසින් කියැවේ.

ස්තූපය

පිදුරංගල පබ්බත විහාරයේ වර්තමාන නටබුන් 
නැගෙනහිර දිශාවෙන් ප්‍රධාන පිවිසුම සහිතව මංජුශ්‍රී වාස්තුවිද්‍යා ශාස්ත්‍රයෙන් විග්‍රහ කෙරෙන "හස්තයාරාම පංචාවාස" සැලසුමට අනුව මෙම පබ්බත විහාරය ඉදිකර ඇත. මෙහි පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන සැලැස්මේ ගොඩනැගිලි 5 ක් හඳුනාගත හැක. ස්තූපය, බෝධිඝරය, උපෝසථඝරය හා පිළිම ගෙයට අමතරව සභා ශාලාවක්ද (මණ්ඩපයක්) මෙහි දැකිය හැක. වයඹ සහ ඊසාන දිගින් ශේෂව ඇති ගඩොල් ප්‍රාකාරය නිසා ප්‍රධාන සැලැස්ම සහ වෙනත් ගොඩනැගිලි හමුවන ප්‍රධාන නොවන සැලැස්ම පිදුරංගල පබ්බත විහාරයේ ප්‍රාකාරයක් මගින් වෙන් කර තිබූ බව හඳුනාගෙන ඇත. එහෙත් සමස්ත විහාරය ආවරනය වන ආකාරයේ දිය අගලක් තිබූ බවට සාධක නොමැත. නමුත් ඊසාන දිශාවට පිහිටි වැව  මෙම විහාරයට අයත්ව තිබෙන්නට ඇත. ප්‍රධාන නොවන සැලැස්මේ පොකුරු වශයෙන් අවශේෂ ගොඩනැගිලි 35 ක් පමණ තිබූ බවට සාධක හමුවේ. දෙදෙනෙකුට පමණ වාසය කල හැකි මෙම කුටි 35 පොකුරු 6 ක් ලෙසින් ඉදි කර ඇති අතර ඒ අනුව මෙහි භික්ෂූන් 70 ක් පමණ වාසය කරන්නට ඇති බව අනුමාණ කෙරේ (ඉහත වහරල ලිපි වල දායකයන් ඉදි කර ඇත්තේ මෙම කුටි ලෙස හඳුනා ගත හැක.) කෙසේ නමුත් වෙනත් පබ්බත විහාර වල ප්‍රධාන නොවන සැලැස්මේ දැකිය හැකි දානශාලා, කැසිකිලි, වැසිකිලි ආදිය මෙහි දැකිය නොහැක, නැතහොත් මෙතෙක් හඳුනාගෙන නැත.
මණ්ඩපය

පිදුරංගල පබ්බත විහාරය පිළිබඳ අතීත වාර්තා


වර්තමානයේ පිදුරංගල ලෙසින් හැඳින්වෙන පර්වතය 1899 වසරේ සිය වාර්තාවේ H.C.P. බෙල් හඳුන්වන්නේ පිදුරා-ගල ලෙසිනි (පැරණි අඟලේ සිතියම් වල පවා පිදුරාගල ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රදේශයේ සහ පර්වතයේ නාමය මෑත කාලයකදි පිදුරංගල ලෙසින් වෙනස් වී ඇති බව පෙනේ.). පිදුරාගල පර්වතය මත තිබෙන ස්තූප නටබුන් ගැන මෙන්ම එහි එවකටත් ක්‍රියාකාරිව තිබූ "අලුත් විහාරය" සහ සැතපෙන පිළිමයක් සහිත "පැරණි විහාරය" ගැනද ඔහු කෙටි විස්තරයක් ඉදිරිපත් කරන මුත්, මෙම පබ්බත විහාරය ගැන කිසිවක් පවසන්නේ නැත. 1903 වසරේදී නැවතත් ඔහු සීගිරිය පර්වතයෙන් ඊසාන දෙසට වන්නට එහි ප්‍රාකාරයට පිටින් ඒ අසලම වාගේ පිදුරාගල ගමට යන මාර්ගයෙන් මදක් බටහිරට වන්නට වූ හුදකලා නටබුන් ගැන පවසමින්, පඩි කිහිපයක් නැගීමෙන් දකුණු දෙසින් ඇතුලු වීමට තිබූ කණු 36 ක් පමණ සහිත ගොඩනැගිල්ලක් ගැන පවසයි. එහි කණු සැලකිය යුතු ප්‍රමාණයක් ඒ වනවිටද නැති වී ඇති බව පවසන ඔහු එහි සිදු කරන කැනීමකින් පෙන 5 ක් සහිත ශෛලමය නාග රූපයක් සොයාගනී. දිවයිනේ වෙනත් ප්‍රදේශ වල මෙන් බොහෝදුරට එය මුලින් තිබෙන්නට ඇත්තේ සීගිරි වැවේ බිසෝකොටුව අසල විය යුතු බව පවසන බෙල් එම නාග රුව එහි බිසෝකොටුව අසල වැව් බැම්ම මත තැබූ බව පවසයි. ඒ වනවිටත් එය බොහෝසෙයින් ඛාදනය වී තිබූ බවද ඔහු සඳහන් කරයි. (පිදුරංගල පබ්බත විහාරය අසල ඇති කුඩා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත්තේ එම නාග රූපය විය යුතුය. ඉහත රූපය බලන්න.)  ඊට අමතරව එම ස්ථානයෙන්ම සිරිපතුල් ගලක්, වටකුරු පූජාසනයක් සහ පා දෝවන ගල් බේසමක්ද හමුවූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
පිළිම ගෙය
1950 වර්ෂයේදී "පිදුරාගල පන්සලේ" ගවේෂණයක යෙදෙන සෙනරත් පරණවිතාන මහතා එය සංඝාරාමයක නටබුන් හමුවන ස්ථානයක් ලෙසට හඳුනාගනී. ගඩොල් බැමි, ගල් කණු මෙන්ම දාගැබක් වැනි ගොඩැල්ලක්ද එහි හමුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 1951 වර්ෂයේදී පරණවිතාන මහතා එම ස්තූප ගොඩැල්ල මත තිබූ ගස් සහ සුන්බුන් ඉවත් කර එහි කැනීමක් සිදු කරයි. 

