Wednesday, June 21, 2017

යාල්පානම් වලදී කොවියාර් වූ නාගදීපයේ සිංහලයෝ

"මෙම ආගම් මාරුකිරීම සැලවීමත් සමග වයස් හෝ ලිංග භේදයක් නොමැතිවම සංකිලි හයසීයක් පමණ වූ පිරිස කඩුවෙන් ගෙල සිඳ දමා මරා දැමූහ. ....ඔහුගේ උමතු ක්‍රෝධය තව තවත් ගොදුරු සොයමින් ගොස් බෞද්ධයන් වෙතටද යොමු විය. බුදුසමය අදහන්නන් සියල්ලම සිංහලයන් වූ අතර ඔවුන් බොහෝ දෙනෙක් මෙම රාජධානියේ විසූහ. ඔහු විසින් නිකුත් කල අණ පරිදි ඔවුන්ව ඔහුට අයත් සීමාවෙන් එපිටට නෙරපූ අතර ඔවුන්ගේ අති විශාල ප්‍රමාණයක් වූ වදින පුදන ස්ථාන සියල්ලම විනාශ කලහ. ඔවුන් වන්නියට සහ උඩරට පෙදෙස් වලට සංක්‍රමණය වූ අතර කිසිදු සිංහලයෙක් ඉන්පසු මෙහි ඉතිරි වූවේ හෝ නැවත කිසි දිනක පෙරලා පැමිණියේ හෝ නැත. "

ද්‍රවිඩ කාන්තාවක් 
ලන්දේසි ආණ්ඩුකාර Maccara ගේ ඉල්ලිමකට අනුව මයිල්වාකනන්(Mayilvakanan) නම් වූ දෙමළ කතුවරයෙකු විසින් කල යාපනය රාජධානියේ ඉතිහාසය හා සම්බන්ධ යාල්පානවයිපාවමලෙයි (Yalpana-Vaipava-Malai) නම්වූ කෘතියක ඉහත විස්තර වන්නේ පෘතුගීසි බලපෑම් හමුවේ මන්නාරම ප්‍රදේශයේ කතෝලික දහම වැලැඳ ගත් 600 පමණ වූ පිරිසක් සංකිලි නම් වූ යාපනය රාජධානියේ අවසාන ද්‍රවිඩ පාලකයා විසින් මරා දැමූ අන්දම සහ ඉන් නොනැවතී ඔහු ලබ්බට තියපු අත පුහුලටත් තබා යාපනයේ සිටි සිංහල බෞද්ධයන්ද පලවා හැරි අන්දමයි. බෞද්ධ වෙහෙර විහාර විනාශ කල අන්දමයි.

කෙසේ නමුත් යාපනය රාජධානියේ ඉතිහාසය පිළිබඳව වර්ෂ 1926 දී ගවේෂණාත්මක කෘතියක් කරන C. රාසනායගම් මුදලියර්තුමා පවසන්නේ මෙම කුරිරු පලිගැනීමේදී පලායාමට නොහැකිවූවන් දෙමළ ප්‍රධානීන්ගේ වහලුන් වූ බව සහ ඔවුන් කොවියාර් ලෙස හඳුන්වන යාපනය අර්ධද්වීපයේ පමණක් පවතින කුලය තුලට ඇතුලත්වූ බවයි. යාපනය ප්‍රදේශය තුල තිබෙන සියළුම කුල වලට අනුරූප කුල දකුණු ඉන්දියාවේ පවතින මුත් කොවියාර් ඇතුළු කුල තුනක් පමණක් එසේ දකුණු ඉන්දීය ප්‍රභවයක් හඳුනාගත නොහැකිව යාපනය අර්ධද්වීපයේ පමණක් හමුවේ. රාසනායගම් මුදලියර්තුමා වැඩි දුරටත් පවසන්නේ මෙම කොවියාර් ලෙස වෙනස් වී ඇත්තේ සිංහල 'ගොවියා' හෙවත් 'ගොයියා' යන වදන බවය. ගොවියා>කොවියා>කොවියාර්

රාසනායගම් මුදලියර්තුමා පවසන්නේ කොවියාර් සහ මෙම යාපනය අර්ධද්වීපයේ පමණක් හමුවන අනෙකුත් කුල දෙකේ කාන්තාවන්ගේ ඇඳුමේ ඇතුළු අන්තය උරහිස උඩින් දමන ආකාරය අව්‍යාජ දෙමළ ජනතාවට මුළුමනින්ම ආගන්තුක වන අතර එය සමාන වන්නේ දකුණේ සිංහල කාන්තාවන්ගේ සම්ප්‍රදායික ඇඳුමට බවය. කාර්ට්මන්ට (Cartman, 1957) අනුවද  උතුරේ දෙමළ සමාජයේ පවතින විශ්වාසයක් වනුයේ කොවියාර් වරු කිසියම් කාලයකදී ද්‍රවිඩයන් විසින් වහලුන් බවට පත් කර ගත් සිංහල ගොවිගම පුද්ගලයන් බවය.

