Sunday, June 4, 2017

Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..

මතුරට කඳු  (උපුටා ගැනීම - http://www.imagesofceylon.com)
මෙම ලිපිය මග සලකුණ නම් වූ පැරණි කවි පොතක ඇති විස්තරය අනුව බදුල්ල නගරයේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක් පිළිබඳවය. මෙම ලිපිය කියවීමට පෙර මෙහි මුල් ලිපි දෙක මෙතනින් කියවන්න.
නූතන පළාත් හා දිස්ත්‍රික්ක බෙදීම් අනුව ඌව පළාතට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුලු වන කඩවතින් අප පෙර ලිපිය අවසන් කලෙමු. මේ එතැන් සිට මාර්ග විස්තරයයි.

ජෝන් ඩේවි සහ මැක්ඩොනලඩ් කොටුව
අප මෙහි විස්තර කරන ප්‍රදේශය භූගෝලිය ලක්ෂණ අනුව එක්තරා සුවිශේෂී කලාපයකි. මේ පහල ඌව ප්‍රදේශයේ සිට (බොහෝ දුරට වර්තමාන මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශය) හපුතලේ දුර්ගය හරහා ඉහළ ඌව ප්‍රදේශයට පිවිසි පසු හමුවන ඌව ද්‍රෝණියේ (Uva Basin) සිට ඊලග අඩතැන්නට (Peneplain) පිවිසෙන දොරටුවයි (රූපය බලන්න).  ඒ අනුව ස්ථානයේ වැදගත්කම වටහා ගත් ඉංග්‍රීසීන් මෙම ස්ථානයේ දොඩන්වතුකපල්ල පාමුල බලකොටුවක් ඉදිකලහ. දොඩන්වතුකපල්ලට සහ පරණගම ලෙස සලකුණු කල ස්ථාන වලට පෙර සපුගොල්ලේ සිට එන මාර්ගය අද්දර Fort Mcdonald නම් වූ ස්ථානයක් මෙයට පෙර ලිපියේ වූ සිතියම් වල අප ලකුණු කල මුත් ඒ සම්බන්ධව විස්තරයක් ඉදිරිපත් නොකලෙමු. ඒ එම ඉංග්‍රිසී බලකොටුව පිහිටි තැන ලෙස මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇති ස්ථානයයි. 
මැක්ඩොනලඩ් කොටුවේ පිහිටීම සම්බන්ධව ජෝන් ඩේවි ඉදිරිපත් කරන විස්තරය මේ ආකාරයෙනි. "මුහුදු මට්ටමේ සිට අඩි 3000 පමණ උසින් මැක්ඩොනල්ඩ් කොටුව තිබුණි.  එය සරුසාර මෙන්ම පුළුල් පරණගම නිම්නයේ එතරම් උස නැති කන්දක ඉහල ඌව බාධක කඳු වල පාමුල සහ උස්වූ දොඩන්වතුකපල්ල කඳු දුර්ගය පාමුලම වාගේ පිහිටා ඇත." (Fort M'Donald is about 3000 feet above the level of the sea. It is situated on a low hill, in the fertile and extensive valley of Parnegamme, at the foot of the barrier-mountains of Upper Ouva, and immediately under the pass of the lofty Dodanatukappella mountain.)

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වර්ෂ 1816 සිට 1820 දක්වා මෙරට සේවය කල ජෝන් ඩේවි [John Davy] (හෙතම සුප්‍රකට විද්‍යාඥයකු වූ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවිගේ [Sir Huphrey Davy] බාල සොහොයුරාය.) මෙහි සිටි කාලය තුල දිවයිනේ බොහෝ පෙදෙස් වල සංචාරය කර සිය අත්දැකීම් ඇසුරින් නැවත බ්‍රිතාන්‍යයට ගිය පසු 1821 දී An Account of the Interior of Ceylon and of its Inhabitants with Travel in that Island නමින් පොතක් පළ කලහ. 1815 දී ඉංග්‍රීසීන් කන්ද උඩරට අල්ලාගත් පසු එම ප්‍රදේශ වල සංචාරය කල මුල්ම පුද්ගලයන් අතර ඩේවි පෙරමුණේම සිටී. එසේම 1818 කන්ද උඩරට නිදහස් අරගලය ඉංග්‍රීසින් විසින් කුරිරු ලෙස මර්දනය කල ආකාරය සහ එයින් පසු මෙරට සිංහලයන් පත්ව සිටි ශෝචනීය තත්වය පිළිබඳවද ඩේවි සිය පොතේ කරුණු ඉදිරිපත් කරයි. කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට ජෝන් ඩේවි වැදගත් වන්නේ ඔහු දෙවරක්ම මෙම මැක්ඩොනල්ඩ් බලකොටුව හරහා අප මෙහි කතා කරන මාර්ගයේ දොඩන්වතුකපල්ලේ සිට මහනුවර දක්වා ගමන් කර සිය අත්දැකීම් විස්තර කරන බැවිනි.