18 වන ශතවර්ෂයේ දැනට පවතින අලුත් විහාරය ඉදි කිරීමේදී මෙම ස්ථානයේ තිබූ ගල් කණු ආදිය පඩි පෙලවල් සහ වෙනත් ඉදිකිරීම් සඳහා රැගෙන යන්නට ඇති බව පරණවිතාන මහතා පවසයි. තවද වර්තමාන විහාරයේ ඇති බදාම යොදා පින්තාරු කර ඇති හුණුගල් හිටි පිළිම දෙක මෙම ස්ථානයේ වූ පිළිම ගෙයි මුලින් තිබෙන්නට ඇති බවටද එතුමා කරුණු දක්වයි. ස්තූපයේ තිබූ ගඩොල් අතර 8 වන සියවසට අයත් අක්ෂර වලින් වඩු ලකුණු යෙදූ ගඩොල් සැලකිය යුතු ප්‍රමාණයක් මෙන්ම ඒ වනවිටත් නිධන් සොයන්නන් විසින් විනාශ කර තිබූ ස්තූපයේ යූප ගලද ගොඩැල්ලේ පසෙක තිබී එතුමා හට හමුවේ. මෙහි ධාතු ගර්භයේ වහලය වෙනත් ස්තූප වල මෙන් ගඩොල් බැමි මත හරහට තබන ලද ගල් පුවරු වලින් නොව පේකඩ සහිතව ගඩොලින් කර තිබූ බවත්,නිදන් හොරුන් විසින් එය විනාශ කර එහි තිබූ බොහෝ දේ රැගෙන ගොස් ඇති මුත්, එහි තිබී හමුවන උස් කොතක් සහිත ස්තූපයක හැඩයෙන් යුත් තඹ ධාතු කරඬුවක කොටස්  ආධාරයෙන් පරණවිතාන මහතා මෙම ස්තූපය ඉදි කල කාලය 8 වන සියවසට අයත් කල හැකි බවට හඳුනාගනී. එම කාලයට වඩා පැරණි යුගයකට අයත් බෙහෙවින් ඛාදනය වූ රෝම කාසියක් සහ සතැරස් තඹ පුරාණ කාසියක් ඊට අමතරව එහි තිබී හමුවේ. තවද මෙම කැනීමේදී ධාතු ගර්භයේ බටහිර බිත්තියේ කුහරයක තිබී කැබලි වූ කිරි ගරුඩ ඵලක තුනක් හමුවේ. ඉන් එකක බුද්ධ රූප තුනක්ද, අනෙක් ඵලකයේ බෝධිසත්ව රූප දෙකක්ද මතු කර ඇත. ඉන් එක් බෝධිසත්ව රූපයක් බොහෝවිට මෛත්‍රී බෝධිසත්වයන් විය හැකි බවද පරණවිතාන මහතා පවසයි. තුන්වන ඵලකයේ බුද්ධ චරිතයේ කිසියම් අවස්තාවක් නිරූපනය වන බවත් කැබලි කිහිපයක් පමණක් හමුවූ බැවින් කුමන අවස්තාවක්ද යන්න නිසැකවම පැවසිය නොහැකි බවත් එතුමා සඳහන් කරයි (* පහතින් ඇති පාද සටහන බලන්න). එම කිරිගරුඬ පාෂාණ අමරාවති සහ නාගර්ජුනකොණ්ඩ කැටයම් සඳහා යොදා ගත් වර්ගයේ ඒවා බවත් එනයින් එම පාෂාණ ආන්ද්‍රා පෙදෙසින් මෙරටට ගෙනාවා විය හැකි බවත්  සඳහන් කරන පරණවිතාන මහතා නමුත් බුද්ධ රූප සහ විශේෂයෙන්ම බෝධිසත්ව රූප මෙරටට ආවේනික ලක්ෂණ පිළිබිඹු කරන බවද සඳහන් කරයි. ශෛලිය අනුව ඒවා 4-5 ශතවර්ෂ වලට අයත් බවය පරණවිතාන මහතාගේ මතය. කිසියම් සුදු කුඩක් මිශ්‍ර මැටි පිරුණු මුට්ටියක්ද මෙම ධාතු ගර්භයේ තිබී හමුවේ. ගඩොල් කැබලි පිරී තිබූ තවත් ධාතු ගර්භයක්ද මෙම ධාතු ගර්භයට යටින් තිබී ඇති අතර පරණවිතාන මහතා අදහස් කරන්නේ එම ධාතු ගර්භය කලින් මෙම ස්තූපය කුඩා ස්තූපයක්ව තිබූ අවදියේ තිබූ ධාතු ගර්භය බවත් ස්තූපය විශාල කිරීමේදි එහි තිබූ පූජා භාණ්ඩ ආදිය එයට උඩින් තැනූ නව ධාතු ගර්භයට ගෙන යන්නට ඇති බවත්ය. පිහිටි පොළොව දක්වාම කැනීම සිදු කිරීමේදි අඟුරු හමුවූ බවත් පොළොවද පිලිස්සි ඇති ලකුණු තිබූ බවත් එනයින් මුල් ස්තූපය කිසියම් ආදාහනයක් සිදු කල ස්ථානයක ඉදි කරන්නට ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. මුල් දාගැබේ යොදා ගත් ගඩොල් සීගිරියේ ඉදිකිරීම් වල ගඩොල් වල ප්‍රමාණයම සේ වූ බැවින් මුල් ස්තූපය එම කාලයට අයත් කල හැකි බවත් බොහෝවිට මුල් ධාතු ගර්භයේ තිබූ කාසි සහ ඵලක විය හැකි ඉහත කාසි සහ ඵලක හමුවීම එම අනුමාණය තවත් තහවුරු කරන බවත් පරණවිතාන මහතා සඳහන් කරයි. මේ සාධක මත පරණවිතාන මහතා නිගමනය කරන්නේ මේ පළමුවන කාශ්‍යප රජුගේ [පො. ව.  473-491] ආදාහනය සිදු කල ස්ථානය ලෙසටය. සංරක්ෂණය කල ස්තූපයේ ඡායාරූපයක් 1952 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ දක්වා ඇත.

* මෙම ඵලක අතරින් බුද්ධ රූප තුන සහිත ඵලකය ගෞතම බුදුන්ට පෙර සිටි බුදුවරුන් පස් දෙනා නිරූපනණය කරන කැටයමක් බවත්, කැඩී ඇති එහි ඉතිරි බුද්ධ රූප දෙක අස්ථාන ගත වී ඇති බවත් ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා සඳහන් කරයි. බෝධිසත්ව රූප සහිත ඵලකයේ වම්පස නිරූපනය වන්නේ අවලෝකතේශ්වර බෝධිසත්වයන් සහ දකුණු පසින් ඇත්තේ මෛත්‍රී බෝධිසත්වයන් බවත් පවසන U. von Schroeder මහතා මෙම ඵලක සියල්ල පොදු වර්ෂ 5 වන සියවසේ අවසානයට කාල නීර්ණය කරයි. එය එසේ වන්නේ නම් මෙරට හමුවන පැරණිම මහායාන බෝධිසත්ව රූප ලෙස මෙම ඵලක වල දැක්වෙන බෝධිසත්ව රූප හඳුනාගත හැක.පරණවිතාන මහතාට නිසැක ලෙසින් හඳුනා ගැනීමට නොහැකි වූ ඵලකයේ ඇත්තේ බුදුන් ශ්‍රාවස්තියේදී සිදු කල "යමක ප්‍රාතිහාර්යය" නිරූපණයක් බව U. von Schroeder  සහ ඔස්මන්ඩ් බෝපේආරච්චි හඳුනාගනී. මෙම සියලු ඵලක ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා හඳුනාගන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ ශිල්පීන් එරට තුලදී කැටයම් කර මෙරටට ගෙනා හෝ එම ප්‍රදේශයේ සිට මෙරටට ගෙනා දෘඩ හුණුගල් මත මෙරට සිටි ආන්ද්‍රා ශිල්පීන් කැටයම් කල නිර්මාණ ලෙසින්ය.

බෝධිඝරය

මෑතකදි කල කැනීම් වලින් හෙලිවූ තොරතුරු
මෙම පබ්බත විහාර පරිශ්‍රයේ නැවතත් කැනීම් සහ සංරක්ෂණය කිරීම් 80 දශකයේ අවසාන භාගයේ සිට 2005 වර්ෂය දක්වා පමණ සිදු කර ඇත. මෙහි බෝධිඝරයේ සිදු කල කැනීමේදී ගඩොල්, උළු කැට සහ යකඩ ඇණ හමුවී ඇති බැවින් බෝධිය වටා දැවමය කණු මත කරන ලද උළු සෙවිලි කල වහලයක් තිබූ බවට අනුමාණ කෙරේ. එම පියැස්සට ආධාර වශයෙන් යොදා ගත් ගල් කණු කිහිපයක්ද තවමත් මෙහි ඉතිරි වී ඇත. උපෝසථඝරයේ ඇති ඇතැම් විශාල කණු වල සිදුරු විද ඇත්තේ (මේ සමඟ ඇති වීඩියෝව බලන්න.) ඒවා ශිලාමය පුවරු උපයෝගී කරගනිමින් එකිනෙකට සම්බන්ද කිරීමට බව එහි සිදු කල කැනීමකින් හෙලිවී ඇත. මණ්ඩපයේ කල කැනීමකින් හෙලිවී ඇති අයුරින් මුල් අවස්තාවේ ඉදි කල ගොඩනැගිල්ල බිඳ වැටීමෙන් පසු නැවත එය  ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම මණ්ඩපයේ කල කැනීම් වලින්ද  උළු කැට සහ යකඩ ඇණ බහුලව හමුවී ඇති බැවින් මෙහිද දැවමය පියැස්සක් තිබී ඇති බව පැහැදිලි වේ. කැනීමේදි එතරම් ගඩොල් ප්‍රමාණයක් හමු නොවීම නිසා මණ්ඩපයේ බිත්ති වහල මට්ටම දක්වා නොතිබූ බවට උපකල්පනය කර ඇත. 
පිළිම ගෙය

මූලාශ්‍ර

  • ක්‍රිස්තු වර්ෂ 4, 5, 6, 7 සියවස්හි ලක්දිව සෙල්ලිපි ඇසුරින් සකස් කරන ලද දත්ත, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2019
  • Sigiriya, city, palace, gardens, monasteries paintings, Senake Bandaranayaka, 2013

