බදුල්ල සේනානායක උද්‍යානයේ පැරණි ඡායාරූපක් - උපුටා ගැනීම https://amazinguva.wordpress.com |
අලුගොල්ල මංසන්දිය - Google Street View ඇසුරින් |
කැටවල මංසන්දිය - Google Street View ඇසුරින් |
අද පවතින කන්දේගෙදර හරහා අලුගොල්ලේ සිට කැටවලට මාර්ගය කළු පාටින්ද
වෙනත් විකල්ප මාර්ග විය හැකි මං පෙත් කොළ පාටින්ද ලකුණු කර ඇත.
|
නොමින පහඟ රැඳි රන්කොත් රැසිනි තිර
දිලෙන වෙනස නොවැ දිව රෑ එක අයුර
දකුණ සුසැදි සිරිසර බෝගොඩ වෙහෙර
තොසින නැමැද යව ලබනට සැප අමර
මග සලකුණ මාර්ග විස්තරයට අනුව කැටවලින් පසුව මිලිලගස්රුප්පේ පසුකර පිවිසෙන්නේ බෝගොඩ වෙහෙරටය. මිලිලගස්රුප්පේ හඳුනාගැනීමට නොහැකි වුවද බෝගොඩ වෙහෙර හඳුනා ගත හැක. බෝගොඩ රජමහ වෙහෙර සහ ඒ අසල ඇති ගල්ලන්ද ඔය හරහා නිර්මිත සුප්‍රකට පැරණි බෝගොඩ ලී පාලම අදටද මෙම ස්ථානයේ ඉපැරණි බවට දෙස් දෙයි. මෙම ලී පාලම බදුල්ල - මහනුවර පැරණි මාර්ගයේ ඉදි කර ඇති බවට වන ප්‍රදේශයේ සුපතල ජනප්‍රවාදය මේ අනුව නිවැරදි බව පෙනේ. කැටවල සිට බෝගොඩ දක්වා වූ මාර්ගය වර්තමාන කැටවල - කන්දෙකැටිය මාර්ගය ඔස්සේ ගොස් බෝගොඩ රජමහ විහාරය දක්වා වැටී ඇති අතුරු පාර ඔස්සේ තිබුණා විය හැක.
බෝගොඩ පාලම |
තුප්පිටිය උයනේ සිට ගමන් අරඹන මගියාට ඉන්පසු හමුවන්නේ වැලිහෙල පිහිටි සරණගොඩය. එය අසීරු නැග්මක් සහිත පෙදෙසක් බවය පහත කවිය අනුව හැඟෙන්නේ.
නේනුව නොම සිතා ලිය මෙ ගම නැණ බල
ගානුව මෙන් රැගෙන පය ලෙඩට ඔසු තෙල
සේනුව හොත් යන ගමනට වෙයි අබල
පේනුව සරණගොඩ නැගපන්න වැලි හෙල
තුප්පිටියට නුදුරින් වූ වැලිහෙල මෙට්‍රික් සිතියම් අනුසාරයෙන් සොයා ගත හැක. සලාතොට සිට තුප්පිටිය හරහා වැලිහෙල දෙසට ලඟා වීමට මාර්ග දෙකක් Gogle Earth ඇසුරින් පෙන්වා දිය හැක.
1) සලාතොට සිට තුප්පිටිය කන්ද තරණය කර කදු මුදුන් මතින් වැටී ඇති මාවතක් ඔස්සේ වැලිහෙල මුදුනට ලගා වීම.
2) සලාතොට සිට මදක් දකුණට බරව ගමන් කර වැලිහෙල පාමුලට පැමිණ වැලිහෙල නැග එහි මුදුනට ලගා වීම.
නැගපන්න වැලි හෙල ලෙසින් කවියා පවසන බැවින් මෙම මාවත් දෙකින් පැරණි මාවත විය හැක්කේ දෙවෙනි එක බව පෙනේ. එසේම එය වෙල් යායක් මැදින් වැටී ඇති බැවින් ජනාවාස වූ පෙදෙස් මතින් පැරණි මං පෙත් තිබීමේ වැඩි නැඹුරුවක් තිබිය හැකි බව සැලකීමෙන් දෙවෙනි මාවත අපට අවශ්‍ය පැරණි මාවත ලෙසට පහසුවෙන් තෝරා ගත හැක.