පළමුවරට කතරගම (Katragam) සිට වැල්ලවාය (Weleway) හරහා හපුතලේ දුර්ගය (Apotella Pass) ඔස්සේ මැක්ඩොනල්ඩ් කොටුව වෙත ලඟා වන ඩේවි එතැන් සිට මහනුවර දක්වා වූ ගමන් මග පිළිබඳව ළගන්නා සුලු විස්තරයක් ඉදිරිපත් කරයි. මේ අවස්ථාවේ ඔහු සමග පැමිණි Mt. Wright නමැත්තා ඩේවි සමග නොයා බදුල්ලට යාම සඳහා ඔහුගෙන් වෙන්වී ගිය බව සඳහන් වන බැවින් බදුල්ලේ සිට මෙම මැක්ඩොනල්ඩ් කොටුවට වූ මාර්ගය එවකටද භාවිතා වූ බව පෙනේ (එහෙත් එඩ්මන්ඩ් පීරිස් පියතුමා පවසන ලෙසට ඩේවි බදුල්ලේ සිට පයින්ම මෙම ස්ථානයට පැමිණි බවක් ඔහුගේ ගමන් විස්තරයේ කියවෙන්නේ නැත.) 

දෙවෙනි වර ඔහු මැක්ඩොනල්ඩ් කොටුවට පැමිණෙන්නේ කොත්මලේ ප්‍රදේශයේ සිට පුසුල්පිටිය (Pouhalpittye),  දිඹුල (Dimbola), පුණ්ඩලුඔය (Poodool Oya), නුවරඑළිය පතන (Neuraellyia-pattan) හරහා වන මාර්ගයකින් ඉහළ කඳුකරයේ සිට පහලට බසිමිනි. (මැක්ඩොනල්ඩ් කොටුව දක්වා වූ මෙම අවස්ථා දෙකෙහිදීම ගමන් මාර්ග හඳුනාගත හැකි පරිද්දෙන් ඩේවි සවිස්තරව ඉදිරිපත් කරන මුත් ඒ පිළිබඳව වෙනම විමසා බැලිය යුතුය.)

