Sunday, November 13, 2022

පිදුරාගල පුරාණ දළ්හ විහාරයේ විහාර වහලුන් සිටියාද?

පිදුරංගල යනු සීගිරිය තරම්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මුත් පිදුරංගල කඳු මුදුන තරණය කරන බොහෝ දෙනෙක් නොදකින එහෙයින්ම එතරම් අවදානයක් යොමු නොවන පැරණි නටබුන් විහාරාම සංකීර්ණයක් එම පර්වතයට ආසන්නව එයට උතුරු දෙසින් පිහිටා ඇත. පබ්බත විහාර සම්ප්‍රදායට (පබ්බත විහාර පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා >>) අයත් තවත් එක් විහාරයක් වන මෙය අවම වශයෙන් පළමුවන කාශ්‍යප රජුට [පො. ව.  473-491] පසු රාජ්‍යත්වයට පත්වූ පළමුවන මුගලන් රජුගේ [පො. ව. 491-508] කාලය දක්වා පැරණි එවකට දළ්හ විහාරය ලෙසින් හැඳින්වූ මහායාන සම්ප්‍රදාය පිළිගත් අභයගිරියේ ධම්මරුචික නිකායට අයත් විහාරයක් බවට කරුණු හෙලිවී ඇත. මෙහි ඇති තවත් වැදගත්කමක් වන්නේ මෙරට විහාර වල "විහාර වහලුන්" සිටි බවට හෝ එවැනි විහාර වල වහලුන් බවට පත්වී නැවත මුදල් ගෙවා ඉන් මිදෙන පූජා ක්‍රමයක් ඒවායේ  සිදු කල බවට හැඟෙන "වහරල සෙල්ලිපි" ලෙසින් හැඳින්වෙන සෙල්ලිපි කිහිපයක්ද මෙහි හමුවන හෙයිනි. මෙම පබ්බත විහාරය සහ ඊට දකුණින් පිහිටි පිදුරංගල ලෙන් සහිත ප්‍රදේශය එකම ආරාමයකට අයත්ද නැත්ද යන්න තවමත් පැහැදිලිව පැවසීමට කරුණු නොමැත. එහෙයින් මේ ලිපියෙන් පිදුරංගල පර්වතය පාමුල පිහිටි එම පබ්බත විහාරය සම්බන්ධයෙන් පමණක් කරුණු ඉදිරිපත් කෙරේ.   

පිදුරංගල පබ්බත විහාරය පිළිබඳව වූ කෙටි වීඩියෝව >>

වහරල ලිපි සහ විහාර වහලුන්

පිදුරංගල පබ්බත විහාරයේ පිළිම ගෙයට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපි

අවම වශයෙන් පොදු වර්ෂ පූර්ව 3 වන සියවසේ අවසාන භාගයේ පමණ සිටවත් මෙරට තුලින් ආදී බ්‍රහ්මී අක්ෂර වලින් ලියැවුණු ශිලා ලේඛන හමුවන බව පොදු පිළිගැනීමයි (එම කාලය ඊට පෙර සියවස් දක්වාද අයත් කල හැකි පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇති බවද මෙහිදී සිහිපත් කල යුතුය. උදාහරණයක් ලෙසට අනුරාධපුර ඇතුල් නුවර කැනීම් මගින් හමුවූ ඇතැම් බ්‍රාහ්මී අක්ෂර සහිත වලන් කැබලි පොදු වර්ෂ පූර්ව 799-529, 796-520, 770, 767,674,662 වැනි කාල පරාසයන්ට අයත් බව කාල නිර්ණ ක්‍රම මගින් හෙළිවී ඇත. පොදුවේ එම සියළු වලන් කැබලි වල කාල පරාසය පොදු වර්ෂ පූර්ව 500 - 600 කාලයට එනම් පොදු වර්ෂ පූර්ව 6 වන සියවස දක්වා පැරණි යුගයකට අයත් කල හැක.) එතැන් සිට බ්‍රාහ්මි අක්ෂර සහ එහි විකාශනයන් මගින් ලියැවුණු සෙල්ලිපි පොදු වර්ෂ 7 වන සියවස දක්වා පමණ හමුවේ. 7 වන සියවසින් පසු හමුවන සෙල්ලිපි වල අක්ෂර ක්‍රමයෙන් බ්‍රහ්මී අක්ෂර වලින් වර්තමාන සිංහල අක්ෂර බවට පත්වන ආකාරය  දැකගත හැක. කෙසේ නමුත් මුල් කාලයට සහ 7 වන සියවසින් පසු කාලයට සාපේක්ෂව බැලූ කල පොදු වර්ෂ 4 වන සියවසේ සිට 7 වන සියවස දක්වා කාලයේ මෙරට සෙල්ලිපි එතරම් බහුලව හමු නොවේ. එම සෙල්ලිපි අතරින්ද රජවරුන්ගේ නම් සඳහන් සහ ඔවුන් විසින් ප්‍රකාශිත සෙල්ලිපි හමුවන්නේ ඉතාමත්ම ස්වල්පයක් පමණි. තවත් විශේෂ කාරණයක් වන්නේ එම කාලයේ හමුවන සෙල්ලිපි අතරින්ද බහුතරය "වහරල චිදවි" යන වචන දෙක හෝ එම වචන දෙකේ විවිධ ස්වරූපයන් සහිත සෙල්ලිපි වීමය. එමනිසා එම සෙල්ලිපි "වහරල සෙල්ලිපි" ලෙසින් හඳුන්වයි. පොදු වර්ෂ 5 වන සියවසේ සිට 7 වන සියවස දක්වා කාල පරාසයේ මෙම වහරල සෙල්ලිපි හමුවන අතර ඉන්පසු කාලයේදී එම ලිපි හමු නොවේ. මෙම "වහරල චිදවි" යන වචන දෙකට විවිධ විද්වතුන් විසින් විවිධ අර්ථකථන සපයා ඇති අතර ඒ පිළිබඳව නිශ්චිත අදහසකට තවමත් එළඹ නොමැත.

