Wednesday, June 28, 2017

කෝට්ටේ කලාලේ දත මැදගන්න රාළේ - කුරහන් ගලක දළදාව සැගවූ අඳුරු යුගයක කතාව

දෙල්ගමුව රජමහා විහාරය - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
කිරවැල්ලේ හිරිපිටියේ දිව නිලමේ (දිය වඩන නිලමේ) කෝට්ටේ රාජධානියට පෘතුගීසීන් පහර දීමට පෙර දින මෙවන් සිහිනයක් දුටුවේලු. තමන් වෙත සිහිනයෙන් පිරිවැජි වෙසකින් පැමිණි එක්තරා පුද්ගලයෙක් "කෝට්ටේ කළාලේ කිසිල්ලේ - දත මැද ගන්න රාළේ." යැයි කීවේලු. එසැනින්ම නින්දෙන් පිබිද එහි අදහස කල්පනා කල ඔහුට හැඟුනේ කෝට්ටේත්, කළාලයත්  (පැදුර) කිසිල්ලට ගෙන දත මැද ගන්න යන අරුතට වඩා යමක් එහි ඇති බවය. එනිසා සිහිනයෙන් කී පරිදි දත් මැද කොට්ටය සහ පැදුර කිහිල්ලේ ගසා නොගත් හෙතෙම නුවණින් වැඩිදුරටත් විමසා සිහිනයේ අරුත මෙසේ වටහා ගත්තේලු. " රාළේ! කෝට්ටේට කළ ආලයෙන් කිසිම පලයක් නැත, දන්ත ධාතුන් වහන්සේ මධ්‍ය රාජධානියට ගෙන යන්න". ඉක්බිති හිරිපිටියේ දියවඩන නිලමේ නොපමාව ඇත් දතින් දළදා වහන්සේට සමානව සාදා තිබූ අනුරුවක් රන් කරඬුවේ තබා නියම ධාතුන්වහන්සේ සිරියේ (පිහිය) කොපුවේ සඟවාගෙන කැළණි ගඟේ දිවස්නා තොටින් රාත්‍රියේම එතෙරව සීතාවකට ගොස් එහි සිටි මායාදුන්නේ රජුට (ක්‍රි.ව. 1521 - 1581) දළදාව භාරදුන්නේලු. ජනප්‍රවාදගත තොරතුරු අනුව සහ ක්‍රි. ව. 1773 දී පමණ රචිත ලෙස සැලකෙන සුළු රාජාවලියට අනුව කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ දළදාව සබරගමුව පළාතට අයත් දෙල්ගමු වෙහෙරට පැමිණියේ ඒ ආකාරයටය.
දෙල්ගමුව රජමහා විහාරය - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
පෘතුගීසීන්ගේ කොතෙකුත් අපවාද, ගැරහුම් ලබමින් සහ සීතාවක රාජධානිය කරගනිමින් විසූ සිය සොයුරු  මායාදුන්නේ සමගද  නිරන්තරයෙන් යුද වදිමින්, කෝට්ටේ අගනුවර කරගනිමින් තුන් සිංහලේ පාලකයා ලෙස විසූ හත්වෙනි භුවනෙකබාහු (ක්‍රි.ව. 1521 -1551) ප්‍රතිකාල් සොල්දාදුවෙකු තැබූ වෙඩි පහරකින් මරුමුවට පත්විමට පෙර, සිය මුණිබුරු වූ ධර්මපාල කුමරුගේ පිළිරුවක් පෘතුගාලයේ රජතුමා (Dom Joao III) වෙත යවා පෘතුගාල් රජුගේ යටත් රජෙකු ලෙස ඔහුගෙන් පසු රාජ්‍යය හිමිවන ලෙසට එම පිළිරුවට කිරුළු පලන්දවන ලදී. භුවනෙකබාහුගෙන් පසු රාජ්‍යත්වය පත්වූ එම ධර්මපාල කුමරු (ක්‍රි.