දොඩන්වතුකපල්ලේ සිට මතුරටට
කඩවත පසු කිරීමෙන් පසු මග සලකුණ කවියා යොමු වන්නේ පද්‍ය 31 කින් යුත් දීර්ඝ වන වර්ණනාවකටය. ඔහුගේ විස්තරයේ සත්‍යය බව පසක් කරමින් ඩේවිද පවසනුයේ කඩවත පසු කල පසු වනාන්තරයට අවතිර්ණ වන බවය. 
දොඩන්වතුකපල්ලේ සිට කඩවත දක්වා යෑමේදී දර්ශනය වන ඩේවි සහ මග සලකුණ කවියා විස්තර කරන රමණිය දර්ශනය (Google Street View ඇසුරින්)
ඩේවිගේ විස්තරයට අනුව මතුරට දක්වා වූ ගමන් මග පිළිබඳ වැදගත් තොරතුරු මෙසේ කැටිකර දැක්විය හැක. මැක්ඩොනල්ඩ් කොටුවේ සිට මතුරට දක්වා දුර සැතපුම් 16 පමණ වේ. එම දුර යෑම සඳහා ඔහුට පැය 8ක් ගතවී ඇත. මැක්ඩොනල්ඩ් කොටුව පසු කල වහාම මද දුරක් හැරුන කල මුදුන දක්වාම අධික බෑවුම් ඇති දුර්ගය හමුවේ (Very Steep up to its summit with very little interruption.). මෙම දුර්ගය නැගීමේදි වියලුව (Weyaloowa), ඉහළ ඌව වැනි ප්‍රදේශ දර්ශණිය ලෙස දිස්වේ. කොටුවේ සිට සැතපුම් 2 පමණ දුරක් ගමන් කල පසු පැරණි කඩවතක නටබුන් හමුවේ.  ඉන්පසු පිවිසෙන්නේ වනාන්තරයටය. කොටුව පසු කල පසු අවම වශයෙන් සැතපුම් 10 ක් වත් නිරන්තර නැගීම් බැසීම් සමග උන්නතාංශය (Altitude) ක්‍රමයෙන් වැඩිවෙන ලෙස මාර්ගය වැටී ඇත. කොටුවේ සිට සැතපුම් 7 පමණ ගිය පසු මාර්ගයේ උසම ස්ථානයට ලඟාවේ.
කඩවතේ සිට හාල් ගරන් ඔය දක්වා ගමන් මාර්ගය
මග සලකුණ විස්තරයට අනුව මෙම මාර්ගයේ වනාන්තරය තුලින් යන විට අළුගල්ගෙය හමුවේ. ඉන්පසු වලහා මැරූ පතන සහ හාල් ගරන ඔයද පසු කල යුතුය. මාර්ගයේ මේ ඉසව්ව්වේදි පතන්වල සිටින දළ වලින් ඇනගනිමින් පොර ඇනගන්නා ඇතුන් දැකිය හැක. ඉන්පසු එළමල් පත කඳුර බැස පැන් සනහා, කුඩා නාන්බා හෙල නැග යාමේදී කොට පාමා නම් වස සෙබලෙක් පෙර කල පිට වානට උඩින් දිය ගෙන යාම සඳහා පතනේ දිගට හරහට කල අගල් දැකිය හැකිය. ඉන්පසු නැබළ නාම්බා හෙල සහ දඬු බැඳි රුප්පේය පසු කර කුරුඳු ඔයෙන් එගොඩ වූ පසු රත්මල්කරාන සහ කුරුවිට රාල පැන්න ගල හමුවේ. ඕලුවා මංකඩින් ගිය පසු රුසිරැති අඟනන් සිටින බලගහරුප්පේ සෙවනේ මඳක් නැවතී සිටින ලෙස කවියා පවසයි.

කඩවතේ සිට හාල්ගරන් ඔය දක්වා ගමන් මාර්ගය
මේ මාර්ගය ඔස්සේ යන ඩේවිගේ දෙවන සංචාරයේදි ඔහු හාල්ගරන් ඔයට ඉහලින් ඇති උස් බිමේ දවල් කාලය සහ රාත්‍රිය ගත කරයි. පසු දින මෙම මාර්ගයේ යාමට නියමිතිව සිටි බාන්ස් ආණ්ඩුකාරයා (Major General  Sir Edward barnes) උදෙසා ඉදිකර තිබූ කූඩාරම් කිහිපයක්ද එම ස්ථානයේ තිබූ බව ඩේවි පවසයි. එම ස්ථානය බොහෝ දුරට මග සලකුණේ වලහා මැරූ පතන ලෙස හඳුවන පතන් භූමිය විය හැක.
වළහාමැරූ පතන විය හැකි පතන් ප්‍රදේශය

ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි කඳු වැටි දෙකකින් සීමා වූ විවෘත ප්‍රදේශය (කහ පාටින් ලකුණු කර ඇත්තේ හාල්ගරන් ඔයයි )
ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි කඳු වැටි දෙකකින් සීමා වූ විවෘත ප්‍රදේශය
මග සලකුණ විස්තර කරන මාර්ගය හාල්ගරන් ඔය හරහා යාමට ඇත්තේ හාල්ගරන් ඔයේ ඉහල කොටසේ මෙවැනි ස්ථානයකිනි (Google Street View ඇසුරින්)