පිදුරංගල පබ්බත විහාරයේ මණ්ඩප ගොඩනැගිල්ලට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපි

එම අර්ථකථන අතරින් අද වනවිට විද්වතුන් වැඩි දෙනා පිළිගන්න මතය නොවූවත් වඩාත්ම ජනප්‍රිය එමෙන්ම එම සෙල්ලිපි හමුවන ස්ථාන වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශනය කරන පුවරු ආදියේ ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මුලින්ම මේ සම්බන්දයෙන් ඉදිරිපත් කල මතයයි

සෙනරත් පරණවිතාන මහතාගේ මතය - "වහරල චිදවි" යනු වහල් භාවයෙන් (වහරල) මිදීවීය (චිදවි). එනම් මේ කාලයේ මෙරට විහාරස්ථාන වලට වහල් භාවයට පත්වී මුදල් ගෙවා එම වහල් භාවයෙන් මිදීම මෙරට ජනතාව පුණ්‍යකර්මයක් ලෙස සැලකූ බව.

ඒ සම්බන්දව වෙනත් විද්වතුන් විසින් ඉදිරිපත් කල මත කිහිපයක් මෙසේය

1) දැව දඬු කැප්පවීම බව - මහාචාර්ය ඩී. ජේ. විජේරත්න

2) විහාර සලාක සැපයීම බව (මහාචාර්ය සුගතපාලද සිල්වා) හෝ විහාර සලාක කැප්පවීම බව (මහාචාර්ය සිරිමල් රණවැල්ල)

3) විහාර ගෙය සෑදවීම බව (කොටනෙළුවේ චන්දජෝති හිමි ) හෝ විහාර කුටි සෑදවීම බව (මැදඋයන්ගොඩ  විමලකිත්ති හිමි, මහාචාර්ය බන්දුසේන ගුණසේකර සහ ආචාර්ය බෙනිල් ප්‍රියංක) හෝ විහාරයනට ආදාල ගොඩනැගිලි සෑදවීම බව (ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න)

4) විහාර දොරටුවල ගල් පඩි සෑදවීම බව (මොරවක ශ්‍රී සිද්ධාර්ථ හිමි)

5) අනිවාර්ය සේවයෙන් නිදහස් වීම බව (මහාචාර්ය මාලනී ඩයස් සහ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි)

ඉහත පරණවිතාන මහතා ඉදිරිපත් කල මතය හෝ ඒ සම්බන්ධව අනෙකුත් විද්වතුන් ඉදිරිපත් කල මත  සාධාරණීකරණය කිරීමට ඔවුන් ගෙනහැර පාන තර්ක සියල්ල පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට මෙහිදී අදහස් නොකරන මුත්, පරණවිතාන මහතාගේ මතය සහ එයට විකල්ප ලෙසට මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් සහ පසුව වෙනත් විද්වතුන් ඉදිරිපත් කල මතය සම්බන්ධයෙන් මෙහිදී සැකවින් හෝ කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙමි.

පිදුරංගල පබ්බත විහාරයේ මණ්ඩප ගොඩනැගිල්ලට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපියක කොටසක්

පිදුරංගල පබ්බත විහාරය සම්බන්දයෙන්වූ මෙම ලිපියේදී වහරල ලිපි පිළිබඳව අපට අවධානය යොමු කිරීමට සිදුව ඇත්තේ මෙම පබ්බත විහාරයේ පිළිම ගෙහි ගල් පඩියක සහ මණ්ඩපයේ නැගෙනහිර දොරටුව මත්තෙහි ගල් පඩි වල මෙතෙක් කියවා පළකල සහ නොකළ වහරල ලිපි කිහිපයක්ම හමුවන බැවිනි (ලිපි 10 ක් පමණ හමුවී ඇති අතර ඉන් 6ක් ප්‍රකාශයට පත්වී ඇත.) එසේම පිළිම ගෙයි සඳකඩ පහණකද මැකී ගිය සෙල් ලිපියක් දැකිය හැක. 

එම එක් වහරල ලිපියක පෙළ මෙසේ දැක්වීම හැක.  (ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාට අනුව)

අය සවලී මහ වසයණ සදය
වහරල වටකට දන එක යහ
ළක ව වි එක මුයුදනක වි

එම ලිපිය මුලින්ම ප්‍රකාශයට පත් කල නලීන් වීරරත්න මහතාට අනුව එහි අදහස  - අය සවලී මහ නම් ස්ථානයේ වාසය කරන........වහරල පවත්වාගෙන යාමට එක් යහළක වී (සහ) එක් අමුණක වී (දෙන ලදී)

"වහරල චිදවි" යනු විහාර කුටි සෑදීම ලෙසින් ගෙන ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතා එහි අදහස මෙසේ ඉදිරිපත් කරයි.

