Sunday, December 3, 2017

මියුරිඳුසඳ දුටු අලගක්කෝනාර ප්‍රභූරාජයාගේ පතහවත්තේ රයිගම් රාජධානිය


බණ්ඩාරගම- හොරණ මාර්ගයේ කොතලාවල හන්දියෙන් දකුණට ඇති පාරේ මද දුරක් ගිය විට කබොක්  ගලින් නිර්මිත වට පවුරකින් වටවූ ශ්‍රී පුෂ්කරාරාමය නම් විහාරයක් හමුවේ. එම විහාර භූමියේ මෑතකදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිළිසකර කල විශාල පොකුණක්ද දැකිය හැක. මේ ලිපිය එම භූමියේ ඓතිහාසිකත්වය විමසා බැලෙන කෙටි සටහනකි. 

මයුර සන්දේශය
ගම්පොළ පස්වන බුවනෙකබාහු ( ක්‍රි.ව. 1371 - 1408 ) රජ සමයේ රජුට, රජ පවුලට සහ රාජ්‍යභාර සෙන්පතියන්ට උපුල්වන් දෙවියන්ගේ ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා ගඟසිරිපුර (ගම්පොළ) සිට දෙව්නුවර උපුල්වන් දේවාලය දක්වා මොණරෙකු අත යවන සන්දේශයක් මයුර සන්දේශ කාව්‍යයට විෂය වේ. මයුර සන්දේශය ලිවූ කවියා කවරෙක්ද යන්න බොහෝ පිටපත් වල සඳහන් නොවන මුත් ඇතැම් පිටපත් වල සඳහන් වන්නේ ගුරුළුගෝමින්ගේ මුණුබුරු වූ කවිශ්වර නම් කෙනෙකු එය රචනා කල බවයි. එය ලිවූ කාලය ක්‍රි.ව. 1385 ත් 1391 අතර විය හැකි බව පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා අනුමාණ කරයි.

ගඟසිරිපුර සිට දෙව්නුවරට මයුරා යන මග එවකට අලගක්කෝනාර ප්‍රභූ රාජයා විසූ රයිගම් පුරවරය පසුකර ගමන් කරයි. මයුර සන්දේශ කවියා එම රයිගම්පුරය මෙසේ වර්ණනා කරයි.

ලෙස තෙවිකුම් රුපු නොතැකුම් විකුම් කොට
තුඟු තුරුගුම් බල සැලසුම් සෙන් පිහිට
ලොව සිරිතුම් ඇම පැවතුම් කළ දිගට
නිති මනරම් වදු රයිගම් පුරවරට

ත්‍රිවික්‍රමයා (එනම් විෂ්ණු) මෙන් සතුරන් නොතැකීම වික්‍රමය කරගත්, බල සේනා පෙලගැස්වීමට තූර්ය ඝෝෂාව පදනම් වූ, ලෝකයේ උතුම් හැසීරීම දිගටම පවත්වාගත්, නිතර සිත් පිනවන උතුම් රයිගම්පුරවරයට පිවිසෙන ලෙස කවියා එම කවියෙන් මයුරාට ආරාධනා කරයි.
ප්‍රාකාරය
එපුර වොරැඳි පිළිමිණි උර පිරි දියෙනි
ඉතිර සපිරි ලෙළ පිරි ඒ මිණිබිතෙනි
පැතිර ඔබින් ඔබ දිසි සේයා කෙවැනි
ගැඹර තර උනුන් එදෙදෙන බලන වැනි

පළිඟු මැණික්  පවුරෙහි ඡායාව දිය අගළෙහි පෙනෙයි. දිය අගළෙහි ඡායාව පළිඟු මැණික් පවුරෙහි පෙනෙයි. ඒ කෙසේද යත් පළිඟු මැණික් පවුර සහ දිය අගළ යන දෙදෙනා ඔවුනොවුන්ගේ ගැඹුර සහ මහත විමසා බලනු වැන්න.

පළිඟු මැණික් පවුරක් ලෙස කවියා වර්ණනා කරන එම ප්‍රාකාරය වර්තමානයේ පතහවත්ත ලෙසින් හැඳින්වෙන ඉඩම වටා අදද  දක්නට ඇත. කබොක් ගල් වලින් නිර්මිත එම ප්‍රාකාරය පුරාණයේ කපරාරු කර සුදු පිරියම් කර තිබෙන්නට ඇත. එනිසාය ඒ වටා තිබූ දිය අගලේ ඡායාව කැටපතක් බඳු ප්‍රාකාරයෙන් දිස්වූවේ. දිය අගල අද දක්නට නැති අතර ප්‍රාකාරයේ එක් පසක කුඩා පාරක්ද වෙනත් ස්ථාන වල පෞද්ගලික ඉඩම්ද දක්නට ඇත. දිය අගළ පසුව ගොඩ කර හෝ ස්වභාවිකව ගොඩවූ පසු  එම මාර්ගය සහ නිවාස ඉදිකර ඇතිවා විය හැක.
පතහ (පොකුණ)
රයිගම්පුර පිළිබඳව වූ මයුර සන්දේශ වර්ණනාවේ තව දුරටත් සඳහන් වනුයේ එපුර වෙළෙන්දන් උස් ප්‍රාසාදයන්ගේ සල්පිල් පවත්වාගෙන ගිය බවත්, රත්න කාන්තිය විහිදෙන බොහෝ විමන් ඒ නුවර වූ බවත්, එහි විදී වල නිතර මැණික් ඇල්ලු පොරොදු (සන්නාහ) බැඳ ඇතුන් සැරිසැරූ බවත්ය.

එම පුරයට අධිපතිව මහේෂ්වරයාගේ මිත්‍ර වූ (මහේශ්වර එනම් ශිව දෙවියාගේ මිත්‍රයා වනුයේ කුවේරයි ) අලකේශ්වර ප්‍රභූරාජයා (කවියා ඔහුගේ නමෙහි එම සංස්කෘත රූපය මෙන්ම සිංහල ශබ්දය වන අලගක්කෝනාර යන්නද භාවිතා කරයි.) සහ ඔහුගේ සොහොවුරු මන්ත්‍රීශ්වරයා විසූ බව මයුර සන්දේශ කවියා ඔවුන්ගේ දීර්ඝ ගුණ වැණුමක්ද සමගින් පවසයි.

අලගක්කෝනාර හෙවත් අලකේශ්වර සම්බන්ධව ඉහත මයුර සන්දේශ තොරතුරු සනාථ කරමින් රාජාවලිය පවසන්නේ මහාජීනේ දොස් රජු මායම් කර විජයබාහු රජුව මහාජීනයට (චීනයට) අල්වාගෙන ගිය පසු (චීන මායම ගැන කියවීමට Link >>) ලංකාවේ රජුන් නැති හෙයින් අලකේශ්වර මන්ත්‍රියා රයිගම් නුවර විසූ බවත් පරාක්‍රමබාහු බෑනා ගම්පල නුවර උන් බවත් යාපාපටුනේ ආර්ය චක්‍රවර්ති රජ උන් බවත්ය.
ශෛලමය ඇත් රුවක්
පැරකුම්බා සිරිත
උතුම් ගුණයුත් මෙ පැරැකුම්බා නිරිඳු රයිගම් නම් පුරා
බරණ සූසැට සිද්ද වොටුනුත් පැලඳැ විලසින් පුරඳරා
වෙළෙඳ ගොවිකුල වන්නි නිරිඳුන් නොදැන කළ නොසිරිත් වරා
බබුළුවා ලෝසසුන හෙබවී සරසමින් කුල දිවයුරා

ක්‍රි.ව. 1450 ත් 1460 අතර රචිත ලෙස සැලකෙන කොට්ටේ සවැනි පැරකුම්බා (1411 - 1461) රජුගේ ගුණ වැයුමට කිසියම් කවියෙකු විසින් කල ප්‍රශස්ති කාව්‍යයක් වන පැරකුම්බා සිරිතේ එන ඉහත පද්‍යයෙන් කියවෙන පරිදි පැරකුම්බා නිරිඳු රයිගම් පුරවරයේ සූසැට බරණින් සහ සිද්ද ඔටුනු පැළැඳ, ලෝ සසුන බබුළුවමින් සූර්ය වංශය සරහමින් ශක්‍ර දේවෙන්ද්‍රයා මෙන් වාසය කර ඇත. ඔහු කෝට්ටේ පුරවරය සිය අගනුවර කරගැනීමට පොරොතුව මෙසේ රයිගම විසුවා විය හැක. ඒ බව තහවුරු කරමින් රාජාවලිය පවසන්නේ බුධවර්ෂයෙන් එක්වාදහස් නවසිය සුසාළිස් අවුරුද්දක් ගිය සඳ ශ්‍රී පරාක්‍රමබාහු රජු තුන් අවුරුද්දක් රයිගන් නුවර වැඩ හිඳ පසුව ජයවර්ධන කෝට්ටයට වැඩමවූ බවයි. 
පතහ සහ පතහවත්ත
විජයබා කොල්ලය සහ රයිගම් බණ්ඩාර
රාජාවලියේ 'විජයබා කොල්ලය' ලෙසින් හැඳින්වෙන හය වැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1513 - 1521) මරා ඔහුගේ පුතුන් තිදෙනෙකු වන මායාදුන්නේ, රයිගම් බණ්ඩාර සහ භුවනෙකබාහු රාජ්‍ය පැහැර ගැනීමේ මාළිගා කුමන්ත්‍රණයෙන් පසු හත්වන භුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1521 -1551)  ජයවර්ධනපුර අගනුවර කර ගනිමින් මුළු රටේම පාලකයා ලෙස කිරුළු පළදින අතර, රයිගම් බණ්ඩාර රයිගම් නුවරද (පාලි - රයිගාමපුරෙ) මායාදුන්නේ තමන් විසින්ම කළ සීතාවක නුවරද ප්‍රදේශ රාජ්‍යය කළ බව මහාවංශයේ සඳහන් වේ.
පතහ (පොකුණ) සංරක්ෂණයට පෙර 2005 වසරේදී
රාජාවලියේ රයිගම සිටි කුමරාගේ නම සඳහන් නොවූවත් රාජාවලිය ලිවීමට පාදක වූ ලෙස හඳුනාගන්නා 'අලකේශ්වර යුද්දයේ' හෙතෙම පරරාජසිංහ ලෙස හඳුන්වයි. කෙසේ නමුත් රාජාවලියේ පසුව එන සඳහනකට අනුව රයිගම් බණ්ඩාර, මාපිටිගම සිට මියයන අතර, එම පුවතම වාර්තා කරන අලකේශ්වර යුද්දය මාපිටිගම සිටියදී එහිදීම මිය ගියේ රයිගම රජු වන පරරාජසිංහ බව පවසයි. අලකේශ්වර යුද්දයේ විජයබා කොල්ලය සිදුවීමට පෙර එන සඳහනකට අනුව හය වැනි විජයබාහු රජුට එක් බිසවකට දාව රාජාවලිය පවස්න පරිදි පුතුන් තිදෙනෙකු නොව සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් අතරින් වැඩිමහළු මහාරයිගම් බණ්ඩාර තරුණ අවදියේ මිය යන අතර, අනෙක් තිදෙනා පරරාජසිංහ, භුවනෙකබාහු සහ මායාදුන්නේ වෙයි. ඇතැම් විට මහාරයිගම් බණ්ඩාර මියගිය පසු රයිගම පාලනය කල හෙයින් පරරාජසිංහ රජු, රයිගම් බණ්ඩාර ලෙස හැඳින්වූවා විය හැක.

