Showing posts with label George Bisset. Show all posts
Showing posts with label George Bisset. Show all posts

Monday, November 9, 2015

සුද්දාගේ 'සාධාරණ සමාජයට' බැලමෙහෙවර කල නදෝරිස් මුත්තා

අමරපුර සද්ධම්මවංශ නිකායේ සමාරම්භක මහානායක කපුගම ධම්ම්ක්ඛන්ද හිමියන් ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක වූ හැටි සදහා පෙර ලිපිය කියවන්න සුද්දගේ 'භික්ෂු නදෝරිස්කරණය '
මුදලිවරයෙක්

කපුගම හිමියන් කිතු සමය වැලඳ ගැනීම සිදුවන්නේ පැහැදිලිවම සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් තාන්න මාන්න සහ ඉඩ කඩම් ලබා ගැනීම සඳහා වූ ඔහුගේ දැඩි කෑදරකම නිස විනා කිතු සමය කෙරෙහි ඔහුගේ ඇතිවූ පැහැදීමක් හෝ බුදුසමය කෙරෙහි හදිස්සියේ ඇතිවූ කලකිරීමක් නිසා නොවන බව ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග විමසීමේදි වැටහේ.  ඔහුගේ උපැවිදි වීම සම්බන්ධයෙන් වූ තවත් මතයකට අනුව බ්‍රවුන්රිග් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේ සැලසුම් ක්‍රියාත්මකකරමින් සිටි මෙම අවධියේ ඒ සදහා උපකාර කරන ලෙස  කපුගම හිමියන්ගෙන් බ්‍රවුන්රිග් කල ඉල්ලීම හේතුවෙන් හෙතෙම සිවුරු හල බවටද පැවසේ.

උපැවැදි වී ටික කලකින්ම ඔහුව කුරුණෑගල පලාතේ ආන්ඩුවේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තක ලෙස පත් කර යවයි. 1818 නිදහස් අරගලය පැනනැගීමත් සමග සත් කෝරළයේදී එම අරගලය කෲර ලෙස මැඩපැවැත්වූ මේජර් හුක් (Major Lionel Hook) සමග එක්වන නදෝරිස් එම ප්‍රදේශයේ කැරලි නායකයාව සිටි පිළිමතලව්වේ අල්ලාගැනීම උදෙසා වෙහෙසෙයි. ඔහුට එම කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වන මුත් තවත් ප්‍රධාන කැරලි නායකයන් දෙදෙනෙක් වන අරම්පොල මොහොට්ටාල සහ හේවාපොල මොහොට්ටාල උපායශීලි ලෙස යටත් කරගැනීමට හැකි වේ. යටත් වුවහොත් ජීවිතදානය දෙන බවට වූ ලිඛිත පොරොන්දුවකින් අරම්පොල මොහොට්ටාලව රවටන ඔහු එම පොරොන්දුව කඩ කරමින් 1818 නොවැම්බර් 2 වෙනි දින යුද අධිකරණ නියෝගයකින් එල්ලා මැරීම සදහා මේජර් හුක්ට ඔහුව භාරකරයි.

නදෝරිස් විසින්ම ලියා තබා ඇති එක් සටහනකට අනුව ඔහුගේ කෲර බව මැනවින් පෙන්නු එක් අවස්ථාවක් මෙසේය. අරම්පොල මොහොට්ටාල වූ කලි කිහිප අවස්ථාවකදීම අල්ලාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කලත් යටත් කරගත නොහැකි වූ සත් කෝරලය ප්‍රදේශයේ දැඩි සටනක් දුන් ප්‍රධාන සටන් නායකයෙකි. වරක් නදෝරිස් ඇතුළු පිරිසක් ඔත්තුකරුවෙකු පෙන්නු මගකින් කුරුණෑගල සිට වෑඋඩ සිට සැතපුමක් පමණ දුරින් වූ අරම්පොල දක්වා රාත්‍රියේ ගමන් කලේ ඔහුව අල්ලාගැනීමේ අරමුණ ඇතිවය. නමුත් මගවැරදි ගොස් අතරමන් වන ඔවුන් මග සොයාගැනිමට උත්සහ කිරීමේදි නදොරිස් ලිඳකට වැටේ. ඔහුට වැටීමත් සමග පාදයේ සුළු කැක්කුමක් විනා ලොකු අනතුරක් නොවන මුත් මෙය එම ඔත්තුකරු විසින් සිදුකල ද්‍රෝහී  ක්‍රියාවක් ලෙස සලකන නදෝරිස් පසුව මග සොයාගෙන අරම්පොල මොහොට්ටාලගේ අතහැර දමා තිබූ නිවසට පැමිණි පසු ඔහුගේ ගෙලෙහි පාවාදීමට දඩුවමක් ලෙස ලියූ තල්පතක් එල්ලා ඔහුව එම නිවස අසල තිබූ සූරිය ගසක එල්ලා මරා දමයි.