අය සවලී නැමැත්තා විසින් මහ වස් වසනා කාලය තුළ වාසය කිරීම පිණිස විහාර කුටි සෑදීමේ කර්ත්‍යවයට දුන් එක් යහළක වී සහ එක් අමුණක වී.

වහරල ලිපි සමස්තයක් ලෙස ගත් කල ඒ සියල්ලේ හෝ බොහෝමයක දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ පෙල ගැස්විය හැක.

1) සියළුම වහරල ලිපි විහාරාරාම නටබුන් හමුවන ස්ථාන වල හමුවීම
2) සමහර වහරල ලිපි විහාර වලට පිවිසෙන ගල් පඩිපෙලෙහි කොටා තිබීම ( උදා: පිදුරංගල පිළිමගෙය සහ මණ්ඩපයට පිවිසෙන ගල් පඩි.
3) ඇතැම් වහරල ලිපි වල දායකයන් වඩුවන් හෝ ගල් වඩුවන් වීම
4) එම ක්‍රියාව සිදු කර ඇත්තේ පින් ලබා ගැනීම උදෙසා වීම සහ ඇතැම් ලිපි වල එම පින් වෙනත් අය හට අනුමෝදන් කරවීම (තවත් සමහර ලිපි වල එම පින් බලෙන් මතු බුදු බව අත්වේවා ලෙසින් පැතීම් ද සිදු කර ඇත.)
5) මෙම ක්‍රියාව කිරීමේදී බොහෝවිට කහවණු පරිත්‍යාග කිරීම් සිදු කිරීම (බහුතරයක් සෙල්ලිපි වල පරිත්‍යාග කර ඇති මුදල කහවණු 100 ක් වේ. ඉහත පිදුරංගල ලිපියේ සිදුවී ඇත්තේ වී පරිත්‍යාග කිරීමකි.) 
පිදුරංගල පබ්බත විහාරයේ බෝධිඝරය. ඈතින් දිස්වන්නේ පිදුරංගල පර්වතයයි

සංස්කෘත වෘෂල යන වචනයෙන් සිංහල වහල් යන වචනය සෑදුන බව ගයිගර් විසින් පෙන්නා දී ඇත. පරණවිතාන මහතා තර්ක කරන්නේ මෙම ලිපි හමුවන 6 වන සියවස පමණ වන විට වහල් යන සිංහල වචනයට සම්පූර්ණයෙන් පරිවර්තනය නොවුන වහරල යන අතරමැදි ස්වරූපයක් තිබුනා විය හැකි බවයි. ( වෘෂල > වරසල > වරහල > වහරල >  වහල් ලෙසින් ) ඒ අනුව "චිදවි" යන වචනයේ අර්ථය මිදුනා ලෙසින් ගෙන පරණවිතාන මහතා සිය අර්ථකථනය සපයයි. මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් පවසන්නේ "වහර" යනු "විහාරය" හෙයින් (මේ යුගයේදී විහාරයට වහර යනුවෙන් පැවසූ බව සෙල්ලිපි කිහිපයකින්ම පැහැදිලිවේ.) ගන්ධකුටි ශබ්දය ගඳොල, ගදෙළ, ගදළ යි සිටියාක් මෙන් විහාර කුටි ශබ්දයත්  වහරල ලෙසින් සිටිය හැකි බවය. විමලකිත්ති හිමියන්ගේ මතය තව දුරටත් සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කරන ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතා 10 වන සියවසට අයත් දඹේගොඩ ටැම් ලිපියෙහි "වෙහෙරල කරව මගුල් පිරිවෙන් කරවා" ලෙසින් එන පාඨයෙන් "විහාර කුටි කරවා මගුල් පිරිවෙන නිමකොට" යන්න කියැවෙන හෙයින් මගුල් පිරිවෙන ගොඩනැගීමට විහාර කුටි රාශියක් සාදා නිම කිරීමට සිදු වූ බව එයින් ගම්‍ය වන බවත්, එහෙයින් "වෙහෙරල" යනු විහාර කුටි බවත් පවසයි. සද්ධාමංගල කරුණාරත්න මහතා වෙනත් 6 වන සියවසට අයත් ලිපියක (එම ලිපිය නැගෙනහිර පළාතේ  කිරිපොකුණුහෙල පියගැට සහිත ගල් තලාවක පසෙක කොටා ඇත.) "පදගඩ චිදවය" ලෙසින් පියගැට සාදන ලදී යන්න අදහස් කර ඇති බවත්, ඒ අනුව "චිදවි" යන්නෙන් සාදන ලදී හෝ සාදන ලද යන තේරුම ගත හැකි බවත් පෙන්නා දෙයි. මෙම දෙවන මතය සාධාරණීකරණය කිරීමට මෙවන් උදාහරණ බොහෝමයක් දිය හැකි බැවින් "වහරල චිදවි" යන්නෙන් විහාර කුටි සෑදීම අදහස් කරන්නට ඇති බව සිතීම වඩාත් තර්කාණුකූල බව පෙනේ. මෙම ඇතැම් වහරල ලිපි ගල් වඩුවන් සහ වඩුවන් විසින් පිහිටුවා තිබීමද මේ මතය සනාථ කිරීමට යොදාගත හැක ( ඔවුන් එම කාර්යය පින් තකා මුදල් අය කිරීමකින් තොරව ඉටු කර ඒ බව ලිපියකින් පවසා ඇත.) අනෙක් අතට ඇතැම් වහරල ලිපි වල එන "දරුයන චිදවි වෙහෙරල" යන්න විහාර කුටි දැවයෙන් සෑදීම ලෙසින් ගත හැක ( පරණවිතාන මහතා පවසන්නෙ ඉන් ලිපිය පිහිටුවන තැනැත්තා සිය දරුවන් මුදල් ගෙවා වහල් කමින් මුදා ගත් බව පැවසෙන බවය.) 

*මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ පෙර කල විහාරාරාමයන්හි සේවය කළ සේවකයන් සිටි බවට සාධක ඇති බවය. එහෙත් ඔවුන් සෙල් ලිපි වල හඳුන්වා ඇත්තේ "වෙහෙර් දසුන්" යනුවෙන් විනා "වෙහෙර් වහලුන්" ලෙසින් නොවේ ( 4 වැනි මහින්ද [පො.ව. 956-972] රජුගේ මිහින්තලා පුවරු ලිපිය. තවද පොදු වර්ෂ 2 වැනි සියවසට අයත් අනුරාධපුර ඉළුක්වැව නම් තැනකින් හමුවූ ලිපියක විහාරයක සේවය කල අඹු සැමි යුවලක් දස හා දැසි ලෙසින් හඳුන්වා ඇත.) 

උපෝසථඝරය

පිදුරංගල පබ්බත විහාරය පැරණි දළ්හ විහාරය බව හඳුනාගැනීම

පිදුරංගල පබ්බත විහාරයේ හමුවන එක් වහරල ලිපියක් මෙහිදී වැදගත් වන්නේ එහි මෙම විහාරයේ නම සඳහන් වන බැවිනි. අදාල ලිපිය මේ පරිදි වේ.

මහ කළ වනයල හ ධන එක සයක කහවණ එම මය ධන කපිදළ වහරට  (දෙ) වහරල චිදවය පල සව සතහට.
 
මහගල (වාසය කරන) වනසල සිය ධනයෙන් කහවණු සියය බැගින් දළ්හ විහාරයට (දී එහි) (දෙ) වහරල මුදවිය [ඉහත පැහැදිලි කිරීම අනුව විහාර කුටි දෙකක් කරවීය ලෙස ගත හැක.] (එහි) පළ සියළු සත්වයන්ට (අත්වේවා)

මහාවංශයේ සඳහන් වන්නේ පළමුවන මොග්ගල්ලාන රජු [පො.ව. 491-508] සීගිරියේ දළ්හ නම් විහාරය හා දාඨා කොන්ඩඤ්ඤ විහාරද ධම්මරුචි සහ සාගලිය නිකායවල භික්ෂුන්ට පූජා කල බවය. ඒ අනුව පිදුරංගල පබ්බත විහාරය එම දළ්හ විහාරය ලෙසින් හඳුනාගත හැකි අතර 6-7  සියවස් වලට අයත් ඉහත වහරල ලිපිය පිහිටවූ තැනැත්තා එහි විහාර කුටි දෙකක් එම යුගයේදී තැනීමට කහවණු ලබා දී ඇත. 

මීට අමතරව මෙම පබ්බත විහාර පරිශ්‍රය තුලින් හතරවන දප්පුල රජුගේ [පො.ව. 924-935] කාලයට අයත් අත්තාණි ටැම් ලිපියක කොටසක් හමුවී ඇත.  ලිපියේ නම සඳහන් උදා මහපාණන් වහන්සේ  (මාපා උදය) IV දප්පුල රජු යටතේ එම දූරය දැරූ උදය මාපා ලෙස සැලකේ. උදා මහපාණන් වහන්සේ වදාල හෙයින් රක්සමණන් (Chief Guardian) වන මහලෙ අග්බොයා නියමයෙන් පැමිණි කුඩසලා දෙට් විසින් එම අත්තාණි කණුව පිහිටුවා ඇති බව ලිපියේ ශේෂව ඇති කොටසින් කියැවේ.

ස්තූපය

පිදුරංගල පබ්බත විහාරයේ වර්තමාන නටබුන් 
නැගෙනහිර දිශාවෙන් ප්‍රධාන පිවිසුම සහිතව මංජුශ්‍රී වාස්තුවිද්‍යා ශාස්ත්‍රයෙන් විග්‍රහ කෙරෙන "හස්තයාරාම පංචාවාස" සැලසුමට අනුව මෙම පබ්බත විහාරය ඉදිකර ඇත. මෙහි පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන සැලැස්මේ ගොඩනැගිලි 5 ක් හඳුනාගත හැක. ස්තූපය, බෝධිඝරය, උපෝසථඝරය හා පිළිම ගෙයට අමතරව සභා ශාලාවක්ද (මණ්ඩපයක්) මෙහි දැකිය හැක. වයඹ සහ ඊසාන දිගින් ශේෂව ඇති ගඩොල් ප්‍රාකාරය නිසා ප්‍රධාන සැලැස්ම සහ වෙනත් ගොඩනැගිලි හමුවන ප්‍රධාන නොවන සැලැස්ම පිදුරංගල පබ්බත විහාරයේ ප්‍රාකාරයක් මගින් වෙන් කර තිබූ බව හඳුනාගෙන ඇත. එහෙත් සමස්ත විහාරය ආවරනය වන ආකාරයේ දිය අගලක් තිබූ බවට සාධක නොමැත. නමුත් ඊසාන දිශාවට පිහිටි වැව  මෙම විහාරයට අයත්ව තිබෙන්නට ඇත. ප්‍රධාන නොවන සැලැස්මේ පොකුරු වශයෙන් අවශේෂ ගොඩනැගිලි 35 ක් පමණ තිබූ බවට සාධක හමුවේ. දෙදෙනෙකුට පමණ වාසය කල හැකි මෙම කුටි 35 පොකුරු 6 ක් ලෙසින් ඉදි කර ඇති අතර ඒ අනුව මෙහි භික්ෂූන් 70 ක් පමණ වාසය කරන්නට ඇති බව අනුමාණ කෙරේ (ඉහත වහරල ලිපි වල දායකයන් ඉදි කර ඇත්තේ මෙම කුටි ලෙස හඳුනා ගත හැක.) කෙසේ නමුත් වෙනත් පබ්බත විහාර වල ප්‍රධාන නොවන සැලැස්මේ දැකිය හැකි දානශාලා, කැසිකිලි, වැසිකිලි ආදිය මෙහි දැකිය නොහැක, නැතහොත් මෙතෙක් හඳුනාගෙන නැත.
මණ්ඩපය