කෙසේ නමුත් පෘතුගීසි ලේඛක කූතෝ පවසන්නේ රයිගම විසූ රයිගම් බණ්ඩාර  (Reigao Pandar) සිය ප්‍රාදේශිය රාජ්‍යය ගෙන යාමට පුතෙකු නොමැතිව මිය ගිය විට, එම ප්‍රදේශය නීත්‍යානුකූලව කෝට්ටේ (Cota) රාජධානියට අයත් විය යුතු වුවත්, එම රාජධානියේ අගනුවර වූ රයිගම් කෝරලයට (Reigao Corle) කඩිනමින් ඇතුළු වූ මායාදුන්නේ (Madune) එහි බලය සහ සිය මිය ගිය සොහොයුරාගේ ධනය අත්පත් කරගත් බවත්, එමගින් ඔහු කෝට්ටේ රජුට වඩා බලවත් වූ බවත්ය.
පතහ (පොකුණ)
එවන් වූ ඉතිහාසයක් ඇති රයිගම් පුරවරයේ නශ්ඨාවශේෂ ලෙස ප්‍රාකාරයකින් වටවූ ඉහත පතහවත්ත නමින් හැඳින්වෙන අක්කර 4.5 ක පමණ වපසරියකින් යුතු ඉඩමේ මෑතකදි සංරක්ෂණය කර ඇති විශාල පොකුණක් සහ අඩි 8 පමණ උස අඩි 6 පමණ පළල ප්‍රාකාරයක් නටබුන් ලෙස ඉතිරිව ඇත. 'පතහ' යන්නෙන් විශාල පොකුණක් හැඟවෙන අතර 'පතහවත්ත' නම එම ඉහත විස්තර වූ පොකුණ නිසා එම ඉඩමට ව්‍යවහාර වන බව පෙනේ. මේ වන විට එම ඉඩමේ නූතන යුගයට අයත් ශ්‍රි පුෂ්කරාරාම විහාරය ඉදි කර ඇති අතර එම පරිශ්‍රය පුරා වැසිකිලි ගල්, ඇත් රූප, පාදම් ගල් වැනි විවිධ නටබුන් හමු වී ඇත. ඒවා අලකේශ්වර ප්‍රභූ රාජයගේ හෝ  ඉන්පසුව එහි විසූ සවැනි පරාක්‍රමබාහු, රයිගම් බණ්ඩාර (පරරාජසිංහ) වැනි රජවරුන්ගේ මාළිගා වල නටබුන් විය හැකි වන අතර පොකුණ (පතහ) පැරණි රාජකීය පොකුණ ලෙස හඳුනාගත හැක.
ශෛලමය වැසිකිලි ගලක්
මූලාශ්‍ර
  • රයිගම්පුර වංශකතා, සංස්කරණය රාජකීය පණ්ඩිත ආචාර්ය හොරණ වජිරඤාණ නාහිමි, 2002
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • මයුර සන්දේශය සංස්කරණය - සිරි තිලකසිරි, 2000
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • The Rajavaliya, A Comprehensive Account of the Rulers of Sri lanka, And the first ever translation of the Alakesvara Yuddhaya, A.V. Suraweera, 2000
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • University of Ceylon, History of Ceylon Volume I Part II, 1960
  • University of Peradeniya, History of Sri Lanka, Volume II (c1500 to c1800), Editor K.M. de Silva  1995
  • The History of Ceylon from the Earliest Times to 1600 A.D. As related bu Joao de barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1993

Saturday, November 25, 2017

සීතාවකපුර සිට සපරගමුපුරවරට සැවුලා ගිය මග ඔස්සේ

අලගිවන් මුකවෙටි විසින් සීතාවක රාජසිංහ යුගයේ රචනා කල සැවුල් සංදේශය හෙවත් සැවුල් අස්න පිළිබඳව අප සීතාවක බැරැණ්ඩි කෝවිල සම්බන්ධයෙන් වූ පෙර ලිපියේදිද සාකච්චා කලෙමු >>Link. සීතාවක රාජසිංහ රජුට සහ සසුනට සෙත්පතා සීතාවක සිට සැවුලෙකු අත සපරගමුපුරයේ සමන් දෙවොලේ වසන සුමන සුරිඳු වෙත හසුනක් යැවීම එහි අරමුණ විය. එම කාව්‍යයේ එන ගමන් විස්තරය පාදක කර ගනිමින් වර්තමාන අවිස්සාවේල්ල නගරයේ සිට රත්නපුර දක්වා වූ පැරණි මාර්ගය මතු කර ගැණීම මෙම ලිපියේ අරමුණයි.

සීතාවක පුරය
සොඳුරු මෙ පුරවරැ පහ මුදුනත දිමුත
මහරු රුවන් කොත් මුදුන 'තිනි ගිය හොත
නිසරු බවට පැමිණේ දෝ විළි වැ සිත
උතුරු දකුණු වැදැ යන වැන්නැ දියනෙත
සීතාවක ගඟ දෙපස බැරැණ්ඩි කෝවිල සහ රජ මාළිගයේ නටබුන් පිහිටා ඇති ආකාරය
පුරවරයේ මහ විමන් වල මැණික් කොත් වලට ඉහලින් ගියහොත් තමා නිසරු අයකු බවට පත් වේදෝ යන බියෙන් හිරු උතුරටත් දකුණටත් බරවී ඇතින් ගිය බව සඳහන් කරමින් ඉහත පද්‍යයෙන් කවියා වර්ණනා කරන්නේ සීතාවක පුරවරයයි. මේ ආකාරයේ වූ පැදි සැලකිය යුතු ප්‍රමාණයකින් සීතාවක පුරය, එහි පිහිටි රජ මාළිගය, හතර වාසල් දොර හතර වීදී ඉස්මත්තේ පිහිටියා වූ දෙවොල් සතර ආදි විස්තර වලින් අනතුරුව රාජසිංහ රජු, රාජ සභා මණ්ඩපය, සහ එහි රැස්වි සිටි පුරෝහිත බමුණන්, මහ ඇමතිවරු,වහසල මුකවෙට්ටි සමූහය, රාජ සභාවේ කාව්‍යකාරයෝ, සේනානායක මැතිවරු (සෙන්පතියන්), සිටුවරු, සෙනෙවිවරු, ඇපා, මාපා වරු, සහ දහ අටක් වන්නිවල වන්නිවරු ආදී පිරිස් පිළිබඳවද වැනුම් ඉදිරිපත් කර ගඟින් එතෙරව සැවුලාට බයිරව කෝවිලට යන ලෙසට කවියා පවසයි (බයිරව කෝවිල පිළිබඳව වූ වැඩිදුර තොරතුරු සඳහා >> Link )
සීතාවක රජ මාළිගය සහ පසුව ලන්දේසි කොටුව පිහිටි ස්ථානයේ මෑතකදි මතු කරගත් නටබුන්
බයිරව කෝවිල සහ හරඟන විමන එනම් උමයංගනාවගේ දෙවොල වැඳ ගැනිමෙන් අනතුරුව නඩු විසදා තීන්දු දෙන අදිකරණ මහපාය දකිමින් පංච තූර්ය භාණ්ඩ වැයීමේ පුරුදු ඇති පන්සිළු වන් (වීණා වාදනයට දක්ෂ  දෙවියෙක්) බොහෝ නළු පිරිස් වාසය කරන්නා වු මගුල් විදියෙන් යාගන්නා ලෙස සැවුලාට පවසයි. ඉන් අනතුරුව හමුවන්නේ විකුම්සිහ මහ ඇමැතිතුමන් සුවිශාල කෛලාස කූටය හා සමාන වන ලෙසින් කරවූ වසුවල්විටෙහි මහ මඩමයි (එනම් අම්බලමයි).  බොහෝ හස්ති සමූහයා සිටින්නා වූ ඇත්හල යන මාර්ගයේ වම් පසින් අනතුරුව හමුවේ. බයිරව කෝවිල හැරුන විට මේ කිසිදු ස්ථානයක නටබුන් හෝ පිහිටි ස්ථානයක් අප දන්නා තරමට මේ වන විට සොයාගත නොහැක.
බැරැණ්ඩි කෝවිල
ගැටසැත්තේ කඩවත
සයුරත් මෙරත් යුගකෙළ වෙරළ පැනගෙන
වෙතැපත් වෙතත් නවතත් වත් වන බෙලෙන
කඩු කොත් පළඟ දුනු වෙඩි ගත් සෙන් රඳන
යව සිත් ලෙසින් ගැට සැත්තේ කඩවතින.

කල්පාන්තයේ සාගරයත්, මහමෙරත් වෙරළට උඩින් පැන පැමිණියත්, එය වුවද නැවතීමට සමත් කඩු, කොන්ත, දුනු, පලිහ සහ වෙඩි (තුවක්කු?) සහිත බලසෙන් සිටින ගැටසැත්තේ කඩවතින් සැවුලාට 'සිත් සේ' යන ලෙස කවියා පවසන්නේ එම බලසෙන් කුකුලෙකු එම කඩවත හරහා ගමන් කිරීම සැලකිල්ලට නොගන්නා නිසා විය හැකිය. කෙසේ නමුත් සීතාවක නගරයට ඇතුලු වන එක් කඩවතක් මෙම ගැටසැත්ත නම්වූ ස්ථානයේ තිබූ බව මේ අනුව අපට පැහැදිලි වේ. කුඩා කඳු ගැට දෙකක් අතරින් මාර්ගය වැටි ඇති (පහත සිතියම බලන්න)  මෙම ගැටසැත්ත කඩවත නිසැකවම වර්තමාන ගැටහැත්ත මංසන්දියේ හෝ ඒ ආසන්නයේ තිබුනා විය හැක.
ගැටසැත්තේ කඩවත
සීතාවක නගරයේ සිට එම කඩවත දක්වා වූ පැරණි මාර්ගය අඩු වැඩි වශයෙන් වර්තමාන අවිස්සාවේල්ල සිට ගැටහැත්ත දක්වා වූ A4 මාර්ගය ඔස්සේම වූවා විය හැක. කෙසේ නමුත් රජ මාළිගාව පිහිටි ස්ථානයේ සිට සීතාවක ගඟින් එතෙරව බයිරව කෝවිල දෙසට ගිය සැවුලාට ගැටහැත්ත දෙසට පැමිණීමට නම් කිසියම් ස්ථානයකින් නැවතත් එම ගඟින් ආපසු මෙතරට පැමිණිය යුතුය. ඉහත විස්තර වූ පරිදි මාර්ගය සීතාවක නගරයේම වූ තවත් ස්ථාන කිහිපයක් හරහා වැටී තිබූ හෙයින් බයිරව කෝවිලේ සිට මදක් බටහිර දෙසට ගොස් නැවතත් දකුණු දෙසට හැරී ගැටහැත්ත දෙසට යොමු වූවා විය හැක. සැවුල් අස්නේ විස්තර වන අදිකරණ මහපාය වර්තමාන අවිස්සාවේල්ල අධිකරණය පිහිටි පෙදෙසේම වූවාදැයි සාධාරණ සැකයක් මේ අනුව පහල වන්නේ එය බැරැණ්ඩි කෝවිලේ සිට ගඟින් එතෙරව බටහිර දිශාවට ගොස් ගැටහැත්ත දක්වා දකුණු දෙසට විහිදෙන මාර්ගයේ  පිහිටා ඇති බැවිනි (පහත සිතියම බලන්න) පැරණි මාර්ගය වර්තමාන යටියන්තොට මාර්ගය සීතාවක ඔය හරහා යන පාළම පිහිටි ස්ථානයේ වූ පාලමකින් හෝ තොටුපලකින් එතෙරව  ගැටහැත්ත දෙසට යොමුව තිබූ බව මේ අනුව අනුමාණ කල හැක.
සැවුල් සන්දේශ මග වැනුමට අනුව මාර්ගය වැටි තිබූ ආකාරය
ගැටසැත්ත කඩවතේ සිට දෙල්ගමු වෙහෙර දක්වා
ගැටසැත්තේ කඩවතේ සිට මාර්ගය විහිදෙන්නේ රන් රූප වන් වු යෝනන් (යෞවන කාන්තාවන්) සිටින මින්වාන, ගැටදෙල් ගස මඩම (එනම් අම්බලම), රූපත් නොයෙක් කොමළ අඟනන් නිති රඳන බෝපත්ත, ගිරි දේවිය වන් මනා රූ ඇති අඟනන් කෙළි සෙල්ලමේ යෙදී සිටින අස්ගම් මහ සයුර, කරඬු බඳු වූ පිරුණු කෙලින් සිටි පියවුරු ඇති දෙව්ලියන් සරිව පෙනෙන ගැහැණුන් සිටින තලාපිටිය යන පෙදෙස් හරහාය. 