කැරල්ල මර්ධනය කිරීම උදෙසා සත් කොරලේ දිසාව ලෙස මොල්ලිගොඩ නිලමේ පත් කර එවීමත් සමග ඔහුට වඩා ඉහල තනතුරක් දරන සහ කුලයෙන් ගොවි වූ ඔහු කෙරේ ඊර්ෂ්‍යා කරන නදොරිස් ඔහුව ඉංග්‍රීසින් කෙරෙහි බිඳවීමට අල්ලාගත් කැරලිකරුවන්ගේ සාක්ෂි සටහන් කිරීමේදී මොල්ලිගොඩ අල්ලස් චෝදනා සදහා පැටලවීමට කැරලිකරුවන් නොපැවසූ වැරදි සාක්ෂි පවා ඇතුලත් කල බව පැවසේ.

සුදු අධිරාජ්‍යවාදීන්ට කෙතරම් සේවය කලත් උඩරට ප්‍රදේශ වල කුරුඳු තැලීමේ රාජකාරියේ යෙදී සිටින සලාගම කුලයේ ජනයාගේ මහමුදලි ලෙස නව තනතුරක් ඇතිකර ඔහුව පත්කරනු ඇතැයි බලපොරොත්තුවෙන් සිටි නදෝරිස්ගේ එම උවමනාව ඉංග්‍රීසින් නොසලකා හැරි අතර කපටි බ්‍රවුන්රිග් වරක් පවසා සිටියේ " ඔහු මහා අපේක්ෂා සහිත සත්වයෙක් වුවත් ඔහු බලාපොරොත්තුවන මහාබද්දේ තනතුර ඔහුට කිසිදා නොලැබෙනු ඇත " කියාය (He is an ambitious creature. What he desires about Mahabadde never could be agreed to). මේජර් හුක් පවා නදෝරිස්ගේ චරිතය මැනවින් නිරීක්ෂණය කල බව ඔහු විසින් ඔහුගේ ඉහල නිලධාරියා වන ලුසිග්නන් (Lusgnan) වෙත ලියා යැවූ ලිපියක නදෝරිස් බලාපොරොත්තුව වූ මහමුදලි කම ගැන සදහන් කරමින් පවසන්නේ එය ලබාදීම නුවණට හුරු නැති පියවරක් බවය (."..Such a step would in my humble estimation be impolitic"). මෙය අනුමත කරමින් බ්‍රවුන්රිග් පවසා සිටින්නේ නදෝරිස්ගේ ක්‍රියාවන් අගය කලයුතු මුත් ඔහු අත අවදානම් විය හැකි මට්ටමේ බලයක් ඔහුට ලබා නොදිය යුතු බවය (I quite agree with Hook. George should be rewarded, but not with power which I do not think is safe in his hand.).

තම ජාතියේ ද්‍රෝහියෙක් වීමෙන් අධිරාජ්‍යවාදීන්ට කොතෙක් සේවය කලත් ඔවුන් ඔහුව අවලංගු කාසියක් කිරීමෙන් සිය තනිකඩ සැදෑසමය ගෙවීමට අලුත්කඩේ වලව්ව (Hulftdorp residence) පමණක් ලබාදුන්හ. අවිවාහකයෙකු වූ ඔහු තමන්ට බිරිඳක් සොයාගැනීමට උපකාර කරන ලෙසට හූක්ගෙන් ඉල්ලා සිටි මුත් හුක් සහ බිසට් (Rev. George Bisset) එම ඉල්ලීම ඔවුන් අතර සම්ච්චලයට ලක්කරමින් විනෝද වූහ.

1843 ඔක්තෝබර් 19 වැනි දින නදෝරිස් මියයන්නේ සිය ජාතිය පාවාදුන් තවත් එක භික්ෂු චරිතයක් ලෙස සිය නම ඉතිහාසයට එක්කිරීමෙනි. එකල මෙන්ම මෙකලද එවන් ජාතිද්‍රෝහි දේශද්‍රෝහි භික්ෂු චරිත අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යන මුත් ඔවුන් විසින් පාවාදුන් දේශය සහ ජාතිය ඔවුන්ගේ පව් වලට චිරාත් කාලයක් වන්දි ගෙවනු ඇත.