  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • ලක්දිව පැරණි සෙල්ලිපිවල බහුලව හමුවන මෙත්ක් නොවිසඳුණ වදන් දෙකක්: වහරල සහ මතෙර මජිබක නව සාධක ඇසුරෙන්, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2012
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Special Volume, Volume VII, Edited by Saddhamangala KArunaratne 1984
  • Archaeological Survey Department, Inscriptions of Ceylon Vol 2 Part 2 , By S. Paranavitana, Editor Malani Dias, 2001
  • අතීත අභිමන හෙටටත් ඓතිහාසික පිදුරංගල, අයි. ඩී . එම්. විජේබණ්ඩාර, 2011
  • ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුම 3, 2008
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Sri Lanka, Vol. VI Part 2, Edited by Jayanta Uduwara, 1991
  • ඉසුරුමුණිය හා වෙනත් ලිපි, ඉෂංඛ මල්සිරි, 2013
  • Epigraphical Notes, Nos 1-18, Malani Dias, 1991
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්), ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • Archaeological Survey of Ceylon, North-Central and Central Provinces, Annual Report, 1899, H.C.P. Bell, 1904
  • Archaeological Survey of Ceylon, North-Central and Central Provinces, Annual Report, 1903, H.C.P. Bell, 1908
  • Report on the Archaeological Survey of Ceylon for 1950. Dr. S. Paranavitana, 1951
  • Report of the Archaeological Survey of Ceylon for 1951. Dr. S. Paranavitana, 1952
  • Report of the Archaeological Survey of Ceylon for 1951. Dr. S. Paranavitana, 1953
  • Roots of Sri Lankan Art, Osmund Bopearachchi, 2020
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995

Sunday, October 28, 2018

සීගිරිය සොයා ෆෝර්බ්ස් ගිය ගමන සහ තවත් කතා

"අපි පොළොන්නරුවේ සිට මින්නේරිය සහ පෙයික්කුලම් හරහා එන ගමනේදී මෙතුවක් කල් යුරෝපීයයන් විසින් නොදුටු සීගිරි නම් වූ පැරණි අගනුවර නටබුන් සොයාගැනීම උදෙසා පෙයික්කුලම් (Paecolom) හීදී මාර්ගයෙන් දකුණු දිසාවට යොමු උනෙමු. පෙයික්කුලම් සිට කණ්ඩියක් මතින් කොටසක් සහ ඉතිරිය විශාල වැවක වැව් පිටිය මතින් වැටී තිබූ අපගේ ගමන් මගේ සැතපුම් සතරක් පමණ ගිය විට, උදෑසන මීදුම ක්ෂණිකව පහව ගිය මොහොතක, එහි නිශ්චල මතුපිටින් අවට පිහිටි විශාල වනස්පතීන් සමග මුඩු බෑවුම් පැති සහිත සහ මුදුන වන වදුලින් යුතු වූ සීගිරි ගලේ ප්‍රතිබිම්බය දර්ශණය වන ජල තලාවක අද්දර අප සිටින බව වටහා ගතිමු. ..."
සංරක්ෂිත ජල උද්‍යානයේ පොකුණක දිස්වන සීගිරි ගලේ ප්‍රතිබිම්බය
මෙතුවක් කල් අසා තිබු මුත් කිසිදු ඉංග්‍රිසි ජාතිකයෙකු දෑසින් දැක නොතිබූ සීගිරිය නටබුන් නගරය අසලට වර්ෂ 1831 දී මුලින්ම ලගා වූ ඉංග්‍රිසි ජාතිකයා වූ මේජර් ෆොර්බ්ස් බොහෝවිට සීගිරි වැව අසලදී වැව් තලය මතින් එහි ප්‍රතිබිම්බය දිස් වූ අයුරු සිය සිංහලේ එකොළොස් වසරක් (Eleven Years in Ceylon) නම් වූ චාරිකා විස්තර ඇතුලත් ග්‍රන්ථයේ විස්තර කරන්නේ එලෙසිනි. පොළොන්නරුවේ සිට මින්නේරිය හරහා පෙයික්කුලම් දක්වා ෆෝර්බ්ස් ගමන් කල මාර්ගයේ ජෝන් පයිබස් නම් ඉංග්‍රිසී ජාතිකයා වර්ෂ 1762 දී සිංහලේ රජු හමුවීමට පැමිණි ගමනේ විස්තර මෙයට පෙර ලිපි කිහිපයකින් ඉදිරිපත් කලෙමි. (එම ලිපි කියවීමට >>> 1 2 3 ) ඒ ගමනේදී හබරණ අසලදී පයිබස් වලිඹෙහෙල (Friar's Hoodකඳු මුදුන ලෙස වරදවා වටහා ගන්නට ඇත්තේ සීගිරිය විය හැකි යැයි අනුමාන කල හැක. ඒ අනුව සීගිරිය පර්වතය හබරණ ආදී අවට පිහිටි ඇතැම් උස් ස්ථාන වලදී පැහැදිලිව දිස්වන මුත් ෆෝර්බ්ස් එය අසලටම පැමිණ නැවත සොයාගන්නා තෙක්ම මෙරට සිටි ඉංග්‍රිසි ජාතිකයන් වලිඹෙහෙල ලෙසින් වරදවා හඳුනා ගෙන සිටියාදැයි තව දුරටත් සොයා බැලිය යුතුය.
පොළොන්නරුවේ සිට පෙයික්කුලම් වැව දක්වා මාර්ගය මෙහි කොළ පාටින් දක්වා ඇත. එතැන් සිට ෆොර්බ්ස් ගමන් කරන අඩක් කණ්ඩියක් මතින් වැටී තිබූ සහ ඉතිරිය වැව් පිටියක් තුලින් වූ මාර්ගය මේ සිතියමට අනුව හඳුනාගැනීම දුෂ්කර නොවේ. පැරණි සීගිරිය වැව වර්තමානයට වඩා විශාල ප්‍රදේශයක් පුරා පතිර තිබූ බව හඳුනාගෙන ඇති අතර (මෙම පැරණි අඟලේ සිතියමේ එය මැනවින් දැක ගත හැක) ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වෙනත් අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි 
වැඩි දුරටත් තමන් දුටු දෙය විස්තර කරන ෆෝබ්ස් මෙලෙස පවසයි. "අප නැවතුන ස්ථානයේ සිට මා හට පර්වතය පාමුල ගස් අතරින් මතු වී පෙනෙන  යෝධ ගල් බැමි දැකගන්නට ලැබුනි. ඒ අනුව මෙය අප සොයන ස්ථානය බවට මැනවින් පසක් විය. "
සීගිරිය පිට දියගලට ඔබ්බෙන් දිස්වන ගල් බැමි එහි බටහිර දොරටුව අසලදී
සීගිරි යන්නෙහි තේරුම පිළිබඳව ෆොර්බ්ස් පවසන වැදගත් කරුණක් පිළිබඳව මෙහිදි අවධානය යොමු කල යුතුය. ඔහු විශ්වාස කරන්නේ එහි තේරුම කඳුකර බලකොටුව (Mountain-stronghold or Hill-fort) විය යුතු බවය. උගත් ස්වදේශිකයන් සිහ (Lion) සහ ගිරි (Rock) යන්නෙන් එහි තේරුම සෑදි ඇති බව පවසන බවත්, සීගිරි බලකොටුවේ තැන් කිහිපයකම තිබෙන සිංහ පිලිරූ (Lions sculptured on the different parts of the fortress) නිසා එසේ වන බව ඔවුන් විශ්වාස කරන මුත් එය කොතරම් මනඃකල්පිත සහ මෝඩ මතයක්ද යන්න තමන්ට මෙම ගමනේදී කිසිදු සිංහ රූපයක් හමු නොවීමෙන් සනාථ වන බවත් පවසයි. මෙරට එකම සිංහ රූපයක්වත් හමු නොවන ස්වල්පයක් වන ස්ථාන අතරින් මෙයද එකක් වන බවත් ෆොර්බ්ස් වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට සීගිරියේ ඉතිරිව තිබූ සිංහ පාද පස් වලින් යටවී තිබූ අතර පසු කලක එය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තවත් ඉංග්‍රිසි ජාතිකයකු වූ H.C.P. බෙල්ටය. 1909 දී පිදුරංගල සිට ගෙන ඇති මේ සමග ලිපියේ මුලින් පලවන ඡායාරූපය බෙල්ගේ වාර්තාවකින් උපුටා ගැනිනි. එහි සිංහ පාදය මතු කරගෙන ඇත.)
පර්වතය පාමුල දකුණු දෙසින් ඇති ගල් බැමි
ෆෝර්බ්ස්ගේ විස්තරයේ දැක්වෙන ලෙසට ඔහු ගැලරිය (Gallery) ලෙසින් හඳුන්වන කැටපත් පවුර සහිත ප්‍රාකාරයට මෙපිටින් පර්වතය දෙසට ඇති කොටසේද මද දුරක් ගිය බව පෙනේ. අධික රශ්මිය සමග ඇතිවූ විඩාව හේතුවෙන් ඔහු අතරමග නවතින මුත් ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එහි සැලකිය යුතු දුරක් ගිය බව පෙනේ (ඔහු කැප්ටන් H සහ B මහතා ලෙසින් ඔවුන්ව හඳුන්වයි.) ඒ වන විට යාර 100 පමණ දුරට එම ගැලරියේ ප්‍රාකාරය විනාශ නොවී ඉතිරි වී තිබී ඇත.) එහි එක් තැනකදි පර්වතය මුදුනේ සිට දැඩි වර්ෂාව සහිත කාල වලදී දිය ඇල්ලක් (Cascade) ලෙසට ජලය ගලා එන බවත් දැනට නැගීමට අපහසු පර්වතය මුදුනේ වැවක් ඇති බවට ස්වදේශිකයන්ගේ ජනශ්‍රිතයේ එන සඳහන ඒ අනුව සත්‍ය විය හැකි බවත් ෆොර්බ්ස් පවසයි.  
පර්වතයේ දකුණු දෙසින් බැලූ විට පෙනෙන කැටපත් පවුරේ ඉතිරි වී ඇති කොටස 
වර්ෂ 1833 දීද ෆොර්බ්ස් නැවතත් සීගිරියට පැමිණෙන අතර පර්වතය වටා එහි ඊසාණ දෙසින් සම බිමේ සහ නැගෙනහිර දෙසින් උන්නත මළුවක (Elevated terrace) පිහිටි ලෙසට ඔහු මුල් සංචාරයේදී හඳුනාගන්නා රාජකීය ගොඩනැගිලි වලට අමතරව පර්වතයට උතුරු දෙසින් 'මාලිගාවට' ඔබ්බෙන් පැරණි සීගිරිය නගරයේ නටබුන් ඇති බවට දැනගන්නට ලැබුණ බව පවසයි. එම කොටසේ ප්‍රාකාර සහ අගල් වල නටබුන් ඔහුට හමුවේ. එහි (එනම් පර්වතයට උතුරු දෙසින්) ඉහලම මළුවට පිවිසි විට පර්වතය මුදුනට යෑමට කුඩා පඩි ඇති බවට ඔහුට අසන්නට ලැබේ. එහෙත් කිසිවෙකුට එහි මුදුනට නැගීම උත්සාහ කර බැලීමටවත් නොහැකි තරමින් ඒවා විනාශ වී ඇතැයිද ෆොර්බ්ස් ඔහුට දැනගැනීමට ලැබුනු ලෙසට පවසයි. ප්‍රදේශවාසීන් ඔහුට පැවසූ පරිදි සීගිරිය පර්වතය අවට වලසුන් සහ කොටියන් බහුල අතර ඒ බවට සලකුණුද ඔහුට දැකගන්නට ලැබී ඇත. තවද ඉහත සඳහන් කල B මහතා ගැලරියේ කඩා වැටුන කොටසක් තුලට දණ ගාගෙන යාමේදීද එහි සිටි කොටියෙකු පහලට පැන වනාන්තරය තුලට සැඟව ගොස් ඇත.
කැටපත් පවුර
දෙවන වර සීගිරියට ගිය අවස්ථාවේ ෆොර්බ්ස් හට  ගැලරියට ඉහලින් පිටතට නෙරා ගිය පර්වත කොටසේ ලගාවිය හැකි කොටසේ වැඩි ප්‍රමාණයක් දීප්තිමත් වර්ණයන්ගෙන් පින්තාරු කර තිබූ බවට ලකුණු දැකගන්නට ලැබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ වැහි වතුර ඇතුළු නොවන කොටස් වල එම චිත්‍ර වල කොටස් තවමත් තිබෙන්නට හැකි බවයි ( සීගිරියේ කාන්තා රූප මේ වන විට සොයා ගෙන නොතිබුනි.)