හාල්ගරන් ඔය විස්තර කිරීමෙන් පසු එළමල් පත කඳුරින් පැන් සනහා කුඩා නාම්බා හෙල නැග යන්න ලෙස පවසන බැවින් සිතියමේ දක්වා ඇති අධික නැගමකින් යුත් හෙල කුඩා නාම්බා හෙල ලෙස ගත හැක. පහත මෙට්‍රික් සිතියමට අනුව එම ප්‍රදේශයේ බොහෝ දිය කඳුරු ඇති බැවින් එළමල් පත කඳුර ඉන් එකක් විය හැක.
කුඩා නාම්බ හෙල සහ කුඩා දිය කඳුරු. එළමල් පත කඳුර යනු මාර්ගයට ආසන්න මෙවන් දිය කඳුරක් විය හැක.
කුරුඳු ඔය ඉහල පෙදෙස හරහා වැටී ඇති මාර්ගය සහ නැබල නාම්බා හෙල විය හැකි පෙදෙස. කොට මාපා සැදූ අගල් නැබල නාම්බා හෙලට පෙර කිසියම් තැනක තිබුණා විය හැක. මග සලකුණේ 'නැබල නාම්බා හෙල අසලින් යන්න' කියන බැවින් එය මාර්ගයේ දෙපස ඇති හෙලක් වුවද විය හැක
ඉහත ලකුණු කර ඇති පැරණි මාර්ගය විය හැකි මාර්ගයේ වර්තමානයේ කුරුඳු ඔයෙන් එගොඩ වීමට ඇති පාලම සහ කුරුඳු ඔයේ දර්ශණයක් (Google Street View ඇසුරුනි ) - මෙම ස්ථානයට පෙර හමු වන දඬුබැඳිරුප්පේ නම් ස්ථානය අද හඳුනාගැනීමට නොහැක.
සිරසර බැඳන ඔපකර වරල පෙම්මා
මනහර දෙතන රන කළ යුරු රුවිම්මා
නිසිසර සිටින රුසිරෙන් සේ සුරම්මා
පසුකර යාගන්න කලවිට කුඩම්මා

ඉන්පසු හමුවන්නේ ඉහත කවියෙන් විස්තර කල පරිදි සුරම්බා (දෙවඟනන්) සේ වු ස්ත්‍රීන් (නිසිසර) සිටින කුඩම්මා කලවිටය. කලවිට යනු කමතය . ඒ අනුව ඕලුවා මංකඩින් මෙපිට ප්‍රදේශය ජනාවාස වූ පෙදෙසක් බව පෙනේ. මාර්ගය ඉන්පසු යොමුවන්නේ මතුරට ඉඩම ලෙසින් පැවසෙන මතුරටටය.
වනාන්තරය ඉවර වන ස්ථානයේ සිට (බොහෝ විට ඉහත X ලෙස ලකුණු කර ඇති ස්ථානය) මතුරට දක්වා හෙලක් බැසිය යුතු බව ඩේවි සඳහන් කරයි.
හාල්ගරන ඔය (එනම් හාල්ගරන් ඔය) සහ කුරුඳු ඔය හැරුන විට මෙම මාර්ගයේ විස්තර වන කිසිදු ස්ථානයක් මේ වන විට හඳුනාගත නොහැක. ඩේවි දුර්ලභ මල් සහ මල් පිපී තිබූ පඳුරු තිබූ ලෙස පැවසු කඳු මුදුන් සහ පතන් සියල්ල ඩේවිගේ රටේ වැසියන් විසින් පසුකලක මුලින් කෝපි හා පසුව තේ වගාවන් සඳහා එලි කර දැමූහ. උඩරට සිංහල ගැමියන්ගේ ඉඩම් මුඩු බිම් පනත මගින් පවරා ගත් අධිරාජ්‍යවාදි පාලකයන් බ්‍රිතාන්‍යයේ නගර වල නම් සහ වතු අයිතිකරුවන්ගේ නම් වලින් නාමකරණය කල තේ වතු වලින් මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශ පසු කලක සැකසු අගලේ සිතියම් වල සලකුණු කලහ. අතරින් පතර සිංහල නම්ද කඳු මුදුන්, පතන්, පැරණි සිංහල ගම් සහ ඇතැම් තේ වතු වලද ඉතිරිව ඇති මුත් අපගේ ගමන් මගේ නම් සඳහන් ස්ථාන Google maps සහ මෙට්‍රික් සිතියම් ආශ්‍රයෙන් සෙවීම දුෂ්කරය. එබැවින් දොඩන්වතු කපල්ලේ සිට මතුරට දක්වා අනුමාණ කරන මාර්ගයක් පමණි දැක්විය හැක්කේ (මේ සමග ඇති සිතියම් සහ ඒවායේ විස්තර අනුගමනය කිරීමෙන් එම ගමන් මග හඳුනා ගත හැක). ගමන් මගේ කිසියම් ස්ථානයකදි හාල්ගරන් ඔය සහ කුරුඳු ඔයෙන් එගොඩ විය යුතු බව පමණි නිසැකව කිව හැක්කේ.
මතුරට Maquerile Estate හි සිට දර්ශනයක් (උපුටා ගැනීම -  http://www.imagesofceylon.com/)
මතුරට දක්වා ගමන් මගේ ඉතාමත්ම රමණීයම කොටස ලෙස ඩේවී පවසන්නේ හාල්ගරන් ඔයෙන් දෙපස එක් පසකින් සැතපුම් 1.5 පමණ වන කඳු දෙකක් අතර වූ විවෘත බිම බවයි. මග සලකුණේ කොට පාමා (කොට මාපා විය යුතුය) තැනූ අගල් ලෙස විස්තර වන නටබුන් ගැන ඩේවිද විස්තර කරයි. ඔහු පවසන්නේ එම නටබුන් අගල් සහ නොඋස් ගල් බැමි වලින් සමන්විත වූ බවත්, ඒවා සරල කොටු පවුරක් (Simple Enclosures) විනා කොටුවක් (Fortification) විය නොහැකි බවත්ය. ඩේවි සඳහන් කරන්නේ එය කඳු පසකින් යෝධ ගල් ගැටියක්සේ නෙරා ගොස් සෘජුව හිටගත් කදිම කුළු පව්වකට දකුණු පැත්තෙන් පිහිටි හෙලක් මත තිබූ බවය. ඩේවිට අසන්නට ලැබූ ජන කතාවකට අනුව මෙය මෙම ස්ථානයට පිටුවහල් කල කුමාරයකු පාරේ යන එන පිරිස්  නවතා බලෙන් වැඩගෙන ඉදි කල එකකි.
ඩේවි සඳහන් කරන හාල්ගරන් ඔය දෙපස පිහිටි මෙම ගමන් මාර්ගයේ දර්ශණියම විවෘත පෙදෙස නුවර එළිය - උඩ පුස්සැල්ලාව මාර්ගයේ සිට අද දිස්වන ආකරය (Google Street View ඇසුරිනි )