මූලාශ්‍ර

Paranavitana K.D., 1983/84, Scholar monks of the nineteenth century and the tragic transformation of the high priest ven. Kapugama Dhammakkhanda thero, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series, Volume XXVIII

Pieris P.E. 1950, Sinhale and the Patriots 1815-1818. 

රූපය - Campbell J. 1843, Excursions Adventures and Field-Sports in Ceylon.

Friday, October 30, 2015

සුද්දගේ 'භික්ෂු නදෝරිස්කරණය '

Sinhalese Buddhist Priests in Kandy Ceylon
සියම් නිකායේ උපසම්පදා කර්මය ගොවි කුලයෙන් පිට වෙනත් කුල වලට ලබාදීම මහනුවර රජවාසලේ නියෝගයකින් නැවතීමත් සමග, පහත රට කරාව, දුරාව, සලාගම වැනි කුල වලින් පැවිදි බිමට එක්වූ භික්ෂූන්ට උපසම්පදාව ලබාදීමට අඹගහපිටියේ ඥාණවිමලතිස්ස මහ තෙරණුවන් දහනමවන සියවසේ උදාවත් සමග බුරුම දේශයේන් උපසම්පදාව ලබා පැමිණ, අමරපුර නිකාය අරඹයි. වැලිතර ප්‍රදේශයේ සලාගම කුලයේ මුදලිවරයෙකු වූ හල්ජෝති ඩිනේස් දි සොයිසා විජය ශ්‍රී වර්ධන ජයතිලක සහබංදු ඒ හිමියන්ට අවශ්‍ය අනුග්‍රහය මේ අවස්ථාවේ නොමදව ලබාදෙන්නේ, ඥානවිමලතිස්ස හිමියන් වැඩවිසූ වැලිතර අඹගහපිටිය විහාරයේ ප්‍රධාන දායකයා ලෙසිනි.

මේ අතර දඩල්ල ප්‍රදේශයේ විසූ මහබද්දේ මහා මුදලිවරයා වූ (සලාගම කුලයේම) දොන් ඒඩ්‍රියන් ද ආබෲ විජේසුන්දර වික්‍රමරත්න රාජපක්ෂ මුදලිවරයා වෙත දඩල්ල වාලුකාරාමයේ වැඩ විසූ කපුගම ධම්මක්ඛන්ද හිමියන් යෝජනා කරන්නේ තමන්ටද බුරුමයට ගොස් එවැනිම වූ උපසම්පදාවක් ලබා පැමිණීමට අනුග්‍රහ දක්වන මෙන්ය. සහබංදු මුදලිවරයා අමරපුර නිකාය පිහිටුවීමත් සමග ලබා තිබූ ජනප්‍රියතාවය ඔහුගේ තරඟකරුවා වූ තමන්ටද ලබාගැනීමේ අනගි අවස්ථාව අත් නොහරින මහබද්දේ මුදලිවරයාද, කපුගම ධම්මක්ඛන්ද හිමියන්ට අවශ්‍ය අනුග්‍රහය නොපැකිලිව ලබා දෙන්නේ ගිහිකල නදෝරිස් නමින් යුත්  ඒ හිමියන් ඔහුගේ දෙමව්පියන්ගෙන් ලබාගෙන මුදලිවරයාගේ පියා විසින් කුඩා කල පටන්ම  හදා වඩා ගත් කෙනෙකුද වන නිසාය.  මේ අනුව වර්ෂ 1808 දී ගාලු වරායෙන් බුරුමයට පිටත් වන ධම්මක්ඛන්ද හිමියන් 1810 නොවැම්බර් මස දී පෙරලා පැමිණ 1811 ජනවාරි මාසයේ අමරපුර සද්ධම්මවංශ නිකාය පිහිටුවයි.

මුදලිවරයාටම අයත්ව තිබූ වලව්වක් පූජා කිරීමෙන් ඉදිකල වාළුකාරාමයේ වැඩවිසූ කපුගම ධම්මක්ඛන්ද හිමියන්ගේ විහාරය වූ කලි පෙරදිග දැනුම් පද්ධති සම්බන්ධයෙන් විමසිලිමත් වූ බොහෝ උගත් සිවිල් සේවයේ සහ මිෂනාරි කටයුතු වල යෙදී සිටි ඉංග්‍රීසි ජාතිකයන් නිබදව සැරිසැරූ ස්ථානයක් බවට නිතැතින්ම පත් වූයේ ඒ හිමියන්ගේ පෘථුල දැනුම උකහාගැනීමට මෙන්ම බුරුම රජතුමන් විසින් පූජා කල මහත් ධර්ම ග්‍රන්ථ රැසකින් යුත් පොත් ගුලද පරිහරනය සදහාය.