19 වන සියවසේ තුන්වන දශකයේ නැවතත් සීගිරිය නූතන ගවේෂකයන්ට එසේ හමුවන තුරු 5 වන සියවසේ සිටි කාශ්‍යප රජුගෙන් (ක්‍රි.ව. 473-491) පසුව වංශ කතා වල පවා සීගිරිය සම්බන්ධයෙන් හමුවන්නේ ඉතාම සුළු තොරතුරු ප්‍රමාණයක් පමණි. කාශ්‍යප රජුගෙන් පසු එහි සංඝාරාමයක් ඇතිවීම පිළිබඳව මෙයට පෙර ලිපියකින් විස්තර කලෙමි (>>Link). ඉන් අනතුරුව සීගිරිය ගැන සඳහනක් හමුවන්නේ දෙවන සංඝතිස්ස රජුගේ (ක්‍රි.ව. 614) පාලන කාලයේදීය. ඒ රජුට විරුද්ධව කැරලි ගසා බලය ලබාගන්නා රුහුණේ විසූ මොග්ගල්ලාන ඉන්පසුව සංඝතිස්ස රජු, ඔහුගේ පුතණුවන් සහ ඇමතිවරයෙකු සීගිරියට (සීහගිරිං) ගෙන ගොස් හිස් ගසා දැමූ සිදුවීම විස්තර කිරීමේදීය. (මෙම සිදුවීම මෙයට පෙර මලය රට සම්බන්ධයෙන් වූ ලිපියක විස්තරාත්මකව ඉදිරිපත් කලෙමි >> Link) දෛවයේ සරදමක් මෙන් තුන්වන මොග්ගල්ලාන රජුද (ක්‍රි.ව. 614 - 619) මලය රජුගේ පුත් අසිග්ගාහක සමග යුධ වැද රජුගේ සේනාව අතිශයින් දුබලව බිඳී පලාගිය කල්හි පැරදී හුදකලාව සීගිරිය අසලින් යන විටකදී අසිග්ගාහක සහ සේනාව පැමිණ මරා දමයි. 
කැටපත් පවුර සහ ගැලරිය ලෙසින් ෆොර්බ්ස් හඳුන්වන කොටස
සීගිරියට සැතපුම් 6 පමණ වයඹ දෙසින් වියඋල්පත ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයකින් සොයාගත් අත්තාණි පිරිනැමීමක් සම්බන්ධ වූ දෙවන සේන රජුගේ (ක්‍රි.ව. 853 - 887) සමයට අයත් ලෙස හඳුනාගෙන ඇති ටැම් ලියයක එහි සිරිසංබොය් මපුර්මකා ලෙසින් හැඳින්වෙන දෙවන සේන රජු සහ මහපා විසින් සිහිගිරි බිමැ පිහිටි සාගුණා පන්හලැ (මෙය වර්තමානයේ විහාරස්ථාන හැඳින්වීම යොදාගන්නා පන්සල යන වචනයේ මුල් ස්වරූපයයි ) ට මුක්තීන් පිදීමක් පිළිබඳව සඳහන් වේ. (මුක්තීන් පිදීම පිළිබඳව කියවීමට >>Linkසීගිරිය පර්වතය පිහිටි මෙම ප්‍රදේශය සිහිගිරි බිම් ලෙසින් එවකට හැඳින්වුන බව ඒ අනුව පැහැදිලි වේ. 
සිහිගිරි බිම්
තම්මැන්න'නුරපුර සීගිරි විජිත පුර
කපුගල් පොළොන්නරු බද පිහිටි පුර වර
පසනූදහස් සිවුලක්සය ගම් පවර
සෑදුණි නොයෙක් කෙත් වත් උයනින් සාර

16 වන ශතවර්ෂයේ රචිත ලෙස සැලකෙන මන්දාරම් පුර පුවත නම් වූ කාව්‍යයයේ පැදි තුනකම එලෙසින් සීගිරි, සීගිරිය  යන ලෙසින් ග්‍රාම නාමයක් ලෙසින් සීගිරිය යන වදන හමුවේ. 