ව. 1551 - 1597) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිකාල්වරුන්ගේ රූකඩයක් විය. ඔහු වර්ෂ 1557 දී කතෝලික දහම වැලඳ ගෙන දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි මූලාශ්‍ර සහ රාජාවලියට අනුව Dom Joao Periya Pandar සහ දොන් ජීවන් පෙරියපන්දාර) නමින් බෞතිස්ම ලදහ. ඉන්පසු  කැළණි විහාරය සහ කෝට්ටේ දළදා මැදුර ඇතුළු සියළු බෞද්ධාගමික වෙහෙර විහාර වලට අයත් නින්දගම් ප්‍රැන්සිස්කන් නිකායේ පූජකයන්ට පිරිනැමූහ. මෙවන් වාතාවරනයක් යටතේ කෝට්ටේ නුවර සිටි සංඝයා සීතාවකට සහ කන්ද උඩරටට ගිය බව රාජාවලිය පවසයි. දළදා වහන්සේද මෙම කාලයේම පාහේ ඉහත ජනප්‍රවාදයේ එන ආකාරයට හෝ වෙනත් ක්‍රමයකට සීතාවක රාජධානියට අයත් වන්නට ඇත.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
හිරිපිටියේ නිලමේ සීතාවක රාජධානියට ගෙන ගිය දළදා වහන්සේ ඉන්පසු එම රාජධානියේ එවකට පාලකයා වූ මායාදුන්නේ හට ලබාදුන්නා විය හැක. හෙතම වැඩි ආරක්ෂාව පතා සීතාවක සිට තවදුරටත් රට ඇතුලට වන්නට පිහිටි දෙල්ගමුවේ ඒ වනවිටත් පැවති වෙහෙරක හෝ අලුතින් සෑදු වෙහෙරක දළදා ගෙයක් සාදා දළදා වහන්සේ තැන්පත් කල බව පෙනේ. ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව දෙල්ගමු වෙහෙරේ දළදාව තැන්පත් කර තිබුනේ සාමාන්‍ය කුරහන් ගලකට වඩා විශාල ප්‍රමාණයෙන් සෑදු කුරහන් ගලක් තුල තිබූ රහසිගත කුහරයකය. අදද එම වෙහෙරේ දැකිය හැකි මෙම කුරහන් ගල තුල යටි ගලේ කුහර දෙකක් ඇත. උඩ සිදුර අඟල් 4 ක් පමණ පහතට කොටා යටම සිදුර ඊටත් මහත් ලෙස සම සතරැස්ව සාරා තිබේ. ඒ තුල දළදා කරඬුව ආරක්ෂිතව තිබූ ලෙස පැවසේ. ප්‍රතිකාල් ආදී පරසතුරු උවදුරු මෙන්ම කෝට්ටේ, සීතාවක, සෙණ්කඩගලපුර ආදී ප්‍රාදේශිය රාජ්‍ය අතරද නිබදවම යුද ගැටුම් නොඅඩුව පැවති මෙම අවදියේ රාජ්‍යයේ සංකේතය වූ දළදා වහන්සේ රැක ගැනීම දේශපාලනිකව කෙතරම් වැදගත් වූවේද යන්න මින් පෙන්නුම් කෙරේ.
ගල් ආසනය
රත්නපුර සමන් දේවාලයේ ඇති පැරණි ලේකම් මිටිය උපුටා දක්වමින් කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන්නේ සීතාවක රාජසිංහයන් (ක්‍රි.ව. 1581 - 1593) විසින් දෙල්ගමුවේ වැඩසිටි දළදා වහන්සේට දෙල්ගමුව, හඳගිරිය, මස් ඉඹුල, කුට්ටාපිටිය, පැල්මඩුල්ල හා ගනේගොඩ  යන ගම් සය සහ නෙළුම්දෙණිය නව අමුණ පූජා කල බවය.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල
එම සීතාවක පළවෙනි රාජසිංහ රජු කල අලගියවන්න මුකවෙටි විසින් රචනා කරන ලද සැවුල් අස්න හෙවත් සැවුල් සංදේශය (ක්‍රි.ව. 1581 - 1585 ) දෙල්ගමු වෙහෙර සහ එහි තිබූ දළදා මාලිගය පිළිබඳ කවි කිහිපයකින්ම වර්ණනා කරයි.