පිදුරංගල පබ්බත විහාරය පිළිබඳ අතීත වාර්තා


වර්තමානයේ පිදුරංගල ලෙසින් හැඳින්වෙන පර්වතය 1899 වසරේ සිය වාර්තාවේ H.C.P. බෙල් හඳුන්වන්නේ පිදුරා-ගල ලෙසිනි (පැරණි අඟලේ සිතියම් වල පවා පිදුරාගල ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රදේශයේ සහ පර්වතයේ නාමය මෑත කාලයකදි පිදුරංගල ලෙසින් වෙනස් වී ඇති බව පෙනේ.). පිදුරාගල පර්වතය මත තිබෙන ස්තූප නටබුන් ගැන මෙන්ම එහි එවකටත් ක්‍රියාකාරිව තිබූ "අලුත් විහාරය" සහ සැතපෙන පිළිමයක් සහිත "පැරණි විහාරය" ගැනද ඔහු කෙටි විස්තරයක් ඉදිරිපත් කරන මුත්, මෙම පබ්බත විහාරය ගැන කිසිවක් පවසන්නේ නැත. 1903 වසරේදී නැවතත් ඔහු සීගිරිය පර්වතයෙන් ඊසාන දෙසට වන්නට එහි ප්‍රාකාරයට පිටින් ඒ අසලම වාගේ පිදුරාගල ගමට යන මාර්ගයෙන් මදක් බටහිරට වන්නට වූ හුදකලා නටබුන් ගැන පවසමින්, පඩි කිහිපයක් නැගීමෙන් දකුණු දෙසින් ඇතුලු වීමට තිබූ කණු 36 ක් පමණ සහිත ගොඩනැගිල්ලක් ගැන පවසයි. එහි කණු සැලකිය යුතු ප්‍රමාණයක් ඒ වනවිටද නැති වී ඇති බව පවසන ඔහු එහි සිදු කරන කැනීමකින් පෙන 5 ක් සහිත ශෛලමය නාග රූපයක් සොයාගනී. දිවයිනේ වෙනත් ප්‍රදේශ වල මෙන් බොහෝදුරට එය මුලින් තිබෙන්නට ඇත්තේ සීගිරි වැවේ බිසෝකොටුව අසල විය යුතු බව පවසන බෙල් එම නාග රුව එහි බිසෝකොටුව අසල වැව් බැම්ම මත තැබූ බව පවසයි. ඒ වනවිටත් එය බොහෝසෙයින් ඛාදනය වී තිබූ බවද ඔහු සඳහන් කරයි. (පිදුරංගල පබ්බත විහාරය අසල ඇති කුඩා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත්තේ එම නාග රූපය විය යුතුය. ඉහත රූපය බලන්න.)  ඊට අමතරව එම ස්ථානයෙන්ම සිරිපතුල් ගලක්, වටකුරු පූජාසනයක් සහ පා දෝවන ගල් බේසමක්ද හමුවූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
පිළිම ගෙය
1950 වර්ෂයේදී "පිදුරාගල පන්සලේ" ගවේෂණයක යෙදෙන සෙනරත් පරණවිතාන මහතා එය සංඝාරාමයක නටබුන් හමුවන ස්ථානයක් ලෙසට හඳුනාගනී. ගඩොල් බැමි, ගල් කණු මෙන්ම දාගැබක් වැනි ගොඩැල්ලක්ද එහි හමුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 1951 වර්ෂයේදී පරණවිතාන මහතා එම ස්තූප ගොඩැල්ල මත තිබූ ගස් සහ සුන්බුන් ඉවත් කර එහි කැනීමක් සිදු කරයි. 