මූලාශ්‍ර
  • Sigiriya, R.H. de Silva, 1976
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මන්දාරම් පුර පුවත, ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේගේ සංස්කරණය, 1996
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Archaeological Survey of Ceylon North-Central, Central Provinces And Western Provinces Annual Report 1909, H.C.P. Bell
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume V, Part I Sirimal. Ranawella, 2001
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941

Tuesday, October 9, 2018

ආලකමන්දාවක සැඟවුණු පබ්බත විහාරය

":ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය. ......දර්ශනීය වූ මනරම් වූ, දෙවන ආලකමන්දාවක් වැනි වූ රජගෙයක් කරවා කුවේර මෙන් එහි විසුවේය."

 පළමුවන කාශ්‍යප රජු විසින් සීගිරියේ ආලකමන්දාව වන් වූ රජගෙයක් සහ සිංහයකුගේ ආකාරයෙන් කල ඉණිමං සහිත ගෙවල් පිළිබඳව එලෙස විස්තර කරන මහාවංශය ඉන් අනතුරුව පවසන්නේ කාශ්‍යප රජු සීගිරි පර්වතය අසල උයනෙහි විහාරයක්ද කර වූ බවයි. එම විහාරය ඔහුගේ නමින් හැඳින්වූ බවද, සිව්පසයෙන් යුත් එම විහාරයද , උතුරු දෙසින් වූ උයනද , ඔහු ධම්මරුචි භීක්ෂූන්ට පූජා කල බවද එහි සඳහන් වේ. තවද එම පළමුවන කාශ්‍යප රජුට පසුව රාජ්‍යත්වයට පත්වන ඔහුගේ සොයුරු මොග්ගල්ලාන සීගිරියේ දළ්හ නම් විහාරය හා දාඨා කොණ්ඩඤ්ඤ විහාරය ධම්මරුචි හා සාගලිය නිකායවල භික්ෂූන්ට පූජා කල බව මහාවංශයේ පසුව එන ගාථා වලින් පැවසේ. එපමනකින් නොනැවතුන මොග්ගල්ලාන රජු සීගිරි පර්වතය විහාරයක් කොට, දීඝසන්ද විහාරයෙහි මහානාම තෙරුන්ට පිදු බවද මහාවංශයේ වැඩිදුරටත් සඳහන් වේ.
පිළිමගෙය
මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කල පබ්බත විහාර ලෙස වර්තමානයේ පුරාවිද්‍යාඥයන් හඳුන්වන පැරණි බෞද්ධ විහාර වර්ගයේ විහාරයක නටබුන් සීගිරියේ ජල උද්‍යානය (Water garden) පසු කර පර්වත උද්‍යානය (Boulder Garden) දෙසට යන විට දකුණු පසින් හමුවේ. ස්තූපයක, බෝධිඝරයක, පිළිමගෙයක සහ පොහොය ගෙයක නටබුන් මෙම පරිශ්‍රයේ හඳුනාගත හැක. 

මෙම නටබුන් අතර ඇති ගඩොලින් නිර්මිත මැද සතරැස් කොටුවකින් (එම සතරැස් කොටුව තුල බෝධි වෘක්ෂය රෝපණය කර තිබෙන්නට ඇත.) සහ උතුරු සහ නැගෙනහිර දිශාවෙන් දොරටු සහිත වෘත්තාකාර ශෛලමය බැම්මකින් වටවුණු නටබුන් ගොඩනැගිල්ල බෝධිඝරයක් ලෙස හඳුනාගෙන ඇත. මෑත කාලයේදී නැවතත් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැනීම් කොට සංරක්ෂණය කිරීමට පෙර H.C.P. බෙල් මහතා  මෙම ස්ථානයේ කැනීමක් කර එම නටබුන් වටදාගෙයක බව පවසමින් 1899 පුරාවිද්‍යා පාලන වාර්තාවට විස්තර ඉදිරිපත් කර ඇත.
 බෝධිඝරය
ක්‍රි.පූ. 2 වන හෝ 3 වන සියවස් වල අක්ෂර වලින් ලියූ සෙල්ලිපියක් මගින් භික්ෂූන් උදෙසා පිරිනැමූ කටාරම් කොටන ලද මේ අසලම ඇති ලෙනක් පසු කාලීනව පිළිම ගෙයක් ලෙසට පරිවර්තනය කර ඇති බව එහි තිබී හමුවූ දෙඅත් රහිත කවන්ධ හුණු ගල් බුදු පිළිමයෙන් තහවුරු වේ (දැනට එම පිළිමය සීගිරිය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.) එම ලෙනෙහි ඉදිරිපස ගඩොලින් කල බිත්තියක නටබුන් ඉතිරි වී ඇති අතර, ගුහාවේ ඇතුලත කුටීර තුනකට වෙන්කර, ඒවාට පිවිසීමට වෙන වෙනම දොරවල් තුනක්ද තිබී ඇත. බුදු පිළිමය හමු වී ඇත්තේ විශාල මැද කුටීරය තුලිනි. ලෙනෙහි වියන හුණු පිරියම් කර සිතුවම් ඇඳ තිබූ බවට තැනින් තැන ඉතිරි වී ඇති සිතුවම් වල ශේෂ වලින් හඳුනාගත හැක. 

ඉහත විස්තර කල පිළිම ගෙයට ඉදිරි පසින් ගල් පර්වතයක් මත ඉදි කල නටබුන් වූ ස්තූපයක අවශේෂ දැක ගත හැක. උපෝසථඝරයේ නටබුන් පිළිම ගෙය අසල ගල් පර්වතය මුදුනේ පිහිටා ඇත.
ස්තූපය
මෑත කාලීන කැනීම් මගින් තහවුරු වී ඇති ආකාරයට මෙම පබ්බත විහාරයේ නටබුන් ක්‍රි.ව. 5-6 සියවස් වල සිට ක්‍රි.ව. 12-13 සියවස් දක්වාම ඉදි කල ඉදිකිරීම් වලින් සමන්විත වේ. එසේම මෙය පබ්බත විහාර වර්ගයේ සංඝාරාම අතරින් මුල් අවධියේම ඉදි වූවක් බවටද හඳුනාගෙන ඇත. ඉහත විස්තර වූ මහාවංශ උපුටාගැනීම් අනුව ඇතැම් වියතුන් මෙම පබ්බත විහාරය මොග්ගල්ලාන රජු විසින් ඉදි කර මහානාම හිමියන්ට පිරිණැමූ දික්සඳ (දීඝසන්ද) පිරිවෙන විය හැකි බව පවසති. කෙසේ නමුත් කාශ්‍යප රාජ්‍ය සමයේම එම රජතුමන් විසින් සීගිරිය පර්වතය අසල උයනෙහි විහාරයක් කරවා එම විහාරයද, එයට උතුරින් වූ උයනද ධම්මරුචි නිකායේ භික්ෂූන්ට පූජා කල බව පවසන බැවින් මෙම ස්ථානයේ පිහිටීම අනුව මෙම පබ්බත විහාරය කාශ්‍යප රජු ඉදි කල එම විහාරය වීමට බෙහෙවින්ම ඉඩ ඇති බව පෙනේ. දැනට සීගිරිය පර්වතය පාමුලට වන්නට පිහිටි පර්වත උද්‍යානය ලෙස හැඳින්වෙන මෙම උයනේ පබ්බත විහාරයේ නටබුන් වලට ඉහලින් මෙන්ම උතුරු දෙසින්ද බෞද්ධ විහාරයකට අයත් බවට හඳුනාගත හැකි තවත් නටබුන් හමුවන බැවින් එම හඳුනාගැනීම වඩාත් නිවැරදි බව හැඟේ. කෙසේ නමුත් මහාවංශයේ ගෛගර් සංස්කරණයේ එම අදහස හැඟෙවෙන ගාථා වල පරිවර්තනය පසුකාලීන පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි/බටුවන්තුඩාවේ පඬිතුමන් සහ අරුණ තලගල පරිවර්තනයන්ට වඩා වෙනස් හෙයින් මේ පිළිබඳව විමසා බැලූ වියතුන්ට කාශ්‍යප ඉදි කල එම විහාරය පිළිබඳව වූ මහාවංශ සඳහන මගහැරෙන්නට ඇත. විල්හෙල්ම් ගෛගර් මහතා  එය සඳහන් කරන්නේ මේ ආකාරයෙනි.