මග සලකුණ මාර්ග විස්තරයට අනුව එතැන් සිට සිහිල්පැන් කඳුර, කොට්ටාගොඩ යන ස්ථාන පසු කර යෑමේදී මානාවෙල පොර ඇන ගන්න ගවයන් දැකිය හැකිය. ඉන්පසු වැවගෙදර නම් ප්‍රදේශය පසු කර හපුගොල්ලට පිවිසේ. මෙයින් කොට්ටාගොඩ (කෝට්ටේගොඩ ලෙසින්), මානාවෙල සහ හපුගොල්ල (සපුගොල්ල ලෙසින්) යන ප්‍රදේශ අදද හඳුනා ගත හැක. ඒ අනුව වැලිහෙල සිට හපුගොල්ල දක්වා පැරණි මාර්ගය පහත සිතියම් වල පෙන්වා ඇති ආකාරයෙන් වූවා විය හැක.හපුගොල්ලෙන් පසු හාල්තොට නම් වූ තොටමුණකින් එගොඩ වන මගියා ඉන්පසු පිවිසෙන්නේ පරණගමටය. ඉන්පසු යොනුන් (එනම් කාන්තාවන්) විසින් පාවලන් (පා + වලන් - පාත්‍ර හා වලං හෝ පබළු) කරවල, ලුණු ආදිය විකුණන තවලන් පළ දැක යා ගන් මිතුර ලෙසින් කවියා පවසයි. මෙයින් පරණගම සහ තවලන් පළ යන ස්ථාන දෙකම මෙට්‍රික් සිතියම් වල දැක ගත හැක. හාල්තොට සලකුණු කර නොමැතිමුත් හපුගොල්ලේ සිට පරණගම දක්වා පාර තරමක දිය පාරක් හරහා වැටී ඇත. නිසැකවම හාල්තොට එම තොටමුණ විය යුතුය.
විඩින් විඩ රඟන සෙබඩුන් මැද මොනර
ඉඩන් නැත බලා ඉඳිනට මහ වගුර
දොඩන් වතු කපල්ලෙන් යා කර මිතුර
තවලන් පළ පසු කල පසු මග සලකුණ මාර්ග විස්තරයට අනුව හමුවන්නේ දොඩන්වතු කපල්ල නම් වූ ස්ථානයකි. එම ස්ථානයේ සිට බැලු විට මොනරුන් සමග සෙබඩන් රඟන මහා වගුරක් දිස්වන බවද ඉහත කවිය අනුව අවබෝධ වේ. මෙට්‍රික් සිතියම අනුව යමින් ඉහත රූපයේ අප තවලන් පළ ලකුණු කල ස්ථානය හරහා යන මග වැටී ඇත්තේ කඳු දෙකක් මැදිනි.මේ වන විට පොදුවේ එම ප්‍රදේශයටම තවලන් පළ යන නම ව්‍යවහාර වුවත් මග සලකුණේ විස්තර වන තවලන් පළ තිබෙන්නට ඇත්තේ ඇතැම් විට පරණගමට කිට්ටුව සම බිමක වීමට බෙහෙවින්ම ඉඩ ඇත. ඒ අනුව එය පසු කර යෑමේදී හමුවන දොඩන්වතු කපල්ල මෙම කඳු දෙක මැදින් වැටී ඇති කපොල්ල බව පැහැදිලිය.
අද වන විට දෙපස පිහිටි කඳු මුදුන් වල කැලය එලි වී ජනාවාස ඇතිවි ඇති නමුදු මෙම ප්‍රදේශයේ කඳු වැටි දෙක අතර පහත් බිම් ප්‍රදේශය පෙර කල ජලය රඳන වගුරක් ව තිබූ බවට මෙට්‍රික් සිතියමේ කුඩා වගුරු ප්‍රදේශයක් සලකුණු කර තිබීමෙන්ද පැහැදිලි වේ (එම ප්‍රදේශයද ඇතුළුව සියලුම බිම් මේ වන විට වෙල් යායකින් සහ ජනාවාස වලින් ප්‍රතිස්ථාපනනය වී ඇත.)