එහි නිතර ආ ගිය ඉංග්‍රීසි ජාතියන් අතර ආන්ඩුකාර බ්‍රවුන්රිග් (Sir Robert Brownrigg) මෙන්ම අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජෝන්ස්ටන්(Alexander Johnston) ද විය. සිවිල් සේවයේ නිරත ඉංග්‍රීසි නිලධාරීන්ට සිංහල ඉගැන්වීමද කපුගම හිමියන් විසින් සිදු කල අතර, බුරුම රජු විසින් ඒ හිමියන්ට පිරිනැමූ 'සිරිසද්ධම්මවංශපාල' නම් ගරු නාමය සහ අමරපුර සද්ධම්මවංශ නිකායේ මහ නායක දූරය 1814 ජනවාරි 4 වැනි දින බ්‍රවුන්රිග් විසින් අනුමත කරන මුත් අඹගහපිටියේ ඥාණවිමලතිස්ස හිමියන්ගේ මහා නායක දූරය පිලිගනු ලබන්නේ ඊටත් වසර 12 කට පසු 1826 මැයි 21 වීමෙන් කපුගම හිමියන් කෙරෙහි ඉංග්‍රිසී ආන්ඩුවේ පිළිගැනීම කොතරම්ද යන්න පැහැදිලි වේ.

කපුගම හිමියන්ව බුරුමයේ සිටියදීම හඳුනාගෙන සිටි වෙස්ලියන් නිකායේ ජේම්ස් කාර්ටර් දේවගැතිතුමාද (Rev. James Carter) නිතර එහි පැමිණි අතර ඔහු හරහා ආන්ඩුකාරවරයාගේ මස්සිනා වූ තවත් වෙස්ලියන් මිෂනාරි දේවගැතිවරයෙකු වූ ජෝර්ජ් බිසට් (Rev. George Bisset) වද හඳුනාගැනීමට ඔහුට හැකිවන අතර කපුගම හිමියන් ඔහු හා නිතර ආගමික වාද විවාද වල යෙදුන බවද කියවේ.

වෙස්ලියන් මිෂනාරිවරුන්ගේ දීර්ඝකාලීන වැඩපිලිවෙල මල්පලගන්වමින් 1816 ජුනි 16 වෙනි දින කපුගම ධම්මක්ඛන්ද හිමියන් සිවුරු හරිමින් ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක ලෙසින් කොළඹ කොටුවේ වෙස්ලියන් පල්ලියේ බෞතිස්ම ලබන්නේ බ්‍රවුන්රිග් ආන්ඩුකාරවරයා, අගවිනිසුරුවරයා සහ තවත් බොහෝ රජයේ නිලධාරීන් සහ වෙස්ලියන් නිකායේ මිෂනාරිවරුන් රැසකගේ සහභාගීත්වයෙනි.

සිවුරු හැරීමට කලකට පෙර ඔහු පවසා තිබුනේ මේ වන විට තමන්ට සිවුරු හැරීම සදහා ඇති එකම බය ඉන් පසු මිනිසුන් විසින් තමන්ව 'හීරළුවා' ලෙසින් අමතනු ලැබීම පමනක් යැයි පවසා තිබූ කපුගම ධම්ම්ක්ඛන්ද අමරපුර සද්ධම්මවංශ නිකායේ සමාරම්භක මහානායක හිමියන් ඒ අයුරුන් සිය දිවියේ එක් පරිච්චේදයක් නිමා කරමින් 'හීරළුවෙක්' විය. කතාව එතැනින් නිම නොවේ. නදෝරිස්ගේ හොදම 'වැඩ' පටන් ගනුයේ එතැන් පටන්ය.

'නදෝරිස්කරණය' වී එහෙත් තාමත් සිවුරු දරා සිටින 'සාධාරණ සමාජ' සහ 'පිවිතුරු හෙටවල්' වලට මුවා වූ වර්තමාන 'නදෝරිස්ලා' අද කරන පාවාදීම එදා ඒ නදෝරිස් කල අයුරු වෙනත් දිනක සාකච්චා කරමු.

මූලාශ්‍ර

Paranavitana K.D., 1983/84, Scholar monks of the nineteenth century and the tragic transformation of the high priest ven. Kapugama Dhammakkhanda thero, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series, Volume XXVIII

රූපය - Souvenirs De Liinde, Paris, Victor Lecou, Libraire - Editeur 10, Rue Du Buuloi