ශ්‍රි ලාංකික දෙමළ ජනතාවගේ කුල අතරින් උසස්ම කුලය ලෙස සලකන වෙල්ලාල කුලය ( ගොවි ) සහ මෙම කොවියාර් කුලය අතර ඇත්තේද අමුතුම ආකාරයේ සහ සම්බන්ධයකි. කොවියාර්වරු පෙර කල වෙල්ලාල ප්‍රධානින්ගෙ වහලුන් වූ අතර වෙල්ලාල ප්‍රධානීන්ගේ ගේ දෝර සහ ගොවිබිම් වල සේවකයන් සහ කෝකියන් ලෙස කටයුතු කලහ. පසුකාලීනවද වෙල්ලාලයන්ගේ මංගල උත්සව වල හැමවිටම පාහේ කෑම සැකසීම කොවියාර්වරු විසින් සිදු කර ඇත (Holms, 1980)

පෙරකල වෙල්ලාලයන් කොවියාර් කාන්තාවන් සමග අනියම් සබදතා පවත්වා ඇති අතර ඔවුන්ගෙන් පැවත එන දරුවන් බොහෝ දෙනෙකු වෙල්ලාලයන් ලෙස සලකා ඇත. කොවියාර්වරුන්ගේ මගුල්තුලා වලට වෙල්ලාලයන්ද සහභාගී වන අතර ඔවුන්ගේ ආහාරද පිලිගනී. වෙල්ලාල පුද්ගලයෙකුගේ අවමගුලකදී කොවියාර්වරු දේහය ආදාහනය සඳහා ඔසවාගෙන යන අතර කොවියාර්වරයෙකුගේ අවමගුලකදී එම මියගිය පුද්ගලයා සේවය කල වෙල්ලාල ප්‍රධානියා එම දේහය භූමදානය සඳහා ගෙන යෑමට ප්‍රථම එය ස්පර්ශ කිරීම අනිවාර්යෙන් සිදුකල යුතුය. දෙමළ සමාජයේ වෙල්ලාල කුලවතුන් කිසි විටෙක අනෙකුත් පහත් කුල ලෙස සලකන කුල වල සේවකයන් ස්පර්ශ නොකරන බැවින් මෙය කොවියාර්වරුන් ඒ අතරින් විශේෂ කණ්ඩායමක් බව විදහාපාන අවස්ථාවකි. රඝවාන්ට අනුව කොවියාර්වරු වෙල්ලාලයන්ගේ මගුල් කපුවන් ලෙසද අතරමැදි සේවයක් ඉටුකරයි. මගුල් පෙරහැරේ වෙල්ලාල මනාලයාගෙ හිසට ඉහලින් වියන් ඇල්ලීමද කොවියාර් පිරිමින් සිදු කරන අතර මනාලයා මනාලියගේ ගෙදරට පිවිසි විට සිදුකරන ආලත්ති චාරිත්‍රයද කොවියාර් කාන්තාවක විසින් සිදු කරයි (මෙහිදි බන්දේසියක තබා දැල්වූ පහන්තිර මනාලයා ඉදිරියෙන් වැනීමක් සිදු කරන අතර ඉන් ඇස්වහ කටවහ දෝශ දුරු කිරීමක් සිදු කරයි ) වෙල්ලාල යුවතියන්ගේ කොටහළු අවස්ථාවලදීද කොවියාර් කාන්තාවන් බොහෝ කටයුතු වලදි උදව්කරුවන් ලෙස කටයුතු කරයි. කලාතුරකින් නමුත් වෙල්ලාලයන් සහ කොවියාර්වරු අතර සිදුවූ විවාහයන් පිළිබඳව තොරුතුරුද ඇත.
ද්‍රවිඩ කාන්තාවක් සිය සේවිකාව සමග