මෙනේ තොසින් ගොඩ නැග කැරකී එවිට
මිණේ ඉඳු අයුරු දෙනෙතින් බැලු කලට
අනේ වතු ගෙවතු වෙල් යා සැදි අවට
පෙනේ ඌවතුන්කිඳ අතැඹුල ලෙසට
මෙම උස් ස්ථානයේ සිට බැලූ විට ඌවතුන්කිඳ ප්‍රදේශයේම වතු ගෙවතු සහ වෙල් යායවල් පෙනෙන බව ඉහත කවියෙන් පැවසේ. මෙහි ඌවතුන්කිඳ යනු උඩ කිඳ, මැද කිඳ සහ යටි කිඳ යන ඌව රටට අයත් පෙදෙස්ය. දොඩන්වතු කපල්ලෙන් පසු මාර්ගය යොමුවන්නේ අඩයටි සහ කඟ (තෝමර සහ කඩු) රැගත් සෙබලුන් මුර කරන කඩවතටය. ඉහත මෙට්‍රික් සිතියමේ පෙන්වා ඇති ආකාරයට අදටද එම පෙදෙස කඩවත ලෙසින් සලකුණු කර ඇත.
කඩවත සහ ඒ වෙත යොමුවන මාර්ගය පහත සිතියම් වල ලෙසට තිබුණා විය හැක. මෙම කඩවත පසුකිරීමත් සමග දැනට පවතින පළාත් බෙදීම් අනුව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය වෙත අපගේ ගමන් මාර්ගය යොමුවේ. එතැන් සිට සෙන්කඩගල පුර දක්වා ගමන් මග ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර- මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
- The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947 Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
සුපිරි විස්තරයක්නෙ ......එල
ReplyDeleteස්තූතියි ඩිලාන්!!
Deleteසලාතොට කියලා හැඳින්වුනේ වර්ථමාන හලබ පාළම ආශ්‍රිත ස්ථානය වෙන්ට බැරි ද?
ReplyDeleteඔව් එම ස්ථානය තිබෙන්නේ මා මෙහි සලාතොට පාලම ලකුණු කල ස්ථානය ආසන්නයේම මද දුරක් උමා ඔයේ ඉහලින්. ඇත්ත වශයෙන්ම මේ හලබ පාලම කියන ස්ථානය සම්බන්ධව මා දැන සිටියේ නැහැ. මුහුණු පොතේ මෙම ලිපිය පල කල පසු මා මිතුරෙක් තමා මේ සම්බන්ධව මුලින්ම අදහස් පල කලේ (දිනිත් ඉන්දික හෑගොඩ). ඔහු කියන ලෙසට ප්‍රදේශයෙ ජනප්‍රවාදයකුත් තියෙනවලු එම හලබ පාලම හලාවතට ගෙනියන්න තිබූ එකක් වැරදිලා මෙම ස්ථානයේ ගෙනත් සවි කල බවට. පාලම ඉංග්‍රිසි යුගයේ ඉදි කල එකක්. ඉහත ජනප්‍රවාදය ප්‍රදේශයේ ගැමියන්ගේ යාන් හෑල්ලක් වුවත් එහි යමක් තිබෙනවා. එනම් මෙම ස්ථානය සලාතොට හෝ හලාතොට (හෝ ඇතැම් විට හලාවත ) ලෙසින් කිසියම් කාලයකදී හැඳින්වූ බව
Deleteසළාවැටුම කියන්නෙ දියසුළි ගහන ප්‍රචණ්ඩ වතුරකට නේ ද? භූරිදත්ත ජාතකයේ කියැවෙන්නෙ විත්‍රශූල නම් කැස්බෑවා ගංගානම් ගඟේ සළාවැටුමකට දැම්මා කියලා.. වර්ථමාන හලාවතට ඒ නම වැටුනෙත් ඒ හරියේ මුහුද ප්‍රචණ්ඩ නිසා කියලයි අහලා තියෙන්නෙ.. උමා ඔයේ මේ හලබ පාළම ආශ්‍රිත ප්‍රදේශයත් ගල්කුළු ගහන, වැහි කාලයේ ප්‍රචණ්ඩ වතුර පාරක් ගලන තැනක්.. ඒ අයුරින් බැලුවොත් අපට හිතන්ට පුළුවන් මෙතැනත් අතීතයේ සළා+තොට නමින් හැඳින්වුනාය කියලා..
Deleteඔබ කියන ඔය ප්‍රවාදය මාත් අහලා තියෙනවා.. මම පුංචි කාලෙ අපේ ගෙදර කට්ටිය, යාළුවො හෙම ගියා ඔය හලබ පාළම බලන්ට.. ඒ කාලෙත් මට හිතුන දෙයක් තමා සුද්දන්ට පිස්සුද මේ කැලේ මැද්දෙ මෙච්චර විශාල පාළමක් ගහන්ට කියලා.. දැන් වැටහෙනවා මෙතැන ඒ කාලෙ ප්‍රධාන මාර්ගයක් තියෙන්ට ඇතියි කියන එක..