උදු ළිය සඳ කිරණ මිහි පිට හුණු ලෙසට
සුදු වැලි අතුළ වැලි මළුයෙන් සැදි සුමට
රුදු නත දරණ යුරු පවුරෙනි යුතු අවට
වදු ම මිතුර දෙල්ගමු වෙහෙර ලැගුමට

ලොවැනොමදින් පිරි ගනඳුරු දමා දුර
සිය කිරණින් හිරු පැමිණෙත උදා ගිර
ලැගි නිවෙසින් නැඟැ තෙරුවන් මෙනේ කැර
මිතුර වඩින් දළදා ගෙට මනෝහර

මෙම දළදා මැදුරේ රුවන් කරඬුවක් තුළ දළදා වහන්සේ තැන්පත් කර තිබූ බව මින් පසු එන පැදි වලින් විස්තර වේ. මෙහි එන තවත් කවකින් කියැවෙන්නේ දෙල්ගමු වෙහෙරේ සධාතුක දාගැබක්, බුදු පිළිමයක් සහ බෝ ගසක්ද තිබූ බවයි. එසේම එහි එවකට විහාරාධිපති ලෙස වැඩ විසූ මිහිඳු ලකර තෙර හිමියන් (එනම් මහින්දාලංකාර මහා ස්ථවිරයන් ) ගැනද දස පද සැහැල්ලකින් විස්තර කෙරේ.
වර්තමානයේ ඉහත කුරහන් ගල තබා තිබෙන කුඩා විහාර ගෙය
මේ යුගයේදී දළදාව පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ කන්ද උඩරට පළමුවන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1591 - 1604) පිළිබඳව එන විස්තරයේදීය. එතුමා මුලින් පෘතුගීසීන් සමග සිට, ගෝවට ගොස් කොනප්පු බණ්ඩාර නමින් කතෝලික ආගම වැලැඳ බෞතිස්ම ලැබූහ. පසුව කන්ද උඩරට අල්ලා ගත් පෘතුගීසින් එහි තැබූ රූකඩ පාලකයා වන යමසිංහ බණ්ඩාර මරා කොනප්පු බණ්ඩාර නැවතත් බෞද්ධාගම වැලඳ පළමුවන විමලධර්මසූරිය නමින් රජවී, වැටී සිටි සිංහල ජාතියට ශක්තිමත් නායකත්වයක් සැපයීහ. මහාවංශයේ විස්තර වන පරිදි නගරයේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමෙන් පසු එතුමා සර්වඥයන්වහන්සේගේ දන්ත ධාතූන් කොහිදැයි විචාරා එය ලබුජගාම විහාරයේ ආරක්ෂිතව ඇති බව දැන, බෙහෙවින් සතුටු වී, සපරගමු දිසාවේ ලබුජගාමයේ සිට තමන්ගේ පුරවරයට දන්ත ධාතුව වඩා ගෙන්වා එහි දෙමහල් පහයක තබා වඳිනටද, වත් පිළිවෙත් කරන්නටද වූහ. එම ලබුජගාම යන්න පෙල බසට පෙරළු සිංහල දෙල්ගමු යන්න බව පෙනේ.
දෙල්ගමුව විහාරගෙය - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
1593 දී සිදුවූ පළමුවන රාජසිංහයන්ගේ මරණයත් සමග සීතාවක රාජධානියට අයත් ප්‍රදේශ පෘතුගීසීන් යටතට පත්විය. ඒ ආසන්න කාලයකදී සිදුවු දෙල්ගමුවේ සිට දළදාව සෙන්කඩගලපුරට ගෙන ඒමත් සමගම දෙල්ගමුව විහාරය සහ දළදා මාලිගය ඇතැම්විට පෘතුගීසි කොල්ලකෑම් වලට ලක්වන්නට ඇත. ඉහත විස්තර වූ කුරහන් ගල සහ ගල් ආසනයක් පමණක් පැරණි දේ ලෙසට දැනට මෙම ස්ථානයේ ඉතිරි වී ඇත. මෙම ස්ථානයේ පෘතුගීසි බලකොටුවක් තිබූ බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන මුත් ඒ කුමන මූලාශ්‍රයක් පදනම් කරගෙනද යන්න පැහැදිලි නැත. ස්ථානය වල් බිහිවී ගිය පසු එම ස්ථානයට පැමිණි කොළඹ සද්ධාතිස්ස නම් භික්ෂුන්වහන්සේ නමක් වර්තමාන විහාරය ආරම්භ කල බව පැවසේ.
දෙල්ගමුව විහාරගෙය - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
එදා සිංහල ජාතියට සහ බෞද්ධාගමට තිබූ තර්ජනයම අඩු වැඩි ආකාරයෙන් අදද නැවතත් සියවස් ගණනාවකට පසු ඇතිවී ඇත. '1948 නිදහසින්' පසු ප්‍රථම වතාවට අන්තර්ජාතික මංකොල්ලකරුවන් පිරිසකට මේ රට ජාතිය සහ සමය ජාතියක් ජම්මයක් නැති මහා ජනතාව විසින්ම සිය කැමැත්තෙන් භාරදී තෙවසරක් ගෙවී යමින් තිබේ. රටේ ආර්ථිකයේ හදවත බඳු මහා බැංකුව මංකොල්ලකෑමෙන් නොනැවතී දඹුලු පන්සලේ පිංකැටයටද කෙල හලන බහිරවයන් පිරිසක් මේ වනවිට බිහිවී ඇත. එම බහිරවයන් පිරිස නුදුරේම දළදා මාළිගයටද අත තබනු ඇත. පෘතුගීසින්ට හපන් කොල්ලකරුවන් වන මේ අමන රැල දොන් ජුවන් ධර්මපාලටද වඩා බෞද්ධ විරෝධිය, දේශද්‍රෝහිය. මේ නිසා දොන් ජුවන් ධර්මපාලගෙන් දළදාව බේරාගත් හිරිපිටියේ නිලමෙලා මේ රටට වැඩි වැඩියෙන් අවැසි මොහොතකි මේ. දොන් ජුවන් වික්කමසිංහලා සහ දොන් ජුවන් හිටංලා වෙනුවට විමලධර්මසූරිය, මායාදුන්නේ, රාජසිංහ වැනි ශ්‍රේෂ්ඨ නරපතියෙකුද මියැදෙන ජාතිය ඉල්ලා සිටී.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
මූලාශ්‍ර
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • සපරගමුවේ පැරණි ලියවිලි, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1942
  • සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967
  • සැවුල් සංදේශය
  • සපරගමු වංශකතාව, 2 වෙළුම, 2003
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913
  • Portuguese Rule in Ceylon 1594-1612, Tikiri Abeyasinghe, 1966
  • The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume 1 1505 - 1565, V. Perniola S.J. 1989
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • දේව පුරාණය සමන් දෙවිඳු හා සමන් දෙවොල, මඩලගම වජිරබුද්ධි හිමි, 2007
  • දළදා ඉතිහාසය සහ සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර ස්ථවිර, 2008