කෙසේ නමුත් මානව විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ කොවියාර්වරුන් දිගු හිස් ඇති පුද්ගලයන් බවය. එසේම ඔවුන් එම ලක්ෂණය මගින් වඩාත් සමාන වන්නේ දෙමළ වෙල්ලාලයන්ට සහ මෙරට ආදී වාසින් ලෙස සලකන වැදි ජනතාවට බවය. එම ලක්ෂණ වලට අනුව නම් ඔවුන් සිංහලයන් හා සමාන වන්නේ මද වශයෙනි. කෙසේ නමුත් සිංහල ජනතාව අතර පවතින කුල ක්‍රමයට අනුව වැදි ජනතාව ගොවි කුලයට අයත් ලෙස සලකන අතර කිසියම් කාලයකදි උතුරු ප්‍රදේශය තුලදි සිංහල බවට පත්වූ වැදි ජන කණ්ඩායමකින් කොවියාර් කුලය පැවතෙනවා විය හැක. කෙසේ නමුත් ද්‍රවිඩ වෙල්ලාලයන් සහ කොවියාර්වරු අතර ලිංගික සබදතා පැවතුනු බව ඉහත සඳහන් වූ බැවින් සැලකිය යුතු ලෙස ද්‍රවිඩ ලේ එමගින් වර්තමාන කොවියාර් වරු අතරට ගිය බව අනුමාණ කල හැකිය. එලෙසින් ඔවුන් වෙල්ලාලයන්ට මානව විද්‍යාත්මකව සමාන වීම පැහැදිලි කල හැකිය.

වෙල්ලාල ඇතුළු අනිකුත් කුල වල දෙමළ ජනතාව සියවස් කිහිපයකට පෙර මෙරටට සංක්‍රමණය වීමට පෙර උතුරේ නාගදීපයේ භූමිපුත්‍රයන් වූ සිංහල ගොවි කුල ජනයා අවසානයේ කොවියාර්වරු ලෙසින් සාපෙක්ෂව ප්‍රමාණයෙන් කුඩා ජන කණ්ඩායමක් බවට පත්වි අදවන විට දෙමළ ජන වර්ගයට අයත් කුලයක් ලෙස ශේෂ වීම මේ ආකාරයෙන් සිදු වූවා විය හැක. දශක තුනක් පුරා දකුණේ සිංහල ජනයාට එරෙහිව LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදය සිදුකල ම්ලේච්ඡ ප්‍රහාර වලට ඇතැම් විට කොවියාර් කුලයේ පුද්ගලයන්ද සම්බන්ධ වන්නට ඇත. සියවස් කිහිපයකට පෙර සිදුවූ දකුණු ඉන්දීය සංක්‍රමණ තුලින් උතුරේ විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපයේ බහුතරය බවට පත්වූ දෙමළ ජන වර්ගය සමග එක්වී එලෙස තමුන්ගේ අතීත මුතුන් මිත්තන්ගෙන් පැවතෙන දකුණේ තම නෑදෑයන්ට එරෙහි වීම, එක්ව ජීවත්විය යුතු දේශය දෙකඩ කිරීමට අරගල කිරීම ඉතිහාසයේ කුරිරු සරදමක් නොවේද?

අදාල පෙර ලිපි

මූලාශ්‍ර
  • The Yalpana-Vaipava-Malai or The History of the Kindom of Jaffna, Translated from the Tamil with an Appendix and a Glossary, C. Brito,1879.
  • Ceylon: A Pictorial Survey of The People And Arts by M.D. Raghavan, 1962
  • Ancient Jaffna, being a research into the history of Jaffna from very early times to the Portuguese period, Mudaliyar C. Rasanayagam, 1926
  • The People of Ceylon, Dr. N.D. Wijesekera, 
  • Caste in Modern Ceylon, The Sinhalese System in Transition, Bryce Ryan, 1953
  • The Lion and the Sword, An Ethnological Study of Sri Lanka, Asiff Hussein Volume 2,2008
  • Caste in Sri Lanka, From Ancient Times to the Present Day, Asiff Hussein, 2013



6 comments:

  1. රාජ්‍යය කියන එ්කකය යටතේ විවිධ ජාතීන් සේවය කරන්න පුළුවන්. යාපනයේ දමිළ රාජධානියේ රජු යටතේ සිංහල නිලධාරින් සේවය කළ බව සඳහන් වෙනවා නේ. එ් වගෙම අතීතයේ සිටම සිංහල රජුන් යටෙත් දමිළ සම්භවය අැති නිලධාරින් සේවය කළා. මෑත ඊළාම් අරගලය සඳහා ශ්‍රී ලංකා හමුදාවට හා පොලිසියට දායක වු ජනවාර්ගික වශයෙන් දමිළ නිලධාරීන් සැලකිය යුතු ගණනක් වූවා. අැතැම් අය කැපී පෙනෙන සේවාවක් ඉටු කර තිබෙනවා. එ් ඔවුන් තම ජනවර්ගයට අයත් සුළු පිරිසක් ත්‍රස්ත අරගලයක් කරන බව දැන දැනම. ඔවුන් පෙනී සිටියේ ශ්‍රී ලංකාව නම් රාජ්‍ය වෙනුවෙන්.

    එවැනි තත්ත්වයකදී තම සම්භවය නොදත් කොවියාර් පිරිසක් කොටින් හා එක්වුවත් එය පුදුමයක් නාෙවේ නේද? පරම්පරා කීපයක් අැතුළත ජනවාර්ගික අනන්‍යතාව පාරිසරික සාධක මත ෙවනස්වන්න පුළුවන්. භාෂාව, අාගම වෙනස් වීමත් සමග එය නැති වනවා. අදත් එය වෙමින් තියෙනවා. නැගෙනහිර අැතැම් ප්‍රදේශවල ජනවාර්ගික වශයෙන් සිංහලයන් වූ පිරිස වෙනස් වූ හැටි ගැන හිතා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් සිදුවිය යුත්තේ මොන කාලයක මොන රටෙන් ආවත් මොන භාෂාව කතා කලත් මොන ආගම ඇදහුවත් එක රටක විශේෂයෙන් කුඩා දූපතක දිවි ගෙවන විට එක ජාතියක් බවට පත්වී තම රට වෙනුවෙන් වැඩ කිරීමයි. සුද්දෝ මේ රටට එන්ට පෙර දකුණේ ඒක සිද්ධ උනා. දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ජන වර්ග කුල ක්‍රමය යටතේ මෙරට තිබූ සිංහල ජාතියට එක් වුනා. කරාව, දුරාව, සලාගම වැනි කුල ඔස්සේ. ඔවුන් කාලයක් දෙමළ භාෂාව කතා කලත් පසුව සිංහල කතා කරන්න යොමු උනා. පෘතුගිසි බලපෑම යටතේ ඔවුන් පසුව ආගමින් කතෝලික උනා. ඇතැම් ප්‍රදේශ වලදී බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ බලපෑම් සමග බෞද්ධ උනා. ජනවර්ග අනුව බෙදා පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී උපක්‍රම නිසා මේ ස්වභාවිකව සිදුවන එක් ජාතියක් වීමේ ක්‍රියාදාමය 1833 පස්සේ නැවතුනා විතරක් නෙමේ ජනවර්ග පදනමින් සහ ආගමික පදනමින් ඔවුන්නොවුන් හා කුලල් කාගන්න මට්ටමට අද පත්ව තිබෙනවා. මේ ඒ සම්බන්ධවම මම කාලෙකට පෙර ලියූ ලිපියක් http://trisinhala.blogspot.com/2015/11/divide-conquer-concept.html

      Delete
  2. එංගලන්තය ක්‍රිස්තියානි රටක්. ඒත් එහි ලන්ඩන්, බර්මින්හම්, ලූට්න් වැනි නගර කිහිපයක ම නගරාධිපතිවරුන් ඉස්ලාම් භක්තිකයන්. පසුගිය දා ලූට්න් නගරයේ මුස්ලිමුන් පෙළපාලි ගියේ එංගලන්තය මුස්ලිම් කියමින්. මෙරටත් මුස්ලිමුන් බලවත්. ඒ සිංහල බෞද්ධ නායකයන් මුස්ලිම් ඡන්ද නොලැබුණත් මුස්ලිම් ඡන්ද බලාපොරෙත්තුවෙන් සිටින නිසා. මේ තත්වය නැති කිරීමට ඉන්න සිංහල බෞද්ධ නායකයන් එකතු කළ යුතුයි. එය කළ හැක්කේ භික්‍ෂූන් වහන්සේට. උන්වහන්සේ ඩීල් දේශයේ වැඩ නොවැසිය යුතුයි. සිංහල බෞද්ධයන්ගෙන් තුනෙන් දෙකක් එකට සිටින්නේ නම් ඩීල් කාරයන් පන්නන්න පුළුවන්.

    ReplyDelete