In the same way he built a vihara in the Niyyanti-garden near the mountain, which then bore their name. He granted this vihara equipped with the four necessaries to the Dhammaruci's and in addition a garden lying to the north of it. 

අදාල පාළි ගාථා මේ ආකාරයෙනි. 

තථා නිය්‍යන්තිඋය්‍යානෙ සමීපෙ පබ්බතස්ස සො
කාරාපෙසි විහාරං, සො තෙසං නාමො තතො අහු.

අදා ධම්මරුචීනං තං සම්පන්නචතුපච්චයං
විහාරඤ්චෙ'ච උය්‍යානං දිසාභාගම්හි උත්තරෙ
ස්තූපය
සීගිරියේ පබ්බත විහාරය පිළිබඳව වූ කෙටි වීඩියෝව නැරඹීමට Link>>
මූලාශ්‍ර
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • ශ්‍රි ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • Sigiriya, City palace gardens monastries paintings, Senaka Bandaranayake, 2013
  • Sigiriya Project, 3rd Progress Report Excavation at Sigiriya (January - June 1983), Senaka bandaranayake, 1989
  • සීගිරිය ව්‍යාපෘතිය, සීගිරියේ සිව්වන පුරාවිද්‍යාත්මක කැණීම් (1983 ජූලි-දෙසැම්බර්) සේනක බණ්ඩාරනායක, 1993
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016

Thursday, October 12, 2017

මලය රට ෆෙඩරල්ද?

ඊනියා යහපාලනයක් සෙවූ අමන රැලකගේ ඔළමොට්ටල කමට පින්සිදුවන්නට ජඩපාලනය විසින් රට බෙදන ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල එළියට දමා ඇත. ඒ අනුව ලෝකයේ අන්තර්ජාතිකව පිළිනොගන්නා ඉංග්‍රිසි භාෂාවේ නොමැති වචන වන සිංහල 'ඒකිය' සහ දෙමළ 'ඔරුමිත්ත නාඩු' (සන්ධිය යන තේරුම ඇති) යන වචන ඉංග්‍රිසි පිටපතේ මෙතෙක් තිබූ 'Unitary State' යන්න වෙනුවට යොදා ගනිමින් අනාගත රටවල් දෙකකට මූලික නීතිමය අඩිතාලම දමා ඇත (Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu). ජනවාර්ගික වශයෙන් ජනතාව බෙදමින් ඉන්දියානු දෙමළ, ශ්‍රි ලංකා දෙමළ සහ මුස්ලිම් උප ජනාධිපතිවරු තිදෙනෙක් ඇතිකිරීම, උතුර සහ නැගෙනහිර නැවත එක් කිරීම, පාර්ලිමේන්තුවේ ජනවාර්ගික අනුපාතය අනුව සමන්විත වන දෙවන මන්ත්‍රි මණ්ඩලයක්, ඔලුවිල් වලට වෙනම මුස්ලිම් කලාපයක්, ප්‍රාන්ත වලට උපරිම ලෙස බලය බෙදීම, සිංහල සහ දෙමළ ජාතික ගී දෙකක් ආදි නොයෙකුත් හානිකර වගන්ති වලින්ද එය සමන්විතය. කුමන අයුරින් හෝ ජනවාර්ගික වශයෙන්  රටේ කොටස් බෙදා ඒවාට ක්‍රමයෙන් විවිධ බලතල එක් කිරීම යනු අනාගත වෙනම රාජ්‍යන් සඳහා මග එලි පෙහෙලි කර දීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ව්‍යවස්ථා කෙටුම්පතේ හානිකර කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා Link>>

මෙවන් තත්වයක් යටතේ පැරණි ලක්දිව පාලන ඒකක බෙදී තිබූ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පෙනේ. මක් නිසාද යත් ඉංග්‍රිසින් මෙරට පාලනය ලබාගන්නා තෙක්ම 'ජන වාර්ගික වශයෙන්' බෙදී තිබූ ප්‍රදේශිය පාලන ප්‍රදේශ මෙරට නොතිබූ බව ඉන් පෙන්වා දිය හැකි බැවිනි. උතුරේ ආර්ය චක්‍රවර්ති පාලනය යටතේ මෙන්ම වන්නියාර් වරු යටතේ වන්නි බල ප්‍රදේශ වලද සිටියේ මේ රටේ භූමිපුත්‍රයන් වන සිංහලයන්ය (සිංහල යනු ජනවර්ගයක් නොව ජාතියකි). දෙමළ, මුස්ලිම් ආදී විවිධ සංක්‍රමණික මෙන්ම ස්ථිරව වාසස්ථාන ඇතිකරගත් ජන වර්ග උතුරේ මෙන්ම රටේ අනෙක් ප්‍රදේශ වලද සිටි අතර ඔවුන් ක්‍රමයෙන් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝෂණය වූහ. (එසේ නොවූ අවස්ථාද නැතිවා නොවේ.)  මෙ සියලු කරුණු ඉදිරියට විස්තාරාත්මකව සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙමි. පෙර ඉදිරිපත් කල පහත දැක්වෙන ලිපි වලද ඒ පිළිබඳව ඇතැම් කරුණු ඉදිරිපත් කර ඇත. Link>>
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව අප පෙර ලිපියකින්ද විස්තර සාකාච්චා කලෙමු. කියවන්න >>  මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

මලය රටේ ඉතිහාසය (දුටුගැමුණුගේ සිට මහසෙන් දක්වා)

දමිළයන් සහ යුද වැදීමට ගඟෙන් එතෙර යාමට අවසර නොදුන් බැවින් සිය පියා වූ කාකවණ්ණතිස්ස රජු සමග අරගල කල ගාමණී කුමාරයා  මාගමින් නික්ම මලය රටට පලා ගිය බවත්, පියා කෙරෙහි දුෂ්ඨ වූ බැවින් මහජනයා ඔහු දුෂ්ඨගාමණී නමින් හැඳින්වූ වගත් මහාවංශයේ විස්තර වේ. කාකවණ්ණගේ මරණින් පසු රජකම ලැබූ එම දුෂ්ඨගාමණී රජු (ක්‍රි.පූ. 161 - 137), එළාර සමග සටනට යාම සඳහා මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කරවූ බව එහිම සඳහන් වේ.

ඉළනාග රජු (ක්‍රි.ව. 33 - 43) කල රජුට එරෙහිව කැරලි ගැසූ ලම්බකර්ණ වංශිකයන් රජු අල්ලා රජගෙයිම සිර කොට තැබූ කල, රජුගේ මගුලැතු සිරගෙය කඩා රජු ඉන් මුදවාගෙන ඔහුව සිය පිටමත හිඳුවාගෙන මහාතිත්ථයට (අද මන්නරාම අසල ඇති මාන්තායි) ගෙන ගොස් නැවක නැංවූ බවත්, ඉන්පසු ඇතු බටහිර වෙරළ ඔස්සේ මලය රටට ගිය බවත් මහාවංශය පවසයි. එම පුවතේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වුවත් බටහිර වෙරළ ඔස්සේද මලය රටට යා හැකිව තිබූ බව එමගින් අපට පැහැදිලි වේ.

නැවත වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව. 209 -231) කල ඔහුගේ බාල සොහොයුරු අභයනාග බොහෝ දමිළයන් රැගෙන පරතෙර සිට පැමිණ රජු හා යුද වැදීමට නගරය සමීපයට පැමිණි කල රජු දේවිය සමග අසෙකු පිට නැගී මලයරටට පලා ගියහ. ඔහු ලුහුබඳින අභයනාග , මලයරටේදී රජු මරා දේවියද ගෙන නගරයට පැමිණ රාජ්‍යය ලබාගත් බව පැවසේ.