මේ ස්ථාන අතුරින් මින්වාන (මින්නාන ලෙසින්), බෝපත්ත (බෝපැත්ත ලෙසින්) සහ තලාපිටිය (තලාවිටිය ලෙසින්) යන ගම් අද දක්වාම ඒ අයුරින්ම හඳුනාගත හැකිය. අස්ගම් මහ සයුර ලෙසින් හැඳින්වූ පෙදෙසද බොපැත්ත සහ තලාවිටිය අතර අස්ගඟුල ලෙසින් අඟලේ සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය විය හැක. ගැටදෙල් ගස මඩම තිබූ ස්ථානය සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත නොහැකි මුත් ඇතැම් විට එම ප්‍රදේශයේ කරන ගවේෂණයකින් සොයාගත හැකිවනු ඇත. මෙම සියලු ප්‍රදේශ වර්තමාන A4 මාර්ගයට වම් පසින් වූ කඳු පංතියක පාමුලින් එහි නිම්නය ඔස්සේ වයඹ-ගිණිකොණ දිශා ඔස්සේ විහිදී ඇත (පහත සිතියම් 1 සහ 2 බලන්න)
සිතියම 1 
වෙනේ සුපිපි මල් රොන් සහ බිඟුන් සර
ගෙනේ හමන නල විඳැ තුනු ගිමන් හැර
මෙනෙරිපිටියා බැවිලෙන් බැසැ පතර
මෙනේ සතොස සපුරා යාගන් මිතුර

තලාපිටිය පසු කර යන සැවුලාට ඉන්පසු හමුවන්නේ මෙනෙරිපිටියා බැවිලයි එනම් මෙනෙරිපිටිය කැලෑවයි. ඉන්පසු රතු නෙලුමක් වන් මුහුණින් යුතු, දිගු නිල් ඇස් ඇති, හංස පැටියන් වන් පියයුරු ඇති ගම්බද රූමත් ලලනාවන් රති කෙලි කෙලිනා මිලිලවිටිය ගම දැක ගෙන දෙල්ගමු වෙහෙර ලැගුමට එහි ඇතුලු වන ලෙස කවියා සැවුලාට පවසයි.
සිතියම 2
පරකඩුව මංසන්දියට නුදුරින් මෙනේරිපිටිය නම් වූ ගමක් අද දක්වාම එම නමින්ම හඳුනාගත හැක. මේ වන විට බොහෝ දුරට එලි වි ඇති මුත් පැරණි අඟලේ සිතියම් වල 'මූකලාන' ලෙසින් නම් කර ඇති ඇති ඒ අසල වූ කඳු පෙල මෑතක් වන තුරුම වන ගහනයෙන් යුතුව පැවති බව පෙනේ. එම කඳු පෙලේ  නැගෙනහිර බෑවුමේ පාමුල බැවිල නම් වූ ග්‍රාමයක් ද අඟලේ සිතියම් වල ලකුණු කර ඇති අතර මිලිලවිටිය ගමද මිල්ලවිටිය ලෙසින් A4 මාර්ගයට දකුණු පසින් පැහැදිලිව හඳුනාගත හැක.
දෙල්ගමුව වෙහෙර
දෙල්ගමු වෙහෙර
දෙල්ගමුව වෙහෙර සම්බන්ධයෙන් වූ විස්තරාත්මක ලිපියක් මෙයට පෙර ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව මෙහි විස්තර ඉදිරිපත් නොකරමු. එම ලිපිය කියවීම සඳහා Link >>

දෙල්ගමු වෙහෙර සිට සමන් දේවාලය දක්වා මාර්ගය
හිරුහට මඳක් බිම හිය නොමදී දීළෙන
තුරුයට සුපිරිසුදු සුදු වැලි තල සොබන
දුරුකොට තුනු ගිමන් සැතැපී ඉඳැ යෙහෙන
කුරුවිට ගඟැ දෙගොඩ බල සකි ගුණ නඳන
කුරු ගඟ
කුරුවිට ගඟ ලෙස සැවුල් අස්නේ හැඳින්වෙන්නේ දෙල්ගමු වෙහෙර අසලින් ගලන කුරු ගඟයි. මාර්ගයේ ඉන්පසු හමුවන කුරුවිට මුකළාන අද නැති මුත් කුරුවිට යන නාමය ග්‍රාම නාමයක් ලෙසින් සහ A4 මාර්ගයේ හමුවන ප්‍රධාන නගරයක් ලෙසින් ඉතිරිව ඇත.

කුරුවිට මුකලාන පසු කල පසු සැවුලාට හමුවන්නේ ගස් උඩ පැන පැන යන වඳුරන් දැකිය හැකි කොස්ගොඩ ගමය. ඉන්පසු අනවතප්ත විලේ ජලය මෙන් ඉතා නිර්මල පැහැ ඇති ජලයේ මසුන් විශාල සමූහයන් දැකිය හැකි බෙලිඅත්තේ වළය. අනතුරුව මාර්ගය දෙපස පිහිටි කඳු පර්වත උඩ පිල් විහිදා නටන මොණරුන් ඇති බමුණාවත්තය. බොහෝ දික්වූ නිල් කෙස් කලඹේ මල් කැටි ගවසාගෙන දිව්‍යාංගනාවන්ගේ මානය යටපත් කල හැකි ආකාරයේ අඟනන් සිටින ගණේගොඩය අනතුරුව පසු කල යුත්තේ. ගණේගොඩින් පසුව සපරගමු පුරවරය හමුවේ.
ඉහත සඳහන් ස්ථාන අතුරින් කොස්ගොඩ අඟලේ සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත හැක. බෙළිඅත්තේ වල, බමුණාවත්ත සහ ගණේගොඩ සිතියම් වල හමු නොවන මුත් තවමත් ග්‍රාම නාම ලෙසින් හෝ ස්ථානීය නාම ලෙසින් හමුවනවා විය හැක. කෙසේ නමුත් දෙල්ගමු වෙහෙරේ සිට සමන් දේවාලය දක්වා වූ පැරණි මාර්ගය වර්තමාන A4 මාර්ගයට දකුණු පසින් තිබූ බවට ඉහත සිතියම් වල දක්වා ඇති ආකාරයට පහසුවෙන් හඳුනාගත හැක.
සපරගමුවේ සමන් දේවාලය
තඹර කරේ කිර්ණෙ'වි දිගතැ පැතිරෙන
අඳුර දුරේ කළ පහ මිණි කොත් රැසින
අමර පුරේ ලෙස සව් සිරි පිරි නොමින
සපරපුරේ තෙමහල් පහ තුරු රඳන

සමන් කෙනෙකු නු වූ බඹ සුර නරතුරෙන
සමන් බදුරු සිරි පද ලස නමදිමින
සමන් ගිර නිවෙස් කරැ නිරතුරු වසන
සමන් සුරිඳු දැකැ මෙ හසුන් දෙව් බැතින

සැවුල් අස්නේ විස්තර වන තෙමහල් පහයක් වූ එම සමන් සුරිඳු වැඩ සිටි දෙවොල අද දැකිය නොහැකි මුත් පෘතුගීසින් විනාශ කල එම දෙවොල පිහිටි ස්ථානයේ පසු කලක ඉදි කල පෘතුගීසි බලකොටුව අතහැරීමෙන් පසු තැනවූ දේවාලය රත්නපුර පුරවරයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ලෙසින් සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙමින් අදද දැක ගත හැක. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි මගින් සාකච්චා කරමු.

සීතාවකපුර සිට සපරගමු පුර දක්වා සැවුල් සන්දේශයේ විස්තර වන හඳුනාගත හැකි ස්ථාන
මූලාශ්‍ර
සැවුල් සංදේශය
පැරණි අඟලේ සිතියම්

Saturday, October 28, 2017

බයිරව අය්යණ්ඩියගේ සීතාවක බැරැණ්ඩි කෝවිල

අවිස්සාවේල්ල නගරයේ සිට කෑගල්ල පාරේ මද දුරක් ගොස් සීතාවක ඔය හරහා ඇති පාලම පසු කර දකුණු පසට ඇති කුඩා පාරක් ඔස්සේ ගිය විට පැරණි ශෛලමය ගොඩනැගිල්ලක සංරක්ෂණය කල නටබුන් හමුවේ. බැරැණ්ඩි කෝවිල ලෙසින් හැඳින්වෙන මෙම ගොඩනැගිල්ල  පිළිබඳව වර්ෂ 1800 මාර්තු මස එම ස්ථානයට ගිය බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ 19 වන පාබල රෙජිමේන්තුවේ රොබට් පර්සිවෙල් පවසන්නේ එය ඒ වනවිටද නටබුන් වී ගිය ආගමික ස්ථානයක්ව (Ruins of a temple) තිබූ බවයි. සතර දෙසින්ම පඩිපෙල් සහිතව අඩි 4-5 උසට බිත්ති ගලින් නිර්මාණය කර තිබූ එය ඔහු මෙරටදි දුටු එවන් ආකාරයේ පළමු ශෛලමය නිර්මාණය බව පර්සිවල් පවසයි. එහි පාදමේ ගල් කණු වල ඒ වනවිටද සෙල්ලිපි කිහිපයක්ම තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 
1827 වසරේදී එම ස්ථානයට ගිය මේජර් ෆොබ්ස් එය රාජසිංහ රජු 16 වන ශතවර්ෂයේ මැද භාගයේදි යක්ෂයන් ඇදහීම (Demon worship) සඳහා ඉදි කල බයිරන්ඩේ කෝවිල්ල (Bairainde Kowilla) ලෙස හඳුන්වයි. ඝනව වැවි තිබූ වන ප්‍රවාහය නිසා ඔහුට එහි මිණුම් ගැනීමට හෝ එහි විශේෂ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නොහැකි වූ නමුත් මෙම ගොඩනැගිල්ලද 16 වන ශතවර්ෂයේ අග භාගයේදී පෘතුගීසින් විසින් සීතාවක රාජධානිය යටත් කර එහි ගොඩනැගිලි ගිනි තැබූ අවස්ථාවේදී බිඳ හෙළා ඇති බව ඔහු පවසයි.

මෙම ස්ථානයේ නටබුන් මනාව ආරක්ෂා වි පවතින නමුත් සැලකිය යුතු මට්ටමේ කළුගල් කුට්ටි ප්‍රමාණයක් වෙනත් ගොඩනැගිලි සෑදීම සඳහා රැගෙන ගොස් ඇති බව පසුකලක H. වයිට් (H.White) විසින් Seethawaka and its vicinity නමින් Orientalist සිව්වන වෙළුමට ඉදිරිපත් කල ලිපියක සඳහන් වේ.
වර්ෂ 1885 ඔක්තොබර් මස එම ස්ථානයට යන ලෙ මසූරේ (C.J.R. Le Mesurier) සීතාවක තොටුපොල අසල පිහිටි නටබුන් ගොඩනැගිල්ල බැරණ්ඩි කෝවිල (Barendi Kovil) නමින් හඳුන්වා එය පැරණි ඉදිකිරීම් අවසන් නොකල ආගමික ස්ථානයක් ලෙස (Ancient unfinished temple) ඔහුට හඳුන්වාදුන් බව පවසයි. එහෙත් ඒ පිළිබඳව මනා විස්තරයක් දන්නා කිසිවෙකු ඔහුට සොයාගැනීමට නොහැකි වූ බවද හෙතෙම පවසයි. එම ගොඩනැගිල්ල පිහිටි ඉඩම මහනුවර මහා දේවාලයට (විෂ්ණු දේවාලය) අයත් බවත් එහි බස්නායක නිළමේ විසින් එය මිගෙට්ටුවත්තේ හිමියන්ට 99 වසරකට බදු දුන් බවත්, ඒ හිමියන් එය නැවතත් වෙනත් පහත රට පුද්ගලයෙකුට බදු දුන් පසු එම පුද්ගලයා එහි තිබූ ගල් වලින් කොටසක් රැගෙන ගොස් ඔහුට කුඩා මනරම් නිවසක් ඉදිකල බවත් සඳහන් කරයි. (Who has built a nice little house out of the portion of the stones of the temple)