18 වන ශතවර්ෂයේ දැනට පවතින අලුත් විහාරය ඉදි කිරීමේදී මෙම ස්ථානයේ තිබූ ගල් කණු ආදිය පඩි පෙලවල් සහ වෙනත් ඉදිකිරීම් සඳහා රැගෙන යන්නට ඇති බව පරණවිතාන මහතා පවසයි. තවද වර්තමාන විහාරයේ ඇති බදාම යොදා පින්තාරු කර ඇති හුණුගල් හිටි පිළිම දෙක මෙම ස්ථානයේ වූ පිළිම ගෙයි මුලින් තිබෙන්නට ඇති බවටද එතුමා කරුණු දක්වයි. ස්තූපයේ තිබූ ගඩොල් අතර 8 වන සියවසට අයත් අක්ෂර වලින් වඩු ලකුණු යෙදූ ගඩොල් සැලකිය යුතු ප්‍රමාණයක් මෙන්ම ඒ වනවිටත් නිධන් සොයන්නන් විසින් විනාශ කර තිබූ ස්තූපයේ යූප ගලද ගොඩැල්ලේ පසෙක තිබී එතුමා හට හමුවේ. මෙහි ධාතු ගර්භයේ වහලය වෙනත් ස්තූප වල මෙන් ගඩොල් බැමි මත හරහට තබන ලද ගල් පුවරු වලින් නොව පේකඩ සහිතව ගඩොලින් කර තිබූ බවත්,නිදන් හොරුන් විසින් එය විනාශ කර එහි තිබූ බොහෝ දේ රැගෙන ගොස් ඇති මුත්, එහි තිබී හමුවන උස් කොතක් සහිත ස්තූපයක හැඩයෙන් යුත් තඹ ධාතු කරඬුවක කොටස්  ආධාරයෙන් පරණවිතාන මහතා මෙම ස්තූපය ඉදි කල කාලය 8 වන සියවසට අයත් කල හැකි බවට හඳුනාගනී. එම කාලයට වඩා පැරණි යුගයකට අයත් බෙහෙවින් ඛාදනය වූ රෝම කාසියක් සහ සතැරස් තඹ පුරාණ කාසියක් ඊට අමතරව එහි තිබී හමුවේ. තවද මෙම කැනීමේදී ධාතු ගර්භයේ බටහිර බිත්තියේ කුහරයක තිබී කැබලි වූ කිරි ගරුඩ ඵලක තුනක් හමුවේ. ඉන් එකක බුද්ධ රූප තුනක්ද, අනෙක් ඵලකයේ බෝධිසත්ව රූප දෙකක්ද මතු කර ඇත. ඉන් එක් බෝධිසත්ව රූපයක් බොහෝවිට මෛත්‍රී බෝධිසත්වයන් විය හැකි බවද පරණවිතාන මහතා පවසයි. තුන්වන ඵලකයේ බුද්ධ චරිතයේ කිසියම් අවස්තාවක් නිරූපනය වන බවත් කැබලි කිහිපයක් පමණක් හමුවූ බැවින් කුමන අවස්තාවක්ද යන්න නිසැකවම පැවසිය නොහැකි බවත් එතුමා සඳහන් කරයි (* පහතින් ඇති පාද සටහන බලන්න). එම කිරිගරුඬ පාෂාණ අමරාවති සහ නාගර්ජුනකොණ්ඩ කැටයම් සඳහා යොදා ගත් වර්ගයේ ඒවා බවත් එනයින් එම පාෂාණ ආන්ද්‍රා පෙදෙසින් මෙරටට ගෙනාවා විය හැකි බවත්  සඳහන් කරන පරණවිතාන මහතා නමුත් බුද්ධ රූප සහ විශේෂයෙන්ම බෝධිසත්ව රූප මෙරටට ආවේනික ලක්ෂණ පිළිබිඹු කරන බවද සඳහන් කරයි. ශෛලිය අනුව ඒවා 4-5 ශතවර්ෂ වලට අයත් බවය පරණවිතාන මහතාගේ මතය. කිසියම් සුදු කුඩක් මිශ්‍ර මැටි පිරුණු මුට්ටියක්ද මෙම ධාතු ගර්භයේ තිබී හමුවේ. ගඩොල් කැබලි පිරී තිබූ තවත් ධාතු ගර්භයක්ද මෙම ධාතු ගර්භයට යටින් තිබී ඇති අතර පරණවිතාන මහතා අදහස් කරන්නේ එම ධාතු ගර්භය කලින් මෙම ස්තූපය කුඩා ස්තූපයක්ව තිබූ අවදියේ තිබූ ධාතු ගර්භය බවත් ස්තූපය විශාල කිරීමේදි එහි තිබූ පූජා භාණ්ඩ ආදිය එයට උඩින් තැනූ නව ධාතු ගර්භයට ගෙන යන්නට ඇති බවත්ය. පිහිටි පොළොව දක්වාම කැනීම සිදු කිරීමේදි අඟුරු හමුවූ බවත් පොළොවද පිලිස්සි ඇති ලකුණු තිබූ බවත් එනයින් මුල් ස්තූපය කිසියම් ආදාහනයක් සිදු කල ස්ථානයක ඉදි කරන්නට ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. මුල් දාගැබේ යොදා ගත් ගඩොල් සීගිරියේ ඉදිකිරීම් වල ගඩොල් වල ප්‍රමාණයම සේ වූ බැවින් මුල් ස්තූපය එම කාලයට අයත් කල හැකි බවත් බොහෝවිට මුල් ධාතු ගර්භයේ තිබූ කාසි සහ ඵලක විය හැකි ඉහත කාසි සහ ඵලක හමුවීම එම අනුමාණය තවත් තහවුරු කරන බවත් පරණවිතාන මහතා සඳහන් කරයි. මේ සාධක මත පරණවිතාන මහතා නිගමනය කරන්නේ මේ පළමුවන කාශ්‍යප රජුගේ [පො. ව.  473-491] ආදාහනය සිදු කල ස්ථානය ලෙසටය. සංරක්ෂණය කල ස්තූපයේ ඡායාරූපයක් 1952 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ දක්වා ඇත.