ඌව ඉතිහාසය ග්‍රන්ථයේ සඳහන් වන ලෙසට ඌවේ උඩුකිඳ ප්‍රදේශයේ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව දෙහිවිනි පලාත කොරලේ උළුගලට උතුරින් මාපාගල නම් වූ තැනක සිහසුනට උරුමය ඇති කුමරුවෙකු සැඟවි සිට ඇත. එසේම 1818  නිදහස් අරගලයට දායක වූ කොටමාපානේ රටේ රාල නම් වු පුද්ගලයකු ගැනද කියවේ (කෙසේ නමුත් මෙම නම සඳහන් වන්නේ යැයි එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහන් කරන 1818 අප්‍රේල් 12 දින අංක 278 දරන බ්‍රවුන්රිග් (Robert Brownrigg) ආණ්ඩුකාරයා විසින් යටත් විජිත ලේඛම් බැතර්ස්ට් වංශාධිපතිට [Earl Bathurst] යවන ලද රහස් ලිපියේ එවැන්නක් සඳහන් නොවන අතර, තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් පලකල 1818 කැරලි සමයට අයත් වෙනත් කිසිදු බ්‍රිතාන්‍යය ලේඛනයකද එවැනි නමක් හමු නොවේ.)  මෙම සාධක පාදක කරගනිමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහන් කරන්නේ මෙම මාපා සැබවින්ම සිටි පුද්ගලයෙකු බවට සිතිය හැකි බවය. එහෙත් ඩේවි සඳහන් කරන ලෙසට මෙම අගල් සහ ගල් බැමි 1818 කැරැල්ල කාලයට වඩා පැරණිය. එසේම මෙම ස්ථානයේ 1818 කැරැල්ලේ රාජ ප්‍රතිරූපකයා (දොරේසාමි ලෙසින් පෙනී සිටි විල්බාවේ රාල) සඳහා සෑදු විශාල බංගලාවක ඔහු මද කලක් සිට ඇති අතර එම නව බංගලාව ඩේවි එම ස්ථානයෙන් යන විටද තිබී ඇත. එහි නියත දුරවල් වලින් ඉදිරිපස තනා තිබූ මුර කුටි (Watch houses) ගැනද ඩේවි විස්තර කරයි.
ඉහත විස්තර කල අගල් සහ ගල් බැමි පිළිබඳව විස්තර කිරීමෙන් අනතුරුව ඩේවි එම ප්‍රදේශයේ ඇති වනාන්තරය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරයි. එය ඉහළ කඳුකරයේ කඳුකර වනාන්තර (Montane Forests) ලෙස හඳුන්වන වනාන්තර වර්ගය පිළිබඳව වූ විස්තරයකි. එම වනාන්තරය අවසාන වූ වහාම මතුරට දක්වා මාර්ගය පහලට බැසීම පටන් ගන්නා බවත්, එම ප්‍රදේශය අඩ වශයෙන් වනයෙන් ගැවසිගත් බවත්, ඉතිරි කොටස මිටි පඳුරු සහ පැඟිරි තෘණ වලින් සමන්විත විවෘත ප්‍රදේශයන් වූ බවත් පවසයි. එසේම ගැඹුරු නිම්නය පහලින් දිස්වන බවත් ඔහු වැඩි දුරටත් පවසයි. පහත සිතියමේ X ලෙස ලකුණු කර ඇති ස්ථානයේ සිට මතුරට දක්වා වූ ගමන් මාර්ගය ඉහත විස්තරය හා මැනවින් ගැලපේ. එසේම මෙම හෙල බැසීමේදී හමුවන වර්තමානයේ එළවළු වගා කරන සහ තේ වතු වල වැඩ කරන ජනයාගේ 'ලයිම්' ඇති සාපේක්ෂව සමතලා බිම් පෙර කර හෙල්මළු ක්‍රමයට වී වගාව කල බිම් විය හැක. මග සලකුණේ කුඩම්මා කලවිට (එනම් කුඩම්මා කමත) ලෙස හඳුන්වන ස්ථානය මෙවන් බිමක තිබුනා විය හැක.