නැවතත් 1887 වසරේ මැයි 17 දරන F.H ප්‍රයිස්ගේ (F.H. Price) දිනපොතෙන් හෙළිවන්නේ ඔහු රත්වත්තේ බස්නායක නිළමේගෙන් බැරණ්ඩි කෝවිල (Berendi Kovil) පිහිටි ඉඩම ඔහු විසින් බදු දුන්නේදැයි විමසා සිටි බවත්, එසේම එම ගොඩනැගිල්ල ප්‍රතිස්ථාපනය කිරීමට ඔහුට යම් අදහසක් ඇත්දැයි වැඩිදුරටත් අසා සිටි බවත්ය. එයට පිළිතුරු සපයන බස්නායක නිළමේ දන්වා එවා ඇත්තේ ඔහුට පෙර සිටි තැනැත්තෙකු එය මිගෙට්ටුවත්තේ උන්නාන්සේට බදු දී ඇති බවත්, එය අවලංගු කර ගැනීම සඳහා ඔහු උත්සුක වන බවත්ය. එසේම ඒ සඳහා උදව් කරන ලෙසද ඔහු ඉල්ලා සිටි බවත් ප්‍රයිස් වැඩිදුරටත් පවසයි. රත්වත්තේ බස්නායක නිළමේ වැඩිදුරටත් ප්‍රයිස්ට දන්වා ඇත්තේ එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔහුට අවශ්‍ය නමුත් ඒ සඳහා හැකියාව නැති බවත්ය. ආණ්ඩුවේ ඒජන්ත (Government Agent) වෙත ඉන් අනතුරුව ප්‍රයිස් මහතා එම කරුණු දෙක ඉටුකරදෙන ලෙස ඉල්ලා ලිපියක් යොමු කරයි.
සියලු මිණුම් සමග මෙම කෝවිල පිළිබඳව සවිස්තර විස්තරයක් මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස පසු කලක පත්වන H.C.P. බෙල් මහතා සිය සුප්‍රසිද්ධ කෑගලු වාර්තාව මගින් වර්ෂ 1904 දී ඉදිරිපත් කරයි. කැටයම් වල සහ ගොඩනැගිල්ලේ කොටස් වල සැලසුම්ද ඒ සමග ඉදිරිපත් කරන හෙතෙම මෙම ගොඩනැගිල්ල ද්‍රවිඩ ගෘහ නිර්මාණාත්මක අංග ලක්ෂණ වලින් යුත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස හඳුන්වයි.

බැරණ්ඩි කෝවිල පිළිබඳව විය හැකියැයි සිතිය හැකි බොහෝ දුරට එකම ඓතිහාසික ලේඛනගත සඳහන (ඉංග්‍රිසි වාර්තා වලට පෙර) සැවුල් සන්දේශයේ හෙවත් සැවුල් අස්නේ අන්තර්ගත පැදි කිහිපයකින් විස්තර වන සීතාවක පුරවරය පිළිබඳව වූ වර්ණනාවයි. සීතාවක රාජසිංහ හෙවත් පළමුවන රාජසිංහ අවධියේම ලියවුණු එම විස්තරය වෙත දැන් අපි යොමුවෙමු.

සව් සිරි පිරි එපුර වරඟනගෙ මන නඳ
දෙව් රජ විමන් තන යුගතුරෙහි ගිලි සොඳ
එව් නිල වසා රොද ගඟිනෙතරවැ පැහැද
දෙව් විමනතෙහි රඟ වහසල තුළට වැද

සීතාවක ඔයෙහි එක් පසක සීතාවක යුගයට අයත් රජ මාළිගයේ නටබුන් වර්තමානයේද දැක ගත හැකි අතර අනෙක් පස බැරැණ්ඩි කෝවිල ලෙස ජනවහරේ හැඳින්වෙන මෙම ලිපියේ සාකච්චා වන කෝවිලෙහි නටබුන් දැක ගත හැක (පහත සිතියම බලන්න). සැවුල් සන්දේශ කවියා ඉහත කවියෙන් සීතාවක නගරය වරඟනක ලෙසත්, (උතුම් කාන්තාවක්) එම නගරයේ ඇති රජ මාළිගාව සහ දේවාලය ඇයගේ පයෝදර ලෙසත්, ඒ දෙක මැදින් ගලා බස්නා සීතාවක ඔය ('ගඟ' ලෙසින් කවියේ හැඳින්වෙන කැළණි ගඟේ අතු ගංගාව වර්තමානයේ හැඳින්වෙන්නේ එම නමිනි.) ඇගේ වසාරොද (ලපැත්තේ මැද සිට උකුල තෙක් ඇති රෝම පෙල) ලෙසත් හඳුන්වයි. 
සැවුල් සන්දේශයේ ඉන්පසුව එන පද්‍යයෙන් රජ මැදුරේ සිට ගඟින් එතෙර වූ පසු හමුවන දේවාලය කුමක්දයි යන්න පැවසේ.

වයිරව සිටි අසුර සෙන් ජයගෙනැ නොමද
කයිරව සිය සදිසි යසසින් යුතු පබද
බයිරව කෝවිලට වදිමින් සිතු පැහැද
වයියව සබද නරඹා එහි රැඟුම් පුද
සැවුලාට බයිරව කෝවිලට ඇතුලුව එහි නැටුම් පූජාව බලන ලෙස පවසන බැවින් එම කෝවිල භෛරව දෙවියා උදෙසා පුද පූජා පවත්වන ස්ථානයක් ලෙස සැලකිය හැක.  සැවුල් සන්දේශ කවියා ඉන් අනතුරුව එම දේවාලයේ තිබූ සිතුවම් පිළිබඳව විස්තරයක් ඉදීරිපත් කරයි . ඒ අනුව එහි රාම රාවණා යුද්ධය, මහා භාරත සංග්‍රාමය සහ ස්කන්ධ කුමාරයා කල අසුර යුද්ධ ආදියේ සිතුවම් තිබූ බව පැවසේ. කෙසේ නමුත් අනතුරුව සැවුලාට පිවිසෙන ලෙස පවසන්නේ හරඟන විමන තුලටය. එනම් ඊශ්වරගේ භාර්යාව වූ උමයංගනාව හෙවත් මහේෂ්වරියගේ දෙවොල තුලටය. ඉන්පසු දසපද හෑල්ලක් මගින් උමයංගනාව පිළිබඳව ගුණ වයා ඇයගෙන් අවසර ගන්නා ලෙස සැවුලාට පවසයි.
මේ අනුව මෙම ස්ථානයේ භෛරව කෝවිලක් සහ වරඟන එනම් උමයංගනාවට පුද පූජා පවත්වන දේවාලයක් තිබූ බව සැවුල් සන්දේශයට අනුව පැහැදිලි වේ. කාලි ලෙසින්ද හැඳින්වෙන්නේ උමයංගනාවගේ එක් අවතාරයක් හෙවත් වේශයක් බැවින් වර්තමානයේද මෙරට ඇතැම් ප්‍රදේශ වල දැකිය හැකි ආකාරයේ කාලි කෝවිලක්ද ඒ අනුව මෙහි තිබූ බව අනුමාණ කල හැක. මෙම බයිරව කෝවිල පද පෙරලියක් තුලින් කාලයත් සමග වෙනස් වී වර්තමානයේ ව්‍යවහාර වන බැරණ්ඩි කෝවිල යන්න ප්‍රභවය වූ බව සිතිය හැක. 

සැවුල් සංදේශය
සැවුල් සංදේශය හෙවත් එම කාව්‍යයෙහි දැක්වෙන අයුරින් සැවුල් අස්න අලගිවන් මුකවෙටි විසින් කල බව එහි අවසාන කවියෙහි දැක්වෙන බැවින් සීතාවක යුගයේ සිටි ප්‍රසිද්ධ පඬිවරයෙකු වන අලගියවන්න මුකවෙටි විසින් එය කල බව පෙනේ. එම සැවුල් අස්න රචනා කිරීමෙහි අරමුණ සීතාවක රාජසිංහ රජුට සහ සසුනට සෙත් පතා සීතාවක සිට සැවුලෙකු (කුකුළකු) අතේ සපරගමු පුරවරයෙහි සමන් දේවාලයේ සුමන සුරිඳු වෙත හසුනක් යැවීම වන බැවින් එහි කාලයද සීතාවක රාජසිංහ යුගයම බව පෙනේ (ක්‍රි.ව. 1580 - 1588) 
සීතාවක රාජධානිය ආරම්භ වනුයේ සීතාවක රාජසිංහ රජුගේ පියා වන මායාදුන්නේ රජුගෙන් (ක්‍රි.ව. 1521 - 1580) වන බැවින් මෙම දෙවොලද සීතාවක රාජසිංහ හෝ මායාදුන්නේගේ රාජ්‍ය කාලයේ ඉදිවූවක් බව සිතිය හැක. මහාවංශයට අනුව පසු කලක සීතාවක රාජසිංහ රජු විපරීත අදහස් ඇතිව බුදු සමය අතහැර ශිව ආගම (ඊශ්වර දෙවියා ඇදහීම) වැලදගත්තේය. එහෙත් සැවුල් සන්දේශය මගින් සමන් දිව්‍යරාජයාගෙන් මුනිසස්නද (බුදු සසුන), රාජසිහ නිරිඳු සහ මැති ගණද, ඇත් අස් රිය පාබල සෙනගද, ජනතාවද රකින ලෙස අයදින බැවින් රජු එසේ ශීව ආගම වැලද ගත්තා නම් ඊට පෙර කලක මෙය ලියූ බව සිතිය හැක. කෙසේ නමුත් සීතාවක යුගය දකුණු ඉන්දීය සංස්කෘතික බලපෑම ශීඝ්‍රයෙන් මෙරට තුල පැතිරෙමින් තිබූ අවධියක් බවට වෙනත් සාධකද ඇති බැවින් එම දෙවිවරුන් උදෙසා වූ දෙවොල් ආදිය සීතාවක නගරයේ ඉදිවී තිබූ බව පෙනේ. එම නිසා මෙම අගනා නටබුන් ගොඩනැගිල්ල සැවුල් අස්නේ දැක්වෙන බයිරව කෝවිල හෝ උමයංගනාවගේ දෙවොලේ නශ්ඨාවශේෂ ලෙස හඳුනාගත හැක. බැරැණ්ඩි කෝවිල යන නාමය නම් නිසැකවම බයිරව කෝවිල යන්නෙහි විකෘතියකි.

මූලාශ්‍ර
  • An account of the Island of Ceylon , Robert Percival, 1803.
  • Eleven Years in Ceylon, Major Forbes Vol 1 & 2, 1840
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • Archaeological Survey of Ceylon, Report on The Kegalla District of the Province of Sabaragamuwa,  H.C.P. Bell, 1904
  • සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතියේ ද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් (ක්‍රි.ව. 1521 සිට ක්‍රි.ව. 1593 දක්වා ) මහාචාර්ය රිසිමන් අමරසිංහ, 1998
  • සැවුල් සන්දේශය


Thursday, October 12, 2017

මලය රට ෆෙඩරල්ද?