* මෙම ඵලක අතරින් බුද්ධ රූප තුන සහිත ඵලකය ගෞතම බුදුන්ට පෙර සිටි බුදුවරුන් පස් දෙනා නිරූපනණය කරන කැටයමක් බවත්, කැඩී ඇති එහි ඉතිරි බුද්ධ රූප දෙක අස්ථාන ගත වී ඇති බවත් ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා සඳහන් කරයි. බෝධිසත්ව රූප සහිත ඵලකයේ වම්පස නිරූපනය වන්නේ අවලෝකතේශ්වර බෝධිසත්වයන් සහ දකුණු පසින් ඇත්තේ මෛත්‍රී බෝධිසත්වයන් බවත් පවසන U. von Schroeder මහතා මෙම ඵලක සියල්ල පොදු වර්ෂ 5 වන සියවසේ අවසානයට කාල නීර්ණය කරයි. එය එසේ වන්නේ නම් මෙරට හමුවන පැරණිම මහායාන බෝධිසත්ව රූප ලෙස මෙම ඵලක වල දැක්වෙන බෝධිසත්ව රූප හඳුනාගත හැක.පරණවිතාන මහතාට නිසැක ලෙසින් හඳුනා ගැනීමට නොහැකි වූ ඵලකයේ ඇත්තේ බුදුන් ශ්‍රාවස්තියේදී සිදු කල "යමක ප්‍රාතිහාර්යය" නිරූපණයක් බව U. von Schroeder  සහ ඔස්මන්ඩ් බෝපේආරච්චි හඳුනාගනී. මෙම සියලු ඵලක ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා හඳුනාගන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ ශිල්පීන් එරට තුලදී කැටයම් කර මෙරටට ගෙනා හෝ එම ප්‍රදේශයේ සිට මෙරටට ගෙනා දෘඩ හුණුගල් මත මෙරට සිටි ආන්ද්‍රා ශිල්පීන් කැටයම් කල නිර්මාණ ලෙසින්ය.

බෝධිඝරය

මෑතකදි කල කැනීම් වලින් හෙලිවූ තොරතුරු
මෙම පබ්බත විහාර පරිශ්‍රයේ නැවතත් කැනීම් සහ සංරක්ෂණය කිරීම් 80 දශකයේ අවසාන භාගයේ සිට 2005 වර්ෂය දක්වා පමණ සිදු කර ඇත. මෙහි බෝධිඝරයේ සිදු කල කැනීමේදී ගඩොල්, උළු කැට සහ යකඩ ඇණ හමුවී ඇති බැවින් බෝධිය වටා දැවමය කණු මත කරන ලද උළු සෙවිලි කල වහලයක් තිබූ බවට අනුමාණ කෙරේ. එම පියැස්සට ආධාර වශයෙන් යොදා ගත් ගල් කණු කිහිපයක්ද තවමත් මෙහි ඉතිරි වී ඇත. උපෝසථඝරයේ ඇති ඇතැම් විශාල කණු වල සිදුරු විද ඇත්තේ (මේ සමඟ ඇති වීඩියෝව බලන්න.) ඒවා ශිලාමය පුවරු උපයෝගී කරගනිමින් එකිනෙකට සම්බන්ද කිරීමට බව එහි සිදු කල කැනීමකින් හෙලිවී ඇත. මණ්ඩපයේ කල කැනීමකින් හෙලිවී ඇති අයුරින් මුල් අවස්තාවේ ඉදි කල ගොඩනැගිල්ල බිඳ වැටීමෙන් පසු නැවත එය  ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම මණ්ඩපයේ කල කැනීම් වලින්ද  උළු කැට සහ යකඩ ඇණ බහුලව හමුවී ඇති බැවින් මෙහිද දැවමය පියැස්සක් තිබී ඇති බව පැහැදිලි වේ. කැනීමේදි එතරම් ගඩොල් ප්‍රමාණයක් හමු නොවීම නිසා මණ්ඩපයේ බිත්ති වහල මට්ටම දක්වා නොතිබූ බවට උපකල්පනය කර ඇත. 
පිළිම ගෙය

මූලාශ්‍ර

  • ක්‍රිස්තු වර්ෂ 4, 5, 6, 7 සියවස්හි ලක්දිව සෙල්ලිපි ඇසුරින් සකස් කරන ලද දත්ත, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2019
  • Sigiriya, city, palace, gardens, monasteries paintings, Senake Bandaranayaka, 2013

  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • ලක්දිව පැරණි සෙල්ලිපිවල බහුලව හමුවන මෙත්ක් නොවිසඳුණ වදන් දෙකක්: වහරල සහ මතෙර මජිබක නව සාධක ඇසුරෙන්, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2012
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Special Volume, Volume VII, Edited by Saddhamangala KArunaratne 1984
  • Archaeological Survey Department, Inscriptions of Ceylon Vol 2 Part 2 , By S. Paranavitana, Editor Malani Dias, 2001
  • අතීත අභිමන හෙටටත් ඓතිහාසික පිදුරංගල, අයි. ඩී . එම්. විජේබණ්ඩාර, 2011
  • ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුම 3, 2008
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Sri Lanka, Vol. VI Part 2, Edited by Jayanta Uduwara, 1991
  • ඉසුරුමුණිය හා වෙනත් ලිපි, ඉෂංඛ මල්සිරි, 2013
  • Epigraphical Notes, Nos 1-18, Malani Dias, 1991
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්), ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • Archaeological Survey of Ceylon, North-Central and Central Provinces, Annual Report, 1899, H.C.P. Bell, 1904
  • Archaeological Survey of Ceylon, North-Central and Central Provinces, Annual Report, 1903, H.C.P. Bell, 1908
  • Report on the Archaeological Survey of Ceylon for 1950. Dr. S. Paranavitana, 1951
  • Report of the Archaeological Survey of Ceylon for 1951. Dr. S. Paranavitana, 1952
  • Report of the Archaeological Survey of Ceylon for 1951. Dr. S. Paranavitana, 1953
  • Roots of Sri Lankan Art, Osmund Bopearachchi, 2020
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995