2 comments:

  1. මං කියවන්න කැමතිම කාල පරිච්චේදයක්. හුඟක් complex චරිත. බුවනෙකබාහු, මායාදුන්නේ, ටිකිරි බණ්ඩාර, වීදිය බණ්ඩාර, අරිට්ට කීවෙන්ඩු පෙරුමාල්, කොනප්පු බණ්ඩාර, පෘතුගීසි නිලධාරීන්, යාපනේ පාලකයින් කිසිදෙනෙක් කලු හෝ සුදු නෑ. හැමෝම අළු. ලංකා ඉතිහාසයේ චරිත සාකච්ඡා කරන්න පුලුවන් හොඳම කාලය. ඊට ඉස්සර ඉතිහාසයේ චරිත ගැන මේ තරම් සවිස්තරව හා දෙතුන් පැත්තකින් ලියවිලා නෑනෙ. පස්සෙ ආපු නුවර යුගය ගැන ලියවිලා තිබුනට කෝට්ටෙට සාපේක්ෂව ඇක්ෂන් අඩුයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තම කියනවා නම් දේශපාලනයේ සුදු චරිත නම් කවදාවත් ඉදල නැහැ. ඉතිහාසය ගැන ලියපු අය සුදු කරපු චරිත හැර. හැබැයි අපි දකින විදිහ අනුව කලු චරිත කියල කියන්න පුලුවන් අය නම් ඉන්නවා. මහනුවර යුගයට පසු ඉංග්‍රිසි යුගය ගැන උනත් මූලාශ්‍ර ගොඩක් තියෙනවා. හැබැයි බොහෝවිට ඉංග්‍රසින් ලියපු දේවල තමා. පසු කාලීනව නම් සිංහල සහ දෙමළ පාර්ශවයන් ලියපු දේත් සුලබයි.

      Delete