ඊනියා යහපාලනයක් සෙවූ අමන රැලකගේ ඔළමොට්ටල කමට පින්සිදුවන්නට ජඩපාලනය විසින් රට බෙදන ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල එළියට දමා ඇත. ඒ අනුව ලෝකයේ අන්තර්ජාතිකව පිළිනොගන්නා ඉංග්‍රිසි භාෂාවේ නොමැති වචන වන සිංහල 'ඒකිය' සහ දෙමළ 'ඔරුමිත්ත නාඩු' (සන්ධිය යන තේරුම ඇති) යන වචන ඉංග්‍රිසි පිටපතේ මෙතෙක් තිබූ 'Unitary State' යන්න වෙනුවට යොදා ගනිමින් අනාගත රටවල් දෙකකට මූලික නීතිමය අඩිතාලම දමා ඇත (Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu). ජනවාර්ගික වශයෙන් ජනතාව බෙදමින් ඉන්දියානු දෙමළ, ශ්‍රි ලංකා දෙමළ සහ මුස්ලිම් උප ජනාධිපතිවරු තිදෙනෙක් ඇතිකිරීම, උතුර සහ නැගෙනහිර නැවත එක් කිරීම, පාර්ලිමේන්තුවේ ජනවාර්ගික අනුපාතය අනුව සමන්විත වන දෙවන මන්ත්‍රි මණ්ඩලයක්, ඔලුවිල් වලට වෙනම මුස්ලිම් කලාපයක්, ප්‍රාන්ත වලට උපරිම ලෙස බලය බෙදීම, සිංහල සහ දෙමළ ජාතික ගී දෙකක් ආදි නොයෙකුත් හානිකර වගන්ති වලින්ද එය සමන්විතය. කුමන අයුරින් හෝ ජනවාර්ගික වශයෙන්  රටේ කොටස් බෙදා ඒවාට ක්‍රමයෙන් විවිධ බලතල එක් කිරීම යනු අනාගත වෙනම රාජ්‍යන් සඳහා මග එලි පෙහෙලි කර දීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ව්‍යවස්ථා කෙටුම්පතේ හානිකර කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා Link>>

මෙවන් තත්වයක් යටතේ පැරණි ලක්දිව පාලන ඒකක බෙදී තිබූ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පෙනේ. මක් නිසාද යත් ඉංග්‍රිසින් මෙරට පාලනය ලබාගන්නා තෙක්ම 'ජන වාර්ගික වශයෙන්' බෙදී තිබූ ප්‍රදේශිය පාලන ප්‍රදේශ මෙරට නොතිබූ බව ඉන් පෙන්වා දිය හැකි බැවිනි. උතුරේ ආර්ය චක්‍රවර්ති පාලනය යටතේ මෙන්ම වන්නියාර් වරු යටතේ වන්නි බල ප්‍රදේශ වලද සිටියේ මේ රටේ භූමිපුත්‍රයන් වන සිංහලයන්ය (සිංහල යනු ජනවර්ගයක් නොව ජාතියකි). දෙමළ, මුස්ලිම් ආදී විවිධ සංක්‍රමණික මෙන්ම ස්ථිරව වාසස්ථාන ඇතිකරගත් ජන වර්ග උතුරේ මෙන්ම රටේ අනෙක් ප්‍රදේශ වලද සිටි අතර ඔවුන් ක්‍රමයෙන් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝෂණය වූහ. (එසේ නොවූ අවස්ථාද නැතිවා නොවේ.)  මෙ සියලු කරුණු ඉදිරියට විස්තාරාත්මකව සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙමි. පෙර ඉදිරිපත් කල පහත දැක්වෙන ලිපි වලද ඒ පිළිබඳව ඇතැම් කරුණු ඉදිරිපත් කර ඇත. Link>>
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව අප පෙර ලිපියකින්ද විස්තර සාකාච්චා කලෙමු. කියවන්න >>  මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

මලය රටේ ඉතිහාසය (දුටුගැමුණුගේ සිට මහසෙන් දක්වා)

දමිළයන් සහ යුද වැදීමට ගඟෙන් එතෙර යාමට අවසර නොදුන් බැවින් සිය පියා වූ කාකවණ්ණතිස්ස රජු සමග අරගල කල ගාමණී කුමාරයා  මාගමින් නික්ම මලය රටට පලා ගිය බවත්, පියා කෙරෙහි දුෂ්ඨ වූ බැවින් මහජනයා ඔහු දුෂ්ඨගාමණී නමින් හැඳින්වූ වගත් මහාවංශයේ විස්තර වේ. කාකවණ්ණගේ මරණින් පසු රජකම ලැබූ එම දුෂ්ඨගාමණී රජු (ක්‍රි.පූ. 161 - 137), එළාර සමග සටනට යාම සඳහා මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කරවූ බව එහිම සඳහන් වේ.

ඉළනාග රජු (ක්‍රි.ව. 33 - 43) කල රජුට එරෙහිව කැරලි ගැසූ ලම්බකර්ණ වංශිකයන් රජු අල්ලා රජගෙයිම සිර කොට තැබූ කල, රජුගේ මගුලැතු සිරගෙය කඩා රජු ඉන් මුදවාගෙන ඔහුව සිය පිටමත හිඳුවාගෙන මහාතිත්ථයට (අද මන්නරාම අසල ඇති මාන්තායි) ගෙන ගොස් නැවක නැංවූ බවත්, ඉන්පසු ඇතු බටහිර වෙරළ ඔස්සේ මලය රටට ගිය බවත් මහාවංශය පවසයි. එම පුවතේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වුවත් බටහිර වෙරළ ඔස්සේද මලය රටට යා හැකිව තිබූ බව එමගින් අපට පැහැදිලි වේ.

නැවත වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව. 209 -231) කල ඔහුගේ බාල සොහොයුරු අභයනාග බොහෝ දමිළයන් රැගෙන පරතෙර සිට පැමිණ රජු හා යුද වැදීමට නගරය සමීපයට පැමිණි කල රජු දේවිය සමග අසෙකු පිට නැගී මලයරටට පලා ගියහ. ඔහු ලුහුබඳින අභයනාග , මලයරටේදී රජු මරා දේවියද ගෙන නගරයට පැමිණ රාජ්‍යය ලබාගත් බව පැවසේ.

 එසේම මහසෙන් රජු (ක්‍රි.ව. 274 - 301) කල මහාවිහාරවාසී භික්ෂුන්ට රජුගෙන් උවදුරු පැමිණි කල්හී එම භික්ෂූන් මහාවිහාරය හැරදමා මලයට සහ රුහුණට ගිය බව පැවසේ. රජුගේ මෙම ක්‍රියාදාමය කෙරේ කිපුණු මේඝවණ්ණාභය ඇමැති මලයරටට ගොස් මහත් සේනා ගෙන රජු හා සටනට දූරතිස්ස වැව අසල කඳවුරු බැඳගත් නමුත්, රාත්‍රියේදී මිහිරි පානයක් සහ මස් මලය රටින් ලැබ ඒවාද රැගෙන ඔහු හා සටන් වැදීමට කඳවුරු බැඳ සිටි රජු හමුවීමට තනිවම ගොස්, රජු සමග එම මස් හා පානය වළදා, සටන් අතහැර සාකච්චා මාර්ගයෙන් ගැටලුව විසදා ගත් බවත් වංශ කතාව අපට පවසයි.
දුම්බර කඳුකරය
මලය රට සහ මලය ග්‍රාමය
දුෂ්ඨගාමණි රජුගේ මරණ මංචකයේදී ඔහු කල කුසල් සටහන් කර තැබූ 'පින්පොත' කියවන අවස්ථාවේදී 'අක්ඛක්ඛලි' නම් වු දුර්භික්ෂයේදී රුහුණු ජනපදයෙහි මලය ග්‍රාමයෙහිදී රජු සිය කුණ්ඩලාභරණ දෙක දී තණහාල් නැළියක් ගෙන, ඇඹුල්කැඳ පිස, සිය කුසගින්න අතහැර එම ඇඹුල්කැඳ රහතන්වහන්සේලා පස්නමකට දුන් බව සඳහන් වේ. ඒ අනුව මලය නමින් වූ 'ග්‍රාමයක්' රුහුණෙහි වූ බව පෙනේ. එළාර සමඟ යුද වැදීමට නික්මෙන ගාමණි කුමරු මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව ඉහත උපුටා දැක්වූ මහාවංශ සඳහන එම මලය ග්‍රාමය සම්බන්ධයෙන් වූවා විය නොහැකිද? ඒ අනුව මලය ග්‍රාමය පැහැදිලිවම රුහුණු රටට අයත් බව වංශ කතාව පවසන බැවින් මලය රට හා එහි සම්බන්ධයක් නොමැති බව පෙනේ. පැරණි මාගම රාජධානිය රුහුණෙහි නොව මලය රටේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ වූ බවට වූ මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට මෙම සඳහනද (මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව) උපයෝගි කරගන්නා බැවින් ඒ පිළිබඳව යලි සලකා බැලිය යුතු බව අපට හැඟේ. කෙසේ නමුත් රුහුණු ජනපදයෙහි පිහිටි මලය ග්‍රාමයේදී මෙම සිදුවීම වූ බවට වූ මහාවංශ ගාථාව හමුවන්නේ එහි මොග්ගල්ලාන සංස්කරණයේ පමණි මහානාම හිමියන් කල සංස්කරණයේදී එය සිදු වූ බව පැවසෙන්නේ කොට්ට නම් වූ පව්වෙහිය (එය රුහුණු ජනපදයෙහි වූ බව වංසත්ථප්පකාසිනිය පැහැදිලි කරයි.)
කඳුකර ගංගාවක් - කුරු ගඟ (ශ්‍රීපාද අඩවිය)
මලය රටේ ඉතිහාසය (මහසෙන් සිට 1 පරාක්‍රමබාහු දක්වා)
දෙවන උපතිස්ස (ක්‍රි.ව. 517 - 518) රජු රාජ්‍ය විචාරන අවධියේ සිළාකාළ නම් වූ ලම්බකර්ණ වංශිකයෙක් දකුණු මලය රටට ගොස් මහත් බළසෙන් රැස් කොට නගරය ගැනීමට ආ කල, කස්සප නම් වූ රජුගේ පුත්‍රයෙකු ඔහු හා සටන් වැද මුලදී ඔහුව පැරදූ මුත් හෙතෙම උපායෙන් නැගෙනහිර සහ බටහිර පෙදෙස් අත්පත් කර ගෙන නැවත පැමිණ සත් දිනක් නගරය අවහිර කරයි. එම අවස්ථාවේ ඔහු හා යුද නොවැදී කස්සප මහළු වූ සිය පිය රජු හා පිරිවර සමග රාත්‍රියේ මලයට යෑමට නික්මුණ මුත් ඔවුන් මග නොදැන අතරමං වේ (මලය රටට යාමට තිබූ මාර්ගය රජුට සහ පිරිවරට පවා සොයාගත නොහැකි වූ බව කීමෙන් හැඟෙන්නේ එය නිතර භාවිතා වූ ජනාකිර්න මාවතක් නොව කුඩා අඩි පාරක් වැන්නක් බවය. පෙර ලිපියේ ගෙනහැර දැක්වූ මහාවංශ පාඨයද කියවන්න.Link >>). මෙහිදි සිළාකාල පැමිණ ඔවුන් හා දරුණු යුද කර රාජ්‍යය අත්පත් කරගනී. ඉක්බිති එම සිළාකාල රජු (ක්‍රි.ව. 518 - 531) සිය පුතුන් තිදෙනාගෙන් මධ්‍යම පුත්‍රයා (දාඨාපභුති) හට මලයරජ තනතුරද, දක්ෂිණ දේශයද  දී මුහුද රැකීම සඳහා ඔහු යෙදවීය.
කඳුකර වන මංපෙතක් - දුම්බර කඳුකරය

පළමුවන අග්ගබෝධි (ක්‍රි.ව. 571 - 604) රජු සිය බෑනා හට තම දියණිය විවාහ කරදී ඔහුව මලයරජ තනතුරේ පිහිටුවීය.

අසිග්ගාහක සංඝතිස්ස රජු (ක්‍රි.ව. 614) රජවූ කල ඔහු හා යුද වැදුන මොග්ගලාන නම් වූ රුහුණේ සිට පැමිණි සෙන්පතියා ඔහු පරදා බලය ලබාගත් බැවින් රජු මේරුමජ්ජර වනයට පලා ගිය බවත්, රජුගේ එක් පුත්‍රයකු වූ ජෙට්ඨතිස්ස මලය දේශයේ මේරුකන්දර නම් වූ ස්ථානයට ගිය බවත් මහාවංශයේ දෙවන කොටසින් විස්තර වේ. ඉන්පසු රජු, පුතු (ජෙට්ඨතිස්ස නොවේ) සහ ඔවුනට හිතවත් ඇමතියෙකු වේළුවන විහාරයට ගොස් භික්ෂු වෙස් ගෙන රුහුණට යන අදහසින් මණිහීරයට (මින්නේරිය) පැමිණි මුත් එහිදී ඔවුන් හඳුනාගන්නා රාජපුරුෂයන් රජ අණ පරිදි ඔවුන්ව සීගිරියට ගෙන ගොස් හිස ගසා මරා දමනු ලබයි. සංඝතිස්ස රජු මොග්ගල්ලාන සමග සටන් වැදීමට යාමේදී ඔහු හා එක් නොවී ගිලන් වූවෙකු ලෙස හඟවා නගරයේ නැවතී පසුව පිටුපස සිට රජුට පහරදී මොග්ගල්ලනට සහය දුන් රජුගේ සෙන්පතියාට මොග්ගල්ලාන (ක්‍රි.ව. 614 - 619) රජවූ පසු මලය රජකම දුන් බව වංශ කතාව පවසයි.