6 comments:

  1. 'මැණික් ගලේ පය හැපුනට කනෙක් ඇහිඳලා ගනීද' වගේමයි අපිත්. හත් අට සැරයක්ම පිදුරංගල ගිහිල්ලත් වහරල ලිපි ගැන අවධානය යොමු කරන්න දනගෙන හිටියේ නැහැනේ. අපිටත් අන්ත මෝඩයන් කට්ටියක් පිදුරංගල පර්වතය උඩදී නිරුවතින් foto අරං තිබ්බේ.
    භූෂණ, පිදුරන්ගලට තරමක් කිට්ටුවෙන් තියෙන්නේ 'කළු දිය පොකුණ' ආරාම සංකීර්ණය එදා? තෙවතාවක්ම එහාටත් ගිහින් තිබුනත් විස්තර දැන ගත්තේ අඩුවෙන්. ඒ ගැනත් ඔයා ලියනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් කළුදිය පොකුණත් මේ වගේම සෙල්ලිපි ආධාරයෙන් එහි පැරණි නම හඳුනාගත්ත පබ්බත විහාරයක්. ඒ ගැනත් ගොඩක් දේවල් ලියන්න පුළුවන්.

      Delete
    2. කරුණාකර ලියන්න, ඔබෙ ඉතා මනරම් ඡායාරූපත් සමඟින්ම!

      Delete
  2. http://dlib.pdn.ac.lk/handle/123456789/3068
    Temple Slavery in Ancient Sri Lanka - Wickramasinghe, Chandima S. M.

    https://www.tandfonline.com/doi/abs/10.2752/147800410X12714191853265?journalCode=rfcs20#:~:text=ABSTRACT%20Slavery%20existed%20in%20Sri,in%20ownership%20over%20the%20centuries.

    https://brill.com/display/book/edcoll/9789047409380/B9789047409380_s008.xml

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා. විශේෂයෙන්ම චන්දිම වික්‍රමසිංහ මහතාගේ පර්යේෂණ පත්‍රිකාවට. මම මගේ ලිපියෙත් අවධාරනය කල පරිදි මෙරට විහාරාරාම වල දස, දැසි, දසුන් ආදී නම් වලින් හැඳින්වූ සේවකයන්/සේවිකාවන් (දාසයන්/ දාසියන්) පිරිසක් සිටිය බව පැහැදිලියි. පසුකාලීනව ඔවුන් වහල් යන වචනයෙන්ද හඳුන්වා තියෙනවා ( 12/13 සියවස් වල, ගලපාත ලිපියේ හැඳින්වෙන පරිදි.) ඒ වගේම ඒ පිළිබඳව වෙනත් අභිලේඛන සහ සාහිත්‍මය මූලාශ්‍ර ඕනෑ තරම් තියෙනවා (ඉහත ලිපියේ මන් හිතන්නේ චන්දිම වික්‍රමසිංහ මහතා ඒ සියලුම මූලාශ්‍ර වගේ දක්වලා තියෙනවා. එහෙත් ඒ කිසිවක වහරල යන වචනය නැහැ දස, දැසි, දසුන් සහ වහල් යන වචන විතරයි) ඔවුන් ගේ සමාජීය තත්වයන් පිළිබඳවත් ඒවගේ කරුණු තියෙනවා ( එය කිසිසේත්ම යුරෝපයේ සිටි වහලුන්ගේ තත්වයට සමාන නැහැ . ඒ බව ඉහත ලිපියේත් කරුණු දැක්වෙනවා ) හැබැයි ඔවුන් මේ කියන සියවස් වලදි වහරල ලෙසින් හැඳින්වූ බවට කිසිම පිළිගතහැකි මට්ටමේ සාහිත්‍යමය හෝ අභිලේඛන සාක්කියක් හොයාගන්න නැහැ. ඒ වෙනුවට ඒ සැම ලිපියක්ම පැහැදිලිව අර්ථ දක්වන්න පුලුවන් සිදු කර ඇත්තේ කිසියම් ගොඩනැගිලි ඉදිකිරීමක් "වහරල චිදවි" යන්නෙන් අදහස් කල බව ගැනීමෙන්. මම ඉහත ප්‍රධාන කරුණු දෙකක් පමණක් මතු කලා තව ඉදිරිපත් කරන්න පුලුවන්. ඒ ටික මතු ලිපියකට තියාගත්තා මේ ලිපිය දිග වැඩි වෙන හින්දා. මිහින්තලේ ලිපිය හෝ ගලපාත ලිපිය ගැන කතා කරන වෙලාවක විහාර වහලුන් ගැනත් තව කතා කරමු

      Delete
  3. http://sasara333.blogspot.com/2022/11/1721.html

    ReplyDelete