 එසේම මහසෙන් රජු (ක්‍රි.ව. 274 - 301) කල මහාවිහාරවාසී භික්ෂුන්ට රජුගෙන් උවදුරු පැමිණි කල්හී එම භික්ෂූන් මහාවිහාරය හැරදමා මලයට සහ රුහුණට ගිය බව පැවසේ. රජුගේ මෙම ක්‍රියාදාමය කෙරේ කිපුණු මේඝවණ්ණාභය ඇමැති මලයරටට ගොස් මහත් සේනා ගෙන රජු හා සටනට දූරතිස්ස වැව අසල කඳවුරු බැඳගත් නමුත්, රාත්‍රියේදී මිහිරි පානයක් සහ මස් මලය රටින් ලැබ ඒවාද රැගෙන ඔහු හා සටන් වැදීමට කඳවුරු බැඳ සිටි රජු හමුවීමට තනිවම ගොස්, රජු සමග එම මස් හා පානය වළදා, සටන් අතහැර සාකච්චා මාර්ගයෙන් ගැටලුව විසදා ගත් බවත් වංශ කතාව අපට පවසයි.
දුම්බර කඳුකරය
මලය රට සහ මලය ග්‍රාමය
දුෂ්ඨගාමණි රජුගේ මරණ මංචකයේදී ඔහු කල කුසල් සටහන් කර තැබූ 'පින්පොත' කියවන අවස්ථාවේදී 'අක්ඛක්ඛලි' නම් වු දුර්භික්ෂයේදී රුහුණු ජනපදයෙහි මලය ග්‍රාමයෙහිදී රජු සිය කුණ්ඩලාභරණ දෙක දී තණහාල් නැළියක් ගෙන, ඇඹුල්කැඳ පිස, සිය කුසගින්න අතහැර එම ඇඹුල්කැඳ රහතන්වහන්සේලා පස්නමකට දුන් බව සඳහන් වේ. ඒ අනුව මලය නමින් වූ 'ග්‍රාමයක්' රුහුණෙහි වූ බව පෙනේ. එළාර සමඟ යුද වැදීමට නික්මෙන ගාමණි කුමරු මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව ඉහත උපුටා දැක්වූ මහාවංශ සඳහන එම මලය ග්‍රාමය සම්බන්ධයෙන් වූවා විය නොහැකිද? ඒ අනුව මලය ග්‍රාමය පැහැදිලිවම රුහුණු රටට අයත් බව වංශ කතාව පවසන බැවින් මලය රට හා එහි සම්බන්ධයක් නොමැති බව පෙනේ. පැරණි මාගම රාජධානිය රුහුණෙහි නොව මලය රටේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ වූ බවට වූ මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට මෙම සඳහනද (මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව) උපයෝගි කරගන්නා බැවින් ඒ පිළිබඳව යලි සලකා බැලිය යුතු බව අපට හැඟේ. කෙසේ නමුත් රුහුණු ජනපදයෙහි පිහිටි මලය ග්‍රාමයේදී මෙම සිදුවීම වූ බවට වූ මහාවංශ ගාථාව හමුවන්නේ එහි මොග්ගල්ලාන සංස්කරණයේ පමණි මහානාම හිමියන් කල සංස්කරණයේදී එය සිදු වූ බව පැවසෙන්නේ කොට්ට නම් වූ පව්වෙහිය (එය රුහුණු ජනපදයෙහි වූ බව වංසත්ථප්පකාසිනිය පැහැදිලි කරයි.)
කඳුකර ගංගාවක් - කුරු ගඟ (ශ්‍රීපාද අඩවිය)
මලය රටේ ඉතිහාසය (මහසෙන් සිට 1 පරාක්‍රමබාහු දක්වා)
දෙවන උපතිස්ස (ක්‍රි.ව. 517 - 518) රජු රාජ්‍ය විචාරන අවධියේ සිළාකාළ නම් වූ ලම්බකර්ණ වංශිකයෙක් දකුණු මලය රටට ගොස් මහත් බළසෙන් රැස් කොට නගරය ගැනීමට ආ කල, කස්සප නම් වූ රජුගේ පුත්‍රයෙකු ඔහු හා සටන් වැද මුලදී ඔහුව පැරදූ මුත් හෙතෙම උපායෙන් නැගෙනහිර සහ බටහිර පෙදෙස් අත්පත් කර ගෙන නැවත පැමිණ සත් දිනක් නගරය අවහිර කරයි. එම අවස්ථාවේ ඔහු හා යුද නොවැදී කස්සප මහළු වූ සිය පිය රජු හා පිරිවර සමග රාත්‍රියේ මලයට යෑමට නික්මුණ මුත් ඔවුන් මග නොදැන අතරමං වේ (මලය රටට යාමට තිබූ මාර්ගය රජුට සහ පිරිවරට පවා සොයාගත නොහැකි වූ බව කීමෙන් හැඟෙන්නේ එය නිතර භාවිතා වූ ජනාකිර්න මාවතක් නොව කුඩා අඩි පාරක් වැන්නක් බවය. පෙර ලිපියේ ගෙනහැර දැක්වූ මහාවංශ පාඨයද කියවන්න.Link >>). මෙහිදි සිළාකාල පැමිණ ඔවුන් හා දරුණු යුද කර රාජ්‍යය අත්පත් කරගනී. ඉක්බිති එම සිළාකාල රජු (ක්‍රි.ව. 518 - 531) සිය පුතුන් තිදෙනාගෙන් මධ්‍යම පුත්‍රයා (දාඨාපභුති) හට මලයරජ තනතුරද, දක්ෂිණ දේශයද  දී මුහුද රැකීම සඳහා ඔහු යෙදවීය.
කඳුකර වන මංපෙතක් - දුම්බර කඳුකරය

පළමුවන අග්ගබෝධි (ක්‍රි.ව. 571 - 604) රජු සිය බෑනා හට තම දියණිය විවාහ කරදී ඔහුව මලයරජ තනතුරේ පිහිටුවීය.

අසිග්ගාහක සංඝතිස්ස රජු (ක්‍රි.ව. 614) රජවූ කල ඔහු හා යුද වැදුන මොග්ගලාන නම් වූ රුහුණේ සිට පැමිණි සෙන්පතියා ඔහු පරදා බලය ලබාගත් බැවින් රජු මේරුමජ්ජර වනයට පලා ගිය බවත්, රජුගේ එක් පුත්‍රයකු වූ ජෙට්ඨතිස්ස මලය දේශයේ මේරුකන්දර නම් වූ ස්ථානයට ගිය බවත් මහාවංශයේ දෙවන කොටසින් විස්තර වේ. ඉන්පසු රජු, පුතු (ජෙට්ඨතිස්ස නොවේ) සහ ඔවුනට හිතවත් ඇමතියෙකු වේළුවන විහාරයට ගොස් භික්ෂු වෙස් ගෙන රුහුණට යන අදහසින් මණිහීරයට (මින්නේරිය) පැමිණි මුත් එහිදී ඔවුන් හඳුනාගන්නා රාජපුරුෂයන් රජ අණ පරිදි ඔවුන්ව සීගිරියට ගෙන ගොස් හිස ගසා මරා දමනු ලබයි. සංඝතිස්ස රජු මොග්ගල්ලාන සමග සටන් වැදීමට යාමේදී ඔහු හා එක් නොවී ගිලන් වූවෙකු ලෙස හඟවා නගරයේ නැවතී පසුව පිටුපස සිට රජුට පහරදී මොග්ගල්ලනට සහය දුන් රජුගේ සෙන්පතියාට මොග්ගල්ලාන (ක්‍රි.ව. 614 - 619) රජවූ පසු මලය රජකම දුන් බව වංශ කතාව පවසයි.