කෙසේ නමුත් කිසියම් හේතුවක් නිසා පසු කලක එම මලයරජ හා කිපුණු මොග්ගල්ලාන රජු ඔහු උපායකින් ගෙන්වාගෙන අත්පා සින්ඳවයි. මලය රජකම ලැබූ සෙන්පතියාගේ පුතුට මොග්ගල්ලාන රජු අසිග්ගාහක තනතුර ලබා දී තිබුණි. සිය පියාගේ අත් පා සින්දවූ බව දැනගත් ඔහු සිය පුතුද සමගින් රුහුණට පලාගොස් එහි සිට ජනපද රට අල්ලා ගනිමින්, මලය රටෙහි සැඟවි සිටි ජෙට්ඨතිස්ස හමුවී ඔහු සමග එක්ව දෝළ්හ පබ්බතයේ කඳවුරු බැඳ මොග්ගල්ලාන රජුට එරෙහිව යුද වදී. එහෙත් පසුව ඔහු හා යුද වැදීම සඳහා පැමිණි රජුගේ මිනිසුන් උණ රෝගයකින්  මියයෑම නිසා සටන් කල නොහැකිව පලා යන රජුව සීගිරිය අසලදි අල්ලගෙන මරා දමයි. පසුව අසිග්ගාහක ඔවුන් සමග නොගිය ජෙට්ඨතිස්සද මරාදැමීම සඳහා 'පැමිණ රජවන' ලෙස පවසා ඔහුට හසුනක් යැවූ මුත් ඔහුගේ උපාය වටහා ගත් හෙතෙම නැවතත් මලය දේශයට පලායයි. අසිග්ගාහක සිලාමේඝවණ්ණ (ක්‍රි.ව. 619 - 698) නමින් අනුරාධපුරයට ගොස් රජවි ලක්දිව අණසක පතුරවයි.

මලය රටේ සැඟවී සිටි ජෙට්ඨතිස්ස නැවත මතුවන්නේ සිළාමේඝවණ්ණ රජුගේ පුත් වූ තුන්වන අග්ගබෝධී රජුගේ (ක්‍රි.ව. 628) රාජ්‍ය කාලයේය. ඔහු  මලය රටේ සිට අරිට්ඨ (රිටිගල) පර්වතයට පැමිණ ජනයා රැස් කර අග්ගබෝධි රජ දඹදිවට පලවාහැර රාජ්‍ය ලබාගනී.

සිරිසංඝබෝධි නමින් රජවූ සිව්වන අග්ගබෝධි රජුගේ (ක්‍රි.ව. 667 - 683) රාජ්‍ය කාලයේ 'මහත් දනවත් වූ මලය රජු', මණ්ඩලගිරි විහාරයේ ස්ථූපයට වටිනා දා ගෙයක් කරවූ බවත් ලෝහප්‍රාසාදයේ (ලෝවාමහපායේ) මැද කුළුගෙයි පියස්සද කරවූ බවත් පැවසේ. (මේ අනුව මලය රජු සිය බල ප්‍රදේශයෙන් පිටත රජරට ප්‍රදේශයේ පවා වෙහෙර විහාර ඉදි කල බව පෙනේ.)

පළමුවන මහින්ද රජුගෙන් (ක්‍රි.ව. 730 - 733) පසු අග්ගබෝධී නමින් වූ ඔහුගේ පුතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සිලාමේඝ නමින් රජවී (ක්‍රි.ව. 733 - 772) අනෙක් අග්ගබෝධි කුමරුවා යුව රජ තනතුරේ තැබූහ. කලකදි වෙනත් අයගේ කේලම් බස් අසා ඔවුනොවුන් කෙරෙහි සැක ඉපදී ඔවුන් අතර යුද ගැටුම් පැණ නැගුන අතර යුව රජ තනතුර දැරූ අග්ගබෝධි කුමරුවා සටනින් පැරදී මලය දේශයට පැනගිය මුත්, පසුව රජු තනිවම මලය දේශයට ගොස් නැවතත් සිය සොහොයුරා නුවරට රැගෙන එයි.

තුන්වන සේන (ක්‍රි.ව. 938 - 946) රජුගේ රාජ්‍ය කාලයේ අග්ගබෝධි නම් වූ ඇමතිවරයෙක් මලය රජ තනතුර දැරූ බවත් සේන රජු එම මලය රජු විසින් කරවන ලද නාගසාලා පිරිවෙණ දැක එයට ගමක් දුන් බවත් පැවසේ.

අනුරාධපුර රාජධානිය චෝළ ආධිපත්‍යට නතුව තිබූ අවධියේ මලය පර්වත ප්‍රාන්තයේ බුද්ධරාජ නම් වූ මහා බල ඇති වීරයෙක් වූ බව වංශ කතාව පවසයි. ඔහු කිර්ති කුමාරයා හා එක්වේ (පසු කලක චෝළ බලමුළු පරදවා 1 විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) නමින් වූයේ එම කීර්ති කුමාරයාය). වංශ කතාව අනුව සොළීන් හා සටන් වැදීමට පොරොතුව මූලසාල ගමෙහි සිටි කිර්ති කුමරා ඉන් නික්ම සරීවග්ගපිට්ඨි ගමට ගොස් විරුද්ධවාදීන් සිටි බෝධිවාල නම් ගම ජයගෙන, එහි සිට චුණ්ණසාල ජනපදයට ගොස් එහි වසමින්, ලෝකෙශ්වර නම් වූ සෙන්පතිවරයා හා සටන් වැද සියළු මලය මණ්ඩලය ඔහු යටතට ගනී.

එම විජයබාහු රජුගේ රාජ්‍ය කාලයේ රජුට විරුද්ධ වී දඹදිවට පලාගිය සහෝදරයන් තිදෙනෙකු රජුගේ 19 වන රාජ්‍ය වර්ෂයේදී නැවත ලක්දිව පැමිණ රුහුණු රටද, මලය මණ්ඩලයද, සියළු දක්ඛිණ පස්සයද පෙරලාදැමූ බව මහාවංශයේ එන සඳහන අනුව පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ මුල් කාලයේදීද දක්ඛිණ පස්ස සහ මලය මණ්ඩලය ලෙස කලාප දෙකක් රුහුණු සහ පිහිටි රටට අමතරව වූ බවය.
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව ඉහත විස්තර කල ප්‍රධාන වශයෙන්ම මහාවංශයේ ඇතුලත් කරුණු අනුව පෙනී යන්නේ එහි පාලනය හැම විටම පාහේ අනුරාධපුරයේ සිටි මහ රජතුමා තමුනට අවනත පුද්ගලයෙකු යටතේ පවත්වාගෙන ගිය බවය. එසේම මලය රජු ලෙසින් හැඳින්වූ එහි පාලකයා ඇතැම් කාල වලදී රජරටට අයත් ප්‍රදේශ වලද ඇතැම් ආගමික ඉදිකිරිම් කර ඇති බැවින් (එසේම ඇතැම් අවස්තා වලදී මලය රජු ඉදි කල ආගමික ඉදිකිරීම් වලට අවශ්‍ය ගම් ප්‍රධානය කර ඇත්තේ රජරට සිටි මහ රජතුමායඅපට පෙනී යන්නේ ඔහු රජ පවුලටම සම්බන්ධ හෝ මහ රජුට විශ්වාසී මලය රට යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයේ පාලන කටයුතු මෙහෙයවූ සහ රජු වෙනුවෙන් එහි ආදායම් එකතු කල නායකයෙකු විනා එම මලය ප්‍රදේශය පමණක් භුක්ති විදීම සඳහා පත් කල 'ෆෙඩරල්' කලාපයක නායකයෙකු නොවන බවය. තවත් වැදගත් කරුණක් වන්නේ වනදුර්ග, ගිරි දුර්ග ජලදුර්ග ආදියෙන් සමන්විත මලය රට, කෙන්ද්‍රිය රජරට පාලකයාට එරෙහිව කැරලි ගැසූ ඇතැම් ජන නායකයින්ට ආරක්ෂාව සඳහා සැඟවී සිටීමට කදිම ක්ෂේම භූමියක් වූ බවය (එමෙන්ම ඇතැම් අවස්ථා වලදී බලය හෙබවූ රජුද කැරලිකරුවන්ගෙන් බේරි පලායාමට මලය මණ්ඩලය තෝරාගෙන ඇත.). තවද බොහෝ අවස්ථා වලදි රජරට පාලනය විදේශීය සොළි ආදී ආක්‍රමණිකයන්ට නතු වූ විට ආක්‍රමණිකයන්ගෙන් බේරී  දිවි රැකගත් රාජකීයන්ට රුහුණ මෙන්ම මලය රටද සැඟවී සිටීමට මෙන්ම නැවත සේනා සංවිධානය කරමින් ආක්‍රමණිකයා පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය රැකවරනය සහ සම්පත්ද සැපයීහ.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994

Sunday, September 10, 2017

මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

මලය යනුවෙන් ප්‍රදේශයක් වංශ කතාවේ මුල් වරට සඳහන් වනුයේ ලංකා ඉතිහාසයේ මුල්ම රජු ලෙස මහාවංශය හඳුන්වන විජය රජුගේ සමයේදීය. විජය රජුට දාව කුවේනි බිසවට උපන් දරු දෙදෙනා එම බිසවද සමගින් විජය රජු විසින් නෙරපූ කල්හී ඔවුන් ලංකාපුර නගරයට යන මුත් එහිදී එහි සිටි පුද්ගලයකු කුවේනිය මරා දැමූ බැවින් දරු දෙදෙනා සුමනකූටයට පලා යයි. ඉන්පසු රජුගේ අවසරය සහිතව ඔවුන් එම මලය පෙදෙසෙහි විසූ බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

සුමනකූටය
බුදුන්වහන්සේගේ පළමුවන ලංකාගමනයේදී සුමනකූඨ පර්වත වාසී මහාසුමන දෙවියන් සර්වඥයන් වහනසේගේ කේශ ධාතු තැන්පත් කර මහියංගනයේ ථූපයක් කල බව මහාවංශයේ සඳහන් වේ. එසේම උන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදී සුමනකූඨය මතුයෙහි පා සටහන පිහිටවූ බවද පැවසේ. දුටුගැමුණු රජු සමයේ සුමනකූඨ පර්වතයේ භික්ෂූන් 900 වැඩහුන් බවත් දුටුගැමුණු රජතුමන් මලයමහාදේව තෙරණුවන්ට පිදූ ඇඹුල් සහිත තණ බත් දානය ඒ හිමියන් එම 900 භික්ෂූන් සමග වැලදූ බවත් වංශ කතාවේ පැවසේ.

පළමුවන විජයබාහු රජතුමන් සමන්තකූඨ පර්වතයේ පිහිටි මුනි රජුගේ පා සටහන වඳනා පිණිස යන මිනිසුන්ගේ දන් වැටුප් පිණිස හැල් කෙත් ආදියෙන් සමෘධ වූ ගිලීමලය යන ගම දුන් බවද, කදලිගම හරහා යන මාවතේ සහ හූව රටේ සිට එන මගේ ගිමන් හල් සාදා ඒවායේ නඩත්තුව උදෙසා ගම් දී, ඒ ගම් අනාගත කාලයේ එන රජවරුන් නොගණිත්වයි අකුරු කොටලා ටැම් පිහිටවූ බවද  මහාවංශයේ සඳහන් වේ.
ගිලීමලේට ශ්‍රිපාද කඳුවැටිය දිස්වන ආකාරය
කීර්ති නිශ්ශංක නම් රජු (නිශ්ශංකමල්ල) සිව්රඟ සෙනග සමග සමන්තකූඨ පර්වතයට ගොස් එය වැඳ පුදාගත් බව මහාවංශයේ සඳහන්ය. එමෙන්ම එතුමා විසින් පිහිටවූ සෙල්ලිපි කීපයකම ඔහු සමනොළ නැගි බව සඳහන්ය. >> Link  නැවත දඹදෙනි යුගයේදී දෙවන පරාක්‍රමබාහු රජතුමන්ද චතුරංග බලසේනා ඇතිව සමන්තකූඨ නැග ශාස්තෘන් වහන්සේගේ පද ලකුණු වැඳ ඒ ගිර හාත් පස දස ගව් පමණ තැන් වූ දනව්ව එම ශ්‍රි පාදයට පිදූ බවද මහාවංශයේ විස්තර වේ.