ඔව් සලා කියන්නේ සුලිය නැතහොත් රැල්ල සුමංගල ශබ්දකෝෂයට අනුව සළාවැටුම කියන වචනය සද්ධර්මාලංකාරයේ ඒනවා. ශබ්දකෝෂයේ දී ඇති පිටු අංක මා සතු සද්ධර්මාලංකාර පිටපතේ පිටු අංක සමග නොගැලපෙන නිසා එය යෙදෙන තැන සෙවීම අපහසුයි. නමුත් එයින් දිය සුලි වැටෙන තැනක් වැනි අදහසක් ගන්න පුලුවන් වගේ.
Deleteකොන්ස්ටන්ටීනෝ ඩි සා ඩි නොරොඥ්ඥා ගේ දෙවනි උඩරට ආක්‍රමණයේදී පෘතුගීසින් සාමාන්‍යයෙන් යන බලන මාර්ගය වෙනුවට ඉදල්ගස්හින්න හරහා බදුල්ලට ගිහින් එහෙන් මහනුවරට යන්න තැත් කලා. ඒ කන්දකැටිය පාරෙන් වෙන්න පුලුවන්ද එහෙම නැත්නම් වලපනේ පැත්තෙන්ද?
ReplyDeleteඅවසන් සටන නම් ඇතිවුනේ දෙමෝදරින් බැහැලා වැල්ලවාය රන්දෙනිවෙලේ දි.
ලන්දේසිත් බදුල්ලට ගියානෙ
එම මාර්ගය ඔබ කිවූ පරිදි ඉදල්ගස්හින්න ප්‍රදේශයෙන් තමා යන්නේ. ඒ පිළිබඳව ගැස්ටන් සිල්වා මහතා යම් හැදෑරීමක් කර කලකට පෙර ලිපියක් පල කලා. එය කියවා ඉදිරියේදී ඇතැම්විට වෙනත් පෝස්ට් එකක් මගින්ම අදහස් ඉදිරිපත් කරන්න බලන්නම්. එය අඩු හෝ වැඩි වශයෙන් වර්තමාන A4 මාර්ගය ඔස්සේ වැටී තිබෙන බවක් තමා මට මතක.
Deleteබදුල්ලෙ ඉඳල මහනුවර යන පුරාණ මාර්ගය මොකක් වෙන්න ඇද්ද?
Deleteසා ගේ ගමන් මග සම්බන්ධව ගැස්ටන් සිල්වා මහතා ඉදිරිපත් කරන මාර්ගය මේ වගේ(Kandy Fights the Portuguess, A military history of kandyan resistance, C. gaston Perera) . හංවැල්ල > අවිස්සාවේල්ල > රත්නපුර > බෙරගල > ඉදල්ගස් හින්න > එතැන් සිට බදුලු ඔයේ දිය කඳුරු දිගේ බදුල්ලට යන්න ඇති කියා තමා ඔහු අදහස් කරන්නේ. Baduluoya branch කියා Google Map වල ලකුණු කර ඇති මානතිල්ලා ඔය දිගේ උමා ඔය දක්වා ගොස් එතැන් සිට බදුලු ඔය නිම්නය දක්වා ගොස් යන්නට ඇති කියන එක තමා ඔහු ඉදිරිපත් කරන අදහස. කෙසේ නමුත් ඉදල්ගස්හින්නේ සිට මාර්ගය පිළිබඳව තොරතුරු මඳ බවයි හැගෙන්නේ. ඒ පිළිබඳව වෙනම සෙවිය යුතුයි පෘතුගීසි මූලාශ්‍ර ඇසුරින්
Deleteදොඩම්වතු කපොල්ල තියන්න ඕනි ඔය සටහන් කරල තියන තැන නෙවෙයි ඊට කඳු දෙකක් වම් පැත්තට තියන අද වැලි හෙල කියල හඳුන්වන ගම කිට්ටුව. ඔය කරුණු ඔක්කොම හොඳටම ගැලපෙන්නෙ එතන්ට උඩුකිඳගම හොඳට පේනව. මේ ලිපියෙ උපකල්පනය කරන තැනට උඩුකිඳ පේන්නෙ නෑ. අදටත් මේ අවට තියන ගෙවතුවල ගැට දොඩම් ගස් පිරිල තියනව
ReplyDeletehttps://maps.app.goo.gl/F1zi1YsnHkMJxzPc6
ස්තූතියි තොරතුරු වලට ඒ ගැන සොයා බලන්නම්
Delete