කෙසේ නමුත් කිසියම් හේතුවක් නිසා පසු කලක එම මලයරජ හා කිපුණු මොග්ගල්ලාන රජු ඔහු උපායකින් ගෙන්වාගෙන අත්පා සින්ඳවයි. මලය රජකම ලැබූ සෙන්පතියාගේ පුතුට මොග්ගල්ලාන රජු අසිග්ගාහක තනතුර ලබා දී තිබුණි. සිය පියාගේ අත් පා සින්දවූ බව දැනගත් ඔහු සිය පුතුද සමගින් රුහුණට පලාගොස් එහි සිට ජනපද රට අල්ලා ගනිමින්, මලය රටෙහි සැඟවි සිටි ජෙට්ඨතිස්ස හමුවී ඔහු සමග එක්ව දෝළ්හ පබ්බතයේ කඳවුරු බැඳ මොග්ගල්ලාන රජුට එරෙහිව යුද වදී. එහෙත් පසුව ඔහු හා යුද වැදීම සඳහා පැමිණි රජුගේ මිනිසුන් උණ රෝගයකින්  මියයෑම නිසා සටන් කල නොහැකිව පලා යන රජුව සීගිරිය අසලදි අල්ලගෙන මරා දමයි. පසුව අසිග්ගාහක ඔවුන් සමග නොගිය ජෙට්ඨතිස්සද මරාදැමීම සඳහා 'පැමිණ රජවන' ලෙස පවසා ඔහුට හසුනක් යැවූ මුත් ඔහුගේ උපාය වටහා ගත් හෙතෙම නැවතත් මලය දේශයට පලායයි. අසිග්ගාහක සිලාමේඝවණ්ණ (ක්‍රි.ව. 619 - 698) නමින් අනුරාධපුරයට ගොස් රජවි ලක්දිව අණසක පතුරවයි.

මලය රටේ සැඟවී සිටි ජෙට්ඨතිස්ස නැවත මතුවන්නේ සිළාමේඝවණ්ණ රජුගේ පුත් වූ තුන්වන අග්ගබෝධී රජුගේ (ක්‍රි.ව. 628) රාජ්‍ය කාලයේය. ඔහු  මලය රටේ සිට අරිට්ඨ (රිටිගල) පර්වතයට පැමිණ ජනයා රැස් කර අග්ගබෝධි රජ දඹදිවට පලවාහැර රාජ්‍ය ලබාගනී.

සිරිසංඝබෝධි නමින් රජවූ සිව්වන අග්ගබෝධි රජුගේ (ක්‍රි.ව. 667 - 683) රාජ්‍ය කාලයේ 'මහත් දනවත් වූ මලය රජු', මණ්ඩලගිරි විහාරයේ ස්ථූපයට වටිනා දා ගෙයක් කරවූ බවත් ලෝහප්‍රාසාදයේ (ලෝවාමහපායේ) මැද කුළුගෙයි පියස්සද කරවූ බවත් පැවසේ. (මේ අනුව මලය රජු සිය බල ප්‍රදේශයෙන් පිටත රජරට ප්‍රදේශයේ පවා වෙහෙර විහාර ඉදි කල බව පෙනේ.)

පළමුවන මහින්ද රජුගෙන් (ක්‍රි.ව. 730 - 733) පසු අග්ගබෝධී නමින් වූ ඔහුගේ පුතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සිලාමේඝ නමින් රජවී (ක්‍රි.ව. 733 - 772) අනෙක් අග්ගබෝධි කුමරුවා යුව රජ තනතුරේ තැබූහ. කලකදි වෙනත් අයගේ කේලම් බස් අසා ඔවුනොවුන් කෙරෙහි සැක ඉපදී ඔවුන් අතර යුද ගැටුම් පැණ නැගුන අතර යුව රජ තනතුර දැරූ අග්ගබෝධි කුමරුවා සටනින් පැරදී මලය දේශයට පැනගිය මුත්, පසුව රජු තනිවම මලය දේශයට ගොස් නැවතත් සිය සොහොයුරා නුවරට රැගෙන එයි.

තුන්වන සේන (ක්‍රි.ව. 938 - 946) රජුගේ රාජ්‍ය කාලයේ අග්ගබෝධි නම් වූ ඇමතිවරයෙක් මලය රජ තනතුර දැරූ බවත් සේන රජු එම මලය රජු විසින් කරවන ලද නාගසාලා පිරිවෙණ දැක එයට ගමක් දුන් බවත් පැවසේ.

අනුරාධපුර රාජධානිය චෝළ ආධිපත්‍යට නතුව තිබූ අවධියේ මලය පර්වත ප්‍රාන්තයේ බුද්ධරාජ නම් වූ මහා බල ඇති වීරයෙක් වූ බව වංශ කතාව පවසයි. ඔහු කිර්ති කුමාරයා හා එක්වේ (පසු කලක චෝළ බලමුළු පරදවා 1 විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) නමින් වූයේ එම කීර්ති කුමාරයාය). වංශ කතාව අනුව සොළීන් හා සටන් වැදීමට පොරොතුව මූලසාල ගමෙහි සිටි කිර්ති කුමරා ඉන් නික්ම සරීවග්ගපිට්ඨි ගමට ගොස් විරුද්ධවාදීන් සිටි බෝධිවාල නම් ගම ජයගෙන, එහි සිට චුණ්ණසාල ජනපදයට ගොස් එහි වසමින්, ලෝකෙශ්වර නම් වූ සෙන්පතිවරයා හා සටන් වැද සියළු මලය මණ්ඩලය ඔහු යටතට ගනී.

එම විජයබාහු රජුගේ රාජ්‍ය කාලයේ රජුට විරුද්ධ වී දඹදිවට පලාගිය සහෝදරයන් තිදෙනෙකු රජුගේ 19 වන රාජ්‍ය වර්ෂයේදී නැවත ලක්දිව පැමිණ රුහුණු රටද, මලය මණ්ඩලයද, සියළු දක්ඛිණ පස්සයද පෙරලාදැමූ බව මහාවංශයේ එන සඳහන අනුව පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ මුල් කාලයේදීද දක්ඛිණ පස්ස සහ මලය මණ්ඩලය ලෙස කලාප දෙකක් රුහුණු සහ පිහිටි රටට අමතරව වූ බවය.
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව ඉහත විස්තර කල ප්‍රධාන වශයෙන්ම මහාවංශයේ ඇතුලත් කරුණු අනුව පෙනී යන්නේ එහි පාලනය හැම විටම පාහේ අනුරාධපුරයේ සිටි මහ රජතුමා තමුනට අවනත පුද්ගලයෙකු යටතේ පවත්වාගෙන ගිය බවය. එසේම මලය රජු ලෙසින් හැඳින්වූ එහි පාලකයා ඇතැම් කාල වලදී රජරටට අයත් ප්‍රදේශ වලද ඇතැම් ආගමික ඉදිකිරිම් කර ඇති බැවින් (එසේම ඇතැම් අවස්තා වලදී මලය රජු ඉදි කල ආගමික ඉදිකිරීම් වලට අවශ්‍ය ගම් ප්‍රධානය කර ඇත්තේ රජරට සිටි මහ රජතුමායඅපට පෙනී යන්නේ ඔහු රජ පවුලටම සම්බන්ධ හෝ මහ රජුට විශ්වාසී මලය රට යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයේ පාලන කටයුතු මෙහෙයවූ සහ රජු වෙනුවෙන් එහි ආදායම් එකතු කල නායකයෙකු විනා එම මලය ප්‍රදේශය පමණක් භුක්ති විදීම සඳහා පත් කල 'ෆෙඩරල්' කලාපයක නායකයෙකු නොවන බවය. තවත් වැදගත් කරුණක් වන්නේ වනදුර්ග, ගිරි දුර්ග ජලදුර්ග ආදියෙන් සමන්විත මලය රට, කෙන්ද්‍රිය රජරට පාලකයාට එරෙහිව කැරලි ගැසූ ඇතැම් ජන නායකයින්ට ආරක්ෂාව සඳහා සැඟවී සිටීමට කදිම ක්ෂේම භූමියක් වූ බවය (එමෙන්ම ඇතැම් අවස්ථා වලදී බලය හෙබවූ රජුද කැරලිකරුවන්ගෙන් බේරි පලායාමට මලය මණ්ඩලය තෝරාගෙන ඇත.). තවද බොහෝ අවස්ථා වලදි රජරට පාලනය විදේශීය සොළි ආදී ආක්‍රමණිකයන්ට නතු වූ විට ආක්‍රමණිකයන්ගෙන් බේරී  දිවි රැකගත් රාජකීයන්ට රුහුණ මෙන්ම මලය රටද සැඟවී සිටීමට මෙන්ම නැවත සේනා සංවිධානය කරමින් ආක්‍රමණිකයා පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය රැකවරනය සහ සම්පත්ද සැපයීහ.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994