මේ ආදී වශයෙන් සමන්තකූඨ, සුමනකූඨ, සමනොළ ආදි විවිධ නම් වලින් හැඳින්වෙන මලය රටේ වූ ස්ථානය කිසිදු සැකයක් නොමැතිව වර්තමානයේ අප ශ්‍රී පාදය ලෙස හඳුන්වන බුදුන් වහන්සේගේ පා සලකුණ පිහිටියේයැයි වන්දනාමාන ලබන කඳු මුදුන ලෙස හඳුනාගත හැක.
කෙහෙල්ගමු ඔය නිම්නය
ඉහත ගිලීමලය ලෙස හැඳින්වෙන ප්‍රදේශය නොවෙනස්ව අද දක්වාද එම නමින්ම හඳුනාගත හැක. කදලිගම වර්තමාන කෙහෙල්ගමුව ලෙස හඳුනාගෙන ඇත. වංශ කතාවේ එන සඳහන තහවුරු කරමින් අඹගමුවෙන් සහ ගිලීමලෙන් හමුවී ඇති පළමුවන විජයබාහු රජු පිහිටවූ සෙල්ලි වල එතුමන් විසින් සමනොළ දක්වා එන රජරට මාර්ගයේ අවසන් ගව් පහ තුල ගව්වෙන් ගව්වට දානශාලා පිහිටුවා වන්දනාකරුවන්ට දන් දුන් බව සඳහන් වේ. මෙයින් අඹගමුව සෙල්ලිපිය කියවිය හැකි මුත් වචන කිහිපයක් හැර ගිලීමලය සෙල්ලිපිය කියවිය නොහැකි තරමට ගෙවී ගොස් ඇත (කෙසේ නමුත් එය අඩු වැඩි වශයෙන් අඹගමුව සෙල් ලිපියේම පිටපතක් බව හඳුනාගෙන ඇත.) අඹගමුව සෙල් ලිපියේ නොමැති ගිලීමලය, අගැවික වැව සහ වෙනත් වචන කිහිපයක් එහි හමුවේ.
පැරණි විල්බා ප්‍රදේශයේ ගම්
අඹගමුව සෙල් ලිපිය සහ ශ්‍රී පාදයට පිදු ගම්
පළමුවන විජයබාහු රජතුමා ශ්‍රීපාදයට විල්බායේ කෙලගමුව, තිනියගල්, සොරගොඩ, බදුලු වනය, ලියවළ, උඩුහෝ යන ගම් සහ කළඟවෙල පිහිටි මකුළුමුල්, අඹගමුව,වැලිගම්පොළ, උලපනා යන ගම් පිදූ බව අඹගමුව සෙල් ලිපියේ සඳහන් වේ. එම ස්ථාන කිහිපයක්ම වර්තමානයේ හඳුනා ගත හැක.

විල්බා යනු ගිණිගත්හේන ප්‍රදේශයෙන් දකුණු සහ ගිණිකොන දෙසට වන්නට පිහිටි වර්තමාන අඹගමුව කෝරළය බවත් කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.), තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් නිකොලස් හඳුනාගනී. කළඟවෙල ප්‍රදේශය යනු වර්තමාන උලපනේ, නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය බවත් එහි පිහිටි ලෙස ඉහත සඳහන් වූ වැලිගම්පොළ, අඹගමුව යන ගම් අදද ඒ ආකාරයෙන්ම හමුවන අතර, උලපනා යන්න උලපනේ ලෙස වෙනස් වි ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

වංශ කතාවේ එසේ සඳහන් නොවුනත් සමනල කන්ද අවට පිහිටි මේ සියළු ප්‍රදේශ සමනල කන්ද අයත් වූ පුරාණ මලය රටට අයත් ව තිබූ බව පැහැදිලිය.
පැරණි කළඟවෙල  ප්‍රදේශයේ ගම්
පොළොන්නරු යුගයේ මලය රට
දෙවෙනි ගජබාහු රජුට අයත් රජරට රාජධානියට පහරදීම අරඹන පරාක්‍රමබාහු සිය සටන අරඹන්නේ මහාමලය දේශය අයත් කරගනිමිනි. මහාමලය දේශය පිළිබඳව කදිම විස්තරයක් ඒ හා සම්බන්ධව මහාවංශයේ එයි. "නොයෙක් පර්වත දුර්ග ඇති බැවින්ද, චණ්ඩ සත්ව භයින්ද, දුකසේ බැස්ස යුතු වූ අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයෙන් යායුතු වූ අතිශයින් බියකරු වූ මිනිසුන් භක්ෂණය කරන්නා වූ කිඹුලුන් ඇති ගැඹුරු ජලයෙන් ගැවසුනා වූ ..." ආදී ලෙසින් මහාවංශය මහාමලය දේශය හඳුන්වා දෙයි.

පරාක්‍රමබාහු කුමරා මහාමලයදේශයට අයත් යත්ථිකන්ද සහ දුම්බර ප්‍රදේශ අයත් කරගන්නේ එම පළාත් භාර ගජබාහුගේ දණ්ඩනායක රක්ඛ සෙනෙවියා ඔහු කෙරේ නම්මා ගැනීමෙනි. ඒ මගින් දුම්බර ප්‍රදේශය පහසුවෙන් යටත් කරගත් නමුත් යත්ථිකන්ද ප්‍රදේශය ගැනීම සඳහා රක්ඛ සෙනෙවියාට ගජබාහුගේ සේනා සමග පිළිවෙලින් තාලකෙත්ත, නාගපබ්බත, සුවණ්නදෝනි, රාමුච්චුවල්ලික, දෙමත්ථපාදත්තලි ආදි ගම් වලදි සටන් කිරීමට සිදුවිය. ඉන්පසු පරාක්‍රමබාහුගේ සේනා සයකෙත්ථක,රට්ඨබෙදුම සහ ධනුවිල්ලික යන ස්ථාන වල කරන සටන් වලින් අනතුරුව නිලගල්ලක ප්‍රදේශය යටත් කරගනිමින් ඉදිරියට යයි. ඉක්බිති  ධනුමණ්ඩල සහ නිස්සේනික්කෙත්තක යන ප්‍රදේශ යටත් කරගනිමින් රක්ඛ සෙනෙවියා මජ්ජිමවග්ග ප්‍රදේශය ගැනීම සඳහා සටන් මෙහෙයවයි. එහිදී නිලගිර පාදක කරගනිමින් සටන් මෙහෙයවන හෙතම වාපිවාටක ප්‍රදේශය සහ මජ්ජිමවග්ග ප්‍රදේශ අල්ලා ගනී. ඉන්පසු රේරුපල්ලික ප්‍රදේශයද අත් පත් කරගනිමින් ඔවුන් පිවිසෙන්නේ කොසවග්ග ප්‍රදේශය යටත් කරගැනීමටය. ඒ සඳහා වූ සටන් වලදි සිසචින්නාකබෝධි යන ස්ථානයේ සටන් ඇවිලේ.එම ප්‍රදේශය අල්ලා ගැනීමත් සමගින් මලයදේශය පරාක්‍රමබාහුගේ අණසක යටතට  පත්වූ බව වංශ කතාව පවසයි.
හුන්නස්ගිරියට උතුරින් පිහිටි කොර්බට් ගැප් ස්ථානයට දිස්වන දුම්බර කඳු වැටිය
දුම්බර රට
ත්‍රීසිංහලයේ කඩඉම්පොතට අනුව මැදමහනුවර කන්දය, දියතලානුවර කන්දය, හුන්නස්ගිරි කන්දය යන කඳු තුන දුම්බර මායිම් වේ. වර්තමානයේද එම නම් ම භාවිතා වන මෙම කඳු මුදුන් තුන සීමා කරගනිමින් සහ එම මුදුන් පිහිටන කඳු පන්ති වලින් වටවූ මහවැලි ද්‍රෝණියේ සාපෙක්ෂව තැනිතලා ප්‍රදේශය පහත සිතියමේ දක්වා ඇති ආකාරයට හඳුනාගත හැක. පොළොන්නරු යුගයේද දුම්බර රට අඩු වැඩි වශයෙන් මෙම සීමාව තුල පිහිටි ජනාවාස වලින් සමන්විත වන්නට ඇත. අද වන විට එම ප්‍රදේශයෙන් අඩක පමණ ප්‍රමාණයක් නැතහොත් මුළු තැනිතලා ප්‍රදේශයම පාහේ වික්ටෝරියා ජලාශයට යටවී ඇත.
කෙසේ නමුත් ඉහත සඳහන් දුම්බර රට  සහ යත්ථිකන්ද තුල තිබූ ස්ථාන කිහිපයක් වර්තමානයේද හඳුනාගත හැකිය. රාමුච්චුවල්ලික යනු තෙල්දෙණිය අසල පිහිටි රඹුක්වැල්ල ලෙසත් (රඹුක්වැල්ල නම් වූ ගමක් තෙල්දෙනියට නැගෙනහිර දෙසින්ද හමුවේ.), ධනුවිල්ලික යනු දුනුවිල ලෙසත් (හුනස්ගිරි කන්දට උතුරින්ද වෙනත් දුනුවිල නම් වූ ගමක් හමුවේ.) කොඩ්රිංටන් මහතා හඳුනාගෙන ඇත (සිතියම 2 බලන්න). සුවණ්නදෝනි යනු රන්දෙනිය විය හැකි මුත් වර්තමානයේ රන්දෙනිය නම් පෙදෙසක් මේ ප්‍රදේශයේ හමු නොවේ. නිල්ගල යන නම සහිත පෙදෙසක් තෙල්දෙනියට උතුරින් හමුවේ. නිලගිරි සහ/හෝ නිලගල්ලක යනු බොහෝවිට මෙම නිල්ගල විය හැක. පාතදුම්බරට අයත් උඩුගම්පහ කෝරලේ පිහිටි නාපාන, නාගපබ්බත බව කොඩ්රිංටන් මහතා හඳුනාගනී. එම නම අද එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාශයකට සීමා වී ඇත. මජ්ජිමවග්ගක යනු මැදිවක බවය කොඩ්රිංටන් මහතාගේ හඳුනාගැනීම (සිතියම 2). ක්‍රමයෙන් පරාක්‍රමබාහුගේ ආක්‍රමණ රජරට දෙසට යොමුවූ බව පෙනෙන බැවින් වාපිවාටක, රේරුපල්ලික සහ කොස්සවග්ග යන ප්‍රදේශ දුම්බරට උතුරින් මාතලේ ප්‍රදේශය දක්වා යොමු වූ නිම්න භූමියේ තිබූ ප්‍රදේශ ලෙසට අනුමාණ කල හැක.

මේ අනුව යත්ථිකන්ද වර්තමාන උඩු දුම්බර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ දකුණු ප්‍රදේශය ලෙසත්, දුම්බර රට වර්තමාන පාත දුම්බර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසය ලෙසත්, නිලගල්ලක උඩු දුම්බර උතුරු ප්‍රදේශය ලෙසත්, උඩු දුම්බරට අයත් ගම්පහ කොරලේ පිහිටි මැදිවක අවට ප්‍රදේශය මජ්ජිමවග්ග ලෙසත් පරණවිතාන සහ නිකොලස් මහතුන් හඳුනාගනී.