මතුරට සිට මහනුවර දක්වා මග සලකුණ ඔස්සේ ගමන් මග ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
  • The Great Rebellion of 1818, Tennakoon Vimalananda,  1970
  • උඩරට මහ කැරැල්ල, තෙන්නකෝන් විමලානන්ද, 2006

2 comments:

  1. මේ සුද්දෝ තේ වතු වලට යන්න තනාගත් මතුරට සිට රාගල දක්වා හයිෆොරෙස්ට් හරහා ඇති පාර නේද? මේ පාරේ පදියපැලල්ලේ සිට නුවරඑලියට කොට බස් එකක් තිබුණා. මතුරටින් උඩට සිංහල ගම්මාන නෑ, මීදුමෙන් නිතර වැසුනු සීතල පරිසරය වී හෝ කුරක්කන් වගාවට නුසුදුසු වීම ඊට හේතු වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඔව් හයිෆොරෙස්ට් හරහා යන්නේ මේ පාර තමා. සුද්දෝ බොහෝවිට අලුතින් මාර්ග තැනුවේ පැරණි තිබුන මාර්ග ඔස්සේම නිසා මේ පාරත් ඒ විදිහටම හැදුනා වෙන්න පුළුවන්ඩේ. ඩේවිගේ විස්තරය අනුවත් මතුරටින් උඩට ගම්මාන එවකට නොතිබූ බව තමා කියන්නේ. හැබැයි ඩේවි මේ ප්‍රදේශය සම්බන්ධයෙන් විශේෂයෙන් නොකිව්වත් වෙනත් උඩරට ගම්මාන ගැන කරන විස්තර වලදි කියනවා 1818 කැරැල්ලෙන් පස්සේ කලින් තිබූ එම ගම්මාන අතහැරලා දාල කියලා කැරැල්ල මර්ධනය කල දරුණු විදිහ හින්ද ( වගාවන් පාළු කිරීම, හරකුන් මරා දැමීම, පළතුරු ගස් කපා දැමීම වගේ දේවල් නිසා මිනිස්සු ඒවා අතහැරලා ඈත පළාත් වලට සංක්‍රමණය වෙලා කියන එක )මේ ප්‍රදේශයටත් එහෙම උනාද දන්නේ නැහැ. මොකද මග සලකුණේ කියන විදිහට මතුරට ඉඳන් කඳු මුදුනට යනකන් ප්‍රදේශයේ ජනාවාස තිබ්බ බවට සාධක තියෙනවා.

      Delete