සමාලෝචනය
මහාවංශයේ පරාක්‍රමබාහුගේ මලය රට අල්ලා ගැනීමේ සංග්‍රාමය පිළිබඳ වූ ඉහත විස්තරය ආරම්භයේදී 'මහාමලයදේශය' ලෙස එම ප්‍රදේශය හැඳින්වූවත් පසුව මුළු 'මලය දේශයම' අල්ලාගත් බව විනා මහාමලයදේශය අල්ලා ගත් බවක් නොකියවේ. මේ අනුව මහාමලය දේශය හා මලය දේශය එකම ප්‍රදේශයක් විනා ප්‍රදේශ දෙකක් නොවන බව පෙනේ. කෙසේ නමුත් පරාක්‍රමබාහුගේ සටන් පැවති ප්‍රදේශය මුලු මලය දේශයම නොව මලය දේශයේ ගජබාහු රජු යටතේ වූ කොටස පමණක් බව පෙනේ. දක්ෂිණ දේශයේ පාලකයා ලෙස පරාක්‍රමබාහු යටතේද එහි බටහිරට වන්නට වූ දක්ෂිණ දේශයට යාබද ප්‍රදේශය තිබුණා විය හැක. පොදුවේ පිළිගන්නා මතය වනුයේ මධ්‍යම කඳුකරය අයත් ප්‍රදේශය පුරාණයේ මලය දේශය ලෙස හැඳින්වූ බවය. කෙසේ නමුත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පවසනුයේ මායා රට ලෙස පසුව හැඳින්වූ ප්‍රදේශය මුල් යුගයේ හැඳින්වූයේ මලය රට ලෙස සහ එහි ඉහල කඳු ප්‍රදේශය මහාමලය දේශය ලෙස බවය. එම මතය පිළිබඳව සහ මලය දේශය පිළිබඳව තව දුරටත් ඉදිරියේදි විමසා බලමු.
මලය දේශයට අයත් ලෙස ඉහත හඳුනා ගත් සියළු ප්‍රදේශ
මූලාශ්‍ර
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, සී. ඩබ්ලිව්. නිකොලස්, ඇස්. පරණවිතාන, පරිවර්තන සංස්කාරක, ඇස්. බී. හෙට්ටිආරච්චි, 2005
  • මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
  • Village List 

Sunday, September 3, 2017

කාලිංග නුවරින් නික්මුනු අචිරවතී සහ ගෝමතී

බොහෝ කල් දුර්භික්ෂය නසන්නා වූ මහාවාලුකාගංගාවෙන් බටහිර දෙසට ගියා වූ අචිරවතී නම් වූ ඇල මාර්ගයක්ද, එම ස්ථානයෙන්ම නැගෙනහිර දෙසට ගියා වූ ගෝමතී නම් වූ ඇල මාර්ගයක්ද මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් කරවූ ඇල මාර්ග පිළිබඳව වන මහාවංශ විස්තරයේ හමුවේ (මහලු පරාක්‍රමබාහු රජතුමන් අචිරවතී ඇල බිඳවූ බව පූජාවලියේද සඳහන් වේ.). එසේම උතුරු දෙසට අභිමුඛව නික්මුනා වූ මලාපහරණී නම් වූ ඇල මාර්ගයක් සහ අචිරවතියෙන්ම නැගෙනහිරට අභිමුඛව නික්මුනා වූ සතරුද්ධ, නිබ්භින්ද, ධවලා සහ සිදා නම් වූ ඇල මාර්ග 4 ක් පිළිබඳවද එහි සඳහන් වේ. මහාවාලුකා ගංගා ලෙසින් මෙහි දැක්වෙන්නේ අවිවාදිතවම මහවැලි නදිය වේ.එහි එකම තැනකින් ගඟේ වම් සහ දකුණු ඉවුරෙන් බටහිරට සහ නැගෙනහිර දෙසට ඇලවල් සාදා තිබුන බවට සලකුණු හමුවන්නේ කාලිංග නුවර ලෙසින් වර්තමානයේ හඳුන්වන ස්ථානයේ පමණි.

කාලිංග නුවර
ඉහල කඳුකරයේ සිට බැස එන මහවැලි ගඟ ගල් පර සහිත සිය ගමන් මග නිමා කර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මහා වැලි" නදියක් වීම අරඹන්නේ මෙම ස්ථානයෙනි. දූපතේ ඇති පැරණි ශිලාමය නටබුන් හේතුවෙන් නුවර ලෙසින් ජනවහරේ හැඳින්වුවද එම ස්ථානයේ දක්නට ඇත්තේ පැරණි සංඝාරාමයක නටබුන් ලෙස හඳුනාගෙන ඇත. මෙම ස්ථානයට මදක් උතුරට වන්නට ඇති දාස්තොට ලෙස හැඳින්වෙන මහවැලි ගඟේ තොටමුණ (ඒ නමින්ම වූ වැවක්ද තොටමුණට මදක් උතුරට වන්නට හමුවේ.) සහස්සතිත්ථ ලෙසින් මහාවංශයේ අවස්ථා දෙකකදීම හමුවන ස්ථානය ලෙස හඳුනාගෙන ඇත. දඹදෙණියේ විසු දෙවෙනි පරාක්‍රමබාහු සමයේ පැරණි පුලත්ථිනගරය (පොළොන්නරුව) පිළිසකර කර, මහාවාලිකාගංගාවේ සහස්සතිත්ථ නම් වූ ස්ථානයේ උපසම්පදා කර්මයක් කල බව සඳහන් වේ. එසේම දඹදෙනි යුගයේදීම නැවතත් සිව්වන විජයබාහු රජු සමයේද වාලිකා නදියේ සහස්ස තොටමුණේ එවන් උපසම්පදා කර්මයක් සිදු කල බව මහාවංශයේ විස්තර වේ.
යක්කුරේ ගමේ සරුසාර වෙල් යායවල්. ඈතින් දිස්වන්නේ දිඹුලාගල පර්වතයයි
මෙම කාලිංග දූපතට ඉහලින් මහවැලි ගඟේ ස්වභාවික ගල් ගොඩවල් සහිත ස්ථානයක කපන ලද ටොන් දෙක තුනක් පමණ බර විය හැකි ගල් කුට්ටි යොදාගෙන සෑදු අමුණක් මගින් ගඟේ ජලය නැගෙනහිරට සහ බටහිරට යොමු වූ ඇල මාර්ග දෙකක් වෙතට යොමු කෙරේ. 

ගෝමතී ඇල
මහවැලි ගඟේ දකුණු ඉවුරෙන් නැගෙනහිර දෙසට යොමු වන මෙම ඇල දිඹුලාගල පර්වතය දක්වා සැතපුම් 21 දුරට හඳුනාගෙන ඇත. දිඹුලාගල සහ කාලිංග දූපත අතර කෙලින් දුර සැතපුම් 11 පමණ වේ. එම දුර මෙන් දෙගුණයක පමණ දුරක් ඇල ගමන් කරන්නේ එය සමොච්ච රේඛාවක් දිගේ වංගු ගසමින් ගමන් කරන නිසාය. ගෝමතී ඇලේ ඇල කණ්ඩිය එතරම් උස් නොවේ. එය බොහෝවිට අඩි 8 ට වඩා අඩු බව බ්‍රොහියර් පවසයි. ඇලේ පළල ඇතැම් ස්ථාන වලදි අඩි 70 පමණ වේ. අමුණේ සිට සැතපුම් 4.5 ක් පමණ දුර ගිය පසු එය යක්කුරේ වැව අසලින් ගමන් කරයි. වර්තමානය වන විට අතහැර දැමූ වැවක් වන යක්කුරේ වැව පෙර කල ගෝමති ඇලෙන් ජලය ලබන්නට ඇත. ගෝමතී ඇලේ 9 වන සහ 14 වෙනි සැතපුම් අතර එය ස්වභාවික විල්ලුවක් වන බැඳවිලේ දකුණු මායිමෙන් ගමන් කරන අතර, එය කිහිප තැනකින්ම විල්ලුව හා සම්බන්ධ වේ. එහි 18 වන සැතපුම අසලදී ඇල හොරිවිල ගමේ පිහිටි වැව හරහා ගොස් දිඹුලාගල දෙසට යොමුවේ (සිතියම 1).  මෙම ඇල තවත් සැතපුම් 22 ඈතින් තිබෙන වෙරුගල් ආරුව දක්වා තිබුන බවට වන ජනප්‍රවාදය සැක කිරීමට හේතුවක් නොමැති බව බ්‍රෝහියර් පවසයි. 
සිතියම 1
අචිරවතී ඇල
කාලිංග අමුණේ වම් ඉවුරින් පටන් ගන්නා ඇලට කාලිංග ඇල යයි ව්‍යවහාර වන මුත් එය පැරණි අචිරවතී ඇල විය හැකි බව ඉහත විස්තර කර ඇත. මෙම ඇල කාලිංග අමුණේ සිට පිටකින්ද ඇල හරහා යන තෙක් සැතපුම් 3/4 පමණ හඳුනාගෙන ඇත. ඉන්පසු මද දුරක් යනතෙක් එහි සලකුණු වර්තමානයේ හඳුනාගත නොහැක. නැවතත් එය හමුවන්නේ අමුණේ සිට සැතපුම් 2.5 පමණ ගිය පසුවය. එතැන් සිට සැතපුම් 7.5 පමණ දුරට එහි නටබුන් හමුවේ. එය අවසන් වන්නේ අඹන් ගඟේ විලක් වන නබුදගස් කොතලියෙනි (සිතියම 1). කිසියම් ක්‍රමයකින් (බොහෝ විට අඹන් ගඟ හරහා බැඳි බැම්මක් ආධාරයෙන්) අචිරවති ඇල අඹන් ගඟ හරහා ගිය බවට විශ්වාස කරන මුත් එවැනි කිසිදු කර්මාන්තයක සලකුණු මේ වන විට ඉතිරි වී නොමැත. නමුත් ගල් කොතලිය ලෙසින් හැඳිවෙන අඹන් ගඟේ සිට එයට මදක් උතුරින් පිහිටි කෝදුරුවාව වැව හරහා යන ජල මාර්ගයක් හරහා සැතපුම් කිහිපයක් උතුරට ගිය විට පැරණි ඇලක බැමි සැතපුම් ගණනාවක් උතුරු දිගට ගිරිතලේ සහ මින්නේරිය ප්‍රදේශයේ වෙල් මැද්දෙන් වැටී ඇත. මේ නිසා අඹන් ගඟ හරහා යන කාලිංග යෝද ඇල එම ගල් කොතලිය හරහා  මෙම පැරණි ඇලට සම්බන්ධ කර තිබුනා විය හැකියැයි අනුමාණ කල හැක (සිතියම 2). මෙම ඇල වර්තමානයේ මින්නේරිය ඔය හරහාද ගොස් කවුඩුල්ල ප්‍රදේශය දක්වාම සිතියම් ගත කර ඇත. ඇතැම් විට ජනප්‍රවාදයේ පැවසෙන ලෙසින් එය ඉන් ඔබ්බටද යොමුව තිබුණා විය හැක. 
සිතියම 2
අචිරවතී ඇලේ ප්‍රයෝජනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති එක් මතයක් වන්නේ එය කාලිංග අමුණෙන් හරවන මහවැලි ගඟේ ජලය සහ ඇතැම් විට අඹන් ගඟේ ජලයද සාපේක්ෂව ජල හිඟ ප්‍රදේශයක් වන කවුඩුල්ල දෙසට ගෙන ගිය බවය. එසේම එහි පිහිටීම අනුව ඇලට බටහිර දෙසින් පිහිටි ගිරිතලේ, මින්නේරිය මෙන්ම පරාක්‍රම සමුද්‍රය සහ වෙනත් ලොකු කුඩා වැව් මගින් අස්වැද්දූ කුඹුරු වලින් පිටාර ගලන අමතර ජල ප්‍රමාණය (වෙල් පහු වතුර) නැවතත් නැගෙනහිරෙන් පිහිටි මහවැලි නදියට එක්වීමට ඉඩ නොදී, පහල පිහිටි කුඹුරු වලට යොමු කර ඇත. උදුල බණ්ඩාර අවුසදහාමි මහතාට අනුව 'කාලිංග' ලෙසින් අද වෙනස් වී ඇත්තේද සිංහල වචනයක් වන 'කලිගුල' යන්නයි. එහි අදහස නම් පිටාර ගලන අමතර ජල ප්‍රමාණයක් රැකගැනීමයි. ඒ සඳහාය වෙලේ ජල බස්නාවට ලම්භකව බොහෝ දුරට සමෝච්ච රේඛාවක් ඔස්සේ ඇල තනා ඇත්තේ. එසේම ඇලේ විශාලත්වය අනුව මෙය ජල යාත්‍රා ගෙන යාම සඳහාද උපයෝගි කරගත්තා විය හැක. 
වැව් කණ්ඩිය කැඩි ගොස් අතහැර දමා ඇති යක්කුරේ වැව
අද වන විට මෙම ඇල මාර්ග දෙකම භාවිතයේ නොමැති අතර මහවැලි ව්‍යාපාරයට එහි ඇතැම් කොටස් හසුවී විනාශ විය. ඇල මාර්ගයේ ඇතැම් ස්ථාන වල ගොඩනැගිලි ඉදිවී ඇත, නැතහොත් කුඹුරු ඉදිකර ඇත. 

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • මහවැලිය සහ ඓතිහාසික පොළොන්නරුව, ජයසිංහ බාලසූරිය,2007
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980